Sunday, November 19, 2017

ඇස්-වහ, කට-වහ පිච්චීම...

19.11.2017

කිවහැකි, පෙන්විය හැකි මේ යැයි මහා සෞභාග්‍යයක් නොතිබුණද, එක දිගට අසනීප වීම, පාසලේ කටයුතු වලින් පසු බැසීම,පවුලේ ආර්ථික තත්ත්වය කබලෙන් ලිපට වැටීම, වෙනත් සුළු සුළු අකරතැබ්බයන් සිදුවීම, ආදී මෙකී නොකී දෝමනස්සයන් සිදුවීමෙහි මූලය අප කිසිවෙක් නොදැන සිටියද, අම්මා එය අතැබුලක් සේ දැන සිටියාය. එකල්හී කළ යුතු ශාන්තිකර්මයෙහි යකැදුරා ඇයම වන්නීය. එහි ප්‍රතිඵලයක් ලෙස අප හට කෙස් කැපීමට, ඇඳුම් වල නූල් ඇදීමට සිදූ වීම නොවැළැක්විය හැකි ක්‍රියාදාමයෙකි.

ඇස් වහ කට වහ පිච්චීම යනුවෙන හැඳින්වෙන මේ මහා කු‍ටුම්බ ශාන්තිකර්මය බොහෝ විට සිදු වන්නේ පවුලේ සාමාජිකයන්ට පමණක් සීමාව, රහසිගතවය. මුලින්ම තරමක් විශාල ඇතිලියක් ගන්නා අම්මා, එහි අඩිය වැසී යන සේ සුදු වැලි පුරවනු ලබන්නීය. ඉන්පසු වියළි පොල් ක‍ටු දෙක තුනක් ඒ තුළට බහාලන ඇය, සියල්ල හොඳින් පෙගී යන පරිදි ඒවා භූමිතෙල්වලින් නහවනු ලබයි. පත්තු කරගන්නා ගිනි කූර ඒ මතට විසි කිරීමේදී "බ්වූස්.." අනුකරනගෙන් ගිනි ජලා මවමින් ඇතිවන ගින්න, එළියට පැන අපවද දවා හළු කරනු ඇතැයි සිතෙන තරමට ආරම්භයේදී සහාසික වන නමුදු මොහොතකින් ඇතිලිය තුළට පමණක් සීමා වී පොල්ක‍ටු ටික පුළුස්සා දැමීම පමණක් සිදු කරයි.

මෙසේ පොල්ක‍ටු පිළිස්සෙන අතරවාරයේ, අප එකිනෙකා වෙනුවෙන් සුදු කොළ කැබැල්ලක් මේසය මත තබනා අම්මා, මුලින්ම ඒ සියලු කොළවලට සීනක්කාරම් කැබැල්ලක්, ගම්මිරිස් ඇට කිහිපයක්, ලුණු කැටයක්, වියළි මිරිස් කරලක් දමන අතර හිසෙන් උගුල්ලා ගන්නා කෙස් ගස් කිහිපයක්, ඇඳුමකින් ගලවා ගන්නා නූල් කැබැල්ලක්, යටි පතුලට පෑගුණු වැලි ස්වල්පයක් ආදිය ගෙන තමාට නියමිත කොළ කැබැල්ලට දමා, එය ගුලි කොට හිසේ සිට පාදය දක්වා කැරකැවීමේ විධානය අප හට නිකුත් කරන්නීය.

මේ සියලු වතාවත් ඒ ආකාරයෙන්ම සිදුවන අතර ඉන් පසු අප එකි නෙකාගේ වාරය එන තෙක් ගුලි කරණ ලද කරදාසි කැබැල්ල මිටමොලවාගෙන නොයිවසිල්ලෙන් බලාසිටිති.

පොල් ක‍ටු දැවී හලුවී අගුරු වූ පසු මුලින්ම වාරය හිමිවන්නේ අයියාටය. කරදාසි ගුලියෙහි ඇති සංයුතිය රත් පැහැවූ පොල්ක‍ටු මතට අත හරිනු ලබයි. කෙස්, මිරිස්, සීනක්කාරම් එක්ව පිළිස්සීමෙන් නාසය හකුළුවන අමුතු ගන්ධයක් නැගුනද එය දරාගැනීමට අපහසු තරමේ එකක් නොවුණි. පොල්ක‍ටු රස්නයෙන් බැට කණ සීනක්කාරම් කැබැල්ල ඇබරෙමින්, හැකිලෙමින් නෙක නෙක රටා මවන අතර අප සියල්ල වටවී අයා ගත් දෑසින් යුතුව ඒ දෙස බලා සිටින්නේ අභග්ගයේ නියමුවා කවුදැයි ඒ තුළින් කියාපානා තෙක්ය. අවසන සීනක්කාරම් කැබැල්ල නිශ්චිත හැඩයක් මවා පාෂාණිභූත වන අතර එය බොහෝ විට මුහුණක හෝ කටක ස්වරූපයක් මැවීම අනිවාර්යය දෙයකි. මෙවිට ඒ දෙස් හොඳින් බලන අම්මා, "පේනවද අරයගෙ ලොබු කට?, ඔය තියෙන්නේ පණ පිහිටෙව්වා වගේ!, ඔය යකාගෙ කටේ වහංගතිය තමා ඔය වැදිලා තියෙන්නේ, ඊරිසියා කාරයා." යි කියනු ලබන්නීය. අම්මා ඒ අදහස් කරනු ලබන්නේ අසල්වැසි කටවහ කාරයෙකුයැයි හන්වඩු ගැසි ඇති පුද්ගලයෙකි. පූර්ව අත්දැකීම අනුසාරයෙන් අම්මා අදහසස් කරන්නේ කවුදැයි අප දන්නා අතර, අප ඇස්වහ ඇතිලිය වටා වට වන්නේත් ඔහුගේ කට දැකීමේ පූර්ව විනිශ්චය සහිතවම නේදෝයි මට අද සිතේ. "මොන මගුලකට ද අම්මේ ඒ මිනිහා අපිට ඊරිසියා කරන්නේ?" යි ඇසීමට එකල අපහට තර්ක බුද්ධියක් හෝ ධෛර්යයක් නොතිබුණ ද, තවෙකෙකුගේ ඊරිසියාවට ලක්වීමට තරම් දෙයක් එකල අපහට තිබුණේදැයි මම දැන් කල්පනා කරමි.

ඊ ළඟට එළබෙන්නේ මගේ වාරයයි. එයත් පෙර වාරයෙන් වැඩි වෙනසක් නොවන අතර සමහර විටෙක එය ඇසක රූපයක් මවනු ලබයි. ඒ අනුසාරයෙන් පෙර කී පුද්ගලයාම හෝ වෙනත් පුද්ගලයෙකු මාගේ හෙනහුරායැයි චෝදනා ලබනු ලබයි.

මෙසේ අප සියලු දෙනාගේම ඇස් වහ, කට වහ පිච්චීමෙන් පසු අම්මා ඇතිලිය ගෙයි මුල්ලක තබන්නේ පසුදා පාන්දර කුකුළාටත් පෙර එය ගෙන ගොස් හතර මංහන්දියක හැලීමේ වගකීම අයියා සහ මා වෙත පවරමිනි.

මෙහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවද, මේ ක්‍රියාවලියෙන් පසු ඇතිවන මහා විශ්ව කර්ම වෙනසකින් අප නිවස පිරි ඉතිරී නොගියද, අප යම් ‍රැකවරණයක් ලැබුවායැයි අම්මා යම සහනයක් ලබන්නට ඇතැයි, ආපසු සිතා බලන විට මට සිතේ.

එකල, හතර මං හන්දි වල නිතර මෙවැනි දෑ දකින්නට ලැබුණු බැවින් මේවා කළේ අප පමණක් නොවන බවනම් සහතිකය. මගේ මතකය නිවැරදිනම් අවුරුදු දහයකින් මෙපිටවත් මම මෙවැනි ඇස් වහ කටවහ පිළිස්සු අවශේෂ, මංසන්ධියක නොදැක ඇත. වර්තමානයේ මිනිසුන් මේ මිථ්‍යා විශ්වාසයන්ගෙන් දුරස්වෙමින් පවතින බවට එය යම් සාධකයක් විය හැකිය. 


ලියුවේ;
සෙන්නා / 19.11.2017

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog