Wednesday, February 29, 2012

නොකැපූ නියපොත්ත

2012 නවම් මස 29 වන දා,

මම මේ කියන්ඩ යන කථාවේ නිධාන කථාව තියෙන්නේ මෙන්න මෙතන. මේ කථාව තව දිගට කියවන්ඩ කලින්, ඒ කතාව කියවීම තදින්ම නිර්දේශ කරමි. ඔන්න එහෙම නොකර මේ කථාව තේරුනේ නැහැ කියලා මට දොස් කීම සපුරා තහනම්ය.

=====================================XX================================

සිද්ධිය පොලීසියට වාර්ථා වූ සැනින්, ස්ථානාධිපතිවරයාගේ අණින් උපපොලිස් පරික්ෂක රොබින් නිරිඇල්ල සහ ඔහුගේ සහයකයා වූ සාජන්ට් වීරවංශ සිද්ධිය සිදුවූ නිවසට හෙවත් කැලෑව මැදවූ ලෑලි ගෙදරට පැමිණියහ.

ගෙදර ස්ත්‍රීය විලාප තබමින් සිටි අතර වටවී සිටි අවට වැසියන් ඇය සැනසීමට උත්සහා කරමින් සිටියහ.

වැඩි වැඩියෙන් පිරිස් එම නිවසට රොක්වීමට ගත් බැවින්, තම පරීක්ෂණය අවසන් වන තුරු ඔවුන්ව එපිටින් තැබීමට රොබින් වගබලා ගත්තේ, ගම් වැසියන් පැමිණීම නිසා එම අවට කලාපයේ තිබිය හැකි අපරාධය පිළිබඳ හෝඩුවාවල් මැකී යා හැකි බැවිනි.

නිවසට ඇතුලුවූ රොබින්, කෙලින්ම මෘතදේහය වූ ස්ථානයට පිවිස අන් අයට පැමිණිය නොහැකි ලෙස කාමරයේ දොර වසා ගත්තේය. තනිකරම ලෑලි බිත්ති වලින් සමන්විත පුංචි නිවසක් වූ මෙහි තිබු එකම කාමරයද එයයි. ඉදිරිපස ඉස්තෝප්පුවකින් ගෙට ඇතුළු වූ පසු සාලයට පැමිණිය හැකි අතර සාලයට යාබදව දකුණු පසින් මෙම කාමරය විය. සාලයේ වම් පස වූ ද්වාරයකින් ඇතුලුවිය හැක්කේ මුළුතැන් ගෙයක් ලෙස පරිහරණය කළ ස්ථානයකටයි.

කාමරයේ වූ ඇඳක් මත මියගිය තැනත්තාගේ දේහය වූ අතර මිය යාමට මොහොතකට පෙර මිනීමරුවා සමඟ සිය ජීවිතය වෙනුවෙන් පොර බැදූ බවට සළකුණු තිබුනි.හිස ඇඳෙන් පහලට කඩාවැටී තිබුන අතර, පපුව මත කොට්ටයක් විය. කොට්ටයෙන් මුහුණ තදකර හුස්ම හිරකොට ඝාතනය කළ බව පෙනෙන්නට තිබුනි. වම් පස උරහිසෙහි තද සීරුම් පාරක් තිබූ අතර එයින් මද වශයෙන් ලේ වහනය වෙමින් තිබුනි. ඉතා කෙසඟ පුද්ගලයකු වූ මිය ගිය අය, කාලයක් අසනීපයකින් පෙළුනු ලක්ෂණද විය. වයස අවුරුදු හතලිහක් පමණ විය හැකියයි රොබින් අනුමාන කලේය.

රොබින් විසින් ඉතා සුපරික්ෂාකාරිව සියල්ල හොඳින් පරික්ෂා කළේය. විශාලනය කොට බලන කාචය උපයෝගී කොටගෙන දේහය සහ අවට ප්‍රදේශය ඉතා සූක්ශමව ඔහු විසින් පරික්ෂා කරන ලදී. එම පරීක්ෂණයේදී සැක කටයුතු යමක් ඔහුගේ නෙත ගැටුනි. දේහයේ වම් පස උරහිස අසල, ඇඳට දමා තිබූ පැදුරේ ඇමිණී තිබී සිය තීක්ශණ ඇසට යොමුවූ මෙය දුටු විට රොබින්ගේ මුවෙහි නැගුන මදහස විස්තර කළ නොහැකි තරම්ය. මෙය අපරාධය පසුපස හඹායාමට මහඟු රුකුලක් බව ඔහුට සිතුනි. ගොදුරක් ඩැහැගන්නා උකුස්සකු මෙන් එය ආරක්ශිතව සිය සුරතට ගෙන හොඳින් පරික්ෂා කොට, ඉන්පසුව එවන් දෑ සඳහාම වෙන්වූ සිය භාජනයේ ප්‍රවේසමින් එය තැන්පත් කළේය.

ඉන්පසු තවත් ටික වේලාවක් එම කාමරය හොඳින් සෝදිසි කළ රොබින් එයින් එළියට නික්මින. ගේ අවට ප්‍රදේශයද, අඩි පාරෙහි වූ අඩි සළකුනුදු ඔහුගේ තියුණු පරික්ශණයට ලක්විය.

මෙසේ නිහඬ සාක්ෂි එකතු කොටගත් රොබින්, වාචික සාක්ෂි කෙරෙහි යොමුවිය. එහෙත් ගෙහිමි කාන්තාව ඒ සඳහා සුදුසු මානසික තත්ත්වයක නොසිටින බව ඔහු නිරීක්ශණය කළේය. සිය සැමියාගේ මරණය පිළිබඳව ලතෝනී තබමින් සිටි ඇය දෙතුන් වරක්ම සිහිසුන්ව ඇද වැටුනාය. ඇය විසින් කිසියම් කෙනෙකුට දෙස් තියමින් සිටින බව දුටු රොබින් ඒ ගැන උනන්දු විය.

" මේ ගෙදර වෙන කව්ද ඉන්නේ " ගෙහිමි කාන්තාව අසලින් සිටි වෙනත් කාන්තාවකගෙන් රොබින් ඇසීය. ඇය විසින් අවුරුදු හතලිහකට ආසන්න, ආරෝහ පරිණාහ දේහධාරී පුරුෂයෙක් වෙත හස්තය දිගුකොට දැක්වූවාය.

රළු ජීව්නෝපායකට හුරුවූවකුගේ දේහ ලක්ශණ පෙන්නුම් කළ ඔහු, කාල වර්ණ සමකින් යුක්ත විය. උඩු රැව්ල වවා සිටි ඔහුගෙන් සැර පරුෂ, මුරන්ඩු පුද්ගලයකුගේ ලක්ශණ විද්‍යාමාණ විය.

රොබින් අතින් සංඥා කොට ඔහුව තමා අසලට කැඳවීය.

" තමා මියගිය පුද්ගලයගේ කව්ද ? "

" එයා මගේ අක්කගේ මහත්තයා සර්. "

" එතකොට තමාගේ පදිංචියත් මෙහෙද ? "

" ඔව් සර්. "

" තමාගේ නම ? "

" සෝමදාස සර්. "

" හොඳයි දැන් කියමු බලන්ඩ මොකක්ද වුනේ කියලා. "

" මේක වෙනකොට මමත් ගෙදර හිටියේ නැහැ සර්. මම පොළට ගිහිල්ල හිටියේ. අක්කගෙන් දැන ගත්තු ටික තමා මාත් දන්නේ. "

" අක්ක මොනවද තමාට කිව්වෙ ? "

" ඔය මැරිච්ච ගුණසේන අයිය, කාස කාරයා සර්. පහුගිය ටිකේම ලෙඩ ගානේ හිටියෙ. කරපු කිසිම බෙහෙතකින් ගුණයක් තිබුන්නැ. එයා හුඟක් වෙලාවට ඔය කාමරේ නිදාගන තමා ඉන්නේ. අද උදේ මම පොළට යද්දිත් උන්දෑ නිදි. මං ගිහිල්ල ටික වෙලාවකින් වෙනදා වගේම අක්කා එයාට කෑම කවලා තියනවා. ඊට පස්සේ ගුණසේන අයිය ආයෙත් නින්දට වැටිලා තියනවා. ඊට ටික වෙලාවකට පස්සේ පල්ලි ගිහින් එන ගමන් අර සියඹල ගහ ගාව ගෙදර ඉන්න මාගරට් නෝනා ගොඩ වෙලා තියනවා අපේ ගෙදරට. ටික වෙලාවක් ඉඳලා එයා යන්ඩ ගිහිල්ලා. ඊට ටිකකට පස්සේ අක්කා කසාය ටික හදන් අයියට දෙන්ඩ යනකොට තමා මේ වෙලා තියන දේ දැකලා තියෙන්නේ. "

" මොනවද අක්කා දැකලා තියෙන්නේ "

" අයියාගේ බෙල්ල ඇඳෙන් පැත්තට කඩා වැටිලා, ඇස් දෙක උඩ ගිහිල්ලා ඔය දැන් තියනවා වගේම ඉඳලා තියෙන්නේ. කොට්ටේ පපුව උඩ මූණ ගාවට වෙන්ඩ තිබිලා තියෙන්නේ. "

" ඉතින් අක්කා මොනවද කරලා තියෙන්නේ ? "

" අක්ක බය වෙච්ච පාර කෑගහගන ලඟම ගෙදරට දුවලා තියනවා. මම එනකොටත් කට්ටිය වටවෙලා "

" කාව හරි මේකට සැක කරනවද ? තමුන්ලට තරහා කාරයො එහෙම ඉන්නවද ? "

" අනේ නෑ සර් අපි මෙහෙට ආවෙත් ලඟදි, මොකට තරහා වෙන්ඩද කාත් එක්කවත්. අක්කනම් කියන්නේ මේක අර මාගරට් කියන ගෑනු කෙනාගෙම වැඩක් කියලා. වෙන ඉතින් කව්රුවත් ආවෙත් නැහැනේ. "

" ඉතින් එයා ඕක කරනකම් අක්කා කොහෙද ඉඳලා තියෙන්නෙ ? "

" අක්ක එයාට තේ එකක් හදන්ඩ කුස්සියට ගිහින් තියනවා. ඒ අතර මේක කරන්ඩ ඇති කියලා තමා අක්ක හිතන්නෙ. "

" ඒත් ඇයි ? " ඒ ප්‍රශ්ණය රොබින් අසා ගත්තේ තමාගෙන්මයි.

" තමාට පොලිස්ථානයට ඇවිත් තව දීර්ඝ වශයෙන් කට උත්තරයක් දෙන්ඩ වෙයි. "

එදින සවස මාගරට්ව සැක පිට අත් අඩංගුවට ගන්නා ලදී.

=====================================XX================================

රොබින් සිය පුටුවේ ඇන්දට උපරිමයෙන් බරවී, පුටුව වම් පසට හරවාගන, දකුණු කකුල මේසයේ කොනකින් හරහට මේසය මතින් තබාගන, දකුණු අතින් කඩදාසි බරුව මේසය මත හෙමිහිට උඩ දමමින්, සිවිලිම දෙස දෑස් යොමාගෙන කල්පනා සයුරේ ගිලී සිටියේය. සාජන්ට් වීරවංශ ඔහු ඉදිරියේ වු පුටුවට බරවී රොබින්ගෙන් අදහසක් නිකුත්වන තුරු විමසිල්ලෙන් බලා සිටියි.

" වීරේ මොකද මේ ගැන හිතන්නේ ? "

" මටත් තාම අදහසක් නම් නැහැ සර්. "

" තියන තොරතුරු වල හැටියටනම් මේ ගෑණී මෙහෙම දෙයක් කරයි කියලා කියල හිතන්ඩ අමාරුයි. ගමේ හුඟ දෙනෙක්ගේ මතයත් ඒකමයි. ඒත් අපිට හිතළු වලින් නිගමනයකට එන්ඩ අමාරුයි. ඒත් මට තියන ප්‍රශ්ණේ මේවගේ දෙයකින්, මේ ගෑනිට ලැබෙන වාසිය මොකක්ද කියලා. අපි හොය ගන්ඩ ඕනා අන්න ඒක."

රොබින් නැවතත් කල්පනාවට වැටුනේය. ඒ කාලය පුරාවටම වීදුරු කඩදාසි බරුව නොනැවතී ඉහල පහල යැමේ හිරිහැරය නොඅඩුවම වින්දේය. මෑතකදී උප පොලිස් පරීක්ශක ධූරයට උසස් කරනු  ලැබූ රොබින් නිරිඇල්ල, තරුණ, ජවසම්පන්න, නොපසුබස්නා උත්සහයෙන් යුතු, යම් දෙයක් ඔස්සේ දිගින් දිගටම හඹා යැමේ සහජ ගතියෙන් යුතු අවංක පොලිස් නිළධාරියෙකි. අලුත ගෙනා කොස්සකින් බිම පිරිමැදෙන්නේ යම්සේද, මේ කාලයේ රොබින්ගේ කාර්යක්ෂමතාවයද එසේමැයි. මේ සියල්ල ටික කලකින් ඔහුට උසස්වීමක් ලබාදීමට අඩු වැඩි වශයෙන් මහෝපකාරී වූහ.

" වීරෙ, හෙට නේද මළ ගෙදර අවසන් කටයුතු ? "

" ඔව් සර් "

" හරි, හෙට වීරේ මළ ගෙදර යන්ඩ ඕනා. හැබැයි යුනිෆෝම් එක නැතුව යන්ඩ. හැම සිද්ධියක් ගැනම ඇහැගහගන ඉන්ඩ ඕනා වීරේ, හැම පුද්ගලයෙක්ගෙම හැසිරීම අපිට වැදගත් වෙන්ඩ පුළුවන්. මම හෙට යනවා වෙන ගමනක්. ඒකෙ විස්තර ඇවිල්ල කියන්නම්."

"හරි සර්"

" වීරෙ ඔය ගෙදර ගැණු කෙනාගෙන් කට උත්තරයක් ගන්ඩ පුළුවන් උනාද ? " 

" තවම නැහැ සර්, ගැණී අඬා ගත්තු ගමන්මයි. මම ඊයේ දෙපාරක් උත්සහා කළා, ඒත් ගැණී පියවී තත්ත්වයෙන් නැහැ කියලා තමා මට හිතුනේ. මළ ගෙදරින් පස්සෙවත් බලන්ඩ ඕනා. "

" මොනවද ඒ ගොල්ලො ගැන හොයා ගත්තු විස්තර ? "

" තවම වැඩි විස්තරයක් නැහැ සර්. ඒ මිනිස්සු ලඟදි තමා ඔය ගෙදර පදිංචියට ඇවීත් තියෙන්නේ. ඉතින් ගමේ අයත් වැඩි යමක් කියන්ඩ දන්නේ නැහැ."

"බලමු"  මේ පිළිතුර, රොබින් ගැන හොඳින් දන්නා සාජන්ට් වීරවංශට එතනින් නැගිටයාමට හොඳටම ප්‍රමාණවත්ය.

=====================================XX================================

පරීක්ශණයේ කිසිදු ප්‍රගතියක් නොමැතිව සතියක් පමණ ගෙවී ගියේය. රොබින් මෙම අවුල ලිහා ගැනීමට දිවා රෑ නොමැතිව වෙහෙසුනි. සාජන්ට් වීරවංශගේ සහයද ඔහුට නොඅඩුවම ලැබුනි. මිය ගිය පුද්ගලයා වෙනුවෙන් පැවැත්වූ හත්දොහේ ධර්ම දේශණය පැවැත්වුනු දින, වීරවංශට පොලිස්ථානයේ තමා එන තුරු රැදී සිටින ලෙස උපදෙස් දුන් රොබින් යන තැනක් නොදන්වා අතුරුදහන් විය. රාත්‍රී එකොළහ පසුවී සුළු මොහොතකින් රොබින් කලබලෙන් මෙන් පොලීසියට ගොඩවිය.

" වීරේ අපි දැන් ගමනක් යන්ඩ ඕනා. තව කොස්තාපල්ලා දෙතුන් දෙනෙක්වත් එකතු කරගන්ඩ. "

මෙම විධානය වීරවංශව විමතියට පත්කළද ඔහු ප්‍රශ්ණ නොනගා අණ ක්‍රියාත්මක කළේය.

සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම, මිනීමැරුම වූ ගමට පාගමනින්ම සේන්දු විය. ගම්වල මිනිසුන් සතුවූ වේලාසන නින්දට යාමේ පුරුද්ද, ඔවුනට කිසිදු පුද්ගලයකුට නොපෙනෙන ලෙස අදාල ස්ථානයට සේන්දු වීමට පහසුවක් විය. රොබින් විසින් මේදක්වා අන් තිදෙනාට ගමනාන්තය ගැන ඉඟියකින්වත් හඟවා නොතිබුනි. අවසානයේදී ඔවුන් පැමිණ තිබුනේ සුසාන භූමියකට බව අන් තිදෙනා දැන ගත්තේ ගමන අවසානයේදීය. ඒ අදාල මෘතදේහය වලදමා තිබුනු සුසාන භූමියයි.

එය මලාණික සඳ එළියක් තිබුන දවසක් විය. යන්තමින් එකිනෙකා පෙනෙන තරමට වූ එම එළිය ඔවුන්ගේ කටයුතුවලට ප්‍රමාණවත් විය. රැහැයියන්ගේ නාදය වරින් වර දසතින් පැතිරුනි. ඉඳ හිට ගුප්ත හඬක් නඟමින් හැඬූ බකුසා, තමන් කරන්ඩ යන දෙය දන්න බව හඟවන්නේයැයි රොබින්ට සිතුනි.

කනත්ත අසල වු පදුරු ගොන්නක් අසලට නිසොල්මනේ පැමිණි ඔවුන් සිව්දෙන, කිසිවකුට නොපෙනන පරිදි එම පඳුරු අතර සැඟවී වාඩි ගත්හ.

මෙසේ සැළකිය යුතු වේළාවක් ඔවුන් වදනකදු නොදොඩා විමසිල්ලෙන් බලා සිටියහ. රොබින්ට හැර අන් තිදෙනාට තවමත් මෙය ප්‍රෙහෙළිකාවකි.

වේලාව පාන්දර එකට ආසන්න‍යයි සිතිය හැකිය. කනත්තේ එහා කෙලවරින් ඔවුන් සියුම් චලනයක් නිරීක්ෂණය කළහ. රොබින්ගේ අත නිතැතින්ම සිය ඉනෙහි වු පිස්තෝලය වෙත ළඟා වූයේ එය සුරක්ශිතව ඇත්දැයි සැකහැර දැනගැනීම සඳහාය. පෙරකී ඡායාව සෙමෙන් සෙමෙන් ඔවුන් සිටි දෙසට ලඟා වන්නට විය. අතකින් පොල්ලක් වැනි යමක් ඔහු රැගෙන එන ලෙස දුටුවද එය උදැල්ලක් බව පැහැදිලි වූයේ ඔහු වඩාත් ආසන්නයට පැමිණි පසුය. එම ඡායව කෙලින්ම ගමන් කෙරුවේ දින කිහිපයකට පෙර වළදමන ලද ගුණසේනගේ මිනී වළ වෙතය. මෙය දුටු රොබින්ගේ මුවෙහි ඇතිවූ මදහස අනිත් අය අඳුර නිසා නොදුටුවෝය. මෙතෙක් වෙලා නොඉවසිල්ලෙන් බලා සිටි අවස්ථාව උදාවී ඇති බව ඔහුට පැහැදිලි විය.

එම මිනීවළ අසලට පැමිණි ඔහු උදැල්ල බිමතබා අනෙත් අතෙහි වූ තවත් යමක්ද බිම තබා සාත්පස සිසාරා හොඳ බැල්මක් හෙලුවේ කව්රුන්හෝ බලාගෙන ඇත්දැයි සැකහැර දැනගැනීමටය. මදක් මෙසේ කල්පනාකාරිව සිටි ඔහු, උදැල්ල අතට ගෙන යුහුසුළුව එම මිනී වළ හාරන්නට විය. ටිකවේලාවක් ඔහුට සිය කාර්යය කරගන යාමට ඉඩ හල රොබින්, අනෙක් අයට රහසින් කළයුතු දෑ විස්තර කළේය.

සැඟවී සිටි තැනින් නැගී සිටි ඔවුන් සිව් දෙන, සෙමෙන් සෙමෙන් වළ සාරමින් සිටි තැනැත්තාට කිට්ටු කළහ. ඒක්ශණයෙන් තමන් අසල සිදුවෙමින් පවතින නුහුරු යමක් හැඟුනු වැඩෙහි යෙදෙන්නා වහා කළබල වී පිටුපස බලන විටම දුටු දෙයින්  භ්‍රාන්ත වී ගොස් මොහොතකට ගල් ගැසුනි. එසැනින්ම දීවීමට සැරසුනු ඔහු මතට අප යහලුවන් සිව්දෙනා කඩාපැන්නේ ගොදුරක් මතන පනින දිවියන් මෙනි. මොහොතකින් මිනී වළ් කනින්නා අත් අඩංගුවට පත්විය.

=====================================XX================================


" සෝමදාස, තමුසේ කිසිදෙයක් හංගන්ඩ උත්සහ කරන්ඩ එපා. අපි ඔක්කොම දේවල් හොයාගන තියෙන්නේ. දැන් මුළ ඉඳලා කිසිදෙයක් හන්ගන්නැතුව කියන්ඩ පුලුවන්. බොරු කියන්ඩ උත්සහා කලොත් ඉතින් මට කියන්ඩ තියෙන්නේ හැමදෙයක්ම ඔප්පු කරන්ඩ සාක්ෂි අපි ලඟ තියනවා කියලා විතරයි. දැන් කියමු. තමා මේ කියන හැම වචනයක්ම තමාට එරෙහිව සාක්ෂියක් ලෙස පාවිච්චි කරන්ඩත් පුළුවන් කියලත් මේ ගමන්ම මතක් කරනවා. "

" මට පේනවා සර් කිසි දෙයක් හංගලා පලක් නැහැ කියලා. සර්ලා එදා කනත්තට ආපු එකෙන්ම මට පේනවා හැමදේම එළිවෙලා ඉවරයි කියලා. "

" ඔව් ඒක ඇත්ත, මට දැන් තමාගේ කටින්ම මේක සහ සුද්දෙන්ම දැන ගන්ඩ ඕනා එච්චරයි. "

" අපි මෙහෙට එන්ඩ කලින් හිටියේ පානදුරේ පැත්තේ ගමක. මට ඔය කරුණාවතී හම්බුනේ එහෙදි තමා. "

" කරුණාවතී කිව්වේ ? " ඒ ප්‍රශ්ණය වික්ශිප්ත වූ වීරවංශගෙනි. මෙහිදී රොබින් විසින් ඔහුව අතින් සංඥා කොට නතර කරන ලදී.

" කරුණාවතී කිව්වේ මම ඔය සර්ලට කලින් මගේ අක්කා කියලා කියපු ගෑණු මනුස්සයා. ඇත්තටම ඒ මගේ අක්කා නෙමේ. "

" හරි කතාව කියාගන යන්ඩ. " ඒ විධානය රොබින්ගෙනි.

" මම කතාව කෙටියෙන් කියන්නම්. කොහොම හරි හම්බෙලා ටික කාලෙකින් අපි අතරෙ පොඩි සම්බන්දයක් ගොඩ නැගුනා. හැබැයි ඒ වෙද්දිත් ඒයා ඔය මැරුණු ගුණසේන අයියට විවාහ වෙලා හිටියේ. හැබැයි මිනිහා උපන් ගෙයි ලෙඩා. එහෙම ඉන්නකොට තමා මිනිහට අර කරුම ලෙඩෙත් හැදුනේ. ඊට පස්සෙ ඉතින් මිනිහ ඇවිදින ඇටසැකිල්ලක් උනා. දෙන්න දෙමහල්ලො අතර මුල ඉඳලම එච්චර තද සම්බන්ධයක් තිබිලත් නැහැ. ළමයි ඇත්තෙත් නැහැ. ඉතින් ඔය වගේ තත්ත්වයක් තියෙද්දී තමයි මට කරුණාවතීව හම්බුනේ. මට මුළදී ගෑනි ගැන අනුකම්පාවක් ඇති උනා. පස්සෙ පස්සෙ ඒක දන්නෙම නැතුව දුරදිග ගිහිල්ලා. "

" අපේ සම්බන්ධය දැන ගත්තම ගුණසේන අයියා යකෙක් වගේ වියරු වැටුනා. ඒත් මිනිහට කර ගන්ඩ දෙයක් තිබුනේ නැහැ. ඇගේ පතේ හයියෙන්වත්, පිරිස් බලයෙන්වත් මිනිහට මාව අභිබවා යන්ඩ පුලුවන් කමක් තිබුනේ නැහැ."

" පස්සේ පස්සේ මේක රහසක් උනේ නැහැ. මමත් නිතරම එහෙ යන්ඩ එන්ඩ පටන් ගත්තා. "

" එක දවසක් මම එහෙ යනකොට මුලු ගේම වහලා දාලා. කව්රුවත් නැහැ. මටත් හිතා ගන්ඩ බැරි උනා මොකද වෙලා තියෙන්නේ කියලා. කව්රුවත් දැනගන උන්නේ නැහැ දෙන්නට මොකද උනේ කියලා. මමත් සෑගෙන්ඩ හෙව්වා, ඒත් කොහෙද ගියේ කියලා හොයා ගන්ඩ බැරිඋනා. ඔහොම ඉන්නකොට තමා මට කරුණාවතීගෙන් ලියුමක් හම්බුනේ විස්තරේ කියලා. මිනිහා බලෙන්ම වගේ කරුණාවතීත් එක්කගන මේ ගමට ඇවිල්ලා. මෙහෙ මිනිහගේ දුරින් නෑ කෙනෙක් වෙන කෙනෙක් ඉන්නවා. එයා තමා ඔය ඉඩමේ පැළ අටෝ ගන්ඩත් උදව් කරලා තියෙන්නේ. "

" කොහොම හරි විස්තරේ දැන ගත්තට පස්සේ මමත් හොයාගන මෙහෙට ආවා. ඊට පස්සේ මිනිහා කරබාගන ඉන්ඩ ගත්තා කරන්ඩ දෙයක් නැති කමටමද කොහෙද. මමත් මේහෙම නතර උනා. ඒත් මට මෙහෙම ජීවත් වෙන එක එපා වෙලා තිබුනේ. මට ඕනා උනේ මගේම කියලා දරු පව්ලක්, ගෙයක් දොරක් හදාගන සන්තෝසෙන් ජීවත් වෙන්ඩ."

" ඉතින් අපි දෙන්නා ඔය ගැන කතාවෙලා දවසක් තීරණය කළා මේ කරදරයෙන් මිදෙන්ඩ. කරුණාවතීනම් කොහෙත්ම කැමති උනේ නැහැ මේ වැඩේට, ඒත මම කොහොම හරි ගෑනිව නම්ම ගත්තා. "

" පස්සේ අපි කල්පනා කල මේක අහු නොවෙන්ඩ කොහොමද කරන්නේ කියලා. ඔය ගැන හිත හිතා ඉන්නකොට තමා මම දැක්කේ හැම ඉරිදම වගේ සියඹල ගහ ගාව ගෙදර මාගරට් නෝනා පල්ලි ගිහිල්ල, අපේ ගෙදරට් එන අඩි පාර පහු කරලා තනියම යනවා. "

" මම මේක සති දෙක තුනක්ම හොඳට බැලුවා. ගෑනි හැමදාම තනියම් තමා එන්නේ. "

" ඔය සිද්ධිය වෙච්ච දවසෙත් මාගරට් නෝනා තනියම එනවා. මම කරුණාවතීව ඉස්සරහට යැව්වා, ගිහිල්ලා කොහොම හරි කතා කරගන එන්ඩ කියලා. "

" ටික වෙලාවකින් දෙන්නම ගොඩ වුනා ගෙදරට. මම හිටියේ ගේ පිටි පස්සේ, පේන්ඩවත් එළියට ආවේ නැහැ. මාගරට් ටිකක් වෙලා ඉඳලා තේ එකක් එහෙම් බීලා යන්ඩ ලෑස්ති උනා. ඒත් මම කරුණාවතීට කියලා තිබුනේ තව කව්රු හරි ඈතින් එනවා පේනකම් එයාව කතාවට අල්ලගන තියා ගන්ඩ කියලා. කරුණාවති ගානට වැඩේ කළා. සර්ට හිතාගන්ඩ පුළුවන්නේ ඒ ඇයි කියලා. "

" ඊට පස්සේ තමා අපි, අපේ සැලැස්ම ක්‍රියාත්මක කළේ. "

" අයියා එතකොටත් කාමරේ ඇතුලෙ නිදි. මම හිමීට කාමරේට ඇතුල් වෙලා ලඟ තිබුන කොට්ටෙන් හුස්ම හිරවෙනකන් තද කරන් හිටියා. මිනිහා කෙසඟ උනාට තිබුන ශක්තියක් !  සෑහෙන්ඩ සටනක් දුන්නා බේරෙන්ඩ. ඒත් මගේ ශක්තිය ජය ගත්තා. අනිතිමේදී ඒ කරදරයෙන් අපි නිදහස් උනා. "

" මම ඊට ටික වෙලාවකට පස්සේ කැලෙන් පැනලා පොළ පැත්තට ගියා. ඊට පස්සේ වෙච්ච හරිය සර්ලා දන්නවා. "

" හරි ඔක්කොම පැහැදිලියි. නියපොත්ත කැඩිලා කියලා දැනගත්තේ කොයි වෙලේද ? "? " ඒ ප්‍රශ්ණය රොබින්ගෙන්.

" මම කාලයක් තිස්සේ දිගට වවපු නියපොත්තක් ඕක. ඔය සිද්ධිය වෙන්ඩ දවස් දෙකකට කලින් ඕක පිහියෙන් හැඩ කරන්ඩ යද්දී  මගේ අතින්ම බාගෙට වගේ කැපුනා. කපලා අයින් කරන්ඩ දුක හින්දා එහෙමම තියන් හිටියා. ඕක කැඩිලා තියනවා මම දැක්කේ එදා සර් ඇවිල්ලා පරික්ශා කරනකොට. මට හිතා ගන්ඩ බැරිඋනා මේක කැඩුනේ කොයි වෙලේද කියලා. අර වෙලේ කැඩුනනම් ඒක අනිවාරයයෙන්ම මිනිය ලඟම තියෙන්ඩ ඕනා. මාව වෙව්ලන්ඩ ගත්තා ඒක දැක්කම. ඒ එක්කම මට ගන දෙවි ණුවන පහල උනා. මම ඉක්මනටම පිහිය අරන් මැදින් කැඩිලා තිබුන නිය පොත්ත මුලින්ම කපලා දැම්මා. ඒ එක්කම අනිත් නියපොතුත් කැපුවා. "

" සර්ලා මිනිය අරන් ගිය ගමන් මම ඉක්ක්මනටම කාමරේට ගිහින් හොයලා බැලුවේ ඕක. ඒත් මට හම්බුන්නෑ. මට හිතා ගන්ඩ බැරිඋනා කොහෙදිද මේක කැඩුනේ කියලා.

" මේක බරපතල අපරාධයක්. එකක් නෙමේ දෙකක්. මිනිහෙක්ව ඝාතනය කිරීම සහ ඒකට අහිංසකයෙක්ව පැටලීමට තැත්කිරීම. වීරෙ, කරුණාවතීවත් අත්අඩංගුවට ගන්ඩ අවශ්‍ය කටයුතු ලෑස්තිකරන්ඩ. "

=====================================XX================================


" මට සැකයක් ඇති උනා වීරේ, මම ඒ සැකය ඔස්සේ පැන්නුවා. වාසනාවකට මගේ සැකය හරි පුද්ගලයටම එල්ල වෙලා තිබුනා. නැත්නම් අපි තාමත් අඳුරෙ. "

" මට තාම පැහැදිලි මදි සර්. "

" වීරෙට මතකනේ අපි මරණය වෙච්ච දවසේ ඒ ගෙදරට ගියා පරික්ෂණයට. "

" ඔව් සර් "

" මට එදා මිනිය ගාව පැදුරෙ ඇමිනිලා තිබිලා හම්බුනා නූල් දෙකක් විතර දිග නිය පොත්තක්. ඒක පිරිමියෙක්ගේ ගන, පළල නියපොත්තක්. මේ තියෙන්නේ ඒක තමා " යි කියමින් රොබින් විසින් එය සාජන්ට් වීරවංශට පෙන්වා සිටියේය.

" මම අනුමාන කළා මේක මිනීමරුවගේ වෙන්ඩ පුළුවන් කියලා. ඒත් කාගෙද ? කොහොමද ඒ නියපොත්තේ අයිතිකාරයව හොයාගන්නේ ? ඒ ඊ ලඟට මට ආපු ප්‍රශ්ණ. "

" එදා මේ සෝමදාස, කරුණාවතිගේ මල්ලියි කියද්දිම මට පොඩි සැකයක් ඇතිඋනා. දෙන්නගේ හැඩහුරු කමේ ආසන්න වශයෙන්වත් සමාන කමක් නැති නිසා. මම එදා ඇඟිලි සළකුණු ගන්න මුවාවෙන් කළේ මිනිහගේ ඇඟිලි පරික්ශා කරපු එක. ඒත් මිනිහගේ නියපොතු ගානට කපලා තිබුන නිසා මගේ සැකය සනාථ කරගන්ඩ හම්බුනේ නැහැ. මට ඒවෙලේ අමතක උනා මිනිහා මේව ටිකකට කලින් කපන්ඩ ඇතියි කියන එක. "
" එදා මළ ගෙදර දවසේ ඔය සෝමදාසලා කලින් හිටපු ගමට ගිහින් මම සෑහෙන්ඩ විස්තර හොයාගත්තා. දෙන්නගේ සම්බන්ධය ගැනත් මට ආරංචි කරගන්ඩ පුලුවන් උනා. එතකොටනම් මට සෑහෙන විශ්වාසයක් ආව මේකට මේ දෙන්නගෙම හරි එක්කෙනෙක් හරි ගෑවිලා තියෙන්ඩ පුළුවන් කියලා. "

" ඒත් ඒ එකක්වත් මට ස්ථීර සාක්ෂි හැටියට ගන්ඩ පුළුවන් උනේ නැහැ. තිබුන එකම බලාපොරොත්තුව තමා මේ නියපොත්ත. "

" පස්සේ මම දවස් ගානක් කල්පනා කලා කොහොමද මේක විසදන්නේ කියලා. මගෙ හිත කිව්වා මේ නියපොත්ත එක්ක මේ මරණයට සම්බන්දයක් ඇතිමයි කියලා. "

" එදා බණ දවසේ, උදේ මට ආවා යස කල්පනාවක්. ඒ තමයි පොඩි බොරුවක් ප්‍රචාරය කරන්ඩ. එදා රෑ වෙන පුද්ගලයෙක් මාර්ගයෙන් මට පුලුවන් උනා, මෙහෙම ප්‍රචාරයක් යවන්ඩ. "

" පොලීසියට මිනියත් එක්ක තිබිලා නියපොතු කැල්ලක් හම්බෙලා තියනලු. ඒකේ ඉතුරු කෑල්ල මිනියත් එක්ක තියනවද බලන්ඩ හෙට මිනිය ගොඩ දාන්ඩ යනවලු. ඒ නියපොත්ත පරික්ෂා කරලා මිනීමරුවව අල්ලගන්ඩ පුලුවන්ලු. " කියලා.

" මම බලාපොරොතු උනා ඔය නියපොත්තේ මිනී මැරුමට සම්බන්ධයක් තියනවනම්, අයිතිකාරයා අනිවාර්යයෙන්ම අපි මිනිය ගොඩ දාන්ඩ කලින් මිනිය ගොඩ අරන් විනාස කරන්ඩ හදයි කියලා. වාසනාවට මගේ අනුමානය ටක්කෙටම හරි ගියා. "

" අනිත් සැක කටයුතු දේ තමා කසාය කෝප්පය "

" ඒ කිවේ සර්  ? "

" වීරෙට මතකද ඔය සෝමදාස කිව්වා, කරුණාවති, ගුණසේනට කසාය කෝප්පය අරගන යද්දියි මේක වෙලා තියනවා දැක්කේ කියලා. ඔහොම එකක් දැකපු ගමන් ගෑනියෙක්ගෙන් අනිවාරයයෙන්ම ඕක බිම වැටෙන්ඩ ඕනා. ඒත් ඒ කාමරේ එහෙම කිසිම සළකුණක් තිබුනේ නැහැ. වෙන්ඩ බැරි උනත්, බිම නොවැටී කොහේ හරි තිබ්බානම් ඒක එහෙමම තියෙන්ඩ ඕනා අපි යනකොටත්. මොකද අපි සිද්ධිය වෙලා ටිකකින් එතෙන්ට ගියා. ඔය කළබල අස්සේ ඔහොම එකක් අයින්කරන්ඩ කාටවත් කල්පනාවක් තියෙන්ඩ විදිහක් නැහැ. මම සෝමදාසගෙන් කට උත්තරය අරන් ආයේ කාමරයට ගිහින් බැලුවේ ඔය දෙක තමා. " ඔය ඔක්කොම මගේ හිතේ ලොකු සැකයක් ඇති කළා මේ ජෝඩුව ගැන.

" ඔන්න ඕක තමා උනේ. කවදාවත් අපරධයක් කරලා සාක්ෂියක් ඉතුරු නොකර යන්ඩ බැහැ වීරේ. "

=====================================XX================================

" මාගරට් හිල් නම්වූ යුශ්මතියව, සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරමි. "

=====================================XX================================


සැළකිය යුතුයි ;

1. මෙහි නිධාන කතාව ලිවිමෙන් මා විසින්, එය කියවූවන්ගේ සිත් සතන් වල ඇතිකරනු ලැබු, කුතුහලය සන්සිදුවීම උදේසාම මෙම රහස් පරීක්ෂක කෙටි කතාව ලියා පල කළ අතර, මෙය මවිසින් ලියනු ලබන ප්‍රථම සහ එකම රහස් පරීක්ෂක කතාව බව සැළකිය යුතුය.

2. මා හට පොලිස් සේවයේ හෝ අපරධ පරීක්ෂණ ක්ෂේත්‍රයේ අත්දකීම් හෝ දැනුමක් නොමැති බැවින්, අඩු පාඩු බොහෝ විය හැකිය. ඒ පිළිබද තතු දත්තෝ මා නිවැරදි කරත්වා.

3. මා දන්නා එකම රහස් පරික්ශකයා වූ " ෂර්ලොක් හෝම්ස් " ගේ අභාශය මේ කතාව පුරා වැටී ඇතැයි මට හැඟේ. ඒ ගැන මා කමත්වා.

4. මෙය සම්පූරණයෙන්ම මාගේ හිතෙහි මැවුණු මනෝ විකාරයක් මිස, සත්‍ය සිද්ධියක් නොවන බව සැලකුව මැනවී. යම් හෙයකින් මෙවන් වූ සත්‍ය සිද්ධියක් වී ඇත්නම්, එය හා මගේ කතාව එකක් වීම හුදු අහම්බයක්ම පමණී.

~~ සෙන්නා / 29.02.2012

Thursday, February 16, 2012

ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " - අවසාන කොටස

මුල් ලිපි දෙකෙන් ප්‍රහාරයට මුල්වූ හේතු, සැලසුම් කිරීම, බෝම්බය නිපදවීම, අත්හදා බැලීම, ඉලක්ක තෝරා ගැනීම පිළිබඳව සාකච්චා කළා ඔබට මතක ඇති. ප්‍රහාරය එල්ල කරන ආකාරය සහ ඉන්පසු ඇතිවන තත්ත්වය ගැන දැන් විමසා බලමු.

1945 ජුලි 16වන දින ප්‍රථම පරමාණු බෝම්බ අත්හදා බැලීම සාර්ථකව අවසන් වූ වහාම " Little Boy " නම් වූ යුරේනියම් බෝම්බය "USS Indianapolis" නෞකාවෙන් ටිනියන් දිවයින බලා නැව්ගත කරන ලදී. මේවන විට 509 කණ්ඩායම ටිනියන් දිවයිනට පැමිණ පූර්ව සූදානම් වල නිරතවෙමින් සිටියහ.

1945 ජූලි 26 වන දින " USS Indianapolis " නෞකාව ටිනියන් දිවයිනට ලඟාවූ අතර එදිනම එම බෝම්බයට ඇවැසි සමහර අමතර කොටස් සහ " Fat Man " නම් වූ ප්ලූටෝනියම් බෝම්බය " C-54 " වර්ගයේ ගුවන් යානයකින් ටිනියන් දිවයිනට ගොඩ බාන ලදී.

එදිනම ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ චීනය එකතුව ජපානයට නිකුත් කල යටත් වීමේ නිවේදනය ( Potsdam Declaration ) ජපානය විසින් බැහැර කිරීමෙන් පසුව, 1945 අගොස්තු මස, ඇමෙරිකානු ජනාධිපති Harry S. Truman විසින්  ජපානයට බෝම්බය දැමීමට නිළ වශයෙන් අනුමැතිය දෙන ලදී.

මෙයට අදාල නොව්නද ඊට දින හතරකට පසු සිදුවූ තව වැදගත් සිද්ධියක් ගැන සඳහනක් කළ යුතුය.

ජූලි 26 වන දින බෝම්බය සහ ඊට අදාල අංගෝපාංග ගොඩ බෑමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගිය නෞකාවට ජූලි 30 වන දින අළුයම රාජකීය ජපාන නාවික හමුදාවේ I-58 සබ්මැරිනය මඟින් එල්ල කල ටෝපිඩෝ ප්‍රහාර දෙකක් මගින් පිලීපීන මුහුදේදී නාවිකයන් 300 ක් පමණ ගනනක් සමග මුහුදුබත් විය. 800 ක් පමණ නාවිකයන් සංඛ්‍යාවක් ඊට දින දෙකකට පසු බේරා ගන්නා ලදී.

මෙම ප්‍රහාරය ඊට දින හතරකට හෝ පහකට කලින් නැව ටිනියන් දිවයින බලා යාත්‍රා කිරීමේදී එල්ල කිරීමට ජපන් නාවික හමුදාව සමත් වූයේනම්, ලෝක ඉතිහාසය මීට වඩා වෙනස් වීමට උවද ඉඩ තිබුනි. එම ප්‍රහාරය ගැන වැඩි විස්තර, ඉහත නෞකාවේ නමත් සමඟ දී ඇති සඹැඳිය ඔස්සේ ගොස් කියවිය හැකිය.

මෙසේ ගෙන එන ලද බෝම්බ දෙක, ටිනියන් දිවයිනේදී එකලස් කොට ගුවන් යානයට සවිකරන ආකාරය මෙම චායාරූප වාර්ථාවෙන් ඔබට බලා ගත හැකිය.

හිරෝශීමා නුවරට එල්ල කල " Little Boy " බෝම්බය සවිකරනු ලැබුවේ 509 කණ්ඩායමේ අණදෙන නිළධාරියා වූ Colonel Paul W. Tibbets විසින්ම පදවන ලද " Enola Gay " නම් වු ගුවන් යානයටය. තම මවගේ නම අනුව යමින් ඔහු විසින් මෙම යානයට එම නම දමන ලදී. එම යානයෙහි මෙහෙයුමට සම්බන්ධ 12 දෙනෙකුගෙන් යුත් ගුවන් භටයන් සංඛ්‍යාවක් විය. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ නාම ලේඛනයයි.

Colonel Paul W. Tibbets, Jr. (1915-2007) 
Captain Robert A. Lewis (1917-1983)
Major Thomas Ferebee (1918–2000)
Captain Theodore "Dutch" Van Kirk (1921-) 
Captain William S. "Deak" Parsons (1901–1953) 
Lieutenant Jacob Beser (1921–1992) 
Second Lieutenant Morris R. Jeppson (1922–2010) 
Technical Sergeant George R. "Bob" Caron (1919-1995)
Technical Sergeant Wyatt E. Duzenberry
Sergeant Joe S. Stiborik (1914-1984) 
Sergeant Robert H. Shumard (1920-1967)
Private First Class Richard H. Nelson (1925-2003)


1945 අගෝස්තු 05 වන දින ප්‍රථම ප්‍රහාරයට සියල්ල සූදානම්. අගෝස්තු 06 වන දින අළුයම 02:45 ට, තවත් යානා 05 ක් පෙරටු කරගත් Enola Gay යානය ප්‍රහාරය සඳහා ටිනියන් දිවයිනෙන් පිටත් විය. අනෙකුත් යානාවල කාර්යයන් වූයේ කාළගුණ තත්ත්වයන් පරීක්ෂා කිරීම, චායාරූප කරණය සහ ප්‍රහාරයෙන් පසු ඇතිවන තත්ත්වයන් අධ්‍යනය කිරීම යනාදියයි. හිරෝශීමාව ප්‍රධාන ඉලක්කය වූ අතර යම් හෙයකින් එයට පහර දීමට නොහැකි වුවහොත් කොකුරා සහ නාගසාකි යන නගර දෙක අනු ඉලක්ක වශයෙන් විය.

මේ අතර ප්‍රහාරය එල්ල කිරීමට පෙර ගුවන් යානය තුල සිදුකලයුතු තවත් ක්‍රියාවලියක් විය. ඒ බෝම්බය සජීවී කිරීමයි. ගුවන් යානය නැංවීමේදී සිදුවිය හැකි අනතුරකින්  බෝම්බය පුපුරා යෑම වැලැක්වීම සඳහා, බෝම්බය ක්‍රියාත්මක වීමට අවැසි වෙඩි බෙහෙත් ඒ තුල අන්තර්ගත කොට නොතිබුනි. එය ස්ථාන ගත කිරීම Captain William S. Deak Parsons ගේ සහ Morris R. Jeppson ගේ මෙහෙයක් විය.

යානය ගුවන් ගතවී සුළු මොහොතකින් බෝම්බය රඳවා තිබු  කුටීරියට ඇතුළු වූ ඔවුන් දෙදෙන, බෝම්බයේ පිටුපස අදාල ස්ථානයේ වෙඩි බෙහෙත් තැන්පත් කරන ලදී. විනාඩි 15 ක් වැනි කාලයක් ඇතුලත් Captain Deak Parsons විසින් එම කාර්යය නිම කරන ලදී. එහෙත් තවමත් බෝම්බය අක්‍රීයය. එය සක්‍රීය කිරීමේ වගකීම පැවරී තිබුනේ Morris Jeppson හටය.

බෝම්බයේ බඳෙහි සවිකල කොළ පැහැති පේනු තුනකි. ප්‍රමාණයෙන් මෝටර් රථයක දුම්වැටි දල්වනයකට ආසන්න වූ මෙම පේනු තුන මගින් බෝමබයේ විද්‍යුත් පරිපථයේ ක්‍රියාකාරිත්වය අවහිර කොට තිබුනි. Morris Jeppson හට පැවරී තිබුනේ එම පේනු තුන ඉවත් කොට එම ප්‍රමාණයේම රතු පැහැති පේනු තුනක් එම ස්ථාන වලට ඇතුලු කිරීමයි. එය කිරීමත් සමඟම බෝම්බය සජීවී බවට පත්විය. ඒ අනුව Little Boy බෝම්බය ස්පර්ශ කල අවසාන පුද්ගලයා වීමේ භාග්‍යය හෝ අභාග්‍යය Morris Jeppson ට හිමි විය.

එහෙත් තවමත් බෝම්බයෙන් සිදුකළ හැකි විනාශය ප්‍රශ්ණාර්ථයකි ! එ‍ය පුපුරා යාම ගැනද ඇත්තේ සැකයකි. ඒ මන්ද යත් යුරේනියම් වලින් නිර්මිත බෝම්බය අත්හදා බලා නොතිබුනු බැවිනි. ජුලි 16 වන දින අත්හදා බලන ලද්දේ ප්ලූටෝනියම් වලින් නිර්මිත බෝම්බයක් පමණී.

ප්‍රහාරය එල්ල කිරීමෙදී අවශ්‍යය වූ වැදගත්ම සාධකයක් වූයේ ඉලක්කය ගුවනේ සිට දර්ශනය කල හැකි විය යුතු වීමයි. හිරෝශීමාවට උඩින් ගමන් කල Straight flush යානය නගරයේ කාළගුණ තත්ත්වය ප්‍රහාරය සඳහා ඉතා යහපත් බව Enola Gay හට මෝස් සංඥා මගින් දන්වා සිටියේය. හිරෝශීමාවේ විනාශයට එසේ සියල්ල හොඳින් පෙලගැසී තිබුනි.

Straight flush කාළගුණ නිරීක්ශණ යානය නිසා නගර වැසියනට ගුවන් ප්‍රහාරයක් ගැන අනතුරු හැඟවීමක් ලැබුනි. එහෙත් ප්‍රහාරක යානා වල සළකුණකුදු නොවූ නිසා අනතුරු හැඟවීම සුළු මොහොතකින් ඉවත් කරගන්නා ලදී. ඇත්ත වශයෙන්ම හිරෝශීමාව ඇමෙරිකානු හමුදා විසින් හිතාමතාම ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකුනු නගර වලින් එකකි. එයට හේතුවක් විය. ඒ පරමාණු බෝම්බයේ ප්‍රතිඵල හරියටම නිශ්චය කර ගැනීමට ඇවැසි වූ හෙයිනි.

වේලාව හරියටම උදෑසන 08:15 යි. ටොන් හතරාමාරක් බරැති පුංචි කොළුවා  Enola Gay වෙතින් නිදහස් වී සිය කාර්යය ඉටු කිරීමට හිරෝශීමා වැසියන් සොයා යන්නට විය. තත්පර 43 ක වැටීමකින් පසු, බෝම්බයේ න්‍යෂ්ඨික ක්‍රියාකාරිත්වය ආරම්භ වී නිමේශයකින්, මොහොතකට පෙර සජීවී නගරයක් වූ හිරෝශීමාව අළු ගොඩක් බවට පරිවර්ථනය කරන ලදී. යානයේ සිටි පිරිස මෙම තත්පර 43 දැඩි අවිනිශ්චිත තාවයකින් පසු වූයේ බෝම්බය නිසි පරිදි ක්‍රියාත්මක වේවිද, නැද්ද යන දෙගිඩියාවෙනි. ඔවුන්ගේ ප්‍රශ්ණය වූයේ එයයි.

බෝම්බය පිපිරූ නිමේෂයේ, පිපිරුම් මධ්‍යයේ ඇතිවූ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන ගනනක් විය. අති විශාල ආලෝකයක් සහ උණුසුමක් අවකාශය පුරා පැතිරෙන්නට විය. එයට හසු වූ දහස් ගනනක් මිනිසුන් මොහොතකින් වාෂ්ප බවට හෝ අඟුරු බවට හැරුනි. ගැමා කිරණ, එක්ස් කිරණ සහ නියුට්‍රෝන වැනි විකිරණශීලී ද්‍රව්‍ය සැතපුම් දෙකක දුරප්‍රමාණයක් දක්වා දසත පැතිරිනි. මේ සියල්ල සිදුවූයේ තත්පර දෙක තුනක් වැනි කාලයක් තුලදීය. ඊලඟ නිමේශයේදී අති විශාල, ශබ්දයේ වේගයෙන් ගමන් කළ කම්පන තරංග නගරය සිසාරා යන්නට විය. එයට හසුවු සියලු දේ මොහොතකින් සුන්නද්දූලි විය. මොහොතකට පෙර සජීවී නගරයක් වු හිරෝශීමාව මළ නගරයක් වී ඇත. නගරය සහමුලින්ම බිමට සමතලා වී ඇත. හැටදාහකට අධික ගොඩනැගිලි විනාශ වී තිබුනි. දකින දකින අත අඟුරු වූ මළ සිරුරුය. උදව් ඉල්ලා කෙරෙන ඉල්ලීම් දසතින් ඇසිනි. එහෙත් උදව් කරන්නට කිසිවෙක් නැත. සියල්ලන්ටම උදව් අවැසිව තිබුනි.

දිවි බේරා ගැනීමට සමත්වූවන් සිදුවූ දෙය අදහා ගැනීමට උත්සහා දරමින් සිටියහ. ඇවිදගත හැකිවූවන් උදව් ඉල්ලා කෑගසමින් හිස් ලු ලු අත යන්නට විය. සමහරුන් ඇවිදින මළමිනී මෙන් විය. පිලිස්සී එල්ලා වැටෙන සම් කැබලි, කැඩී බිඳී ගිය අත්පා සහිත වූවන්, ඇවිදිමින්, බඩගාමින් සරණක් සොයා යන්නට විය. සියල්ලම අසරණ වු කල අනේකාට සරණ විය හැක්කේ කාහටද ? හිරෝශීමාව තනිකරම මිහිමත මැවුන අපායක් මෙන් විය. බැලූ බැලූ අත ගිනි ගෙන දැවෙන ගොඩනැගිලිද, මිනිසුන්ද විය.


නගරයේ ඉතිරිව තිබුනේ රෝහල් තුනක් පමණී. ඒවා දිවි බේරා ගත්වූවන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුනි. නගරයේ සිටි බොහොමයක් වෛද්‍යවරුන් හා හෙදියන්ද මිය ගොස් සිටි බැවින් තුවාල වුවන්ට ප්‍රතිකාර කිරීමද විශාල ගැටලුවක් විය.

බෝම්බයෙන් නිකුත්වූ අධික විකිරණශීලීතාවයට ගොදුරුවූවන් ටික දිනකින්ම එතෙක් හඳුනා නොගත් රෝගයක ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. දිවි බේරා ගත්තාවූ අයගෙන් දහස් ගනනක් එම රෝගයෙන් මරුමුවට පත්විය.


ප්‍රහාරය එල්ල වූ සැනින් 70000 කට අධික පිරිසක් මියගිය බවට අනුමාන කොට ඇත. 1945 අවසාන වන විට විකිරණශීලීතාවය නිසා හා අනෙකුත් හේතුන් මත 90000 සිට 166000 කට ආසන්න ගනනක් මිය ගොස් ඇති බවට සැලකේ. සමහර වාර්ථා පෙන්නන පරිධි 1950 වන විට 200000 ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මෙය ලෝක යුධ ඉතිහාසයේ එක් ආයුධයකින් සිදුකරනු ලැබූ විශාලම විනාශය හා සංහාරය ලෙසට ඉතිහාස ගතවී ඇත. තුවාල වූ, අංගවිකල වු, විවිධාකාර රෝගාබාධ වලට ලක්වූ සංඛ්‍යාව අති විශාලය. එහෙත් ජපානය තවමත් යටත්වීමට සූදානමක් නැත.

දෙවන ප්‍රහාරයට කාල නිශ්චය කිරීමේ වගකීම ටිබෙට්ස්ට පැවරුනි. අගෝස්තු 11 වනදා කොකුරා නගරයට ප්‍රහාරය එල්ල කිරීමට සැළසුම් කෙරින. කෙසේවෙතත් දින පහක් පුරා පැවතිය හැකි අයහපත් කාළගුණ තත්ත්වයක් ගැන ලැබුනු වාර්ථා නිසා ප්‍රහාරය දින දෙකකින් ඉදිරියට ගත්තේය.

1945 අගෝස්තු 09 වන දින අළුයම 03:45 ට Fat Man බෝම්බය රැගත් Bockscar යානය ටිනියන් දිවයිනෙන් අහසට නැගුනේ සුපුරුදු පරිධි අනෙකුත් යානා පෙරටු කරගනය. ගුවන් ගත වීමට පෙර කළ පූර්ණ පරීක්ශණ වලදී අමතර තෙල් ටැංකියේ දෝශයක් නිරීක්ශනය කලද යානයේ නියමුවා වු Major Charles W. Sweeney එය නොසලකා ප්‍රහාරයට යාමට තීරණය කරන ලදී. ප්‍රහාරක යානය හා නිරීක්ෂණ යානා දෙක වෙන් වෙන්ව ගොස් හමුවීමට යොදා ගත් ස්ථානයේදී හමුවී එක්ව ඉලක්කය කරා යාමට නියමිතව තිබුනි. කෙසේවෙතත් එක් නිරීක්ශන යානයක් වූ Big Stink ප්‍රමාද වූ බැවින් Bockscar සහ The Great Artiste යානය විනාඩි හතලිහක් ගුවනේ සැරිසරමින් Big Stink එනතෙක් රැදී සිටියද එය නොපැමිනි හෙයින්, එම යානය නොමැතිව ප්‍රහාරයට යාමට Sweeney තීරණය කළේය. මෙසේ සැරිසරමින් සිටින අතර තුර කොකුරා සහ නාගසාකි නගර වල කාළගුණ තත්ත්වය නිරීක්ශණය කිරීමට ගිය යානාවලින් නගර දෙකෙහිම කළගුණ තත්ත්වය ප්‍රහාරයට යහපත් අන්දමින් පවතින බවට වාර්ථාවිය.

කෙසේ වෙතත් මෙම ප්‍රමාදවීම නිසා, යානය කොකුරා වෙත ලඟා වනවිට නගරය 70% ක් පමණ වළාකුළු වලින් වැසී තිබුනි. ඉන්ධන වැයකරමින් නගරය උඩින් වට තුනක් ගමන් කලද බෝම්බය හෙලීමට තරම් ප්‍රමාණවත් දර්ශණයක් නොමැති හෙයින් බොම්බය නොහෙලන ලදී. ඒ අතර වාරයේ ජපාන ගුවන් යානාද අහසට නැගෙනු නිරීක්ශණය කල බැවින් හා යානයේ ඉන්ධන තත්ත්වය නරක අතට හැරෙමින් පැවතුන බැවින් වහාම කොකුරා වලට පහර දීම අත්හැර අනු ඉලක්කය වූ නාගසාකිය වෙත යන ලදී.

නාගසකියට එනවිට එයද වළාකුළු වලින් වැසී තිබුන බැවින්, බෝම්බ කරු රේඩාර උපයෝගී කරගන බෝම්බය හෙලීමට සූදානම් උවද පසුව දර්ශණය වූ සුළු විවරයකින් උදෑසන 11:01 සටහන්ව තිබෙන විට බෝම්බය හෙලීමට සමත් විය.

එම බෝම්බයද තත්පර 43 ක වැටීමකින් පසු පුපුරා යන්නේ හිරෝශීමාවේ සිදූවූ විනාශය නැවතත් ප්‍රතිනිර්මාණය කරමිනි. කෙසේවෙතත් බෝම්බය එල්ල කළ ඉලක්කයේ සිට සැතපුම් එකහාමාරකින් පමණ වෙනස් වීම කරනකොටගෙන නගරයේ සෑහෙන ප්‍රමාණයක් ප්‍රහාරයෙන් ආරක්ෂා වෙන නමුත් 60% පමණ ප්‍රමාණයක් සුන්නද්දූලි කොට දමමින් 75000 කට පමණ ක්ෂණික මරණයක් ගෙනදීමට "මහත මිනිසා" සමත් වේ.

"මැරෙන්ඩ නැත්නම් ගලේ ගහලත් මරන්ඩ බෑ" කියන සිංහල කියමන සනාථ කෙරෙන සිදුවීමකුත් මේ අස්සෙන් සිදුවී ඇත. නාගසකි වැසියෙකු වූ ට්සුටොමු යමගුචී 1945 අගෝස්තු 06 වන දින ව්‍යාපාරික කටයුත්තක් සඳහා හිරෝශීමාවට ගොස් සිටින අතර තුර බෝම්බය පුපුරා යනවිට ඔහු එයට කි.මි. 03 මෙපිටින් සිටියද බරපතල පිලිස්සුම් තුවාල ලැබුවේය. පසු දිනම සිය ගම් ප්‍රදේශය වූ නාගසාකි වෙත ගොස් ඇති අතර එහෙදී දෛවෝපගත ලෙස දෙවන බෝම්බයෙන්ද දිවි ගලවා ගැනීමට සමත්ව ඇත. යමගුචී වයස අනූවක් ආයු වළදා 2010 ජනවාරි මස මිය ගොස් ඇත.

නාගසාකියට ප්‍රහාරය එල්ල වී දින හයකට පසු එනම් අගෝස්තු 15 වන දින ජපානය යටත් වීමත් සමඟම දෙවන ලෝක සංග්‍රාමයේ නිමාව සනිටුහන් විය.


පරමාණු බෝම්බ ජපානයට හෙලීම පිළිබඳව අදටද විවාදාත්මක ප්‍රශ්නයක් ඇත. එනම් " සැබැවින්ම එය අවශ්‍යය වීද ? " යන්නයි. බෝම්බය හෙලීමට විරුද්ධ වූවන් අතර ප්‍රමුඛම පුද්ගලයෙකු වන්නේ පසු කලෙක ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙකුද වූ ජෙනරාල් අයිසන්හවර්ය. මෙම බෝම්බය ගැන යුධ ලේකම් වරයාගෙන් දැනගත් මොහොතේ සිට ඔහු එය නතර කිරීමට උත්සහා කළද එය පළනොදරන ලදී. ඔහුට අනුව ජපානය ගෞරවාන්විතව යටත් වීමක් ගැන සළකා බලමින් සිටින අතර මෙම ප්‍රහාරය එල්ල නොකලද ටික කලෙකින් ඔවුන් යටත් වීමට සූදානම්ව සිට ඇත.

එහෙත් බෝම්බ ප්‍රහාරයට පක්ශව අදහස් දක්වන අයගේ මතයනම් ජූලි 26 වන දින යටත්වීමේ නිවේදනය ජපානය පිළිනොගැනීම මෙම තත්ත්වය ඇතිකිරීමට හේතු වූ බවයි. ඒ අනුව මෙම විනාශයෙහි සම්පූරණ වගකීම ජපානය මතටම පැවරේ.


අමෙරිකානු විද්‍යඥයන් මෙම බෝම්බයේ විනාශකාරී බව දැන සිටියද එයින් ඇතිකල හැකි විනාශය එය සජීවී ජනගහනයක් සහිත ස්ථානයකදී භාවිතා කිරීමෙන් මිස දැනගත නොහැකි නිසා, අනවශ්‍ය වුවද මෙසේ බාවිත කළ බවද කියවේ. ජපානයේ නගර කිහිපයක් සාමාන්‍ය ගුවන් ප්‍රහාර වලට ඉලක්ක නොවීමට හේතුවත් මෙයම වේ.

මෙසේ යුද්ධයෙන් බිමට සමතලා වූ ජපාන ජනතාව, අපරිමිත කැපකිරීම සහ උත්සහායෙන් නැවතත් සිය රට කෙටිකලක් තුල ලෝක ආර්ථික බලවතකු බවට පත් කරන්නේ මුළු ලොවටම අගනා පාඩමක් කියා දෙමිනි.

සෑම වසරකම අගෝස්තු 06 වන දින ඉර බැස යන යාමයේ හිරෝශීමා නදියේ දහස් ගනනින් ඉටි පහන් පා කරමින් අදටද ජපාන ජනතාව එම විනාශය කණගාටුවෙන් යුතුව මෙනෙහි කරති.

මූලාශ්‍ර ;

http://en.wikipedia.org/wiki/Atomic_bombings_of_Hiroshima_and_Нагасаки
http://www.naturalnews.com/019176.хтмл
http://www.nuclearfiles.org/menu/educators/study-guides/history_decision-to-drop-bomb.хтм
http://www.whale.to/b/mullins8.html#A__NEW___MISISION_
http://www.gwu.edu/~nsarchiv/NSAEBB/NSAEBB162/index.хтм
http://www.atomicarchive.com/Docs/ManhattanProject/
http://en.wikipedia.org/wiki/Einstein_литер
http://en.wikipedia.org/wiki/Timeline_of_the_Manhattan_Проект
http://en.wikipedia.org/wiki/Albert_Еинстеин
http://www.losalamoshistory.org/manhattan.хтм
http://en.wikipedia.org/wiki/Manhattan_Проект
http://www.alternatewars.com/Bomb_Loading/Bomb_Guide.хтм
http://www.youtube.com/watch?v=jY9VwCE_Dsg&feature=релатед
http://www.youtube.com/watch?v=SwHds1any9Y&feature=релатед
http://www.youtube.com/watch?v=ложГ4П1РИ
http://www.youtube.com/watch?v=МДаи9н5ЭМ
http://www.youtube.com/watch?v=dirD3lJL1L8&feature=релатед

~~සෙන්නා / 16.02.2012

Saturday, February 4, 2012

ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " - දෙවන කොටස

2012 නවම් මස 04 වන ශනිදා.

ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " පළමු කොටසට.




විසිවන සියවසේ මහා ප්‍රාඥයා යැයි විරුදාවලිය ලත්, ඇල්බට් අයින්ස්ටයින් මහතා, නොදැනුවත්ව හෝ මෙම මහා ඛේදවාචකයේ පළමු ගිනි පුපුර දැල්වීමට දායක වී ඇතැයි ඔබ දැන සිටියේද? එය එසේමැයි.

1879 මාර්තු මස 14 වන දින ජර්මනියේදී උපත ලද ජර්මන් ජාතික යුදෙව්වකු වූ අයින්ස්ටයින්, 1933 දී ඇමෙරිකාවට සංක්‍රමණය වන්නේ හිට්ලර්ගේ බලයට පැමිණීමත් සමඟයි. හිට්ලර් පාලනය විසින් යුදෙව්වන්ට එරෙහිව ගෙන ගිය ප්‍රතිපත්තිය මත අයින්ස්ටයින්ට සහ තවත් යුදෙව් සම්භවයක් හෝ සම්බන්ධතා ඇති විද්‍යාඥයන් බොහෝ දෙනෙකුට තව දුරටත් ජර්මනියේ රැඳී සිටීමේ හැකියාවක් නොවූ අතර ජීවිත ආරක්ෂාව පතා රට අත්හැර ඇමෙරිකාවට ඒමට ඔවුනට සිදුවිය. අයින්ස්ටයින්ගෙ හිසට ඩොලර් 5000 ක ත්‍යාග මුදලක් සමඟ, ඔහුගේ නමද ඝාතන ලේඛනයට එකතු විය.

අයින්ස්ටයින් විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය
1939 දී Leó Szilárd ඇතුළු හන්ගේරියානු විද්‍යඥයන් පිරිසක් විසින්, නාසි හමුදාව විසින් කරගන යනු ලබන පරමාණු බෝම්බ පිළිබඳ පර්යේෂණ ගැන වොෂින්ටන් පාලනයට අනතුරු ඇඟවීමක් කලද එය එතරම් සැළකිල්ලට භාජනය නොවන ලදී. මෙහිදී අයින්ස්ටයින් ඇතුලු විද්‍යාඥයන් පිරිස, ජර්මනිය විසින් නිර්මාණය කිරීමට ඉඩ ඇති පරමාණු බෝම්බය පිළිබඳව ඇමෙරිකානු රජය දැනුවත් කිරීම සිය වගකීමක් සේ සලකා ක්‍රියාකොට, නැවත 1939 අගෝස්තු මස අයින්ස්ටයින්ගේ අත්සනින් යුතුව අනතුරු හැඟවීමේ ලිපියක් එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ Franklin D. Roosevelt වෙත යවන ලදී. ඇමෙරිකානු රජයද නොපමාව පරමාණු තාක්ශණය පිළිබඳ පර්යේෂණ ඇරඹිය යුතු බවට නිර්දේශයක්ද එම ලිපියෙහි විය. අයින්ස්ටයින් ලිපියට අත්සන් කලද, ලිපිය සැකසීමේ සිට සියලු කර්තව්යන් සිදුකරන ලද්දේ Leó Szilárd විසිනි. ජර්මනිය විසින් පරමාණු ආයුධයක් නිපදවතැයි වැඩි වශයෙන්ම අවධානයෙන් සහ බියට පත්ව සිටියේ Leó Szilárd ය. 

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පිළිතුර
මෙම ලිපියෙහි සහ අයින්ස්ටයින් සහ ඇමෙරිකානු ජනාධිපති වරයා අතර සිදුවූ හමුවක ප්‍රතිඵලයක් ලෙස, ඇමෙරිකානු රජයද පරමාණු බෝමබ නිපදවීමෙ තරගයට එක් වන්නේ, එම තරගයෙන් ජර්මනියට දිනීමට කිසිසේතම ඉඩදිය නොහැකි බැවිනි. මෙය පරමාණු බෝම්බය සෑදීමේ " Manhattan Project " යනුවෙන් හැදින්වූ ව්‍යාපෘතියේ ආරම්භය විය.

කෙසේ වෙතත් අයින්ස්ටයින් විසින් මෙමගින් සිවිල් ජන සංහාරයක් බලාපොරොත්තු නොවූ අතර, ඔහුට අවැසි වූයේ ජර්මනිය විසින් එවැනි අවියක් නිර්මාණය කලහොත් එයට මුහුණ දිය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමටයි. එය ඇමෙරිකාව විසින් අවභාවිතා කිරීම පිළිබඳව පසු කලෙක ඔහු පසු තැවීමෙන්  සිය මිතුරකු වූ Linus Pauling සමඟ පවසා සිටියේ;

" මම මගේ ජීවිතයේ විශාල වැරැද්දක් කලා, රුස්වෙල්ට් ජනාධිපතිවරයාට යවපු ලිපිය අත්සන් කිරීමෙන්. නමුත් ජර්මනිය එය නිරමාණය කලානම් වෙන  විනාශය ඊට වැඩි විය හැකියි "

බෝමබය නිර්මාණය කිරීම - The Manhattan Project

ලිපිය ලද ජනාධිපතිවරයා, ජාතික ප්‍රමිති කාර්යංශයේ Lyman Briggs ට යුරේනියම් කමිටුවේ නායකත්වය ගෙන, ලිපියෙන් මතු කරන ලද කාරණය ගැන වැඩිදුර පරික්ෂණ කරනමෙන් නියම කෙරුවේය. ටික කලෙකින් කමිටු වාර්තාව ජනාධිපතිවරයට සපයමින් Lyman Briggs කියා සිටින්නේ යුරේනියම් මූලාශ්‍ර කොටගෙන, දැනට පවත්නා කිසිඳු දෙයකින් නිපදවිය නොහැකි තරම් ප්‍රබල බෝම්බයක් නිපදවිය හැකි බවයි. තවදුරටත් කරුණු දක්වමින් Lyman Briggs කියා සිටින්නේ, ජාතික ආරක්ශක පර්යේෂණ කමිටුව විසින් යුරේනියම් සහ ප්ලූටෝනියම් ගැන පර්යේෂණ කිරීම සඳහා මුදල් වෙන්කල යුතු බවයි. ජනාධිපතිවරයා විසින් යෝජනාවට අනුමැතිය ලබාදේ. ජනාධිපතිවරයාගේ මෙම අනුමැතියත් සමඟම, විද්‍යාත්මක පර්යේෂණ සහ සංවර්ධන කාර්යාලය විවූර්ත වන්නේ Vannevar Bush එහි අධ්‍යක්ෂක වෙමිනි.

1941 ඔක්තෝබර් මස 09 වන දින, ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා සහ Vannevar Bush අතර ඇතිවන සාකච්චාවකින් පසු ජනාධිපති Franklin D. Roosevelt පරමාණු බෝම්බය සෑදීමට සිය අනුමැතිය ලබා දේ. බෝම්බය නිපදවීමේ කුදු මහත් කටයූතු, ජනාධිපතිවරයා විසින් හමුදාව වෙත භාර දෙනුයේ ඔවුනට ඉන්ජිනේරු කටයුතු පිළිබඳ අත්දැකීම්ද තිබෙන බැවිනි. ව්‍යාපෘතියේ ප්‍රධානියා වශයෙන් Major General Leslie Groves  නම් කරන ලදී.

Head and shoulders view of man in military uniform with decorations.



Head and shoulders portrait
J. Robert Oppenheimer

1942 මැයි මස භෞතික විද්‍යා මහාචාර්ය, Gregory Breit ගේ ඉවත් වීමත් සමගම,General Groves  විසින් පර්යේශණ කටයුතු අධීක්ෂණය සහ මෙහෙයවීම උදෙසා, භෞතික විද්‍යා මහාචාර්ය වරයකු වු J. Robert Oppenheimer ව පත්කරන ලදී. Oppenheimer විසින් එවකට ක්ෂේත්‍රයේ ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරමින් සිටි, Enrico FermiEdward Teller (අයින්ස්ටයින් විසින් අත්සන් කල ලිපිය, අත්සන ගැනීම සඳහා ඔහු වෙත රැගෙන යනු ලබන්නේ මොහු විසිනි.), Hans Bethe වැනි විද්‍යාඥයන්ව පර්යේෂණ කටයුතු වලට ඈඳා ගන්නා ලදී.


මේසේ ඇරඹෙන පරමාණු අවියක් සඳහා වූ පරීක්ෂණ ඇමෙරිකාවේ, එක්සත් රාජධානියේ සහ කැනඩාවේ අනුග්‍රහය ඇතිව " මැන්හැට්න් ව්‍යාපෘතිය " නමින් Oak Ridge, Tennessee හී පිහිටුවන ලද්දේ ජර්මනියට කලින් පරමාණු අවියක් එළි දැක්වීමේ අරමුණ ඇතිවය. 1942 සිට 1946 දක්වා ක්‍රියාත්මක වූ මැන්හැට්න් ව්‍යාපෘතියට එම නම ලැබෙන්නේ, එය ඇමෙරිකාවේ මැන්හැට්න් දිස්ත්‍රිකය මුල් කොටගෙන ක්‍රියාත්මක වූ බැවිනි. විද්‍යඥයන්, ඉන්ජිනේරුවන් සහ හමුදාවේ එකතුවෙන් මෙම දැවැන්ත ව්‍යපෘතිය ඇරඹු අතර, වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුලත ඒ සඳහා අවැසි සියලු පහසුකම් රට පුරාම ස්ථාන 30 කට අධික වැඩ බිම් සහ පර්යේශණාගාර වල ඉඳිකරන ලදී. බෝම්බ කිහිපයක් නිපදවීමේ අරමුණින් ගොඩ නැගුන මේ ව්‍යාපෘතිය සඳහා 130000 අධික සේවක පිරිසක් සහභාගී වන අතරම, එවකට සමස්ත ඇමෙරිකාවම පාවිච්චිකල විදුලි බලයෙන් දහයෙන් එකක් මෙම ව්‍යාපෘතියට අදාල ආයතන විසින් බාවිතා කළ බවට ගනන් බලා ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 02 කට අධික මුදලක් මේ සඳහා වැයවූ බවද කියවේ. ව්‍යාපෘතියේ විශාලත්වය මෙයින්ම සිතා ගත හැකිය. 

Map of the United States and southern Canada with major project sites marked
ව්‍යාපෘතියේ ප්‍රධාන ස්ථානයන්

බෝම්බය නිපදවීම සඳහා Los Alomos ප්‍රදේශය ( Project Y ) General Groves විසින් තෝරගනු ලබන්නේ, නිදහස්, කලබල කාරී බවෙන් තොර, දැකුම්කළු පරිසරයක් කටයුතු වලට පහසු වේයැයි සිතන බැවිනි. රහස්‍ය භාවය ආරක්ෂා වීමද අතිශයින් වැදගත් විය.

සිදුකළ දීර්ග පර්යේෂණ මාලාවකින් පසුව, ව්‍යාපෘතිය මගින් දෙයාකාරයක බෝම්බ නිපදවීමට සමත් විය.

පළමු වර්ගය වුයේ යුරේනියම් භාවිතා කල Gun-type fission weapon යනුවෙන් හැදින්වූ බෝම්බයයි. හිරෝශීමාවට එල්ල කල "Little Boy" නම් බෝම්බය මේ ආකාරයේ එකකි. මෙය 1945 පෙබරවාරි මසදී සම්පූර්ණ කරන ලදී.

දෙවෙනි වර්ගය වූයේ ප්ලූටෝනියම් භාවිතා කළ Implosion-type යනුවෙන් හැදින්වූ බෝම්බ වර්ගයයි. නාගසාකියට හෙලූ "Fat man" මෙම වර්ගයේ බෝම්බයකි. මෙය 1945 මාර්තු මස සම්පූර්ණ කෙරේ.

The Gadget
1945 ජූලි 16 වන දින අළුයම 05:30 ට ලෝකය පරමාණු යුගයට ඇතුළු විය. ඒ General Groves ඇතුළු කණ්ඩායම විසින් සිදුකල " Trinity Test " යනුවෙන් හැදින්වූ, මුල්ම පරමාණු බෝම්බ පුපුරුවා හැරීමත් සමගයි. ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ Jornada del Muerto කාන්තාරයේදී දී මෙම පරික්ෂණ පුපුරුවා හැරීම සිදු කෙරින. Implosion-type වර්ගයේ බෝම්බයක් වූ මෙය (මෙය Gadget යනුවෙන් නම් කරන ල දී) පිපිරීමෙන්,  ක්ෂණිකව ඇතිවූ අධික ආලෝකය, අධික උණුසුම සහ කම්පන තරංග මාලාවක් සමඟ අඩි 40000 ට වඩා ගිනි ජාලාවක් පැතිරුනි. බෝම්බය රඳවා තිබූ කුළුණ සම්පූර්ණයෙන්ම වාෂ්ප වී තිබූ අතර යාර 800 ක පමණ වටප්‍රමාණයක වැලි අධික උශ්ණත්වය නිසා වීදුරු බවට හැරී තිබුනි.


මෙම පුපුරුවා හැරීම සාර්ථක වීමත් සමගම " මැන්හැට්න් ව්‍යාපෘතියෙන් " අපේක්ශා කළ කරුනු මැනවින් සාර්ථක වී තිබෙන බව අවබෝධ කොට ගත් ඇමෙරිකාව සිය ගොදුරට ඉව අල්ලන්නට විය.

සැළසුම් කිරීම සහ පුහුණු වීම;


මෙසේ බෝම්බය නිපදවීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර තුර, 1944 දෙසැම්බර් 14 වන දින Colonel Paul W. Tibbets ගේ නායකත්වයෙන් යුතු 509 කණ්ඩායම, ප්‍රහාරයට පුහුණු වීම අරඹන ලදී. Tibbets ව කණ්ඩායම සංවිධානය කිරීම සහ අණදීම සඳහා පත්කරන ලද අතර ඔවුන්ට පැවරුන රාජකාරිය වූයේ ජර්මනියේ සහ ජපානයේ හඳුනා ගත් ඉලක්ක වෙත පරමාණු බෝම්බ හෙලීමයි.

නිව් මෙක්සිකෝ හී ලොස් ඇලමෝස් Y ව්‍යාපෘතිය සමඟ කටුයුතු කල උවද, Tibbets විසින් පුහුණු කටයුතු සඳහා වෙන්ඩෝවර් ප්‍රදේශය තෝරා ගන්නේ එහි ඇති හුදකලා සහ දුරස්ත බව නිසාවෙනි.

1944 සැප්තැම්බර් මස, 504 කණ්ඩායම සමඟ නෙබ්රස්කා හී සාමුහික පුහුණුවක නිරතව සිටි 393 වෙනි කණ්ඩායම, වෙන්ඩෝවර්  වෙත පැමිනෙන්නේ සිය මවු කන්ඩායමට වෙනත් රාජකාරිය කිරීමට ඉවත්වීමට සිදුවන බැවිනි. 509 කණ්ඩායම පිහිටුවන තුරු ඔවුන්ව දෙවෙනි ගුවන් හමුදාවට අනුයුක්ත කෙරේ. 21 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමින් 15 දෙනෙකුව B-29 යානා පැදවීමේ පුහුණුව සඳහා තෝරා ගන්නා අතර ඔවුන්ව පස් දෙනෙකුගෙන් සැදුම්ලත් අනු කණ්ඩායම් තුනකට බෙදන ලදී.

509 කණ්ඩායමට පැවරුණු කාර්යයේ රහසිගත බව නිසාම ඔවුනට, පිරිස් සහ උපකරණ එහා මෙහා ගෙනයාමට තමන්ගේම ප්‍රවාහන මාධ්‍යයක් අවැසි වූ බැවින් 320 ඒකකයද 509 කණඩායමට එකතු කරනලදී. ඊට අමතරව තවත් බොහොමයක් වු සහයක ඒකක ස්වාදීනව 509 කණ්ඩායමට සහය දීමට යොදවා තිබුනි.

ටිනියන් දිවයින සහ ජපානය
1945 මාර්තු මසදී, තවත් විශේෂ ඒකකයක් කණ්ඩායමට එකතු කරන ලදී. ඔවුනට පැවරුන වගකීම වුයේ, බෝම්බය එහි මෙහෙයුම් ස්ථානයේදී එකලස් කිරීමට, විශේෂ පුහුණුව ලත් නිළධාරින් සහ උපකරණ සැපයීමයි.

මෙසේ සැදුම්ලත් කණ්ඩායම, දිගින් දිගටම පුහුණුවීම වල නිරත වෙමින්, පුහුණුවීම් අතරතුරදී හඳුනා ගන්නා ලද අඩුපාඩු සකසා ගනිමින් මෙහෙයුම සඳහා සැරසෙමින් සිටියහ. 1945 ජුනි මසදී, මූලික පුහුණුව අවසන් කළ 509 කණ්ඩායම, ටෝකියෝ සිට සැතපුම් 1450 දුරින් පැසිෆික් සාගරයේ පිහිටි "ටිනියන්" දූපතට විතැන්වෙන ලදී.



තමන්ගේ සහ ඇමෙරිකානු යුධ ලේඛම් වරයාගේ අවසාන අනුමැතිය යටතේ තෝරා ගත යුතු ප්‍රහාර ඉලක්ක නම් කරන ලෙස General Groves ගෙන් ඇමෙරිකානු හමුදා ප්‍රධානියා වූ George Marshall ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස General Groves විසින් ප්‍රහාර ඉලක්ක තෝරා ගැනීම සඳහා වූ කමිටුව 1945 අප්‍රේල් මසදී, සිය සභාපතිත්වයෙන් යුතුව පත්කරන ලදී. කමිටුව විසින් තෝරා ගන්නා ලද ප්‍රධාන ඉලක්ක හතරකි.

කොකුරා;
ජපානයේ විශාලම යුද්ධෝපකරණ නිපැයුම් කර්මාන්ත ශාලාවක් පිහිටි නගරයකි.

හිරෝශීමා;
ප්‍රධාන කර්මාන්ත පුරයක් සහ හමුදාවන්හී බොහොමයක් ප්‍රධාන කාර්යාල පිහිටි නගරයයි.

නීගාටා;
තෙල්, වානේ, ඇළුමිනියම් කර්මාන්ත ශාලා සහිත වරායක් පිහිටි නගරයකි.

කියෝටෝ;
ප්‍රධාන කර්මාන්ත පුරවරයකි.

කියෝටො නගරය එවකට ඇමෙරිකානු යුධ ලේඛම් වරයා වූ Henry L. Stimson ගේ මැදිහත් වීමෙන් මෙම ලේඛනයෙන් ඉවත් වන්නේ එය ඊට දශක කිහිපයකට කලින් සිය මදුසමය ගත කල, ඒ වන විටත් ඔහුගේ සිත් ගත් ස්ථානයක් වූ බැවිනි. කියෝටොවට වෙන්වූ ස්ථානය නාගසාකියට හිමිවෙන ලදී.

ජපානයේ අනෙකුත් බොහොමයක් නගර දිනපතා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් අඩු වැඩි වශයෙන් විනාශ වී තිබුනද, මෙම නගර වලට ප්‍රහාර එල්ල කිරීමෙන් ඇමෙරිකානු ගුවන් හමුදාව වැලකී සිටියේ ඔවුන් වෙනුවෙන්ම සැලසුම් කරන ලද විශේෂ ප්‍රහාරයක් ඇති නිසාය. ඔවුන්ව මානව ඉතිහාසයේ සිදුකරන ලද බිහිසුණුම පරික්ෂණයට තෝරාගෙන සිටි බැවිනි. දිනපතා තමන්ගේ හිසට උඩින් කිසිඳු කරදරයක් නොකර පියඹා ගොස් සිය සහෝදර නගර වලට ප්‍රහාර එල්ල කරන සතුරු ගුවන් යානා දෙස මෙම නගර වැසියන් බලා සිටියේ බිය මුසු කුතුහලයකිනි.

ප්‍රහාරය එල්ල කරන ආකාරය සහ ඉන්පසු තත්ත්වය පිළිබඳව තෙවන ලිපියෙන් බලමු.


ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " - අවසාන කොටසට


~~සෙන්නා / 04.02.2012

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog