Sunday, November 19, 2017

ඇස්-වහ, කට-වහ පිච්චීම...

19.11.2017

කිවහැකි, පෙන්විය හැකි මේ යැයි මහා සෞභාග්‍යයක් නොතිබුණද, එක දිගට අසනීප වීම, පාසලේ කටයුතු වලින් පසු බැසීම,පවුලේ ආර්ථික තත්ත්වය කබලෙන් ලිපට වැටීම, වෙනත් සුළු සුළු අකරතැබ්බයන් සිදුවීම, ආදී මෙකී නොකී දෝමනස්සයන් සිදුවීමෙහි මූලය අප කිසිවෙක් නොදැන සිටියද, අම්මා එය අතැබුලක් සේ දැන සිටියාය. එකල්හී කළ යුතු ශාන්තිකර්මයෙහි යකැදුරා ඇයම වන්නීය. එහි ප්‍රතිඵලයක් ලෙස අප හට කෙස් කැපීමට, ඇඳුම් වල නූල් ඇදීමට සිදූ වීම නොවැළැක්විය හැකි ක්‍රියාදාමයෙකි.

ඇස් වහ කට වහ පිච්චීම යනුවෙන හැඳින්වෙන මේ මහා කු‍ටුම්බ ශාන්තිකර්මය බොහෝ විට සිදු වන්නේ පවුලේ සාමාජිකයන්ට පමණක් සීමාව, රහසිගතවය. මුලින්ම තරමක් විශාල ඇතිලියක් ගන්නා අම්මා, එහි අඩිය වැසී යන සේ සුදු වැලි පුරවනු ලබන්නීය. ඉන්පසු වියළි පොල් ක‍ටු දෙක තුනක් ඒ තුළට බහාලන ඇය, සියල්ල හොඳින් පෙගී යන පරිදි ඒවා භූමිතෙල්වලින් නහවනු ලබයි. පත්තු කරගන්නා ගිනි කූර ඒ මතට විසි කිරීමේදී "බ්වූස්.." අනුකරනගෙන් ගිනි ජලා මවමින් ඇතිවන ගින්න, එළියට පැන අපවද දවා හළු කරනු ඇතැයි සිතෙන තරමට ආරම්භයේදී සහාසික වන නමුදු මොහොතකින් ඇතිලිය තුළට පමණක් සීමා වී පොල්ක‍ටු ටික පුළුස්සා දැමීම පමණක් සිදු කරයි.

මෙසේ පොල්ක‍ටු පිළිස්සෙන අතරවාරයේ, අප එකිනෙකා වෙනුවෙන් සුදු කොළ කැබැල්ලක් මේසය මත තබනා අම්මා, මුලින්ම ඒ සියලු කොළවලට සීනක්කාරම් කැබැල්ලක්, ගම්මිරිස් ඇට කිහිපයක්, ලුණු කැටයක්, වියළි මිරිස් කරලක් දමන අතර හිසෙන් උගුල්ලා ගන්නා කෙස් ගස් කිහිපයක්, ඇඳුමකින් ගලවා ගන්නා නූල් කැබැල්ලක්, යටි පතුලට පෑගුණු වැලි ස්වල්පයක් ආදිය ගෙන තමාට නියමිත කොළ කැබැල්ලට දමා, එය ගුලි කොට හිසේ සිට පාදය දක්වා කැරකැවීමේ විධානය අප හට නිකුත් කරන්නීය.

මේ සියලු වතාවත් ඒ ආකාරයෙන්ම සිදුවන අතර ඉන් පසු අප එකි නෙකාගේ වාරය එන තෙක් ගුලි කරණ ලද කරදාසි කැබැල්ල මිටමොලවාගෙන නොයිවසිල්ලෙන් බලාසිටිති.

පොල් ක‍ටු දැවී හලුවී අගුරු වූ පසු මුලින්ම වාරය හිමිවන්නේ අයියාටය. කරදාසි ගුලියෙහි ඇති සංයුතිය රත් පැහැවූ පොල්ක‍ටු මතට අත හරිනු ලබයි. කෙස්, මිරිස්, සීනක්කාරම් එක්ව පිළිස්සීමෙන් නාසය හකුළුවන අමුතු ගන්ධයක් නැගුනද එය දරාගැනීමට අපහසු තරමේ එකක් නොවුණි. පොල්ක‍ටු රස්නයෙන් බැට කණ සීනක්කාරම් කැබැල්ල ඇබරෙමින්, හැකිලෙමින් නෙක නෙක රටා මවන අතර අප සියල්ල වටවී අයා ගත් දෑසින් යුතුව ඒ දෙස බලා සිටින්නේ අභග්ගයේ නියමුවා කවුදැයි ඒ තුළින් කියාපානා තෙක්ය. අවසන සීනක්කාරම් කැබැල්ල නිශ්චිත හැඩයක් මවා පාෂාණිභූත වන අතර එය බොහෝ විට මුහුණක හෝ කටක ස්වරූපයක් මැවීම අනිවාර්යය දෙයකි. මෙවිට ඒ දෙස් හොඳින් බලන අම්මා, "පේනවද අරයගෙ ලොබු කට?, ඔය තියෙන්නේ පණ පිහිටෙව්වා වගේ!, ඔය යකාගෙ කටේ වහංගතිය තමා ඔය වැදිලා තියෙන්නේ, ඊරිසියා කාරයා." යි කියනු ලබන්නීය. අම්මා ඒ අදහස් කරනු ලබන්නේ අසල්වැසි කටවහ කාරයෙකුයැයි හන්වඩු ගැසි ඇති පුද්ගලයෙකි. පූර්ව අත්දැකීම අනුසාරයෙන් අම්මා අදහසස් කරන්නේ කවුදැයි අප දන්නා අතර, අප ඇස්වහ ඇතිලිය වටා වට වන්නේත් ඔහුගේ කට දැකීමේ පූර්ව විනිශ්චය සහිතවම නේදෝයි මට අද සිතේ. "මොන මගුලකට ද අම්මේ ඒ මිනිහා අපිට ඊරිසියා කරන්නේ?" යි ඇසීමට එකල අපහට තර්ක බුද්ධියක් හෝ ධෛර්යයක් නොතිබුණ ද, තවෙකෙකුගේ ඊරිසියාවට ලක්වීමට තරම් දෙයක් එකල අපහට තිබුණේදැයි මම දැන් කල්පනා කරමි.

ඊ ළඟට එළබෙන්නේ මගේ වාරයයි. එයත් පෙර වාරයෙන් වැඩි වෙනසක් නොවන අතර සමහර විටෙක එය ඇසක රූපයක් මවනු ලබයි. ඒ අනුසාරයෙන් පෙර කී පුද්ගලයාම හෝ වෙනත් පුද්ගලයෙකු මාගේ හෙනහුරායැයි චෝදනා ලබනු ලබයි.

මෙසේ අප සියලු දෙනාගේම ඇස් වහ, කට වහ පිච්චීමෙන් පසු අම්මා ඇතිලිය ගෙයි මුල්ලක තබන්නේ පසුදා පාන්දර කුකුළාටත් පෙර එය ගෙන ගොස් හතර මංහන්දියක හැලීමේ වගකීම අයියා සහ මා වෙත පවරමිනි.

මෙහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවද, මේ ක්‍රියාවලියෙන් පසු ඇතිවන මහා විශ්ව කර්ම වෙනසකින් අප නිවස පිරි ඉතිරී නොගියද, අප යම් ‍රැකවරණයක් ලැබුවායැයි අම්මා යම සහනයක් ලබන්නට ඇතැයි, ආපසු සිතා බලන විට මට සිතේ.

එකල, හතර මං හන්දි වල නිතර මෙවැනි දෑ දකින්නට ලැබුණු බැවින් මේවා කළේ අප පමණක් නොවන බවනම් සහතිකය. මගේ මතකය නිවැරදිනම් අවුරුදු දහයකින් මෙපිටවත් මම මෙවැනි ඇස් වහ කටවහ පිළිස්සු අවශේෂ, මංසන්ධියක නොදැක ඇත. වර්තමානයේ මිනිසුන් මේ මිථ්‍යා විශ්වාසයන්ගෙන් දුරස්වෙමින් පවතින බවට එය යම් සාධකයක් විය හැකිය. 


ලියුවේ;
සෙන්නා / 19.11.2017

22 comments:

  1. Replies
    1. සෙන්නා අතින් ලියවුන තවත් අපුරු අව්‍යාජ සටහනක්. නොදැනුවත්වම සෙන්නා ලියු ඒ අතිතටයට වඩා දවත් දශකයට වගේ ඇත මගේ ඒ කාලයට මා රැගෙන ගියා.

      (මට හිතුණා නිකම්ම ":)" කියලා දාන එක අසාධාරණයි කියලා... එකයි මට සිතුනදේ නැවත මෙහි සටහන් කරන්න සිතුනේ...)

      ස්තුතියි සෙන්නෝ ..... උබලට ජය!

      Delete
    2. ස්තූතියි Unknown

      ඇත්තටම නිකම්ම හිනාවෙලා යනවට වැඩිය මොනා හරි කියලා ගියාම ලියන එකාට පොඩි ගැම්මක් එනවා.. අනිත් එක හිනාවක් දැක්කම මාවනම් ටිකක් කරකෝලා අතාරිනා වගේ වෙනවා මූ මොනවට හිනාවෙනවද කියලා..

      ස්තූතියි ප්‍රතිචාරයට...

      Delete
  2. අර රොබින් හුඩ්ගේ මැටි පිළිම හදලා කටු ගහල දුක් දුන්නෙත් ඔව්ව නිසා තමා..

    හරිම නිවිච්චි ගාම්භීර බවක් තියෙනවා සෙන්නගේ වචන පෙළගැස්මේ.. ජය

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙම එකකුත් කළානේද රොබින් හූඩ්ට.. ඒ කියන්නේ ඕවා ඒ රටවලත් අඩු වැඩියෙන් තියෙන්න ඇති, තාමත් ඇති....

      උඹේ වචන ටිකේ හරිම ගාම්බීර තල්ලුවක් තියනවා...

      Delete
  3. ඕවයින් ඉතිං මානසික සහනයක් ලැබෙනව මිසක් වෙන දෙයක් නෑ. තමන්ගෙ හිතේ තියෙන සැකය පුච්චල දාන එක තමයි වෙන්නෙ.

    //පවුලේ සාමාජිකයන්ට පමණක් සීමාව, රහසිගතවය// ඉතිං ඔහේ දැං මේක ලෝකෙටම කියල දැම්මම හරියනවැයි. හැක්..

    ReplyDelete
    Replies
    1. "තමන්ගේ හිතේ තියන සැකේ පුචන එක..." මමත් හිතන්නේ ඒක තමා ගොඩක්ම වෙනවා ඇත්තේ...

      ඔන්න ඔහෙ කියලා දැම්මා බන්ස්.. පරණ කතාවක්නේ... අනික කවුද කියලා නම් ගම් දන්නෙත් නෑනේ.... :D

      Delete
  4. /// "මොන මගුලකට ද අම්මේ ඒ මිනිහා අපිට ඊරිසියා කරන්නේ?" යි ඇසීමට එකල අපහට තර්ක බුද්ධියක් හෝ ධෛර්යයක් නොතිබුණ ද, තවෙකෙකුගේ ඊරිසියාවට ලක්වීමට තරම් දෙයක් එකල අපහට තිබුණේදැයි මම දැන් කල්පනා කරමි. ///

    තිබුනා නැතා කියල නැහැ, කෙනෙක් කාල ඇඳලා ඉන්න එකටත් ඉරිසියා කරන අණවින කොඩිවින කරන ගතියක් අපි කුඩා කාලයේ අපේ ගංවල තිබුනා නේද...
    විශේෂයෙන් එහෙම කලේ තම තමන්ගෙම මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. ලොක්කා, එහෙම බුවාලත් ඉන්නවා තමා ඉතින්...ලංකාව දන්න කාලෙ ඉඳන් සංවර්ධනය වෙමින් පවතින වෙලා තියෙන්නේ ඒකනේ, අපායෙ ලංකාවෙ වල⁣ට දොරක් නැත්තෙ ඒකනේ... 😂😂

      Delete
  5. කාලෙකට පස්සේ සෙන්නගෙන් අපුරු සටහනක්. මම අදයි දැන ගත්තේ ඕක කරන විදිය. අපේ ගෙදර ඉස්සර දෙහි කපන වැඩේ නම් කළා. ඒ මට අසනීප වෙලා ඉන්න දවස් වල. දැන් නම් මතක ඇති කාලෙකින් ඒ වගේ දෙයක් දැක්කේ නෑ.. ඇත්තටම මිනිස්සු දැන් ඒවායෙන් ඈත් වෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. අපූරු කියන වචනෙ නියම තේරුම මම දැන ගත්තේ අපේ විචාරක තුමාගෙන්..ඒ කියන්නේ පුර්වයේ නොවූ කියන එකලු නේද ? මෙහෙම එකක් මම කලින් ලියලා නෑ තමා... 😂😂😂

      ඔය කරන විධිහෙ ⁣තව පොඩි කෑල්ලක් මට මිස් වෙලා. ගින්නට දාන්න කලින් තූඃ තූඃ තූඃ කියලා තුන් පාරක් කෙල ගහන්න ඕනා...

      දෙහි කපන වැඩේ මීට වඩා බරපතලි මයෙ හිතේ, ඒක කරන්න ගුරෙක්ම ඕනා නේද?

      Delete
  6. ඇස්-වහ, කට-වහ පුච්චනවා කියන්නෙත් පොඩි සෙල්ලමක් නොවේනේ එහෙනම්.මම හිතුවේ දෙහි ගෙඩියක් ගිරෙන් කපනවා වගේ සිම්පල් වැඩක් කියලා ඔය වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් පොඩි ගේමක් තමා...😀

      Delete
  7. අපේ රටේ තිබෙන මේ වගේ සංස්කෘතික වටිනාකම් ඇති දේ අදවන විට බැහැරවීම තුළ මේවායේ වටිනාකම් අඩු වුවද ඒවා පිලිබනද සැබෑ වූ සත්‍යය දන්නෝ ඒවා නිසිලෙස ඉටුකරති. ඔබේ මෑණියන් අපේකම ඉදිරියට ගෙනියන කාන්තාවකි. ඇස් වහ - කට වහ තිබෙන අය ගම්මානවල අතීතයේ වර්තමානයේ ද ජීවත් වෙති. ගහක ඵලයන් පිලිබඳ කුමක් හෝ දෙඩුවොත් පසු දින එම ගස කුණු වී යාහැකිය. ඵලයන්හි පණුවන් දැකිය හැකිය. අත්දුටු සිද්ධිය නම් මගේ පියා කුඩා කල හිතවතකුගේ වාහනයක සුක්කානමක් කරකවමින් සිට ඇත. එතනින් ගිය ඔය වර්ගයේ අයෙක් ආ ......... පුංචි බේබි කාර් පදිනවා වගෙයි කියා පවසා ඇත. පසුදින ඔහුගේ අත්වල රත් පැහැති බිබිලි සෑදී උණ වැළඳී ඇත. බෙහෙත් ගෙන පස් තෙල් මැතිරූ පසු එය ඉවත් වී ඇත.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔවැනි දේවල් නෑ යයි අපිට එක හෙලාම ප්‍රතික්ශේප කරන්නත් බෑම තමා..

      ඒත් පිච්චුන සීනක්කාරම් කෑල්ලක හැඩය බලාලා මිනිහෙක් ගැන වැරදි නිගමනයකට එන එක කොච්චර දුරට සාර්තකද මංදා.....

      Delete
  8. දැන් ඉන්නවනේ මෑණිවරු පියවරු හන්දියක් හන්දියක් ගානේ.. ඉතින් ගෙදර ඉඳන් අබ මිරි ලුණු පුච්චනවට වඩා (ආ.. අපේ පැත්තේ ඇස්වහ පිච්චිල්ල කරේ අන්න එහෙම.. ගිනි කබලක ඕවා පුච්චලා ගිහින් තුන් මං හන්දියක හලලා එනවා.. ඔය තුන්මං හැඳි ගැන මං 'විද්‍යාත්මකව පැහැදිලි කරන්න ගිහින් බැණුම් අහලාත් තියෙනවා.. ඒ කියන්නේ තුන් මන් හන්දියක් වෙනුවට සෙන්නලා කරා වගේ හතරමං හන්දියක දාන්න යෝජනා කරලා.. මගේ මතය උනේ තුන් මං හංදියක දාන්නේ එතනින් වැඩිපුර මිනිස්සු එහා මෙහා වෙනකොට වැඩි දෙනෙකුට ඒවා පාගෙන්න ඉඩ තියෙන නිසා.. ඒවා මිනිස්සුන්ට පෑගුන තරමටලු වැඩිපුර ඇස්වහ යන්නේ.. ඉතින් මන් යෝජනා කළා හතර මන් හන්දියක දාන්න.. :) කියක් හරි දීලා ස්පෙෂලිස්ට් කෙනෙක්ගෙන් ඒක කරවගන්න එක දැන් සිස්ටම් එකනේ..

    ReplyDelete
    Replies
    1. මේවනෙ වරහන් දැමිලි... :D
      (දැන් උඹ වරහන් දැමිල්ලට ඇස්වහ පුච්ච්ච ගන්න ඕනා ඔය මෑණි කෙනෙක්ට කියලා.. හෙහ් හෙහ්)

      Delete
  9. අම්මේ මේ ආටිකල් එකේ ලස්සන ...

    (ඉකමනට උඹ ඇස්වහ ටිකක් පුච්ච් ගනිං)

    ReplyDelete
    Replies
    1. මම පෝස්ට් එක දාන්න කලින් ඇස්වහ පිච්චුවා.. මම දැනගෙන හිටියා බොලාල මේකට හූල්ලන වග... :D

      Delete
  10. අදම තමයි දැන ගත්තේ මෙහෙම එකක් ගැන. හැබැයි අපි පොඩි කාලේ ඔයිට සමාන ඒවා කරලා තියනවා ඉස්කෝලෙදි. දෙන්නෙක්ට එකම වෙලාවේ එකම වචනේ කියවුනොත් ඒ දෙන්නා කන් දෙක අල්ලගන්නවා. නැත්නම් අඵලයි හරි මොකක් හරි හේතුවක් නිසා. එතකොට වැරදිලා හරි කවුරු හරි කිහිල්ල යටින් ගියොත් එයා ආපහු අනිත් පැත්තටත් කිහිල්ල යටින් යන්නම ඕනේ. නැත්නම් කිහිල්ලේ ගෙඩියක් එනවලු. අපි හොස්ටල් හිටපු කාලේ කතාවක් ගිහින් තිබුනා රෑට කොන්ඩේ පීරුවොත් අම්මගේ ආයුෂ අඩු වෙනවා කියලා. අහ් ලුණු විසි කරන්න හොඳ නැති කතාවකුත් තිබුනා. කරනවානම් අව්ව නොවැටෙන තැනකට දාන්න ඕන.

    මිත්‍යා මත කිව්වම මට මතක් වෙන්නේ ටොම් සෝයර් පොත. හරිම ලස්සන මිත්‍යා මත වැහි වැහලා ඒකේ

    ReplyDelete
    Replies
    1. අපි විශ්වාස කළේ එකම වෙලාවෙ එකම වචනෙ දෙන්නෙක් කිව්වොත් එ දෙන්නගෙන් කෙනෙක්ට ලියුමක් එනවා කියලා.

      කිහිල්ල යටින් යන එක ගැන අ⁣පෙත් ඔය ව්ශ්වාසයම තමා තිබුනේ.

      ටොම් සෝයර් එකේ තිබුනු මිත්‍යා ව්ශ්වාස මරු ඒවා තමා..

      Delete
  11. මම හිතන්නෙ ඉස්සරට වඩා අදයි ඔය කියන දේවල් පස්සේ මිනිස්සු වැඩියෙන් යන්න.
    පොඩි කාලෙ දෙහි ගිරයකින් කපලා ඒක රතු වුනා මට මතකයි හීනයක්ද දන්නෙත් නෑ

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!