Sunday, November 19, 2017

ඇස්-වහ, කට-වහ පිච්චීම...

19.11.2017

කිවහැකි, පෙන්විය හැකි මේ යැයි මහා සෞභාග්‍යයක් නොතිබුණද, එක දිගට අසනීප වීම, පාසලේ කටයුතු වලින් පසු බැසීම,පවුලේ ආර්ථික තත්ත්වය කබලෙන් ලිපට වැටීම, වෙනත් සුළු සුළු අකරතැබ්බයන් සිදුවීම, ආදී මෙකී නොකී දෝමනස්සයන් සිදුවීමෙහි මූලය අප කිසිවෙක් නොදැන සිටියද, අම්මා එය අතැබුලක් සේ දැන සිටියාය. එකල්හී කළ යුතු ශාන්තිකර්මයෙහි යකැදුරා ඇයම වන්නීය. එහි ප්‍රතිඵලයක් ලෙස අප හට කෙස් කැපීමට, ඇඳුම් වල නූල් ඇදීමට සිදූ වීම නොවැළැක්විය හැකි ක්‍රියාදාමයෙකි.

ඇස් වහ කට වහ පිච්චීම යනුවෙන හැඳින්වෙන මේ මහා කු‍ටුම්බ ශාන්තිකර්මය බොහෝ විට සිදු වන්නේ පවුලේ සාමාජිකයන්ට පමණක් සීමාව, රහසිගතවය. මුලින්ම තරමක් විශාල ඇතිලියක් ගන්නා අම්මා, එහි අඩිය වැසී යන සේ සුදු වැලි පුරවනු ලබන්නීය. ඉන්පසු වියළි පොල් ක‍ටු දෙක තුනක් ඒ තුළට බහාලන ඇය, සියල්ල හොඳින් පෙගී යන පරිදි ඒවා භූමිතෙල්වලින් නහවනු ලබයි. පත්තු කරගන්නා ගිනි කූර ඒ මතට විසි කිරීමේදී "බ්වූස්.." අනුකරනගෙන් ගිනි ජලා මවමින් ඇතිවන ගින්න, එළියට පැන අපවද දවා හළු කරනු ඇතැයි සිතෙන තරමට ආරම්භයේදී සහාසික වන නමුදු මොහොතකින් ඇතිලිය තුළට පමණක් සීමා වී පොල්ක‍ටු ටික පුළුස්සා දැමීම පමණක් සිදු කරයි.

මෙසේ පොල්ක‍ටු පිළිස්සෙන අතරවාරයේ, අප එකිනෙකා වෙනුවෙන් සුදු කොළ කැබැල්ලක් මේසය මත තබනා අම්මා, මුලින්ම ඒ සියලු කොළවලට සීනක්කාරම් කැබැල්ලක්, ගම්මිරිස් ඇට කිහිපයක්, ලුණු කැටයක්, වියළි මිරිස් කරලක් දමන අතර හිසෙන් උගුල්ලා ගන්නා කෙස් ගස් කිහිපයක්, ඇඳුමකින් ගලවා ගන්නා නූල් කැබැල්ලක්, යටි පතුලට පෑගුණු වැලි ස්වල්පයක් ආදිය ගෙන තමාට නියමිත කොළ කැබැල්ලට දමා, එය ගුලි කොට හිසේ සිට පාදය දක්වා කැරකැවීමේ විධානය අප හට නිකුත් කරන්නීය.

මේ සියලු වතාවත් ඒ ආකාරයෙන්ම සිදුවන අතර ඉන් පසු අප එකි නෙකාගේ වාරය එන තෙක් ගුලි කරණ ලද කරදාසි කැබැල්ල මිටමොලවාගෙන නොයිවසිල්ලෙන් බලාසිටිති.

පොල් ක‍ටු දැවී හලුවී අගුරු වූ පසු මුලින්ම වාරය හිමිවන්නේ අයියාටය. කරදාසි ගුලියෙහි ඇති සංයුතිය රත් පැහැවූ පොල්ක‍ටු මතට අත හරින ලබයි. කෙස්, මිරිස්, සීනක්කාරම් එක්ව පිළිස්සීමෙන් නාසය හකුළුවන අමුතු ගන්ධයක් නැගුනද එය දරාගැනීමට අපහසු තරමේ එකක් නොවුණි. පොල්ක‍ටු රස්නයෙන් බැට කණ සීනක්කාරම් කැබැල්ල ඇබරෙමින්, හැකිලෙමින් නෙක නෙක රටා මවන අතර අප සියල්ල වටවී අයා ගත් දෑසින් යුතුව ඒ දෙස බලා සිටින්නේ අභග්ගයේ නියමුවා කවුදැයි ඒ තුළින් කියාපානා තෙක්ය. අවසන සීනක්කාරම් කැබැල්ල නිශ්චිත හැඩයක් මවා පාෂාණිභූත වන අතර එය බොහෝ විට මුහුණක හෝ කටක ස්වරූපයක් මැවීම අනිවාර්යය දෙයකි. මෙවිට ඒ දෙස් හොඳින් බලන අම්මා, "පේනවද අරයග ලොබු කර, ඔය තියෙන්නේ පණ පිහිටෙව්වා වගේ, ඔය යකාගෙ කටේ වහංගතිය තමා ඔය වැදිලා තියෙන්නේ, ඊරිසියා කාරයා" යි කියනු ලබන්නීය. අම්මා ඒ අදහස් කරනු ලබන්නේ අසල්වැසි කටවහ කාරයෙකුයැයි හන්වඩු ගැසි ඇති පුද්ගලයෙකි. පූර්ව අත්දැකීම අනුසාරයෙන් අම්මා අදහසස් කරන්නේ කවුදැයි අප දන්නා අතර, අප ඇස්වහ ඇතිලිය වටා වට වන්නේත් ඔහුගේ කට දැකීමේ පූර්ව විනිශ්චය සහිතවම නේදෝයි මට අද සිතේ. "මොන මගුලකට ද අම්මේ ඒ මිනිහා අපිට ඊරිසියා කරන්නේ?" යි ඇසීමට එකල අපහට තර්ක බුද්ධියක් හෝ ධෛර්යයක් නොතිබුණ ද, තවෙකෙකුගේ ඊරිසියාවට ලක්වීමට තරම් දෙයක් එකල අපහට තිබුණේදැයි මම දැන් කල්පනා කරමි.

ඊ ළඟට එළබෙන්නේ මගේ වාරයයි. එයත් පෙර වාරයෙන් වැඩි වෙනසක් නොවන අතර සමහර විටෙක එය ඇසක රූපයක් මවනු ලබයි. ඒ අනුසාරයෙන් පෙර කී පුද්ගලයාම හෝ වෙනත් පුද්ගලයෙකු මාගේ හෙනහුරායැයි චෝදනා ලබනු ලබයි.

මෙසේ අප සියලු දෙනාගේම ඇස් වහ, කට වහ පිච්චීමෙන් පසු අම්මා ඇතිලි ගෙයි මුල්ලක තබන්නේ පසුදා පාන්දර කුකුළාටත් පෙර එය ගෙන ගොස් හතර මංහන්දිය හැලීමේ වගකීම අයියා සහ මා වෙත පවරමිනි.

මෙහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවද, මේ ක්‍රියාවලියෙන් පසු ඇතිවන මහා විශ්ව කර්ම වෙනසකින් අප නිවස පිරි ඉතිරී නොගියද, අප යම් ‍රැකවරණයක් ලැබුවායැයි අම්මා යම සහනයක් ලබන්නට ඇතැයි, ආපසු සිතා බලන විට මට අද සිතේ.

එකල, හතර මං හන්දි වල නිතර මෙවැනි දෑ දකින්නට ලැබුණු බැවින් මේවා කළේ අප පමණක් නොවන බවනම් සහතිකය. මගේ මතකය නිවැරදිනම් අවුරුදු දහයකින් මෙපිටවත් මම මෙවැනි ඇස් වහ කටවහ පිළිස්සු අවශේෂ, මංසන්ධියක නොදැක ඇත. වර්තමානයේ මිනිසුන් මේ මිථ්‍යා විශ්වාසයන්ගෙන් දුරස්වෙමින් පවතින බවට එය යම් සධකයක් විය හැකිය. 


ලියුවේ;
සෙන්නා / 19.11.2017

Saturday, June 10, 2017

උපමාව සහ උපමේය..............

"හරි ඊළඟ ප්‍රශ්ණෙ කියවන්න."

(Vi). පහත දැක්වෙන ජේදයේ...

"ජේදයේ නෙමේ ජේ(චේ)දයේ.."

 "ඡේදයේ සඳහන් උපමාව ලියන්න.

"දවල් ඉර අව්ව වනය මත වැටී ගියාට පසු, ගස් මුදුන්වල සුළඟ හැපී ඇති වන හඬ හා වියළි අතු එකෙනෙක ගැටීමෙන් නගින හඬත් හැර අන් කිසිම ශබ්ධයක් වන ගැබ තුළින් අසන්නට නොලැබේ. එහෙත් වන සත්තු, ගස් යට පඳුරු අතර රිංගමින් එබිකම් පාමින් ඉතා සන්සුන්ව සේයාවන් මෙන් ඔබ මොබ හැසිරෙති."

"හරි .. කියන්න බලන්න මොකක් ද ඕකෙ තියන උපමාව කියලා."

"මේකෙ උපමාවක් නෑනෙ!"

"නැත්තෙ මොකද තියනවා. උපමාවක් හොයන්න කිව්වම මෙහෙමයි කරන්න ඕනා පුතා. හරි ලේසියි. "මෙන්", "ලෙස", "වගේ", "වැනි" ඔන්න ඔය වගේ වචන වලට ඉස්සරහා තියන වචනෙ තමා උපමාව වෙන්නෙ. දැන් මෙහෙම බලන්නකෝ..."

"අලියා, කළු ගලක් මෙන් කළු පාටය."

"එතකොට ඕකේ "කළු ගලක්" තමා උපමාව. ඒකනෙ මෙන් කියන එකට ඉස්සරහින් තියෙන්නෙ. එතකොට "අලියා" තමා උපමේය. තේරුණා ද?"

"ඔව්.."

'හ්ම් එහෙනම් ඔය ඡේදය ආයෙ කියවලා කියන්න බලන්න උපමාව මොකක් ද කියලා.."

" දවල් ඉර අව්ව වනය මත වැටී ගියාට පසු,  ....................................................එබිකම් පාමින් ඉතා සන්සුන්ව සේයාවන් මෙන් ඔබ මොබ හැසිරෙති."

"හරි, හොයා ගත්ත ද මොකක් ද උපමාව කියලා?"

"ඔව්"

"මොකක් ද?"

"ගැටී."



(අවවාදය : පොඩි උන් එක්ක ගනු දෙනු පරිස්සමින්....)

ලියුවේ:
සෙන්නා / 10.06.2017


Wednesday, May 10, 2017

බෝතලේ විත්ති | සරුංගල් යැවීම

කලින් පළවූ බෝතලේ කතා






"හ්ම් හ්ම්...මම යනවා රෑනගල, කවුද එන්නේ?" කියාගෙන සීයා නැගිට්ටේ ළඟ තිබුණ පඩික්කම උස්සලා කට ළඟට අරන් ඒකට බුලත් කෙළ පාරක් විදින ගමන්.

"යං යං මාත් එනවා..." මම එක පයින් ලෑස්තියි. ඒක ඇහුවට පස්සේ මට ජාතියේ පියාවත් අමතක වුණා. එයාව මතක තියන් හිටියත් දැන් ඉතින් මේ ඉක්මනට වැඩක් ඇතැයි! එයාගෙන් ප්‍රයෝජනයක් ගන්නනම් ඉතින් ඉස්කෝලේ පටන් ගන්නකම් ඉන්න වෙනවා. එතකම් ඔහෙ බිත්තියේ එල්ලිලා හිටපුවාවේ. අයියත් කියව කියව හිටපු සඟරාව පැත්තකින් තියලා කඩිමුඩියේ නැගිට්ටේ රෑනගල යන්න තමා.

අපේ උනන්දුව දැකලා රෑනගල කියන්නේ තව්තිසා දිව්‍යලෝකය වගේ තැනක් කියලා එහෙම හිතා නොගත්තට කාරියක් නෑ ඕන්. ඒක නිකන්ම නිකන් පොල් වත්තක් විතරයි. එකම වෙනස මේ පොල්වත්ත තියෙන්නෙ ලොකු බෑවුමක. වෙන විදිහකට කිව්වොත් සීයලෑ ඉඩමම තවත් එහාට දික්වෙලා තමා රෑනගල හැදිලා තිබුණේ. කැඩිලා බිමටම පාත්වෙලා තිබුණ සීයලෑ කබල් කම්බි වැටෙන් පනින්නේ රෑනගලට. රෑනගල තමා සියලෑ හරක් ඔක්කොම දවල් කාලෙට ගැට ගහන්නේ. සීයා දවසට දෙපාරක් විතර රෑනගල යනවා උන්ගෙ ගස් මාරු කරන්න. රෑනගල උඩම හරියට වෙන්න තිබුණා අපේ උසට විතර උසකට වැවිලා තිබුණ සීනි පේර යායක්. ඔන්න ඕක තමා අපිව රෑනගලට ඇද්ද ගන්න හාස්කම! ගියාම සාක්කු පුරෝගෙන තමා එන්නෙ. තව අවුරුදු කාලෙට කජු පුහුලම් පිරුණ කජු ගස් මේ පොල්වත්ත පුරා හැම තැනම තියනවා. ඇයි අඹ ! ඒ විතරක් නෙමේ දවල් වේලට ගො‍ටුකොළ ටිකක් කඩා ගන්න ඕන වුණත්, දරට වේලිච්ච පොල් අත්තක්, හනස්සක් අහුල ගන්න ඕනා වුනත්, නැන්දා හරි කිරිඅම්මා හරි එන්නෙත් රෑනගලටම තමා. ලස්සන හැම දෙයක්ම භයානකයි කියලා කවුදෝ කියනව මම අහලා තියනවා. ආයෙ ඉතින් රෑනගලත් ඕකෙන් වෙනස් වුණේ නෑ. එහෙ තියනව අත් ඇරලා දාපු පරණ මිනිරන් පතල්. බොහොම භයානක, ගැඹුරු ඒවා. ඔන්න ඔය හේතුව නිසාම අපිට තනියම රෑනගල යන්න තහංචියක් එහෙමත් පැනවිලා තිබුණේ. මේ පතල් වලට වැටිලා හරක් එහෙමත් මැරිලා තියනවා. සමහර ඒවායින් ගෑස් හිටන් පිට වෙනවා. ළඟට ගියාම ගඳක් එනවා. සමහර දවස්වල අපි ඔය පතල්වලට කළු ගලක් එහෙම අතෑරලා අහගෙන ඉන්නවා. ගල ඩොක්හ් ගාල අඩියෙ වදින්න සෑහෙන වෙලාවක් යනවා, එහෙම නැත්නම් ඇහෙන්නෙම නෑ. හිතාගත්තෑකිනේ ගැඹුර !

දානෙට වඩින හාමුදුරු පෝලිමක් වගේ සීයයි, අයියයි, මමයි සියලෑ ගෙදර ඉඳන් රෑනගලට වැටිලා තියන ප‍ටු අඩිපාර දිගේ යනවා. කැත්තක් අතින් ගත්තු සීයා ඉස්සරහින්ම යනවා. අයියා, සීයා පිටිපස්සෙන්, මම අන්තිමට. සියලෑ වත්තෙ මේ හරිය හරිම හෙවනයි. බොරළු පොළව අතරින් පතර කළු ගල්. සෙරප්පු නැතිව බොරළු ගල් උඩ ඇවිදින එක තරු පේන වැඩක්. සීයටනම් ගානක්වත් නෑ වගේ, අයියටත් ඒ වගේ. මටනම් අහසෙ තියන ඔක්කොම තරු පෙනුණා. සෙරප්පු දෙක ගේන්න බැරිවෙච්චි එකේ විපාකෙ. ඒක හින්දා මම ඇඟිලි වලින් පැන පැන ගිහින් කළුගල් තලාවක් හම්බුණ ගමන් ඒක උඩට පැන ගන්නවා. එතකොට කකුලට දැන්නෙනෙ පුදුම සනීපයක්. කළු ගලෙන් බැස්සට පස්සෙ ආයෙත් ඇඟිලි වලින් පැන පැන යනවා. බලන් ඉන්න කාට උණත් මම නට නට බොහොම සන්‍තෝසෙන් යනවා කියලා හිතෙන්න පුළුවන්.ඔය මොන නැ‍ටුම් නැ‍ටුවත් මගේ අතේ තියන යකඩමරං කෝ‍ටුවෙන් පුළුවන් හැමවෙලේකම දෙපැත්තෙම තියන පදුරු වලට යහමින් දෙකක් තලන්නත් අමතක කළේ නෑ. කෝ‍ටුවක් අතේ තියේනම් ඒකෙන් කාටහරි ගැහුවේ නැත්නම් කිසි ගතියක් නෑ.

පෙරහැර අන්තිමට රෑනගලට ආවා. සීයා මුලින්ම ගියා ළඟම හිටපු වැස්සි ගාවට. බිම ලැගලා වමාරා කමින් හිටපු ඌ බෙල්ල උස්සලා බලලා සීයව අඳුනගෙනද කොහෙද කන්දෙක වනලා, ඔළුව දෙපැත්තට එහෙම ගසලා ඉස්සරහා කකුල් දෙකට බර දිලා නැගිට්ටා. ඌ දන්නවා ස්ථාන මාරුවක් ලැබෙන්න යන්නේ කියලා. මේ සත්තු පුදුම විදිහට මේ රටාවට හුරු වෙලා. බලන්න එපෑයෑ හවස්ට ලිහලා දාපුවාම වෙන කොහෙවත් නොගිහින් කෙළින්ම සීයලෑ ගෙදරට යන හැටි. වැස්සිව ගහෙන් ලිහා ගත්තු සීයා තණකොළ තියන වෙන තැනකට ඌව අරන් ගිහින් ගැට ගැහුවා. ඔය විදිහට දහ දොළොස් වතාවක් කරන්න වුණා ඔක්කොම සත්තු ටිකේ ගස් මාරු කරන්න. අපිත් සීයා පස්සෙන් ගහෙන් ගහට ගියා ඒ එක්කම. ඒක ලේසි වැඩක් වුණේ නෑ. සෑහෙන ඉහළ පහළ නගින්න බහින්න වුණා. පතල් තියන කිට්‍ටුවකට යන හැම වෙලේකම "ඔය පැත්තට යන්න එපා" කියලා පොඩි අනතුරු ඇඟවීමක් කරන්න සීයා අමතක කළේ නෑ.  අපි බලන් ඉන්නේ මේක ඉවරවෙලා සීනි පේර යායට යනකම්.

සීනි පේර අවාරෙද මංදා අපි බලාපොරොත්තු වුණ තරම් පේර කඩාගන්න හම්බුනේ නෑ. සීයට තව වැඩ තියන නිසාද කොහෙද වැඩි වෙලා එතන ‍රැදෙන්න කැමති වුණේත් නෑ. ඔය වගේ වැඩවලට එන්න ඕනා නැන්දා එක්ක. පෙරහැර ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. අතරමගදි වැටිලා තිබුණ පොල්ගෙඩියක් සීයගෙ කැත්තෙ ඇමිණුනා.

අපි ගෙදර එනකොට කඩේ අයියා, සීයලෑ ගෙදර ඇවිත් හිටියා. අපිව දැකපු එයා කට පුරා හිනාවුණා. එයා කඩේ අයියා වුණේ ගමට තිබුණ එකම කඩේ එයාලගෙ නිසා තමා. ඒ ගෙදර තව අයියා කෙනෙක් හිටියට මෙයා විතරක් කඩේ අයියා වුණේ කොහොමද කියන එක මම දන්නේ නෑ. එයාලෑ කඩේ තිබුණේ අර විශාල පඩි පෙළ පටන් ගන්න තැන ඉඳන් තව ටිකක් පාරෙ උඩහට ගියාම. සීයා වෙන වැඩකට ගියා. අපි කඩේ අයියත් එක්ක කයියට එකතු වුණා.

"ආවා කියලා ආරංචි වුණා. ඒකයි ආවේ."

"ඔව්..අපි ඊයේ ආවේ.." උත්තර දුන්නේ අයියා.

අපි කතා කර කර ඉස්සරහාට ආවා. අයියයි කඩේ අයියයි ගේ ඉස්සරහා තිබුණු විශාල කළු ගල උඩ දෙපැත්තෙන් වාඩි වුණා. මම ළඟ තිබුණු පතොක් ගහක් කූරු ගහන්න ගත්තා. ගිය පාර නිවාඩුව ආපු වෙලේ කොටපු නම ලස්සනට මෝරලා උඩට මතුවෙලා තියනවා දැකලා මම පුදුම වුණා.

"ආව් අප්පා මේ බලන්නකෝ.. නම අපූරුවට මතු වෙලා." කඩේ අයියා, ඒක මහලොකු අමුත්තක් නෙමේ කියන විදිහේ හිනාවක් හිනා වුණා.

"එහෙම තමයි, පතොක් කොළවල මොනවා හරි ලියුවම මෝරනකොට ඔයවගේ මතු වෙනවා." කෝ‍ටු කෑල්ලක් කඩා ගත්තු මම අලුතෙන් නමයි, ඉස්කෝලෙයි, පන්තියයි කුරු‍ටු ගෑවා.

"මම ආවේ බට ගහක් කපාගන්න යන්නත් එක්ක. යමුද උඩහට?" කඩේ අයියා කිව්වේ අයියට.

"ඒ මොකට ද බට?"

"සරුංගලයක් හදන්න."

"නෑහ් මරුණෙ." ඒත් කොහෙද යවන්නේ? මෙහෙ පිට්ටනියක්වත් තියනව ද?"

"රෑනගල පුළුවන්."

"රෑනගල! එහෙ කොහොමද සරුංගල් යවන්නෙ? හැම තැනම බෑවුමනෙ? කොහොම ද නග්ග ගන්නේ?"

"නෑනෙ උඩහා කොටහා හෙණ තැන්නනෙ. ඔය සීනි පේර යායට උඩහින් මම කිව්වේ. අනිත් එක එතන හොඳට හුළං තියනවා. ඔයගොල්ලන්ගෙ පැත්තෙ වගේ සරුංගලේ අරන් දුවන්න ඕනා නෑ සරුංගලේ නග්ගන්න."

"එහෙනම් ජාතිනෙ. හදමු හදමු..." මම උඩ පැන්නා..

"කොහෙද ඒ ගමන් තුන්දෙනත් එක්ක යන්නේ" කිරිඅම්මා කෑ ගහලා ඇහුවේ අපි කුස්සියෙන් පිහියක් අරගෙන එළියට පනිනකොටම වගේ.

"අපි උඩහා යන්නේ කිරිඅම්මේ.. බට ගහක් කපන්න." උත්තර දුන්නේ කඩේ අයියා.

"කඩේ පුතේ.. මල්ලිලා දෙන්නව බලාගන්න. ඔහෙ සරපයොත් ඇති." අපි ඒකට උත්තර දෙන්න ගියේ නෑ. කිරිඅම්මත් උත්තරයක් බලාපොරොත්තු වුණේ නෑ මයෙ හිතේ.

හරක් ගාලා ගාවින් උඩට නැග්ග අපි තුන්දෙනා බට පඳුරක් හොයාගෙන ගියා. මේ හරිය සෑහෙන කැලෑවක්. අව්ව නොවැටෙන තරමටම ගස්වලින් වැහිලා. රස්නයක් ඇත්තෙම නැති තරම්. කලින් රබර් හිටවලා අතෑරලා දාලා කියලා පේන්ඩ තියනවා. තැනින් තැන තිබුණ කේඩෑරි රබර් ගස් ඒකට සක්කි. ගොරකා ගහක් ගව නැවතුණු කඩේ අයියා බිම වැටිලා තිබුණු ගොරක ගෙඩියක් අහුලගෙන පළලා මදේ අපිට දුන්නා. මම ඒ ගොරක මද කෑවමද කොහෙද. මාර රසක් ඒකෙ තියෙන්නෙ.

මෙහෙත් අනික් හැම තැනම වගේ කළු ගල් තමා. තැනින් තැන උඩට මතු වෙච්ච කළු ගල් අඩියෙන් අඩියට. අපි ආවා හරහට බැඳලා තිබුණු කළුගල් බැම්මක් ළඟට. එතන අතෑරලා දාපු පරණ ගේක අත්තිවාරම විතරක් ඉතුරු වෙලා තිබුණා. ඒ සීයලෑ කලින් ගේලු. බට පඳුර තිබුණේ ඒ කිට්‍ටුව. මම අහලා තිබුණේ බට පඳුරු තිබුණේ සාමාන්‍යයෙන් ගං ඉවුරු වල හරි වතුරට කිට්‍ටුව කියලා. ඒත් මේ පතුර පොදක් නැති කන්දක් උඩ බට පඳුරක් ! හරි පුදුමයි !

ගානට මෝරලා තිබුණු අඟලක් විතර මහත බට ගස් දෙකක් ‍තෝර ගත්තු කඩේ අයියා ඒවා මුලින්ම කපලා ඇදලා ගත්තා. ඒ ඇදිල්ලට අපිටත් එක් වෙන්න වුණේ උඩින් තිබුණ පටලැවිලි නිසා ඒවා තනියම ඇදලා ගන්න ඒක ලේසි පාසු වුණේ නැති හින්දා. ගස් දෙකම එළියට ඇද ගත්තට පස්සේ, කඩේ අයියා දෙපැත්තට බෙදිලා තිබුණු සිහින් අතු පිහියෙන් ‍රැහැලා දැම්මා. එකක් අඩි හයක් විතර දික්වුණු මේ බට ගස් දෙක අපේ වැඩේට ඕනෑවටත් වැඩියි.

ගෙදර ආපු අපි කෙළින්ම වැඩේට බැස්සා. කඩේ අයියා වැඩේට බොහොම දක්ෂ බව පෙනුණා. හීනි දිග බට පතුරු දෙකක් ‍රැහ ගත්තු කඩේ අයියා කුරුසයක් හැඩේට ඒ දෙක ගැට ගහලා තමා වැඩේ පටන් ගත්තේ. ඒයා හදන්න යන්නේ වව්ලෙක් කියලා මට තේරුණා. ඒක අඩි හතරක් විතර උසට හැදුණු අපූරු සරුංගලයක් වුණා. කඩේ අයියා දුවලා ගිහින් ඒ ගොල්ලන්ගෙ කඩෙන්ම ගෙනාපු සව්කොළ වලින් සැරසුවාම සරුංගලේ අපි හිතුවට වැඩිය බොහොම අලංකාර වුණා. හැබැයි පොඩි පරහක් තිබුණා. ඒ නූල් නැති කම. කඩේ අයියලෑ කඩේ නයිලෝන් නූල් තිබුනේ නෑ. ගන්නනම් මීරිගමටම යන්න වෙනවා.

"නැන්දට කිව්වොත්නම් ගෙන්න ගත්තෑකි."

"එහෙම වුණොත් ඉතින් හෙටත් බෑ අනිද්දා තමා යවන්න වෙන්නේ."

"කරන්න දෙයක් නෑ නේහ්! අපි එහෙම කරමු. තව දවස් දෙකක් ඉවසමු." කඩේ අයියා එහෙම කිව්වට මටනම් සරුංගලේ යවනකම් තිබුණේ පුදුම නොයිවසිල්ලක්.

එදා සෙනසුරාදා උදේ. ඊයේ නූල් පන්දුව හම්බුණු වේලේ ඉඳන් මේ වෙලාව එනකම් මට තිබුණෙ පුදුම දඩිබිඩියක්. මම හතර පස් වතාවක්වත් සරුංගලේ ගාවට ගිහින් බලන්න ඇති. සේරියා නුලෙන් එල්ලිලා පැද්දි පැද්දි, දෙපැත්තෙ ‍රැළි වන වන එයා හිටියේ අහසට විදින්න ලෑසිති කරලා තිබුණු රොකට් එකක් ඉන්නවා තරම් ආඩම්බරෙන්. අපි හිතුවටත් වැඩිය ලොකු නූල් පන්දුවක් නැන්දා ගෙනත් තිබුණා. ඒකෙන් මෙයාව තිත් කරන්න පුළුවන්. ආයෙ දෙකක් නෑ. මොකෝ කඩේ අයියා තාම පරක්කු ! අයියයි මමයි කාලා බීලා ලෑස්ති වෙලත් දැන් සෑහෙන වෙලාවක්. සීයා ‍රැනගල යන්න එනවද කියලා ඇහුවට අද සීයත් එක්ක රෑනගල යන්න ආසාවක් අපිට තිබුණේ නෑ.

"පොඩ්ඩක් පරක්කු වුණා. කඩේට හිර වුණානේ" කියාගෙන කඩේ අයියා හති දදා පඩි පෙළෙන් මතු වුණේ ඔය අස්සෙ තමා. එයා හති දාන දැමිල්ලෙන් පඩි පෙළේ දුවගෙන ඇවිත් කියලා හිතා ගන්න පුළුවන්.

"යමු එහෙනම්" කියලා ගෙට දුවගෙන ගිය මම සරුංගලේ එල්ලලා තිබුණ තැනින් ගලවගෙන ආවා.

"නැන්දේ ඒ ඒ ඒ .... අපි රෑනගල යනෝ ඕ ඕ ඕ......" කියලා කෑ ගැහුවේ කඩේ අයියමයි.

"කඩේ ළමයෝ මල්ලිලා දෙන්නව බලාගෙන. පතල් පැත්තට එහෙම යන්නෑ.."

" නැ නෑ අපි උඩහට යන්නේ සරුංගල් අරින්න.."



සරුංගලේ ගෙනියන වැඩේ කඩේ අයියම භාර ගත්තා. එයා පුරුදු කාරයා හින්දා. අපි ඔය කඳු, ගල් අස්සේ සරුංගලෙත් එක්කම ඇදගෙන වැ‍ටුනොත් ඔක්කොම හබක් ! අපි විනාඩි පහළොවක් විස්සක් විතර හීනි අඩි පාරවල් අස්සෙන්, කලු ගල් උඩින්, කැලෑ ඇතුළෙන් බඩ ගාලා රෑනගල උඩම කොටසෙන් මතු වුණා. මම මීට කලින් කවදාවත් මේ හරියට ඇවිල්ලා තිබුණ බවක් මට මතක නෑ. මේ හරිය රෑනගල අනිත් පැති වගේ බෑවුම නෑ. තැන්න. මෙහෙ පොල් ගස් එහෙම තිබුණෙත් නෑ. අනිත් හැම තැනකම වගේ මෙහෙත් පොළවෙන් මතු වුණ කළුගල් වලින් නම් අඩුවක් තිබුණෙ නෑ. කලු ගල් නැති හැම තැනකම වගේ පොළව වහගෙන තිබුණෙ බොහොම සනීපදායක තණකොළ වලින්. ඒක හින්දා තැනින් තැන තණකොළ කකා හිටිය හරක්ගෙන් අඩුවක් වුණෙත් නෑ. ඒ එකෙක්වත් සීයලෑ උන් නම් නෙමේ කියලා දැන් මට කිව්වෑකි.

අපි එනකොට තව තුන්දෙනෙක් එතන හිටියා සරුංගලයක් එක්ක. බැලූ බැල්මට කියන්න පුළුවනේ ඒ අය අපිට වැඩිය ලොකු අය කියලා. ඒ කට්ටියව දැකපු කඩේ අයියගෙ මූණ ඇද වුණා. ඒගොල්ලන්ව දකින්න කඩේ අයියා එච්චර සතු‍ටුවුණේ නෑ කියලා අපි දෙන්නටම තරුණා.

"අපෝ..විමලසිරියා..." කඩේ අයියා අපිට විතරක් ඇහෙන්නයි කෙදිරුවේ.

"ඇයි මිනිහා ප්‍රශ්නයක් ද?"

"ඔය යකා නාහෙට අහන්නැති චණ්ඩියෙක්. වැඩි කතා වලට යන්න එපා."

"අපිව අදුනන්නෑනෙ. ඒක හින්දා කතාවට එන එකක් නෑ."

"ඔය යකාට අදුනන්න ඕනා නෑ."

විමලසිරි කියපු කෙනා තවත් දෙන්නෙක් එක්ක සරුංගලයක් යවන්න මාර විදිහට ඔට්‍ටු වෙවී හිටියේ. ඒක මොණරෙක්. කොච්චර දැගලුවත් ඒක හරියට උඩ ගියේ නෑ. පොඩ්ඩක් උඩ ගිහින් වටයක් කැරකිලා කූරියා ගහලා ඤොක්හ් ගාලා හොට බිම ඇනුණා. සරුංගලේ ගාවට දුවලා ගිය විමලසිරි ඒක අතර අරන් එක පැත්තක ‍රැළි කඩලා සේරියා නූලෙන් උස්සලා බැලන්ස් කරනවා අපි බලාගෙන. අනුන්ගෙ සරුංගල් ගැන වද වෙන එක අතෑරල අපි, අපි ආපු වැඩෙට බැස්සා. නූල් පන්දුව එළියට ගත්තු කඩේ අයියා එකේ කොන සේරියා නූලෙ හරිම තැනින් ගැට ගැහුවා. ඊට පස්සේ නූලෙන් උස්සලා බැලන්ස් බැලුවා. සරුංගලේ ආපු හුළගින් වරල් ගගහා උඩ යන්න පොර බද බද හිටියේ. මෙතන සරුංගල් යවන්න කියාපු තැන . ඒ තරමට හුළං. කඩේ අයියා හරි. අපේ පැත්තෙදි කරනවා වගේ සරුංගලේ අරන් ටික දුරක් දුවන්න ඕනා නෑ නග්ගන්න. සරුංගලේ උඩට කරලා අල්ලපු කඩේ අයියා ටික ටික නූල නිදහස් කළා. අපේ බලාපොරොත්තු කඩ නොකර එයා ටික ටික උඩ ගියේ දවස් දෙකක් හිර කරන් හිටපු එකට නෝක්කාඩු කියන්න වගේ හොඳටම ‍රැළි ගහ ගහ. ඒක හරි අපූරු සරුංගලයක්. කිසිම කූරියා ගැහිල්ලක් නැතුව කෙළින්ම උඩටම උඩටම උඩටම එයා ගියා. සරුංගලේ අන්තිමට අපිට පෙනුණෙ බොහොම පොඩියට. සරුංගල් භාෂාවෙන් කිව්වොත් එයා "තිත්" වෙලා. ටිකක් වෙලා නූල තියන් හිටපු කඩේ අයියා අපේ අයියට දුන්නා. ඊට පස්සෙ මම. ඔය විදිහට අපි වට කීපයක්ම මාරුවෙන් මරුවට සරුංගලේ ඇරියා.සරුංගලේ පහතට එනකොට නූල ටිකක් එක දිගට ඇද්දම එයා ආපහු ආපහු උඩට නගින්නේ කියන දේ අහන දරුවෙක් වගේ. ඉඳලා හිටලා අපි පොඩි නෙත්තියක් ඇරියම එයා පොඩි නැටිල්ලක් නටලා පෙන්නුවා. ඊට පස්සේ ළඟ තිබුණු පඳුරක සරුංගලේ නූල ගැට ගහපු අපි තුන්දෙනා ඒ ළඟින්ම වාඩි වෙලා සරුංගලේ දිහා බලාගෙන හිටියා. කඩේ අයියා ගෙනත් තිබුණ සව් කොළ ‍රැල්ලක් නූලෙ ගැන ගහලා පොඩ්ඩක් නූල ගැස්සුවම ඒක ටික ටික නූල දිගේ උඩට නගින්න ගත්තා. ඒකත් මරු වැඩේ. අපිට ඒ විදිහට ඕන්නම් සරුංගලේට පණිවිඩයක් හරි යවන්න තිබුණා. 

විමලසිරියි එයාගෙ යාළුවො දෙන්නයි සරුංගලේ උඩට ගත්තේ බොහොම දගලලා. ඒක මහ කමකට නැති සරුංගලයක්. හරියට හැදුවේ නැති වුණාම ඔහොම වෙනවා. ඒ ගොල්ලන්ගේ සරුංගලේ කූරිය නොගහා තියාගන්න ඒ ගොල්ලො මාර වෙහෙසක් ගත්තා. ඒක බොහෝවෙලාවට උඩට යනවට වැඩිය එක තැන කැරකුණා. ඔය විදිහට ඒගොල්ලො අකීකරු පුත්‍රයත් එක්ක හරියට ඔට්‍ටු වුණා. ඒක අපේ එක ගියායින් භාගයක්වත් උඩ ගිහින් නෑ. බොහොම පැහැදිලව සරුංගලේ ‍රැලි හිටන් අපිට පෙනුණා. ඔය අතරෙ තමා විමලසිරි එයාගෙ සරුංගලේ නූල යාළුවෙකුට දීල අපේ පැත්තට ආවේ.

"හොඳට උඩ ගියා නේද ? මමත් ටිකක් අරන් බලන්න ද?" ඒ විමලසිරි. කඩේ අයියා අපි දිහා බැලුවා මිසක් මුකුත් කිව්වේ නෑ. විමලසිරි බලෙන්ම වගේ පඳුරේ ගැට ගහලා තිබුණ නූල උඩින් අල්ලගෙන සරුංගලේට විධාන දෙන්න ගත්තා. කඩේ අයියා මුකුත්ම නොකියන එකෙන් එයත් විමලසිරිට කොච්චර බයද කියලා තේරුණා.

"අපේ එකත් මරු සරුංගලේ අද හුළඟ ටිකක් හරි මදි වගේ. ඊයේ අපි ඇරියා තිත් වෙන්න." විමලසිරි බලෙන්ම එයාගේ පම්පෝරිය ගහනවා. අපි හූමිටිවත් නොතියා අහගෙන ඉන්නවා. අපිට තිබුණ බය මේ යකා මේක ආයෙ අපිට නොදෙයි ද කියන එක. ටික වෙලාවක් අපේ සරුංගලේ එල්ලිලා හිටපු විමලසිරි ආපහු ඒ ගොල්ලන්ගෙ සරුංගලේ ගාවට ගියා. අපි තුන්දෙනාම සැනසුම් සුසුම් දැම්මේ එකටම වගේ. මෙතන වැඩි වෙලා ඉන්න එක එච්චර සුබ්දායක නැති බව තේරුණ හින්දා අපි සරුංගලේ බාගන්න පටන් ගත්තා.

හඳට ගිහින් ආපු නීල් ආම්ස්ට්‍රෝං වගේ අඩම්බරෙන් සරුංගලේ අපේ අතට ආවා. විමලසිරිලෑ කට්ටිය ක‍ටුකු‍ටු ගානවා දැක්කත් අපි එච්චර ඒක ගණන් ගත්තේ නෑ. සරුංගලේ අතට අරන් අපි පිටත් වෙන්න යනකොටම;

"මල්ලිලා පොඩ්ඩක් ඔහොම ඉන්නවලා.." කියලා විමලසිරි කෑ ගහනවා අපිට ඇහුණා. මොකක් හරි නරකක් වෙන්න යන බවනම් අපි තුන්දෙනාටම ඉවෙන් වගේ දැනුණා. අපේ ළඟට ආපු විමලසිරි කොහෙන්ද ඇදලා ගත්තු රුපියල් පහක් දික් කරලා කිව්වා "මම ඔය සරුංගලේ ගන්නවා" කියලා.

"ගන්න අපි විකුණන්නෑනෙ." මම කිව්වා නෙමේ කියවුණා. කඩේ අයියා බය වෙලා වගේ මම දිහා බලනවත්, විමලසිරි මම දිහා බලලා ඔරවනවත් සිද්ධ වුණේ එකටම වගේ.

"මේකනම් දෙන්න බෑ විමලසිරි, අපි ඕන්නම් ඔයාට මේ වගේ වෙන එකක් හදලා දෙන්නම්." කඩේ අයියා කිව්වා.

"මට වෙන ඒවා ඕනා නෑ. මගෙ හිත වෙනස් වෙන්න කලින් මේ රුපියල් පහ අරගෙන මට ඕක දෙනවා. නැත්නම් අන්තිමට උඹලට සල්ලිත් නැතිවෙන්න පුළුවන්."

"හහ් එහෙම කොහොමද තමුසෙ එහෙම ගන්නෙ. යකෝ මෙක මාර වැඩක්නෙ. පුළුවන්නම් අරගෙන බලනවා." හිතන ඒවා ඇහෙන්නැති එක කොච්චර ලොකු දෙයක් ද ? නැත්නම් සමහර විට මම මිනිරක් පතලක් යට ඉන්න තිබුණා. කඩේ අයියා මූණ ඈඹුල් කරගෙන සේරියා නූලෙන් නුල් පංදුව ගලවලා විමලසිරිට සරුංගලේ දෙනවා අපි දෙන්නා බලන් හිටියේ බොහොම දුකෙන්. අපි රුපියල් පහත් අරගෙන නුල් පන්දුව විතරක් අතේ ඇතුව ආපහු එන්න පිටත් වුණේ අපේ සරුංගලේ බලෙන් මිලට අරන් උජාරුවෙන් යන විමලසිරියා දිහා දත්මිටි කකා ටිකක් වෙලා බලන් ඉඳලා. ඒ මොහොත ඇතුළත මම කීපාරක් විමලසිරියට හිතෙන් බිම පෙරලගෙන ගැහුවද කියලා මටවත් මතක නෑ. මට ඒතරම් කේන්තියි. ඒත් ඉතින් මොනවා කියලා කරන්න ද ?

" කමක් නෑහ්.. මම ආයෙ එකක් හදන්නම් ඔයිට වැඩිය හොඳට. මේ වෙච්ච දේ සීයලාට කියන්න ඕනා නෑ. ඇහුවොත් කඩන් ගියා කියමු." සීනි පේර පඳුරු අස්සෙන් පල්ලම් බහින ගමන් කඩේ අයියා කිව්වා.

ලියුවේ;
සෙන්නා / 10.05.2017

අන්තිමට බෝතලේ කතාවක් ලියලා තියෙන්නේ 2013 මැයි මාසෙ කියලා දැක්කේ මේක ලියන්න කලින් ඒක පොඩ්ඩක් බලන්න ගිය වෙලාවේ. මට මතක අද ඊයේ වගේ. ඒත් අවුරුදු හතරක් ගෙවිලා නොදැනිම. කාලය යන වේගෙ ! කිහිප වරක් බෝතලේ කතා ගැන මතක් කරපු රංගි හෙවත් බූරු බබාට විශේෂයෙන්ම ස්තූතියි.

Saturday, April 29, 2017

සුබ ගමන් විචාරක !




29.04.2017


ලෝක ධර්මතාවයන් පිළිබඳ දැනූම මිස, අවබෝධය නොමැති නිසා ඔබේ වියෝව පිළිබඳ ආරංචිය මගේ හිත සසල කළා.

වසර පහක් පුරා දුන් දිරියට, දැනුමට බොහෝම පිං !

සුබ ගමන් විචාරක !! 


සෙන්නා / 29.04.2017




සහෘද්ද බ්ලොග් රචක විචාරක මහතාගේ වියෝව හේතුවෙන් අදට නියමිතව තිබූ "එබෝලා රෝගියා" සයවන කොටස පළ නොවන බව කරුණාවෙන් සලකන්න. 

Monday, April 17, 2017

ඡන්දය හා මකුළුවා


ඡායාරූපය : අප්‍රියල් 16 දින සෙන්නා විසිනි.

Monday, February 27, 2017

වාරි මැවිසුරන්....






උතුරු-දකුණු දිශානතිව පිහිටා ඇති දිගැටි ඉඩමෙකි. දිගින් යාර සියයක් පමණ ඇති මෙම ඉඩම, පළලින් යාර තිහක් හෝ හතළිහක් වනු ඇත. මෙය, එකිනෙකට සමාන්තරව, එකිනෙකට යාව පිහිටා තිබූ ඒ ආකාරයේ ඉඩම් හතරකින් එකකි. මතු සඳහන් ඉඩමෙහි සිට උතුරු දෙසට මුහුණ ලූ විට, දකුණු පසින් එක් ඉඩමක් ද, වම් පසින් තවත් ඉඩම් දෙකක් ද වන ආකාරයෙන් මෙම ඉඩම් පිහිටා තිබුණි. කොස්, දෙල්, පොල්, කිතුල්, මිල්ල, කජු, අඹ ආදි ශාකයන්ගෙන් මෙම ඉඩම් වැසී තිබූ අතර තැනින් තැන පැතිරුණු වෙනත් ගස් වැල් මගින් මනා සමබරතාවයක් රඳවාගෙන තිබිණි. ඉඩම් සතරෙහිම දකුණු කොටසට වන්නට ඒවායෙහි හිමිකරුවන් විසූ නිවාස පිහිටා තිබිණි.

මෙම ඉඩම් කැබලි සතර උතුරින් සහ නැගෙනහිරින් සම්පූර්ණයෙන්ම වට වී තිබුණේ "කුරුන්ද" යැයි ව්‍යවහාරයේ පැවතුණු කුරුඳු වත්තකිනි. සැබවින්ම මෙය කුරුඳු වත්තක් නොව කුරුඳු කැලෑවෙකි. එහි වූ අඹ, දං, කජු, දවට, වල් ඇහැල ආදී නානාප්‍රකාර ශාකයන් අසීමාන්තිකව වත්ත වසා පැතිර තිබුණේ එහි ප්‍රධාන බෝගය වූ කුරුඳු වගාව යටි වගාවක් බවට පත් කරවමිනි. සැබවින්ම එම කුරුඳු වත්ත, හිමිකරුවන්ගෙන් නිසි සැලකුම් නොලැබූ බැවින්, ස්වභාවධර්මයා සිය ග්‍රහණයට ගෙන එහි තමනට අවැසි පරිදි නෙක නෙක රූ රටා මවමින් සිටියාය. මෙම කැලෑව, අවට ප්‍රදේශයම සිහිල් කිරීමෙහි ලා දැක්වූයේ ඉමහත් දායකත්වයෙකි. තවද, මෙම කැලෑවට එහි වූ පලතුරු උදෙසා ඇදී ආ කුරුලු ගහණය නිසා තදාසන්න ප්‍රදේශය සෑම විටම පාහේ ඉමිහිරි කුරුලු කූජනයකින් සංගීතවත්ව පැවතුණි. 

පෙර සඳහන් ඉඩම් සහ මෙම කැලෑව අතර වූ සම්බන්ධය බිඳ දමා තිබුණේ, නැගෙනහිර මායිමේ මධ්‍යකින් ඇරඹී උතුරු දෙසට ගලා ගොස් ඉන් අනතුරුව වමට හැරී බස්නාහිර බලා ගලා ගිය දිය අගලකිණි. මෙය අඩි තුනක් හෝ හතරක් පමණ පළලකින් යුක්ත වූ දිය අගලක් වූ අතර බොහෝ ස්ථානයන් හී දී අඩියක් තරමේවත් ජල මට්ටමක් නොවුණි. එහෙත් සමහර ස්ථානයන් හීදී ඉවුරු අතර පරතරය වැඩි කරගන්නා ඇය එම ස්ථානයන්හීදීම සිය ගැඹුර ද වැඩි කරගෙන තිබුණාය. අගලෙහි, කුරුන්ද දෙසින් වූ ඉවුර, වල් ඇහැල, වල් දෙල්, දවට ආදී ගස් වර්ගයන්ගෙන් වැසී අගලට මනා සිසිලසක් එකතු කර තිබුණු අතර අනෙක් ඉවර වැඩි වශයෙන් ආවරණය වී තිබුණේ ඉතා ළඟින් පිහිටි පුවක් ගස් වලිනි. මෙම තත්ත්වය ඉඩම් සතරටම පොදු වූ අතර එම පුවක් වගාව මිනිස් නිර්මාණයක් ද, ස්වභාවධර්මයාගේ නිර්මාණයක් දැයි පැවසීමට උගහටය. මෙම දිය අගල නානාප්‍රකර මසුන්ගෙන් ද හිඟ නොවූ අතර තිත්තයන්, කණයන්, දණ්ඩින්, ලූලන්, හුන්ගන් ආදි මත්ස්‍යයන් ද, කුඩා කක්කුට්ටන් ද, වැහි කාලයට උඩු ගං බලා පීනන මගුරන් ද සුලභ දසුන් ය. මෙම මසුන්ට නිවහන වූ මෙම අගල, සෘතු භේදයකින් තොරව වසර පුරාම ගලා ගිය දිය අගලෙකි. වර්ෂා කාලයට, ඇය ගැබ්බර ළඳක් මෙන් මදක් පිම්බී, ආඩම්බරයෙන් ගලා ගියාය.

මතු, මුලින්ම සඳහන් ඉඩම අපි "නාන ලිඳ වත්ත" යයි නම් කරමු. ඒ, අනෙක් ඉඩම් තුනෙහිම නොවූ විශේෂ ලක්ෂණයක් වූ නාන ළිඳක් මෙහි පිහිටා තිබූ බැවිනි. සැබවින්ම එය, එහි හිමිකරුවන් විසින් තැනවූ, චතුරස්‍රාකාර නාන ළිඳකි.. එහි බැම්ම පොළව මට්ටම පරයා නොගියේය. ලිං කඩිත්ත පිහිටා තිබුණේ පොළව මට්ටමේ සිට අඩි දෙකක් පමණ පහතිනි. එයද ලිං බැම්මේම දිගුවක් වූ බැම්මකින් වට වී තිබූ අතර එක් මුල්ලකින් නාන ජලය බැස යාම සඳහා වූ විවරයෙකි. එයින් පිට වෙන ජලය ගලා ගොස් එකතු වූයේ පෙර කියවුණු දිය අගලටය...වර්ෂා කාලයට මෙම ලි‍ඳෙන් නෑම සඳහා බාල්දියක් පමණක් ප්‍රමාණවත් වූ අතර තදබල වියළි කාලයක දී වුවද අවැසි වන කඹයේ දිග යාරයකට අඩු මිස වැඩි නම් නොවේ.

ඒ අගෝස්තුවේ පාසල් නිවාඩුවයි. ළමයින්ට දඩි බිඩියේ මූණ කට හෝදාගෙන ආපසු දිවීමේ හදිස්සියක් නොමැත. නාන ළිද වත්තේ ළමුන් කොහොමත් උදෑසන පිරිසිඳු වීම සඳහා වත්ත පහළ වූ නාන ළිඳ වෙත එති. එයට වමෙන් පිහිටි අනෙක් වත්තේ ළමුන් ද දත් මදිමින් වත්ත පහළට ඒම සාමාන්‍ය සිරිතකි. අගල් කණ්ඩියේ එක පෙළට සිට ගන්නා ඔවුන්, දත් මදිමින් අගලට කෙළ ගසති. එවිට තමන්ට කෑමක් ලැබුණේ යැයි සලකා ඇදී එන තිත්තයන් රෑන මනහර දසුනෙකි.

අගලෙහි වසන මසුන් විශේෂයෙන් කණයන් ළමුන්ගේ මාළු බෑමෙහි ගොදුරු වූහ. මේ මාළු බෑම, ඇති කිරීම සඳහා මිස මැරීම පිණිස නොවුණේය. කිතුල් පිත්තක ගැට ගැසූ නයිලොන් නූලක් කෙළවර දැවටූ, දෙකට නැවූ හර්නෙල් කට්ටක් වැසී යන පරිදි, අගල් කණ්ඩියම හාරා මතු කරගන්නා ගැඩවිලකු දෙකට කඩා ගැසීමෙන් සකසා ගන්නා ඇම, අගලට දමා ටික වේලාවක් සිටින කල්හී එයට කෙටීම අනිවාර්යයෙන් සිදු වන දෙයකි. විටෙක ඇම කඩාගෙන යාමට තරම් මසුන් දක්ෂයන් වන නමුදු සමහර අවස්ථාවන් හී මෝඩ කණයෙකු කරමල් පසාරු වී යන ලෙස ඇමෙහි දැවටී ගොඩ ගනු ලබන්නේය. සීරුවෙන් ඇමෙන් ගලවනු ලබන මාළුවා ඔවුන්ගේ මාළු ටැංකිය වූ නාන ළිඳට දමනු ලැබෙයි. මෙසේ අල්ලා දැමුණු මසුන් දහ දෙනෙකු පමණ නිතරම ළිදෙහි ඔබ මොබ පිහිනනු දැකිය හැකි වේ.

අසේල, අගල් කණ්ඩියට වී තනියම දත් මදිමින් සිටි නමුදු ඔහුගේ සිත අගලෙහි සැරි සැරූ මසුන්ගේ රංගනයට හා කුරුන්දෙහි කරච්චල් කළ දෙමලිච්චන් රෑනෙහි සංගීතය දෙසට වරින් වර යොමු විය. අසේලලා ගේ කුකුළු රෑන ළිදෙන් වතුර බැස යන කාණුව අවුස්සා පණුවන් අහුලමින් සිටි අතර ඔහුගේ අවධානය විටින් විට කුකුළන්ගේ කා කොට ගැනීම වෙත ද යොමු විය. සැබවින්ම ඔහු මේ මොහොතේදී සොබා සිරියෙහි අතරමංව දත් වලට බුරුසුවෙන් අනිමින් සිටියේය. මද වේලාවකට පසු බුරුසුව කටේ ගසාගෙන පැමිණි අසල්වැසි නිවසේ නාලක ද ඔහු හා එකතු විය. ඔවුන් දෙදෙනා ගේ සාකච්ඡාවට විවිධ දේ මාතෘකා වූ අතර නිවාඩු සමය හෙයින් ආපසු දිවීමේ හදිසියක් ඔවුන් දෙදෙනාටම නොවුණි. කුසෙහි පණුවන් උද්ඝෝෂණය කරණ තෙක් ඔවුන් මෙහි ‍රැදෙනු ඇත. මේ වේලෙහි, අගල ඔස්සේ, කුරුන්ද දෙසින් වැටී ඇති අඩි පාර දිගෙහි රෙදි පොට්ටනියක් හිස තබාගත් ඩෝබි මාමා ගමන් කරනු ඔවුන්ගේ නිරීක්ෂණයට හසු විය. අසේල නිතර ඩෝබි මාමා ගේ මෙම ගමන දැක තිබුණු නමුදු ඔහු යන්නේ කොහිදැයි යන්න අසේලට සැමදා ගැටළුවක්ම විය.

"එයා කොහෙ ද ඒ යන්නේ, හැමදාම?" පැනය අසේලගෙන් නාලකටය.

"ඇයි දන්නැද් ද ඔහොම ටිකක් පහළට යනකොට මේ අගල එක තැනක ලොකු වළක් වගේ වෙලා තියනවා. එතන සෑහෙන ගැබුරයි මම හිතන්නේ. එයා රෙදි හෝදන්නේ ඒ වළේ තමා."

"එහෙම ද ? මම කවදාවත් එච්චර එහාට ගිහින් නෑ."

තවත් අඩ හෝරාවක් පමණ ඔවුන් විවිධ දේ සාකච්ඡා කරමින්, සොබාදහම රස විඳිමින් එහි ගත කරන්නට ඇත. හදිසියේම අසේලගේ සිතෙහි විදුලියක් සේ ක්ෂණික අදහසක් පහළ විය.

"අපි වැඩක් කර්මු ද?"

"ඒ මොකක් ද ?"

"වේල්ලක් බඳිමු!"

නාලකගේ දෑස් ඈයි ගියේය. මොහොතක් මවිතව අසේල දෙස බලා සිටි ඔහුගේ මුවෙහි ඊළඟ නිමේෂයේ සිහින් සිනා ඉරක් ඇඳි ගියේය.

"ඒකනම් මරු වැඩෙ.. ඒත් කොහෙද කරන්නේ ?"

"මම හිතන්නේ මෙතන තමා හොඳම තැන. මෙතන අගල ප‍ටුයි. අපිට වැඩේ ලේසියි එතකොට."

"කොහොමද වතුර නවත්වන්නේ?"

"ඉස්සෙල්ලා මෙහෙම ලී දඬු පේළියයි, අඩියක් විතර පල්ලෙහයින් තව දඬු පේලියයි හිටවනවා.. ළඟින් ළඟින් හිටවන්න ඕනා. ඊට පස්සෙ පට පට ගාලා පස් පුරවන්න ඕනා. ඕන්නම් පල්ලෙහා දඬු පේළියට පිටින් ගඩොල් පේළියක් අතුරමු පස් හෝදන් යන එක නවත්වන්න."

"පුළුවන් වෙයිද?"

"පුළුවන්, පුළුවන්.. මම දවසක් පොඩියට කළා. ටිකක් වෙලා අල්ලල හිටිය."

"හරි කරල බලමු.. එහෙනම් ටාර් ගාල ගිහින් කාල එමු."

කටට දෙකට හීලට වගකියූ ඔවුන් දෙදෙනා අඩ හෝරාවක් යාමටත් මත්තෙන් මන්නා පිහි, මිටි, උදලු සමඟ අගල් කණ්ඩියෙහි පෙනි සිටියෝය. අනතුරුව කුරුන්දට පැන වල් ඈහැල හා දවට ගස් වලට බඩ ගා ගත් ඔවුන්, තමන්ගේ කාර්යයට සෑහෙන ප්‍රමාණයේ ලී දඬු අවැසි පමණට කපා ගත්හ. එක් මට්ටමකට කපා ගත් ලී දඬුවල එක් කෙළවරක් තියුණුව උල්කර ගත්හ. ඉන්පසු අගලෙහි ප‍ටුම ස්ථානය ලෙස ඔවුන් ‍තෝරා ගත් ස්ථානයෙහි, අගල හරහා එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා විහිදී යන පරිදි ලී දඬු සිට වූහ. අඩියක් පමණ පහළට වන්නට එම ලී දඩු පෙළියට සමන්තරව විහිදී ගිය තවත් ලී දඬු පේළියකි. එම දෙවන පේළියට පිටින් එක පෙළට ගොඩ ගැසූ ගඩොල් බැම්මක් මගින් සවිමත් කළ වෙරගැන්වුමකි. අගල මධ්‍යයෙහි දඬු සිට වීම පහසු වුවද, ඉවුරු වලදී එම කාර්යය ඉතා අපහසු වුණි. ඉවුරේ දෙපස වූ ශාකයන්ගේ මුල් පසාරු වී යන ලෙස දඬු සි‍ටු වීමට තරමක වෙහෙසක් දැරීමට ඔවුන්ට සිදු වූහ. එහෙත් ගලායන සිසිල් ජලයෙහි බැස මෙම කාරියෙහී නිරත වීම ඔවුනට සැබෑම නවුම් අත්දැකීමක් විය.

තම ගමන නැවැත්වීමට කාහටවත් නොහැකියයි අඟවන්නාක් මෙන්, දිය පහර, ලී දඬු අතරින් වූ හිඩැස් තුළින් රිංගා ගියේය. ගඩොල් පේළිය යම් ප්‍රතිරෝධයක් දැක්වුව ද ජල පහර සම්පූර්ණයෙන් නැවැත් වීමෙහි ලා අපොහොසත් වූයේය. දැන් සියල්ල සූදානම්ය. අපහසුම කාර්යය ඇත්තේ දැන්ය.

නාන ළිඳ වත්තෙහි, අගල ආසන්නයට වන්නට කැපූ වල් දෙකකින් වේල්ලට පස් පිරවීම ඔවුන් ආරම්භ කළහ. වළෙන් කපා ගන්නා පස් පිඩැලි උදැල්ලෙන්ම වේල්ල වෙත විසි කරනු ලැබූහ. පළමු පස් පිඩැල්ල වහා දිය කර හැරීමට ජල පහර සමත් විය. ඒක්ෂණයෙන් පතිත වූ දෙවැනි පස් පිඩැල්ල අඩක් පමණ ද, තෙවැනි පස් පිඩැල්ල එයිනුත් අඩක් ආ දි වශයෙන් දිය වී යාමේ වේගය අඩුව ගොස් අවසානයේදී ජල පහර, ළමුන් ගේ ධෛර්යය ඉදිරියේ යටත් වූවා ය. වතුර ගලා යාම නතර වුණේය. එහෙත් සිය කාර්යයෙහි දිගටම නිරත වූ ළමුන්, නොකඩවා වේල්ල පිරවීමෙහි යෙදී සිටියහ. අඩියක් පමණ පස් පිර වූ ඔවුන් දෙදෙන හති ඇරීමට වන්හ.

පිර වූ පස් තට්‍ටුව උදලු මගින් තලා පහතට තෙරපා නැවතත් පස් පිර වීම ඇරඹූ ඔවුන් වේල්ල සම්පූර්ණයෙන්ම පස් වලින් වැසී, පිරී යන තෙක් මෙම කාර්යයෙහි නොකඩවා නිරත වූහ. දෙ හෝරාවක් පමණ වන විට, අඩි තුනක් පමණ දික් වූ, අඩියක් පමණ පළල, අඩි හතරක් පමණ උස් වූ පස් වලින් නිර්මිත අපූරු වේල්ලකින් අගලෙහි දිය පහර කපා හැරීමට මේ මැවිසුරුවන් දෙදෙනා සමත් වූහ. එය ඔහුනට ඔබ මොබ ඇවිද යා හැකි තරමින් සවි ශක්තියෙන් යුක්ත වූ වේල්ලකි. ඉතා සුලු ජල කාන්දුවක් තිබුණ ද එය සැලකිය හැකි තත්ත්වයේ නොවුණි. වේල්ලෙන් ඉහළ ජලය පිරෙනවා ඔවුන් බලා සිටියේ ආසාවෙනි. වේල්ලෙන් පහළ ජලය නැතිව වියලී යමින් තිබිණි. සිය සුපුරුදු ගමන් මාර්ගයෙහි ඉදිව ඇති මේ මහා බාධකයට විරෝධය පෑමට මෙන් වරින් වර එහි පැමිණි තිත්තයන් ‍රැල වේල්ලෙහි දඩු වලට කොටා ආපසු හැරී යන්නට වූහ.

සිය කාර්යයෙහි සාර්ථකත්වය විමසමින් තවත් වෙලාවක් එහි ‍රැදුණු ඔවුන් දෙදෙනා, සිය ආම්පන්න ද ‍රැගෙන නිවෙස් බලා ඇදුණේ නැවත වරින් වර පැමිණ තත්ත්ව සමාලෝචනයක යේදීමේ අරමුණ ඇතිවය. මේ මහා වාරි නිර්මාණය බොහෝ වේලාවක් අන් අයට රහසක්ව නොපැවතුණි. මොවුන් දෙදෙනා වරින් වර වත්ත පහළ ගොස් සිදු කරනා කාර්යය කුමක් දැයි අවධානයෙන් සිටි අසේලගේ සොයුරියක් එහි පැමිණ, එය නරඹා ඒ වෙගයෙන්ම නැවත දිව ගියේ කේලම මවගේ කනේ තැබීමටය.

"අම්මේ අන්න අයියලා අගල වහලා " යි ඇය කෑ ගැසූ බැවින් එය ඇසු අනිත් ළමෝද කුතුහලය සංසිදුවා ගැනීම උදෙසා එහි දිව ගියහ. මැවිසුරන් දෙදෙනා ආඩම්බරය මුසු ගර්වයකින් පිම්බී සිටියහ. "මේ මොකක් ද?" "මොකක් ද කරන්න යන්නේ? " ආදී එල්ල වූ දහසක් පැනයන්ට උඩින් පල්ලෙන් උත්තර ලැබුණේ එහෙයිනි. ළමෝ වේල්ල හරහා ඔබ මොබ ගමන් කිරීම උදෙසා උත්සුක වුව ද, එහි ආරක්ෂාව සලකා මැවිසුරන් විසින් එය තහනම් කරණ ලදී.

+++++

කුතුහලයෙන් මඩිනා ලද ඔවුන් දෙදෙනා පසු දින හිමිදිරියේම වේල්ල අසල පෙනී සිටිනු දක්නා හැකි විය. වේල්ලෙන් අඩකට මදක් අඩුවෙන්  වූ උසට ජලය පිරී තිබිණි. වේල්ලෙන් ඉහළ වූ මසුන් වැඩි වූ ජල තලයේ ප්‍රීතියෙන් එහා මෙහා පිහිනමින් සිටිනු දැකිය හැකි වුව ද වේල්ලෙන් පහළ තත්ත්වය ශෝචනීය විය. එය බොහෝ දුරට වියලී තිබූ අතර, අතරින් පතර වතුර ‍රැඳී තිබූ කුඩා වළවල් වල ‍රැදී සිටි මසුන් උඩ පනිමින් සිටියහ.

"අප්පා අරුන්ව මැරෙයි නේ..!" යි තමන්ටම දොස් පවරා ගන්නා ස්වරයෙන් අසේල පැවසීය. මෙය ඔවුන් විසින් එතරම් අවධානය යොමු නොකළ තත්ත්වයකි.

"අල්ලලා මෙහෙට දාමු ද එහෙනම් ?"

" හා එහෙමවත් කරමු" යි කියමින් ඔවුහූ වහා ක්‍රියාත්මක වූහ. ලොකු බේසමක් හා කුඩා බේසමක් ගෙනා ඔවුන්, කුඩා බේසමෙන් වල් වල ‍රැඳී සිටි මසුන් අල්ලා ලොකු බේසමට දමාගෙන පැමිණ, වේල්ලෙන් ඉහළ තටාකයට දැමීය. එවිට මසුන් ප්‍රීතියෙන් පිහිනා යනු දැක ඔවුන් සැනසුම් සුසුම් හෙළූහ. එහෙත් මෙම අගල තවත් බොහෝ දුරට ගලා යනවා ඇත. ඒ සියලු දුරෙහි ‍රැඳී සිටිනා මසුන් අල්ලා මෙහි ගෙන ඒම ප්‍රායෝගික ක්‍රියාවක් නොවුණි. අවසානයේ දී, මසුන් ජලය නොමැති වූ විට මඩ අතර සැඟව දිවි ‍රැක ගන්නා බවට නාලක විසින් ගෙනා තර්කය, අසේල විසින් ඒකමතිකව ස්ථීර කිරීම නිසා ඔවුන් පසුතැවීම අත්හැර දමා, පිරී සිටි ජල තටාකයේ සතුටින් පිහිනමින් සිටි මසුන් දැක ප්‍රීති වීම ඇරඹූහ.

ඩෝබි මාමා සිය සුපුරුදු කාර්යය උදෙසා මෙවෙලෙහි එතනින් ගමන් කරමින් සිටියේය. සිදු වී ඇති විපර්යාසය ඔහුගේ ඇස ගැ‍ටුණේ නිතැතිනි.

"ඔය මොකක්ද ඔය ළමයි කරන්නේ ?" ළමෝ උත්තර නොදී ඔහුගේ මුහුණ දෙස බලා සිටියහ.

"දැන් පල්ලෙහාට වතුර යන්නේ කොහොම ද, ඔතන ඔහොම බැම්මක් බැන්දම ?"

"නෑ නෑ.. අපි කරන්න යන්නේ මේ මට්ටමට වතුර පුරවලා, වේල්ල උඩින් වතුර යවන්න. එතකොට මේ පැත්තෙ හැමදාම මේ වගේ වතුර පිරිලා තියනවා නේ ඒකයි." කට පැත්තකට කර"හුහ්" යනුවෙන් ශබ්දයක්ය සමඟ පපුව ගස්සා අවමන් සහගත සිනාවක් නැගි ඩෝබි මාමා තවත් එතන නො‍රැදී සිය කාර්යය බලා ගියේය.

"ඒකත් මරු වැඩේ නේ ද? එතකොට හැමදාම මේ පැත්තේ මේ වගේ වතුර පිරිලා තියෙ යි" ඔවුන් දෙදෙනා කතිකා කර ගත්හ. මෙය ඔවුන්ගේ සැලසුමේ නොවූවකි. ඩෝබි මාමා ට කී බොරුව යථාර්ථයක් කිරීමට ඔවුන් අදිටන් කර ගත්හ.

" එහෙනම් උඩින් ගල් අතුරන්න වෙයි. නැත්නම් පස් හේදිලා ගිහින් වේල්ල කැඩෙන්න පුළුවන්."

"ඔවු එහෙම කරමු, මෙහෙම ගඩොල් පේළියක් අතුරමු උඩින්."

"ඇති වෙයි ද?"

" දන්නෑ කරලා බලමු." යි කියමින් පි‍ටුපසින් ඇසෙමින් තිබූ පනිට්‍ටු ශබ්දයට අවධානය යොමු කරමින් අසේල පි‍ටු පස බැලීය. තාත්තා ! නෑමට පැමිණෙමින් සිටියේය. පනිට්‍ටුව බිම තැබූ ඔහු, කරේ තිබූ ලේන්සුව අසල වූ වැලේ වනමින්;

"ඔය දෙන්නා මොකක් ද ඔය කරන්නේ" යි ඇසුවේය.. ළමෝ නිහඬය. අහිංසක මද සිනාවක් පමණක් මුහුණු වලට ආරූඪ කරගෙන ඔවුන් ඔහු දෙස බලාසිටියා පමණි. අසේල ගේ පියා වේල්ල අසලට පැමිණියේ ය.

"මේ මොකක් ද මේ?" යි ඔහු ඇසූව ද මේ සම්බන්ධයෙන් ඔහු පූර්ව දැනුවත් කිරීමකින් යුක්ත බව ළමෝ දෙදෙනාටම වැටහුණි.

"වේල්ලක්"

"මොකට ද?"

"නිකං... අපි හදන්නේ මේ මට්ටමට වතුර පුරවල උඩින් යවන්න. එතකොට මෙහෙ හැමදාම ව්තුර පිරිලනේ, ඒකයි."

මද වේලාවක් වේල්ල දෙස බල සිටි ඔහු එහි උස සිතින් සසඳා;

"මේක මේ මට්ටමට පිරුණොත්, ළිඳට වතුර දානවා." යි කිවේය.

"ගොනා දිවෙයි, කළය බිදෙයි, බිම පෙරළෙයි" ආදි වශයෙන් අනාවැකි කී හාමුදුරුවන් දෙස බලා සිටි කිරිහාමි මෙන් ළමෝ දෙදෙනා ඔහු දෙස බලා සිටියා මිස කිසිත් නොකීහ. ළමුන්ගේ වැඩ පිළිබඳ වෙහෙසෙනවාට වඩා, නියමිත වේලාවට රාජකරියට වාර්තා කළ යුතු බැවින් ඔහු එතනින් ඈත්ව ළිදට ගොස් සිය පැමිණි කාර්යයෙහි නිරත වන්නට වූයේය. ළමෝ දෙදෙනා කු‍ටු කු‍ටු අනුකරණයෙන් ඉදිරි වැඩ පිළිවෙළ සාකච්ඡා කළහ.

ගඩොල් කැට ‍රැගෙන විත් වේල්ල උඩින් ඇතිරීම හැර අන් යමක් ඔවුන් එදින වේල්ල උදෙසා නොකළහ. එලෙස,  ඔවුන් මහා වාන් දැමීම උදෙසා සූදානම්ව වූහ.


+++++

ජයග්‍රාහී තුන්වෙනි දිනයට එළබිනි. වේල්ල තවමත් එකතු වන ජල කඳ දරා යෙහෙන් වැජබුණි. ළමෝ තමන්ගේ නිර්මාණය ගැන ස්වයං ආඩම්බරයකින් පසු වූහ. දැන් ජල මට්ටම වේල්ලෙහි ඉහළ මට්ටමේ සිට අගල් හයක් පමණ පහළිනි. වේල්ලෙන් ඉහළ ප්‍රදේශයේ වූ ඉවුරු කිසි දිනක නොවූ තරමින් ජලයෙන් වැසී ගොස්ය. නාන ලි‍ඳෙහි පිටාර කාණුව ද මේ වන විට අඩකට වඩා වැඩියෙන් ජලයෙන් වැසී ගොස්ය. වේල්ල උඩි වතුර වාන් දමන මට්ටමට පැමිණියහොත්, අසේලගේ පියා කී අනාවැකිය සැබෑ වනු ඇතැයි දෙදෙනාටම සිතුණි. එය තමන්ගේ ව්‍යපෘතියට එතරම් සුබදායි නොවන බව ද පැහැදිලිය. වේල්ලෙන් පහළ කොටස බොහෝ දුරට සිඳි, වියලී ගොස්ය. අද සවස් වනු විට නැවතත් එම ප්‍රදේශය ජලයෙන් යට වී යනු ඇතැයි දෙදෙනා අනුමාන කළහ. එහෙත් කටයුතු සිදු වූයේ ඔවුන්ට අවැසි පරිදි නොවේය.

ඩෝබි මාමා හනි හනිකට වතු උඩින් පනිමින් අසේලලාගේ නිවැස පැත්තට යනවා මුලින්ම දු‍ටුවේ නාලකය. 

"ඒයි අර බලහන්, ලෙඩක් වගේ....!"

"හ්ම්ම් එයාට වතුර මදි වෙලා ද දන්නෑ..!" යි අසේල අනුමාන කෙළේය.

මොහොතකින් ඩෝබි මාමා සමඟ අසේලගේ පියා එතනට සැපත් වූහ.

"මේ පේනව ද ? වතුර බිංදක් යන්නෑ පහළට... මම කොහොම ද මගේ රෙදි ටික හෝද ගන්නේ.??" උරණව සිටි ඩෝබි මාමා ගේ කට හඬෙහි ස්වරය උච්චව තිබිණි.

"ඔය දෙන්නා මොකක් ද ඔය කරණ වැඩේ ? ඕක කඩලා වතුර ටික යවන්න. රෙදි හෝදන වලත් හොඳටම හිඳිල ලු. අනිත් එක ඔය පල්ලෙහා ඉන්න ඔක්කොම මාළු ටික මැරිලා යනව නේ ඔය කරන වැඩෙන්.. ඒ විතරක් නෙමේ තව ටිකක් වතුර පිරුණොත් අර ළිඳත් යට වෙලා යනවා." 

"දැන් මේක උඩින් වතුර යන්න ගත්තම හරිනේ තාත්තේ.. එතකොට ඒ පැත්තට වතුර යනවනේ.."

"ඕක උඩින් වතුර යනකම් මට රෙදි හෝදන් නැතුව ඉන්න ද කියන්නේ ?" ඩෝබි මාමා සැරෙන් විමසීය.

"ඔය බැම්ම කොහොමත් කඩලා යනවා ඕක උඩින් වතුර යන්න ගත්තට පස්සේ. ඔය විදිහට හදලා ඕක වතුරට ඔරොත්තු දෙන්නෑ. ඒක හින්දා දැම්මම ඕක කඩලා වතුර යවන්න. මේ මාමගේ වැඩ පාඩු නොකර." ඒ අවසාන විනිශ්චයයි. එයට අවනත වනවා හැර අන් යමක් කිරිමට පවතින වාතාවරණය ඔවුනට ඉඩ සලසා නොතිබුණි. එකිනෙකා ගේ මුහුණු බලා වේල්ල කඩා දැමීමේ අවසන් තීරණය අන්‍යයෝන්‍ය වශයෙන් අනුමත කරවා ගත්හ.

උඩින් අතුරා තිබූ ගඩොල් අතුරණය ඉවත් කළ ඔවූහු, වේල්ලේ මැදින් පස් ඉවත් කර වතුර ගලා බැසීමට ස්ථානයක් විවර කළෝය. ඒ ප්‍රමාණවත් වීය. මුලින් ඉතා සෙමෙන් ගලා ගිය ජල පහර, මද වේලවක් තුළ දී සිය වේගය වැඩි කර ගනිමින් වේල්ල සම්පූර්ණයෙන්ම් කඩා බිඳ දමමින් ගලා බැස්සේ අසේල ගේ පියා පැවසූ වදන් සනාථ කෙරෙමිනි. වියලී තිබූ අගලෙහි පහත ප්‍රදේශය දෙගොඩ තලා, ඉවුරු බිඳ දමමින් ගලා යමින් තිබූ ජල ප්‍රවාහය දෙස ළමෝ දෙදෙනා බලා සිටියේ සතුට සහ ශෝකය මිශ්‍ර හැඟීමකිනි. අවසානයේ දි ශේෂ වූයේ ඇදවී ගැලවී ගොස් තිබූ ලී දඬු පමණි. අගල් තෙමේ සිය සුපුරුදු ලාලිත්‍යයෙන් පහත බැසීම අරබා තිබූ අතර, තිත්තයන් රෑන ඔවුන්ට ඔච්චම් කෙරෙමින් වේල්ල තිබූ ස්ථානයද පසු කරගෙන පිනා යමින් සිටියහ.

ජාතියේ වාසනාවකට හෝ අවාසනාවකට, මේ කුඩා මැවිසුරන් දෙදෙනා, මැවිසුරන් නොවූ බව පමණක් අවසාන වශයෙන් පාඨකයා දැනගත යුතුය.

ලියුවේ;
සෙන්නා / 24.02.2017

Wednesday, February 15, 2017

Television කියන්නේ "දූර්දර්ශන්" ද ? "රූපවාහිනී" ද ?

                              Image result for tv




මගේ මතකය නිවැ‍රැදිනම් ඒ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවුරුදු 34ක් පිරීම නිමෙත්තෙන් පැවත්වුණ සාකච්ඡාවක්. සහභාගිවුනු විද්වතුන් කිහිපදෙනා අතරින් එක්කෙනෙක් වුණේ රූපවාහිනී සංස්ථාවේ ආරම්භක ප්‍රධානියෙක්. අවාසනාවකට මට ඔහුගේ නමවත්, ඔහු එවකට දැරූ තනතුරවත් දැන් මතක නෑ. ඒත් එක මෙතනට එතරම් අදාළත් නෑ. "රූපවාහිනී" කියන නම හැදුණු ආකාරය විස්තර කරන්න පටන් ගත්තු ඔහු, මුලින්ම වගේ කිව්වේ TeleVision කියන එකට සාර්ථකම පරිවර්තනයක් සිදු වූණේ ඉන්දියාවේ ඒ තමයි "දූර්දර්ශන්" කියන එක කියලා. මේක ඇහුණු ගමන් මම මගෙන්ම අහගත්තා;

"ඇත්තටම ඒක එහෙමම ද" කියන ප්‍රශ්නය.

"ඇත්තටම ඒක එහෙමම ද?" මට හිතෙනවා ඒක එහෙම නෙමේ කියලා.

ඉංග්‍රීසි භාෂාවෙන් Tele කියන වචනෙට අන්තර්ජාල ශබ්දකෝෂ වල මෙන්න මේ වගේ තේරුම් තියෙන්නේ..

Transmission over a distance - Dictionery.com
Over a long distance - Cambridge dictionary
Reaching over a distance - The free dictionary
Carried out between two remote points - The free dictionary
performed or operating through electronic transmissions - The free dictionary
at a distance - The free dictionary

කිසියම් දුරස්ථ අන්ත දෙකක්, එකිනෙකට යාකෙරෙමින් සිදුකෙරෙන ක්‍රියාවලියක් Tele යන්නෙන් හැඟවෙන බවක් තමා ඒ තේරුම් වලින් පෙනෙන්නේ.

එහෙම බලපුවම, Vision හෙවත් "දර්ශණ" එහෙම නැත්නම් "රූප" එක් ස්ථානයක සිට, තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය(වහනය) කෙරෙන මාධ්‍ය Television යනුවෙන් නිර්වචනයක් නොදෙන්න බැරිකමක් නැ නේද? ඒ අනුව, රූප එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට වහනය කරන්නා "රූපවාහිනිය" හෙවත් Television නොවේද ?

දැන් අපි බලමු  "දූර්දර්ශන්" කියන වචනය ගැන.

ඒ වචනය අහපු ගමන්ම මගේ හිතට එන්නේ "දුරදකින්නා" යන තේරුමයි. "දූරදර්ශී" කියන වචනෙත් ඒක සනාථ කරනවා. "Tele" කියන ඉංග්‍රීසි වචනෙට "Far" යන අර්ථයත් තිබුණත්, "Television" එකෙන් කෙරෙන කාර්යයත් එක්ක බලපුවම, ඉංග්‍රීසින් මෙහිදි "Tele" යන්න යොදගන්නෙ "දුරස්ථ" කියන අර්ථයට වඩා "දුරක් අතර කෙරෙන සම්ප්‍රේෂණය" හගවන්න වෙන්න ඕනා. ඇත්තෙන්ම අපි "Television" එකෙන් දුර දකිනවද ? ඇත්තටම සිදුවෙන්නේ යම් තැනක සිට කෙරෙන සම්ප්‍රේෂණයක් වෙනත් තැනකින් බලා ගැනීම විතරයි. "Television" එකෙන් අපිට දුර දකින්න පුළුවන්නම්, මට අපේ ගෙදර TV එකෙන් වෙනත් ගෙදරක වෙන්නේ මොනවද කියලා බලාගන්ණ පුළුවන් වෙන්න ඕනා නේද ? එහෙම වෙන්නෑනෙ !

ඔය කාරණා සැලකිල්ලට අරන් බලපුවම අපි "Television" කියන එකට දීලා තියන පරිවර්තනය, කෙරෙන කාර්යයත් එක්ක සලකලා බැලුවාම ඉංග්‍රීසි වචනෙටත් වඩා ඒකට අර්ථාන්විතයි කියලා මට හිතෙනවා. මේක ඇත්තටම පරිවර්තනයක් කියලා කියන්නත් බෑ. කෙරෙන ක්‍රියාවලිය සලකලා අපි විසින්ම යොදාගත්තු අලුත්ම නමක් කියලා වුණත් "රූපවාහිනී" කියන එකට කියන්න පුළුවන්. හැබැයි "දූර්දර්ශන්" කියන්නේ වචනෙන් වචනෙ අරන් කරපු අසාර්ථක පරිවර්තනයක් විතරයි කියලා මට හිතෙනවා. 

මෙන්න මෙයාට  "දූර්දර්ශන්" කිව්වට මගේ අමනාපයක් නෑ. මොකද එයා ඇත්තටම දුර දකින නිසා.



                                      Image result for telescope


ඔය මට හිතුණ හැටි විතරයි. ඔය ගොල්ලන්ට හිතෙන  හැටි ප්‍රතිචාර තීරුවේ ලියලා දාන්න පුළුවන්. මට හිතුණ හැටි වැරැදිනම් නිවැ‍රැදි කරමු.

ලියුවේ;
සෙන්නා / 15.02.2017