Friday, March 30, 2012

අවතාරයකට රියදුරෙක්ව....

2012 මැදින් මස 30 වනදා,




මේ කතාව මට අහන්ඩ ලැබුණෙ, කොහොමවත් මම එහෙම කතාවක් අහන්ඩ හිටපු වෙලාවකවත්, එහෙම කතාවක් කියයි කියලා හිතපු පුද්ගලයෙකුගෙන්වත් නෙමේ. කොටින්ම මට ඒ මනුස්සයව එදායින් පස්සෙ හම්බෙලාවත් නැහැ. මේක විශ්වාස කරන්ඩ පුළුවන්ද, බැරිද කියලා අදටත් මට ගැටලුවක්. ඕනම දෙයක් වෙන්ඩ පුළුවන් මේ ලෝකේ මෙහෙම දේවල් නොව්නයි කියන්ඩත් බැහැ ඉතින්. නවීන විද්‍යාව ඔළුව උඩ තියන් ඉන්න මිනිහෙක් නම් කියයි;

" මොන විකාරයක්ද ? ඕක ඒ යකා හිතෙන් මවාගත්තු එකක්" කියලා.

මට ඉතින් ඔය විද්‍යාව ගැනවත්, මිනිස් මනස ගැනවත් ලොකු දැනුමක් නැති හින්දා මට ඉතින් එක පාරම බැහැර කරන්ඩත් බැහැ බැහැ වගේ. අනේ මංදා, මම කතාව කියන්නම්. ඕගොල්ලොත් බලන්ඩකො මේක වෙන්ඩ පුළුවන් දෙයක්ද කියලා. ඕක මට කියපු මනුස්සය නම් දහ අතේ දිවුරලා කිව්වා මේක තමන්ගෙ යාළුවෙකුට උණ ඇත්තම සිද්ධියක් කියලා.
                                                                          ~~~~~


පිටරටක වැඩ කරන කෙනෙක් දන්නවා අවුරුද්දකට සැරයක් හම්බෙන නිවාඩුවට ලංකාවට එන දවස කොච්චර ප්‍රීතිමත් එකක්ද කියලා. හිතම ප්‍රීතියෙන් පිරිලා තියෙන්නේ. දකින දකින හැම දේම නිකන් හරි ලස්සනට පේන්නේ. ඒ වෙලාවට ලෝකෙ කොච්චර ලස්සනද කියලා හිතෙනවා. ඒක මාරම හැඟීමක්, වචනයෙන් විස්තර කරන්ඩ බැහැ. විඳලම බලන්ඩ ඕනා. අපහු යන දවසට ඒකෙ අනිත් පැත්ත. මරන්ඩ ගෙනියන හරකා වගේ.

කටුනායකින් ගුවන් යානය ගොඩබානකම් පුදුම නොඉවසිල්ලකින් හිටියේ. නවත්තන්ඩත් ඉස්සෙල්ලා ආසන පටි ගලවලා මාව හිටෙව්වේ ඒ නොඉවසිල්ලමයි. එතකොට වෙලාව රෑ නමයා මාරට විතර ඇති. අවශ්‍යය කරන කටයුතු නිමවෙලා, තීරු බදු රහිත සාප්පුවෙත් ටිකක් වෙලා ගත කරලා එළියට එනකොට එකොළහමාරත් පහුවෙලා වගේ තමා මතක.

මෙදා සැරේ මම ගෙදර අයව පොඩ්ඩක් පුදුම කරවන්ඩ නොකියම ගෙදරට යන්ඩ තමා කල්පනාව. අඩු ගානේ මම එනවද කියලවත් ගෙදර අය තාම දන්නෙ නෑ. ඒක හින්දා මට සිද්ධ උනා කුලී රථයක පිහිට පතන්ඩ. ගමනට කුළිය ඇහුවම ඇත්තටම හිතුනා ගුවන් යානෙන්ම ගෙදරට යාගන්ඩ තිබුනනම් ඊට වඩා ලාබයි කියලා. තනිකරම කළ දුටු කල වල ඉහ ගැනීමේ න්‍යායාය තමා ඒ ගොල්ලො අනුගමනය කරන්නේ. රට ඉඳලා එන බව දන්න හින්දා ගානක් කඩා ගන්ඩ පුළුවන් කියලා දන්නවා. කොහොම හරි දෙපැත්තටම සාධාරණ ගානකට එකඟ වෙන්ඩ පුලුවන් උනා අන්තිමේදී. ඔය ගම්වලින් මැදපෙරදිග මෙහෙකාර සේවයට ගිය නූගත් ගැහැනු උදවියගෙන් එහෙම හොඳට ගාන කපනවා ඇතියි කියලත් මට හිතුනා. ඒ වගේ සමහරුන්ට මගදී එක එක අතවර වලට මුහුණ දෙන්ඩ උන කතාත් මම අහලා තිබුනා. ඒවට කාටද දොස් කියන්ඩ ඕනා කියලා මට තේරෙන්නෑ.

" මහත්තයා මාතර කොහෙටද යන්නෙ ? "

" ටවුන් එක කිට්ටුවටම. "

රියදුරාම මගෙ ගමන් මළු ටික අරන් රථයට පටව ගත්තා. වයස පනහක, හැටක විතර තලත්තෑනි මනුස්සයෙක්.

අන්තිමේදී පිටත් වුනා.

මමත් ඉස්සරහා වම් පැත්තෙ අසුනෙ හොඳට හරි බරි ගැහිලා වාඩි වුණේ ගුවන් ගමනට වැඩි වෙලාවක් මේකට යනවා කියලා දන්න නිසා.

ටික දුරක් යනකම් මම වට පිට බලමින් ගියේ සිද්ධ වෙලා තියන වෙනස ග්‍රහණය කරගන්ඩ. කියන්ඩ තරම් ලොකූ වෙනසක් තිබුණෙත් නැහැ. දත් තිස්දෙක එළියෙ දාගන, කණු උඩ එල්ලිලා ඉන්න මුහුණු ටික දැක්කම තමා මතක් උණේ ඡන්දයක් ඉවර උණේ මේ ළඟදි නේද කියලා. රටට සේවය කරන්ඩ කොච්චර කැපවෙලාද කියලා හිතාගත්තෑකි දැන්වීම් අලවලා කරලා තියන පරිසර හානිය දැක්කම. නොදෝමකින්..!!

ටිකක් වෙලා ගතවුනා. වාහනේ දැන් මීගමු පාරට වැටිලා කොළඹ පැත්තට යනවා. ඔන්න ඔය වෙලාවෙ තමයි මගේ අර කැත පුරුද්ද මතු උනේ. ශිඃ මේක මට නවත්ත ගන්ඩ බෑනේ. හොඳටම දන්නවා හොඳ නැහැ කියලා, ඒත් ඉතින් පුරුද්ද ලොකුයිනේ. දෙතුන් පාරක් නවත්තන්ඩ උත්සහ කළා, කොහෙද ! හැබැයි මේ පුරුද්ද, මේ කතාව අහගන්ඩ ඉවහල් උනා කියලා තමා දැන් මට හිතෙන්නේ. මොකද මෙච්චර වෙලා බමුණා වගේ බුම්මගන රෝදෙ කරකවපු එකා මාත් එක්ක කතාවට වැටුනෙ ඊට පස්සෙ තමා. ඔව් ඔව් එයා තමයි මට ඔය කතාව කිව්වෙ. ටැක්සි රියදුරා.

" මේ.. මම සිකරට් එකක් බිව්වට කමක් නැද්ද ? ඔයත් බොනවද එකක් ? " මම සිගරට් පැකට් එක දික්කරන ගමන්මයි ඇහුවේ.

" කමක් නැහැ මහත්තයා බොන්ඩ බොන්ඩ.. අහ් එහෙනම් මටත් එකක් දෙන්ඩකො. "

මමත් එකක් පත්තු කරන් රියදුරාටත් එකක් දුන්නා. මිනිහා සිගරට් එක දිහාට අමුතු බැල්මක් එහෙම දාලා තමා ඒක පත්තු කර ගත්තේ.

" රට සිකරට් ජාතියක් නේද මහත්තයා ? "

" ඔව් ඔය මම එහෙන් අරන් ආපු ඒවා වගයක්. "

" මහත්තයා මොන රටේ ඉඳලද එන්නේ ? "

" මැද පෙරදිග. " මම එහෙම කිව්වේ මම ගැන ඕනැවට වැඩි විස්තරයක් නොදෙන්ඩ හින්දයි. මම කොහොමත් මිනිස්සුන්ව එක පාරටම විශ්වාසෙට ගන්නෙ නැහැ. එකට කන බොන උන්වත් විශ්වාස කරන්ඩ බැරි අද කාලේ, මේ නොදන්න මනුස්සයෙක්ව කොහොම විශ්වාස කරන්ඩද! ඒක හින්දා මගේ තොරතුරු අවම වශයෙන් හෙළිකරපු එක තමා වුණේ.

" ඩ්‍රයිවර් මහත්තයා කොයි අහද, නැහ්.. මං කිව්වේ මොන පළාතෙද ? " අපේ පලාතට ආවේනික භාෂාව තේරෙන්නැතුව ඇති කියලයි මම දෙවෙනි කොටස එකතු කළේ.

" කුරුණෑගල මහත්තයෝ. ඒත් මම දැනට නම් කටුනායක බෝඩ් වෙලා තමා ඉන්නෙ. "

" නම මොකක්ද ? "

" ගුණවර්ධන කියලා තමා හැමෝම කතා කරන්නෙ. "

" හ්ම්ම් "

ක්‍රමක්‍රමයෙන් දැන් අපි අතර කතාව ගොඩ නැගෙනවා. රටේ ලෝකෙ දේවලුයි, ඡන්ද ගැනයි, බඩු මිළ ගැනයි, ක්‍රිකට් ගැනයි කතාව ඇදි ඇදී යනවා. ඔය අතරෙ අතරින් පතර සිගරට් එහෙමත් පිච්චෙනවා.

වෙලාව රෑ දොළහටත් කිට්ටු හින්දා පාරේ වාහන එහෙම අඩුයි. ඒක හින්දා අපේ වාහනේ සැළකිය යුතු වේගයකින් ඉදිරියට ඇදුනා. එක හන්දියකට කිට්ටු වෙනකොට කිසිම හේතුවක් නැතුව ගුණවර්ධන රථයේ වේගය බාල කළා.

" ඇයි ඒ ? "

එතකොට මනුස්සයා මට වම් පැත්තෙ තියන ගෑනු කෙනෙක්ගෙ පිළිමයක් ඇඟිල්ලෙන් පෙන්නලා ඇහුවා " දන්නවද මේ කව්ද කියලා ? "

" ඔව්, ඔය රුක්මණී දේවිගෙ පිළිමෙනෙ. " මම කිව්වා.

" මහත්තයා දන්නවද එයා මැරුනෙ කොහොමද කියලා ? "

" ඔව්, ඇක්සිඩන්ට් එකකින්නෙ. "

" ඔව් ඔව් එහෙම තමා, දැන් ඔතන හොල්මන් තියනවාලු. " යි කියලා මනුස්සය මම දිහා බැලුවා. මට ඒ වෙලාවෙ අමුතුම අවඥාසහගත හිනාවක් ආව කට කොනකට. මම ඒක මනුස්සයට නොපෙන්වා ඉන්ඩ උත්සහ කළාට හරි ගියේ නැහැ. ඇත්තටම මම ඒ වෙනකොට හොල්මන් එච්චර විශ්වාස කළේ නැහැ. ඇත්තටම මට එහෙම කරන්ඩ හේතුවක් වෙලා තිබුනේ නැහැ. මම කවදාවත් හොල්මනක් දැකල තිබුනෙත් නැහැ. එච්චර ඒවගේ දේවල් ගැන අහන්ඩ ලැබිලා තිබුනෙත් නැහැ. ඉතින් මම ඕවා නිකන් අවඥාවෙන් බැහැර කරන මානසික තත්ත්වෙක තමා ඒ වෙනකොට හිටියේ.

" ඇයි මහත්තයා හිනා වෙන්නේ ? ඒක විහිලුවක් නෙමෙ. අපේ ඩ්‍රයිවර්ලා දෙතුන් දෙනෙක්ම දැකලා තියනවා ඔතනින් පාර පනින සුදු ඇඳ ගත්තු ගෑනු කෙනෙක්. නිකන් පාවෙලා වගේලු යන්නේ පාර හරහා. එකපාරටම වාහනේ ඉස්සරහින් පනිනවා වගේලු පේන්නෙ. රෑ දොළහත් එකත් අතර තමා පේනවා කියන්නේ.  "

මම පුදුම වෙලා මනුස්සයා දිහා බලාගන හිටියා.

" මම බොරුවක් නෙමේ කියන්නේ මහත්තයො. දැකලා බය වෙච්ච අය ඉන්නවා ඕන තරම්. ඒ වගේම ඇක්සිඩන්ටුත් හරියට වෙලා තියනවා. "

" ඩ්‍රයිවර් උන්නැහැ දැකලා තියනවද ? "

" මම නම් තාම දැකලා නැහැ. ඒත් කෝකටත් කියලා මෙතනින් මම රෑට යනවනම් ස්ලෝ කරනවා. "

" ඕක නිකන් කාගෙ හරි හිතලුවක් වෙන්ඩ බැරිද ? ඇත්තටම පාර පැනපු ගෑණු කෙනෙක් දැකලා හැඳුන එකක් වෙන්ඩ බැරිද ? " මම අවිශ්වාසය පළකරා.

" අනේ මංදා මහත්තයෝ. ඔය පිළිමෙ ඉස්සර තිබුනේ ටිකක් එහාට වෙන්ඩ, පාරෙන් අනිත් පැත්තෙ. හරියටම ඇක්සිඩන්ට් එකෙන් එයා මැරුණ තැන. ඉස්සර එතන හරියට ඇක්සිඩන්ට් වෙනවා. මාරාන්තික අනතුරු. පස්සෙ පස්සෙ මිනිස්සු ඇක්සිඩන් එකක් උනාම පිළිමෙට කළු තෙල් ගහන්ඩත් පටන් ගත්තා. පස්සෙ තමා පිළිමෙ මෙතනට ගෙනාවෙ. මෙතනට ගෙනාවට පස්සෙ අනතුරු ටිකක් අඩුයි කියනවා. ඒත් ඔය පාර පනින ගැනු කෙනාගෙ කතාව තියනව. ඕවා නිකන් බොරුම වෙන්ඩ බැහැනෙ මහත්තයො. "

මම කොච්චර හොල්මන් විශ්වාස කරන්නෑ කියලා හිත තද කරන් හිටියත්, මේ කතාව ඇහෙද්දි ඇඟේ හිරි ගඩු පිපෙනවා වගේ දෙයක් දැනුනා. ඒ ඇයි කියන්ඩ මට තේරෙන්නෑ. ඒත් මගේ හිත එකපාරටම මේ කතා පිළිගන්ඩ සූදානම් නැහැ. මේ මතෘකාව ගැන මගේ උනන්දුවත් ටික ටික වැඩි වේගන ආවා. මට තේරුනා මම පිළිගන්නැති බවක් පෙන්නුවොත් මේ මනුස්සයගෙන් තව තව කතා අහ ගත්තැකි කියලා.

වාහනේ ආයෙත් සුපුරුදු වේගයෙන් ඇදෙනවා. කඳාන පොලිසිය කියලා ගහපු බෝඩ් එක ලාවට වගෙ දැක්කා ලයිට් එළියෙන්. තාම ගමනේ ආරම්භය.

" මටනම් විශ්වාස කරන්ඩ අමාරුයි ඩ්‍රයිවර් උන්නැහැ. මම නම් හොල්මන් අවතාර පිළිගන්නෑ. හොල්මන් කියන්නේ හෙල්ලෙන මනස කියලා කියනවලුනෙ. "

මම මෙහෙම කිව්වම මිනිහ මහ අමුතු විදිහට මම දිහා බැලුවා. ඒ බැල්ම දැක්කම මට හිතුනේ මමත් මේ යන්නේ හොල්මනක් එක්කද කියලා. හොල්මනක් ඇවිත් මාවා මරන්ඩ අරගන යනවා ! ඒ සිතුවිල්ල මාව මොහොතකට ගැස්සුවා. ඒත් ඊ ලඟ නිමේශයේදී මම පියවි තත්ත්වෙට ආවෙ, " උඹට පිස්සුද යකෝ ? හොල්මන් සිගරට් බොනවද ? " කියලා මගෙ හිත මගෙන්ම ඇහුවාම තමා. ඒ ප්‍රශ්නෙ මගෙ මුවට මද හසක් නැංවූවා.

" මහත්තයා මට හිනා වෙනවා. මහත්තයට මම කියන්නම් ඔය කතාවම කියපු මගේ යාළුවෙකුට වෙච්ච දෙයක්. " එහෙම කියලා රියදුරා ටිකක් කල්පනාවට වැටුනා. මිනිහගෙ මූණ හැඟීම් බරවෙනවා මට පාරෙන් වැටුන ලයිට් එළියෙන් පවා බලා ගන්ඩ පුලුවන් වුණා. "

" ඔව් කියන්ඩ, යාළුවට මොකද වුණේ ? " දැන් මට මේ කතාව අහනකම් ඉවසිල්ලක් නැහැ.

" මේක වෙලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා මහත්තයෝ. මම මේ එයාර් පෝට් හයර් කිරිල්ල පටන් ගන්ඩ කලින් කළේ ත්‍රී වීල් එකක් එලෝපු එක. " මම මනුස්සයට තව සිගරට් එකක් දික්කළේ පොඩි උත්තේජනයක් දෙන්ඩ ඕනා නිසා. ගුවන් ගමනේ මහන්සියත් එක්ක, නිදිමතත් ලාවට වගේ තිබුනා. ඒත් ඒ සියල්ල යට කරන් මගේ කුතුහලය දැන් නැගිටගන එනවා.

" ඉතින් ! "

" මම ගෙවල් ගාව හන්දියක තමා ත්‍රී වීල් එක තියන් හිටියේ. මහත්තය දන්නවනේ ඉතින් ඕවයේ ඉතින් එක ත්‍රී වීල් එකක් නෙමේනෙ තියෙන්නෙ. අපෙත් හිටියා කට්ටිය දහ දොළොස් දෙනෙක්. "

" මම කියපු ඔය මගේ යාලුවත්, යාලුව කිව්වට පොඩි කොල්ලෙක්, බැඳලා තිබුනෙත් නැහැ. අපිත් එක්ක ඔය රස්සාවම තමා කළේ. නම නිලන්ත. "

" හරිම හිත හොඳ එකා මහත්තයො, දහිරියවන්ත කොල්ලා. තාත්තත් නැතුව මුලු ගෙදරම කටයුතු බලාගන බාල සහෝදරයන්ට ඉගැන්නුවෙත් ඉතින් ඔය රස්සාවෙන් හම්බෙන කීයකින් හරි තමා. ඒ වගේ තමා ඉතින් යකා වගේ, සාමාන්‍යයෙන් කාටවත් බය ඇති එකෙක් නෙමේ. ඕනම බාල්දියක් පෙරලුනොත් මිනිහ හැමෝට කලින් එතන ඇති. "

" ඉතින් ඉතින් "

" ඔහොම ඉන්නකොට දවසක් අපි අතර ඇති වුණා කතාවක් හොල්මන් ගැන. "

" ඉතින් ! "

" ඒ වෙලාවෙ එතන අපි හතර දෙනෙක් හිටියා, ඔය මම දැන් මහත්තයට ටිකකට කලින් කිව්වා වගේ අපි අහපු දැකපු දේවල් තමා අපි කතා වුණේ."

" "මොන පිස්සුද බන් හොල්මන් කියලා ජාතියක් නැහැ. ඕවා ඔක්කොම මනස් ගාත. මම මේ ලඟදි දැක්කා ටී වී එකෙත් කව්ද කියනවා ඔය හොල්මන් කියන්නේ හෙල්ලෙන මනස කියලා", මිනිහා කිව්වා. "

" ඔන්න බලන්ඩ මහත්තයෝ ඔය මහත්තයා දැන් ටිකකට කලින් කිව්වෙත් ඕකම නේද ? "

" ඔව් ඔව් " දැන් දැන් මගේ කුතුහලය හොඳටම ඇවිස්සීගෙන එන්නේ.

" අපි තුන්දෙනා, අපි දන්න, අහපු කතා ඔක්කොම කිව්වා. අරෙහෙ මෙහෙම වෙලා තියනවා, මෙහෙ මෙහෙම වෙලා තියනවා. මොන, පුතයා නෙමේ ඒවා අහන්නේ. ඌ කියන්නෙම ඒවා බොරු කියල. "

" ඔන්න ඔය වෙලාවෙ තමා අපිත් එක්ක හිටපු සාන්ත කියන එකාට නහුතෙට තද වුණේ. "හා උබ ඔච්චරම පිළිගන්නැත්තම් උඹට පුලුවන්ද රැයක් තනියම පරණ කනත්තෙ ඉන්ඩ ?" කියලා අහපි. "

" ඉතින්හ් ! මිනිහ හා කිව්වද ? ඇයි ඒකට පරණ කනත්ත කිව්වෙ ? "

" නැතුව ? මම කිව්වනෙ මිනිහගෙ හැටි. යකෙකුටවත් බය නැහැ. "

" "හරි මම ඉන්නම්, උඹලා කියපල්ලා මම කවද්ද ඉන්ඩ ඕනා කියලා. " ඔන්න උත්තරේ. "

" අපි තුන්දෙනා මූණෙන් මූණ බලා ගත්තා. අපි හිතුවෙ මූ කයිය ගැහුවට ඔහොම එකකට එකඟ වෙන එකක් නැහැ කියලා. හුඟක් මිනිස්සු එහෙමන. "

" ඇයි ඒකට පරණ කනත්ත කිව්වෙ ? " ඒ විශේෂණ පදය ගැන මට තිබුන කුතුහලය නිසාමයි ආයෙත් ඇහුවෙ.

ඔය කනත්ත කාලෙකට කලින් පාවිච්චි කරලා අතඇරලා දාපු එකක්. ගමේ කොනකට වෙන්ඩ තමා ඕක තියෙන්නෙ. පිටිපස්සෙන් ගඟ. ඉස්සරහින් තියන පාර කෙටිම පාරක් තමා ටවුන් එකට යන්ඩ ඕන නම්. ඒත් කාලයක් තිස්සෙ සිදුවෙච්ච අත්භූත සිද්ධි හින්දා මිනිස්සු ඔය පාර පාවිච්චියත් කනත්ත වගේම අතඇරලා දාලා තිබුනෙ. ඉඳලා හිටලා මිනිහෙක් දවල්ට ගියොත් මිසක්, රෑට නම් හදිස්සියකටවත් බලු බල්ලෙක්වත් යන්නෑ ඔය පාරෙන්.

" මොනවද අත්බූත සිද්ධි කිව්වෙ ? "

"සමහරු දැකලා තියනවා, හවසට සුදු ඇඳගෙන කනත්තෙ ඇවිදින ගෑනු කෙනෙක්ව. සමහරුන්ගෙ පස්සෙන් තඩි කළු බල්ලෙක් එලවන් ඇවිල්ලා තියනවා, සමහරුන්ට අස්සයෙක් දුවන සද්ද වගේ ඒවා ඇහිලා තියනවා, කීප දෙනෙක්ම එක එක ඒවට බය වෙලා තිබුනා ඔය කනත්ත ගාවදියි, පාරෙදියි. ඉතින් ඒ වගේ කනත්තක රැයක් ගත කරන්ඩ යනවා කිව්වම ඌට පිස්සුම වෙන්ඩ ඕනා. "

" එතකොට සාන්තයා කිව්වා "හරි හරි ඕක අල්ලලා දාමු අපි පිළිගන්නම් උඹ හොල්මන් වලට බය නැහැ කියලා. ", ඇත්තටම අපි ඔක්කොටම කියන්ඩ ඕනා වෙලා තිබ්බෙ ඒක. බොරුවට ඔට්ටු අල්ලන්ඩ ගිහින් මූට නස්පැත්තියක් උනොත් අපි ඉඳල මොකටද "

" එතකොට නිලන්තයා කිව්වා "නැහැ නැහැ.. දැන් උඹලා අභියෝග කළානේ, මම ඒක බාරගන්නවා. අනිද්දා මම ඔය කනත්තෙ මුලු රැම ගත කරනවා. බලමු හොල්මන් මට මොකක් කරයිද කියලා ""

" අපි දන්න දහිරිය දැම්මා ඌව නවත්තන්ඩ. මොන, ඒකා කිව්වොත් කිව්වා."

" විසි එක්වෙනිදත් ආවා, එදා තමයි කියපු දවස. එදා දවසෙම අපි ඒ ගැන වචනයක්වත් කතා නොකර ඉන්ඩ තමා කතාවෙලා හිටියේ, නිලන්තට අමතකවෙලා හරි, මිනිහා හිත වෙනස් කරගන හරි හිටියොත් එහෙම්ම මගෑරිලා යන්ඩ දෙන්ඩ. කොහෙද එදා උදේම මූ ඇවිල්ලා කතාව ඇදලා ගත්තෙ නැද්ද ! "

" කොහොමින් කොහොම හරි රැත් උනා කියමුකො. අන්තිම මොහොත දක්වාම වැඩේ නවත්ත ගන්ඩ තමා කට්ටියම බැලුවෙ. සාන්තයට තමා ගොඩක් ඕනා කම තිබ්බේ ඇයි ඉතින් උගෙ කට වැරදිච්ච නිසානෙ මේක උණේ. මොනවා හරි උනොත් හැමෝම ඌට දොස් කියන්ඩ ගනියි කියලා. මම නම් එදා රෑ වැඩේට සහබාගි උණේ නැහැ.  කොල්ලො ටික මූව කනත්තට ඇරලවලා ඇවිල්ලා. උදේ කට්ටිය එනකම්ම කනත්තෙ ඉන්නවා කියලා තමා නිලන්ත කියලා තිබුනෙ. "

" ඉතින් මිනිහා ඇත්තටම හිටියද, නැද්ද කියලා දැන ගත්තෙ කොහොමද ? "

" ඉන්ඩකො කියනකම්. ඒකට අපිනම් ක්‍රමයක් යෙදුවෙ නැහැ. මොකද අපිට කිසිම සැකයක් තිබුනෙ නැහැ මිනිහා එහෙම බය ගුල්ලෙක් වගේ බොරුවක් කරලා මාරු වෙලා යයි කියලා. එහෙම ඕන නම් බලෙන්ම ඔහොම එකකට පැටලෙන් නෑනෙ. අනිත් එක අපි හැමෝටම ඕනා වෙලා තිබුනෙ මිනිහා එහෙම හරි මගෑරලා යනවනම් යන්ඩ දෙන්ඩ. මොකද මේකෙ තියන භයානක කම නිලන්ත ඇරෙන්ඩ අනිත් ඔක්කොවන්ටම හොඳටම දැනිලා තිබුනෙ. අපි කිසි කෙනෙකුට ඔතන වෙන ඔය සිද්ධි ගැන කිසි සැකයක් තිබුනෙ නැහැ. "

" ඉතින් ඊට පස්සෙ ? "

" ඉතින් කට්ටිය බිමට එළිය වැටෙද්දිම කනත්තට ගිහිල්ලා."

"යනකොට දැකපු දෙයින් කට්ටියගෙ ලේ වතුර වෙලා තිබුනා, මෙන්න මිනිහා ඉන්නවලු මිනී වලක් උඩ වැටිලා. "

" නෑ..හ්හ් " මගේ රෝම කූප කෙලින් වෙන බවක් තමා මට දැනුනෙ.

" ඒ මක් වෙලාද ? "

"සාන්ත ඔලුවෙ අතගහගන තිබුනා, මොකක්ද මං කරපු මේ අපරාදෙ මේකව මේකට පටලවලා කියලා. "

" හොඳට ලංවෙලා බලලා තියනවා සිහි නැති වෙලාවත්ද කියලා. නෑ හුස්ම ගන්නෙත් නැහැලු. කොල්ලො ටික සෑහෙන්ඩ අවුල් වෙලා. හිමීට නිලන්තව අනිත් පැත්තට හරවනකොටම... "

" ඔව් මොකද වුණේ.. " මට දැන් ඉවසිල්ලක් නොමැත.

" මේ යකා කෑගහගන හූ කියාගන නැගිටලා තියෙන්නෙ. අරුන් තුන්දෙනා පණ එපා කියලා දුවන්ඩ පටන් අරන්.. " ගුණවර්ධන කියමින් සිනාසෙයි.

" " හෝව් හෝව් කොහෙද තොපි දුවන්නෙ ? මේ මම මම" කිය කිය  නිලන්තයා බඩ අල්ලන් හිනාවෙනවලු. " "

" අරුන් ටික නැවතිලා කුනුහරුප කියාගන තමයි ආයෙත් ඇවිත් තියෙන්නෙ. කන්ඩ කෙන්තිය මේ කරපු වැඩේට. "

" මොකද වෙලා තියෙන්නෙ ? " මමත් ටිකක් කේන්තියෙන් ඇහුවෙ. මහලොකු කතාවක් කියන්ඩ වගේ ඇවිල්ලා බොරුවට කුතුහලයත් අවුස්සමින් කරපු මේ කතාව ගැන මට ඒ වෙනකොට අප්‍රසාදයක් තමා ඇති වෙලා තිබුනෙ. " මේ යකා අතින් දාලා බොරු කියනවා " කියන නිගමනයට මම ඒ වෙනකොට ඇවිත් හිටියෙ.

" නිලන්තයා අරුන් ටිකව බොරුවට බය කරන්ඩ තමා එහෙම ඉඳලා තියෙන්නෙ. "

" ඒ කියන්නෙ මිනිහට මුකුත් වෙලා නැහැ. ඒ කියන්නෙ හොල්මන් කියන එක බොරුවක් කියලා තමා ඔප්පු වෙන්නෙ ? එහෙම නේද ? කෝ ඩ්‍රයිවර් උන්නැහේ මට කිව්වෙ හොල්මන් ඇත්ත කියලා ඔප්පු වෙන කතාවක් කියනවා කියලනෙ " ඒ මගේ නොරිස්සුම මිශ්‍ර වෙච්ච හඬ.

" ඉවසලා ඉන්ඩ මහත්තයො කතාව තාම ඉවර නැහැ. මම මේ වෙච්ච විදිහටමයි කියාගන යන්නෙ. "

" හරි හරි ඉතින් කියන්ඩකො. "

" කෝ බන් උඹලා කියපු හොල්මන් ? මම නම් එකෙක්වත් දැක්කෙ නැහැ කියලා තමා ඉතින් මිනිහ අන්තිමට කිව්වෙ."

" ඔන්න ඔහොම මුළු ගමක්ම කාලයක් බය වෙලා හිටපු ඔක්කොම හොල්මන් වලට කොලොප්පමකුත් කරලා තමා නිලන්තයා හොල්මන් නැහැ කියලා ඔප්පු කළේ. "

කට්ටියම මුකුත්ම කියන්ඩ ගියෙ නැහැ. මිනිහට දිනුම දීලා නිකන් හිටියා ඇරෙන්ඩ. ආයෙ මොකක් හරි කියලා තවත් විකාරයක් කරයි කියන බය හැමෝටම තිබුනා. නිලන්ත මොන සෙල්ලම් දාලා පෙන්නුවත් අනිත් අය කවුරුවත් ඉතින් තමන්ගෙ හිතේ තියන විශ්වාස එක පාරටම අතාරින්නෑනේ මහත්තයො. "

" ඊ ලඟට මොකද වුණේ ? " මට දැන් කතාව නීරස වීගන එන්නෙ. මේ යකා කියන තරම් මඟුලක් මේකෙ නැහැ කියලා තමා මට දැන් හිතෙන්නෙ.

" ඕක වුණේ බදාදා දවසක. ඊලඟ ඉරිදා උදේ, නිලන්තයගෙ ත්‍රී වීල් එක ඔය කනත්තට ටිකක් මෙහායින් පාරෙ අයිනෙ තියන විශාල සියඹලා ගහේ හැප්පිලා තිබිලා හම්බුනා. "

" නෑහ්හ්.... ඒ මොනවා වෙලාද ? " නැවතත් මගේ යටයමින් තිබූ කුතුහලය ඇවිස්සුනි.

" ත්‍රී වීල් එක ඉස්සරහ චප්ප වෙලා. නිලන්තව එලියට ගන්න කොටත් සිහි නැහැ. මිනිහට පිටින් පේන්ඩ නම් තුවාලයක් තිබුනෙ නැහැ. " ගුණවර්ධනගේ කට හඬ නැවතත් හැඟීම් බර වෙමින් තිබුනි.

" මොකද වෙලා තියෙන්නෙ ? "

" මිනිහා දවසක්ම හිටියා ඉස්පිරිතාලෙ සිහි නැතුව. පහුවදා තමයි සිහිය ආවෙ. ඊට පස්සෙ ටික ටික කතා කරන්ඩ ගත්තා. ඒත් නිතරම බය වෙලා වගේ තමා හිටියේ. හිටපු ගමන් නින්දෙන් කෑගහගන් නැගිටිනවා . "

" මොකක්ද වෙලා තියෙන්නෙ ? " කතාව නොකියමින් වටේ වැල්වටාරම් ගහමින් ඉන්න එක ගැන මට ඒ වෙනකොට රියදුරත් එක්ක කෝපයක් ඇති වෙමින් තිබුනෙ.

" සිහිය ඇවිත් හොඳට හිටපු වෙලාවක තමා අපි මිනිහගෙන් කතාව දැනගත්තෙ. "

" එදා සෙනසුරාදා රෑ, නිලන්ත හයර් එකක් ගිහිල්ලා එමින් ගමන්. වෙලාව රෑ එකොළහමාරට විතර ඇතිලු. මගදි ගෑනු කෙනෙක් අත දාලා තියනවා ත්‍රී වීල් එකට. පොඩි අත දරුවෙක්වත් වඩාගන. "

" මෝහිනීද ? " මම ඉස්සර විය. ඒ මෝහිනී ගැන කලින් අසා තිබුන බැවිනි.

" ඉන්ඩකො මහත්තයො කියනකම්. "

" ළමයට හදිසියේ අසනීප වෙලා, ඉස්පිරිතාලෙට බේත් ගන්ඩ ගිහිලා එන ගමන්ලු, බස් එක මගෑරුණා කියලා කිව්වලු. "

" ඉතින් ඉතින් "

" යන්ඩ ඕනා කියලා තියෙන්නේ අපේ ගමට අල්ලපු ගමට. ටවුන් එකේ ඉඳලා අර මම කලින් කියපු පාර තමා කෙටිම පාර. නිලන්තයා ඉතින් ඔය පාරෙන් තමා ඇවිත් තියෙන්නේ. " " ඕකෙ ඌම ඇරෙන්ඩ ඔය වෙලාවෙ වෙන එකෙක් නම් කීයටවත් යන්නෑ කියලා මට ඉර හඳ වගේ විශ්වාසයි. හොල්මන් නැහැ කියලා මිනිහම ඔප්පු කරලා තිබුන එකත් ඕකට බලපාන්ඩ ඇති. "

" ඔය කනත්ත හරියට එනකොටම නිලන්තට දැන් ඇහෙනවලු පිටි පස්සෙන නිකන් සිලි සිලි මල්ලක් පොඩි වෙනවා වගේ සද්ද්යක්. "

" ඉතින් ! " දැන් මගේ හද ගැස්මද වැඩි වෙමින් පවතී.

" මිනිහ හැරිලා බලල තියනවා නිකමට වගේ. ඒ දැකලා තියන දේ වෙන එකෙක් දැක්ක නම් එතනම මැරෙනවා මහත්තයෝ. මුගෙ හිත හයිය හින්දම ඔහොමවත් අල්ලලා හිටියා. "

" ඇයි මොකක්ද දැකලා තියෙන්නෙ.. ? "

" මූ පිටි පස්ස බලපුවම දැකලා තියෙන්නේ ගෑනි කොණ්ඩෙ කඩාගන දත් විලිස්සලා මූ දිහා බලලා තියනවා. ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ රතුම රතු පාටයිලු, ලොකූ වෙලාලු. දෙකොනෙන් මතු වෙච්ච උල් දත් වලින් ලේ පෙරෙනවලු. ඔඩොක්කුව දිහා බලපුවමයි දැකලා තියෙන්නේ ගෑනි අර ළමයව කනවලු. ඒ වෙනකොටත් ඔලුව නැහැල්ලු "

" නිකන් හිතලා බලන්ඩ මහත්තයෝ තමන්ගෙ පිටිපස්සෙන් අඩි දෙකක්වත් දුර නැතුව ඒ වගේ දෙයක් එකපාරටම දැක්කම මොන ජගතද බය නොවී තියෙන්නේ. මාව නම් එතනම මැරෙයි. "

එවිට මමත් සිතා බැලුවේ මම එවැනි දර්ශනයක් දුටුවහොත් මගේ ප්‍රතිචාරය කුමක් වෙයිදැයි කියාය. අනිවාරයයෙන්ම දරුණු තිගැස්මකට හෝ බයවීමක් විය හැකි බව හැඟුනේ එම සිතුවිල්ල පවා මසිත බියෙන් පුරවාලූ බැවිනි.

" මේ යකා බය වෙච්ච පාර සිහි නැතුව ගිහිල්ලා අර සියඹලා ගහේ වද්දගන. "

" උඹලා හරි මචන්, හොල්මන් අවතාර කියලා දෙයක් තියනවා, මම දැන් පිළිගන්නවා" කියලා ඌ ඇඳේ ඇල උනා. ඒ තමයි උගෙ අවසාන වචන මහත්තයො. "

" ඇයි මොකද වුණේ ? "

" දවස් දෙකයි හිටියේ, ඊලඟ දවසෙ මුලු ඇඟම නිල් වුනා, ඊට පහු වෙනිදා ඌ අපිව දාලා ගියා මහත්තයො." ගුණවර්ධන බෙහෙවින්ම හැඟුම් බර විය. ඉන් පසු සැහෙන දුරක් යනකම් අප දෙදෙනා අතර කතාවක් නොවීය.

ටිකකට පසු ගුණවර්ධන විසින්ම සිය හඬ අවදි කළේය.

" හොඳම වැඩේ කියන්නේ මහත්තයො, ත්‍රී වීල් එකේ සීට් එකේ තිබිලනේ ලේ වගයකුයි, පොඩි එකෙක්ගෙ සූප්පුවකුයි "

" නෑහ්හ්හ්..... !!! " ඒ මවිත වූ මාය.

" ඔන්න ඕක තමා මහත්තයෝ මම කිව්වේ හොල්මන් තියනවා කියලා. මහත්තයා තාමත් විශ්වාස කරන්නැද්ද ? "

" ගමේ මිනිස්සු නම් කියන්නේ හොල්මන් අවතාර සම්ච්චලයට ලක්කරපු හින්දම නිලන්තට මේ දඬුවම ලැබුනා කියලා. "

                                                                          ~~~~~
සැබැවින්ම මට අදටත් ඒ පිළිබඳ ඇත්තේ දෙගිඩියාවකි. හොල්මන් තිබෙන්නත් පුලුවන, නොතිබෙන්නත් පුලුවන. බුදු දහමෙත් ප්‍රේත ආත්ම වැනි දේවල් ගැන කියවෙන බැවින් හොල්මන් නැතැයි එක වරම අහක දැමිය නොහැකි යැයිද මට හිතේ. එහෙත් ඡායා මාත්‍රයකින්වත් එවන් වූ අත්දැකීමක් ලබා නැති බැවින් ඒ පිළිබඳව සැකයක් නැත්තේත් නොවේ.

මේ ගැන ඔයගොල්ලො මොනවද හිතන්නෙ ?


පසු සටහන ;

~ ඉහත සඳහන්, ත්‍රීරෝද රථය තුල සිදු වූවයි කියන සිද්ධිය මට ඇසීමට ලැබුනේ මගේ මිතුරකු වූ රොනල්ඩ් ඩයස් මහතා මාර්ගයෙනි. එය සිදුවූ ප්‍රදේශය හා කාලය ඔහු සඳහන් කළද දැන් එය මාගේ මතකයෙන් ගිලිහී ගොස්ය. මෙය එය අනුසාරයෙන් මා විසින් ගොතන ලද කතාවක් පමණී.

~ රුක්මණී දේවියගේ පිළිරුව පිළිබඳ දැක්වුනු අදහස් ඒ ශ්‍රේෂ්ඨ කලාකාරිණියට අපහාසයක් සිදුකිරීමේ අරමුණින් යෙදූවක් නොව, අදටත් ඒ ප්‍රදේශයේ ප්‍රචලිත මිත්‍යාවක් මාගේ කතාව ගොඩනැගීම සඳහා යොදා ගත්තා පමණී. ඒ පිළිබඳව කාට හෝ සිත්තැව්ලක් ඇතිවුවහොත්  ඒ සම්බන්ධයෙන් උදක්ම සමාව ඉල්ලා සිටිමි.

පින්තූරය Google Images වෙතින්.

~~ සෙන්නා / 30.03.2012

Friday, March 23, 2012

බළල් පණක් තිබූ පූජකයා..

2012 මැදින් මස 23 වනදා,


සාමාන්‍යයෙන් මිනිසෙකුව මැරීමට කෙතරම් සයනයිඩ් ප්‍රමාණයක් අවශ්‍යද ? මෙය ඒ පිළිබඳව අත්දැකීම් ඇත්තෙකුට හෝ ඒ පිළිබඳ පරීක්ශණ කරන පුද්ගලයෙකුට, වෛද්‍යවරයකුට හැරුන කොට එක එල්ලේ සාමාන්‍යය පුද්ගලයෙකුට පිළිතුරු දිය නොහැකි පැනයක් බවට සැකයක් නැත. කොටි ත්‍රස්තවාදීහූද සයනයිඩ් කරලක් පාවිච්චි කළ බවට අප අසා ඇත්තෙමු. එහි කෙතරම් ප්‍රමාණයක් සයනයිඩ් නම් වූ වස අඩංගුව තිබෙන්නට ඇත්ද ? ඒ කෙසේ වෙතත් අප සැම පොදුවේ දන්නා දෙයක් ඇත. ඒ සයනයිඩ් යනු මාරාන්තික විසක් බවත් එය භාවිතා කළ සැනින් මරණය ලඟා කිරීමට සමත් තියුනු විසක් බවත්ය. එහෙත් එය එසේමද ?

                                                                           xx

1916 දෙසැම්බර් මස 19 වන දින, රුසියාවේ මලයා නෙව්කා නදියෙහි, මහා පෙට්‍රොව්ස්කි පාලම අසලින් ගොඩ ගත් මළසිරුරකි. එය හඳුනා ගත නොහැකි අයුරින් ඒ වන විටත් නරක්ව තිබුනි. වැඩිදුරටත් කළ පරීක්ෂණ වලින් තහවුරු වූයේ, එය අධික ලෙස වස දීමෙන්, තෙවරක් වෙඩි තැබීමෙන්, දරුණු ලෙස පහර දීමෙන් සහ අවසානයේදී දියේ ගිල්වීමෙන් සිදු කළ මරණයක් බවයි. ඔබ දැන් මවිතවී ඇති එක මිනිසකුව මැරීමට මෙතරම් දෑ කළ යුතුද කියා ! ඔව්, සැබවින්ම එලෙස කිරීම අත්‍යවශ්‍යම වී තිබුණි.

                                                                           xx 

20 වන ශතවර්ෂයේ ආරම්භයේදී, රුසියාව දෙවන සාර් නිකොලස් අධිරාජයා යටතේ පාලනය විය. අධිරාජයා සහ රාජිණිය සිත්තැව්ලට පත්කරමින් සිහසුනේ මීළඟ උරුමක්කාරයා වෙනුවෙන් වසර හතරක් වැනි කාලයක් බලා සිටීමට සිදු වූහ. ගැහැණු දරුවන් හතර දෙනෙකු ලැබීමෙන් පසු බලාපොරොත්තු කඩ වූ රාජකීය යුවළ නා නා ප්‍රකාර පුද්ගලයන්ගේ, පූජකයන්ගේ සහය පැතුවේ පෙළපතට උරුමක්කාරයකු වූ පුත්‍ර රත්නයක් ලබාගැනීමටයි. අවසානයේදී බලාපොරොත්තු මල්ඵල ගන්වමින්, 1904 අගෝස්තු 12 වන දින ඇලෙක්සියි නිකොලායෙවිච් ( Alexei Nikolaevich ) දරුවා මෙලොව එළිය දුටුවේය. එහෙත් අවාසනාව තවමත් ඔවුන් පසු පසය. ළදරුවා " රාජකීය රෝගය " යැයි හැදින්වූ හිමෝෆීලියාවෙන් පෙළෙන්නට විය. නොයෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ගත්තද ප්‍රතිඵල රහිත විය.

                                                                           xx 

රස්පුටින්
රස්පුටින් හෙවත් Grigori Yefimovich Rasputin, 19 වන ශතවර්ශයේ අග භාගයේ රුසියාවේ සයිබීරියාවට අයත් කුඩා ගම්මානයක් වූ පොක්රොව්ස්කොයි ( Pokrovskoye ) ගම්මානයේ වැසියකු ලෙස උපත ලැබීය. ඔහුගේ උපන් දිනය පිළිබඳ නිශ්චිත සඳහනක් නොවුනත්, මෑතකදී ඔහුගේ උපන්දිනය 1869 ජනවාරි 10 වන දින ලෙස නිර්ණය කරන ලදී.

ඔහුගේ ළමා විය පිළිබඳ විශේෂ විස්තරයක් නැති අතර ඔහුට එක් සහෝදරයෙක් සහ සොහොයුරියක් සිට ඇත. සහෝදරිය වූ  මරියා අපස්මාර රෝගයෙන් පීඩා විඳි අතර අසල වූ ගඟක ගිලී මිය ගිය බව පැවසේ. සොහොයුරා වූ දිමිත්‍රි, පොකුණක ගිලීමෙන් පසුව හටගත් නිව්මෝනියා රෝගයෙන් මිය ගොස් ඇත. මෙය රස්පුටින්ගේ ජීවිතයට විශාල වශයෙන් බලපෑ අතර, විවාහ වී දරුවන් ලද පසු, ඔහු සිය පුත්‍රයා සහ දියණිය, දිමිත්‍රි සහ මාරියා ලෙස නම් කිරීමට යොමුවිය.

වයස 18 දී, තෙමසක් තාපසාරාමයක ගත කරන ඔහු, තහනම් කළ ක්‍රිස්තියානි නිකායක් ( Khlysty  ) සමඟ සම්බන්ධතා පැවැත්වූ බවටද විශ්වාස කෙරේ. තාපසාරාමයෙන් ඉවත්වූ පසු, අසල විසූ, මකාරී නම් ධාර්මික දිවියක් ගෙවූ මිනිසකු ඇසුරට වැටෙන රස්පුටින් ඔහුව අනුකරණය කිරීමටද පෙළබේ. මකාරී විසින් රස්පුටින් කෙරෙහි දක්වූ බලපෑම අති මහත්ය.

1889 දී රස්පුටින් ප්‍රස්කොවියා ඩුබ්රොවිනා නම් තරුණිය හා විවාහ වන අතර ඔහුට දාව ඇයට දරුවන් තිදෙනෙකි.

1901 දී නිවසින් පිටවන ඔහු, වන්දනා කරුවකු වශයෙන් තැනින් තැනට සංචාරය කරයි. ඔහු ග්‍රීසියට හා ජෙරුසලමට ගිය බවද සඳහන් වේ. 1903 දී ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණෙන රස්පුටින්, ටික කලෙකින් සුවකරන්නකු හා අනාගතවක්තෘ කෙනෙකු ලෙසටද නමක් දිනා ගැනීමට සමත් වේ.

රස්පුටින් ඉතා කාමශක්ත පුද්ගලයකු වූ අතර කාන්තාවන්ව ආකර්ෂණය කර ගැනීමේ අපූරු හැකියාවකින්ද යුක්තවිය. රුසියානු ඉහළ සමාජයේ බොහොමයක් කාන්තාවන් ඔහු විසින් සිය ග්‍රහණයට ගෙන සිටි බවද සඳහන්වේ. එයට අමතරව ඔහු ද්විත්ව ලිංගික ආශාවන්ගෙන් ( Bisexual ) යුක්ත වූ බවද පැවසේ.

ඔහුගේ පෞර්ෂත්වය විදහා දැක්වන අනෙක් කරුණ වූයේ නේත්‍රා යුග්මයයි. මෙය අන්‍යන්ව වශී කරවන සුළු ප්‍රබලතාවයකින් යුක්ත විය.

                                                                           xx 

සිදුකළ සියලු ප්‍රතිකාර අසාර්ථක වූ පසු, රාජකීය යුවළ පිහිටක් ගතහැකි හැම අතටම යොමු වන්නට වූහ. මේ අතරතුරේදී රාජිනියගේ මිතුරියක මාර්ගයෙන් රස්පුටින් ගැන දැනගත් රාජකීය යුවළ ඔහුව මාලිගයට කැඳවනු ලැබූහ. මෙම කැඳවීම ලැබෙන විට ඔහු සයිබීරියාවේ සංචාරය කරමින් සිටියේය.

වෛද්‍යවරුන් පළකළ අනාවැකි බොරු කරමින් රස්පුටින් ළදරුවාට යම් සහනයක් ගෙනදීමට සමත්වේ. ඔහු එය සිදු කළ ආකාරය අදටත් අභිරහසක් වන අතර, සමහරු එය මෝහනය මාර්ගයෙන් කළ බව පවසන අතර සමහරු රස්පුටින් සතුව ඔහු පවසනාකාරයේ විශේෂ සුවකිරීමේ බලයක් ඇතැයි විශ්වාස කළහ. කෙසේ නමුත් රාජකීය යුවලට ඇවැසි දේ ඉෂ්ඨවී තිබුණි.

මෙලෙස වරින් වර දරුවාගේ රෝගය උත්සන්න වූ අවස්ථාවලදී රස්පුටින්ගේ සේවය ලබාගැනීමට ඔවුන් පුරුදු වූ අතර, කලක් ගතවන විට රස්පුටින් රාජකීය පව්ලේ හිතවතකු දක්වා ඔසවා තැබීමට මෙම සම්බන්ධයට හැකිවිය. එය කෙතරම්ද යත් සාර් අධිරාජයා විසින් ඔහුව " අපේ මිතුරා " , " ශුද්ධවූ මිනිසා " යනුවෙන් ඇමතීමට තරම් කුළුපග විය. රාජකීය යුවළ ඔහුව දෙවියකු නැත්නම් සෘෂිවරයකු ලෙස සැලකීමට පුරුදු වූහ. අධිරාජිණිය, දෙවියන් වහන්සේ රස්පුටින් හරහා තමනට කතාකරන බව විශ්වාස කිරීමට තරම් මේ විශ්වාසය දැඩි විය.

1915 සැප්තැම්බර් මස, දෙවන නිකොලස් සර් අධිරාජයා පළමු ලෝක සංග්‍රාමයේ යෙදී සිටි බළමුළු මෙහෙයවීම සඳහා වැඩිකාලයක් යොමු කළ බැවින්, අභ්‍යන්තර දේශපාලනික කටයුතු අධිරාජිණිය විසින් මෙහෙයවන්නට යෙදුනාය. මෙහිදී රස්පුටින් ඇයට අනුශාසකයකු වශයෙන් ක්‍රියාකළ අතර ඔහුගේ මැදිහත්වීම සෑම දේශපාලන තීරණයක වාගේම දක්නට විය. මාස කිහිපයක් අතර ඇමතිවරුන්, ඔවුන්ගේ නියෝජ්‍යයන් හා අනුප්‍රාප්තිකයන් ශීඝ්‍ර ලෙස වෙනස් වනනේ රස්පුටින්ගේ අනුදැනුමද සමඟිනි.

විය යුතු පරිදිම, මෙම තත්ත්වය එරට ප්‍රභූ පැලැන්තිය නොරිස්සන අතර ඔවුනට රස්පුටින්ව නයාට අඳුකොළ තත්ත්වයට පත්වේ. ඔවුන් විසින් මේ ගැන රාජකීය යුවළ දැනුවත් කිරීමට උත්සහා කළද එය නිෂ්ඵල කාර්යයක් වන්නේය.

මේ අතර අධිරාජිණිය සහ රස්පුටින් අතර රහසිගත සබඳතාවයක් ඇතැයිද රාවයක් පැතිර යයි. පිය පාර්ශවයෙන් ජර්මානු සම්භවයක් ඇති රාජිණිය, රස්පුටින් හා එක්ව ජර්මනිය හා රහසිගත එකඟතාවයකට සැරසුණ බවටද කියවේ.

මේ සියල්ල රුසියානු ප්‍රභූ පැලැන්තිය රහසිගත කුමන්ත්‍රණයක් වෙතට තල්ලු කොට දමනු ලබයි.

1916 නොවැම්බර් මස රුසියානු පහළ මන්ත්‍රී මණ්ඩලයේ ( Duma ) නායකයා ලෙස කටයුතු කළ ව්ලැඩිමීර් පුරිෂ්කෙවිච් ( Vladimir Purishkevich ) ෆීලික්ස් යුසුපොව් ( Felix Yusupov  ) කුමාරයාට ලිපියක් ලියමින්;

" මම රස්පුටින්ගෙන් මිදීම සඳහාවූ සැලසුමක් ගැන සිතයොමුකරමින් කාර්යය බහුලව සිටී. එය දැන් පැහැදිලිවම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබේ. ප්‍රමාදය ඉක්මනින්ම සියල්ල අවසන් කරනු ඇත. ඔබත් මෙයට සහභාගී විය යුතුය. දිමිත්‍රි පව්ලොවිච් මේ ගැන සියල්ල දන්නා අතර දෙසැම්බර් මස මැදදී ඔහු නැවත පැමිණි පසු මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. මේ ගැන කටේ කෙලබිඳක් නොසොල්වන්න. "

එයට පිළිතුරු යවන ෆීලික්ස් කුමරා;

" ඔබගේ ලිපියට ස්තූතියි. මට එයින් බාගයක්ම තේරුම් ගත නොහැකියි. එහෙත් ඔබ දරුණු ක්‍රියාමර්ගයකට යෑම සඳහා අරාඳින බව පෙනෙන්නට තිබේ. මාගේ ප්‍රධානම විරෝධය, ඔබ මා නොවිමසා සියල්ල සැලසුම් කොට තීරණය කොට තිබීමයි. මම නොමැතිව මෙය ක්‍රියාත්මක කිරීමට නිර්භය නොවන්න. නැතහොත් මා සම්පූර්ණයෙන්ම සහභාගී වීමෙන් වැළකෙමි. "

ඝාතකයෝ :

ෆීලික්ස් යුසුෆොව් කුමරු ( Felix Yusupov  ) :

රුසියාවේ ධනවත් පව්ලකින් පැවත එන මොහු, සාර් රජුගේ ලේලිය වූ රූමත් ඉරිනා හා විවාහ වී සිටියේය. එබවින් මොහුට රජ පවුල හා ඉතා කිට්ටු සබඳතා විය. එසේ වුවද මොහු සමලිංගික ආශ්‍රයන් ප්‍රියකළ පුද්ගලයකු බවද කියවේ. එම රුචිකම් රස්පුටින්ව ග්‍රහණයට ගැනීමට ඉවහල්වී ඇත.

ආදිපාද දිමිත්‍රි පව්ලොවිච් ( Dmitri Pavlovich ) :

මොහු සාර් රජතුමාගේ ඥාති සොහොයුරෙක් විය. රජුගේ වැඩිමහලු දියණිය හා විවාහ ගිවිසගෙන සිටියද, ෆීලික්ස් කුමරා හා පැවැත්වූ සමලිංගික සබඳතාවය නිසා එම විවාහය කඩා කප්පල් විය.

ව්ලැඩිමීර් පුරිෂ්කෙවිච් ( Vladimir Purishkevich ) :

ඔබ දනටමත් දන්නා පරිදි මොහු ඩුමා හී ප්‍රධාන තනතුර හෙබවූ පුද්ගලයා විය. කුමන්ත්‍රණයට මුල්වී ක්‍රියා කළ අයගෙන් කෙනෙකි.

ලුතිනන් සුක්හෝටින් :

තරුණ හමුදා නිලධරයෙකි.

දොස්තර ලසාවර්ට් :

පුරිස්කෙවිච්ගේ මිතුරකු සහ වෛද්‍යවරයා වේ.

සැලැස්ම :


රස්පුටින් හා මිතු දමක් වගා කරගන්නා ෆීලික්ස් කුමරු, රස්පුටින්ව ඔහුගේ මාලිගයට රවටා ගෙනවිත් ඝාතනය කිරීමට සැලසුම් කෙරිණි. දෙසැම්බර් 16 වන දින තෙක් දිමිත්‍රි පව්ලොවිච් කාර්යය බහුල බැවින් හා දෙසැම්බර් 17 වන දින පුරිස්කෙවිච් යුද පෙරමුණට යායුතු බැවින් ඝාතනය දෙසැම්බර් 16 රාත්‍රියේදී, 17 ට එළිවන පාන්දර කිරීමට තීරණය කරගත්හ. මධ්‍යම රාත්‍රියෙන් පසුව රස්පුටින්ගේ නිවසට යොදා තිබුණු ආරක්ෂක රැකවල් ඉවත් කිරීමද මෙම වේලාව තෝරා ගැනීමට එක් හේතුවක් විය. දෙසැම්බර් 17 වන දින අලුයම 12.30 ට ෆීලික්ස් විසින් රස්පුටින්ව නිවසින් රැගෙන ඒමට සැලසුම් කරණ ලදී.

එහෙත් රස්පුටින්ව නිවසින් පිටතට ගැනීමට සෑහෙන හේතුව සැපයිය යුතුව තිබුණි. මේ සඳහා, රස්පුටින්ගේ ස්ත්‍රී ලෝලත්වය ගැන හොඳින් දැන සිටි ඝාතකයන්, ෆීලික්ස් කුමරුගේ රූමත් බිරිය ඇමක් ලෙස භාවිතා කිරීමට කතිකා කරගත්හ. ඒ අනුව එවකට ක්‍රිමියා හී නතරව සිටි සිය බිරිඳට ලියන ෆීලික්ස් කුමරු මෙයට සහභාගී වන ලෙස ඇගෙන් ඉල්ලා සිටී. එහෙත් ඇය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම කරණකොටගෙන රස්පුටින්ව බොරුවකින් මුළා කිරීමට එකඟතාවයකට පැමිණේ.

මෙසේ ඉරිනා කුමරිය මුණගැස්වීමටයි රවටා රැගෙන එන රස්පුටින්ව මාලිගයේ බිම්මහලේ රඳවා තබා ගැනීමට ෆීලික්ස්ට නියම විය. ඒ අතරතුර ඉහළ මහලයේ ඉරිනා කුමරිය හදිසියේ පැමිණි අමුත්තකු සමඟ කතා බහක යේදී සිටින බවක් රස්පුටින්ට ඇඟවෙන සේ ක්‍රියා කිරීම, එසේ බලාපොරොත්තුව සිටින අතරතුර රස්පුටින්ට සයනයිඩ් දමූ කේක් සහ වයින් පානය කිරීමට දී ඝාතනය කිරීම, ඝාතනයෙන් පසු ගෝනි වළ දවටන ලද දේහය මලයා නෙව්කා නදියට දැමීම සැලසුමයි. හඬ පිටතට ඇසිය හැකි බැවින් ඝාතකයන් රිවෝල්වර් භාවිතයට යොමු නොව්නි.

                                                                           xx 

නොවම්බර් මස, රස්පුටින්ව හොඳින් දන්නා සිය හිතවතියක් වූ මාරියා ග්ලොවිනා අමතන ෆීලික්ස්, තමනට නිතර නිතර හට ගන්නා පපුවේ අමාරුවක් ගැන දන්වා සිටින්නේ සිය අරමුණට ළඟා වීමේ මාර්ගයක් ලෙසයි. ඔහු බලාපොරොත්තු වූ පරිදිම ඇය විසින් ප්‍රතිකාර සඳහා රස්පුටින්ව යෝජනා කෙරේ. ප්‍රතිකාර සඳහා ඇයගේ නිවසේදී ෆීලික්ස් ට රස්පුටින්ව මුණගස්වන අතර ටික කලෙකින්ම රස්පුටින් හා හොඳ මිතු දමක් ඇති කරගැනීමට ෆීලික්ස් සමත්වේ. ෆීලික්ස් නිතර නිතර රස්පුටින්ගේ නිවසට යැම් ඊම් අරබන අතර, බොහෝදෙනෙකු එය සුවකිරීම් වලට එහා ගිය සමලිංගික සම්බන්ධයක් යයි අනුමාන කිරීමටද පෙළබේ.

සැලැස්මේ වූ පරිදිම සුදුසු කල්හී, ෆීලික්ස් විසින් රස්පුටින් හට සිය බිරියගේ පැමිණීම ගැන දැනුම් දෙන අතර බලාපොරොත්තු වූ පරිදිම රස්පුටින් ඇයව හමුවීමට උනන්දු වේ. ඔවුන් විසින් දෙසැම්බර් 17 වන දින අළුයම 12.30 ට ඇයව රස්පුටින්ට මුණගැස්වීමට විධිවිධාන සැලසූහ.

අවසානයේදී දිනය පැමිනුනි. එදින මධ්‍යම රාත්‍රියේදී පමණ සිය ඇඟලුම් මාරු කළ රස්පුටින් ලා නිල් පැහැති කමිසයකින් හා නිල් පැහැති වෙල්වට් කලිසමකින් සැරසී තමාව රැගෙන යාමට ෆීලික්ස් පැමිණෙන තුරු පොරොත්තුවෙන් සිටියේය. මෙම ගමන ගැන කිසිවකුට නොපවසන ලෙස ෆීලික්ස් ඉල්ලා තිබුණද ඇත්ත වශයෙන්ම රස්පුටින් ඒ වනවිට බොහෝ දෙනෙකුට එය දන්වා තිබුණි. ඒ අතර සිය දියණිය සහ සිය හිතවතිය වූ මාරියා ග්ලොවිනාද වූහ.

මේ අතර ඝාතකයන් විසින් ෆීලික්ස් ගේ මාලිගයේ බිම් මහලේ වූ කෑම කාමරයට එක් රොක්ව සිටියහ. දොස්තර ලසාවර්ට් විසින් සයනයිඩ් කැට කුඩු කොට කේක වළට සහ වයින් වලට දමමින් සිටියේය. කේක් කිහිපයක් සහ වයින් වීදුරු කිහිපයක් වස නොදමා ඉතිරි කළේ අවශ්‍ය වුවහොත් ෆීලික්ස්ට පරිහරණය කිරීමටයි. සියල්ල සකස් කළ පසු දොස්තර ලසාවර්ට් සහ ෆීලික්ස් රස්පුටින්ගේ නිවස බලා සිය මෝටර් රථයෙන් පිටත් වූහ.

12.30 ට ඔවුන් රස්පුටින්ගේ නිවසට ළඟා වුණි. ඔවුන්ව පිළිගත් රස්පුටින් ඔවුන් හා යෑමට එක්විය. නිවසේ මෙහෙකාරිය තවමත් අවදියෙන් සිටි අතර ජනෙල් තිර අතරින් ෆීලික්ස්ව හඳුනා ගැනීමට ඇය සමත් වූවාය.

ඔවුන් ෆීලික්ස් ගේ මාලිගයට පමිණි පසු, ෆීලික්ස් විසින් රස්පුටින්ව පැත්තෙන් වූ ද්වාරයකින් බිම් මහලෙහි කෑම කාමරය වෙත කැඳවාගන එන ලදී. ඉහළ මාලයෙහි සිහින් සංගීතයක් වාදනය වෙමින් පැවතුණි. සිය බිරිඳ හදිසියේ පැමිණි අමුත්තකු සමඟ කතා බහක යෙදෙන බවත්, මොහොතකින් පහළට එන බවත් ෆීලික්ස් විසින් රස්පුටින්ට දැනුම් දෙයි.

ඝාතනය සිදුකළ ෆීලික්ස් කුමරාගේ මාළිගය.
මෙසේ ඉරිනා කුමරිය බලාපොරොත්තුවෙන් සිටින කාලය තුළ, ෆීලික්ස් විසින් රස්පුටින් හට කේක් සහ වයින් පිළිගැන්වූවද එවා පැණිරස අධිකයයි පවසා රස්පුටින් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මෙහිදී සිත කලබලයට පත්වූ ෆීලික්ස්, රස්පුටින්ට විශේෂයක් නොහැඟෙන පරිධි උඩුමහලට ගොස් අනෙක් අයට සිද්ධිය සැලකොට සිටියේය. කුමරා නැවත පහළට එන විට රස්පුටින් විසින් නොදන්නා හේතුවක් මත කේක් සහ වයින් පිළිගැනීමට එකඟ විය.

අප දන්නා පරිදි සයනයිඩ් භාවිතා කළ සැණින් ක්ෂ්ණික මරණයක් උරුම විය යුතු උවද රස්පුටින් කිසිම වෙනසක් නොපෙන්වා පෙර පරිදිම සිටියේය. රස්පුටින්ගේ ඇදවැටීම දැකීමට බලාපොරොත්තුවෙන් ෆීලික්ස් විසින් ඔහු සමඟ කතා බහා කරමින් සිටියේය. කිසිවක් සිඳු නොවෙන බව දුටු ෆීලික්ස් සමාව ගෙන නැවතත් කලබලයෙන් උඩු මහලට දිව ගියේය.

කෙටි සාකච්ඡාවකින් පසු ඔවුන් විසින් රස්පුටින්ව වෙඩිතබා ඝාතනය කිරීමට එකඟ වූහ. දිමිත්‍රිගේ පිස්තෝලය රැගෙන ෆීලික්ස් නැවතත් පහළට පැමිනුනි. ෆීලික්ස් පහළට එන විට රස්පුටින් විසින් එහි වූ කළුවර කැබිනෙට්ටුවක් දෙස සිය අවධානය යොමුකොට සිටියේය. පිස්තෝලය පිටුපස සඟවාගන පැමිණි ෆීලික්ස්, ක්ෂණිකව රස්පුටින් අමතා සිය අවධානය ඔහුවෙතට ගෙන, රස්පුටින්ගේ පපු ප්‍රදේශ ඉලක්ක කොටගෙන උණ්ඩයක් නිකුත් කළේය. මොහොතකින් උණ්ඩය රස්පුටින්ගේ හදවත පසාරු කරගන ගියේය. වෙඩි හඬ ඇසුණු අනෙක් කුමන්ත්‍රණ කරුවන් පිරිසද පහළට දිව ආහ.

ඔවුන් පහළට පැමිණෙන විට, රස්පුටින් බිම වැටී සිටි අතර ෆීලික්ස් පිල්තෝලය අතැතිව ඔහු අසල සිටගෙන සිටියේය. මොහොතක් ගැස්සෙමින් තිබූ රස්පුටින්ගේ සිරුර නිසල විය.

රස්පුටින්ගේ මියයාම ගැන ප්‍රීතියට පත් කුමන්ත්‍රණ කරුවන් උඩුමහලට ගොස් එය සමරන්නට වූහ. තව ටික වේලාවක් ගතවෙන්නට හැර සිරුර නදිය වෙත රැගෙන යාමට සැලසුම් කෙරුවේ කිසිවකුටත් නොපෙනෙන පරිදි එය සිදුකළ යුතු බැවිනි.

පැයකට පමණ පසු, ෆීලික්ස් හට පහළට ගොස් රස්පුටින්ගේ දේහය පරික්ෂාකොට බැලීමේ සිතුවිල්ලක් නැගුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ ඔහු, බිම්මහලට ගොස් සිරුර පරික්ෂා කොට බැලීය. එය තවමත් උණුසුමින් යුක්තය ! ඔහු සිරුර සොලවා බැලීය. ප්‍රතිචාරයක් නොමැත. සියල්ල සතුටුදායකව අවසන් වී ඇතැයි සිතමින් ආපසු හැරීමෙදී දුටු දෙයින් ඔහුගේ රුධිරය ගල් ගැසුණි. රස්පුටින්ගේ වම් ඇස විවර වෙමින් තිබුණි. ඔහු තවමත් ජීවතුන් අතර !!

ක්ෂණිකව ෆීලික්ස් වෙතට පිනූ රස්පුටින් ඔහුගේ ගෙලින් සහ උරහිසෙන් ග්‍රහණය කොට ගත්තේය. සුලු පොරබැදීමකින් ඔහුගෙන් ගලවුණු ෆීලික්ස් " ඔහු තවම ජීවතුන් අතර " යැයි කෑ ගසමින් උඩුමහලට දිව ගියේය. ඔහු උඩු මහලට එන විට භීතියෙන් ගල් ගැසී සිටි අතර ඇස් දෙක පියන් වලින් එළියට පැනීමට තරම් විශාලව තිබුණි. මේ අවස්ථාවේදී සිය රිවෝල්වරය අරගත් පුරිෂ්කෙවිච් වහාම පහළට දිව ගියේය. ඒ අවස්ථාවේදී රස්පුටින් " ෆීලික්ස් ෆීලික්ස් මම හැම දේම අධිරාජිණියට කියනවා " යි කෑගසමින් මැද මිදුල හරහා එළියට දිව යමින් සිටියේය.

ඔහුව ලුහුබැඳ ගිය පුරිස්කෙවිච් දුවමින්ම දෙපාරක් වෙඩි තැබුවද එම දෙවරම ඉලක්කය මගහැරුණි. තෙවෙනි වෙඩිල්ල ඉලක්කය සම්පුර්ණ කරමින් රස්පුටින් වෙත ළඟා විය. සිව්වෙනි වෙඩිල්ල රස්පුටින්ගේ හිස පසාරු කරගෙන ගමන් කළේය. රස්පුටින් ඇදවැටුණි. සිය හිස් ගැස්සෙමින් තිබුණද ඔහු විසින් බඩ ගාමින් ඉදිරියට යාමට උත්සහා කළත් ඔහු වෙත පැමිණි පුරිෂ්කෙවිච් රස්පුටින්ගේ හිසට පා පහරක් එල්ල කළේය.

ඔවුන් විසින් නැවතත් රස්පුටින්ව මාලිගය තුළට රැගෙන එන්නාහ. රස්පුටින්ගේ මුහුණ දුටු ෆීලික්ස් කෝපයෙන් වියරුව අසල වූ ව්‍යායාම පිණිස බර ඔසවන උපකරණයකින් ( Dumbbell ) දිගට හරහට රස්පුටින්ගේ සිරුරට පහර එල්ල කළේය. එය ෆීලික්ස් විසින් කුමන අරමුණක් උදේසා කළේදයි පැහැදිලි නැත. මිය යන මොහොතේ පවා තමනට හිසරදයක් වූ මිනිසා කෙරෙහි ඔහුගේ සිතේ අසාමාන්‍ය කෝපයක් ඇති වූවා වන්නට පුළුවන. මිනිස් සිත ක්‍රියා කරනා ආකාරය කාටනම් විස්තර කළ හැකිද !

මේ අවස්ථාවේදී වෙඩි හඩ ඇසුණු අසල වීථියේ රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරියා ඒ ගැන පරික්ෂා කිරීමට මාලිගය වෙත පැමිණේ. ෆීලික්ස්ගේ සේවකයා හමුවන ඔහු ඒ ගැන විමසා සිටියද එවැනි දෙයක් නොඇසුණු බව සේවකයා පවසා සිටි නිසා එය මෝටර් රථයක දුම් බටයකින් අතිවූ හඬක් යැයි සිතා නැවතත් සිය රාජකාරි ස්ථානයට ගමන් කරයි.

සේවකයා විසින් මේ ගැන දැනුම් දීමෙන් පසු, පුරිෂ්කෙවිච් විසින් පොලිස් නිලධාරියාව නැවත කැඳවා;

" ඔබ කවදා හෝ පුරිෂ්කෙවිච් කෙනෙක් කියලා කෙනෙක් ගැන අසා තිබේද ? " යි ඇසීය.

" ඔව් සර් "

" හොඳයි, මම තමා පුරිෂ්කෙවිච්. ඔබ කවදා හෝ රස්පුටින් ගැන අසා තිබේද ?"

" ඔව් සර් "

" රස්පුටින් දැන් මැරිලා, ඔබ රුසියානු මාතාවට ආදරයක් දක්වන්නේ නම් මෙහිදී ඇසූ දුටු දේවල් ගැන කටේ කෙලබිඳක් නොසොල්වන්න. "

" හොඳයි සර් "

ඔවුන් විසින් පොලිස් නිලධාරියාව පිටත් කොට හරිනු ලබයි. සිය රාජකාරි ස්ථානයට ආපසු ගමන් කළ පොලිස් නිලධාරියා සිය ප්‍රධානියාට සියල්ල වාර්තා කොට සිටියේය. කුමන්ත්‍රණ කරුවන්ට දෙවියන්ගේම පිහිටයි !

ඇදහිය නොහැකි පරිදි, වස දීමෙන්, තුන් වරක් වෙඩි තැබීමෙන් සහ අධික ලෙස පහර දීමෙන් පසු පවා රස්පුටින් තවමත් මිය ගොස් නොසිටියේය !

මෙම කරදරයෙන් කල් නොයවාම මිදීමට සිතූ ඝාතකයන්, ඔහුගේ අත් පා බැඳ සිරුර බර රෙදිවලින් ඔතා මෝටර් රථයට දමා, නෙව්කා නදිය වෙත ගමන් කළහ. මෙය සීතල උඳුවප් මාසය බැවින්, ගඟ බොහෝ දුරට මිදී තිබුණි. ඔවුන් විසින් කලින් කළ පරික්ෂණ වලදී අයිස් තට්ටුව කැඩී ගිය එක් විවරයක් හඳුනාගන තිබුණ අතර එතනින් මිනිය ගඟට දැමීමට සැලසුම් කොට තිබුණි. සැලසුමේ වූ පරිදිම ක්‍රියාත්මක විය. එහෙත් ඔවුනට සිරුරට බරක් ගැට ගැසීමට අමතක වී තිබුණි.

සිය කාර්යය නිමා කළ ඝාතකයන් විසිර ගියේ තමන් මරණයට හසුනොවනු ඇතැයි සිතමිනි. එහෙත් එය වැරදි සිතුවිල්ලකි.

පසුදින උදයේ, රස්පුටින්ගේ නිවසේ අය ෆීලික්ස් සමඟ ඊයේ රාත්‍රියේ පිටත්ව ගිය රස්පුටින් ආපසු පැමිණ නොමැති බව නිරීක්ෂණය කොට ඒ ගැන සොයා බලන්නට වූහ. ඔවුන් විසින් ග්ලෝරියා වෙතද ඔහුගේ නොපැමිණීම ගැන සැල කොට සිටියහ. ෆීලික්ස්ගෙන් ඒ ගැන විමසා සිටි විට ඔහු පැවසූයේ, පසු ගිය රාත්‍රියේදී තමා රස්පුටින්ව නොදුටු බවකුයි. මෙය බොරුවක් බව මෙහෙකාරිය ඇතුළු එම නිවැසියන්ට රහසක් නොවීය.

මේ අතර පොලිස් නිලධාරියා විසින් සිදුකළ ප්‍රකාශය අරභයා පරික්ෂණ ඇරඹී තිබුණි. පොලිස් පරික්ෂණයක් සිදුවෙතැයි අනුමාන කළ ෆීලික්ස් සිය සුනඛයාව මරා උගේ රුධිරය අපරාධය වූ ප්‍රදේශයේ විසුරුවා හැරියේය. පසුගිය රාත්‍රියේ සම්භාෂණයට සහභාගී වූ අමුත්තකු සුනඛයකු වෙඩි තබා මැරීම ඉස්තරම් විහිළුවක් යයි පවසා මෙය සිදුකළ බවත් එමනිසා සෑම තැනම රුධිරය විසිරී ඇති බවත් පොලීසියට දැනුම් දුන්නේය. එහෙත් ඔහුට පොලීසිය නොමග යැවීමට නොහැකි විය. එහි සුනඛකයකුගෙන් නිකුත්විය හැකි ප්‍රමාණයට වඩා රුධිරය වූ අතර පොලිස් නිලධාරියා වෙඩි හඬ තුනකටද වඩා ශ්‍රවණය කොට තිබුණි. ප්‍රබලම සාක්ෂිය වූයේ පෙරිස්කොවිච් විසින් රස්පුටින්ව ඝාතනය කළ බවට කළ ප්‍රකාශයයි.

දෙසැම්බර් 19 වන දින පොලීසිය විසින් පාලම අසල තිබී ලේවලින් නැහැවී ගොස් තිබුණු සපත්තුවක් සොයා ගත් අතර, වැඩි දුරටත් කළ පරීක්ෂන වලින් පසු පාලමට මදක් ඔබ්බෙන් රස්පුටින්ගේ දේහය සොයා ගැනීමට ඔවුන් සමත් වූහ. දේහය ගොඩ ගන්නා විට රස්පුටින්ගේ එක් අතක් ඉහළට එසවී සිටිනා ආකාරයෙන් ගල්වී තිබුණි. මෙම නිසා රස්පුටින් ගඟට දමන විටත් පණපිටින් සිටින්නට ඇතැයිද, දිවිගලවා ගනීමට සටන් කොට ඇතයිද සියලු දෙනාම විශ්වාස කරන්නට වූහ.

වහාම මරණ පරීක්ෂණය සිදුකළ අතර ප්‍රතිඵල පහත පරිදි වේ.


මරණ පරික්ශනයේදී
1. මියයාමට මදකට මත්තෙන් ඇල්කොහොල් භාවිතා කොට ඇතිබව තහවුරු වූ නමුදු කිසිම විසක් ශරීර ගතවී නොතිබුණි.

2. වෙඩි උණ්ඩ තුනකින් සිදුවූ මාරාන්තික තුවාල ශරීරයේ නිරික්ෂණය කරන ලදී. ප්‍රථම උණ්ඩය පපු ප්‍රදේශයෙන් අතුල්වී ආමාශයට හා අක්මාවට තුවාල සිදු කොට තිබුණි. දෙවන උණ්ඩය ශරීරයේ පිටු පසින් ඇතුල්වී වකුගඩු වලට හානි සිදු කොට තිබුණි. තෙවන උණ්ඩය මොළයට මාරාන්තික තුවාල සිදුකොට තිබුණි.

3. පෙනහළුවල වූ ජලය ස්වල්පයක්ද පරීක්ෂකයන් විසින් නිරීක්ෂණය කරන ලදී.


රස්පුටින්ගේ දේහය දෙසැම්බර් මස 22වන දින සුලු අවමංගල්‍ය චාරිත්‍රයකින් පසු භූමදාන කරණ ලදී.

ඝාතකයන්ව සැකයකින් තොරව ඔප්පු වූවද, සාර් රජ විසින් සිය ඥාතිත්ත්වය සලකා ඔවුනට එරෙහිව නඩු විභාගයකින් සිදුකරනු ලබන දඩුවම් දීමකින් වැළකේ. එහෙත් නගරයෙන් පිටුවහල් කිරීමකට ඔවුන් ලක්වේ.

රස්පුටින්ගේ මරණය රුසියානු රාජාණ්ඩුවට සාපයක් වූ බවටද මතයක් ඇත. රස්පුටින්ගේ ඝාතනයෙන් තෙමසක් ඉක්මයාමට මත්තෙන් පෙබරවාරි විප්ලවය මගින් රාජාණ්ඩුව බිඳ දමන අතර වසරක් ඉක්මයාමට මත්තෙන් රොමානොව් පව්ලම ඝාතනයට ලක්වේ.

ඇත්ත වශයෙන්ම රස්පුටින් වස දැමූ කේක් අනුභව කළාද ? එසේ කළානම් මරණ පරීක්ෂනයෙන් ඒ බව තහවුරු නොවූයේ මන්ද ? නො එසේනම් ඔහුම පවසන පරිධි ඔහු අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු මිනිස් බව ඉක්මවා ගිය පුද්ගලයෙකුද ? ඔහුගේ ඝාතනය රජ පව්ලට සාපයක් වූයේද ?

මෙම පැනයන් අදටත් නොවිසඳී ශේෂව පවතී.

Boney M සංගීත කණ්ඩායම විසින් රස්පුටින් ගැන ගායනා කළ ගීතය. උපුටා ගැනීම You Tube වෙතින්.



පසු සටහන : 

* සිද්ධිය වූ අවධිය වන විට රුසියාව ග්‍රෙගෝරියානු දින දර්ශනය භාවිතයට ගෙන නොතිබූ බැවින්, ඉහත       සඳහන් සියලුම දින වකවානු ජූලියන් දින දර්ශනයට අනුව බව සලකන්න. ඒ ගැන වැඩි විස්තර මෙතනින්.

* ඡායාරූප Wikipedia වෙතිනි.

මූලාශ්‍ර :

1. http://history1900s.about.com/od/famouscrimesscandals/a/rasputin.htm
2. http://www.spartacus.schoolnet.co.uk/RUSrasputin.htm
3. http://en.wikipedia.org/wiki/Rasputin
4. http://www.youtube.com/watch?v=-o6B_aq5-2s&feature=autoplay&list=PLCFB15F60DB3639D9&lf=results_main&index=2&playnext=2

~~ සෙන්නා / 23.03.2012

Tuesday, March 13, 2012

හිමකතරක අතරමංව


2012 මැදින් මස 13 වනදා,



ද 13. සාමාන්‍යයෙන් 13 අසුභ ලකුණක් කියලා තමා පොදු පිළිගැනීම. සිකුරාදා දිනය 13 වැටුනොත් තවත් නපුරු බව පැවසෙයි. ජේසු තුමාව කුරුසියේ ඇණ ගසා ඝාතනය කළේත් එවැනි දවසක බවටද මතයක් ඇත. ජේසු තුමාගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගන්ඩ ඕනානම් ඒකට වඩාම සුදුසුම පුද්ගලය තමාමම කවදාවත් නොදැන සිටි මේ කතාව ගැන දැනුවත් කොට  ගැන ලිපියක් ලිවීමට පෙළඹු හීනලන්තයේ හරී.

13 හෝ 13 වෙනිදා සිකුරාදාවක් වුණොත් අසුභයි කියන එක සනාථ කළත්, නොකළත්, මේ සිද්ධිය සිදුවී ඇත්තේත් එවැනි දවසක.  

දිනය 1972 ඔක්තෝබර් 13 වෙනි සිකුරාදා.

ඇන්ඩීස් කඳු වැටියට උඩින් පියාසර කරනා යානයකි. 45 දෙනෙකුගෙන් සමන්විත් පිරිසක් යානය තුළ විය. ඒ චිලී හී සන්තියාගෝ නුවරට රග්බි තරගයක් සඳහා උරුගුවේ හී මොන්ටිවීඩියෝ සිට ගමන් ගන්නා Old Christians Club රග්බි කණ්ඩායම හා ඔවුන්ගේ හිතවතුන්ගෙන් සමන්විත පිරිසයි. මොහොතකින් තමන් විසින් මුහුණ දීමට නියමිත භයානක අනතුර ගැන හැඟීමකුදු නොවූ තරුණයෝ පිරිස යානය තුළ කෙළිදෙලෙන් පසු විය.

ඇත්ත වශයෙන්ම ගමන ආරම්භ කෙරුණේ දිනකට කලිනි. අයහපත් කාලගුණය නිසා ආර්ජෙන්ටිනාහී මෙන්ඩෝසා නගරයේ දවසක් නතර කෙරුණි. මෙම ගුවන් යානයට විශේෂ වූ සීමිත පියාසර මට්ටම හා අයහපත් කාලගුණය හේතුකොටගෙන, මෙන්ඩෝසා නගරයේ සිට ඇන්ඩීස් කඳුවැටිය හරහා කෙළින්ම චිලී වෙත ගමන් කිරීමේ හැකියාවක් නොතිබුණි. ඒ වෙනුවට ඇන්ඩීස් කඳුවැටියට සමාන්තරව මෙන්ඩෝසා නගරය ඔස්සේ දකුණට ගොස් කඳු වැටියේ පහත් දුර්ගයක් ඇති තැනකින් බටහිරට හරවා කඳුවැටිය පසු කොට චිලී වෙත ළඟාවිය යුතුවිය.

යානය ගුවන් ගතවී ටික වේලාවකින් කඳුවැටියේ දුර්ගය පසු කරමින් තිබුණි. සන්තියාගෝ පාලන මැදිරිය ඇමතු නියමුවා, යානය චිලි හී කූරේකෝ නුවරට උඩින් ගමන් කරමින් තිබෙන බවත්, ගොඩබෑම සඳහා සූදානම් බවත් දැනුම් දුනි. ඇත්ත වශයෙන්ම නියමුවා මෙහිදී මාරන්තික වරදක් කර තිබුණි. ඔහු විසින් තමන් මුහුණ දෙමින් තිබුණ තද සුළඟ අමතක කොට සිය ගණනය කිරීම සිදු කොට තිබුණි. සුළඟ මගින් ගමනට සිදු කළ පමාව නොසලකා හැරි නියමුවා තමන් කූරේකෝ නගරයට ඉහළින් පියාසර කරමින් සිටිතැයි අනුමාන කොට යානය ගොඩබැස්සවීමට සූදානම් වෙමින් යානය පහත් කළේය. ඔවුන් ඒ වන විට සිටි ස්ථානය ඔවුන් සිතූ තරම් බටහිරට නොවන්නට විය. නියමුවා විසින් කළ මේ මාරන්තික වරදේ ආදීනව ඔවුන් සියලුදෙනාම මොහොතකින් අත්විදින්නට වූහ. වලාකුළින් බර අයහපත් කාලගුණ තත්ත්වය යටතේ යානය පහත් කිරීමට කළ උත්සහායේදී යානය අධික ලෙස ගැස්සීමට ලක්විය.

හදිසියේම යානයේ දකුණු පස තටුව අසල වූ කඳු ගැටයක හැපී යානයෙන් වෙන්වී ගිය අතර, පාලනයෙන් තොර වූ යානය මොහොතකින් අසල වූ තවත් කඳු ගැටියක හැපී වම් පස තටුවද, පිටුපස කොටසද ගැලවී වෙන්විය. පසුපස ආසන වල පසු වූ සියලු දෙනා එසැනින් ගුවනට මුසු වී ගසාගන ගියහ. හිම මත පතිත වූ යානයේ ඉදිරිපස කොටස සැළකිය යුතු දුරක් ලිස්සා ගොස් හිම වැටියක ගැටී නතර විය.

යානයේ සිටි 45 දෙනාගෙන් 33 දෙනෙකු දිවිගලවා ගැනීමට සමත්වී තිබුනි. යානය අනතුරට පත්වූයේ කිනම් ප්‍රදේශයකදීදැයි කිසිවකුට අදහසක් නොතිබුනි. ඔවුන් සීමිත ආහාර සහ ජල සැපයුමක් සමඟින් අධික සීතලින් යුතු කඳු වළල්ලක අතරමංව තිබුනි.

" මා දුටු පළමු දේ වූයේ, අප වටේටම වූ සුදු පැහැති කඳු වළල්ල සහ දරාගැනීමට නොහැකි තරම්වූ වූ අධික ශීතලයි " - Carlitoz Paez.

දිවිගලවා ගත් පිරිස සියලු ආකාරයේ මදිපාඩු වලින් පීඩා විඳිනට වූහ. අඩි 12000 ක පමණ උසකදී සීතලෙන් ආරක්ෂා වීමට සුදුසු තරමේ වූ ඇඳුම්, පාවහන්, අත්වැසුම් කිසිවක් නිසි පරිදි නොවූහ. අනතුරින් සිදුවූ තුවාල සහ කැඩුම් බිඳුම් වලට ඇවැසි ඖෂධ හෝ වෛද්‍ය පහසුකම්ද නොවුණි. කණ්ඩායමේ වෛද්‍යවරයාද අනතුරින් මිය ගොස් තිබුණි. පසු දින තවත් 04 දෙනෙකු සටන අත්හැර ජීවිතයෙන් සමුගත්හ.

ඔවුන් යානයේ ඉතිරිව තිබූ සියලු දෑ පරික්ෂාකර දිවි රැක ගැනීමට හැකි සෑම දෙයක්ම සොයා බැලුහ. මුහුණ දී සිටි අති දුෂ්කර තත්ත්වය ඔවුන්ව නිර්මාණශීලී කළේය. යානයේ සෑම අසුනක් පිටිපසම වූ ඇලුමිනියම් තහඩුවක් උපයෝගී කොටගෙන හිම දියකොට ජලය යම් ප්‍රමාණයක් සපයා ගැනීමේ ක්‍රමවේදයක් ඔවුන් සකසා ගත්හ. මෙය ඔවුන් පිඩා විදීමෙන් සිටි විජලනයෙන් ආරාක්ෂාකාරී වීමට මහෝපකාරී විය.

අනතුර සිදුවූ දින සිට දින තුනක් සිහිසුන්ව සිටි නන්දෝ පරාඩෝ, තෙවෙනි දින පියවි සිහිය ලැබුවේය. ඒවන විට ඔවුන් සමඟ ගමන් කළ ඔහුගේ මව මිය ගොස් සිටි අතර, නැගනිය ආසාධ්‍ය තත්ත්වයේ පසුවිය.



රටවල් තුනක් එක්ව සෙවීමේ මෙහෙයුම ඇරඹුණි. කෙසේ වෙතත් ගුවනින් කළ සෙවීම් වලදී සුදු පැහැති යානයක් වූ එය, තනි සුදෙන් වැසුණු හිම යාය අතරේ සොයා ගැනීම පිදුරු ගොඩෙහි ඉඳි කට්ටක් සොයනවාට සමාන විය.

අනතුර සිදුවී 08 වන දින නන්ඩෝ පරාඩෝ ගේ නැගණිය දීර්ඝ සටනකින් පසු මරුවාට යටත් විය. මෙම කම්පනය නන්ඩෝ පරාඩෝ හට නව ජවයක් ගෙන එන ලදී. ඇයගේ නික්ම යාමත් සමඟම දිවිගලවා ගත් සංඛ්‍යාව 27 දක්වා පහත වැටුණි.

" මගේ නැගණිය මිය ගිය පසු, මගේ සිතුවිලි වල ලොකු වෙනසක් සිදු වුණා. මට ඒක විස්තර කරන තේරෙන්නෑ. ඒත් හදවතේ ගැඹුරුම් තැනින් කව්රුන් හෝ මාව ආමන්ත්‍රණය කරනවා වැනි හැඟීමක් ඒක. මම ඉදිරියටම යායුතු බවත්, දිවි ගලවා ගැනීමට සටන් කළ යුතු බවත්, මා විසින් විනාශ වීමට ඉඩ ප්‍රස්ථා නොතැබිය යුතු බවත් මට හැඟුණා. " - Nando Parrado.

අනතුරින් දසවන දින වන විට සියලු දෙනාම සාගින්දරින් පීඩා විඳිමින් සිටියහ. ආහාරයට ගත හැකි සෑම දෙයක්ම ඔවුන් ඒ වන විට අත්හදා බලා තිබුණි. ආසන වලින් ගලවා ගත් සම් කැබලි, සපත්තු කොටස්, ලී කැබලි සහ කොණ්ඩා වළට දමන ජෙල්ද ඒ අතර විය. ඒ සියල්ල තව තවත් ඔවුන්ව දුර්වල කළා මිස ශරීරයට ශක්තියක් දීමට සමත් නොව්නි. දීර්ඝ කාලයක් නිසි අහරක් නොළැබීම හේතු කොටගෙන ඒවන විට ඔවුන්ගේ ශරීරයන් විසින් තැන්පත් වූ මේද කොටස් සහ පේශී පටක දිය කරමින් ශරීරයට අවැසි ශක්තිය නිපදවමින් සිටියහ. එහෙත් එය තව දුරටත් සිදුවුවහොත් ඔවුන්ගේ ශරීරයන්ගේ වැදගත් ඉන්ද්‍රීයන් වූ, වකුගඩු, පෙනහලු, අක්මාව ටික කලකින් අක්‍රීය වීම නොවැළැක්විය හැකි තත්ත්වයක පැවතුණි.

පේන තෙක් මාණයක ආහාරයට ගත හැකි ශාක වර්ගයක්වත්, සතකුවත් නොසිටියහ. නව ප්‍රෝටීන් ප්‍රභවයක් සොයාගැනීමට අපොහොහසත් වුවහොත් ඔවුන් සියලුදෙනාටම කෙටි කලකින් සිය මිතුරන් ගත් මග ගැනීමට සිදුවන බව සක්සුදක් සේ පැහැදිලිව තිබුණි.

රොබේටෝ කනේසා, කණ්ඩායමේ වූ වෛද්‍ය සිසුවා අනතුරින් දසවන දින කණ්ඩායම ඇමතීය.

" දැන් අපි සියලු දෙනාම සාගින්දරින් පසු වෙන්නේ. අපිට ඉක්මනින්ම ප්‍රෝටීන් අඩංගු ආහාරයක් සොයාගන්ඩ බැරි වුණොත් අපි ඔක්කොවන්ටම මැරෙන්ඩ සිදු වෙනවා ඒකාන්තයි. මෙහෙ එකම එක විදිහයි තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රෝටීන් අඩංගු ආහාර ලබා ගන්ඩ. "


" ඒ තමයි අපේ මිය ගිය මිතුරන්. "

ශිෂ්ට සමාජයේ සිටින අපට මෙම අදහස ඇඟ කිළිපොලා යවන්නක් වුවද, එම මොහොතට, එම තත්ත්වයට මුහුණදී සිටියහොත් අප වුවද මෙම තීරණයට පැමිණෙනවා නොඅනුමානය.

කනේසාගේ අදහස සෙමෙන් සෙමෙන් අනුමත විය. ඔවුන් යානයේ නියමුවාගේ සිරුරින් සිය ආහාර අවශ්‍යයතාවය සපුරා ගැනීම ඇරබූහ.

අනතුරින් 11 වන දින, බාහිර සමාජය විසින් සෙවීමේ උත්සහාය අත්හැර දමන ලදී. යානයේ වූ කුඩා ට්‍රාන්සිස්ටර් ගුවන් විදුලි යන්ත්‍රයක් ආධාරයෙන් සෙවීමේ මෙහෙයුම ගැන පුවත් දැනගැනීමට උත්සහ කළ කණ්ඩායමට මෙම අසුභ ප්‍රවෘත්තිය කණ වැටුණු විගස සියලු බලාපොරොත්තු කඩ විය.

" මේ ආරංචිය දැන ගත්තු වේලෙම මට තේරුනා අපි ගැලවිය නොහැකි උගුලක පැටලිලා ඉන්නේ කියලා. මම මටම කියා ගත්තා මෙතන ඉඳන් ටික ටික මිය යනවට වැඩිය සටනක් දීලා මිය යනවා කියලා. " - Nando Parrado

එහෙත්, කලිටෝ පයේස් ගේ පියා වු කාලෝස් පයේස් එය ලෙහෙසියෙන් අත්හැර දැමීමට සූදානම් නොවීය. ඔහු තනිවම ගමින් ගමට ගොස් ගුවන් අනතුරක් ගැන තොරතුරු විමසීම් කළේය.

අනතුරින් 17 වන දින, එනම් ඔක්තෝබර් මස 29 වන දින රාත්‍රියේ යානය තුලා නිදාසිටි කණ්ඩායමට භායානක ශබ්දයක් ඇසිණි. මොහොතකින් දරුණු හිම කුණාටුවක් ඔවුන්ව ආක්‍රමණය කොට තිබුණි. යානය අඩි ගණනක් හිම වලින් වැසී ගියේය. දින තුනක් ඔවුන් මෙසේ පණපිටින් වැළලී සිටියහ. අවසානයේදී නන්ඩෝ පරාඩෝ විසින් යානයෙහි වහලෙහි විදින ලද සිදුරකින් වාතාශ්‍රය ලබා ගැනීමට සමත් විය. එම සිදුවීම තවත් 08 දෙනෙකු ඔවුන්ගෙන් වෙන් කරවීය. ඉතිරි වූ සංඛ්‍යව 19 දක්වා පහත වැටුණි.

නොවැම්බර් 15 හා 18 තවත් දෙදෙනෙකු මරුවාට යටත් වූයේ 17 දෙනෙකු ඉතිරි කරවමිනි. මේ අතර අවට ගවේෂණයේ යෙදුණු නන්දෝ ඇතුළු තරුණයෝ පිරිස යානයේ පසුපස කොටස සොයා ගැනීමට සමත් වූහ. එය ඔවුන්ගේ බලාපොරොත්තු නංවන සිදුවීමක් විය. යානයේ එම කොටසේ ඔවුනට පරිහරණය කළ හැකි ආහාර ද්‍රව්‍ය හා තවත් නොයෙකුත් දෑ බොහෝ විය. එහි වූ විදුලි කෝෂ අවධානය වැඩියෙන්ම දිනා ගත්තේය. ඔවුන්ගේ අරමුණ වූයේ එම විදුලි කෝෂ යානය වෙත ගෙනගොස් එහි ඇති ගුවන් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ක්‍රියාත්මක කොට බාහිර ලොවට පණිවිඩයක් නිකුත් කළ හැකිදැයි සොයා බැලීමයි. එහෙත් විදුලි කෝෂ රැගෙන යාමට බර වැඩි වූ හෙයින්, ඒ වෙනුවට ගුවන් විදුලි පද්ධතිය ගලවාගෙන විදුලි කෝෂ වෙත රැගෙන එන ලදී. කෙසේවෙතත් ඔවුන්ගේ මේ උත්සහාය සම්පූරණයෙන්ම අසාර්ථක වූයේ, ඒ පිළිබඳ නිසි දැනුමක් කිසිවෙකුටවත් නොවූ බැවිනි. ඔවුන් නොදැන සිටි අනිත් කරුණ වූයේ ගුවන් විදුලි පද්ධතිය ක්‍රියාත්මක වූයේ ප්‍රත්‍යාවර්තක විදුලියෙනි. ( A/C ) 

බලාපොරොතුවූ කාර්යය සඵල කොටගත නොහැකි වූ තරුණයෝ පිරිස, යානයේ පසුපස කොටසේ ඉතිරිව තිබු හිස් ගමන් මලු උපයෝගී කොටගෙන දැවැන්ත කුරුසයක් හිම මත නිර්මාණය කොට එතනින් නික්මිණ. ඒ යම් හෙයකින් සෙවීම් යානයක් පැමිණියහොත් ඔවුන්ගේ අවධානයට හසුවීම පිණිසය.

සියල්ල මෙසේ අසාර්ථක වන විට, කන්ද තරණය කොට අනෙක් පසට උදව් සොයා තමන්ම ගමන් කිරීම හැරුණ කොට වෙන සරණක් නොමැති බව ඔවුන්ට ඒත්තු යන්නට විය. නන්දෝ පරාඩෝ මේ ගැන වැඩියෙන්ම උනන්දුවූ පුද්ගලයාය. අවසානයේදී දෙසැම්බර් මස 12වන දින ගවේෂණය සඳහා නික්මීමට තීරණය විය. සියලු දෙනාම ගමන් කිරීම ප්‍රායෝගික නොවූ හෙයින් තෝරාගත් සුදුසු දෙතුන් දෙනෙකු කඳුවැටිය තරණය කොට උදව් ලබාගෙන පැමිණීමට අවසානයේදී තීරණය කළහ.

මෙහිදී ගවේෂකයන් මුහුණදුන් බරපතලම ගැටලුව වූයේ රාත්‍රියේදී සීතලට මුහුණ දීමයි. අවසානයේදී එයටද සුදුසු විසඳුමක් ලැබුණි. යානයේ පසුපස කොටසින් ලබා ගත් නිදන මලු උපයෝගී කොටගෙන ඔවුන්ට රාත්‍රියේදී සීතලින් ආරක්ෂාකාරීවිය හැකි ආවරණයක් නිර්මාණය කොට ගන්නා ලදී. මැසීම ගැන හොඳ පළපුරුද්දක් තිබූ කාලිටෝස් මෙහිදී මුල්වී ක්‍රියා කළේය. අනෙත් අයගෙන්ද නොමද සහයක් ඔහුට ලැබුණි. ඒ අතර ගවේෂණ කණ්ඩායමට අවැසි ආහාරද සකසන ලදී. සියලුදෙනාම එකාවන්ම, කණ්ඩායක් හැඟීමෙන් යුතුව සියලු කාරයයන්ට දායක වූ බැවින් සියල්ල පවතින පහසුකම් යටතේ ඉතා හොඳින් සකසා ගැනීමට ඔවුනට හැකිවිය.

දෙසැම්බර් 12වන දින උදා විය. එදිනම තවත් එක් පුද්ගලයකු මියගිය බැවින් ඉතිරි වූ සංඛ්‍යාව 16 බවට හැරුණි.

නන්ඩෝ පරාඩෝ, රොබේටෝ කනේසා සහ ඇන්ටෝනියෝ වීසන්ටීන් ගමනට සූදානම්ව සිටියහ. පිටත්වීමට කලින් නන්ඩෝ පරාඩෝ විසින් සිය මවගේ සහ නැගණියගේ දේහයන් අනෙත් අයට ආහාර සඳහා දීමට තරම් පරිත්‍යාගශීලී විය.

" නන්දෝට තිබුණේ කඳුවටිය තරණය කිරීමට තිබූ ධෛර්යය පමණක් නෙමේ, ඒ වන විට ඔහු සතුවූ උතුම්ම වස්තුවූ සිය මවගේ සහ නැගණියගේ දේහයන් අපට ආහාර ලෙස ගැනීමට දීමට තරම් හැකියාවකුත්, ධෛර්යයකුත් ඔහුට තිබුණා. " - Carlitoz Paez.

කඳුවැටිය තරණය කිරීම සිතූතරම් පහසු නොවීය. විශේෂයෙන්ම මාස දෙකකට ආසන්න කාලයක් දුෂ්කර ජීවිතයක් ගතකළ පිරිසකට සැබැවින්ම එය අභියෝගයක්ම විය. ඔවුන් සතුවූයේ චිත්ත ධෛර්යය පමණී. ඉහළට ගමන් කිරීමේදී ඔවුන් විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන්නට වූහ. ප්‍රධානම ගැටලුව වූයේ දුර්වල වාතාශ්‍රයයි. ඔවුන් තබන අඩියක් අඩියක් පාසා හොඳින් හුස්ම ගැනීමට සිදුවිය.

දින තුනක දුෂ්කර වෑයමකින් පසු නන්දෝ සහ රොබේටෝ කඳු ශිඛරයෙහි මුදුනට ළඟාවිය. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ කඳුවැටියෙන් අනෙක්  පස චිලී හී රතු නිම්නය දැකීමටයි. නැවතත් ඔවුනට වැරදී තිබුණි. නන්දෝ සහ රොබේටෝ සුන්වූ බලාපොරොත්තු සහිතව කඳු මුදුනේ සිටගෙන ඉදිරිපසින් වූ කඳු මාලාවක් දෙස දැස්යොමා සිටියේ දුටු දේ අදහා ගැනීමට නොහැකිවය. ඔවුන් සිතා සිටියේ අනතුර සිදුවූයේ කඳුවැටියේ චිලී දෙසට වන්නට කඳු පාමුලක බවයි. එම ගණනය කිරීම ඔස්සේ සලකා බැලූ නන්දෝ තමන් දැන් තරණය කළ කඳුවැටියට පසු චිලී හී රතු නිම්නය දැකීමට බලාපොරොත්තු විය. සැබෑ ලෙසම ඔවුන් ඇන්ඩීස් කඳුවැටිය මධ්‍යයේ සිරවී සිටියහ.

සීමිත ආහාර ප්‍රමාණය ඉතිරිකර ගැනීම සඳහා ඔවුන් විසින් ඇන්ටෝනියෝව නැවතත් යානය වෙත හරවා එවා, නන්දෝ සහ රොබේටෝ පමණක් ඉදිරියට ගමන් කළහ. ඔවුන් කඳුවටිය බසිමින් දුෂ්කර ගමනක් ඉදිරියට ගමන් කළහ. යානයෙන් නික්මී දින නවයකට පසු ඔවුන් දෙදෙන බැවුම ප්‍රදේශයක් වූ ගංගාවක් අසබඩට පැමිණිහය. එම ප්‍රදේශයේ මිනිස් වාසයක ලක්ෂණ මද වශයෙන් පෙන්නුම් කරන්නට විය. ඒවන විට ඔවුන් තමන්ගේ ශරීරයට දැරිය හැකි උපරිම සීමාවට ළඟා වී සිටි අතර රොබේටෝ තව දුරටත් ඉදිරියට ගමන් කිරීමට හැකි තත්ත්වයක නොසිටියේය.

එම මොහොතේ නන්දෝ විසින් ගිනිමැලයක් ගැසීම සඳහා කෝටු කැබලි එකතු කරමින් සිටියේය. හදිසියේම අසකු පිට නැගි මිනිසකු වැනි රුවක් ගඟේ එහා ඉව්රෙන් නිරික්ශණය කළ රොබේටෝ වහාම එය නන්දෝට දක්වා සිටියේය. වහා ගං ඉව්ර වෙත දිව ගිය නන්දෝ එම අසරුවාට කෑගසා ඔහුගේ අවධානය දිනා ගැනීමට සමත් විය. එහි අසරුවන් තිදෙනෙකු වූහ. ගඟෙහි ශබ්ධය ඔව්නතර හොඳ සන්නිවේදනයකට බාධාවක් විය. නන්දෝ ඔවුන් මුහුණපා සිටින තත්ත්වය පැහැදිලි කිරීමට උත්සහා කළේය. එක් අසරුවෙකු හස්ත මුද්‍රාවෙන් දක්වා " හෙට " යයි පැවසීය. දැනට මේ පිළිතුරෙන් සෑහීමකට පත්වීමට ඔවුන් දෙදෙනාට සිදුවූහ. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉතාම ඉහල මට්ටමේ වූ බැවින් දිගු කලකට පසු ඔවුනට හොඳ නින්දක් ලැබීමට හැකිවිය.

පොරොන්දු වූ පරිදිම අසරුවා පසුදින උදයේ නැවතත් පැමිණියේය. ඔහු විසින් ඔවුන් වෙත පාන්ගෙඩි කිහිපයක් ගඟ හරහා මෙහා ඉවුර වෙත විසි කළ අතර එය තරුණයන් දෙදෙනා විසින් වහා අනුභව කරණ ලදී. අනතුරුව ගලක දවටන ලද පෑනක් සහ කොලයකි. නන්දෝ විසින් එහි සිද්ධිය සැකෙවින් විස්තර කොට උදව් ඉල්ලා ලියුමක් ලියා නැවතත් එහා ඉවුරට විසි කරණ ලදී. අසරුවා විසින් එය තේරුම් ගත් බව ඉඟියෙන් දක්වා සිටියේය.



සර්ජියෝ කටලාන් ( අසරුවා ) උදව් රැගෙන ඒම සඳහා පැය කිහිපයක්ම ගමන් කළේය. අතරමගදී වෙනත් පුද්ගලයෙකුට තරුණයන් දෙදෙනා ගැන පවසා ඔවුන්ව ගමට කැන්දන් එන ලෙස දන්වා සිටි ඔහු දිගටම සිය ගමන ගියේය. අවසානයේදී ළඟම වූ පොලිස් ස්ථානයට වාර්තා කළ සර්ජියෝ සිද්ධිය දැනුම් දී සිටියේය. මොහොතකින් එය චිලීහී සන්තියාගෝවට වාර්තා කරණ ලදී. මේ අතර වාරයේ තරුණයන් දෙදෙනාවා ගලවා ගත් ගම්වැසියන් ඔවුනට කෑම බීමෙන් සංග්‍රහ කොට තිබුණි. ඒ දෙසැම්බර් මස 21 වෙනිදායි.

ඔක්තෝබර් මස 13 වන දින සිදුවූ සිද්ධියෙන් දිවි බේරා ගත් අය ඇති බවත්, ඔවුන්ව ගලවා ගැනීමට සූදානම් වන බවත් පසුදින වන විට ජාත්‍යන්තර මධ්‍ය වෙත වාර්තා වී තිබුණි. එම පුංචි ගම්මානය ඔවුන්ව දැකීමට වැල නොකැඩී පැමිණි නා නා ප්‍රකාර ජනමාධ්‍ය කරුවන්ගෙන් පිරී යන්නට විය.

පසු දින එනම් දෙසැම්බර් මස 22 වන දින හෙලිකොප්ටර් යානා දෙකක් මගින් ගලවා ගැනීමේ මෙහෙයුම ඇරබුණි. මග පෙන්වීම සඳහා නන්දෝ ඔවුන් සමග එකතු විය.

ඉතා අයහපත් කාලගුණ තත්ත්වයක් යටතේ එදින මධ්‍යහන වන විට ඔවුනට කඩා වැටුණ යානය වෙත පැමිණිය හැකි වූහ. තමන් වෙත එන හෙලිකොප්ටර් යානය දුටු තරුණයෝ පිරිස දිවිගැලවීමේ ප්‍රීතියෙන් ඔල්වරසන් දෙමින් නටන්නට වූහ.

එදින සය දෙනෙකු පමණක් රැගෙන, ගලවා ගැනීමේ කණ්ඩායමේ කිහිප දෙනෙකු අනෙක් අය සමඟ නතර කොට යානය පිටත් විය. ඉතිරි 08 දෙනාව පසු දින ගලවා ගත්හ.

ඔවුන්ව පිළිගැනීමට ආශාවෙන් බලා සිටි තවත් විශේෂ අමුත්තෙක් විය. ඒ සිද්ධිය සිදුවූ දින සිට නොකඩවා ඔවුන්ව සොයා ගැනීමේ උත්සහයක නිරතවී සිටි, කර්ලිටෝ පයෙස් ගේ පියාය. හෙලිකොප්ටරයෙන් බැසගත් සිය පුතුනුවන්ව ඔහු ඉතා ආදරයෙන් වැළඳ ගත්තේ උතුරා ගිය දාරක සෙනෙහසකිනි. නන්දෝ පරාඩෝගේ නොපසුබස්නා උත්සහය නොවන්නට මෙලෙස එක්වීම ඔවුනට සිහිනයක්ම පමණක් වීමට තිබුණි.

දින 72ක් අධික සීතලෙන් යුත් හිමකතරක, අවම පහසුකම්වත් නොමැතිව දිවිගෙවා, නැවතත් මෙලොවට පැමිණි ඔවුන්ගේ කතාව මිනිස්සුන් සතු අධිෂ්ඨාන ශක්තිය පෙන්නුම් කරන කදිම අවස්ථාවකි.

2010 වසරේ චිලී හී සිදුවූ පතල් කම්කරුවන් හිරවූ සිද්ධියේදී මෙම දිවි ගලවා ගත් 16 දෙනා විසින් ඔවුනට සහය පලකිරීමටද ඉදිරිපත් විය.

මූලාශ්‍ර :
1. http://en.wikipedia.org/wiki/Uruguayan_Air_Force_Flight_571
2. http://www.youtube.com/watch?v=UWTN6nAIBcY
3. http://www.viven.com.uy/571/eng/historia.asp
4. http://www.parrado.com/

විශේෂ ස්තූතිය හරීට.

~~සෙන්නා / 13.03.2012