Saturday, July 15, 2023

රැක් එක අවුල්....

 

2023.07.15



දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදාගෙන නොගොස්, විශේෂයෙන්ම කඳුකරයට යනවිට එසේ නොගොස් විවිධ අනතුරු වලට මුහුණ දෙති. මම එසේ නොවෙමි. මගේත් අන් අයගේත් ආරක්ෂාව ගැන වෙසෙසින්ම සිතමි. හොඳ අය එසේය.😉

පසු ගිය උඳුවප් මහේ අප ඇල්ලේ සංචාරයක යෙදුනාහ. එයට පෙර වාහනයේ Wheel Alignment (මෙයට සිංහල වචනයක් Chat GPT මහතාගෙන් විමසූ විට " කකුළු සක්‍රය" යනුවෙන් පැවසුවේය. Bard මහතාගේ අදහසට අනුව එය "රෝද එකෙල්ල" වේ. ඔබ මෙයට පෙර මේ වචන අසා ඇතිද? මා නම් නැත. ) සකසා ගැනීමට ටයර් කඩයට ගියෙමි. එතන ඇතිවුන සංවාදය මෙසේය.

"මේකේ රැක් එකේ අවුලක් තියනවා. මේ පේනවද පොඩි ප්ලේ එකක් වගේ එකක් තියනවා මේ පැත්තෙ. මෙහෙම තියාගෙන wheel alignment  කරලා වැඩක් නෑ. මට ඕනනම් කරලා දෙන්න පුළුවන්, ඒත් වැඩක් නෑ."

"එහෙමද? ඔව් මටත් කම්පැනි එකෙන් කිව්ව රැක් එක මාරු කරන්න ඕනා කියලා, ලක්ෂ දෙකක් විතර යයි කිව්වා."

" අපෝ මේක මාරු කරන්න ඕනා නෑ හදන්න පූළුවන්. ඔයා යන්න මීගමුවෙ අහවල් තැනට*, එතන ගලවලා, ලේත් කරලා හොඳටම හදලා දෙනවා. ඕන නම් උපරිම විසි පහක් විතර යයි. බොරුවට ලක්ෂ ගනන් දීලා අලුත් ඒවා දාන්න එපා. කම්පැනි ඉතින් කියන්නෙ එහෙම තමා. ඒ ගොල්ලන්ගෙ බිස්නස් එකනෙ."

"ඔව් නේ. Thank you very much තැන කිව්වට. මම ගිහින් බලන්නම්. අපි හෙට ඇල්ලෙ යන්න ඉන්නෙ. මෙහෙම ගියාට අවුලක් නැති වෙයිද?"

"නෑ එහෙම අවුලක් වෙන්නෑ, ෂේප් එකේ ගිහින් එන්න පුළුවන්. හැබැයි කල් නොදා මේක හදා ගන්න."

නිවැරැදි මග පෙන්වීම පිළිබඳ ඔහුට ස්තූති කොට, ටයර සතරෙහි හුළං තත්ත්වයද පරික්ෂා කරවාගෙන එතනින් නික්මුණි.

ලියුවේ;

සෙන්නා / 15.07.2023

* පසු ලිවීම - මේ කියන අහවල් තැන මීගමුවේ Deemo Motors ය. කාට හරි අවශ්‍ය‍යනම් එතෙනට යන්න පූලුවන්. ඔවුන් බොහොම ප්‍රශස්ත මට්ටමේ සේවයක් සපයනවා. මෙය තෘප්තිමත් පාරිභෝගික ප්‍රතිචාරයක් මිස, ඔවුන් වෙනුවෙන් කළ වෙළඳ ප්‍රචාරණයක් නොවන බව සළකන්න.

Saturday, March 4, 2023

මීටර් සියයක හැඟීම්




කැකිරාව කියලා ඇහුන ගමං මට මතක් වෙන්නෙ මීටර් සියය. මුදලිහාමි සපත්තුත් නැතුව දුවලා දිනපු තරඟෙ ගැන. ලොකු මහත්තයා එක්ක කොළඹ ගිය හැටි. හැබැයි මේ කතාවත් එක්ක බැඳුණු වචනයෙව් විස්තර කරන්න අමාරු පාළු, දුක්මුසු හැඟීමක් හිතට එනවා.

හත වසරෙදි අපේ පන්ති කළවම් කළා. මෙච්චර කල් එකට හිටපු යාළුවො කැඩිලා බෙදිලා ගියා. මාත් එක්ක හිටපු කට්ටියම එක පන්තියකට වැටිලා මාව වෙනම පන්තියකට වැටුනා. එහෙම වුනේ පුංචි පලිගැනීමකට. ඔය ළමයි බෙදන වැඩේ බාර දීලා තිබ්බෙ අපිට වැඩිය ජේෂ්ඨ පන්තියක හිටිය ශිෂ්‍ය නායකයෙක්ට. මිනිහට මාත් එක්ක පොඩි කෝන්තරයක් තිබුනා වෙන ආරෝවකට. මිනිහා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ගානට වැඩේ දුන්නා.

ඒක මහ මුස්පේන්තු හැඟීමක්. ඉස්කෝලෙ යන්නත් එපා වුනා. දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ අලුත් පන්තියක, යාළුවො නැති පරිසරයක තනි වෙන එක හරි පාළු, දුක්මුසු හැඟීමක් ඇති කරවනවා. පුංචි හිතකට  දරාගන්න අමාරු හැඟීමක්. 

මීටර් සියය ඉගන ගත්තෙ ඔය පරිසරය යටතේ. මොකක් හරි නොදන්නා හේතුවක් නිසා අර දුක්මුසු, මුස්පේන්තුකම මේ කතාවත් එක්ක බද්ධ වෙලා තියනවා. අදටත් මීටර් සියය කතාව මතක් වෙද්දි අඩු නැතිව අර හැඟීම හිතට එනවා.

ටික දවසකට පස්සෙ මම බලෙන්ම ගිහිල්ලා මගේ අනිත් යාළුවො හිටිය පන්තියෙ ඉඳ ගත්තා. ඒ පන්තිය බාර ගුරුතුමත් කිසිම ගැටලුවක් මතුනොකර මගේ නම නාම ලේඛනයට ඇතුලත් කරගක්තා. හැබැයි අර ඇති වෙච්ච හැඟීම මකන්න ඒ ක්‍රියාවට පුළුවන් වුනේ නෑ. අදටත් ඒක එහෙමම අඩු නැතිව තියනවා.

මුුදලිහාම් උඹ හපනා. මට සතුටෙන් උඹේ හපන්කම් බලන්න එන්න නොවෙච්ච එක ගැන සමාවෙයන්. 

නිිිමි.

~~ලියුවේ /සෙන්නා.

මාර්තු 04, 2023.

Saturday, November 19, 2022

පොලිස් කතාවක්...

 19.11.2022


"පොලිස්" නම දුටු සැනින් ස්ත්‍රීයකගේ බෙල්ලෙන් මිරිකා ඉදිරියට තල්ලු කරණ චිත්ත රූපයක් පාඨකයාට මැවෙන්නෙ නම්, ඒ රචකයාගේ ලිවීමේ දෝෂයක් නිසා නොව පොලීසියේම දෝෂයක් නිසා බව පාඨකයා දැනගත යුතුය. එය හැරුණු කල, තව තවත්, වෙන වෙනත් චිත්‍ර රූප මැවේ නම් ඒවා සම්බන්ධයෙන් ද රචකයාගේ වගකීමක් නොමැති බවත් පාඨකයා දැනගත යුතුම වන්නේ ය.

පස් වෙනිදා කාර්‍යාලයෙන් සංවිධානය කළ දානමය කටයුත්තක් වෙනුවෙන් කටුනේරියට යාමට සිදු විය. සිදු කළ යුතුම වූ වෙනත් වැඩ කටයුතු නිසා ඒ සඳහා කාර්‍යාලයෙන් පිටවීම ප්‍රමාද වූ අතර අනෙක් පිරිස කලින්ම පිටත්ව ගියහ. වේලාවට අදාල ස්ථනයට ළඟා විය යුතු බැවින් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ යාම වඩා සුදුසුයැයි තීරණය කළෙන් එයට අවතීර්ණ විය. වේලාවට යා යුතු බැවින්, සමහර ස්තානයන්හීදී වේග සිමා උල්ලංඝණය වූ බව සඳහන් කළ යුතුය.

කටුනායක හුවමාරුවෙන් එළියට ආ විගසම අසල සිටි පොලිස් නිළධාරියෙකු අත දිගු කොට නතර කළේය. වම්පස වීදුරුව පහත් විය.

"සර්, කරුණාකරලා අර පැත්තෙ අයිනට කරලා නවත්තන්න. පරිස්සමින් බලලා ගන්න, අර ලයින් වලින් වාහන එනවා." වාහනය වම් පස තීරුවෙන් නතර විය. පොලිස් නිළධාරියා රියදුරු කවුලුව අසලට පැමිණියේය.

"සර්, ඇයි දන්නව ද නැවැත්තුවේ?" වරද අනුමාන කළ හැකි විය. 

"ඔබ තුමා ජා-ඇල පහු කරලා එනකොට එක තැනකදි 110ත් පහු කරළා ඇවිත් තියනවා. කරුණාකරලා මට ලයිසන් එක දෙන්න." බොහොම පැහැදිලි විධානයකි. රියදුරු බලපත්‍රය සහ අනෙකුත් ලියකියවිලි නිළධාරියා අතට පත්වීය.

"සර්, කරුණාකරලා පොඩ්ඩක් අතෙන්ට එනවද? දඩයක් ලියලා දෙන්නම්."

මෙයිට පෙර මාර්ග නීති උල්ලංඝණය කොට පොලිසියට අසුවූ අවස්තා නිතැතින්ම සිහියට නැගිනි.

"ඔයා කරපු වරද බොහොම බරපතල වරදක්. මේක කෙලින්ම උසාවි දාන්න ඕනා වරදක්. මම වෙන වරදක් දාල ලියලා දෙන්නම්. මොකද කියන්නෙ? මොකක්ද කරන්න ඕනා?"  ආදී වශයෙන් ගලා යන, වෘත්තීය ගරුත්වය කෙළසන, සුපුරුදු  වදන් මාලාව ඔබ බොහෝ දෙනෙකු අසා ඇතුවාට සැකයක් නොමැත. මෙහි ඒ කිසිත් නොමැත.

අදාල ස්තානයට යන විටත් තාවකාලික බලපත්‍රය ලිවීම අරඹා තිබුනි. ලියන අතර තුරම දඩය ගෙවිය හැකි ආකාරය, බලපත්‍රය නැවත ලබා ගත හැකි ආකාරය ඉතාම පැහැදිලිව විස්තර කර දුන්නේය. ඉතා සුහදය, නිහතමානීය. විශේෂම දේ නම්, දඩ කොළයක් ඒ අවස්තාවේදීම ලියා අතට ලබා දීමයි. පෙර අවස්තාවන් වලදී දඩ කොළය ලබාගැනීමට නැවතත් වෙනමම පොලීසියට ගොස් රස්තියාදු වීමට සිදු විය.

"සර්, මේක ගෙවලා ඇවිත් ලයිසන් එක අරගන්න. 100 පන්නලා යන්න එපා සර්, ඒක සර්ට වගේම අනික් අයටත් හොඳ නෑ." එය මින් පෙර නොවිඳි අමුතුම අත්දැකීමකි.

ඊළඟ ජවනිකාව දිග හැරෙන්නෙ දඩය ගෙවා බලපත්‍රය ගැනීමට ගිය අවස්තාවේදීය. පොලිස් ගොඩනැගිල්ල අසලට යන විට එහි ඇතුලේ කටයුතු කරමින් සිටි නිල ඇඳුමෙන් සැරසුනු නිලධාරීන් දක්නට ලැබුනි. නමුත් සියලු කවුලු වසා තිබුනු බැවින් විමසිල්ලෙන් බලමින් දොර සොයා යන්නට විය.

"ගූඩ් මෝර්නින් සර්, මෙහෙන් එන්න සර්." එක වරම පිටුපසින් විවර වූ කවුලුවකින් ඇසුනි. නිල ඇඳුමින් සැරසුනු, සුහද සිනාවකින සැරසුනු ප්‍රියමනාප නිලධාරියෙකු ජනෙල් කවුලුව අසල සිටගෙන සිටියේය.

"ලයිසන් එක ගන්න පුළුවන් මෙහෙන්ද?"

"ආ ඔව් සර්, කොළ දෙක දෙන්න සර්, මම මෙතනින් දෙන්නම්." තාවකාලික බලපත්‍රය සහ දඩය ගෙවූ රිසිට් පත ඔහු අතට පත් කෙරිණි. එය අතට ගත් නිළධාරියා තත්පර තිහක් ගතවීමට මත්තෙන්,

"මේක නේද සර්?"යි කියමින් රියදුරු බලපත්‍රය දැක්වීය.

"හරි, මේක තමා. බොහොම ස්තූතියි."

"හරි සර්, පරිස්සමින් යන්න සර්. බුදු සරණයි !" මේ වචන සියල්ලම ඔහුගේ මුවින් පිට වූ ඒවා බවට සහතික කරමි.

මෙය මින් පෙර අත්විඳි පොලිස් අත්දැකීම් වලට වඩා වෙන්ස්ම වූ අත්දැකීමකි. ඒ ශ්‍රී ලංකා පොලීසියදැයි සිතෙන තරමට ඔවුන් වෙනස්ය. මෙය, පොලීසිය පුරා බෝ විය යුතු වෙනසකි. එම නිලධාරීන්ට කරණ ගෞරවයක් වශයෙන් මේ සටහන ලියා තබමි. ඔබ, නම් ගම් නොදත් ඒ ගෞරවණීය නිළධාරින්ගෙන් කෙනෙකු හෝ දන්නෙ නම් මේ සටහන ඔවුන් වෙත යවන්න. ඔවුන් අගය කිරීමට ලක්විය යුතු සේවයක් කරමින් සිටිති.

මේ පිළිබඳ සැකයක් ඇත්නම් කළ යුත්තෙ කටුනායක අධිවේගී මාර්ගයට අවතීර්ණව රථයේ ත්වරකය මදක් වැඩියෙන් පෑගීම පමණකි. යම් හෙයකින් පිටවීමේදී යමෙකු ඔබගේ ගෙලෙන් අල්ලා තල්ලු කිසීමක් සිදු කළහොත් එය රචකයාගේ වරදක් නොව ඔබගේම වරදක් නිසා බව සැළකිය යුතුය.

නිමි.

ලියුවේ;

~~සෙන්නා / 19.11.2022

Monday, July 4, 2022

බයිසිකල් මතක..

බයිසිකල් හෙවත් පාපැදි අද කාලීන මාතෘකාවකි. ලොකු ලොකු සැප පහසු වාහනවල ගිය අයවලුන් අද බයිසිකලයට හා පොදු ප්‍රවාහනයට වැටී ඇත. එක් අතකින් මෙය එක්තරා සමාජවාදයකි. එහෙත් තවමත් සියයට සියයකින් නොවේය. තවමත් යමක් කමක් හෝ බලපුලුවන්කාරකම් ඇති අයවලූන් කෙසේ හෝ තෙල් ලබාගෙන සිය කටයුතු සුපුරුදු පරිධි පවත්වාගැනීමට සමත්ව ඇත. ඔවුන් සියල්ල හෝ බහුතරයක් ප්‍රමාදවී හෝ පාපැදියට ගොඩවනු ඇත.

බයිසිකලය පැදීම කලාවකි. ජීවිතය මෙනි. සමබරතාවය පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය‍ය. නැතහොත් වැටීම නියතය, ජීවිත්වීමත් සමබරතාවය පවත්වා ගැනීමක් නොවන්නේ ද? එය කම්බියක් මත බයිසිකල් පැදීමකි.

80 දශකයේ ළමා විය ගෙවූ අපට බයිසිකල මහා සතුටකි. එකල සයිකලයක් මිලදී ගැනීම එක්තරා මට්ටමකට සමාජ තත්ත්වය හඟවනා සංකේතයකි. මෝටර් රථ හෝ මෝටර් බයිසිකල් අද තරම් සුලබ නොවූ එකල, සෑම නිවසකම පාහේ බයිසිකලයක් වීය. බයිසිකලයක් මිලදී ගැනීම සෑම කුටුම්බයකම සිහිනයකි. එකල බයිසිකල් ගැනීමට සිහින දකිනා මිනිසුන්ගේ කතා ඇසුරෙන් ඒකාංඟික ටෙලි නාට්‍ය පවා නිපැයුනා මතකය.

එකල බයිසිකල් ලොවේ රජ්ජුරුවෝ "රැලේ" සයිකල්ය. "රැලේ" බයිසිකලයක් ඇති එකා පොරකි. ඩබල් පෝර්ක් "හම්බර්" රැලේට දෙවෙනි වූයේ නොවේ. චීන "ෆීනික්ස්", "ෆ්ලයින් පිජන්", ඉන්දියන් "හීරෝ", ජපන් "ලුමාලා" එකල ජනප්‍රිය බයිසිකල් සන්නාමයන්ය. පොඩි අයට "චොපර්" යනුවෙන හැදින්වූ බයිසිකල් වර්ගයක් ද තිබුණී. ගියර මාරු කළ හැකි, L අකුර හැඩති ආසනයකින් සමන්විත මෙය එකල යමක් කමක් ඇති අයවලුන්ගේ දරුවන් භාවිතා කළ බයිසිකලයෙකි. මේවාට අමතරව හැන්ඩල් එකට යටට කරකැවූ, ගියර් වීල් සහිත රේසින් සයිකල් ද වීය. ඒවා බහුලව භාවිතා කෙරුණෙ සයිකල් රේස් පදින්නන්ය.

බයිසිකල් පැදීමේ මූලික පාඩම බයිසිකලය තල්ලු කිරීමය. එය කාලයක් සිදු කෙරෙණු ඇත. දෙවෙනි අදියර වම් පැඩලයට ගසමින් ඉදිරියට යාමයි. තෙවැන්න පොල්ල යටින් පැදීමයි. සමහරුන් මෙය හැන්ඩ්ල් එක් දෑතින් අල්ලාගෙන කරණ අතර තවත් සමහරුන් සීට් එක දකුණූ කිහිල්ලෙන් හිර කරගෙන වම් අතින් හැන්ඩ්ල එක මෙහෙයවමින් ඉදිරියට යනු ලබයි. මම දෙවෙනි වර්ගයේ එකෙකි. එම ක්‍රමය පොල්ල උඩින් පැදීමේ ක්‍රියාදාමය පමා කරවනු ඇත.  ඒ වවුලකු මෙන් බයිසිකලයේ එල්ලී දකුණූ කකුල පොල්ලට උඩින් දමා ගැනිමට යාමේදි ඇතිවන සමබරතාවය ගිලිහීමෙන් ඇති කරවනු ලබන අධෛර්‍යය නිසාවෙනි. නමුත් ඒ කිසිවකට අප නතර කරවනු හැකි වූයේ නොවේ. නොදන්නා කිසියම් හේතුවක් නිසාවෙන් මුලින්ම බයිසිකලයේ පොල්ල උඩින පැදපු දිනය ලෙස 1987 දෙසැම්බර් 27 වනදා ලෙස මාගේ මතකයේ සඳහන්ව ඇත. එය නිශ්චිත මතකයක් නොවේ. නමුත් වසර නිවැරැදි විය යුතුය.

එයින් පසු එළබෙන්නෙ වැඩ දැමීමේ කාලයයි. මුලින්ම එක අතක් අත් හැර පැදීම, අත් දෙකම අතහැර පැදීම, ඩබල් දමා පැදීම, ට්‍රිබල් දමා පැදීම, හැන්ඩල් එක උඩ සිට පිටි පස්සට පැදීම, ලගේජ එක මත වාඩි වී පැදීම, ඉදිරිපස රෝදය ඔසවාගෙන පැදීම ආදී මෙකී නොකී සියලු වැඩ කෑලි අත් හදා බැලෙනු ඇත. ඒවා නිසා සිදුවූ අනතුරුද බොහොමය. තුවාල සිදුවීම් එමටය. නමුත් අපට නිදහස උපරිමයෙන් තිබිණී. මව හෝ පියා අපගේ පිටි පස්සෙන් එන පුරුද්දක් එකල නොතිබුනි. අපි වැරදි කරමින් උගෙන ගතිමු. නමුත් අපට ලැබුණු නිදහස අපගේ දරුවනට දීමට අප ඉගෙන නොගත්තේ මංද? කොතනක හෝ වරදක් වී ඇත.

එකල සෑම නිවසක්ම වින්කලයෙකි. පොඩි පොඩි අලුත් වැඩියාවක් කරගැනීමට අවැසි උපකරණ බොහෝ නිවෙස්වල තිබුණි. ටියුබ් එක ටයරයෙන් පන්නා, ජල පරික්ෂාවක් සිදු කොට සිදුර හඳුනාගෙන, පීරෙන් පිරිමැද සොලිසන් ගා, තවත් ටියුබ් කැබැල්ලක අලවා පැච් එකක් දමා ගැනීමේ හැකියාව එකල පොඩි උන් වූ අපටත් තිබිණි.

බයිසිකලය පැදීම ආස්වාදයක් වුවද එහි පොල්ලෙහි වාඩි වී යාම කරදරයෙකි. දකුණු කකුල හොලවා ගැනීමට බැරි තරම් හිරි වැටීම ලොකුම කරදරයෙකි. නමුත් නැවත රුධිරය ගමන් කිරීම ඇරඹී කකුල ක්‍රමයෙන් පණ ලැබීම ආශ්වාදය දනවන්නෙකි. ඒ මගින් නැතිවූ සෙරෙප්පු ගණන සැළකිය යුතු ගණනෙකි.

ලංකාව කාලයේ ආපස්සට ගමන් කිරීමේ දෝෂය නිසා මේ සහෘද්දයාට නැවතත් අපමණ අගයක් ලැබෙමින් පවති. මෝටර් රථ, මෝටර් බයිසිකල් තෙලේ බලය පෙන්වනා විට, අසරණ වූ මිනිසුන්ගේ පිහිටට නැවතත් බයිසිකල් පැමිණ ඇත. වින්කල් කරුවන්ද ගනන් උස්සමින් සිටී. ඒවටත් දැන් පෝලිම් ය.

බයිසිකලය අපූරු වාහනයෙකි. කම්මැලි නොවන මිනිසුන් එයට සැමදා පෙම් බඳිනු ඇත. එය තවත් කාලයක් මිනිසා සමඟ රැදෙනූ නිසැකය. 

ලියුවේ;

සෙන්නා / 04.07.2022.

Thursday, September 30, 2021

සිංහල, මලයාලම් සහ මිසරියාගෙ Bluetooth දේශණය

 

30.09.2021

සස් පෙළ එහෙම අවසන් කරලාහසන්ත මහත්තයගෙ ජාතියේ රූපවාහිනී සරසවියෙන් පාඨමාලාවක් එහෙම හදාරමින් ජාත්‍යාලයෙන් ඔද වැඩිලා ඉන්න කාලෙ තමා මට හා හා පුරා කියලා රැකියාවක්හම්බුනේ.කටුනායක අපනයන

සැකසුම් කලාපේහසන්ත මහත්තයගෙ සරසවියට ආපු එක ඇදුරුතුමෙක්,මට මතක විදිහට අර සූරියප්පෙරුම මහත්තයාවෙන්න ඕනාකට රවුම් කරලාකැට තියලා ඔප්පු කරලා පෙන්නුවා "සිංහල භාෂාව තමා ලෝකේ විශිෂ්ටම භාෂාවඉතිංසිංහල කතා කරන අපිට මේ ලෝකෙ තියන ඕනෑම භාෂාවකඕනැම වචනයක් කිසි අවුලක් නැතුව උච්චාරණය කරන්න පුළුවන්කියලාජාත්‍යාලයෙන් මයිල් කෙළින් වෙන්නැද්ද හොඳයි ඔහොම කතාවක් ඇහුවමහා නැද්දමේ දැනුත්

නිකං මොන මොනවද වෙනවා වගේ වෙනකොට සිංහල ඇරුණම ඉංග්‍රීසි භාෂාව විතරක් අහලා දැනගෙන හිටිය මට මේක අවිශ්වාස කරන්න හේතුවක් තිබුණෙම නෑ මොකද ඉංග්‍රීසි ලංකාවෙ උන් කිසිම අවුලක් නැතුව වතුර වගේ හසුරවනහින්දා.

 

හරී මහත්තයා මලයාලි ජාතිකයෙක් කියන්නෙ කේරළ වැසියෙක්දැන් කාලෙක ඉඳන් වාසය ලංකාවෙසිංහල     බොහොම චතුර විදිහටම නොවුණත් සැලකියයුතු ප්‍රවීණත්වයක් පෙන්වමින් හැසිරෙව්වාඔහු අපේ එක් 

කළමනාකරුවෙක්අනෙක් කෙනා වුණේ පකිස්තාන ජාතිකයෙක් වුණ ඉක්බාල් මහත්තයාඔහු  වෙනකොට ළඟදි 

ලංකාවට පැමිණි කෙනෙක් වුණ නිසා සිංහල වචනයක්වත් බෑමොවුන්තනතුරු වලින් හිස උදුම්මවා නොගත්තු        බොහොම නිහතමානි මිනිස්සුවිශේෂයෙන්ම හරී මහත්තයාආයතනයේ හැම කෙනෙක්ගෙම දුක  සැප විමසලා වචනයක් දෙකක් කතා කරන්න ඔහු මැලි වුණේ නෑ.

 

මේ කතාබහ අපි අතර ඇති වුණේ විදුලිය කපා හැර තිබුණ අවස්ථාවක වැඩ නැති නිසා ඇතිවුණ 

අල්ලාප සල්ලාපයක් අතරතුර කාලෙ පැය ගාණක් විදුලිය කපන එක බොහොම සාමාන්‍ය දෙයක්සහ ෆැක්ටරියෙ අපි හිටපු කොටස අලුතෙන් හදපු එකක් නිසා විදුලි ජනක පහසුකම තිබුණෙ නෑ 

මතක විදිහටකොහොම හරි මේ  කියන වෙලාවෙ වැඩ නතර වීම නිසා අපි කයියක් දාගෙන හිටියාඉක්බාල් මහත්තයා සිංහල අහුල ගනිමින් හිටපුනිසා ඔහු අපිව අහුවුණ වෙලාවක වචන වල තේරුම් අහගන්න උත්සහ කරණ පුරුද්දක් තිබුණා ඔස්සෙ කතාවෙ මාතෘකාව බාසාවල් පැත්තට 

හැරුණාඔන්න ඔය වෙලාවෙ තමයි මම ජාතියේ රූපවාහිනී සරසවියෙන් ඉගෙන තිබුණ සිංහල 

භාෂාවේ ඇති විශේෂත්වය පිළිබඳ පම්පෝරිය දිගෑරියෙමේක අහන් හිටපු හරී මහත්තයා කට 

කොනෙන් යන්තම් හිනාවෙලා මලයාලි වචනයක් කියලා මට කිව්වා පුළුවන්නම් කියන්න කියලා

ඒක අපිටකියනවා තියා හිතන්නවත් බැරි වචනයක්වචනෙ මොකක්ද අහන්න එපා මොකද 

කියන්නවත්හිතන්නවත් බැරිවචනයක් මතක තියාගන්න බැරි නිසාඊට පස්සෙ හරී මහත්තයා තව  වගේ වචන කිහිපයක්ම කිව්වෙ මගේ කලිසම ඔළුවෙන් ගලවන ගමන්එතන හිටපු මවු භාෂාව සිංහල වෙච්ච කිසිම කෙනෙකුට  වචන නිවැරැදිව හසුරවන්න හැකියාවක් තුබුණෙ නෑආසන්න 

වශයෙන් ගැට ගහගත්තා මිසක්.

 

ඊට අවුරුදු ගාණකට පස්සෙ මම රැකියාවට විදේශගත වෙලා විවිධ භාෂා කතාකරන මිනිස්සු එක්ක වැඩ කරන්න වුණාම තමා දැන ගත්තෙ සිංහල අපිට උච්චාරණය කරන්න බැරි වචන ඕන තරම් 

අනෙක් භාෂාවල තියනවා කියලාඔන්න ඔය අස්සෙ මට මිසර ජාතිකයෙක් දේශනයක් දුන්නා 

Bluetooth කියන එකේ "th" වලින් එන ශබ්දය ලංකාවෙ අපි හරියට උච්චාරණය කරන්නෙ නෑ 

කියලා.

 

ඔන්න ඕකයි තත්ත්වයදේශක මහත්වරු හොයලා බලලා ඇත්ත උගන්වනවනම් හොඳයි බොරුවට ජාත්‍යාලයෙන් මත්වෙලා අපි තමයි පොරවල් අනිත් උන්ට මුකුත් බෑ කියලා උගන්වන්නැතුව.

 

මේ කතාව හදිස්සියෙ මතක් වුණේ යොහානි Shiiddath චිත්‍රපටියට ගයපු ගීතයේ කමෙන්ට් එකක සිංහල අපිට  ඕනෑම භාෂාවක් ව්‍යක්තව හසුරවන්න පුළුවන් කියන මිථ්‍යාව ගැන සඳහනක් දැකපු 

නිසා.

 

අදට ඇති.  

 

සෙන්නා / 30.09.2021


රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog