Friday, May 17, 2013

බෝතලේ විත්ති | තවත් දවසක්...

2013 වෙසක් මස 17වනදා

දා උදේ මම නැගිටිනකොට සීයයි, අයියයි දෙන්නම නැගිටලා ගිහිල්ලා. මමත් දඩි බිඩි ගාලා නැගිටලා පැදුර රෝල් කරලා මුල්ලකට දාලා එළියට පැන්නෙ කුස්සිය පැත්තට දුවන්න බලාගෙන. මම බය වුණේ මේ දෙන්නා මාව දාලා රැණගලවත් ගිහින්දෝ කියලා.

මම සීයගෙ කාමරෙන් එළියට ඇවිත් සාලෙ මැද්දෙන් කුස්සිය පැත්තට ආවා. ගෙයි පිටිපස්සෙම දොරෙන් පිට වුණාම තියෙන්නෙ කුස්සියට යන්න තියන වැරැන්ඩා එක. වැරැන්ඩා එකේ දුකුණු පැත්තෙ තිබුණා ඔය එක එක ලට්ට ලොට්ට දාන කාමරයක්. ඒකෙම තමයි සීයගෙයි, බාප්පගෙයි බයිසිකල් දාලා තිබුණෙත්, බල්ලො ගැට ගැහුවෙත්. වැරැන්ඩා එකෙන් වම් පැත්තෙ හිස් ඉඩක් තිබුණෙ, අයින දිගේ බිමට කළු ගල් දාලා. කළුගල් දාලා කිව්වට පිළිවෙළකට අතුරලා නෙමේ, එහෙන් මෙහෙන් දිගටම බිම දිගේ දාපු කළුගත් වගයක්. ඒවා උඩට වැටුනොත් එහෙම ලොකු විනාශයක් වෙනවා. ඔය කළුගල් දාලා තිබුණ මට්ටමේ ඉඳලා වැරැන්ඩා එකේ උඩ මට්ටමට අඩුම ගානෙ අඩි තුනක උසක්වත් තියනවා. කිරිඅම්මගෙ අහල පහලා යාළු ආච්චිලා ටික ආපුවම ඔය වැරැන්ඩා එක උඩ තියන බංකුවෙ වාඩිවෙලා කයිය ගගහ බුලත් විට කාලා කෙළ ඔක්කොම විදින්නෙ ඔය කළුගල් උඩට තමා. එතන අඩිය තියන්ඩ බැරි තරමට බුලත් කෙළ වලින් පිරිලා.

ගේ ඇතුළෙන් ඇවිත් ඔය වැරැන්ඩා එකට එනකොට ඕක තියෙන්නෙ උතුරු දිශාවට මුහුණ දාලා. ඒ කියන්නෙ දකුණෙ ඉඳලා උතුරට තමා යන්න ඕනා. ඒත් හරි පුදුම වැඩේ කියන්නෙ වැරැන්ඩා එක දිගේ ඇවිදගෙන ඇවිත් කුස්සියට ගිහින් ආපහු හැරිලා බලපුවම ඒක තියෙන්නෙ නැගෙනහිර දිශාවට මුහුණ දාලා. එහෙම වෙන්නෙ කොහොමද කියන එක මට හරිම ප්‍රශ්නයක්. ඒත් මම එහෙම කිව්වම හැමෝම හිනා වෙන්නෙ සමහර විට ඒ ගොල්ලන්ට එහෙම වෙන්නැද්ද දන්නෑ. අනිත් එක මෙහෙ උතුර තියෙන්නෙත් වෙන දිහාක. අපේ උතුර තියන පැත්තෙ නෙමේ. වැරැන්ඩා එක දිගේ එනකොට එක පාරටම ඇතුළෙ හිටපු බලු තඩියෙක් බුරපු බිරිල්ලට මාව බය වෙච්ච පාර වැරැන්ඩා එකෙන් එළියට විසිවෙන්ඩම ගියා. යාන්තම් දන්න සෙල්ලම් දාලා අත් දෙක හතර අතටම කරකවලා තමා වැටෙන්නැතුව හිටියෙ. තව පොඩ්ඩෙන් කෙළ ගොඩේ ! මම ඉක්මනටම කුස්සියට පැන ගත්තා බලු තඩියට ඇතිතරම් බුරා ගන්න ඇරලා.  "කළුවා.. මොකෑ ඔය දරුවට කන්න හදන්නෙ ?" කියලා බල්ලට කියාගෙන නැන්දත් ඒ එක්කම වගේ මගේ පස්සෙන් ආවා.

මේ කුස්සියෙ තියනවා මහා දුමක්. අපේ ගෙදර කුස්සියෙත් දුමක් තියනවා. ඒත් මේක ඊට වඩා විශාල තට්ටු දෙකේ දුමක්. කිරි අම්මා ඕක උඩ දාලා තමා ඔක්කොම වේලන ජාති වේලන්නෙ. ඒක යටම බිම තිබුණා ලිප් තුනක් විතර. මම යනකොට කිරි අම්මා එක ලිපක් ළඟ කොළොම්බුවක් තියන් වාඩි වෙලා හිටියේ රෙද්දකුත් පොරෝගන. ලිප උඩ කේතලේ තියලා හොඳට ගින්දර දාලා තිබුණේ.

"කෝ සීයා, කිරිඅම්මේ?"

"අන්න අයියත් එක්ක කිරි ගන්න ගියා. ඔයත් යන්න"

කළේ නවලා වතුර එකක් අරන් කට හෝදලා, ඉතුරු ටික බීලා දාපු මම එළියට පැන්නෙ හරක් මඩුවට යන්න.

ෂිඃ ! හැමදාම කරන ගොන් වැඩේ මෙදා පාරත් කළානෙ. සෙරප්පු දෙක ගෙදර දාලා ආවනෙ. ගෙදර වැලි පොළවෙ පිනුම් ගගහා හිටපු අපිට මෙහෙ ඇවිල්ලා මේ ගල් ගොඩවල්, බොරළු ගොඩවල් උඩ අඩිය තියපු ගමන් තරු විසි වෙනවා. හැමදාම ගෙදර යනකොට ගල් තැලුම් දෙක තුනක් අනිවාර්යයයි. එහෙම කියලත් බෑනෙ ! අනිත් එක මේ බොරළු පොළව හින්දා ගොඩක්ම අමාරු වුණේ අපිට නෙමේ. නැන්දගෙ පූස් හමුදාවට. අපේ ගෙදර පූසනම් ජරා කරලා හොඳට වැලිවලින් වහලා තමා යන්නෙ. ඒ වැඩේට එයාට ඕනා තරම් වැලිතියනවා අඩුවක් නැතුව. ඒත් මෙහෙ උන් පව් අප්පා ! ඒත් ජාති වැඩේ කියන්නෙ උන් බොරුවට වහන එකනෙ. වැලි නැති උණත් බොරුවට අතින් වහනවා. අපිව රවට්ටන්න එහෙම කරනවද, නැත්නම් උන්ම රැවටිලද මංදා !

ඇඟිලි වලින් පැන පැන ගිය මම පොඩි පඩි පෙළ නැගලා, කලු ගල් තෝරගෙන, ඒවට පැන පැන හරක් මඩුවට ගියා. අපරාදෙ කියන්න බෑ මෙහෙ කලු ගල් වලින්නම් අඩුවක් නෑ. තැනින් තැන ගල් තලා දිගටම තියනවා. ඒවයෙ කකුල තියන්ඩත් ආසයි. මාර සනීපයි. සීයයි, අයියයි දෙන්නම මඩුවෙ. මම හරක් මඩුව ගාවම තිබුණ හොඳ කලු ගල් තලාවක් බලලා එතෙන්ට පැනලා ඒක උඩ හිට ගත්තා. සීයයි, අයියයිනම් අර මඩුවෙ, ගොම ගොඩේ කිසි ගාණක් නැතුව ඇවිදිනවා. මටනම් අප්පිරියාවෙ බෑ ඒ වැඩේ. ඒක හින්දා මම අර ගල්තලාව උඩ හරි බරි ගැහිලා මේ ගොල්ලො කරන දේ බලාගෙන හිටියා. මේ හරක් මඩුව තියෙන්නෙ සීයලෑ ගෙට උඩහින් තියන කණ්ඩියෙ පිටිපස්සට වෙන්න. මම දැන් හිටගෙන ඉන්න මට්ටමටත් පහළින් තමා සීයලෑ ගෙයි වහලෙ තියෙන්නෙ. මේ වටේම පුදුම හෙවණක් තියෙන්නෙ. එක එක ජාතියෙ ගස් වලින් වැහිලා. මහ දවල්ටත් හරියට අවුවක් වැටෙන්නෑ. කරුවලයි.

මුලින්ම සීයා මුල්ලක තිබුණ උදැල්ලක් අරන් රෑ තිස්සෙ උන් දාලා තිබුණ ගොම බෙටි ඔක්කොම එකතු කරලා එක මුල්ලකට කරළා මඩුව අතු පතු ගාලා පිරිසිදු කළා. මෙතන හරක් දහයක් දොළහක් විතර ඇති. මම තුන් හතර පාරක් ගනින්න  හැදුවා කොහෙද මුන්ට විසේනෙ. එක විදිහකට ඉන්න බෑ අඩු ගානෙ ගණින වෙලාවටවත්. ඉතින් මම වැඩේ අතෑරලා දැම්මා. ජාති ජාති හරක් හිටියා ඒ රංචුවෙ. සමහරු ලප වැටිච්ච උන්, සමහරු අං කැඩිච්ච උන්. එක එළදෙනක් හිටියා ගොඩාක් වයසයි. සීය කිව්වෙ ඌ තමාලු ඔක්කොවන්ගෙම අම්මා.

මේ රංචුවෙන්ම එදානම් එක වැස්සිටයි පැටියෙක් හිටියෙ. තව දෙන්නෙක්ද කොහෙද පැටවු ගහන්න ඉන්නෙ කියලා සීයා කිව්වා. සීයා ඉස්සෙල්ලම පොඩි වහු පැටියව ලිහලා එයාගෙ අම්මට ලං කළාම ඌ පිස්සුවෙන් වගේ වැස්සිගෙ තන් බුරුල්ලට හොම්බෙන් ඇන ඇන කිරි බිව්වෙ. මෙහෙම ටිකක් වෙලා බොන්න දුන්නට පස්සෙ සීයා ඌව ඇදලා අරන් වෙන තැනකින් ගැට ගැහැව්වා. ඌ දගල දගල උම්බෑ කිය කිය අම්මා ගාවටම යන්න තමා දැගළුවෙ. මට ඌ ගැන හරි පවු හිතුණා. බඩිගිනි ඇති කියලා. ඊට පස්සෙ සීයා වතුර බාල්දියක් අරන් අත් දෙක හොඳට හෝදගෙන වැස්සිගෙ තන බුරුල්ලත් හොඳට හෝදලා, ගෙනල්ල තිබුණ මුට්ටියකට චීස් චීස් ගලා ගිරි දොවා ගත්තා. වැස්සිත් කිසිම කලබලයක් නොකර ඉඩ දීලා බලන් හිටියෙ මම පුදුමයෙන් බලන් ඉද්දි. මම හිතුවා වැස්සි පැටියව ගත්තු එකට තරහා ගිහින් සීයට අනීවත්දෝ කියලා. ඒත් එහෙම වුණේ නෑ. මුට්ටියෙන් භාගයක් විතර පිරුනට පස්සෙ, සීයා කිරි ගන්න එක නවත්තලා ආයෙත් ගිහින් පැටියව ලිහුවා. ඌ පිස්සුවෙන් වගේ දුවගෙන ඇවිත් ආයෙත් වැස්සිගෙන් කිරි බොන්න ගත්තෙ. සීයා උගෙ පිට අතගාලා "හඃ දැන් ඉතින් ඇති වෙන්න බීපන්" කිව්වා.

"ඔය මදෑ අපිට. යහ්" කියලා දොවා ගත්තු කිරි මුට්ටිය අතට ගත්තු සීයා ඉස්සර වුණා. අයියයි මමයි පස්සෙන් වැටුණා.

එහෙම දොවාගෙන ආපු කිරි ටික කිරිඅම්මා ලිපේ තියලා රත් කරලා අරගෙන අපි දෙන්නට ලොකු කෝප්ප දෙකකට දාලා දුන්නා. ඒකෙ අමුතුම රහක් තියෙන්නෙ. ගෙදරදි බීපු ලක්ස්ප්‍රේ වගේ නෙමේ. හැබැයි මට ගොඩක් බොන්නනම් පිරියක් තිබුණෙ නෑ. කෝප්පෙ අන්තිම ටික මම පූස් හමුදාවෙ සාමාජිකයො දෙතුන් දෙනෙකුට පෙව්වා. උන්නම් බිමට දාපු කිරි ටික බොහොම ආශාවෙන් වට වෙලා බීගෙන බීගෙන ගියා.

නැන්දා මූණ හෝදන්න ළිඳට යන්න කතා කළේ ඊට පස්සෙ තමා. සීයලට තියන ලොකුම ප්‍රශ්නයක් තමා වතුර නැති එක. මේ කන්ද උඩ මොන වතුරද ! ගේ ඉස්සරහා ළිඳක් කපලා තියනවා මගේ අම්මෝ ඒකෙ ගැඹුර. ඒ ළිඳේ වතුර ඇර අනිත් හැම දෙයක්ම තියනවා කියලයි මට හිතෙන්නෙ. මම දවසක් බිම බඩ ගාලා වගේ ඔළුව දාලා බැලුවා. අම්මෝ මගෙ මුලු සර්වාංගෙම සීතල වෙලා මවිල් කෙළින් වෙලා මුළු ඇඟම මොනවද වෙලා ගියා ඒක දැක්කම. මම හිතුවෙ ඒක අපායට යන පාර වෙන්න ඇති කියලා. ඒ තරම් ගැඹුරුයි. අතරින් පතර බිත්තියෙන් හරහට මතු වෙච්ච කළු ගල් තියනවා. කොච්චර බැලුවත් මට ඒකෙ වතුරනම් දකින්න හම්බුනේ නෑ. කවුරු හරි වැටුනොත් මැරෙන්නෙ වතුර පෙවිලා නෙමේ, අර කළුගල් වල හැප්පිලා. අඩියට වැටෙන්නෙම මැරිලා. මේ ළිඳ හෑරුවෙ ඩයිනමයිටුත් දාලා කියලා සීයා කියනවා මට මතකයි. මෙච්චර භයානක ළිඳ වටේට බැම්මක් බැඳලා නැත්තෙ ඇයි කියන එක හරි ප්‍රශ්නයක්. නිකන් කළුගල් වැටියක් විතරයි. අපේ ගෙදර එක වටේනම් බැම්මක් තිබුණා. සීයමයි බැන්දෙ.

මූණ හෝදන්න යන්න ඕනා කඩේ අයියලෑ වත්ත පහළ ළිඳට. ඒකට එක්කො පඩි පෙළ බැහැලා වම් පැත්තට ගිහින් කඩෙත් පහු කරගෙන ගිහින් පාලම ගාව තිබුණ කඩේ අයියලෑ වත්ත පල්ලෑහැට යන්න ඕනා. නැත්නම් පඩි පෙළෙන් අනික් පැත්තෙ තියන බෑවුම හරහා වැටිලා තිබුණ අඩි පාරක් දිගේ පහළට බැහැලා ගම මැද පාරට වැටිලා, එතනින් කඩේ අයියලැ වත්තට ගිහින් යන්න ඕනා. බොහෝ වෙලාවට පාවිච්චි කරන්නෙ මේ පාර තමා.

බාල්දි, කළ, කෑන්, තුවා අරගෙන අපිත් නැන්දා පස්සෙන් වැටුණා. ළිඳට යනවනම් පුළුවන් තරමක් භාජන අරන් ගිහින් වතුර අරන් එන්න ඕනා කියන එක නීතියක් වෙලා තිබුණෙ. ළිඳට ගිහින් හිස් අතින් පැමිණීම දඩුවම් ලැබිය හැකි වරදක්. බුරුසු ගෙනල්ලත් නෑ, සෙරප්පුත් නෑ ! මේ අඩි පාර පුරාම තියෙන්නෙ ගල් බොරළු. අයියෝ එපා වෙනවා ඉතින් යන්න ගියාම.

අඩි පාර දිගේ පල්ලම් බැස්ස අපි එතනින් ගම මැද පාරට වැටුණා. ඒ පාර පැන්නම කඩේ අයියලාගෙ වත්ත. වත්තට ඇතුල් වෙලා ගේ පිටි පස්සෙන් ගිහින් වමට හැරිලා පොඩි පල්ලමක් බැස්සම තමා ළිඳ තියෙන්නෙ. තාර පාරෙන් ආවොත් ගේ ඉස්සරහින් තමා ළිඳ දිහෑට එන්න තියෙන්නෙ. ළිඳක් කිව්වට මෙතන ලිං දෙකක්ම තියනවා. වෙරළු ගහ යට තිබුණු ලොකු ළිඳ, අඩි දහයක් විතර පළල, රවුම් ළිඳක්. වටේට බැම්ම බැඳලා, දෙපැත්තෙන් කණු දෙකක් උඩට බැඳලා හරහට ගිය කණුවෙ තමා බොලොක්කෙ ගැට ගහලා තිබුණෙ. මේ ළිඳේ වතුර තමා බොන්න ගත්තෙ. අනිත් ළිඳ හතරැස් එකක්. ඒකට යන්න රවුම් ළිඳ ගාව ඉඳන් ටිකක් පහළට බහින්න ඕනා. මේක තමා නාන ළිඳ. නිල් කැටේට වතුර. හැමදාම කට ගාවටම වතුර. පුංචි අපිටත් ලණුවක් නැතුවම බාල්දිය දාලා වතුර ගන්න පුළුවන්.

මේ ලිං දෙකම තිබුණෙ කඩේ අයියලෑ වත්තෙ එහා මායිමේ. ළිඳෙන් යන වතුර ඔක්කොම එකතු වුණේ කඩේ අයියලෑ මායිමත් එක්ක ගලාගෙන ගිය පොඩි ඇළට. ඇළෙන් එහා කුඹුරු යාය. පාලම උඩට පේන්නෙ මේ කුඹුරු යාය තමා. සීයලෑ කුඹුරකුත් තිබුණා ළිඳට පොඩ්ඩක් එහාට වෙන්න.


"හා දෙන්නම දත් මැදගන්න" කියලා දත් බේත් එක අපිට දීපු නැන්දා "මෙදා සැරෙත් බුරුසු ගෙනාවෙ නෑ නේද" කියලා ඇහුවෙ හිනා වෙලා. අපි දත් මදිනකම් නැන්දා භාජන වලට බොන ළිඳෙන් වතුර ඇදලා පුරවන්න ගත්තේ අපි ඇඟිලි වලට දත්බේත් අරගෙන මදින්න පටන් ගන්නකොට.

මේක SR දත් බේත් එකක්. අපේ ගෙදරනම් කවදාවත් දත් බේත් තිබුන්නෑ. ඒවා ගණන් හින්දද මංදා ! අපි ගෙදරදි දත් මැද්දෙ දත් කුඩු වලින්. ජාති දෙකක් තියනවා, එකක් "පැරකුම්බා" අර ගස් ලබු කෑල්ලක් අල්ලන් ඉන්න යෝධයගෙ පින්තූරෙ තිබුණෙ ඒකෙ තමා. අනිත් ජාතිය "දන්ත මුක්ත". සුදුම සුදු දත් ටිකක රූපයක් තමා ඒවයෙ තිබුණෙ. මම කැමතිම දන්ත මුක්ත එකට. ඒකෙ අමුතු රහක් තිබුණා. කන්න පුළුවන්. පැරකුම්බා එකනම් තනිකර බේත් රහක් තිබුණෙ, කන්න බෑ. අප්පිරියයි. ඔය දෙකටම වැඩිය මේක මරු. ආව් අප්පා කට සීතල වෙලා යනවා. මම එක සැරයක් ඇඟිල්ලට අරන් දෙතුන් පාරක් එහෙට මෙහෙට කරලා ගිල්ලා. අප්පා ඔක්කොම නිකන් කූල් වෙලා ගියා. හූස් ගාලා උඩට ඇද්දම තවත් සීතලයි. මරේ මරු.

"ඔය මොකෑ කොරන්නෙ ? කනවා නේද ටූත් පේස්ට් ?" නැන්දට වැඩේ මාට්ටු. "ගිලින්නෑ ඕවා, දත් මැදලා කෙළ ගහන්න එළියට"

මේ ලිං පාවිච්චි කරන්නෙ අපි විතරක් නෙමේ. ගමේ ඉන්න තව ගොඩ දෙනෙක් එනවා මේවයින් වතුර ගන්න, නාන්න. අපි දත් මැද මැද ඉන්නකම් තව දෙතුන් දෙනෙක්ම ඇවිත් මූණ හෝදන් වතුර පුරවන් ගියා.

"ආ මේ ගුණපාලගෙ කොල්ලො දෙන්නා නේද ? කවද්ද ආවෙ ? " ආ ආච්චි, සීයා බලන්න ඇවිත් වගේ ! " වගේ එක එක ඒවා අහන්ඩත් ඔය හැමෝම අමතක කළේ නෑ.

"ආ ඔය ඉතින් මදෑ දත් මැද්දා, දැන් ඇවිත් මූණ හෝද ගන්න" කියලා නැන්දා කතා කළාම තමා මූණ හෝද ගන්න පහළ ළිඳට ගියේ.

ආපහු යන එකනම් ටිකක් අමාරු වැඩක්. වතුරත් උස්සගෙන කඳු නැගපල්ලකො ! මටත් පොඩි කෑන් එකක් හරි වරදින්නෑ. නැත්නම් සබන් පෙට්ටි, දත් බෙහෙත් එහෙම දාපු බාල්දිය තමා මට හම්බෙන්නෙ. තුවාය නැන්දා බෙල්ල වටේ ඔතා ගන්නවා. අයියත් දෙපැත්තට කෑන් දෙකක් අරගන්නවා. නැන්දනම් එක කළයක් උකුලට අරන්, තව කෑන් එකක්වත් අනිත් අතට ගන්නවා. මේ හොඳයි ! හවසට වෙනම තියනවා වතුර ඇදීමේ වැඩසටහනක්. ඒකනම් ඉල ඇදෙන, මහ පණ යන වැඩක් ! හත් අට පාරක්වත් උඩහා පහළ යන්න ඕනා එතකොටනම්. 


අපි මූණ හෝදන් ගෙදර එනකොට බාප්පා ගේ ඉස්සරහා තිබුණ කනාටු පොල් ගහේ මූණ බලන කණ්ණාඩියක් එල්ලන් රැවුල කපනවා. නැන්දා කඩේ අයියලෑ ළිඳට ගියාට බාප්පනම් නාන්න ඇර ඒ ළිඳට යනවා මට මතකයක් නෑ.

මම කෙළින්ම කුස්සියට ගියේ සීයා කොහෙද කියලා කිරිඅම්මගෙන් අහගෙන.

"සීයා ඕන්න රැණගල ගියා හරක් බැඳලා එන්න" 

"අයියෝ ගියාද ? මමත් මේ යන්න කියලා හිටියේ"

"පස්සෙ යන්න බැරියෑ, තව දවස් තියනවනෙ" කිරි අම්මා කතා කළේ උදේට කන්න රොටි පුච්චන ගමන්මයි.

එදා උදේට කැවට පස්සෙ අපි දෙන්නා කරන්න දෙයක් නැතුව එහෙට මෙහෙට වෙවි හිටියෙ. නැන්දත් ලෑස්ති වෙලා වැඩට ගියා. නැන්දා වැඩ කළේ පේෂකර්ම මධ්‍යස්ථානයක ගුරුවරියක් හැටියට. බාප්පා ඒ අහල පහළ ගමක ග්‍රාම සේවක. නැන්දා උදේ අටට කලින් වැඩට යන්න පිටත් වෙනවා. බාප්පනම් සෑහෙන්න පරක්කු වෙලා ගිහින් දෙකටත් කලින්ද කොහෙද ගෙදරත් එනවා. බාප්පත් ලෑස්ති වෙලා "අම්මෙ මම ගිහින් එන්නම්" කියලා බයිසිකලේ උස්සලා කරට ගත්තා. ඕක සීයගෙයි, බාප්පගෙයි දින චරියාවෙ කොටසක්. කොහේ හරි යන්න ගෙයින් එළියට බැස්සොත් අනිවාර්යයෙන් බයිසිකල් කරේ තියන් පල්ලම් බහින්න ඕනා. වෙන විදිහකුත් නෑනෙ. එනකොට තමා පණ යනවා ඇත්තෙ. ඕක කරේ තියන පඩි අනූ පහක් නගින එක සෙල්ලමක්යෑ. මටනම් හිතනකොටත් පිස්සු හැදෙනවා. අනිත් එක මෙහෙ මිනිස්සු බයිසිකල් පදිනවට වැඩිය තල්ලු කරන එක තමා කරන්නෙ. ඇයි ඉතින් හැම තැනම කඳුනෙ. පොඩ්ඩක් පදිනවා, ආයෙ බැහැලා තල්ලු කරනවා. පයින්ම ගියානම් ඉවරනෙ. මටනම් වෙලාවකට හිනාත් යනවා.

කරන්න දෙයක් නැතුව ගෙයි ඉස්තෝප්පුවෙ බැම්ම උඩ වාඩි වෙලා මම හිටියෙ. අයියා ඉස්තෝප්පුවෙ එහා කොනේ තිබුණ පුටුවක වාඩි වෙලා මොකක්ද කියව කියව හිටියෙ. සීයලෑ ඉස්තෝප්පුවෙ උඩ බිත්තිය දිගටම රීප්ප පටි දෙකක් ගහල රාමු කරපු පින්තූර මහ ගොඩක් එල්ලලා තිබුණා. ඒවයෙන් එක පින්තූරයයි මට අඳුන ගන්න පුළුවන් වුණේ. ඒ අපේ අම්මගෙයි, තාත්තගෙයි මගුල් ෆොටෝ එක. අනිත් කාවවත් මමනම් අඳුනන්නෙ නෑ. කලින් දැකලා තිබුණට එදා තමා මට ඔය ෆොටෝ ටික දිහා හොඳට බලන්න හිතුණෙ. දකුණු පැත්තෙ උඩම තිබුණෙ මහ රැවුල කාරයෙකුගෙ ෆොටෝ එකක්. ඒකට වම් පැත්තෙන් පයිප්පයක් කටේ ගහගෙන ඉන්න එක්කෙනෙක්ගෙ ෆොටෝ එකක් තිබුණා. ඊටත් එහායින් පදක්කම් මහ රාශියක් පපුවෙ එල්ල ගත්තු මනුස්සයෙක්ගෙ ෆොටෝ එකක්. අනිත් ෆොටෝ ඔක්කොම මගුල් ෆොටෝ.

ඔන්න ඔහොම ඔය ෆොටෝ ටික බල බල ඉන්නකොට තමා මාව එක පාරටම ගල් ගැහුණෙ. "මේ මොකෝ මේ ඔක්කොමල්ලා මම දිහා බලන් ඉන්නෙ ? "

මම අම්මලෑ ෆොටෝ එක දිහාත් බැලුවා. ඒ දෙන්නත් මම දිහාමයි බලන් ඉන්නෙ. මතක විදිහට මම අද දවස ඇතුළත, අඩුම ගානෙ පහුගිය සතිය ඇතුළෙවත් බර පතල වරදක්නම් කරලා තිබුණෙ නෑ. ඒත් හැමෝම මම දිහා හොඳට බලාගෙන ඉන්නෙ ඇයි ? මාව පඩියෙන් බිමට පැනුණෙ නිකන්ම.

"ලොකු අයියෙ.. "

"හ්ම්ම්.. "

" මේ පින්තූර ඔක්කොම මං දිහා බලන් ඉන්නෙ ඇයි ? " මම ළඟම හිටපු වැඩිහිටියට ප්‍රශ්නය ඉදිරිපත් කළා. සීයාවත් පේන්න හිටියෙ නෑ.

පිළිතුරක් නෑ.

"ලොකු අයියේ.. "

" ඇයීයියි.. " කියන ගමන් අයියා පොතෙන් ඔළුව අරන් මම දිහා බැලුවා.

"මේ පින්තූර ඔක්කොම මං දිහා බලන් ඉන්නෙ ඇයි ?"

" ඒ ඔයාට පේන හැටි"

"පේන හැටි නෙමේ, මේ ඔක්කොමල්ලා මං දිහා බලන් ඉන්නෙ"

"එහෙම එකක් නෑ, ඒ පේන හැටි. බලන හැමෝටම පේන්නෙ එහෙම තමා, දැන් මට පේන්නෙ හැමෝම මම දිහා බලන් ඉන්නවා වගේ"

අයියා බොරු කියනවා කියලා හිතපු මම එතනට ගිහින් බැලුවා. ඇත්ත නේන්නම්, මෙන්න දැන් කට්ටිය ඔක්කොම මෙතන බලන් ඉන්නවා. ඊට පස්සෙ මම පින්තූර දිහා බලාගෙනම ආයෙ හිටපු තැනට ආවා. ඔන්න ආයෙත් හීන් දාඩිය දැම්මෙ එතකොට තමා. මේ කට්ටියම මම දිහා බලාගෙන හැරෙනවා මෙන්න. හොල්මන්වත්ද !

ආයෙ පින්තූර දිහා බලාගෙන අයියා හිටපු තැනට ගියා, මෙන්න ආයෙත් හැරෙනවා. බුදු අම්මෝ !

මම ඔහොම උඩ බලාගෙන එහෙට මෙහෙට වෙවී ඉන්නකොට තමා " ඔය මොකෑ කොරන්නෙ" කියලා අහගෙන ඇවිත් එතන තිබුණු අනිත් පුටුවෙ සීයා වාඩි වුණෙ. මමත් එහා පැත්තෙන් තිබුණ අනිත් පුටුවෙන් වාඩි වෙලා සීයට ප්‍රශ්නය දාන්නයි කල්පනාව. සීයා ටීපෝ එක උඩ තිබුණ බුලත් හෙප්පුව අතට අරගෙන කකුල් දෙක අස්සෙ හිර කරගන්න ගමන් ගිරය අතට අරන් පුවක් ගෙඩියක් ටකස් ගාලා දෙකට කැපුවා.

"මේ පින්තූර ඔක්කොම මම දිහා බලාගෙන ඉන්නෙ ඇයි සීයෙ ?"

" කෝහ් කොහෙද ? " කියලා සීයා ඇහුවෙ හිනා වෙන ගමන්.

" මේ හැමෝම මම දිහානෙ බලන් ඉන්නෙ, බලන්නකො "

"පින්තූර එහෙම තමයි, බලන කෙනාට පේන්නෙ පින්තූරෙ තමන් දිහා බලන් ඉන්නවා වගේ. හැමෝටම එහෙම තමා පේන්නෙ" කියලා සීයා කරපු පැහැදිලි කිරීම මට එච්චරටම නොතේරුණත්, අයියා කිව්වෙත් ඒකම නිසා එහෙම වෙන්න ඇති කියලා මමත් හිත හදා ගත්තා. ඒත් ඒක මටනම් හරිම පුදුමයක්. හැමෝම එකපාරම මම දිහා බලාගෙන හැරෙන එක කොච්චර පුදුම වැඩක්ද !

ඊළඟට මට ආවෙ මේවයෙ ඉන්නෙ කවුද කියන ප්‍රශ්නෙ. මේක හොඳ වෙලාව ඒ ගැන දැන ගන්න. සීයා කපා ගත්තු පුවක් බෑයක කොන ගිරෙන් අල්ලලා අනිත් පැත්තට නමලා පුවක් ඇටේ එළියට අරගත්තා. අනිත් බෑයටත් ඒකම කළා. ඊට පස්සෙ ගිරේ යට අණ්ඩ දිගෑරලා අර මහත තලයෙන් පුවක් පලු දෙකම සූරලා ඒවයෙ කුරුට්ට අයින් කළා.


" මේ ෆොටෝ වල ඉන්නෙ කවුද සීයෙ ?"

සීයා කර කර හිටිය වැඩේ නවත්තලා අමුතු විදිහට බැලුවා. "හැබෑටම ඕක දන්නැද්ද?" කියලා අහන ජාතියෙ බැල්මක් ඒක.

"එහෙනම් තාත්තා ළමයින්ට කියලා දීලා නෑ වගේ !"

"මේ ලොකු රැවුලක් තියෙන එක්කෙනා කවුද ? "

"ඔය පුතේ ඩී.ඇස්. සේනානායක මහත්තයා"

"කවුද එයා ? ඇයි ඉතින් එයාගෙ පින්තුරෙ මෙතන ගහලා තියෙන්නෙ ?" 

අයියනම් ඒ වෙනකොටත් දන්නවද කොහෙද ? මමනම් දන්නවා වගේ බැල්මක් තමා එයා පොත කියවන එකත් නවත්තලා දාගෙන හිටියෙ. අර අපි දන්න බව කාට හරි පෙන්නන්න තියන උනන්දුවෙන් තමා එයා ඒ වෙලාවෙ හිටියෙ. ඒත් සීයා හිටපු හින්දා එයා මුකුත් කීවෙ නෑ.

"ඩී.ඇස්. සේනානායක කියන්නෙ ලංකාවෙ පළවෙනි අගමැතිට"

"අගමැති ! ඒ කවුද ? "

සීයා ආයෙත් හිනා වුණා. දැන් පුවක් පලු දෙක සුද්ධ වෙලා කෑලි වලට කැපිලා හෙප්පුවෙ පැත්තකට වෙලත් ඉවරයි. බුලත් කොළයක් අරන් දෙපැත්ත කඩලා දාපු සීයා, හුණු දාලා තියන පොඩි ටින් එකෙන් හුණු ටිකක් ඇඟිල්ලට අරන් බුලත් කොලේ ගාලා, දුම්කොළ කෑල්ලකුයි, පුවක් කෑලි දෙකකුයි මැද්දෙන් තියලා, ගුලි කරලා කටේ ඔබා ගත්තා. ඒක හක්කෙ එක පැත්තකින් හපන ගමන් හෙප්පුව ටීපෝ එක උඩින් තියලා, කකුලක් පිට කකුලක් එහෙම දාලා පුටු ඇන්දට හොඳට හේත්තු වුණා. සීයා ලොකු කතාවක් කියන්න යන්නෙ කියලා මට තේරුණා.

"අගමැති කියන්නෙ, ඒ දවස්වල ලංකාව පාලනය කරපු නායකයට."

"ඉතින් ඇයි මෙයාගෙ පින්තූරයක් මෙතන ගහන් ඉන්නෙ. සීයලෑ නැයොද ? "

"හෙහ් හෙහ්.. නෑ නෑ අපේ නැයොනම් නෙමේ. මෙයා තමයි සුද්දන්ගෙන් ලංකාවට නිදහස ගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා, පස්සෙ සුද්දො ලංකාව දාලා යනකොට ලංකාවෙ නායකයා උණේ. පළවෙනි අගමැති. එයාට අපි හැමෝම ගරු කරන්න ඕනා. මෙයාට කියන්නෙ ජාතියේ පියා කියලා. රටට ගොඩක් හොඳ වැඩ කරපු මනුස්සයෙක් තමා ඔය. අනිත් එක මෙයා බෝතලේ මනුස්සයෙක්."

හොඳට ඇදලා බැඳලා තියන දුන්නක ලණුව කැඩුනම, ටොයිංන්න් ගාලා දුන්න කෙළින් වෙන විදිහ දන්නවනෙ, ආන්න ඒ විදිහටම කෙළින් වෙලා මාව පුටුවෙන් නැගිටුනා ඔය සීයගෙ අන්තිම වචන ටික ඇහුණම.

"නෑහ්හ්හ් බෝතලේ මනුස්සයෙක් ?" මට කතා කරන්නෙ සීයත් එක්කයි කියලත් අමතක වුණා. සීයත් පුදුම වෙලා වගේ මම දිහා බැලුවෙ මොකද මූට එක පාරටම වුණේ කියන්න වගේ. සීයා මට දුන්න ආරංචියෙ වටිනාකම සීය දන්නවනම් !

" ඔව් බෝතලේ තමා.. ඔය ඔතනින් ටිකක් එහා තමා ඒ ගොල්ලන්ගෙ වලව්ව තියෙන්නෙ " සීයා ඒ පැත්තට අත දික්කරලා පෙන්නුවා.

හැමදාම ඉස්කෝලෙ උන් තාත්තගෙ ගම කොහෙද කියලා අහද්දි මම කිව්වෙ මීරිගම කියලා. දෙතුන් පාරක් බෝතලේ කියලා මුන් මට පල් එක දැම්මනෙ "උඹලෑ තාත්තා බෝතලේකද ඉන්නෙ " කියලා. එදායින් පස්සෙ මම ඔය නම කිව්වෙම නෑ. කිව්වත් කිව්වෙ බොහොම හිමින්, ලජ්ජාවෙන්. ඒත් දැන් තත්ත්වය වෙනස්. යකෝ ලංකාව සුද්දන්ගෙන් බේර ගත්තු, ලංකාවෙ පළවෙනි අගමැති වෙච්ච, ජාතියේ පියාට බෝතලේ ඉන්න පුළුවන්නම්, මගේ පියා බෝතලෙන් වුණාම මොකද ? වරෙල්ලකො බලන්න ආයෙ කියන්න. දෙන්නම් තොපිට. 


ෂිඃ මේ උලව් නිවාඩුව තාම පටන් ගත්තා විතරනෙ !

~~ ඉවරයි වගේ පෙනුණට ඉවර නෑ, තව තියනවා ~~ 

ලියුවේ;
~~සෙන්නා / 17.05.2013



97 comments:

  1. මට අර හපනා පොතමයි මතක් වෙන්නේ... අමාරිස් එක එක ජාති හිතන හැටි.... හි හි

    සෙන්නෝ මේක දිගටම ලියාගෙන යන්න... මට හිතෙනවා ඇත්තටම කතා පොතක් ලියන්න තරම් ජාති මෙතන තියෙනවා කියලා....

    ReplyDelete
    Replies
    1. මට ඒ පොත මතක නෑනෙ.. ඔය කිව්වම නිකන් ලාවට වගේ මතක් වෙනවා..

      හෙහ් හෙහ්.. පොත් ලියන්න.. හොඳට තියෙයි.. :D

      Delete
    2. මතක නෑ කිව්වා? ගහන්නයි වටින්නේ. දුමින්ද සින්ඩ්‍රෝම් එක හැදිලද මන්දා :-\

      Delete
    3. ඕක ඉතින් අපේ ජාතියේ සින්ඩ්‍රෝම් එකනෙ සයුරි මිස්.. :D

      Delete
  2. හැම දෙයක්ම මැවිලා පේන්න ලෙසටම ලියල.
    වැස්සිව ඔලුව එහාට මෙහාට කරන්න පුළුවන් විදියට කෙටිකරල ගහේ හෝ කනුවෙ කෙටි කරල ගැට ගහල වැහු පැටියට කිරි ටිකක් බොන්න දීල වස්සි ගැට ගහපු එකේම ගැට ගහන්න ඕන.එතකොට තමයි වහු පැටියව ලෙව කකා අපට නිදහසේ කිරි දොවා ගන්න හැකි වෙන්නෙ නේද?
    ගෝපාල් කියලත් දත් බෙහෙත් වගයක් තිබුන නේද?

    ReplyDelete
    Replies
    1. ගෝපාල් කියල දත් කුඩු ජාතියක් තිබුණ. පැරකුම්බ කියන එකනං තවමත් තියෙනව.

      Delete
    2. තාමත් දත් කුඩු තියෙනවද බං?

      Delete
    3. හරියටම හරි කෙන්ජි.. ඕක තමයි ක්‍රමේ.. මට හරියට වැඩේ මතක් වුන්නෑ.. හැබැයි සමහර වැස්සියො හිටියා මතකයි උන්ගෙන් සීයා කිරි ගත්තා ගැට ගහන්නෙත් නැතුව.. උන් එච්චරටම හීලයි..

      දත් කුඩු කේස් එකත් මම ටිකක් අනාගෙන වගේ.. ගෝපාල් තමා කටේ තියන්න බැරි තිත්ත එක. පැරකුම්බා, දන්තමුක්ත දෙකම ටිකක් එක වගේ තමා.. ගෝපාල් ගොයියව මට අමතකම වුනානෙ.

      ප්‍රසන්න, කෙන්ජිට තියන ප්‍රශ්නෙ තමා මටත් තියෙන්නෙ, ඇත්තටම තාම දත් කුඩු තියනවද බන්? මමත් දැකපු කාලයක් මතක නෑ..

      Delete
    4. තියෙනව තියෙනව. දැන් පැරකුම්බ එක රුපියල් 9 ක් වෙනව පැකට් එකක්.

      Delete
  3. උඹත් ටූත් පේස්ට් කාපු එකෙක්ද මමත් කෑවා බං

    ReplyDelete
    Replies
    1. කාල විතරක් නෙමේ,කාපුවම බොක්කටම දැනෙන සිසිලත් විස්තර කරලනේ නියෙමෙට.

      Delete
    2. අටමා,

      ඔව් බන්.. මම යමින් එමිනුත් ටූත් පේස්ට් කාලා තියනවා.. :D අපි ඔක්කොම එක වල්ලෙ පොල් බලන් ගියාම.. හෙහ් හෙහ්..

      කෙන්ජි,

      ස්තූතියි කෙන්ජි.

      Delete
  4. ලස්සනට ලියල තියෙනව.
    අර ළිං ගැන කියනකොට මට මතක්උනේ අපේ අම්මලගෙ මහ ගෙදර පල්ලෙහත් ඔය වගේ ළිං පේළියක්ම තියෙනව. ඉස්සර අපිත් නිවාඩුවට එහේ ගියාම මූණ හෝදන්න, නාන්න ගියේ ඒවට තමයි.
    සීයට තිබුණෙ 3 ඩී පින්තූර එල්ලන්න. ඒවනං ඔහොම බලන එකා දිහා බලාඉන්නෙ නෑ. :D

    දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      3D වලින් එහෙම පේන්නැද්ද හැබෑටම..? එතකොට වැඩක් නෑනෙ.. ෆොටෝ එකක් වුනාම අපි දිහා බලාන ඉන්න එපැයි.. :D

      Delete
  5. හොඳයි සෙන්නා...මේ සැරේ වැරදි නෑ...
    සෙන්නගෙ කතාව කියවන ගමන් බෝතලේ කඳුයි ගලුයි මම හිතේ මවාගන්නව...ඒක නෙවෙයි මේ කතාව බෝතලේ කොහාට ගලපන්නද කියලයි මම තාම කල්පනාකරන්නෙ අද හිතාගත්තෙ පහළගම මදුරුපිටිය වත්ත හරියෙද කියල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලපෙ අයියා.. මෙදා සැරේ කතා කරන භාශාවෙන්නෙ.. ඒක නිසා වෙන්න ඇති.. මට ඕගොල්ලන්ගෙ උදව් ඕනා වැරදි හදා ගන්න. ඇත්තටම මම හෙන ලැජ්ජාවෙන් ඉන්නෙ සිංහල හරියට බැරිවීම ගැන.

      මේ හරිය ගැන කිව්වොත්, මීරිගම ඉඳලා වරකාපල පාරෙ එනකොට දන්නවද මොණරානටන ගල කියලා එකක් තියනවා ? ඒක පහු කරගෙන ටික දුරක් යද්දි හම්බෙනවා පාලමක්. මට මතක විදිහට ඔය හරියෙ තිඹුණා ගොලු මඩමක් හරි ඒවගේ මොකක් හරි එකකුත්. ඔය පාලම පහු කරලා ටිකක් දුර එනකොට තිබුනා ඖෂධ උයණක් එහෙම වම් පැත්තෙ.. ආන්න ඒ හරිය තමා තැන. කියන නමනම් හරියටම දන්නෑ.. ඇඩ්‍රස් එක තියෙන්නෙ සුදු කන්ද කියලා.

      Delete
    2. ආ දැන් හරි ...සුදු කන්ද...ඒ ගොලු මඩම නෙවෙයි මහලු මඩම...පාරට කියන්නෙත් මඩම පාර කියල නොවැ...අපි තව ගොඩක් දුර ගියා ඒ කියන්නෙ තව හැතැප්ම හත අටක්

      Delete
    3. තව හැතැම්ම හත අටක් ?? ඵ් කියන්නෙ ගම සෑහෙන විශාලය්. මට කවදාවත් සම්පූර්ණයෙන් ගමේ අැවිදින්න් ලැබිලා නෑ. වලව්ව තියෙන්නෙ ඔය හරියෙ වෙන්න ඔ්නා.

      Delete
    4. සෙන්නගෙ සීයලගෙ ගෙවල් පහුකරල තවත් හැතැප්ම කීපයක් ආවහම තමයි වලව්ව හම්බවෙන්නෙ...අපි එතනම තියෙන බෝතලේ හන්දියෙන් දකුණට හැරිල තමා අම්මලගෙ ගමට යන්නෙ

      Delete
    5. හැලප අයියා,

      ස්තූතියි. මට ඔය හරිය ලාවට වගේ මතකයි.

      Delete
  6. අදනම් ඉවර කරලා තියන හැටි ජාති...!!
    මේ කතාවේ හිතයන තැන් ගොඩක් තිබුනත් අර වතුර ගේන වැඩසටහනට තමා මට මතක හිටියෙම..ඔය පොඩි පොඩි බාජන වල ඉඳන් කලයයි බාල්දියි දක්වා විකාශනය වෙන දිර්ඝකාලීන වතුර ගේන වැඩ සටහනකට මමත් සහබාගි වෙලා තියනවා අප්පා..!!

    දැන් නම් සින්ක් එකේ ටැප් එකෙන් වතුර එනවා දකින වාරයක් පාසා මට ලොකු සතුටක් දැනේනවා!!

    ReplyDelete
    Replies
    1. ජාතිද ඈ.. ස්තූතියි..

      ඔන්න ආයෙත් අතීතෙට යන්න පටන් අරන්.. අර ඩිස්ක්ලේමර් එක මේකට වලංගුයි ඈ.. මගෙන් එහෙම ගමන් ගාස්තු ඉල්ලනවා නෙමේ හරිය ? :D

      පයිප්පෙන් වතුර එන එක ලේසි වුනාට කිසි ගතියක් නෑ නේද ?

      Delete
  7. බෝතලේ කිවුවම අපිත් හිනා උනා. !! හැමදාම නුවර පාරෙන් යනකොට බෝතලේ හන්දිය (හැරෙන තැන) ඉස්සර බස් නවත්තන හෝටලයක් තිබ්බා.
    සෙන්න ලියන මේ කතාව එකතු කරලා පොතක් කලත් වටිනවා.. රසය උපරිමයි ඔය පරිසරය අත්දැකපු මට නම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් අයියා. "ඔය පරිසරය" කිව්වෙ මේ හා සමාන පරිසරයක් කියන එකද නැත්නම් සරත් අයියත් බෝතලේද ?

      පොත් ගැහිල්ලනම් හරි යන වැඩක් නෙමේ.. හෙහ් හෙහ්.. :D

      Delete
  8. සුපිරියි සෙන්නා, සුපිරිම සුපිරියි... උඹ මේ වගේ ටැලන්ට් එකක් හංගගෙන අර හැමදාම විකියෙන් කතා අරන් පරිවර්තනය කරන්නෙ..

    පුංචි කාලෙ අම්මලෑ ගමේ ගියාම අපි උදේට මූණ හෝදන්ට යන්නෙ පීල්ලට.. පුංචි අම්මා ඔය කිවුවා වගේම කළයක් අරන් තමා එන්නෙ, එන ගමන් වතුර එකක් අරන් එන්ට කියලා..

    පලි: අඩේ මාත් දන්තාමුක්ත කාලා තියෙනවා.. දත් මදින්න කියලා ගන්න පළමුවෙනි අහුර බඩේ, දෙවෙනි අහුරෙන් තමා දත් ටික මදින්නෙ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බූරා.. ගොඩාක් ස්තූතියි.. එතකොට විකී වැඩේ එපාද බන් ? මේක කොහොමත් තව කතා දෙකකින් විතර ඉවර වෙයි.. ඊට පස්සෙ ලියන්නෙ මක්කද :(

      ඔන්න මාත් එක්ක දැන් තුනායි.. තව දත් කුඩු / බේත් කාපු අය ඉන්නවනම් අත උස්සන්න. :D

      Delete
    2. //කොහොමත් තව කතා දෙකකින් විතර ඉවර වෙයි.. ඊට පස්සෙ ලියන්නෙ මක්කද//


      ඇයි බන් සෙන්නෝ, දැන් ඉහ නිකට පැහිච්ච කාලෙ නේද?? :P ඕන තරම් සුන්දර මතක් ඇතිනෙ :D

      Delete
    3. තිළිණ,

      මම මේ වෙනසකට මේවා ලිව්වට මචන් මේවයෙ ඉතින් කාටවත් ප්‍රයෝජනයක් නෑනෙ බන්. කියෙව්වා, රසවින්දා ඉවරය්. අරවා එහෙම නෙමේනෙ බන්, කවදා හරි, කාට හරි ප්‍රයෝජනයක් තියෙය්නෙ.

      Delete
    4. @ සෙන්නා,

      අනේ බං, ඒ වගේ කතා ලියන්ට එපාය කියලා කියනවා නෙවෙයි.. මාත් ඒවට මාර ආසයි.. ඒත් බලපං, උඹේ මේ ටැලන්ට් එක.. බලපං අද කතාවෙ මහ ලොකු සිදුවීම් ගොඩක් නෑ නෙ.. උඹ උදේ නැගිටලා, මූණ කට හෝදලා, කිරි එකක් බීලා, එහාට මෙහාට වැනි වැනී ඉන්නවා විතරයි.. ඒත් ඒ ටික උඹ කොච්චර ලස්සනට විස්තර කරනවද අපට චිත්තරූප මැවිලා පේන ගානට.. ඒ ටැලන්ට් එක හැමෝටම නෑ බං.. ඉතිං ඒක නිසා ඒක අපතේ යවන්ට එපා.. විකියෙ කතාත් ලියහං, මේ වගේ කතාත් ලියහං.. බලපං, කී දෙනෙක් ආසාවෙන් මේවා කියවනවද  තම තමන්ගෙ අතීත විස්තරත් මතක් කරනවද කියලා..

      Delete
    5. බූරා, තේරුණා මචෝ තේරුණා...දිගටම ලියමි. ස්තූතියි බන්. උඹ ඔය කිව්වම තමා මටත් මීටර් වුනේ මේකෙ සිදුවීම් ගොඩක් නෑ කියලා බන්.

      Delete
  9. හා හා! කෝ බං චිත්‍රේ?

    හා හා! කෝ බං සිත්තරේ? කම්මැලි වෙලා නේහ්?

    උඹ මේ විස්තර කියනකොට මට මතක් වෙන්නේ නවගමුවේ (දේවාලේ තියෙන නවගමුවේ තමයි) තිබ්බ අපේ තාත්තගේ මහ ගේ. ඒකත් ඔය වගේ තමයි මට පේන්නේ. ඒකෙත් ඔය වගේ රට උලු හෙවිල්ලපු වහලයක් තියෙන අර ඉස්පිරිතාලවල වගේ දිග කොරිඩෝවක් තියෙනවා කුස්සියට යන්න. කුස්සිය එච්චර ඈතින් හදන්නේ දර ලිප් වල උයන නිසා දුම ගෙට එනවට. උඹ කියන ඩබල් ඩෙකර් දුමක් ඒකෙත් තිබ්බා තමයි.

    ඔය සාලේ එල්ලලා තියෙන ෆෝටෝස් ගැනත් කතාව ඔය ලෙසමයි. අපේ අම්මගෙයි තාත්තගෙයි මගුල් ෆෝටෝ එක ඇතුලුව තවත් ඒවා. අර මී හරක් අං තට්‍ටුව වගේ ‍රැවුල තියෙන ජේමිස් වෙදමහත්තයා නොහොත් තාත්තගේ තාත්තා. ඔක්කොම බලා ඝිටියේ මා දිහා. මම සාලේ එක එක තැනට ගිහින් බලනවා. තාත්තයි අම්මය් නම් මා දිහ බල ඉන්නේ ආදරෙන්. මම කවදවත් නොදැකපු ආතා මා දිහා බලා ඉන්නෙඔ ඔරවගෙන. මට එච්චර ඇල්ලුවේ නෑ එයාව නම්.

    එතකොට අර බෝතලේ කතාව. ඒකත් මට පොදු දෙයක්. තාත්තා නවගමුවේ වුනාට අම්මගේ ගම කැළණි ග‍ඟෙන් මෙහා පැත්ත. දැනුත් අපි පදිංචි වෙලා ඉන්න කොළඹ ඉඳලා විනාඩි හතලිස් පහක දුරින් පිහිටි මේ අම්මගේ ගමේ නම කිව්වාම හැමෝම හිනාවෙන ගතියක් තියෙන නිසා මම මෝඩ කාලේ ඕක කියන්නේ අකමැත්තෙන්. නමුත් දැන් ඒක මෙතන නොලියන්නෙ පෞද්ගලිකත්වය යම් තාක් දුරකට ආරක්ෂා වෙන්න ඕනෙ නිසයි. නමුත් මේ ලෙඩේ හුඟ දෙනෙකුට තියෙනවා.

    හිනාම යන කාරනාව මේ කොළඹට තදාසන්නයේ පිහිටපු ගමේ නම ඇහුවම වැඩියෙම හිනාවෙන අයගෙ ගම් තියෙන්නෙ කිලෝමීටර් සියගානක් ඈත අර ඒ දඬු, වැල් පාලං, කඳු තරනය කරලා ඉටි පන්දම් පැකට් එකහමාරක් දුර යන්න ඕනෙ තැන් වල. :))

    ReplyDelete
    Replies
    1. හෙන්රි ඔය අන්තිමට කියල තියෙන එක 100%ක් ඇත්ත.හද්ද පිටිසර ගම්වල අපි අද්දැකපු විස්තර රස කර කර කියද්දී ඒ ගම් කිට්ටුව ඉන්න දැන් කොළඹ බෝඩින් හෝ පිටරට ඉන්න අය අහන්නෙ උඹ මෙච්චර විස්තර දන්නෙ බස් කොන්දෙක්ද කියල අපිට කින්ඩිය දානව.

      Delete
    2. ඩූඩ්ට කියන්න ඩූඩේ මේකට චිත්‍රයක් අඳින්න ගිහින් ආයෙ මට ඒත්තු ගැන්නුනා මට චිත්‍ර ඇඳීමේ හැකියාවක් නෑ කියලා. මේකට මම එකක් ඇන්දා.. අර පඩිය උඩ ඉඳන් උඩ බලාගෙන ෆොටෝ ටික දිහා බලන් ඉන්න විදිහ.. වැඩේ හරියට ආවෙ නැති නිසා පොඩි කරලා විසි කරලා දැම්මා.. ආයෙ එකක් අඳින්න වෙලා තිබුනෙ නෑ..

      ඩූඩ් ඔය කතා ඩ්‍රාෆ්ට් එකේ තියනවා කිව්වා නේද ? ඩෙනිම් ගත කරමු නේද හුදී ජන පහන් සංවේගය උදෙසා.. :D

      ඩූඩ් / කෙන්ජි,
      ගමේ නමට හිනා වෙන එකත් එහෙනම් හුඟ දෙනෙකුට බලපාපු පොදු ප්‍රශ්ණයක් ඈ.. මම හිතුවෙ අපිට විතරයි කියලා... කොමිටියක් පත් කරන්න වෙයිද ?

      Delete
    3. අන්න උඹ වරද්දගත්ත තැන. උඹට හැකියාව තියෙන බව උඹ දන්නේ නෑ. මමත් ඕන තරම ඇඳලා ඉරලා විසික්කරලා දානවා. උඹ ඔය චිත්‍ර ශිල්පියාව මරා දාන්නේ හෙම නෑ ඕං.

      ඉතිං ඒක අමාරුනම් ඇඳපංකෝ ලිඳ ලඟ සීන් එකක්. අර වතුර ගේන එක හෙම.

      Delete
    4. බලමු ඩූඩෙ.. එකක් අඳලා එල්ලන්න.. ස්තූතියි චිත්‍ර ශිල්පියා වෙනුවෙන් පෙනී සිටියට ඈ.. මම මේ උගෙ බෙල්ලට අත තියන් හිටියෙ..මිරිකනවද නැද්ද කියලා හිත හිත.. :D

      Delete
    5. ඔය තියෙන්නේ බං, ඔය තියෙන්නේ. නිකං බොරුවටනේ උඹ බර බර ගෑවේ.

      මේක දැකලා දීපත් කිව්වා මේ කොල්ලටත් ලස්සනට චිත්‍ර අඳින්න පුලුවන් කියලා.

      ඒක නෙවෙයි. මේ ළිඳට ගිහින් එනවා නම් මොනවද බං අර හත‍රැස් බෑග් වගේ උස්සගෙන යන ඒවා?

      Delete
    6. හැක් හැක්.. හැක්... හතරැස් බෑග්.... :D :D

      ඒවා වතුර කෑන් බන්ස්...හම්මෝ.. බඩ... හැක් හැක්.. =))

      දෙන්නටම ස්තූතියි ඈ චිත්‍රෙ රස වින්දට...

      මට තාමත් හිනා...:D කෑන් ඇන්දට හරි ගියේම නෑ බන්... මම බය වුනේ උඹලා පාන් කියලා හිතයිද දන්නෑ කියලා.. =))

      Delete
    7. අම්මා ගහයි කී බෝඩ් එකෙන් කිව්වලු! යකෝ මම හිතුවේ සූට් කේස් කියලා. ඉතින් බං ඒවයේ පළල පොඩ්ඩක් අඩු කරා නම් හරිනේ. :D

      Delete
    8. මට මතක තිබ්බෙ ඒ කෑන් හෙන පළල ඒවා වගේ බන්.. :D

      Delete
  10. හරිම සුන්දර අතීතයක් සෙන්නා...ඔය මතකයන් වල සමහර තැන් මටත් සමීපයි...ඉස්සර අපේ ගෙදරට යාබදව තිබුනු නිවසේ වයසක ජෝඩුවක් කිරි හරක් ඇති කලා...එය වගේ එළකිරි බෝතලයක් හැමදාම උදේට අපිට නොමිලේ ලැබුනත් ඒවායෙ තියෙන අමුතු රස නිසා අපි බොන්න කැමති වුනේ නෑ...ගෙදර හිටිය පුංචි බලු පැටියා නම් ඒවා බොන්න බොහොම මනාප උනා. අන්තිමට ඒකා පිපිරෙන තරමට මහත් වුනා පුංචි කාලෙම කිරිම බීලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා, අතීතේ කාල් ගානකොට එදා එච්චර නොවටිනා අත්දැකීම් අද හරි අපූරුයි කියලා හිතෙනවා. ඒවා අනිත් අයගෙ මතකයනුත් අවුස්සවන බවක් තමා පේන්නෙ.

      Delete
  11. මමනම් පුංචිම කාලේ උදේම ලිප ලඟට ගිහින් රබර් දර කෑල්ලක අඟුරු කැටයක් හොයාගන්නවා. (දැන් රබර් ලී වලින් 'අගනා ලීබඩු' හදන නිසා දරට දාන්නවත් රබර් ලී නැහැ) අඟුරු කෑල්ල කඩදාසියක ඔතලා, කඩදාසිය බිම තියලා, මිටියෙන් තලලා, අඟුරු කුඩු හදාගන්නවා. ඒවාගෙන් තමයි දත් මැද්දේ. ඔයා කියන විදිහටම අදනම් ලිඳට, වැසිකිළියට (වල කක්කුස්සිය) යන්ඩ ත්‍රිරෝද රථයක් ගන්ඩ වෙනවා. එච්චර දුරයි. වැස්ස දවසට හරිම දුකක්. ඉස්කෝලෙට හැතැම්ම තුනක් පයින් යන්ඩ වෙනවා. ඊට පස්සේ ආවා ඉන්දියාවේ හදපු 'ගෝපාල් දත්කුඩු' හයේ පන්තියට ලොකු කොලීජියකට ගියාට පස්සේ තමයි පෙප්සොඩන්ට්, කෝල්ගේට්, වැනි විදේශීය දත්බෙහෙත් යොදලා දත් බුරුසුවෙන් දත් මැද්දේ.

    සෙන්නා, මේ තොරතුරු පුංචි පොතක් ලියන්න තරම් වටිනවා. ඒ ගැනත් සිතා බලන්න. මේ සුන්දර ගැමි පරිසරය විඳගන්න ඔබත් මමත් පින් කරලා තියනවා. අද අපේ දරුවන්ට අව්‍යාජ ගැමි පරිසරයක් පෙන්වන්න කොහෙවත් නෑ. කුඹුරේ ඉඳලා මොකද 'ලන්ච් එක' (ඇඹුල කිව්වේ අපේ කාලේ අනේ) පරක්කු කියලා අහන්නේ 'ජංගම ෆෝන් එකෙන් හෙවත් මොබයිල් දුරකතනයෙන්' නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක මහතා,

      අගුරු අපිත් භාවිතා කරලා තියනවා. හනසු පුච්චලා ගත්තු අලු, ලුණුත් එක්ක කළවම් කරලා තමා අපි බෝතල් වල දාලා පාවිච්චි කළේ. ඒවයින් මාර විදිහට දත් සුදු වුනා.

      සීයලෑ තිබුනෙත් වල වැසිකිලියක් තමා.. ඒ ගැනත් ලියන්න ඕනා..

      අදනම් ඔය කියන විදිහටම හැමදේම වෙනස් වෙලා තමා.. මොනවා කරන්නද ඒ වෙනස පිළිගන්න එපැයි.. ලෝකෙ කැරකෙනවා නොවැ..

      Delete
    2. රෑට කක්කා බරක් හැදුනොත්, කුප්පි ලාම්පුවත් අරං අම්මා එක්ක තමයි යන්නේ. අම්මා මදුරුවෝ තල තලා එළියේ ඉන්නවා, 'ඉක්මනට එන්ඩ ළමයෝ' කිය කියා.

      Delete
    3. ඔව්නෙ, අපිටත් ඔහොමම වෙලා තියනවා.... :D

      Delete
  12. නියමෙට තියෙනවා. බොලා නැන්දා පස්සෙන් වැටිලා අඩුම කුඩුම උස්සන් පාරවල් වල හැරි හැරි ගල් ඇනි ඇනි යන හැටි මැවිල පේනවා.. රහයි ඈ...

    ReplyDelete
    Replies
    1. තැන්කිව් දේශා. රහයි කිව්වේ මොන රහයිද ? ලුණු, අැඹුල්, පැණි ???? :D

      Delete
  13. නයි කයිද රෝස් පාන් කීවලු. හී හී...

    ReplyDelete
    Replies
    1. පොඩි කෑලි දුන්නොත් කය් කිව්වලු... හැහ් හැහ් :D

      Delete
  14. නියමම නියමයි සෙන්නෝ.....
    අනේ සෝයි එකට ලියල අනේ ඔයා....
    ආසාවෙන් කියෙව්වා....
    ලස්සන ළමා කාලයක්නේ......
    මට මැවිලා පෙනුන..... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතිය් සමනළී. මේක නිසැදසක්ද ? :D

      Delete
    2. ඒ වගේද.... :-?
      හික්.... :P

      Delete
  15. සෙන්නා ලියලා තියෙන විදියට මටත් මේක මැවිලා පෙනුනා...:)

    ඇත්තෙන්ම්ම අර චිත්‍ර ශිල්පියව මරා දාන්න එපා කියලා හෙන්රි අයියා කිව එකට මමත් එකගයි...g-)

    ReplyDelete
    Replies
    1. ස්තූතිය් මනෝජ්. නෑ නෑ උෟව මරන්නෑ.. :D

      Delete
  16. ජාති ලිවිල්ලක්නෙ සෙන්නෝ.... :D :D

    //ඔය මොකෑ කොරන්නෙ ?// හික්ස්.. කැම්පස් යන කාලෙ කුරුණෑගල, ගම්පහ උන්ට ඇතිවෙන්න කින්ඩි දැම්මා ඔය (මොකෑ) වචෙනෙට. මක්කා කරන්නද ප්‍රාදේශීය විවිධත්වයනෙ.... :D :D

    ReplyDelete
    Replies
    1. ස්තූතිය් මචන්. මොකෑ නම් අපිටත් ටිකක් අමුතු වචනයන්. :D

      Delete
  17. //මම දවසක් බිම බඩ ගාලා වගේ ඔළුව දාලා බැලුවා. අම්මෝ මගෙ මුලු සර්වාංගෙම සීතල වෙලා මවිල් කෙළින් වෙලා මුළු ඇඟම මොනවද වෙලා ගියා ඒක දැක්ක//

    //ඔය දෙකටම වැඩිය මේක මරු. ආව් අප්පා කට සීතල වෙලා යනවා. මම එක සැරයක් ඇඟිල්ලට අරන් දෙතුන් පාරක් එහෙට මෙහෙට කරලා ගිල්ලා. අප්පා ඔක්කොම නිකන් කූල් වෙලා ගියා. හූස් ගාලා උඩට ඇද්දම තවත් සීතලයි. මරේ මරු.//

    // කොහේ හරි යන්න ගෙයින් එළියට බැස්සොත් අනිවාර්යයෙන් බයිසිකල් කරේ තියන් පල්ලම් බහින්න ඕනා.//

    //කුරුට්ට// අපි නම් කියන්නෙ සුරුට්ට කියල(පුවක් ගෙඩියෙ)

    පෝස්ට් එකේ මගෙ සිත් ගත් කොටස් උපුටලා දැම්මෙ...හරි ලස්සන අත්දැකීම් නිසා.

    මට දැන් හිතාගත්තෑකි උඹ ඕය කඳු ගැන..ගම ගැන එහෙම විස්තර දාපුවාම ආස වෙන්නෙ ඇයි කියල.

    අපේ ගෙදරත් කන්දක් උඩ තියෙන නිසා ඕය බයිසිකල් කරේ තියන් යනකේස් එකතිබුන..අපි පොඩි කාලෙ. මට ඒක මතක උනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීයා..අත්දැකීම් විඳලා තියන අයට දැනෙනවා වැඩියි තමා. බයිසිකල් උස්සන් යන එකනම් පණ යන කේස් එකක් වෙන්නැති නේද බන් ?

      Delete
  18. අන්තිම චේද කීපය එක්ක තියෙන හැසිරීම් ටික නම් පුංචි එකෙක්ගේ හිතන පතන විදිහ ඒ විදිහටම තියෙනවා සෙන්නා.අර දුන්න කැඩුන කියන යෙදුම එහෙම හොඳටම හිතට ඇල්ලුවා මගේ..මම මේ ආවේ හිරුගේ සින්ඩිය හරහා..මෙච්චර කාලෙකට ආවට ෆලෝ කරලා තිබිලා නැහැනේ..දැනුයි දාගත්තේ..( ඔතොකොට මම මීට කළින් ආවේ කොහොමද )

    ලස්සනයි සෙන්නා..මමත් ඔය පළාතේ ටිකක් විතර ඇවිද්දා ... මට මංගල්ලෙකුත් හරි යාගෙන ආව... බැලින්නම් ඒ දරුවා මට වඩා සෑහෙන්න බාලයි ...අවුරුදුම 11...තව තව අතුරු කතා ගොඩක් තියෙනවා..මේක කියවද්දී මට මතක් උනේ පරණ පෙම් පුරණයක් මගේ. ඉස්සර අපේ පුන්චිලගේ වැට පැනලා තමයි ඒ දරුවා ඉස්කෝලේ යන්නේ.අපේ පුන්චිල දෙන්නම කියන්නේ

    " ළමයෝ , අර සීදේවි දරුවා "

    " ළමයෝ , අර සීදේවි දරුවා "

    " ළමයෝ , අර සීදේවි දරුවා "

    " ළමයෝ , අර සීදේවි දරුවා "


    " ළමයෝ , අර සීදේවි දරුවා "


    " ළමයෝ , අර සීදේවි දරුවා " කියලා...


    මගෙත් හිත තිබ්බා . නැත්තෙමත් නැහැ. අදටත් මම ප්‍රාන්තෙට බැස්සම එනවා කරළියට ඒ දරුවා.කොහොම හරි වෙච්ච දේවල් වල හැටියට ඒ කෙල්ල හරි අද යහතින් ඉන්න එක ගැන සතුටුයි ...:(


    අදටත් හිතට එනවා එයාව....

    ReplyDelete
    Replies
    1. හිතට අැල්ලුවනම් එ් මදැයි. මගෙත් උත්සහය හිතෙන් පොඩි එකෙක් වෙලාම ලියන්න තමා. මේ කමෙන්ට් එක දැකපුවම මට හිතුනෙ සහන්ගෙ අම්මගෙ ගම බෝතලේ කියලා. මම හරිද ?

      සහන්ට මේකෙන් සෑහෙන පරණ පෙම් පුරාණයක් මතක් වෙලා වගේ.

      Delete
    2. machan sinhala wadinne nathuwa giya...naha senna ape amma nam oya palathe newe.eya wenamama palathaka..punchi badala thamayi ohe giye.dan awurudu 20 withara athi...

      Delete
    3. හරි මචන් දැන් තේරුනා...

      Delete
  19. කලින් එක වගේම අපිව අතීතයට අරන් යනවා.ඔය වයසේදී මටත් ඕවා මැජික්!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අාපසු එ්මට ගමන් ගාස්තු නොගෙවනු ලැබේ... :D

      Delete
  20. ඇත්තටම ඔබ හරි ලස්සනට ලියනවා

    ReplyDelete
  21. ටූත් පේස්ට් කන එක හුඟක් පොඩි අය කරනව.. මාත් ඒ ගොඩේ තමයි. :)

    //අනිත් එක මෙහෙ මිනිස්සු බයිසිකල් පදිනවට වැඩිය තල්ලු කරන එක තමා කරන්නෙ.// අපේ පාරත් මෙ වාගෙ. බයිසිකල් "උන" හැදෙන කාලෙ හති දාගෙන කඳු ඔක්කොම පදිනව. අන්තිමට පපුවත් එක්ක දැවිල්ල හැදෙනවා. ඒත් ඉතින් ආසාව කොහෙ යයි ද.. :)

    …ලස්සන ලිවිල්ලක් සෙන්නගෙ..

    ReplyDelete
    Replies
    1. අපිට ඒ දවස්වල ටූත් පේස්ට් හෙන මැජික් චන්දන. ගමේ ගියාම විතරයි හම්බෙන්නෙ..

      අනේ අම්මෝ ඒ කඳුවල කොහොමද බන් උඹලා බයිසිකල පදින්න පුරුදු වුනේ.. මමනම් දවසෙන් වැඩේ අතෑරලා දායි..

      ස්තූතියි චන්දන..

      Delete
  22. මන් දැන් නරක ළමයෙක් වෙලා . හැමදාම පරක්කුයි . වැඩ වැඩියි අප්පා . සෙන්න තරහ වෙන්න එපා .


    හ්ම් කොතනින් පටන් ගන්නද මන්දා . එකම රස ගුලාවක් . බොහොම මිහිරි අතීතයක් ...වතුර බාල්දි අරන් කඳු පල්ලම් බද ගාපු හැටි නම් අපිටත් හොඳට පුරුදුයි . තාත්තගේ ගමේ නම් ගේ දොරකඩටම පිල්ලෙන් වතුර ගලා ආවා . අම්මගේ මහගෙදරත් යස අපුරු ලිඳක් තිබුණ . එකටත් එක්ක අපි හිටිය හැම ගෙදරකම වගේ ලින් එක්කෝ මහා ගැඹුරුයි . මෝටර් දාන්න කලින් කාලේ වතුර අදින එක ලොකු වැඩක් . නාන්න නම් වෙල් අයිනේ ලින් තිබුණ නානාප්‍රකාර ජාතියේ . එව්වට එක එක නමුත් තිබුණ . අපේ පැල්මඩුල්ලේ ලොකු නැන්දලා ගේ දිහා ගියහම නාන ලිඳ ගේ ළඟ . බොන ලිඳට කන්දකිනුත් බැහැලා යන්න ඕන . අපි හැමෝම ඔය වගේ වතුර ගෙනාව . ඒවා කලේ විනෝදෙන් . අද නම් මොන වදයක්දෝ කියලා හිතෙයි . හැබැයි අය්යල අක්කලා එක්ක නිවාඩුවට සෙල්ලම් කරන එක ඔය වතුර බාල්දියක් ගේන එකට වඩා කොච්චර අගේද ...

    ඔය පින්තුර අපි දිහා බලන් ඉන්න එක මටත් ඒ කාලේ ප්‍රශ්නයක් . දැන් කියල වෙනසක් නැහැ . අපේ චුට්ටි ඊයේ පෙරේදාත් කියනවා ..අම්මි මන් නම් මේ මොනාලිසාට පොඩ්ඩක් වත් කැමති නැහැ . මන් දිහාමයි බලන් ඉන්නේ කියලා ..

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙමත් තරහා වෙනවද..මිනිස්සුන්ට බ්ලොග් කියවනවට වැඩිය වැදගත් වැඩරාජකාරි තියන බව මම දන්නවා..

      ඔය ඇවිස්සිලා තියෙන්නෙ අතීතානුස්මරණය.. නරකද ලිව්වොත් එහෙම ?

      Delete
  23. පොඩ්ඩක් හිටු! බෝතලේ විස්කි කොනක ඉඳන් ඇදලා අරින්න. (අදනම් අමාරුයි :D)

    ReplyDelete
    Replies
    1. යකෝ මුන්ට විස්කි ටිකක් පොවා ගන්න තියන අමාරුව.. :D තොට ඉතින් බාලගිරි දෝසෙනෙ.. හෙටවත් බොන්න පටන් ගනින්..

      Delete
  24. ලියලා තියන විදිය එලම කිරි. ආයේ දෙකක් නැහැ.

    බෝතලේ කියන නම මම අදමයි ඇහුවේ :) ඒ ටික ලියල තියන විදියනම් මරු. දත් කුඩු පැකට් මටත් මතකයි ඉස්සර තිබුනා. මාර රහයි ඒවා.

    අර වරන්ඩා එක ගැන කියපු ටිකේදි නම් මගේ මොලේ ටිකක් කොලොප්පම් වෙලා ගියා..

    හයියෝ දැන් මම හැමදාම එන්නේ පරක්කු වෙලා.

    ReplyDelete
    Replies
    1. එළ කිරි බොන හැටිනෙ ලියලා තියෙන්නෙ, ඒකයි.. :D

      මොකක් කිව්වා !? ජාතියෙ පියාගෙ ගම අදමයි ඇහැව්වෙ කිව්වා ? :-O අනේ මෙහෙමත් ඉතිහාස මිස් කෙනෙක්.. මේකිට සීනි දාලා වෙඩි තියන්න එපැයි..

      ඇයි ඒ කොලොප්පම් වුනේ ?

      කිසි පරක්කුවක් නෑ. බින්දිට කියපු එකම ඔයාටත් කිව්වා එහෙනම්..

      Delete
  25. ලියවිල්ලනම් කියල වැඩක් නැහැ. සිරාම සිරා..

    හැමදාම වගේ අදත් පරක්කු වෙලා ආව ඉතින්.

    මාර දුෂ්කර ගමනක් නේ තියෙන්නේ .අර වතුර ගෙන්න යන විදිය කියද්දී එපා වුනා. මොකද ගල් කකුලේ අනෙනවට මම කොහෙත්තම ආස නැහැ.

    අපිටත් ඉස්සර දුන්නේ දත් කුඩු.දවල් දවසේ කන වෙරළු ගැට එනම් මනම් නිසා SR වලට දත් සුදුවෙන්නේ නැහැ ලු. අගුරුවලින් දත් මඩල සුදු උනාම දත් කුඩු දෙනවා.ඊට පස්සේ SR දෙනවා. එපා වෙනවා උදේ පාන්දර තුන් සැරයක් දත් මදින්න වුනාම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසරණයා.. උඹ අධික බිසි වගේ නේද ? අවුලක් නෑ බන් පරක්කු වුනාට..කොහොම හරි ආවනම්.. කමෙන්ට් දාන්න වෙලා නැත්නම් නොකළත් අවුලක් නෑ බන්.. එහෙම කමෙන්ට් නොකළා කියලා තරහ වෙන්නෙ නෑ.. :D

      මටත් ඉස්සර එහෙ ගිහින් ගල් ඇනෙනකොටනම් තරු පේනවා බන්.. ඒත් කරුමෙ කියන්නෙ හැමදාම සෙරප්පු දෙක අමතක වෙනවනෙ බන්.. :(

      පුදුම වදයක්නෙ බන් උඹලට හම්බෙලා තියෙන්නෙ ! තුන් පාරක් දත් මදින්න..!!?

      Delete
    2. ලොකු පංති වලට යද්දී එක දක්කවා අඩු වුනා. එනම් මනම් කන්නේ නැහැ නේ ඒ කාලේ.

      Delete
  26. [im]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg[/im]

    ReplyDelete
  27. කෙන්ජි ඇතුලු පවුලේ සැමටද සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!

    ReplyDelete
  28. "මේ කුස්සියෙ තියනවා මහා දුමක්" දර ලිපේ උයන හින්දා වෙන්ඩැති. ගෑස් ලිපේ දුම් නෑනෙ.. :)

    කොළොම්බුවක් ?? :-?

    "මූණ හෝදන්න යන්න ඕනා කඩේ අයියලෑ වත්ත පහළ ළිඳට." එතකොට ගෙදර තිබ්බ ගැඹුරු ළිඳ මොකටද පාවිච්චි කළේ? අපේ තාත්තගෙ පුංචෙක්ගේ ගෙදරත් ඔය වගේම ළිඳක් තියෙනවා.. අම්මෝ බලන්නත් බයයි.. අඩිය පේන්නෙත් නෑ..

    දත් කුඩු වලින් ජීවිතේට මැදලා නෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඔතන "දුමක්" කිව්වෙ ලිපෙන් එන දුමට නෙමේ හරී "දුම් මැස්සට". දැකලා තියනවද ඉස්සර ගෙවල් වල ලිපට උඩින් තිබුනා විශාල දුම් මැස්සක්. ලිපෙන් යන ඔක්කොම දුම් ඒකට වැදිලා තමා ඊට පස්සෙ එළියට යන්නෙ.. ඔය වේලන්න ඕනා ජාති, කරවල වගේ ඒවා ඔක්කොම තියන්නෙ දුම උඩ තමා. තව වලන් එහෙමත් තිබ්බා ඒක උඩ. ඉස්සර අපේ ගෙදරත් ඒකක් තිබුනා. හැබැයි සීයලෑ ගෙදර තිබුන එක ඊට වඩා මහ විශාල එකක්. තට්ටු දෙකේ එකක්.. දුම් වැදිලා වැදිලම ඕවයෙ හැදෙනවා ජාතියක්.. ඒවට කිව්වෙ "අටුදුබුටු" කියලා.. ඔය පොඩි පොඩි කැපුම් තුවාල වලට බේත් දාන්න එහෙමත් ඒවා පාවිච්චි කළා වගේ මතකයක් තියනවා.

      කොළොම්බු කිව්වෙ පොඩි බංකු ජාතියකට.. අපිනම් කිව්වෙ බංකු කියලා ඒත් සීයලා කිව්වෙ කොළොම්බු කියලා.

      ඒ ලිඳ පාවිච්චි කළේ හරක්ට බොන්න වතුර දෙන්න, මල් පැලවලට දාන වගේ ඒවට.. ඒ ලිඳේ වතුර බොන්න පුලුවන් ඒවා නෙමේ..

      හරීලෑ කාලෙ වෙනකොට ටූත් පේස්ට් ආක්‍රමණය කරලා ඉවර ඇති එහෙනම්.

      Delete
  29. දියුණුව කියන එක අර්ථ දක්වන්න මටනම් තේරෙන්නෑ සෙන්නා.අපි ලයිට් නැතුව ඉන්න කාලේ ලයිට් ගන්නේ කවද්ද කියලා ඇඟිලි ගණන් කර කර හිටියා. දැන් ලයිට් යන්නේ කවද්ද කියලා බල බලා ඉන්නවා නිදහසේ එලියට බැහැලා තරු කැටයක් බලන්න. ඔයාගෙ කතාවත් එහෙම්මමයි. වාහනෙන් ගිහිල්ලා (හයි වේ එකෙන් කියමුකෝ) මිදුලෙන් බැහැලා, බාත් රූම් එකෙන් වොෂ් එකක් දාන් ඩයලොග් ටීවී එකෙන් මූවි එකක් බැලුවනම් අද කියන්න කතාවක් කෝ.....?

    ඔය වගේ දුෂ්කර පැති ගැන අපිට සැහැල්ලුවෙන් කියවන්න පුළුවන් වෙන්නේ සංචාරකයෙක් විදියට ඒ පැතිවල ගියොත් හරි එහෙම දුෂ්කර අතීතයක් ඉස්සර තිබුණා කියලා හරි කියන්න පුළුවන් කෙනෙකුට විතරයි. ඒත් ඔය අත්දැකීම් හැමදාම විඳින කෙනෙකුට ඔය කතාව ඔච්චර සුන්දර වෙයිද.....?

    ReplyDelete
    Replies
    1. ආ... පණ්ඩිත අකමා මට ඉස්සෙල්ලා කොටලා ගිහින් වගේ.

      උඹට විතරද දත් බෙහෙත් කුඩු කන්න පුළුවන්...? (අර උඩ අත් උස්සපු දෙතුන් දෙනා ඇරෙන්න) අපේ ගෙදර ටූත් පේස්ට් ගෙන්න අමතක වුණු දවස්වල (ඉස්සර හිතන් හිටියේ ගෙන්න අමතක වෙලා කියලා) පාවිච්චියට ගන්න කියලා පැරකුම්බා පැකට් එකක් ගෙනත් තියෙනවා. ඕකෙන් ටූත් බ්‍රෂ් එකට අරන් මදිනකොට.... ම්ම්ම්... අඟුරු වලටත් අපේ ගෙදර ඉඩක් තිබ්බා.....

      වතුර සීන් එකනම් අදටත් පායන කාලවලට ක්‍රියාත්මක කෙරෙනවා. හැබැයි දැන්නම් ත්‍රීවීල් එකේ.

      -----------------
      උඹට තව කාරණයක් කියන්නද..? (කාටවත් කියන්නෙපා . මගෙ හොඳ සුදු මාමනේ...)

      අපේ තාත්තගේ මහා ගෙදර ඉස්සර තනියෙන් කාමරෙන් කාමරේකට යන්නත් මාර බයයි දවල්ට උණත්. ඒ තරම් ගුප්තයි. මේකේ පලවෙනි කොටහ කියවන්න කලින් දවසෙ රෑ මං හීනෙනුත් දැක්කා ගොම්මන් වෙලාවේ තනියෙම ඉන්නකොට (ගේ ඇතුලේ ලයිට් ඔක්කොම දාගෙන වෙලත්) කාමරෙන් කවුද එනවා. මං දිව්වා දිවිල්ලක්. වත්ත පුරාම කැලේ හින්දා පාරට දවල්ටවත් අවුවක් වැටෙන්නෑ. ඉතිං ගොම්මනේ දුවනකොට.....

      Delete
    2. සිත්තරේ කලින් එව්වට වඩා එළ. කන්ද අංශක හැටයි. නැන්දගේ ගවුමේ හැඩතල හැටහුටහමාරයි. (එක අඳින්නත් දවස් ද්ව්කක්වත් යන්න ඇති නෙහ්...) සූට් කේස් එකත් එළ ඈ... :D

      -----------
      කථා ශෛලිය වගේම සිත්තරෙත් අපූරුයි. :-h

      ------------------
      ම්ම්ම්ම්... මං මේ කල්පනා කොලේ තව කියන්න අමතක උනේ මක්කද කියලා. ඒ මොකෑ කියන්නේ මොකක් හරි අමතක උණොත් ඒ මක්කෙයි කියලා ආයිත් කමෙන්ට් එකක් දාන්න වෙනවනේ.

      Delete
    3. යකෝ උඹත් කමෙන්ට් හැට හුටාමාරක් දාලනෙ.. කොහෙන්ද උත්තර දෙන්න පටන් ගන්නෙ කියලා මම මේ බැලුවේ... :-?

      මම හිතන්නෙ ඒවා හැමදාම විඳපු කෙනෙකුට මීටත් වඩා අද රසවත්ව දැනෙයි කියලයි බන්..අපි පොඩි කාලෙ විඳපු දුක් අද සිහි කරද්දි ඇත්තටම සතුටුයි බන් එහෙව් අතීතයක් තිබුන එක ගැන.. සියල් සපිරි එකක් නැතුව.. එහෙම උනානම් අද සිහි කරලා සතුටු වෙන්නවත් දෙයක් නැති වෙයි.

      නැන්දගෙ ගවුමෙ හැඩතල ටික අදින්න ගියේ පැය භාගයයි.. :)

      කථා ශෛලිය වගේම සිත්තරෙත් අපූරුයි කියපු එක ගැන මට සතුටුයි.. :D

      දත් කුඩු කාපු උන්ගෙ ලැයිස්තුවට ඔන්න උඹවත් දාගත්තා..

      උඹල වතුර අදින්නෙ කන්දක් උඩද ඉන්නෙ ? දැන්නම් ඉතින් හුඟක් පැති වලට ජා.ජ.ස.ජ.ප.ම. වතුර දෙනවා නේද ?

      මම කාටවත් කියන්නෑ.. උඹ බය වෙන්න එපා.. වැඩිම උනොත් ඒ ගැන කියලා පෝස්ට් එකක් දැම්මොත් මිසක්.. =))

      අවසාන වශයෙන් මට හිතෙන්නෙ උඹට නිවාඩු කියලා තමා..

      අකමා ඇතුලු පවුලේ සැමට ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!

      Delete
    4. ...//දත් කුඩු කාපු උන්//... මමත් ඔහොම ටයිප් කරලා ආයෙත් මැද්දට "බෙහෙත්" කෑල්ලක් දැම්මා. මොකද උඹට ඔය වගේ එකක් ඇතිනේ අපිව මස්තබාල්දු කරන්න. :D හූ... හූ..

      ඔක්කොමත් හොඳයි උඹ අර බිම පෙරලෙන එක තමයි දිරවන්නෙම නැත්තේ. දෙන්න හිතයි පයින් එකක් ඔහොම්මම රෝල් වෙලාම යන්න.

      අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙත් උඹ හරි කියලා. අද විතරක් නෙවෙයි හෙට ප්ලස් අනිද්දත්...

      -------------
      සෙන්නා ඇතුළු පවුලේ සැමටත්, විශේෂයෙන් පොඩි සෙන්නටත් ප්‍රීතිමත් වෙසඟකට ආසිරි!!!
      පොඩ්ඩා කූඩු එල්ලලා පිංතූර එහෙම එව්වේ නැතෙයි? (සමාවෙන්න ඕනි හිත රිදවන්නනම් නෙමෙයි ඇහුවේ)

      Delete
    5. =))


      මම නැති හින්දා පොඩි සෙන්ස්ට එච්චර ලොකුවට වෙසක් නෑ බන්. ලබන සැරේවත් දැනෙන්න දෙයක් කරන්න ඕනා..වෙසක් බලන්න යන්නත් කරු කුරු ගගා හිටියට ඉතින් හිතේ හැටියට යන්න බෑ නොවැ.. වෙන කාත් එක්ක හරි යනකොට..තාත්තලා ලඟ නැති හැම ළමයෙක්ටම ඔය ආනිසංසෙ තමා නේද ?

      Delete
    6. ඔව්වයේ ඇරියස් අල්ලන්න අනිවා උඹට පුළුවන්. ජයෙන් ජය!!

      Delete
  30. සෙන්නෝ හරිම රසයිනේ බන්. නොදැනුවත්වම අතීතයට ගියා.

    සෑහෙන දේවල් පොදුයි අපේ ගම් පලාත් වලට. වෙනසකට තියෙන්නේ ලිං වෙනුවට උල්පත් වතුර තිබ්බ එක...දුම්මැස්ස යට ලිග්ගල් වලින් දෙපැත්තෙන් තිබ්බ ලිප්බොක්ක තමා අප කාගේත් සිත් ගත්ත තැන. උදේට ඔතන සරමත් ඔලුවේ ඉදලා පොරවන්; ගිං තපින්ට අපි සියලු දෙනාම තුල තිබ්බෙ මාර තරගයක්. (මට තව චුට්ටෙන් අමතක වෙනවා අපේ අම්මාගේ හා තාත්තගේ ගම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෙලවරට වන්නට තිබූ සීතල ගම් බව කියන්න.)

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ගමේ හිතවතා,

      ස්තූතියි...අපිනම් පොඩි කාලෙ ගිනි තැප්පෙ කහල ගොඩවල් ගහලා උදෙන්ම නැගිටලා ඒවට ගිනි තියලා.. ඒ සීත කාලෙදි..

      Delete
  31. සෙන්නාගෙ පෝස්ටුව කියවද්දි මට මතක් උනා, පදවියෙ ගිය පාරක, එවෙලෙ දොවලා, වතුර යාන්තමින් දාලා, උණුකරලා දුන්න කිරි වීදුරුව. මාර රහයි. ඒ වීදුරුව බිව්වට පස්සෙ, කාලයක් තිස්සෙ nldb එකෙන් කිරි බොන පුරුද්ද අත්අරින්න සිද්ධ වුනා. (අපේ යාළුවෙක් කියනවා, nldb එකේ කොහෙහරි W අකුරකුත් තියෙන්න ඕනෙලු. මොකද කිරිවලට වඩා වතුර තියෙන නිසා)
    සෙන්නා ඉතින් තවමත් බෝතලේට ප්‍රේම කරනවද?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      දැන්නම් හුඟක් තැන්වල තියන කිරිවලට W එකක් දාන්න ඕනා තමා..

      පදවියෙ ගියා කිව්වම මතක් වුනේ 2003දි අපිත් පදවියෙ ට්‍රිපක් ගියා.. මැක්සා ආතල් එකක් අප්පා ගත්තෙ..ඒවයෙ ඉතින් හැමදේම නැවුම්, හැමදේම අවංකයි... වතුර කලවම් නෑ..

      එහෙම ප්‍රේමයක් නෑ ඩ්‍රැකී.. සුන්දර අතීත මතකයන් විතරක් තියනවා...එච්චරයි..( අනිත් බෝතල් වලට ප්‍රේම කරනවද කියලද ඇහුවෙ ? :D )

      Delete
  32. හරි ලස්සන ගැමි අත්දැකීමක්. චිත්‍රපටියක් වගේ විස්තර කරල තියෙනවා. චිත්‍රෙත් ලස්සනයි. නමුත් මටත් බූලි පෙනුනෙ සූට්කේස් වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිල් මානෙල්...හැක් හැක්.. සූට් කේස්... ඒක ප්‍රින්ටින් මිස්ටේක් එකක්... :D

      Delete
  33. "සෙන්නයි මමයි බෝතලේ ගියා මාව දාල සෙන්නා ආවා." ඔන්න ඕක එක දිගට කිව්වම ඉක්කාව නැත්තටම නැති වෙනවා.

    ඈ බං... අපිව ඔහොම දාල එන්න දුක නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ ඔන්න ඔහෙ පොඩ්ඩක් හිටහන් බන්...මොකෑ වෙන්නෙ පොඩ්ඩක් ඔහෙට වෙලා හිටියම ? :D

      Delete
  34. "මේක තමා නාන ළිඳ. නිල් කැටේට වතුර. හැමදාම කට ගාවටම වතුර. පුංචි අපිටත් ලණුවක් නැතුවම බාල්දිය දාලා වතුර ගන්න පුළුවන්."
    අපෙත් ගමේ මෙහෙම ලං තියනවා ගොඩක් ගෙවල් වලට එයාලගෙම කියල ලිං තියනවා සමහරු මෝටර් දාලා වතුර ගන්නවා මමත් පොඩිකාලෙ අප්පච්චිට කියවනා අපිටත් මෝටරයක් අරගමු කබෙන් අදින්න බැහැනේ කියලා
    සමහර විට මගේ ලමා කාර්මික විප්ලවීය මනස නිසා වෙන්න ඇති :) :) කොහොම උනත් අපි තාමත් ආසි එ පරන අතීතෙට ගිහිං ලිදෙං වතුර ඇදල බොන්න නාන්න එහෙම

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog