Saturday, July 13, 2013

මුහුදුබත් නොවන්නකුගේ අවසානය.... | අවසාන කොටස

2013 ඇසල මස 13 වනදා
නතුරට බලපෑ හේතුව පිළිබඳ කටකතා දවසින් දවස වැඩි වන්නට වූහ. රුසියානු රජයේ නිද්‍රාශීලී ප්‍රතිපත්තියට ප්‍රතිචාර දක්වමින් මාධ්‍යන් වෙතින් කියවුණේ අනතුරට බලපෑ නියම හේතුව වසන් කෙරුණ බවයි. අනතුරින් දිවිගලවාගත් කිහිප දෙනාවද කල්මරමින් සිට විනාශකොට දැමුණේ එම හේතුව ඔවුන් සමඟම වළදැමීමේ අටියෙන් බව මාධ්‍ය වෙතින් එල්ල වූ චෝදනාවන්ගෙන් කියවුණි.

අනතුර සිදුවූ අකාරය පිළිබඳව සිදු කෙරුණු හේතු දැක්වීම් සිය ගණනක් වූහ. එයින් සමහරක් මාධ්‍ය වෙතින් සිදු කෙරුණු අතර සමහරක් නාවික විශේෂඥයන්ගේ පැහැදිලි කිරීම් වූහ. අති බහුතර පැහැදිලි කිරීම් සංඛ්‍යාවක් අතරින් කැපී පෙනුණු ප්‍රධාන පැහැදිලි කිරීම් ද්විත්වයකි.

පළමුවැන්න ඉදිරිපත් වූයේ රුසියානු බලධාරීන් වෙතින්ය. අභ්‍යාසය රහසින් නිරීක්ෂණය කළ ඇමෙරිකානු හෝ බ්‍රිතාන්‍ය සබ්මැරීනයක් කර්ස්ක් හා ගැටීම හෝ ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කිරීම නිසා මෙම ව්‍යසනය සිදුවූ බව රුසියානු පාර්ශවයෙන් ඉදිරිපත්වූ පැහැදිලි කිරීමයි. බටහිර රාජතාන්ත්‍රිකයන් වෙතින් මෙය වහාම ප්‍රතික්ෂේප කෙරිණි. ඔවුන්ගේ යාත්‍රා, අභ්‍යාසය නිරීක්ෂණයේ යෙදුණු බව නොපිළිගැනුණු අතර ඒ වෙනුවට ඔවුන් විසින් ව්‍යසනයට බලපෑ හේතුව ලෙසින් වෙනස්ම හේතු දැක්වීමක් ඉදිරිපත් කළහ.

"දෝෂ සහිත ටෝපිඩෝ" න්‍යාය

ඇමෙරිකාව හා නේටෝව ප්‍රමුඛ බටහිර රටවල් විසින් රුසියාව වෙතින් එල්ල වූ චෝදනාවට පිළිතුරු සැපයීම උදෙසා මුලින්ම නෝර්වේජියානු භූකම්පන සටහන් මාන වෙතින් ලබාගත් දත්ත පදනම් කර ගත්හ. කර්ස්ක් ඛේදවාචකය සිදුවූ දින ආසන්න කාලපරාසයන් තුළ නෝර්වේජියානු භූකම්පන තරංග මාණයන්හී අසමාන්‍යය සටහන් වාර්තා වී තිබුණි. මෙම සටහන්, භූකම්පන තරංග විශේෂඥයකුවූ Dr. David Bowers  ( Seismologist ) වෙත ඉදිරිපත් කෙරිණි. ඔහු විසින් මෙම සටහන්, පැරණි භූකම්පන සටහන්, මුහුද අභ්‍යන්තරයේ වූ යාත්‍රා ඝට්ටන සටහන් හා යාත්‍රාවන්හී සිදුවූ පිපිරුම් සටහන් සමඟ සසඳා බැලීය. ඔහුගේ විශ්ලේෂණයන්ට අනුව මෙම තරංග සටහන්හී හැඩයන් සමපාත වනුයේ මුහුද අභ්‍යන්තරයේ සිදුවූ පිපිරුම් වලටය. ඝට්ටන සටහන් හෝ භූකම්පන සටහන් හී හැඩයන් සමඟ ඒවා සමපාත නොවූහ.

සටහනෙහි කාල රේඛාව ඔස්සේ පසු පසට පරික්ෂා කිරීමෙදී ඔහු විසින් තත්පර 135ක පෙර තවත් පිපිරුමක ලකුණු නිරීක්ෂණය කළේය. මෙය පසුබිම් ශබ්දයන් මගින් බොහෝදුරට යටපත් කොට තිබිණි. එය සටහනෙහි ඇති පැහැදිලි පිපිරුම් ලකුණට වඩා සියගුණයකටත් අඩු අගයක් පෙන්නුම් කළේය. නමුත් කි.මි. ගණනාවක් ඇතීන් නෝර්වේහී වූ භූකම්පන මාණයන්හී සටහන්වීමට තරම් එය ප්‍රබලතාවයකින් යුක්ත විය. මෙම මුල්ම සටහන කිසියම්වූ ඝට්ටනයකින් සිදුවූවක්ද යන්න සොයා බැලීම Dr. David Bowers ගේ ඊළඟ කාර්‍යය විය. පළමුවැන්න ඝට්ටනයකින් සිදුවී දෙවැනි පිපිරුම ඒහි ප්‍රතිඵලයක් නිසා හට ගත්තේදැයි යන සැකය ඔහුට ඇතිවිය. එය එසේ වීනම් රුසියානුවන්ගේ චෝදනාව පිළිගැනීමට බටහිර ජාතීන්ට සිදුවනවා ඇත. ඔහු විසින් නැවතත් පළමු අවස්ථාවෙහි හා දෙවන අවස්ථාවෙහි හැඩයන් පරීක්ෂා කර බැලීය. ද්විත්වයම සමාන ලක්ෂණ, එනම් මුහුද අභ්‍යන්තරයෙහි සිදුවූ කිසියම් පිපිරීමක ලක්ෂණ පෙන්නුම් කළහ.

අනතුර පිළිබඳ භූකම්පන සටහන් වාර්තා
උපුටා ගැනීම : http://focusonfacts.thefuzzy0ne.za.net/forums/view_topic/133

කර්ස්ක් අනතුරට හේතුව මුහුද අභ්‍යන්තරයේ සිදුවූ ඝට්ටනයක් නොව කිසියම් වූ පිපිරීමක්යැයි යන්න මෙමගින් Dr. David Bowers  සනාථ කර දැක්වීය. නමුත් ඔවුනට මෙතෙකින් නතරවිය නොහැක. පිපිරුමක් වූයේනම් එය සිදු වූයේ කෙසේද යන්නත් විශ්ලේෂණය කර දැක්වීම ඔවුන් වෙත එල්ල වූ චෝදනාවෙන් ගැලවීමට අත්‍යවශ්‍යය කාරණයක් විය.

අනතුරින් මාස 14කට පසු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අණින් කර්ස්ක් හී අවර කොටස ගොඩගෙන රුසියානු නැව්තටාකාංගනයකට ගෙන එන ලදී. ගොඩගත් කොටසෙහි සිදු කළ සියුම් පරික්ෂාකිරීම් මගින් තහවුරුවූයේ ටෝපිඩෝ ගබඩාවෙහි ඇතිවූ සෙල්සියස් අංශක 2000ක තරම්වූ උෂ්ණත්වයක් සහිත ගින්නක් මගින් එහිවූ ටෝපිඩෝ පුපුරා යාම නිසා භූකම්පන තරංග සටහන් හී දැක්වුණු දෙවන විශාල පිපුරුම සිදුවී ඇති බවයි. මෙම ගින්න එම පුපුරායාමට පෙර සිදුව ඇති බවට සිදුකළ දීර්ඝ පරික්ෂාකිරීම් වලින් තහවුරු වී තිබූ අතර ගින්නට හේතුව මුලින්ම ඇතිවූ කුඩා පිපිරුම බවට අනුමාන කරණ ලදී. එම පිපිරුමට හේතුව සොයා ගැනීම ගැටලුවට විසඳුම බව තහවරු විය.

මුල්ම පිපුරුමට සැකකරු වශයෙන් සබ්මැරිනයෙහි ඉදිරිපස සවිකොට තිබූ, හදිසි අවස්ථාවන් සඳහා වූ දැවැන්ත සබ්මැරින් බැටරිය පළමුව චෝදනා ලැබීය. මෙය සබ්මැරිනයේ ඉදිරිපස, ටෝපිඩෝ ගබඩාවට පහළින් පිහිටා තිබුණි. එය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ක්‍රියාවිරහිත කළ විටකදී භාවිතයට ගැනීම උදෙසා වැනි හදිසි අවස්ථාවන්හිදී භාවිතා කිරීම වෙනුවෙන් සැකසී තිබුණි. එය සම්පූර්ණයෙන් ආරෝපණය වී තිබෙන විට හයිඩ්‍රජන් නිකුත්කිරීම සිදුවන අතර බැටරියෙහි කිසියම් කාන්දුවක් ඇතිවුවහොත් පිපිරීමක් හට ගැනීමේ අවස්ථාවක් නිර්මාණය වේ. සාමාන්‍යයෙන් සබ්මැරිනයන් තුළ බැටරි නිසා සිදුවන අනතුරු නිරන්තරයෙන් වාර්තාවී තිබේ.

නමුත් මෙම පැහැදිලි කිරීමට තිබූ වටිනාකම නිරායාසයෙන්ම ඉවත්ව යන සිදුවීමක් ඒ අතර වාරයේදී සිදු විය. පර්යේෂකයන්ට පළමු පිපුරුමට හේතුව සොයා ගැනීමට උදව් දිය හැකි අලුත්ම සාක්ෂි කරුවකු බැරන් මුහුදු පතුලේ සබ්මැරිණය පතිතව තිබූ තැන සිට මීටර් පනහකට පමණ එපිටින් සොයා ගන්නා ලදී. එය පර්යේෂණය අලුත්ම මානයක් ඔස්සේ රැගෙන යාමට ඔවුනට ඉවහල් විය. ඒ සබ්මැරිනයෙහි ටෝපීඩෝ විදිනයන් ආසන්නයෙහි වූ බඳෙහි කොටසකි. මෙය පළමු පිපුරුමත් සමඟම සබ්මැරිනයෙන් ගැලවී ඉවත් වූ කොටසකි. එමගින් සබ්මැරිනයේ මුල්ම පිපුරුම සිදුවූයේ කිනම් ස්ථානයකද හා එවිට සබ්මැරිනය ස්ථානගතව තිබුණේ බැරන් මුහුදු පතුලේ කිනම් ස්ථානයකද යන වග ආසන්න වශයෙන් ගණනය කරගැනීමේ හැකියාව පර්යේෂකයනට ලබා දුන්නේය. එම කොටස හා සසඳා බැලීමෙන් මුල්ම පිපුරුම සිදුව ඇත්තේ අංක හතර දරණ ටෝපිඩෝ විදිනය තුළ බව පර්යේෂකයන් විසින් හඳුනා ගන්නා ලදී. මෙම සොයා ගැනීම මගින් ඔවුනට නව දිශානතියක් ඔස්සේ සිය පර්යේෂණය මෙහෙයවීමට අවකාශ සැලසුණි.

ටෝපිඩෝවක පිපිරීමක් වාර්තාවූ සැනින්ම වෙඩි ශීර්ෂය (War Head) දෙසට අවධානය යොමුවීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ ටෝපිඩෝවෙහි විනාශකාරී අවි බලය රැඳී ඇත්තේ එහි බැවිනි. නමුත් මෙහිදී පර්යේෂකයන්ව අසරණ කරවන්නක් වූයේ එදින භාවිතා කළ ටෝපිඩෝ සියල්ල පුහුණු ටෝපිඩෝ වීමයි. පුහුණු ටෝපිඩෝහී වෙඩි ශීර්ෂයක් නොතිබුණි. එසේනම් ටෝපිඩෝවක් පුපුරා ගියේ කෙසේදැයි යන ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුනට සිදු වූහ.

ටෝපිඩෝවක් විදීමෙන් අනතුරුව එය සිය ඉලක්කය කරා යෑමට ප්‍රථම කි.මි. ගණනාවක් ගමන් කිරීමේ හැකියාවෙන් යුක්තය. එනම් එය සතුව ප්‍රවාලනය පද්ධතිය (Propulsion System) වෙනුවෙන් විශාල බලයක් ගබඩාවී තිබිය යුතුය. මෙම ප්‍රවාලන ශක්තියේ ප්‍රභවය හේතු කොටගෙන පිපිරීමක් ඇතිවිය හැකිද ? ඒ පිළිබඳව සැකහැර දැනගැනීම උදෙසා අදාළ දිනයෙහිදී භාවිතා කළ පුහුණු ටෝපිඩෝ වල සැකැස්ම පර්යේෂකයන්ගේ තියුණු නිරීක්ෂණයට හසුවූහ.

භූමිතෙල් දහනයෙන් බලය ලබාගන්නා ටර්බයිනයක් විසින් ලබා දෙන කැරකුම් බලයෙන් ටෝපිඩෝව ජලය තුළින් ඉදිරියට යෑමට සකසා තිබුණි. දහනයට අවැසි ඔක්සිජන් වායුව ගබඩා කොට තිබුණේ සාන්ද්‍ර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (Hydrogen peroxide (H2O2)) රූපකයක් වූ HTP - High-test peroxide වශයෙනි. නමුත් HTP සතුව ආවේණික දුර්වලතා සමහරක් විය. එය සමහර ලෝහ හෝ මලකඩ සමඟ සම්බන්ධවීමෙන් අනතුරුව උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියාකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, විශාල උෂ්ණත්වයක් සමඟ ඔක්සිජන් සහ හුමාලය ලෙසට විභේදනය වී, වායුවේ පරිමාව තත්පරයෙන් පංගුවකදී පන්දහස් ගුණයකින් පමණ වැඩිවීමක් ඇතිකරනු ලබයි. මෙම ක්‍රියාකාරිත්වය ටෝපිඩෝවක් තුළ සිදුවීම මාරන්තික ප්‍රතිඵල ඇති කරවන්නකි. ඉතිහාසය පරික්ෂාකිරීමේදී නාවික අනතුරු රාශියක් HTP නිසා හටගෙන ඇති බව නිරීක්ෂණය කළ හැක. ඒ අතරින් 1955 දී බ්‍රිතාන්‍යය නාවික ඇණිය සතුවූ HMS Sidon සබ්මැරිනයේ සිදුවූ අනතුර කැපී පෙනේ. එහිදී HTP ප්‍රතික්‍රියාවක් හේතුකොටගෙන ටෝපිඩෝවක සිදුවූ පිපිරීමක් හේතුවෙන් නාවිකයන් දහතුන් දෙනෙකුට සිය ජීවිතය අහිමිව ගියහ. එයින් පසු සියලුම රටවල් පාහේ ටෝපිඩෝ උදෙසා HTP භාවිතයෙන් වැළකුණද, සෝවියට් දේශය විසින් HTP භාවිතය දිගටම සිදු කරණ ලදී.

කර්ස්ක් පුහුණු ටෝපිඩෝවක අභ්‍යන්තර සැකැස්ම
උපුටා ගැනීම :  Seconds From Disaster - S03E03 - Sinking Of Kursk
කර්ස්ක් හී ටෝපිඩෝ නඩත්තු වාර්තා පරිහරණය කළ පර්යේෂකයන්ට වැරැද්ද සිදුවී තිබුණේ කොතැනදැයි හඳුනා ගැනීම අපහසු නොවුණි. නඩත්තු වාර්තා අනුව සබ්මැරිනය වෙත ලබාගෙන තිබූ සමහර ටෝපිඩෝ වහාම හරවා යවා තිබුණේ දෝෂ සහිත වෑද්දුම් නිසාය. නමුත් පුහුණු ටෝපිඩෝ උදෙසා කිසිදිනෙක මෙම පරික්ෂාව සිදු කොට නොතිබුණි. ඒ පුහුණු ටෝපිඩෝ සතුව වෙඩි ශීර්ෂයක් නොමැති බව හේතුවක් ලෙස දක්වමිනි.

එදින, හතරවන විදිනයට යොමු කළ පුහුණු ටෝපිඩෝවෙහි වූ දෝෂ සහිත වෑද්දුමකින් කාන්දු වූ HTP, ටෝපිඩෝ විදිනයෙහි වූ මලකඩ සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසා ඇතිවූ වායුවේ පරිමාවෙහි වැඩිවීම හේතුකොටගෙන ටෝපිඩෝවෙහි වූ භූමිතෙල් රැඳවුම පුපුරයාම සිදුවන අතර ඒ සමඟින්ම ඇතිවූ අධික උෂ්ණත්වය සහ ඔක්සිජන් සැපයුම හේතුකොටගෙන භූමිතෙල් වහා දහනය වීම ඇරබෙයි. මෙම ක්‍රියාවලිය ටෝපිඩෝ විදිනය තුළ විශාල පිපුරුමක් ඇතිකරවීමට සමත්වේ.

එහෙත්, තවමත් නොවිසඳුණු ගැටලුවක් විය. මෙම පිපිරුම, සබ්මැරිනය සම්පූර්ණයෙන්ම අසරණ කරවමින්, අදාළ ස්ථානයේ සිට සැලකිය දුරකින් පිහිටි සබ්මැරිනයේ ප්‍රධාන පාලක ඒකකය විනාශ කිරීමට සමත් වූයේ කෙසේද ? සබ්මැරිනයේ සැකැස්ම මැනවින් පරික්ෂා කළ පර්යේෂයකන්ට අනතුර සිදුවූ පළමු කොටසේ සිට පාලක මැදිරිය තිබූ හතරවන කොටස දක්වා දිවයන වාතාශ්‍ර නාලය (Air condition ventilation duct) එයට වග කිව යුතු සාධකය ලෙසින් හඳුනා ගැනීමට ලැබුණි. පළමු පිපිරුමෙන් හටගත් පීඩන තරංග මෙම නාලය ඔස්සේ නිරායාසයෙන්ම ගමන් කොට පාලක මැදිරිය දක්වා විනාශ කොට, ගින්නෙන් හා දුමෙන් එය පුරවා ලීමට හේතුවූ බව පර්යේෂකයන්ගේ නිගමනය විය. අනතුරින් පසු හදිසි අනතුරු සංඥා නිකුත් කිරීමක් හෝ සබ්මැරීනය දිය මතුපිටට යොමු කිරීමක් හෝ සිදු නොවීමට හේතුව මෙලෙස පාලන ඒකකය අඩපණවීම බවට පර්යේෂකයන්ගේ අදහසයි.

පෙනෙන පරිදි මෙම පරීක්ෂණය, නිගමනය මුලින්ම තීරණය කොට එම නිගමනය සනාථ කිරීම උදෙසා සිදු කළ පරීක්ෂණයකි. මේ පිළිබඳ විග්‍රහයක යෙදෙන http://whatreallyhappened.com වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි නෝර්වෙජියානු භූකම්පන මාණයන්හී සටහන්ව ඇති මුල්ම තරංගයේ හැඩරුව සමාන වන්නේ විශාල ඇතිල්ලීමකට හෝ ඝට්ටනයකට මිස පිපිරීමකට නොවේය. 

ඝට්ටන න්‍යාය


මෙය අනතුර සිදුවූ වහාම රුසියානු පාර්ශවයෙන් ඉදිරිපත්වූ පැහැදිලි කිරීමයි.


අගෝස්තු මස 12වන දින උදෑසන, ඇමෙරිකානු ප්‍රහාරක සබ්මැරීන් ද්විත්වයකට විශේෂවූ කාර්‍යයක් පැවරී තිබුණි. කර්ස්ක් සබ්මැරිනයේ ක්‍රියාකාරිත්වය දුර සිට රහසින් නිරීක්ෂණය කිරීමේ වගකීම USS Memphis හට පැවරෙන විට USS Toledo හට විවෘත්තවම කර්ස්ක් සබ්මැරිනය හඹායාමේ වගකීම පැවරී තිබුණි. ඒ, අභ්‍යාසයට චීනය සහභාගී කරගැනීම පිළිබඳව විරෝධය සැලකර සිටීම සඳහාය. මෙලෙස ආසන්නයෙන් හඹායාම සෑමවිටම ඉතා අන්තරාදායක කටයුත්තකි. විශේෂයෙන්ම මෙවන්වූ අඩු ගැඹුරකදී චුම්භකත්වයේ අන්‍යන්‍යොය බලපැම ඉතා ඉහළ වන අතර, යාත්‍රා හැසිරවීම ඉතා අපහසුදායක කටයුත්තක් බවට පත්වේ. මෙලෙස ආසන්නයෙන් කෙරෙනා හැසිරවීමකදී කර්ස්ක් වෙත ඉතා සමීපවූ USS Toledo සබ්මැරිනය එහි ඉදිරිපස හා ඝට්ටනය විය.

ඝට්ටනයෙන් පසු තදින්ම හානීවූ USS Toledo  සබ්මැරිනය එම ස්ථානයෙන් ඉවත්වූ අතර එය ආවරණය කිරීම සඳහා USS Memphis මැදිහත් විය. මෙම අවස්ථාවේදී USS Memphis සබ්මැරීනය විසින් කර්ස්ක් හී ඉදිරිපස ටෝපිඩෝ විදිනයේ පියන විවරවෙනු සහ ස්ක්වාල් ටෝපිඩෝ ප්‍රහාරයට සූදානම් කරනා ආවේණික ශබ්දය ග්‍රහණය කරගැනීමට සමත්වූවාය. ස්ක්වාල් ටෝපිඩෝවක් නිකුත්වුවහොත් තම සබ්මැරිනයට අත්වන ඉරණම ගැන හොඳ වැටහීමක් තිබූ USS Memphis හී කපිතාන්වරයා විසින් වහා ක්‍රියාකාරීවිය. ඔහුගේ අණින් නිකුත් වූ MX-48 (Mark 48)ටෝපිඩෝවක් ක්ෂණිකයකින් කර්ස්ක් හී බඳ සිදුරු කරගෙන ගමන් කෙරුවේ කර්ස්ක් ටෝපිඩෝ ගබඩාව තිබූ ස්ථානයෙන්මය. MX-48 ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව සිදුවූ පිපිරුම, සබ්මැරිනය මතවූ ටෝපිඩෝ පිපිරවීමකට ලක්කළ හැකි ගින්නක් ඇති කරවනු ලැබීය. එම ගින්නේ ප්‍රතිඵලයක් ලෙස ටෝපිඩෝ පුපුරායාම නිසා සබ්මැරිනය සම්පූර්ණයෙන්ම අසරණව බැරන් මුහුදු පතුලෙහි සිරවිය. භූකම්පන මාණයන්හී මෙම පිපුරුමෙහි අගය රික්ටර් ඒකක 4.2ක් ලෙස සටහන් වී තිබුණි.


aaaaaaaaaaaaaaaaaaaaa

සිද්ධියෙන් අනතුරුව රුසියානුවන් හට මුහුද මතුපිට වූ තෙල් පැල්ලම් නිරීක්ෂණය කිරීමට හැකිවූහ. ඒවා පලායන USS Memphis වෙතින් නිකුත් වූ ඒවා වන්නට පුළුවන. එමෙන්ම කර්ස්ක් සබ්මැරිනය සෝනාර් මගින් හඳුනාගත් රුසියානු නාවික හමුදාව, එහි සබ්මැරින් එකක් නොව දෙකක්ම ඇති බවත් ඉන් එකක් ඉතා සෙමෙන් ඉවතට ඇදෙනා බවක්ද ප්‍රකාශකොට තිබුණි.  ඉන්පසු ඉතා සෙමින් යාත්‍රා කරණා USS Memphis සබ්මැරිනය රුසියානු නිරීක්ෂණ යානාවන්ට හසුවූහ. ඇය නෝර්වේජියානු වරායක්වූ බර්ගන් වෙත පැමිණීමට සාමාන්‍යයෙන් ගතවන කාලය වූ දින දෙක වෙනුවට දින හතක්ම ගත්තාය.

USS Toledo හට සිදු වූයේ කුමක්ද ?


ඇමෙරිකානුවන් විසින් රුසියානුවන් හට එය අමතක කරවීමට කළ හැකි සියල්ල සිදුකොට තිබුනි. USS Memphis මගින් රුසියානුවන්ගේ අවධානය තමන් වෙත රඳවාගෙන සිටිනා අතරතුර, USS Toledo අත්ලන්තික් සයුර හරහා ඇමෙරිකාවට පලායාමට සමත් වූවාය. රුසියානු රහස් ඔත්තු සේවාවන් විසින් පසුව හෙලි කරගනු ලබූයේ තදින්ම හානිවී තිබූ USS Toledo යාත්‍රාව සංවෘත තටාකාංගනයක සඟවා ඇති බවයි. නමුත් ඇමෙරිකානුවන් විසින් එය පරික්ෂාකිරීමට අවසරදීම ප්‍රතික්ෂේප කොට තිබුනි.

2000හේ අගෝස්තු 22වන දින රුසියානු Pravda වෙබ් අඩවියෙහි විස්මයජනක ප්‍රවෘත්තියක් පැය කිහිපයකට පමණක් පළවිය. එයින් කියවුණේ අගෝස්තු 12 වන දින බැරන් මුහුදේ වූ අනතුර තෙවන ලෝක යුද්ධයක් කරා ලෝකය යොමු කරවීමේ හැකියාවකින් යුක්ත වූ අතර කිසියම් වූ පාර්ශවයක් විසින් වැරදි දේශපාලනික තීන්දුවක් ගත්තේනම් න්‍යෂ්ටික ප්‍රහාරයන්ගේ හුවමාරුවක් ඇතිවිය හැකිව තිබූ බවත්, වාසනාවකට මෙන් රුසියානු ජනාධිපති ව්ලඩිමීර් පුටින් හා ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් අතර කෙරුණු දුරකථන සාකච්ඡා වට කිහිපයකින් පසු ප්‍රශ්නය උපායශීලීව විසඳා ගැනීමට සමත්වූ බවත්ය. මෙම ප්‍රවෘත්තිය හෝරා කිහිපයකින් එම අඩවියෙන් ඉවත්වී ගොස් තිබුණි.

අනතුරින් දින 12කට පසු ජනාධිපති පුටින් විසින් රජයේ චෝදක ව්ලැඩිමීර් උස්ටිනෝෆ්ව නීත්‍යානුකූල කටයුතු මෙහෙයවීම උදෙසා පත්කරන ලදී. ඔහු විසින් වහාම දෝෂ සහිත ටෝපිඩෝ න්‍යාය නිල පැහැදිලිකිරීම බවට පත්කරමින් එයට පක්ෂව අදහස් පළකරනු ලැබුවේ නිසි පරීක්ෂණයක් ඇරබීමටත් පෙරය.

සිද්ධියෙන් සති දෙකකට පසු, මුල්ම වරට ඇමෙරිකානු බුද්ධි අංශ විසින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වෙත හෙළිකර සිටියේ USS Memphis විසින් අභ්‍යාසයේදී කර්ස්ක් සබ්මැරිනයෙහි ක්‍රියාකාරිත්වය නිරීක්ෂණයෙහි යෙදුණ බවයි. එදිනම, CIA ප්‍රධානී ජෝර්ජ් ටෙනන්ට්, අනතුරින් දින තුනකට පසු රහසිගතව මොස්කව් වෙත පැමිණි බවටද තොරතුරු හෙළිවිය.

"ඔහු මින්පෙර කිසි දිනෙක රුසියාවට පැමිණ තිබුණේ නෑ. ඔහු විසින් මුණගැසුණේ සියලුම ඉහළ නිලධාරීන්ව පමණයි. මන්ද ගැටලුව නිරාකරණය කරගත හැක්කේ ඔවුන්ගේ මට්ටමින්ම පමණයි."

                                                                                                  --- Captain Vitaly Dotsenko ( Historian )

දින කිහිපයකට පසු රුසියාව වෙතින් ඇමෙරිකාවට අයවිය යුතුව තිබූ සියලුම ණය කපා හැරුණු අතර ඩොලර් බිලියන 10.50 ක නව ණය මුදලක් ඇමෙරිකාවෙන් රුසියාවට අනුමත විය.

කර්ස්ක් ව්‍යසනයට සැබවින්ම වගකිව යුත්තේ ඇමෙරිකානු ටෝපිඩෝවක්නම්, ව්ලැඩිමීර් පුටින්ගේ නිහඩතාවයට හේතුව අනුමාන කිරීම එතරම් දුෂ්කර නොවේ. ඔහුට රුසියානුවන් හා සෙසු ලෝකයාව සෑහීමකට පත්කළ හැකි පිළිතුරක අවශ්‍යතාවයක් තිබේ. කෙසේවෙතත් දසතින් එල්ල වෙන පීඩනය හමුවේ නොසැලී සිටිමින්, ව්ලැඩිමීර් පුටින් විසින් මෙවන්වූ බරපතල කාරණා හැසිරවීමට තමාට ඇති ශක්‍යතාවය මොනවට පෙන්වා සිටියේය.

සිය නිවාඩු නිකේතනයෙන් නික්මුණු පුටින් ජනාධිපතිවරයා ඕර්තඩොක්ස් පල්ලියේ පූජකවරුන් සමඟ යොදාගෙන තිබූ හමුවකට සහභාගී විය. අනතුරින් පීඩාවට පත් ජනතාවට සිය දුක තුනී කරගැනීම සඳහා සහාය වන ලෙස පූටින් විසින් පූජකවරුන්ගෙන් ඉල්ලා සිටියේය. පල්ලියට සාමාන්‍යය ජනතාව මත ඇතිකළ හැකි බලපෑම පිළිබඳව පුටින් හට මනා වැටහීමක් තිබුණි. පූජකවරුන් වෙතින් ලැබෙන මෙම සහය ඉතා වැදගත් වන්නේ සෝවියට් යුගයේදී මෙන් මෙවැනි ඛේදවාචකයන් සඟවා තබාගෙන සිටිමේ හැකියාවක් නොමැති බැවිනි.

මේ වනවිට වැලැඩිමීර් පුටින්ගේ ජනප්‍රියත්වය සියයට දහයකින් පහත වැටී තිබුණි. එය මේ සම්බන්ධයෙන් දේශපාලනික ක්‍රියාමාර්ගයන් ගැනීමට කාලය බවට ඉඟියක් ජනාධිපතිවරයා වෙත ලබාදී තිබුණි. මූමාන්ස්ක් හීදී ඔහු විසින් යාත්‍රිකයන්ගේ ඥාතීන්ව හමුවීය. මුල්ම හමුව සබ්මැරිනයේ කපිතාන්වරයාගේ බිරිඳ සමඟ සිදු විය. එදිනම සවස ඔහු සියලුම ඥාතීන්ව හමු විය. පැය තුනක් තිස්සේ කෙරුණ මෙම සාකච්ඡාව ආවරණය කිරීමට හා විකාශය කිරීමට නැවතත් අවසර ලද්දේ රජයේ රූපවාහීනී ආයතන පමණක් විය. රහසින් ශාලාවට ඇතුළුවීමට සමත්වූ ජර්මානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු විසින් එහි සිදුවූ සත්‍ය පිටතට ගෙන ඒමට සමත්වූහ. ඔවුනට අනුව, මෙවර යාත්‍රිකයන්ගේ ඥාතීන් විසින් ව්ලැඩිමීර් පුටින් හට සහාසික ලෙස වාග්ප්‍රහාරයන් එල්ල කිරීමට ප්‍රථම, සිද්ධිය පිළිබඳ ඔහුගේ පැහැදිලිකිරීමට සාවධානව ඇහුම්කන්දී ඇත. ඉන්පසු සිය ප්‍රහාරය ඇරඹූ ඔවුන් විසින් දුර්වල පාලනය පිළිබඳ ඔහුටද චෝදනා එල්ල කරමින් අද්මිරාල්වරු කිහිප දෙනෙකුටම ඉල්ලා අස්වන ලෙසටද බලකළහ.

පසුව ජනාධිපතිවරයා විසින් ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළේය. බුහුමන් දැක්වීමට කර්ස්ක් වෙත ගමන් කළ යාත්‍රිකයන්ගේ ඥාතීන් විසින් ජනාධිපතිවරයා ඔවුන් සමඟ ගමන් කිරීමට එකතුවීම තදින්ම ප්‍රතික්ෂේප කළහ. ජනාධිපතිවරයෙක් වෙත දැක්වූ මෙවන් විරෝධාකල්පයක් රුසියාවේදී මින් පෙර වාර්තාවී නොතිබුණි.

රුසියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට පීඩාවට පත්වූවන්ගේ ඥාතීන් හට මූල්‍යමය වන්දි ගෙවීමක් හිමිවිය. ඇමෙරිකානු ඩොලර් 25000 ත් 35000 ත් අතර අතර මුදලක්වූ එය රුසියාවේදී අතිවිශාල මුදලකි. මෙය ඥාතීන් විසින් නඩු මාර්‍ගයකට යොමුවීම වැළැක්වීම උදෙසා කළ දෙයක් ලෙසද අර්ථ ගැන්වී තිබුණි.

එල්ලවූ පීඩනයට හිස නවමින් පූටින් විසින් මියගිය යාත්‍රිකයන්ගේ සිරුරු ගොඩගැනීමට නියෝග කළේය. සිරුරු දොළහක් පමණක් මතුපිටට රැගෙන ආ අතර අනෙක් සිරුරු සබ්මැරීනය මතුපිටට ගැනීමට තීරණය කරනා තෙක් එහිම සිරවී තිබෙන්නට ඉඩහැරිණි. මතුපිටට ගත් සිරුරු රාජ්‍යය බුහුමණකින් පසු පශ්චාත් මරණ පරීක්ෂණයට ඉදිරිපත් කෙරිණි.

දින කිහිපයකට පසු එක් අධිකරණ වෛද්‍යවරයකුව උපුටා දක්වමින් පුවත්පතක් හෙළිකර සිටියේ, දිමිත්‍රි කලස්නිකව්ගේ පසුම්බියෙහි තිබී, 2000.08.15 දාතමින් යුක්තව, එනම් අනතුරින් දින තුනකට පසු, රජයට යොමුකොට ලියවුනු දෙවන ලිපියක් සොයා ගත් අතර එහි ඛේදවාචකයට බලපෑ සත්‍යය හේතුව අන්තර්ගතවී තිබුණ බවයි. තවදුරටත් කරුණු දක්වමින් ඔහු කියා තිබුණේ අද්මිරාල්වරුන්ගේ නියෝගය මත ලිපිය යටපත් කෙරුණ බවයි. මෙම සොයාගැනීම, යාත්‍රිකයන්ව මියයාමට ඉඩහළ බවට පැතිර තිබූ මතයට ඉන්ධන එකතු කිරීමට සමත් විය.

මේ අතර වාරයේදී යාත්‍රිකයන්ගේ ඥාතීන් විසින් රජයට එරෙහිව නඩු මගට බැසීමට තීරණය කරන ලදී. රුසියානු ව්‍යවස්ථාවට අනුව මෙය ජනාධිපතිවරයාට එරෙහිව ගැනෙන ක්‍රියාමාර්‍ගයකි. මුහුදු පත්ලෙහි වූ සබ්මැරිනය ගොඩට ගැනීමේ තීරණයට යාම සඳහා ව්ලැඩිමීර් පුටින් හට මෙයිනුත් බලපෑමක් වන්නට ඇත.

අනතුරට බලපෑ නියම හේතුව වසන්කරනා අතරම පුටින්ගේ කීර්තිනාමය නැංවිය හැකි ලෙසට සබ්මැරිනය ගොඩගතහැකි විධික්‍රම කෙරෙහි රුසියාවෙහි අවධානය යොමු විය. ගොඩගැනීමෙහි යෝජනා ඉදිරිපත් කළ බොහොමයක්වූ රුසියානු හා විදේශීය සමාගම් මුලු සබ්මැරිනයම ගොඩගැනීම සඳහා සැලසුම් ඉදිරිපත් කොට තිබුණි. එම සැලසුම් දෙවරක් නොසිතාම ප්‍රතික්ෂේප කරණ ලදී. අවසානයේදී ඕලන්ද සමාගමක්වූ මමූත් (MAMMOET) වෙතින් ඉදිරිපත්වූ යෝජනාව පිලිගැනුණි. සබ්මැරිනයෙහි ටෝපිඩෝ අංශය ගොඩගැනීමට ප්‍රතික්ෂේපකළ එකම ආයතනය ඔවුන් පමණය.

මෙහෙයුමට ඩොලර් මිලියන 130ක මුදලක් වැය විය. එය රුසියානු සබ්මැරින් ඇණිය උදෙසා වෙන්කරනා වාර්ෂික මුදල මෙන් දෙගුණයකි. සබ්මැරිනය මිහිමතට පැමිණීම උත්සවාකාරයෙන් සමරන ලදී. මියගිය සියලුම යාත්‍රිකයන්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්, සියලුම මාධ්‍යන් සඳහා කෙරුණු ආරාධනාවන්ගෙන් යුක්තව මෙවර එය සංවිධානයවී තිබුණි. ඥාතීන්ව නියෝජනය කරමින්, පෙර දිනෙක නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හා කෙරුණු සාකච්ඡාවේදී බලහත්කාරයෙන් සිහිසුන් කළ Nadezhda Tylik විසින් කතාවක් පැවැත්වූ අතර මෙදිනද අනතුරට වගකිවයුතු සියලුදෙනාම ඇයගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූහ.


සභාව අමතමින් බලධාරීන්ට දෙහිකපන Nadezhda Tylik
උපුටා ගැනීම : KURSK - A submarine in troubled water 
අවසානයේදී සියල්ලන් බලාපොරොත්තුවූ සබ්මැරිනය හිස සුන්ව මිහිමතට පැමිණියාය. රජයේ ප්‍රධාන චෝදක ව්ලැඩිමීර් උස්ටනෝෆ්, පර්යේෂකයන් හා අධිකරණ වෛද්‍යවරු සබ්මැරීනයට ගොඩවූහ. සබ්මැරිනයෙහි දකුණුපස වූ ඇතුළට නෙරා තිබූ ඒ විශාල සිදුර ඥාතීන්ද ඇතුළුව සියලු දෙනාගේම ක්ෂණික අවධානයට හසුවූහ.

"මම පුදුමවුනා කර්ස්ක් බඳෙහි තිබූ ඒ රවුම් සිදුර දැකීමෙන්. පෙනෙන විදිහට ඒක ටෝපිඩෝ ප්‍රහාරයකින් සිදුවූවක්. එය ටෝපිඩෝ ප්‍රහාරයක ප්‍රතිඵලයක් වියම යුතුයි. අපි තවමත් හරියට නොදන්නා යම්කිසි දෙයක් සිදුවී තිබෙන බව පෙනෙන්නට තියනවා."

                                                                ----  Maurice Stradling ( Torpedo Engineer, ex. MoD, UK )

ඊළඟ මොහොතේදී එම සිදුර තවදුරටත් කැමරා කාචයන්හී සටහන් වීම වැළැක්වීමට අවැසි පියවර නොපමාව ගන්නා ලදී. සබ්මැරිනය මතවූ මිසයිල 24න් 6ක් පමණක් පිපිරීම හේතුකොටගෙන සුළුවශයෙන් හානී වී තිබුණ අතර රහසිගත හමුදා කඳවුරකදී ඒවා කොටස් කරණ ලදී. සමහර විශේෂඥයන්ට අනුව සබ්මැරිනයෙහි අවර භාගය ගොඩගැනීමට බලපෑ සැබෑ හේතුවනම් මෙම අති විනාශකාරී, ප්‍රබල මිසයිලයන්ගේ රහස් විදෙස් රාජ්‍යයන් හෝ ත්‍රස්තවාදීන් අතට පත්වීම වැළැක්වීම උදෙසායි.


උපුටා ගැනීම : KURSK - A submarine in troubled water

සබ්මැරිනයෙහි වූ අනෙකුත් සියලුම සිරුරු ඉවත් කොට අවසාන කටයුතු සිදු කරණ ලදී. සිරුරු තුනක් පමණක් හඳුනා ගැනීමට අපහසුවූහ. යාත්‍රිකයන්ගේ ඥාතීන් හට දින හාරසියයක කාලයක් සිය ආදරණීයන්ගේ සිරුරු ලබා ගැනීම උදෙසා බලා සිටීමට සිදුවී තිබිණි. රාජ්‍යය රහසක් රැකගැනීම උදෙසා ඔවුන් හට ගෙවීමට සිදුවූ මිල ඉතා ඉහළය.

විදෙස් සහය ලබාගැනීමට පුටින් දැක්වූ ප්‍රමාදයෙහි හානිය අවම කරනුවස් ඌස්ටනොෆ් විසින් නිල වශයෙන් නිවේදනය කෙරුණේ යාත්‍රිකයන්ගෙන් අති බහුතරයක් අනතුර සිදුවූ වහාම විනාශ වී ගොස් අති බවත් එබැවින් බේරා ගැනීමේ අවකාශයක් නොවූ බවත්ය. කෙසේ වෙතත් කොලස්නිකව් ඇතුළු අනතුරින් ගැලවුණු 23 දෙනාව බේරා ගැනීමට තිබූ අවකාශය මේ ප්‍රමාදය නිසා මගහැරී ගිය බව ඉතා පැහැදිලිය. ඔවුන් ඉහා දරුණු ඉරණමකට මුහුණ දී ඇති බව ගොඩටගත් සබ්මැරිනයෙහි අවර කොටස පරීක්ෂා කිරීමෙදී පර්යේෂකයනට අවබෝධ වූහ.

රස පරීක්ෂක වාර්තා අනුව සබ්මැරිනයෙහි අංශ නවයෙහි, කොලස්නිකව් ඇතුළු පිරිසි රැඳී සිටි කොටසෙහි ගින්නක් හටගෙන ඇති අතර දැවුණු වායු පෙරහනක ශේෂ කොටස්ද සුන්බුන් අතරින් සොයා ගන්නා ලදී. ඔවුන්ගේ අනුමානය මෙසේය.

කොලස්නිකව් ඇතුළු පිරිස පිටතින් ලැබෙන සහය අපේක්ෂාවෙන් අංශ නවයේ රඳී සිටි අතර සබ්මැරිනයෙහි වූ ඔක්සිජන් සහ ආහාර දින කිහිපයක් ඔවුනට ජීවය පවත්වා ගැනීමට සෑහුනි. එහෙත්, ඔවුන් විසින් ප්‍රාශ්වාස කරනා සෑම විටකම වාතය කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් අපවිත්‍ර විය. මෙයට පිළියමක් ලෙසින් සබ්මැරිනයෙහි වූ රසායනික වායු පෙරහන් ඔවුන් විසින් භාවිතා කරණ ලදී. මෙම වායු පෙරහන් වාතයෙහි වූ කාබන්ඩයොක්සයිඩ් වායුව එයින් ඉවත් කිරීමට සමත්කම් දැක්වූහ. එමෙන්ම මෙම පෙරහන් තෙල් හෝ ජලය සමඟ මිශ්‍රවීමෙන් වහා ගිනිගැනීමේ හැකියාවකින්ද යුක්ත වූහ. අදුරෙහි අතපත ගාමින් මෙම පෙරහනක් එල්ලීමට යාමේදී තෙල් හෝ ජලය ඇති ස්ථානයකට වැටීමෙන් සබ්මැරිනය තුළ ගින්නක් හටගෙන ඇති බවට විශ්වාස කෙරේ. එයින් කුටීරයේ වූ සීමිත ඔක්සිජන් ප්‍රමාණයද විනාශවී යෑම ඔවුන්ගේ මරණය කඩිනම් කළේය. 


ඥාතීන් හා සිදුකෙරුණ හමුවෙන් පසු හා සිරුරු ගොඩ ගැනීමෙන් පසු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය සියයට විස්සකින් පමණ වැඩිවී තිබුණි. මාධ්‍ය මර්දනයෙන් මේ සඳහා ලද බලපෑමද සැලකිය යුතු මට්ටමක විය. නමුත්, ඇමෙරිකාව දෙසට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීමන් සිය අද්මිරාල්වරුන් විසින් ඔහුව හෙළනු ලැබූ අපහසුදායක තත්ත්වය පිළිබඳව පුටින් ජනාධිපතිවරා කෝපාවිෂ්ටවී සිටියේය. ඔවුන්ගෙන් දස දෙනෙකු ඔහු විසින් වහාම ඉවත්කර දමන ලදී. එයින් දෙදෙනෙකු ඉහළම මට්ටමේ වූ අයවලුන්ය. ඔවුන් දෙදෙනානම් අද්මිරාල් පපාව් සහ අද්මිරාල් මොට්සාක් වූහ. ඉන්පසු පුටින්ගේ අවධානය යොමුවූයේ සිය දේශපාලන සගයන් වෙතය. එහි ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඊලියා ක්ලෙවනෝව්, ආරක්ෂක අමාත්‍යය ඊගෝ සර්ගේයව් හා ස්ව්දේශකටයුතු ලේකම් වරයා හට ඔවුන්ගේ තනතුරු අහිමි වූහ. අනතුරට ඇමෙරිකාව වගකිවයුතුයි යන අදහස දැරූ සියල්ලන් පුටින් ජනාධිපතිවරයාගේ බලපෑමෙන් නිහඩ කරවනු ලැබූහ. එමගින් ඇමෙරිකා එක්සත් ජනපදය අනතුර සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරණ ලදී.


රහසිගත දූපතකට ප්‍රවාහනය කෙරුණු සබ්මැරිනයෙහි නටබුන්, කොටස් කොට, උනුකරවා හරින ලද අතර මුහුදු පත්ලෙහි වූ ඉදිරිපස කොටස රුසියානු නාවික හමුදාව විසින් පුපුරුවා හැර සිද්ධිය පිටුපස වූ සැබෑ සත්‍යය සදහටම මුලිනුපුටා දමන ලදී.


aaaaaaaaaaaaaaaaaaaaa


"එක අතකින් මම මිටියා ගැන ආඩම්බර වෙනවා. මෙවන්වූ අපහසුදායක වාථාවරණයකදීත් ඔහු සිහිකල්පනවෙන් යුතුව නිර්භීතව වැඩකරලා තිබීම ගැන. අනිත් අතට ඔහුට හිමිවුන මරණය ඉතාම නරක එකක්. කෙනෙකුට ලැබිය යුත්තේ ක්ෂණික මරණයක් පමණයි. "
                                                                                                                       -- Olga Kolesnikav


උපුටා ගැනීම :  Seconds From Disaster - S03E03 - Sinking Of Kursk
~~නිමි~~

මූලාශ්‍ර:

සැකසුම :

~~සෙන්නා / 13.07.2013
----------------------------------------------------------------------------------------------------------------------------

සමාව අයදීම:

දෙවන කොටස විවිධ හේතු නිසා මාසයක්ම පමාවීම ගැන සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා හිටිනවා. මීට පස්සෙ සම්පූර්ණ කතාවම ලිවීමකින් තොරව කොටසක් පලනොකරන බවට තදින්ම හිතට ගත්තා.

විශේෂ ස්තූතිය:

  • සිය සබ්මැරින් චාරිකාව සිංහල බ්ලොග් සහෘද්දයන් හා බෙදාගත් හෙන්රි බ්ලොග්වෝකර්ටත්, එහිදී ප්‍රතිචාරයක් මගින් මෙම කතාව ගැන රහසින් ඔත්තුවක් දුන්නු ගැමියා මලයාටත්.  ගැමියා මලේ ඔන්න උඹ දැන් සබ්මැරින් වලත් ගිහින් අහවරයි හොඳේ....  :-)
  • නිහඬව වැරදි පෙන්වා දුන් ඩීන් අයියාට සහ ඩූඩ්ට.