Thursday, September 20, 2012

BOAC Flight 781 | ගුවන් ගමනේ අනාගත හැඩ රුව වෙනස් කළ Comet යානා අනතුර.

2012 බිනර මස 20 වනදා.



1954 ජනවාරි 10 වන දින දහවල් 01:30 යි ( ලංඩන් වේලාව ), ලංඩන් හීතෲ ගුවන් තොටුපළ. 

Jain Wilmot සිය මව සහ සහෝදර සහෝදරයින් සමඟ, ඕස්ට්‍රේලියාවේ සිට ගෙදර පැමිණෙන සිය පියාණන් වූ Chester Wilmot මහතාව පිළිගැනීමට නොයිවසිල්ලෙන් බලා සිටියාය. Chester Wilmot, BBC ආයතනය වෙනුවෙන් සේවය කළ ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදියෙකි. බ්‍රිතාන්‍යය රැජිනගේ ඕස්ට්‍රේලියානු සංචාරයක් ආවරණය කිරීමට ඕස්ට්‍රේලියාව බලා ගොස් නැවත නිවස කරා පැමිණීමට තිබුණේ එදිනය. 

තත්පරයෙන් තත්පරය ගෙවී ගියේ දස හැවිරිදි අර්ධ ශ්‍රවණාබාධිත Jain ගේ නොයිවසිල්ල තීවෘර කරමිනි. ගුවන් යානය පැමිණීමට නියමිතව තිබූ වේලාව පසු විය. පැමිණීම් සටහන් පුවරුවල ගුවන් යානය "ප්‍රමාදයි" ලෙසින් සටහන් විය. ඇය නැවත නැවතත් පැමිණීම් සටහන් පුවරු පරික්ෂාකරමින් පසු වූවාය. හස්දිසියේම ඇයගේ හිත බියෙන් පුරවාලමින් සිය පියා පැමිණීමට නියමිතව තිබූ BA781 ගුවන් යානය පුවරුවෙන් අතුරුදහන් විය. BOAC British Overseas Airways Corporation සේවා කවුළුව වෙත ගිය ඈ ඒ ගැන විමසා සිටියාය.

" ඒක ඔයාට කියන්ඩ බෑ දරුවෝ, ගිහින් ඔයාගෙ අම්මව එක්කන් එන්න " ඒ ඈ ලද පිළිතුරයි. 

~~~~~

1954 ජනවාරි 10 වනදින උදෑසන 09:30 යි ( රෝම වේලාව ), Ciampino ගුවන් තොටුපළ, රෝමය.

සිංගප්පූරුවේ සිට පැමිණි  BA 781 යානය සිය ගමනාන්තය වූ ලංඩන් බලා යාම සඳහා ලහි ලහියේ සැකසෙමින් තිබුණි. මෙම යානය එවකට තාක්ෂණයේ සුපිරි සංකේතයක් බඳු වූ, ලොව මුල්ම මගී ජෙට් යානා කාණ්ඩයවූ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත Comet යානා වලින් එකකි. Comet යානා එවකට ගුවනෙහි ජය කෙහෙලි නැංවූ, එවකට පැවති උපරිම තාක්ෂණයෙන් සන්නද්ධ වූ මගී ගුවන් යානා සමූහය විය. මෙම යානා අධිබලැති ජෙට් එන්ජින් හතරකින් සමන්විත වූ අතර කාර්යය මණ්ඩලයද ඇතුළුව 42 දෙනෙකුට ගමන් කිරීමේ පහසුව තිබුණි. වේගය පැයට කිලෝ මීටර 800 කි. එය ආසන්නම තරගකාරී යානයේ වේගය මෙන් දෙගුණයට ආසන්න වේගයකි. මෙම සුපිරි වේගය කාර්යක්ෂමව ලබාගැනීමට ආධාරකයක් වශයෙන්, Comet යානා මීටර 12000 ක් තරම් වූ උසකින් ධාවනය වුයේ එම මට්ටමේදී වාතය තුනී බැවිනි. එම වකවානුව වනවිට එවැනි කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක් දක්නට වූයේ ප්‍රහාරක යානාවල පමණී. හඳුන්වාදී මාස 20කට පසුවදී යානා 17ක් සේවයේ යෙදවී තිබුණි. එයින් නවයක්ම අයත්ව තිබුණේ  BOAC හටය. BA 781 එයින් එකකි.

රෝම ගුවන් තොටුපලේදී, යානය පිටත් වීමට පෙර BOAC ඉංජිනේරු Gerry Bull ගේ සුපරික්ෂාවට යානය භාජනය විය. උදෑසන දහය වන විට Bull සිය පරික්ෂාකිරීම අවසන් කොට සෑහීමකට පත්ව සිටි බැවින් කාර්යය මණ්ඩලය යානයට ගොඩවැදුණි. යානයේ කපිතාන් වූයේ තිස් එක් හැවිරිදි Alan Gibson . ඔහු BOAC හී ලාබාලම කපිතාන් වරුන්ගෙන් කෙනෙකි. මේවන විට රෝම ගුවන් තොටුපළ පර්යන්තයේ මෙම යානයෙන් ලංඩන් බලා ගමන් කිරීමට නියමිතව සිටි මගීන්, පාතරාසය ගනිමින් සිටියහ. ඔවුන් අතර Jain ගේ පියාණන් වූ Chestor Wilmot ද විය. පෙර සඳහන් වූ පරිදි ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ලංඩන් බලා ගමන් කරමින් සිටියේය. දහයයි පහට යානය ගමනාරම්භ කිරීමට සූදානම්. විසි නව දෙනෙක් වූ මගීන් සහ සය දෙනෙකුගෙන් සමන්විත් කාර්යය මණඩලය සිය දෛවෝපගත ගමනාන්තය බලා යාමට යානයට ගොඩවී සිටියහ. ඔවුන් අතර සිය විවාහය වෙනුවෙන් ගම රට බලා යන විදුලි ඉන්ජිනේරුවකු වූ Bernard Butler ද විය. ඔහු සිය අනාගත මනමාලියව පුදුම කරවීම උදෙසා ඇය වෙනුවෙන් ධවල වර්ණ මංගල ඇඳුමක්ද රැගෙන යමින් සිටියේය.

BA 781 එදින රෝමයේ සිට ලංඩන් බලා යාමට නියමිතව තිබූ ගුවන් යානා පහෙන් එකකි. BA 781 ගුවන් ගත වීමට විනාඩි දහයකට පෙර ලංඩන් බලා ගුවන් ගතවූ පැරණි පන්නයේ ගුවන් යානයක් වූ BOAC Argonaut යානය රෝම ගුවන් තොටින් නික්මුණි. උදෑසන දහයයි තිහට BA 781 ධාවන පථයට පිවිසියේය. ඉන් මොහොතකට පසු යානය අහස් ගැබ දෙබෑ කරවමින් ගුවනට මුසු විය. මේ දක්වා සියල්ල යහපත්.

එය හොඳින් හිරු බැබලූ දිනයකි. ගුවන් ගමනකට යෝග්‍ය කාලගුණ තත්ත්වයක් පැවතුණි. රෝමයේ සිට ලංඩන් දක්වා සම්පූර්ණ කාලය පැය දෙකකුත් විනාඩි තිස් හතක් විය. BA 781 කට කලින් රෝමයෙන් පිටත්වූ BOAC Argonaut යානයට දෙහෝරාවකට ප්‍රථම යානය ලංඩන් වෙත ළගාවීමට නියමිතව තිබුණි. එයයි එහිවූ විශේෂත්වය. එහෙත්, යානයේ සිටි කිසිවකුත් නොදැන සිටි ලොමු දැහැගන්වන රහසක් තිබුණි. ඒ, ඔවුන් කිසි දිනෙක සිය ගමනාන්තය වූ ලංඩන් වෙත ළඟා නොවන බවයි.

ඒ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ලොව පුරා සියලු රටවල් හිස ඔසවමින් සිටි අවධියයි. ලොව පුරා ගුවන් මඟීන් සංඛ්‍යාවෙහි පැහැදිලි වැඩිවීමක් දක්නට තිබුණි. අවශ්‍යතාවයට සරිලන ලෙස සැපයුම උදෙසා නව ගුවන් යානා වලට වූ ඉල්ලුමද ශීඝ්‍රයෙන් වැඩිවිය. Comet නිෂ්පාදකයන්වූ De Havilland ගේ මුඛ්‍ය අරමුණ වූයේ මෙම නැගී එන වෙළදපළෙහි සිය අණසක පතුරුවාලීමයි. ඒ සඳහා Comet යානා වලින් ලද සහය අති මහත්ය. ඒ වෙන කිසිවක් නිසා නොව එවකට පැවති කිසිම යානයක්, අමෙරිකාවේ නිෂ්පාදිත Boeing හෝ Douglas යානවන් පවා, Comet යානා සමඟ තරගකිරීමට අසමත්ව සිටි බැවිනි. Comet යානා සේවයට පැමිණීමේ සිට ඒ දක්වා අනතුරු දෙකක් පමණක් වාර්තාවී තිබුණි. එකක් පකිස්තානයේදී, යානයක් ගුවන් ගත කිරීමකදීය. ඊට මාස දෙකකට පමණ පසු ඉන්දියාවේදී තවත් අනතුරක් සිදුවූයේ අයහපත් කාලගුණය හේතුකොටගෙනය. මෙම අනතුරු දෙකෙන්ම මගීන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. අනතුරු දෙකම අපහසු දායක තත්ත්වයන් යටතේ සිදුවූ බැවින්, Comet යානා වල විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්න කිරීමක් ඇති නොවුණි.

උදෑසන 10:38 යි. යානය මීටර 11000 ක උසකට ළඟාවිය. යානයේ අභ්‍යන්තර පීඩනය මිනිස් සිරුරට යෝග්‍යවන තරමට වැඩි කෙරිණි. කාර්යය මණ්ඩලය සිය සේවා සැපයීමේ යුහුසුළුව නිරතව සිටිනු දක්නා ලදී. මගීන් කාර්යය මණඩලයේ සත්කාර විඳිමින් සුවපහසු ලෙස සිය අසුන් වලට බරවී සිටියහ. මේ අතර කපිතාන් GibsonBOAC Argonaut හී කපිතාන් Johnson හා ගුවන් විදුලි පණිවුඩ මගින් සම්බන්ධව කාලගුණ තත්ත්වයන් හා අනෙකුත් විස්තර හුවමාරු කරගන්නා ලදී.

උදෑසන 10:41 යි. කපිතාන් Gibson විසින් රෝම ගුවන් තොටුපළ පාලක මධ්‍යස්ථානය අමතා විස්තර සපයා සියල්ල යහපත්ව සිදුවන බව වාර්තා කොට සිටියේය. යානය ඒවන විට ඉතාලි වයඹ වෙරළ තීරය ඔස්සේ ගමන් කරමින් සිටි අතර එල්බා දිවයින ආසන්නයේ පසු විය. වේලාව උදෑසන 10:51යි. කපිතාන් Gibson නැවත කපිතාන් Johnson ව සම්බන්ධ කරගන්නා ලදී. ගුවන් විදුලි සන්නිවේදනය අතර තුර හදිසියේම කපිතාන් Johnson ට අනෙක් පසින් ශ්‍රවණය වූයේ විශාල පිපිරුම් හඬක් සමඟ මිනිසුන්ගේ මර ළතෝනියකි. ඒ සමඟම සම්බන්ධතාව විසන්ධි විය. ඔහු, නැවත සම්බන්ධ කර ගැනීමට කිහිප වරක්ම උත්සහා කළද සාර්ථක නොවුණි. සිද්ධිය වහාම රෝම ගුවන් තොටුපලට වර්තා කෙරුණ අතර BA 781 සම්බන්ධ කරගැනීම රෝම ගුවන්තොටුපළ පාලක මධ්‍යස්ථානය දැරූ උත්සහයද අසාර්ථක විය.

සිදු වූයේ කුමක්ද ?? ..............................


රෝමයේ සිට කිලෝ මීටර් 200 ක් පමණ වයඹට වන්නට වූ එල්බා දිවයිනේ, සිය දැල් ආම්පන්න සකසමින් සිටිනා ඉතාලි ධීවර කාර්මිකයන් පිරිසකි. ඔවුන්ගේ අවධානය බිඳිමින් හදිසියේ අහස ගුගුරන්නට විය. එය මින් පෙර කිසිඳු දිනක ඔවුන් නොඇසූ විරූ ගිගිරීමකි. නිතැතින්ම ඉහළ බැලු ඔවුන්, ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ අවසනාවන්ත සිද්ධියක සාක්ෂි කරුවන් පිරිසක් වූහ. ඔවුන් දුටුවේ ගිනි ගෙන දැවෙමින් සයුරට කඩා වැටෙනා ගුවන් යානයක සුන්බුන්ය.

වහා ක්‍රියාත්මක වූ ධීවරයන් පිරිස සිය යාත්‍රා යානය කඩා වැටුණේයැයි ඔවුන් අනුමාන කළ ස්ථානය බලා යාත්‍රා කළහ. මුලින්ම ඔවුනට කිසිවක් දකින්නට නොලැබුණි. සීගල් කුරුලු රංචුවක් පියාසර කරමින් සිටි ඉසව්වක් බලා යාත්‍රා කළ ඔවුනට තමන් බලාපොරොත්තුවූ දෙය දකින්නට ලැබුණි. එය අතිශය ඛේදජනක දසුනකි. සුන්බුන් සහ මල සිරුරු දියෙහි පාවෙමින් තිබුණි. සුන්බුන් අතර පාවෙමින් සුදු පැහැති මංගල වස්ත්‍රයක්ද විය.

ඉතාලි ධීවරයන් වහ වහා මල සිරුරු දියෙන් ගොඩ ගැනීම ඇරඹූහ. අනතුරින් යානයේ සිටි තිස් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව සිටියහ. දිවි ගලවාගත් කිසිවකුදු නොවුණි. පහළොස් දෙනෙකුගේ සිරුරු ධීවරයන් විසින් ගොඩ ගන්නා ලදී. මරණ පරීක්ෂණයෙන් පසු කුඩා දේවස්ථානයක ඔවුන් වෙනුවෙන් පැවැත්වූ දේව මෙහෙයකින් පසු එම සිරුරු එල්බා දිවයිනේ භූමදාන කෙරිණ.

මෙම අවාසනාවන්ත අනතුර ලොව පුරා පුවත්පත් වල ශීර්ෂපාඨ පිරවීමට සමත් විය. සැමගේ මුවග රැඳි ප්‍රශ්නය වූයේ " ගුවන් ගමන් ඉතිහාසයේ මෙතරම්ම දියුණු තාක්ෂණයකින් හෙබි යානය, අහේතුකවම කඩා වැටුනේ කෙසේද ? " යන්නයි. එය සාමාන්‍ය අනතුරක ප්‍රතිඵලයක්ද ? නැතහොත් කිසියම් දුෂ්ට ක්‍රියාවක ප්‍රතිඵලයක්ද ? රහස හෙළිකිරීමේ වගකීම විශේෂඥයනට පැවරුණි.

අනතුරින් හෝරා කිහිපයක් නික්මෙත්ම BOAC විශේෂඥයන් Comet යානා පිළිබඳ තාක්ෂණික පරීක්ෂණ ඇරඹූහ. ඔවුන් විසින් යානාවල සැලැස්මේ හෝ නිෂ්පාදන දෝෂයන් ඇත්දැයි සොයා ගත යුතු වූහ. ලෝකයේ ප්‍රමුඛම මගී ජෙට් යානා නිෂ්පාදකයා ලෙස බ්‍රිතාන්‍යයට තිබුණු තත්ත්වයෙහි අනාගතය එම පරික්ෂණ වල ප්‍රතිඵල මත රඳා පැවතුණි. එයින් ඇරඹුණු පරීක්ෂණය ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ වඩාත් සංකීර්ණම සහ වැදගත්ම පරීක්ෂණය බවට පත්විය.

~~~~~
පරීක්ෂකයන්ට මුල සිටම අති විශාල අභියෝග වලට මුහුණ දීමට සිදු විය. 1954 දී, වර්තමානයේ භාවිතා කරනා කළු පෙට්ටි නොවීය, නියමු කුටියේ හඬ පටිගත කිරීමක්වත්, යානයේ තොරතුරු වාර්තා කරගැනීමේ පහසුකම්වත් එකල නොවීය. සිදුවූයේ කුමක්දැයි නිසියාකාරව දැන ගැනීමේ හැකියාවක් කිසි ලෙසකින්වත් නොතිබුනි. ගුවන් යානා අනතුරක් පරීක්ෂණය කල යුත්තේ කෙසේදැයි ක්‍රමවේදයක්වත් ඒ වන විට සැකසී නොපැවතුණි. ඔවුනට සියල්ල මුල සිට ගොඩනගා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වූහ. තිබුණු ප්‍රබලම සාක්ෂිය වූයේ යානයේ සුන්බුන්ය. අවාසනාවකට එයද මධ්‍යධරණි මුහුදේ සැගව ගොස්ය.

අතරවාරයේ මාධ්‍ය වල සැකය කඩාකප්පල්කාරීන් දෙසට යොමුවිය. ධනවාදය සහ සමාජවාදය ගැටෙමින් තිබූ එම අවධියේ සැකයේ හස්තය සමාජවාදී කදවුරට නිතැතින්ම එල්ල විය. නමුත් එය පැහැදිලි සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු වූ කරුණකි.

පරීක්ෂකයනට ඉතාලි ධීවරයන්ගෙන් සහ BOAC Argonaut හී කපිතාන් Johnson ගෙන් යම් යම් තොරතුරු දැන ගැනීමට හැකි වුවද ඒ කිසිවක් ඉදිරියට යාමට තරම ප්‍රමාණවත් නොවීය. මේ අතර වාරයේ ඉතාලියානු මරන පරීක්ෂක වෛද්‍ය Antonio Fornari ගේ සුපරික්ෂාවට මගීන්ගේ සිරුරු භාජනය විය. පරික්ෂාවට ලක්වූ සෑම සිරුරකම වාගේ අත පය කැඩී බිඳී හෝ තුවාල වී තිබෙනු දක්නට ලැබුණි. මේවා මරණයට පසු සිදුවූ හානි ලෙස වෛද්‍ය  ෆොනාරි හඳුනා ගත්තේය. මෙයට අමතරව ඔහුව ව්‍යාකූලත්වයට පත්කළ පොදු ලක්ෂණ කිහිපයක් සෑම සිරුරකම පාහේ දක්නට තිබුණි. එනම් බිඳී ගිය හිස් කබල් සහ පුපුරා ගිය පෙනහළුය. බොහොමයක් දෙනාගේ පෙනහළු පුපුරා ගිය බැලුන් ලෙස සුණු විසුණු වී තිබෙනු ඔහු විසින් නිරීක්ෂණය කරණ ලදී. බෝම්බ පිපිරීමක සාක්ෂි දක්නට නොවුණි. අවසානයේදී සිරුරුවල දක්නට ඇති හිසේ සහ පෙනහළු හානිවීම සිදුවූයේ කෙසේදැයි විග්‍රහ කිරීමට නොහැකිව වෛද්‍ය ෆොනාරි අසරණ විය.

ප්‍රමාණවත් නොවූ සාක්ෂි කරණ කොටගෙන පරීක්ෂණය අතර මග නවතා දමන ලදී.

නමුත්, Comet යානා වල සාර්ථකත්වය මත රඳාපැවති බ්‍රිතාන්‍ය ජාතියේ අභිමානය සහ සමෘද්ධිය ගැන සැලකිලිමත් වූ එක් පුද්ගලයෙක්ගේ අණින් නැවතත් සියල්ල සක්‍රීය විය. පරීක්ෂණය ඉදිරියට ගෙන යාමට අවැසි ප්‍රධානම සාධකය යානයේ සුන් බුන් බව අවබෝධ කොට ගත් එවකට බ්‍රිතාන්‍ය අගමැති වූ Sir Winston Churchill, කඩා වැටුණු යානය ගොඩ ගැනීමේ නියෝගය බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත නිකුත් කෙරිණ.

නාවික හමුදාවට පැවරුණු කර්තව්‍යය කිසිසේත්ම පහසු කටයුත්තක් නොවුණි. ඉන් පෙර මෙවැනි ගොඩගැනීමේ කටයුත්තක් සිදුවී නොතිබුණි. යානයේ සුන්බුන් මධ්‍යධරණි මුහුදේ මීටර් 120ක් පමණ ගැඹුරේ ගිලී ගොස්ය. කිසිවෙකුටත් ස්ථානය පිළිබඳ අදහසක් නොවුණි. නාවික යාත්‍රා වර්ග කිලෝමීටර 260ක කලාපයක් අවරණය වෙන පරිදි සිය සෙවීම් කටයුතු සිදු කළහ. යාත්‍රා හතරක් මේ සඳහා යොදා ගැනුණි. එම යාත්‍රා, ජලය යට භාවිතා කලහැකි කැමරා සහ මුහුදු අභ්‍යන්තර නිරීක්ෂණ කුටීර වැනි එවකට පැවති නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධ වී සිටියහ.

1954 පෙබරවාරි 12 වනදා, අනතුරෙන් දින තිස් තුනකට පසු නාවික හමුදාව සිය කැමරා මගින් යානයේ කුඩා කොටසක් නිරීක්ෂණය කළේය. ඊළඟ සති කිහිපය ඇතුළට වරින් වර ගොඩ ගැනුණු යානයේ කුඩා කොටස් එංගලන්තයට යැවුණි. අවසානයේදී නාවික හමුදාව විශාලම ජයග්‍රහණය ලබා ගනිමින් යානයේ පිටුපස අර්ධයෙහි විශාල කොටසක් සොයාගෙන ගොඩට ගැනීමට සමත්වූහ.

මේ අතරවාරයේ Comet යානා සියල්ල අකර්මණ්‍යව ලංඩන් වල රඳවා තැබිණි. BOAC විසින් සැලකිය යුතු ආයෝජනයක් Comet යානා වෙනුවෙන් සිදුකොට තිබූ බැවින්, යානා නැවතත් සේවයට ගැනීම උදෙසා පීඩනයක් ගොඩනැගෙමින් පැවතුණි. මාර්තු 23 වන දින, අනතුරින් සති දහයකට පසු නැග එන පීඩනය හමුවේ බ්‍රිතාන්‍ය රජය විසින් නැවතත් Comet යානා ගුවන් ගත කිරීමට අවසර ලබා දුනි. කෙසේ වෙතත් ඒ වන විටත් BA 781 යානය කඩා වැටීමට හේතුව සොයා ගෙන නොතිබුණු අතර විශේෂඥයන් ඒ වෙනුවෙන් වෙහෙසෙමින් සිටියහ. වාණිජ කරුණු ගැන පමණක් සලකා බලා ගත් මෙම තීරණය මගින් බ්‍රිතාන්‍ය රජය භයානක වරදක් සිදු කළහ. එය Comet යානා වල සහ එහි නිෂ්පාදකයාගේ අනාගතය තීරණය කරන්නාවූ තීරණයක් විය.

මධ්‍යධරණි මුහුදෙන් ගොඩ ගන්නාවූ සුන්බුන් කැබලි ක්‍රමක්‍රමයෙන් එංගලන්තය වෙත ළඟා වෙමින් තිබුණි. පර්යේෂකයන් ලී වලින් සැදූ  යානා සැකිල්ලකට ඒවා අමුණමින් යානය නැවත ප්‍රතිනිර්මාණය කොට ගැනීමට වෙහෙසෙමින් සිටියේ මෙම අවුල විසඳා ගැනීමට පොටක් පාදා ගන්නා අටියෙනි.

දැන් නැවතත් සියලුම Comet යානා සේවයේ. 1954 අප්‍රේල් 08, ගුවන් ගමන් නැවත ඇරඹීමෙන් දින දාසයකට පසු, මරුවා නැවතත් බිල්ලකට ඉව අල්ලමින් සිටියේය. සුපුරුදු පරිදිම රෝම ගුවන් තොටුපළේදී Gerry Bull අතුළු ඉංජිනේරු කණඩායමේ සුපරික්ෂණයෙන් පසු තවත් Comet යානාවක් ඊජිප්තුව බලා යාමට ගුවන් තොටු පළින් නික්මිණ. මගීන් 14ක් සහ කාර්යය මණ්ඩලයේ 07ක් යානය තුළ විය. විනාඩි 33ක් ධාවනය වීමෙන් පසු යානය මීටර් 11000 ක උස සීමාවට පැමිනුනි. නියමුවා රෝම ගුවන් තොටුපළ අමතා විස්තර වාර්තාකරමින් සිටින අතර තුර සම්බන්ධතාවය විසන්ධි විය. තවත් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරමින් යානය මධ්‍යධරණි මුහුදට කඩා වැටුණි.

නැවතත් බ්‍රිතාන්‍යය නාවික හමුදාව සාක්ෂි සෙවීමෙහි උත්සුක විය. මල සිරුරු පහක් සමඟ පුද්ගලික බඩු භාණ්ඩ කිහිපයක් සොයා ගැනුණි. ලෝකය පුරාම ප්‍රවෘත්තිය වේගයෙන් පැතිරුණු අතර බ්‍රිතාන්‍ය රජය මෙම අනතුරු සඳහා හේතුව සොයා ගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන් යමක් කළ යුතුව තිබුණි. Winston Churchill, විසින් පරීක්ෂණය Royal Air Craft Establishment වෙත භාර කෙරුණි. එය එවකට බ්‍රිතාන්‍යයේ පැවති ප්‍රමුඛතම ගුවන් ගමන් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය විය. පරීක්ෂණ කණ්ඩායමේ නායකත්වය පිළිගත් විද්‍යඥයෙක් වූ Sir Arnold Hall ට පැවරුණි. Winston Churchill, ගෙන් Arnold Hall ට පුද්ගලිකවම ලැබුණු උපදෙස වූයේ, පරීක්ෂණය සඳහා වැයවන මුදල් ගැන සැලකිලිමත් නොවන ලෙසයි. කෙටියෙන් පැවසුවහොත් පරීක්ෂණයට අවැසි ඕනෑම දෙයක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා සපයා තිබුණි.

Sir Arnold Hall


දෙවෙනි ගුවන් යානය මීටර් දහස් ගණනක් ගැඹුරු මුහුදේ ගිලී ගොස් තිබූ බැවින් එය ගොඩ ගැනීම ප්‍රායෝගික කාර්යයක් නොවුණි. එකම බලාපොරොත්තුව වූයේ ප්‍රථම ගුවන් යානයේ සුන්බුන්ය. එය කැබැල්ලෙන් කැබැල්ල ඇමිණෙමින් BA 781 යානයේ දළ ආකෘතියක් නිමවමින් සිටියේය. මින් පෙර කිසිවකු මෙසේ විනාශ වී ගිය යානයක් එකලස් කොට නොතිබූ බැවින් පරීක්ෂක කණඩායමට එය සැබෑම අභියෝගයක් විය. ඔවුනට ඒ සඳහා පූර්වාදර්ශයක් නොවූ බැවින් තමන්ගේම ක්‍රමවේදයක් ගොඩනගා ගත යුතුව තිබුණි. මෙම සුන්බුන් පිළිබඳ සිදුකළ සියුම් පරික්ෂාවේදී ඔවුනට වැදගත් සාක්ෂියක් සොයා ගැනීමට හැකිවිය. එනම්, ප්‍රථමාධාර පෙට්ටියක වූ බෙහෙත් ස්වල්පයක්, කාපට් කැබලි කිහිපයක්, පුද්ගලික බඩු භාණ්ඩ කිහිපයක් ඔවුන් යානයේ අපර කොටසේ තිබී සොයා ගනු ලැබූහ. මෙමගින් එළඹි නිගමනය වූයේ යානයේ ඉදිරිපස ඇතිවූ පිපිරීමක් විසින් මෙම ද්‍රව්‍යයන් පිටුපසට විසිකිරීමක් සිදුකොට ඇති බවයි. ප්‍රශ්නය වූයේ කිනම් ස්ථානයක, කෙසේ පිපිරීම සිදුවූවාද යන්නයි !

මේ අතර දෙවන අනතුරෙන් ගොඩ ගත් මළසිරුරු හතරක් මරණ පරික්ෂකයන්ගේ නිරීක්ෂණයට භාජනය විය. ඔවුන්ව මවිතයට පත් කරවමින් පළමු අනතුරේදී දක්නට වූ ශරීර හානි එලෙසින්ම දෙවැන්නේදීද දක්නට ලැබුණි. එනම්, පැලුණු හිස් සහ පුපුරා ගිය පෙනහළුය.

දීර්ඝ පරීක්ෂණ මාලාවකට පසු Arnold Hall සහ ඔහුගේ කණ්ඩායම විය හැකියැයි අනුමාන කළ හැකි න්‍යායක් ගොඩ නැංවීය. එනම්, යානයේ මගීන්ගේ සුව පහසුව සඳහා සිදු කළ කුටීර පීඩනය අඩු වැඩි කිරීම වලදී Comet  යානයේ පිටත ඇලුමිනියම් ආවරණයෙහි දැඩි ආතතියක් ඇතිකරන්නට ඇති බවත්, කිසියම් වූ ව්‍යහාත්මක දෝෂයක් වීනම් එම ස්ථානයෙන් පිපිරීමක් ඇතිවිය හැකි බවටත් ඔවුහූ අනුමාන කළහ. මල සිරුරුවල දක්නට වූ හානිවීම් මේ මගින් පැහැදිලි කළ හැකියැයි ඔවුන් විශ්වාස කළහ.

මෙම න්‍යාය ඔප්පු කිරීම සඳහා ඔවුන් විසින් BA 781 යානයේ දහයෙන් එකක් ප්‍රමාණයේ ආකෘතියක් නිර්මාණයක කළහ. මගීන්ගේ ආකෘති කිහිපයක්ද ආසන වල අසුන්ගන්වන ලදී. ආකෘතියෙහි අභ්‍යන්තර පීඩනය යානය මීටර 12000 ක උසකදී පවත්වා ගන්නා පීඩනයට ගෙනවිත්, ආකෘතිය පුපුරුවා හරින ලදී. ප්‍රතිඵලය අධිවේගී කැමරා කාචයන්හී සටහන් විය. පරීක්ෂණයේ ප්‍රතිඵලය මල සිරුරුවල දක්නට වූ අභ්‍යන්තර හානි සිදුවන ආකාරය කදිමට පෙන්වා සිටියේය. හදිසියේ ඇතිවන පීඩනය අඩුවීම මගින් යානයේ අසුන් ගැලවී මගීන් ( ආකෘති ) සමග ඉහළට විසිවී යන අතර බොහොමයක් මගීන්ගේ ( ආකෘති වල ) හිස් යානයේ සිවිලිමෙහි වැදීම කරණකොටගෙන හානියට පත් වන ආකාරය කැමරා කාචයන්හී පැහැදිලිව සටහන් වී තිබුණි. එසේම හදිසියේ ඇතිවන අවපීඩන තත්ත්වය මගීන්ගේ පෙනහලු ක්ෂණිකව පුපුරා යාමට සලස්වන්නට ඇතැයි නිගමනය කෙරිණ. යානයෙහි මගී කුටීරය අධික පීඩනයක් යටතේ පවතින විට ඇතිවන හදිසි පුපුරා යාමක් විශේෂඥයන් සමාන කරන්නේ රාත්තල් 500 ක බෝම්බයක් ඒ තුළ පුපුරා යාමකටය.




ආකෘතිය හා පරික්ෂණයේ ප්‍රතිඵලය
මෙමගින් පරීක්ෂක කණ්ඩායම යානයෙහි ඇළුමිනියම් බඳෙහි ඇති දෝෂයක් හේතුවෙන් මෙම පුපුරා යාම වන්නට ඇතැයි නිගමනයකට එළඹුණි. එහෙත් නිෂ්පාදකයන්ගේ පරීක්ෂණ වාර්තා වල දැක්වෙන ආකාරයට බඳෙහි ආයු කාලය පියාසර වාර දසදහසකටත් වඩා වැඩිය. එය විනාශවූ යානා ද්විත්වයම ගමන් කළ වාර ගණනට වඩා බෙහෙවින්ම වැඩි වූ අගයකි. නමුත් Arnold Hall එය එලෙසින්ම පිළිගැනීමට මැලිකමක් දැක්වීය. ඔහු සම්පූර්ණ යානයක්ම පූර්ණ පරික්ෂාවකට බඳුන් කිරීමට සැලසුම් කළේය. BOAC වෙතින් ඒ සඳහා ඔහුට  G-ALYU ("Yoke Uncle") යානය ප්‍රදානය කෙරිණ.

මෙම නව පරීක්ෂණය ඇරඹීමට පෙර Arnold Hall ඇතුළු කණ්ඩායම Comet යානා වල සැලැස්ම තියුණු පරීක්ෂාවකට ලක් කෙරෙනි. ගුවන් යානයක පිටත බඳ නිතර නිතර ඇති කරවනු ලබන පීඩන අඩු වැඩි කිරීම් වලට ඔරොත්තු දෙන සවිමත් එකක් විය යුතුය. එමෙන්ම සැහැල්ලු විය යුතුය. මෙම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා De Havilland  විසින් මිලි මීටර භාගයක ඝනකමින් යුක්ත සැහැල්ලු ඇලුමිනියම් ඇලෝයි තහඩු භාවිතා කොට තිබුණි. යානයෙහි බඳෙහි ඔරොත්තුදීමේ ශක්‍යතාවය පිරික්සීම සඳහා Arnold Hall  විසින් ඉන් පෙර සිදුකර නොතිබූ පරීක්ෂණයක් සැලසුම් කළේය. ඒ සඳහා අති විශාල ජල තටාකයක් නිර්මාණය කිරීම අවැසි විය. එය දිගින් මීටර 34ක්, පළලින් මීටර 07ක් සහ ගැඹුරින් මීටර 05 කින් යුක්ත විය. ජල තටාකය සාර්ථකව නිමවා අවසන් කිරීමට සේවකයනට නොකඩවා සති හයක් වැඩ කිරීමට සිදු වූහ. මැයි මස 29 වන දින විට එය පරීක්ෂණය සඳහා සූදානම්ව තිබුණි. එන්ජින් සහ අභ්‍යන්තර කොටස් ඉවත් කළ හිස් යානය තටාකයට ඇතුල් කෙරිණ. තටාකයෙන් දෙපසට විහිදී තිබුණ තටු, බාහිර යාන්ත්‍රණයක් මගින් මෙහෙය වුයේ  පරීක්ෂණයේදී පියාසර තත්ත්වයන් මවා පෑම උදෙසාය. ඉන්ජිනේරුවන් විසින් තටාකයට, යානය වැසී යන පරිදි ජලය පුරවනු ලැබීය. ඉන්පසු යානය පියාසර කරනා විට ඇති කරනු ලබන පීඩනයට සමාන පීඩනයක් ඇති කරනු ලැබූ අතර විනාඩි පහකට පසු නැවතත් පීඩනය අඩු කරන ලදී. මෙම සෑම පරීක්ෂණ අවස්ථාවකදීම, යානය මීටර 12000 ක උසකදී, යානයෙහි බඳ මත පීඩනය වැඩි කිරීමෙන් ඇති කරවනු ලබන තත්ත්වයම ඇති කරවන ලදී. මෙමගින් පරීක්ෂකයන් බලාපොරොත්තු වූයේ දිගින් දිගටම සිදු කෙරෙන පීඩන අඩු වැඩි කිරීම් වලට යානයෙහි ඔරොත්තුදීමේ හැකියාව පරීක්ෂා කිරීමය. පරික්ෂණය නොකඩවා දවසේ පැය 24 පුරාවටම සිදු කෙරුණ අතර බලාපොරොත්තුවන තත්ත්වයට ළඟා වීමට මාස පහක කාලයක්වත් ගතවෙනු ඇතයි අනුමාන කරනු ලැබීය.

අතර වාරයේ අනෙකුත් පරීක්ෂණ කටයුතු නොකඩවා සිදු වෙමින් පැවතිණ. මේ වන විට යානයෙන් තුනෙන් දෙකක් පමණ එකතු කරගත් සුන්බුන් ආධාරයෙන් ලී සැකිල්ල මත ගොඩ නගා තිබුණි. යානයේ පිටත තහඩු ඉරී ගොස් ඇති ආකාරය අධ්‍යනය කිරීමෙන් පරීක්ෂකයන් නිගමනය කෙරුවේ යානය පිපිරීමක් සමඟ දරුණු අවපීඩන තත්ත්වයකට භාජනය වී ඇති බවයි. වැඩිදුර අධ්‍යනයන්ගෙන් පසු පරීක්ෂණ කණ්ඩායමේ නිගමනය වූයේ මුල්ම පුපුරා යාම මගී කුටීරයත් නියමු කුටියත් අතර සිදුවී ඉන්පසු අවර සහ පිටිපස බඳ කොටස කැඩිවෙන්වී, තෙවනුව පියාපත්හී පිටුපස කොටස් සහ අග කොටස්, අවසානයට නියමු කුටිය කැඩී වෙන්වී යන්නට ඇති බවයි. නමුත්, අනතුරට මුල්වූ සැබෑ හේතුව තවමත් අභිරහසක්.

ජුනි 24 වන දින, ජල තටාක පරීක්ෂණය සංධිස්ථානයකට ළඟා විය. පරික්ෂණය ඇරඹී මසකටත් වඩා අඩු කාලයකදී, පියාසර වාර තුන්දහසකට සමාන අවස්ථාවකදී යානයේ බඳ පුපුරා ගොස් තිබුණි. මෙමගින් හෙළිවූ කරුණු සියලු දෙනාවම මවිත කරවීමට සමත් විය. තටාකයේ ජලය හිස් කළ කණ්ඩායම යානයට සිදුවී ඇති හානිය තියුණු පරික්ෂාවකට භාජනය කළහ. ඔවුනට යානයේ බඳෙහි විශාල පැලුම් දක්නට ලැබුණු අතර එම පැලුම් යානයෙහි කවුළු සහ දොරවල් ඔස්සෙ පැතිර පැවතිණි. ඔවුන් Comet යානා ව්‍යුහයේ වූ ප්‍රධානතම දුර්වලතාවය හෙළිදරවු කරගැනීමට සමත්ව තිබුණි. Comet යානා සමූහයම මෙම මාරාන්තික දෝෂයෙන් යුක්ත යැයි අනුමාන කෙරින. මෙම දෝෂයේ මූලාරම්භය Metal Fatigue ( ලෝහ ප්‍රයාසය ) යනුවෙන් හැඳින්වූ, ලෝහයක් මත දිගින් දිගටම ප්‍රතිවිරුද්ධව යොදවන තෙරපුමක් හෝ බලයක් හේතුකොටගෙන ලෝහයේ දරාගැනීමේ ශක්තිය අවම වීමෙන් හට ගන්නා දුර්වලතාවය ලෙස සලකනු ලැබීය. ( ලෝහ කැබැල්ලක් ගෙන දිගින් දිගටම ඉහළට හා පහළට නැමීමේදී, මුලින්ම නැමුම් පාරක්ද, ඉන් පසු ටිකෙන් ටික එම ස්ථානයෙන් ලෝහය කැඩී වෙන්වන ආකාරයද ඔබ අත් දැක ඇත. මෙහිදීත් සිදුවනුයේ ඒ හා සමාන ක්‍රියාවලියකි. යානයේ අභ්‍යන්තර පීඩනය වැඩි කිරීමේදී අනිවාර්යයෙන්ම බඳෙහි යම් ප්‍රාසාරණයක් සිදු වන අතර, නැවත පීඩනය අඩු කිරීමේදී යානය පෙර තිබුණු තත්ත්වයට පත්වේ. මෙහිදී ඇතිවන ප්‍රසාරණය හා හැකිලීම මගින් Metal Fatigue හෙවත් ලෝහ ප්‍රයාසය යනුවෙන් හඳුන්වන සංසිද්ධිය ඇති විය හැකි බව පරීක්ෂකයන්ගේ මතයයි. )

නමුත් මෙහිදී ඔවුන් ගැටලු දෙකකට මැදි විය. පළමුවැන්න වූයේ මේ දක්වා ගොඩ ගත් කිසිම කොටසක මෙම දෝෂය පෙන්නුම් කරන ලක්ෂණ දක්නට නොවීමයි. දෙවැන්න වූයේ Comet නිර්මාපකයන් යානා වෙළද පළට නිකුත් කිරීමට පෙර ලෝහ ප්‍රයාසය පිළිබඳ පරීක්ෂණ පවත්වා යෝග්‍යය බවට සහතිකයක් ලබා තිබීමයි. Arnold Hall ඇතුළු කණ්ඩායම තම මතය තහවුරු කිරීම උදෙසා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතුව තිබුණි. ඒ සඳහා ලෝහ ප්‍රයාසය පෙන්නුම් කෙරෙන යානයේ කොටසක් සොයා ගැනීම අත්‍යවශ්‍යය විය. අවාසනාවකට මෙන් මෙම සාක්ෂිය තවමත් මධ්‍යධරණි මුහුදු පතුලේ සැගව තිබුණි.

මේ අතර සිදුකළ වැඩිදුර පරීක්ෂණ වලින් හෙළි කරගනු ලැබුයේ, යානයේ අභ්‍යන්තර පීඩනය වැඩි කිරීම මගින් යානයේ බඳ මත ඇති කරනු ලබන මුළු ආතතියෙන් 70% ක් පමණ බඳෙහි දුර්වල ස්ථාන වූ කවුළු සහ දොරවල් අවට ඇති කරනු ලබන බවයි. එය ඉතා අනතුරුදායක තත්ත්වයකි. මෙම අගය යානයේ සැලසුම් කරුවන් බලාපොරොත්තු වූවාට වඩා දෙගුණයකින් පමණ වැඩි අගයකි. තව දුරටත් කළ පරීක්ෂණ වලින් සොයාගනු ලැබුයේ කවුළු වටා ඉඳි කර ඇති ආධාරකය, ඇලවීම වෙනුවට රිවට් ඇණ යොදා සවිකිරීම හා එම ඇණ විදුම් යන්ත්‍ර මගින් සිදුරු කොට සවිකිරීම වෙනුවට කාවැද්දීම හේතුකොටගෙන ඇණය අවට කලාපයේ ක්ෂුද්‍ර පිපිරුම් සිදුවී ඇති බවයි. ඉතා තදින් ආතතියට හසුවන කවුළු අවට ඇතිවූ මෙම ක්ෂුද්‍ර පිපුරුම් ඔස්සෙ, දිගින් දිගටම සිදුවූ පීඩනය අඩු වැඩි වීම කරණ කොටගෙන, ලෝහ ප්‍රයාසය සිදුවීම මගින් එම ස්ථානයකින් මුල්ම පුපුරා යාම වන්නට ඇති බව අවසන් නිගමනය විය. එහෙත් මෙම නිගමනය සනාථ කෙරෙන යානයේ කොටසක් මේ දක්වා පරීක්ෂකයන්ට සොයා ගැනීමට නොහැකිවී තිබුණි.

කටයුතු මෙසේ සිදුවෙමින් පවතින විට, අගෝස්තු 12 වන දින, ඉතාලි ධීවර යාත්‍රාවක් මගින් යානයේ තවත් විශාල කොටසක් ගොඩ ගනු ලැබීය. එය යානයේ වහලයෙහි කොටසකි. මෙහි ගුවන් විදුලි තරංග හුවමාරු කරගැනීම සඳහා භාවිතා කළ කවුළු ද්විත්වයක් විය. මෙම කොටස තියුණු පරික්ෂාවකට ලක්කළ Arnold Hall  සහ පිරිස තමන් බලාපොරොත්තුවෙන් සිටි සාක්ෂිය ක්ෂණිකවම සොයා ගන්නා ලදී. එක් කවුළුවක තිබූ රිවට් සිදුරක, ලෝහ ප්‍රයාසය නිසා සිදුවූ කුඩා පිපුරුමක් නිරීක්ෂණය කිරීමට ඔවුනට හැකි විය. යානයේ අනෙකුත් කොටස් හා මෙම කොටස එකතු කළ විට ඔවුන් විසින් නිරීක්ෂණය කෙරුණේ, සිදුව ඇති සියලු පිපුරුම් වල ආරම්භය මෙම ස්ථානය බවයි. අවසානයේදී,  Arnold Hall සහ පිරිස විසින් මෙම අභිරහස  මෙලෙස විසඳනු  ලැබූහ.


පිපිරුම ආරම්භ වූ, ගුවන් විදුලි සංඥා කවුළු.

~~~~~


Paul Withey, ගුවන් යානා ලෝහ පිළිබඳ නූතන විශේෂඥයෙකි. වසර 52 කට පසු ඔහු මේ සැරසෙන්නෙ Arnold Hall ඇතුළු පිරිස 50 දශකයේ තාක්ෂණය යොදාගන විසඳු අභිරහසෙහි නිරවද්‍යතාවය 21වන ශතවර්ෂයේ තාක්ෂණය යොදාගන නැවත පරික්ෂා කිරීමටය. එමගින් Withey විසින් Arnold Hall ගේ සොයාගැනීම් වලට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලදහොත්, ගුවන් යානා පර්යේෂණ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමට සිදු වනවා ඇත. Withey ට අනුව Arnold Hall ඇතුළු පිරිස අවසාන පරික්ෂා කිරීම් සිදු කරනු ලැබුවේ සාම්ප්‍රදායික අන්වීක්ෂයක් භාවිතා කරමිනි. පරීක්ෂණ කණ්ඩායම අවසාන නිගමනයට එළබීම සඳහ සිය අත්දැකීම් මත පිහිටා කටයුතු කොට තිබුණි. Withey මේ සැරසෙනුයේ එහි සැක හැර දැනගැනීමටය.

ලංඩන් නුවර Science කෞතුකාගාරයේ තබා ඇති BA 781 යානයේ සුන්බුන් වලින් ලෝහ ප්‍රයාසය දක්වන කොටස් වල අච්චු, සිලිකන් පොටි භාවිතා කර ලබා ගත් Withey , ඒවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මගින් විශාලනය කොට පරික්ෂා කළේය. දෙසිය වාරයක් විශාලනය කළ විට Arnold Hall විස්තර කළ ලෝහ ප්‍රයාසය මගින් ඇතිකළ පැලුම් ඔහුට දක්නට ලැබීය. අටසිය වාරයක් විශාලනය කළ විට Withey  හට දක්නට ලැබුණේ Arnold Hall විසින් කිසි කලකත් නොදුටු, නමුත් ඉතා නිවැරදිවම අනුමාන කරන ලද නිෂ්පාදන දෝෂයයි. එනම්, රිවට් ඇණ කාවැද්දීම නිසා බඳෙහි තහඩුව මත ඇතිකරනු ලබූ ක්ෂුද්‍ර පිපුරුම්ය. මෙලෙස වසර 52කට පසු, 21වන සියවසේ තාක්ෂණය යොදගන Withey  විසින් Arnold Hall සොයා ගත් කරුණු ඉතා නිවැරදි බවට නැවත සහතික කරනු ලැබීය.

~~~~~
සිදු වූයේ කුමක්ද ?? ..............................

Comet යානා බඳ අසාමාන්‍ය ලෙස තුනී ඇලුමිනියම් තහඩු උපයෝගී කරගෙන නිපදවා තිබුණි. එයට අමතරව කවුළු සහ දොරවල් අවට ආධාරක රාමු රිවට් ඇණ කාවැද්දීම මගින් සවි කිරීම හේතුකොටගෙන යානයෙහි තහඩු මත නිෂ්පාදකයන්ද නොදන්නා ක්ෂුද්‍ර පිපිරුම් ඇතිවී තිබුණි. සෑම පියාසර වාරයකදීම ඇති කරවනු ලබන අභ්‍යන්තර පීඩනය, යානයෙහි බඳ මත අති විශාල ආතතියක් ඇති කරනු ලැබූ අතර විශේෂයෙන්ම කවුළු සහ දොරවල් අවට කලාපයන්හී මෙම ආතතිය අති විශාල විය. මෙසේ සෑම පියාසර වාරයකදීම නැවත නැවතත් සිදුවූ පීඩනය වැඩි කිරීම නිසා පෙර සඳහන් ක්ෂුද්‍ර නිෂ්පාදන දෝෂය ක්‍රමක්‍රමයෙන් ලෝහ ප්‍රයාස පිපුරුම් බවට පරිවර්තනය වී සෑම පියාසර වාරයකදීම එය මදින් මද විශාල විය. 1954 ජනවාරි මස 10 වන දින, ඒ අවාසනාවන්ත මොහොතේදී, යානයෙහි වහලය මත වූ ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණ කවුළුවකින් ඇරඹී, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබූ ඒ පැළුම, මිනිස් ජීවිත තිස් පහකට වග කියමින් යානය විනාශ කොට දැමීය.

යානය කැඩී ගිය ආකාරය පෙන්වන සටහනක්. රතු - 1  /  කහ - 2  / දම් - 3  / කොල - 4  / දුඹුරු - 5


Arnold Hall  ඇතුළු කණ්ඩායම මගින් කළ සොයාගැනීම් නිසා එයින් පසු ඇරඹි අනාගත ගුවන් ගමනේ හැඩ රුව බෙහෙවින්ම වෙනස් විය. එම පරීක්ෂණයේ ප්‍රතිඵල මත, යානාවල ආරක්ෂාව වෙනුවෙන් බොහොමයක් වූ ක්‍රියාමාර්ග ගනු ලැබීය.

එල්බා දිවයිනේ, මිය ගිය තිස් පස් දෙනා වෙනුවෙන් ඉදිවී ඇති සිහිවටන ස්මාරකය, වසර පනහකටත් වැඩි කාලයක් තිස්සේ නිහඩව කියාපන්නේ, ඔවුන් විසින් සිය ජීවිත පරිත්‍යාග කිරීම මගින් නොදැනුවත්ව හෝ අනාගත මගී ගුවන් යානා වල ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ ඒ අගනා මෙහෙයයි. ඔබ අද ආරක්ෂිතව ගුවනේ ගමන් කරයිද, ඒ සෑම ගුවන් වාරයක් පාසා ඔබගේ ජීවිතය ඔවුනට ණය ගැතිය.

~~ නිමි ~~

Seconds from disaster - Comet Air Crash [ BOAC Flight 781 ]



සහ

http://en.wikipedia.org/wiki/Comet_Flight_781
http://en.wikipedia.org/wiki/Metal_fatigue

ඇසුරින් සකස් කෙරුවේ ;

~~සෙන්නා / 20.09.2012


පින්තූර උපුටා ගැනීම ;
1. Wikipedia
2. modelairplanenews.com
3. Seconds from disaster - Comet Air Crash [ BOAC Flight 781 ] - Video

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog