Friday, February 22, 2013

HMS Coventry | ජයග්‍රහණයේ නියමුවාගේ නික්මයෑම....



2013 නවම් මස 22 වනදා

=========================================================================

යමුද ලෝකය වටේ රවුමක් ?


=========================================================================

දින් වසර තිහකට පමණ පෙර, හරියටම කිවහොත් 1982 අප්‍රේල් 02වෙනි දින, ආර්ජන්ටිනාව හා බ්‍රිතාන්‍යය මුහුණට මුහුණ හමුවූහ. ආර්ජන්ටිනාව යන නම ඔස්සේ සිතුවිලි මෙහෙයවා මෙය පාපන්දු තරගයක් සඳහා සිදුවූ හමුවක්යැයි ඔබ කළ පූර්ව නිගමනය වැරැදිය. මෙම හමුව එයිට වඩා එහා ගිය ලෝහිත සංග්‍රාමයක් උදෙසාය. කෙටියෙන් පැවසුවහොත් යුද්ධයක් උදෙසාය.

ෆෝක්ලන්ත දූපත්, දකුණු ජෝර්ජියා දූපත හා දකුණු සැන්විච් දූපත් දකුණු දිග ආර්ජන්ටිනාවේ නැගෙනහිරට වන්නට පිහිටි දූපත් සමූහයකි. මෙම දූපත් අරබයා බ්‍රිතාන්‍යය හා ආර්ජන්ටිනාව අතර දීර්ඝකාලීන මතභේද තිබූ අතර රටවල් ද්විත්වයම මෙම දූපත් තමන්ගේ ආධිපත්‍යයට යටත් බවට අයිතිවාසිකම් පෑහ.

1982 අප්‍රේල් මස 02වනදා ආර්ජන්ටිනාව විසින් ෆෝක්ලන්ත දිවයින් සහ දකුණු ජෝර්ජියා දූපත ආක්‍රමණය කිරීමත් සමඟම මෙම යුද්ධය ආරම්භ වුණි. ආර්ජන්ටිනාවේ පිළිගැනීමට අනුව මෙම දූපත් තමන්ගේ රටට අයත් දූපත් බැවින් මෙය තමන් සතු භූමිය නැවත ලබා ගැනීම සඳහා සිදු කළ ක්‍රියාන්විතයකි. එහෙත් බ්‍රිතාන්‍යයේ අදහස වූයේ මෙය තමන් සතු ප්‍රදේශයක් ආක්‍රමණය කිරීමක් බවයි.

දින 74ක් පුරා පැවති මෙම යුද්ධය අවසානවූයේ බ්‍රිතාන්‍යයට ජය ගෙනදෙමින් නැවතත් දූපත් කිහිපය ඔවුන්ගේ පාලනයට නතු වෙමිනි. මෙම යුද්ධයේ ප්‍රතිඵලය එවකට ආර්ජන්ටිනාවේ පැවති මිලිටරි ජුන්ටාව පෙරළා දැමීමට තරම් හේතුවක් වූ අතර බ්‍රිතාන්‍යයේ පැවති, යකඩ ගැහැනිය ලෙසින් විරුදාවලිය ලත් මාග්‍රට් චැතර්ගේ රජයෙහි පැවත්මට මහත් රුකුලක් විය.

යුද්ධයක් යනු සටන් සමූහයක එකතුවකි. අවසාන ජයග්‍රාහකයා යුද්ධයේ ජයග්‍රාහකයාය. මේ, ෆෝක්ලන්ත යුද්ධයේ එක් සටනක කතාවයි. 

බ්‍රිතාන්‍යය විසින් දූපත් නැවත ලබාගැනීම උදෙසා සටන මෙහෙයවූ ආකාරය
~~~~~

1982, ආර්ජන්ටිනාවේ ජාතික දිනය වූ මැයි මස 25 වන දින, HMS Coventry සහ HMS Broadsword  යන බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ප්‍රහාරක නෞකා ද්විත්වය, ෆෝක්ලන්ත සමුද්‍ර සන්ධියට වයඹින් ස්ථානගතව, ඒවන විට සැන් කාර්ලෝස් බොක්කෙහි ( San Carlos Bay / Water aka Bomb ally ) සිදුවෙමින් පැවති බ්‍රිතාන්‍ය සෙබළුන් දූපතට ගොඩ බැසීමේ ක්‍රියාන්විතයට ආරක්ෂාව සපයමින් සිටියහ. ඔවුන් සතු වගකීම වූයේ ආර්ජන්ටිනා ගුවන් හමුදාව විසින් එල්ල කළ හැකි ගුවන් ප්‍රහාර වලින්, ගොඩබසින් සිටි හමුදාව ආරක්ෂා කරගැනීමයි. ඒ සඳහා  HMS Coventry සතුව Sea Dart නම්වූ මධ්‍ය දුර විදීමේ මිසයිල පද්ධතියක්ද, HMS Broadsword සතුව Sea Wolf  නම්වූ කෙටි දුර විදීමේ මිසයිල පද්ධතියක්ද වූහ. එදිනම උදෑසන HMS Coventry  විසින් සිය Sea Dart මිසයිල භාවිතා කොට, සැන් කාර්ලෝස් බොක්කෙහි ප්‍රහාරක මෙහෙයුම් වල නිරතව සිටි ආර්ජන්ටිනාවේ ප්‍රහාරක යානා දෙකක් බිම හෙළීමට සමත්වී සිටියාය. එබැවින්ම ඔවුන්ගේ ආත්ම ශක්තිය හා අධිෂ්ඨානය ඉහළ මට්ටමක තිබුණි. සමස්ථයක් වශයෙන් අනෙක් පාර්ශවයද එවැනිම තත්ත්වයක සිටියේය.


එදින උදෑසන, කපිතාන් පැබ්ලෝ කබායෝ සිය සහායක ගුවන් නියමුවන් සමඟ ආර්ජන්ටිනාවේ සැන්ට කෲස් පළාතේ වූ රියෝ ගලේගෝස් ගුවන් හමුදා කඳවුරෙහි ඊළඟ ක්‍රියාන්විතය සඳහා අණ ලැබෙන තෙක් පසු වූහ. ආතතිය අවම කරගනු වස් ඔවුන් ගිටාර් වයමින්, ගීත ගයමින් සැහැල්ලු ආකාරයෙන් පසු වූහ. මොහොතකින් බලාපොරොත්තුවෙන් සිටි අණ ඔවුන් වෙත ළඟා විය. එහෙත් එහි වෙනසක් තිබුණි. ඒ ෆෝක්ලන්ත දූපතට ගොඩ බසින බ්‍රිතාන්‍ය හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරීමේ සාමාන්‍ය මෙහෙයුම වෙනුවට මෙවර ඔවුනට පැවරී තිබුණේ ඔවුනට හිසරදයක්ව පැවති HMS Coventry හා HMS Broadsword  පහර දී ගිල්වා දැමීමටය. ගුවන් නියමු කාර්ලෝස් රින්කේ, ගුවන් නියමු ලෙනාර්ඩෝ බැරියෝනුවේවෝ සහ ගුවන් නියමු මරියානෝ වෙලස්කෝ සටන සඳහා කපිතාන් කබායෝ සමඟ එකතු වූහ. කපිතාන් කබායෝ පවසන්නේ, සාමාන්‍යයෙන් ක්‍රියාන්විතයක් සඳහා ගුවන් ගත වන විට සිතෙහි භීතිය මුසු හැඟීමක් පැවතුනද, එදින තමන්ට කිසිම බියක් නොදැනුණ බවයි. මධ්‍යහනයට කලින් ආර්ජන්ටිනාවට අයත්  A4-Skyhawks ගුවන් යානා සතරක්, නෞකා නතර කොට තිබූ පෙබල් දිවයින් උතුරු මුහුද බලා ගුවන් ගත වූහ. ක්‍රියාන්විතය සාර්ථක වේවිද ??

සටන පිළිබඳව Flavio Quevedo ඇඳි සිතුවමක් 
දහවල් 12 පසුවී සුළු මොහොතකින්, HMS Coventry නෞකාවේ අණ දෙන නිලධාරී කපිතාන් හාර්ට් ඩයික් වෙත ආර්ජන්ටිනාවේ සිටි බ්‍රිතාන්‍යය SAS ඔත්තුකරුවන්ගෙන් ක්‍රියාන්විතය පිළිබඳ තොරතුරු ගලාගන එන්නට විය. ඔවුනට තර්ජනයට මුහුණදීම සඳහා පැයක පමණ කාලයක් ඉතිරිව තිබුණි. ගුවන් යානා, නෞකා වෙත ළඟාවීමට නියමිතව තිබුණේ එම කාලපරාසය ඇතුලතය. දහවල් 12:45ට පමණ HMS Coventry රේඩාර් තිරය මත ගුවන් යානා සතර දර්ශනය වූහ. එවිට යානා සතර ආසන්න වශයෙන් කි.මි. 420ක් පමණ දුරින් ස්ථානගතව සිටියහ.


ක්‍රියාන්විතය සිදුවූයේ දහවල් බැවින්, ආර්ජන්ටිනා යානාද සිය අරමුණ සාර්ථක කරගැනීමට පෙර සතුරනට ඉලක්ක වීමේ වැඩි සම්භාවිතාවයක් තිබුණි. මෙතෙක් වේලා එක්ව ගමන් කළ ගුවන් යානා සතර, යානා දෙක බැගින් කාණ්ඩ දෙකකට බෙදී ගමන් කිරීමට ඇරඹියහ. ඉන් පසුව නෞකාවල වූ රේඩාර් වලට හසුවීම වැළැක්වීම උදෙසා ගුවන් යානා ඉතාමත්ම පහළට ගත්හ. කෙතරම් පහතින් පියාසර කළේද යත් කපිතාන් කබායෝගේ යානය ඉදිරිපස පැහැදිලිව නොපෙනෙන තරමටම මුහුදු ලුණු වලින් වැසී ගිය බව ඔහු පවසයි.

ගුවන් යානා, රේඩාර් තිරයෙන් අතුරුදහන් විය. සී ඩාර්ට් මිසයිල වලට යාන ඉලක්ක කරගැනීමට කළ උත්සහය අසාර්ථක විය. මෙහෙයුම් මැදිරියේ සිටි සියලු දෙනාගේම දෙනෙත් යොමුව තිබුණේ රේඩාර් තිරය දෙසටය. නැව් තට්ටුව මත සියලු දෙනාගේම දෙඇස් පෙබල් දිවයින දෙසට යොමුව තිබුණේ තමන් දෙසෙට එන ගුවන් යානා නිරීක්ෂණය කිරීම උදෙසාය.

දහවල් 01:00 වන විට නෞකා දෙක සිතිජයෙහි පුංචි තිත් දෙකක් ලෙස ගුවන් යානා වලට දර්ශනය වන විටත්  HMS Coventry  රේඩාර් ක්‍රියාකරු විසින් සී ඩාර්ට් මිසයිල සඳහා ඉලක්කය ලබා ගැනීමට වෙහෙසෙමින් සිටියේය. දැන් කපිතාන් කබායෝ ප්‍රමුඛ යානා ද්විත්වය නෞකා වලට තත්පර ගණනක දුරිනි. යානා ඉලක්කගත කොට ගැනීම උදෙසා රේඩාර් ක්‍රියාකරු විසින් කළ සියලු උත්සහයන් ව්‍යර්ථ විය. හදිසියේම  HMS Coventry  නැව් තට්ටුව මත සිටි සෙබළකුගෙන් ආර්ජන්ටිනා ගුවන් යානා නැවෙහි දකුණු පසින්  ( Starboard Side ) දර්ශනය වන බවට දැනුම් දුන්නේය. ඒ මොහොත වන විට මධ්‍ය දුර මිසයිල වූ සී ඩාර්ට් මිසයිල මතවූ බලාපොරොත්තු අත්හරින්නට කාලය එළබ තිබුණි. ඒ වෙනුවට නැව මත වූ අඟල් හතරහාමාරේ කාල තුවක්කු වහාම ක්‍රියාත්මක වුණි. තමන් දෙසට එල්ල වන වෙඩි වරුසාව මධ්‍යයේ ගුවන් යානා දෙක HMS Broadsword  වෙත ගමන් කළහ. HMS Broadsword  ද තමන් සතුවූ කෙටි දුර  සී වුල්ෆ් මිසයිල ක්‍රියාත්මක කිරීම උදෙසා වෙහෙසෙමින් සිටියද ඔවුන් වෙතින්ද මිසයිල ප්‍රහරයක් යානා වෙත එල්ල නොවුණි. දහවල් 01:21ට  HMS Broadsword  වෙත ආර්ජන්ටිනා යානා වෙතින් ප්‍රහාරය එල්ල වුනේය. රාත්තල් 1000ක් බරැති එම බෝම්බය පුපුරා නොගිය නමුදු නැව් තට්ටුව මතවූ හෙලිකොප්ටර් යානයකට විනාශය ගෙනදීමට සමත් විය. ඉදිරියටම ගමන් කළ බෝම්බය නැවතත් මුහුදට වැටී නොපෙනී ගියේය. HMS Coventry වෙතින් කපිතාන් කබායෝගේ යානය වෙත ප්‍රහාරයක් එල්ල වුවද උපද්‍රවයකින් තොරව නැවත පැමිණීමට සමත් විය. නැව් දෙකෙහි වූ නාවිකයන් තමන් අනූ නවයෙන් ගැලවුණු බවට සැනසුම් සුසුම් හෙළුහ.  

එහෙත්, එම සැනසීම වැඩිවේලාවක් විඳීමට ඔවුනට නොහැකි විය. අනෙක් ගුවන් යානා දෙක HMS Coventry නැවෙහි වම්පස ඇණියට අංශක විස්සක් පමණ කෝණයකින් දර්ශනය විය. නැවතත් කඩිගුලක් සේ ඔවුන් ක්‍රියාකාරී වූහ. එවිට ගුවන් යානා දෙක ස්ථානගතව පැවතුණේ කි.මි. 15ක් පමණ එපිටිනි. විනාඩියකට මදක් වැඩි කාලයක් ඔවුන්ට ලැබී තිබුණි. ගුවන් යාන දෙක හොඳින් සී ඩාර්ට් මිසයිල වලට ඉලක්ක කරගැනීම උදෙසා නැව දකුණු පසට හරවන මෙන් කපිතාන් හාර්ට් ඩයික් නියෝග කළේය. එම අතරම සී ඩාර්ට් මිසයිල ක්‍රියාකරු ඉලක්කය ගැනීමට වෙහෙසුනි. අවසානයේදී ඉලක්කය ලබාගෙන යානා එල්ල කොට එක් මිසයිලයක් නිදහස් විය. එම මිසයිලය තමන්ට මීටර 300ක් දකුණු පසින් ගමන් කරනු ගුවන් නියමු මරියානෝ වෙලස්කෝට නිරීක්ෂණය කළ හැකි විය.

නෞකාව බේරා ගැනීම සඳහා යමක් කිරීමට ඉතිරිව තිබුණේ තත්පර කිහිපයක කාලයක් පමණී. HMS Broadsword වෙතින් යානා වෙත මිසයිල ප්‍රහාර එල්ලවේයැයි ඔවුන් බලාපොරොත්තු වූවද එවැන්නක් සිදු නොවුණි. නැවතත් නැව් තට්ටුව මත වූ තුවක්කු සහ සාමාන්‍ය රයිෆල් වල පිහිට පැතීමට HMS Coventry හට සිදු වූවාය. දසත ගුගුරුවමින් නොකඩවාම තුවක්කු සහ රයිෆල් හඬ වා තලයට මුසු වූහ. එහෙත් එය අසාර්ථක උත්සහයක් බව පසක් කරමින් දහවල් 01:22 ට ගුවන් යානාවලින් නිකුත් වූ බෝමබ ත්‍රිත්වයක් HMS Coventry හී වම් පස බඳ ( Port Side Hull ) සිදුරු කෙරුණේ මුළු නෞකාවම දෙදුරුම් කවමිනි. තමන් සටන පැරදුණු බව HMS Coventry නාවිකයනට පසක් වූහ.

~~~~~

HMS Coventry  අයත් වූ Type 42 කාණ්ඩයේ ප්‍රහාරක යාත්‍රා පද්ධතිය නිමවා තිබුණේ ඉතා ඉහළින් පියාසර කරනා ප්‍රහාරක ගුවන් යානා ඉලක්ක කොටගෙන විනාශ කරලීම සඳහාය. මේ සඳහා එම නෞකා කි.මී. 400කට වඩා දුර නිරීක්ෂණය කළ හැකි ප්‍රබල රේඩාර් පද්ධතියක් සහ එයට සම්බන්ධව සවි කෙරුණු මධ්‍ය දුර මිසයිල පද්ධතියක් වූ සී ඩාර්ට් මිසයිල පද්ධතියකින් සමන්විත වූහ. සී ඩාර්ට් මිසයිල, කි.මි. 65ක් පමණ දුරස්ථ හා අඩි 30000ක් පමණ උසින් වූ ඉලක්ක සඳහා පහර දීමට සමත්කම් දැක්වූවාය. බ්‍රිතාන්‍යය ඉලක්ක වෙත පහර දී නැවත ගමන් කරනා ආර්ජන්ටිනා ගුවන් යානා, බොහෝ විට කඳවුරට යාම දක්වා ඉන්ධන ඉතුරු කරගනු වස් තුනී වාතය සහිත ඉහළ උසකින් ගමන් කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. මෙය සී ඩාර්ට් මිසයිල සඳහා අතිශයින් යෝග්‍ය තත්ත්වයක් උදා කරණු ලබයි. මැයි 25වන දින උදෑසන සී ඩාර්ට් විසින් ආර්ජන්ටිනා ගුවන් යානා දෙකක් බිම හෙළනු ලබූවේ මෙම තත්ත්වයන් යටතේදීය. HMS Coventry සතු මෙම ප්‍රබල රේඩාර් පද්ධතිය, බ්‍රිතාන්‍යය හමුදාවන් විසින් ෆෝක්ලන්ත සටනේදී වෙනස් ප්‍රයෝජනයක් සඳහාද භාවිත කෙරිණි. ඒ සතුරු ගුවන් යානා ඈතදීම හඳුනාගෙන අනෙක් පාර්ශවයන් දැනුවත් කිරීම උදෙසාය.

නමුත් සී ඩාර්ට් සතුව එයටම ආවේණික දුර්වලතා කිහිපයක් වූහ. සී ඩාර්ට් මිසයිල ඉතා පහතින් ගමන් කරනා, ඉතා වේගවත් ඉලක්ක ඉදිරියේදී අසමත් බව, සිදු කරන ලද නාවික අභ්‍යාස වලදීද තහවුරු වී තිබුණි. බ්‍රිතාන්‍යය හමුදාවන් මෙය ඉතා හොඳින් දැන සිටි කරුණකි. එමෙන්ම සී ඩාර්ට් රේඩාර් පද්ධතිය වඩා හොඳින් ක්‍රියාත්මක වූයේ බාධා රහිත පැහැදිලි පසුබිමක් තුළදීය. රේඩාර් පද්දිතියට අයත් සීමාවේ කඳු, හෙල් හෝ වෙනයම් හෝ භූමි ලක්ෂණ අන්තර්ගත වූයේනම් එවැනි වාතාවරණයකදී රේඩාර් පද්ධතියි නිසි අයුරින් ක්‍රියාත්ම නොවන බවද නිරීක්ෂණය කොට තිබුණි. මෙම කරුණු ආර්ජන්ටිනා හමුදාවන්ටද රහසක් නොවුණි.

HMS Coventry  සතුවූ මෙම දුර්වලතාවයන් නිසාම ඇයට තවත් සහයක නෞකාවක් අනුබද්ධ කොට තිබුණි. ඒ  HMS Broadsword ය.  HMS Broadsword සතුවූ සී වුල්ෆ් මිසයිල පද්ධතිය කි.මි. එකේ සිට හයහමාර දක්වා වූ කෙටි දුර ඉලක්ක සඳහා යෝග්‍යය විය. එම නිසා නෞකා දෙකට එකිනෙකාව ආරක්ෂා කරගැනිමේ වගකීම ද පැවරී තිබුණි. දිගු දුර ඉලක්ක HMS Coventry විසින් මැඩපවත්වන අතර අසමත් වුවහොත්  HMS Broadsword විසින් සිය සී වුල්ෆ් කෙටිදුර මිසයිල භාවිතා කොට ඉලක්කය බිම දමනු ඇත. එමගින් අන්‍යෝන්‍ය වශයෙන් ආරක්ෂා විය හැකි බව බ්‍රිතාන්‍යය හමුදා බලධාරින්ගේ විශ්වාසය විය.

මැයි 25 වන දින උදෑසන ගුවන් යානා හතර රියෝ ගලේගෝස් කඳවුරෙන් නික්මුණ වහාම HMS Coventry  රේඩාර් පද්ධතියෙහි ඒවා සටහන් වූහ. එහෙත් යානා ෆෝක්ලන්ත දූපත් ආසන්නයට පැමිණි පසු ඉතාමත්ම පහතින් පියාසර කිරීම ඇරබීමත් සමඟම ඒවා රේඩාර් තිරයෙන් අතුරුදහන් වූහ. HMS Broadsword රේඩාර් තිරයෙහි යානා වරින් වර දිස් වුවද ඒවන විට ගුවන් යානා සී වුල්ෆ් ප්‍රහාර සීමාවෙහි ඔබ්බෙන් පසුවීම නිසා  HMS Broadsword හට කළහැකි දෙයක් නොවුණි.

කපිතාන් කබායෝ ප්‍රමුඛ ගුවන් යානා ද්විත්වය නැවත HMS Coventry  තිරයෙහි දිස් වන විට ඔවුන් නෞකා වලට යාන්තම් තත්පර 90ක් පමණක් මෙපිටින් පසු වූහ. සී ඩාර්ට් ක්‍රියාකරු ඉලක්කය ගැනීම සඳහා වෙහෙසුනද අසාර්ථක වූයේ ඒ වනවිට ඉලක්ක සී ඩාර්ට් සීමාවට මෙපිටින් පිහිටි බැවිනි. යානා වලට පහර දීමේ වගකීම වහාම HMS Broadsword  වෙත පැවරුණි. එවිට පැවති තත්ත්වය සී වුල්ෆ් මිසයිල සඳහා ඉතාමත්ම යෝග්‍ය තත්ත්වයේ තිබුණි. එහෙත් ගුවන් යානා දෙක එකිනෙකට ඉතා ආසන්නව ගමන් කිරීම නිසා HMS Broadsword  රේඩාර් පද්ධතිය යානා දෙක හඳුනා ගනු ලැබුවේ එක් විශාල ඉලක්කයක් වශයෙනි. එවිටම වාගේ යානා දෙක එකිනෙකින් වෙන්වීම නිසා එය ලොකු තනි ඉලක්කයක් සහ තවත් කුඩා ඉලක්ක දෙකක් ලෙස රේඩාර් පරිගණකය විසින් හඳුනා ගැනුණි. මෙමගින් ව්‍යාකූල වූ  HMS Broadsword  රේඩාර් පද්ධතිය අක්‍රිය වූ අතර නැවත පණගැන්වීමට සිදු වීම නිසා ඔවුන්ද යානා වෙත ප්‍රහාර එල්ල කිරීමට නොහැකිව අසරණ වූහ. ප්‍රහාරයෙන්  HMS Broadsword නෞකාව බේරුණද, අන්‍යෝන්‍ය ආරක්ෂාව වෙනුවෙන් සැකසී තිබුණ ක්‍රමවේදය අභියෝගයට ලක්වී තිබුණි.


මරියානෝ වෙලස්කෝ ප්‍රමුඛ අනෙක් යානා දෙක දිස්වූ වහාම කපිතාන් හාර්ට් ඩයික්ගේ නියමයෙන් HMS Coventry  යාත්‍රාව උපරිම දකුණට හැරවූයේ සී ඩාර්ට් මිසයිල සඳහා ඉලක්ක ගැනීමට පහසු කරවනු සඳහාය. නමුත් එම තීරණයම නැවෙහි විනාශයට මුල් විය. මේ මොහොත වන විට වෙලස්කෝගේ යානය නෞකාවට තත්පර 35ක් සහ කි.මි. 8 ක් මෙපිටින් පසු වූවේය. එය සී ඩාර්ට් අවම ප්‍රහාරක සීමාව ආසන්නයේම පැවතුණි. එමෙන්ම ගුවන් යානා ඉතා පහතින් පියාසර කිරීම නිසා සී ඩාර්ට් මිසයිල වලට ඉලක්කය ලබා ගත්තද එය පවත්වා ගැනීමේ අපහසු තත්ත්වයක් පැවතුණි. මේ අවස්ථාවේ වෙලස්කෝගේ යානව සී ඩාර්ට් ඉලක්කයට  හසු වුවද මිසයිලය නිකුත් කොට නිමේෂයකින් ඉලක්කය ගිලිහී ගියේය. යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් විය. එම මිසයිලය ඔහුට කිසිඳු අනතුරක් නොකර වෙලස්කෝට මීටර 300ක් දකුණින් ඉගිල ගියේ එබැවිනි.

දැන් ගුවන් යානා තත්පර 21ක් මෙපිටිනි. නැවතත් පහර දීමේ වගකීම HMS Broadsword  වෙත පැවරුණි. මේ වන විට ඔවුන්ගේ රේඩාර් පද්ධතිය නැවත පණ ගන්වා ප්‍රහාරයට සූදානම්ව සිටියද නැවතත් අවාසනාව  HMS Coventry  සමඟම විය. HMS Coventry දකුණට හැරවීම නිසා එය HMS Broadsword  නෞකාව හරස් කොට එයට ඉදිරියෙන් පසු වූවාය.  එමෙන්ම නැව දකුණට හැරවීම නිසා වයඹ දෙසින් නැව කරා සේන්දු වූ ගුවන් යානා දෙකට නැවෙහි බඳ හොඳින්ම විවර වූ අතර ඉතා පුළුල් ඉලක්කයක් ලබා දුන්නේය. මෙලෙස  HMS Broadsword  හා ආර්ජන්ටිනා ගුවන් යානා අතරට HMS Coventry  පැමිණීම නිසා Broadsword  හට සිය මිසයිල, ගුවන් යානා වෙත එල්ල කිරීමෙන් වැළකීමට සිදුවූයේ එසේ කළහොත් HMS Broadsword  හී මිසයිල මගින් HMS Coventry නෞකාව ඉලක්ක  වන බැවිනි. මෙම තත්ත්වය වෙලස්කෝ සහ ඔහුගේ සහයකයාට අභියෝගයකින් තොරවම ප්‍රහාරය එල්ල කිරීමට අවැසි වාතාවරණය සකසා දුන්නේය. මොහොතකින් වෙලස්කෝ විසින් නිදහස් කළ බෝම්බ ත්‍රිත්වය HMS Coventry  හී වම් පස බඳ සිදුරු කොට ගෙන හියහ.


HMS Coventry දකුණු පසට හරවමින් HMS Broadsword හට බාධාවක් වෙන අයුරු.
ප්‍රථම බෝම්බය නැවෙහි පරිගණක කාමරය සුනුවිසුනු කොට ජීවිත හතක් බිලි ගත්තේය.  දෙවැන්න පුපුරා නොගිය අතර, තෙවැන්න එන්ජින් කාමරය අසල පුපුරා ගියේ දස දෙනෙකුට සිය ජීවිත අහිමි කරවමිනි. දෙදෙනෙකු නැවෙන් ඉවත්වීමේදී ජීවිතක්ෂයට පත් වූහ. HMS Broadsword විසින් 170 දෙනෙකුව ගලවා ගත් අතර 19 දෙනෙකු දිවි පුදා තිබුණි. බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවට සිය වටිනා සම්පතක් අහිමිව තිබිණ.

ප්‍රහාරයට ලක්වීමෙන් පසු


ප්‍රහාරයෙන් අනතුරුව මුහුදුබත් වෙමින්
~~~~~

HMS Coventry ය මෙසේ ගිලී ගියද, ඒවන තෙක්ම ඇයට පැවරුණු කාර්යය උපරිමයෙන් ඉටු කොට තිබුණාය. ගිණිය නොහැකි තරම් බ්‍රිතාන්‍යය සෙබළුන් පිරිසක් ඇයගේ රැකවරණය යටතේ ෆෝක්ලන්ත දිවයින් වලට ගොඩ බැසීමට සමත් වූහ. එබැවින්ම අවසාන ප්‍රතිඵලය බ්‍රිතාන්‍යයට වාසි දායක එකක්ම විය.

~~නිමි~~


මූලාශ්‍ර:
1. Seconds from Disaster: Sinking the Coventry - Documentary film by National Geographic

ඡායාරූප:
http://www.militaryphotos.net
http://www.coventrytelegraph.net
http://en.wikipedia.org
Seconds from Disaster: Sinking the Coventry - Documentary film by National Geographic

සකස් කෙරුවේ:
~~සෙන්නා / 22.02.2013

පසු සටහන්:
1. ලෝක ඉතිහාසයේ තවත් ප්‍රකට නාවික සටනක් පිළිබඳව විචාරක මහතා අතින් ලියවුනු අංග සම්පූර්ණ ලිපි මාලාව කියවා නැත්නම් මේ දැන්ම මෙතනින් පිවිසෙන්න.

2. ලෝක දේශපාලනය අතැඹුලක් සේ දැනගන්න, අතීත / වර්තමාන සිදුවීම් නිවැරදිව දැනගන්න, කියවන්න 

Thursday, February 7, 2013

ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා... | සංශෝධිත නිකුතුව



2013 නවම් මස 07වනදා

තකද "ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා"  ?

ඕක තමයි කුරුන්දෙ දිශානතිය වෙනස් කරපු ලිපිය. නොහිතපු විදිහට පාඨක ආකර්ෂණයට ලක් වෙච්ච ලිපිය. අදටත්, කුරුන්දෙ ලිපි අතරින් වැඩිම පිරිසක් කියවපු ලිපිය. මේක කුරුන්දෙ තුන්වෙනි ලිපිය. ඊට කලින් දාපු ලිපි දෙකට මගේ ප්‍රතිචාරත් එක්ක ප්‍රතිචාර දහයක් දොළහක් තමා තිබුණෙ. හැබැයි මේක රොකට් එක වගේ කඩාගන උඩට ගියා. දවස් දෙකතුනක් යනකොට මගෙ ඒවත් එක්ක ප්‍රතිචාර හතළිස් ගාණක් වුණා. අංකුර බ්ලොග් කාරයෙක් වෙච්ච මට ඒක මහ මෙරක් වගේ. සතුට උපරිමයි. මහන්සි වෙලා තොරතුරු හොයලා හදපු ලිපිය කට්ටිය කියවලා අගය කරද්දි දැනුණ සතුට නිමක් නෑ..

ඒත්, කියන්ඩ කණගාටුයි.. මට මේ ළඟදි දැනගන්න ලැබුණා ලිපියෙ අන්තර්ගත සමහර කරුණු සත්‍යයෙන් බොහෝ දුරස්ථ බව. ඒ වගේම අසම්පූර්ණයි කියලා. ඉතින් මම තීරණය කළා ලිපිය නැවත සංශෝධනය කරන්න. නොකියවපු අයට කියවන්නත්, කියවපු අයට නිවැරදි තොරතුරු එක්ක නැවත කියවන්නත් මේකෙන් අවස්ථාව ලැබේවි. සංශෝධනයට හේතු වෙච්ච සබැඳි යටින්ම රතු පාටින් සලකුණු කරල තියනවා. ඒවත් කියවලා, ශ්‍රවණය කරලා බලන්න. 


~~~~~




දිනය, 1982 ජුනි 30 වැනිදා. ටෝකියෝ බලා ගමන් කිරිමට නියමිත ගුවන් යානය, ලහි ලහියේ ඒ සඳහා සුදානම් වෙමින් පවතී. සියළු මගීන් යානයට ගොඩවී තමනට වෙන්වු අසුන් සොයා යයි. ගුවන් සේවිකාවන්ද ඔවුන්ට සහය වෙමින් යානය ගුවන් ගත කිරිමට අවශ්‍ය පූර්ව සුදානම් කිරිම් වල නියෙලෙමින් සිටියාය. මොහොතකින් සියල්ල සුදානම්. මගීන් 340 ක් රැගත් Alitalia 1790 ( Boeing 707 ) ගුවන් යානය නව දිල්ලි අහස් කුස දෙබෑකරගන ගුවන් ගතවිය.

සියල්ල යථාපරිදි සිදුවෙමින් පැවතුනි. මගීන් සුවපහසු ලෙස සිය අසුන්වලට බරදෙමින් සිටින අතරතුර කාර්‍ය්‍යය මණ්ඩලය සිය කටයුතුවළ නිරත වෙමින් සිටී.

යානය අඩි 35,000 ක්වු, පියාසර මට්ටමට ලඟාවිය. මේ අතරතුර එක් ගුවන් සේවිකාවක් විසින් කපිතාන් Georgo Amarosa වෙත මගියෙකුගෙන් ලද ලියමනක් යොමුකරන ලදී. තමන් විසින් පාලනය කරනු ලබන යානය සිය පාලනයෙන් ගිලිහී ඇති බව අවබෝධ කොට ගැනීමට මේ පළපුරුදු නියමුවාට එම ලිපිය දෙවරක් කියවීමට අවශ්‍ය නොවුනි.

                                     ~~~~~

1949 ජුනි 03 වෙනිදා, මාතර කරතොට ග්‍රාමයේ උපත ලබන සේපාල, හම්බන්තොට යෝධකණ්ඩිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබයි. කුඩාඅවදියේ සිටම විප්ලවකාරි චරිතයක් වන සේපාල, 50 දශකයේ අග බාගයේදී සිය පියාත් සමඟ ඇතිකරගන්නා ආරවුලක් හේතුකොටගෙන නිවසින් පිටව ගොස්, එවකට ආනන්ද කනිශ්ඨ විද්‍යාලයේ විදුහල්පති  D.L.B. පෙරේරා මහතාගේ නිවසේ නතරව සිටී. 1972 දී, බටහිර ජර්මනියේ සිටි සිය අසල්වැසි මිතුරකු මාර්ගයෙන් සේපාල ඉසුරු සොයා බටහිර ජර්මනිය බලා යෑමට තීරණය කරයි.

1973 දී, බටහිර ජර්මනිය බලා යන සේපාල, පළමුවෙන්ම කම්කරුවෙකු ලෙස අව්රුදු තුනක් බටහිර ජර්මනියේ රැකියාව කරයි. මේ අතර තුර, ඉතාලි ජාතිකයන් කිහිප දෙනෙකු සමඟ මිතුදමක් ගොඩ නගා ගන්නා සේපාල, 1976 ඔවුන්  සමඟ ඉතාලියට පැමිණ,  සිය මිතුරන් ගේ සහායෙන් ඉතාලියේ මොඩෙනා නගරය ආසන්නයේ ගොවිපලක රැකියාවක් ලබා ගනී.


සිය මිතුරකු මාර්ගයෙන් Anna Aldrovandi හඳුනා ගන්නා සේපාල, ඇය සමඟ පෙම්සබඳ තාවයක් පටන් ගන්නා අතර, ටික කලකින් එක්ව වාසය කිරිමට පටන් ගනී. 1978 දී සිය දරුවා වූ ෆ්‍රී ඒකනායක, ඔවුන් අතරට පැමිනෙන අතර එම වසරේදීම ඇනාගේ පාර්ශවයෙන් එල්ලවන විරෝධයද නොතකා ඔවුන් නීත්‍යණුකූලව විවාහ වේ.


කාලය සෙමෙන් ගලා ගියේය. කාලයාගේ ඇවෑමෙන් සේපාල හා අන්නා අතර සබඳතාවය බිඳී යන තැනටම කටයුතු සිදු වෙමින් පැවතුණි. ඔවුන්ගේ විවාහ දිවිය එතරම් සාර්ථක එකක් නොවුණි. 

මේ අතරතුර, සේපාල විසින් වාර්ෂික අලුත් කිරීමට භාරදුන් සිය පුරවැසිභාවයට අදාළ කිසියම් ලියවිල්ලක් නැවත ලබා ගැනීමට අදාළ කාර්යාලයට ගිය විට ඔවුන් පවසා සිටියේ තමනට එවැනි ලියවිල්ලක් ඔහුගෙන් නොලැබුණ බවයි. එහෙත් එම කාර්ඩ් පත අලුත් කිරීම උදෙසා ඔවුනට භාරදුන් බවට මතකයක් ඇති සේපාල විසින් එය පිළිබඳව සොයා බලන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියද සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණි. ඔවුන් දැනුම් දුන්නේ ලංකාවට ගොස් එහි තානාපති කාර්යාලයෙන් විමසා බලන ලෙසයි. එම උපදෙස් මත සේපාල ලංකාවට පැමිණියද ඔහුව මවිත කරවමින් ඉතාලි තානාපති කාර්යාලය දැනුම් දුන්නේ එවැනි කාඩ් පතක් තමනට එවා නොමැති බවත්, එය භාරදුන් කාර්යාලයෙන්ම නැවත ලබා ගන්නා ලෙසත්ය. සේපාල නැවතත් ඉතාලියට ගමන් කෙරුවේය. ඉතාලියට ගොස් අදාලා කාර්යාලයට ලංකාවේ තානාපති කාර්යාලයෙන් දැනුම් දුන් දේ දන්වා සිටියද ප්‍රතිඵලයක් රහිත විය. මාස දෙකක පමණ ඔහු ඉතාලියේ සිට ඒ සම්බන්ධයෙන් වෙහෙසුනද පලක් නොවුණි. ඔවුන් සෑම විටම පවසා සිටියේ ලංකාවට ගොස් එහි ඉතාලි තානාපති කාර්යාලයෙන් අදාළ ලියවිල්ල ලබා ගන්නා ලෙසයි. එබැවින් සේපාල නැවතත් ලංකාවට පැමිණීමට සිදුවිය.

සේපාල පවසන පරිදි අදාළ ලියවිල්ල ඉතාලියට ඇතුල්වීම සඳහා ඔහුට අවශ්‍යය නොවුණත්, එහි රැකියාවක් කිරීම වැනි කටයුතු සඳහා එය ඉතා ප්‍රයෝජනවත් වේ. එබැවින් ඔහුට මෙය නැවත ලබා ගැනීමේ දැඩි උවමනාවක් විය. ලංකාවට පැමිණි පසු හත් අට වරක්ම ඉතාලි තානාපති කාර්යාලයට ගොස් මේ පිළිබඳව විමසා සිටියද ඔවුන් විසින් ඔහුව රස්තියාදු කරමින් නැවත නැවත පැමිණ බලන ලෙස දන්වනවා මිස ප්‍රතිඵලදායක යමක් නොවුණි. ඉවසීමෙහි අන්තිම සීමාවත් ඉක්මවා ගිය සේපාල විසින් අවසානයේදී දිනක් එහි සිටි නිලධාරියාට තදින් කතා කරන්නට යෙදුණි. අවාසනාවකට තරුණවියෙහි සිටි නිළධාරියාද සේපාල සමඟ බහින්බස්වීම නිසා එය ආරවුලක් බවට හැරුණි. තානාපති නිළධාරියාවත්, සේපාලවත් එකිනෙකාට යටත් වීමට මැලිකමක් දැක්වීය. අවසානයේදී එය ඔවුන්ගේ පෞරුෂය පිළිබඳ ප්‍රශ්නයක් බවට පෙරලුණි. දෙදෙනාගෙන් එක් අයෙකුවත් අනෙකාට දිනුම දීමට සූදානම් නොවීය. මෙසේ බහින් බස් වීම යන අතරතුර ඇවිලෙන ගින්නට පිදුරු දමමින් එම නිලධාරියා අතින් සේපාලගේ ලියකියවිල වගයක් බිම පතිත විය. සේපාලට එය ලෙහෙසියෙන්ම අහුලා ගත හැකි වුවද පැවති වාතාවරණය නිසා නිලධාරියා විසින් ඒවා අහුලා දිය යුතු බව ඔහු තදින් පවසා සිටියේය. මෙහිදී එම නිලධාරියා;


" උඹ ඔහොම හැසිරුනොත් උඹට ආව කාරණාව කවදාවත් ඉෂ්ට කරගන්න බැරිවෙයි." යයි පැවසීය.

" උඹ කරලා නොදුන්නට මම දන්නවා ඒක කරගන්නෙ කොහොමද කියලා"

"හඃ පුළුවන්නම් කරගනින් "

" මට සති දෙකක් කල් දෙන්න " යැයි කියමින් ආයෙ කිසි දිනක මෙහි පස් නොපාගමියි අදිටන් කරගත් සේපාල එතනින් එළියට බැස්සේය.

මෙසේ අභියෝගකොට තානාපති කාර්යාලයෙන් පිට වුවද, අභියෝගය ජය ගැනීමට කළ යුත්තේ කුමක්දැයි ඒ වනවිටත් සේපාලට අදහසක් නොවුණි. ඒ ගැන සිය කල්පනාව මෙහෙයවනන්ට වූයේ තානාපති කාර්යාලයේ මිදුලේ සිටමය. තානාපති කාර්යාලයට පහරදීම, තානාපති කාර්යාලයේ පිරිසක්ව ප්‍රාණ ඇපයට ගැනීම වැනි නොයෙක් නොයෙක් විකාර අදහස් ඔළුවට පැමිණියත් ඒ එකක්වත් ක්‍රියාත්මක කිරීමට ඔහු මැලිවිය. අවසානයේදී කළ යුතු කුමක්දැයි ඔහු විසින් තීරණය කෙරුණේ තානාපති කාර්යාලයේ මිදුලෙන් ඉවත්ව ඒමටත් ප්‍රථමය. 

1982 ජූනි අග, සේපාල තවත් සිය මිතුරකු සමඟ නව දිල්ලි නගරයට පැමිණියේ සිය සැළසුම් සහගත වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අදහසිනි. නමුත් ඔහුගේ මිතුරා මොහු කිරීමට යන භයානක කාර්යය පිළිබඳව හාන්කවිසියක්වත් නොදැන සිටියේය. කෙසේ නමුත් අවසානයේදී ඔහුගෙන් අවශ්‍යතාවයක් නැතැයි තීරණය කළ සේපාල, නැවත ඔහුට ලංකාවට යන ලෙස දැනුම් දී ඔහුගෙන් වෙන් විය.

1982 ජුනි 30, සිය සැලසුම සිතේ තබාගෙන සේපාල නව දිල්ලි ගුවන් තොටේ රඳවා තිබූ අලිතාලියා ගුවන් යානයට ගොඩ වී අසුන් ගත්තේය.. ඔහුගේ අරමුණ වූයේ භාරගත් අභියෝගය ජයගැනීම උදෙසා මෙම ගුවන් යානය පැහැර ගැනීමයි. මෙය එක්තරා විදිහක පිස්සුවක් යැයි කෙනෙකුට හැඟී යා හැකිය. ඒ වන විට කිසිඳු ශ්‍රී ලාංකිකයකු මෙවැනි ක්‍රියාදාමයකට කිසිදා සම්බන්ධ නොවී තිබුණි. නමුත් දැන් සේපාල ඒ සඳහා තනිවම අතගසා ඇත. එවකට පැවති ගුවන්යානා පැහැර ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය වූයේ ආයුධ රැගෙන යානයට ඇතුල් වී නියමුවා මරණ බවට තර්ජනය කොට, යානයේ පාලනය කොල්ලකරුවන්ගේ අතට ගැනීමයි. එහිදී මුලු යානය පුරාම ඔවුන් භීෂණය පතුරවන අතර මගීන්වද ත්‍රාසයට පත්කෙරේ. මෙම සාම්ප්‍රදායික ක්‍රමය මැඩ පැවැත්වීමට එවකට කමාන්ඩෝ බළකායන් ඒ පිළිබඳව හොඳ පුහුණුවකින් සිටින බව දත් සේපාල, විකල්ප ක්‍රමයක් කෙරෙහි සිය අවධානය යොමු කළේය. එතුළින් ඔහු විසින් ගුවන් යානා මංකොල්ල කෑමේ ශ්‍රී ලාංකීය ක්‍රමවේදය ලොවට හඳුන්වා දුන්නේය. 


~~~~~


සේපාල ඒකනායක

යානය ගුවන්ගතවී මොහොතකින්, සේපාල විසින්, තමාට සිදුවූ අසාධාරණය සඳහන් කොට, එයට සාධාරණයක් ඉෂ්ටකර ගැනීම උදෙසා තමාට අකමැත්තෙන් වුවද යානය තමන්ගේ අතට ගැනීමට සිදුවන බවත්, එසේ නොවුණහොත් තමන් යානය පුපුරුවා හරින බවට තර්ජනයක් කෙරුණු ලිපියක් යානයේ නියමුවා වූ කපිතාන් අමරෝසා වෙත ලිවීය. එහිම ඔහු විසින් සිය ඉල්ලීමද සඳහන් කිරීමට වගබලා ගත්තේය.

ලිපිය ගුවන් සේවිකාවකට ඉදිරිපත් කොට එය ගුවන් නියමුවා වෙත රැගෙන යන ලෙස කීවද ගුවන් සේවිකාව එයට විරෝධය පෑවාය. නමුත් සේපාල ඉන්පසුව තදින් කළ අණ කිරීමට යටත් වී ඇය ලිපිය කපිතාන් වරයා වෙත ගෙන ගොස් භාර දුන්නාය.

මොහතකට පසු පිටුපස වූ දුරකථනයක් අසලට ගිය සේපාල එමගින් කපිතාන්වරයාට අමතා ලිපිය ලැබුනේදැයි විමසා සිටියේය. ලිපිය ලද බවත් තමන් එය කියවමින් සිටින බවත් කපිතාන් වරයා සේපාලට දැනුම් දුන්නේය. විනාඩි දහයකින් නැවත අමතන බව සඳහන් කළ සේපාල සිය අසුනට නැවත බරවිය. මේ අතර යානයේ කටයුතු සුපුරුදු පරිදි කෙරෙමින් පැවතිණි. ආහාර ගන්නන් ආහාර ගනිමින්ද, මධු විත තොල ගාන්නන් එසේ කරමින්ද සුව පහසු ලෙස සිටියහ. යානය පැහැර ගැනීමකට ලක්වී ඇති බව කිසිඳු මගියෙක් ඒ වන විටත් නොදැන සිටියහ. ගුවන් යානා පැහැර ගැන්මේ ශ්‍රී ලාංකීය ක්‍රමවේදයේ වෙනස එයයි.

නැවත විනාඩි දහයකින් පමණ සේපාල විසින් නියමුවා ඇමතීය. නමුත් නියමුවා එක වරම යටත් වීමට අදිමදි කොට සේපාල හා බහින්බස් විය. එහෙත් පසුව සේපාලගේ තර්ජනය හමුවේ අසරණවූ නියමුවා ඔහුට යටත් විය.

" සියලුම මගීන් සිය ආසන පටි සවිකරගන, හදිසි ගොඩබැස්සවීමක් සඳහා සුදානම් වන්න"

නියමුවාගෙන් නිකුත් වූ මෙම නිවේදනයත් සමගම, එක් මගියකු හැර අනික් සියළුම මගීන් තුෂ්නිම්භූත විය. අවිනිශ්චිතතාවයට පත්විය. සිදුවෙමින් පවතින්නේ  කුමක්දැයි ඔවුන්ට සිතා ගැනීමට අපහසු විය. 

සේපාල ඒකනායකගේ නියෝගය මත, යානය බැංකොක් ගුවන්තොටුපලට ගොඩබැස්සවීය. ඔහු විසින් කරන ලද ප්‍රධාන ඉල්ලීම් තුනකි.

1. ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා, ඔහු වෙත පැමිණවිය යුතුය.
2. ඩොලර් 300,000.00 මුදලක් ඔහුට ගෙවිය යුතුය.
3. සියළුම මගීන්, ආරක්ෂක පරික්ෂා කිරීම් වලින් තොරව ගුවන් යානයෙන් පිටවීමට අවසර දිය යුතුය.

මෙම පැහැර ගැනීමේ අරමුණ පෙර සඳහන් ලියවිල්ල ලබා ගැනීම වුවද මෙම පැහැර ගැනීමෙන් පසුව තමාට නැවත ඉතාලියට යාමට නොහැකි බව සේපාලට පසක් විය. අනෙක් කරුණ වූයේ ගුවන්යානයක් මංකොල්ලකා කුඩා කාඩ් පත්‍රයක් ඉල්ලා සිටීම ලෝකයා ඉදිරියේ විහිළුවකට කාරණයක් වීමයි. එමනිසා ඔහු එම කාර්ඩ් පත වෙනුවට තමාගේ පුත්‍රයාව තමන් ළඟට ගැනීමට කල්පනා කළේය. අණ්නා සමඟ තමාගේ සබදතාවය කෙතරම් දුරස් උවද දරුවාට මව නොමැතිව සිටිය නොහැකි බැවින් ඇයවද ඉල්ලා සිටියේය. එයට අමතරව මෙම සමස්ත ක්‍රියාදාමයටම තමන්ට වූ වියදම් පියවා ගැනීම සඳහා ඩොලර් 300,000/- මුදලක් ඉල්ලා සිටියේය. සේපාලගේ අර්ථකථනයට අනුව මෙම මුදල ඉල්ලා සිටියේ කප්පමක් වශයෙන් නොව හුදෙක්ම සිය වියදම් පියවා ගැනීමේ අරමුණින් පමණකි. මේ එය සේපාලගේම වදනින්;

"පැහැදිලිවම මම එදත් කිව්වා ඒක කප්පමක් නොවෙයි. මට මේ ක්‍රියාවලියට යම්කිසි මුදලක් වියදම් වුණා. ඉතාලියට යන්න එන්නත්, ගුවන් යානා කොල්ලයට අවශ්‍යය දේවල් ගන්නත්. නමුත් ඩොලර් ලක්ෂ තුනක් වියදම් වුණේ නෑ. ඒත් ඉතාලිය වගේ රටකින් ඩොලර් 40000ක් ඉල්ලන්න ලැජ්ජයිනෙ. ඒක හරියට ලංකා ආණ්ඩුවෙන් රුපියල් 50ක් ඉල්ලනවා වගේ වැඩක්නෙ. ඒ වගේම මේ සිදුවීමෙන් පස්සෙ අළුත් ජීවිතයක් ගත කරන්නත් එපැයැ. ඒ නිසා මම කිව්වා ඩොලර් ලක්ෂ 03ක් දෙන්න කියලා. කප්පමක් ඉල්ලුවනම් මම ඉල්ලනවා ඩොලර් මිලියන 30ක් වගේ ගාණක්. මොකද ඉතාලියෙන් කප්පම් ගන්නවනම් ලක්ෂ ගණනින් අරන් වැඩක් නෑ. ඒක ඉතාලියත් දන්නවා. මොකද මම මේ තත්ත්වයට පත්වුණේ ඉතාලි රජයේ වරදින්. ඒ අනුව තමයි මම මේ ඉල්ලීම ඉල්ලුවෙ." 


මේ අතර සේපාලගේ ඉල්ලීම මත ඔහු අසල සිටි මගීන්ව, ඔවුනට වෙනසක් නොදැනෙන ලෙස ඉදිරි අසුන් කරා යොමු කරවන ලදී. ඉන් ටික වේලාවකට පසු යානය බැංකොක් ගුවන්තොටුපලට ගොඩ බැස්වූ අතර කාර්මික දෝෂයක් නිසා යානය සැලකිය යුතු වේලාවක් බැංකොක් ගුවන්තොටුපළේ නවතා තැබීමට සිදුවන බව නියමුවා විසින් මගීන්ට දන්වා සිටියේය.

නියමුවා වූ කපිතාන් ජෝජෝ අමරෝසා සහ සේපාල අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව සුහදව කටයුතු කිරීමට තරම් එකිනෙකා සමඟ සුහදව සිටියහ. සිය ඉල්ලීම් ඉතාලි රජයට දැනුම් දුන් බව කපිතාන් විසින් සේපාල වෙත දන්වා සිටියේය. මේ අතර සේපාල විසින් කොළඹ ඉතාලි තානාපති කාර්යාලයේ සිටි අදාළ නිලධාරියාව සම්බන්ධකොට දෙන ලෙස කපිතාන්ගෙන් ඉල්ලා සිටියේය. ඉල්ලීම ඉටු විය.

"ඔන්න මම මගේ පොරොන්දුව ඉෂ්ට කළා,ඔයා සූදානම් වෙන්න" යි සේපාල විසින් පවසන විටම ඔහු විසින් දුරකථනය විසන්ධි කළේය. නැවත මොහොතකට පසු ඔහු හා සම්බන්ධ වූ සේපාල තමන්ට පැවසීමට ඇති දෑ පවසා අවසානයේදී " ඔයා ලෑස්ති වෙන්න ආපහු ඉතාලියට යන්න" යැයි කියමින් සංවාදය නතර කළේය.

කටයුතු යහපත්ව සිදු වෙමින් පැවතුණි. කපිතාන්වරයා විසින් වරින් වර සියලු විස්තර වාර්තා කොට සිටියේය. සිය දරුවා සහ බිරිඳ ඉතාලියෙන් පිටත්වූ බවද සේපාලට දැනගැනීමට ලැබුණි. සිය ඉල්ලීම් ලැබීමට යන බව දැනගත් සේපාල විසින් වයසක අය සහ ස්ත්‍රීන්ව පිටත් කිරීමට අවසර ලබා දුන්නේය.

මේ අතර යානය පැහැරගැනීමකට ලක්වී ඇති බව මගීන්ටද අවබෝධවී තිබුණි. එහෙත් ඔවුන්ව මවිත කරමින් පැහැර ගත්තෙක් දක්නට නොවුණි. ඔවුන් දැන සිටියේ තුවක්කු, රයිෆල් මානාගෙන යානය යටත් කරගන්නා මංකොල්ලකරුවන් පිළිබඳව පමණී. එබැවින් ඔවුන් දකින්නට බලාපොරොත්තු වූයේද එවැනි දසුනකි. එහෙත් මෙහි තත්ත්වය ඉඳුරාම වෙනස් විය. හාස්‍යජනක කරුණනම් එක මගියකු සේපාල වෙතම පැමිණ "කවුද ප්ලේන එක හයිජැක් කරලා තියෙන්නේ !" යයි විමසීමයි. " මමත් මේ ඒ ගැන තමයි හොයන්නෙ." යැයි පවසා සේපාල එයින් මගහැරීය. 

පසු දින රාත්‍රියේ, නිතර කවුළු තුළින් අවට නිරීක්ෂණය කරමින් සිටි සේපාලට අමුතු දසුනක් දක්නට ලැබුණි. ඒ යානය දෙසට සෙමෙන් සෙමෙන් ඇදෙන කමාන්ඩෝ භටයන්ගේ දසුනයි. ඉතාලි රජය ලෙහෙසියෙන්ම යටත්වීමට සූදානම් නොවන බව සේපාලට වැටහුණි. වහාම නියමුවාට ඇමතූ සේපාල;

"ජොජෝ, ඔයා අද ගෙදරින් එනකොට මොකක් කියලද ආවෙ ? යන්නම් කියලද නැත්නම් ගිහින් එන්නම් කියලද ? "

"ගිහින් එන්නම් කියලා සේපාල."

"මමනම් යන්නම් කියලා ආවෙ, මොකද මට ආපහු ගෙදර යන එක ශුවර් නෑනෙ. ඔයා ගෙදරට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න පුළුවන් කියලා ඔයාට විශ්වාසද ? "

"අපි දෙන්නා බොහොම සුහදව වැඩ කරනවනෙ සේපාල, ඉතින් මම හිතන්නෑ එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා. "

"මගෙ නෙමේ ප්‍රශ්නෙ තියෙන්නෙ ජෝජෝ, පොඩ්ඩක් කව්ළුවෙන් බලන්නකො නැගෙනහිර පැත්ත, එතැන වෙන දේ නිසා සමහර විට ඔයාට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වෙයි"

"මගෙන් අවසරයක් නැතුවයි මේ අය මේ එන්නෙ. මම ඒ ගොල්ලන්ව ඉවත් කරන්නම්"

"මටනම් ප්‍රශ්නයක් නෑ ජෝජෝ, මම යන්නම් කියලා ආපු මිනිහනෙ. ඒත් ඔයා ගිහින් එන්නම් කියලා ආපු එක්කෙනානෙ. ඒ වගේම, පළමු පහර දීම මගෙන් නෙමේ වෙන්නෙ, මොනවා වුණත් සේපාල තනියෙන් මැරුම්කයි කියලා නෙමේ, සියගාණක් මරාගෙන මැරෙයි කියලා පත්තර වල වැටෙයි."

එසැනින් ක්‍රියාන්විතය අවලංගු කෙරිණ.


~~~~~

අවසානයේදී, සේපාලගේ බිරිඳ සහ දරුවාද, ඉල්ලූ මුදලද බැංකොක් වෙත ලඟාවූ බව නියමුවා විසින් සේපාල වෙත දැනුම් දුන්නේය. කෙසේවෙතත්, සියල්ල එලෙසින්ම විශ්වාසයට ගැනීමට අදිමදි කල සේපාල, තමන්ට තම දරුවාගේ කට හඬ ශ්‍රවණය කිරීමට අවැසිබව දන්වා සිටියේය. ( පසුකලෙක ෆ්‍රී ඒකනායක, තමාට මෙම සිද්ධිය මතක බවද සඳහන් කළේය. ) සිය ඉල්ලීම් සියල්ල ලබාගත් පසු සේපාල විසින් යානය එහි මගීන් සමඟම නිදහස් කොට තමන්ද එයින් පිටත් විය.

මෙහිදී සේපාල හමුවට එන එවකට තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපතිනිය වූ, මානෙල් අබේසේකර මහත්මිය, ඔහුට නැවත කිසිදු බියකින් තොරව ශ්‍රි ලංකාව බලා යා හැකි බව දැනුම් දුන්නාය. ( මෙම ප්‍රකාශය ගැන පරස්පර විරෝදතා ඇති අතර, පසුකලෙක ඇය විසින් එය මෙසේ ප්‍රතික්ශේප කොට ඇත.) එබැවින් සේපාල විසින්, තමන් කලින් සැලසුම් කොට තිබූ ගමනාන්තය වෙනස් කොට ශ්‍රී ලංකාව බලා යාමට තීරණය කළේය.

සේපාල, 1982 ජුලි 02 වන දින සිය බිරිඳ සහ දරුවා සමගින් ලංකාවට පැමිනෙන්නේ රුහුණේ ජනතාව වෙතින් වීරයකුට ලැබෙන පිළිගැනීමක්ද සමගිනි. ඩොලර් 300,000/- ක්වු මුදලද කිසිඳු අවහිරයකින් තොරව රේගුවෙන් නිදහස් කරගන්නා සේපාල, ගුවන්තොටුපලේ සිට Ceylon Inter- Continental හෝටලය වෙත ගමන් කෙරුවේය.

මෙම සිද්ධිය විශ්ලේෂණය කොට බැලීමේදී, සමාජගතව ඇති ජනප්‍රිය මතය වන " සේපාල මේක කළේ දරුවා වෙනුවෙන්" ය යන්න බැහැර කිරීමට සිදුවේ. ඔහුට ඉතාලියට යාමට බාධවක් නොවුන බැවින් අවැසිනම් ඉතාලිය ගොස් දරුවා සමඟ විසීමට හෝ රැගෙන ලංකාවට පැමිණීමේ හැකියාව ඔහුට තිබුණි. මෙය තරුණ මදයෙන් හා උද්ධච්චකමෙන් මත්වූ තරුණයකුගේ ආවේගකාරී ක්‍රියාවක් යැයි පැවසීම වඩාත් සත්‍යයට ආසන්නයැයි සිතිය හැක. දරුවාව ඉල්ලා සිටීම මෙම ක්‍රියාවලිය නිසා හට ගන්නා අතුරු ප්‍රතිඵලයක් හේතු කොටගෙන ඇතිවූ තත්ත්වයක් පමණක් වේ. 

***************************************************************************************************************
***************************************************************************************************************

සිද්ධිය මෙසේ අවසන් වුවද, ඉතාලි රජය සහ ජාත්‍යන්තරය එය ලෙහෙසියෙන් අත්හැරීමට සූදානම් නොවීය. ශ්‍රි ලංකා රජයට බලකරමින් ඔවුන් දන්වා සිටියේ, සේපාලව  අත්අඩංගුවට ගෙන ඉතාලි රජයට බාර දිය යුතු බවයි. සුපුරුදු පරිධි සිය තර්ජනාංගුලිය දිගුකරමින් ලෝක පොලිස් කාරයා වූ ඇමරිකාව දන්වා සිටියේ, ශ්‍රි ලංකාව මේ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වුවහොත්, ශ්‍රි ලංකාවද ගුවන් මංකොල්ලකෑම් සම්බන්ධයෙන්, ලිබියා රාජ්‍යය ගණයේ රටක් ලෙස සැලකීමට සිදුවන බවයි. නැග එන ජාත්‍යන්තර පීඩනය හමුවේ ශ්‍රි ලංකාවද මේ සම්බන්ධයෙන් යම්කිසි දෙයක් කළයුතු තැනට තල්ලුවෙමින් පැවතුනි.

1982 ජූලි 02 වන දින රාත්‍රී 0800 පමණ, විදේශ ඇමති A. C. Shaul Hamid සිය ජේෂ්ඨ නිළධාරි මණ්ඩලය, නීති උපදේශක වරුන්, විදේශ ලේකම් සහ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක  සිය නිළ නිවසට කැඳවන්නේ මේ තත්ත්වය හමුවේ යම් දෙයක් කලම යුතු වූ බැවිනි.

පැයක පමණ සාකච්චාවකින් පසු, කොළඹ දිශාව බාර නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතාවද සාකච්චාවට සහභාගී කරගැනිම සඳහා කැඳවන ලදී. මිනිත්තු 15 ක් පමණ කාලයකදී එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා අදාළ ස්ථානයට පැමිණුනි. අවෙලාවේ කැඳවීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කොට සිටි, විදේශ ඇමති තුමා, කැඳවීමට හේතුව කෙටියෙන් විස්තර කරන ලදී. මෙය ශ්‍රි ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් නිළ වශයෙන් දැනුවත් කළ මුල්ම අවස්ථාව විය.

මේ අතර සේපාල සිය බිරිඳ සහ දරුවා සමගින් Ceylon Inter- Continental හෝටලයේ 730 කාමරයේ නතරවී සිටි අතර, දෙස් විදෙස් මාධ්‍ය ඇතුළු, ඉතා විශාල පුද්ගල සංඛ්‍යාවක් ඔහුව හමුවීමට පැමිණෙමින් සිටියේය. කොටුව පොලිසිය සේපාලගේ සියළු කටයුතු සම්බන්ධයෙන් ඇස ගසාගන සිටි අතර නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතාවද දැනුවත් කොට තිබීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ඇමති තුමා ඇතුළු පිරිස, නවතම තත්ත්වය පිළිබඳව දැනුවත් කළහැකිවිය. ඇමති තුමා මේ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකොට සිටියේය.

අවසානයේදී, දීර්ග සාකච්චාවකින් පසුද, ගත හැකි ක්‍රියාමර්ගයක් නොදුටු ඇමතිතුමා, නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහාතා දෙසට හැරෙමින්,

"ඇයි අපිට මේ මනුස්සයව අත් අඩංගුවට ගන්ඩ බැරි ? " යැයි ඇසීය.

" සර්, මේ සම්බන්ධයෙන් පුවත් පත් වාර්ථා මිස, මේ දක්වා කිසිදු පාර්ශවයකින් අපිට පැමිණිල්ලක් ලැබිලා නැහැ. අනිත් එක, ශ්‍රි ලංකා නීතියේ හැටියට ඔහු කිසිදු අපරාධයක් නොකරපු කෙනෙක් හැටියට තමා සලකන්ඩ වෙන්නේ, මොකද ගුවන් යානා මංකොල්ලකෑම් වලට එරෙහි නීතියක් මේ දක්වා ශ්‍රි ලංකාවේ සම්මත කරගන නැහැ."

මේ අවස්ථාවේදී එක් නීති උපදේශකයකු කතා කරමින්,

" සර් අපි මේ සම්බන්ධයෙන්, පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉක්මනින්ම සම්මත කරගමු."

"තමුසෙට පිස්සුද ? ඕකට සතිගානක් යයි. අනිත් එක විපක්ශෙන් අපිට හොඳ ප්‍රහාරයක් හම්බවෙයි, IATA සම්මුතියට අත්සන් කරපු වෙලාවෙම මේක සම්මත කරගතේ නැති එක ගැන." ඇමතිතුමා කෝපයෙන් උත්තර දෙයි.

මෙහිදී කතාකල නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා, "සර් මේකට සම්බන්ධ කුමන හෝ පාර්ශවයකට, මේ ගැන පැමිණිල්ලක් කරන්ඩ පුළුවන්නම්, මම වගකීම බාර අරගන ඔහුව අත් අඩංගුව ගන්නම්." තවදුරටත් කතාකරමින් ඔහු යොජනා කොට සිටියේ Alitalia ගුවන් සේවයේ අයිතිකරුවන් ලෙස, ඉතාලි රජය වෙනුවෙන්, ඉතාලි තානාපති මේ සම්බන්ධයෙන් පමිණිල්ලක් කරන්නෙනම් වඩාත් ප්‍රතිඵලදායක විය හැකි බවයි.

මෙහිදී දුරකථනය වෙත ගිය ඇමතිතුමා ඉතාලි තානාපතිවරයා අමතන්නට විය. " මිනිහා දැන්මම එන්නම් කිව්වා "  කියමින් ඇමතිතුමා දුරකථනය විසන්දි කළේය.

රාත්‍රී 11.00 ට පමණ ඉතාලි තානාපති Franco Micieli de Biase මහතා, එම ස්ථානයට ලඟාවිය. තත්ත්වය පැහැදිලි කිරීමෙන් පසු, ඉතාලි තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට එකඟ වූ අතර, නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා පසුදින ඉතාලි තානාපති කාර්‍ය්‍යාලයට ගොස් එම පැමිණිල්ල ලබා ගැනීමට එකඟ විය.

පසු දින ඉතාලි තානාපති කාර්‍ය්‍යාලයට වාර්ථාකල නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා සහ කොටුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක George Nicholas මහතා පහත සඳහන් පැමිණිල්ල, ඉතාලි තානාපතිවරයා අතින් බාරගන්නට යෙදුනි.

Colombo, 2nd July 1982

"Ambasciata d'Italia
Colombo.

N. 1508

The Inspector General of Police,
Police Headquarters,
Colombo 1

Dear Sir,

Acting on behalf of the Italian Government, I wish to lodge a complaint with the Sri Lanka Police Authorities that the Sri Lankan national Sepala Ekanayake, born on 30.6.1947 at Matara, has hijacked an airplane (Flight No. AZ 1790) of Itali's national airline ALITALIA on 29.6.82 in Bangkok, Thailand, taking hostage of the crew and passengers and subsequently extorted and obtained a ransom of 300,000 US $ from the Italian Government for the release of such hostages and the aircraft.
On behalf of the Government of Italy, I kindly request the Sri Lanka Police Authorities to take necessary action under law against said Sepala Ekanayake for the crime committed and for the return of 300,000 US $ to the Italian Government.

Thanking you,

Yours sincerely,

Sgd/

(Franco Micieli de Biase)
Italian Ambassador

පරිවර්තනය.

1982 ජූලි 02

ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය
කොළඹ

අංක 1508

පොලිස්පති තුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ 1.

මහත්මයාණනී,

ඉතාලි රජය වෙනුවෙන් කටයුතු කරමින්, පහත සඳහන් පැමිණිල්ල ඔබ වෙත බාර දීමට මා බලාපොරොත්තු වෙමි.

1947 ජුනි 03 වන දින මාතරදී උපත ලද, ශ්‍රි ලංකිකයකු වූ, සේපාල ඒකනායක නැමැත්තා 1982 ජුනි මස 29 වන දින තායිලංතයේ බැංකොක් නුවරදී, ඉතාලි රජයට අයත් Alitalia AZ 1790 ගුවන් යානය එහි ගමන් ගත් මගීන්ද සමඟ පැහැරගෙන,  ඔවුන් සහ කාර්‍ය්‍යය මණ්ඩලය, ප්‍රාණ ඇපයට තබා ගනිමින් ඩොලර් 300,000/- කප්පම් මුදලක් ඉතාලි රජයෙන් ලබා ගැනීමට කටයුතු කොට ඇත.

ඉතාලි රජය වෙනුවෙන්, මා ශ්‍රි ලංකා පොලීසියෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, කළ වරද සම්බන්දයෙන්, පවත්නා නීතිය යටතේ, සේපාල ඒකනායක නැමැත්තාට එරෙහිව නිසි පියවර ගෙන, ඩොලර් 300,000.00 මුදල නැවත ඉතාලි රජයට ලබාදීමට කටයුතු කරන මෙනි.

ස්තූතියි.

මෙයට විශ්වාසී,


Sgd/
(Franco Micieli de Biase)

ඉතාලි තානාපති.
---------------------------------

එම ලියවිල්ල නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස, පොත්වල සටහන් කිරීමෙන් පසු, එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා, ප්‍රධාන පොලිස් පරීක්ශක George Nicholas මහතාට, නියෝග කරමින් කියා සිටින්නේ සේපාල ඒකනායකව වහා අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය හමුවට පමුණුවන ලෙසයි.


මේ අනුව ක්‍රියාත්මක වන ප්‍රධාන පොලිස් පරීක්ශක George Nicholas මහතා, සේපාල ඒකනායකව අත්අඩංගුවට ගැනිමට හෝටලයට ගියද ඔහුට දැනගනීමට ලැබෙන්නේ සේපාල ඒකනායක ඒ වනවිටත් සිය බිරිඳ හා දරුවා සමඟ හෝටලයෙන් පිටව ගොස් ඇතිබවයි. වැඩිදුරටත් සිදුකල පරික්ශණ වලින් දැන ගැනීමට ලැබෙන්නේ ඔවුන් ගාල්ල බලා ගමන් කොට ඇති බවයි. එදිනම සවස ගාල්ලේදී සේපාල ඒකනායකව අත්අඩංගුවට ගනු ලබයි.



මෙහිදී වහා ක්‍රියාත්මක වූ, ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය, සේපාලගේ බිරිඳව සහ දරුවාව, කඩිනමින් නැවත ඉතාලියට යැවීමට කටයුතු කරන ලදී.

සේපාල ඒකනායකව මෙසේ අත් අඩංගුවට ගත්තද ඔහුට එරෙහිව කටයුතු කිරීම්ට නීතියක් ශ්‍රි ලංකාවේ ඒ වන විට නොපැවති හෙයින්, සේපාලව අධිකරණය ඉදිරියට පැමිණවීමට පෙර එය සම්මත කර ගැනීම අවශ්‍යය විය.

එලෙස ගුවන් මංකොල්ලකෑම් වලට එරෙහි නීතිය, අතීතයටද බලපාන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සම්මත කරගැනීමෙන් අනතුරුව, සේපාල ඒකනායකව, ඉහල උසාවියෙ විනිසුරු J.J.S.A ඩයස් උපවංශ යාපා මහතා ඉදිරියට පමුණුවන ලද අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ද නීතීඥ රන්බංඩා සෙනෙවිරත්න මහතා පෙනී සිටින ලදී.

නඩු විභාගය අවසානයේදී, සේපාල ඒකනායකට, පස් වසරක සිරදඩුවමක් හිමිවන අතර, 1987 දී ඔහු එයින් නිදහස් විය. පසුකලෙක සේපාල, ඉංග්‍රීසි ගුරුවරියක හා විවාහ වන අතර, ඔවුන්ගේ කැදල්ලට දරු දෙදෙනෙකුද එකතු වේ.

වයස 19 දී සිය පියා බැලිමට  ෆ්‍රී ඒකනායක ලංකාවට පැමිනෙන අතර, පිය පාර්ශවයෙන් ශ්‍රි ලංකිකයකු වන ෆ්‍රී, තමන් ලංකාවට හා එහි අහාර වලට රුචි බවද සඳහන් කරයි. අනාගතයේ දවසක කරුණු යෙදෙන ලෙස, සමහර විට තමන් ශ්‍රි ලංකාවේ පදිංචි වීමට පැමිණීම උවද විය හැකි බව ෆ්‍රී ඒකනායක සඳහන් කරයි. වැඩි විස්තර මෙතනින්.

වසර 16කට පසු හමුවූ පියා සහ පුතා
ෆ්‍රී සිය සොයුරු සොයුරියන් සමඟ

එදා මෙදා තුර ගුවන් යානා මංකොල්ලාකෑම් ඉතිහාසය පරික්ෂා කිරීමේ දී, දේශපාලනික නොවූ හේතුවක් පදනම් වූ, එකම ගුවන් යානා මංකොල්ලය, සේපාල ඒකනායක විසින් සිදුකල ගුවන් කොල්ලය සේ සැලකිය හැකිය. එසේම ගුවන් යාන මංකොල්ලයක් සිදුකල ප්‍රථම සහ එකම ශ්‍රි ලාංකිකයා ලෙසද සේපාල ඒකනායක ඉතිහාසයට එක්වේ.


පසු සටහන :

මෙහි එන සමහර දෙබස් සහ අවස්ථා, එලෙස සිදුවන්නට ඇතැයි උපකල්පනය කොට මනඃකල්පිතව යොදන ලදී. ඒවා සත්‍යය සිද්දියෙන් මදක් බැහැර විය හැකි බව කරුණාවෙන් සළකන්න.

මූලාශ්‍ර;

http://lankanews.org/?p=1019
http://www.hirunews.lk/sinhala/37735


විශේෂ ස්තූතිය;
මුළින් ලියවුන, සදොස් බහුල ලිපිය කියවා, ඒ ගැන සිය අදහස් ප්‍රකාශ කොට, වඩා නිවැරදි තොරතුරු අඩංගු සබැඳියක් ලබා දුන්, හරී ට. 

සැකසුම:
~~සෙන්නා / 07.02.2013

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog