Thursday, September 4, 2014

රට ගිය ඇත්තෝ.......

2014 බිනර මස 04වනදා

දිනය : 2005 ඔක්තෝබර් 27
දවස : බ්‍රහස්පතින්දා
වේලාව : මධ්‍යම රාත්‍රියට ආසන්නයි.

මැදපෙරදිග වූ එක්තරා දියුණුයැයි සම්මත නූතන නගරයකි. එහි වූ දහසකුත් එකක් අති නවීන උස් ගොඩනැගිලි අතරින්, එක් සුවිශේෂී ගොඩනැගිල්ලක විසි එක් වන මහලයේ වූ මහල් නිවාසයක් අභ්‍යන්තරයෙහි පිහිටි කාමරයෙකි. බැලූ බැල්මට ස්ත්‍රීන්ගේ වාසස්ථානයක්යැයි සිතිය හැකි ලක්ෂණ එයින් විද්‍යාමාන විය. නිසි පිළිවෙළ, මේසයක් මත වූ මල් බඳුන, විශාල අජීවී පැන්ඩාවන් දෙදෙනෙකු එයින් සමහරක් පමණකි. බිත්තියෙහි අලවා තිබූ විශාල ප්‍රමාණයේ මනරම් දර්ශනයකි. එහි අති අලංකාර වෙරළ තීරයක් දක්නට වූ අතර යටින් "ලස්සන පිලිපීනය" යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබුණි. එහි සයනයන් ද්විත්වයක් වූ බැවින් තරුණියන් දෙදෙනෙකු වසනා බව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. නමුත් මෙහි ඇති විශේෂත්වය මේ කිසිවක් නොවේ. මේ කියනා මොහොතේ මෙම කාමරයෙහි වූ පැන්ඩාවන් දෙදෙනාගෙන් එකෙකු එක සයනයෙක පහසුවෙන් වැතිර සිටිනා විටම අනෙක් පැන්ඩාවා අනෙක් සයනය අසල බිම පතිතව සිටිනු දක්නට හැකි විය. ඉතින් එහි ඇති විශේෂත්වය කුමක්ද ? ඔබ එසේ අසනු ඇත. විශේෂත්වයනම් එම මොහොතේම බිම වැටී සිටි පැන්ඩාවා අසළවූ සයනය මත විශාල ගිනි ජාලාවක් බුර බුරා නැගීමයි. ගින්නකට අවැසි සියලු සාධක මනාව එකතුව පැවති බැවින් එහි ගිනි ජාලා විහිදුවමින් බුර බුරා නැගෙනා ගින්නකි. විටෙක එකිනෙකා වෙලෙමින් සයනයෙන් ඉහලට නැගෙනා ගිනි දළු, විටෙක සයනයටම ඇලී ගිලී යති. ගින්නකට හසුවූ වියළි දණ්ඩක් ඇබරී, මිරිකී දැවී හළු වී යන අයුරු සිහිගන්වමින් මෙම ගින්නෙහි ප්‍රබලතාවයට හසුවූ සයනය ඇබරෙමින්, මිරිකෙමින් චලනය වෙමින් තිබිණි. ලෝකයන් දෙකක් මුලු මනින්ම දවා හළු කළ හැකි තරම් වූ අති ප්‍රබලව නැගෙනා ගින්නකි ඒ.

එහෙත් පුදුමයකි ! සිගරට් දුමාරයකට පවා අති සංවේදීව ක්‍රියාත්මක වන අති ප්‍රබල සංවේධකයන් මෙම ගිනි ජාලාවන් දෙස බලා නිසලව සිටියහ. හැකිතරම් වීරිය දමා කෑගසා මුළු ලොවටම මේ ගින්නෙහි පණිවිඩය දැනුම් දිය යුතු උවත් ඔවුන්ද වගේ වගක් නොමැතිව සිටී. සමහර විට ඔවුන් ගින්න රසවිඳිනවා විය හැකියැයි හිතෙනා තරමට නිහඬය. එබැවින්ම එම ගින්න මුළු ලෝකයටම රහසක්ව නිවී යාමට වුවත් බැරි නැත.

OOOOO

අබුඩාබි නගරයට තවත් සති අන්තයක් උදා කරමින් ඒ බ්‍රහස්පතින්දා සවස හිරු අවරට යමින් පැවතුණි. උදයේ සිට නොකඩවා වැඩ කිරීම හේතුකොටගෙන ඇතිවූ වෙහෙසත් සමඟින් කුසල් සිය කාමරය වෙත පියනගිමින් සිටී. කලකට පසු ඔහුට නියමිත වේලාවට සේවය අවසන් කිරීමේ හා සති අන්තයෙහි නිවාඩුව ගැනීමෙහි භාග්‍ය උදාවූ තිබූ බැවින් ඔහු සිටියේ සතුටිනි. ශීත කාලය අත ළඟම පැමිණෙන බවට ඉඟි දෙමින් ගතෙහි දැව‍ටුණ සිසිලස ඔහුගේ එම සතුට තීව්‍ර කළේය. කාර්‍යය බහුල අබුඩාබි නගරයෙහි මාවත් දිගේ පා නගමින් සිටියද ඔහුගේ සිත තිබුණේ ඉන් සැතපුම් දහස් ගාණක් එපිටිනි. විනාඩි පහලවක පමණ ඇවිදීමකින් අවසානයේදී ඔහු සිය නවාතැන්පල වූ කාමරයට ළඟා වීමට සමත් විය. එය ඔහු තවත් තරුණයන් දෙදෙනෙකු හා හවුලේ පරිහණය කෙරුවේ වියදම් අවම කරවා ගැනීමේ අරමුණිනි. මේ කියන දිනයේ එහි වූයේ කුසල් හා තවත් එක් සගයෙකු වූ ජගත්  පමණී. තෙවෙනියා වූ දර්ශන කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට ගොසිනි.

කාමරයට පැමිණි කුසල්, සිය ඇඳුම් මාරු කර නොගමින්ම ජංගම පරිගණකය ක්‍රියාත්මක කරවූයේ ස්කයිප් හරහා නිවස හා සම්බන්ධ වීමටය. මෙය දෛනික ක්‍රියාකාරකමකි.

‍ටුක් ‍ටුක් ‍ටු‍ටුට් ‍ටුට් ‍ටුට් අනුකරණයෙන් එය අනෙක් පසින් වූ බිරිඳගේ ගිණුම හා සම්බන්ධ වීමට දරණ උත්සහය දෙස මද වේලාවක් බලා සිටින විට තිරය මතා සිනා මුවින් යුතු කුසල්ගේ බිරිඳගේ රුව දර්ශනය විය.

"කොහොමද ?"

"හොඳයි.."

"වැඩ අඩුද අද ? අද වේලාසනින්"

"හ්ම්ම්ම් "

"කෝ පුතාලා ? "

"ආහ් ඔය ඉන්නේ ටී වී එකේ එල්ලිලා.."

"පාඩම් කරලද ඔය ඉන්නේ ?"

"පොඩ්ඩනම් කළා, අරයව ඉතින් මරන්න ගෙනියන්න ඕනා ඒකට."

"එහෙමද ? බලමුකො.. හැමෝම ඉතින් ඉගන ගන්න මනාප නෑනේ.. අඩුම ගානේ විභාග ටිකවත් ගොඩ දාගත්තොත් මදෑ.. "

හෝරා යන්ත්‍රයෙහි සවස හයයි තිහ සටහන් වන විට ඔවුන් බොහෝ දේ පිළිබඳව කතා බහ කළහ. යමින් එමින් පරිගනකයට ඔළුව දැමූ දරු දෙදෙනා නිසා මාතෘකා වෙනස් වුවද එය ඔවුනට බාධාවක් නොවුනි.

"ආ... ක්‍රෙඩිට් කාර්ඩ් බිල් එක ගෙව්වද ? අද අන්තිම දවස" හදිසියේ මතකයට නැගුනු එම පැණය කුසල්ගෙන් බිරිඳටය. එවිටම අනෙක් පසින් නළලෙහි අත ගසා ගන්නා බිරිඳගේ රුව දු‍ටු කුසල්ගේ මුහුණ අඳුරු විය.

"අයියෝ අමතක වුනානෙ"

"විහිළුද කරන්නෙ ? " කුසල්ගේ ස්වරයට කෝපය මුසු වී තිබිණි.

"නෑ ඇත්තමයි.. අමතක වුනා අනේ."

"තමුසෙට මොන විකාරයක්ද හලෝ වෙලා තියෙන්නෙ? දැන් මේ තුන් වෙනි පාරනෙ ඕක අමතක කරපු !"

"හයියෝ ඉතින් අමතක වුනානෙ.. මම හිතලා අමතක කරා නෙමේනෙ.."

" අමචක වුනා ..! මම ඊයෙත් මතක් කරපු එක අද අමතක වුනා..? ඊයෙ ගෙවන්න කිව්වා ඒක කළේ නෑ අදට කල් දැම්මා. ඔච්චර කියද්දිනෙ ඕක අමතක කළේ. තමුසෙ මොන ලෝකෙද ඉන්නෙ ? මම මේහෙ ඉඳන් සල්ලි අච්චු ගහනවා කියලා හිතුවද ඔහොම නිරපරාදෙ නාස්ති කරන්න. එක පාරක් දෙපාරක්නම් කමක් නෑ.. තුන් පාරක් කියන්නෙ ! මම මේ බලනවා කීයක් හරි එකතු කරන් මේ අපායෙන් ඉක්මනට එන්නෙ කොහොමද කියලා.. මුන්ට විහිළු........." ඔහුගේ වත කෝපයෙන් රතු පැහැ ගැන්වී තිබිණි.

"අයියෝ ඔච්චර කියවන්න එපා අනේ.. මේ පොඩි වැ‍රැද්දකට. කොච්චර කළත් කවදාවත් හොඳක්නම් අහන්න නෑ, එත් පොඩි වැ‍රැද්දක් තිබුනොත් ගිරිය පුප්පන් කෑ ගහනවා."

"පොඩි!? පොඩි වැ‍රැද්ද...? අනේ මගේ කට.." ඇයගේ එකටෙක කීම ඔහුගේ කෝපය උත්සන්න කෙළේය. "චටාස්" අනුකරනයෙන් ලැප් ටොප් එක වසා දැමූ කුසල් සයනයෙන් නැගී සිට, ඇඳුම් මාරු කොට නාන කාමරයට වැදුනේ නොනවත්වා බෙරිහන් දුන් ජංගම දුරකතනයද නොතකාය. ඇමතුම කාගෙන්දැයි කීමට ඔහුට දුරකතනයෙහි තිරය බැලීමට උවමනා නොවුනි. නාන කාමරයේ දොර වැසෙන විටම වාගේ කාමරයෙහි දොර ඇරෙනු ඇසුනු හෙයින් සිය සගයාගේ පැමිණීමද ඔහුට සංවේදනය විය.

OOOOO

යාන්ත්‍රිකව සයනයට බරවූ ජගත් සිය පරිගනකය දිගෑරගත්තේ ප්‍රිය බිරිඳව ඇමතීමටය. 

"කොහොමද ඩාලින් ?" ඒ ජගත්ය.

"ඉන්නවා අනේ, ඔයාට කොහොමද ? දැන්ද ආවේ ? මටනම් අද හරිම මහන්සියි අප්පා.. ඔ‍ෆිස් එකේ සෑහෙන වැඩ. ඉතින්හ්.. ?"

"එහෙමද පැටියෝ.. අයියෝ ඔයත් හරියට මහන්සි වෙනවා නේද ? අපි ඉතින් තව ටිකක් මෙහෙම ඉවසගෙන යමුකො ඩාලින්.. ඉක්මනටම ඔක්කොම හරි යයි.."

"හ්ම්ම්ම් ඉතින්හ්.. හෙට නිවාඩු නේද ?"

"ඔව්"

"මොනාද කරන්න ඉන්නෙ ?"

"මේ ඔ‍ෆිස් එකේ උන් ඩුබායි යන්න දාගෙන අනේ.. ඉතින් යන්න වෙනවා.. මටනම් ආසත් නෑ.. කාමරේ ඉඳන් ඔයත් එක්ක චැටක් දාගෙන ඉන්නවා තරම් මොනාද නේද ?

"අනේ හොඳයි ගිහින් එන්න.. අපිට ඉතින් කවදා කතා කරන්න බැරිද ? වෙනසකටත් හොඳයිනෙ. කීයටද යන්නෙ ?"

"අද රෑ යනවා පැටියෝ" එවිටම ජගත්ගේ දුරකතනය බෙරිහන් දීමට සැරසුනු නමුත් ඔහුගේ එක ඇඟිලි පහරකින් නිහඬ විය.

"මේ අරුන් කතා කරනවා..."

"එහෙමද.. ආන්සර් කරන්න එපෑයෑ."

"මොන විකාරයක්ද.. ? ඔයත් එක්ක කතා කරණ එක නවත්තලා උන් එක්ක කතා කරන්න.. මොන හෝහපු‍ටුවොද උන් ? "

"හි හි...පවු අනේ.. ඔන්න ආයෙත් රින්ග් වෙනවා.. ගන්න ගන්න මම මෙහෙම ඉන්නම්.." එහෙත් නැවතත් දුරකතනය ජගත්ගේ අනින් නිහඬ විය. මෙවර අණ දිම පෙරට වඩා දැඩි වූ අතර එයට මද වේලාවක්ද ගත විය.

"මල වදේ.." දුරකතනයට එරවූ ජගත් "ඉතින්හ් " යැයි කියමින් සිය පරිගණක තිරය දෙස බැලීය. කුසල් කාමරයට ඇතුලු වීමත් එවිටම වාගේ සිදු විය..

"ආ කුසල් මල්ලී අද වේලාසන ඇවිල්ලානේ.. මම ඒත් බැලුවා මේ මොන පුදුමයක්ද කියලා.." කුසල් දෙස බලමින් පැවසූ ජගත් " බලන්නකො ඩාලින්, මූ අද වේලාසන ඇවිල්ලා.. මෙහෙටනම් ඉතින් වහින්නෑනෙ, අඩුම ගානේ ඔහෙටවත් වහිනවද බලන්න.. පැටියෝ .. හෙහ් හෙහ් " පරිගනකයට කීය. ජගත් බිරිඳ සමඟ කතා කරමින් සිටි බැවින් කුසල් මුවින් නොබැන සිනාවකින් පමනක් සංග්‍රහ කෙළේය.

"පවු අනී නිකන් ඉන්න බයිට් නොකර."

කුසල් නිහඬව පරිගනකයට යොමු වූ අතර ජගත්ගේ ස්කයිප් කතා බහ දිගටම කෙරීගෙන ගියේය..

"එහෙනම් මම තියන්නද වස්තුවෙ.. මම දැන් යන්න ඕනා. අරුන් බලාගෙන ඇති. එහෙනම් හෙට හවසට කතා කරමු හොඳේ ?"

"හරි බබා ඔයා පරිස්සමින් ගිහින් එන්න.. අපි හෙට කතා කරමු.. ලව් යූ"

" ඕකේ ඩාලින්.. ලව් යූ ටූ.. ලව් යූ සෝ මච්. "

"ඉතින් මචන්.. මොනාද කරන්න යන්නෙ අද ? උඹ හෙට වැඩද ?" ජගත් කුසල්ගෙන් ඇසුවේ හෙඩ් ෆෝනය කනෙන් ඉවත් කරමිණි..

"නෑ බන් හෙටත් නිවාඩු.. "

"නෑහ් මාරයිනෙ... ඉතින් මොකද කරන්නෙ ? කොහෙවත් යනවද ? "

"එහෙමට යන්න කියලා තැනක් නෑ බන්.. බොහෝ විට කාමරේම ඉඳියි. උඹ කොහෙවත් යනවද ? "

"ඔව් බන් මම තව ටිකකින් ඩුබායි යනවා හෙට රෑ තමා එන්නෙ"

"එහෙමද ? එළ එළ එහෙනම් ගිහින් වරෙන් මාත් තව ටිකකින් පොඩි වැඩකට එළියට යනවා.. රෑට කන්නත් ඕනා.."

~~නිමි

ලියුවේ:
~~සෙන්නා / 04.09.2014


රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog