Thursday, August 15, 2013

දොරුව පරාදයි......

2013 නිකිණි මස 15 වනදා

නිර්භීත, නොපසුබස්නා, දරුණු තීරණ ගත හැකි, අධිෂ්ඨානශීලී, උත්සහවන්ත මිනිසෙකුව කිසිවෙකුටත්, කිසිදා සිරගත කල නොහැකිය. ඇරන් රාල්ස්ටන්ගේ කතාව අපිට කියාපාන්නේ මෙම සත්‍යය නොවන්නේද ?

XXXXXXX

ඇරන් රාල්ස්ටන් යනු කඳු නැගීම හා ගවේෂණය සිය විනෝදාංශය කොටගත්, මෙම සිදුවීම වන විට විසි හත් හැවිරිදිවූ, ඇමෙරිකානු ජාතික තරුණ ඉන්ජිනේරුවෙකි. 1975 ඔක්තෝබර් මස 27වන දින ඔහියෝ ඔහායෝ හී මරියොන් නගරයේ උපත ලද ඇරොන්, ඔහුට වයස 11දී සිය පවුලේ සාමාජිකයන් සමඟ ඩෙන්වර් වෙත සංක්‍රමණය විය. යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව හා ප්‍රංශ භාෂාව පිළිබඳ උපාධි වලින් පිදුම් ලබන ඔහු තාක්ෂණික ලෝකයේ දැවැන්තයකු වූ ඉන්ටෙල් හා එකතු වන්නෙ යාන්ත්‍රික ඉන්ජිනේරුවකු ලෙසිනි. නමුත් ඇරොන් යනු වෘත්තීය, සාමාජීය බැඳීම වලින් එකතැන සිරකොට තබා ගත හැකි චරිතයක් නොවීය. ඔහුගේ වැඩි කැමැත්ත වූයේ ස්වභාව ධර්මය ගවේෂණය කිරීමටය. එකලාව කඳු නැගීම හා ගවේෂණයන්හී යෙදීම ඔහුගේ විනෝදාංශය විය. අඩි 14000 කට වඩා උසින් යුතු, මුදුන් 59කින් සැදුම් ලත්, කොලරාඩෝහී "ෆෝර්ටීනර්ස්" නමින් හැඳින්වූ කඳු පන්තිය සිසිරයේදී එකෙලාවම තරණය කිරීම ඔහුගේ එක් අභිලාෂයක් විය. මෙම ක්‍රියාකාරකම් ඔහුගේ රැකියාව නොකඩවා සිදුකරගෙන යැමට බාධාවක් වූ අතර එක් අවස්ථාවෙක ඔහුට දෙකින් එකක් තීරණය කළ යුතු විය. නිදහස ප්‍රිය කල ඇරොන් ඉන්ටෙල්හී රැකියාවට සමුදුන්නේය. පසුව ඔහු සිය විනෝදාංශය හා බැඳී පවතින ආයතනයක් වූ UTE Mountaineer හී රැකියාවක් ලබා ගන්නේ මෙතෙක් ලද වැටුපට වඩා සැලකිය යුතු අඩු වැටුපක්ද සහිතවය. මෙමගින් ඔහුගේ ආර්ථික සුරක්ෂිතතාවය ගිලිහී ගියද සිය විනෝදාංශයෙහි නියැලීමට ඇතිතරම් කාලය සොයා ගත හැකි බැවින් ඔහු එයින් තෘප්තිමත් විය.

XXXXXXX

Blue John Canyon යනු ඇමෙරිකාවේ යූටා ප්‍රාන්තයෙහි වූ කාන්තාර අතර පිහිටි පටු ගල් දොරුවකි. එය කි.මි. 11ක පමණ ප්‍රදේශයක පැතිර ඇතැයි සැලකේ. කැනියොන් නොහොත් දොරුවක් යනු කඳු ගැට දෙකක් මධ්‍යයෙහි පිහිටි කඳුරකි. මෙම සුවිශේෂී භූමි ලක්ෂණය බොහෝවිට ගංගා මගින් ඇති කරවනු ලබයි. බ්ලූ ජෝන් කැනියොන් යනු එවන්වූ සුවිශේෂ භූමි ලක්ෂණ වලින් හෙබි, සමහර ස්ථාන වලදී එක පුද්ගලයෙකුට පමණක් ගමන් කිරීමට පමණක් තරම් පළලින් යුක්තවූ ඉතා පටු ගල් දොරුවකි. මෙය, ඒ අවට වූ කඳු ගවේශකයන්ගේ නිරන්තර අවධානය හා පහස ලබන්නාවූ දොරුවකි.

බ්ලූ ජෝන් දොරුවෙහි අභ්‍යන්තර කොටසක ඡායාරූපයක්
උපුටා ගැනීම :http://www.summitpost.org/blue-john-canyon/710899

XXXXXXX

2003 අප්‍රේල් මස 26ක්වූ ඒ දෛවෝපගත ශනිදා උදයේ ඇරන් රාල්ස්ටන් සුපුරුදු පරිදි සිය විනෝදාංශය වෙනුවෙන් නිවසින් පිටත් විය. මෙම ගවේෂණ චාරිකා වලදී ඔහු විසින් නිතරම අනුගමනය කරනා නරක පුරුදු දෙකක් වූහ. එකක් නම් නිතරම සිය ගවේෂණයන් එකෙලාව සිදුකිරීමයි. දෙවැන්න ඔහුගේ ගමනාන්තය පිළිබඳව කිසිවකුත් දැනුවත් නොකිරීමයි.

කඳු නගින්නන් කඳවුරු ගැසෙනා ප්‍රදේශයට සිය වාහනයෙන් පැමිණි ඇරන්, එතැන් සිට සැලකියයුතු දුරක් පාපැදියෙන් ගමන් කළේය. ඉන් පසු පාගමනින් අදාළ ස්ථානයට සේන්දු විය. ගල්දොරුවට පිවිසි ඔහු එහි අභ්‍යන්තරයේ පටු බිත්ති අතරින් ගමන් කරමින් සිටියේය. සමහර තැනෙක පහසුවෙන් ගමන් කරත හැකිවූ අතර සමහර තැනෙක දොරුවෙහි බිත්ති අතර සිරව තිබූ විශාලා පාෂාණ කුට්ටි යටින් හෝ උඩි පැන ගමන් කිරීමට සිදු විය. ඔහු ඉතා සැහැල්ලුවෙන් එනමුත් සැලකිය යුතු වේගයකින් මෙම දොරුව නිරීක්ෂණය කරමින් එහි පහතට බසිමින් සිටියේය. තමන් ගමන් කරමින් සිටිනුයේ සිය ජීවිතයේ විශාල පෙරළියක් වෙත බව මේ මොහොතේදී ඔහු හට කිසිඳු දැනීමක් නොවුණි. ඇරන් දොරුවෙහි එක ස්ථානයකට ළඟා විය. එතනින් පසු දොරුව මීටර කිහිපයක් ශීඝ්‍ර ලෙස පහත බෑවුම් වී තිබුණි. ඇරන් සිටගෙන සිටි ස්ථානයට මදක් ඔබ්බෙන්, එම මට්ටමින්ම දොරුවෙහි බිත්ති අතර හරහට සිරවී තිබූ පාශාණයකි. ඔහුගේ අරමුණ වූයේ එම පාෂාණය වෙත ගමන් කොට එහි එල්ලීමෙන් පහතට පැන ගැනීමයි. ඒ සඳහා දොරුවෙහි බිත්ති දෙක මත සිය පාදයන් හා හස්තයන් යුහුසුළුව හසුරුවමින් එම පාෂාණය වෙතට ආසන්න විය. පාෂාණයට ගොඩවී එයට බර යොදමින් පහලට එල්ලුන මොහොතේදී සියල්ල නොපිටට සිදුවන්නට වූහ. එම පාෂාණ කුට්ටියත් සමඟින්ම ඔහුව පහතට කඩාගෙන වැටුණි. මොහොතකට ඔහු වික්ෂිප්තවිය. ඔහුගේ එකම අරමුණ වූයේ සිය හිස හැකිතාක් පාෂාණයෙන් ඇත්කොට තබා ගැනීම හා එයට යටවීමෙන් ආරාක්ෂාවීමටයි. අවසානයේදී පාෂාණය සමඟින්ම දොරුවෙහි පහළ බිම මට්ටමට කඩා වැටුණ ඇරන් දකුණතෙහි ඇතිවූ ඒ අති බිහිසුණු වේදනාව කරනකොට බ්ලූ ජෝන් දොරුව දෙදරා යනතරම් විශාල හඬකින් කෑ ගැසීය. ඇත්තෙන්ම කෑගැසුණි.

සියල්ල සන්සුන්වූ පසු සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීමට ඇරන් යුසුසුළු විය. දොරුවෙහි බිත්ති දෙක අතර, ඔහුගේ මුහුණ ඉදිරියෙන් පාෂාණය නැවතත් සිරවී තිබුණි. ඔහු දොරුවෙහි බිම් මට්ටමටම පැමිණ තිබූ අතර දෙපා පොළවෙහි වැදී තිබුණි. දකුණතෙහි වූ දරුණු වේදනාව හැරෙන්නට වෙන කිවයුතු තරම් හානියක්වී නොතිබුණි. පාෂාණයෙන් මෑත්වීමට සිතා පසුපසට ඒමට සූදානම්වන විට ඔහුට යම් අමුත්තක් ඇතිවිය. සිය දකුණතෙහි ඇතිවූ දරුණු වේදනාව එය දොරුවෙහි බිත්තියෙහි වැදීම නිසා හට ගත්තක් නොවන බව මුල් වරට ඔහුට අවබෝධවෙමින් තිබුණි. දකුණත පාෂාණය හා දොරුවෙහි බිත්තිය අතරට මැදිවී නොසෙල්විය හැකි අයුරින්ම සිරවී ඇතිබව ඔහුට පසක්වූයේ එවිටය. අත එම ස්ථානයෙන් ගලවා ගැනීමට ඔහු දැරූ සියලු ප්‍රයත්න ව්‍යයර්ථ වූහ. වම් අතින් පාෂාණය ඔසවා දකුණත ගලවා ගැනීමට දරූ තැතද අසාර්ථක විය. එය එතරම්ම තදින් දොරුවෙහි බිත්ති දෙක අතර සිරවී තිබුණි. ඇරන් රාල්ස්ටන් බ්ලූ ජෝන් දොරුවෙහි සිරකරුවෙකු වී තිබුණි.

මම ගලේ උඩින් අල්ලගෙන පහතට එල්ලුණා විතරයි. එතකොටම ඒක මාවත් එක්කම පහතට රූටගෙන ආවා. මගෙ වම් අත මේ බිත්තියෙ තදින් වැදුණා. දකුණු අත මේ බිත්තියෙ වැදිලා ගලත් එක්කම ඇතිල්ලීගෙන පල්ලෙහාට ඇවිත් මේ තියන විදිහට නතර වුණා. මගේ එකම කල්පනාව වුණේ ගලෙන් ඔළුව බේරාගෙන හැකිතරම් එයින් ඇත්ව සිටීම. මගෙ අත මේ විදිහට සිරවෙයි කියලා මම මොහොතකටවත් හිතුවෙ නෑ. ඒක ඒතරම්ම වේගයෙන් සිද්දවුණේ.  - ඇරන් රාල්ස්ටන්, සිද්ධියෙන් මාස හයකට පසු NBC මාධ්‍යවේදියකු සමඟ අදාළ ස්ථානයේම සිට සිද්ධිය විස්තර කරමින්. 

ඇරන්ගේ සිරගෙය පොළව මට්ටමින් අඩි සියයක් පමණ ගැඹුරෙහි, ආසන්නම ප්‍රධාන මාර්‍ගයට සැතපුම් විස්සක පමණ දුරින්, සැතපුම් සිය ගණනකින් වටවූ කාන්තාරයක් මධ්‍යයේ පිහිටා තිබුණි. ඉතා අහඹු ලෙස තවත් ගවේෂකයෙකු එම පෙදෙසට පැමිණියහොත් මිස, වෙනත් පුද්ගලයෙකුගේ අවධානයට ඔහුව ලක්වීමට ඇති අවස්ථාව ඉතා සීමිතය. එළිමහන් චාරිකා වලදී අනුගමනය කළයුතු ස්වර්ණමය රීතිය, එනම් එක් පුද්ගලයකු හෝ තමන්ගේ ගමනාන්තය පිළිබඳ දැනුවත් කොට තිබීම අනුගමනය නොකිරීමෙහි ආදිනව ඇරන් අවබෝධකරගනිමින් සිටියේය.

ප්‍රථම දිනය - සෙනසුරාදා.

පැය භාගයක් හෝ විනාඩි හතළිස් පහක් පමණ කාලයක් ඔහු පාෂාණයෙන් අත මුදවා ගැනීමෙහි දරුණු ප්‍රයත්නයක නිරත විය. දණහිසෙන් පාෂාණය තෙරපමින් අත නිදහස් කරගැනීමට දැගලුවද, තවමත් එය සිරවූ ලෙසින්ම පවතී. වෙහෙසට පත්වූ ඇරන් සිය වතුර බෝතලයෙන් තුනෙන් එකක් පමණ ක්ෂණිකව පානයකොට දැම්මේ තමන් මුහුණ දෙමින් සිටිනා අනතුර පිළිබඳව නිසි වැටහීමකින් තොරවය. එවන් හැඟීමක් එම අවස්ථාවෙහි ඇතිවුණිනම් ඔහු විසින් සිය වතුර සලාකය ඉතා පරිස්සමින් භාවිතා කරනු නිසැකය. සමහර විටෙක ඔහු විසින් මද වේලාවක් තුළ නිදහස් වීමට හැකියැයි අපේක්ෂා කළා වන්නටද පුළුවන. ගත මදක් ප්‍රාණවත් වීමෙන් පසු ඔහු විසින් සිය සාක්කු පිහිය රැගෙන පාෂාණය සිය දකුණත සිරකොටගෙන සිටි කොටස රහින්නට විය. ඉතා අඩු තත්ත්වයේ සාක්කු පිහියක්වූ එය, එම කාර්‍යයට කිසිසේත්ම නොසෑහුණු අතර එය පොල් කෙන්දකින් මුහුද ඉසිනවාට සමාන කාර්‍යයක් විය. හිරු අවරට යනතුරාවටම ඇරන් විසින් මෙම කාර්‍යයේ නිරත විය. දැන් දැන් ඔහුට රාත්‍රියත් මෙහිම සිරකරුවෙකු ලෙස ගතකිරීමට වන බව පැහැදිලිය. පසු දින නැවත පිටත්වීමේ අපේක්ෂාවෙන් මෙහි පැමිණි ඇරන් සතුවුයේ සීමිත ජලය ප්‍රමාණයක් හා ආහාර ස්වල්පයකි. කිසියම් ක්‍රමයකින් තමන්ම හෝ බාහිරෙන් ලැබෙන සහායක් මාර්‍ගයෙන් මෙම මර උගුලෙන් නිදහස් වෙනතෙක් සිය ජීවිතය පවත්වා ගැනීම උදෙසා ඔහු සතුවූ සියල්ල එපමණකි. එයට අමතරව කඳු නැගීම උදෙසා භාවිතා කරනා කඹ, ගාංචු ආදියද, වීඩියෝ කැමරාවක්, ඩිජිටල් කැමරාවක්, වෝක්මන් යන්ත්‍රයක් හා වාසනාවකට මෙන් හිසෙහි පළදනා විදුලි පන්දමකද විය. ඔහු නිතර පරිහරණය කරනා ස්විස් වර්ගයේ බහුකාර්යය සාක්කු පිහිය වෙනුවට මෙවර රැගෙන විත තිබුණේ බාල වර්‍ගයේ සාක්කු පිහියකි.

ඇරන්ව සිය භූගත සිර මැදිරියෙහි තනි කොට සූර්‍යයා බැස ගියේය. ඒ සමඟම උෂ්ණත්වයද පහත වැටුණි. ෆැරන්හයිට් අංශක පනස් ගණන් දක්වා එය අඩු විය. සාමාන්‍යය ටී ශර්ටයකින් හා කොට කලිසමකින් පමණක් සැරසී සිටි ඇරන් හට එය දරාගැනීමට අපහසු තරමේ ශීතලකි. ඔහුගේ සියලුම් උණුසුම් කබා සිය වාහනය තුළය. කුසගින්න හා පිපාසාවද ඔහුව දුර්වල කරමින් සිටියහ. ශරීරය උණුසුම්ව පවත්වා ගැනීම උදෙසා ඔහුවිසින් දිගින් දිගටම වැඩෙහි යෙදුණි. නින්දක් පිළිබඳ සලකා බැලීමක් කළ නොහැකි තරම් විය. ප්‍රධානම කාරණය ඔහු සිරවී සිටි ආකාරයයි. සිටගෙන සිටිනා ඉරියව්වකින් සිරවී සිටි බැවින් ඔහු හට හරිහමන් නින්දක් ලැබීමෙහි අවකාශයක් නොවුණි. සිය දුර්වල සාක්කු පිහියෙහි ආධාරයෙන් මුලු රාත්‍රිය පුරාවටම ඔහු විසින් නිදි වර්ජිතව, සිය වමත රිදුම් දෙන තෙක් පාෂාණය හා ඔට්ටු වෙමින් සිටියේය. එම රාත්‍රියේදී ඇරන් හට තමන් වැටී සිටිනා අනතුරෙහි සැබෑ ස්ව්භාවය තේරුම් ගැනීමෙහි හැකියාව ලැබුණි. තමන් පවත්වාගෙන යන මෙම වේගය එලෙසින්ම පවත්වාගෙන ගියහොත් අඩුම වශයෙන් පැය 150ක්වත් මෙම පාෂාණය ඉවත් කරගැනීමට ගත වේ යැයි ඔහු විසින් දළ ගණනය කිර්‍රමක යෙදුණි.

දෙවන දිනය - ඉරිදා

ශනිදා රාත්‍රියම ඇරන් විසින් පාෂාණය කඩා බිඳ දැමීම වෙනුවෙන් දිය කර හැරියේය. නමුත් එහි සාර්ථකත්වය විමසා බැලූ කළ ඔහුට හැඟී ගියේ පවතින සීමිත සම්පත් මගින් එය කිසි දිනක සිදු කළ නොහැකි අසාර්ථක කර්තව්‍යයක් බවයි. ඔහු දැන් බ්ලූ ජෝන් දොරුවෙහි සිර කරුවෙකු වී හෝරා දාසයක් ගෙවී තිබුණි. නිදහස් වීමට ඇති අවකාශයන් පටු වන තරමටම නව නව විකල්පයන් කෙරෙහි සිත යොමු වන්නට විය. ඒ අතර අවසාන විකල්පය වශයෙන් සලකා බැලිය හැකි, ඇරන් විසින් සිතීමටත් මැලිවූ දරුණු විකල්පයක්ද ඔහුගේ සිතෙයි ඇඳී නොඇඳී ගියේය.

ඉරිදාට හිරු පහන් වූයේ ඇරන්ගේ සිතෙහි නව බලාපොරොත්තු ඇති කරවමිනි. සාමාන්‍යයෙන් සති අන්තයෙහි බොහෝ කඳු නගින්නන් සිය චරිකාවන්වල නිරත වන හෙයින් ඇරන් විසින් එවන් කවුරුන්හෝ තමන්ව සොයා ගනීවියැයි අපේක්ෂා කළේය. එ බැවින්ම පල රහිත කාර්‍යයක් බව දැන දැනම ඔහු එක වරක් හඬ නගා කෑගැසීමක්ද සිදු කළේය. තමන් සිටිනා වැනි ස්ථානයක සිට හඬ එතරම් දුරකට ප්‍රක්ෂේපණය නොවනා බව ඔහු හොඳින් දැන සිටියේය.

මේ මොහොත වන විට සිය දකුණතෙහි ඉදිරි කොටස මිය ගොස් ඇති බවට ඔහු අනුමාන කළේය. වේදනාව සැලකිය යුතු තරමින් යටපත් වී තිබුණි. දිගින් දිගටම සිටගෙන සිටීම ඔහුගේ දෙපා වෙහෙසට පත් කළේය. සිය ඉන්ජිනේරු දැනුම භාවිත කරමින් පවතින සම්පත් එනම් කඹ සහ ගාංචු ඉහළින් වූ පාෂාණ අතර සිර කොට පාදයන් වෙත වූ පීඩනය නිදහස්  කොටගත හැකි යාන්ත්‍රණයක් සකසා ගැනීමට සමත් විය. මේ සියල්ල සිය වමත හා මුඛය ආධාරයෙන් පමණක් සිදු කර ගැනීමට සිදු විය. කෙසේ වෙතත් පැවති සීතල ඔහුට වැඩෙහි යෙදීමට බලකර සිටියේය. එදින නැවතත් සිය ඉන්ජිනේරුමය  දැනුමෙහි වාසිය භාවිතයට ගනිමින් ඔහු ඉතිරි කඹ හා ගාංචු භාවිත කරමින් පාෂාණය විතැන් කරවීමට එසවුම් යාන්ත්‍රණයක් සැකසීය. නමුත් එය අසාර්ථක කරමින් පාෂාණය කිසිඳු හැල හොල්මනක් නොමැතිව නිහඬවම  පසු විය.

ඉරිදා අපරභාගය වන විට ඇරන් විසින් සම්පූර්ණ දිනයක් දොරුවෙහි සිර කරුවෙකු ලෙස ගත කොට තිබුණි. නිසි ආහාර, ජලය හා නින්දක් නොමැතිව, සිටගෙනම දිනයක් ගත කිරීම කෙතරම් අපහසු කරුණක්දැයි ඒ පිළිබඳ මදක් සිත වෙහෙසුවහොත් ඔබට නිසැකවම අවබෝධවනු ඇත. පැවති තත්ත්වය විසින් ඇරන් හට වෙනත් විකල්පයක් ඉතිරි කොට නොතිබුණි. රාත්‍රිය පුරා වෙහෙසී පාෂාණය කඩා දැමීමට දැරූ තැතද, තමා විසින් සකසා ගත එසැවුම් යාන්ත්‍රණයෙන් පාෂාණය ඉවත් කිරීමට ගත් තැතද අසාර්ථකව තිබුණි. ස්වොත්සාහයෙන් මෙම මර උගුලෙන් ගැලවිය හැකියැයි යන සිතුවිල්ල ක්‍රමක්‍රමයෙන් ඇරන්ගේ සිතින් පහ වෙමින් පැවතුණි. වෙනත් ගවේෂකයකුගේ පැමිණීම පිළිබඳව තැබූ බලාපොරොත්තුද අත හැරීමට කාලය එළබෙමින් තිබුණි. හිරු අවරට යමින් පවතින මෙම මොහොතේ, යමෙකුගේ පැමිණීමක් පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැකි බව ඇරන් හොඳාකාරවම දනී. එසේනම් වෙනත් ගවේෂකයෙකුගේ අවධානයට ලක්වීමට තවත් සතියක්ම බලාසිටිය යුතුය. තමන් එතෙක් කල් ජීවත් නොවන බව ඇරන් හට සක්සුදක් සේ පැහැදිලිය. එසේම ඇරන් නැවත රාජකාරියට වාර්තා කිරීමට නියමිතව තිබුණේ එළබෙන අගහරුවාදාය. එතෙක් කිසිවකු හට ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳව සෙවීමට අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇත. එබැවින් ගලවා ගැනීමේ කණ්ඩායමක් පැමිණීමේ බලාපොරොත්තු තබා ගත නොහැකිය. යම් හෙයකින් කිසිවකුගේ මැදිහත්වීමකින් ගලවා ගැනීමේ කණ්ඩායමක් යෙදවූවද ඇරන් සිටිනා ස්ථානය පිළිබඳ දැනීමක් ඇත්තේ කා හටද ? එළිමහන් සංචරණයන්හී ස්වර්ණමය රීතිය ඔහු විසින් බිඳ දමා තිබුණි.

ගැලවීමට ඇති අවස්ථාවන් හීන වෙමින් යනවිට ඇරන් විසින් ටිකෙන් ටික මරණයට සූදානම් වන්නට විය. සිරවී දවසක් ගතවූ තැන, සිය වීඩියෝ කැමරාව මගින් ඔහු සිය සිරුර සොයාගන්නන් උදෙසා පණිවිඩයක් පටිගත කළේය. තමාව හඳුන්වා දුන් ඔහු, තාමගේ සිරුර හමුවූවෙකුට එම පණිවිඩය තම දෙමාපියනට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටියේය. මෙතැන් සිට ඇරන් විසින් වරින් වර සිය තත්ත්වය හා හැඟීම පටිගත කරනු ලැබීය.

දොරුව තුල සිරවී සිටියදී ඇරන් විසින් සිය වීඩියෝ කැමරාවෙන්ම සිදුකළ පටිගත කිරීමක කොටසක්.
උපුටා ගැනීම : 
http://cellulord.blogspot.ae/2011/01/127-hours.html
ඇරන් විසින් ඉතිරිව පැවති සිය සීමිත ආහාර හා ජල සලාකයන් රැක ගැනීම කෙරෙහි උත්සුක විය. සිය තොල් තෙමා ගැනීමකින් පමණක් සෑහීමකට පත්වීමට ඔහුට සිදු විය. ජලය නොමැතිව දින තුනකට වඩා ජීවත් නොවිය හැකිබව ඇරන් දැන සිටියේය. ඒවන විටත් ඔහුගේ ශරීරය විජලනයේ මූලික ලක්ෂණ පෙන්නුම් කරමින්තිබුනි. ඔහුගේ ආහාර සලාකයද බුරිටෝ දෙකකට පමණක් සීමා විය. වරෙකට එක් කට බැගින් ඉතා සීමිතව එය පරිහරණය කිරීමට ඇරන් හට සිදුවී තිබුණ අතර නැවතත් රාත්‍රියේදී අධික සීතලින් ආරාක්ෂාකාරී වීමටද ඔහුට සිදුවී ඇත. කඳු නගින පටි කිහිපයක් සිය ගෙලවටා දවටාගෙන, සිය කැප් තොප්පිය පැළඳගෙන හා දෙකන සීතලින් ආරක්ෂා කර ගැනීමට වෝක්මන් යන්ත්‍රයේ හිස් බනුව පැළඳගෙන ඇරන් විසින් සීතලින් ආරක්ෂා වීමට උත්සහයක යෙදුණි.

තෙවෙනි දිනය - සඳුදා

සඳුදා රාත්‍රිය වන විට සිය ආහාර සලාකය කටවල් දෙක තුනකට හා ජලය උගුරු කිහිපයකට පමණක් සීමාවී තිබුණි. තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබුණේ ගැලවීමේ බලාපොරොත්තු ඔහු වෙතින් ඈත් කරමිනි. සඳුදා රාත්‍රියේ සිට ඇරන් විසින් සිය මුත්‍රා එකතු කිරීමට පටන් ගැනුණේ ජලය වෙනුවෙන් පානය කිරීම උදෙසාය. සිය නිදහස වෙනුවෙන් කිසිදා නොකළ යමක් සිදු කළ යුතු බව ඇරන් හට තේරුම් යමින් තිබුණි. බලහත්කාරයෙන් යටපත් කොට තිබූ සිතුවිල්ල නිදහස උදෙසා නැවත නැවතත් ජලයෙහි ඔබ්බවා ඇති රබර් බෝලයක් මෙන් උඩට පැමිණීමට වූයේ අනෙකුත් සියලු විකල්පයන් එකින් එක අසාර්ථක වෙමින් යාම නිසාය. සඳුදා රාත්‍රියද ගෙවී ගියේය. මේවන විට ඇරන් විසින් රාත්‍රීන් තුනක් බ්ලූ ජෝන් දොරුවෙහි ගත කොට තිබුණි.

සිව්වෙනි දිනය - අඟහරුවාදා

ඉරිදා උදයේ සිට සෑම දවසකම උදෑසන 08:15ට නොවැරදීම දර්ශනය වූ එම දසුන එදත් දිස් විය. ඒ කපුටෙකි. සෑම දිනයකම ඇරන්ගේ හිසට ඉහළින් වූ ආකාශයේ පියබා ගිය විශාල කපුටෙකි. ඔවුන්ගේ විශ්වාසයනට අනුව කපුටා යනු අසුභ සලකුණකි. මරණයේ දූතයෙකි. මේ පෙන්නුම් කරන්නේ ඇරන්ගේ මරණයෙහි පෙර සලකුණුද !

එදින උදෑසන ඇරන් සතුවූ අවසාන ජල සලාකයද අවසන් විය. පාෂාණය ඉවත් කිරීමෙන් තමන් හට මෙයින් ගැලවිය නොහැකි තරමටම, බාහිරින් ආධාර ලැබීමට තිබූ අවස්ථාවන්ද සීමිත විය. අවසානයේදී මෙතෙක් කල් කිරීමට පමා කළ එම අවසාන විකල්පය, අවසාන තුරුම්පුව ක්‍රියාවෙහි යෙදවීමට ඇරන් සිත දැඩි කොට ගත්තේය. තමා විසින් තමාගේම හස්තය කපා දැමීමෙන් ලබන නිදහස !!

මෙය කෙතරම් වේදනාකාරිදයි මා ඔබට කිව යුතු නොවේ. සියුම් කැපුම් තුවාලයක් ඔබට කොතෙක්නම් වේදනාවක් දී ඇත්දැයි සිහියට නගා ගන්න. එවිට ඇරන් විසින් සිය උත්තරීතර නිදහස වෙනුවෙන් දැන් කිරීමට යන ඒ නිර්භීත ක්‍රියාවෙහි වේදනාකාරී බව ඔබට පසක් වේවි. එසේ කිරීමට පෙර ඔහු විසින් සලකා බැලිය යුතු කාරණා රාශියක් විය. මුලින්ම එය කරනා ආකාරය සහ භාවිතා කළ යුතු උපකරණ. බාල වර්‍ගයේ සාක්කු පිහිය හැරෙන්නට ඒ සඳහා උපයෝගී කරගත හැකි වෙනත් උපකරණයක් ඔහු සතු නොවීය. යම් හෙයකින් සිය දකුණත කපා දමා නිදහස ලබා ගත්තත් එම නිදහස භුක්ති විඳීමට ඔහුට ඉඩ ලැබේවිද ! සමහර විට ඔහු අධික රුධිර වහනය හේතු කොටගෙන මිය යා හැකිය. එසේ නැතහොත් තනි අතින් දුර්ගයෙන් පහතට බැසීමේදී යම් අනතුරක් සිදුවී උවද ඔහු මිය යා හැකිය. කෙසේ වෙතත් ඇරන් විසින් අවසානයේදී එම බිහිසුණු, නිර්භීත කාර්‍යය උදෙසා සිය හිත හදා ගත්තේය.

මුලින්ම සිය සාක්කු පිහිය ගෙන සිරවී තිබුණු සිය දකුණතෙහි අග්‍ර බාහුවෙහි (වැලමිටත් මැණික් කටුවත් අතර ප්‍රදේශය) මධ්‍යයට කිඳා බැස්සවීය. පිහිතලය මස පසාරු කරගෙන ගියද මෙම බාල වර්‍ගයේ පිහියට හස්තයෙහි අස්ථි කපා දැමිය නොහැකි බව ඔහුට අවබෝධ විය. එයින් නැවතත් ඔහු දුර්මුඛ විය. තමන්ගේ අසාර්ථක උත්සහය පිළිබඳව හැඬුම්බරව දෙවියන් හා පවසන ඇරන්ගේ හඬ එදින විඩියෝ පටයෙහි සටහන් විය.

අගඟරුවාදා සවස වන විට ඔහු සතු ආහාරද අවසන් වී තිබුණි. එකතු කරගත් මුත්‍රා බෝතල දෙකක් පමණක් ඒ වනවිට ඇරන් සතු විය. එය ඔහුට ජීවිතය පවත්වා ගැනීමට මහෝපකාරීවිය. විජලනය හා ශරීර උෂ්ණත්වය පහත වැටීම ඔහුව ටිකෙන් ටික අඩපණ කරමින් තිබුණි. තවද ඒ වන විට ඔහු හෝරා අනූවක් පමණ නිදි නොමැතිව ගත කර ඇත. තමන් ක්‍රමක්‍රමයෙන් මරණය කරා පිය මනින් බව ඔහු දැන සිටියේය.

පස්වන දිනය - බදාදා

බදාදා උදෑසන වන විත ඇරන් සේවය කළ ආයතනයෙහි කළමනාකරු විසින් ඇරන් දින දෙකක් සේවයට වාර්තා නොකිරීම පිළිබඳ විමසිලිමත් විය. ඇරන් හට යම් අනතුරක් වී ඇති බවට ඔහුට වැටහුණි. ඇරන්ගේ මවව මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් එකතුව ඇරන්ව සෙවීමෙහි මෙහෙයුම දියත් කළහ. බලධාරීන්ව දැනුවත් කිරීම සිදු වුවද ඔවුන් සියලු දෙනාම අසරණවන එක් තැනක් විය. ඒ ඇරන් සිටිනා ඉසව්වක් නොදැන සිටීමයි. මෙය තමන් විසින් සිදුකළ බරපතල අත්වැරැද්දක් බව පසුව ඇරන් විසින්ද පිළිගැනුණි.

පස්වන රාත්‍රියද එළබිනි. එය තමන්ගේ අවසන් රාත්‍රිය බව ඇරන් විසින් අනුමාන කළේය. ඒ වන විට ඔහු ජලය නොමැතිව දින දෙකක් ගත කොට තිබුණි. ස්වොත්සාහයෙන් මෙයින් ගැලවිය හැකියැයි කිසිඳු ආත්ම විශ්වාසයක් දැන් ඔහුට නොවීය. අඩුම තරෙමේ සුදුසු ආයුධයක්වත් තිබුණේනම් සිය හස්තය කපා දමා නිදහස් වීමට ඔහු දැන් සූදානම්ය. නමුත් ඒ බාල සාක්කු පිහිය එයද වළක්වා තිබුණි. නමුත් එම පිහියම ඔහුට සිය නම දොරුවෙහි බිත්ති මත කෙටීමට උපකාරී විය. මුලින්ම සිය නම ලියූ ඔහු එයට උඩින් උපන් දිනය සටහන් කළේය. එයට යටින් තමන් මිය යතැයි අනුමාන කළ දිනයද සමාදානයේ සැතපේවා යන්න හඟවන R.I.P. සලකුණද සටහන් කළේය. එයට අමතරව ඔහු සිය දෙමාපියන් වෙත අවසන් පණිවිඩය පටිගත කළේය. සිය සිරුර පුළුස්සන ලෙසනත්, අළු විසුරුවා හැරිය යුත්තේ කිනම් ප්‍රදේශයකද යන්නත් ඔහු විසින් දැනුම් දුන්නේය. ඔහු මරණය පිළිගැනීමට සූදානමින් සිටියේය.

සයවන දිනය - බ්‍රහස්පතින්දා

මෙම දිනයට හිරු නැගෙනවා දැකිය හැකිවෙතැයි ඇරන් හට විශ්වාසයක් නොතිබුණි. ඇරන් විසින් සුපුරුදු කපුටාගේ දර්ශනය දැකීමට දෑස් අයා බලා සිටි නමුත් එදින මරණයේ දූතයා දර්ශනය නොවීය.

එදින උදයේ ඇරන් නැවතත් අරමුණකින් තොරව පාෂාණයට පිහියෙන් කොටමින් සිටියේය. එක්වරම පිහිය අත්ලේ වැදීම හේතුකොටගෙන සුළු පැල්මක් අත්ලෙහි සමෙහි ඇතිවිය. කුතුහලයෙන් යුතුව අත්ලට පිහියෙන් තට්ටු දමමින් සිටි ඇරන් එක් ස්ථානයකදී එය අඟල් හාගයක් පමණ ඇතුළට බැස්සවීය. නමුත් ඔහුට කිසිඳු දැනීමක් නොවුන බව ඔහු පවසයි. එක් වරම එම සිදුරෙන් ෂ්..ෂ්...ෂ්.. අනුකරණයෙන් වායුවක් නිකුත් වනු ඇරන් බලා සිටියේය. ඒ අත නරක්වීම නිසා හටගත් වායුවක් බව ඔහුට අවබෝධ විය. සිය ශරීරයට සම්බන්ධ අවයවයක් දිරාපත්ව යන්නේය යන සිතුවිල්ල නැවතත් ඔහුව තැතිගන්වන ලදී. එයින් කලබලවූ ඔහු නැවතත් අත නිදහස කරගැනීම උදෙසා දගලන්නට විය. දෙපැත්තට පැද්දෙමින් ඔහු අත ගලවා ගත හැකිදැයි නැවතත් උත්සහ කර බැලුයේ ඇතිවූ තැතිගැන්ම නිසාමය. මෙම මොහොතේ ඇරන් හට, ඔබට හෝ මට කිසිදා පහළ නොවීමට ඉඩ නැති කදිම එහෙත් බිහිසුණු අදහසක් පහළ විය. දින දෙහෙකට පෙර අත කපා දැමීමට කළ උත්සහය අස්ථි කැපීමට නොහැකි නිසා අත් හැර දමන ලදී. නමුත් අතට සම්බන්ධ අස්ථීන් යුගල කඩා දැමුවහොත් තත්ත්වය මුළුමනින්ම වෙනස් අතට හැරෙන බව ඇරන් හට අවබෝධ විය. එවිට මස පිහියෙන් කපා දමා ඔහුට නිදහස් විය හැකිය. දෙවරක් නොසිතාම ඔහු ක්‍රියාත්මක විය. අත මැණික්කටුව ප්‍රදේශයෙන් තදින් සිරවී තිබීම නිසා මෙය වඩාත් පහසු වූ අතර  තමන්ව සිර කරගෙන සිටිනා පාෂාණයේම අනෙක් පසින් තදින් අල්ලාගෙන අත හැකිතාක් අනෙක් පසට නැවීය. මොහොතකින් අස්ථි බිඳුම් හඬක් දොරුව පුරා නින්නාද වන විට සිය දකුණතෙහි යට අස්ථිය කැඩී ගිය බව ඇරන් හට අවබෝධ විය. ඒ සමඟම පාෂාණයට බර දෙමින් අත යටට තද කිරීමෙන් ඔහු විසින් උඩ අස්තියද බිඳ දමන ලදී. මේ කාර්‍යයය පුරාවට ඔහු විඳි වේදනාව වචනයෙන් විස්තර කිරීමට අපහසුය. තමන්ගේ අස්ථියක් තමන් විසින්ම කඩා බිඳ දැමීම උදෙසා මිනිසකු සතුව කෙතරම් උසස් ධෛර්‍යයක්, දරා ගැනීමේ හැකියාවක් තිබිය යුතුද, ඇරන් රාල්ස්ටන් සතුව එය නොඅඩුවම තිබුණි.

ඉන්පසුව එළබියේ වෛද්‍යවරයකු නොවන පුද්ගලයකු නිර්වින්ධනයකින් තොරවම තමාගේ අවයවයක් උදෙසාම කරනා ඒ අපූරු සැත්කමයි. මුලින්ම සාක්කු පිහියෙහි විශාල තලයෙන් උත්සහ කළ මුත් එය සම සිදුරු කිරීමට තරම්වත් සමත් නොවුණේය. ඉන්පසු ඇරන් විසින් එහිවූ කුඩා වූ අඟල් දෙකක දිගින් යුතු තලය භාවිතයට ගත්තේය. එමගින් ඔහු සෙමින් සෙමින් සම සහ මාංශපේශි අමු අමුවේම ලේ පෙරමින් කපා දැම්මේය. එය ඉතා වේදනාකාරී සැත්කමක් විය. පැයක් පමණ කාලයක් තිස්සේ ඔහු විසින් මාංශපේශී, නහර ආදිය එකෙන් එක කපා දමන ලදී. ධමනි දෙකක්ද කැපී වෙන්විය. එයට පෙර ඔහු රුධිර වහනය සීමා කිරීමට උඩින් පටියක් යොදා අත තද කිරීමට වගබලා ගත්තේය. ප්‍රධාන ස්නායුව කපා දැමීම සැත්කමෙහි දුෂ්කරම කොටස විය. ස්නායුවට පිහිය තබනා විටදී පවා සිය අත දිගේ උරපත්ත දෙසට පැතිරෙන දරුණු පිළිස්සීමක් වැනි ඒ වේදනාව ඔහු අත් වින්දේය. දෙතුන් වරක් උත්සහා කිරීමෙන් අනතුරුව හිතට එඩි ගෙන අවසානයේදී එයද කපා දැමුයේ අත දිගේ ඉහළට පැමිණි විදුලිය වැනි ඒ දරුණු වේදනාවද විඳිමින්ය. එය සැත්කමෙහි දුෂ්කරම කොටසයි. ඉන් මොහොඅතක පසු ඇරන් රාල්ස්ටන් හිරෙන් නිදහස් විය. ඒ සඳහා ඔහුට සිය දකුණතින් කොටසක් පූජා කිරීමට සිදුවී තිබුණි, එම මොහොත සිය ජීවිතයේ ප්‍රීතිමත්ම මොහොතක් බව ඇරන් පවසයි. මෙම අසීරු කාර්‍යය පුරාවටම ඔහුගෙන් එකදු කෑගැසීමක්වත්, එකඳු කෙදිරියක්වත් පිට නොවූ බව පවසන ඇරන් කිසිඳු විටක තමන් සිහිසුන් නොවූ බවද පවසයි. ගැබුරු හුස්මක් ගැනීමට මදක් නැවතුණු ඔහු වහා සිය ආම්පන්න සියල්ල එකතු කරගෙන එම ස්ථානයෙන් පිටත් විය. අභියෝගය තවමත් අවසන් නොමැති බව ඔහුට නොරහසකි.

සිය ආපසු ගමන කිසිසේත්ම සුළුපටු කටයුත්තක් නොවන බව ඇරන් දනී. ඔහු මෙහි පැමිණියේ පටු, අඳුරු මාර්‍ගයන් ඔස්සේ, විටෙක පාෂාණ කුට්ටි උඩින් පනිමින්, විටෙක යටින් ගමන් කරමින්, විටෙක පටු බිත්ති අතර අත් පා තෙරපමින් ආදී ලෙස ඉමහත් දුෂ්කරතා මධ්‍යයේය. දැන් එම මාර්ගයේම ඔහුට එක අතක සහයෙන් නැවත යායුතු වුයේ රුධිරය වහනය වෙන අනෙක් අත ගැනද අවධානය යොමුකරමින්ය. ඇරන් විසින් එම අභියෝගයද ජයගන්නා ලදී. අවසානයේදී ඔහු දොරුවෙන් පිටතට පැමිණුන අතර සය මහල් ගොඩ නැගිල්ලක් තරම් උසින් පිහිටි පීටිකාවක සිටගෙන සිටියේය. එයින් පිට විය හැක්කේ පහතට හෙළූ කඹයක ආධාරයකින්ම පමණී. එහෙත් එක් අතක් පමණක් ඇති, අනෙක් අතෙහි දරුණු වේදනාකාරී තුවාලයක් ඇති මිනිසෙකුට මෙවන් අභියෝගයක් ජයගත හැකිද ? ඇරන් රාල්ස්ටන් යනු අධිෂ්ඨානයේ හා ආත්ම ශක්තියේ ප්‍රතිමූර්තියකි. දින හයක් නිසි අහරක්, නිසි නින්දක් නොමැති මිනිසෙක්, දින තුනක් පුරාවට වතුර බිඳක්වත් තොල නොගෑවුණ මිනිසෙක්, සිය දකුණත තමන් විසින්ම කපාගැනීම නිසා ඉතා වේදනාකාරී තුවාලයක් සමඟ අධික රුධිර වහනය සහිත මිනිසෙක්, එම නිසාම එක් අතකින් පමණක් වැඩකළ හැකි මිනිසෙක් අඩි හැට පහකට අධික උසක් කඹයක ආධාරයෙන් බැසීම විග්‍රහ කළ හැක්කේ කෙසේද ! ඔබ එය කෙසේ විග්‍ර කළද සත්‍යය නම් ඔහු විසින් එය සිදු කළ බවයි. බ්ලූ ජෝන් දොරුව, අධිෂ්ඨානශීලි, දැඩි ආත්ම ශක්තියෙන් යුතු මිනිසෙකු ඉදිරියේ මෙසේ පරාදවී තිබිණි.

XXXXXXX

බිමට බට වහාම ඒ ආසන්නයේ වූ අපිරිසිදු වතුර පිරුණ වළකින් කුස පිරෙන තෙක් ජලය පානය කළ ඇරන්, සිය බෝතලයටද පුරවාගෙන එතනින් නික්මුණි. තවමත් ඔහු වෙත වූ අනතුර ඉවතව ගොස් නොමැත. මෙතැන් සිට ඔහු විසින් සිය වාහනය වෙත අඩුම තරමින් සැතපුම් හතක්වත් ඝන හිරුරැස් මධ්‍යයේ ගමන් කළ යුතුව තිඹුණි. නොනවත්වා රුධිරය වහනය වන, දින ගණනාවක් අහර හෝ නින්ද නොලබා ඇති මිනිසෙකුට මෙය දැරීමට අපහසු තත්ත්වයකි.මේ අතර ප්‍රදේශයේ ආරක්ෂක බලධාරීන් දිනගණනාවක් එක තැන නවතා තිබූ ඇරන්ගේ වාහනය නිරීක්ෂණය කොට ගවේෂණයෙහි යෙදුණු කවුරුන්හෝ අනතුරකට පත්ව ඇතැයි සැකකොට සෙවීම් කටයුතු අරඹා තිබුණි. ඔවුනට හෙලිකොප්ටර් යානයක සහයෝගයද ලැබුණි.

ඉතා අමාරුවෙන් සැලකිය යුතු දුරක් ගමන් කළ ඇරන් හදිසියේම තමන්ට ඉදිරියෙන් තිදෙනෙකු ගමන් කරනු නිරීක්ෂණය කළේය. ඇරන් විසින් උදව් ඉල්ලා කළ කෑගැසීම ඔවුන් තිදෙනාව ඔහු වෙත රැගෙන අවේය. ඒ, එම ප්‍රදේශයේ සංචාරයට පැමිණි ඕලන්ද පවුලකි. ඇරන් හට වහාම ඔවුන්ගේ වතුර බීමට ලැබුණු අතර මවත්, පුත්‍රයාත් උදව් ඉල්ලා ඉදිරියට දිව යන විට පියා ඇරන්ට සහය වෙමින් ගමන් කළේය. දිගටම සිදුවූ රුධිර වහනය නිසා දුර්වලව සිටි තමා හට එම අධික උෂ්ණත්වය යටතේ තවදුරටත් ඉදිරියට යාමට නොහැකිවෙතැයි සිතුණු එම නිමේෂයේම ඔවුනට හෙලිකොප්ටරයක හඬක් ශ්‍රවණය වූහ. ඒ ඇරන් රාල්ස්ටන්ගේ නිදහසේ නාදයයි.

XXXXXXX

ඇරන්ගේ නැවත පැමිණීමෙන් දින කිහිපයකට පසු බලධාරින් විසින් පාෂාණයට සිරව තිබූ ඔහුගේ හස්තයෙහි කොටස ඉවත් කර ගන්නා ලදී. ඒ සඳහා මිනිසුන් 13දෙනෙකු හා තවත් ලීවර කිහිපයක් කිහිපයක් අවැසි විය. පිළිස්සු අත් කොටසෙහි අළු ඇරන් රාල්ස්ටන් වෙත ලබා දුන් අතර අනතුරින් මාස හයකට පසු එනම් සිය උපන්දිනය දා NBC මාධ්‍යවේදීන් හා නැවත එම ස්ථානයට කළ සංචාරයේදී ඇරන් විසින් එම අළු පාෂාණය මතට ඉසින ලදී. ඔහුට අනුව එයට හිමි ස්ථානය එයයි.

අනතුරින් ටික කලකට පසු ඇරන් රාල්ස්ටන් විසින් නැවතත් සිය සුපුරුදු ගවේෂණයන්හී යෙදුණු අතර 2005දී සිය සිහිනය වූ "ෆෝර්ටීනර්ස්" කඳු මුදුන් සියල්ල ජයගැනීමටද සමත් විය.

නතර කළ නොහැකි ඇරන් රාල්ස්ටන් 
උපුටා ගැනීම :  http://www.movie-nerd.com/showthread.php?20694-Desperate-Days-In-Blue-John-Canyon-(2005)


පසු සටහන් :

1. ඇරන් රාල්ස්ටන්ගේ කතාව කියවූ පසු ඒක්ෂණයෙන් මනසේ ඇඳී ගියේ කුඩා කළ අසා තිබූ කතාවකි. පොළඟෙකු දෂ්ට කිරීමෙන් අනතුරුව වහාම සිය ඇඟිල්ල කපා දැමූ, සිය මිතුරකුගේ පියෙකු පිළිබඳව මින් බොහෝ කලකට පෙර අයියාගෙන් අසා තිබුණි. එයට අඩු වැඩිය දමා නිට්ටළුවන් සොයා අප සිදුකළ බදුලු චාරිකාවට එකතු කිරීමේ ප්‍රතිඵලය "පොළඟා පරාදයි" වේ. එහි සඳහන් සෙන්නා යන නාමය, ගාමිණී නම් වූ චරිතය හා ඔහු කළ වීර ක්‍රියාව, මුළුතැන්ගෙහි ජවනිකාව සම්පූර්ණයෙන්ම මනඃකල්පිත වේ.

මූලාශ්‍ර:
1. Desperate days in Blue John Canyon ( 06 Videos ) - NBC Documentary
2. 127 hours - A film based on the Aron Ralston's story - Directed by Danny Boyle.
3. http://en.wikipedia.org/wiki/Aron_Ralston
4. http://en.wikipedia.org/wiki/Blue_John_Canyon

සැකසුම :
~~සෙන්නා / 15.08.2013

පොළඟා පරාදයි....

2013 නිකිණි මස 15 වනදා

"න්දිකයා, ඒකනෙමේ බන්, මොකෝ අර ගාමිණී අයියගෙ අතට වෙලා තියෙන්නෙ? මොනා වෙලාදේ ?

සරතා ඔය ප්‍රශ්නෙ ඇහුව්වෙ, එදා උදේ අපි කට්ටියම ඉන්දිකයලෑ කුස්සියෙ තැන් තැන් වල වාඩි වෙලා තේ එක හම්බෙනකම් බලාගෙන හිටපු වෙලාවෙ. අගෝස්තු මාසෙ වුණත් මෙහෙ තාමත් උදේට පට්ට සීතලයි. ගේ ඇතුළෙත් සෙරප්පු නැතුව අඩිය තියන්න බැරි තරම් සීතලයි. ඇඟට නිකන් ඉඳිකටු තුල් වලින් අනිනවා වගේ වුණත් මම ඒ සීතලට කැමතියි. අපිටත් හැමදාම මේ තරම් සීතලක් තිබුනනම් ! දඩිය දාන එක කොච්චර වුණත් ඉවසන්න අමාරු දෙයක්. හැමෝම ජැකට් ඇඳලා රෙදි පොරවගෙන හිටියෙ. ඉන්දිකයටනම් එච්චර ගාණක් නෑ වගේ. උන්ට ඉතින් පුරුදු නැතෑ. බටහිරයො වෙච්ච අපිට එහෙමද ! මමයි, දමියායි, සම්පතායි, සරතයි, පිලිපයයි කුස්සියෙ ඉඩ තියන හැම තැනක්ම බදු අරගෙන හිටියේ. එකෙක් පුටුවක් උඩ, අනිකා හිරමනේ උඩ, තව එකෙක් පොඩි බංකුවක් උඩ, තව එකෙකෙක් තනි අන්ඩෙන් උළුවස්සට බරවෙලා, ඔන්න ඔය වගේ. ඉන්දිකයලෑ අම්මයි, අක්කයිත් කුස්සියෙ ගජරාමෙට වැඩ. ඒ අපිට උදේ කෑමට !  තාත්තත් එළියෙ මොකක්ද වැඩක්. අපි ආවයින් මේ මිනිස්සුන්ට වැඩ වැඩි වෙලා. උදෙන්ම නැගිටලා තේ එක හම්බෙනකම් කට්ටිය කුස්සියෙ වටවෙලා කයියක් දාන එකතමා පහු ගිය දවස් තුන හතරෙම සිද්ධ වුණේ, අදත් සිද්ධ වෙන්නෙ.

"අනේ පුතාලා ඒක කිව්වට කවුරුවත් විශ්වාස කරන්නෑ, නේ....ද පුතා ? " සරතගෙ ප්‍රශ්නෙට  ඉන්දිකයගෙ අම්මා උත්තර දුන්නෙ ඌව සාක්ෂියකට අර ගන්න ගමන්. මෙහෙ මිනිස්සු කතා කරන විදිහ හරිම ළෙන්ගතුයි. ඇඳලා පැදලා බොහොම ලයාන්විතව තමයි කතා කරන්නෙ. ඉන්දිකයලෑ අම්මත් එහෙමයි. බලන් ඉන්න ආසයි ඒ කතා කරන විදිහ.

"ඔව් අම්මා, මුන්ට කිව්වත් අන්තිමට හිනා වෙන එක තමා වෙන්නෙ" බටයකින් පූස් පූස් ගගා ලිපට පිබ පිබ හිටපු ඉන්දිකයා ඔළුව උස්සන ගමන් කිව්වෙ. අම්මලට හොරෙන් සිකරට් අරක්කු බිව්වට මූ අම්මලාට උදව් කරණ හොඳ දරුවෙක් ! මුගෙ මේ "අම්මා", "තාත්තා" කියලා කතා කරන එකට මමනම් හෙණ මනාපයි. අම්මේ තාත්තේ කියනවට වැඩිය ඒක හෙණ හෘද්ධයාංගමයි, ළෙන්ගතුයි, සමීපයි. මේ පැත්තේ හැමෝම වගේ එහෙම තමා ආමන්ත්‍රණය.

XXXXXXX

ඉන්දිකයව මට මුලින්ම හම්බෙන්නෙ මම කටුනායක කලාපෙ වැඩ කරපු කාලෙ. බදුල්ලෙ ඉඳලා රස්සාවකට කොළඹ ආපු මූ, උන්ගෙ අයියා රස්සාව කරපු තැනටම ඒ කියන්නෙ අපේ වැඩපළේ ප්‍රධාන ශාඛාවට සම්බන්ධ වුණා. ඊට ටික කාලෙකට පස්සෙ තමා මිනිහට කටුනායකට මාරුවක් හම්බෙන්නෙ. ඔය 1996, Excel එහෙම මුලින්ම අතපත ගාන්න ගත්තු කාලෙ. මම එක්සෙල් ෂීට් එකක් දිගෑරගෙන අනාථවෙලා හිටපු වෙලාවක මූ බලෙන්ම වගේ අහලා මට උදව් කරපු එක තමා අපේ හිතවත් කමේ ආරම්භය. මිනිහා ඩ්‍රාෆ්ට්මන්. චිත්‍ර එහෙම ආයෙ ලෙසටම තියනවා. ඔය ලේබල්, කැටලොග්, හෑන්ඩ්බුක් එහෙම ඩිසයින් කරන එක තමා මුගෙ ජොබ් එක. දවසක් පේන්ට් වලින් බොක්සර් බල්ලෙක්ව ඇන්දා නිකන් පණ පිහිටවලා.

කොළඹින් කටුනායකට මාරු වුණාම මිනිහාට පොඩි අවුලක් ආවා නවතින්න තැනක් ගැන. දෙතුන් තැනක්ම බැලුවට හරියට හිතට අල්ලලා තිබුණෙ නෑ වගේ තමා මතක. ඒ දවස්වල උදේ හවා කිරුලපන පුංචි අම්ම කෙනෙක්ගෙ ගෙදර ඉඳන් තමා මිනිහා වැඩට ආවෙ. ඒක හොඳ කට්ටක්. ඔය ගැන මාත් එක්ක කියපුවම තමා මම කිව්වෙ කැමතිනම් අපේ ගෙදර වරෙන්, හැබැයි තනි කාමර නෑ, හවුලෙ තමා ඉන්න වෙන්නෙ කියලා. ඊට පස්සෙ තමා ඉන්දිකයා අපේ ගෙදර නවතින්න සෙට් වුණේ. ඒ වෙනකොට ලොකු අම්මා නැතිවෙලා තිබුණ නිසා ලොකු අයියා ඒ කාමරේට ගිහින් ඉන්දිකයට එයා හිටපු ඇඳ වෙන්වුණා. ඒ වෙනුවෙන් මිනිහා මාස්පතා අම්මට ගානක් ගෙව්වා. ගෙවපු ගානට හරියන්න ඌ ගෙදර හිටියෙවත් කෑම ගත්තෙවත් නෑ කියලා මතකයි.

ඉන්දිකයා ඇවිල්ලා කා එක්ක වුණත් බොහොම ඉක්මනට කතාබහ කරලා හිතවත් වෙන එකා. අපේ දිහාට ඇවිත් වැඩි කාලයක් යනන් කලින් ඌව අපේ ගමේ නොදන්න කෙනෙක් නැතිවුණා. මීගපු පාරෙ ඉඳන් අපේ ගෙදරට තියෙන්නෙ මීටර් අට සීයයි. මම සාමාන්‍යයෙන් පයින් යනකොට ඔය දුර විනාඩි පහෙන්, වැඩිම වුණොත් දහයෙන් ඇදලා දානවා. මූට යනවා පැය එකහාමාරකට වැඩිය. ඔන්න හන්දියෙන් බස් එකෙන් බහිනවා. එතනම ඉන්නවා ත්‍රීවීල් බජාර් එක. "ආ... මචන්ලා කොහොමද ? උඹලා කෑවද ? අරවද ? මේවද ? අම්මලා සනීපෙන්ද ? .........? ... ? ... ? " ප්‍රශ්න ගොඩයි. සිගරට් තුනයි. ඊට පස්සෙ එතනින් ඇවිත් මීටර් දහක් යද්දි එනවා තව එකෙක්. "ආ මචන් කොහොමද ? .... ? ..... ? " සිගරට් එකයි. ඔහොම හැමෝගෙම සුව දුක් විචාරමින් එනකොට අඩුම පැය එකාමාරයි. පැය තුන හතර ගියපු දවස් නැත්තෙමත් නෑ. අනිත් එක දැන් මේක කියවන කාට හරි අපේ ගෙදර එන්න ඕනනම් එහෙම හන්දියට ඇවිල්ලා "සෙන්නලෑ ගෙදරට යන්නෙ කොහොමද ? " කියලා ඇහුවට වැඩක් වෙන්නෑ. උන් උඩ බිම බලනවා ඕන ඔට්ටුවක් ! (සෙන්නා කියලානම් ගෙදරින් ඇවිල්ලා ඇහුවත්, එහෙම එකෙක් නෑ කියනවා. හෙහ් හෙහ්) අහන්න ඕනා "ඉන්දික හිටපු ගෙදරට යන්නෙ කොහොමද ?' කියලා. ආන්න, ගෙදරට යන පාර ඇඳලම දෙයි. මිනිහා ඒ ආකාරයි.

ඒ ලෙවල් ඉවර වුණාට පස්සෙ එකටම වගේ හිටිය අපි පස් දෙනෙක් හිටියා. මම, දමියා, සරා, සම්පතා, පිලිපා. අපේ පුරුද්ද තමා ඉතින් හැන්දෑ කොරේට එක එකාගෙ ගෙවල් වලට ගිහින් කයිය ගහගෙන ඉන්න එක. ඒ වෙනකොට රස්සාවක් කළේ මමයි, දමියයි විතරද කොහෙද ! ඔය වගේ ඉතින් ඕකුන් සෙට් එක අපේ ගෙදරත් එනවා. ඇවිල්ලා ඔය කාමරේ රෑ වෙනකම් බොරු කියන එක තමා රැකියාව. අම්මටයි, නංගිලටයි හොඳ ගණන් ඉතින් මුන්ට තේ හදලා. සමහර එවුන් "ඇන්ටි මෝල්ටඩ් මිල්ක් එකක්" කියලා ඕඩරෙත් දාගෙනම තමා කාමරේට එන්නෙ. ඉන්දිකයා ආවා කියලා ඉතින් ඕකෙ වෙනසක් වුණේ නෑ. එහෙම වෙන්න හේතුවකුත් නෑනෙ. සිද්ධ වෙච්ච එකම වෙනස කට්ටිය එන වාර ගාන වැඩි වුණ එක තමා.

ඉන්දිකයා ඉතින් උන්ගෙ ගමේ විස්තරයි, අරවයි, මේවයි කිය කිය කට්ටියව ආනන්දයෙන් ප්‍රඥාවට අරන් ගිහින් තිබුණෙ. ඒවට ඌට මඩ නොවැදුණා එහෙමත් නෙමේ. සරා එහෙම මඩ ගහන්න දන්නෙම නැති එකා වෙච්චි. ඔය වගේ බොරු වැලක් අතරින් තමා අපිට ඉන්දිකයගෙන් නිට්ටළුවො ගැන මුල්වරට අහන්න ලැබුණෙ. ඊට කලින් අපි එහෙම ජාතියක් ගැන අහලා තිබුණෙම නැති නිසා මේක අපිට බොහොම උද්‍යෝගිමත් මාතෘකාවක් වුණා.

ඉස්සර ලංකාවෙ ඉඳලා තියනවලු සිරුරින් කුඩා, වනාශ්‍රිතව දිවි ගෙවූ නිට්ටළුවො හෙවත් නිත්තෑවො කියලා ජනවර්‍ගයක්. එක්තරා කාලයකදි මොවුන්ගේ ස්ත්‍රීන් ශීඝ්‍රයෙන් වඳවීම නිසා ඔවුන් වැදි ජනයාගෙ ස්ත්‍රීන්ව පැහැර ගෙන ඇවිල්ලා තමන්ගෙ අඹුවන් ලෙස පවර ගන්න පටන් ගත්තාලු. මේකට උරණ වෙච්ච වැද්දො නිට්ටළුවන්ව අල්ලලා ගල් ගුහාවක හිර කරලා ගිනි තියලා මරලා දැම්මලු. එතනින් ඔවුන් වඳ වුණා කියලා තමා කියන්නෙ. වැද්දන් හා නිට්ටළුවන් අතර කාලාන්තරයක් තිස්සෙ පැවතුන ගැටුමක් නිසා වැද්දන් ඔවුන්ට සංහාරය කළා කියලත් කියවෙනවා. තව කතාවක් තියනවා මොවුන් නිට්ටඹුව ප්‍රදේශයෙන් ස්ත්‍රීන්ව පැහැරගෙන ආපු බවකුත්. නිට්ටළුවන්ට අඹුවන් සපයපු නිසා නිට්ටඹුව උණා කියලත් කියනවලු. මොවුන් සිරුරින් කුඩා වුණත් දරුණු අර්‍ධ මානව කොටසක් කියලත් කියවෙනවා. ( මූලාශ්‍ර පහතින් දැක්වේ. )

ඔය වගේ කතාවක් ඉතින් හිත් නොගන්න හේතුවක් නෑනෙ. විශේෂයෙන්ම ඉන්දිකයා හොඳට ලුණු ඇබුල් දාලා කිව්වම. ඉන්දිකයා කියපු විදිහට මේ නිට්ටළුවො කියන ජාතිය උන්ගෙ පැත්තෙත් ඉඳලා තියනවා සහ දැනටත් ඉන්නවා. ඔවුන්ව එහෙන් මෙහෙන් දැකපු මිනිස්සු ඉන්න බව තමා අපිට දැනගන්න ලැබුණෙ. මේ කතාව ඇහුවට පස්සෙ අපි කට්ටිය ඒකමතිකවා තීරණය කළා ඉන්දිකයලෑ පැත්තෙ රවුමක් දාලා මේ ගැන හොයන්න. බොහොම අමාරුවෙන් රාත්‍රී බදුලු දුම් රියේ තෙරපිලා ඇවිල්ලා, එක්තාරා පාන්දරක අපි බණ්ඩාරවෙල හරහා ඇටම්පිටියට ගොඩ බහින්නෙ ඒ තීරණය මල්ඵල ගන්වමින්.

ඇටම්පිටිය ප්‍රදේශය, බෝගොඩ පාලම අවට කලාපය, දුන්හිද ඇල්ල ප්‍රදේශය අපේ නිරීක්ෂණයට අහුවෙන්නෙ ඊට පස්සෙ තමා. ඇත්තම කිව්වොත් නිට්ටළුවන් හෙවීම අපි නිකන් ගමනට අරමුණක් ලෙස තියා ගත්තා මිසක් ඒ වෙනුවෙන්ම බැහැලා කරපු ගවේෂණයක් නෙමෙයි මේක. ගමේ අයත් කිහිප දෙනෙක්ම අපේ සම්මුඛ සාකච්ඡා වලට හසු වුණාට ඒ අයටත් ඉන්දිකයා දන්නවට වැඩි යමක් කියන්න බැරි වුණා. පස්සෙ පස්සෙ ඒක බොහොම උදාසීන අරමුණක් වුණා විතරක් නෙමේ අපි ඒක අමතක කරලා දාලා ගමන රස විදින්න පටන් ගත්තා. ඉතින් අපිට හම්බුණ නිට්ටළුවෙක් නෑ කියන එක කියන්න ඕනා නෑ නෙ. අන්තිමට වුණේ ඉන්දිකයට නිට්ටළුවා කියලා කාර්ඩ් එකක් වැදිච්ච එක විතරයි.

ගාමිණී අයියා අපිත් එක්ක එකතු වුණේ අවසාන වශයෙන් අපි ඉන්දිකයලා ගෙට පහළ බෑවුමේ තියන කුඹුරු යායට එපිටින් තිබුණ කැලෑ රොද ගවේෂණය කරන්න ගිය ගමනට. මේකෙදිවත් අපිට නිට්ටළුවෙක් දකින්න ලැබෙයි කියලා අපි පැතුවා, බලාපොරොත්තු වුණා. යෝධ පුස්වැල් එහෙම තිබුණ, ඝන උඩු වියනක් තිබුණු අපූරු කැලයක් ඒක. වලි කුකුල්ලු එහෙම රංචු පිටින් හිටියා.

ගාමිණී අයියව ගමනට එකතු කරගත්තෙ මිනිහට මේ කැලේ ගැන හසළ දැනුමක් තිබුණ නිසා. ඉන්දික කිව්වෙනම් මිනිහා මේ කැලේ හැම බිම අගලක්ම දන්නවලු. එයාගෙ අපි එක සුවිශේෂත්වයක් දැක්කා. ඒ වම් අත මැණික් කටුවට පහළින් නැති කම. ඉන්දිකයා අපිට මේ ගැන කලින් යමක් කියලා තිබුණෙ නැති නිසා අපිට ලොකු කුතුහලයක් තිබුණෙ ඇයි මේ කියලා. ඒත් අහන්න බැරි නිසා හැමෝම ඒ ගැන සද්දෙ වහලා හිටියා. කොහොම හරි කැලේ කරක් ගහලා,  කරක් ගහලා පාන් කියා ගන්න බැරුව හිස් අතින්ම ගෙදර ආවට ඔළුව පිරිලා තිබුණෙ කුතුහලයෙන්. මහන්සිය නිසා හැමෝටම අමතක වෙලා තිබුණ ඒ කුතුහලය තමා සරා විසින් එදා උදේ හැමෝම ඉස්සරහා පිට කෙරුවෙ. ඌ එහෙම නොකළනම් ඒක වෙන එකෙක් කරන බව ඉර හඳ වගේ විශ්වාසයි.

XXXXXXX

"හරි හරි ඉතින් විශ්වාස කරනවද, නැද්ද බලන්න අගේ නොකර කියහන්කො" ඒ සම්පතයා.

"පොරට මචන් ඔය අපි ඊයෙ ගියපු කැලේ නිකන් ගෙදර වගේ. නිතරම ඕකෙ කරක් ගහන එක තමා මිනිහගෙ විනෝදාංශෙ. යනකොට අර ඊයෙත් අරන් ඇවිත් තිබුණ පොරව අරගෙන යන්න අමතක කරන්නෑ. දැක්කනෙ ඒකෙ මහතයි, මුවහතයි." මේ පොරව සාමාන්‍යයෙන් ගෙවල්වල තියන දර පළන ජාතියෙ එකක් නෙමේ. කෙටි මිටක් තියන, තලේ අග හඳ පළුව වගේ පළල ඒ වගේම කෙස් ගහක් වැටුණත් කැපිලා යන තරම් තියුණු මුවහතක් තිබුණ පොරවක්.

"ගමේ කාට හරි බේත් පැළෑටියක් එහෙම හොයාගන්න ඕනා වුණොත් ගාමිණී අයියට කියන එක විතරයි තියෙන්නෙ, මිනිහා සුටුස් ගාලා ඔය කැලේට රිංගල හොයාගෙන එනවා. එදත් ඔය වගේ කාට හරි බේත් පැළෑටි වගයක් හොයන්න තමා ගිහින් තිබුණෙ. පෙරළිච්ච ගහක කඳක් යට ඒ පැළෑටි වගයක් තියනවා දැකලා මිනිහා ගලව ගන්න අත දැම්මා විතරලු මොකෙක් හරි හපනවා වගේ දැනුණලු, ඒ එක්කම දරුණු වේදානාවක් දැනුණලු."

"ඉතින්හ්.. ! සර්පයෙක්ද ? "

"ඔව්, මිනිහා එතකොටම දැක්කලු සර සර ගගා කොළ පොඩි කරන් ඇදෙන පොළඟව."

"නෑහ්හ්.. ඉතින් ඉතින්"

"මිනිහා ඉස්සෙල්ලම කරලා තියෙන්නෙ අර පොරවෙන් පොළඟව දෙකට වෙන් වෙන්න කපපු එක."

"ඊට පස්සෙ ? "

"ඊට පස්සෙ මිනිහා කරපු දේ කිව්වට උඹලා විශ්වාස කරන්නෑ. ඒක හින්දා නොකිය ඉන්නම්" පොඩ්ඩක් අගය කරපු ඉන්දිකයා  නිවීගෙන යන ලිපට ආයෙත් පූස් පූස් ගාල පිඹින්න ගත්තා.

"අඩේ අඩේ ආන්න ඉතින් අගය කරනවා.. හරි හරි කියපන් අපි විශ්වාස කරනවා."

පිඹිල්ල ඉවර කරලා ඔළුව උස්සලා ටිකක් හොල්මන් වෙලා වගේ බලන් හිටියෙ ලිපට පිම්බම එන කැරකැවිල්ල යනකම් වෙන්නෝනා. "මිනිහා ඊළඟට කළේ අර වැටිලා තිබුණ කඳ උඩින් පොළඟා දෂ්ට කරපු වම් අත තියලා, මැණික් කටුව ගාවින් කපලා යන්න පොරවෙන් කොටපු එකයි" කියලා කියනකොටම අපි ඔක්කොම කටවල් ඇරගෙන ටික වෙලාවක් තුෂ්ණිම්භූත වෙලා බලන් හිටියා. ඊට පස්සෙ කට්ටියම එක පාරම වගේ තමයි බකස් ගාලා හිනාව පිට කළේ.

"අනේ පලහ් පලහ්..යන්න.. උදේ පාන්දර බේගල් ඇද නොබා.. හෙහ් හෙහ් හෙහ් .. මේ බලපල්ලකො මැණික් කටුව ගාවින් කපලා යන්න කෙටුවලු. හෙහ් හෙහ්.. " ඒ සරතා.

'ඕක තමයි තොපිලට මම කලින්ම කිව්වෙ." ඔන්න දැන් ඉන්දිකයට මළ පැනලා..

"නෑ පුතාල ඒක ඇත්ත... ඒ ළමයා එහෙම කරලා තියෙනවා. නැත්නම් කැලෙන් එළියට එන්නත් කලින්ම, මැරෙනවා." කියලා ඉන්දිකයලෑ අම්මා කිව්වම තමා ආයෙත් හිනා වෙවී හිටපු අපේ කටවල් ඇරුණෙ. ඉන්දිකයලෑ අම්මා කලින්ම කවුරුවත් විශ්වාස කරන්නෑ කියලා කියපු එක ඒ ඩිංගට අමතක වෙච්ච හැටි.

"නෑ....හ්.... මිනිහා අදහන්න වටින පොරක්නෙ." අපි හැමෝම වගේ එහෙම හිතුවා සිකුරුයි.


XXXXXXX


මොකද හිතන්නෙ ? මේක ගජබින්නාලංකාරයේ ලියවෙන්න ඕනා කතාවක්ද නැත්නම් මේ ජාතියෙ මිනිස්සු මේ ලෝකෙ ඉන්න පුළුවන්ද ? කතාවෙ අනිත් කොටස කියවන්න කලින් ඒ ගැන ඔබේ අදහස කියලා යන්න අමතක කරන්න එපා.

අනිත් කොටස මෙතනින් කියවන්න - දොරුව පරාදයි

මූලාශ්‍ර;
1. ඉන්දික ජයසිංහ

ලියුවේ :
~~ සෙන්නා / 15.08.2013