Sunday, April 30, 2017

එබෝලා රෝගියා | සය වන කොටස - කඹ ඇදීම

2017 බක් මස 30 වන දා


වරායපතිවරයාගේ අංකය තිරය මතට ගත් නෝල්, නැවතත් මොහොතක දෙගිඩියාවක පසු විය. ඊළඟ නිමේෂයේ දැඩි කරගත් සිත විසින් නිකුත් කළ විධානයෙන් නැවී ගිය වමතේ මහපට ඇඟිල්ලෙන් ඇමතුම ගැනීමේ විධානය ක්‍රියත්මක වූ අතර දුරකථනය නෝල්ගේ වම කනට තද වුණි. නෝල් අනෙක් පසින් ඇසෙන නාදයට සවන් යොමුකරගෙන සිටියේ ඉමහත් නොඉවසිල්ලකිනි. 

"හෙලෝ..."අවසානයේදි අනෙක් පසින් නෝල් බලාපොරොත්තුවෙන් සිටි හඬ ශ්‍රවණය වුණි.

"ගුඩ් මොර්නිං කැප්ටන්. සොරි මේ වෙලාවේ ඩිස්ටර්බ් කරනවට. මම නෝල් කතා කරන්නේ XYZ ශිපින් ලයින් එකෙන්"

  "ගුඩ් මොර්නින්, ඒක ප්‍රශ්නයක් නෑ, කියන්න."

"කැප්ටන් මම කතා කරන්නේ අර පේෂන්ට් කෙනෙක් ඉන්න චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නැව ගැන. නැව දැන් එළියේ ඇවිත් තියෙන්නේ. පෝර්ට් කන්ට්‍රෝල් එකෙන් කියනවා කැප්ටන් ඉන්ස්ට්‍රක්ට් කරලා තියනවලු ඩොක්ටර් යනකම් නැව බර්ත් කරන්න එපා කියලා."


"ඔව් මම එහෙම කිව්වා තමා. ඒ නැව එන්නේ එබෝලා ඉන්ෆෙක්ටඩ් කන්ට්‍රි එකක ඉඳලානේ"


"කැප්ටන් අපි ඩොක්ටර්ගේ ක්ලියරන්ස් එක අරගත්තා ඊයේ, එයා රෝග ලක්ෂණ බලලා කියුවා, මේ පේෂන්ට එබෝලා ලක්ෂණ නෑ කියලා. අපි ක්ලියරන්ස් එක පෝර්ට් කන්ටොර්ල් එකටත් හෑන්ඩ් ඕවර් කරලා තියෙන්නේ."


"ඩොක්ටර් කොහොමද නැවට යන්නැතුව ක්ලියරන්ස් දෙන්නේ ? මේක සාමාන්‍ය ලෙඩක් නෙමේනේ..!"


"ඒ වුණාට කැප්ටන් අර මනුස්සයා පණ අදිනවා. නැව බර්ත් කරන්න පරක්කු වුණොත් මැරෙන්න වුණත් පුළුවන්."

"නෝල් මේක අහන්න, ඒ මනුස්සයා මැරුණොත් මට ඒකට කරන්න දෙයක් නෑ. මම හාබර්මාස්ටර් හැටියට, රට ගැන, පෝර්ට් එක ගැන හිතන්න ඕනා. එක් කෙනෙක් වෙනුවෙන් මට මුලු රටක්ම අනතුරේ හෙළන්න දෙන්න බෑ. අනිවාර්යයෙන් ඩොක්ටර් නැවට ගිහින් චෙක් කරලා කියන්න ඕනා. එතකම් නැව බර්ත් වෙන්නේ නෑ."



"ඒක හරි කැප්ටන් මාත් එකඟයි ඒකට. මටත් ඕනා නෑ කොහෙවත් යන වසංගතයක් අපේ රටට ගෙනත් දා ගන්න. මගේ ප්‍රශ්නේ මේක කලින් නොකියපු එකයි. එහෙම වුනානම් අපිට කලින්ම ඩොක්ටර්ව ඇරෙන්ජ් කරල තියන්න තිබුණානේ. මේ හදිස්සියේ බෝට්‍ටු හොයන්නත් බෑනේ."



"ඇයි මන් ඔයාට මේල් එකක් එව්වේ නැද්ද ?" වරායපති වරයා ඇසුවේ දැඩි හඬකිනි.



"මේල් එකක් එව්වා තමා කැප්ටන්, ඒකෙ තිබුණේ හෙල්ත් ක්ලියරන්ස් ගන්න කියලා විතරනේ. අපි ඩොක්ටර්ට කිව්වම එය සෞඛ්‍ය සංවිධානයෙනුත් චෙක් කරල තමා ක්ලියරන්ස් එක දුන්නේ නැව බර්ත් කරන්න. එයා කියන්නේ මෙයාට තියෙන්නේ එබෝලා නෙමේ කියලා. එයාමයි කිව්වේ නැවට යන්න ඕනා නෑ කියලා."



"නෝල් ඔයා ඒජන්ට් කෙනෙක් හැටියට දැන ගන්න ඕනා මොනවද කෙරෙන්න ඕනා කියලා. ඔයාට පැහැදිලි නැත්නම් මට කෝල් එකක් දෙන්න තිබුණා. ඔයා අඩුම ගානේ මට කෝල් එකක් දෙන්නවත් උනන්දු වුණේ නෑ මේ ගැන, මේ දැන් කතා කරනකම්."



තව දුරටත් තර්ක් විතර්ක කිරීමෙන් පලක් නොමැත. වරායපතිවරයාගේ ස්ථාවරය පැහැදිලිය. රෝගියාගේ ජීවිතය ගලවා ගැනීමටනම් වහාම වෛද්‍ය වරයාව නැවට පිටත් කොට හැරිය යුතු බව නෝල්ට අවබෝධ වුණි.



" හරි කැප්ටන් මම බලන්නම් මොකක්ද කරන්න පුළුවන් කියලා. බෝට් එකක් යවන්න, කැප්ටන්ගේ, නේවි එකේ ඇපෘවල් ගන්නත් වෙනවා. දැන් ලියුම් ගහන්න වෙලා නැති නිසා කැප්ටන්ට පුළුවන්ද වර්බල් ඇපෘවල් දෙන්න. මම පස්සේ එවන්නම් ඩොකුමන්ට්ස්, ඇපෘවල් වලට."



" OK Knowll, you have my permission. I'll instruct the port control. You obtain the Navy permission. "


"All right Captain. Thank you very much !"


+++++



නෝල්ගේ ඊළඟ ඇමතුම ප්‍රින්ස්ටය.



"හෙලෝ ප්‍රින්ස්. අපිට දැන් ඩොක්ටර්ව නැවට යවන්නම වෙනවා. ඩොක්ටර් නැවට ගිහින් බලලා තීරණයක් දෙනකම් නැව බර්ත් කරන්නෑ කියලා හාබර්මාස්ටර් කියනවා. ඔයා දැන්ම යන්න පෝර්ට් හෙල්ත් ඔ‍ෆිස් එකට. ගිහින් ඩොක්ටර්ට විස්තරේ කියලා ඉක්මනට නැවට යන්න අවශ්‍යයි කියන්න. මම එතකම් බෝට් එකක් ඇරෙන්ජ් කරගන්න බලන්නම්. ඔයා ඩොක්ටර්ව හම්බෙලා මට කෝල් එකක් දෙන්න. අපි ඉක්මන් කරන්න ඕනා ප්‍රින්ස් නැත්නම් මේ මනුස්සයා මැරෙනවා."



"හරි නෝල්, මම දැන්ම යන්නම් ඩොක්ටර් ගාවට"



දුරකථනය විසන්ධි කළ නෝල් දිගු සුසුමක් හෙළමින් මද කල්පනාවක නියැළුණි. මේ හදිසියේ බෝට්‍ටුවක් පිළියල කරගැනීම ලේහෙසි පහසු කටයුත්තක් නොවුණි. ගැටලුව ඇත්තේ බෝට්‍ටුව ලබා ගැනීමෙහි නොවේය. ඒ සඳහා ඕනෑ තරම් සැපයුම් කරුවන් සිටිති. නාවික හමුදා අවසරය ලබා ගැනීම කරන්නේ කෙසේදැයි නෝල්ගේ සිතට වද දුන් ප්‍රශ්නයයි. ගැටලුවක් ඇත්නම් පිළිතුරක්ද තිබිය යුතුය. නෝල් සිය සුපුරුදු බෝට්‍ටු සැපයුම් කරුවන කීත් ඇමතීය.



"කීත්, මට ලොකු හදිස්සියක්. දැන්ම බෝට් එකක් ඕනා අවුට් හාබර් එකට ඩොක්ටර් කෙනෙක්ව යවන්න. තියෙයිද ගන්න?"



"දෙන්න පුළුවන් නෝල්. ලෙඩෙක් ඉන්නවලු නේද නැවක?"



"ඔව් කීත්, මිනිහා පණ අදිනවාලු. මොනා හරි කරන්න වෙනවා ඉක්මනට. කොහොමද නේවි පර්මිෂන් ගන්නෙ මේ වෙලාවේ?"



"පොඩ්ඩක් ඉන්න, මම නේවි එකට කතා කරලා වර්බල් පර්මිෂන් ගන්න බලන්නම්. හදිසි අවස්ථාවක් නිසා සලකා බලයි. මම ඔයාට කෝල් එකක් දෙන්නම්. ඔයා ඉතුරු වැඩ ටික ලෑස්ති කරගන්න නෝල්, බෝට් එක දැන් වුණත් දෙන්න පුළුවන්."



"බොහොම ස්තූතියි කීත්. මම තව ටිකකින් ඔයාට කෝල් එකක් දෙන්නම්."



කීත් ගේ ඇමතුම විසන්ධි කළ සැණින් නැවතත් නෝල් ගේ දුරකථනය නාද වන්නට විය. ඒ ප්‍රින්ස්ය.



"නෝල් ඔයා දැන්ම ඩොක්ටර්ට කෝල් එකක් දෙන්න. ඔයාට කතා කරන්න ඕනලු. මොනවද වැල්වටාරමක් දොඩවනවා. මම හිතන්නේ ඔය හදන්නේ ජරාවක් කන්න."



"ඒකත් එහෙමද? මුන්නම් මහ පුදුම සත්තු. කවුද ඩියුටි ඉන්න ඩොක්ටර්?"



"ඩොක්ටර් ඉමෝටලියන්"



"හරි මම දැන් ගන්නම්."



වෛද්‍යවරයා ඇමතූ නෝල් අනෙක් පසින් ප්‍රතිචාර දක්වන තුරු නොයිවසිල්ලෙන් පසු වූයේය. ඒ අතර වාරයේ වෛද්‍යවරයා කිනම් කාරණයක් පවසාවිද යන දෙගිඩියාව ඔහුගේ සිත පෙලීය. පීඩනයට පත් කෙළේය.



"හෙලෝ...." ඒ වෛද්‍යවරයාගේ ආමන්ත්‍රණයයි.



"හෙලෝ ඩොක්ටර්, මම නෝල් කතා කරන්නේ. ප්‍රින්ස් මට කිව්වා ඩොක්ටර්ට කෝල් එකක් දෙන්න කියලා. මේ අර පේෂන්ට් කෙනෙක් ඉන්න නැව ගැන."



"ආ ඔව් නෝල්.. මට ප්‍රින්ස් කිව්වා නැවට ඩොක්ටර් කෙනෙක් යවන්න කියලා හාබර්මාස්ටර් කිව්වා කියලා. අපි මේක බලලා අනුමැතිය දිලානේ තියෙන්නෙ, නැව ඇතුළට ගේන්න. මේ ලෙඩාට එබෝලා ලක්ෂණ නෑ. මම ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් චෙක් කරලයි කිව්වේ. ඉතින් මොකටද ආයේ ඩොක්ටර් කෙනෙක් නැවට යන්නේ?"



"ඩොක්ටර් මම මේ දැන් හාර්බර්මාස්ටර්ට කතා කළා විතරයි. එයා කියනවා නැවට ඩොක්ටර් කෙනෙක් ගිහින්, ලෙඩාව බලලා අනුමැතිය දුන්නොත් විතරයි නැව බර්ත් කරන්නේ කියලා. එයාට රිස්ක් එකක් ගන්න බැරිලු."



"එයා කොහොමද එහෙම කියන්නෙ? අපියි තීරණය කරන්නේ කොහොමද ක්ලියරන්ස් එක දෙන්නේ කියලා. අනිත් එක නෝල් අපිට කොහෙන්වත් කියලා නෑ නැව්වලට ගිහින් ක්ලියරන්ස් දෙන්න කියලා. අපිට ඒවට පහසුකම් ඇත්තෙත් නෑ. අඩුම ගානේ ඉන්ෂූරන්ස් කවර් එකක්වත් නෑ. ඔය ගිහිල්ලා අපිට මොනවා හරි වුණොත් කවුද වග කියන්නේ?"



"එහෙම නෙමේ ඩොක්ටර්, බලන්නකො උදව්වක් කරන්න. අර මනුස්සයා පණ අදිනවා. ඉක්මන් නොකළොත් මැරෙන්න වුණත් පුළුවන්. ඩොක්ටර් ගැන අපි බලාගන්නම්. පුළුවන්නම් අර මනුස්සයාගෙ ජීවිතේ බේරගන්න උදව් කරන්න ඩොක්ටර්."



"එහෙම යන්න ඕනා නෑනේ නෝල්. ඒ ගොල්ලන්ට නැව බර්ත් කරන්න කියන්න. එතකොට ප්‍රශ්නෙ ඉවරනෙ!"



"බෑ කියනවා ඩොක්ටර්. අනිත් එක පයිලට්ලව බෝවෙන ලෙඩෙක් ඉන්න නැවකට යවන්න බෑ කියනවා. එයාලව එක්ස්පෝස් වෙනවා කියලා."



"එතකොට අපිට ප්‍රශ්නයක් නැත්ද?" වෛද්‍යවරයා ඇසූ පැනය නිසා නෝල්ට සිතයටින් සිනා නොවී සිටීමට බැරි විය. එසේ සිනාසෙමින්, " යකෝ මුන් මාර ඩොක්ටර්ලානේ"යි තමාටම කියා ගත්තා මිස, මුවින් පිට නොකළේය.



"ඩොක්ටර් අපි දැන් මෙතන කඹ ඇද ඇද ඉන්න ගියොත් අර මනුස්සයා මැරෙනවා. යන වියදම් ඔක්කොම අපි බලාගන්නම් ඩොක්ටර්. ඒ ගැන බය වෙන්න එපා. මම ඒක ප්‍රොමිස් වෙනවා."



"හරි නෝල් ඔයා කියන හින්දා මම බලන්නම් මොකක්ද කරන්න පුළුවන් කියලා. ඔයා මට තව ටිකකින් කෝල් කරන්න. බෝට් එක ලැස්තියිද ?"



"ඔව් ඔව් ඩොක්ටර් ඒවා ඔක්කොම හරි. ඩොක්ටර්ට දැන්නම යන්න පුළුවන්නම් හොඳයි."



"දැන්ම යන්න බෑ. මට අපේ කට්ටිය ලෑස්ති කරගන්න ඕනා. අනිත් එක මම මෙහෙම යනවා කියලා අපේ ඔ‍ෆිස් එකට දැනුම් දෙන්න ඕනා. ඔයා මට තව ටිකකින් කෝල් කරන්න."


"හරි ඩොක්ටර්. තැන්යූ වෙරි මච්.." 
                                                                                                           



ලියුවේ;
සෙන්නා / 30.04.2017

Saturday, April 29, 2017

සුබ ගමන් විචාරක !




29.04.2017


ලෝක ධර්මතාවයන් පිළිබඳ දැනූම මිස, අවබෝධය නොමැති නිසා ඔබේ වියෝව පිළිබඳ ආරංචිය මගේ හිත සසල කළා.

වසර පහක් පුරා දුන් දිරියට, දැනුමට බොහෝම පිං !

සුබ ගමන් විචාරක !! 


සෙන්නා / 29.04.2017




සහෘද්ද බ්ලොග් රචක විචාරක මහතාගේ වියෝව හේතුවෙන් අදට නියමිතව තිබූ "එබෝලා රෝගියා" සයවන කොටස පළ නොවන බව කරුණාවෙන් සලකන්න. 

Friday, April 28, 2017

එබෝලා රෝගියා | පස් වන කොටස - ආගමනය

2017 බක් මස 28 වන දා




10.04.2015
සුබ දවසක් හිතවත් නෝල්!

ගිලන් රථය සහ වෛද්‍ය සේවා නැව ගාල් කළ වහා සැපයීමට වගබලා ගන්න. රෝගියාගේ තත්ත්වය ඉතා අසාධ්‍ය වන අතර ඔහුගේ දිවි ‍රැක ගැනීමට අප සියලු දෙනා වෙහෙසෙමින් සිටිති. මෙය ඉතා හදිසි අවස්ථාවක් බව සලකන්න.



කපිතාන් ජෝන් ක්ලේටන්


චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නෞකාව



+++++

රැකියාවෙහි පීඩනය නෝල් හට අමුතු දෙයක් නොවේය. එහෙත් ජීවිතයක පැවැත්ම හෝ අවසානය තීරණය වී ඇති මෙම මෙහෙයුම වෙනදා නොදුන් පීඩනයක් ඔහු වෙත ගෙන ආවේය. කපිතාන් ජෝන් වෙතින් දිනපතා ලැබෙන තත්ත්ව වාර්තා ගෙන ආවේ අසුභදායක ප්‍රවෘත්තීන් ම බැවින්, නෞකාව කොන්ටෙයාන්ස් වෙත ළඟා වීමේ වේගයට සමානුපාතව නෝල් ගේ පීඩනයද වැඩි වෙමින් තිබුණි. ගනු ලබන වැරදි තීරණයක් නිසා හෝ කා අතින් හෝ විය හැකි අතපසු වීමක් හෝ නොතකා හැරීමක් නිසා රෝගියාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය හැකිය. එබැවින් සෑම අංගයක්ම නිසි පරිදි සූදානම්ව ඇති බවට තහවරු කරගැනීම අත්‍යවශ්‍යය. තවද, ඔහු එබෝලා රෝගියෙක් නම් ! එමගින් රටට සිදුවිය හැකි අවැඩ ද සුළු කොට නොතැකිය හැකිය. මේ දක්වා වටහා ගත් කරුණු වලින්, කොන්ටෙයාන්ස් මෙවන් තත්ත්වයකට මුහුණ දීමට සුදානම් නොමැති බව නෝල් අවබෝධ කොටගෙන තිබුණි. 




ප්‍රින්ස් වෙතින් දුරකථන ඇමතුමක් ලැබෙනා තෙක් නෝල් සිටියේ නොයිවසිල්ලෙනි. නොයිවසිල්ල, පීඩනය කොතෙක්ද යත් එය නෝල්ව අසුනෙන් නැගි‍ටුවා ඔබ මොබ සක්මන් කරවූයේය. රාජකාරීමය පීඩනයකින් මිරිකෙමින් සිටිනා විට, විදුරුවක් පුරවා වතුර එකක් පානය කිරීම නෝල්ගේ සාමාන්‍ය උපක්‍රමයෙකි. එමගින් හිසරදයට වේදනා නාශකයකින් ලැබෙනවාක් මෙන් තාවකාලික අස්වැසිල්ලක් ලැබෙන බව නෝල් අත්දැකීමෙන් දනී. වීදුරුව පුරවා මුවට ගෙන උගුරු දෙකක් පානය කළා පමණී, නෝල්ගේ ජංගම දුරකථනය නාද වන්නට වුණි. ප්‍රින්ස් ගේ නම දුරකථන තිරයේ දිස් වූයෙන් වතුර බීම වහා අත්හල නෝල්, හනික දුරකථනයට ප්‍රතිචාර දැක්වීය.




"ඔව් ප්‍රින්ස් කියන්න. මොකද වුණේ ? ඩොක්ටර් දුන්නද ක්ලියරන්ස් එක ?"




"ඔව් නෝල් වැඩේ හරි. ඩොක්ටර් කියන්නේ මෙයාට එබෝලා ලක්ෂණ නෑ කියලා. ඒක නිසා නැව බර්ත් කරන්න පුළුවන්ලු. එයා සෞඛ්‍ය සංවිධානයෙනුත් අවසරය ගත්තා කිව්වා. මම මේ දැන් පෝර්ට් කොන්ට්‍රෝල් එකට යන ගමන් මේක භාර දෙන්න. "




"හරි ප්‍රින්ස්. ඔයා ඇම්බියුලන්ස් එකට ලියුම භාර දුන්නද? ආයෙ මතක් කරන්න, නැත්නම් ඔය යක්කු වෙලාවට එන එකක් නෑ."




"ඔව් ඒකත් හරි. නැව බර්ත් කරනකොට කෝල් එකක් දෙන්න කිව්වා. ඒ ගොල්ලො එයි එතකොට."




"හරි. නැව දැන් කලින් එනවා, හෙට උදේ හතට. එතකොට ඩොක්ටර්? එයත් එනවා කිව්වා නේද?"




"ඔව්, ඔව්.. එයත් බර්ත් කරනකොටම එන්නම් කිව්වා. මම කෝල් එකක් දෙන්නම් එයාටත්."




"ඔව්, ඩොක්ටර් ගිහින් හෙල්ත් ක්ලියරන්ස් එක දෙනකම් කාටවත් නැවට නගින්න දෙන්න එපා. මම ටර්මිනල් එකටත් කියන්නම්. කොච්චර වුණත් කියන්න බෑනේ.."



"හරි නෝල්, මම එහෙම කරන්නම්.."



"රයිට්. තෑන්ක්ස් ප්‍රින්ස්"



නැව ගාල් කරගැනීම උදෙසා සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනුමැතිය ලද නිසා, නෝල්ගේ පීඩනය මදකට සමනය වුවද ඒ සම්පූර්ණයෙන්ම නොවේ. රෝගියා පිටතට ගෙන රෝහල් ගත කරනා තෙක් මෙම පීඩනය ඔහු කෙරෙන් ඉවත්ව නොයනු ඇත. සියල්ල යහපත් ලෙස පෙනී ගියද ඕනෑම මොහොතක බලාපොරොත්තු නොවන බාධකයක් මතුවිය හැකි බව නෝල්  දනී. මේ, කොන්ටෙයාන්ස් වරායයි !



+++++



බන්ධනාගාරකි. බන්ධනාගාර නියාමකයින්ගේ අධීක්ෂණය යටතේ, බරපතල වැඩ සහිතව සිරගත කෙරූවන්, එළිමහන් රාජකාරීන්හී නියැලෙමින් සිටියහ. ආවේණික නිල ඇඳුමින් සැරසුණු සිරකරුවන් විස්සක් හෝ තිහක් එම මොහොතෙහි එහි රාජකාරි කරමින් සිටි අතර එයින් සමහරෙක් බැලූ බැල්මට ස්ථානයට හුරුපුරුදු, වසර ගණනාවක් එහි ගෙවූවන් බව දිස් වූ අතර කිහිප දෙනෙක් ස්ථානයට ආගන්තුකයන් බව ඔවුන්ගේ නිල ඇඳුම් වල නවතාවය, හැසිරීම ආදියෙන් පෙන්නුම් කෙරිණි.

මෙම බන්ධනාගාරය අනෙකුත් ඒවායින් වෙන්කරනා වෙනසක් විය. ඒ, නගරයෙහි හමුවන සියලු එබෝලා රෝගීන් ‍රැඳවීම සිදු කෙරුණේ එහිම එක් පසෙකය. එම හේතුවෙන්ම එබෝලා රෝගය පහසුවෙන්ම සිරකරුවන් අතර ද පැතිර ගිය අතර රෝගී වූවන් සිරකුටි වෙතින් රෝහලෙහි සයනයක් වෙත උසස්වීමක් ලදද එයින් බොහොමයක් කල්නොයවාම පොළවෙනුත් අඩි හයක් පහළට යැවෙණා බැවින්, කිසිවෙකුත් එම උසස්වීම කෙරෙහි ප්‍රියමනාප නොවූහ. ඒ වෙනුවට, බලධාරීන්ගේ මෙම තීරණය කෙරෙහි සිරකරුවන් උරණව පසු වූහ. රෝගය නගරයෙහි පැතිරීමෙහි ලා මුල්වූ පුද්ගලයන් කිහිප දෙනාද බරපතල වැඩ සහිත සිරකරුවන් සමඟ වූ අතර බන්ධනාගාර ජීවිතය හුරු නැති ඔවුන් සියලු දෙනා, අනෙක් අය වෙතින් කැපී පෙනුණි. අප හොඳින් හඳුනන නෝල් ඒ අතරින් කෙනෙකි. 



යතුරු පුවරුවට දෑත් හුරුවූ අයෙකුට මේ බර වැඩ අපහසු බව නොකිවමනාය. එනයින් නිතර නිතර කරමින් සිටි කාර්යය නතර කළ නෝල් සිය කමිසයේ අතින් මුහුණෙහි දහදිය පිසදා ගනු ඔහු දෙස සුලු වෙලාවක් වුව බලාසිටින්නෙකුගේ අවධානයට හසුවනවා නො අනුමානය. මුවෙන් ආරම්භ වී කම්මුල, නාසය, දකුණැස, නළලත පිසදා ගෙන කණ දක්වා දකුණතෙහි උඩු බාහුව ඉහළට එස වෙනා විට, වැසී විවර වූ ඇසෙන් තමා දෙස මරුමූස් පෙනුමින් බලා සිටිනා හැඩිදැඩි සිරකරුවා නෝල්ගේ අවධානයට හසු වූයේය. ඔහු පිළිබඳ නොතැකූ නෝල් නැවත සිය වැඩයට යොමු වුවද, නැවතත් සිය ඇස ඒ දෙස යොමුවනු වළක්වා ගැනීමට ඔහු අපොහොසත් වූයෙන් බලාගත් බැල්මෙන් යුතුව තමන් වෙත ඇදෙන එම දාමරිකයාගේ දසුන නෝල්ගේ නිරීක්ෂණයට ලක් වීය. 




කරමින් සිටි කාර්යය නතර කළ නෝල්, දාමරික පෙනුමැති සිරකරුවාගේ ආගමනය දෙසට සිය අවධානය යටැසින් යොමු කෙළේය. නොදන්නා, අලුත් පරිසරයක් තුළ ආරක්ෂාව සඳහා ඉමහත් විමසිල්ල ඉතා අත්‍යවශ්‍ය වන්නේය. එසේ වතුද, හනි හනික තමන් වෙත ආ දාමරිකයා සිය දඩු අඬු වැනි අයෝමය දෙ අත්ලෙන් නෝල්ගේ ගෙල සිය ග්‍රහණයට ගැනීමෙන් වළක්වා ගැනීමට එම විමසිල්ල ප්‍රමාණවත් නොවුණි. ක්‍රමක්‍රමයෙන් සිය ගෙල සිරවී හුස්ම ගැනීම අපහසු වන විට, දැත් මෙන්ම දෑස් ද ඉහළට එසවු නෝල්, කළ හැකි එකම දෙය වූ උගුරින් මර හඬක් නැගීම කරමින් මරු විකල්ලෙන් දෑත් වනමින් දගලන්න වූයේය. සියලු දෙනාම කවාකාරව තමන් දෙදෙනා වට කරගෙන සිනාසෙමින් බලා සිටිනු දැක ඔවුන් කිසිවකු හෝ තමන්ගේ ගැලවීමට ඉදිරිපත් නොවීම පිළිබඳ විමතියට පත් විය. ඒ අතර බන්ධනාගාරයෙහි නියාමකයන්ද සිටිනු දු‍ටු නෝල්ගේ විමතිය දෙගුණ තෙගුණ වීය. ඒ සමඟම බන්ධනාගාරයෙහි "මනිය" හෙවත් හෝරා දර්ශකය වැදීම ඇරබුණෙන් සියලු දෙනා වහ වහා එතනින් ඉවත් වූ අතර නෝල්ගේ ගෙල අත හැරි දාමරිකයාද ඔවුන් සමඟ එක් වීය.




තිගැස්සි අවදි වූ නෝල් ,ගෙල අතගාමින් එය යහතින්දැයි සැකහැර දැන ගත්තේය. හෘද ස්පන්දනය වේගවත් වී තිබූ අතර, ඔහු වේගයෙන් හුස්ම ගනිමින් සිටියේය. ඒ වන විටත් නාද වෙමින් තිබූ සිය ජංගම දුර කථනයෙහි නාදය කෙරෙහි නෝල්ගේ අවධානය යොමු වූයේ ඉන් මද වේලාවකට පසුවය. 



"හෙලෝ....." ඒ නිද්‍රාශීලි, තිගැස්මකින් යුතු බියපත් නෝල්ගේ කට හඬයි. 



"නෝල් මම චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නැවේ කැප්ටන් කතා කරන්නේ...පෝර්ට් කොන්ට්‍රෝල් එකෙන් අපිට දැනුම් දුන්නා ඩොක්ටර් නැවට එනකම් නැව බර්ත් කරන්නෑ කියලා. ඩොක්ටර් එන්නේ කීයට ද කියන්න. අපිට නාස්ති කරන්න වෙලාවක් නෑ.." කපිතාන්වරයාගෙන් අසන්නට යෙදුණු දෑ නෝල්ව පියවි ලෝකයට සම්පූර්ණයෙන්ම ඇද දැමීමට හොඳටම ප්‍රමාණවත් වුණි. සයනයෙන් නැගී සිටි ඔහු එහි වාඩි ගැනුණේ යාන්ත්‍රීකවය.




"මොකක් !!" නෝල්ගේ විස්මයාර්ථය.




"කැප්ටන් අපි ඊයේ ඇපෘවල් ගත්තානේ හෙල්ත් ක්ලියරන්ස් නැතිව නැව බර්ත් කරන්න. පෝර්ට් කන්ට්‍රොල් එකටත් දීලා තියෙන්නෙ. "




"ඒවුනාට ඒ ගොල්ලො දැන් කියන්නේ වෙන කතාවක් නෝල්. ඉක්මනට මොනවා හරි කරන්න."




"හරි කැප්ටන්, මම බලන්නම්"




වහා ක්‍රියාත්මක් වූ නෝල්ගේ පළමු ඇමතුම වරාය පාලක මධ්‍යස්ථානයට යොමු වුණි. අනෙක් පසින් නාදවෙන දුරකථනයට ප්‍රතිචාර පමා වන විට නෝල් නොඉවසිල්ලට පත්වුණි..."ගනින් යකො.. ගනින්.. ගනින්.. "යැයි සිතින් බැණ වදිමින් ඔහු සිය දකුණත මිට මොලවා සයනයෙහි ගුදිරියට පහර දීගෙන ගියේය. 




"ගුඩ් මෝර්නින්ං පෝර්ට් කන්ට්‍රෝල්.."




"හෙලෝ ගුඩ් මෝර්නින්ං, මම නෝල් කතා කරන්නේ. අපේ චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නැව එළියෙ ඇවිත් තියෙන්නේ. ඒක ඉක්මනට බර්ත් කරන්න ඕනා සීරියස් ලෙඩෙක් ඉන්නවා ඉක්මනට හොස්පිටලයිස් කරන්න ඕන"




"ඔව් අර එබෝලා පේෂන්ට් ඉන්න එක නේද, අපි දන්නවා. ඒකට ඩොක්ටර් යන්න ඕනා. ඊට පස්සෙ තමා බර්ත් කරන්න පුළුවන්."




" එබෝලා ! කවුද කිව්වේ එබෝලා පේෂන්ට් කෙනෙක් කියලා. ඩොක්ටර්ත් කිව්වේ එයාට එබෝලා ලක්ෂණ නෑ කියලනෙ. එයා ක්ලියරන්ස් එකත් දීලා තියනවා නැව බර්ත් කරන්න. ඒ ක්ලියරන්ස් එක අපි ඕගොල්ලන්ට ඊයේ දුන්නනේ. පොඩ්ඩක් බලන්න. අර මනුස්සයා පණ අදිනවා."




"ඒක හරි, ඒ වුණාට අපිට හාබර් මාස්ටර් ඉන්ස්ට්‍රක්ට් කරලා තියනව, ඩොක්ටර් නැවට ගිහින් ඉන්ස්පෙක්ට් කරලා ඕකේ එක දෙනකම් නැව බර්ත් කරන්න එපා කියලා..." එය ශ්‍රවණය වූ සැණින් නෝල්ට කෙඳිරි ගෑවුණේ නිරායාසයෙනි. ඔවුන් සමඟ වාද කිරීමෙන් පලක් නොමැත. ඔවුන් නියෝග පිළිපැදිය යුතුය. නෝල් දුරකථනය විසන්ධි කර දැමීය. 





තත්ත්වය බැරෑරුම් වෙමින් පවතී. අසරණ රෝගියාගේ ජීවිතය රඳා පවතින්නේ යුහුසුළු වන තරමටය. නෝල් ජංගම දුරකථනයේ තිරය දෙස බැලුවේ වේලාව දැන ගැනීමටය. උදෑසන හතර පසු වී මිනිත්තු කිහිපයකි. වරායපතිවරයාට ඇමතීමට සුදුසු වේලාවක් නොවේය. එහෙත් නොකරම බැරිය ! 


                                                                                එබෝලා රෝගියා | සය වන කොටස - කඹ ඇදීම...................


ලියුවේ;


සෙන්නා / 28.04.2017


Thursday, April 27, 2017

"එබෝලා රෝගියා" නැවතත්.............

2017 බක් මස 23 වන දා

නවමු ආරක් ගත් "එබෝලා රෝගියා" කෙටි නවකතාව නැවතත් රස විඳීමේ භාග්‍යය හෝ අභාග්‍ය ඔබ සැම වෙත ලැබෙන බව කුරුන්ද පාඨක සැමට මෙසේ සතුටින් දන්වා සිටීමි. නොවැළැක්වියහැකි හේතූන් ගණනාවක් නිසා කතාව අතරමග නතර වීම හේතුකොටගෙන ඔබ සැමගේ රසවින්දනයට සිදු වූ බාධාවට සමාව අයදින අතර නැවතත් කතාව අතර මග නතර වෙදෝයි යම් කුකුසක් වේනම්, කතාව සම්පූර්ණයෙන් ලියා එළබෙන 24 වන සඳුදා සිට දිනපතා කොටස බැගින් දින දහයක් ඇතුළත සම්පූර්ණයෙන් කියවා අවසන් කිරීමට හැකිවන පරිදි සියල්ල සකසා අවසන් බව දැනුම් දෙන්නේ ඉමහත් චිත්තප්‍රීතියකිනි.


මෙය සිංහල වියුණු පාඨකයනට පමණක් නොව සමස්ත සිංහල පාඨක වර්ගයාටම නවමු අත්දැකිමක් වනවා නො අනුමානය. ඒමන්ද යත් කතාවට පසුබිම් වන ක්ෂේත්‍රය අළලා ලියවී ඇති කතා සංඛ්‍යාව අල්ප නොව ඇත්තේම නැති තරම්ය.

රසවින්දනයේ පහසුව තකා කතාව නැවතත් මුල සිට පළවන අතර මුල් කොටස් හතර කියවූ පාඨකයන් හට කතාව නැවත මතක් කරගැනීම උදෙසා එය ප්‍රයෝජනවත් වේ යැයි හඟිමි.

එසේනම්, එළබෙන 24 වන දින උදෑසන 07:00 ට කුරුන්දට ගොඩ වැදී, කුරුඳු ගසක් ලෑටි ගා යථාර්ථයේ දැවිල්ල සහ තිත්ත රසය විඳ ගන්නා මෙන් ඔබ සැමට මෙයින් ආරාධනා !

"කොන්ටෙයාන්ස්" යනු මනහ්කල්පිත නගර රාජ්‍යයක් බව තරයේ සිහි තබා ගන්න.

පහත සබැඳි වලින් ඔබට කතාව පළවූ අනුපිළිවෙලට කියවියහැකිය.

සෙන්නා / 23.04.2017



2017.04.24 - එබෝලා රෝගියා | පළමු කොටස - ලේගෝස්, නයිජීරියාව

2017.04.25 - එබෝලා රෝගියා | දෙවන කොටස - කොන්ටෙයාන්ස්
2017.04.26 - එබෝලා රෝගියා | තෙවන කොටස - පලායාම සහ ලුහුබැඳීම
2017.04.27 - එබෝලා රෝගියා | සිව්වන කොටස - අසාධ්‍යය වීම



එබෝලා රෝගියා | සිව්වන කොටස - අසාධ්‍යය වීම

2016 බක් මස 21 වනදා


"ඇයි මොකද ? ප්‍රශ්ණයක්ද ?" පරිගණකයට හිස රුවාගෙන සිටි නෝල්, එක්වරම වැරෙන් සිය නළලතට දකුණතේ අල්ලෙන් ගසා ගන්නවා දු‍ටු නියෝජ්‍ය මෙහෙයුම් කළමනාකාර මාර්ක් මිත්වෙන්ඩර් ඇසීය. සිය දහ අට අවුරුදු වෘත්තීය අත්දැකීම්, පවතින වර්තමානය තත්ත්වය හා ගලපා ගත් විට, කපිතාන් ජෝන් ක්ලේටන්ගෙන් ලැබී ඇති මෙම පණිවිඩය ‍රැගෙන එන හිරිහැරයේ ප්‍රමාණය වටහා ගැනීමට නෝල්ට අපහසු නොවීය. කපිතාන්වරයා ලිපියෙන් මතුකර තිබූ බරපතලතාවය හේතුවෙන් යුහුසුළුව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් මතු වී තිබුණි.

"නැවේ උණ කාරයෙක් ඉන්නවා කියන්නෙ. කියන විධිහට ඔන්න මෙන්න වගේ."

"නෑහ්.. මොන නැවේද ?"

"චැලෙන්ජ් ඔෆ් ද ඕෂන්"

"හත්වලාමයි !! ලේගෝස් ඉඳල නේද එන්නේ ? එබෝලද දන්නෙත් නෑ!" මාර්ක් ඇසුවේ නළල ‍රැලි කරමිනි. තමන් එය නොදන්නවායි කීමට මෙන් තොල පෙරළා දෙවුර සැලූ නෝල් නැවතත් පරිගණකයට යොමු වූයේ ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සිත වෙහෙසවමිනි. නැවෙහි සියලු කාර්‍ය මණ්ඩලය සුවෙන් සිටිනවා යනුවෙන් වරායපතිවරයාට(1) හා වරාය සෞඛ්‍ය බලධාරිනට ඊයේ සිදු කළ දැනුම් දීම වෙනස් කිරීම, මුලින්ම කළ යුතුයැයි නෝල් තීරණය කෙළේය. ඒ අනුව වරායපතිවරයාට හා පර්යන්තයට යවන ලද විද්‍යුත් ලිපියට ඉහළින් යෑවූ තවත් ලිපියකින් නෝල් වර්තමාන තත්ත්වය වාර්තාකර සිටියේය. සෞඛ්‍ය බලධාරින් විද්‍යුත් තැපැල් සේවාවන් පරිහරණය නොකෙළෙන් ඔවුන් වෙත නැවතත් දෘඪ ලිපියකින් ඒ බව දන්වා සිටීමට නෝල්ට සිදු විය.

+++++

සාදය නිමවීය. එක් අයෙකුට හැර අන් සියල්ලන්ටම පාහේ එය ප්‍රීතිජනක අවස්ථාවක් විය. සාදයෙන් අනතුරුව සිය කුටියට වැදුණු කපිතාන් ජෝන් ක්ලේටන් කළයුතු අත්‍යවශ්‍යය කාර්යයන් කිහිපයක නිරත වීමෙන් පසු, සයනයට වූයේය. ගතෙහි වූ වෙහෙස විනාඩි පහක් ගත වීමටත් පෙර ඔහු කෙරෙහි නිදි දෙව්දුව ‍රැගෙන ඒමට සමත් වූ නමුදු ඒ සමඟින් නාදවූ දුරකථනය ඔහු නැවතත් පියවී ලෝකයට ගෙනවිත් අතහැරීය.

"මොකාද මේ කරදරකාරයා"යි සිතින් බණිමින් සයනයෙන් බැස ගත් ඔහු, නිදි මත සහ මද්‍යසාරයෙන් ඇති කළ මතෙහි සංකලනයකින් ඇති කරවනු ලැබ, නැවෙහි පැද්දීම මගින් තීවෘ කරනු ලැබූ දෙපසට වැනීමකින් යුක්තව දුරකථනය වෙත ගොස් එයට පිළිවදන් දුනි.

"කැප්ටන්....."

"කැප්ටන්, මම චීෆ් ඔ‍ෆිසර්, AB(2) ඉම්රාන්ට අසනීපයි. තත්ත්වය ටිකක් අසාධ්‍යයි වගේ..."

"ඇයි මොකද වෙලා තියෙන්නෙ ? මොකක්ද අසනීපය ?"

"කැප්ටන්, තදින් උණ තියනවා. උණ විකාරයෙන් දොඩවනවා."

"හරි ඔහොම ඉන්න, මම එන්නම්"

එයින් මොහොතකින් පසු කපිතාන් ජෝන් තවත් කිහිප දෙනෙකු සමඟ ඉම්රාන්ගේ කුටියෙහි සිටිනු දක්නා ලදී. ඉම්රාන් සිටියේ සිහියත්, අසිහියත් අතර තත්ත්වයකය. තද උණෙන් පෙළුණු ඔහුගේ මුහුණ සුදු මැලි වී තිබුණි. අසල සිටි කිසිවකුටත් තේරුම් ගැනීමට අපහසු වදන් මාලාවක් ඔහුගේ මුවින් නික්මුණු අතර විඳිමින් තිබූ වේදනාව මුහුණෙන් පිටතට දිස් වූයේය. නොනවතින කෙඳිරියක් සමඟින් ඔහු දෙපසට පෙරළෙමින්, දඟලමින් සිටියේය. කපිතාන් ජෝන් ක්ලේටන්, තමාට හිමිව තිබූ සීමිත වෛද්‍ය පුහුණුව(3) උපයෝගී කරගනිමින් රෝගියාව පරික්ෂා කර බැලීය. වැළඳී තිබූ රෝගය නිශ්චය කිරීමට තරම් ඔහුගේ දැනුම ප්‍රමාණවත් නොවූ අතර රෝගියාගේ තත්ත්වය අයහපත් යැයි හැඟී ගියෙන් ඔහු බාහිර සහය ලබා ගැනීමට තීරණය කෙළේය. රෝමයෙහි පිහිටා ඇති ජාත්‍යන්තර ගුවන් විදුලි වෛද්‍ය මධ්‍යස්ථානය (C.I.R.M)(4) ඇමතූ කපිතාන් ජෝන්, රෝගියාගේ තත්ත්වය වාර්තා කර සිටි අතර, ඔවුන්ගේ උපදෙස් අනුව යමින් ප්‍රතිකාර ක්‍රියාත්මක වුණි. ප්‍රථම බෙහෙත් වඩියෙන් අඩ හෝරාවක් යෑමට මත්තෙන් මද අස්වැසිල්ලක් ලැබූ ඉම්රාන්, ගැඹුරු නින්දකට පිවිසුනෙන් කපිතාන් ජෝන්ගේ ‍රැඳී සිටීම තවදුරටත් අවශ්‍ය නොවූ හෙයින් ඔහු එතනින් සිය කුටිය බලා නික්මුණි. රෝගියා අසල වරකට එක් අයෙකු බැගින් හුවමාරු ක්‍රමයට නතර වීමට ඉම්රාන්ගේ සගයන් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ ඔවුන් සතු අන්‍යෝන්‍ය සුහදතාවය පෙන්වමිනි.

කාලය දින තුනක් ඉදිරියට ගලා යන විට ඉම්රාන්ගේ තත්ත්වය යහපත් අතට පෙරළෙමින් තිබුණද තෙවන දිනයේ සිට නැවතත් වෙනසක් සිදු වෙමින් පැවතුණි. ආහාර ගැනීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කෙළෙන් ඔහුගේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් දුර්වල වන්නට වුණි. ඒ සමඟම ශ්වසන දුර්වලතාවයක්ද පෙන්නුම් කෙරුණි. වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලද උපදෙස් අනුව යමින් කපිතාන් ජෝන් විසින් ඉම්රාන් හට සේලයින් ද, කෘතිම ශ්වසනයද සැපයීය. නෞකාවෙහි සිදු කළ යුතු අනේක විද කාර්‍යයන් තිබුණද, කපිතාන් ජෝන් ඇතුළු කාර්‍යය මණ්ඩලය ඉම්රාන් කෙරෙහි අවධානයෙන් පසු වීම අත්හළේ නොමැත. සෑම විටම එක් අයෙකු නිතරම ඔහු අසල ගැවසෙමින් ඔහුගේ තත්ත්වය පරික්ෂාකර බැලීමට අමතක නොකළේය.

ලේගෝස් වලින් නික්මී සත්වන දින වන විට ඉම්රාන්ගේ තත්ත්වය තව තවත් නරක දෙසටම හැරෙමින් තිබුණි. මෙම කාලය පුරාවටම උණ බැසයාමක් නොවුණි. කොන්ටෙයාන්ස් වෙත තවත් දින දෙකක ගමනක් තිබුණි. රෝගියාගේ වත්මන් තත්ත්වය අණුව නිසි පරික්ෂාකිරීමක් හා ප්‍රතිකාර නොමැතිව එතරම් කාලයක් ඉම්රාන්ගේ ජීවිතය රඳවා ගත හැකිවේදැයි සැකයක් කපිතාන් ජෝන්ගේ සිතට වද දෙන්නට වූයේය. රෝගියාගේ ප්‍රගතියක් නොදු‍ටු තැන ඔහු තත්ත්වය සිය ප්‍රධාන කාර්‍යාලයට සහ කොන්ටෙයාන්ස් නියෝජිත වූ නෝල් වෙත දන්වා සිටියේය.


09.04.2015
සුබ දවසක් හිතවත් මහත්වරුනි !

AB ඉම්රාන් දින හතරක් තිස්සේ උණෙන් පෙළෙමින් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බව මෙයින් දන්වා සිටිමි. ජාත්‍යන්තර වෛද්‍ය මධ්‍යස්ථානයේ උපදෙස් අනුව යමින් ප්‍රතිකාර කළද මේ දක්වා ප්‍රගතියක් දක්නට නොමැත. කොන්ටෙයාන්ස් වෙත හැකි විගස ළඟා වීම සඳහා නැවෙහි වේගය වැඩි කිරීමේ අවසරය පතමි.

හිතවත් නෝල්,

නෞකාව පැමිණි විගස ගාල් කිරීමටත්, හැකි උපරිම විගසින් රෝගියාව රෝහල් ගත කිරීම සඳහා වූ කටයුතුත් සම්පාදනය කරන්න. අපතේ යන සෑම විනාඩියකින්ම ඔහුට ජීවිතය ඈත්කරවන බව සලකන්න. මෙය ඉතා හදිසි අවස්ථාවකි.

රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා නැවෙහි සියලු කාර්‍යය මණ්ඩලය දිවා රෑ වෙහෙසෙමින්, කළ යුතු සියල්ල කරමින් සිටිති.

ඔහුගේ විස්තර පහත පරිධි වේ.

නම : මොහොමඩ් ඉම්රාන් (අංක 13)
ජාතිය : ඉන්දුනීසියානු
ගමන් බලපත් අංකය : A8838126
තනතුර : AB

පිළිතුරු අපේක්ෂාවෙන්.

ස්තූතියි

කපිතාන් ජෝන් ක්ලේටන්
චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නෞකාව

+++++

නෝල් විසින් නෞකාවේ තත්ත්වය වාර්තාකරමින් යැවූ විද්‍යුත් ලිපියට, වරායපතිවරයාගෙන් ඇමතීම්, සුබපැතීම්, අත්සන් කිසිත් නොමැති තනි ඉරේ පිළිතුරක් ලැබුණි.

"කරුණාකර නෞකාව ගාල් කිරීමට ප්‍රථම, වරාය සෞඛ්‍ය ඒකකයේ නිශ්කාෂණය ලබා ගන්න."

මෙලෙස පිළිතුරු සපයන්නන්, තනතුරින් හිස උදුම්මවාගත් හිස් මිනිසුන් ලෙස නෝල් සැලකීය. උස්තැන් දැක හැකිලෙන්නේත්, මිටි තැන් දැක පුප්පන්නේත් මෙවැනි හිස් මිනිසුන්යැයි නෝල් සිතීය. මේ එවන් මිනිසුන් පිළිබඳ වද වීමට කාලය නොවේය. වහ වහා ලිපියක් සැකසූ නෝල් එය සිය සහායකයෙකු වූ ප්‍රින්ස් මගින් වරාය වෛද්‍යවරයා වෙතට යැවුණේ අදාළ නිශ්කාෂණය ලබා ගැනීම උදෙසාය.


+++++

කාර්‍යයබහුල ප්‍රධාන මාවතක් අසල ඇති තනි මහල් ගොඩනැගිල්ලකි. මෑතකදී නිමවා අවසන් කළ ගොඩනැගිල්ල සිය නවතාවය ප්‍රදර්ශනය කෙරෙමින් බැබළුනද, ගොඩනැගිල්ල පිහිටි ඉඩමෙහි ප්‍රවේශ ද්වාරය ගොඩනැගිල්ලට නොගැලපෙන තරමටම අබලන් වූයේය. එහි පියන් හරින විට නගන කිරි කිරි හඬ කිසිවකු වත්තට ඇතුල් වන්නේයැයි ගොඩනැගිල්ල තුළ සිටි අයවලුන්ට සෑමවිටම සන්නිවේදනය කරවූයේය. කෙසේවෙතත් මෙහි නිතරම යන එන මිනිසුන්ගෙන් ගහණ වූ බැවින් මෙම පියන් ද්විත්වය බොහෝ විට දෙපසට හැර දමා තිබුණි. දකුණු පස ද්වාර පියන සවිකර තිබූ කණුව අසලින්ම ඉහළට නැගුණු යකඩ බට දෙකකින් අරා සිටින සාමාන්‍යය ප්‍රමාණයේ නාමපුවරුවකි. එහි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක නමක් ලියවී තිබූ අතර වෛද්‍ය ෆොක්ස් ඉමෝටලියන් ලෙස එයට පහතින් පොඩි අකුරින් ලියවී තිබුණි. වරහන් තුළ ඔහුගේ සුදුසුකම් සඳහන්ව තිබුණි. එතනින් ඇතුල් වී ආලින්දයට ගොඩවූ විට එහි රෝගින්ට වාඩිවීම සඳහා වූ ආසන පේළියකි. එහි කාමර දෙකක් වූ අතර විශාල කාමරය රෝගීන් පරික්ෂා කිරීම සඳහා වූ අතර කුඩා කාමරය ඖෂධ නිකුත්කිරීම සඳහා වෙන්වී තිබුණි.

වෙලාව උදෑසන දහයත් පසු වී තිබුණි. උදෑසන හතට ඇරඹු රෝගීන් බැලීමෙහි කාර්යයෙයි වෛද්‍ය ඉමෝටලියන් තවමත් මහත් උනන්දුවෙන් නියුක්තව සිටිනු දක්නා හැකිය හැකි විය.රාජකාරියට වාර්තා කිරීම පමා වී තිබුණද, පැමිණ සිටින රෝගීන් ආපසු හරවා යැවීමට සූදානම් ඔහු නොවේය. පරික්ෂාකරමින් සිටින රෝගියාගේ රුධිර පීඩනය මැන බැලීමට අදාළ පටිය රෝගියාගේ අත වටේ දවටා, වෛද්‍ය නළාව කනේ රුවා ගත්තා පමණි, ඔහුගේ ජංගම දුරකථනය නාද වන්නට වීය. "පොඩ්ඩක් ඉන්න" යි කියමින් නළාව කණෙන් ඉවත් කළ වෛද්‍ය ඉමෝටලියන් "හේලෝ" යි දුරකථනයට ඇමතීය.

"ඩොක්ටර්, මම ප්‍රින්ස් කතාකරන්නේ"

"ඔව් ප්‍රින්ස්, කියන්න"

"ඩොක්ටර් මම හෙල්ත් ඔ‍ෆිස් එකේ ඉන්නෙ, ඩොක්ටර් දැන් එනවද?"

"තව ටිකක් වෙලා යයි ප්‍රින්ස්, ඇයි හදිස්සියක්ද?"

"ඔව් පොඩි හදිස්සියක්. අපේ නැවක් එනවා එකොළොස් වෙනිදා, ඒකෙ ඉන්නවා උණ කාරයෙක්. නැව එන්නේ නයිජීරියා ඉඳලා හින්දා, හාබර් මාස්ටර් කියනවා, පෝර්ට් හෙල්ත් ක්ලියරන්ස් එක ගන්න කියලා."

"එහෙමද ? එන්නේ නයිජීරියා ඉඳල නම් ප්‍රශ්නයක් තියනවා තමා. ඩොක්ටර් එඩ්වර්ඩ් ඉන්න ඕනා. නැද්ද ?"

"කව්රුත් නෑ ඩොක්ටර්. රවුන්ඩ්ස් ගිහින්ද දන්නෑ!"

 "හරි කමක් නෑ. මම තව පැයකින් එනවා ප්‍රින්ස්. ඔයාට එතකොට එන්න පුළුවන්ද?"

"හරි ඩොක්ටර් මම එහෙම කරන්නම්" දුරකථනය විසන්ධි වීය. 

හනික ඉතිරිව සිටි රෝගීන් පරීක්ෂාකර අවසන් කළ වෛද්‍ය ඉමෝටලියන් වහ වහා වරාය බල පිටත් වුයේ ‍රැකියාවට ඇති කැපවීමක් නිසා නොව ‍රැකියාවට ප්‍රශ්නයක් වේයැයි හැඟුණු බැවිනි. අමතර ආදායම් ඇති, රාජකාරී වේලාවන්හීදීත් පුද්ගලික ප්‍රතිකාර කිරීම මගින් මුදල් ඉපයිය හැකි මෙවන් ‍රැකියාවක් අහිමි කර ගැනීමට තරම් අඥානයෙකු නොවේය වෛද්‍ය ඉමෝටලියන්. ඔහු සිය වරාය කාර්‍යාලයට පැමිණෙන විටත්, ප්‍රින්ස් වෛද්‍යවරයා බලාපොරොත්තුවෙන් එතුළ අසුන්ගෙන සිටියේය.

"එන්න ප්‍රින්ස්. ඔයා ගිහින් නෙමේද ආවේ?"

"නෑ ඩොක්ටර්, මම හිටියා. බැරිවෙලා හරි අනිත් ඩොක්ටර්වත් ආවොත් මේක දෙන්න කියලා."

"කෝ ගන්න බලන්න." ප්‍රින්ස් අත තිබූ නෝල් විසින් එවන ලද ලිපිය ‍සියතට ගනිමින්ම ඔහු සිය අසුනට බරවිය. ලිපිය කියවූ වෛද්‍යවරයා පෑනේ පිට පැත්තෙන් සිය නිකටට තට්‍ටු දමමින් මද වේලාවක් කල්පනාවක නිමග්න වීය. මෙම අවස්ථාවෙහි කිසියම් මූල්‍යමය වටිනාකමක් ජනිත කරගැනීමෙහි හැකියාවක් පවතින බව සිය සහජ ඉව ඔස්සේ වටහා ගැනීමට ලිපිය දෙවරක් කියවීමට ඔහුට අවැසි නොවුණි. සිය වෛද්‍ය මධ්‍යස්ථානය වටා නිසි පරිදි ඉඳි කළ තාප්පයක් හා ප්‍රවේශ ද්වාරයක් ඉඳි කළ යුතු නොවන්නේදැයි නැවතත් ඔහු මෙනෙහි කළේ දෙතොල අග ‍රැදි මද සිනාවක්ද සමඟිනි. වෛද්‍යවරයා දෙස ඉමහත් උවමනාවෙන් බලා සිටි ප්‍රින්ස්, මෙම සිනහව වැරදි ලෙස කියැවීමේ ප්‍රතිඵලයක් ලෙස, අපහසුවකින් තොරව මේ දැන්ම වෛද්‍යවරයාගේ අනුමැතිය ගත හැකි වේයැයි උපකල්පනය කෙළේය.

"හ්ම්ම්..මට පේන විදිහට නම් අවුලක් නෑ. මොකද දැන් නයිජීරියා එබෝලා ලිස්ට් එකෙන් අයින් කරලා තියෙන්නෙ. මෙයාට එබෝලා නොවෙන්නත් පුළුවන්. ඒත් පරිස්සම් වෙන එක හොඳයි. මට මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඔ‍ෆිස් එකත් එක්ක ටිකක් චෙක් කරන්න ඕන. මම එහෙට මේක යොමු කරලා ඕගොල්ලන්ට උත්තරයක් දෙන්නම්. කවදද නැව එන්නේ?"

"අනිද්දා, එකොළොස්වෙනිදා රෑ."

"හරි මම ඊට කලින් කියන්නම්."

"ඩොක්ටර්, නැවට කලින් ගිහින් ලෙඩාව බලන්න ඕනද? එහෙම වුණොත් අපිට බෝට් එකක් ඇරෙන්ජ් කරලා තියාගන්න වෙනවා."

"ඒක තීරණය වෙන්නේ ලෙඩාගෙ රෝගය අනුව ප්‍රින්ස්. මේ කියන රෝග ලක්ෂණ අනුව මට නම් පේන්නෑ මෙයාට එබෝලා තියන වගක්. මම හිතන්නැ මේකෙදි එහෙම කරන්න වෙයි කියලා. කෝකටත් මම චෙක් කරලම කියන්නම්."



ලියුවේ;
සෙන්නා / 21.04.2016



පාද සටහන්
1. වරායපතිවරයා = Habour Master - මොහු වරායෙහි ප්‍රධානියෙකු වන අතර වරාය සීමාව ඇතුළත සිදුකෙරෙන සියලු නෞකා ගමන් කටයුතු මොහුගේ අධීක්ෂණය හා අනුමැතිය යටතේ සිදුවිය යුතුය. එම ගමන් කටයුතු ආරාක්ෂාකාරීව මෙහෙයවීම මොහු යටතේ ඇති කාර්‍යය මණ්ඩලයේ වගකීමයි. එම කාර්‍යයන් සඳහා යොදවා ඇති සේවකයන් සෘජුවම මොහු යටතට පත් වන අතර, නෞකා ගමන් පාලක මධ්‍යස්ථානය ද (Port Control) වරායපතිවරයා ගේ අණසක යටතේ ක්‍රියාත්මක වේ. මෙම තනතුර සඳහා කලින් යාත්‍රාකොට අත්දැකීම් සහිත කපිතාන්වරයෙකු පත් කිරීම ලොව පිළිගත් සම්ප්‍රදායෙකි.

2. AB = Able Seaman (වෙළඳ නෞකාවක ඇති තනතුරකි.)

3. ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කෙරෙන වෙළද නෞකා වල වෛද්‍යවරයෙකු නොමැත. එබැවින් සෑම කපිතාන් වරයෙකුටම ඒ සම්බන්ධ සුළු දැනුමක් සපයන අතර ආසන්නම වරායකට නෞකාව ළඟා වන තුරු අවැසි ප්‍රතිකාර සපයමින් රෝගියාගේ ජීවිතය ආරක්ෂාකර ගැනීමට අවැසි සියලු උත්සහයන් ඔහු විසින් ගත යුතුය.

4. කපිතාන් වරයාට රෝගියෙකු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අපහසු අවස්ථාවක මෙම ආයතනය ඔස්සේ නොමිලේ උපදෙස් ලබා ගත හැකිය. මෙය පැය විසිහතර පුරා, මුහුදු යාත්‍රා වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක වන සේවාවකි. වැඩි විස්තර මෙතනින් කියවන්න.

Wednesday, April 26, 2017

එබෝලා රෝගියා | තෙවන කොටස - පලායාම සහ ලුහුබැඳීම

2016 බක් මස 10 වනදා



ලේගෝස් වරාය සේවකයන් විසින් වතුරට අතහරිනු ලැබූ අවසාන නැව් කඹය වතුරෙහි ගිලී යනුත්, ඉන් මොහොතකට පසුව ජලයෙන් උඩට මතුව ක්‍රමානුකූලව නැව දෙසට ඇදී එන ආකාරයත් නැවෙහි අවර කොටසෙහි වූ වැට අසල සිටි ඉම්රාන් බලා සිටියේ අරමුණකින් තොරවය. ලේගොස් නගරයෙන් ඈත් වීම ඔහුගේ සිතෙහි මිශ්‍ර සිතුවිලි දාමයන් ජනිත කරවීමට සමත් වීය. අතෙකින් ඔහු භයානක උවදුරකින් පලායන්නෙකු සේ ලේගෝස් වෙතින් පලායමින් සිටියේය. එසේ පලායන අතරතුර ඔහුගේ සිතෙහි ඉපිද මියගිය අනේක විද වූ ලේගෝස් මතකයන් නැවත නැවතත් ඔහු ඒ කෙරෙහි ආකර්ෂණය නොකෙරුණේද නොවේ. තමන් සිටිනුයේ දුකින්ද, සතුටින්දයි යන්න නිශ්චිතව පැවසීමට ඔහුවත් සමත් වූයේ නැත. කෙමී වෙතින් ලැබූ පහස, වින්දනය යළි යළිත් ලැබීමට ඔහු ආශා කළ නමුදු, ඒ වෙනුවෙන් ගෙවීමට සිදුව ඇති වන්දිය ගෙවීමට ඔහු සූදානම් නොමැත. කලිසම් සාක්කුවෙන් සිය පසුම්බිය එළියට ඇද ගත් ඉම්රාන් , එතුළින් ලේගෝස් නගරයේදී භාවිතා කරණා සිම් පත එළියට ගත්තේය. වරාය දෙසට මුහුණ ලා, වැටෙහි යටි දාරයට දකුණු පාදය ඔසවා තබාගත් ඉම්රාන්, දෙ වැලමිට ආසන්න ප්‍රදේශය මගින් ශරීරයේ බර, නෞකා වැටට නිදහස් කර, ඉදිරියට ඇදෙන නෞකාව මගින් සිතුවම් කරනා දිය ‍රැලි දෙස බලා සිටියේ, සිම් පත දකුණතෙහි ඇගිලි අතර කරකැවෙමින් තිබියදීය. මොහොතක් අතීරණව පසුවූ ඉම්රාන් ඊළඟ නිමේශයේදී අතීරණයෙන් තීරණයකට පැමිණ සිය අතැඟිලි නිදහස් කෙළෙන්, කරකැවෙමින්, දගදමමින් සුළගේ පාවී පහතට ඇදී ගිය සිම්පත, අවසානයේදි නෞකාවේ දිය ‍රැළි සිතුවම අතර නොපෙනී සැඟව ගියේය. එලෙසින්, කෙමි හට ඔහු වෙත වූ එකම සම්බණ්ධය සිත් පිත් නැත්තෙකු සේ සිඳ බිඳ දැමුවේය. විශාල සුසුමක් පිට කොට "ගුඩ් බායි කෙමී" යි සිතින් මිමිනූ ඉම්රාන්, ආපසු හැරී කාර්‍යය බහුලව සිටි සිය සගයන් හා එක් වූයේය. එසේ යන අතරතුර, නුහුරු ශිතලක් ගත පුරා දැවටී සියුම් වෙව්ලිල්ලක් ඇති කරවූයෙන්, ශරීරය උණුසුම් කරගනු වස්, දෑත් එකිනෙක බැඳ කිටි කිටියේ තදකර ගැනීමට ඔහුට සිදු විය. "චැලෙන්ජ් ඔෆ් ද ඕෂන්" නෞකාව සිය ඊළඟ නැවතුම වූ කොන්ටෙයාන්ස් බලා ගමන් ආරම්භකර තිබුණාය.


+++++

එබෝලා ! තතු දත්තෝ නම ඇසූ පමණින් සලිත වන මාරාන්තික රෝගයෙකි එය. ඖෂධ සොයා ගැනීමට පෙර ලාදුරු රෝගයට දැක්වූ භීතියට වැඩි භීතියක් එබෝලා රෝගය කෙරෙහි වූයේ, එය මිනිස් තරල හා ශ්‍රාවයන් ඔස්සේ පහසුවෙන් බෝවන මාරන්තික රෝගයක් වූ හෙයින් හා ඒ වන විටත් නිශ්චිත ප්‍රතිකාරයක් නොවු බැවිනි. රෝග ව්‍යාප්තිය ඇරඹී වසරකුත් මාස කිහිපයක් පමණක් වන විට දස දහසකට ආසන්න පිරිසක් මරණයට ගොදුරු වීමෙන්ම එහි මාරාන්තික භාවය මොනවට විද්‍යාමාන වේ. බටහිර අප්‍රිකානු කලාපය සිසාරා සිය අණසක පැතිරූ එබෝලා, එහි දී දහස් ගණනින් ගොදුරුකර ගනිමින්, ලෝකයේ සෙසු කලාපයන්ට ද සිය අඩු පඬු විහිදුවන විට, "උන්ට වුණාට අපිට මොකද" වශයෙන් ඉවත බලා සිටි බහුතරයකගේ දෑස් විවරව වහ වහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමෙහි අවශ්‍යතාවය පැන නගින්නට වූහ. රෝගය පහසුවෙන් ලොව අනිත් කලාපයන් වෙත වහනය කරවිය හැකි වූ ජාත්‍යන්තර ප්‍රවාහණ මාධ්‍යන්, ගුවන්තො‍ටුපළ හා වරායන් ආශ්‍රිතව මෙම ක්‍රියාමාර්ග ගැනීම රෝගය පාලනය කිරීමෙහිලා ඉතා වැදගත් සාධකයක් විය. ඔබ හොඳින් හඳුනන අලස, නිද්‍රාශීලී කොන්ටෙයාන්ස්වරුන්, අශ්වයා පැනයාමට ඔන්න මෙන්න යැයි තිබියදී ඉස්තාලය වසා දැමීමට තීරණය කෙළෙන්, සිය වරාය හා ගුවන් තො‍ටුපළ හීදී එබෝලා මැඩලීමෙහි ආර්ක්ෂණ ක්‍රියාමර්ගයන් ගනු ලැබීය. ඒ වන විටත් එබෝලා වෛරසය කොන්ටෙයාන්ස් වෙත ළඟා වී නොතිබූ බැවින් වාසනාව ඔවුන් සමඟ වී යැයි සිතිය හැකිය.

+++++

හිතවත් කපිතාන් ජෝන් ක්ලේටන්,
සුබ දිනයක් වේවා !

ඔබ සහ කාර්‍යය මණ්ඩලය සුවෙන් වෙතැයි අපේක්ෂා කරමි. 

ඔබ දැනටමත් දන්නා පරිදි, එබෝලා රෝග ව්‍යප්තියෙහි තීවෘතාව උච්චව ඇති බැවින්, බටහිර අප්‍රිකානු කලාපයේ සිට පැමිණෙන නෞකා විෂයෙහි ලා කොන්ටෙයාන්ස් වරාය අනුගමනය කරනා වූ නව ආරක්ෂිත ක්‍රමවේදයෙකි. ඔබගේ නෞකාවද බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වූ නයිජීරියාවේ සිට පැමිණෙන බැවින්, කරුණාකර පහත ඉල්ලා ඇති විස්තර සපයා සිටීමට කාරුණික වන්න. මෙම තොරතුරු කොන්ටෙයාන්ස් වරාය බලධාරින් වෙත, නෞකාව පැමිණීමට ප්‍රථම අප විසින් සැපයිය යුතු බව සලකන්න.

1. ඔබ ඇතුළු නෞකා කාර්‍යය මණ්ඩලයෙහි සෞඛ්‍ය තත්ත්වය.
2. අවසාන බටහිර අප්‍රිකානු වරායෙන් පිටත් වී පැය 24ක් ඇතුළත ලබාගත්, සියලුම කාර්‍යය මණඩලයේ ශරීර උෂ්ණත්ව වාර්තාව. කරුණාකර, කොන්ටෙයාන්ස් වරායට පැමිණීමට දිනකට පෙර උෂ්ණත්ව වාර්තාවද ඒ අනුව ඉදිරිපත් කරන්න.
3. මේ සමඟ අමුණා ඇති ලියවිල්ල සම්පූර්ණ කර එවන්න.

පිළිතුරු අපේක්ෂාවෙන්.

ස්තූතියි.

නෝල් ආමිජම්
කළමනාකරු - මෙහෙයුම්
02.04.2015 


+++++

ලේගෝස් වරායෙන් නැව නික්මී, වරාය නියමුවාද එයින් බැස ගිය පසු, වරාය සීමාවෙන් නැව ඉවත් වන තෙක් කපිතාන් ජෝන් ක්ලේටන් පාලන කුටියෙහි ‍රැදී සිටියේය. නෞකාව නිසි මාර්ගයෙහි පිහි‍ටුවා, සියල්ල යහපත් බව තහවුරු කරගත් පසු, සිය දෙවන නිලධාරියාට ප්‍රධාන පාලන කුටිය භාර කළ කපිතාන්වරයා සිය කුටියට වැදුණේ සැකසිය යුතු ලියකියවිලි රාශියක් වූ බැවිනි. නූතන වෙළඳ නෞකාවක කපිතාන්වරයකුගේ කාර්‍යය බොහෝ දුරට ලිපිකරුවකුගේ තත්ත්වය්ට පත්ව ඇතැයි එසේ පැමිණෙමින් ඔහු සිතයි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මුතීන් වැඩි වන්න, වැඩි වන්න කපිතාන්වරුන් හට ලියකියවිලි අරභයා වෙහෙසීමට වන කාලය බෙහෙවින්ම වැඩි වී තිබේ. සෑම වරායකින්ම ඉදිරිපත් වන නා නා ප්‍රකාර වූ පත්‍රිකා, ලියකියවිලි සංඛ්‍යව අති මහත්ය. මෙම ලියකියවිලි නිසි කලට නොසැපයිම, නෞකාව වරායට ඇතුල් කර ගැනීමට බාධාවක් විය හැකිවා සේම විටෙක එය විශාල දඩයකට යටත් වීමට ලක්වන කාරණාවක්ද විය හැකිය.

කාලගුණය ඉතා යහපත් වූයෙන් නෞකාව අඩුම තරමින් දෙපසටවත් නොවැණෙමින් දිය තලය කපාගෙන ඉදිරියට ඇදෙමින් තිබිණි. සිය කුටියේ වූ කවුළුවෙහි තිරය මෑත් කර පිටත බැලූ කපිතාන් ජෝන් යහපත් කාලගුණය පිළිබඳ සිතින් ප්‍රීති විය. නෞකාවෙහි වත්මන් වේගය නාවික සැතපුම් 15ත් 16ත් අතර අගයක් විය හැකි බව ඔහු සිතින් ගණනය කර බැලීය. සමාගමෙන් දී ඇති උපදෙස් අනුව ඔහුට එය නාවික සැතපුම් 17 දක්වා වේගය වැඩි කිරීමට අවසර තිබිණි. සිතින් ගණනය කිරිමක යෙදුණු කපිතාන්වරයා හට, නෞකාව එම වේගයට ළඟා වීමට තව කොපමණ වේලාවක් ගනීවිදැයි යන්න තීරණය කිරීම අපහසු නොවුණි. පළපුරුදු, දක්ෂ, අත්දැකීම් බහුල කපිතාන්වරයෙකු වූ ඔහුගේ ගණනය කිරිම් බොහෝ විට ආසන්න අගයටම නිවැරදි වුණි. කපිතාන් ජෝන් ක්ලේටන් වනාහී සමාගම් ප්‍රධානින්ගේ අති මහත් ගෞරවයට පාත්‍ර වූවෙකි.

ලේගොස් හී දී කාර්‍යය බහුල වූයෙන්, ඔහුට සැලකිය යුතු වේලාවකින් සිය විද්‍යුත් තැපෑල පරික්ෂා කිරීමට නොහැකිව තිබූ හෙයින් කපිතාන් ජෝන් ගේ ප්‍රථම කාර්‍යය වූයේ එය පරික්ෂා කර බැලීමයි. ඒ අතර තිබූ, සිය ඊළඟ නැවතුම වූ කොන්ටෙයාන්ස් වරායේ නියෝජිතයා වන නෝල් ගෙන ලැබී තිබූ ලිපියද ඔහුගේ ඇස ගැ‍ටුණෙන්, නෞකාවෙහි සියල්ල යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් අනෙක් ඉල්ලා ඇති විස්තර යථා කාලයේදි ලැබීමට සලස්වන බවත් දන්වා පිළිතුරු සැපයීය. සිය ලිපිකරු තනතුරට අදාළ කාරණා ක‍ටුයුතු කෙරෙහි මහත් උනන්දුවෙන් යෙදී සිටි කපිතාන් ජෝන් හට, වරින් වර අඩවන් වූ නේත්‍රා යුග්මය, පසුගිය පැය විසි හතර පුරාවට ඔහු නිදාගෙන ඇත්තේ පැය හතරක් පමණ බව සැලකර සිටියෙන්, සිය කාර්‍යය මදකට නතර කොට දෑත් දෙපසට විහිදුවා හිරි හැර ගත් කපිතාන් ජෝන්, කෙටි විවේකයක් ලැබීමේ අරමුණින් සිය සයනයට වැදුණි. 

+++++


ලේගෝස් වලින් නික්මී තෙවන දිනය උදා වූයේ ඉරිදාවකටය. එය පාස්කු ඉරිදා වූ හෙයින් සුවිශේෂී විය. "චැලෙන්ජ් ඔෆ් ද ඕෂන්" හී කාර්‍යය මණ්ඩලයෙහි බහුතරය ක්‍රිස්තියානි ආගමිකයන් වූ බැවින්, එය සැමරීම උදෙසා නැව මත සාදයක් සැලසුම් කිරීමට කපිතාන් ජෝන් අදහස් කරගෙන සිටියේය. විශේෂ අවස්ථා අරබයා මෙලෙස සාදයන් දැමීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර ඒ තුළින්, සිය නෑදෑ හිත මිතුරන්ගෙන් වෙන්ව, ඉමක් නොපෙනෙනා ජල තලයක හුදෙකලාව වසනා ඔවුන් ගේ පාළුව කාන්සිය මගහරවා ගැනීමට ලැබෙන නිසා, සියලු දෙනා පාහේ එවන් අවස්ථා සඳහා උද්යෝගයෙන් සහභාගී වෙති. නෞකාවක සාදයක් දැමීමට ගැලෙපෙන අපූරු සන්ධ්‍යාවකි එය. "නුඹලාගේ සතුටට අපි බාධා නොකරන්නෙමු" යි ඉටා ගත්තාක් මෙන්, සයුරු තෙමේ නිශ්චල වී සිටීයෙන්, නැවියනට සාදයකට අවැසි මානසික නිරවුල් බව උපරිමයෙන් හිමිවී තිබිණි. මුහුද ප්‍රචණ්ඩ වූයේ නම් සාදය පසෙක තබා, නැවෙහි ආරාක්ෂාව වෙනුවෙන් සූදානම් ශරීරයෙන් පසු වීමට ඔවුනට සිදු වනු ඇත. කෙසේ වෙතත් එදින ඉම්රාන් ට එතරම් සුබ දිනයක් නොවුණි. අවදි වූ වේලේ පටන් ශරීරය පෙළනා අමුතු කෙඩෙත්තුවකින් ඔහු පීඩා විඳි අතර මද උණ ගතියක්ද වූයෙන් වේදනා නාශක පෙති කිහිපයක් ද ලබාගෙන තිබුණි. ඒ පිළිබඳ එතරම් නොතැකූ ඔහු, නැවෙහි එදිනෙදා සාමාන්‍ය කටයුතු වලට අමතරව සාදය සඳහා ද සිය දායකත්වය උපරිමයෙන් ලබා දුනි.

සවස පහ වන විට, එකුන් විසි දෙනෙකුගෙන් සමන්විත වූ කාර්‍යය මණ්ඩලයෙන්, පවත්වා ගත යුතු අත්‍යවශ්‍ය සේවා සඳහා වෙන් වූ හත් දෙනෙකු හැර අන් සියල්ල සාදය පවත්වන ස්ථානයට රොක් වූහ.සියල්ල නිසි පරිදි සූදානම් වී තිබූයෙන්, කපිතාන් ජෝන් ගේ ආගමනයත් සමඟින් සාදය ආරම්භ වීය. බැටළු, සූකර, ගව, කළුකුම් ආදී නා නා ප්‍රකාර මාංශයන් විවිධ ක්‍රමයනට සකසා තාවකාලිකව සැකසූ උත්සව මේසය මතට වඩම්මවා තිබුණි. එයට අමතරව විවිධ වූ පලතුරු වර්ගද, සලාද වර්ගයන්ගෙන්ද එම උත්සව මේසය සම්පූර්ණව පැවතියෙන්, එය තරු පහේ හෝටලයක උත්සව මේසයක් හා කරට කර සිටීමෙහි හැකියාව ප්‍රදර්ශනය කර සිටියේය. පසෙකින් තනා තිබූ පැලහුම් උදුනෙහි, ඒ වන විටත් පැලහෙමින් තිබූ බැටළු මස් ගාතයකින් නික්මුණු පිළිස්සුම් සුවඳ, සහභාගීවුවන්ගේ ආහාර රුචිය වැඩි කිරීමෙහි ලා සමත් වී තිබිණි.

පුරවා ගත් මධු බඳුන් ඉහළට ඔසවා එකිනෙකාට සුබ පතාගත් ඔවූහු, ආරාධිතයන් නොමැති මේ අපූර්ව සාදයේ ආරාධිතයන්ව එය භුක්ති විදිනු ලැබූහ. සංගීතයක් නොමැතිව සාදයක් අරුත්බර නොවනා බැවින් සංගීතයට හැකියාවක්, රුචිකත්වයක් දැක්වූවෝ ස්වෙච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත් වූයෙන්, සාදය එම අංගයෙන්ද පරිපූර්ණත්වයට පත්ව තිබුණි. සංගීතය සැපයූවෝ සිය ජාතික අනන්‍යතාවයනට අනුව ගීත ගැයීමෙහි, වැයීමෙහි යෙදුනද, සංගීතය විශ්වීය භාෂාවක් වූයෙන්, අන් අය එය සිය සතුටට බාධාවක් නොව රුකුලක්ම කරගත්හ. නා නා ප්‍රකාර ජාතින්, නා නා ප්‍රකාර ආගමිකයන් එක්ව පවත්වනු ලබන මේ අපූර්ව සාදය, මිනිසා යනු, විවිධ මතවාදයන්ගෙන් හා විශ්වාසයන්ගෙන් බෙදී වෙන්ව සිටියද, එකෙක්ම බව පසක් කරනා අපූර්වත්වයකින් යුක්ත වීය.

මෙසේ උත්සවාකාරයෙන් සාදය පැවැත්වෙමින් තිබෙනා විට, ඉම්රාන් ගේ තත්ත්වය ක්‍රමයෙන් නරක දෙසට හැරෙමින් තිබිණි. පසු ගිය දින දෙක පුරාවට මද වශයෙන් වරින් වර මතු වූ උණ තත්ත්වය, අද දිනයේ තදබල ලෙසින් නැගෙනා බව ඔහු නිරීක්ෂණය කෙළේය. මේ දක්වා ඔහු වැඩෙහි යෙදී තිබුණේ වේදනා නාශක පෙති මගින් එය යටපත් කරමින්ය. නමුත්, සාදය පවත්නා වේලෙහි, උණ නැවතත් මතුව ආ අතර එය පෙර වාරයනට වඩා ප්‍රබලද වූයේය. එයට අමතරව දරුණු අභ්‍යන්තර ශීතලකින් ඔහු පීඩා විඳි බැවින්, දත් ඇඳි කට කට අනුකරණයෙන්  එකිනෙක  ගැටෙමින් ගැහෙමින් තිබිණි.  සාදය පැවැත්වෙන ස්ථානය මුහුදු සුළග වදින විවෘත ස්ථානයක් වූයෙන් ඔහුගෙ තත්ත්වය තවත් අයහපත් කරවූයේය. තමාට තවදුරටත් එම ස්ථානයේ ‍රැඳී සීටීමට නොහැකි බව වටහා ගත් ඉම්රාන්,  අසල සිටි සගයාට තමාගේ තත්ත්වය පවසා එතනින් නික්මී සිය කුටියට වැද ගත්තේය. 


 වේදනා නාශක පෙති දෙකක් අසිහියෙන් මෙන් මුව තුළට විසිකර ගත් ඉම්රාන් වතුර උගුරු දෙකකින් එය කුසට තල්ලුකර දමා, සයනයට වැද පොරෝනයෙහි ගුලි වූයේය. එතුළින් ලද උණුසුම මද වශයෙන් ඔහුගේ වෙව්ලිල්ල පාලනය කළද එය තාවකාලික ප්‍රතිකර්මයක් බව ඔහු නොදැන සිටියා නොවේ. ඔහු බිය වූයේ එක් දෙයකටය. ඒ, තමා පැතිරෙමින් තිබූ එබෝලා රෝගයෙහි ගොදුරක් වේ දෝයි යන සැකයයි. එහෙත් තමා එබෝලා රෝගයෙහි ගොදුරක් වීමට ඇති ඉඩ ප්‍රස්ථා ඉතා අල්ප බව ඔහුට වැටහුණි. තමා සේවය කරනා නෞකාව බටහිර අප්‍රිකාවට පැමිණියේ මාස තුනකට පමණ පසුවය. ඒ අතරතුර තමාට එබෝලා ශරීර ගතවීමේ හැකියාවක් නොමැති බැව් ඔහු සිතින් ගණනය කර බැලීය. තමන් මෙවර ලේගොස් හී දී නෞකාවෙන් පිටතට නොගිය බැවින් රෝගය තමා වෙත පැමිණීමෙහි අවදානමක් නොමැති බව ඔහුට වැටහුණි. සිදුවිය හැකි එකම දෙය නම්, නැවට ගොඩ වූ, රෝග වාහක නයිජීරියානු ජාතිකයෙකුගෙන් තමාට රෝගය වහනය වීමයි. ඒත් ඒ සඳහා ආරක්ෂිත ක්‍රමවේදයන් නොවුනේදැයි ඔහු තමාගෙන්ම විමසා සිටියේය. කෙතරම් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනු ලැබුවද, එවැන්නක් නොවේයැයි කිසිවකුටත් සහතිකයක් දිය හැකි නොමැති බවද ඔහු හොඳින් දැන සිටියේය. ඔහු කලින් දැක තිබූ එබෝලා රෝගීන්ගේ ඡායාරූපයක් සිහියට නගා ගත්තෙන් ශරීරය පුරා දෙහි ගෙඩි වැනි ඉතා විශාල ගඩු වලින් පිරීගිය, ශරීරය ඉදිමී විරූපී වී ගිය එම රෝගීන් පිළිබඳ මතකය ඉම්රාන්ව වෙව්ලුවා දැමීය. තමා එවැනි තත්ත්වයකට පත්වී මෙම සයනයෙහි වැතිර සිටින ආකාරයත්, කිසිවකුත් තමා අසලට නොඑමින් තමාගෙන් පැන දුවනා දර්ශනයත් ඔහු සිතින් මවාගෙන බිය වීය. එවැන්නක් සිදු වුවහොත් නෞකාවට හා එහි සගයනට ද විඳීමට සිදුවනා හිරිහැරය සුළුප‍ටු නොවනා බැව් ඉම්රාන් දැන සිටියේය. අනුලෝම ප්‍රතිලෝම වශයෙන්, ඉහළ පහළ ගිය විශාල ස්වයං ප්‍රශ්න කිරීම්, පිළිතුරු සැපයීම් මාලාවකින් පසු, තමා පීඩා විදින්නේ එබෝලා රෝගයෙන් නොව, වෙනයම් වූ රෝගයකින් යැයි සිය හිතට ඒත්තු ගැන්වීමට සමත් වූ ඉම්රාන් මද ඉසිඹුවක් ලද්දෙන්, දෑස් පියා ගැනීමට උත්සහා කෙළේය.

දෑස පියවී එනවාත් සමඟම නෞකාව විශාල රලකට හසු වී ඉහළ පහළ යනු ඉම්රාන්ට දැනුණි. එතරම් සංසුන්ව තිබූ මුහුද මෙතරම් කැලබුණේ මන්දයි ඔහු අසිහියෙන් මෙන්ම සිතුවේය. ඉන්පසු තමා සයනයත් සමඟම භ්‍රමණය වන ආකාරය ඉම්රාන්ට දැනුණි. එක් වරක් කරකැවී එය නතර වේ යැයි ඔහු අපේක්ෂා කළද, නොනවත්වා ඔහු සයනය සමඟම භ්‍රමණය වන්නට වූයේය. වට කිහිපයක්ම එසේ කරකැවීමෙන් අනතුරුව නෞකාවෙහි ඇණිය මුහුද ඇතුළට කිඳා බසින්නට වූ අතර කිසියම් වූ උපද්‍රවයකට හසු වූ නෞකාව,  ගිලාබසිමින් තිබෙන බව දැන්නම් ඉම්රාන්ට නිසැකය. ඔහු හැකි වෙර යොද කෑ ගැසූ නමුදු, කිසිඳු හඬක් පිට නොවුණි. සයනයෙන් බැස පැනයාමට ඔහුට උවමනා වුවද එයට තබා බැඳ ඇති සේය. ඔහු කැගැසීමේත්, සයනයෙන් පැන දිවීමෙත් අනවරත අරගලයක නිරතව සිටිනා විට, සිය කුටියෙහි වූ වා කව්ළුව බිඳ දමාගෙන තමා වෙතට පැමිණෙන ඒ විශාල ජලකඳ දෙස ඉම්රාන් භීතියෙන් මුසපත්ව බලාසිටියේය. ඊ ළඟ නිමේෂයේදී ඉම්රාන් සිටියේ මහා සාගරය මධ්‍යයේය. නෞකාවක සලකුණකුදු නොවූ අතර ලෑලි කෑල්ලක ආධාරයෙන් ඔහු නොගිලී සිටියේය. විශාල දත් ඇති මොරුන් ඔහු වටා කරකැවෙමින් සිටිය ද ඒ එකෙක්වත් ඔහුව සපා කෑමට තරම් එඩිතර නොවූ බව ඔහු දිටීය. දෙහිගෙඩි තරම් වූ විශාල කළු පැහැති ගඩු ඔහුගේ දෑත් වසා පැතිර තිබූ අතර සිය මුහුණෙහිද එවැනිම වූ ගඩු හටගෙන ඇති බව ඔහු දැනගත්තෙ ස්පර්ශයෙනි. ලෑලි කැබැල්ලකින් පමණක් සන්නද්ධව, දසතින් මිනී කණ මෝරුන් පිරිවරා මහා සයුරක අතරමංව සිටි ඉම්රාන්, තමන් මුහුණ දී සිටි එම අනතුර බෙහෙවින්ම ලඝු කොට, තමා එබෝලා රෝගයෙහි ගොදුරක් වීමේ භීතිය නිසා කෑගැසීමට උත්සහා කරමින් සිටියේය. තමා මෙතරම් වීරිය දමා කෑගසනා විටත් හඬ පිට නොවන්නෙ මංදැයි ඉම්රාන් මොහොතකට මවිත වීය.

මොරුන් විසින් තල්ලු කරනු ලැබූ ලෑලි කෑල්ලෙහි නැගී වෙරළට තල්ලු වී ආ ඉම්රාන් ව ආදරයෙන් පිළිගැනීමට එහි දී කෙමි සිටියාය. තමාගේ නැව අනතුරට පත් වූ බවත්, තමා එබෝලා රෝගයට ගොදුරු වී ඇති බවත් ඉම්රාන් කෙමී වෙත හඬමින් සැලකර සිටි අතර එයට පිළිතුරු වශයෙන් තමාට එය ප්‍රශ්නයක් නොවන බව ඇය පවසනු ඉම්රාන් මවිතයෙන් බලා සිටියේය. තමාට මෙතරම් ආදරය කරණා මේ කාන්තාවට තමා කෙතරම් ද්‍රෝහී වූයේදැයි හැඟුණු බැවින් වහා ඇය වෙත පැන ඇය තරයේ වැළඳ ගත්තේ ඉම්රාන්මය. එසේ වැළදගෙන සිටිනා විට, කෙමී ක්‍රමයෙන් පොඩි වී යන අයුරුත්, අලුත උපන් බිළිඳු දරුවකුව තමාගේ දෑත් මත කෑගසන අයුරුත්, එසේ කෑගසනා ළදරු කෙමී හට තමාගේ ස්වරූපය තිබෙනවාත් දු‍ටු ඉම්රාන් ගේ දෑස් විසල්ව පිටට පැනීමට තරම් ඔහු පුදුමයට පත්වීය. 

විවාහ උත්සවයෙකි. යුවති පතීන් යුවළ දෙපසින් අවුරුදු දහයක හා දොළහක වයස් ප්‍රමාණයන් ගෙන් යුතු ගැහැණු ළමෝ දෙදෙනෙකි. මනාලයා ඉම්රාන්ය. මනාලියගෙ මුහුණ වසා ඇති බැවින් ඉම්රාන් හට ඇය හඳුනාගත නොහැකි වුණි. ගැහැණු ළමෝ දෙදෙනා මනාලියට අම්මා යයි අමතනු ඉම්රාන් බලා සිටියේය. කිසිවකුට නොතේරෙන ලෙස මොන මොනවාදෝ මිමිණු විවාහ ලියාපදිංචිකරුවා අවසන, මනාලියගේ වේල් පට ඉවත් කරනා ලෙස මනාලයා වූ ඉම්රාන් හට දන්වා සිටි බැවින් ඔහු කුතුහලයෙන් යුතුව සෙමෙන් සෙමෙන් අණට කීකරු වුයේය. හුරුපුරුදු මුහුණකි !  එහෙත් එය එබෝලා රෝගයෙන් විරූපි විය ගිය මුහුණකි. ! හඳුනා ගැනීමට මදක් අසීරු වුවද ඒ කෙමී බව හඳුනා ගත් සැණින් ඉම්රාන් යටිගිටියෙන් බෙරිහන් දීමට පටන් ගත්තේය. කෙමී, එබෝලා රෝගියෙක්ව තිබුණාය.



ලියුවේ:
සෙන්නා / 10.04.2016


Tuesday, April 25, 2017

එබෝලා රෝගියා | දෙවන කොටස - කොන්ටෙයාන්ස්

2016 බක් මස 01 වනදා

එබෝලා රෝගියා | පළමු කොටස - ලේගෝස්, නයිජීරියාව

මෙයින් සියවස් කිහිපයකට පෙර, මේරි තෙරේසා නම් වූ කන්‍යා සොයුරියකගේ ඊනියා සත්‍යවාදී බව වෙනුවෙන්, ක්‍රිස්තියානා නම් වූ අහිංසක අසරණ කාන්තාවක් සිය දිවි පූජා කළ කොන්ටෙයාන්ස් නගරය ඔබට මතකද? නොනැවතී භ්‍රමණය වන ධරණි තලයෙහි වසන සියල්ලන්ටම පොදු සදාතනික ධර්මතාවයන්ට හසු වෙමින්, අනේක විද හැල හැප්පීම්, සිද්ධි දාමයන් ඔස්සේ කොන්ටෙයාන්ස් නම් වූ ඇය, අද පවතින ස්ථානයට පැමිණ සිටියාය. යුරෝපයේ ඈත කොනෙක හුදෙකලාව පිහිටා තිබුණද, මුලින් යුරෝපය හරහාත්, පසුව මුලු ලොව පුරාත් හමා ගිය පුනරුදයේ බලපෑමෙන් ඇය පමණක් කෙසේ ගැලවී සිටින්නද? එනයින් නව සියවසකට පා තැබීම, වසරකට පෙර සිදු කළ ක්‍රි.ව. 2000 දි ඇය සැලකිය යුතු දියුණුවක් ලබා සිටියාය. එය සමාජ, ආර්ථික, දේශපාලන, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී මෙකී නොකී සියලු අංශ කෙරෙහි බලපෑ වෙනසකි. කොටින්ම, වර්තමාන කොන්ටෙයාන්ස් හීදී දේව මෙහෙයකින් පසු මිනිසුන් එල්ලා මැරීම වැනි තිරශ්චීන දර්ශන දැකීමට ඔබට නොහැකි වනවා ඇත. එහෙත් මහදවාලේ කෙරෙන මංකොල්ලයන්ද, මිනිස් ඝාතන වලින්ද, ස්ත්‍රී දූෂණ, ගබ්සා කිරීම්, අපචාර, සංහාර, වංචා, මැරකම්, තක්කඩිකම්, පගා ගැහීම්, අල්ලස් ගැනීම්, කප්පම් ගැනීම්, ගස් බැඳීම්, දණ ගැස්සවීම වලින් ඇය සම්පූර්ණව ප්‍රවීණත්වයක් ලබා සිටියාය. එදා කොන්ටෙයාන්ස් හී අහිංසක ජනතාව ප්‍රසිද්ධියේ කෙරෙන එල්ලා මැරීම් වලින් ලද රහසිගත සතුට මිශ්‍ර ආනන්දය, වර්තමාන කොන්ටෙයාන්ස් ජනතාව මෙම සිදුවීම් ඔස්සේ ලබන්නට පුරුදුව සිටියහ. සිය, අහිංසක, සුචරිතවාදි ජනතාවගේ මෙම අහිංසක මනදොළ කෙරෙහි මනා අවබෝධයකින් සමන්විත වූ කොන්ටෙයාන්ස් හී  ඊනියා ජනමාධ්‍ය, එම සිදුවීම් පුනරුච්චාරණය කෙරෙමින් සිටියේ ජනතාවගේ සතුට සිය ලාභය වූ බැවිනි. ජනතාවගේ සතුට සිය පරම සැපය සේ සැලකූ කොන්ටෙයාන්ස් පාලකයන් විසින් මෙම අවකල් පාලනය කිරීමෙහි ලා උත්සුක නොවුයේ හුදෙක් ජනතාවගේ සතුටට බාධා කිරීමේ පාප කර්මයෙන් ගැලවීම සඳහා මිස තමන් හට ඒ සඳහා වූ නොහැකියාව නිසාවත්, ඒ වෙත ඇති තමන්ගේ සබදකම් නිසාවත් නොවුණේය. වත්මන් කොන්ටෙයාන්ස් හී තත්ත්වය එසේයැ.


කොන්ටෙයාන්ස් වරාය, කලාපයේ ප්‍රමුඛ ස්ථානයක් දිනූ වරායකි. නගර රාජ්‍යයක් වූ කොන්ටෙයාන්ස් වෙතින් එතරම් අපනයන සිදු නොකෙරුණ ද කලාපයේ අනෙකුත් රටවල් වෙතින් එන භාණ්ඩ ප්‍රති අපනයන කේන්ද්‍රස්ථානයක් ලෙස ඇය විරුදාවලියක් ලබා සිටියාය. පාලකයන්ගෙ අවධානය නිසි පරිදි, නිසි කල්හී ඇයගේ දියුණුව සඳහා යොමු වූයේ නම් ඇය අද සිටින තත්ත්වයට වඩා බොහෝ ඉදිරියෙන් සිටීමට ඉඩ තිබුණි. එහෙත් අමන, තකතීරු දේශපාලන තීන්දු වලට පින්සිදු වන්නට, මෙම කතාවට පාදක වන ක්‍රි.ව. 2000 දී ඇය, සිය පණ නල ගැට ගසා ගැනීමෙහි අරගලයක නිරතව සිටින්නීය. අල්ලස, දූෂණය පිළිකාවක් සේ ඇයගේ කේශනාලිකා දක්වා විහිදී තිබුණි. අතෙහි ඇඟිලි ගනනටත් වඩා අල්ප වූ අවංක ඉහළ නිලධාරින් කිහිප දෙනෙකු හැරුණ කොට, ඉහළ සිට පහළ දක්වා වූ අති බහුතර සේවක පිරිසක් මෙම අල්ලස් පිළිකාවෙහි ගොදුරු බවට ස්වකැමැත්තෙන්ම පත්ව සිටියහ.එයට එරෙහිව ගනු ලබන ඕනෑම ක්‍රියා මාර්ගයක් අවසන් වනුයේ තර්ජනාත්මක වැඩ වර්ජනයකිනි. සිටිය යුතු සේවක පිරිස මෙන් තුන් ගුණයකටත් වැඩි සේවක පිරිසක් සිටි මෙහි, කාර්යක්ෂමතාවය ඉතා දුර්වල වීය. සිංගප්පූරුව, හොංග් කොංග්, රොටර්ඩෑම් ආදී ලොව ප්‍රමුඛ වරායන් එම අවදිය වන විට දොඹකරයකින් පැයකට බහලු 30ක් හෝ ඊට වැඩි කාර්යක්ෂමතාවයක් පෙන්වන විට, කොන්ටෙයාන්ස් හී තත්ත්වය 10ක් පමණ විය. ඒ ද විශාල සංතෝශම්, දිරි දීමනා ගෙවීමකින් අනතුරුවය.

පසුගිය සතියෙහි තමන් මෙහෙයවූ නෞකාවෙහි කාර්යක්ෂමතාවය වැඩිකරගැනීමෙහි ලා තමන් සිදු කළ උත්සාහයේදි, එම රාත්‍රියෙහි රාජකාරි භාරව සිටි පර්යන්ත නිලධාරියා හා සිදු වූ අමිහිරි කතාබහ නෝල් ආමිජම් සිහි කරනුයේ ඉමහත් පිළිකුලකිණි. නැවෙහි කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහා වූ පර්යන්තයේ වගකීම තිබියදී, එම නිළධාරියාගේ නිර්ලජ්ජිත ක්‍රියා පිළිවෙත ගැන ඔහුට මවිත වී සිටිය නොහැකි විය. නැවෙහි භාණ්ඩ මෙහෙයුම සඳහා යොදවා තිබූ ට්‍රක් රථ වල අඩු වීමක්, මෙහෙයුම අධීක්ෂණය කරමින් සිටි නෝල් ගේ අවධානයට යොමු වීය. ඔහු ඒ බව මතු සඳහන් නිලධාරියාට වාර්තා කළ විට, නෝල් ගේ  දෑස් උඩ යන අපූරු පිළිතුරක් එම නිළධාරියාගෙන් ලැබුණි.

"එහෙනම් ඉතින් ඕගොල්ලන්ගෙ පැත්තෙන් වෙන්න ඕනා යුතුකම් හරියට වෙලා නැතුව ඇති." යි එම අමන නිළධාරියා තොලේ කටෙහි නොගෑවී පවසනු නෝල් බලා සිටියේ මවිතයෙනි. පර්යන්තයේ කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමෙහි ලා නෞකා සමාගම් වෙනුවෙන් එම සමාගම් හී දේශීය නියෝජිතයන්, වරාය සේවකයන් වෙත දිරි දීමනා ගෙවන බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් ඒ මත තම වගකීම දිය කර හැරීමට පර්යන්ත නිලධාරින්ට හැකිද ? කොහෙත්ම නැත. එම නිළධාරිය සිය වෘත්තියේ ගරුත්වය කෙලසාගෙන තිබුණි.

+++++

"කාලකණ්ණි පල් හොරු" යි කපිතාන් වලේරි දත්මිටි කමින් තමන්ටම මුමුණා ගත්තේ, කළයුතු දහසකුත් එකක් වෙනත් වැදගත් රාජකාරි තිබියදී, වරාය නිලධාරීන්ට ගෙවිය යුතු සං‍තෝශම් සලාකයන් වෙන් කිරීමෙහි ලා සිය වටිනා කාලය මිඩංගු කිරීමට සිදුවීමේ කෝපයද සමඟිනි. තමන් මුහුණ ලා සිටින ඊළඟ වරාය සිහිවන විට ඔහුට හිසරදය ද සෑදෙන තරම්ය. මෙම වරායට ඔහු මුල්ම වරට පැමිණියේ මින් මාස දෙකකට පෙරය. එවර නෞකාවේ බන්ධිත ගුදම, මහ දවාලේ නිත්‍යනුකූවල කොල්ලකන ආකාරය ඔහු නළල දක්වා ඈයී ගිය දෑස් වලින් යුතුව බලා සිටියේය. අවසන ඒ සම්බන්ධයෙන් සිය ආයතනයෙන් විමසූ පැහැදිලිකිරීම් මාලාවකට මුහුණ දීමට ඔහුට සිදු විය. මේ අන්කිසිවක් නොව ඔබත් මමත් දැන් හොඳින් දන්නා කොන්ටෙයාන්ස් වරායයි. එබැවින්, මෙවර, මෙම වරායේදී දැඩි ලෙස ක්‍රියාකිරීමට ඔහු අදිටන් කරගෙන සිටියේය. ආයතනයෙන් වෙන් කර ඇති සං‍තෝශම් සළාකයන් ඉක්මවා නොයෑමට ඔහු තදින් සිතට ගෙන තිබුණි.

සිය දෙවන නිලධාරියාව කැඳවූ කපිතාන් වලේරි, නෞකා සමාගමෙන් එවා තිබූ විද්‍යුත් ලිපියේ පිටපතක් ඔහු අතට පත් කර ඒ ආකාරයෙන් සං‍තෝශම් වෙන් කර තබන ලෙස දැනුම් දෙන විටම වාගේ ඉහළ පාලන මැදිරියෙහි සිටි නිලධාරියා නෞකාව කොන්ටෙයාන්ස් වරාය සීමාවට ඇතුල් වූ බව දන්වා සිටි බැවින් කපිතාන් වලේරි වහ වහා පාලන මැදිරිය වෙතට ගමන් කෙළේය.


+++++

කපිතාන් වලේරි විසින් මෙහෙය වූ "කලම්බූ එක්ස්ප්‍රස්" නෞකාව, කොන්ටෙයාන්ස් දිය කඩනයෙන් ඇතුල් වන ආකාරය, නෞකාවට වෙන් කර තිබූ ගාල්පළට වී අතීත ආවර්ජනයෙක නිරතව සිටි නෝල් ගේ අවධානයට හසුවූයෙන් ඔහු සිය ආවර්ජනයෙන් මිදුනි. නෞකාව වරායෙන් පිටත් කර හැරිය යුතු වේලාවක් (Sailing deadline) කලින්ම නෞකා සමාගමෙන් දන්වා එවා තිබුණි. එවැනි විටකදී, භාණ්ඩ පැටවීම සම්පූර්ණ නොවුනද එය අතර මග නවතා දමා, නෞකාව දියත් කර හැරීය යුතුය. උපරිම කාර්යක්ෂමතාවක් ලබාගෙන සැලසුම් කළ සියලුම බහලු පටවා හැරීම නෝල් වෙත පැවරී ඇති වගකීමයි. මෙවන් වූ පර්යන්තයක එවැන්නක් ලේසි පහසු නොවන බව දත් නෝල් සිටියේ තද බල පීඩනයකිනි. පර්යන්ත සේවකයන් තව මොහොතකින් තමන් වට කරගෙන හෙට්‍ටු කිරීම අරඹන බව දන්නා නෝල්, ඒ සඳහා මනසින් සූදානම් වීය. තමන් කෙතරම් අකමැති වූවත් මෙම තත්ත්වයට මුහුණ දිය යුතු බවත්, තම අකමැත්ත හා පිළිකුල ඔවුන් වෙත නොපෙන්වා මිත්‍රශීලී බවක්ම පෙන්විය යුතු බවත්, සිව් වසරක අත්දැකීම් තුළින් ඔහු මනාව වටහාගෙන සිටියේය. 

කොන්ටෙයාන්ස් වරාය කවදත් කපුටන්ගෙන් හිඟ නොවුණි. "කලම්බූ එක්ස්ප්‍රස්" නෞකාවෙහි පළමු කඹය ගොඩ බිමට විසිවෙනා මොහොත වන විට, කපුටන් රංචුවක් එක් ගොදුරක් වට කොට එයින් වැඩිම පංගුව ග්‍රහණය කරගැනීමේ පොරයක නිරතව සිටිනු දක්නා හැකි විය.

නැව් සමාගම් වෙතින් කාර්යක්ෂමතාවය වැඩි කරවා ගැනීමේ අරමුණින්, වරාය සේවකයන් වෙත දිරි දීමනා ගෙවීමේදී, ඒ සඳහා, ඒ ඒ සමාගම් විසින් සේවකයන් සමඟ එකඟ වූ නිල නොලත් ගාස්තු ලේඛනයක් පැවතුණි. කාර්යක්ෂමතාවය තිබුණද නොතිබුණද එම ලේඛනයට අනුව ගෙවීම අනිවාර්යය වී තිබුණි. නොගෙවීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. කාර්යක්ෂමතාවය බහලු කිහිපයකින් හෝ වැඩි කරවා ගැනීමට නම්, ගාස්තු ලේඛනයෙහි ඇති ප්‍රමාණය මෙන් දෙගුණයක්, තුන් ගුණයක් ගෙවීම කළ යුතුය. නෞකාව පිටත් කරවා හැරීමට වේලාවක් නියමව තිබුණෙන්, නෝල් හට කපු‍ටු ‍රැළ වෙත වැඩි වැඩියෙන් කෑම පොරොන්දු වීමට සිදු වී තිබුණි.

අවසාන නැව් කඹයද ගාල් කුළුණක් සිරවී යන විට, "ටූ...ක් ටූ...ක් ටූ...ක්" හඬ නගමින් විශාල දොඹකර නෞකාව වෙත ආසන්න වූහ. කපු‍ටු ‍රැලෙන් මෑත් වූ නෝල් නෞකාව ආසන්නයට වී සිටියේ පෙත්මග (Gangway) පහතට හෙළන තෙක්ය. ඔහු සිටියේ දැඩි පීඩනයකිනි. නියමිත වේලාවට පෙර භාණ්ඩ මෙහෙයුම නිමා කර ගැනීමට නම් සියලු කාරණා නිසි පරිදි පෙළගැසී සුමටව සිදුවිය යුතුය. සිය කමිස සාක්කුවට තට්‍ටුවක් දැමූ නෝල් පරිගණක තැටිය සුරක්ෂිතව ඇත්දැයි සැක හැර දැනගත්තේය. භාණ්ඩ පැටවීමේ සැලැස්ම අඩංගුව තිබුණේ එහිය. ලොව දියුණු වරායන් හිදී මෙම කාර්‍යය වරායේ සැලසුම් කරුවන් අතින් සිදුවන විට, කොන්ටෙයාන්ස් හීදී එම වගකීමද නෞකා නියෝජිතයන් වෙතට පැවරී ඇත. නෞකාවෙහි භාණ්ඩ භාර නිලධාරියා වෙතින් එම සැලසුම අනුමත කරවා ගැනීම මුල්ම අභියෝගයයි. නැවෙහි ආරක්ෂාවට තර්ජනයක් වන කිසිඳු අයුරකින් භාණ්ඩ පැටවීම සැලසුම් වී තිබුණහොත්, එය වෙනස් කිරීමට හෝ බහලු කපාහැරීමට එම නිලධාරියා කිසිසේත්ම පසුබට නොවන්නේය. එවන් තත්ත්වයක් ඇති වුවහොත් එය භාණ්ඩ මෙහෙයුම පමාකරවන්නක් වන අතර යාවත්කාලීන නොවූ අතිශය පැරණි පරිගණක පද්ධතියකින් සමන්විතව සිටි පර්යන්තයේ, එවැනි වෙනස්කම් සිදු කිරීම හිසරදය සෑදෙන කාර්‍යයකි. එම සිතුවිල්ල පමණක්ම අනායාසයෙන් නෝල් ගේ නළලත තදින් පිරිමැද්දවීමට සමත් වීය. සමහර කපිතාන්වරුන් හා ප්‍රධාන නිලධාරීන් යක්ෂයන්ය. ඔවුන් කිසිඳු හිතක් පපුවක් නොමැතිව පැටවීමට සැලසුම්කර තිබූ බහලු කපා හරිනවා ඔහු හොඳින් අත්දැක තිබුණි. එවන් නිලධාරීන් සමඟ සුහදව කතාබහ කොට එකඟතාවයකට පැමීණීම දුෂ්කර කාරියකි. කෙසේ හෝ සියලු බහලු පැටවිය යුතුයැයි සිය ආයතනයෙන් එල්ලවන පීඩනය, වරාය සේවකයන් වෙතින් උපරිමය ලබා ගැනීමේ පීඩනය, නෞකා නිලධාරින්ගෙ එල්ල විය හැකි පීඩනය, අනෙකුත් වරාය නිලධාරීන් මතු කර හැකිවූ විවිධාකාර ගැටලු පිළිබඳ වූ පීඩනය නෝල් ගේ හිස්කුහරය අහ්‍යන්තරයෙහි එකිනෙක පරයා නැගී සිටිමින් දැඩි අසහනකාරී මානසික වාතවරණයක් ඇති කෙළේය.

පෙත්මග ස්ථානගත වූ පසු, වරායට නැව ‍රැගෙන ඒමට නැව් නැගි නියමුවා බැස ගියේය. නිත්‍යානුකූලව මුලින්ම නැවට ගොඩ විය යුත්තේ වරායෙහි වෛද්‍ය වරයාය. ඔහු නැවට ගොස් පරික්ෂාකර බලා නැවෙහි කිසිඳු බෝවෙන රෝග තර්ජනයක් නොමැති බව තහවුරු කොට අදාළ සහතිකය කපිතාන් වෙත භාරදුන් විට, නැවට ගොඩ වීමට බාධාවක් නොමැත යන්න සන් කරමින්, ඔසවා ඇති කහ කොඩිය පහත හෙලනු ලැබේ. කොන්ටෙයාන්ස් හීදී බොහෝ විට වෛද්‍යවරයා ගොඩවන්නේ නෞකාව පැමිණ බොහෝ වේලාවකට පසුවයි. ඒ බව අත්දැකීමෙන් දන්නා වරාය සේවකයන් ඔහු එන තෙක් නොසිට නැවට ගොඩ වීම කාලයක සිට සිදු වන්නකි. තාක්ෂණයේ දියුණුවත් සමඟ මෙම නීතිය පිළිපැදීම එතරම් අවැසි කාරණයක් ද නොවූයෙන්, එය කාලයත් සමඟ අභාවයට යමින් පැවති නීතියක්ව පැවතුණි. එහෙත් යම් යම් අවස්ථාවල වරාය සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම නීතිය මතක් කරදීමෙන් සිය මහන්තත්වය පෙන්වන ආකාරය නෝල් දැක තිබුණි.

සෞඛ්‍ය නිලධාරීන් වෙනුවෙන් නතර නොවූ ඔහු සිය සගයාද සමඟින් පෙත්මග දිගේ ඉහළට නැගුණි. ඔවුන්ව පිළිගනු ලැබූයේ නැවෙහි කෙඩෙට් නිලධාරියෙකු විසිනි. එම නිලධාරියා නෝල්ව හඳුනා ගත් බැවින්, තමන් කවුරුන්දැයි හඳුන්වා දීමේ කරදරයෙන් ඔහු මිදුනි.

"කොහොමද යාළුවා?" යි නෝල් ඇසූ පැනයට තමන් සුවෙන් සිටින බව දැන්වූ නිලධාරියාගේ මුල්ම පැනය වූයේ නැව යාත්‍රා කරනුයේ කීයටද යන්නයි. එයට පිළිතුරු දෙමින් ඔහු හා වචන කිහිපයක් හුවමාරු කරගත් නෝල්, සිය සගයාව පැටවීමේ සැලසුම සමඟින් නැවෙහි ප්‍රධාන නිලධාරියා වෙත යවා, ඔහු පිය මැන්නේ කපිතාන්වරයා හමුවටය. නෞකා කාර්‍යාලයේදී නෝල් විසින් කපිතාන් වරයා බලාපොරොත්තු වුවද, ඒ වන විටත් කපිතාන් තැන පැමිණ නොතිබුණි. දෙවන නිලධාරියා විසින් කපිතාන් වරයා මදකින් පහතට පැමිණෙනු ඇති බව නෝල් හට දැනුම් දුන් අතර, ප්‍රශ්නයක් නැතැයි ඔහු අතින් සන් කර සිටියේය. දෙවන නිලධාරියා යුහුසුළුව වරාය නිලධාරින් සඳහා ඉදිරිපත් කළ යුතු ලියකියවිලි සකසමින් සිටි නිසා කථාවෙන් ඔහුට බාධා නොකිරීමට සිතා ගත් නෝල්, සිය ලිය කියවිලි අඩංගු ෆයිල් කවරය මේසය මත තබා, කාමරයෙහි එක් බිත්තියෙක සවිකර තිබූ, නැවෙහි ලියාපදිංචි වරාය වූ කොළඹ වරාය පසුබිම් කොටගත් විශාල ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කරන්නට වූයේ කපිතාන්වරයා පැමිණෙන තෙක් කල්මැරීමටය. එවකට ලොව පැවති විශාලතම බහලු නෞකා ආසන්නයටම පැමිණිය හැකි තරම් වූ මෙම නෞකාව, ඡායාරූපයෙන් දිස්වූ මහේශාක්‍ය ලීලාව නෝල් ගේ සිත්ගත්තේය.

කපිතාන්වරයා, සිතුවාට වැඩියෙන් ප්‍රමාද වූ බැවින් නෝල් ගේ වමතෙහි මැණික් ක‍ටුව නිතැතින්ම එසවී දෑසට යොමු වීය. කපිතාන් වලේරි ගියවර හමුවූ බැවින් නෝල් හට ඔහු අමුත්තෙකු නොවීය. පෝලන්ත ජාතිකයෙකු වූ කපිතාන් වරයා, පෝලන්ත ජාතිකයන්ට ආවේණික වූ සුහද, මිත්‍රශීලී, මෘදු ස්ව්භාවය මොනවට ප්‍රදර්ශනය කෙළෙන් නෝල්ගේ සිතෙහි ඔහු පිළිබඳ වූයේ ධවල චිත්‍රයෙකි.  චිත්‍රයෙන් දිස් වූ වරාය දෙස බලා එහි තත්ත්වය සිතින් මවා ගැනීමට හා එය කොන්ටෙයාන්ස් සමඟ සැසඳීමට ඔහු කරමින් සිටි උත්සාහයට බාධාකරමින් කාමරයට එපිටින් වූ කොරිඩෝව දෙසින් ඇසුණු සපත්තු හඬ, කපිතාන් වරයාගේ පැමිණීම නෝල් හට සන්නිවේදනය කරවීය. ඔහු චිත්‍රයෙන් දෑස් මෑත් කරගෙන ආපසු හැරීමත්, කපිතාන් වරයාගේ ඇතුල් වීමත් එක වරම වාගේ සිදු විය.

"හලෝ නෝල්, කොහොමද?" කපිතාන් වරයා සුහදව අතට අත දෙමින් විමසීය.

"හොඳයි කැප්ටන්, වරදක් නෑ? කැප්ටන්ට කොහොමද?"

"වරදක් නෑ, වරදක් නෑ." තාලයට පවසමින් මේසයෙහි කොනක වූ පු‍ටුවක් ඇද ගත් කපිතාන්, නෝල්ටද වාඩි වෙන ලෙස අතින් සන් කෙළේය.

"නෝල් කලින් ආපු එක හොඳයි. මට තියනවා වැදගත් දෙයක් කියන්න. ගියපාර මොකද වුනේ කියලා දන්නවානේ?" කපිතාන්වරයාගේ මුහුණට බැරෑරුම් ස්වරූපයක් ආරෝපණය වී තිබුනි. ඇති වූ ලජ්ජාව නිසා සුදුමැලි වී ගියද, නෝල් තමන් එය දන්නා බව හැඟවීමට මෙන් හිස ඉහළ, පහළ යැවීය. "මෙදාපාර කම්පැනියෙන් බොහොම තදබල විදිහට උපදෙස් දීලා තියනවා ඒවා සීමා කරන්න කියලා. දෙන්න ඕනා ගාන ඒ ගොල්ලොම එවලා තියනව නෝල්. මට ඊට වැඩිය එකක්වත් දෙන්න හැකියාවක් නෑ. ඔයා කට්ටියව පාලනය කරගන්න ඕනා." කපිතාන් වරයාගේ ස්වරයෙහි වූ, පෙරනොවූ දැඩි බව නෝල් ගේ අවධානයට හසු වීය.

" අනිත් කට්ටියව නම් අවුලක් නෑ කැප්ටන්, ඒත් කස්ටම්ස් තමා ප්‍රශ්නේ"

"ඔව් ඒක තමා මටත් ප්‍රශ්නේ. ඒත් මොනවා හරි කරන්නම වෙනවා. මහදවල් මංකොල්ලකනකම් නිකන් බලන් ඉන්න බෑ මෙදාපාර." යි කපිතාන් වරයා පවසන විටම කාර්‍යාලයේ දොරින් වරාය සේවකයෙකු මෑත් වීය.

"හෙහ්. ඔය එන්නේ කියනකොටම....ඔව්, මොකක්ද කාරණාව" යි කපිතාන්වරයා ඔහුගෙන් විමසා සිටියේ නෝල් දෙස බලා ඇසක් ඉඟිමරමිණි.

"කැප්ටන්, මූරින්ග් ගැංග්" ඒ ආගන්තුකයාගේ බයාදු හඬයි.

"සෙකන්ඩ්, මෙයාට එකක් දෙන්න"යි කියමින් කපිතාන්වරයා කොළ කැබැල්ලක එය සටහන් කරගත්තේය. සිගරට් කා‍ට්න් එක ගත්තද, අදාළ වරාය සේවකයා ඉවත්ව නොයා තවමත් බලා සිටියේය.

"ඇයි මොකදැ" යි මෙවර නෝල් කොන්ටෙයාන්ස් බසින් ඔහුගෙන් ඇසීය.

"පෝර්ට් කොන්ට්‍රෝල් එකේ එකත් ඉල්ලන් එන්න කිව්ව"

"මොනවද එයා කියන්නේ" යි කපිතාන් වරයා විමසීය.

"කැප්ටන් තව එකක් මෙයාට දෙන්න, පෝර්ට් කොන්ට්‍රොල් එකට." හහ් යනුවෙන් අපහාසාත්මක අමුතු හඩක් පිටකළ කපිතාන්වරයා "සෙකන්ඩ්..." යැයි තෙපලමින් නැවතත් කුරු‍ටු ගෑවේය.

එම සේවකයා නික්ම ගිය සැණින්, ගමන්කථනයක්ද අතැතිව තවෙකෙකු පෙනී සිටියේය.

"කැප්ටන්, බර්තින්ං මාස්ටර්"යි ඔහු පැවසුවේ හාබර් මාස්ටර් යැයි කියනා තරමේ ගාම්භීර කමකිනි. තමන් නොමැතිව නැව් ගාල්කිරීමක් සිදු නොවන්නේ යැයි වැනි උද්ධච්ච ස්වරයක් ඔහුගේ හඬෙහි විය. ඔහුට ද එක සිගරට් කාට්න් එකක් ලැබුණි. එය අතට ගනිමින් "එකද?" කියා නෝල් දෙස බලා විමසුවේ විස්මයාර්ථය මුසු බැල්මක්ද සමඟිනි.

"එකයි තමා. ඕක අරගෙන යනවා මෙතන පවු නොදී. කාලකණ්ණි හැත්ත" යි කියා කීමට නෝල්ට අවැසි වුවද නෝල්ගේ මුවින් පිට වූයේ "වෙන එකකින් බලමු, මේකෙ පොඩි අවුලක් තියනවා මෙදා පාර කම්ප්ලිමන්ට් වලට" යි යනුවෙනි.

"මහත්තයෝ වැඩෙ කැතයි ආ... අපිට හැමදාම හැම නැවකින්ම දෙකක් දුන්නා. අපි මහන්සි වෙලා නැව් බර්ත් කළාම අපිට හම්බෙන්නෙ එකයි, අනිත් උන් ඇවිල්ලා මෙතන නිකන් ඉඳලා හතර පහ අරගෙන යනවා"  හෘද ස්පන්දනය වැඩි කරමින්, රුධිර ධාවනය වේගවත් කරවමින්, ශරීර අභ්‍යන්තරයෙහි ඇතිවන සියුම් වෙව්ලිල්ලක් සමඟින් කෝපය නැමති යක්ෂයා සිරුරට ආවේශ වෙනු නෝල්ට දැනුණි. එහෙත් ප්‍රශ්නයක් ඇති කර ගත නොයුතු බැවින් ආයාසයෙන් සිය හැඟීම් මැඩ ගත් ඔහු තව දුරටත් කරුණු පැහැදිලි කොට අදාළ පුද්ගලයාව පිටත් කිරීමට සමත් වීය.

මෙම ජවනිකාව දෙස උපහාසාත්මක මුවින් යුතුව බලා සිටි කපිතාන් වරයා "මොනවාද එයා කියන්නේ"යි ඇසීය.

"එකක් මදිලු" යි නෝල් ද අපහාසත්මක සිනාවක් මුවට නගා ගනිමින් පැවසුවේ විදේශිකයෙකු ඉදිරියෙහි හෑල්ලුවට පත්වීමට සිදු වීමේ අවමානය අවම කරවා ගැනීමටය.

"නෝල්, මම ඔයාට එකක් කියන්නම්, කොන්ටෙය්යන්ස් පෝර්ට් එක දෙවෙනි වෙන්නේ මාල්බරෝ කැනල් එකට විතරමයි. හෙහ් හෙහ්" යි කපිතාන් වරයා පැවසුවේ අවමානයට සිනාසෙමිනි. නමුත් ඒ ඇස්පනාපිට ඇති සත්‍යයක් බැවින්, ඔහු එයින් ලජ්ජාවට පත් වුවද, කපිතාන් වරයා කෙරෙහි කෝපයක් හට නොගත්තේය. සැබවින්ම නෝල් හට එයට එකඟ නොවී සිටීමට නොහැකි විය. සිය මිනිසුන්ගේ තරම ඔහු කපිතාන්වරයාට වඩා හොඳින් දැන සිටියේය.

මෙවිටම වාගේ මෙතෙක් වේලා සිය කතාබහටද බාධ කරමින්, වටෙහි පිටෙහි සිදුවෙන සියලු කතා බහ නෞකා කාර්‍යාලය සිසරා යවමින් සිටි කපිතාන්වරයාගේ ගමන්කථනයෙන් ඔහුව අමතනු නෝල්ටද ඇසිණි.

"කැප්ටන්, ගැංග් වේ........... කැප්ටන්, ගැංග් වේ."

"ගැංග් වේ, කැප්ටන්. ප්ලීස් ගෝ අහෙඩ්"

"කැප්ටන්, පෝර්ට් හෙල්ත් ඔන් බෝර්ඩ්"

"ඕ. කේ. සෙන්ඩ් දෙම් ‍ටු ද ෂිප් ඔ‍ෆිස්"

මෙය ශ්‍රවණය වූ සැණින්, දෙවන නිලධාරියාගෙන් සෞඛ්‍ය නිලධාරීන්ට අදාළ වූ ලියකියවිලි ඉල්ලාගත් නෝල්, ඒවා නිසි පරිදි ඇත්දැයි පරික්ෂාකර බැලීය.

විනාඩි කිහිපයකින් කාර්‍යාලයට වන් වරාය වෛද්‍යවරයා හා ඔහුගේ සහායක නිලධාරියෙකු, ඔවුනට අදාළ ලියකියවිලි පරික්ෂාකර බැලූහ. සියල්ල සතු‍ටුදායක වූයෙන්, සෞඛ්‍ය නිශ්කාශන පත්‍රිකාව කපිතාන්වරයා වෙත භාර කෙළේය. ස්තුති පූර්වකව එය භාරගත් කපිතන්වරයා, සිය ගමන්කථනයෙන් යමෙකු අමතා කහ කොඩිය පහත හෙලන ලෙස නියෝග කෙරෙණා අතරතුර දෙවන නිලධාරියා විසින්, නිලධාරීන් වෙත සිගරට් කාට්න් එකක් ප්‍රධානය කර සිටියේය. කොන්ටෙයාන්ස් වරාය නිලධාරීන් නෞකාවකට පැමිණෙන විට, අවම වශයෙන් දෙදෙනෙකු පැමිණීම සම්ප්‍රදායයි. එයින් එකෙකු අත විශාල කාර්‍යාල මල්ලකි. ඒ නැව්වලින් ලැබෙන, ඉල්ලා ගන්නා දෑ ‍රැගෙන යාම සඳහාය.

තමන් ලෝකයේ දකින විස්මිතම දසුන දකිනවාටත් වඩා විස්මිතව සිගරට් කාට්න් එක දෙස බැලූ සහායක නිලදරුවා "එකද ??" කියා නෝල්ගෙන් ඇසුවේ මේ මොන අපරාධයක්දැයි අසන්නාක් මෙනි.

"ඔව්, මෙදාපාර ලයින් එකෙන් අඩු කරලා තියෙන්නේ." ඒ නෝල්ගේ පැහැදිලි කිරීමයි.

"ඕගොල්ලො කතාකරලා අපිට අරන් දෙන්න එපැයෑ. මීට කලින් කවදාවත් එකක් දීලා නෑ." නියෝජිතයන්ගේ පරම වගකීම තමන්ට නිසිපරිදි දොළපිදේනි ලැබෙන බවට සහතික කරගැනීම යි එම නිලධාරියා බලාපොරොත්තු වන සේය.

"මට පිස්සුනෙ, තොපි වගේ මෝඩ, පෙරේත හැතිකරේකට වැඩියෙන් ඉල්ලලා දෙන්න" යි යන්න මුවෙන් පිට වීම වළක්වා ගැනීම උදෙසා සිහින් මදහසක් නැගීමට ඔහුට සිදු විය.

අඩ හෝරාවක් වැනි කාලයක් ඇතුළත, වරාය පොලීසියද, ආරක්ෂක නිලධාරීන්ද, ආගමන නිලධාරීන්ද නැවට පැමිණ සිය රාජකාරීන් ඉ‍ටු කොට, දොළපිදේනි වලින් සංග්‍රහ  ලැබ නික්ම ගියහ. ඒ සැවෝම "එකක්" පමණක් ලැබීම පිළිබඳ, සිය නොසතුට, විස්මය විවිධ ක්‍රම ඔස්සේ පෙන්වා සිටියහ.

අවසානයේදී රේගු නිලධාරින් පැමිණි බව දන්වා සිටියේය. එය ශ්‍රවණය වූ සැණින් නෝල් දෙස බැලූ කපිතාන් වලේරි, සූදානම් වෙයන් යැයි අඟවමින් ඇසක් ගැසීය. එයින් මොහොතකට පසු පුද්ගලයන් සිව් දෙනෙකු නෞකා කාර්‍යාලයට පැමිණියහ. සියලු ලියකියවිලි පරික්ෂාකර බලා සෑහීමකට පත් වූ පසු, "කැප්ටන් අපි බොන්ඩ් එක සීල් කරමුද එහෙනම්" යි ඔවුන්ගේ ප්‍රධානියා කපිතාන්වරයා විමසීය.

"හරි, යමු" යි පවසමින් නැගී සිටි කපිතාන් වරයා ඒ සමඟම දෙවන නිලධාරියාට සංඥාවක් කෙළෙන් දෙවෙනියා විසින් සිගරට් කාට්න් දෙකක් රේගු නිලධාරීන් වෙත ලබා දුන්නේය. නෝල් බලාපොරොත්තු නොවූ මෙම ප්‍රදානය නතර කරවා ගැනීමට ඔහුට අවැසි වුවද ඒ වන විට ප්‍රමාද වැඩිය. රේගු නිලධාරීන් වෙත මෙලෙස සං‍තෝසම් ප්‍රදානය කිරීමෙන් වළකින ලෙස කලින්ම කපිතාන්වරයාට අනතුරු හඟවා තැබීමට නොහැකි වීම පිළිබඳ නෝල් කනගා‍ටුවට පත්වීය. මෙහිදී රේගු නිලධාරින්ගේ ප්‍රධානියා සිය සගයන් වෙත අමුතු බැල්මක් හෙළූ අතර කණ්ඩායමේ කණිෂ්ඨම නිලධාරිය යැයි සිතිය හැකි පුද්ගලයා විසින් සැර පරුෂ ස්වරයෙන් "කවුද, ඕගොල්ලොද මෙයාලට කිව්වේ, මෙහෙම දෙන්න කියලා? " යි කොන්ටෙයාන්ස් බසින් නෝල්ගෙන් විමසීය.

"නෑ නෑ අපි කිව්වේ නෑ, ලයින් එකෙන්මයි මෙදා සැරෙ කම්ප්ලිමන්ට් වෙන් කරල තියෙන්නෙ. ගිය සැරේ ගිය ගාන වැඩියි කියලා. ඒකයි ඔය.." සිය බලතල අනිසි ලෙස පරිහරණය කරමින් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවනා මෙම මිනිසුන් සමඟින් ගැටලුවක් ඇති නොකර ගත යුතු බැවින් නෝල් එසේ වහ වහා නිදහසට කරුණු ගෙනහැර දැක්වීය. සිගරට් කාට්න් දෙක මේසය දිගේ නෝල් වෙත තල්ලු කළ පෙර කී නිලධාරියා "මේක ඔයාම තියා ගන්න. ගන්න ඕනා විදිහ අපි දන්නවා" යි පැවසුවේ උද්ධච්ච, සැර පරුෂ ස්වරයකිනි. අමුතු යමක් සිදු වෙන බව කපිතාන්වරයාද නිරීක්ෂණය කළ නමුදු ඔහු මුනිවත ‍රැක්කේය. රේගු නිලධාරින් සියලු දෙනා නැගිට කාමරයෙන් පිට වූ පසු කපිතාන්වරයාද ඔවුන් හා එක්වූයේ නෝල්ට ඒ සමඟ එන ලෙස අතින් සන් කරමිනි. තමන් එහි පැමිණීම රේගු නිලධාරින් නොරුස්සන බව දත් නෝල් එයට අදිමදි කළද කපිතාන්වරයා දැඩිව කියා සිටීයෙන් ඔහුට එය මගහැර යා නොහැකි විය.

බන්ධිත ගුදමට වන් රේගු නිලධාරීන්, එහි වූ සංචිතය ලියකියවිලි හා සසඳ බලා සියල්ල නිවැරදි බවට සැක හැර දැන ගත්හ. ඉන් පසුව උදා වූයේ ඒ නිර්ලජ්ජිත මංකොල්ලයයි. තරු පටි පැළද සිටි, ඉහළ තත්ත්වයකට හා වැ‍ටුපකට හිමිකම් කී නිලධාරී වේශයෙන් පෙනී සිටි මේ මංපහරන්නන් ‍රැළ විසින් තමන් ‍රැගෙන ආ මලු, එහි වූ විවිධාකාරයේ මත් පැන්,වයින් හා සිගරට් වර්ග වලින් පුරවා ගන්නට වූහ. මෙහිදී නිහඬව සිටිය නොහැකි වූ කපිතාන්වරයා විසින් සිය අසන්තෘෂ්ටිය කෝපය මිශ්‍ර පැහැදිලි කිරීමකින් පෙන්වා සිටියේය. එමගින් මංකොල්ලයට හසු වූ භාණ්ඩ වලින් යම් ප්‍රමාණයක් නැවතත් ගුදමෙහි රාක්ක වෙත වඩම්මවා ගැනීමට කපිතාන් වරයා සමත්  වුවද, සැළකිය යුතු ප්‍රමාණයක් සොරමුලෙහි ග්‍රහණයට හසු විය. තමන්, රහසිගත ලෙස ආනයනය කළ නීති විරෝධී දුම් වැටි, මත් පැන් ඇල්ලුවේයැයි මාධ්‍ය සංදර්ශන පවත්වන රේගු නිලධාරින්ගේ මෙම සැබෑ ක්‍රියාකලාපය දන්නේ කීයෙන් කී දෙනා දැයි නෝල් මෙම මංකොල්ලය දෙස බලා සිහි කෙරුවේය. සැබවින්ම කොන්ටෙයාන්ස් වෙත නීති විරෝධී දුම්වැටි හා මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇතුල් වන්නේ ඒවා වැළැක්විය යුතු රේගුව හරහාම වීම එක් අතකින් දෛවයේ සරදමකි. නෝල් එහි සිටින බව මුල්ම වරට රේගු නිලධාරින්ගේ අවධානයට හසු වූයේ ගුදම මුද්‍රා තබා ආපසු හැරුණ විටය.

"ඔයා මොනවද මෙතන කරන්නේ? ඔයාට කවුද මෙතෙන්ට එන්න කිව්වෙ ?" යනුවෙන් මතු සඳහන් වූ කණිෂ්ඨ නිලධාරියා නෝල් වෙතා බුරා පැන්නේය.

"මට කැප්ටන් එන්න කිව්වේ"

"කැප්ටන් කිව්වට ඔයාට එන්න බැ හරිද ? දන්නවනේ අපිට මේවයේ තියනව යම් යම් රාජකාරි." ලැජ්ජාව යනු කුමක්දැයිවත් නොදත් එම නිලධාරියා මහත් උජාරුවෙන් පැවසුවේ පිම්බී පොළවට බර වූ සිය මල්ල වෙර යොදා ඔසවා ගනිමිනි. නෝල් මුවින් නොබැන සිටියද, "නෙද්දකින් විතරක් කාලකණ්නි අවජාතක හැත්ත. රටේ නම කනවා වල් බල්ලෝ." යි යනුවෙන් සිතින් බැණ වැදුණි.

"කීයටද නැව යන්නේ, දැන් එනවද ක්ලියරන්ස් ගන්න?" ඒ සමඟම එම නිලධාරියා ම ඇසීය.

"දොළහට නැව සේල් කරන්න ඕන, අපි තව ටිකකින් එනව"

"හරි හරි එන්නකෝ, අපි ඔක්කොම ලෑස්ති කරල තියන්නම්." නිලධාරීන් වෙතටම ගොස්, අත්සන් කරණ පෑන පවා අතටම දී සියල්ල ඉ‍ටුකරවා ගතයුතු තත්ත්වයක් යටතේදී, "ඔක්කොම ලෑස්ති කරලා තියන්නම්" යැයි කී කීම, අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතු බව නෝල් සිය සිව් අවුරුදු පළපුරුද්දෙන් දැන සිටියේය. සිය ප්‍රධානියා ඇමතූ නෝල්, සියල්ල ඔහු වෙත සැලකර සිටියේය.

+++++

අතෙකින් සිරකරුවන් කිසිත් නොමැති සිර කුටියකි. එයට ප්‍රතිවිරුද්ධ දෙසින් එක පෙළට තැබූ මේස දෙකකි. ඉහළින් කරස් කරාස් අනුකරණයෙන් කරකැවෙන විදුලි පංකාවකි. එය කොයි මොහොතේ හෝ කඩා වැටීමේ අවධානමක් තිබිය හැකි බව නෝල් අනුමාන කෙළේය. කාමරයේ අනෙක් පස වූ මේසයක් මත රූපවාහිනි යන්ත්‍රයකි. එක් මේසයක වාඩි වී සිටි නිලධාරියකු, දුරස්ථ පාලකයෙන් රූපවාහිනියේ නාලිකා මාරු කරමින්, අතිශය කාර්‍යයබහුලව සිටියේය. නෝල් මෙහි පැමිණ දැන් පැයකට වඩා වැඩි මිස අඩුනම් නොමැති බව ඔහුගේ අත් ඔරලෝසුව දෙස්දෙන්නේය. නිෂ්කාශන පත්‍රය ගැනීමට රේගු කාර්යාලයට පැමිණි සිය සගයා අත, කාර්‍යයභාර ප්‍රධාන රේගු නිලධාරියා නෝල් වෙත පණිවිඩයක් එවා තිබුණේ පැමිණ ඔහු හමුවන ලෙසයි. නැවතත් ඔරලෝසුව දෙස බැලූ නෝල්ගේ ඉහමොළ රත් වූයේ තමන් නියමිත වේලාවට ආසන්න වෙමින් සිටින බව දු‍ටු නිසාය. සිව් වෙනි වතාවටත් අදාළ නිලධාරිය වෙත ගිය නෝල් "ලොකු මහත්තයා එන්න තව පරක්කු වෙයිද?" යි ඇසීය.

"නෑ නෑ දැන් එනවා, දැන් එනවා" ඔහු පැවසුවේ කිසිඳු ගරුසරවක් නොපෙන්වමින්, රූපවාහිනියටම සිය අවධානය යොමු කරමිනි.

"මොකටද දන්නෑ නේද මහත්තයා මට එන්න කිව්වෙ?"

"ඒක නම් මම දන්නෑ. ආපුවම බලාගන්නකො."

"නැව දොළහට සේල් කරන්න ඕනා. පොඩ්ඩක් බලන්න බැරිද මහත්තයා කොහෙද ඉන්නෙ කියලා." නෝල් ගේ එම වදන් නිලධාරියාට ඇසුණාද සැක සහිතය. එම වචන වලට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ ඔහු, එක් නාලිකාවකින් වෙනත් නාලිකාවකට මාරු වූයේ "උඹලෑ නැව් වලට වැඩිය වැදගත් වැඩ අපිට තියනවා" යි පෙන්වීමට මෙනි.

දැන් දැන් නෝල්ගේ පීඩනය ක්‍රමක්‍රමයෙන් වැඩිවෙයි. නැවෙහි භාණ්ඩ මෙහෙයුම අවසන් වීමට ආසන්න වුවද තමන් තවමත් නිෂ්කාශන පත්‍රය ගැනීමට අපොහොසත්ව ඇත. නැව පිටත් කර හැරීමට වේලාවක් කලින්ම නෞකා සමාගමෙන් ලබා දී තිබූ බැවින්, එයට පෙර නිෂ්කාශන පත්‍රය ලබා ගැනීමට අසමත් වීම සිය ආයතනයට එක එල්ලයේ වගකීම එල්ල වන චෝදනාවක් වන්නේය. ආයතනයෙන් තමන්ව ඒ සඳහා චූදිතයෙක් කරවිය හැකි වූ බැවින්, නෝල් සෑම විටම, සියල්ල සිය ප්‍රධානිය වෙත වාර්තා කර සිටියේය. නිෂ්කාශන පත්‍රය නියමිත වේලාවට ලබාගෙන තිබුණේ නම්, තමන් ඇසීමට ඉතාමත් ආශා වන, එහෙත් දැන් මෙම තත්ත්වය යටතේ ඉතා අමිහිරි පණිවිඩයක් වන නැවෙහි භාණ්ඩ මෙහෙයුම අවසන් වූයේ යැයි යන පණිවිඩය, අවසානයේදී නැවෙහි සිටි සහායකයාගෙන් නෝල් වෙත ලැබෙන විට වේලාව පෙරවරු එකොළහමාර වී තිබුණි. තමන් නියමිත වේලාවට සැලසුම් කරගත් පරිදි භාණ්ඩ මෙහෙයුම අවසන් කර ගත්තේ යැයි යන සතුට සිතෙහි කොනක නළියන විට, එම සතුටෙහි සහ සියලු ප්‍රයත්නයන්හී ප්‍රතිඵලයන් සියල්ල සුන්නද්දූලි කොට දමනා මෙම බාධකය නිසා තවත් වතාවක් රහසින් දත්මිටි කමින් " අවලම් බල්ලෝ"යි තමාටම කියා ගත්තේය. මේ සිදු වන්නේ නැවෙහි දී සිදු වූ සිදුවීමට කෙරෙන පළිගැනීම බව නෝල් සිය අත්දැකීමෙන් දැන සිටියේය. මේ ඔවුන් සඳහන් කළ "ලෑස්ති කොට තැබීම" වන්නේය.

දෙහෝරාවකුත් විනාඩි විස්සක් නෝල් හට මෛත්‍රී වැඩීමට ඉඩ හසර ලබා දුන් කාර්‍යයභාර ප්‍රධාන රේගු නිලධාරියා, අවසානයේදි සිය අසුනට සැපත් වුයේය. ඒ නැවට පැමිණි කණ්ඩායමෙහි සිටි ප්‍රධානියාය. නොයිවසිල්ලෙන් සිටි නෝල්, ඔහුගෙන් කැඳවීමක් ලැබීමටත් පෙරම ගොස් ඔහුගේ මේසය ඉදිරියෙන් සිට ගත්තේය. නෝල්ගේ කේශාන්තයේ සිට පාදන්තය දක්වා ඔහුගේ දෑස් දිවයනු නෝල් විසින් නිරීක්ෂණය කළ අතර රේගු නිලධාරියාගේ මුවෙහි අවඥා සහගත මදහසක් වූයේයැයි නෝල්ට සිතුණි.

"ඇයි?"

"සර්, ක්ලියරන්ස් එක ගන්න ආවේ, නැවත් ඉවරයි. දොළහට ඩෙඩ්ලයින් එක තිබුණේ, දැන් හොඳටම පරක්කුයි." යනුවෙන් සිය නොයිවසිල්ල පෙන්වූ නෝල් විරාමයකින් තොරවම පැවසුවේය.

"ඇයි ඉතින් කලින් නාවේ?" කිසිත් නොදන්නා අයෙකු ලෙස නිලධාරියා විමසීය.

"සර් අපි කලින්ම ආවා, ඒත් සර් මට එන්න කියලා තිබුණා."

"සර් මේ ඔය අර නැවනේ..."යි මෙහිදී පෙර සඳහන් නිලධාරියා, සිය ප්‍රධානියා වෙත යමක් මතක් කර සිටියේය. එවිට සියල්ල මතක් වූ අයුරින් "ආ.."යි කී ප්‍රධාන නිලධාරියා නෝල් හට වාඩිවන ලෙස අතින් සන් කර සිටියේය.

"ෆ්‍රාන්ස්, කෝ මේ ගොල්ලන්ගේ ඩොක්‍යුමන්ට්ස් ගන්න බලන්න." යි කී විට නෝල්ගේ සගයා විසින් ඉදිරිපත් කර තිබූ ලියකියවිලි සියල්ල ප්‍රධාන නිලධාරියා අතට පත් විය. සාමාන්‍යය තත්ත්වයන් යටතේ ලියකියවිලි පරික්ෂා කිරීමක් සිදු නොවන තරම්ය. එසේ කළද, ඒ සුළු නිලධාරියෙකු මිස ප්‍රධාන නිලධාරියාම නොවන්නේය. අද සියල්ල නොපිටට යාමට හේතුව පැහැදිලිය. ඔහු ඉතා සීරුවෙන් එකින් එක ඒවා පරික්ෂාකර බැලීය. වටිනා කාලය මරමින් සිදුකරණ නිලධාරින්ගේ මෙම ක්‍රියාකලාපය දෙස නෝල් බලා සිටියේ සිත යටින් පුපුරමිනි. එහෙත් ඔහුට කළහැකි කිසිවක් නොවුණි. මෙම නිලධාරින් සතු බලතල පිළිබඳව ඔහු හොඳින් දැනුවත්ව සිටි අතර, ඔවුන්ට අවැසිනම් බොරු චෝදනාවක් යටතේ නැව දින දෙක තුනක් රඳවා ගැනීම හෝ කළහැකි බව නෝල්ට රහසක් නොවුණි. එබැවින් ඔහු ඉවසීමම ප්‍රගුණ කෙළේය. මද වේලාවක් ලියකියවිලි පරික්ෂාකළ නිලධාරියා;

"දැන් මේ ඩොක්‍යුමන්ට ඔක්කොම හරිද?" යි නෝල්ගෙන් අසා සිටියේ එක එල්ලයේ ඔහු දෙස බලමිනි.

"ඔව් සර්, මම දන්න විදිහටනම් ඕවයේ වරදක් නෑ"

"වරදක් නෑ නේද ? මේ ක්ලියරන්ස් එකේ තියන ඇක්ට් එකේ ඩේට් එක හරියි කියලද ඔයා මට කියන්නේ ?" යි රළු ලෙස විමසීය. එම පත්‍රිකාව අතට ගත් නෝල් ඒ දෙස විමසිල්ලෙන් බැලීය. එම දිනය නිවැරදිදැයි කීමට ඔහු අපොහොසත්ය. එහෙත් අඩුම තරමින් මින් පෙර නැව් දහයක, දොළහකවත් නිශ්කාශන පත්‍රිකා මෙහි සඳහන් දිනය සමඟින් ‍රැගෙන ඇති බවට ඔහුට සහතිකය."

"සර්, හරි යන්න ඕනා, අපි හැමදාම යූස් කරන්නේ මේ ෆොර්ම් එකනේ. කවදාවත් ප්‍රශ්නයක් වුණේ නෑ."

"හැමදාම කළා වුණාට වැරදිනම් ඒක වැරදි. වැ‍රැද්ද දැක දැක අපිට ඔයාට ක්ලියරන්ස් දෙන්න බෑ." යි කියමින් කබර්ඩයකින් ලිපි ගොනුවක් ඇදගත් ඔහු එයින් නිෂ්කාශන පත්‍රිකාවක් ගෙන එය නෝල් හට පෙන්වීය. "මේ තියෙන්නේ හරි දිනය. 1947. ඔයාගෙ එකේ තියෙන්නේ 1847. දැන් ගිහිල්ලා මේක හදන් එන්න. එතකන් මට මේකට අත්සන් කරන්න බෑ."

"සර්, නැව හොඳටම පරක්කුයි, මම අතින් හදලා අත්සන් කරල දෙන්නද? ගිහින් එන්න ගියොත් පරක්කු වෙනවා."

"බෑ, මේක කම්පියුටරයිස්ඩ් ඩොක්‍යුමන්ට් එකක්. ඒකෙ අතින් ලියලා අපි බාරගන්නේ නෑ. ගිහිල්ල හදන් එන්න. අනිත් එක ඔයා දන්නවද, රේගුවට වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම බරපතල වරදක් බව. මට ඕන නම් ඔයාට, ඕගොල්ලන්ගේ කම්පැනියට එරෙහිව නීතිමය පියවර වුණත් ගන්න පුළුවන්" යි කියමින් ලියකියවිලි සියල්ල නෝල් වෙතට විසිකෙරුවේය..

තවදුරටත්, ඉල්ලීමෙන් හෝ පින්සේන්ඩු වීමෙන් හෝ පලක් නොවන බව නෝල් හට අවබෝධවිය. වෙනදා කිසිඳු සෙවිල්ලකින් තොරව ලබාදෙන මෙම ලියවිල්ලට අද මෙතරම් දැඩි නීති රීතී මතුව ආයේ ආණ්ඩුවෙන් සම්මත කරගත් කිසියම්  නව පනතක්, නීතියක් නිසා නොව, නැවෙන් සිත්සේ කොල්ලකෑමට නොලැබුණ බැවින් බව නෝල් හොඳින්ම දත්තේය. සිය ප්‍රධානියාට සියල්ල වාර්තා කරමින් නෝල් වැන් රථය වෙත දිව ගියේ හැකි විගසින් සිය කාර්යාලයට යාම උදෙසාය. මෙයින් දෙමාසයකට පමණ ඉහතදී නෝල් විසින් මෙම නිශ්කාශන පත්‍රිකාව පරිගණකයෙන් නැවත සැකසූ අතර එහිදි අත් වැරදීමකින් ඔහු අතින් මෙම දින මාරුව වන්නට ඇතැයි නෝල් අනුමාන කෙළේය. එසේ සැකසීමෙන් අනතුරුව බොහෝ වාර ගණනක් මෙම නව පත්‍රිකාව යොදාගෙන නිෂ්කාශන සහතික ලබාගත්තද ඒ කිසි දිනක රේගු නිලධාරීන් මෙය නිරීක්ෂණය නොකළේය. ඒ  දොලපිදේනි වල ආනුභාවයෙනි. උදෑසන සිදුවූ  සිද්දිය අරබයා දඩුවම් දීමට වරදක් සොයන කල්හී මෙය ඔවුන්ගේ ඇසගැටී ඇති බව නෝල් හට සැකයක් නොවුණි.

අඩ හෝරාවකට පමණ පසු නෝල්, නිවැරදි කරණ ලද පත්‍රිකාවත් සමඟ රේගු නිලධාරියා ඉදිරියෙහි පෙනී සිටියේය. එසේ පැමිණෙන  අතර නෝල් බිය වූයේ නිලධාරියා නැවතත් කොහේ හෝ යාවිදැයි යන්නටය. ඔහු එසේ පිටව ගියහොත් නැවතත් හෝරා කීයක් බලා සිටීමට සිදු වේදැයි කිසීකුටත් කිව නොහැක. වසනාවකට නිලධාරියා සිටියේය. එය භාරගත් ඔහු, නැවතත් ලියකියවිලි පරීක්ෂා කිරීම ඇරඹීය. අධෝමැයි තවත් එකකි !

"ඕගොල්ලන්ගෙ මැනිෆස්ට් එකේ තියන ගානයි, කැප්ටන් දීල තියන ඩෙක්ලරේෂන් එකේ ගානයි ටැලි වෙන්නෑ. කෝකද හරි?"

"සර් මැනිෆස්ට් එක හරි."

"එහෙනම් ඇයි කැප්ටන් අපිට වැරදි තොරතුරු දීලා තියෙන්නෙ?"

"සර් කැප්ටන්ට වරදින්න ඇති."

"ඕගොල්ලො හිතන් ඉන්නේ මේවා සෙල්ලම් කියලද ? කැප්ටන්ට වැරදුණා නම් ඔයා ඒවා චෙක් කරලා බලන්න ඕනා අපිට දෙන්න කලින්. කරන්න ඕනා වැඩේ නොකර වෙන වෙන අනවශ්‍ය වැඩ නම් කරන්න යනවා. එක්කෝ කැප්ටන්ට ඇවිල්ලා මේක හදන්න කියන්න. නැත්නම් ඔයා ගිහින් මේක හදන් එන්න"

"හරි සර් මම හදන් එන්නම්" යි කියා වහා එය අතට ගත් නෝල් අඩියට දෙකට එතනින් නික්මී නැව බලා ගියේය.  නැවට ළඟා වන විට සිය වැඩ අවසන් කොට තිබූ කපු‍ටු ‍රැල, නැව අසලට වී සිටි අතර නෝල්ව දු‍ටු වහා ඔහුව වට කර ගත්හ.

"මහත්තයෝ ඔයා කොහෙද යන්නෙ, නැව් ඉවර වෙනකොටම? දැන් නැව ඉවර වෙලා කොයි වෙලේද? අපි මෙතන වේලි වේලි බලන් ඉන්නවා. අපිව යවලා ඉන්නකො"යි අයෙකු සද්දය දැම්මේය.

"හරි හරි මට තව පැය භාගයක් දෙන්න මේ පොඩි අවුලක් තියනව ක්ලියරන්ස් එකේ. එක හදා ගත්තු ගමන් මම එනවා ඕගොල්ලන්ගෙ සල්ලි ගෙවන්න"යි ප්‍රගුණ කළ ඉවසීමෙන් යුතුව නෝල් පැවසීය. නමුත් මෙහිදී එක් සේවකයෙකු අසභ්‍ය වචනයෙන් කියූ යමක් නෝල්ගේ සවනත පතිත වීය. සැම දෙසින්ම එල්ල වෙන පීඩනයෙන් මිරීකි, තෙරපී සිටි නෝල්ගේ ඉවසීම, තෙරපෙමින් සිට වහා විධාරණය වන්නාවූ ගිණිකන්දක් මෙන් පුපුරා කඩා හැලිනි.

"මෙ හලෝ, තමුසෙලාව යවන්න කලින් මම නැව යවලා ඉන්න ඕනා. අනිත් ඕන මගුලක් කරන්නේ ඊට පස්සෙයි. ඉන්න බැරිනම් යනවා." දැඩි ස්වරය කපු‍ටු ‍රැල මදකට මෙල්ල කරවීය. ඔවුන් නොතැකු නෝල් දඩිබිඩියේ පෙත්මග නැග කපිතාන් වරයා හමුවට ගොස් අදාළ නිවැරදි කිරීම කරගෙන නැවත රේගු කාර්‍යාලය බලා ඉගිලුනි.

"මිස්ටර් මේක හොඳට අහගන්න. ඔයා සමහර විට තාම මේවට අලුත් ඇති. මේ වරායෙ වැඩකටයුතු වෙන පිළිවෙළක් තියනවා හරිද ? ඒවා වෙනස් කරන්න හදන්න එපා. ඔයාට වැඩිය ගොඩාක් ලොකු මිනිස්සුත් ඕවා වෙනස් කරන්න හැදුවා. ඔය ටික ඔයා ගිහින් කැප්ටන්ටත් කියන්න." නිෂ්කාශන පත්‍රිකාව නෝල්ගේ අතට පත් කරමින් රේගු නිලධාරියා කළ දේශනාවයි ඒ. එය අතට ගන්නා විට නෝල් හට විශාල සහනයක් දැනුණද, විය යුතු හානිය සිදුවී හමාර වී තිබුණි. දොළහට යත්‍රා කිරීමට තිබූ නැව, පිසාචයන්ට නිසි පරිදි දොළ පිදේනි නොගෙවීමේ වරද නිසා පැය හතරක පමාවකින් වන්දි ගෙවා තිබුණි. නැව සැලසුම් කර තිබූ පරිදි පිටත් කොට නොහැරීමේ වරදට දොස්  පවරා චෝදනාත්මක විද්‍යුත් ලිපියක් ඒ වනවිටත් නෞකා සමාගමෙන් පැමිණ ඇති බව නෝල්ගේ ප්‍රධානියා ඔහු වෙත දන්වා සිටියේය.

අල්ලස, දූෂණය, නිලධාරිවාදය ආදී කී නොකී සුවහසක් ව්‍යාදීන්ගෙන් බැටකන කොන්ටෙයාන්ස් නගරයේ ආර්ථික මර්මස්ථානයෙහි වත්මන් ඛේදජනක ස්වරූපයෙන් කොටසකි මේ. ඔඩු දුවා, පැසවා, ඕජස් ගලන මෙම වනයන් සුව වීමකින් තොරව, ඇය කවදා නිදුක් නිරෝගී සුවයක් ලබාවිදැයි කා හට නම් කිව හැකිද? මෙම දූෂිත නිලධාරීන්ට, අලස සේවකයන්ට පින්සිදු වන්නට බාහිර ලෝකය කොන්ටෙයාන්ස් දෙස බලනා ආකාරය පිළිබඳ මනා වැටහීමක් තිබූ නෝල්, විටෙක කොන්ටෙයාන්ස් ජාතිකයෙකු වීම පිළිබඳ සිතින් අපමණ දුක් වූ අවස්ථාද නොතිබුණේ නොවේ.


ලියුවේ;
සෙන්නා / 01.04.2016

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog