Saturday, September 29, 2018

මං ගත්තු ටික....

ඉවර වෙන්න දවසක් තියලා යන්තම් ප්‍රදර්ශනේට ඔළුව දාගත්තා. මේ තියෙන්නෙ මම ගත්තු ටික. තව ගොඩක් දේවල් ගන්න ඕනෑ කම තිබුනත් පර්ස් එක රවපු නිසා ලබන වාරෙට කල් දාලා හිත හදා ගත්තා..


"එදා හෙළ දිව" මට මතක විදිහට මම පොඩි කාලේ පුස්තකාලෙන් කියවපු පොතක්. මගේ පොත් එකතුවට ඕන නිසා ගත්තා. ආයෙ හිමීට කියවලා බලන්න ඕනා.


"වැනීසියේ වෙළෙන්දා" කතාව එහෙන්, මෙහෙන් අහලා තිබුනට මට කවදාවත් පිළිවෙළකට කියවන්න ලැබුන එකක් නෙමේ. මේකනම් සංක්ෂිප්ත අනුවර්තනයක් ද කොහෙද! ඇත්තටම මේක ගත්තේ පුතාට.


"බැද්දේගම" ත් කවදාවත් කියවන්න ලැබුන නැති පොතක්. එක නිසා අරගත්තා.


"සාරභූමි" ත් පොඩි කාලේ පුස්තකාලෙන් කියවපු එකක්. කුඹුරු වැඩ කරන චීන ගොවියෙක්ගේ කතාවක් කියලා ලාවට මතකයක් තියනවා. ආයෙ කියවන්න ඕනා. එක අතකින් කියවපු පොත් අමතක වෙන එකත් හොඳයි. ආයෙ ආයෙ කියවන්න පුළුවන්නේ එතකොට. හෙහ් හෙහ්..

"සැමීගේ කතාව" මට අලුත් පොතක්. මේකෙන් හදපු චිත්‍රපටියේ රඟපු ජගත් චමිලට සාම්මානයක් ලැබුනා මතකයි. ලඟදි සහභාගි වෙච්ච ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනකදි මේ පොත ගැන ප්‍රශ්නෙකුත් තිබුනා. ඒක නිසා ගන්න ඕනා කියලා හිතුනා.




"පිච්චමල" පොත් අටම දැනටමත් මා ගාව තියනවා. අර මගේ බහුබූත ගැටලුව විසඳපු "බුරතීනෝ" තමන්ට හිමි ත්‍යාගය කාට හරි  දෙන්න කියුවනේ. මේක ගත්තෙ ඒකට. මනුසත් දෙරණ සිපිරිගෙට පොතක් වැඩසටහනට දෙන්න කියලා. ඒත් කාලය හරස් වෙච්ච නිසා මට ඉක්මනට එන්න වුනා. දැන් මේක දෙන්න වෙන කෙනෙක්/තැනක් බලන්න ඕනා.













නිමන්සා ප්‍රකාශකයෝ චිත්‍රකතා පොත් සෙට් එකක්ම ගහලා තියනවා. ඔය තියෙන්නේ මම ගත්තු ටික. තව මහ හුඟක් තිබුනා. ආර්ථිකේ හරස් නොවුනනම් තව ටිකක් ගැන සළකලා බලන්න තිබුනා. ඒ ටික දැක්කම නිකං පරණ යාළුවො වගයක් දැක්කා වගේ හැඟීමක් ඇති වුනේ. හෙහ් හෙහ්..





උඩ තියන පොත් දෙක ගත්තේ පුතාට.

මේක නිමන්සා එකෙන් නොමිලේ දුන්නේ. සතුට පත්තරේනේ කියලා බොහොම ආසාවෙන් අරගෙන ඇවිත් බැලුවම තමා දුකක් දැනුනේ. අනුර ශ්‍රීනාත් මහජන බැංකුවට විකිණිලා තියන විදිහ දැකලා පොඩි දුකක් දැනුනා හිතට. ඒත් ඉතින් අපි බණ කිව්වට ඒ මිනිස්සුන්ට කන්න අදින්න දෙන්නේ නෑනේ. වරදක් කියනන් බෑ. 

මේ පත්තරේ තනිකරම තියෙන්නේ අනුර ශ්‍රීනාත් ඇඳපු, ලියපු කෙටි කතා. හැබැයි ඒ ඔක්කොම මහජන බැංකුවේ වෙළඳ දැන්වීම්.

ඊළගට තියන ලොකුම අභියෝගය පොත් අරන් ගිහින් ජීවිතේට ආපහු නොදෙන, ඒවා තමන්ගෙ පොත් වගේ වෙන වෙන අයට බෙදලා දෙන උන්ගෙන් මේවා පරිස්සම් කරගන්න එක.




ලියුවේ:
සෙන්නා / 29.09.2018


Monday, September 24, 2018

ස්වයංක්‍රීය ජල සැපයුම් මාරුකරනය (a DIY project)



24.09.2018


අපේ කුඩා කාලයේදී නිවසට ජලය සපය ගත්තු ප්‍රධාන මාර්ග දෙකක් තිබුණා. මාර්ග දෙකක් කිව්වට ඒ දෙයාකාරයක් ගත්තු එකම විදිහේ ජල සැපයුම් මාර්ග. ඒ, බොන ළිඳ සහ නාන ළිඳ. බොන ළිඳ විශාල ගැබුරකින් යුක්ත රවුම් හැඩයට නිර්මාණය කෙරිච්ච, දෙපැත්තෙන් කණු දෙකක් උඩට ගිහින් මැද්දෙන් බොලොක්කයක් සවි කෙරිච්ච, බාල්දියක් සහ කඹයක් සහිත සාම්ප්‍රදායික ළිඳක්. ගෙදර බීමට සහ ඉවුම් පිහුම් කටයුතු වෙනුවෙන් ජලය සම්පාදනය කරගන්නේ මේ ලි‍ඳෙන්. ලි‍ඳෙන් කළයට පුරව ගන්න වතුර තමා නිවසේ ප්‍රයෝජනයට ගන්නේ. ඉඳලා හිටලා වතුර බාල්දි හත අටක් ඇදලා ඇඟට හලා ගන්න එකත් මේ ලි‍ඳෙන් නොවුනාම නෙමේ. සිංහල අවුරුද්දට ගනු දෙනු කෙරුණෙත් මේ ළිඳත් එක්ක තමා.

එතකොට දෙවෙනි ළිඳ තමා නාන ළිඳ. එතරම් ගැඹුර නැති, වැසි කාලයට අතින් ගත්තු පනිට්‍ටුවෙන් කෙළින්ම වතුර ඇදල ගන්න පුළුවන්, නියං කාලයට වැඩිම වුණොත් මීටරයක් විතර කෙටි කඹ කෑල්ලක් ඕනෑ වෙන, හත‍රැස් හැඩයෙන් යුක්ත මේ ළිඳ පිහිටලා තිබුණේ වත්ත පල්ලෙහාට වෙන්න. නෑම සහ රෙදි සේදීම යන කටයුතු ඔක්කොම කෙරුණේ මේ ලි‍ඳෙන්. වතුර පනිට්‍ටු විස්සක්, තිහක් ඇඟේ හලාගෙන මේ ලි‍ඳෙන් නාපු නෑමේ තියන සනීපය, කාක්කො නානවා වගේ Bathroom Shower එකෙන් නාලා ජීවිතේට ලබන්න බැරි බව, ඒ වගේ ළිඳකින් නාපු/නාන අය හොඳටම දන්නවා ඇති.

කාලයාගේ අවැමෙන්, පුංචි ඉඩම් කට්ටි වලට කො‍ටු වුණාට පස්සේ ලිඳ කියන සංකල්පයට ආයුබොවන් කියලා, නිකන් ලැබුණු වතුර ටිකට සල්ලිත් ගෙවලා, ජල සම්පාදන මණ්ඩලයේ වතුර සැපයුම මත යැපෙන්න සිදු වෙලා තියෙන්නෙ දැන්.

මේ සැපයුමත් එකි නෙකා තම තමන්ගේ රුචියට ගැලපෙන පරිදි සකස් කරගන්නවා. සමහරු මණ්ඩලේ සැපයුමෙන් තමන්ගේ ටැංකියක් පුරවගන, එකෙන් තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්නවා. මම පුද්ගලිකව ඔය ක්‍රමයට මනාප නෑ මොකද එතකොට වතුර පීඩනය බොහොම බාල වෙන නිසා. ඒක නිසා මගේ පුද්ගලික මනාපය මණ්ඩලේ සැපයුමෙන් කෙළින්ම නිවසේ පද්ධතියට ජලය ලබාගෙන භාවිතා කිරීමට. එතකොට ප්‍රායෝගික ගැටලුවක් මතු වෙනවා හදිසියෙවත් වතුර කැපුවොත්. ඒ වගේ වෙලාවලට අවශ්‍ය වෙන්න එහෙනම් වතුර ටැංකියක් පුරවගෙන ඉන්න ඕනා. ඕකෙ මම මුහුණ දීපු ප්‍රායෝගික ගැටලු කිහිපයක්ම තිබුණා.

1. සැපයුම මාරු කරන්න වුණාම, අවශය පරිදි Ball Valve එහාට මෙහාට සීරු මාරු කරන්න වෙනවා. සැපයුම විසන්ධි කරණ සෑම වාරයකම දෙපාරක් මේක කරන්න වෙනවා. ඒ, ප්‍රධාන සැපයුමෙන් ටැංකියට. ආයේ වතුර ආපුවම, ටැංකියෙන් ප්‍රධාන සැපයුමට ආදී වශයෙන්. කාන්තා පාර්ශවයට කොච්චර කියලා දුන්නත් ඕක ගැන එච්චර වැටහීමක් නෑ. හැමදාම කෝල් එකක් එනවා දවල් කාලයේ වතුර කැපීමක් සිදු වුණොත්. 

2. වතුර සැපයුම ආයෙත් ලැබිලද කියලා, වෑල් කරකවලාම බලන්න ඕනෑ වීම. සමහර වෙලාවට, කෙටි වෙලාවක් ඇතුළත ප්‍රධාන සැපයුම නැවත ලැබුණත්, අපි දිගටම ටැංකියේ වතුර පාවිච්චී කරනවා ඒ ගැන නොදැන. ටැංකියේ වතුර ඉවර වුණාම තමා බලන්නේ වතුර ඇවිල්ලද කියලා. 

3. සමහර වෙලාවට ආපහු ටැංකිය පුරව ගන්න අමතක වෙනවා. එතකොට ඊළඟ සැරේ වතුර කපපුවම තමා දන්නේ " ආ වතුර පුරවලා නෑනේ කියලා".

4. අනිත් කාරණය ටැංකියට පිරෙන වතුර ඉබේ නතර වෙන්න ක්‍රමයක් සකසලා තිබුණේ නෑ. ඉතින් වතුර පුරවන හැම වෙලාවකම ටැංකියෙන් වතුර ඉතිරිලා යනකම්ම ඉන්න ඕනා ටැංකිය පිරුණ බව දැන ගන්න. ටැංකියට සැපයුම කපා හරින කාලය වෙනකම් සැලකිය යුතු වතුර ප්‍රමාණයක් අපතේ යනව.

ඔය දුෂ්කරතා මග හරව ගන්න මම ගහපු සැලැස්ම තම ඔය උඩ පින්තූරේ තියෙන්නෙ. පහළ පින්තූරේ තියෙන්නේ ඒක ප්‍රායෝගිකව යථාර්ථයක් වෙච්ච් විදිහ තමා.

                       

මේ ක්‍රමයේදී ප්‍රධාන ජල සැපයුම ක්‍රියාත්මක අවස්ථාවේදී නිවසේ නල පද්ධතියට අවශ්‍ය කරණ වතුර ඒකෙන් කෙළින්ම ලැබෙනවා වගේම ටැංකිය අවශ්‍යය ප්‍රමාණයට පිරිලා නතර වෙනවා. ප්‍රධාන සැපයුම නතර වෙච්ච වහාම ටැංකියෙ සැපයුම ස්වයංක්‍රීයව ක්‍රියත්මක වෙලා නිවසේ පද්ධතියට අවශ්‍ය ජලය එයින් ලැබෙනවා. ආයෙත් ප්‍රධන සැපයුම සක්‍රිය වෙච්ච වහාම ටැංකියේ සැපයුම නතර වෙලා, ජල සැපයුම ප්‍රධාන පද්ධතිය භාර ගන්නවා වගේම ටැංකියත් අවශ්‍ය ප්‍රමාණයට පිරිලා නතර වෙනවා.

මේක තනිකරම මගේ සිතේ ඇඳිච්ච, මමම නිර්මාණය කරපු සැලැස්මක්. මම කියන්නැ මේ සැලැස්ම වෙන තැනක නැතිම වෙයි කියලා. මොකද මේක ජලනළ වැඩ පිළිබඳ හසළ දැනුමක් තියෙන කෙනෙකුට ඒ හැටි අරුමයක් හෝ අපූරු දෙයක් නොවෙන්න පුළුවන්. මම මුහුණදිපු ගැටලුවට මුහුණදීලා විසඳුමක් සොයන කෙනෙකුට ප්‍රයෝජනයක් වෙයි කියන අරමුණෙන් තමා මේ ලිපිය පළකරන්න හිතුවේ.

මේ ක්‍රමයේ මම දකින එකම දුර්වලතාවය යම් හෙයකින් ප්‍රධාන සැපයුමේ දීර්ඝකාලීන විසන්ධිවීමක් සිදු නොවුණොත් ටැංකියේ පිරිලා තියන ජලය භාවිතා නොවී පල්වීමකට ලක් වෙන්න තියන ඉඩ කඩ. කාට හරි විසඳුමක් තිබේනම් කියන්න කියලා ඉල්ලා සිටිනවා.

"කාලෙකින් වතුර කැපුවේ නෑ" කියලා තමා දැන් අපේ ගෙදර අය කියන්නේ.  😄😄😄😄😄😄😄😄

ලියුවේ;
සෙන්නා / 24.09.2018


Sunday, September 16, 2018

ආදරය සහ අකුරු..





ව යොවුන් වියේදී මල්සරාගේ හීසරයෙන් බේරෙන්න මටත් හම්බුනේ නෑ. තමන්ගේ පාඩුවේ පොතක් පතක් බලාගෙන හිටපු මටත් මේ යකා අර මලකඩකාච්ච දුන්නෙන් විද්දයි කියමුකෝ ඉතින්. ඊට පස්සේ වෙන සන්තෑසිය ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑයි?

උසස් පෙළ ආරම්බ කරපු මුල් අවදියේදී වුනු මේ හදිසි අනතුර නිසා හිතේ ඉතින් අමුතු අමුතු හැඟීම් පීදෙන්න ගත්තා. මට ඕනා කළා මේ හැඟීම් අකුරු කරන්න. ලේසී වැඩක් යෑ ඕක ඉතින්. කොහොම කොහොම හරි අකුරුවලට පෙරලගත්තා කියලා කියමුකෝ. මල මගුලයි දැන් ඕක අනිත් උන්ගෙන් ආරක්ෂාකර ගන්නත් එපැයි. හිතේ තියන ඒවනම් ඉතින් බැංකුවේ සේප්පුවේ දැම්මා වගේ තමා. හීනෙන් කියවන පුරුද්දකුත් නැති නිසා බයවෙන්න කාරණයක් තිබුනෙම නෑ. ඒත් අකුරු එහෙමයෑ.. ලංකාවේ සාක්ෂරතාවයත් වැඩියි කියලා ඒ කාලෙ විදුසර පත්තරේක කියලා තිබුනා මට මතකයි.

අපිට ඉතින් තමන්ටම වෙන් වෙච්ච කාමර, යතුරු සහිත මේස ලාච්චු, අල්මාරි තිබුනයි කියලා එකක්යැයි. අයියයි, මායි දෙන්නම හිටියේ එකම කාමරේ. බෙදාගෙන පාවිච්චි කළේ එකම මේසේ ලාච්චු දෙක. ඒවට ආයේ යතුරු තිබුනයි කියලයෑ. ඕනැම වෙලාවක අනිත් කෙනාගේ ලාච්චුවට හොට දැමීමේ හැකියාව සහ පූර්ණ බලතල තිබුනා. අනිත් එක ඉතින් අම්මලා තාත්තලත් තමන්ගේ තරුණ දූ පුතුන් ගැන අවධානෙන් තමා හිටියේ. නිතර නිතර පොත් පත් රහස් පරීක්ෂණයන්ට අහුවෙලා තියන බව මටනම් තේරිලා තිබුනේ.

ඉතින්, දැන් මොකද කරන්නේ. කුළුදුල් ආදර හැඟීම් අකුරු කරන්නත් ඕනා. ඒවා හංග ගන්නත් ඕන. හංග ගන්න තැනකුත් නෑ.

ආවා අදහසක්!

කාටවත් තේරුම් ගනන් බැරි භාෂාවකින් ලියුවොත් මොකද? හහ් ඔය තියෙන්නේ වැඩ. තවත් පරක්කු නොවී වහ වහාම හැදුවා අලුත් භාෂාවක්. ඒක හොඳට මතක තියාගත්තා, හෝඩිය ඉරලා විසිකරලා දැම්මා.

ඔන්න දැන් ටික ටික 93 ඩයරිය අලුත් අකුරු වලින් පිරෙන්න ගත්තා. ඒ ලියපු ඒවා දිහා වැඩිහිටියෙක් හැටියට අද ආපහු හැරිලා බලද්දි මටම හිනා ගියත් ඒවා එහෙම වෙන්න ඇහි නේද හැමෝටම.

කොහොමින් කොහොම හරි මම, මට ලියන්න ඕන ඒවා නිදහසේ කුරු‍ටු ගාලා, සිංහයා වගේ ඩයරිය මේසෙ උඩ තියලා ගියා. ආයේ මෙලෝ මල යකෙකුට ඕක කියවන්න බැරි එකේ බයවෙන්නේ අහවල් මගුලකටද?

තාත්තා දවසක් මේක දැකලා තමන්ගේ හිතවතුන් කීප දෙනෙක් එක්ක බොහොම ආඩම්බරෙන් කතාකරල තිබුනා කියලා ආරංචියි, තමන්ගේ පුතා මොකක්ද අමුතු බාසාවකින් ලියනවයි කියලා. ඒත් ඕක මේ ලෝකෙ මුල් වරට කරපු එකා මම නෙමේ කියලයි මට හිතෙන්නේ.

අද ඒ ඩයරිය කොහෙද කියලා හොයා ගන්න නෑ. තිබුනනම් ඒක ආයෙ කියවන එක බොහොම ආනන්ද ජනක වැඩක් වෙන්න තිබුනා. ඒ කොහොම වෙතත් අවුරුද්දක් පුරා ලියපු එකේ ප්‍රතිපළයක් හැටියට අදටත් මට ඒ අකුරු මතකයි.

ඔය උඩ තියන පින්තූරේ තියෙන්නේ ඒ බාසාවෙන් ලියපු වැකි දෙකක් තමා.

හොඳයි, දැන් රහස්පරික්ෂක කතා කියවලා Decoding වලින් ඔළුව කුරුවල් කරගෙන ඉන්න බ්ලොග් අවකාශයේ ඉන්න දක්ෂයන්ට ඔන්න අභියෝගයක් තියනවා. මේක කරන්න බැරි වැඩක් නෙමේ. පුළුවන්නම් කියන්න ඔය උඩ පින්තූරේ ලියලා තියන වැකි දෙක මොකක්ද කියලා. හරිම උත්තරේ දෙන කෙනාට මේ සාහිත්‍ය මාසයේ තමන් නම් කරණ පොතක් ( හොයාගන්න  බැරි පොත් නම් කරන්න එපෝ. ) තෑගි ලැබීවි.

පුංචි ඉඟියක් දෙන්නම් වැඩේ ලේසි කරගන්න.

ඉඟිය : පුංචි ටාර්සන්ට එයාගෙ යාළු මකුණන්ව හඳුනගන්න ලැබුනා.

සෙන්නා / 16.09.2018