Monday, March 24, 2014

බුදු තාත්තේ බොන්න එපා !

2014 මැදින් මස 24 වනදා

එදා ඉරිදාවක් බව මට හොඳට මතකයි. ඒ, එදා මම වැඩට ගියේ ටිකක් පරක්කුවෙලා නිසා හා කලින්ම ආපු බව මතක නිසා. ෂිපින් කරන අපිට වෙලාව, අවෙලාව, සති අන්ත, ඉරිදා, පෝය, අවුරුදු, නත්තල්, වෙසක් ඔය මුකුත්ම හිමි නෑ. නැව් එන්නේ කවදද එදාට සුදානම් වෙලා ඉඳීම අනිවාර්‍යයි. අතේ බැඳපු ඔරලෝසුව බල බල, වෙලාව ගෙවෙනකම් බලන් ඉන්න, සති අන්තේ හරි නිවාඩු එනකම් හරි ඇඟිලි ගනින අයට මේ ජොබ් එක කරන්න බෑ. අපි කතාවට කියන්නේ ෂිපින් කරන උන් මැරුණ ගමන් කෙලින්ම දිව්‍ය ලෝකේ යනවා කියලා.

එදා උදේ මම වැඩට යනකොටත් තාත්තා අසනීපෙන් හිටියේ. හරි හමන් කෑමක් නැතුව, බඩේ අමාරුවක් කිය කිය තැම්බුම් හොදි බිබී හිටියේ. බඩ කොච්චර ඉදිමිලාද කිව්වොත් දිලිසෙනවා. අන්තිම පාර දොස්තර මහත්තයා ගාවට ගියාම කිව්වේ "පණට ආසාවක් ඇත්නම් ආයේ කටේ තියන්න එපා"කියලා. ඕන්නම් දවස් තුනක් පිළිපදින්න ඇති ඒ නියෝගය. ආයේත් පටන් ගත්තා ජරාව බොන්න. මෙච්චර අමාරුවෙන් ඉද්දිත් ගිහිල්ලා අරන් ඇවිත් හංගගෙන බීපු එකනෙ වැඩේ කියන්නේ. මේ ජරා බීමට ඇබ්බැහි වුණාම ආයේ ගැලවිල්ලක් නෑ. තාත්තා බීමට ඇබ්බැහි වුණ විදිහ මට හොඳට මතකයි. මුලින්ම බිව්වේ පඩි දවසට විතරයි. කාලක් ගෙනල්ලා තියාගෙන පැත්තකට වෙලා බිව්වා. කාටවත් කරදරයක් නෑ. අම්මා වුණත් ඒකට දොසක් කිව්වේ නෑ. බයිට් එකක් එහෙමත් හදලා දුන්නා කණු කුණු නොගා. ඊට පස්සේ සති අන්ත වල බොන්න පටන් ගත්තා. ඒකටනම් අම්මා එහෙන් මෙහෙන් පොඩි කරු කුරුවක් දැම්මා. ඊටත් පස්සේ සතියට දවස් දෙක තුනක් බොන්න ගත්තා. ඊළඟට පෝය හැර හැමදාම බොන්න පටන් ගත්තා. අන්තිමට පෝයටත් පස්වෙනි සිල් පදේ කඩන්න තාත්තා බය වුනේ නෑ. ඇබ්බැහියේ තරම එහෙමයි. ඒ කියන්නේ තාත්තා දැන් බේබද්දෙක් වෙලා අහවරයි. හැබැයි ඔය බිව්වේ රෑට විතරයි. ජොබ් එකෙන් අයින් වුණාට පස්සේ උදේටත් බොන්න ගත්තේ ඉරණමෙන් තීන්දු වෙලා තිබුණේ එහෙම නිසා වෙන්න ඕනා. ඊට පස්සේ තාත්තගේ මුළු ජීවිතේම වුණේ බීමත් කම තමා. කොටින්ම, ජීවත් වුණේ බොන්න. බීම වැඩිවීමට සමානුපාතිකව පවුලේ සමගියත් ටික ටික දියවෙලා ගියා. අම්මා හැම තිස්සේම ඇඬු කඳුළින්. ඒත් ඒ කඳුළු වලට පුළුවන් වුණේ නෑ තාත්තව ඒ නරක ඇබ්බැහියෙන් මුදව ගන්න. බීමත් කමට ඇබ්බැහි වුණ තාත්තා කෙනෙක්ගේ දරුවෝ විඳින මානසික පීඩනය මම සහ මගේ සහෝදර සහෝදරියන් නො අඩුව විඳලා තියනවා. තාත්තගේ බීමත් කම නිසා සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන්න වෙයි කියන බය බොහොම තදින්ම දැනෙන දෙයක්. "උඹලෑ තාත්තා හෙන බෙබේ නේද?" එහෙම නැත්නම් "ඒ බං අපි ඊයේ උඹලෑ තාත්තා බීලා වැනි වැනි යනවා දැක්කා" කියලා කවුරුහරි කොයි වෙලේ හරි අහයි, කියයි කියන බය නිතරම අපිව පෙලුවා. අම්මා අඬනවා දකින දේත් ළමයින්ගේ හිත්වලට එච්චර සුවදායක නෑ. තාත්තගෙ බීමත්කම නිසාම අපි මුහුණදීපු ආර්ථික අමාරුකමුත් එමටයි. ඒවා බීමට ඇබ්බැහිවුණ තාත්තා කෙනෙකුට කවදාවත් තේරුම් ගන්න පුළුවන් දේවල්ද !?

මම වැඩට ගිහින් එනකොට තත්ත්වය දරුණු අතට හැරිලා. තාත්තා ලේ වමනේ දාන්න පටන් අරන්. දැන්නම් ඉතින් තවත් බලන් ඉන්න බෑ. තාත්තා බෑ කියනකොටම බලෙන්ම වගේ ස්පිරිතාලේට ගෙනියන්න අපි තීරණය කළා. වෙලාව හවස හතරට විතර ඇති. ත්‍රීවීල් එකක් කතා කරගෙන අම්මයි මමයි තාත්තව මැදි කරගෙන ඒකට නැග්ගා. අයියා මෝටර් සයිකලෙන් අපිත් එක්කම වගේ ආවා. ඒ වෙලාවෙ අපේ ගෙදර ඇවිත් හිටිය් දමිතුත් අපිත් එක්ක එකතු වුනා ඉස්පිරිතාලෙට යන්න.  ස්පිරිතාලෙට ගෙනියනකොටත් තාත්තා හොඳට හිටිය බව මතකයි. සිහි කල්පනාව එහෙම හොඳට තිබුණා. ඕපීඩී එකේදි ලියාපදිංචි කරලා තාත්තව වාට්‍ටුවට යොමු කෙරුවා. ඒ, කලින් දෙවතාවක් හිටපු එකම නිසා තාත්තා යන්නත් ටිකක් අදිමදි කළා දොස්තරලගෙන් බැණුම් අහන්න වෙයි කියලා. කොහොම හරි අපි තුන්දෙනා ගිහින් තාත්තව වාට්‍ටුවට භාර දුන්නා. හොඳ වෙලාවට ඇඳකුත් හම්බුනා. ඒ වෙනකොට ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙලා තිබුණ නිසා "එක්කෙනෙක් ළඟ ඉඳලා අනිත් අය යන්න" කිය කිය සිකියුරිටි කාරයොයි, ඇටෙන්ඩන්ලයි බුරන්න පටන් ගත්ත නිසා අපි තුන්දෙනාටම එතන ඉන්න හැකියාවක් තිබුණේ නෑ. මම, එදා රෑ තාත්තා ළඟ නවතින්න තීරණය කරපු නිසා අයියා කිව්වා මම පහළට ගිහින් මොනවා හරි කාලා එනකම් එයා තාත්තා ළඟ ඉන්නම් කියලා. අම්මයි, මමයි, දමිතුයි තාත්තට ගිහින් එන්නම් කියලා පල්ලෙහාට බහිනකොටත් තාත්තා ඇඳේ වාඩි වෙලා හොඳට හිටියා. "හා" කියලා ඔළුව වැනුව හැටි මට තාම මතකයි. ඒ මේ භවයෙදී අම්මයි, මමයි තාත්තා එක්ක කතා කරපු අන්තිම වචන කිහිපය කියලා අපි මොහොතකටවත් හිතුවේ නැත්තේ තාත්තට ලේ වමනේ ටිකක් යනවට වැඩිය අමාරුවක් නොපෙන්නුව නිසා හා කොහොම හරි සුවකරගෙන නැවත එක්කන් යන බලාපොරොත්තුව අපේ හිත්වල තිබුණ නිසා වෙන්න ඕනා.

අම්මව නතරකරගෙන හිටපු ත්‍රීවීල් එකටම නග්ගලා ගෙදර යවලා, මම රාගම ස්පිරිතාලේ පල්ලෙහා තිබුණ හෝටලයට රිංගුවේ මොනවා හරි බඩට දාගන්න. හේතු දෙකක් නිසා මට කන්න පිරියක් තිබුණේ නෑ. එකක් පැවතුණු වාතාවරණය නිසා හිතේ තිබුණු අවිවේකී බවයි ආතතියයි. අනෙක් එක, මේ හෝටල්වල තියන අපිරිසිදුකම. මට පෙන්නන්නම බැරි වැඩක් තමා තියන ඔක්කොම කෑම ජාති ගෙනල්ලා මේසෙ උඩ තියන එක. කන එවුන් ඔක්කොම අල්ල අල්ල ආයෙ පිගානටම අතාරිනවා. කාපු නැති ටික ආයෙ වීදුරු කූඩුවට යනවා. වෙන කවුරු හරි ඉල්ලුවම ආයේ ඒවම ගෙනත් දෙනවා. මොන ඌරු වැඩක්ද කියලා මටනම් තේරෙන්නෑ. සෞඛ්‍ය පරීක්ෂකයන්ට මේවා පේන්නැද්ද ? නැත්නම් ජරාවෙන් ඒගොල්ලන්ගේ දෑස් වැහිලද?

හංවෙලා තිබුණ බිත්තර රොටියක් කාලා, නහය වහගන්නැතුව බොන්න බැරි නිසා තේ එකක් නොබී, කූල් බීම බෝතලයක් බීලා මම දනි පනි ගාලා ආයේ කන්ද නගින්න ගත්තේ අයියව ඉක්මනින් ගෙදර යවන්න ඕනා නිසා. මම පඩි පෙළත් නැගලා තාත්තා හිටපු වාට්‍ටුවට ඇතුළු වෙනකොටම ටිකක් අමුතු දෙයක් දැක්කා. එක ඇඳක් වටේ කට්ටිය වට වෙලා ඉන්නවා. මම ඒත් හිතුවේ වෙන කවුරු හරි ලෙඩෙකුට අමාරු වෙලා කියලා. ළඟටම ගියාම තමා දැක්කේ ඒ තාත්තගේ ඇඳ තමා කියලා. ඕන් එතකොටයි මට හීන් දාඩිය දාන්න ගත්තේ. මම බැලුවා අයියා කෝ කියලා. එයත් දොස්තරලට, නර්ස්ලට පිටි පස්සෙන් ඉඳගෙන බයවෙලා වගේ තාත්තා දිහා බලන් හිටියා. දොස්තර කෙනෙක් තාත්තගේ පපුව ඔබ ඔබ කෘතිම ශ්වසනය දෙනවා.

"මොකද වුණේ ? " මම අයියගෙන් ඇහුවේ බය වෙලා.

"එක පාරටම මට අමාරුයි කියලා ඇඳේ දිගා වුණා. මම කෑ ගහපුවම තමා කට්ටිය දුවගෙන ආවේ."

වෙන්නේ මොනවද කියලා මමයි අයියයි ඇස් උඩ තියාගෙන බලන් හිටියේ. ඒක මගේ ජීවිතයේ අවිනිශ්චිතවම ගෙවුණු තත්පර කිහිපයක්. තාත්තගේ වෙලාවද නැත්නම් හැමදාම රාගම ස්පිරිතාලේ එහෙමද කියන්න මම දන්නැ, වාට්‍ටුව භාරව නිසි දැනුමක් තියන වෛද්‍යවරයෙක් ඒ වෙලාවේ හිටියේ නෑ. හිටිය ඔක්කොම වෛද්‍ය ශිෂ්‍යයෝ විතරයි හිටියේ. අපි අරක දීලා බලමුද, මේක දීලා බලමුදා කියලා පොත් පෙරළ පෙරළ දෙන්න ඕනා බේත් ජාති හොයමින් නටපු නාඩගමක් ! ෂොක් ට්‍රීට්මන්ට් දීලා බලමු කියලා තීරණය කරලා ඒකත් කෙරුවා. ඒත් තාත්තගේ නැවතුන හදවත නැවත පනගන්වන්න ඔවුන්ට බැරුව ගියා.

"හරියන්නෑ" කියන්න තොල පෙරළන ගමන් කරණ ඔළුව දෙපසට වැනීම, කනගා‍ටුව මුසු වූ බැල්ම, සුදු පිරුවටය තාත්තාගේ හිසත් වසාගෙන ඉහළට ගමන් කිරීම, මුලු ලෝකයම කැරකෙමින් පෙරළෙමින් කඩා වැටීම, ඔක්කොම සිදුවුණේ එකටම වගේ. තාත්තා අපිව දාලා යන්න ගිහින් කියන සත්‍යය පිළිගන්න බැරුව අයියත් මමත් තාත්තගේ නිසල දේහය බදාගෙන කෑගහලා ඇඬුවා. එහෙම කළාට තාත්තා ආයේ නැගිටින්නෑ කියන එක තේරුම් ගන්න තරම් අපේ තර්ක බුද්ධිය ඒ වෙලාවෙ නිරවුල් නෑ. යාළුවන්ගේ තාත්තලගේ මලගෙවල් වල ගියාට අපේ තාත්තා මැරෙයි කියලා කවදාවත් නොහිතුණ හැටි. ඒක කොහෙත්ම වෙන්ඩ බැරිදෙයක් හැටියට අපේ හිත් විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම එක අතකින් හරිම පුදුමයි. මේ ලෝකේ හැම මිනිහෙක්ම මැරෙනවා කියන සත්‍ය අපි කවුරුත් දැනන් හිටියට ඒක අපිට සහ අපේ සමීපතයින්ටත් පොදු බව අපිට නොහැ‍ඟෙන හැටි. ඒක තමා අපේ කෙනෙක් නැතිවුනාම අපිව ගල් ගැහෙන්නේ. විශ්වාස කරන්න බැරුව තුෂ්ණිම්භූත වෙන්නේ. මේ වගේ අකල් මරණ වලදී මේ හැඟීම දෙගුණ තෙගුණ වෙලා දැනීම අහන්නත් දෙයක්ද ! අපි ඒ හැඟීම නොඅඩුවම විඳිමින් හිටි මොහොතක් තමා මේ ගෙවෙමින් පැවතුණේ.

ඒ වෙලාවේ වාට්‍ටුව භාරව හිටපු ප්‍රධාන හෙද නිලධාරිය ඇතුළු කට්ටිය අපිව සනසන්න මොන මොනවදෝ කිව්වා වගේ මතකයි. ඒත් ඒ කියපු කිසි දෙයක් අපේ කන්වලින් ඇතුළට නොගිය නිසා කිව්වේ මොනවද කියලා මට මේ මොහොතේ ලියන්න දැනුමක් නෑ. ඔය වගේ වෙලාවට භාවිතා කරණ සාම්ප්‍රදායික වදන් මාලාවම භාවිතා කරන්න ඇති කියන උපකල්පනයක් විතරක් කරන්න පුළුවන්.

ටිකකින්, ට්‍රොලියක් තල්ලු කරන් ආපු රෝහල් සේවකයෝ දෙන්නෙක් තාත්තගේ දේහය උස්සලා ඒකෙන් තියාගෙන යන්න ගියා. වාට්‍ටුවෙන් අපිට කිව්වේ දැන් ගෙදර ගිහින් මිනිය භාර ගන්න හෙට එන්න කියලා. රෝගියව රෝහලට ඇතුළත් කරලා පැය විසිහතරකට වඩා අඩු නිසා අනිවාර්යයෙන් මරණ පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් දැනුම් දුන්නා..

අයියයි මායි කොහොම ගෙදර ආවද කියන එකත් මට නිනව් නෑ. රෑ ළඟ නවතින්න ගිය මිනිහා මොකද ගෙදර ආවේ කියන විස්මයාර්ථය අම්මටත් අනෙක් අයටත් ඇතිවුණා කියලා ඔවුන්ගේ මුණු දැකපු ගමන් මට හිතා ගන්න පුළුවන් වුණා.

"ඇයි පුතේ ! ? " කියලා අම්මා ඇහුවේ හොඳටම බයවෙලා කියලයි මට හිතුණේ. ඒත් ඒකට උත්තර දෙන්න කලින් මගේ කඳුළු ඉස්සර වුණා. ඒකෙන් කියන්න ඕනා ඔක්කොම ඔවුන් වටහා ගන්න ඇති. ඊළඟ නිමේෂයේදී අසල්වැසියෝ අපේ ගේ වට කරගත්තේ පළාතම දෙදුරුම්කන තරමින් නැගුණු විලාපය නිසා. අපි ඔක්කොම එකට ගුලි වෙලා ඇති වෙනකම් ඇඬුවා. ඊළඟට මොනවද කරන්න ඕනා කියන එක වටහා ගන්නත් අපිට ටික වෙලාවක් ගියා. අනාරාධිතවම අසල්වැසියෝ වැඩට බැහැලා. සමහරු ඉස්සරහා මිදුල අස්පස් කරනවා, මඩු ගහන්න. ගැහැණු අය අම්මයි නංගිලයි එක්ක ඔවුන්ගේ දුක බෙදා ගන්නවා. එකම කතාව නැවත නැවත ප්‍රතිරාව කරන්න වුණත් ඒකෙන් වේදනාව තුනීවෙන හැටි හරිම පුදුමයි ! තාත්තගෙන් පස්සේ ගෙදර වැඩිමහලු පිරිමි දෙන්නා හැටියට අයියටයි, මටයි කටයුතු සංවිධානය කිරීමේ වැඩි වගකීමක් පැවරුණා. මස්සිනා නවරත්නත්, ගෙදර නැවතිලා හිටපු මගේ යාළුවා ඉන්දිකත්, මල්ලිත් හිටපු නිසා අපිට කටයුතු බෙදාහදාගෙන කරණ එකනම් කොහෙත්ම ගැටලුවක් වුණේ නෑ. පහුවදා අම්මයි මමයි ස්පිරිතාලෙට ගිහින් මිනිය නිදහස් කරගන්න අතරේ, අයියා අනිත් අයත් එක්ක ගෙදර වැඩ ටික එකලස් කරගන්න කතා කරගත්තා. හෙට කාර්යය බහුල දවසක් නිසා ටිකක් නිදාගන්න බලන්න කියලා හැමෝම කිව්වත් නින්ද අහලකවත් නෑ. එදා රෑ එළිවෙනකම් කුරුන්දෙන් නරි කෑ ගහනවා මම අහගෙන. උන්ට ඒ වගේ දේවල් දැනෙනවා කියලා මම අහලා තියනවා.

පහුවදා උදෙන්ම වගේ අම්මයි මමයි ස්පිරිතාලේට ආවා. ලෙඩගානේ හිටපු අම්මව එක්කන් එන්න වුණේ ලෙඩාව ඇතුළත් කරනකොට අපි කරපු මෝඩ වැඩක් නිසා. ඒ රෝගියාගේ භාරකාරයා හැටියට අම්මගේ නම දාපු එක. භාරකාරයට විතරලු පුළුවන් ලියකියවිලි වලට අත්සන් කරලා මිනිය භාර ගන්න. අපිත් එක්ක ඔය වගේ කටයුතු ගැන හොඳ අවබෝධයක් තියන අසල්වැසියෙක් වුණ ක්‍රිස්ටි මාමත් එකතු වුණා. ඇත්තටම ඒ වෙලාවේ ඒ මනුස්සයා ආපු එක අම්මටයි මට ලොකු පහසුවක් වුණා.

එතනට ගියාම සුපුරුදු විදිහට රස්තියාදුව. අතනට යන්න, මෙතනට යන්න, අතෙන්ට කට උත්තර දෙන්න, මෙතෙන්ට කට උත්තර දෙන්න කිය කිය උපරිමෙන්ම අපිව මැඩෙව්වා. ඒක හිතාමතා කරන දෙයක් නෙමේ වෙන්න ඇති, ඒත් නිසි පිළිවෙළක් නැති කම නිසා මානසිකවත් වැටිලා ඉන්න මිනිස්සු තවත් අසරණ වෙනවා. අනිත් කාරණය රාගම රෝහලේ භූවිෂමතා ලක්ෂණ. අසනීපෙන් ඉන්න අම්මා වගේ කෙනෙකුට ඒකෙ තියන කඳු පල්ලම් නගිමින් බහිමින් හක්කලන් කරන්න ලේසි නෑ. මරණ පරීක්ෂණේ ඉවර වුණාම මෝචරියට ගිහින් මිනිය භාර ගන්න කියපු නිසා අපි තුන්දෙනා ආයේත් පල්ලෙහාට බැහලා මෝචරියට ආවා. අයියලා කතා කරලා හර්ස් එකක් එවලා තිබුණා මිනිය අරගෙන යන්න. එතන ගිහින් මිනී කුණුගඳ දරාගෙන ටිකක් වෙලා ඉන්නකොට කපලා කොටලා විරූපී වෙච්ච තාත්තගේ සිරුර ට්‍රොලියක දාගෙන අපි ලඟින්ම අරගෙන ගියා හර්ස් එකට දාන්න. තාත්තගෙ පපුව මැද්දෙන් බඩ දක්වාම පළලා බොත්තම් ඇරපු කමිසක් වගේ දෙපැත්තට දාලා තියන විදිහ මගේ දෑසින්ම දකින්න තරම් පුතෙක් හැටියට මම අවසනාවන්ත වුණා. ඒ දර්ශනය අම්මගෙන් හංගගන්න මම පුළුවන් උත්සහා කළාට ඒක හරි ගියාද කියලා මට දැන් මතක නෑ. අන්තිමට එතනිනුත් ලියකියවිලි වගයකට අත්සන් අරගෙන තවත් මොකක්ද කොළයක් දුන්නා තව ඔ‍ෆිස් එකකට ගිහින් දෙන්න කියලා. ඒකට ආයෙත් උඩට නගින්න ඕනා වුණා. එතනට ගියාට පස්සේ අම්මවයි මාවයි වෙන වෙනම ප්‍රශ්න කළා වගේ මතකයි. ඊට පස්සේ එතනින් නිකුත් කළා මරණ පරීක්ෂණ සහතිකය. මරණයට හේතුව : Alcoholic Liver Disease කියලා බොහොම පැහැදිලිව ඒකේ ලියවිලා තිබුණා. ඒක අපි නොදන්න දෙයක්වත්, බලාපොරොත්තු නොවෙච්ච දෙයක්වත් නොවන නිසා අපිට ඉතුරුවෙලා තිබුණේ ඒකත් අරන් පල්ලම් බහින්න විතරයි.

මමයි අම්මයි ගෙදර එනකොටත් ගෙදර සෑහෙන පිරිසක් ‍රැස් වෙලා හිටියා. සීයලත් ගමේ ඉඳන් ඇවිත් තිබුණා. සියව දැකපු ගමන් මට හිතුණේ තාත්තා කෙනෙක්ට අකාලයේ තමන්ගේ දරුවෙක් නැති වුණාම දැනෙන දුක, පුතෙක්ට තමන්ගේ තාත්තා අකාලයේ මියැදුණාම දැනෙන එකමද කියලා. හොඳ බෞද්ධයෙක් වුණ සීයා, බුද්ධ ධර්මයෙන් ලැබුණ හික්මීම නිසාද මංදා එච්චර දුකක්නම් පෙන්නුවේ නෑ. අම්මා එක්ක කතා කරන ගමන් අම්මාගේ හිත හදන්නත් එයා සෑහෙන්න උත්සහ කළා.

දැන් ඉතින් අපට තියෙන්නේ මිනිය ගේනකම් බලා ඉන්න විතරයි. එතකම් අවශ්‍ය වෙන සුළු සුළු දේවල් ටිකක් සකස් කරමින් අපි කාලය ගත කළා. ඊයේ තාත්තා මිය ගිය බව දැනගත්ත වෙලාවේ ඉඳලා මේ වෙනකම් කිසිම අවස්ථාවක මට තාත්තා මිය ගිහින් කියන එක පිළිගන්න හැකියාවක් තිබුණේ නෑ. හිතෙන්නෙම තාත්තා අපි අතර ඉන්නවා කියලා විතරයි. සමීපතමයෙක් මිය ගිය කෙනෙක්ට මම මේ කියන අත්දැකීම වටහා ගන්න එච්චර අපහසු වෙන එකක් නෑ. මරණය කියන භයානක සත්‍ය පිළිගන්න අපි එතරම්ම අදිමදි කරනවා.

හවස හතරට විතර තාත්තගේ මෘත දේහය තැන්පත් කරපු හර්ස් එක නිවසට ළඟා වුණා. හීනියට පටන් ගත්තු ඉකිබිදීම් මහා විශාල විලාපයක් වෙන්න වැඩි වෙලා ගියේ නෑ. හර්ස් එකෙන් අපේ කර මතට ආපු තාත්තගේ දේහය තැන්පත් කරපු පෙට්ටිය, සාලේ මැද්දේ මල්ශාලාවේ අය විසින්ම පිහිටවපු කණු හතරක් මත තැන්පත් කළේ බටහිරට ඔළුව තියන විදිහට. ඒක එකම කලබලයක්! එහෙන් අම්මලාගේ ල‍තෝනිය, මෙහෙන් අපි පෙට්ටිය වැටෙන්න නොදී කණු උඩ රඳවන්න ගන්න උත්සහාය. ඔය කලබල සියල්ල අස්සේ තමා හදිසියේම ඒ අසලම ඉඳන් අඬන සීයව දැක්කේ. කොච්චර ලෝක ස්වභාවය ගැන නිතර මෙනෙහි කළත්, තාත්තා කෙනෙක් හැටියට තමන්ගේ දරුවෙක්ව මිනී පෙට්ටියක බාහලා ඉන්නවා දකින්න කවදාවත් බලාපොරොත්තු නොවිච්ච සීයටත් ඒ වෙලාවේ තමන්ව පාලනය කරගන්න බැරුව යන්නැති. ඒකයි ඔහු හඬාවැටෙන්න ඇත්තේ. සීයා අඬනවා මම ඊට කලින් කවදාවත් දැකලා තිබුණේ නෑ. ඒක මගේ හිත තදින්ම කම්පනයට ලක් කළා. ඊට පස්සේ අනිච්ඡානුගව මගේ කටින් පිට වෙච්ච වචන කීපය මට මගේ ජීවිතය තියෙන තුරාම මතක තියේවි. ඒක, කවදාවත් මට ඇසට කඳුළක් එන්නැතිව සිහි කරන්න බැරි සිද්ධියක් වුණා. මේක ලියන මේ මොහොතේත් මගේ දෑස් කඳුළින් තෙමිලා.

"තාත්තේ, අර සීයා අඬනවා පොඩ්ඩක් බලන්නකො." මම කිව්වේ තාත්තව හොයන්න වටපිට බලන ගමන්මයි.

ඊළඟ නිමේෂයේදී හෙණයක් ගැහුවා වගේ මම කියපු වචන වල බරපතල කම මටම වැටහෙනකොටම තාත්තා තවදුරටත් අපි කවුරුවත් අඬන ඒවා බලන්න, අපේ කඳුලු පිහදාන්න අපි අතර නෑ කියන සත්‍යත් මට මුල්ම වරට තදින්ම අවබෝධ වුණා.

ooooo

ඒ අවාසනාවන්ත, කනගා‍ටුදායක ඉරිදාව උදා වුණේ අද වගේ මාර්තු 24 වෙනිදාවකයි. වෙන විදිහකට කිව්වොත් තාත්තා අපිව සදහටම හැරගිහින් අදට අවුරුදු 12ක්. මේ සටහන ඒ වෙනුවෙන්.

මෙය, මතට ඇබ්බැහිවූ එක් පියෙකුගේ හා ඔහුගේ අඹුදරුවන්ගේ කතාවක් පමණක් නොව, අඩු වැඩි වශයෙන් එවන් සියලු පියවරුන්ගේ හා ඔවුන්ගේ අඹුදරුවන්ගේ කතාව විය හැකිය. අම්මාගේ ධෛර්‍යය හේතුකොටගෙන පියාගේ මතට වූ ඇබ්බැහිය අප කෙරෙහි බලපෑවේ සුළු වශයෙන් වුවද, එම නිසාම සිය ජීවිතයම අවාසනාවන්තවූ, අවාසනාවන්තවන දරුවන් කොතෙක්ද නම් වේද ! එවන්වූ සියලු දරුවන්ගේ නාමයෙන්, මෙලොවෙහි මතට ඇබ්බැහිවූ සියලු පියවරුන් එයින් මිදෙත්වා !!

මත්පැන් නිසාම අකාලයේ අප හැරගිය ආදරණීය තාත්තේ, කෙතරම් අඩු පාඩු සහිත වූවද ඔබ අපේ පියාණන් යැයි යන සත්‍යය වෙනස් කිරීමට මෙලොව කිසිඳු බලවේගයකට නොහැකිය. සසර සැරිසරන තුරාවටත් ඔබ අපගේ පියාණන්ම වේවායි යන්න අපගේ එකම පැතුමයි !!!

~~ සෙන්නා / 24.03.2014

Wednesday, March 12, 2014

අත්භූත අමුත්තා

2014 මැදින් මස 12වනදා

තිරිවානා පැහැති ගල් ජාතියකින් නෙලලා තිබුණු බුද්ධ රූපේ දකුණු පැත්තට වෙන්න තිබුණ සමරු ඵලකයේ වාක්‍ය පේළිය කියවන්න තමා මම උත්සහ කරමින් හිටියේ. කාගේදෝ අදහසකට අනුව, තව කෙනෙකුගේ ආරාධනයෙන්, තවත් කෙනෙකුගේ මැදිහත් වීමෙන්, තවත් කෙනෙකුගේ අධීක්ෂණයෙන් ඉදිවූ ගොඩනැගිල්ල තවත් කෙනෙකු අතින් විවෘත්ත වුණා කියලා කොටලා ඇති, ආයේ ඒකෙ සැකයක් නෑ. ආර්. ප්‍රේමදාස, බී සිරිසේන කුරේ, ජේ.ආර්. ජයවර්ධන කියනව වචන ලොකුවට කොටලා තිබුණ නිසා මම ඉන්න තැන ඉඳන් පහසුවෙන් කියව ගන්න පුළුවන් වුණාට අනිත් අය ගැන දැන ගන්න ඕනානම් ඉතින් ළඟටම යන්න වෙනවා. 

මම වාඩි වෙලා හිටියේ පබ් එක ඉස්සරහා තිබුණ ඕවලාකාර බැම්මේ පබ් එකේ ඉදිරි පසට මුහුණ දාලා. අසංක එනකම්. පබ් එකේ පාඩම් කරන එක පැෂන් එකක් වෙලා තිබුණ හින්දද කොහෙද අපිත් පබ් එකට ඇවිල්ලා පාඩම් කරන්න පුරුදු වෙලා හිටියේ ‍රැල්ලට ගහගෙන ගිය හින්දා මිසක් ගෙදර පාඩම් කරගන්න බැරිකමක් නිසා නෙමේ. නැත්නම් මුහුද අද්දර තිබුණු අපේ ගේ ගාව නිස්කලංකව පාඩම් කරන්න තැන් එමටයි. අසංක එනකම් මට වෙන කරන්න වැඩක් නොතිබුණ නිසා මම ළඟ තිබුණ බුදු පිළිමය දිහා බලාගෙන අනිමිසලෝචනයේ යෙදෙමින් ඉන්න කොට තමා පබ් එක හදවපු අයගේ විස්තරේ මගේ ඇහැ ගැ‍ටුණේ. හදවපු අය ගැන මිසක් හදපු අය ගැනනම් කිසිම සඳහනක් එහි තිබුණේ නෑ. මේ ලෝකේ කොහොමත් වැඩකරන මිනිහට වඩා වැඩ කරවන මිනිහගේ තමා නම යන්නේ. රුවන්වැලි මහ සෑය හැදුවෙත් දු‍ටු ගැමුණු රජ්ජුරුවෝ නෙමේනෙ. අනිත් ඔක්කොමත් ඔහොමම තමා.

කවුරු හරි අපි දිහා එක එල්ලේ බලා ඉන්නකොට, අපිට ඒ මනුස්සයා ඉන්න දිහා බලන්න හිතෙන ඒ අරුම පුදුම හැඟීම ඕගොල්ලොත් විඳලා ඇති නේද ? ඔන්න ඔය මොහොතෙම මට ඒ හැඟීම තදින්ම දැනුණ නිසා තමා මම බෙල්ල හරවලා වම් පැත්තෙන් පිටි පස්ස බැලුවේ. මම දිහා කන්න වගේ බලාගෙන මට ටිකක් එහායින් වාඩි වෙලා හිටපු මනුස්සයාව දැක්කම මාව එක පාරම ගැස්සුණා. මට එයා එනවා කියලා හාන්කවිසියක්වත් තේරුන්නෑනෙ !

බැලූ බැල්මට එයාට වයස අවුරුදු හතළිහකට කිට්‍ටු කරලා ඇති. කොණ්ඩේ කොටට කපලා, මොනවා හරි ජෙල් වගයක් ගාලා නීට් එකට පස්සට වෙන්න පීරලා තිබුණා. රැවුල ෆුල් ෂේව් කරලා. හරිම ප්‍රසන්න පෙනුමක් මම එයාගෙන් දැක්කේ. ඒ එක්කම මනුස්සයව කවදා හරි කොහේදී හරි මීට කලින් හම්බෙලා තියනවාය කියන හැඟීමත් මට ඒ වෙලේ තදින්ම දැනුණා. මම පොඩ්ඩක් කල්පනා කරේ කොහෙදිද මීට කලින් මෙයාව දැක්කේ කියලා මතක් කර ගන්න. ඒත් මට එහෙම මතකයක් සිහියට නගා ගන්න බැරි වුණා. 

එයා මාත් එක්ක හිනා වෙච්ච නිසා මමත් හිනාවකින් සංග්‍රහා කරන ගමන් සිරස් බැම්මට පිට දීලා හරි බරි ගැහිලා වාඩි වුණා.

"මොකද බුදු පිළිමෙ දිහා බලාගෙන කරන්නේ ? ගිහි ගෙය අතාරින්නද කල්පනාව ?"එයා මගෙන් ඇහුවේ හිනා වෙන ගමන්. මම ඒකටත් ලාවට හිනා වුණා මිසක් උත්තර දෙන්න ගියේ නෑ.

"පුතා සමන්ත නේද ?" මේ ප්‍රශ්නෙන් මම තවත් හොල්මන් වුණා. එයා කොහොමද මගේ නම දන්නේ කියන ප්‍රශ්නෙ නිකන්ම මට මතුවුණා.

"ඔයා කොහොමද දන්නේ? ඔයා කවුද?"

"මම දන්නවා, ඒත් ඒ කොහොමද කියලා අහන්න එපා." එහෙම කියපු ඔහු කට කොනකින් හිනා වුණා..

"අසංක එනකම් නේද ඉන්නේ ? පාඩම් කරන්න යන්න !" එළියට පනින්න ඔන්න මෙන්න තරමට ලොකු වුණ මගේ ඇස් ගෙඩි දෙකෙන් මම එයා දිහා කන්න වගේ බලන් හිටියේ "මොකෙක්ද මූ? " කියලා මගෙන්ම අහ ගන්න ගමන්.

"ඔයා කවුද ? කොහොමද මාව දන්නේ ?"

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." මම දිගටම පුදුමයෙන්. 

එයත් එක්ක කතා කරනකම්ම මම හිතෙන් උත්සහා කරේ මෙයා කවුද කියලා මතක් කරගන්න. මගේ නම, අසංකගේ නම, මම මෙතන ඉන්න හේතුව දන්න නිසා මෙයා මම ගැන හොඳින් දන්න කවුරුහරි වෙන්න ඕනා කියලා මම අනුමාන කළා. සමහර විට මම නොදන්න අපේ නෑයෙක් වෙන්නත් පුළුවන් ! සාමාන්‍යයෙන් මම අදුනන්නැති අය එක්ක එච්චර බජනෙකට යන්නේ නෑ. වචනෙන් දෙකෙන් උත්තර දීලා නිකන් ඉන්නවා. හැබැයි මෙයා එක්ක කතා කරන්නනම් මට කිසිම චකිතයක්වත්, අකමැත්තක්වත් තිබුණේ නෑ. බර වෙලා තිබුණ අහස දිහා බලලා "වහින්න වගේ නේද?"කියලා ආයේ පටන් ගත්තු අපේ කතාව අතරින් පතර නැවතෙමින්, විවිධ මාතෘකා ඔස්සේ ඇදිලා ගිහිල්ලා අන්තිමට වර්ෂාවසානයේ පැවැත්වීමට නියමිත අපේ විභාගේ දක්වාම ආවා. 

"හැබැයි පුතාට මේ අවුරුද්දේ විභාගේ කරන්නනම් වෙන්නේ නෑ." මේ පාරනම් පුදුමය වැඩි කමට මගේ කටත් ඇරුනා. ඒත් ඊලඟට මම ඒක විහිලුවක් හැටියට තමා සැලකුවේ.

"ඇයි ඒ !? ඔයා කොහොමද දන්නේ ? " 

"මම වැඩි විස්තර කියන්නේ නෑ. යම් හෙයකින් ඔයා වෙන්න තියනදේ වලක්වන්න හැදුවොත් ඒක ඉතාම නරක විදිහට අනාගතයට බලපාන්න පුළුවන්. කොහොමත් ඒකෙන් ඔයාට ලොකු හානියක් වෙන්නේ නෑ."

"මම යන්නම්, යාළුවා එනවා." අසංක ආපු හින්දා මම එයාගෙන් වෙන්වෙලා පබ් එක ඇතුළට යන්න අසංක එක්ක එකතු වුණා. තමන් කවුදැයි හඳුන්වා දීම දිගින් දිගටම මගහැරපු නිසා මම ආයෙ එයාගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ. 

"කවුද බන් ඒ ?"

"අනේ මංදා බන්, මහ අමුතු පොරක්. මිනිහා කියනවා මට මෙදාපාර විභාගේ කරන්න හම්බෙන්නෑල්ලු." ඒ මනුස්සයාව පිස්සෙක් කියලා හඳුන්වන්න තරම් මම ඉක්මන් වුණේ නෑ.මොකක් හරි නොතේරෙන හේතුවක් නිසා මම මේ මනුස්සයට ලොකු ලෙන්ගතු කමක් දක්වනවා. ඒ මොකද කියලා මටම හිතා ගන්න බෑ. 

"මිනිහා කොහොමද එහෙම කියන්නේ? එයා සාත්තර කාරයෙක්ද?"කොහෙද යන පිස්සෙක්ද කොහෙද !"

"අනේ මංදා බන් මටත් තේරෙන්නෑ."

"මම හිතුවේ උඹලෑ අයියා කෙනෙක් වෙන්නැති කියලා. මිනිහා ටිකක් උඹ වගේමයි." අසංක එහෙම කිව්වේ හිනා වෙවී.

"මොකාක් !! මම වගේ !??"  මාව ආපසු හැරුනේ ඉබේමයි. ඒ එයාව ආයෙත් දැකගන්න. ඒත් ඒ වෙනකොටත් එයා එතනින් අතුරුදහන් වෙලා.

එහෙනම් මම හිතුවා හරි. එයා අපේ නෑ කෙනෙක් වෙන්නෝනා. ඒත් එහෙනම් මම එයාව නොදන්නේ කොහොමද ?

විභාගය වෙනුවෙන් දිගින් දිගටම මහන්සි වෙච්ච නිසා, මේ සිද්ධිය මට එහෙම් පිටින්ම අමතක වෙලා ගියා. ඒත් නොවැම්බර් මාසේ අන්තිමදා වෙච්ච මෝටර් සයිකල් අනතුර නිසා ආයෙත් ඔහුව මතක් වුණේ මාසයක් එකහාමාරක් විතර යනකම් දකුණු අතෙන් වැඩක් ගන්න බැරිවෙනවා කියලා දැන ගත්තමයි. මේ වෙනකම් වෙච්ච මහන්සිය වතුරේ ! ඊට පස්සේ අසංකයි මමයි කවුද මේ මනුස්සයා කියලා වරු ගණන් කතා කරන්න ඇති. දවස් ගාණක් පබ් එක ඉස්සරහා මුර කළත් ආයෙ එයාවනම් දකින්න ලැබුණේ නෑ. මේ ලෝකේ අරුම පුදුම මිනිස්සු ඉන්නවා කියලා හිතහදා ගන්නවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් ඉතුරු වෙලා තිබුණේ නෑ. 

මාස කිහිපයක් ඔහොම්මම ගෙවිලා ගියා. දැන් මට තනියමම විභාග කඩුල්ල වෙනුවෙන් ලක ලෑස්ති වෙන්න වෙලා තියන නිසා පබ් උණ එහෙම හොඳ වෙලා තිබුණේ. ගේ ගාවම තිබුණ බීච් එකේ, හෙවණක් යට පොල් කොටන් හිටෝලා අටව ගත්තු තාවකාලික බංකු කෑල්ලකුයි, ඒ විදිහටම හදාගත්තු මේස කෑල්ලකුයි එක්ක මම ආයෙත් වැඩේට බැස්සා. පබ් එකට වැඩිය මේක බොහොම නිස්කලංකයි. යන්න එන්න යන වෙලාවයි, සල්ලියිත් ඉතුරුයි.

එදා මගේ අවධානය තදින්ම ගාණකට යොමු වෙලා තිබුණ වෙලාවෙ කවුදෝ මගේ පිටිපස්සේ ඉඳන් "පුතා කොහොමද ? පාඩම් කරනවා වගේ !" කියනවා ඇහිලයි මම පිටිපස්ස හැරිලා බැලුවේ. දෙවියනේ ! එයා !! ආයෙත් !! මගේ ඇස් ගෙඩි දෙක දොඩම් ගෙඩි දෙකක් විතර ලොකු වෙන්න ඇති මේ බලාපොරොත්තු නොවුන මේ හමුවීමෙන්.

"අපි ඔයාව කොච්චර හෙව්වද ? ඊට පස්සේ නිකන්වත් දකින්න ලැබුණේ නෑනෙ !?"

"මට ඊට පස්සේ එන්න බැරුව ගියා. ඉතින් කොහොමද?  ආයේ පාඩම් කරනවා වගේ !?" 

"ඒකනෙ ! අපි හිතුවේ ඒක විහිළුවක් කියලා. ඔයා කියපු එක එහෙම් පිටින්ම අමතක වෙලයි තිබුණේ මේ සිද්ධිය වෙනකම්ම. ඔයා ඇත්තටම කවුද? කොහොමද එහෙම අනාවැකියක් හරියටම කිව්වේ? 

"මට ඔයිට වැඩිය අනාවැකිත් කියන්න පුළුවන්. හරියටම හරි යන ඒවා. ඔයාට ඒක දැන ගන්න ලැබෙන දවසක් තියනවා පුතා. එතකන් ඉන්න. මම ඒ ගැන මොකුත්ම කියන්නෙ නෑ."

"එහෙනම් ඉතින් කියන්න පුළුවන් කියපු අනාවැකිවත් කියන්න."මම කිව්වේ හිනාවෙන ගමන්. හිනාවුණේ ඔහුට මම කියන දේ විහිළුවක් කියලා පෙන්වන්න. ඒත් ඇත්තටම අනාගතයේදී වෙන්නේ මොනවද කියලා දැනගන්න කාටත් තියන කුතුහලය මටත් අඩු නැතුවම තිබුණා.

ඒත් ඊට පස්සේ එයා අපේ පවුලේ විස්තරයි වෙන වෙන දේවලුයි පැත්තට කතාව අරගෙන ගියා. එයා එහෙම අනාවැකි කියන්න එච්චර මනාපයක් පෙන්නුවෙ නෑ කියලා තමා මට හිතුනේ. ඒත් මගේ කුතුහලය ඊට වැඩිය වැඩියි. ඒක නිසාම ඒ ගැන මම එයාට ආයෙත් මතක් කළා.

"හරි කියන්නම්, හැබැයි ඔයාගේ පුද්ගලික ජීවිතේ ගැන වෙන මුකුත්ම මම කියන්නේ නෑ. ඒක ඔයාට ලොකු මානසික වදයක් වෙයි. හෙට මොනවද වෙන්නෙ කියලා අද දැනගෙන ජීවත් වෙන එක විශාලා මානසික පීඩනයක්. ඒකයි අනාගතේ අපි හැමෝගෙන්ම වහලා තියෙන්නේ.

"එහෙනම් ඇයි එදා කියුවේ? මම විභාගෙට ලෑස්ති වෙන වෙලාවක වෙලත් !" මේ වෙලාවෙනම් මට ඔහු ගැන ටිකක් කේන්ති ගියා කියුවොත් වැරදි නෑ..

"ආහ් ඒක !, මට නිකමට හිතුණා ඔයාට මම ගැන පොඩි ඉඟියක් දෙන්න. අනික මම දැනගෙන හිටියා ඔයා ඒක විශ්වාස නොකර අමතක කරලා දාන බව. ඒත් දැන් තත්ත්වය වෙනස්. දැන් මම කියන හැම අකුරක්ම ඔයා විශ්වාස කරනවා."

"හරි මට තේරුණා. එහෙනම් ඉතින් ඔයාට කියන්න තියෙන්නෙ රටට ලෝකෙට වෙන්නෙ මොනාද කියලා තමා."

"ඔව්, මේ ටික අහගන්න. ඕනනම් කොහෙ හරි ලියා ගන්න. හැබයි කා එක්කවත් ඕවා කියන්න යන්න එපා. කවුරුවත් විශ්වාස කරන්නේනෑ. ඔයාට පිස්සු කියලා හිතනවා මිසක්. හරිද?" මම හා කියලා ඔළුව දෙපැත්තට වැනුවා.

"අනිත් එක මම වෙන අවුරුද්ද විතරයි කියන්නේ, දිනේ කියන්නෑ. ඔයා මොකක් හරි වෙනසක් කරන්න හැදුවොත් ඒක අනාගතේට දරුණු විදිහට බලපාන්න පුළුවන්. තේරුණාද? ඔයා මේවා නිකන් හිතේ තියා ගන්න. එච්චරයි. කොහොමත් වෙන්න තියනදේ වෙනවා." මම ආයෙත් ඔළුව වැනුවා.

"1993දී, ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරයා මියයනවා. බෝම්බෙකට අහුවෙලා."

"නෑහ්...." ඒකට ඔහු නහයෙන් පිඹින ගමන් කට කොනකින් හිනා වුනා.

"නෑ නෙමේ ඔව්. බලාගෙන ඉන්නකෝ ඒකට තව වැඩිකාලයක් නෑනෙ."

" ඊට පස්සේ....1996දී ඕගොල්ලන්ට බොහොම සතු‍ටු වෙන්න පුළුවන් දෙයක් වෙනවා."

"නෑහ්!.. ඒ මොකක්ද?"

"ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනාගන්නවා."

"මොකාක් !! වෙන්න බෑ ! අපි කොහොමද ලෝක කුසලානයක් දිනන්නෙ ? වෙන්න බෑ. " මගේ වචන අහපු ඔහු හිනා වුණා. "හරි දැන් ඔයාට තේරෙනව නේද මේවා කාට හරි කියුවට කවුරුවත් පිළිගන්නේ නෑ කියලා. අත්දැකීමෙන් දන්න ඔයත් පිළිගන්නේ නැති කොට. හෙහ් හෙහ්.. අඩුම ගානේ ඔයාගෙ යාළුවටවත් කියන්න යන්න එපා."

"අනිත් එක තමා 2004දී මුහුද ගොඩ ගලලා විශාල විනාශයක් වෙනවා. දාස් ගාණක් මැරෙනවා එකෙන්."

"දෙවියනේ ! ඒ මොකද ඒ ? අඩුම ගානේ  ඒකවත් කාටවත් කියන්න එපාද ? වෙන්න තියන විනාශය වළක්වගන්නවත් ! "

"එපා. වෙන්න තියන දේවල් වෙන්නම ඕනා. ඒවා වෙනස් කරන්න හොඳ නෑ. ඒවා එහෙම වෙන්න හොඳ හේතු ඇති. අපි නොදන්නවා වුණාට."

"එතකොට මේ යුද්දෙට මොකද වෙන්නේ ? කවද්ද මේක ඉවර වෙන්නෙ? " 

"ආහ්.. ඒක මට අමතක වුණානෙ. ඔව්, යුද්දේ ඉවර වෙනවා. හැබැයි අද හෙට නෙමේ 2009දී. සෑහෙන විශාල කැපකිරීම්, විනාශවීම් ගොඩකට පස්සේ හමුදාව ත්‍රස්තවාදීන්ව පරාජය කරලා දිනනවා. ඒත්... "

"ඇත්තද ! ඒකනම් බොහොම සතුටට කාරණයක්. ඇයි ඒත් කියලා නැවැත්තුවේ?"

"යුද්දේ ඉවර වුණාට, ලංකාවට කරන්න වෙන යුද්ධයක් ඉතුරු වෙනවා. ඒ තමයි මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට උත්තර හොයන්න වෙන එක. ඒක හරියට කළමනාකරණය කර නොගත්තොත් යුද්ධෙන් බැරි වෙච්ච ඊළම ඔවුන් ඒ මගින් දිනා ගැනීමේ අවදානමක් තියනවා."

"ඇත්තටම එහෙම මානව හිමිකම් කඩවීමක් වෙනවද ? "

"හෙහ් හෙහ්... මානව හිමිකම් ‍රැකගෙන කරන්න පුළුවන් හෝ කරපු යුද්දේ මොකක්ද පුතා !. යුද්දේ කියන වචනෙම ඒක අන්තරගත වෙලා තියනවා. ඒවා ඉතින් ලෝක බලවතුන් තම තමන්ට අවශ්‍යය විදිහට පරිහරණය කරනවා. කන්න ඕනා වුණාම කබරගොයාව තලගොයා කරගෙන කනවා. දුකට කාරණේ ලංකාවෙම මිනිස්සුත් ඒවට උල්පන්දම් දෙන එක තමා. "

"ඉතින් ඒකට මොකද වෙන්නේ කියලා ඔයාට කියන්න බැරිද ? "

"බෑ, ඒක මගේ දැනුමෙන් එහා තියන කාරණයක්."

ඒක වෙන්න ඇති මගේ ජීවිතේ විස්මිතම මිනිත්තු කිහිපය. ඒ වෙලාව අතරතුර මම නොකඩවාම පුදුමයට පත් වෙච්ච එක තමා වුණේ. අන්තිමට ඔහු මගෙන් සමුඅරගෙන වෙරළ දිගේ ඇවිදගෙන යන්න ගියා. ආයේ එන්නෙ කවදද කියලා ඇහුවම කියුවේ "කියන්න බෑ" කියල තමා. ඇත්තටම කවුද මේ මනුස්සයා ?

xxxxxxxx

ජීවිතයේ විවිධාකාරවූ හැලහැප්පීම් මැදින්, මා වැඩිහිටියකු බවට පත් කරමින් කාලය ගලා ගියේය. බිරිඳගේ අකාල මරණයත්, ඉන් ටික කළකට පසු සිදුවූ පියාගේ මරණයත් මා දරුණු කම්පනයකට ලක් කොට ජීවිත ආශාව නැති කෙරුවේ වුවද, ඔත්පලව සිටින මව රැකබලා ගැනීම උදෙසා මා හට ජීවත්වීමට සිදුවී තිබුණි.  ඒ අපූර්ව පුද්ගලයා, අත්භූත අමුත්තා, ඉන්පසු කෙදිනකවත් මා හට මුණ නොගැසුණි. එහෙත් ඔහුගේ අනාවැකි එකින් එක සත්‍යවන විට මා සිතෙහි ඔහු කෙරෙහි වූ ගෞරවය දිනෙන් දින දළුලා වැඩුණි. එම අනාවැකි කිසිවකුත් සමඟ පැවසීමෙන් වළකින ලෙස ඔහු කීවද මා හට එම පොරොන්දුව ඉ‍ටු කිරීමට නොහැකීවීමේ ප්‍රතිඵලයක් ලෙසින් මා විහිළුවට ලක්වූ වාරයන් අනන්ත වුවද ඒවා එලෙසින්ම ඉ‍ටු වූ විට මා හට හිනාවූ පුද්ගලයින් මා දෙස අමුතු සතෙකු දෙස බැලූ බවත් මතකය. එහෙත් සැවොම මෙන් ඒවා "කණා ෂොට්" ලෙසට සැලකූ බවට සැකයක් නොමැත.

අධ්‍යාපනයෙන් ඉහළටම ගිය මගේ අතිජාත මිත්‍රයා, අසංක, යුරෝපයේ පිළිගත් පර්යේෂණායතන කිහිපයකම භෞතික විද්‍යාඥයෙකු ලෙස සේවය කිරීමෙන් පසු ලංකාවට නැවත පැමිණියේ ලොකු සැලැස්මක්ද සහිතවය. ඔහුගේ නවතම පර්යේෂණයට සහායකයකු ලෙස එක්වීමට කළ ඉල්ලීම මා විසින් ඉවත දැමුයේ රෝගී මවගේ උවටැන් කිරීමට එයින් සිදුවන අවහිරය නිසාවෙනි. කෙසේ වෙතත් අවසන මවගේ අභාවයත් සමඟින් මෙලොවෙහි හුදකලා වූ මා ඔහුගේ ඉල්ලීම සලකා බලා ඔහු හා එක්විය. මුලු ලොවම මවිත කළ හැකි වූ එම නිර්මාණයෙහි සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකිවූයේ අසංකගේ නොපසුබස්නා උත්සහාය නිසාම බව මාගේ විශ්වාසයයි. ඔහු මේ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසුනි. අසංක මාගෙන් බලාපොරොත්තු වූයේ විශ්වාසදායක මිතුරෙකු ලෙස ප්‍රථම අත්හදාබැලීම උදෙසා සහභාගී වීමයි. එය ජීවිතය පිළිබඳ අතිශය තීරණාත්මක කරුණකි. සියල්ල යහතින් සැලසුම් කළ පරිදිම සිදු වුවහොත් යහපත්ය. නැතහොත් ප්‍රතිඵලය විනාශකාරීය. ක්ෂීරපත මංදාකිනියෙන් පිටතට ගොස් නැවත පැමිණෙන අභ්‍යාවකාශ පර්යේෂණයකට සහභාගී වන විට ඇති අවදානම කොතෙක්ද, මෙහි ඇති අවදානමද එයින් බිඳුවක් හෝ අඩු නැත. එහෙත්, ඒවන විට මෙලොවෙහි හුදකාලාවී සිටි මා හට එවැනි තීරණයක් ගැනීම සඳහා බාධාවක් නොවුණි. 

xxx

ගමනාන්තට පැමිණි මා මුලින්ම සිදු කෙරුවේ කිසිවකු හෝ මාගේ පැමිණීම නිරීක්ෂණය කළේදැයි පරික්ෂාකර බැලීමයි. කිසිවකුගේ හෝ විශේෂ අවධානයකට මා ලක්වී නොතිබුණි. මා පැමිණ තිබුණේ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපසටය. එය ඉදිරිපසවූ ඕවලාකර ගල් බැම්මෙහි අසුන් ගෙන ඉදිරියෙන්වූ බුදු පිළිමය දෙස නෙත්යොමාගෙන සිටි වයස දහසයක් තරම් වූ ළමයකු දු‍ටු මට එම අවස්ථාවෙහි යම් හුරු බවක් දැනුණි. මින් පෙර මේ හා සමාන සිද්ධියක් සිදුවී ඇති බව තදින්ම දැනෙන්නට විය. මදක් සිත යොමු වීමේදී ඒ අපූර්ව අතීත සිද්ධිය ඒක්ෂණයෙන් මාගේ සිහියට නැගුණි. 

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." ඔහුගේ වදන් මා සිතෙහි නින්නාද විය.

"දෙවියනේ, මේක වෙන්න පුළුවන් දෙයක්ද ? මේ ගැන නිකමට හරි මීට කලින් මට නොහිතුණේ කොහොමද? "මම මාගෙන්ම අසාගතිමි. මින් බොහෝ කලකට පෙර මා හමුවට පැමිණි ඒ අත්භූත අමුත්තා කවුරුන්දැයි වටහා ගැනීමට මේ මොහොත දක්වාම මාහට නොහැකි වීම එක අතකින් විශ්මයජනකය. අනෙක් අතින් එහි එතරම පුදුමයක්ද නොමැත. මන්දයත් අප කිසිවකුටත් එවැනි අනුමානයක් සිදු කළ නොහැකි හෝ එවැනි දෙයක් විය හැකියැයි අනුමාන නොකරන බැවිනි. එහෙත් මේ සම්බන්ධයෙන් මා අසංකට සහය දක්වන වේලේ අප කෙතරම් මෙවැනි දෑ පිළිබඳ සාකච්ඡා කරන්නට ඇතිද ? ඒ එකඳු අවස්ථාවකවත් මේ අත්භූත පුද්ගලයා කවුරුන්දැයි තේරුම් ගැනීමට නොහැකි වීම ඇත්තෙන්ම විශ්මයජනකය. සමහර විට ඒ වන විටත් ඔහු මාගේ මතකයෙන් බොහෝදුරට ගිලිහී සිටීම නිසා වන්නත් පුළුවන. මම මෙලොවෙහි ඉතාම කලාතුරකින් සිදුවිය හැකි අතිශය විශ්මයජනක සිදුවීමක පංගුකාරයෙකු වෙමින් සිටියෙමි.

ඔහුට නොදැනෙන ලෙස ඔහු අසලට ගිය මම ඒ අසලින්ම අසුන් ගෙන මවිතයෙන් ඔහු දෙස බලාසිටින්නට වීමි. සිදුවෙමින් පවතින දේ තවමත් නිසි අයුරින් ග්‍රහණය කරගැනීමට මම වෙර දරමින් සිටි අතර මෙය මෙලොවෙහි කිසිඳු මිනිසකු මින් පෙර නොවිඳි අත්දැකීමක් බව මට ඉඳුරා කිවත හැකිය. බුදු පිළිමය දෙස අවධානය යොමාගෙන සිටි ඔහු, එකවරම හැරී මා දෙස බැලුවෙ මාගේ පැමිණීම ඔහුට සංවේදනය වූ  නිසා විය යුතුය. මා ඔහු හා සිනාසුණ බැවින් ඔහුද පෙරළා සිනාවකින් සංග්‍රහ කළේය. 

"මොකද බුදු පිළිමෙ දිහා බලාගෙන කරන්නේ ? ගිහි ගෙය අතාරින්නද කල්පනාව ?" මම ඔහුගෙන් ඇහුවේ සිනාසෙමින්. එහෙත් ඔහු යාන්තමින් සිනාසුණා හැර පිළිතුරක් නොදුන්නේය. 

"පුතා සමන්ත නේද ?" 

"ඔයා කොහොමද දන්නේ? ඔයා කවුද?" මෙයින් ඔහු පුදුමයට පත් වෙනු මා නිරීක්ෂණය කළෙමි.

"මම දන්නවා, ඒත් ඒ කොහොමද කියලා අහන්න එපා." 

"අසංක එනකම් නේද ඉන්නේ ? පාඩම් කරන්න යන්න !" මේ ප්‍රශ්නෙන් ඔහු පුදුමයෙන් පුදුමයටම පත්වුණා කියුවොත් නිවැරදියි. ඔහුට ජනිතවෙන සිතුවිලි පිළිබඳ අවබෝධයක් තිබූ බැවින් මාගේ මුවගට සිනාවක් නැගුණේ නිතැතිනි.

"ඔයා කවුද ? කොහොමද මාව දන්නේ ?"

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." 
-- නිමි --

රූප රහිත අවවාදය : ප්‍රස්තුත සංසිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම සිත වෙහෙසීම මගින් මොළයෙහි පරිපථ බිඳවැටීමකට ලක් විය හැකිය.  :D

ලියුවේ;

~~සෙන්නා / 12.03.2014

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog