Wednesday, May 3, 2017

එබෝලා රෝගියා | නව වන කොටස - ගලවා ගැනීමේ මෙහෙයුම

2017 වෙසක් මස 03 වන දා


වෛද්‍ය ඉමෝර්ටලියන් බෝට්‍ටුව නවතා තිබූ පාලම වෙත පැමිණෙන විට නෝල් බෝට්‍ටුව සූදානම් බව පවසා පැය දෙකකටත් වඩා ගෙවී තිබුණි. ඒ අතරතුර කාලයේ නෝල් වෙතින් හා ප්‍රින්ස් වෙතින්, ඉක්මනින් පිටත්වීම කෙතරම් වැදගත්දැයි අවධාරණය කෙරෙමින් කෙතරම් දුරකථන ඇමතුම් පැමිණිය ද, වෛද්‍යවරයාට සිය සහයකයන්ද සූදානම් කොටගෙන ගමනට පිටත් වීම නෝල් හෝ ප්‍රින්ස් සිතූ තරම් පහසු කාර්යයක් නොවීය. ආයතනික පටිපාටීන්, ක්‍රියාමාර්ග ඔවුන්ගේ ගමන පමා කළ බව සත්‍යයක් වුවද, අවැසිතාවය තිබුණේනම් ඔවුනට මීට වඩා කලියෙන් පැමිණීමේ හැකියාවක් නොවුණා නොවේ.

එය කාලගුණය ඉතා යහපත් මනරම් උදෑසනකි. ඔවුන්ව ‍රැගෙන යාමට සූදානම්ව තිබූ බෝට්‍ටුව ලතාවකට පැද්දෙමින් ඔවුන්ගේ ආගමනය බලාපොරොත්තුවෙන් නොයිවසිමත්ව සිටියාය. තමන් යෙදී සිටින මෙහෙවරේදී කඩිනම්බව කෙතරම් අවැසිදැයි යන්න ඇය, වෛද්‍යවරයට වඩා අවබෝධ කොටගෙන ඇති සෙයකි. වෛද්‍යවරයා පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ සතුටට පත්වීය. එය තමන්ගේ කාර්යය පහසු කරවන බව ඔහුට සහතිකය. පාලමේ සිට බෝට්‍ටුව සම්බන්ධ කොටතිබූ කුඩා යකඩ අත්වැල් පාලම අවසානයේදී බෝට්‍ටුව ඇතුළතින් දික්වූ සහයක හස්තයෙහි ආධාරයද ඇතිව වෛද්‍යවරයා බෝට්‍ටුව තුළට වන්නේය. ඔහුගේ සහයකයන් ඔහුව අනුගමනය කළහ. ඔවුන් බෝට්‍ටුව තුළ අසුන් ගැනීමටත් පෙරම බෝට්‍ටුවේ ඇන්ජිම විශාල හඬක් නංවා ක්‍රියත්මක වූ අතර එයින් මොහොතකට පසු ඔවුන් සියල්ල චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නෞකාව බලා ගමන් කරමින් සිටිනු දක්නා හැකි විය.

මේ ගමන නිෂ්ප්‍රයෝජන ගමනක් බව වෛද්‍ය ඉමෝර්ටලියන් තවමත් විශ්වාස කරයි. තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද විමසා බලා, අනෙකුත් වෛද්‍යවරුන්ගේද අදහස් විමසීමෙන් පසු නැව වරායට ගෙන ඒමට දුන් නියෝගය නොසලකා හැරීම හා එතුළින්ම තමන්ට අවදානම් සහිත අමතර කාර්යයක යෙදීමට සිදුවීම පිළිබඳ ඔහු සිටියේ නොපහන් සිතිණි. පසුගිය රාත්‍රිය නිදි වර්ජිතව රාජකාරියෙහි නියැලුණු කාර්යබහුල රාත්‍රියක් වීමත් එම නොපහන් බව තීවෘර කිරීමේහිලා සමත් වීය. එයම තමන් මේ සඳහා යෙදවීමට දායක වූ සියලු දෙනා කෙරෙහිම අප්‍රසාදයක් ඇතිකරවීය. කෙසේ වෙතත් කාර්යයට පිළිපන් පසු අසරණ රෝගියාගේ ජීවිතය බේරා ගැනීමේ උවමනාව වෛද්‍යවරයාට නොතිබුණේයැයි කිව නොහැකිය.

තමන් පසු කරමින් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරණ නෞකා, නාවික හමුදාවේ වේග යාත්‍රා ඔබ මොබ සැරි සැරූ මාර්ගයක් ඔස්සේ හෝරාවක් පමණ කළ ගමන් කිරීමකට පසු ඔවුනට චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නෞකාව සේයාවක් මෙන් ඈතින් දිස් විය. බෝට්‍ටුවෙහි කපිතාන් වරයා ගුවන් විදුලි පණිවිඩ මාර්ගයෙන් නෞකාව හා සම්බන්ධ වී තමන්ගේ පැමිණීම වාර්තා කර සිටියෙන් ඔවුන් නෞකාව ආසන්නයට පැමිණෙන විටත් නැවට නැගීමට අවශ්‍ය ලණු හිණි මග පහතට වැටී එල්ලෙමින් තිබිණි.

බෝට්‍ටුව සෙමෙන් සෙමෙන් නෞකාව ආසන්නයට පැමිණියාය. බෝට්‍ටුවෙන් නැගුණු ජල පහර නෞකා බදේ හැපී නැවත පැමිණ බෝට්‍ටුවෙහි වැදීම නිසා එය අනවරත ඉහළ පහළ යාමකට ලක්ව සිටියාය. එයට අමතරව මුහුදු ජලයෙහි ස්වාභවික උස් පහත් වීම් එහි ප්‍රවේගය තීවෘර කොට තිබිණි. මෙම තත්ත්වය යටතේ ලණු හිණි මගක් ආධාරයෙන් නෞකාවට නැගීම ඒ සඳහා නිසි පුහුණුවක් නොමැති, නිතර එහි නොයෙලෙන කෙනෙකුට ඉතා අසීරු, ජීවිතයත් මරණයත් අතර කෙරෙන ත්‍රාසජනක ක්‍රියාවලියකි. ඉහළ පහළ යන බෝට්‍ටුවේ සිට නැවෙන් පහතට හෙළා ඇති ලණු හිණි මග ග්‍රහණය කර ගැනීමට හැකි ආසන්නයට පැමිණි පසු ක්ෂණිකව ඒය ග්‍රහණය කොටගෙන හනි හනික උඩට නැගිය යුතුය. සුළු අතපසුවීමකින් ලණුවෙහි ග්‍රහණය ලිහිල් වීම ගැඹුරු මහ මුහුදට වැටීමෙන් අවසන් වේ. චලනය නිසා එකිනෙක හැපෙමින් තිබෙන නෞකාව හා බෝට්‍ටුව අතරට වැටීම කිනම් ආරක්ෂිත ක්‍රියාමාර්ග තිබුණද බොහෝවිට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන අවදානමකි. මෙම ක්‍රියාවලියේදී මුහුදට වැටීමෙන් මිය ගිය අයවලුන් අතර පිහිනීම ප්‍රගුණ කළ පුහුණු නාවිකයන්ද සිටින බව වෛද්‍ය ඉමෝර්ටලියන් අසා දැන තිබුණි. එසේනම් ප්‍රවේසම් විය යුතුය. ලැබෙන මුදල් සලකා වුවද මෙය නොපැමිණිය යුතුව තිබූ ගමනක් බව දැන් වෛද්‍යවරයාට සිතෙයි. සියලු වියදම් බලා ගන්නේයැයි කීවද ගාණක් කතා බහකරගෙන නොතිබුණි. නෞකා නියෝජිතයට අවැසිනම් කාර්යය ඉෂ්ට වූ පසු මග හැර සිටීමට වුවද හැකිය. පසුව එළබෙන කාර්යයකදී රස්තියාදු කිරීමක් සිදු කරනු විනා මුදල් නොගෙවුවහොත් ඒ සඳහා තමනට කළ හැකි අන් යමක් නොමැති බවද ඔහු දනී. නිතී විරෝධී ගනු දෙනු අරඹයා නිතීයෙහි පිහිට පැතිම කළ නොහැකි දෙයකි. බොහොමයක් නෞකා නියෝජිතයන් වංචනික බොරුකාරයන්යැයි වෛද්‍ය ඉමෝර්ටලියන්ගේ නිගමනයයි. මෙවන් වූ ගනු දෙනු විෂයෙහි ලා ඔවුන් තමන් ‍රැවටූ, තමන්ට වංචා කළ අවස්ථා කිහිපයක්ම ඇති බව ඔහු මෙනෙහි කළේය.

ජීවිත ආරක්ෂක කබාය පැළදගෙන සූදානම් වූ වෛද්‍යවරයා හිණි මග ග්‍රහණයට ගත හැකි ආසන්නයකට පැමිණෙන තුරු බෝට්‍ටුවෙහි කෙළවරකට වී විමසිල්ලෙන් බලා සිටියේය. දෙතුන් වරක් ආසන්නයටම පැමිණිය නමුදු ඒ අවස්ථාවන්හී ක්‍රියාත්මක වීමට අවශ්‍ය විශ්වාසය ඔහු කෙරෙහි නොවීය. ඊළඟ රළත් සමඟ බෝට්‍ටුව ඉහළට එසවෙනු බලා සිටි ඔහු හිණි මග එල්ලීමට හැකි ආසන්නයට පැමිණියෙන් වහා එය සිය ග්‍රහණයට ගෙන එහි එල්ලි ගත්තේය. එසේ එල්ලී පහත බැලූ ඔහුගේ සියොලග හිටිවැටී ගියේය. අඩි ගණනාවක් පහතින් පෙනෙන චණ්ඩ මුහුද නිමේෂයකට ඔහුව පාෂාණිබුත කරවීය.

"පහළ බලන්න එපා, ඉක්මනට උඩට යන්න අ අ අ අ අ....." යනුවෙන් බෝට්‍ටුවෙන් නැගුණු කෑ ගැසීම ඔහුව පියවි ලෝකයට ගෙන ඒමට සමත් විය. ඉහළ බැලූ ඔහු තවත් මීටර් පහක් හෝ හයක් හිණි මග දිගෙහි ඉහළට බඩ ගෑමට ඇති බව දැක නැවතත් අධෛර්යයට පත්වූ නමුත් මෙම ස්ථානයේම ‍රැදී සිටිමත් අති අවදානම් බව දිටීය. ගැස්සෙමින් පැද්දෙමින් එන බෝට්‍ටුව තමන්වද තලා දමමින් නෞකාවෙහි ගැටිමේ මාරාන්තික අනතුරක් ඇති බව වටහා ගැනීමට ඔහුට අපහසු නොවීය. එබැවින් වහා යුහුසුළු වූ වෛද්‍යවරයා කඩිනමින් දෙපසට වැනෙන හිණි මග දිගෙහි ඉහළට බඩ ගෑවේය. නෞකා තට්‍ටුව මතදී ඔහුව දෑතින්ම ග්‍රහණයට ගෙන ආරක්ෂිතව උඩට ගැනීමට සූදානමින් නාවිකයන් දෙදෙනෙකු සිටියහ.

නැව මතදී වෛද්‍ය ඉමෝර්ටලියන්ට හමු වූයේ ඔවුන්ගේ පැමිණීම නොයිවසිල්ලෙන් බලාපොරොත්තුව සිටි, කෝපයට පත්වූ කපිතාන්වරයෙකි.

"ඩොක්ටර් අපි ආවේ උදේ හතරට, දැන් අටත් පහු වෙලා. බොහොම පරක්කුයි. ලෙඩාගෙ තත්ත්වය අන්තිම අවදානම්. අපි ඒ ගැන මෙච්චරටම කියලා තියෙද්දිත් මෙහෙම පරක්කු වෙන එක ගැන මටනම් තේරෙන්නෑ." කපිතාන්වරයාගේ හඬට කෝපය මොනවට මුසු වී තිබුණි.

"මට ඒ ගැන කනගා‍ටුයි කැප්ටන්. අපි සැලසුම් කරලා තිබුණේ නැව බර්ත් කරන්න. ඒත් අන්තිම මොහොතේ ඔක්කොම වෙනස් වුණා. කෝ දැන් කොහෙද ලෙඩා ඉන්නේ, අපි ඉක්මන් කරමු."

"මෙහෙන් එන්න.."යි කියමින් කපිතාන් වරයා ඉස්සර විය.

කුඩා බරාඳ කිහිපයක් ඔස්සේ හැරි හැරී ගමන් කිරීමෙන් අනතුරුව නෞකවෙහි රෝහල යැයි සඳහන්ව තිබූ කුඩා කුටියකට ඔවුන් කපිතාන් වරයා සමඟින් ඇතුළු වූහ. සයනයක දිගා කොට තිබූ රෝගියා හට ඔක්සිජන් හා සේලයින් සැපයුම ලබා දී තිබුණි. කපිතාන් වරයාගෙන් රෝගයේ ඉතිහාසය හා මෙතෙක් ලබා දුන් ප්‍රතිකාර පිළිබඳ විමසමින් වෛද්‍යවරයා රෝගියාව පරික්ෂා කර බැලීය. එබෝලා රෝග ලක්ෂණ කිසිවක් ඔහු කෙරෙන් විද්‍යාමාන නොවන බව වෛද්‍ය ඉමෝර්ටලියන් මුලින්ම තහවුරු කර ගත්තේය. රෝගියාගේ ශරීරයෙහි උෂ්ණත්වය අත්ලට දැනෙන තරමටම ඉහළ ගොස් තිබුණු අතර, හෘද ස්පන්දනය සිදු වෙමින් තිබූ නමුත් නාඩි වැටීමෙහි යම් දුර්වලතාවයක් පෙන්වීය. රෝගියාට ප්‍රතිකාර කිරීම සඳහා නෞකාවෙහි ඇති උපකරණ හා බෙහෙත් ද්‍රව්‍ය ප්‍රාමානවත් නොවන බව තේරුම් ගත් වෛද්‍ය ඉමෝර්ටලියන් ඔහුව කඩිනමින් ගොඩ බිමට ‍රැගෙන යාම අත්‍යවශ්‍යය කරුණක් ලෙස දු‍ටුවේය. රෝගියාව නෞකාවෙන් බෝට්‍ටුවට පටවා ගැනීම අතිශය අවදානම්කාරී ක්‍රියාවක් වුවද, ඔහුගේ ජීවිතය බේරා ගැනීමටනම් එය සිදු කිරීම අත්‍යවශ්‍යය.

"කැප්ටන් අපි මෙයාව ගොඩට ගෙනියන්නම්, මෙයාට හදිසි ප්‍රතිකාර අවශ්‍යයි."

"ඔව් ඒක හොඳයි." පැවසූ කපිතාන් ජෝන් ක්ලේටන් වහ වහා ඊට අවශ්‍ය සහය ලබාදෙන ලෙස සිය කාර්යය මණ්ඩලයට නියෝග කෙළේය.

අඩ හෝරාවකට අඩු කාලයක් තුළ ඔක්සිජන් හා සේලයින් සැපයුමට අදාළ උපකරණද සමඟ ගිලන් මැස්සක තබා තදින් ගැට ගැසූ රෝගියා ගේ සිහිසුන් සිරුර නැව් තට්‍ටුව මත දක්නා ලදී. මෙම ක්‍රියාන්විතයේ අතිශය බිහිසුණුම ක්‍රියාවලියට පනපෙවීම සඳහා ඔවුන් සියල්ල ලකසැහැස්ති වී සිටියහ. කෙස් ගසක තරමින් හෝ සියුම් වරදක් සිදු නොවිය යුතු නිර්වද්‍යතාවයෙන් යුතුව සියල්ල සිදු කළ යුතුය. මුහුද මැද නවතා ඇති නෞකාවකින් ඒ ආසන්නයේ ඉහළ පහළ යමින් ඇති බෝට්‍ටුවකට සිහිසුන් රෝගියකුගේ සිරුරක් ගොඩ බෑම වචනයෙන් විස්තර කළ නොහැකි අවදානම් කාරියකි. සුළු අතපසු වීමකින් රෝගියා හෝ ඔහුත් සමඟම තවත් කිහිප දෙනෙකුත් මුහුදට වැටීමෙන් සියල්ල කෙළවර විය හැකිය. එහෙත් වාසනාව තවමත් ඔහුන් සමඟයැයි හඟවමින් මේ නිශ්චිත මොහොතේ සයුර මදක් සන් සුන් වී සිටියාය. එසේත් නැතිනම් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට පිරිසක් වෙහෙසෙන මේ සද්කාර්යයට බාධා කිරීමට ඇයට අවැසි නොවූනා විය හැකිය.

ගිලන් මැස්සෙහි ස්ථාන කිහිපයකින් සවිමත් දිගු කඹ ගැට ගැසී ගියේය. එයින් පසුව නැවෙහි සිටින නාවිකයන් කිහිප දෙනෙකුගේ එකතුවෙන් ඔසවා ගත් ගිලන් මැස්ස නෞකාවෙන් පිටතට ගත් අතර කිටි කිටියේ එහි දැව‍ටුණු කඹ අල්ලා ගත් අයවලුන් සෙමින් සෙමින් ඒවා නිදහස් කරමින් ගිලන් මැස්ස බෝට්‍ටුව වෙත පහත් කිරීම ඇරඹූහ. එයට සමගාමීව පහත බෝට්‍ටුවෙහි සිටි අයවලුන් ගිලන් මැස්ස භාර ගැනීමෙහි ලා යුහුසුළු වූහ. ක්‍රමක්‍රමයෙන් පහතට පැමිණි ගිලන් මැස්ස බෝට්‍ටුවෙහි සිටි නාවිකයන් වහ වහා සිය ග්‍රහණයට ගත්තද ඉහළින් වූ ග්‍රහණය තවමත් නිදහස් නොවුනේ ආරක්ෂාව පතාය. එකිනෙකාට අමතමින්, කෑ ගසමින්, විධාන දෙමින් ඔහුන් සියලු දෙනා ඉම්රාන්ගේ නිසල සිරුර ආරක්ෂිතව බෝට්‍ටුව වෙත ගැනීමෙහි ප්‍රයත්නයක යෙදී සිටියහ. ඒ මොහොතේදී මේ අතිශය භයානක රෝගයක් වූ එබෝලා රෝගියෙක්යැයි පැතිර තිබූ කටකතා මත පදනම්ව එයින් කර හැරීමේ කිසිම උවමනාවක් ඔහුන් කිසිවකු කෙරෙන් දක්නට නොවීය. ඔවුහූ මිනිස් ජීවිතයක් බේරා ගැනීමේ උදාර අරමුණ වෙනුවෙන් එතරම්ම පරාර්ථකාමී වී සිටියහ.

ගිලන් මැස්ස ආරක්ෂිතව බෝට්‍ටුව වෙතට ලබා ගත්තෙන් ඉහළින් වූ කඹවල ග්‍රහණය නිදහස් කෙරිණි. ඊළඟ අභියෝගය වූයේ රෝගියාව බෝට්‍ටුවෙහි වූ කුටිය වෙතට ගැනීමයි. එහි ද්වාරය ගිලන් මැස්සෙහි පළලට වඩා අගල් කිහිපයකින් පමණක් විශාල වූ බැවින් ගිලන් මැස්ස අංශක අනූවක කෝණයකින් කුටීයටඇතුළු කිරීම අවැසි විය. ඒ සඳහා ගිලන් මැස්සෙහි තුන්කාලකට වඩා ප්‍රමාණයක් බෝට්‍ටුවෙන් පිටතට යන ලෙස ඔසවා ගත යුතුය. ඉහළ පහළ පැද්දෙමින් තිබෙන බෝට්‍ටුවක තබා සවිමත් නිශ්චල ස්ථානයක සිටවත් එවැනි කාර්යයක් සිදු කිරීම කෙතරම් අපහසුද ! එහෙත් පසුබට වූවෝ හෝ අතහැර දැමූවෝ ඔවුහූ නොවෙති. බෝට්‍ටුවෙහි වැටට හේත්තු වූ සවිමත් නාවිකයන් සිව් දෙනෙකු බෝට්‍ටුවෙන් පිටතට දිගු කළ හස්තයන් මතට ඉතා අසීරුවෙන් ගිලන් මැස්සෙහි බර දරාගනිමින් සෙමෙන් සෙමෙන් කුටීරයෙහි දොරට අංශක අනූවක් වන සේ කෙළින් කළ ගිලන් මැස්ස එය තුළට ඇතුළු කරගැනීමට සමත් වූහ. නෞකාව මත සිටි නාවිකයන් ද, වෛද්‍යවරයා ඇතුළු පිරිසද මේ ත්‍රාසජනක අවස්ථාව දෙස කෙළින් වූ රෝම කූප, නතර වූ හදවත් සහ හිරවූ හුස්ම සමඟින් ගැහෙමින් බලාසිටි අතර රෝගියා නිරුපද්‍රිතව කුටිය තුළට ගැනීමෙන් පසු සියලු දෙනාම පාහේ එකවර සැනසුම් සුසුම් හෙළූහ.

නෞකාවෙන් බැසීමට පෙර වෛද්‍ය ඉමෝර්ටලියන් විසින් කළයුතු වූ තවත් රාජකාරියක් විය. කොන්ටෙයාන්ස්හී බෝවන රෝග පිළිබඳ වූ ජාතික රෝහලෙහි ප්‍රධානී ඇන්ඩෲ වොට්සන් අමතා පවතින වාතාවරණය හා රෝගියාගේ තත්ත්වය වර්තා කර සිටි ඔහු තමන්ට පෙනෙන පරිදි රෝගියාට කිසිඳු එබෝලා රෝග ලක්ෂණයක් නැති බවත් මැලේරියා බවට තමන් සැක කරණ බවත් දන්වා සිටියේය. මෙම නිරීක්ෂණය හා වාර්ථ කිරීම ඉදිරි කටයුතු පහසු කරවීය.

වෛද්‍ය ඉමෝර්ටලියන් හා ඔහුගේ සහායකයින් බෝට්‍ටුවට වන් කල්හී නෞකාව වෙතින් නික්මුණ බෝට්‍ටුව වහ වහා ගොඩ බිම බලා ඇදෙන්නට විය. වෛද්‍යවරයා රෝගියාගේ තත්ත්වය පිරික්සමින් ඔහු අසලට වී සිටිනා අතර ඔහුගේ ජංගම දුරකථනය නාද වීය. නෝල්ගේ අංකය එහි සටහන් වී තිබුණි.

                                                                                             එබෝලා රෝගියා | අවසාන කොටස - නික්මයාම


ලියුවේ;
සෙන්නා / 03.05.2017


11 comments:

  1. බොහෝ අවධානම් සහිත ක්‍රියාන්විතයක විස්තරාත්මක චිත්‍රය ඇඳි මේ කතා කොටස ඉදිරිපත් කිරීම, බාසා හැසුරුම අපූරුයි සෙන්නා.

    සිංහල බසින් ලියවුන අපිට කියවන්න ලැබෙන විරල කතා පෙලක් බ්ලොග් එකක දිගහැරෙන ලස්සන බොහෝ සේ වින්ඳෙමි, ඔහොම යමු!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඩීන් අය්යා, දිගටම කතාව එක්ක ඉඳිමින් ගුණදොස් පෙන්වනවාට...

      Delete
  2. මේ කෑල්ල කලින් එන්න ඕනි එකක් නේද? මොකක් හරි අවුලක් තියෙනවා.. හය හත දෙක අතරට මේක එන්න ඕනි මගේ හිතේ.. :(

    ReplyDelete
    Replies
    1. කමියා, මේක ක්‍රෝනොලොජිකල් ඕඩර් එකට යන කතාවක් නෙමේ..පාඨකයව පොඩ්ඩක් වෙහෙසමින්, යම් යම් දේවල් ගලපගෙන, කතාව තේරුම් ගන්න ඕනා විධිහට දෙන්න තමා පොඩි උත්සහයක යෙදෙන්නේ...

      Delete
    2. මටත් එහෙම හිතුන.. මැද හරියේ එහෙම තිබුන කෑලි දෙක තුන අවුලක් නැතුව ප්ලග් උනා.. ඒත් මේ සම්පුර්ණ කොටස වෙනස් උනාම නිකං අවුල් වගේ.. එක දිගට කියෝගෙන ආපු නිසා ඒක වැඩියෙන්ම දැනුන.. :/

      Delete
    3. හ්ම්ම් මටත් දකිනකොටම හිතුනා මේ අසරණ පාඨකයින්ව වෙහෙසන්න තමයි ඕක කරලා තියෙන්නේ කියලා. අර රවී අයියගේ කතා කියවලා තියන අපිට ඔව්වා හොඳට පුරුදුයි ඉතින්...

      Delete
    4. හෙහ් හෙහ් හේ...

      Delete
  3. බෙහෙත් කරනවාට වඩා අමාරුයිනේ බොලේ ගලවාගන්න එක.හරි අපුරුයි සෙන්නයියේ.එක දිගට කියවන් එනකොට අමුතු කික් එකක් එන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔහොම්ම අදිමු,හෙටින් ගේම ඉවරයි...

      Delete
  4. දොස්තර නැවට නැගලා රෝගියාව බෝට්ටුවට ගන්න කොටස හිතේ ඇඳෙන තරම් ලස්සනට අපූරුවට ලියලා තියනවා. අනිත් කොටස එනතුරු නොඉවසිල්ලෙන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සයුරි..තව ටිකායි...

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog