Tuesday, January 24, 2012

ලොවම ත්‍රස්ත කළ " පුංචි කොළුවා " සහ " මහත මිනිසා "

2012 හේ දුරුතු මස 24 වන කුජදා




සියල්ල සන්සුන්, මහා කුණාටුවකට පෙර පවතින භයානක සන්සුන් කමකට එය සමාන කල හැකිය. කිසිඳු වෙනසකින් තොරව, වෙනදා මෙන්ම සූර්යයා ද නගරය එළිය කරමින් අහසේ දිදුලමින් තිබින. යුධ බිය පැවතුනද, ගුවන් ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම ඉවත් වූයේ සුළු මොහොතොකට පෙර වුවද, නගර වැසියන් සිය සුපුරුදු දින චර්යාව වෙත යොමු වෙමින් සිටියහ. සමහරුන් ලහි ලහියේ සිය කාර්යාල බලා ගමන් කර්මින් සිටින අතර, දරුවන් පාසල් වෙත සේන්දු වෙමින් සිටියහ. ගෘහණියන් සිය සුපුරුදු කටයුතු වල නිරත වෙමින් සිටියාය. මේ කිසිවෙක් තමන් මේ ගතකරමින් සිටින්නේ සිය ජීවිතයේ අවසාන මොහොත බව හාන්කවිසියකුදු නොදැන සිටියහ. සිය හිසට අඩි 31000 පමණ උඩින් මරුවා ඉව අල්ලමින් සිටින බව ඔවුන් කිසිවෙකුත් නොදත්හ.

හරියටම උදෑසන 08:15 ට, එතෙක් මෙතෙක් මානව ඉතිහාසයේ, මිනිසා විසින් මිනිසා වෙත එල්ල කල දරුණුම ප්‍රහාරය ක්‍රියාත්මක විය. Colonel Paul W. Tibbets සැලසුම් කොට තිබූ පරිදිම බෝම්බය නිදහස් කලේය. කිලෝ 4400 ක් බරැති " පුංචි කොලුවා " යැයි නම් ලද යක්ෂයා නගර වැසියන් සොයා යන්නට විය. තත්පර 43 ක වැටීමකින් පසු පොලවට අඩි 1900 ක් ඉහල අහසේදී, ලෝක යුධ ඉතිහාසයේ ම්ලේච්චතම ප්‍රහාරය සනිටුහන් කරමින්, ප්‍රථම පරමාණු බෝම්බය පුපුරා යන්නේ නගරය සුන්නද්ධූලී කර දමමිනි. අහෝ හිරෝශීමා !!

බෝම්බය පතිත වූ තැන සිට, හැතැම්මක පමණ වටප්‍රමාණයකින් යුතූ ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ විය. එලිමහනේ සිටි අයවලුන් නිමේශයකින් වාෂ්පීකරණය වුහ, නැතිනම් අඟුරු බවට හැරුනි. ජනනය වූ උෂ්ණත්වය සෙල්ශියස් අංශක 4000 ද ඉක්මවූ අතර එයට හසුවු සියල්ල මොහොතකින් ද්‍රව බවට හෝ වාෂ්ප බවට පත්විය.

මියගිය සංඛ්‍යාවෙන් 60% ක් කෙලින්ම පිපුරුමට නිරාවරණය වීම නිසාද, 30% කඩාවැටුනු ගොඩනැගිලි වලට යට වීමෙන්ද, 10% විවිද හේතුන් නිසාද මියගිය බව දළ වශයෙන් ගනන් බලා ඇත. මුල් මාස හතර ඇතුලත හිරෝශීමා නගරයේ පමණක් 160,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගිය බවට ඇස්තමේන්තු කොට ඇත. සිද්ධවූ නියම ජීවිත හානි ප්‍රමාණය අදටද කිසිවකුත් විසින් ගනන් බලා නොමැත.

එය එතකින් නිමා නොවීය. ඉන් හරියටම දින තුනකට පසු,1945 අගෝස්තු 09 වන දින, නාගසාකි නගරයට දෙවන පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල වන්නේ 60000 ත් - 80000 ත් අතර ජීවිත ප්‍රමාණයක් ජපානයට අහිමි කරවමිනි. බෝම්බයේ ඇති බිහිසුනු බව එයින්ම මොනවට කියාපායි.

නාගසාකි නගරයට ප්‍රහාරය එල්ලවී දින හයකට පසු ජපානය සිය යටත්වීම ප්‍රකාශ කිරීමත් සමගම දෙවන ලෝක යුද්ධය නිළ වශයෙන් නිමාවට පත්විය.


පසු බිම:


1939 සැප්තැම්බර් 01 වන දින ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් ඇරඹුණු දෙවන මහා ලෝක සංග්‍රාමය, 1945 අගෝස්තු මස, ඉහත සඳහන් ඛේදවාචකයෙන් අවසන් වූ බව අප සියලු දෙනාම දන්නා කාරණයකි. මේ උත්සාහය, ජපානයේ හිරෝශීමා, නාගසාකි දෙනුවරට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාර සහ එහි පසුබිම් කතාව, එයට බලපෑ හේතු, සැළසුම කල ආකාරය, සම්බන්ධ වූ පුද්ගලයන් සහ ප්‍රහාරය එල්ල කල ආකාරය පිළිබඳව සොයා බැලීමටයි.

යුරෝපයේදී ජර්මනිය විසින් මිත්‍ර පාර්ශික හමුදා සමඟ සටන් වදින විට, පැසිෆික් කලාපයේ ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශික රටවල් සමඟ සටන් වැදුනේ ජපාන අධිරාජ්‍යයයි. ලෝක යුද්ධය ආරම්භයට පෙරම ජපානය චීනය සහ අනෙකුත් රටවල් සමඟ සටන් වලට පැටලී සිටියද, ඔවුන් මහාපරිමාණ වශයෙන් යුද්ධයට පැටලෙන්නේ 1941 දෙසැම්බර් මස 7 වන දින ඇමෙරිකාවේ පර්ල් වරායට පහර දී ඇමරිකාවට මහත් විනාශයක් ගෙන දෙමිනි.

1945 මැයි මස 08 වන දින, ජර්මනිය විසින් මිත්‍ර පාර්ශික රටවල් සමඟ අත්සන් කල යටත් වීමේ නිවේදනයත් සමග දෙවන ලෝක යුද්ධය යුරෝපයේ නිළ වශයෙන් අවසන් වුවද පැසිෆික් කලාපයේ යුද්ධය දිගටම කෙරීගන ගියේය. 1945 ජූලි 26 වන දින අමෙරිකාව, එක්සත් රාජධානිය සහ චීනය එකතුව යටත්නොවුනහොත් ක්ෂණික සහ උපරිම විනාශයක් ජපානයට ගෙනදෙන්නේ යැයි තර්ජනය කරමින්, යටත් වීමේ අවසන් නිවේදනය නිකුත් කලද, ජපානය විසින් එය බැහැර කරන ලදී.

1945 මැයි මසදී ජර්මනිය යටත් වීමට පෙරම, ජපානය ආක්‍රමණය කිරීමේ ඩවුන්ෆෝල් මෙහෙයුම ( Operation Downfall ) සඳහා සැළසුම් සකස් වෙමින් පැවතුනි. මෙම මෙහෙයුම " ඔලිම්පික් " සහ " කොරොනෙට් " යනුවෙන් කොටස් දෙකකින් සමන්විත විය. ඔලිම්පික් මෙහෙයුම යටතේ ජපානයේ තෙවන විශාලම දූපත වූ " කයිෂු " දූපත අල්ලා ගැනීම අරමුණ විය. කොරොනෙට් මෙහෙයුම මගින් හොන්ශු දූපතේ ටෝකියෝ නගරයට ආසන්නයේ පිහිටි " කන්ටෝ " තැන්න අල්ලා ගැනීමට නියමිතව තිබිනි.

කෙසේ වෙතත්, ජපානය මෙම සැළැස්ම ඉතා නිවැරදි ලෙස අනුමානය කල අතර, ඒ අනුව යමින් ජපානය රැක ගැනීමේ " කෙට්සුගො " මෙහෙයුම සැළසුම් කරන ලදී. කයිෂු දිවයින රැකගැනීම සඳහා ජපානය සිය සියලු ශක්තිය එක් රැස් කරණුයේ ද්විතීය මෙහෙයුම් සඳහා සුළු සම්පත් ප්‍රමාණයක් ඉතිරි කරමිනි. ඉතා පළපුරුදු බලඇණි හතරක් මැන්චූරියාවේ සිට ජපානයට කැඳවන අතර, 1945 පෙබරවාරි සිට මැයි දක්වා කාලයේදී අළුතින් බළඇණි 45 ක් නිර්මාණය කරන ලදී.

මෙලෙස මිලියන 2.3 ක හමුදාවක් ජපානයේ ප්‍රධාන දූපත් රැක ගැනීමට යොදවන ලද අතර, තවත් මිලියන 4 ක නාවික සහ හමුදා බළඇණි විය. ඊට අමතරව මිලියන 28 ක සිවිල් ස්වෙච්චා බළඇණියක්ද විය.

මෙම පූර්ව සූදානම ඇමෙරිකානු බුද්ධි අංශ විසින් නිවැරදි ලෙසම අනාවරණය කර ගන්නා අතර, මෙම තත්ත්වය යටතේ  ජපානය සමඟ යුධ වැදුනහොත්, ඉතා විශාල අමෙරිකානු ජීවිත වන්දියක් ගෙවීමට සිදුවෙනු ඇතැයි ගනන් බලනු ලැබේ. එය මිලියන් 1.7 ත් 4ත් අතර තුවාල කරුවන් පිරිසක් සමග ලක්ෂ 4ත් 8ත් අතර මරණ සංඛ්‍යාවක් විය හැකියැයි අනුමාන කරන ලදී.

ඇමෙරිකානු ජීවිත විනාශය අවම කරමින්, සතුරාට උපරිම විනාශයක් ගෙනදිය හැකි ආයුධයක් ගැන ඇමෙරිකානු හමුදා ප්‍රධානියාගේ අවදානය යොමු වීමට මෙම තත්ත්වයද ඉවහල් විය.

ප්‍රහාරයට මුල්වූ හේතු;

ඇමෙරිකාව පවසන පරිදි, ප්‍රහාරය එල්ල කිරීමේ එකම අභිප්‍රාය ජපානය යටත් කොට, දෙවන ලෝක සංග්‍රාමය හැකිතාක් කලින් අවසන් කොට ලෝකයට සාමය ගෙන ඒමයි. එම අර්ථයෙන් බලන කල මෙම භයානක යක්ෂයන් දෙදෙනා ලෝකයට සාමය කැන්දාගන ආ දේවදූතයන් දෙදෙනෙකි.

කෙසේ වෙතත් ඇමෙරිකානු පාර්ශවයෙන් එලිපිට නොකියවෙන කාරණාද ඇත.

දෙවන ලෝක සංග්‍රාමයේදී, ජර්මනිය පරාජය කිරීමට සෝවියට් දේශය දුන් දායකත්වය අති මහත්ය. එය යුද්ධය අවසානයේදී සෝවියට් දේශය ලෝක බලවතකු ලෙස පතල වීමට තුඩු දුන් කාරනයකි. ඇමෙරිකාවට මෙම තත්වය එතරම් ප්‍රියජනක නොවුනි. ඔවුනට අවැසි වූයේ යුද්ධය අවසානයේදී ඔවුන් ලෝක බලවතා ලෙස පෙනී සිටීමයි. එම නිසා ලෝකයට දැනෙන යමක් කොට යුද්දය අවසන් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඔවුනට විය.

එමෙන්ම සෝවියට් සමාජවාදය ලොවපුරා පැතිරේයැයි බියක්ද ඇමෙරිකාවට විය. නැගෙනහිර ජර්මනිය සමාජවාදී කඳවුරට එකතුවීම ( හෝ බලෙන් ඈදා ගැනීම ), නව ප්‍රවනතාවයක් සේ ලොව පුරා පැතිර යා හැකියයි ඔවුන් සිතුවා වන්නටද පුළුවන. එමනිසා සෝවියට් දේශය තැති ගන්වා තැබීමටද ඇමෙරිකාවට තදින්ම අවශ්‍යව තිබුනි.

තෙවනුව පර්ල් වරායට සිදුකල විනාශයට එකට එක කිරීමේ අවශ්‍යතාවයද අමතක කල නොහැකිය.

මේ සියල්ලටම වඩා ඇමෙරිකාවට වැදගත් කාරණය වූයේ, ඔවුන් විසින් නිශ්පාදිත පරමාණු බෝම්බ වල ක්‍රියාකරිත්වය සජීවී නියැදියක් මගින්ම පරික්ෂා කරවා ගැනීමයි. මෙය ඒ සඳහා ඔවුනට ලැබෙන අවසන් අවස්ථාවද වන්නේය. එම අවස්ථාව මග හරවා ගතහොත්, එක ප්‍රහාරයක් මගින් ලබාගත හැකිව තිබුනු බහුකාර්‍‍යය ප්‍රයෝජන අපතේ දැමීමක්ද විය. ඇමෙරිකාව එතරම් මෝඩ නැත.

මෙය මැනවින් සනාත කෙරෙන රහසිගත සාකච්චාවක් 1945 මැයි මසදී, ඇමෙරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝ නගරයේදී සිදු වින. එක්සත් ජාතීන්ගේ ප්‍රඤප්තිය සැකසීමට සැන් ප්‍රැන්සිස්කෝ නගරයට රැස්වූ අයවලුන්ගෙන් ඉහල පෙලේ ඇමෙරිකානු නිළදාරීන් පස්දෙනෙකු විසින් වෙනමම පැවැත්වූ රහසිගත සාකච්චාවකි. මෙම අවස්තාව වනවිට ජර්මනිය යටත්වී සිටි අතර ජපානයද යටත් වීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් තිබුනි. මෙහිදී කතාකල එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Edward Stettinius, Jr;

" අපිට ජර්මනියත් නැති උනා. දැන් ජපානයත් යටත් උනොත් අපිට සජීවී ජනගහනයක් මගින් බෝම්බය පරික්ෂා කිරීමට තියන අවස්ථාව නැතුව යනවා "


" නමුත් ලේඛම් තුමනී, කිසිවකුට මෙම ආයුධය සුළුකොට තැකිය නොහැකියි නේද ? " ඒ එම සාකච්චාවට සහබාගී වූ, තවත් අමෙරිකානු රජ්‍ය නිළධාරියෙක් වූ Alger Hiss.

" ඒ උනත්, අපේ මුළු පශ්චාත් යුධ සැළසුම් සියල්ල රඳාපවතින්නේ මෙම පරමාණු බෝම්බය මගින් ලෝකය ත්‍රස්ත කිරීමෙන් පමණයි. "


" එහෙනම් ඔබට ඒ ඉලක්කය සපුරා ගනිමින් ජපානයෙන් හොඳ පලියක් ගන්ඩ ලැබේවි. මම අදහස් කළේ මිලියන ගනනින් කරන පළිගැනීමක්. " එසේ විශාල සංහාරයක් ගැන ඉඟි පලකරන්නේ සාකච්චාවට සහභාගී වූ තවත් සාමාජිකයකු වූ John Foster Dulles.


" ඔව් ජපානෙන් අපි හොඳ පලියක් ගන්ඩ බලාපොරොත්තු වෙනවා, හැබැයි ඔවුන් බෝම්බය සම්පූර්ණ කිරීමට පෙර යටත් උනොත් අපිට ගන්ඩ පලියක් ඉතුරුවෙන්නේ නෑ. "


"එහෙනම් ඔබට බෝම්බය සම්පූරණ වෙනතුරු ඔවුන්ව යුද්ධයේ රඳවාගන ඉන්ඩ වෙනවා."  ජෝන් ෆොස්ටෙර් ඩලස් පවසයි.

" ඒක ලෙහෙසියි, උත්තරය " කොන්දේසි විරහිත යටත් වීම " ඔවුන් ඒකට කිසිදිනක එකඟ වෙන්නෑ. ඔවුන් අධිරාජ්‍යයාව රැකගන්ඩ දිව්රලා ඉන්නෙ." රාජ්‍ය ලේකම් වරයා.


" හරියට හරි, තව මාස තුනක් ජපානය යුද්ධයේ රඳවාගන ඉන්ඩ. ඊට පස්සේ අපිට පුළුවන් මේ බෝම්බය ඔවුන්ට එරෙහිව පාවිච්චිකරලා මුළු ලෝකයම බියෙන් සලිත කරවලා මේ යුද්ධය අවසන් කරන්ඩ. ඉන්පස්සේ මුළු ලෝකයම අපේ කැමැත්තට හිස නමාවි. " 


වැඩි තොරතුරු මේ සබැඳියෙන්...

aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

මේ හිරෝශීමාව වැනසූ, " පුංචි කොළුවා " හෙවත් Little Boy.



මේ නාගසාකිය වැනසූ " මහත මිනිසා " හෙවත් Fat Man



විනාශයේ රුදුරු බව.....








ප්‍රහාරයේ ප්‍රතිනිර්මාණයක්. උපුටා ගැනීම You Tube


මතු සම්බන්ධයි.....

Saturday, January 14, 2012

අපූරු තෝල්කයා


දුරුතු 14, 2012 / ශනිදා



ගිය සතියේ පතල් අස්සේ රිංගලා කට්ටියට මහන්සිත් නැතැයි.. ඒක හින්දා ටිකක් හිනා යන කතාවක් ලියන්ඩ හිතුනා. හිනා යයිද දන්නෙ නම් නෑ.

සුද්දා අපේ රට පාලනය කරන කාලේ වෙච්ච අලකලන්චියක් මේක. කට්ටිය ලංකාව අතෑරලා යන්ඩ ඔන්න මෙන්න කියලා වෙච්ච දෙයක් කියලා හිතමුකො.

ඔය අදිරාජ්‍යවාදීන් බලහත් කාරයෙන් රටවල් අල්ලගන පාලනය කරනකොට ඉතින් නිකම්ම දෙගොල්ලන්ගේ ගති සිරිත්, නම් ගම් එහෙම එහෙට මෙහෙට මාරු වෙනවනේ.. වැඩියෙන්ම වෙන්නේ ඉතින් පාලනය කරන උන්ගේ දේවල් යටත්කරගත්තු රටවල් වල අයට කාන්දු වෙන එකනේ.

ඔයවගේ ඉතින් සුද්දන්ගේ නම් එහෙම අපේ අයට ඇවිත් තියනවානේ. ඒ සමහරු වරදාන වලට රට ජාතිය පාවලා දීලා අරගත්තු ඒවා. සමහරු ඉතින් ඔය ආදර පලහිලව් වලට ගිහින්, සුද්දන්ව කරකාර බැදගෙන ඒ ගොල්ලන්ගේ නම් අරගන. තවත් සමහරුන්ට ඉතින් මේ සිංහල නම් කැතයි කියලා හිතිලා ගිහින් බලෙන්ම ඉල්ලලා දාගත්තු නම් එහෙමත් තියනවානේ. 

මේ කියන තැනත්තී හිටියේ දකුණු ප්‍රදේශයේ මුහුදුබඩ පලාතක කියමුකෝ. නම Margaret Hill. මෙයාටත් ඉතින් ඔය මම උඩින් කියපු මොකක් හරි හේතුවක් හින්දා සුද්දන්ගේ වාස ගමක් එක්කම නමක් තියනවා. අනේ ඉතින් ඒ උනාට ගෑනිට ඉංග්‍රීසි නම් මෙලෝ මලදානයක් බෑ. දෙයියනේ කියලා දරු මල්ලෝ ටික බලාගන, ස්වාමි පුරුසයත් එක්ක දැහැමෙන් සෙමෙන් කල් ගෙවනවා.

මෙයා ඉතින් ගමේ කා එක්කත් හොඳින් ඉන්නවා. හැමෝගෙම දුකට සැපට පිහිට වෙනවා. කව්රු හරි උදව්වක් ඉල්ලුවොත් ඉතින් පුලුවන් කමක් තියනවානම් බෑ කියන්නෑ. බොක්කේ තියන දේ හරි අරගන දෙනවා. ඒ තමයි මාගරට් ගේ හැටි. ඒ වගේම ගෑනී එක එකාගේ සීනි කිරන්ඩ යන්නෙත් නෑ. එකී නොකී බොහොමයක් හේතු හින්දා මාගරට්ට ගමේ කා අතරත් පොඩි ගෞරවයක් තිබුනා. ඒක හින්දා ගමේ හැමෝම මෙයත් එක්ක හොඳයි. කව්රුත් කවදාවත් එයා ගැන වරදක් එහෙමනම් කියන්නෑ. ඒ වගේම ඉතින් ආගමට දහමට හරි ලැදියි. හැම ඉරිදාම පල්ලි යන එකනම් වරද්දන්නෑ.

ඔන්න ඔහොම ඉන්නකොට තමා මේ මරාලය මාගරට්ගේ ඔළුවට කඩන් වැටෙන්නේ. අනේ ඉතින් ඕක මේ ලෝකේ හැටියක්නේ. කව්රු හරි තමන්ගේ පාඩුවේ, කාටවත් කරදරයක් නැතුව ඉන්නවානම්, උන්ටම තමා කොහේ හරි යන හෙනයක් පාත් වෙන්නේ.

එදත් මාගරට් සුපුරුදු පරිදි පල්ලි ගිහින් එනවා. බොහෝ වෙලාවට මාගරට් පල්ලි ගිහින් එවෙන්නේ තනියම. ඒ කියන්නේ දරුවෝ ටික දහම් පාසල් යනවා, ස්වාමිපුරුසයා ඉතින් හුගක් වෙලාවට පල්ලි යැවෙන්නෑ. ජීවන බර අදිනවා.

අනිත් ගෑණු ඉතින් පල්ලි ගිහින් එන්නේ කදේ දාගන, අනුන්ගේ ඕපදූපයක් එහෙම කියෝගන. පල්ලි ගිහින් දෙයියන්ට කියපුවා, පොරොන්දු වෙච්චා, ඔක්කොම ඉවරයි.. ඒවා එහෙම්ම පල්ලිය ඇතුලෙම තියලා ඇවිල්ලා. හැබැයි මාගරට් තනියමම තමා එවෙන්නේ. එයාට ඕනා ඉක්මනට ගෙදර ඇවිල්ලා ස්වාමි පුරුෂයටයි, ළමයින්ටයි දවල් කෑම ටික හදන එක තමා.

පල්ලියේ ඉඳලා මාගරට්ලෑ ගෙදරට එන පාරේ හැතැම්ම බාගයක් විතර කොටසක් තියනවා, දෙපැත්තම කැලෑව. තාම කැලේ එලිවෙලා වැඩිය ගෙවල් දොරවල් එහෙම හැදිලා නැහැ. ඔය හරියේ දවල්ටත් කව්රුවත් තනියම යන්ඩ ටිකක් බයයි. හැබැයි මාගරට්ට ඔවයෙ එච්චර ගානක් නැහැ. හිත හයිය ගෑනී.

ඔය කැලේ ටිකක් ඇතුලට වෙන්ඩ තියනවා ලෑලි වලින් හදපු පොඩි ගෙයක්. ගමට අලුතෙන් ආපු කට්ටියක් ඉඩම් කෑල්ලක් අල්ලගන හදපු ගෙයක්. මාගරට් නම් ඔය ගෙදර ඉන්නේ කව්දෝ කියලවත් තාම දන්නේ නැහැ.

මාගරට් ඉතින් පල්ලියෙ ඉඳන් දැන් තනියම එනවා. අහල පහලක කව්රුවක්වත්ම නැහැ. අනිත් අය ඉතින් කදේ දාගන හිමීට ගාටනවා. අර ගෙදරට හැරෙන අඩි පාර ලඟ ඉන්නවා ගෑනු මනුස්සයෙක් හිටගන. බොහෝම හොඳ හිනාවක් එහෙම දාගන.

"නෝනට නේද මාගරට් කියන්නේ ? අපිනම් මේ ලඟදි මෙහාට ආවේ. නෝනා ගැනනම් ගමේ හැමෝම හොඳ කියනවා අහලා තියනවා, ඒකමයි මේ අඳුර ගත්තොත් හොඳයි කියලා, එනවා දැකලා පාරට ආවේ."

මාගරටුත් ඉතින් සුපුරුදු පරිදි බොහොම සුහදව කතා කරනවා, කාගෙවත් හිත් රිදවලා පුරුද්දක් නැති නිසා. කොහොමෙන් කොහොම හරි අර මනුස්සයා ආරාධනා කරනවා මාගරට්ට ගෙදරට ගොඩ වැදිලා යන්ඩ එන්න කියලා. බොහොම පෙරැත්තයකින් පස්සේ මාගරට් ඉක්මනට යන්ඩ ඕනා බව කියන ගමන් ඒ ගෙදරට යන්නේ අර මනුස්සයාගේ හිත රිදෙයි කියලා.

මාගරට් ඉතින් එහෙට ගොඩවැදිලා, ටික වෙලාවක් ඉඳලා, තේ එකක් එහෙම බීලා පිට වෙනවා ගෙදර යන්ඩ. මාගරට් පාරට එනකොටම ඉතින් පස්සෙන් ආපු කට්ටිය ඒ වෙලේ තමා එතනින් යන්නේ. එයත් ඉතින් ඒගොල්ලො එක්කම ඉතුරු ටික දුර ගෙවලා දානවා.

ඔන්න වැඩේ පත්තු වෙන්නේ එදා හවස. ගම පුරාම ලැව්ගින්නක් වගේ පැතිර යනවා අර ගෙදර මිනිහෙක්ව මරලා දාලා කියලා. වෙලා තියෙන්නේ උදේලු. ඔය මාගරට්ලා පල්ලි ගිහින් එන වෙලාවෙම වගේලු. අනේ ඉතින් අර අම්මණ්ඩිලා ටික කියනවා මාගරට් එදා උදේ ඒ පැත්තේ ඉඳන් එනවා දැක්කා කියලා.මාගරට්ව සැකපිට අත්අඩංගුවට ගන්නවා. කාට කියන්ඩද ? සුද්දගෙ නීතියනේ.

ඉතින් ඔය ඔක්කොම වැල්වටාරම් කිව්වේ, ඇයි දැන් මේ මාගරට් විත්ති කූඩුවේ හිටගන ඉන්නේ කියන එක පැහැදිලි වෙන්ඩයි. මට කියන්ඩ ඕනා කතාවට එන්නේ දැන් තමා.

ඔන්න දැන් නඩුව යනවා. විනිශ්චකාරතුමා සුද්දෙක්. සිංහල බෑ. ඉතින් තෝලකයෙකුත් ඉන්නවා සුපුරුදු පරිදි පරිවර්තනය කරන්ඩ.

මාගරට්ගේ නම කියලා කතාකලා විත්තිකූඩුවට. මෙන්න මෙතනදි තමා විනිශ්ච්කාරතුමා හොල්මන් වෙන්නේ.

"යකෝ මේ ගෑනිට කොහෙන්ද ඉංග්‍රීසි නමක් ? " එතුමා හිතනවා. හිතන්නේ ඉංග්‍රීසියෙන්. මම දන්නෑ එවා ඉංග්‍රීසියෙන් ලියන්ඩ.


දැන් එතුමා කල්පනා කරනවා, මෙයාට කොහොමද මේ නම එන්ඩ ඇත්තේ ? තාත්තගෙන්ද, ස්වාමිපුරුෂයාගෙන්ද ? ඉංග්‍රීසිත් බැරි මේ ගමේ ගොඩේ ගෑනිට කොහෙන්ද මේ අපේ නමක්. එතුමාට ප්‍රශ්ණ වැලයි. ඉතින් කුතුහලය පාලනය කර ගන්ඩ බැරි උන විනිශ්චකාර තුමා නඩුව පැත්තකින් තියලා මෙන්න මෙහෙම අහනවා.

" You, become a HILL before married or after married ? "


අනේ ඒ ඔලමොට්ටල තෝල්කයා ඕක පරිවර්තනය කලේ මෙන්න මෙහෙමයි;

                                   Ѝ




                                   Ѝ




                                   Ѝ


                                   Ѝ


                                   Ѝ


                                   Ѝ


                                   Ѝ

"යුශ්මතිය හිල් වූයේ විවාහයට පෙරද ? පසුද ? "


උසාවිය නිශ්ශබ්ධ වෙනු !


එහෙනම් ගිහිල්ල එන්නම්. හැමෝටම ජය !!
-------------------------------------------------------------------------------------------------------------

පසු සටහන :

ඔය උසාවියේ කතාව මට කිව්වේ ‍යෂින් රජීව පෙරේරා. ඇත්ත කතාවක්ලු. ස්තූතිය එයාට. අනිත් ඔක්කොම , කතාවක් වශයෙන් ඉදිරිපත් කරන්ඩ ඕනා නිසා මගේ හිතේ මැවිච්ච මනස්ගාත. නම් ගම්, ප්‍රදේශ, දින වකවානු ඔක්කොම මනඃකල්පිතයි.

~~සෙන්නා / 14.01.2012


Saturday, January 7, 2012

" Los - 33 " හෙවත් පණපිටින් මිහිදන් වූ 33 න් දෙනාගේ කතාව....


දුරුතු 07, 2012 / ශනිදා



මොහොතක් සිතන්න...සුළු මොහොතකට, ඔබව පණ පිටින් වැළලී ඇතැයි සිතන්න.. නැවත කිසිදා ගැලවිය නොහැකි ලෙස, පණ පිටින් වැළලී ඇතැයි සිතන්න. බාහිර ලෝකය සමඟ පැවති සියළු සබඳතා බිඳ දමමින්, අදුරු බිම් ගෙයක් තුල, යලි කිසිදා හිරු එළිය නොදකින ලෙස, කිසිඳු ගැලවීමක් නොමැති ලෙස වැළලී ඇතැයි සිතන්න. තව මොහොතකින්, දිනකින් හෝ දෙකකින්.. හුස්ම ගැනීමට නොහැකිව, ආහාර ජලය නොමැතිව, හාමතේ, පිපාසාවෙන්, හුස්ම හිරවීමෙන් හිමිවන ඒ වේදනා බර මරණය..... දැනුනාද ඔබට ? එසේනම්, එයට සැබැවින්ම මුහුණ දුන් ඔවුන්, එය කෙසේ අත්විඳින්නට ඇත්ද ? ඔවුන්ගේ සිතුවිලි කෙසේ වන්නට ඇත්ද ?

ක්ෂණිකව ලබන මරණය මෙන් නොව තව මොහොතකින් මැරෙණවා යැයි දැනෙමින් ලබන මරණයේ වේදනාව කෙතරම්ද ? පීඩාව කෙතරම්ද ?

ඒ මරණය ඔවුන්ට හිමිද ?

ඔවුන් ඒ මරණයෙන් ගැලවේද ?

Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ 

ඒ 2010 අගෝස්තු 05 වනදා, සුපුරුදු දොරට තට්ටු කිරීම ඇසෙන විට, Lilianett Ramirez මහත්මිය විසින් වෙනදා ලෙසින්ම සිය සැමියා වූ Mario Gomez සඳහා රාත්‍රී ආහාරය පිළියල කරමින් සිටියාය. ඇය විසින් දොර හැරියේ සිය සැමියා පිළිගැනීමට වුවද, දොර අසල සිටගන සිටියේ ඇය හොඳින් හඳුනන, පතලෙහි කලමණාකාරවරයෙකි. 

" ලිලී මහත්මිය, පතලේ පොඩි අනතුරක් වෙලා තියනවා, හැබැයි කලබල වෙන්ඩ දෙයක් නැහැ, අපි අදාල යන්ත්‍ර සූත්‍ර ඔක්කොම ගෙනත් තියෙන්නේ, හෙට උදේ වෙනකොට ඒ ගොල්ලන්ව බේර ගන්ඩ පුළුවන් "

පතලේ සිරවූ අය අතරින්, වයසින් වැඩිම තැනත්තා වූ 63 හැවිරිදි Mario Gomez ගේ බිරිඳ වූ Lilianett Ramirez සිද්ධිය දැනගනු ලබන්නේ මේ ආකාරයටය.

Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ 

දිනය : 2010 අගෝස්තු 05
වේලාව : ප.ව. 02.00 යි
ස්ථානය : චිලී හී, Mina San José  තඹ හා රන් ආකරය.

Mina San José  පතල         
එම භයානක පිපිරුම් හඬ ඇසෙන විට, පතලේ ට්‍රක් රථ රියදුරකු වූ 57 හැවිරිදි Villegas සිය ට්‍රක් රථයට පතලින් කඩාගත් ගල් කැබලි පටවා අවසන් කරමින් සිටියේය. පතල් කම්කරුවනට එවැනි පිපිරුම් ශබ්ධ අරුමයක් නොවන හෙයින්, ඒ මොහොතේදී ඔහු ඒ ගැන එතරම් තැකීමක් නොකළේය.

තම කාර්යය අවසන් කළ Villegas සිය රථයද සමගින්, වලයාකාර, බෑවුම් මාර්ගය ඔස්සේ ඉහලට ගමන් කරමින් සිටින අතර තුර, සිය සහෝදර කම්කරුවන් දෙදෙනෙකු වන, Frank Lobos හා Mario Gomez පතලේ පහලට ගමන් කරමින් සිටිනු දුටු අතර, ඔහු විසින් තමන් විසින් අසන්නට යෙදුන ශබ්දය පිළිබඳව ඔවුන්ව දැනුවත් කළද, ඔවුන් දිගටම පහලට ගමන් කොට අඳුරේ නොපෙනී ගියහ.

පතලේ විවරයට ආසන්නවන විටම, පසු පසින් පැමිණි දැවන්ත දූලි වලාවක් විසින් Villegas ව වසා ගත් අතර, සියල්ල නොපෙනී ගියේය.

" ඩයිනමයිට් පිපුරුමකදී ඇතිවනාකාරයේ කම්පන තරංග මට දැනුනා. රථයේ එන්ජිමද නතර වීමට ආසන්න වූවා " පසුව සිය මතකය අවදි කරමින් Villegas පවසා සිටියේය.

හැකි උපරිම වේගයෙන් පතලෙන් පිට වූ  Villegas ආපසු හැරී බලන විට දුටුවේ, ගිනිකන්දක් පිපිරීමෙදී ඇතිවනාකාරයේ මහා දූලි වලාවක් අහසට නැගෙමින් තිබෙන අයුරුය.. ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු නොවී, පතලෙන් පැනගත් අවසන් කම්කරුවා වූයේ Villegas ය.

පතලට පිවිසෙන එකම පිවිසුම් මාර්ගය වූ, වලයාකාර, බෑවුම් මාර්ගයේ මගකින් ඇතිවූ කඩා වැටීමක් හේතු කොටගෙන, පතලලේ පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබුනේ, පතලට වාතාශ්‍රය ගෙනයන පද්ධතියද අහුරා දමමින් හා පතල් කම්කරුවන් 33 දෙනෙකු පතල තුල සිරකර දමමිනි.

Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ 

උණුසුම්, හිරකරවන සුළු, අපිරිසිදු කුඩා කාමරයක් තුල, දහදිය, දූවිලි සහ තෙල් ගතියද සමඟින්, නෑමට, සේදීමට හෝ නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිව, කුසගින්දරින් සහ පිපාසයෙන් දැවෙමින්, බාහිර ලෝකයෙන් උදව් ලැබුනොත් මිස, ගැලවීමක් නොමැති බව දැන දැන, එසේ භාහිර ලෝකයාට තමාව ගලවා ගැනීමට හැකිවේදෝයි නොදැන, තවත් 32 නෙක් සමඟ සිරවී සිටීමේ අත්දැකීමක් ඔබට සිහියට නගා ගත හැකිද ?

Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ 

Mina San José තඹ හා රන් ආකරය පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවේ චිලි හී, කොපියාපෝ නගරයට කි.මි. 45 පමන උතුරට වන්නට වූ, Atacama කාන්තාරයේය. මෙම පතල කරවනු ලබන්නේ, අනාරක්ෂිතව පතල් හෑරීම පිලිබඳ අපකීර්තිමත් ඉතිහාසයක් ඇති Compañía Minera San Esteban හෙවත් CMSE සමාගම විසිනි. මෙම පතලෙහි මීට පෙරද නිසි ආරක්ක විධිවිධාන පිළිනොපැදීම හේතුකොටගෙන අනතුරු හා මරණ වාර්තා වී තිබුනි. පසුගිය වසර 12 ඇතුලත, නිසි ආරක්ෂක විධිවිධාන නොපිළිපැදීම හා උල්ලංඝනය  හේතුකොටගෙන, මෙම පතලේ පුද්ගල මරණ 08 ක් වාර්තා වී ඇති අතර, 42 වතාවක් දඩ නියම වී ඇත.

2007 දී සිදුවූ, අනතුරක් හා මරණයක් හේතුකොටගෙන පතල තාවකාලිකව වසා දමන අතර 2008 නැවත ඇරඹුවද, ආරක්ෂක විදිවිධාන කෙරෙහි සමාගම විසින් එතරම් සැලකිල්ලක් නොදක්වනු ලබයි. 


මෙම තත්ත්වය නිසාම, මෙම පත්ලෙහි ගෙවීම්, කලාපයේ අනිකුත් පතල් වලට වඩා ඉහල මට්ටමක පවතින අතර, කම්කරුවන් ජීවිත අවදානම දරමින් ඉහල වැටුපට ආකර්ශණය වන බවක් පෙනෙන්නට තිබේ.


පතලෙහි කඩාවැටීම සිදුවන විට කණ්ඩායම් දෙකක් එහි සේවය කරමින් සිටි අතර, පිවිසුම ආසන්නයේ සේවය කරමින් සිටි කණ්ඩායම, කිසිදු අනතුරකින් තොරව වහා ඉවත් වීමට හැකි වූවද, පහල කොටසේ සේවය කරමින් සිටි 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ඒ වාසනාව හිමි නොවුනි. ඔවුන් ඉතා අවාසනාවන්ත ලෙස, භාහිර ලෝකය සමඟ තිබූ සියලු සබඳතා සිදීයමින් මීටර 700 පමණ ගැඹුරෙහි කිසිඳු හව්හරණයක් නොමැතිව සිරවී ගියහ.

පතලෙහි සිරවූ 33 දෙනා, මුලින්ම පතලට වාතාශ්‍රය ගෙනයන පද්ධතිය මගින් ගැලවීමට උත්සහා කලද, ඒ සඳහා අවශ්‍යය වන හිනිමං සවි කොට නොතිබූ හෙයින් එම අදහස අත් හැර දැමීමට සිදුවිය. 2007 දී සිදුවූ අනතුරින් පසු වසා දමා තිබූ පතල නැවත ආරම්භ කිරීමේදී මෙම ආරක්ශක ක්‍රියාමාර්ග ගත යුතුව තිබුනද, ඉහත සඳහන් වූ පරිදි, පත්ලෙහි හිමිකරුවන් ඒ ගැන එතරම් අවධානයක් යොමුකල බවක් දක්නට නොතිබුනි. කෙසේ වෙතත් එම මාර්ගයද සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබුන බැවින්, නිසි උපාංග තිබුනද, ඔවුනට එම මාර්ගය සිය නිදහස වෙනුවෙන් බාවිතා කළ නොහැකි තත්ත්වයක් විය. බාහිරින් උදව් ලැබුනොත් මිස තමන්ට මෙයින් ගැලවීමක් නොමැති බව සියල්ලන්ටම සක් සුදක් සේ පැහැදිලි කාරණයක් විය.

තමන් මුහුණදී සිටින තත්ත්වයෙහි බරපතල කම වටහා ගත්, 54 හැවිරිදි වැඩ පරීක්ෂක Luis Urzua, 33 දෙනාගෙන් යුතු කණ්ඩායම, පතලෙහි ගලවා ගැනීමේ කුටීරය ( Mine rescue chamber ) වෙතට යොමු කරවන ලදී. මෙතැන් පටන්, Luis Urzua ට කණ්ඩායමේ නායකයා වශයෙන් පිළිගැනීමක් ඇතිවන අතර, අනෙකුත් සගයන්, ඔහුගේ නියමයන් පිළිපැදීමට නිරායාසයෙන් යොමුවිය. කණ්ඩායම මනා ලෙස සංවිධානය කරණු ලබන Luis Urzua  පවතින සීමිත සම්පත් බාවිතා කරමින්, භාහිර ලෝකයෙන් උදව් ලැබෙන තෙක් සියළු දෙනාගේම ජීවිත රැකෙන පරිධි ඒවා භාවිතා කරන ආකාරයද සැලසුම් කරන ලදී. මෙහිදී, සියලුම කම්කරුවන් තම රැකියාවෙහි පවතින මෙම අවධානම් ස්වභාවය මනා ලෙස අවබෝධ කොටගෙන සිටීම, කටයුතු සැළසුම් කිරීමට Luis Urzua ට මනා පහසුවක් විය. එසේ නොවන්නට තත්ත්වය වඩාත් බැරෑරුම් වීමට ඉඩ තිබුනි.

එකව වැඩකිරීම් මිස වෙනයම් විකල්පයක් මේ මර උගුලෙන් ගැලවීම්ට නොමැති බව අවබෝධ කොටගත් සියල්ලෝ, එකාවන්ව, අප්‍රමාණ කැපකිරීම වලින් යුතුව කටයුතු කරන්නට වූහ. කුඩා කණ්ඩායම් වශයෙන්, ගැලවීමේ අන් මගක් ඇත්දයි නිරන්තරවම ගවේශනය කල අතර සමහරු පතලේ කල කැනීම් මගින් වතුර ලබා ගැනීමට කටයුතු කරන ලදී. පවත්නා සීමිත ආහාර ප්‍රමාණය, දිගුකාලයක් ජීවිත රැකගැනීමට අවශ්‍ය අයුරින් බාවිතා කිරීම අත්‍යාවශ්‍යය විය. ඔවුන්ගේ අහාරය වූයේ දින දෙකකට වරක් ගනු ලැබූ, ටූනා හැඳි දෙකක ප්‍රමාණයක්, බිස්කට් එකක් හා පුංචි කිරි කෝප්පයක් පමණක් විය.

මෙහිදී ඔවුන්ට තාවකාලිකව සිය ජීවිත රැක ගැනීමට ඉවහල් වූ ස්වාභාවික කාරනා කිහිපයක්ද විය. ගල් අඟුරු පතල් වල මෙන් නොව, තඹ හා රන් ආකර වල මීතෙන් වායුව නොනිපදවෙන අතර විශාල අම්ලකර වායු කුහරද වේ. මෙම තත්ත්වය පතල තුල සිරවූවකුට ජීවිතය රැක ගැනීමට මහෝපකාරී වේ. එසේම ගල් අඟුරු පතල් මෙන් නොව තඹ හා රන් ආකර තෙත් ගතියකින් යුක්ත වන අතර, පානීය ජලය සපයා ගැනීමට එය ඉවහල් වේ. කෙසේ නමුත් මෙලෙස ජීවිතය රැක ගත හැක්කේ ඉතා සීමිත කාලයකට පමණක් වන අතර, පිටවීමට මගක් හමු නොවුනහොත් පතල තුලම මිය යාමට සිදුවීම ඒකාන්තය.

මානසික ශක්තිය පවත්වා ගැනීමද අත්‍යවශ්‍යය කාරණයක් විය. කණ්ඩායමේ බහුතරයක් කතොලිකයන් වූ අතර, Mario Gómez හා José Henríquez  එක්ව තාවකාලික දේවස්ථානයක් සදා යාඤ්ඥා මෙහෙයවල් පවත්වන්නට යෙදුනි. පොදු මිනිස් ගතිය ඉස්මතු වෙමින්, මෙහෙදී සියළු දෙනාම මුළු හදින්ම තම ගැලවීම උදෙසා දෙවියන් යදින්නට විය.

මේ සියල්ලෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ, බාහිරින් උදව් පැමිණෙන තුරු ජීවිතය පවත්වා ගැනීමය. ශාරීරික හා මානසික සුවය පවත්වා ගැනීමය.

නමුත් දවසින් දවස ගෙවෙන විට, බලාපොරොත්තුද කෙමින් සිදී යන තත්ත්වයක් ඇතිවෙමින් පැවතුනි. පැය දින වලට පෙරලුනි, දිනයෙන් දිනය ගෙවෙමින් කාලය ගෙවීගියද බලාපොරොත්තුවේ සංඥාවක් හෝ නොලැබුනි..

2010 අගෝස්තු 22 වන දින අළුයම, හරියටම පතල කඩා වැටුනු දිනෙන් දින 17කට පසු, ඒ මිහිරි ශබ්ධය ඔවුන්ගේ කන වැකුනි.

Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ 
පණිවිඩය කන වැටුනු සැනින්, බොහොමයක් ගැහැණුන් මෙන් සිහිසුන්ව ඇද නොවැටුන ලිලි මහත්මිය, තමාට වහාම එම ස්ථානයට යායුතු බව, කළමණාකාරවරයාට තදින්ම දන්වා සිටියාය. ඔහු කෙතරම් විරුද්ධ වුවද, ඔහුට නොවේ ඇයගේ මතය වෙනස් කල හැකි වූයේ. ඇය තමා පතල් කම්කරුවකුට ඔබින ගහැණියක් බව කදිමට පෙන්වා සිටියාය.

ලිලී මහත්මිය ඇතුලු, සිරවූ කම්කරුවන්ගේ පවුල්වල උදවිය, ආරංචි ලැබෙන පිළිවෙල අනුව, පතල කරා රොක් වන්නට විය.

අනතුර සිදුවන විට ඉක්වදෝරයේ සංචාරයක නිරතවෙමින් සිටි චිලි හී පතල් හා කැනීම් කටයුතු බාර අමාත්‍ය වරයා, වහා සිය සංචාරය අවලංගු කොට, අදාල ස්ථානයට ලඟා විය. ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ඇටකාමා ප්‍රදේශයේ, විශේෂ ගලවා ගැනීමේ කණ්ඩායමක් කැඳවූ අතර රාත්‍රී 9.00 ට පමණ ඔවුන් පතලට ඇතුළු විය. පසුදින උදයේ ඔවුන් දහදියෙන් නෑවී, හිස් අතින් පතලෙන් පිට වූයේ, කිසිඳු සාර්ථකත්වයක් ලබා නොගමිනි.

මේ වන විට, කම්කරුවන්ගේ ඥාතීන් සහ මාධ්‍ය කරුවන්, ක්‍රමක්‍රමයෙන්, එම ස්ථානයට ලඟා වෙමින් සිටියේ පතලේ කලමණාකාරිත්වයෙන් තම හිතවතුන් ගැන ප්‍රශ්ණ කරමිනි. මේ අතර සහෝදර කම්කරුවන් පිරිසක්, සිය ජීවිතයද අවදානමට දමනින්, සිරවූ පිරිස බේරා ගැනීම සඳහා ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙමින්ද සිටියහ.

ගලවා ගැනීමේ කණ්ඩායම විසින් ඇතුල්වීමට දරන දෙවන උත්සාහයද අසාර්ථක වීමෙන් පසු, චිලී රජය විසින් තමන්ගේම කැණීම් සමාගම ගලවාගැනීමේ මෙහෙයුම සඳහා යොදාගැනීමට තීරණය කරයි. ලොව විශාලතම තඹ නිපදවන්නා වන, චිලී රජයට අයත්, Codelco සමාගම ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වන්නේ එලෙසිනි. Codelco සමාගමේ අති දක්ෂ විශේෂඥයන් දෙදෙනෙකු වන Andre Sougarret හා Rene Aguilar, ගලවා ගැනීමේ කාර්යය සඳහා පූර්ණ කාලීන වශයෙන් අනුයුක්ත කෙරේ. ඇත්ත වශයෙන්ම කිවහොත් පතලේ සිරවී සිටි 33 දෙනාගේ ජීවිත රඳා පැවතියේ ඔවුන්ගේ දෑතේය.

Codelco සමාගමද, පතලෙහි ප්‍රධාන පිවිසුම හරහා සිරවී සිටි අය වෙත ලඟාවීමට සතිදෙකක කාලයක් පමණ උත්සහා කලද, සියළු උත්සාහයන් අත්හැර දැමීමට සිදුවන්නේ, තවදුරටත් පතලෙහි කඩාවැටීම් සිදුවන්නට වූ බැවිනි. ගලවා ගැනීමේ මෙහෙයුමට යොදා ගත් රථ වාහන හා ගිලන් රථ එම ස්ථානයෙන් පිටව යන්නේ, ඥාතීන්ගේ සිත් සතන් තුල ගිනි දැල් අව්ළුවමිනි.

නමුත් Codelco සමාගම උත්සහාය ලෙහෙසියෙන් අත්හැර දැමීමට සූදානම් නැත. ඔවුන් සතුව දෙවන සැලැස්මක්ද විය.

මේ වන විට බොහෝ දෙනාගේ අදහස වූයේ පතලේ සිරවූවන් මියගොස් ඇති බවයි. සති දෙකකට වඩා කාලයක්, 33 දෙනෙකුට, සම්පූර්ණයෙන් වැසීගිය පතලක් තුල, ජීවය පවත්වා ගත හැක්කේනම් එය ආශ්චර්යක් මිස වෙන කුමක්ද ? කෙසේ වෙතත්,  Codelco සමාගමේ පතල් පිළිබඳ ඒකාබද්ධ කලමණාකාර වරයා වූ Fidel Báez  මහතා ඔවුන් මිය ගොස් ඇතයි සිතන්නට මැලිවිය. ඔහුට සවන ඉන්ද්‍රියකින් මෙන් ඔවුන් තවමත් ජීවතුන් අතරයයි හැඟුනි.

ප්‍රධාන පිවිසුමෙන් පතලට ඇතුල්වීම අසාර්ථක වූ පසු, Codelco සමාගම තීරණය කරනුයේ විදුම් යන්ත්‍ර මගින් සිරවූ කම්කරුවන් අතැයි අනුමාන කල ස්ථාන ඉලක්ක කොටගෙන ඔවුන් හා සම්බන්ධතාවයක් ඇතිකරගත හැකි ආකාරයේ සිදුරු විදීමයි. මේ සඳහා සුදුසු විදුම් යන්ත්‍ර නවයක් ඉක්මනින්ම ලබා ගත හැකි ලෙස පතල අවට කලාපයෙන් සොයාගත හැකි බව සිදුකල වැඩිදුර සොයාබැලීම් වලදී හෙලිවන අතර එම යන්ත්‍ර නවයම වහා එම ස්ථානයට ගෙන්වා ගැනීමට තීරණය වේ.

පතලේ සිරවීමෙන් පසු, සියළු දෙනාම ගලවා ගැනීමේ කුටීරය වෙතට යන්නට ඇතැයි උපකල්පනය කරමින්, විදුම් යන්ත්‍ර නවයම චාපයක ආකාරයකට ස්ථාන ගත කොට එම ඉලක්කය එල්ලේ සෙ.මි. 14 සිදුරු නවයක් විදින්නට ආරම්භ කෙරුනේ, එකක් හෝ කම්කරුවන් සමඟ සබඳතාවයක් ගොඩනගාගැනීමට ඉවහල් වේ යැයි බලාපොරොත්තු ඇතිවය.

කෙසේ වෙතත් මෙය නිසි සැලස්මකට අනුව කල දෙයක් නොව, හුදෙක් අහම්බයකින් හෝ වාසනාවක් බලාපොරොත්තුවෙන් කල කාර්යයක්ම පමණක් විය. අවසානයේදී විදුම් 15ක් සිදු කළ අතර සැබැවින්ම එය අඳුරේ අතපත ගෑමක් විය. සමහර විදුම් යන්ත්‍ර අතර මගදී ක්‍රියා විරහිත වූ අතර යන්ත්‍ර දෙකක් මීටර 500 ට වඩා විදීමට අපොහොසත් විය. සමහර විදුම් අනපේක්ශිත දෝනා හමුවීමෙන් අවසන් විය.

මේ අතර අප හොඳින් දන්නා ලිලී මහත්මිය ඇතුළු පතලේ සිරවූවන්ගේ ඥාතීන්ද, මාධ්‍ය කරුවන්ද, ඕනෑම මොහොතක යම් සුබ ආරංචියක් ඒදෝයි බලාපොරොත්තුවෙන් පතල අවට කඳවුරු බැඳගෙන සිටියහ. එය බලාපොරොත්තුවේ කඳවුර හෙවත් Camp Hope විය. මුලින් මුලින් ඥාතීන් පතල අවට රැස්වී, සිය මෝටර් රථ වලම දවසරින්නට වූ අතර, පසුව පැය දින වෙමින්, දින සති වෙමින්, බලාසිටින කාලය වැඩිවන විට ඔවුන් තාවකාලිකව කඳවුරු බැඳගන්නට වූහ. පසුව චිලී රජයම මැදිහත් වී ඔවුනට අවැසි දෑ සම්පාදනය කරදෙන තත්ත්වයටම එය පත්විය. ඇත්ත වශයෙන්ම පත්කර ගත්හ. මේ තත්ත්වය මත, රජයට ගලවා ගැනීමේ මෙහෙයුම අතර මග අත්හැර දැමීමට කිසිඳු ඉඩ ප්‍රස්ථාවක් නම් නොවීය.

Camp Hope

2010 අගෝස්තු 22 වන දින පාන්දර 0300 ත් 0400 ත් අතර කලයේදී, ගලවා ගැනීමේ කණ්ඩායම, පළමු බලාපොරොත්තුවේ ගිනිසිළුව දුටුහ.

Schramm T685 විදුම් යන්ත්‍රය, මීටර 700 ක් වඩා ගැඹුරේදී, හිස් අවකාශයකට ඇතුලු විය. පීඩනය නැතිව ගිය බැවින් එය තහවුරු කරගැනීමට ඔවුනට හැකි විය. විදුම් යන්ත්‍රය ක්‍රියා විරහිත කොට, පහතට බස්සවන ලදී. දුරින් කෙරෙන් තට්ටු දැමීමක්, විදුම් යන්ත්‍රයේ පහත කෙලවරින් සවේදනය කෙරිනි.

පසුව විදුම් යන්ත්‍රය ඉහලට එසවූ අතර, දුටු දෙයින් සියල්ලෝම අමන්නාදන්දයට පත්වී, ප්‍රීති ඝෝෂා කළහ.

" ඔවුන් ජීවතුන් අතර " මුවින් මුවට මන්තරයක් මෙන් ගලා යන්නට විය.

Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ Θ═Θ 


විදුම් යන්ත්‍රයේ කෙලවරෙහි ඇමිණුනු ලිපි දෙකකි. දෙකම ලියා තිබුනේ ලිලී මහත්මියගේ සැමියා වූ Mario Gomez මහතාය. එකක් ලිලී මහත්මියට වූ අතර, අනෙක පහත සඳහන් පොදු පණිවිඩය විය.


"Estamos bien en el refugio los 33,” or “we are fine in the refuge, The 33 ”


මෙම ආරංචියත් සමගම මුළු රටම උත්සවශ්‍රීයෙන් ඇලලී ගිය අතර, සියල්ලෝම මේ ප්‍රීතිජනක ආරංචිය ප්‍රීතියෙන් සමරන්නට විය. 2010 අගෝස්තු 05  වන දින, සිය හිතවතුන් මිස අන්කිසිවකු නොදන්නා අයවළුන් ලෙස පතලට බට මේ කම්කරුවන් 33 දෙනා, මේ සමගම ලොවම දන්නා වීරයන් වූහ. මෙතෙක් චිලී හී මාධ්‍ය අවධානය පමණක් දිනාගන සිටි මෙම සිද්ධිය, මුළු ලෝකයේම අවධානයට පාත්‍ර වන ලදී. ලෝකයේ සියළුම දැවැන්තයයි සළකන ලද සියළුම මාධ්‍යය මොහොතකින් පතල අවට කඳවුරු බැදගෙන, ගලවා ගැනීමේ මෙහෙයුම සජීවිව ප්‍රචාරය කරන්නට විය.


ගලවා ගැනීමේ මෙහෙයුම සැලසුම් කරන්නන්ට අනුව, සිරවූ කම්කරුවන් ව ගොඩ ගැනීම බලාපොරොත්තු වන තරම් ක්ෂණිකව කල නොහැකි කාර්යයක් වූ අතර ඒ සඳහා අඩුම තරමින් තවත් මාස හතරක් කාලයක්වත් ගතවේ යැයි අනුමාන කරන ලද්දේ, ඔවුන්ව පන පිටින් සොයා ගැනීමේ සතුට මද වශයෙන් හීන කරමිනි.


කෙසේ වෙතත් ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා සියළු දෙනාම වහ වහා සූදානම් විය. මූලික සැලසුම වූයේ, සෙ.මී. 70 සිදුරු තුනක් වෙන් වෙන් ස්ථාන ඉලක්ක කොටගෙන විදීමටයි. එසේ සිදුරු තුනක් විදීමේ අරමුණ වූයේ, යම් හෙයකින් එකකට හෝ අතර මගදී නොසිතූ බාධාවක් සිදු වුවහොත් අනෙක් ඒවායින් ඉලක්කය සපුරා ගැනීම අරමුණු කොටගෙනය. එය A, B, සහ C සැලසුම ( Plan A,B & C ) යනුවෙන් වෙන් වෙන්ව නම් කරන ලදී.


Plan A, Strata 950 ( මීටර 700 ක ගැඹුරක් ඉලක්ක කොටගෙන අංශක 90 ක ආනතියකින් විදින ලදී. )
Cementation Canada Inc., නම් කැනේඩියානු සමාගමට අයත් Strata 950 විදුම් යන්ත්‍රය, අනතුර සිදුවන අවස්ථාවේ චිලී හී සන්තියාගෝ නගරයට මදක් ඔබ්බෙන් වෙනත් කාර්යයක නිරතව සිටියේය. ගලවා ගැනීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට අවැසි සුදුසුම යන්ත්‍රයක් වූ මෙය, වහාම ගලවා ගැනීමේ වැඩ බිමට කැඳවන ලදී. මුලින්ම විදීම ආරම්භ කල යන්ත්‍රය මෙය වේ. 2010 අගෝස්තු 30 වන දින, ගලවා ගැනීමේ කුටිය ඉලක්ක කරගෙන විදීම ආරම්භ කරන ලදී. කාර්යය අධීක්ෂණය කිරීම සඳහා, විශේෂඥ පරීක්ශකවරයකු වූ Glen Fallon ගෙන්වූ අතර, විදීමේ කාර්යය, ඔහුගේ අධීක්ෂණය යටතේ සිදු විය. 

මුලින්ම සෙ.මි. 38 නියමු සිදුරක් විදීමට නියමිත වූ අතර, ඉන් පසුව එය පුද්ගලයකුට ගමන් කලහැකි තරම් වන සෙ.මි. 72 ක සිදුරක් දක්වා මහත් කිරීම Plan A හී සැලසුම විය. මෙය අංශක 90 ආනතියකින් යුතුව පතලේ ගලවා ගැනීමේ කුටීරය දක්වා විදින ලදී.


Plan B, Schramm T130XD මීටර 638 ක ගැඹුරක් ඉලක්ක කොටගෙන අංශක 82 ක ආනතියකින් විදින ලදී. )
මුලින්ම විදින ලද සිදුරු තුනකින් දෙකක් පතල තුල වූවන් හට ආහාර, ජලය සහ අනෙකුත් අවැසි දෑ සැපයීමට යොදා ගත් අතර තෙවන සිදුර, Plan B යටතේ Schramm T130XD මගින් සෙ.මි. 71 ක් දක්වා මහත් කිරීමට තීරය විය. මෙය පතලේ පහල වැඩ බිම ඉලක්ක කොටගෙන අංශක 82 ආනතියකින් යුතුව විදින ලදී. Plan B, අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක විය. මුලින්ම විදින ලද සෙ.මි. 14 සිදුර, සෙ.මි. 30 දක්වා මහත් කිරීම පලමු අදියර යටතේ සිදුවූ අතර, සෙ.මි. 30 සිට 71 දක්වා මහත් කිරීම දෙවන අදියරේදී කිරීමට සැලසුම් කෙරින. කලින් විද තිබූ නියමු සිදුරක් ඔස්සේ විදීමට සිදුවීම, Plan B හට අත්වූ එකතරා වාසියක් විය. එය ඔවුන්ගේ කාර්යය යම්තාක් දුරකට පහසු කළේයයි කිව හැකිය.


Schramm T130XD විදුම් යන්ත්‍රය, සැප්තැම්බර් 04 වන දින වැඩබිමට ලඟාවූ අතර, සැප්තැම්බර් 17 වන දින වන විට පළමු අදියර අවසන් විය. මෙහිදී, විදීමේදී පතල තුලට වැටෙන අබලි ද්‍රව්ය පතල තුල සිරවූවන් විසින්ම සාමූහිකව ක්‍රියා කොට ඉවත් කරමින්, සිය ගැලවීම උදෙසා අනලස්ව ක්‍රියා කරන්නට වූහ.


Plan B විදුම් යන්ත්‍රය
Plan C, RIG-421 ( මීටර 597 ක ගැඹුරක් ඉලක්ක කොටගෙන අංශක 85 ක ආනතියකින් විදින ලදී. )
Precision Drilling Corporation අයත් වූ මෙම විදුම් යන්ත්‍රය, වැඩ බිමට ලඟා වූයේ සැප්තැම්බර් මස 19 වන දීය. මේ යටතේ, පතලේ පිවිසුම් මාර්ගයේ කඩාවැටුන කොටසට යටින් ඉලක්ක කරගෙන අංශක 85 ක ආනතියකින් විදීමට සැලසුම් කරන ලදී.

මෙසේ විදිනයක් තුනක් උපයෝගී කරගන, දිවා රෑ නොබලා පැය 24 පුරාම අකණ්ඩව විදීම සිදුකරගන යන ලදී. 2010 ඔක්තෝබර් 09 වන දින Plan B යටතේ වූ Schramm T130XD  විදිනය අරමුණ සාක්ෂාත් කර ගනිමින් අදාල ඉලක්කය වෙත ලඟා වුනි. ඒ ඒ විදිනයන් ලඟාවීමට සමත් වූ දුර ප්‍රමාණයන් පහත වගුවෙන් දැක්වේ.




මෙම විදීමට සමගාමීව, පතලේ සිරවූවන්ගේ ශාරිරික හා මානසික සෞඛ්‍ය නංවා සිටිම සඳහා බොහෝ කාර්යයන් සිදුවෙමින් පැවතින. චිලී රජය, ඇමෙරිකාවේ NASA ආයතනයෙන්ද  ඒ සඳහා විශේෂ උපදෙස් ලබා ගත්තේය. මානසික වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් මත, ඥාතීන් හට ඔවුන් සමග සම්බන්දතා පවත්වා ගැනීමට ඉඩ ප්‍රස්ථා ලබා දුන්නේය. ඒ ගැන සඳහන් කරමින් ලිලි මහත්මිය සිනාසෙමින් පවසා සිටියේ " අප විවාහවී වසර 30ක් උවද, නැවතත් නව යොවුන් පෙම්වතුන් සේ ලිපි හුවමාරු කර ගනිමින් සිටිනවා " යි යනුවෙනි.


මේ අතර, වීඩියෝ කැමරා පතල තුලට යවමින් ඔවුන්ගේ දර්ශන පටිගත කිරීමක්ද සිදුවිය. පතල තුල වූ උණුසුම් වාතාවරණය හේතුකොටගෙන, ඔවුන් බොහෝ දෙනෙක් උඩුකය නිරුවත්ව සිටිනු දක්නා ලද අතර විය යුතු පරිදිම රැවුල්ද වැවී තිබුනි. වරින් වර මෙසේ යම් යම් වැඩසටහන් සම්පාදනය කිරීම ඔවුන්ගේ මානසික මට්ටම ඉහලින් තබා ගැනීමට ඉවහල් විය.





මෙසේ කටයුතු සිදුවෙමින් පවතින අතරතුර, පතලේ සිරවූ සමහර කම්කරුවනට ගහෙන් වැටුනු මිනිහාට ගොනා අනින්නා හා සමාන දෙයක්ද සිදුවිය. ඒ ඔවුන්ගේ රහසිගත ජීවිත හෙලිදරවු වීමෙනි. සමහර කම්කරුවන් පවුල් එකකට වඩා නඩත්තු කොට තිබූ අතර, සමහරුන් විවාහක නමුත් රහසිගත පෙම් සබඳතාද විය. අනතුර දැනගත් සියල්ලො බලාපොරොත්තුවේ කඳවුරට විත් ඔවුන් ගැන සොයා බැලීම් සහ අයිතිවාසිකම් පාන්නට විය. සමහරුන්ගේ කලින් වෙන්වූ බිරින්ඳෑවරුන්ද ඒ අතර විය. සමහරු ආදරය නිසා එසේ කළ අතර, සමහරු වැටුප හෝ ලැබුනු විශාල ආධාර මුදල් ලබාගැනීම සඳහා එසේ කරන ලදී. මෙම තත්ත්වය කඳවුර තුල ගැටුම් ඇතිකරවන ලද අතර ඒවා බේරුම් කිරීම සඳහා බලධාරිණට නිතර නිතර මැදිහත් වන්නට විය.


Ariel Ticona ගේ බිරිඳ, ඔහු පතලේ සිරවී සිටින විටම ඔවුන්ගේ තෙවෙනි දරුවා මෙලොවට බිහිකිරීමට නියමිතව සිටි අතර ඔහු විසින් දරුවාට " Esperanza " හෙවත් " බලාපොරොත්තුව " යයි නම් තබන ලෙස ඉල්ලා සිටී.

මේ අතර තවත් දෙයක් සිදුවෙමින් පැවතුනි. ඒ සිරවූවන් ගොඩ ගැනිම සඳහා පතලට විදින සිදුර හරහා යැවිය හැකි කැප්සියුලයක් නිර්මාය කිරීමයි. චිලී නාවික හමුදාව විසින් NASA හී උපදෙස් මත මෙවැනි කැප්සියුල තුනක් නිර්මානය කරන ලදී. ඒවා Fenix 1,2, සහ 3 වශයෙන් නම් කරන ලදී. පළමු කැප්සියුලය ඥාතීන්ට හා මාධ්‍ය කරුවන්ට, ඔවුන්ගේ නිරීක්ශණය සහ දැනගැනීම  සඳහා පෙන්වන ලදී.


ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා යොදා ගන්න ලද්දේ Fenix 2 කැප්සියුලය වූ අතර, එය සෙ.මි. 51 ක පමණ වටප්‍රමණයකින් යුක්තවීම නිසා, සෙ.මි. 71 වු සිදුර තුල පැති බිත්ති හා ඝට්ටනයක් සිදු නොවන ආකාරයට ධාවනය කිරීමට යෝග්‍ය විය.


මෙම සියලුම කැප්සියුලයන්, අම්ලකර වායු සැපයුම්, ආලෝකය, හඬ සහ රූප සබඳතා වලින්ද, ආරක්ශිත වහලයකින් හා හදිසි සිර වීමක් සිදුවුහොත් මගියාටම විවුර්ත කරගන නැවතත් පහතට බැසිය හැකි විවරයකින්ද සමන්විත විය.

Fenix 2
2010 ඔක්තෝබර් 09 වන දින Plan B සිදුර විද අවසන් වූවද, ගලවා ගැනීමේ මෙහෙයුම ආරම් කිරීමට පෙර කලයුතු තවත් දේ විය. විදින ලද සිදුර තුල කැප්සියුලය ගමන් කිරීමේදී, ගල් කඩා වැටී කැප්සියුලය සිරවීම වැලක්වීමට, සිදුරේ ඉහත කොටස වානේ නළ මගින් ආවරණය කිරීමට යෝජනා විය.  ඊට පසු, කැප්සියුලය මෙහෙයවන යන්ත්‍රයට ( Winching rig ) විශාල කොන්ක්‍රීට් පාදමක්ද දමන ලදී. අවසානයේ මෙහෙයුම් යන්ත්‍රය හා කැප්සියුලය නිසිපරිදි ක්‍රියාකරනවාදැයි පරික්ෂා කිරීමද අවැසි විය.


පතලේ දළ රූප සටහනක්
මේ අතර, පතලේ වූ කම්කරුවන්ට, NASA ආයතනය මගින් සැපයු විශේෂ දියර ආහාරයක් ගොඩට ගැනීමට පැය හයකට පෙර සැපයූ අතර, ලේ ගමනාගමනයේ අවහිරතා ඇති නොවීම සඳහා ඇස්ප්‍රීන්ද දෙන ලදී. එසේම ගොඩට ඒමෙදී පැලදීමට ඒ සඳහා විශේෂයෙන් නිපදවූ අව් කන්ණාඩිද ලබා දුන්නේය. ඒ දීර්ඝ කාලයක් හිරු එළියට මුහුන නොදී, එක වරම එයට නිරාවරණය වීම යෝග්‍ය නොවන බැවිනි. ගලවා ගැනීමේ මෙහෙයුම රාත්‍රී කාලයේදී සැලසුම් කිරීමට එක් හේතුවක් වූයේද එයයි.


සිරවී සිටින අයගෙන්, හොඳම මානසික සහ ශාරීරික සෞඛ්‍යයෙන් සිටි පුද්ගලයින්ව මුලින්ම ගැනීමට යෝජනා විය. එයට හේතු වූයේ යම් හෙයකින් මුල්ම අවස්ථාවල අතරමග සිරවීමක් සිදුවුවහොත් ඒ සඳහා කලබල වීමකින් තොරව ක්‍රියාකල හැකි වීම අත්‍යවශ්‍ය වීමයි. ඒ අනුව 31 හැවිරිදි Florencio Ávalos මුලින්ම ගොඩට ගැනීමට යෝජනා විය.


දෙවනුවට ගොඩ ගැනීමට යෝජනා වූයේ යම් යම් ශාරීරික අපහසුතා හෝ අසනීප තිබුනු අය සහ වයසින් වැඩි අයවලුන්වය. මෙහෙයුමේ අවදානම්ම කාර්යය මෙය විය.  තෙවනුව, මානසික ශක්තියෙන් හා දරා ගැනීමේ ශක්තියෙන් වැඩිම අයව ගොඩට ගැනීමට යෝජනා විය. නියම නායකයකුගේ ලක්ෂණ පෙන්නුම් කරමින්, Luis Urzúa පවසා සිටියේ තමා ගොඩට යනුයේ අන් සියල්ලන්ම ගොඩට ගිය පසුව බවයි.

2010 ඔක්තෝබර් 12 වන දින රාත්‍රියේ, සියල්ල සූදානම්. හරියටම රාත්‍රී 11:18 ට Codelco හී පළපුරුදු ගලවා ගැනීම්කරුවකු වූ Manuel González පතලට බැසීම අරන ලදී. ගොඩ සිටි සියලු දෙනාම මේ මොහොතේදී චිලී ජාතික ගීතය ගයන්නට වූහරාත්‍රී 11:36 Manuel González පතලට බැස සිරවූ කම්කරුවන් හා සම්බන්ධ විය. පසුව වරින් වර තවත් ගලවා ගැනීම්කරුවන් පස් දෙනෙකුද ඔහුගේ උදව්වට පතලට බසින ලදී.

Manuel González පතලට පැමිණි මොහොත
චිලී හී ජනාධිපති, Sebastián Piñera ද පළමු කම්කරුවාගේ සිට අවසාන කම්කරුවා දක්වා ගොඩ ගන්නාතුරු එම ස්ථානයේ රැදී සිටියේය. බොලිවියානු ජනාධිපති වරයාද ( එක් කම්කරුවකු බොලිවියානු ජාතිකයෙකි ) එයට සහභාගී වීමට සිටියද පසුව වෙනත් හේතුවක් නිසා ඔහුට පැමිණීමට නොහැකි විය.


මුළු ලොවෙහිම අවධානය මේ මොහොතේ මෙම පතල වෙත යොමුව පැවතුනි. ගනන් බැලීම වලට අනුව, ඒ මොහොතේ බිලියනයක වැඩි පිරිසක් මේ විශ්මිත ගලවා ගැනීමේ මෙහෙයුම සජීවීව රූපවාහිනියෙන් නරබමින් සිටියහ. එවන් වූ අවදානයක් සමගින් ප්‍රථම කම්කරුවා වූ Florencio Ávalos  හරියට 2010 ඔක්තෝබර් 13 වන දින 00:11 ට, දින 69 ක් මරුවා සමග කල සෙල්ලම ජයගෙන නැවතත් මිහිමත පා තැබුයේ මුළු ලොවක් සතුටු කදුලේ ගිල්ලවමිනි.


ඉන්පසු පැය තිස්තුනක් පුරාවට, Fenix 2 ඉහල පහල යමින් සියළු කම්කරුවන් හා ගලවා ගැනීමේ කන්ඩායම මිහිමතට ගෙන එන ලදී. Fenix 2 ගමන් වාර 39ක් හා කි.මි. 50 කට ආසන්න දුරක් ඉහල පහල ගමන් කරන ලදී. එසේ පැමිනිමේ විස්තර පහත වගුවෙන් බලා ගත හැකිය.



Order Rescued
Miner's name
Age
Rescue time (CLDT)
Cycle time
1
Florencio Ávalos
31
13 October 00:11
0:51
2
Mario Sepúlveda
40
13 October 01:10
1:00
3
Juan Andrés Illanes
52
13 October 02:07
0:57
4
Carlos Mamani
24
13 October 03:11
1:04
5
Jimmy Sánchez
19
13 October 04:11
1:00
6
Osmán Araya
30
13 October 05:35
1:24
7
José Ojeda
46
13 October 06:22
0:47
8
Claudio Yáñez
34
13 October 07:04
0:42
9
Mario Gómez
63*
13 October 08:00
0:56
10
Álex Vega
31
13 October 08:53
0:53
11
Jorge Galleguillos
56
13 October 09:31
0:38
12
Edison Peña
34
13 October 10:13
0:42
13
Carlos Barrios
27
13 October 10:55
0:42
14
Víctor Zamora
33
13 October 11:32
0:37
15
Víctor Segovia
48
13 October 12:08
0:36
16
Daniel Herrera
27
13 October 12:50
0:42
17
Omar Reygadas
56
13 October 13:39
0:49
18
Esteban Rojas
44
13 October 14:49
1:10
19
Pablo Rojas
45
13 October 15:28
0:39
20
Darío Segovia
48
13 October 15:59
0:31
21
Yonni Barrios
50
13 October 16:31
0:32
22
Samuel Ávalos
43
13 October 17:04
0:33
23
Carlos Bugueño
27
13 October 17:33
0:29
24
José Henríquez
54
13 October 17:59
0:26
25
RenáÁvalos
29
13 October 18:24
0:25
26
Claudio Acuña
44
13 October 18:51
0:27
27
53
13 October 19:18
0:27
28
Richard Villarroel
27
13 October 19:45
0:27
29
Juan Carlos Aguilar
49
13 October 20:13
0:28
30
Raúl Bustos
40
13 October 20:37
0:24
31
Pedro Cortez
26
13 October 21:02
0:25
32
Ariel Ticona
29
13 October 21:30
0:28
33
Luis Urzúa
54
13 October 21:55
0:25





සිරවූ 33න් දෙනාගෙන්, අවසානයටම පතලින් පිටවෙන්නේ සිරවූ දා සිට නියම නායකයකු ලෙසින් කණ්ඩායම මෙහෙයවූ Luis Urzúa ය. චිලී ජනාධිපති Sebastián Piñera විසින් ඔහුව ඉතා උණුසුම් ලෙස පිලිගනු ලබන්නේය.

Luis Urzúa ගොඩට පැමිණි මොහොත
" ජනාධිපතිතුමනී, මාගේ වැඩ මුරය දැන් අවසන්, මා එය ඔබට පැවරීමට කැමතියි " Luis Urzúa විහිලුවක් කරමින් පවසයි.


" මම ඉතා කැමැත්තෙන් ඔබගේ වැඩ මුරය බාරගනිමි. ඔබ එය නිසි ලෙස සම්පූර්ණ කොට නියම නායකයකු ලෙස සමුගෙන යනවා " ජනාධිපති වරයාද පිලිවදන් දේ.  " මෙයින් පසු, ඔබ එදා සිටි කෙනා නොවේ, චිලියද එසෙමය " යි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටී..


මෙසේ ගොඩට ගත් කම්කරුවන්, පතල අසල තාවකලික රෝහලකට යොමු කළ අතර, ඉන්පසු හතර දෙනා බැගින් කොපියාපෝ හී රෝහලකට ගුවනින් ගෙනයන ලදී.


අවසාන සිරවූ කම්කරුවා වූ Luis Urzúa ද ගොඩට පැමිණි පසු, ගලවා ගැනීමේ කණ්ඩායම, මෙහෙයුම සාර්ථකව අවසන් කල බවට පුවරුවක් පතල තුල සිට රූපවාහිනී ඔස්සේ ප්‍රදර්ශනය කරන ලදී.






ගලවාගැනීම් කරුවන්ගේ විස්තර පහත පරිධි වේ.

Rescue workers who descended 
Order Descended
Rescue worker
Affiliation
Descent time (CLDT)
Extraction time (CLDT)
Time spent inside mine
Cycle time
Down trip no.
1.
Manuel González
12 Oct 23:18
14 Oct 00:32
25:14
0:27
1
2.
Roberto Ríos, Sgt
13 Oct 00:16
14 Oct 00:05
23:49
0:23
2
3.
Patricio Robledo, Cpl
13 Oct 01:18
13 Oct 23:42
22:24
0:25
3
4.
Jorge Bustamante
13 Oct 10:22
13 Oct 23:17
12:55
0:24
13
5.
Patricio Sepúlveda, Cpl
GOPE (national police medic)
13 Oct 12:14
13 Oct 22:53
10:39
0:23
16
6.
Pedro Rivero
Carola Mine
13 Oct 19:23
13 Oct 22:30
3:07
0:35
28



අවසානයට පතලින් පිටවන්නේ මුලින්ම පතලට බට ගලවාගැනීම් කරුවා වූ Manuel González ය. පැයක පමණ කාලයක් හුදකලාව, කැප්සියුලය පැමිණෙන තුරු පතලේ පසුවූ කාලය තුල ඔහුගේ හිතේ ඇතිවූ සිතුවිලි ගැන දන්නේ ඔහුම පමණී. අවසානයේදී, ඔහුද ගොඩට පැමිණි පසු, චිලී ජනාධිපතිවරයා විසින් සංකේතාත්මකව පතල වසා දමන ලදී.


සතුටු දායක අවාසනයක් ඇති චිත්‍රපටියක සේ මෙසේ අවසානයේදී සියල්ලෝ සතුටින් විසිර ගියද, මෙය චිත්‍රපටියක් නොව මිහි රගමඬල තුල සැබවින්ම රඟ දක්වන ලද ත්‍රාසය, දුක, සතුට ඇතුලත් සැබෑම නාටකයක් වේ.


දින 69 පුරාවට, ජීවිත 33 ක් සමඟ, මරුවා විසින්  කල භයානක සෙල්ලම, අප්‍රතිහත ධෛර්යය, කැපවීම, උනන්දුව, නොපසුබස්නා අධිෂ්ඨානය ඇති මිනිසුන් සමූහයක් ඉදිරියේදී මෙසේ පරාජයට පත්වූ බව ඉතා සතුටින් දැනුම් දෙමින්, සතියක් පුරාවට ඉඩ ලැබෙන පරිදි අන්තර්ජාලයේ සැරිසරමින් සම්පාදනය කල මෙම ලිපියට මෙසේ නැවතීමේ තිත තබමි.


නැවතත් ලබන සෙනසුරාදා අළුත් ලිපියක් සමඟින් හමුවන තුරු.... සියල්ලන්ටම ජය !!!!!!!!!!!


මූලාශ්‍ර :

http://en.wikipedia.org/wiki/Chilean_miners
http://www.thestar.com/news/world/chile/article/873382
http://www.livescience.com/11169-chile-collapse-facts-amazing-survival-story.html
http://www.bbc.co.uk/news/world-latin-america-11489439
http://www.cbc.ca/news/world/story/2010/10/12/chile-mine-rescue.html
http://www.guardian.co.uk/world/2011/jul/17/chilean-miners-one-year-on
http://www.dailymail.co.uk/sciencetech/article-1305894/So-Chilean-miners-survive-months-half-mile-underground.html
http://www2.macleans.ca/2010/10/05/voices-from-the-underground/
http://www.google.ae/search?q=los+33+mineros&hl=en&prmd=imvns&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=S9oCT8nBL4KI8gOW8c3XAQ&ved=0CFcQsAQ&biw=1024&bih=653


ලියුවේ;
~~සෙන්නා / 07.01.2012

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog