Saturday, July 15, 2023

රැක් එක අවුල්....

 

2023.07.15



දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදාගෙන නොගොස්, විශේෂයෙන්ම කඳුකරයට යනවිට එසේ නොගොස් විවිධ අනතුරු වලට මුහුණ දෙති. මම එසේ නොවෙමි. මගේත් අන් අයගේත් ආරක්ෂාව ගැන වෙසෙසින්ම සිතමි. හොඳ අය එසේය.😉

පසු ගිය උඳුවප් මහේ අප ඇල්ලේ සංචාරයක යෙදුනාහ. එයට පෙර වාහනයේ Wheel Alignment (මෙයට සිංහල වචනයක් Chat GPT මහතාගෙන් විමසූ විට " කකුළු සක්‍රය" යනුවෙන් පැවසුවේය. Bard මහතාගේ අදහසට අනුව එය "රෝද එකෙල්ල" වේ. ඔබ මෙයට පෙර මේ වචන අසා ඇතිද? මා නම් නැත. ) සකසා ගැනීමට ටයර් කඩයට ගියෙමි. එතන ඇතිවුන සංවාදය මෙසේය.

"මේකේ රැක් එකේ අවුලක් තියනවා. මේ පේනවද පොඩි ප්ලේ එකක් වගේ එකක් තියනවා මේ පැත්තෙ. මෙහෙම තියාගෙන wheel alignment  කරලා වැඩක් නෑ. මට ඕනනම් කරලා දෙන්න පුළුවන්, ඒත් වැඩක් නෑ."

"එහෙමද? ඔව් මටත් කම්පැනි එකෙන් කිව්ව රැක් එක මාරු කරන්න ඕනා කියලා, ලක්ෂ දෙකක් විතර යයි කිව්වා."

" අපෝ මේක මාරු කරන්න ඕනා නෑ හදන්න පූළුවන්. ඔයා යන්න මීගමුවෙ අහවල් තැනට*, එතන ගලවලා, ලේත් කරලා හොඳටම හදලා දෙනවා. ඕන නම් උපරිම විසි පහක් විතර යයි. බොරුවට ලක්ෂ ගනන් දීලා අලුත් ඒවා දාන්න එපා. කම්පැනි ඉතින් කියන්නෙ එහෙම තමා. ඒ ගොල්ලන්ගෙ බිස්නස් එකනෙ."

"ඔව් නේ. Thank you very much තැන කිව්වට. මම ගිහින් බලන්නම්. අපි හෙට ඇල්ලෙ යන්න ඉන්නෙ. මෙහෙම ගියාට අවුලක් නැති වෙයිද?"

"නෑ එහෙම අවුලක් වෙන්නෑ, ෂේප් එකේ ගිහින් එන්න පුළුවන්. හැබැයි කල් නොදා මේක හදා ගන්න."

නිවැරැදි මග පෙන්වීම පිළිබඳ ඔහුට ස්තූති කොට, ටයර සතරෙහි හුළං තත්ත්වයද පරික්ෂා කරවාගෙන එතනින් නික්මුණි.

ලියුවේ;

සෙන්නා / 15.07.2023

* පසු ලිවීම - මේ කියන අහවල් තැන මීගමුවේ Deemo Motors ය. කාට හරි අවශ්‍ය‍යනම් එතෙනට යන්න පූලුවන්. ඔවුන් බොහොම ප්‍රශස්ත මට්ටමේ සේවයක් සපයනවා. මෙය තෘප්තිමත් පාරිභෝගික ප්‍රතිචාරයක් මිස, ඔවුන් වෙනුවෙන් කළ වෙළඳ ප්‍රචාරණයක් නොවන බව සළකන්න.

Saturday, March 4, 2023

මීටර් සියයක හැඟීම්




කැකිරාව කියලා ඇහුන ගමං මට මතක් වෙන්නෙ මීටර් සියය. මුදලිහාමි සපත්තුත් නැතුව දුවලා දිනපු තරඟෙ ගැන. ලොකු මහත්තයා එක්ක කොළඹ ගිය හැටි. හැබැයි මේ කතාවත් එක්ක බැඳුණු වචනයෙව් විස්තර කරන්න අමාරු පාළු, දුක්මුසු හැඟීමක් හිතට එනවා.

හත වසරෙදි අපේ පන්ති කළවම් කළා. මෙච්චර කල් එකට හිටපු යාළුවො කැඩිලා බෙදිලා ගියා. මාත් එක්ක හිටපු කට්ටියම එක පන්තියකට වැටිලා මාව වෙනම පන්තියකට වැටුනා. එහෙම වුනේ පුංචි පලිගැනීමකට. ඔය ළමයි බෙදන වැඩේ බාර දීලා තිබ්බෙ අපිට වැඩිය ජේෂ්ඨ පන්තියක හිටිය ශිෂ්‍ය නායකයෙක්ට. මිනිහට මාත් එක්ක පොඩි කෝන්තරයක් තිබුනා වෙන ආරෝවකට. මිනිහා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ගානට වැඩේ දුන්නා.

ඒක මහ මුස්පේන්තු හැඟීමක්. ඉස්කෝලෙ යන්නත් එපා වුනා. දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ අලුත් පන්තියක, යාළුවො නැති පරිසරයක තනි වෙන එක හරි පාළු, දුක්මුසු හැඟීමක් ඇති කරවනවා. පුංචි හිතකට  දරාගන්න අමාරු හැඟීමක්. 

මීටර් සියය ඉගන ගත්තෙ ඔය පරිසරය යටතේ. මොකක් හරි නොදන්නා හේතුවක් නිසා අර දුක්මුසු, මුස්පේන්තුකම මේ කතාවත් එක්ක බද්ධ වෙලා තියනවා. අදටත් මීටර් සියය කතාව මතක් වෙද්දි අඩු නැතිව අර හැඟීම හිතට එනවා.

ටික දවසකට පස්සෙ මම බලෙන්ම ගිහිල්ලා මගේ අනිත් යාළුවො හිටිය පන්තියෙ ඉඳ ගත්තා. ඒ පන්තිය බාර ගුරුතුමත් කිසිම ගැටලුවක් මතුනොකර මගේ නම නාම ලේඛනයට ඇතුලත් කරගක්තා. හැබැයි අර ඇති වෙච්ච හැඟීම මකන්න ඒ ක්‍රියාවට පුළුවන් වුනේ නෑ. අදටත් ඒක එහෙමම අඩු නැතිව තියනවා.

මුුදලිහාම් උඹ හපනා. මට සතුටෙන් උඹේ හපන්කම් බලන්න එන්න නොවෙච්ච එක ගැන සමාවෙයන්. 

නිිිමි.

~~ලියුවේ /සෙන්නා.

මාර්තු 04, 2023.

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog