Thursday, November 29, 2012

සුද්දො මෙච්චර පොහොසත් ඇයි ? | Why, you white man have so much cargo ? - අවසාන කොටස



අප්‍රිකාව !! මානවයාගේ තිඹිරි ගෙය යයි නම් ලද මහා දේශය ! අපගේ මුතුන් මිත්තන් සිය මුල්ම ඇරඹුම සනිටුහන් කළ භූමිය ! මෑතකදී කළ සොයා ගැනීම් වලින් හෙළි වූයේ, එය විශාල ඝර්ම කලාපීය ශිෂ්ටාචාරයකට නිවහන වී තිබූ බවයි. නගර සහ රාජධානි මහද්වීපය පුරා පැතිර ගොස් හදිසියේම අතුරුදහන් වී ඇත්තේ ඒ පිළිබඳ සීමිත සලකුණු කිහිපයක් පමණක් ඉතිරි කරමිනි. මේ සාර්ථක විජයග්‍රහණයන්ට සිදු වූයේ කුමක්ද ?

අප හොඳින් දන්නා පරිදි, මහාචාර්ය ජෙරඩ් ඩයමන්ඩ්, යාලිගේ පැනයට පිළිතුරු සොයා මානව ඉතිහාසයේ රටාවන් ගවේෂණය කිරීම ඇරඹීය. එය, ඔහුව නිව් ගිනිහී කැලෑවන් වෙත හා පේරු හී හිමෙන් වැසුණු කඳු වෙතට රැගෙන ගිය චාරිකාවක් බවට පත් විය. ඔහුගේ ගවේෂණය මගින් එක් ජාතියක්, එනම් යුරෝපීයන් මෙතරම්ම ලෝකයේ අන් ජාතීන්ව යටත් කර ගත්තේ කෙසේද යන්න වටහා ගැනීම අරමුණ විය. මහාචාර්ය ඩයමන්ඩ්ගේ මතයට අනුව යුරෝපීයන් ලබන මෙම ජයග්‍රහණයන්ගේ මූලය වසර දහස් ගණනක් අතීතයට දිවයන අතර භූගෝලීය වශයෙන් ලැබුණු වාසියේ ප්‍රතිඵලයකි. භූගෝලීය තත්ත්වයන් විසින්, යුරෝපීයන් හට මිහිමත සිටි ඉතා ඵලදායී බෝග සහ සතුන් දායාද කොට දී තිබුණි. එම තත්ත්වය, යුරෝපියානු ආක්‍රමණ උදෙසා මහඟු මෙහෙයක් ඉටු කළ, මානව ඉතිහාසයේ හැඩය වෙනස් කළ ත්‍රිත්ව මහා බල වේගයන් වූ තුවක්කු, විෂ බීජ සහ වානේ, සංවර්ධනය කිරීමට මං පෙත් හෙළි පෙහෙළි කොට දී තිබුණි. දැන් මහාචාර්ය ඩයමන්ඩ් සිය ගවේෂණයේ අවසාන අදියරට පැමිණෙමින්, තුවක්කු, විෂ බීජ සහ වානේ, අප්‍රිකාවට පැමිණි පසු සිදු වූයේ කුමක්දැයි සොයා බැලීමට සැරසේ. තවද, මෙම බලවේගයන් තවමත් රඟ දක්වන භූමිකාව කුමක්දැයි සොයා බැලීම, මෙම ගමනේ අරමුණයි.

~~~~~

යුරෝපීයන් විසින් ලෝකය ගවේෂණය කරමින් එහි ව්‍යාප්ත වීම ඇරඹීමත් සමඟම ඔවුන් විසින් ලෝකයේ අනෙකුත් බොහොමයක් ජාතීන් යටත් කරගෙන, ඒවායෙහි දියුණු නගර, මංමාවත්, දුම් රිය මාර්ග, ගොඩනැගිලි තනමින් සිය යටත් විජිත ගොඩනගාගෙන ගියහ. ඔවුන් විසින් සාර්ථකව උතුරු ඇමෙරිකාවෙහි, දකුණු ඇමෙරිකාවෙහි හා ඕස්ට්‍රේලියාවෙහි සිය යටත් විජිත පිහිටුවා ගත් අතර අවසානයේදී අප්‍රිකාවට ගොඩ බටහ.

ප්‍රථම යුරෝපීය පදිංචි කරුන්වන් පිරිස දාහත්වන සිය වසේ මැද භාගයෙහිදී අප්‍රිකාවට පැමිණියහ. ඔවුන් විසින් මහද්වීපයේ දකුණෙහිම වූ සුබ පැත්මේ තුඩුවට මුලින්ම පැමිණීමෙන් අනතුරුව සිය ගොවිපළවල්, වගාවන් හා සත්ව ගොවිපළවල් පිහිටුවාගෙන අනායාසයකින්ම එහි පදිංචි වූහ. නමුත් අප්‍රිකාවෙහි මෙම ප්‍රදේශය යුරෝපයේ සිට සැතපුම් පන් දහසකටත් වඩා දුකුණින් පිහිටි ප්‍රදේශයකි. යුරෝපයෙන් එතරම්ම දුරස්ථව, දකුණට වන්නට පිහිටි ස්ථානයකට ඔවුන්ගේ බෝග සහ සතුන් රැගෙන විත් වැඩි වර්ධනය කර ගත්තේ කෙසේද ? නැවතත් භූගෝලීය වාසිය ඔවුන් සමග අත්වැල් බැඳ ගත් සෙයකි. කේප් තුඩුව සහ යුරෝපය, සමකයේ සිට එක හා සමාන දුරකින් පිහිටා තිබිණි. එබැවින් දකුණු අප්‍රිකාවෙහි දේශගුණය, යුරෝපයේ දේශගුණික තත්ත්වයන් හා හොඳින් ගැළපුණි. එය යුරෝපීයන්ගේ බෝග හා සතුන් ව්‍යාප්ත කොටගෙන සිය සමෘද්ධිය සහතික කරගැනීමට ඔවුනට ඉවහල් විය.

යුරෝපයේ හා කේප් තුඩුවෙහි පිහිටීම
යුරෝපීයන් දකුණු අප්‍රිකාවට ගොඩ බසින විට එහි මුල් උරුමක්කාරයන් වූයේ කොයිසාන් ( Khoisan ) මිනිසුන්ය. නමුත් යුරෝපීයන්ගේ ආගමනයෙන් කෙටි කලකට පසු මෙම ස්වදේශිකයන්ව සිය ඉඩම් වලින් පලවා හරිනු ලැබූහ. ඒ සඳහා යුරෝපීයනට වඩාත්ම ඉවහල් වූ නොපෙනෙන බලවේගය වූයේ, මහාචාර්යය ඩයමන්ඩ් විසින් මානව ඉතිහාසයේ යටත් කරගැනීම වලට සහය වූ විශාලම බලවේගය ලෙසින් හඳුනා ගන්නා විෂ බීජයි.

ගෘහාශ්‍රිත සතුන් විසින් යුරෝපීයන් වෙත ඔවුන් කිසි කලෙකත් නොදැන සිටි වාසියක් හිමිකර දී තිබුණි. යුරෝපීයන් විසින් ගෘහාශ්‍රිත සතුන් හා පැවැත්වූ සමීප ගනු දෙනුවේ ප්‍රතිඵලයක් ලෙස, සතුන් වෙත වූ විෂ බීජ මිනිසුන් වෙත ආසාදනය වී එමගින් මිනිසුන්ව දුර්වල කරනා රෝගාබාධ හට ගැනීම සිදු විය. නමුත්, සියවස් ගණනාවක් පුරා යුරෝපීයන් මෙම තත්ත්වයනට නිරාවරණය වීම නිසා, ඔවුන්ගේ සිරුරු තුළ ඒ සඳහා අවැසි යම් පමණක ප්‍රතිශක්තියක් ගොඩ නැගී තිබිණි. එහෙත් මෙම ප්‍රතිශක්තිය සතුන් හා සමීප ගනු දෙනුවක් නොවූ අන්‍ය ජාතින් වෙත නොවුණි. එබැවින් යුරෝපීයෙන් හා ඔවුන්ගේ සතුන් වෙතින් වහනය වූ විෂ බීජ මගින් ඇති කළ ලෙඩ රෝග මගින් මෙම ස්වදේශිකයන් සංහාරයකට ලක් වූහ. ඇමෙරිකාවෙහිදී මිලියන සංඛ්‍යාත ස්වදේශිකයන් මෙම ලෙඩ රෝග නිසා මරු වැළඳ ගත් අතර එම ව්‍යසනයටම කොයිසාන් වරුනටද මුහුණ දීමට සිදු විය.

සිය ගොවිතැනින්, සත්ත්ව පාලනයෙන් හා විෂ බීජ මගින්, යුරෝපීයන් විසින් දකුණු අප්‍රිකාවෙහි සිය පැවත්ම හොඳින් තහවුරු කර ගත්හ. දැන් ඔවුන්ගේ අරමුණ තව දුරටත් ව්‍යාප්ත වීමයි.

දහ නව වන සිය වසේ තෙවන දශකයේදී, කේප් තුඩුවෙහි පදිංචියට පැමිණි ඕලන්ද මිනිසුන් ( බෝයර් වරුන් ) නව ඉඩම් සොයා සිය පවුල් සමඟින්ම රට අභ්‍යන්තරය ගවේෂණය කිරීම ඇරඹුහ. ඔවුන් විසින්ම ඔවුන්ව හඳුන්වා ගත්තේ  Voortrekkers  වරුන් යනුවෙනි. Voortrekkers  වරුන් සතුවද යුරෝපීයන් විසින් යටත් කරගැනීම් නැතහොත් ආක්‍රමණ සඳහා භාවිතා කළ ප්‍රභල  බලවේගයක් විය. ඒ තුවක්කුය.

ඔවුන් විසින් එවකට භාවිතා කෙරුණේ Muzzle-loading rifle යනුවෙන් හැදින්වූ පහත රූපයේ පෙනෙනා ආකාරයේ තුවක්කුය.
Muzzle-loading rifle 

එම ගවේශකයන්ගේ වර්තමාන පරපුරෙහි මිනිසුන් පවසන පරිදි, එකල සෑම නිරෝගී මිනිසෙක් සතුවම අඩුම තරමින් මෙවැනි රයිෆල් දෙකක් හෝ තුනක් තීබී ඇත. ඔවුන් විසින් ආත්මාරක්ෂාව සඳහා මෙන්ම දඩයම සඳහාද මෙම තුවක්කු භාවිතා කොට තිබිණ. ඔවුන් පවසන පරිදි එකල යමෙක් මෙම තුවක්කු භාවිතා නොකළේ නම් ඔහු කිසියම් අස්වාභාවිකත්වයකින් පෙළුණ මිනිසෙක් ලෙස සැලකී තිබිණ.

තුවක්කු යනු වසර දහස් ගණනක් තිස්සේ වැඩි දියුණු කළ තාක්ෂණයේ ප්‍රතිඵලයකි. මෙය යුරෝපයෙන් පිටත සිදු වුවද යුරෝපීයන් අතින් අංග සම්පූර්ණත්ත්වයට පත්විය. තුවක්කු සමඟින් ඔවුනට සිය ආක්‍රමණ උදෙසා නොමද සහයක් දුන් අනෙක් බලවේගය  වූයේ වානේ හා ඒ හා බැඳුණු නිෂ්පාදනය. මේ සියල්ල වසර දහස් ගණනකට පෙර ඔවුන්ගේ ගොවිතැන විසින් ඔවුනට ලබා දුන් වාසියේ ප්‍රතිඵලයකි.

~~~

1838 පෙබරවාරි මාසයේ එක්තරා අඳුරු දිනයක,මෙසේ පැමිණි Voortrekkers කණ්ඩායමක් කේප් තුඩුවෙන් සැතපුම් 800ක් පමණ රට අභ්‍යන්තරයට වන්නට සිය තාවකාලික කඳවුර ඉඳිකරගෙන ගිමන් හරිමින් සිටියහ. ඒ රාත්‍රී කාලයයි. කඳවුරේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පැවතුණි. ඔවුන් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහතක,හදිසියේම අඳුර කපා මතුවූ ස්වදේශික හමුදාවක් විසින් එල්ල කරණ ලද ක්ෂණික පහරදීමකට ලක් වූහ. එය කෙතරම් ක්ෂණිකව, හදිසියේ සිදුවුවේද යත්, යුරෝපීයනට එකදු වෙඩිල්ලක්වත් පත්තු කිරීමට ඉඩ නොතබාම සම්පූර්ණයෙන්ම විනාශයට පත් කරන ලදී. හෝරාවක් වැනි සුලු කාලයක් ඇතුළත තුන්සියයකට ආසන්න Voortrekkers වරුන් සංඛ්‍යාවක් මිය ගොස් සිටියහ. සතුරාගේ ප්‍රහාරය අතිශය කෲරතර හා අමානුෂික එකක් වී තිබුණි. මිනිසුන්ට අමතරව ගහැනුන් සහ ළමයින්ද කිසිදු දයාවකින් තොරව ඝාතනයට ලක් වී සිටියහ.

ඇත්තෙන්ම යුරෝපීයන් විසින් සිය ගමනේදී බලගතු අප්‍රිකානු රාජ්‍යයක සීමාව පසු කොට ගොස් තිබුණි. ඔවුන් කේප් තුඩුවේදී මුණ ගැසුණු කොයිසාන් වරුනට හාත්පසින්ම වෙනස් ජන කණ්ඩායමක් වූහ. යුරෝපීයනට මුණගැසී තිබුණේ ZULU ( සූලු ) වරුන්ය. සූලු වරුන් යනු එවකට අප්‍රිකාවෙහි වාසය කළ අන් කිසිම ජාතියකට සම කළ නොහැකි වූ, සංවර්ධිත, මැනවින් සංවිධානාත්මක ජන සමාජයක් වූහ. ඔවුන්ගේ හමුදාමය හැකියාවන් විසින් ඔවුනට අප්‍රිකාවෙහි අනෙක් ජාතින් යටත් කොටගෙන නැගී සිටීමේ හැකියාව ලබා දී තිබුණි. සූලු රාජ්‍යයට අයත් වපසරිය වර්ග සැතපුම් 30000 කට නොඅඩු විය. ඔවුන් සතුව දියුණු ආර්ථිකයක් සහ සමාජ තත්ත්වයක් දක්නට ලැබුණි. සූලු වරුන් සතුව ඕනෑම මොහොතක දස දහසකට වැඩි පිරිස් බලයක් යෙදවිය හැකි බලගතු හමුදාවක්ද විය. ඔවුන් සැබවින්ම බිය නොහදුනන නිර්භීත ජාතියක් වූහ. තුවක්කු, විෂ බීජ සහ වානේ යන ත්‍රිත්ව බලයෙන් සැදුම් ලත් යුරෝපීය ආක්‍රමණිකයනට සිය කරට කර සිටින ප්‍රතිමල්ලවයා අප්‍රිකාවේදී හමු වීද ?

1838 පෙබරවාරි මස 06 වන දින එනම් සූලු වරුන් හා Voortrekkers වරුන් අතර අත්සන් කෙරුණු ඉඩම් පරිහරණය පිළිබඳ එකඟතා ගිවිසුමෙන් දින දෙකකට පසු, සූලු නායකයා වූ  Dingane kaSenzangakhona විසින් Voortrekkers වරුන්ගේ නායකයා වූ  Pieter Mauritz Retief හා පිරිවරට, සිය නිල නිවසේ වූ බීර සම්භාෂණයකට ආරාධනා කෙරිණි. සම්භාෂණයට පැමිණි අමුත්තන්ගේ ආයුධ ඉවත් කොට රජු ඉදිරියට පැමිණවූයේ රජු ඉදිරියට යාමේ සාමාන්‍යය සම්ප්‍රදාය රකිමිනි. සම්භාෂණය අතරතුර අත්අඩංගුවට ගත් Retief  හා පිරිවර සියලු දෙනාවම සූලු වරුන් විසින් අමානුෂික ලෙස ඝාතනය කරණ ලදී. මෙම ඝාතනයෙන් ඉනික්බිතව සූලු රජ විසින් සිය භූමිය තුළ කඳවුරු ගසා සිටින සියලුම Voortrekkers වරුන්ව ඝාතනය කිරීම සඳහා සිය සේනා පිටත් කොට හැරීය. ඉහත සඳහන් සමූල ඝාතනය එලෙස සිදුවූ ප්‍රහාරයන්ගෙන් එකකි. සියලුම ප්‍රහාර මගින් Voortrekkers වරුන් 500 කට ආසන්න පිරිසක් එම රාත්‍රියේදී මිය ගොස් තිබුණි.

සිය නායකයා හා පිරිවර මැරීමෙහි පලිය ගැනීම වෙනුවෙන්, Voortrekkers වරුන් විසින් සූලු රජුව සිහසුනෙන් නෙරපීම සඳහා කටයුතු සකස් කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස 1838 දෙසැම්බර් මස 16 වන දා, බෝයර් වරුන් හා සූලු වරුන් මුහුණට මුහුණ හමු වූහ. සූලු වරුන්ගේ ශක්තිය පිළිබඳ එතරම් තැකීමක් නොකළ බෝයර් වරුන් සිය භට පිරිස් හා ආයුධ, Ncome නදී තෙර අසල, කරත්ත වලින් වට කෙරුණු වළල්ලක් මධ්‍යයට එක් රැස් කළ අතර මෙවර යුරෝපීයන් විසින් තමන් සතු නවීනතම අවි ආයුධ වලින් සන්නද්ධව සිටියහ. එදින අලුයම, දහදාහකට අධික සූලු භට කණ්ඩායමක් විසින් බෝයර් වරුන් වෙත ප්‍රහාර එල්ල කෙරිණ. මෙවර බෝයර් වරුන්ගේ තුවක්කු යුහුසුළුව පත්තු වන්නට විය. කෙනෙකු වෙඩි තබන විට තවෙකකු විසින් තුවක්කු පිරවීම සිදු කරණ ලැබීම නිසා ඔවුනට සෑම තත්පර පහක් ඇතුළත වාගේ උණ්ඩයක් නිකුත් කිරීමේ හැකියාව ලබා දුනි. ඊට අමතරව බෝයර් වරුන් සතු කාලතුවක්කුද සූලු වරුන් වෙත මහත් විනාශයක් ගෙන දීමට සමත් විය. එබැවින්ම, මෙම සටනින් සූලු වරුන් අසාර්ථක වී සංහාරයකට ලක් වූහ. මෙමගින් සූලු වරුන් තුන්දහසක් හෝ තුන්දහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් මිය යන්නට ඇතැයි ආසන්න වශයෙන් ගණන් බලා ඇති අතර බොයර් වරුනට සිදුවූ හානිය තුවාල කරුවන් තුනක් තරම් වූ සුළු හානියකි. මෙම සටන Battle of blood river හෙවත් "රුධිර නදියේ සටන" ලෙස ඉතිහාසයට එකතු වී ඇත. නැවතත් යුරෝපීයන් සතු තුවක්කු, විෂ බීජ හා වානේ වල සාර්ථකත්වය තහවරු වී තිබිණ.

ජයග්‍රාහී යුරෝපීයන්, සූලු භූමියද යටත් කොට ගනිමින් තව තවත් රට අභ්‍යන්තරයට ඇදුනි.යුරෝපීයන්ගේ තාක්ෂණයේ සිදුවූ දියුණුවත් සමඟින් ඔවුන්ගේ ආක්‍රමණයන්හී වේගවත් බව තවත් තීවෘර විය.දුම්රිය ඔවුන්ගේ යටත් කරගැනීම් සහ ඉන්පසු වූ යටත් විජිත පාලනයන්ට මහගු දායකත්වයක් සැපයූ තාක්ෂණික මෙවලම විය. එමගින් ඔවුනට විශාල පිරිසක් මෙන්ම බඩු භාණ්ඩ තොගයක්ද එකවර එහා මෙහා ගෙනයාමට හැකියාව ලබා දුනි. එය, ඔවුන් සතු යටත් විජිත වල සැපයුම් අඛණ්ඩව පවත්වා ගැනීමට මොනවට උපකාරී වූ මෙවලමකි. එබැවින් යුරෝපීයන් විසින් කේප් තුඩුවේ සිට මහද්වීපය අභ්‍යන්තරයට මැනවින් සංවිධානාත්මක දූම්රිය මාර්ග පද්ධතියක් ඉඳි කිරීමට වග බලා ගත්හ.

ඒ කාර්මික විප්ලවය සිදුවෙමින් පැවති වකවානුවයි. විප්ලවය විසින් තවත් දියුණු අවියක් යුරෝපීයන්ගේ අතට පත් කොට තිබුණි. Machine Gun නොහොත් යාන්ත්‍රීය තුවක්කුව නම් වූ එම අවිය මගින්, සූලු වරුන් හා ඇතිවූ සටනේදී පිරිසක් එකතුව ඇතිකිරීමට සමත්වූ විනාශකාරී වෙඩි බලය, එක පුද්ගලයෙකුට තනිවම ඇති කිරීමේ හැකියාව නිර්මාණය කොට දී තිබිණ. එම තුවක්කුව විනාඩියක් ඇතුළත උණ්ඩ පන්සියයක් පමණ නිකුත් කිරීමේ හැකියාවකින් යුක්ත විය. එය තනි උණ්ඩයේ තුවක්කු සහිත මිනිසුන් සිය දෙනෙකු සතු වෙඩි බලයට සමාන තත්ත්වයකි.

Maxim Gun
මෙම අවියේ සුපිරි හැකියාව මුලින්ම නිරික්ෂණය කළ අවස්ථාව වූයේ 1893 ඔක්තෝබර් මස බ්‍රිතාන්‍යය හමුදා හා තවක් අප්‍රිකානු ජන වර්ගයක් වූ Matabele වරුන් ( නූතන සිම්බාබ්වේ දේශයේ ජන සංයුතියෙන් 16% ක් නියෝජනය කරනා ජන කණඩායම ) අතර ඇතිවූ සටනේදීය. දෙපස භට පිරිස් ශක්තියේ අසමානතාවය Matabele වරුන් ලක්ෂයකට ( හෙල්ල කරුවන් 80000ක් හා තුවක්කු කරුවන් 20000 ක් ) බ්‍රිතාන්‍ය භටයන් 1450 ක් පමණ ( 700 ක් වූ ට්ස්වානා භටයන්ද ඇතුළත්ව ) වූහ.

සටන ඇරඹිණි. Maxim Gun යනුවෙන් හැඳින්වූ මෙම නූතන අවියේ ප්‍රබලත්වය බලාපොරොත්තු වූවාටත් වැඩියෙන් ඔප්පු කරමින් Matabele  වරුන් එකා පිට එකා ඇඳ හැළුණේ කපා හෙළු කෙසෙල් ගස් මෙනි. පැය කිහිපයකට පමණක් සීමා වූ මෙම සටනින් Matabele  වරුන් පසු බසිනා විට 1500 කට අධික පිරිසක් මිය ගොස් සිටි අතර අති විශාල සංඛ්‍යාවක් තුවාල ලබා සිටියහ. බ්‍රිතාන්‍ය කඳවුරෙන් මිය ගොස් සිටියේ සිව් දෙනෙකු පමණි. ඉන් සතියකට පසු Matabele  වරුන් විසින් නැවතත් එල්ල කළ ප්‍රහාරය අවසන් වූයේ ජීවිත 2500කට අධික සංඛ්‍යාවක් අහිමි කර ගනිමිනි. තුවාල වු සංඛ්‍යාව අති විශාල විය.

තුවක්කු, විෂ බීජ හා වානේ වල බලය, අඩියෙන් අඩිය, ජන කොට්ඨාශයෙන් ජන කොට්ඨාශය යටත් කරගනිමින් විජයග්‍රාහීව අප්‍රිකාව නම් වූ ඒ මහා දේශයේ පැතිරෙන්නට විය. එහෙත් කල්නොයවාම මෙම ආක්‍රමණිකයින්ට සම්පූර්ණයෙන්ම අළුත් හතුරෙකුට මුහුණ දීමට සිදු විය. ඒ, වෙන කිසිවක් නොව මෙතෙක් කල් ඔවුනට වාසි සහගත ලෙස ඔවුන් සමඟ සිටි භූගෝලීය තත්ත්වයම විය.

මෙලෙස ඔවුන් ක්‍රමක්‍රමයෙන් උතුරට සංක්‍රමණය වෙමින්, අලුත් ඉඩම් අස්වැද්දීමට මුල පිරුවේ අප්‍රිකාවෙහිදී සශ්‍රීක  ජීවන තත්ත්වයක් ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් සියල්ල කණපිට හැරෙමින් පැවතුණි. එම භූමිය ඔවුන්ගේ නගුල් මගින් හෑම අසීරු කාර්යයක් විය. ඔවුන්ගේ බෝග එම භූමියෙයි පැලවීම ප්‍රතික්ෂේප කෙරිණ. ඔවුන් මුහුණ දුන් අනෙක් බරපතලම ගැටලුව වූයේ සිය සතුන් ජීවිතක්ෂයට පත්වීමයි. ගවයන් හා අශ්වයන් අහේතුකවම මිය යන්නට විය.

වසර දහස් ගණනක් පුරා මෙම ගෘහාශ්‍රිත සතුන් හා බෝග යුරෝපීය ශිෂ්ටාචාරය පෝෂණය කොට තිබුණි. එම සතුන් හා බෝග නොවන්නට තුවක්කු, විෂ බීජ හා වානේ නොතිබෙන්නටත් ඉඩ තිබුණි. ආක්‍රමණ හා යටත් විජිතද ඇති නොවන්නට තිබුණි. එහෙත් දැන් පෙර නොවූ විරූ ලෙස යුරෝපීයන් රෝග වලට ගොදුරු වෙමින් පැවතුණි. කටුයුතු මෙසේ සිදුවන විට ඔවුන්ගේ අසල්වැසි ස්වදේශිකයන් හා ඔවුන්ගේ සතුන් නිරෝගීව සිය ගොවිතැන් කට යුතු වල නිරතව සිටිනු දක්නා ලදී.

මෙය සිදුවිය හැක්කේ කෙසේද !!!

මෙම අමුතු, අළුත් භූමියෙහි වූ රහස කුමක්ද !!!

මෙතෙක් සෑම කල්හීම යුරෝපීයන් සමඟ සිටි භූගෝලීය සාධක මෙම අළුත් දේශයේදී ඔවුනට එරෙහි වන්නට පටන් ගෙන තිබුණි. කේප් තුඩුවේදී ඔවුන් අනායාසයෙන්ම සාර්ථක වූ හේතුව නම් එම ප්‍රදේශය හා යුරෝපය සමකයේ සිට එක සමාන අක්ෂාංශ වල පිහිටීම නිසා කේප් තුඩුව හා යුරෝපයේ දේශගුණික තත්ත්වයන්ගේ වෙනසක් නොවීමයි. එය යුරෝපයේම ප්‍රතිබිම්බයක් විය. එහෙත් ඔවුන් උතුරට ගමන් කරනා විට ක්‍රම ක්‍රමයෙන් සමකයට ආසන්න වූහ. අක්ෂාංශ 23 දී ඔවුන් Tropic of Capricorn යනුවෙන් හැඳින්වූ ප්‍රධාන භූ විෂමතා මායිම පසුකරමින් සිය සුපුරුදු යුරෝපීය දේශගුණය අත් හැර අලුත්ම දේශගුණික කලාපයක් වූ ඝර්ම කලාපයට ඇතුළත් වූහ.

යුරෝපීය දේශගුණය හා සසඳන විට ඝර්ම කලාපය සම්පූර්ණයෙන්ම වෙනස් ස්වාභාවික රීතියක් යටතේ පාලනය වූ ප්‍රදේශයකි. යුරෝපයෙහි, උතුරු ඇමෙරිකාවෙහි හෝ කේප් තුඩුවෙහි පැවති සෘතු සතර වෙනුවට මෙහි දක්නට ලැබුණෙ සෘතු දෙකකි. ඒ වියළි කාලය හා වර්ෂා කාලයයි. වසර සිය දහස් ගණනක් යුරෝපයේ සාර්ථක වූ තිරිඟු සහ බාර්ලි මෙම ඝර්මකලාපීය දේශගුණයට අනුවර්තනය නොවී අසාර්ථක විය.

එහෙත් සූලු, මතබිලී ඇතුළු යුරෝපීයන්ට හමු වූ සියලුම ස්වදේශිකයන් සිය කෘෂිකාර්මික වගාවන්ගෙන් සාර්ථක වී තිබිණ. යුරෝපීයන් අසමත් වන විට ඔවුන් මෙම සාර්ථකත්වය ලැබුවේ කෙසේද ?

~~~

අප්‍රිකාව යනු වර්තමානයේද දහස් ගණනක් වූ ජන වර්ග වලින් සැදුම්ලත් දේශයකි. එක් ජන වර්ගයක් අනෙකින් වෙන්වන්නේ භාෂාවෙහි හෝ චාරිත්‍ර වල පවත්නා සුළු සුළු වෙනස්කම් වලින් පමණකි. බොහොමයක්වූ අප්‍රිකානුවන්ට සිය භාෂාවට අමතරව යටත් පිරිසෙයින් අනෙක් ජන වර්ගයන්ගේ භාෂාවන් තුනක් හෝ හතරක් කතා කිරීමේ හැකියාව ඇත. එම භාෂාවන් අතර දැකිය හැකි පොදු ලක්ෂණය නම් බොහොමයක් වූ භාෂාවන් එකිනෙකට දක්වන ආසන්න සමානකමයි. බොහොමයක් භාෂාවන් අතර පොදු හෝ ආසන්න වචන රාශියක්ම නිරීක්ෂණය කළ හැකිය. මෙම භාෂාවන් අතර ඇති සමාන කම අපට හෙළිකරන රහස කුමක්ද ? නූතන ඝර්ම කලාපීය අප්‍රිකානු භාෂාවන් බොහොමයක මූලය එකක් බව, එකම ජන වර්ගයක් භාවිතා කළ භාෂාවකින් නූතන බොහොමයක් අප්‍රිකානු භාෂා පැවතෙන බව, මෙම සමානතාවය නිහඬව කියා පායි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කරණ භාෂා විශ්ලේෂකයන්, බටහිර අප්‍රිකාවෙන් ඇරඹුණේයැයි සැලකෙන එක් සුවිශේෂී භාෂාවක් හඳුනා ගැනීමට සමත් වී ඇත. "බැන්ටු" යනුවෙන් හඳුන්වන මෙම භාෂාව කතා කළ ජන වර්ගය, බටහිර අප්‍රිකාවේ සිට ක්‍රමක්‍රමයෙන් ඝර්ම කලාපීය අප්‍රිකාව පුරාම සිය බෝග, සතුන් ආදිය සමඟින් ව්‍යාප්තවූ ආකාරයක් දක්නට හැකිය.

දකුණු සිම්බාබ්වේ ප්‍රදේශයේ Limpopo නදිය අසල Mapungubwe පුරා විද්‍යා ගවේෂණ අඩවියෙහි කැණීම් කරණ Dr. (ms.) Alex Schoeman ඇතුළු විද්‍යාඥයන්ට අනුව යුරෝපීයන් හෝ වෙන මොනයම්ම හෝ බාහිර ජාතියක් අප්‍රිකාවෙහි පය ගැසීමට බොහෝ කාලයකට පෙර, මෙම ප්‍රදේශ වල බොහෝ සෙයින් දියුණුයැයි සැලකිය හැකි ශිෂ්ටාචාරයක් පැවතී ඇත. එය බෙහෙවින්ම යුරෝපය ශිෂ්ටාචාරගත වීමෙහි මූලික අදියරට සමානකම් දක්වන බව පුරාවිද්‍යඥයන්ගේ මතයයි. ඔවුන් සතුව සෝගම්, මිලට් වැනි ධාන්‍ය වලට අමතර ගවයන්, බැටළුවන් වැනි සතුන්ද ඇති කළ බවට සාක්ෂි දක්නට ඇත. තවද මෙය හුදෙකලා ශිෂ්ටාචාරයක් නොව Limpopo නදිය ඔස්සේ බාහිර ලෝකය සමඟ ජාත්‍යන්තර ගනු දෙනු කිරීමට තරම් දියුණුවූ ශිෂ්ටාචාරයක් බවද නිරීක්ෂණය කොට තිබේ.

යුරෝපීය ආක්‍රමණිකයන්ව පරාජයට පත්කළ කෘෂිකාර්මික ගැටලු ජය ගැනීමට ස්වදේශික අප්‍රිකානුවන් සමත්වී ඇති බවට මෙම ශිෂ්ටාචාරයේ දියුණුව හොඳ නිදර්ශනයකි. ඔවුන් ආවේණික කෘෂිකාර්මික ක්‍රමයක් ගොඩනගාගැනීම තුළින් අප්‍රිකාව පුරා පැතිරුණු සංකීර්ණ සමාජයකට පදනම සකසාගෙන තිබුණි.

~~~

ඝර්ම කලාපයට ඇතුළුවූ වහාම යුරෝපීයන් සහ ඔවුන්ගේ සතුන් භයානක රෝගාබාධ වලට ගොදුරු වන්නට වූ බව ඉහත සඳහන් වුනි. ඝර්ම කලාපීය උණ රෝග යුරෝපීයන්ව විනාශ කරමින් පැවතුණි. නමුත් අප්‍රිකානුවන් එයට සාර්ථකව මුහුණ දෙමින් සිටි අතර රෝගවලට ගොදුරුවූයේ අප්‍රිකානුවන්ගෙන් සුළුතරයක් පමණි. ඇමෙරිකාවෙහි හා කේප් තුඩුවෙහි ස්වදේශිකයන්ව විනාශ කළ මාරක යුරෝපියානු අවිය වූ වසූරිය රෝගයට පවා මෙම ඝර්ම කලාපීය අප්‍රිකානුවන් බහුතරයක් සාර්ථකව මුහුණ දෙමින් සිටියහ. මෙය සිදුවිය හැක්කේ කෙසේද ?

මහාචාර්ය ඩයමන්ඩ් විශ්වාස කරණ පරිදි සියල්ල තීරණය වී ඇත්තේ භූගෝලීය සාධක මතය. යුරෝපීයන්ව හා ඔවුන්ගේ සතුන්ව විනාශ කළ බොහොමයක් ලෙඩ රෝග ඝර්ම කලාපීය අප්‍රිකාවට ආවේණික ඔවුන් කිසි දිනෙක මුහුණදී නොතිබුණ ලෙඩ රෝගයන්ය. එය සම්පූර්ණයෙනම, සුපුරුදු යටත් කරගැනීමේ රටාවෙහි ආපසු හැරීමකි.

නවලෝකයේදී විෂ බීජ ස්වදේශිකයන්ව ඝාතනය කරමින් යුරෝපීයනට ආයුධයක් වෙලා තිබුණත් මෙහිදි ස්වදේශික ලෙඩ රෝග යුරෝපීයන්ව විනාශ කරන ආකාරය අපිට දකින්න පුළුවන්. මෙහිදීත් අපිට තුවක්කු, විෂ බීජ හා වානේ වල බලපෑම දකින්න පුළුවන් ඒත් විෂ බීජ ක්‍රියාකරන්නෙ ප්‍රතිවිරුද්ධ ආකාරයටයි. - මහාචාර්යය ඩයමන්ඩ්.

යුරෝපීයන්ගේ සතුන්ද මෙම මාරාන්තික රෝග වලින් මිය යන්නට විය. එහෙත් අප්‍රිකානු ගවයන් වසර දහස් ගණනක් තිස්සේ මෙම රෝගවල්ට ගොදුරුවීම තුළින් සැලකිය යුතු ප්‍රතිශක්තියක් ගොඩ නගාගෙන තිබුණි. තවද ඝර්ම කලාපීය අප්‍රිකානුවන්, කොයිසාන් වරුන් මෙන් ඉතා පහසුවෙන්ම වසූරියට ගොදුරු නොවුනේ මන්දැයි යන කාරණයටද මෙම ගවයන් මගින් පිළිතුරක් ලැබේ. සියවස් ගණනකට පෙර වසූරිය වෛරසය මුලින්ම ගවයන්ගෙන් මිනිසුනට වහනය වී ඇත. විශේෂඥයන් විශ්වාස කරනාකාරයට එම මුල්ම වහනය වීම බොහෝදුරට ඝර්ම කලාපීය අප්‍රිකාවේදී සිදුවී ඇතැයි සැලකේ. එබැවින්ම ඝර්ම කලාපීය අප්‍රිකානුවන් සතුව මෙම රෝග වලට ඔරොත්තුදීමේ ප්‍රතිශක්තියක් නිතැතින්ම ගොඩ නැගී තිබුණි. එපමණක් නොව, ලෝකයෙහි පවතින දරුණුම රෝගයක් වූ මැලේරියාවට මුහුණු දීමේ ප්‍රතිශක්තියද ඝර්ම කලාපීය අප්‍රිකානුවන් සතු වූහ. යුරෝපීයන්ව ඝර්ම කලාපීය අප්‍රිකාවේදී අසරණ කිරීමට මුල්වූ ප්‍රබලම ආයුධය මෙම මැලේරියාවයි.

අප්‍රිකානුවන් මෙම රෝගයෙන් ආරක්ෂා වීමට අපූරු ක්‍රම භාවිතා කොට තිබුණි. ඔවුන් සිය වාසස්ථාන, මදුරුවන් බෝවීම බහුලව දැකිය හැකි තෙත්, දියසීරාව සහිත ප්‍රදේශ වලින් බාහිර, උස් හෝ වියළි ස්ථාන වල ඉඳි කරගත්හ. එපමණක් නොව, කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වීම නිසා මෙම වසංගතය පැතිර යාමෙහි පාලනයක් ඇති කරගැනීමට ඔවුන් සමත් වූහ. නමුත් ඝර්ම කලාපීය අප්‍රිකානු පරිසර සාධක පිළිබඳ මද දැනුමක් තිබුණු යුරෝපීයන්, ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් ජලය ලබා ගත හැකි ගංගා හෝ විල් අසල ඔවුන් සිය වාසස්ථාන ඉඳි කරගත්හ. ප්‍රතිඵලය ! දහස් ගණනින් මිය යාමයි.

මෙලෙසින් ඝර්ම කලාපීය තත්ත්වයන් යුරෝපීයන්ව පරාජයට පත් කොට තිබුණි. මෙම අමුතු භූමියේ හිමි කරුවන් විජයග්‍රහණය කොට තිබුණි. ඔවුන් ඝර්ම කලාපයට සුදුසු සංකීර්ණ ශිෂ්ටාචාරයක් දක්වා පරිණාමය වී තිබුණේ මහද්වීපය පුරා විසිර යමිනි.

මෙය, යුරෝපීය තුවක්කු, විෂ බීජ හා වානේ යන ත්‍රිත්ව බලයේ අවසානයද ? මෙම ඝර්ම කලාපීය සුපිරි ශිෂ්ටාචාරයේ අනාගතය කෙබඳු වේවිද ?

යුරෝපීයන් ඝර්ම කලාපීය අප්‍රිකාවෙහි සිය ජනාවාස ඇති කරගැනීමට මෙලෙස අසමත් වූහ. මෙවැනි තත්ත්වයකට ඔවුන් උතුරු හෝ දකුණු ඇමෙරිකාවේදී මුහුණ නොදුන්හ. එහෙත් එම මහා දේශයේ හෙවත් අප්‍රිකාවේ වූ දියමන්ති, තඹ, රත්‍රන් ආදී අප්‍රමාණ ස්වාභාවික සම්පත් ප්‍රමාණය, කෙතරම් දුෂ්කර ඌවත් ආක්‍රමණිකයන්ව ආකර්ෂණය කරගන්නා සාධකයක් බවට පත් විය.

ඝර්ම කලාපීය විෂ බීජ ඉදිරියෙහි පරාජය වූ යුරෝපීයන් සිය ආක්‍රමණයෙහි මුහුණුවර වෙනස් කරමින් සම්පූර්ණයෙන්ම වෙනස් පිළිවෙතකට අනුගත වෙමින් සිටියහ. දහනව වන සියවසේ අවසාන භාගය වන විට යුරෝපීයන් විසින් ස්වදේශික ගම්මාන ගිනිබත් කරමින් ඔවුන්ගේ සියවස් ගණනක් පැරණි ශිෂ්ටාචාරය පොළවට සමතලාකරමින්, ස්වදේශික අප්‍රිකානුවන් මිලියන ගණනින් සිය භූමියෙන් පලවා හරිමින්, ඝර්ම කලාපීය පරිසර තත්ත්වයනට මැනවින් හුරුවී සිටි එම ස්වදේශික ජනතාවම අප්‍රිකාවෙහි සම්පත් කොල්ලකෑම උදෙසා සේවකයන් ලෙස හෝ වහලුන් ලෙස යොදාගැනීම ආරම්භ කෙරිණ. එමගින් ඔවුන් අප්‍රිකාවෙහි වූ එම මහා වස්තු සම්භාරය යුරෝපයට රැගෙන යන ලදී. මේ සඳහා යුරෝපීයන් ඔවුන් සතුව තිබූ තාක්ෂණය උපරිමයෙන්ම යොදා ගත්හ. දීර්ඝ කාලයක් තිස්සේ දහස් ගණනක් වූ අප්‍රිකානුවන්ගේ ලේ කඳුළු දහඩිය මතින් කේප් තුඩුවේ සිට ඝර්ම කලාපීය අප්‍රිකාවෙහි මධ්‍යයට ඉඳිවූ ඒ වානේ දුම්රිය මාර්ගය අදටත් සිය ආරම්භක මෙහෙය ඉටු කරමින් සිටී. කේප් තුඩුවේ සිට වර්තමාන කොංගෝ හෝ සැම්බියා දේශයන් වෙත එන දුම්රිය ටොන් දහස් ගණනින් තඹ හා අනෙකුත් ඛනිජ වර්ග කේප් තුඩුව වෙත ප්‍රවාහනය කරයි.
~~~~

වර්තමාන අප්‍රිකාව යටත් විජිතයන්ගෙන් තොර නිදහස් ස්වෛරීය ජාතීන්ගෙන් සමන්විත දේශයකි. මහාචාර්යය ඩයමන්ඩ්ගේ මෙම උත්සහාය සිය න්‍යාය නූතන අප්‍රිකාව හැඩ ගස්වන ආකාරය සොයා බැලීමයි. අධිරාජ්‍යවාදීන් විසින් ස්වදේශික අප්‍රිකානුවන්ගේ ලේ කඳුළු දහඩිය මතින් ගොඩ නැංවූ එම දුම්රිය මාර්ගයේම, කේප් තුඩුවේ සිට අරඹන සිය ගමන ඝර්ම කලාපීය අප්‍රිකාවෙහි පිහිටි නූතන සැම්බියාවෙන් අවසන් කරනුයේ අසල්වැසි කොන්ගෝවෙහි ඇති සිවිල් යුද තත්ත්වය නිසා මෙම මාර්ගයෙහි තව දුරටත් උතුරට ගමන් කිරීම භයානක බැවිනි. අප්‍රිකාවෙහි මෙන්ම ලෝකයේත් දුප්පත්ම රටක් ලෙස සැලකෙන සැම්බියාව, මහාචාර්යය ඩයමන්ඩ් විසින් මානව ශිෂ්ටාචාරය හැඩ ගැස්වීමෙහි මුල්වූ ත්‍රිත්ව බලවේග ලෙස හඳුනාගත් තුවක්කු, විෂ බීජ හා වානෙ මගින් වර්තමානයෙහි හැඩගස්වන ආකාරය හා මෙම බලවේගයන් වර්තමාන සැම්බියාවෙහි ඇති ඛේදනීය තත්වයන් තේරුම් ගැනීමට උදව් වන ආකාරයන් සොයා බැලීම මහාචාර්යය වරයාගේ අරමුණයි.

වර්තමාන සැම්බියාව යටත්විජිතකරනයෙන් හැඩගැස්වී ඇති ආකාරය මැනවින් නිරීක්ෂණය කළ හැකිය. යුරෝපීයන් විසින් ගොඩ නැංවූ ඛනිජ ආකර හෝ දුම්රිය මාර්ග ආශ්‍රය කොටගෙන ඉඳිවී ඇති යුරෝපීය පන්නයේ නගර වර්තමාන සැම්බියාවෙහි සුලභ ලක්ෂණයකි.

මහාචාර්යය ඩයමන්ඩ් හඳුනා ගත් ත්‍රිත්ව බලයෙන් එකක් වූ විෂ බීජ වර්තමාන සැම්බියාවෙහි හැඩරුව අදටත් වෙනස් කරමින් පවතී. මැලේරියාව !! වරෙක යුරෝපීයනට මාරාන්තික වුවද අප්‍රිකානුවන්ට එතරම් ගැටලුවක් නොවුන මෙම මාරාන්තික වසංගතය, වර්තමාන සැම්බියාව මුහුණ දී ඇති භායානකම උවදුරු වලින් එකකි. අංක එකේ මහජන සෞඛ්‍යය ගැටලුවයි. සංඛ්‍යාලේඛන අනුව වයස අව්රුදු පහට අඩු සැම්බියානු දරුවන් වැඩි වශයෙන් මෙම වසංගතයෙන් මරුවාට ගොදුරු වී ඇත.

පෙර මෙන් අප්‍රිකාණුවනට මෙම රෝගයෙන් ආරක්ෂාකාරී වීමට නොහැකිවී අත්තේ කුමන හේතුවකින්ද ? එය වසංගතයක් වන තරමටම අප්‍රිකානු සමාජය ගිල ගත්තේ කෙසේද ? පුරාතන අප්‍රිකානු සමාජය කුඩා කණඩායම් වශයෙන් විශාල ප්‍රදේශයක විසිර වාසය කිරීම නිසා මෙම වසංගත පැතිරීම සීමා වී පැවතුණි. එහෙත් නූතන, අධි ජනගනත්වයකින් යුතු නගර වල දිවිගෙවන වර්තමාන අප්‍රිකානුවන්, එබැවින්ම රෝගය පැතිරීමෙහි වේගය වැඩිවීම නිසා නිරායාසයෙන්ම මෙම වසංගතයන්හී ගොදුරු බවට පත්වී ඇත. වසර දහස් ගණනක් මෙම රෝග සඳහා අප්‍රිකානුවන් සතුවූ ප්‍රතිශක්තිය තව දුරටත් නොමැත. රෝගය උදෙසා සාමාන්‍යයෙන් පිළිගත් ඖෂධ වල ක්‍රියාකාරිත්වයද අඩපණ වී ඇත.

මේ පිළිබඳ කරුණු අධ්‍යනය පිණිස මහචාර්යය වරයා තෝරා ගත් රෝහලෙහි, වසංගතය උත්සන්න කාලයට දිනකට ළමුන් හතක් පමණ මිය යන බව කියවේ. එහි නේවාසික ප්‍රතිකාර ලබන අසරණ සැම්බියානු දරුවන් දකින මහාචාර්යය වරයා වරෙක ඉකිගසා හඬා වැටෙන්නේ මැලේරියාව විසින් ඔවුන් මත ඇතිකොට ඇති දුක්ඛිත තත්ත්වය දරාගත නොහැකිවයි. මහාචාර්යයවරයාම පවසන පරිදි ඉතිහාසය හැඩගැස්වීමෙහිලා මුල්වූවේයැයි තමන් විසින් හඳුනා ගත් ප්‍රබල සාධක ත්‍රිත්වයෙන් එකක් වූ විෂ බීජ, ක්‍රියාකාරීව තිබෙන ආකාරය සියැසින්ම දක්නට ලැබීම ඔහුව කම්පනයට පත් කිරීමට තරම් සමත් කාරණාවක් වී ඇත.


අවුරුදු තිහකට පෙර, මෙලොවෙහි පවතින අසමාණාත්මතාවයේ මූලයන් සොයා මා විසින් දීර්ඝ ගමනක් ඇරඹුවා. මෙම කථාවෙහි ආරම්භය ශිෂ්ටාචාරයේ ආරම්භය තරම්ම ඈතට දිවෙන බවත්, මිහිමත ඇති භූගෝලීය තත්ත්වයන්ගේ වෙනස මත එය රදා පවතින බවත් මට අවබෝධ වූවා. මානවයා මුලින්ම ගොවිතැන ඇරඹු විට, එක් කුඩා ප්‍රදේශයක සිටි මිනිසුන් සමූහයක් ලොවෙහි පවතින හොඳම බෝග සහ සතුන් ලැබීමට වාසනාවන්ත වී ත. එම වාසනාව විසින් වර්තමානය තෙක් ආ ගමනේදී ඔවුන්ට ආවේණික වාසියක් ලැබුණා. යුරෝපීයන් වෙත ලැබුණු මෙම වාසියේ ප්‍රතිඵලයක් ලෙස ඔවුනට නව රටවල්, මද්වීප සියතට ගැනීමට සහ අසාමාන්‍ය සමෘද්ධියක් ගොඩනගා ගැනීමට සහය වූ තුවක්කු, විෂ බීජ හා වානේ අත්පත් කරගැනීමේ හැකියාව ලැබුණා. භූගෝලීය සාධක හා තුවක්කු, විෂ බීජ හා වානේ මානව ඉතිහාසයෙහි හැඩය වෙනස් කිරීමට ඉවහල්වූ ප්‍රබලතම බලවේග බව මට කියන්න පුළුවන්. සැම්බියාවෙහි මෙම බලවේග වල බලපෑම අදටත් දකින්න පුළුවන්. ඝර්ම කලාපීය විෂ බීජ ඔවුන්ව යටත් කොටගෙන දරිද්‍රතාවය වෙත රැගෙන යන හැටි අපට මෙහිදී දැකිය හැකියි. මෙහි තේරුම සැම්බියාව හෝ අප්‍රිකාව සදහටම මෙම භූගෝලීය සාධකයන්ගේ හා බලයන්ගේ ගොදුරක්ව පැවතිය යුතු බවද ? අනාගතයේදීත් වර්තමානයේ මෙන්ම දරිද්‍රතාවයෙන් පෙළිය යුතු බවද ? කිසිසේත්ම නැත.

අප්‍රිකාව හෝ ලෝකයෙහි වෙනත් නොදියුණු ප්‍රදේශ එලෙසින් පැවතීමට බලපාපු විශේෂ හේතු සාධක තියනවා. එම හේතු සාධක තේරුම් ගැනීම මගින් ඇතිවෙන දැනුම භාවිතා කිරීමෙන් අපට පුළුවන් ඉතිහාසයේදී අවාසි සහගත තත්ත්වයනට මුහුණ දුන් එම ප්‍රදේශ නගා සිටුවීමට උදව් කරන්න. - මහාචාර්යය ඩයමන්ඩ්. 


මැලේසියාව හා සිංගප්පූරුව, ලෝකයේ ප්‍රබලම ආර්ථිකයන් කිහිපය අතර සිටිනා දෙරටක්. ඝර්ම කලාපීය අප්‍රිකාව මෙන්ම ඔවුන්ටත් ඝර්ම කලාපීය භූගෝලීය සාධක හා සෞඛ්‍ය ගැටලු පොදුය. මෙම දෙරටද සැම්බියාව මෙන්ම මැලේරියාවෙන් නොසෑහෙන තරම් බැටකා ඇත. නමුත් සිය පරිසරය අවබෝධ කොට ගැනීම මගින් මෙම රටවල් ද්විත්වයම වර්තමානයෙහි පවතින තත්ත්වයට ළඟා වූහ. වසර පනහකටත් පමණ පෙර මෙම රටවල් විසින් භූගෝලීය සාධක හා විෂ බීජ මගින් ඇති කළ හැකි බලපෑම අවබෝධ කොට ගත් පසු සැලසුම් සහගත පරිශ්‍රමයකින් මැලේරියාව සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට සමත් වූයේ සිය ආර්ථිකය හා ජීවන තත්ත්වය නගා සිටුවමිනි. මැලේසියාවේ හා සිංගප්පූරුවේ කතාව, භූගෝලීය තත්ත්වය හා ඉතිහාසය අවබෝධ කොටගැනීම මගින් ලබාගත හැකි තත්ත්වයන් මැනවින් පෙන්නුම් කරනා සජීවී නිදර්ශනයන්ය.

යමක් පිළිබඳ කරණ පැහැදිලි කිරීම් ඔබට වෙනස් වීමට අවැසි ශක්තිය ලබාදෙයි. එමගින් ඔබට ඉතිහාසයේ සිදුවූයේ කුමක්ද හා එසේ සිදුවූයේ ඇයි ද යන්න හෙළිකරයි. එම දැනුම ඔබට ඔබගේ අනාගතය හැඩගස්වා ගැනීම උදෙසා භාවිතා කළ හැකියි. - මහාචාර්යය ඩයමන්ඩ්

මහාචාර්යවරයාගේ මෙම දීර්ඝ ගවේෂණය, මානව ඉතිහාසය හැඩ ගැස්වූ ප්‍රබල බලවේගයන් හදුනා ගැනීම උදෙසාය. එහෙත්, ඒ ඒ පුද්ගලයාගේ ජීවිතය හැඩ ගැසීම ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරකම් මතම රඳා පවතින බව ඔහුගේ අදහසයි.

මහාචාර්යය ඩයමන්ඩ්ට අනුව, වසර තිහකට පසුවත්, තුවක්කු, විෂ බීජ හා වානේ පිටුපස වූ ගැටලුවෙහි වැදගත්කම තවමත් අඩුවී නොමැත.

මට හිතෙන විදිහට, මගේ ඉදිරි ජීවිතයේදී මම විසඳීමට උත්සහා කරණ කිසිම ගැටලුවක් තුවක්කු, විෂ බීජ හා වානේ පිටු පස වූ ගැටලුව තරම් චිත්තාකර්ෂණීය නොවනු ඇත. මන්ද යත් එය මානව ඉතිහාසයේ විශාලම ගැටලුව වන බැවිනි. - මහාචාර්යය ඩයමන්ඩ්

~~නිමි~~


මූලාශ්‍ර ;

1. Guns, germs and steel, a documentary film by National Geographic
2. http://en.wikipedia.org/wiki/Jared_Diamond
3. http://en.wikipedia.org/wiki/Yali_(politician)
4. http://en.wikipedia.org/wiki/Guns_germs_and_steel
5. http://en.wikipedia.org/wiki/Francisco_Pizarro
6. http://en.wikipedia.org/wiki/Atawalpa
7. http://en.wikipedia.org/wiki/Battle_of_blood_river
8. http://en.wikipedia.org/wiki/Maxim_gun
9. http://en.wikipedia.org/wiki/First_Matabele_War
10. http://en.wikipedia.org/wiki/Kingdom_of_Mapungubwe


Guns, Germs and Steel වාර්තා චිත්‍රපටය ඇසුරින් සකස් කෙරුවේ ;
~~ සෙන්නා / 29.11.2012

Thursday, November 15, 2012

සුද්දො මෙච්චර පොහොසත් ඇයි ? | Why, you white man have so much cargo ? - දෙවන කොටස

පළවෙනි කොටසට.......................

2012 ඉල් මස 15 වනදා
2
හසයවන සියවසේ තෙවන දශකයේදී දකුණු ඇමෙරිකාවෙහි, රත්‍රන් හා වෙනත් ඉසුරු ගවේශණයේ යෙදෙනා ස්පාඤ්ඤ සේනාවකි. ඔවුන් වෘත්තීය හමුදා භටයන් නොවූ නමුදු විශ්‍රාමික ස්පාඤ්ඤ හමුදා කපිතාන් වරයෙකු වූ Francisco Pizarro විසින් මෙහෙයවනු ලැබූ නිර්භීත, ත්‍රාසජනක ක්‍රියා ප්‍රිය කළ සමූහයකි. Francisco Pizarro ඒ වනවිටත් මධ්‍යම ඇමෙරිකානු යටත් විජිතයන් වල සිය වාසනාව උරගා බැලූවකි. දැන්, ඔහු සිය පිරිවරත් සමඟ තවත් දකුණෙහි වූ නොදන්නා දේශයන් කරා ගමන් කරයි. මුලින්ම ඇන්ඩීස් කඳු වැටිය තරණය කළ යුරෝපීයන් කණ්ඩායම ලෙස ඔවුන් ඉතිහාසගත වී ඇත. එමෙන්ම දකුණු ඇමෙරිකා මද්වීපයේ මෙතරම් අභ්‍යන්තරයට ගමන් කළ මුල්ම යුරෝපීයන් කණ්ඩායමත් ඔවුන්ම වේ.

මෙසේ ගමනේ යෙදෙන විට, Pizarro ඇතුළු කණ්ඩායමට, ක්‍රමක්‍රමයෙන් ශිෂ්ටාචාරගතවූ මානව ජනාවාස වල ලක්ෂණ දක්නට ලැබුණි. ඔවුන් නොදැනුවත්වම අති දැවැන්ත ඉන්කා අධි රාජ්‍යයේ එළිපත්තට ගොඩවී සිටියහ. ඉන්කාවරුන් මින් පෙර සුදු මිනිසුන්ව දැක නොතිබුණි. එබැවින්ම මේ සුදු මිනිසුන් තමන් වෙත ගෙන එන තර්ජනයේ ස්වභාවය පිළිබඳ ඔවුන්ට කිසිඳු දැනුමක් නොවීය. දින කිහිපයක් ඇතුළත මේ අමුත්තන් කිහිප දෙනා තම ලෝකය උඩු යටි කුරු කරනා බව ඔවුන් සිහිනෙකුදු නොසිතන්නට ඇත.


ඉන්කා අධිරාජ්‍යය

මැදපෙරදිගින් පැතිරුණු මිනිසුන්, සතුන් සහ බෝග මගින් යුරෝපයේ ශිෂ්ටාචාරය ගොඩනැංවූ බව පෙර සඳහන් විය. දහසයවන සියවස වන විට යුරෝපයේ බොහොමයක් ගොවිපළවල් මැදපෙරදිගින් පැතිරුණු සතුන්ගෙන් පිරී පැවතිණි. මේ එකද සතෙකුවත් යුරෝපයට ආවේණික සතුන් නොව්නි. මෙම සතුන්ගෙන් මාංශ, කිරි, ලෝම වලට අමතරව ලද විශාලම ප්‍රයෝජනය නම් ගොවිතැන උදෙසා යොදා ගත හැකිවීමයි. නගුලට ඇඳුණු අශ්වයන්, ගවයන් වැනි සතුන්ගෙන් ගොවිතැනෙහි කාර්යක්ෂමතාවය සහ අස්වැන්න වැඩි කරගැනීමට ලැබුණු සහය අපමණ විය. ගොවිතැනින් ලද ඵලදාව වැඩි වත්ම යුරෝපියානු ගොවියන් හට වැඩියෙන් ආහාර නිපදවා වැඩි පිරිසක් පෝෂණය කිරීමේ හැකියාව ලැබුණි. එය, විශාල සහ සංකීර්ණ සමාජයක් ගොඩ නැංවීම කෙරෙහි අතිශයින් ඉවහල් විය.මෙයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් නව ලෝකය හෙවත් ඇමෙරිකා මහද්වීපයේ දක්නට ලැබුණි. ඔවුන් ගොවිතැනට සතුන් භාවිත නොකළ අතර කුදු මහත් සියලු දෑම පාහේ මිනිස් අතින්ම කෙරිණ. ආශ්‍රයේ සිටි එකම සත්වයා වූ ලාමා සතුන්ද කෙදිනකවත් ගොවිතැන සඳහා උපයෝගී කොටගත් බවක් දක්නට නොතිබුණි.

අශ්වයන් පිට උඩ නැගුණු මිනිසුන් දුටු ඉන්කාවරුන්ගේ විමතිය ඉමහත් විය. ඔවුන් කිසිදිනක සතුන් මත නැගී ගමන් කිරීම කර නොතිබුණි. එබැවින් අසුන් පිට නැගී සිය රට මැදින් ගමන් කරනා Pizarro හා පිරිසගේ ගමන ඔවුනට ආසාමාන්‍ය එකක්ම විය. ඉන්කාවරුනට මෙම පිරිස අර්ධ මිනිසුන් හා අර්ධ සතුන් වූ අමුතුම ජීවීන් කොටසකි. සමහරුන්ගේ අදහස වූයේ ඔවුන් දෙවිවරුන් විය හැකි බවය. ඉන්කා වරුන්ට අශ්වයා හා උන් මත නැගුණු මිනිසුන් අමුතුම දසුනක් වුවද, යුරෝපයේ අසුන් භාවිතයට පැමිණ ඒ වන විට වසර 4000 ක් පමණ වී තිබුණි. අශ්වයා යනු, යුරෝපීයන් විසින් ගොවිතැන, සත්ත්ව පාලනය සහ යුද කටයුතුවලට නොමදව සහභාගී කරගත් සත්ත්වයෙකි. ඔවුන් අසුන්ව අති දක්ෂ ලෙස හැසිරවීමේ ශූරයෝ වූහ. මෙම හැකියාව ඒ වන විටත් අසුන් සමඟ ගනු දෙනු කොට නොතිබූ ඉන්කා වරුන් වැනි මිනිසුන්ව විමතියට, ත්‍රාසයට සහ භීතියට පත් කිරීමට හොඳටම ප්‍රමාණවත් විය.

සිව්පාවුන් මත නැගි අමුතු මිනිසුන්ගේ ආගමනය පිළිබඳ ආරංචිය රැගෙන රාජකීය දූතයකු ඉන්කා අධිරාජ්‍යයා වෙත ඉගිලුනි. "අත'ක්ව්ල්පා", හිරු දෙවියන්ගේ පුත්‍රයා ලෙස හැඳින්වූ ඉන්කා අධිරාජ්‍යයා ඒ වන විට ඉන්කා සෙබළුන් 80000 කින් පමණ රැකවරණය සැපයූ කහමාකා නගරයේ මෑතදී ලද යුද ජයග්‍රහණ මාලාවක් වෙනුවෙන් ස්තූති පූජාවක නිරත වෙමින් සිටියේය. ස්පාඤ්ඤයන්ගේ පැමිණීම ගැන ආරංචිය ලද අත'ක්ව්ල්පා ගේ සිතෙහි අමුතුම අදහසක් පහළ විණි. ඔහු විසින්, ඔවුන්ව ඝාතනය කිරීම වෙනුවට, හැකි ඉක්මනින් කහමාකාහිදී තමන් හමුවන ලෙස පණිවිඩයක් නිකුත් කරණ ලදී.

අමුත්තන්ව උපක්‍රමශීලීව තමන් ළඟට ගෙන්වාගෙන උගුලකට හසුකර ගැනීමේ සැලැස්මක් අත'ක්ව්ල්පා ගේ සිතෙහි වැඩකරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. ඔහුට ලැබී තිබුණ බුද්ධි වාර්තාවලට අනුව, පැමිණ තිබුණේ මුහුණ පුරා ලෝම වවාගත් සතුන් වැනි කොට්ඨාශයකි. සමහර වාර්තාවලට අනුව ඔවුන් දෙවිවරුන් වූහ.  තවද හිස මත ඉවුම් පිහුම් වලදී භාවිතා කරනා හැලියක් පැළඳගන සිටියහ. හිස උඩ හැළියක් පැළඳගෙන ගමන් කිරීමට නම් ඔවුන් අනිවාර්යයෙන්ම උමතු පිරිසක් විය යුතුමය. අත'ක්ව්ල්පා හට මෙම පිරිස මිනිසුන් කණ්ඩායමක්ය විය හැකි බවට අදහසක් තිබුණි.

අශ්වයන් කිහිප දෙනෙකුගෙන් හා සුලු පිරිසකගෙන් සැදුම් ලත් මෙම මිනිසුන් කණ්ඩායමට, අති ශ්‍රේෂ්ඨ, බලගතු ඉන්කා අධිරාජ්‍යට කළ හැක්කේ කුමක්ද ? සැබවින්ම කිසිත් නැත. මේ අතව්ල්පාගේ ගණනය කිරීමයි.
නමුත්, අත'ක්ව්ල්පා නොදැන සිටි කරුණ වූයේ, මෙම මිනිසුන් සමූහය, එවකට ලොව තිබූ බොහොමයක් දියුණුම ආයුධ වලින් සන්නද්ධ වී සිටි බවයි.

Pizarro  ඇතුළු කණ්ඩායමට කහමාකා යෑමට ඉඩදී, අප ඔවුන් මේ දියුණු අවි වලින් සන්නද්ධ වූයේ කෙසේදැයි සොයා බලමු.

ස්පාඤ්ඤය, එවකට යුරෝපයේ ප්‍රබලම හමුදාවෙන් සන්නද්ධ වූ රාජ්‍යය, සියවස් ගණනක් පුරා ඉස්ලාම් ආක්‍රමිකයින් සමඟ සටන් වැදීම හා එවකට යුරෝපයේ පැවති එකෙනෙකා පරයා නැගී සිටීමේ අවි තරගයෙන් නොනැසී පැවතීම උදෙසා ඔවුන් හට නවතම තාක්ෂණයෙන් යුතු අවි ආයුධ වලින් සන්නද්ධ වීම අත්‍යවශ්‍යය කාරණයක් විය. දුනු ඊතල වැනි ප්‍රාථමික අවි වලින් මෙම තරගය ජයගත නොහැකි බව ඉතා පැහැදිලි සත්‍යකි. එබැවින් එවකට පැවති, "හාර්කබස්" වැනි නවීනතම තුවක්කු වර්ග ස්පාඤ්ඤය සතු විය. විසි එක් වන සියවසේ අවි සමඟ සසඳා බලන විට හාර්කබස් තුවක්කුව සම්පූර්ණයෙන්ම විහිළුවකි. එය එල්ලය ගැනීම දුෂ්කරවූ, නැවත පිරවීමට කල්ගතවූ ගොරහැඩි අවියක් විය. එහෙත් එවන් අවියක්වත් පෙර නොදුටු අයකුව ත්‍රස්ත ගැන්වීමට මෙම අවිය හොඳටම ප්‍රමාණවත් විය. චීනුන් විසින් සොයාගත් වෙඩි බෙහෙත්, ආරාබීන් විසින් අවියක් ලෙස භාවිතා කිරීම ඇරඹූහ. පසුව යුරෝපීයන් අතින් සහැල්ලු, බුහුටි තුවක්කු ලොවට දායාද විය. එක්දාස් පන්සිය තිස් ගණන් වන විට, හාර්කබස් අවිය ස්පාඤ්ඤ හමුදාව විසින් සුලභව භාවිතා කළ අවියකි. 

හාර්කබස් තුවක්කුවක්.
තුවක්කුවේ කතාව එසේ වුවද, යුරෝපියානු ආක්‍රමණිකයින් සතුවූ සැබෑම බලය අනෙකකි. එය වානේ නිෂ්පාදනය මත රඳා පැවති රහසකි. යුරෝපීයන් විසින් මාරක වානේ අවි නිපදවන විට ඉන්කා වරුන් වැනි ජාතීන් තඹ වලින් නිර්මිත අවි භාවිතයට පමණක් සීමා වූ රහස කුමක්ද ? ලෝහ සමඟ ගනුදෙනු කිරීමේ කලාව වසර 7000 කට පමණ පෙර යුරෝපයෙන් පිටත Fertile Crescent හීදී ඇරඹී ඇතැයි සැලකේ. යුරෝපය භූගෝලීය වශයෙන්  Fertile Crescent වෙත ආසන්නව පිහිටීම නිසා මෙම තාක්ෂණය ඔවුන් වෙතට ලෙහෙසියෙන්ම ගලා එන්නට ඇතැයි සිතිය හැකිය. එසේ වසර දහස් ගණනක් සෙමෙන් සෙමෙන් ගොඩ නැගුණු තාක්ෂණය යුරෝපීයන් විසින් භාවිත කොට තමනට අවැසි අවි, වානේ උපයෝගී කොටගෙන නිපදවා ගැනුණි. එසේ නොමැතිව, ඒ සඳහා යුරෝපීයන්ට පමණක් විශේෂ වූ හැකියාවක් නොමැති වූ බව මහාචාර්යය ඩයමන්ඩ්ගේ මතයයි.

වානේ නිෂ්පාදනය ගැන දැන ගැනීමත් සමගින් , යුරෝපීයන් විසින්, ලෙහෙසියෙන් නොකැඩෙන, තියුණු, දිගු අසිපත් නිර්මාණය කරන්නට විය. දහසය වන සියවසේදී සුලභව භාවිතාවූ අවියකි, "රේපියර්" යනුවෙන් හැදින්වූ සිහින්, දිගු, දෙපැත්ත කැපෙන අසිපත.  එය, එක් රැයකින් කළ නිමවුමක් නොව සියවස් ගණනක් පුරා අත්වැරදීම් තුළින් ලබාගෙන තිබූ විශිෂ්ටත්වයකි. මැනවින් හැසිරවීම පුරුදු කළ අයෙකුට මෙම අවිය මගින් කෙටි වේලාවක් තුළ කිහිප දෙනෙකුම වුව බිම හෙළීම එතරම් අපහසු කටයුත්තක් නොවුණි. එකල එය සමාජ තත්ත්වය පෙන්නුම් කෙරෙනා සලකුණක්ද විය. දහසය වන සියවසේ විසූ ප්‍රභූන්ගේ ඇඳුමෙහි වූ ප්‍රධාන අංගයක් වූයේ මෙම අවියයි. Pizarro ඇතුළු පිරිසද මෙම අවි වලින් මැනවින් සන්නද්ධව සිටියා පමණක් නොව ඔවුන් ඒවා හැසිරවීමෙහිද ශූරයෝ වූහ. අහෝ, අත'ක්ව්ල්පා මේ ගැන දැන සිටියේ නම් !

රේපිය(ර්) අසිපතක්
~~~

1552 නොවැම්බර් මස 15 වන දින, Pizarro හා කණ්ඩායම කහමාකා නිම්නයට ඇතුළු විය. අතව්ල්පා මෙහිදී ඔවුන්ව මුණ ගැසෙන බව දැනුම්දී තිබුණි. කඳු වළල්ලකින් වටවී තිබූ කහමාකා නගරය ආයුධ සන්නද්ධ ඉන්කා භටයන් 80000 කින් පමණ ආරක්ෂා කෙරිණ. සිය පිරිස සීමිත වූ බැවින් හා සැලකිය යුතු දුරක් රට අභ්‍යන්තරයට පැමිණ සිටි බැවින් Pizarro හා කණ්ඩායම මද චකිතයකින් යුක්ත නොවුණාත් නොවේ.

කහමාකා නගරයේ කඳවුරු ගසා ගැනීමෙන් අනතුරුව, පිසාරෝ, කපිතාන් ඩි'සෝටෝ විසින් නායකත්වය දුන් දක්ෂතම අසරුවන් කිහිප දෙනෙකුව අත'ක්ව්ල්පා සිටි කඳවුර වෙත පිටත් කර හැරියේ ඉන්කා අධිරජ්‍යයාට සිය කඳවුරට පැමිණෙන ලෙස ආරාධනා කිරීමටය. අත'ක්ව්ල්පා විසින් මෙම ආරාධනය පිළිගැනුණු අතර පසු දින ඔවුන් මුණ ගැසෙන බවට පොරොන්දු විය.මෙය එක්තරා සැලැස්මකට අනුව කළ ආරධනයක් බව පෙනෙන්නට තිබේ. සමහර වාර්තාවල දැක්වෙන ආකාරයට මෙහිදී කපිතාන් ඩි'සෝටෝ හා අත'ක්ව්ල්පා අතර ඇතිවූ බහින් බස්වීමක ප්‍රතිඵලයක් ලෙස අත'ක්ව්ල්පා විසින් ඔවුනට තර්ජනය කළ බවයි.

කහමාකා නගරයේ කඳවුරු ගසා ගත් 168 දෙනෙකුගෙන් යුක්තවූ කණ්ඩායම රාත්‍රිය ගත කෙරුවේ ඉමහත් විමසිල්ලෙනි. අත'ක්ව්ල්පාගේ තර්ජනය සරල ලෙස ගැනීමට තරම් ඔවුන් අඥාන නොවුණි. ඒ අතරම ඔවුන් හෙට දිනයේ ඇතිවිය හැකි තත්ත්වයට සුදානම් වෙමින්ද සිටියහ. 168 දෙනෙකුගෙන් පමණක් සමන්විත වූ කණ්ඩායම, ඉන්කා රට අභ්‍යන්තරයේ 80000 ක් පමණ වූ හමුදාවකට මුහුණ දීමේ අභියෝගය ඉදිරියේ පසු වූහ. මේ අතර, පිසාරෝ සිය විශ්වාසවන්තම නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටියේ " අත'ක්ව්ල්පාට  මුහුණ දිය යුත්තේ කෙසේද ? " යන්නයි. සටනක් ඇතිවුවහොත් සාර්ථක විය හැකියැයි අනුමානකල සියලු විකල්ප සලකා බැලීය. පිසාරෝගේ අරමුණ වූයේ බලාපොරොත්තු නොවූ මොහොතක එල්ල කරණ හදිසි ප්‍රහාරයක් මගින් සතුරාව ජය ගැනීමයි. මෙම ක්‍රමය මගින් මින් පෙර වූ ස්පාඤ්ඤ ආක්‍රමණිකයින් සාර්ථක පල නෙලා ගෙන තිබුණි. පිසාරෝ ඇතුළු පිරිසට මෙහෙයුම සැලසුම් කරන්නට ඉඩදී අපි නැවතත් ස්පාඤ්ඤය දෙසට හැරෙමු.

පිසාරෝ ඉන්කා දේශයට යාමට වසර දොළහකට පෙර, තවත් ස්පාඤ්ඤ ආක්‍රමණිකයෙක් වූ Hernán Cortés වර්තමාන මෙක්සිකෝව ඇති ප්‍රදේශය දික් විජය කළහ. ඔවුන් අතින් යටත් වූයේ එවකට පැවති තවත් දියුණු ශිෂ්ටාචාරයක් වූ ඇස්ටෙක් ශිෂ්ටාචාරයයි. පිසාරෝ යෝජනා කළ ක්‍රමයම අනුගමනය කරමින් Hernán විසින් මෙක්සිකෝවේදී සාර්ථක පල නෙලාගැනීමට සමත් වී සිටියේය. ඔහු විසින් ඇස්ටෙක් නායකයාව පැහැර ගැනීම මගින් හා ඉන්පසු ඇතිවූ අවුල් සහගත තත්ත්වයේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් රාජ්‍යය යටත් කරගනු ලැබීය. මෙම ආක්‍රමණයේ සියලු විස්තර පසුව පොතක් ලෙස එළි දැක්වූ අතර ආදායම් වාර්තා තැබීමටද සමත්වූ පොතක් බවට එය පත්විය. අදටත් උතුරු ස්පාඤ්ඤයේ සලමන්කා විශ්ව විද්‍යාල පුස්තකාලයේදී දැකිය හැකි එම පොත ආක්‍රමණිකයෙක් වීමට බලාපොරොත්තුවන කෙනෙකුට අත් පොතක් ලෙස උවද පරිහරණය කළ හැකි අන්දමේ එකකි.  මෙම අනර්ඝ පොත Hernán විසින්, ඇස්ටෙක් වරුනට කළ සියලුම ආකාරයේ ප්‍රහාර, කුමන්ත්‍රණ ආදී විස්තරවලින් සමන්විත වී ඇත. එය පිසාරෝ හට ඉන්කා වරුන් සමඟ කරනා ගනු දෙනුවේදී පූර්වාදර්ශයක් වූ බවට නොඅනුමානය.

එහෙත්, ඉන්කා වරුන්ගේ තත්ත්වයත් එසේමද ? නැත, ඔවුන් අතර ඒ වන විටත් පොත් පරිහරණයක් හෝ අක්ෂර භාවිතයක් නොවුණි. දැනුම සංචරණය වූයේ වාචිකව, මතකය ඔස්සේය. එබැවින් අත්දැකීම් තුළින් ලබන දැනුම පරපුරෙන් පරපුරට සංචරණය වීම මන්දගාමී වූ අතරම නිවැරදිද නොවූහ.

"ලියකියැවීම මෙතරම්ම වැදගත් නම්, ඉන්කා වරුනට එය නොහැකි වූයේ මන්ද ?"

ලියකියැවීමේ ක්‍රමවේදයක් අලුතින්ම සකසා ගැනීම අතිශයින්ම සංකීරණ ක්‍රියා පටිපාටියක් වේ. මානව ඉතිහාසය පුරාවටම එවැනි අවස්ථා හඳුනා ගත හැක්කේ සීමිත සංඛ්‍යාවක් පමණී. මුලින්ම එවැනි අක්ෂර නිර්මාණය කිරීමක් දැකිය හැක්කේ Fertile Crescent හී වාසය කළ සුමේරියානුවන් අතරය. අදින් වසර 5000 කට පමණ පෙර ඔවුන් විසින් වැඩි දියුණු කළ අක්ෂර ක්‍රමය හැඳින්වූයේ "ක්‍යුනිෆෝම්" ලෙසය. බොහොමයක් වූ යුරෝපියානු හා ආසියානු භාෂාවන් ක්‍යුනිෆෝම් අභාෂයට ගෙන ගොඩ නැගී ඇති අතර, කඩදාසි, තීන්ත වැනිදෑ සොයා ගැනීමත් සමඟම ලිවීම වේගයෙන් සමාජයන් අතර පැතිර යන්නට විය. ඒ හා සම්බන්ධ බොහොමයක් වූ සොයා ගැනීම් යුරෝපයෙන් පිටත සිදුවී යුරෝපය වෙත සංක්‍රමණය වූ දේවල් වන අතර මධ්‍යතන යුගයේදී යුරෝපීයන් විසින් මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීම සාක්ෂරතාවයෙහි විප්ලවීය සන්ධිස්ථානයකි. එයින් පසු, දැනුම මුද්‍රිත මාධ්‍යය ඔස්සේ යූරෝපය හා ආසියාව හරහා වේගවත්ව හා නිවැරදිව පැතිර ගිය අතර, අක්ෂර භාවිතයක් නොවන්නට නූතන ලෝකයේ දියුණුව සිහිනයක්ම පමණක් වන්නට තිබිණ.

මීට අමතරව ලෝකයේ ස්වාධීනව අක්ෂර භාවිතය සොයා ගත් තවත් පිරිසක් වූහ. අඩුම තරමින් මින් වසර 2500 කටවත් පෙර දකුණු මෙක්සිකානු ප්‍රදේශ වල සිටි ජනයා සංකේත සමඟ ගනු දෙනු කිරීමේ ක්‍රමවේදයක් සකසාගෙන සිටියහ. පසුව මායා අක්ෂර මාලාව බවට පරිවර්තනය වූයේ මෙම දැනුමයි. එහෙත්, මායාවරුන් හට සාක්ෂරතාවය තිබුණේ නම්, එය, එතනින් සැතපුම් පන්සියයක් පමණ දකුණෙහි විසූ ඉන්කා වරුන් වෙත සංක්‍රමණය නොවුයේ කුමන හේතුවක් නිසාද ? මහාචාර්ය ඩයමන්ඩ් සතුව ඒ සඳහා සිත්ගන්නා සුළු පැහැදිලි කිරීමක් ඇත. ඔහුට අනුව පිළිතුර රැඳී ඇත්තේ මහද්වීප වල හැඩය මතය.

ආසියාව හා යුරෝපය එක්ව තනනු ලබන යුරේශියානු මහද්වීපය, පළලින් වැඩි, එහෙත් උසින් අඩු නැගෙනහිර සිට බටහිර දක්වා පැතිරුණු මහද්වීපයකි. එහෙත් ඇමෙරිකානු මහද්වීපය පළලින් අඩු, එහෙත් උසින් වැඩි උතුරේ සිට දකුණ දක්වා විහිදුණු මහද්වීපයකි. මහාචාර්යය ඩයමන්ඩ් කලිනුත් පෙන්වාදී ඇති පරිදි, ශිෂ්ටාචාරයේ පැතිරීම Fertile Crescent හී සිට නැගෙනහිරට හා බටහිරට සිදුවිය. මහද්වීපය පුරාවට එකම අක්ෂාංශ කිහිපයක් අතර නැගෙනහිර හා බටහිර අතර මෙම පැතිරීම ඉතා පහසුවෙන් සිදුවූයේ, මේ සියලු ප්‍රදේශ වල මූලික භූ විෂමතා, දේශගුණික ලක්ෂණ බොහෝ දුරට එක හා සමාන බැවිනි. එබැවින්, මිනිසුන්, සතුන්, දැනුම, තාක්ෂණය එක් තැනක සිට තවත් තැනකට සංක්‍රමණය වීම ඉතා පහසුවෙන් සිදු විය.

එහෙත් අමෙරිකාණු මහද්වීපයේ තත්ත්වය මීට ඉඳුරාම වෙනස්ය. මහද්වීපයේ එක් කොනක සිට අනෙක් කොන දක්වා කෙරෙන ගමන උතුරේ සිට දකුණ දක්වා කෙරෙනා ගමනකි. එහිදී එකිනෙකට වෙනස් තත්ත්වයන් යටතේ වූ අක්ෂාංශ, දේශගුණික ලක්ෂණ, භූවිෂමතා පසු කළ යුතුය. එබැවින් ඇමෙරිකාණු මහද්වීපය තුළ මානව, සත්ත්ව, දැනුම්, අදහස් හා තාක්ෂණයේ සංක්‍රමණයන්, යුරේශියානු මහද්වීපයට සාපේක්ෂව බොහෝ සෙමින් සිදුවිය. මායාවරුන් ලියැකියවීමේ හැකියාව ලබා සිටින විට, එම දැනුම ඉන්කා වරුන් වෙතට සංක්‍රමණය නොවීමට බලපෑ ප්‍රධානතම හේතුව මෙයයි. එලෙස සලකා බලන විට, පිසාරෝ සහ පිරිවර භූගෝලීය වශයෙන් ආශිර්වාද ලද කණ්ඩායමකි. යුරේශියාව පුරා ලෙහෙසියෙන්ම පැතිර ගිය දැනුමේ හා තාක්ෂණයේ ප්‍රතිලාභ ඔවුනට මොනවට භුක්ති විඳීමේ භාග්‍යය උදා වී තිබිණි.

යුරේශියාව


ඇමෙරිකාව

~~~
ක්‍රි.ව. 1532 කේ නොවැම්බර් 16 වන දිනට හිරු උදා විය. අත'ක්ව්ල්පා හට ස්පාඤ්ඥයන්ව හමුවීමේ බලවත් ඕනෑ කමක් විය. ඔහු විසින් සිය පිරිවර ඔහුට කලින් පිටත් කොට හැරිණි. නමුත්, මෙහිදී අත'ක්ව්ල්පා විසින් දෛවෝපගත තීරණයක් ගෙන තිබුණි. ඒ සිය භටයන් ආයුධ වලින් සන්නද්ධ නොකිරීමටයි. ඒ පිටුපස සැගවුණු රහස කුමක් විය හැකිද ?

ඉතිහාසඥ Efrain Trelles විසින් මේ සඳහා කරුණු දෙකක් ගෙන හැර දක්වයි. මූලික කරුණ වූයේ අත'ක්ව්ල්පා ඒ වන විට සිටියේ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව යුද ජයග්‍රහණ සමරමින්ය. ඔහු මේ දැන් ගමන් කරන්නේත් සටනක් සඳහා නොව තම ශක්තිය පෙන්වීමේ අරමුණින් පමණක්මය. තම ශක්තිය පෙන්වා දෙවියන්යයි හැඳින්වූ සුදු මිනිසුන්ව බිය කොට පලවා හැරීමටය. ඔහුගේ ගණනය කිරීම් වලට අනුව අධි බලැති ඉන්කා අධිරාජයාට ඒ සඳහා ආයුධ අවශ්‍ය නොවුණි. අනෙක් කරුණ වූයේ, ඔහු ලද බුද්ධි තොරතුරු වලට අනුව, තම ජනයාගෙන් සමහරෙක් මෙම මිනිසුන් දෙවිවරුන්යයි පිළිගැනීමක් විය. එසේ නම්, තමන් විසින් එම දෙවිවරුන්ව පරාජය කළහොත් එම සියලු මිනිසුන්ම නැවතත් තමන් සමඟම පෙළ ගැහෙනු ඇත. තමන් සූර්ය්‍ය දිව්‍යරාජයාගේ පුත්‍රයා යැයි ඔවුන් නැවතත් පිළිගනු ඇත. තමන් කිසිඳු බලයක් නොයොදාම මෙම දෙවි වරුන්යැයි කියා ගන්නා මිනිසුන්ව පලවා හැරියහොත් තමන් එම දෙවිවරුනටද වඩා බලවත්, ඔවුනට වඩා ඉහළින් සිටින්නෙක් ලෙස ජනතාව අතර පිළිගැනීමක් ලැබෙනු අත. මෙම කරුණු සැලකිල්ලට ගෙන ඔහු විසින් සිය භටයන්ගෙන් ආයුධ ඉවත් කළේය. බලගතු ඉන්කා අධිරාජ්‍යයේ මධ්‍යටම පැමිණ, මේ මිනිසුන් කිහිප දෙනෙකුට කළ හැක්කේ කුමක්ද ?

රත්තරනින් හා රිදියෙන් සැරසූ අති අලංකර දෝලාවක් මත නැගුණු අත'ක්ව්ල්පා  සිය මිනිසුන් විසින් අදාළ ස්ථානයට උත්සවාකාරයෙන්, ගරු ගාම්භීර ලෙස වඩම්මනු ලැබීය. පන් දහසක් හෝ සය දහසක් පමණ පිරිසක් ඔහු සමඟින් පැමිණෙන්නට ඇත. එහි ඇති ගාම්භීර භාවයම අවශේෂ ඉන්කාවරුන්ව බිය කිරීමට තරම් සමත් විය. එහෙත් ස්පාඤ්ඤයන්ටත් එය එලෙසින්ම අදාළද ? පිසාරෝ ඇතුළු පිරිස එම ස්ථානයට කලින්ම පැමිණ සැඟවී සිටියහ. ඔවුන් හොඳින් ස්ථාන ගතවී, සිය ආයුධ සුදානම්ව තැබුයේ සටනක් ඇති වුවහොත් ප්‍රහාර එල්ල කිරීමේ අරමුණිනි. ඔවුන්ගේ අරමුණ නව දේශයන් යටත් කොටගෙන ඒවායෙහි සම්පත් තමන් සතු කර ගැනීම බැවින්, ඉන්කා දේශය යටත් කරගැනීමේ මුල්ම ප්‍රහාරය එල්ල කිරීමේ අරමුණින් සිටියා වන්නටත් හැකිය.

අත'ක්ව්ල්පා අදාළ ස්ථානයට පැමිණීමෙන් පසුව ස්පාඤ්ඥයන්ව දැකීමට බලාපොරොත්තුවූ නමුදු ඔවුන් දක්නට නොසිටියහ.

" මේ සුනඛයෝ රැළ කොහිද ? " ඒ අත'ක්ව්ල්පාගේ ගාම්භීර හඬයි. ඔහු අසලින් වූවෙක් පිළිතුරු දෙනුයේ " ඔවුන් බලගතු ඉන්කා අධිරාජ්‍යයේ බලය දැක බිය වී පලා යන්නට ඇති. " යනුවෙනි. එවිටම වාගේ පිසාරෝ විසින් සිය පිරිසේ වූ දේවගැතිවරයාව පිරිස අතරින් අත'ක්ව්ල්පා ඉදිරියට එව්වේය. කුරුසයක්ද අතින් රැගෙන අත'ක්ව්ල්පා ඉදිරියට පැමිණි දේවගැති වරයා;

" නුඹට සත්‍යයේ මාර්ගය පෙන්වීම උදෙසා, ක්‍රිස්තියානිත්වයේ නාමයෙන් මා මෙසේ නුඹ ඉදිරියේ පෙනී සිටිමි. " යි හඬ නගා පැවසීය.

" නුඹ කියවන්නේ මොන විකාරයක්ද රැවුල් මූණෝ ? මම සූර්ය්‍ය දිව්‍යරාජයාගේ පුත්‍රයා වෙමි. මගේ මිනිසුන්ව පාලනය කිරීමේ බලය මා සතුය. මා හට මෙලෙස ගරුසරු නැතිව කතා කිරීමට නුඹට ඇති බලය කිම ? " ඒ කෝපාග්නියෙන් දැවෙන අත'ක්ව්ල්පාගේ හඬයි.

" මට බලය ලැබී ඇත්තේ සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන්ය. ඔහුගේ ශ්‍රී වචනය මෙම පොතේ ලියවී ඇත. " යි කියමින් බයිබලයක් අත'ක්ව්ල්පා වෙත ඉදිරිපත් කෙරිණ.

මෙය සුවිශේෂී අවස්ථාවකි. අත'ක්ව්ල්පා මින් පෙර පොතක් දැක නොතිබිණි. මෙයින් ඇත්තේ කිනම් ආකාරයේ ප්‍රයෝජනයක්දැයි වටහා ගැනීමට ඔහුට අසීරු විය. ඔහු සිතුවේ සුදු මිනිසුන් සතු බලය මෙම පොත විය හැකි බවයි.

" මේකයි එහෙනම් නුඹේ බලය ? මෙය කිසිසේත්ම නොවටිනා දෙයකි. නුබ කතාකරනා වදන් මට එයින් නෑසේ." යි කියමින් බයිබලයෙන් දේව ගැතිවරයාට දමා ගැසීය.

මෙහිදී පරල වූ දේව ගැතිවරයා " ඉන්දියානු සුනඛයා ! තා එතරම් එඩිතර වූයේ කෙසේද ? ස්පාඤ්ඤවරුනී එළියට පැමිණ, දෙවියන්ගේ දෑ හට ගරු සරු නොදක්වන මෙම සුනඛයන්ව විනාශ කරපල්ලා. " යි බෙරිහන් දෙන්නට විය.

එයින් පසු උදා වන්නේ ලෝක ඉතිහාසයේ තීරණාත්මක සිද්ධියක ආරම්භයයි. සැඟවී සිටි ස්පාඤ්ඤ තුවක්කු කරුවන්ගෙන් නිකුත් වූ වෙඩි හඩ ඉන්කා ගගන තලය පුරා රැව් දෙමින් සිව් දෙසින්ම ඇසෙනා විට, ඉන්කා වරුන් එකින් එක බිම වැටෙන්නට විය. ඒ සමඟින් කඩා වැදුණු අශ්වාරෝහක සේනාව ඉන්කා වරුන්ව සිය තියුණු අසිපත් මගින් පෙති ගසන්නට පටන් ගැනිණ. අතිශයින් කලබලයට පත්වූ ඉන්කා වරුන් කළ යුත්තේ කුමක්දැයි නොදැන හිස් ලූ ලූ අත දුවන්නට වූ අතර පිසාරෝ ඇතුළු පිරිස සිය මාරක අවි ලෙලවමින් ඔවුන් ලුහුබැඳ ගොස් මරා දමන්නට විය. ඉන්කා භටයන් පවා අන්දමන්ද වී සිටියේ ඉන් පෙර ඔවුන් යුද්ධයකදී අශ්වයන් පිට නැගුණු මිනිසුන් හා සටන් කොට නොතිබූ බැවිනි. තවද මෙම අසුන් සාමාන්‍ය අසුන් නොවුණි. හොඳින් වැඩුණු, සටන් සඳහා මැනවින් පුහුණු කොට තිබූ, ජවාධික අශ්වයන් වූහ. එම අසුන්ගේ වියරු හැසිරීමම පවා ඉන්කාවරුන්ව භීතියෙන් පාෂාණිභූත කරනා සුළුය. අශ්වාරෝහකයන්ට මුහුණ දිය යුත්තේ කෙසේදැයි අවබෝධයක් කිසිඳු ඉන්කා වරයෙක් වෙත නොවුණි. කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ අදහසක් ස්පාඤ්ඤවරුනට හැර අන් කිසිවෙකුටත් නොතිබිණි. ඔවුන් පිරිස් මධ්‍යයේ අසුන් හසුරවමින්, අසිපත් ලෙලවමින්, වමටත් දකුණටත් පහර පිට පහර දෙමින්, ඉන්කාවරු එකින් එක බිම හෙළන්නට වූහ. ඒ අතර වරින් වර නිකුත් වූ වෙඩි වලින් තවත් ඉන්කා වරුන්ව බිම ඇද හෙළීය. අත'ක්ව්ල්පාගේ දෝලාව ඔසවා සිටි මිනිසුන් වෙතද පිසාරෝගේ මිනිසුන් පහර පිට පහර එල්ල කෙරිණ. එහෙත් එකෙකු පහර කා ඇද වැටෙනා විට තවෙකෙකු එම ස්ථානය ගන්නා බැවින් දෝලව බිම හෙලීම සිතූ තරම් පහසු කාර්යයක් නොවුණි. කෙසේ නමුදු අවසානයේ විය යුතු පරිදිම දෝලාව ඔසවාගෙන යැමට ඉන්කා වරුන් නොමැති වූ හෙයින් අත'ක්ව්ල්පාගේ ගමන නතරවුනි. පිසාරෝ විසින්ම අත'ක්ව්ල්පාව අත්ඩංගුවට ගන්නා ලදී. සටන අවසන් වන විට ඉන්කා වරුන් හය දහසකට වැඩි පිරිසක් මියගොස් සිටි අතර එක ස්පාඤ්ඤ භටයකුදු දිවි පුදා නොතිබුණි. Hernán Cortés  ව අනුගමනය කරමින් පිසාරෝ සැකසූ සැලැස්ම අතිසාර්ථකය. භටයන් සංඛ්‍යවෙහි පැහැදිලි අසමානතාවයක් තිබියදීත්, ස්පාඤ්ඤ අශ්වයන්, අසිපත් හා උපක්‍රම ඵලදායී හා කාර්යක්ෂම බව මෙලෙස තහවුරු වී තිබුණි.

අත'ක්ව්ල්පා තාවකාලිකව ඉඳිවූ සිරගෙයක සිර ගත කෙරිණි. කෙසේ නමුත් ඔහු ජීවත්ව සිටීම, මිය යනවාට වඩා ප්‍රයෝජනවත් යයි අවබෝධ කොට ගත් පිසාරෝ ඔහුට යම් යම් පහසු කම් ලබා දුන්නේය. අතරවාරයේදී ඔහු ස්පාඤ්ඤ බස කතා කිරීමට පුහුණු වූ අතර චෙස් ක්‍රීඩා කිරීමටද පුරුදු විය. අත'ක්ව්ල්පා විසින් සිය ජනතාවට ස්පාඤ්ඤ නීති රීති හා අණ පනත් පිළිපදින ලෙස නියෝග කෙරුණ අතර සියලුම රන් හා රිදී වස්තූන් උණු කිරීමටද ඔහු විසින් නියෝග කෙරිණ. පිසාරෝ විසින් සියලුම රන් හා රිදී වස්තූන්වල හිලව්වට ඔහුගේ නිදහස පිරිනමන බව පොරොන්දු වී තිබුණද එය කඩවුණු පොරොන්දුවක් විය. රන් හා රිදී ටොන් 20කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසු පිසාරෝ විසින්, ඉන් මාස අටකට පෙර අත'ක්ව්ල්පාගේ අනුගාමිකයන් ඝාතනයට ලක්වූ චතුරශ්‍රයේදීම අත'ක්ව්ල්පාවද ඝාතනය කෙරිණ. 168 දෙනෙක් වැනි සුළු පිරිසක්, හය දහසකට වැඩි පිරිසක් ඝාතනය කරමින් සිදුකළ මෙම ආක්‍රමණය, අති සාර්ථක වූ යුරෝපියානු ආක්‍රමණයන් සඳහා පෙන්විය හැකි අපූරු නිදර්ශනයන්ගෙන් එකකි. 


~~~

පැරණි ලෝකය විසින් නව ලෝකයෙහි කරණ ලද ආක්‍රමණ වලට ඉවහල් වූයේ ඔවුන්ගේ තුවක්කු, අසිපත් හා අශ්වයන් පමණක්මද ? ආක්‍රමණිකයන්ද නොදැන සිටි මාරාන්තික අවියක්, නව ලෝකයෙහි ස්වදේශිකයන්ව කබලෙන් ලිපට හෙළූ අවියක්, අති විනාශකාරී අවියක්, ආක්‍රමණිකයින්ද නොදැන ඔවුනට පෙරගමන් කොට තිබුණි.

විෂ බීජ !!! එම මාරාන්තික අවියයි.

පිසාරෝ කහමාකා ආක්‍රමණය කිරීමට වසර දොළහකට පෙර, ස්පාඤ්ඤයේ සිට මෙක්සිකෝව බලා ගමන් කළ නැවක වූ වහලුන්ගෙන් කෙනෙක් උණ රෝගයෙන් විඳවමින් සිටියේය. නව ලෝකයට මුලින්ම  වසංගත රෝගයක් රැගෙන පැමිණි මිනිසා ඔහුය. ඔහුගේ ආගමනයෙන්  සතියක් හෝ දෙකක් ඇතුළත  එම වසංගත ඇමෙරිකානු වාසීන් දහස් ගණනකට ආසාදනය විය.  

වසූරිය........ !!  මෙම වසංගත අතරින් වැඩිම විනාශයක් කළ වසංගතයයි.


මුලින්ම මධ්‍යම ඇමෙරිකාවේ පැතිර ගිය මෙම යුරෝපියානු  වසංගත ක්‍රමක්‍රමයෙන් ඉන්කා දේශයටද පැතිරිණි. අත'ක්ව්ල්පාගේ පියා පවා වසූරිය වසංගතයෙන් මිය ගිය බවට ඉතිහාසයේ ලියවී ඇත. වෛරසය පැතිරුණු සෑම තැනකදීම පාහේ අති විශාල වශයෙන් ස්වදේශිකයන් මරුමුවට පත්වන්නේ ඔවුන්ව ආක්‍රමණිකයන්ගේ පහසු ගොදුරක් බවට පත් කරවමිනි.

මෙම වසංගත ඒක පාර්ශවීයව පමණක් වහනය වූයේ මන්ද ? යුරෝපීයන්ගේ වසංගත ඇමෙරිකානු ස්වදේශිකයන්ට පැතිරුණද එහි ප්‍රතිලෝමය සිදු නොවුයේ මන්ද ? පිළිතුර, වසර දස දහසකට පමණ පෙර මිනිසුන් හා ගෘහාශ්‍රිත සතුන් අතර ඇතිවූ ගනු දෙනුව තරම්ම පැරණිය. Fertile Crescent වෙතින් නික්මුණ මිනිසුන් සිය කටයුතු පහසු කරගනු වස්, සතුන්ගේ සේවය ලබා ගත් බව පෙර සඳහන් විය. සතුන්ගේ සිරුරෙහි වූ නා නා ප්‍රකාර විෂ බීජ, ඔවුන්ගෙන් කිරි, මාංශ, සම්, ලෝම ආදිය ලබා ගනිද්දීද, එම සතුන් ගෘහාශ්‍රිතව වාසය කිරීම නිසා වාතය ඔස්සේද, මිනිසුන්ට සංක්‍රමණය විය. මෙය වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් හා සතුන් අතර පැවති ආශ්‍රයෙන් මිනිසුන්ට ලැබුණු දායාදයක් විය. මධ්‍යතන යුගයේදී සහ ඉන් පෙර මෙවැනි සත්ත්ව විෂ බීජ මගින් පැතිරුණු රෝගාබාධ නිසා යුරෝපයේ පමණක් මිනිස් ජීවිත මිලියන ගණනක් අහිමි විය. නමුත් නිතර නිතර මෙම වසංගත වලට ගොදුරුවීම තුළින් යුරෝපීයන් අතර මෙම රෝගාබාධ උදෙසා ස්වාභාවික ප්‍රතිශක්තියක් ජනනය වීම හේතුවෙන් පරම්පරා ගණනාවක් ඇතුළතදී එවැනි රෝග වලට යම්තාක් දුරකට ඔරොත්තු දීමේ හැකියාවක් යුරෝපියානු සමාජය තුළ ඇති වුණි. මෙම වසංගත වලට අලුතින්ම නිරාවරණය වූ ඉන්කා වරුන් ඇතුළු ඇමෙරිකානු ස්වදේශිකයන් හට මෙම රැකවරණය නොතිබුණේය. එම වසන්ගත ඔවුන් අතර ඉතා පහසුවෙන් පැතිරෙමින් මහත් විනාශයක් ගෙනදීමට තරම් සමත් විය.

තවද, මෙවැනි වසංගත ඔවුන් අතර යුරෝපීයන් පැමිණීමට පෙර නොතිබුණේ මන්ද ? ඔවුන් වෙතින් යුරෝපීයන් වෙතට වහනය වීමට තරම් මාරන්තික ආවේණික වසංගත ඔවුන් අතර නොතිබුණේ මන්ද ? පිළිතුර සරලයි. ඒ, ඔවුන් අතර සතුන් සමඟ කිට්ටු සම්බන්ධතා නොතිබුණු බැවිනි. ඔවුන් අතර සිටි ලාමා සතුන්, යුරෝපීයන් ගවයන්, බැටළුවන්, එළුවන් ආදී සතුන් භාවිතා කළ අයුරින් ගෘහාශ්‍රිතව භාවිතා නොකෙරිණ. එමනිසා එම සතුන්ගෙන් මිනිසා වෙත වහනය විය හැකිවු විෂ බීජ අවදානම අවම වූ අතර, එබැවින්ම සතුන්ගෙන් බෝවිය හැකි වූ මාරාන්තික වසංගත වලින් ඇමෙරිකානු ස්වදේශිකයන් ආරක්ෂා වූහ.

ලෝකයේ හීලෑකරගනු ලැබූ ගෘහාශ්‍රිත සතුන් සියල්ලම පාහේ යුරේශියානු මහද්වීපයෙන් හමුවූ සතුන්ය. එබැවින්ම මාරාන්තික වසංගත සියල්ලත් යුරේශියාවටම උරුම විය. පසුව එම වසංගත සියල්ල ලෝකය පුරා මාරන්තික බලපෑම් සහිතව පැතිරි ගියහ.

ස්පාඤ්ඤ ආක්‍රමණ නිසා මිය ගිය ඇමෙරිකානු ස්වදේශිකයන් ගණන පිළිබඳ සංඛ්‍යා ලේඛන විවාදාත්මකය. සමහර වාර්තාවල දැක්වෙන පරිදි මිලියන විස්සකට ආසන්න ඇමෙරිකානු ස්වදේශික ජනගහනයක් සිට ඇති අතර එයින් අති විශාල සංඛ්‍යාවක්, එනම් සියට 95ක් පමණම පැරණි ලොව වසංගත වලින් මිය ගොස් ඇති බවට අනුමාන කෙරේ. අවසානයේදී මහද්වීපය සිය ස්වදේශික ජනතාවගෙන් බොහෝදුරට හිස් විය.


~~~

අත'ක්ව්ල්පාගේ මරණයත් සමඟම ආක්‍රමණිකයින් විසින්, සිය තුවක්කු, විෂ බීජ හා වානේ වල බලයේ මහිමයෙන්, ඉන්කා අධිරාජ්‍යය හෙවත් වර්තමාන පේරු දේශය සිය යටත් විජිතයක් බවට පත් කරගත්හ. ස්පාඤ්ඤය, යටත් විජිත වලින් ගලා ආ සම්පත් මගින්, එවකට මිහිමත වු ධනවත්ම ජාතියක් බවට පරිවර්තනය විය. ආක්‍රමණිකයන් විසින් පැරණි ලොව සහ නව ලොව අතර වූ සම්බන්ධය සදහටම වෙනස් කොට තිබුණි.

පිසාරෝ ඇතුළු පිරිස ඉන්කාවරුන්ව යටත් කරගනු ලැබුවේ කෙසේද ? එහි ප්‍රතිලෝමය සිදුනොවුයේ මන්ද ? පැරණි පැහැදිලි කිරීම් වලට අනුව, ඒ, යුරෝපීයන් සතු වූ නිර්භීතකම, දැඩි බව, තීක්ෂණ බව ආදී ලක්ෂණ හේතුකොටගෙනය. නමුත්, සැබෑ පිළිතුර හා යුරෝපීයන් සතුවු පුද්ගලික ලක්ෂණ වල සම්බන්ධයක් නොමැත. සැබවින්ම එය යුරෝපීයන් වෙත අහම්බයෙන් ලැබුණු භූගෝලීය වාසියෙහි ප්‍රතිඵලයකි. ලොව මුල්ම තුවක්කු, විෂ බීජ හා වානේ අත්පත් කරගත් මිනිසුන් ඔවුන්ය. - මහාචාර්යය ඩයමන්ඩ්. 





Guns, Germs and Steel වාර්තා චිත්‍රපටය ඇසුරින් සකස් කෙරුවේ ;
~~ සෙන්නා / 15.11.2012

Friday, November 9, 2012

සුද්දො මෙච්චර පොහොසත් ඇයි ? | Why, you white man have so much cargo ?

2012 ඉල් මස 09 වනදා

පෙර වදන :

කුරුන්දෙහි පළ වූ බොහොමයක් ලිපි මෙන්, මෙම ලිපියටද පාදක වී ඇත්තේ National Geographic මගින් නිෂ්පාදනය කෙරුණු වාර්තා චිත්‍රපටයකි. Guns, Germs and Steel නමින් නම්වු මෙම චිත්‍රපටයට පදනම් වූයේ අප කතා නායකයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ කළ පරීක්ෂණයකින් පසු ලියවුණු Guns, Germs and steel යන පොතය. මෙම චිත්‍රපටය පිළිබඳව මට දැන ගැනීමට ලැබෙනුයේත් සිංහල බ්ලොග් අවකාශයෙන්මය. ඒ කතාව මෙසේය.

2011 නොවැම්බර මස 01 වන දින, ඔබ කවුරුත් හොඳින් දන්නා ප්‍රවීණ බ්ලොග් රචක, දිනේශ් දීපාල් විසින් ඔහුගේ සත් සමුදුර බ්ලොග් අඩවියේ "ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් ‍‍මොනවගේ වෙයිද? " නමින් ලිපියක් පල කරයි. ලිපියෙහි අන්තර්ගත වූයේ අදාළ ටෙලි වෘතාන්තය ගැන ඔහුගේ අදහස් දැක්වීම හා ඒ ඔස්සේ යමින් යම්හෙයකින් යුරෝපීයන් අප රටට නොපැමිණියේ නම් අද තිබිය හැකි තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමයි.

මෙම ලිපියට ප්‍රතිචාරයක් දක්වන අපගේ තවත් බ්ලොග් සහෘදයෙක් වූ චතුරංග පෙරේරා වෙතින් දිනේශ්ට හරි අපූරු ප්‍රශ්නයක් එල්ල වෙනවා. දිනේශ්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසන චතුරංග අවසානයට යොමු කරන්නෙ " යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? " යන ගැටලුවයි.

දිනේශ් විසින් ඒකට පිළිතුරු දෙන ආකාරය නිසා ගැටලුවේ අපූර්වත්වය තවත් වැඩිවෙනවා කියලයි මට හිතුණේ. පැනයට පිළිතුරු දෙන්න දිනේශ් විසින් අති දීර්ඝ ලිපි මාලාවක් අරඹන්නේ, එම පැනයට එක එල්ලෙ සරල ලෙස කෙටි පිළිතුරක් දිය නොහැකි නිසාම වෙන්න ඇති. 2011 නොවැම්බර් 09 වන දින " යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූ‍යේ ඇයි? " යනුවෙන් දිනේශ් විසින් එම ලිපි මාලාව අරඹනවා.

ප්‍රශ්නෙ අහපු චතුරංග, ඊට පස්සෙත් ඒ ගැන වැඩිදුරටත් සොයන්න ඇති කියලා මට හිතුණෙ, දිනේශ්ගෙ මෙම ලිපියෙහි ඔහු පළ කරන මෙම ප්‍රතිචාරය නිසා. එතනින් දී තිබූ සබැඳියෙන් ගොස්, අඹ ගහ යට අඩවියේ, මාලන් විසින් මේ පිළිබඳ ලියා තිබූ අපූරු සටහන කියවීමෙන් පසුව තමා, මම මුල් වරට මෙම වාර්තා චිත්‍රපටය ගැන දැනුවත් වුයේ. මම ඒකට කොච්චර ආකර්ෂණය වුණාද කිව්වොත් ඒ මොහොතෙම ඒක බාගත කරගත්තා. මාලන් සහෘදයා විසින් ඒ පිළිබඳ සිය ලිපිය පළ කොට තිබූ අපූර්වත්වයත් ඒකට බලපාන්න ඇති.

දෙතුන් වතාවක්ම නැරඹීමෙන් පසු මෙම චිත්‍රපටය මගේ පරිගණකයේ දෘඪ තැටියේ කොනක් අල්ලන් වසරකට ආසන්න කාලයක නිද්‍රාවකට පත් වෙනවා. මෑතකදි පරිගණකයෙහි සිදු කල පරණ ගොනු සැකසීමකදි, මෙම චිත්‍රපටය දකින්න ලැබීමත් සමඟම, මට සිතුවිල්ලක් පහළ වෙනවා "මේකෙන් ලිපියක් ලියුවොත් කොහොමද ? " කියලා. ඒ සිතුවිල්ල ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය තමා මෙම ලිපිය.

මේ ලිපිය කියවූ වහාම, ඔබ, ප්‍රශ්න ඇසීම හා පිළිතුරු සෙවීම පිළිබඳ ඉහත සිද්ධියෙහි හා ලිපියෙහි අතර හරි අපූරු ආසන්න සමානත්වයක් දකීවි.

මෙම ලිපිය සියයට සියයක්ම චිත්‍රපටයෙහි පරිවර්තනයක් නොවේ. ආශ්‍රිත වෙනත් ලිපි වලින් උකහා ගත් දැනුමත් මෙයට මුසු වී ඇත. එහෙත් ලිපියෙන් වැඩි ප්‍රමාණයකට පාදක වන්නෙ චිත්‍රපටයම වේ. මෙම කොටසෙහි පළ කොට ඇති ඡායාරූප, අදාළ චිත්‍රපටයෙන්ම හා මෙම සබැඳියෙන් උපුටා ගත් ඒවා වේ.

මේ ගැන දැනුවත් වීමට මග පිළිසකර කළ දිනේෂ් දීපාල් සහෘදයාටත්, චතුරංග පෙරේරා සහෘදයාටත්, මාලන් සහෘදයාටත් නොවක් තුති.

ලිපිය දිග වැඩි නිසාත්, දීර්ඝ ලිපි කියවීම වෙහෙසකර නිසාත්, කොටස් වශයෙන් පළවේවි. කෙටි කාලයක් ඇතුළත ලිපිය සම්පූර්ණ කිරීම අපේක්ෂාවයි.

ලිපිය සැකසීමට පහත් මෘදුකාංග වලින් ලද සහය අපමණයි. නොමිලේ එම සේවාවන් සපයන ඒවයෙහි හිමි කරුවන්ටත් ස්තූතියි !

මධුර ශබ්ද කෝෂය 
Cambridge ශබ්ද කෝෂය
සුබස අකුරු විනිස පිරික්සුව.
මාලින්ද යුනිකේත පරිවර්තකය



1

"සුදු ජාතිකයන් හෙවත් යුරෝපීයන් අන් ජාතීන්ට වඩා ධනයෙන්, බලයෙන් ආඪ්‍ය වී ඇත්තේ මන්ද ?" ඔබට මේ ගැන නිකමට හෝ දිනෙක සිතී තිබේද ? එයට බලපෑ හේතුව කුමක් විය හැකිද ? ඔවුනට වඩා දිගු ශිෂ්ටාචාරයකට හිමිකම් කී සමහර දියුණුයැයි සම්මත ජාතින් පවා ඔවුන් අබියස නිවට නියාළුව ගියේ කුමන හේතුවක් නිසාද ? මුළු ලොවම සිය අණසකට යටත් කරගෙන තමනට අභිමත පරිදි එය හැසිරවීමේ බලය ඔවුනට ලැබුණේ කුමන ශක්තියකින්ද ? ඒ පිටුපස වූ සැබෑම ශක්තිය කුමක්ද ?  කළු ජාතික නිව් ගිනියානු වැසියකුගෙන් එල්ල වූ, ඒ සම්බන්ධ පැනයකට ක්ෂණික පිළිතුරක් නොමැතිව අසරණ වූ සුදු ජාතිකයකු, එයට හේතුව සොයා කළ ගවේෂණයයි මේ.
~~~~~

Pro. Jared diamond

මහාචාර්ය Jared Diamondකැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මුලින්ම කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුර ලැබූවෙකි. එහෙත් පරිසර අධ්‍යනයට වැඩි මනාපයක් හා නැබුරුවක් දැක්වූ ඔහු සිය දිවියේ නාඹර යෞවනයේදීම නිව් ගිනියා දූපත් බලා ගමන් කරන්නෙ ඒ සම්බන්ධ පරීක්ෂණ උදෙසාය. පසුව මානව පාරිසරික ක්‍රියා අධ්‍යනයට යොමුවන ඔහු, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන්ම භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යය තනතුරකින්ද පිදුම් ලබයි. උක්ත විෂය පිළිබඳව හැරුණු කොට තවත් පොත් පත් කිහිපයක්ම ලියා පළ කළ, පිළිගත් විද්වතෙකි. සිය තරුණ වියේදී නිව් ගිනියානු වැසියකු අසන පැනයකට පිළිතුරු සොයා රටින් රට, දේශයෙන් දේශය ගමන් කරමින් සිය ජීවිතයෙන් වසර තිහක් පමණම ඒ සඳහා වැය කරනු ලැබූවෙකි.ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වූයේ පක්ෂීන් නිරීක්ෂණය හා අධ්‍යනයයි. වසර 26 දී මේ සඳහා නිව් ගිනියා වෙත පැමිණෙන මහාචාර්යය ජෙරඩ්, දුටු පළමු දසුනෙන්ම වෙන්කළ නොහැකි ලෙස එම පරිසරයට ආකර්ෂණය වේ. එයින් පසු ඔහු නිව් ගිනියා වෙත පැමිණි වාර ගණන, ගිණිය නොහැකි තරම්ය. එතරම්ම ඔහු එම පරිසරයට හා මිනිසුන්ට ඇලුම් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔහු දැන් එම දිවයිනේ පක්ෂී චර්යා පිළිබඳ විශේෂඥයෙකි.

අදින් වසර හතළිහකට පමණ පෙර, මෙලෙස නිව් ගිනියා දූපත්හී කටයුතු කරමින් සිටිනා මහාචාර්යය ඩයමන්ඩ් හට, තමන් අවට සිටිනා මේ නිව් ගිනියානුවන් හා තමන් පිළිබඳව දෙවරක් සිතීමට සිදුවෙන, සිද්ධියකට මුහුණ දීමට සිදු විය.

"යාලි" යනු එවකට නිව් ගිනියානු දේශපාලඥයෙක් සහ තවත් වෘත්තීන් ගණනකම නියැලුණු ස්වදේශිකයෙකි. 1972 එක්තරා දිනක මහාචාර්ය ඩයමන්ඩ් මුහුදු වෙරළක ඇවිදිමින් සිටින විට අහම්බෙන් මෙන් මෙම දෛවෝපගත මිනිසාව මුණගැසුණේ අපූර්ව ගවේෂණයකට මංපෙත් විවර කරමිනි. ඔවුනතර කෙරුණු දීර්ඝ කතාවක් අතරතුරේ මහාචාර්ය ඩයමන්ඩ් හට පෙනුමෙන් සරල වූවත් එක එල්ලේ පිළිතුරු දිය නොහැකිවූ මෙම පැනය යාලිගෙන් එල්ල විය.

" Why, you white man have so much cargo ? and we New Guineans have so little ?"

"යාලිගේ පැනය මාව සම්පූර්ණයෙන්ම අසරණ කළා. බැලූ බැල්මට සරල හා පැහැදිලි පිළිතුරක් ඇති පැනයක් ලෙස පෙනී ගියත්, ඔහු ඒ පැනය යොමු කළ විට ඔහුට දිය යුතු පිළිතුර ගැන මට කිසිම අදහසක් තිබුණේ නෑ. මහාචාර්ය ඩයමන්ඩ්.

"Cargo" යන වදන නිව් ගිනියානුවන් භාවිතා කරනු ලැබුයේ බටහිරයන් විසින් සිය රටට ගෙන එන ලද නා නා ප්‍රකාර ආම්පන්න වලටය. සුදු මිනිසාගේ බලය පෙන්වන සංකේතයක් ලෙස මෙම ආම්පන්න සලකනු ලැබූ අතර එවාට දේවත්වයෙන් වන්දනාමාන කිරීමක්ද දක්නට ලැබුණි. යුරෝපීයන්ට අනුව, බලය යනු සිය ජන කොටස් වලට උපතින්ම හිමිව ඇති දායාදයකි. තමන් ස්වදේශිකයන්ට වඩා උපතින්ම සුපිරි ජාතියක් බව ඔවුන්ගේ හැඟීම විය. ඒ අනුව ඔවුන් නිව් ගිනියානුවන්ට වඩා බලසම්පන්න වීම අතිශය ස්වභාවික තත්ත්වයක් බව ඔවුන්ගේ විශ්වාසයයි.

ඒ ගැන සිය අදහස් දක්වන මහාචාර්ය ඩයමන්ඩ්...

" මගෙ අදහස අනුව, ජන වර්ග පදනම් කොටගෙන සිදු කරණ පැහැදිලිකිරීම් අර්ථ විරහිතයි. ඉතාමත්ම තීක්ෂණ නිව් ගිනියානුවන් බොහොමයක් මට මුණ ගැහිල තියනවා. ඔවුන් සතු හැකියාවන් මාව බොහෝවිට විස්මයට පත්කර තිබෙනවා. ඔවුනට, ඕනෑම දුෂ්කර පරිසර තත්ත්වයකට හිස් අතින්ම ගොස්, කෙටි වේලාවකින්ම සිය පැවැත්ම තහවුරු කරගැනීමේ අපූරු හැකීයාවක් තියෙනවා. මට නම් කොහෙන් පටන් ගන්නද කියලවත් හිතා ගන්ඩ බැරි තරම්. ඇත්තෙන්ම මෙවැනි පරිසර තත්ත්වයක් තුළ ඔවුන්ගේ සහයෝගය නැත්නම් මම අන්ත අසරණයි. ඒත්, ඇයි මේ දක්ෂයන් ඉතාම සුළු උපකරණ කිහිපයක් පමණක් නිපදවා තිබෙන්නෙ? ඇයි ඔවුන් අතී නවීන නගර ඉඳි කොට නැත්තේ ? කොටින්ම නූතන ශිෂ්ටාරගතවීමේ දක්නට ඇති කිසිඳු ලක්ෂණයක් ඔවුන් කෙරෙන් විද්‍යාමාන නොවන්නේ මන්ද ? අනෙක් අතින් ඇමෙරිකා එක්සත් ජනපදය, මිහිමත ඇති බෙහෙවින්ම ධනවත් හා බලගතු රාජ්‍යය. එය බොහොමයක් වූ නිව් ගිනියානුවන්ට හිතා ගැනීමටවත් අපහසු තරමේ ආම්පන්න තොගයකින් පිරී පවතී. ඒ ඇයි ? යාලිට පිළිතුරු අවැසි පැනය මෙයයි. ලෝකයේ මෙතරම්ම විෂමතාවයක් දක්නට ඇත්තේ මන්ද ? "  මහාචාර්ය ඩයමන්ඩ්.

යාලිගේ පැනය මුලින් පෙනුනාට වඩා විශාල සහ සංකීර්ණ එකක් බව මහාචාර්ය ඩයමන්ඩ් හට කල් නොයවාම අවබෝධ විය. එය මානව ඉතිහාසයේ ආරම්භය තරම් ඇතට දිවෙනා ගැටලුවකි. සත්‍යවශයෙන්ම  එය විෂමතාවයේ මූලයන් පිළිබඳවූ ගැටලුවකි.

" අතීතයේ සිටම සමහර ජන සමාජ අනෙක්වාට වඩා ශීඝ්‍ර දියුණුවක් පෙන්වීමට බලපෑ හේතුව කුමක්ද ? ලෝකයේ එවකට පැවති බොහොමයක් ජන සමාජ දිවි ගැටගසා ගැනීමේ ප්‍රයත්නයක යෙදෙන විට, ඊජිප්තුව අහස සූරන පිරමීඩ තැනුවේ කෙසේද ? ග්‍රීක් වරුන්, රෝමන් වරුන් හෝ මායා වරුන් එවකට පැවති දියුණුම ශිෂ්ටාචාර ගොඩ නැගුවේ කෙසේද ? මේ සෑම සමාජයක පොදු ලක්ෂණ කිහිපයක් තිබුණා. දියුණු තාක්ෂණය, විශාල ජනගහනය සහ හොඳින් සංවිධානයවූ ශ්‍රම බලකාය යන සාධක ලින් ඔවුන් සමන්විත වෙලා හිටියෙ. මෙම සාධකවල පැවැත්මෙහි ආරම්භය ගැන අවබෝධයක් ලබා ගතහොත් ඊලඟට සමහර ශිෂ්ටාචාර ඉතිහාස ගමනේදී අනෙක්වාට වඩා වේගයෙන් ඉදිරියට යෑමට බලපෑ හේතුවසොයා ගැනීමත් අවශ්‍යය වෙනවා." - මහාචාර්ය ඩයමන්ඩ්.

මහාචාර්ය ඩයමන්ඩ්, තිබීම සහ නොතිබීම යනුවෙන් ලෝකයේ පවතින බේදීම ගවේෂණය කිරීම අරඹමින් මෙම සුවිශාල කර්තව්‍යයට මුල පිරීය. ඉතිහාසඥයෙක් නොවූ විද්‍යඥයාට එය විශාල අභියෝගයක් විය. මානව ඉතිහාසයේ විශාලම ගැටලුව ඔහු විසින් විසඳන අයුරු අප ඉවසිල්ලේ බලාසිටිමු.

විවිධ ජන සමාජ අතර පවත්නා විෂමතාවය තෙරුම්ගැනීමට මහාචර්යය ඩයමන්ඩ් හට මානව ඉතිහාසයේ වසර දහස් ගණනක් පසු පසට යාමට සිදු විය. මිනිසුන් ලෝකය පුරාම බොහෝදුරට එකම තත්ත්වයන් යටතේ දිවි ගෙවුවේ යැයි සැලකිය හැකි තරම්, එක් එක් ජන සමාජයන් අතර විෂමතාවයක් නොව්නේ යැයි සැලකිය හැකි තරම් ඈත අතීතයට යාමට ඔහුට සිදුවිය. එය මුල්ම ශිෂ්ටාචාරගතවීමටත් පෙර අතීතයයි.

වසර 13000 කට පෙර, අවසාන හිම යුගය අවසන් වෙමින් පැවති කාලයයි. පෘතුවිය උණුසුම් සහ තෙත් ගතිය ඇති ස්ථානයක් බවට පරිවර්තනය වෙමින් පැවතිණි. මානව ක්‍රියාකරකම් දියුණු වෙමින් පැවති එක් ප්‍රදේශයක් වූයේ මැද පෙරදිග කලාපයයි. එකල මැදපෙරදිග යනු දැන් මෙන් කාන්තාරවලින් ගහන ප්‍රදේශයක් නොවුණි. එය බොහෝ වනාන්තර, ශාක සහ පැළෑටි වලින් ගහන විය. එහි විසූ මිනිසුන් එවකට ලොව ඕනෑම තැනක විසූ මිනිසුන් මෙන් වූහ. ඔවුන් දඩයමින් දිවිගෙවූ, කුඩා ජංගම කණ්ඩායම්ය. ඔවුන් නිතරම තැනින් තැනට ගමන් කරමින් විසූහ. යහමින් දඩයම් හෝ පල වැල සපයා ගත හැකි ස්ථානයක් හමුවූ විට තාවකාලික වාසස්ථානයක් අටවාගන එහි දිවි ගෙවූහ. එක් ස්ථානයක ඔවුන් සති කිහිපයකට වඩා දිවි නොගෙවූ අතර සෘතු වෙනස් වන විට, සතුන් වෙන ස්ථාන වලට සංක්‍රමණය වනවිට, ඔවුන්ද ඒ සමඟම විතැන් වූහ.

වර්තමානයේත් දඩයමින් දිවි ගෙවීම දැකිය හැකි සීමිත ස්ථාන කිහිපයෙන් එකක් වනුයේ පැපුවා නිව් ගිනියානු වැසි වනාන්තරයි. මහාචාර්ය ඩයමන්ඩ් පවසන පරිදි, පුරා විද්‍යා පොත්පත් වලින් මෙම ජීවන ශෛලිය පිළිබඳව කියවනවාට වඩා, මීට වසර 13000 කට පමණ පෙර මිනිසුන් දඩයමින් දිවිගෙවූ අන්දම සියැසින්ම දැක අත්විදීමට තරම් ඔහු මේ නිසා වාසනාවන්ත වී ඇත.

සතකු එලා ගැනීමට, දක්ෂකම, සුක්ෂම බව යනාදි ලක්ෂණවලට අමතරව සියගණක් වූ සත්ත්ව විශේෂ පිළිබඳව විශ්වකෝෂීය දැනුමක් තිබීම අත්‍යවශය කාරණයක් වේ. දඩයක්කරුවකු වීමටනම් සුවිශේෂී දක්ෂයෙක් විය යුතුමය. වසර 13000 කට පෙර විසූ මානවයාටත් එම කරුණු එලෙසින්ම පොදුය. දඩයමෙහි ඇති මූලිකම දුර්වලතාවයනම් එයට යොදවන කාලය හා බලන විට එතරම් ප්‍රතිඵලදායක නොවීමයි. සතකු එලා ගැනීම වෙනුවෙන් බොහෝකාලයක් වැය කොට අවසානයේ දඩයම් කරගන්නා ගොදුර ප්‍රමාණවත් නොවීම බොහෝ විට සිදු වන්නකි. එමෙන්ම දුන්නයි ඊතලයයි භාවිතා කරමින් කළ දඩයමෙහි කිසිඳු නිශ්චිතතාවයක් නොවුණි.

දඩයමෙහි වූ මෙම අවිනිශ්චිතතාවය නිසාම, සාම්ප්‍රදායික ජනසමාජ පළ වැල ආදිය රැස් කිරීම කෙරෙහි උනන්දු විය. මහචාර්ය ඩයමන්ඩ් අධ්‍යනයෙහි යෙදෙන නිව් ගිනියාහී මෙම කලාපයේ මෙම කාර්යය ප්‍රධාන වශයෙන් කතුන්ගේ අතින් සිදු විය. ප්‍රධානම ආහාර ප්‍රභවයක් වූයේ සව්හාල්ය. ( SAGO ) දඩයමට සාපේක්ෂව මෙය ප්‍රතිඵලදායක වුවද, ඒ සඳහාද නොමද වෙහෙසක් දැරිය යුතුව තිබුණි. අවසානයේ ලබන ඵලය වෙහෙසට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන අතර සව්හාල් කල් තබා ගැනීමද එතරම් පහසු කටයුත්තක් නොවුණි. එමෙන්ම සව්හාල් ගසකින් ලබා ගත හැක්කේ රාත්තල් හැට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් පමණී. එයද දින තුන හතරක වෙහෙසකින් පසු වූ අතර එතරම් ඵලදායී ප්‍රෝටීන් ප්‍රභවයක්ද නොවුණි. එහෙත් එම කලාපයේ නිව් ගිනියානු වැසියනට පරිසරයෙන් ලබාගත හැකිවූ වෙනත් ප්‍රතිඵලදායක ආහාර ප්‍රභවයක්ද නොතිබුණි.

වසර 13000 කට පෙර මැද පෙරදිග කලාපයේ ආහාර එකතු කිරීමේ ක්‍රමවේදය වෙනස්ම ස්වභාවයක් ඉසිලීය. ඔවුන්, ගස් අතර වැවී තිබූ තෘණ වර්ග වූ බාර්ලි සහ තිරිඟු එකතු කොට ආහාරයට ගැනීමට හුරුවී සිටියහ. ඒවා ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව සව්හාල් වලට වඩා බෙහෙවින්ම ඉදිරියෙන් පසු විය. මෙම සරල තෘණ දෙවර්ගය මානවයා වර්තමාන ශිෂ්ටාචාරගතවීම දක්වා ආ මාර්ගයේ දිශානතිය සකස් කිරීමේහීලා විශාල මෙහෙවරක් සිදු කොට තිබුණි.

වසර 12500 කට පමණ පෙර පෘථුවියෙහි දේශගුණය හදිසියේම නැවතත් වෙනස් විය. හිම යුගයේ  පරිසර තත්ත්වයන් නැවතත් ඇතිවීම හේතුකොටගෙන පෘතුවිය නැවතත් වියළි,සීතල ස්ථානයක් බවට හැරෙමින් තිබුනි. මැදපෙරදිග කලාපය දරුණු දේශගුණික ව්‍යසනයකට ලක්වූ අතර සතුන් සහ ගහ කොළ විනාශ වී ගියහ. මැදපෙරදිග, කාන්තාර බවට හැරවූ මෙම නියඟය, වසර 1000 ක් පමණ පැවතුණි. කලාපයෙහි විසූ මිනිසුන්ට නව නව ස්ථාන හා ආහාර ප්‍රභවයන් සොයා යාමට සිදු වුවද මෙම තත්ත්වයන් යටතේත් ඔවුන් සිය පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වූහ. මෙම තත්ත්වය මැදපෙරදිග කලාපයෙහි නව ජීවන ශෛලියකට මූල පිරූ අතර එය ලෝකයෙහි අනාගත මුහුණුවර වෙනස් කිරීමට සමත් විය.

මහාචාර්ය  Ian Kuijt, මැදපෙරදිග ශිලා යුගය පිළිබඳ විශේෂඥ පුරා විද්‍යාඥයකි. ඔහු සහ ඔහුගේ කණ්ඩායම ජෝර්දාන් නිම්නයේ කළ පුරා විද්‍යා කැණීමකින් එක් සුවිශේෂී සාධකයක් මතුකර ගත්හ. ඒ වසර දහස් ගණනක් පැරණි ගම්මානයක ඉපැරණි සුන්බුන්ය. කාල නිර්ණ කාබන් පරීක්ෂණ මගින් හෙළිවූයේ මෙම ගම්මානය මින් වසර 11500 ක් පමණ පැරණි ඉතිහාසයකට හිමිකම් කී එකක් බවයි. එය මිහිමත බිහිවූ මුල්ම ගම්මාන වලින් එකකි. එය මිනිසුන් හතළිහක් හෝ පනහකින් පමණ සැදුම් ලත් වූ ගම්මානයක් විය හැකි බව  මහාචාර්ය  Ian Kuijt  ඇතුළු පුරා විද්‍යඥයින්ගේ මතයයි.

"එතරම් දුෂ්කර කාලයක, මුළු ගම්මානයටම ආහාර සැපයීම කෙසේනම් සිදු වන්නට ඇත්ද ?"

සිව් වසරක් තිස්සෙ ඔවුන් කළ පරික්ෂණ වලින් පසුව, මෙම පැනයට පිළිතුරයැයි අනුමාන කළ හැකි සොයා ගැනීමක් කළහ. එය, මැටි බිත්ති වලින් නිර්මිත ඕවලාකාර හැඩයකින් යුතු ව්‍යවහයකි. මහාචාර්ය  Ian Kuijt ඇතුළු පිරිස විශ්වාසකරන පරිදි මෙය ධාන්‍ය රැස්කිරීමට යොදාගත් ධාන්‍ය බිස්සකි. එය ලෝකයේ මුල්ම ධාන්‍ය බිස්සක් විය හැකි බවට ඔවුන්ගේ විශ්වාසයයි. මූලික වශයෙන්ම තිරිඟු, බාර්ලි ගබඩාකිරීමට මෙය යොදා ගෙන තිබිණ. එහෙත්, එසේ රැස්කිරීමට තරම් ධාන්‍ය ඔවුනට ලැබුණේ කෙසේද ? මෙයට පිළිතුර මානව ඉතිහාසයේ එක් විප්ලවකාරී නැම්මක් පෙන්නුම් කරයි. මැදපෙරදිග දරුණු නියගය පැවතුණු අවදියෙහි,  දඩයමට හා ආහාර රැස්කිරීමට වූ අපහසුතාවය නිසාම, මිනිසා, තමන් විසින්ම ධාන්‍ය වගාකිරීමට යොමුවීමක් දක්නට ඇත. දඩයම් හෝ ආහාර සොයමින් තැනින් තැනට යාම වෙනුවට, ඔවුන් විසින් සොයාගත හැකිවූ ජල ප්‍රභවයක් අසල ස්ථානගතවීමෙන් අනතුරුව බීජ වපුරා අස්වැන්න ලබා ගැනීමට යොමු වූහ. බාර්ලි සහ තිරිඟු ප්‍රධාන වශයෙන් මෙලෙස අස්වැද්දූ ධාන්‍ය විය. මෙලෙස, ශිලා යුගයේදී, මැද පෙරදිග විසූ මිනිසුන් ගොවියන් බවට පත්ව තිබුණි. ලොව මුල්ම ගොවියන් වීමේ ගෞරවය ඔවුනට හිමිය.

මිනිසුන් ගොවිතැනට යොමුවීම සැබවින්ම මානව ඉතිහාසයේ පැහැදිලි හැරවීම් ලක්ෂයකි. දඩයමේ හෝ පල වැල එකතු කෙරීමෙහි යෙදුණු මිනිසුන්ට ගොවිතැනෙන් ලද සාර්ථකත්ත්වය කිසිකලෙකවත් ලැබිය නොහැකි විය. ගොවිතැනට සාපේක්ෂව සෑම කල්හීම දඩයමෙහි පැහැදිලි අවාසි දක්නට වූහ.

දැන් මහාචාර්ය ඩයමන්ඩ්ගේ උත්සහාය ලොව, මිනිසුන් ගොවියන් බවට පත්වූ වෙනත් ස්ථාන හඳුනා ගැනීමයි. ගොවිතැනෙහි පැතිරීම සහ ශිෂ්ටාචාරගතවීම පැතිරීම අතර ඇති සබඳතා හඳුනාගත හැකිනම් යාලිගේ පැනයට දිය හැකි පිළිතුරට තමන් ළඟාවෙමින් සිටින බව ඔහුගේ විශ්වාසයයි.

අතීත ලෝකයෙහි, ගොවිතැන ස්වාධීනව වැඩි වර්ධනය කරගත් ප්‍රදේශ කිහිපයක් හඳුනා ගත හැකිය. මැදපෙරදිගට සමකාලීනව චීනය විසින් තවත් එවැනිම ධාන්‍ය වර්ගයක් වූ සහල් වගාකිරීම ඇරඹූහ. පසුව ඇමෙරිකා මහද්වීපයේ සහ අප්‍රිකා මහද්වීපයෙහිද තම භූමියට ආවේණික වූ ධාන්‍ය හෝ ආහාර වර්ග වගා කිරීම අරඹා තිබුණි. මෙලෙස වගා කිරීම ඇරඹු සෑම සමාජයකම වාගේ සාපේක්ෂව දියුණු ශිෂ්ටාචාර ගතවීමක් දක්නට තිබුණි. මෙයට ව්‍යතිරේකයන් නොතිබුණාත් නොවේ. සමහර ප්‍රදේශ අතීතයේ සිට වගා කිරීම දක්නට තිබුණද, අනෙකුත් වගාකිරීම් ඇරඹූ ප්‍රදේශ වලට සාපේක්ෂ දියුණුවක් දක්නට නොවුණි. නිව් ගිනියානු උස් බිම මෙයට උදාහරණයකි. මෙහි දක්නට ඇති වගා කිරීමේ ක්‍රමවේදය ලොවෙහි පැරණිම වගා ක්‍රම වලින් එකක් ලෙස පිළිගැනේ. එලෙසම නිව් ගිනියානු වැසියන් මින් වසර 10000ක් තරම් ඈත කාලයේ සිටම වගා කිරීමෙහි යෙදී සිටින්නට ඇති බවත් පුරා විද්‍යාඥයන් විශ්වාසය පළකරති. එය මැද පෙරදිග වගා කිරීම ඇරඹි කාලයෙන් එතරම්ම දුරස් නොවූ කාලයකි.

" මේ නිව් ගිනියානු මිනිසුන්, යාලිගේ මිනිසුන්, ලොව මුල්ම ගොවියන්ගෙන් කොටසක් බව දැනගන්නට ලැබීම සැබවින්ම විස්මය දනවන කාරණයක්. ඔවුන්ට එතරම් පැරණි කෘෂිකාර්මික ඉතිහාසයක් ඇතත්, මැද පෙරදිග හෝ චීනයේ හෝ මධ්‍යම ඇමෙරිකාවෙ ගොවියන් අතර දක්නට වූ ශිෂ්ටාරගත වීමක් මේ නිව් ගිනියානු සමාජයේ දක්නට නැත්තෙ මන්ද ? ඔවුන් තමන් විසින්ම නිපදවන ලද ආම්පන්න සංඛ්‍යාව මෙතරම් සීමිත මන්ද ? අනිවාර්යයෙන්ම නිව් ගිනි ගොවියන් කිසිසේත්ම අඩු හැකියාවන්ගෙන් සමන්විත වූ පිරිසක් නොවන බව සහතිකය. එසේනම් වෙනස ඇත්තේ කොහිද ? පිළිතුර රඳා ඇත්තේ වගාකරන බෝග වර්ගය මත බව පෙනෙන්නට තිබේ.  නිව් ගිනියානු උස් බිම වල වගා කෙරුණ බෝග, තිරිඟු හෝ බාර්ලි මෙන් නිරායාසයෙන් අස්වැද්දවිය නොහැකි වූ එකින් එක සිටවිය යුතු අල වර්ග වේ. ඒ වගේම ඒවා කල්තබා ගැනීම අතින්ද තිරිඟු වලට සාපේක්ෂව දුර්වල බෝග වේ. මෙම බෝග, තිරිඟු වලට සපේක්ෂව අඩු ප්‍රෝටීන් ප්‍රාමාණයකින් සමන්විත බැවින් නිව් ගිනියානු වැසියන් තිරිඟු භාවිතයට ගත් මැද පෙරදිග වැසියනට වඩා ප්‍රෝටීන් ඌනතාවයනට ලක් වීමක් දකින්නට ඇත. නිව් ගිනියානු අනෙකුත් බෝගද ඔවුනට සැලකියයුතු තරම් ප්‍රෝටීන් ලබා දීමට සමත් නොවේ. මහාචාර්ය ඩයමන්ඩ්.

මහාචාර්ය ඩයමන්ඩ්, කෙමෙන් කෙමෙන් යාලිගේ පැනයට අවැසි පිළිතුර කරා ළඟාවෙමින් සිටියේය. මේ දක්වා කළ පරීක්ෂණ වලින්, මිනිසාගේ ගොවිතැනට යොමුවීම යන සාධකය මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක නැම්මක් ඇති කිරීමට සමත්ව ඇති බව ඔහු විසින් අවබෝධ කොටගෙන තිබුණි. වගා කරණ භෝගය කුමක්ද යන වග සමාජයන් අතර අසමානාත්මතාවයක් ඇතිවීම කෙරෙහි අතිශයින්ම තීරණාත්මක සාධකයක් වී ඇති බව මහාචාර්යය ඩයමන්ඩ් හට අවබෝධ විය. ඉතා පෝෂ්‍යදායී, ඵලදායක භෝගයන් වගා කිරීමට සමත්වූ ජන සමාජයන්, ඉතා සාර්ථක ගොවියන් වී තිබිණි. අවසාන වශයෙන්, එය භූගෝලීය වාසිය මත තීරණය වූ සාධකයක් බවට මහාචාර්යය වරයාගේ තීරණය විය.

ආහාරයට ගන්නා භෝග වර්ගය අනුව ලොවෙහි පවත්නා අසමානතාවය හට ගන්නා බව පැවසීම අභියෝගාත්මක අදහසකි. මහාචාර්යය ඩයමන්ඩ්ට අනුව ඇමෙරිකානුවන් නිව් ගිනියානුවන්ට වඩා ඉදිරියෙන් පසු වන්නේ ඔවුන් සිය වස් ගනනක් පුරා වඩා පෝශ්‍යදායි, ඵලදායක තිරිඟු අනුභව කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. තිරිඟු වලින්, නිව් ගිනියාවේදී ලැබෙන අල වර්ගයක් හෝ කෙසෙල් වර්ගයකින් ලබනවාට වඩා වැඩි පෝශ්‍යගුණයක් ලැබිය හැකිය. තිරිඟු නොවන්නට නූතන ඇමෙරිකාවේ සෞභාග්‍යය සිහිනයක් පමණක් විය හැකිව තිබූ අතර කිසි කලෙකවත් කෙසෙල් හෝ අල වර්ග මත එම තත්ත්වයට පත් විය නොහැකි බව මහාචාර්යය ඩයමන්ඩ්ගේ මතයයි.

ලොව පුරා ජන සමාජ අතර මෙතරම් පැහැදිලි විෂමතාවයක් හා මානව ශිෂ්ටාචාරයේ දිශානතියේ පැහැදිලි වෙනසක් පැලෑටියක ඵලයකින් පමණක්ම සිදුවිය හැකිද ? එසේ නැත්නම් එයට බලපෑ තවත් හේතුවක් තිබුනේද ? ලොවෙහි, තිබීම සහ නොතිබීම අතර වෙනස පැහැදිලි කිරීමට මහාචාර්යය ඩයමන්ඩ් තවත් හේතුවක් ඉදිරිපත් කරයි.

වසර 9000 කට පමණ පෙර ලොව මුල්ම ජනාවාස පිහිටුවාගතේයැයි විශ්වාස කළ හැකි මැද පෙරදිග මිනිසුන් මේ වන විට තමන්ට අවශ්‍ය ආහාර බෝග වාගා කොටගෙන ජීවත්වීමට හොඳින් හුරුවී සිටියහ. මේ වන විට ඔවුන් ධාන්‍ය වලට අමතරව වෙනත් ආහාර ප්‍රභවයක්ද සපයාගෙන තිබුණි.

හීලෑ කළ සතුන් !

දඩයමින් දිවිගෙවීම ඇරඹු මිනිසාට, සත්ව මාංශ ආහාරයට ගැනීම අරුමයක් නොවන බව පැහැදිලිය. එහෙත් සතුන් හීලෑ කොටගෙන අවශ්‍ය විටක මස් පිණිස භාවිතා කිරීම, දඩයම් කිරීම මෙන් අවිනිශ්චිත කාර්යයක් නොවුණි. මසට අමතරව ඔවුන්ගෙන් කිරි, සම් සහ ලෝම වැනි අනිකුත් ප්‍රයෝජන ලබන ආකාරයද මිනිසා විසින් කෙටි කලෙකින්ම හඳුනා ගන්නා ලදී. ගොවිතැනින් ශේෂ වූ පිදුරු වැනිදෑ සත්ත්ව ආහාර වශයෙන් යොදා ගත හැකි වීමත්, සත්ත්ව මල, මුත්‍රා ගොවිතැනට පොහොර වශයෙන් යොදාගත හැකි වීමත් මේ නිසා ඇතිවූ අන්‍යෝන්‍ය වාසි සහගත තත්ත්වයන් වූහ. මෙමගින් වගාව මෙන්ම සතුන්ද ප්‍රයෝජන ලැබූ අතර, අනිවාර්යයෙන්ම අවසාන ප්‍රායෝජනය මිනිසා සතු විය.

එළුවන් සහ බැටළුවන්, පුරාණ ලෝකයේ මුලින්ම හීලෑ කිරීමට ලක්වූ සතුන් දෙවර්ගය වේ. ක්‍රමක්‍රමයෙන් අද භාවිතයට ගන්නා විශාල සතුන් දක්වා එය වැඩි වර්ධනය විය. මේ සෑම සතෙකුම මුලින්ම මස් පිණිස භාවිතා කළද, වෙනත් අමතර ප්‍රයෝජන ගත හැකි බවද පසුව ප්‍රත්‍යක්ෂ විය. විශේෂයෙන්ම නගුල සොයා ගැනීමත් සමඟම . මෙමගින් මිනිසාට වැඩි අස්වැන්නක් ලැබීම හේතු කොටගෙන වැඩි ප්‍රමාණයකට ආහාර සැපයීමේ හැකියාව ලැබුණි.

නිව් ගිනියාවේ හෝ ලොවෙහි බොහොමයක් වූ අනෙකුත් ප්‍රදේශ වල ගොවිතැන සඳහා නගුල භාවිතා කොට නොතිබුණි. හේතුව, ඔවුනට එය ඇදීම සඳහා යෝග්‍ය වූ සතුන් නොමැති වීමයි. වර්තමානයේද නිව් ගිනිහී විශාලම ගෘහාශ්‍රිත සත්ත්වයා වන්නේ ඌරාය. එහෙත් යුරෝපය ආශ්‍රිත සමාජයේ හරකුන්, අශ්වයන්, බැටළුවන් ආදී විශාල විවිධත්ත්වයකින් යුතු සත්ත්ව ගහණයක් සිටි අතර මිනිසා විසින් ඔවුන්ව හීලෑ කොටගෙන නා නා ප්‍රකාර ප්‍රයෝජන ලබා ගෙන, ලබා ගනිමින් සිටිති. ඌරන්ගෙන් මස් ලබාගත හැකි වුවද අනෙකුත් සතුන්ගෙන් ලැබිය හැකි වූ බහුවිධ ප්‍රයෝජන ලැබිය නොහැකි විය. ප්‍රධානම අවාසි සහගත කාරණය වූයේ ඌරන්ගෙන් බාහු බලය ලබා ගත නොහැකි වීමයි.

සතුන් හීලෑ කොටගෙන මස් පිණිස හෝ ගොවිතැන සඳහා යොදාගැනීම යන කාරණය ඒ ඒ සමාජයන් අතර ශිෂ්ටාචාරගත්වීමේ වේගයෙහි පැහැදිලි වෙනසක් ඇති කිරීමට තරම් සමත් වී ඇත. මිලියන දෙකකට ආසන්න සත්ත්ව විශේෂ හඳුනාගත තිබුණද ඔවුන්ගෙන් අති විශාල බහුතරයක් මිනිසාගේ ප්‍රයෝජනයට ගත නොහැක. සමහර සතුන් හීලෑ කිරීමේ දුෂ්කරතා තිබුණු අතර සමහර සතුන්ගේ පරිණත වීමේ කාලය අධික බැවින් එවැනි සතුන් ආහාර පිණිස හෝ ගොවිතැන සඳහා යොදා ගැනීම ප්‍රායෝගික නොවුණි. මහාචාර්ය ඩයමන්ඩ් කළ පරීක්ෂණ මගින් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා ලොව පුරා අතීතයේ සිට සාර්ථකව භාවිතා කළ සත්ත්ව විශේෂ 14ක් හඳුනා ගෙන තිබුණි.
  • එළුවන්
  • බැටළුවන්
  • ඌරන්
  • හරකුන්
  • අශ්වයන්
  • බූරුවන්
  • බැක්‍ට්‍රියන් ඔටුවන්
  • අරාබි ඔටුවන්
  • මී ගවයන්
  • ලාමා සතුන්
  • පිනි මුවන්
  • යැක් ගවයන්
  • මිතාන් ගවයන්
  • බාලි ගවයන්
ඒ සතුන් දාහතර වේ.

මෙම සතුන්ගෙන් ලාමා හැරුණුකොට අනිකුත් සියලුම සතුන් පාහේ ආසියාව, යුරෝපය හා උතුරු අප්‍රිකාව ආශ්‍රිතව හමුවූ සතුන්ය.එයිනුත් ගවයන්, එළුවන්, බැටළුවන් සහ ඌරන් මැදපෙරදිගින් හමුවූ, හීලැකරගනු ලැබූ සතුන්වේ. ලොව හොඳම බෝග කිහිපයකට මුල් බිම් වූ මැදපෙරදිග, ලොව හොඳම ගෘහාශ්‍රිත සතුන් කිහිපයකටම මුල්බිම් වීම, එහි විසූ මුල් මිනිසුන්ව වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කිරීමට සමත්ව තිබුණි. සැබවින්ම ඔවුන් භූගෝලිය වශයෙන් ආශිර්වාද ලද කණ්ඩායමක් වූහ. ගොවිතැනට සතුන්ගේ සහයෝගය ලබා ගැනීමට ඇරඹූ තැන් සිට, මිනිසුන්ට සිය නිෂ්පාදන අතිරික්තයක් ලබා ගත හැකිවූ අතර එය සමාජයේ සියලු දෙනාම නිතරම ගොවිතැනෙහි යෙදීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබීය. මෙලෙස ලද විවේකය ඔවුන් නව දක්ෂතා හා නව තාක්ෂණය බිහිකිරීම උදෙසා භාවිත කොට ඇති සෙයක් දක්නට ලැබේ. දුකුණු ජෝර්දානයේ කැණීම් වලින් හමුවූ පුරා විද්‍යා සාක්ෂි වලින් දැක්වෙන පරිදි එහිවූ ආදිවාසීන්, නිසි පරිදි සැකසු නිවාස තානාගෙන ජීවත්ව සිට ඇත. නිකම්ම හිසට සෙවණක් වෙනුවට සුව පහසු ලෙස ජීවත්විය හැකි ලෙස ඒවා ගොඩනගාගෙන තිබූ බවට සාක්ෂි දක්නට වූහ. එම නිවාස වල අභ්‍යන්තරයෙහි කාලය ශ්‍රමය වැඩි වැඩියෙන් අවශ්‍ය වූ කපරාරු කිරීම් පවා නිරීක්ෂණය කොට තිබුණි. එනම් සැලකිය යුතු කාලයක් සිය ආහාර උපදවා ගැනීමේ කාර්යයෙන් බැහැරව ගත කිරීමට තරම් විවේකයක් ලද සමාජයක් එකල තිබූ බව අනුමාන කළ හැකිය. තවද, ගින්දර භාවිතාකොට කපරාරු සඳහා අවැසි හුණුගල් රත්කොට සකසා ගැනීම මිනිසුන් ලැබූ විශාල තාක්ෂණික විජයග්‍රහනයක් විය. ගින්දරින් වැඩගැනීමට අවබෝධ කොට ගැනීම, ලොවෙහි හැඩරුව වෙනස් කළ වානේ සැකසීම සදහා තැබූ මුල්ම පියවර විය.

එහෙත්, නිව් ගිනි ඇතුළු ලොව අනෙකුත් භූගෝලීය වශයෙන් අසාර වූ ප්‍රදේශවල මෙවැනි තත්ත්වයක් දක්නට නොවුණි. ඔවුන්ගේ ගොවිතැනෙහි වූ අඩු ඵලදායිත්වය සහ අඩු කාර්යක්ෂමතාවය නිසාම ඔවුන් හට ආහාර අතිරික්තයක් ලැබිය නොහැකි වූහ. ප්‍රතිඵලය වූයේ ඔවුනට නිතරම ආහාර වෙනුවෙන් වෙහෙසිය යුතු වීමයි. නව දක්ෂතා හෝ නව නිපැයුම් වැඩිවර්ධනය කරගැනීමට තරම් කාලයක් නොවුණි. ඒ සඳහා සිය කාලය ශ්‍රමය වෙන් කළහැකිවූ පිරිසක් බිහිවීමද මෙයින් වැළකුණි. මෙම තත්ත්වය මානව ශිෂ්ටාචාරය තුළ ඔවුන්ගේ ගමන මන්දගාමී කොට තිබුණි.

මැදපෙරදිග කලාපයේ මේ සියලු වාසි සහගත තත්ත්වයන් තිබුණද, වර්තමාන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයක් උසුලයි. එය තවදුරටත් මානව ශිෂ්ටාචාරයට ජීවය දුන් තෝතැන්න නොවීය. කෙතරම් පෝෂ්‍යදායී ධාන්‍ය තිබුණද, ගොවිතැනට උපයෝගී කොටගත හැකි සතුන් සිටියද, කලාපයේ ඇති වියළි ස්වභාවය දිගින් දිගටම ගොවිතැනෙහි යෙදෙමින් එම කලාපයේ රැදීසිටීමට යෝග්‍ය නොවීය. කලාපයේ ඇතිවූ මහා නියන් තත්ත්වය සහ මානවයාගේ අපරික්ෂාකාරී ක්‍රියා හේතුකොටගෙන සිදුවූ පරිසර විනාශයද, වියළි ස්වභාවය වැඩි කළ බැවින්, එය ජීවිතය පවත්වාගෙන යාමට තවදුරටත් යෝග්‍ය නොවුණි. එබැවින්, එහි විසූ ආදි වාසීන්ට ප්‍රදේශය අතහැර නව යෝග්‍ය ප්‍රදේශ කරා විතැන් වෙනවා හැර අන් විකල්පයක් ඉතිරිව නොතිබුණි.

Fertile crescent 


Fertile Crescent යනුවෙන් හැදින්වූ මෙම මුල්ම ශිෂ්ටාචාරයේ නිජ බිම, "යුරේශියා" යනුවෙන් හැදින්වූ ආසියාව හා යුරෝපය එකතුව සෑදී තිබුණු මහා බිම් කඩක මධ්‍යට වන්නට පිහිටා තිබුණි. එබැවින් Fertile Crescent වෙතින් නික්මුණ මිනිසුන්, එයින් පෙරදිගටත්, බටහිරටත් පැතිරුණි. නමුත් ඔවුන්ගේ විතැන්වීම අධ්‍යනය කළහොත් එය එක සමාන අක්ෂාංශ කිහිපයක පෙරදිගට හා බටහිරට වන්නට වූ විතැන්වීමක් ලෙස හඳුනා ගත හැකිය. මෙයට බලපෑ හේතුව කුමක්ද ? පෘතුවියේ එකම අක්ෂාංශ මත පිහිටා ඇති භූමි ප්‍රදේශ බෝහෝ විට එකම කාලගුණික හා දේශගුණික තත්ත්වයන් අත්විඳිනු දක්නට ලැබේ. එබැවින් සිය වගාවන් සහ සතුනට හුරු සහ යෝග්‍ය වූ සමාන කාලගුණ සහ දේශගුණ තත්ත්වයන් සොයාගෙන මිනිසාගේ විතැන්වීම සිදුවන්නට ඇතැයි යන නිගමනය බෝහෝදුරට සිදු විය හැකි සංසිද්ධියකි.

ශිෂ්ටාචාරයේ පැතිරීම


මෙලෙස ඔවුන්ගේ බෝග වූ තිරිඟු සහ බාර්ලිද, සතුන් වූ ගවයන්, එළුවන්, බැටළුවන් සහ ඌරන්ද, මැදපෙරදිග කලාපයේ සිට ඉන්දියාව දෙසටත්, යුරෝපය දෙසටත් පැතිර ගියහ.

Fertile Crescent  සිට පැමිණි මිනිසුන්, ඊජිප්තුවට පැමිණීම විශාල ශිෂ්ටාචාර පිබිදීමක් ඇති කිරීමට සමත් විය. අතිවිශාල පිරමීඩ ගොඩනැංවීමට අවැසි තාක්ෂණය දියුණු කිරීම දක්වාම එහි බලපෑම දක්නට ඇත. ඒ ආකාරයෙන්ම යුරෝපියානු ශිෂ්ටාචාරය ගොඩනැවීම සහ හැඩගැස්වීමද Fertile Crescent  සිට සංක්‍රමණය වූ මිනිසුන්, තිරිඟු, බාර්ලි සහ සතුන්ගේ බලපෑම මතම සිදුවිය. දාසයවන සියවසේදී එම බෝග සහ සතුන්ව යුරෝපීයන් විසින් නව ලෝකය හෙවත් ඇමෙරිකාවට හදුන්වා දෙන ලදී. එසේ හදුන්වා දීමට ප්‍රථම ඇමෙරිකාවේ මෙම සතුන් සහ බෝග දක්නට නොවුණි. වර්තමානයේ ඇමෙරිකාවෙ පමණක් ගවයන් මිලියන සියයක් පමණ ඇතැයි සැලකේ. ඇමෙරිකානුවන්ගේ වාර්ෂික තිරිඟු පරිභෝජනය වර්තමානයේදී වසරකට ටොන් මිලියන විස්සක් පමණ වේ. Fertile Crescent  වෙතින් හදුන්වා දුන් මෙම බෝග, සතුන් ඇතුළු ගොවිකම නොවන්නට නූතන කාර්මික ඇමෙරිකාවක් පිළිබඳ සිතීමටවත් උගහටය.

අපි දැන් මහාචාර්යය ඩයමන්ඩ් ගොඩනැගූ න්‍යාය සංක්ෂිප්ත කොට විමසා බලමු. මහාචාර්යය ඩයමන්ඩ්ට අනුව;
  • දඩයමින් දිවිගෙවීම, අවිනිශ්චිත අකාර්යක්ෂම ජීවනෝපායකි. එහි, එයටම ආවේණික වූ දුර්වලාතා රැසක්ම වූහ.
  • දඩයමෙහි වූ අකාර්යක්ෂමතාවය නිසාම, මිනිසුන් පරිසරයෙන් සපයාගත හැකි ශාකමය ආහාර එකතු කොට පරිභෝජනයට ගැනීමට යොමු වූහ. මැදපෙරදිග විසු අතීත මානවයා මේ සඳහා ප්‍රදේශයේ වූ තිරිඟු සහ බාර්ලි එකතු කොට ආහාරයට ගැනීම ඇරබූහ. තිරිඟු සහ බාර්ලි ස්වභාවයෙන්ම පෝෂ්‍යදායී ආහාර බැවින්, එම මිනිසුනට ලොව අනෙකුත් ස්ථානවල දිවිගෙවූ මිනිසුන්ට සාපේක්ෂව වැඩි පෝෂ්‍ය ගුණයක් ලබා ගැනීමේ ස්වභාවික වාසිය උරුම විය.
  • පසුව එළබියේ ගොවි යුගයයි. පරිසරයේ ඉබේ වැවෙන දෑ එකතු කොට ආහාරයට ගැනීම වෙනුවට, තමන් විසින්ම බීජ වපුරා ආහාර බෝග වගා කොට ඵලදාව ලබා ගැනීමට මිනිසා හුරු වූහ. එය දඩයම මෙන්ම ආහාර එකතු කිරීමටත් වඩා ඵලදායී විය. එහෙත් වගා කරණ බෝගයේ ස්වභාවය මත එහි ඵලදායීතාවය තීරණය විය. ලොව ගොවිතැන ඇරබි බොහොමයක් ශිෂ්ටාචාර වල ප්‍රගමනයක් පෙන්නුවද සමහර කෘෂිකාර්මික ශිෂ්ටාචාර එසේ නොවුණි. එයට බලපෑ හේතුව ඔවුන් වගා කල බෝගය මත රඳා පැවතුණි.
  • ඉන් පසුව ඇරඹියේ සතුන් හීලෑ කොටගෙන භාවිතයට ගත් යුගයයි. එමගින් මාංශ ආහාර වැඩි වෙහෙසකින් තොරව ලබා ගත හැකිවූ අතර සතුන්ව ගොවිතැන් කටයුතු වලට යොදා ගැනීමේ වාසියද හිමි විය. එයට අමතරව සතුන්ගේ අපද්‍රව්‍ය ගොවිතැනට පොහොර ලෙස භාවිතා කිරීමේ හැකියාවද ලැබිණි. මෙය අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිඵලදායකවූ සංකල්පයක් බවට පත්විය. සමහර සමාජයන්හී මෙලෙස සතුන් භාවිතයට ගැනීම නොපුළුවන් වූයේ ස්වාභාවිකවම ඒ සඳහා සුදුසු සතුන් ඔවුන් ආශ්‍රයේ නොමැති වීමයි.ගොවිතැනට සතුන්ගේ දායකත්වය ලබා ගැනීමත් සමඟම එහි ඵලතායීතාවය තව තවත් වැඩි විය. විශේෂයෙන්ම නගුල් වැනි උපකරණ සතුන් ලවා භාවිතා කළ හැකි වීම මගින් වැඩි පල ලැබිය හැකි තත්ත්වයක් නිර්මාණය විය.
  • ගොවිතැනෙහි ඵලදායීතාවය වැඩිවීම කරණකොටගෙන, සමාජයේ සියලුම මිනිසුන් ඒ සඳහා වෙහෙසීමේ අවශ්‍යතාවය ඉවත් විය. වැඩි පිරිසක් පෝෂණය කිරීමට හැකිවීම නිසා සමාජයෙන් කොටසක් වෙන වෙනත් කාර්යයන් හී නිරතව නව දක්ෂතා, නව දැනුම සහ නව තාක්ෂණ ශිල්පීය දැනුම ගොඩ නංවා ගැනීමේ හැකියාව ලැබුණි.
  • මෙයට වෙනස්ම තත්ත්වයක්, පැපුවා නිව් ගිනි ඇතුළු අඩු ඵලදායීතා ගොවිතැන්හී නියුතු සමාජයන් වල දක්නට ලැබුණි. එනම් ඔවුන්ගේ ගොවිතැනෙහි වූ අඩු ඵලදායීතාවය නිසා වැඩි වේලාවක් ආහාර සපයා ගැනීම වෙනුවෙන් වෙහෙසීමට සිදු විය. නව නිර්මාණ, නව දැනුම ජනනය කිරීම සඳහා කාලයක් ඔවුනට නොලැබුණි.
එලෙස බලන විට පැහැදිලිවම භූගෝලීය වාසිය කරණකොටගෙන, මානව ඉතිහාසයේ එක ශිෂ්ටාචාරයක් තවෙකක් අභිබවා ඉදිරියට ගොස් ඇති ආකාරය මැනවින් නිරීක්ෂණය කළ හැකිය.

මහාචාර්යය ඩයමන්ඩ්ගේ තර්කය සංකීර්ණ නොවූ සරල එකක් බව දක්වන පිරිසක්ද වෙති. සෞභාග්‍යයේ සහ බලයේ බෙදීයාම, තිරිඟු සහ ගවයන්ට පමණක් ලඝු කොට දැක්විය හැකිද ? එසේනම් මෙම නාටකයේදී සංස්කෘතිය, ආගම, දේශපාලනය රඟ දැක්වූ කොටස් මොනවාද ? ඒවායේ බලපෑම නොසලකා හැරිය හැකිද ?

වසර ගණනාවක් නිව් ගිනි හී ගතකළ ජීවිතය මට ඒත්තු ගැන්වූවා, ලොව වටා වෙසෙන සෑම මිනිසෙක්ම මූලික වශයෙන් එක හා සමාන බව. ලොව ඕනෑම සමාජයක දක්ෂ, තීක්ෂණ මිනිසුන් දැකිය හැකියි. ඒ පිළිබඳ ඒකාධිකාරයක් කිසියම් වූ එක සමාජයකට පමණක් හිමි නොවේ. අනිවාර්යයෙන්ම විවිධ ජන සමාජවල විවිධ වූ සංස්කෘතික, ආගමික, දේශපාලනික ලක්ෂණ දැකිය හැකියි. එහෙත් ඒවා අසමාණාත්මතාවයේ ප්‍රතිඵලයන් මිස, අසමාණාත්මතාවයේ මූල බීජය නොවේ.  - මහාචාර්ය ඩයමන්ඩ්.

" Why, you white man have so much cargo ? and we New Guineans have so little ?"

වසර තිහකට පෙර මෙම පැනය මගින් යාලි මාව අන්ත අසරණ කළා. එයට දිය යුතු පිළිතුර කුමක්දැයි එවකට මට කිසිම අදහසක් තිබුණේ නෑ. එහෙත් මම හිතන්නෙ අද මට එයට පිළිතුර තියනවා.

 " යාලි, නුඹගේ මිනිසුන් නව තාක්ෂණය සොයා නොගැනීමට හේතුව කෞශල්‍යයේ වූ අඩුපාඩුවක් නොවේ. නුඹලා සතුව මේ අපහසු දායක පරිසරය ජය ගැනීමට තරම් වූ කෞශල්‍යයයක් තිබුණි. නුඹගේ ගැටලුවට පිළිතුරනම් "භූගෝලිය තත්ත්වයයි". මගේ මිනිසුන් වසර දහස් ගණනකට පෙර අත්විඳි භූගෝලීය වාසිය, නුඹලාගේ මිනිසුන් ලැබුවා නම්, අද දින මේ නව නිපයුම් කරන්නේ නුඹලාගේ මිනිසුන්ය." මහාචාර්ය ඩයමන්ඩ්.



Guns, Germs and Steel වාර්තා චිත්‍රපටය ඇසුරින් සකස් කෙරුවේ ;
~~ සෙන්නා / 09.11.2012

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog