Wednesday, May 10, 2017

බෝතලේ විත්ති | සරුංගල් යැවීම

කලින් පළවූ බෝතලේ කතා






"හ්ම් හ්ම්...මම යනවා රෑනගල, කවුද එන්නේ?" කියාගෙන සීයා නැගිට්ටේ ළඟ තිබුණ පඩික්කම උස්සලා කට ළඟට අරන් ඒකට බුලත් කෙළ පාරක් විදින ගමන්.

"යං යං මාත් එනවා..." මම එක පයින් ලෑස්තියි. ඒක ඇහුවට පස්සේ මට ජාතියේ පියාවත් අමතක වුණා. එයාව මතක තියන් හිටියත් දැන් ඉතින් මේ ඉක්මනට වැඩක් ඇතැයි! එයාගෙන් ප්‍රයෝජනයක් ගන්නනම් ඉතින් ඉස්කෝලේ පටන් ගන්නකම් ඉන්න වෙනවා. එතකම් ඔහෙ බිත්තියේ එල්ලිලා හිටපුවාවේ. අයියත් කියව කියව හිටපු සඟරාව පැත්තකින් තියලා කඩිමුඩියේ නැගිට්ටේ රෑනගල යන්න තමා.

අපේ උනන්දුව දැකලා රෑනගල කියන්නේ තව්තිසා දිව්‍යලෝකය වගේ තැනක් කියලා එහෙම හිතා නොගත්තට කාරියක් නෑ ඕන්. ඒක නිකන්ම නිකන් පොල් වත්තක් විතරයි. එකම වෙනස මේ පොල්වත්ත තියෙන්නෙ ලොකු බෑවුමක. වෙන විදිහකට කිව්වොත් සීයලෑ ඉඩමම තවත් එහාට දික්වෙලා තමා රෑනගල හැදිලා තිබුණේ. කැඩිලා බිමටම පාත්වෙලා තිබුණ සීයලෑ කබල් කම්බි වැටෙන් පනින්නේ රෑනගලට. රෑනගල තමා සියලෑ හරක් ඔක්කොම දවල් කාලෙට ගැට ගහන්නේ. සීයා දවසට දෙපාරක් විතර රෑනගල යනවා උන්ගෙ ගස් මාරු කරන්න. රෑනගල උඩම හරියට වෙන්න තිබුණා අපේ උසට විතර උසකට වැවිලා තිබුණ සීනි පේර යායක්. ඔන්න ඕක තමා අපිව රෑනගලට ඇද්ද ගන්න හාස්කම! ගියාම සාක්කු පුරෝගෙන තමා එන්නෙ. තව අවුරුදු කාලෙට කජු පුහුලම් පිරුණ කජු ගස් මේ පොල්වත්ත පුරා හැම තැනම තියනවා. ඇයි අඹ ! ඒ විතරක් නෙමේ දවල් වේලට ගො‍ටුකොළ ටිකක් කඩා ගන්න ඕන වුණත්, දරට වේලිච්ච පොල් අත්තක්, හනස්සක් අහුල ගන්න ඕනා වුනත්, නැන්දා හරි කිරිඅම්මා හරි එන්නෙත් රෑනගලටම තමා. ලස්සන හැම දෙයක්ම භයානකයි කියලා කවුදෝ කියනව මම අහලා තියනවා. ආයෙ ඉතින් රෑනගලත් ඕකෙන් වෙනස් වුණේ නෑ. එහෙ තියනව අත් ඇරලා දාපු පරණ මිනිරන් පතල්. බොහොම භයානක, ගැඹුරු ඒවා. ඔන්න ඔය හේතුව නිසාම අපිට තනියම රෑනගල යන්න තහංචියක් එහෙමත් පැනවිලා තිබුණේ. මේ පතල් වලට වැටිලා හරක් එහෙමත් මැරිලා තියනවා. සමහර ඒවායින් ගෑස් හිටන් පිට වෙනවා. ළඟට ගියාම ගඳක් එනවා. සමහර දවස්වල අපි ඔය පතල්වලට කළු ගලක් එහෙම අතෑරලා අහගෙන ඉන්නවා. ගල ඩොක්හ් ගාල අඩියෙ වදින්න සෑහෙන වෙලාවක් යනවා, එහෙම නැත්නම් ඇහෙන්නෙම නෑ. හිතාගත්තෑකිනේ ගැඹුර !

දානෙට වඩින හාමුදුරු පෝලිමක් වගේ සීයයි, අයියයි, මමයි සියලෑ ගෙදර ඉඳන් රෑනගලට වැටිලා තියන ප‍ටු අඩිපාර දිගේ යනවා. කැත්තක් අතින් ගත්තු සීයා ඉස්සරහින්ම යනවා. අයියා, සීයා පිටිපස්සෙන්, මම අන්තිමට. සියලෑ වත්තෙ මේ හරිය හරිම හෙවනයි. බොරළු පොළව අතරින් පතර කළු ගල්. සෙරප්පු නැතිව බොරළු ගල් උඩ ඇවිදින එක තරු පේන වැඩක්. සීයටනම් ගානක්වත් නෑ වගේ, අයියටත් ඒ වගේ. මටනම් අහසෙ තියන ඔක්කොම තරු පෙනුණා. සෙරප්පු දෙක ගේන්න බැරිවෙච්චි එකේ විපාකෙ. ඒක හින්දා මම ඇඟිලි වලින් පැන පැන ගිහින් කළුගල් තලාවක් හම්බුණ ගමන් ඒක උඩට පැන ගන්නවා. එතකොට කකුලට දැන්නෙනෙ පුදුම සනීපයක්. කළු ගලෙන් බැස්සට පස්සෙ ආයෙත් ඇඟිලි වලින් පැන පැන යනවා. බලන් ඉන්න කාට උණත් මම නට නට බොහොම සන්‍තෝසෙන් යනවා කියලා හිතෙන්න පුළුවන්.ඔය මොන නැ‍ටුම් නැ‍ටුවත් මගේ අතේ තියන යකඩමරං කෝ‍ටුවෙන් පුළුවන් හැමවෙලේකම දෙපැත්තෙම තියන පදුරු වලට යහමින් දෙකක් තලන්නත් අමතක කළේ නෑ. කෝ‍ටුවක් අතේ තියේනම් ඒකෙන් කාටහරි ගැහුවේ නැත්නම් කිසි ගතියක් නෑ.

පෙරහැර අන්තිමට රෑනගලට ආවා. සීයා මුලින්ම ගියා ළඟම හිටපු වැස්සි ගාවට. බිම ලැගලා වමාරා කමින් හිටපු ඌ බෙල්ල උස්සලා බලලා සීයව අඳුනගෙනද කොහෙද කන්දෙක වනලා, ඔළුව දෙපැත්තට එහෙම ගසලා ඉස්සරහා කකුල් දෙකට බර දිලා නැගිට්ටා. ඌ දන්නවා ස්ථාන මාරුවක් ලැබෙන්න යන්නේ කියලා. මේ සත්තු පුදුම විදිහට මේ රටාවට හුරු වෙලා. බලන්න එපෑයෑ හවස්ට ලිහලා දාපුවාම වෙන කොහෙවත් නොගිහින් කෙළින්ම සීයලෑ ගෙදරට යන හැටි. වැස්සිව ගහෙන් ලිහා ගත්තු සීයා තණකොළ තියන වෙන තැනකට ඌව අරන් ගිහින් ගැට ගැහුවා. ඔය විදිහට දහ දොළොස් වතාවක් කරන්න වුණා ඔක්කොම සත්තු ටිකේ ගස් මාරු කරන්න. අපිත් සීයා පස්සෙන් ගහෙන් ගහට ගියා ඒ එක්කම. ඒක ලේසි වැඩක් වුණේ නෑ. සෑහෙන ඉහළ පහළ නගින්න බහින්න වුණා. පතල් තියන කිට්‍ටුවකට යන හැම වෙලේකම "ඔය පැත්තට යන්න එපා" කියලා පොඩි අනතුරු ඇඟවීමක් කරන්න සීයා අමතක කළේ නෑ.  අපි බලන් ඉන්නේ මේක ඉවරවෙලා සීනි පේර යායට යනකම්.

සීනි පේර අවාරෙද මංදා අපි බලාපොරොත්තු වුණ තරම් පේර කඩාගන්න හම්බුනේ නෑ. සීයට තව වැඩ තියන නිසාද කොහෙද වැඩි වෙලා එතන ‍රැදෙන්න කැමති වුණේත් නෑ. ඔය වගේ වැඩවලට එන්න ඕනා නැන්දා එක්ක. පෙරහැර ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. අතරමගදි වැටිලා තිබුණ පොල්ගෙඩියක් සීයගෙ කැත්තෙ ඇමිණුනා.

අපි ගෙදර එනකොට කඩේ අයියා, සීයලෑ ගෙදර ඇවිත් හිටියා. අපිව දැකපු එයා කට පුරා හිනාවුණා. එයා කඩේ අයියා වුණේ ගමට තිබුණ එකම කඩේ එයාලගෙ නිසා තමා. ඒ ගෙදර තව අයියා කෙනෙක් හිටියට මෙයා විතරක් කඩේ අයියා වුණේ කොහොමද කියන එක මම දන්නේ නෑ. එයාලෑ කඩේ තිබුණේ අර විශාල පඩි පෙළ පටන් ගන්න තැන ඉඳන් තව ටිකක් පාරෙ උඩහට ගියාම. සීයා වෙන වැඩකට ගියා. අපි කඩේ අයියත් එක්ක කයියට එකතු වුණා.

"ආවා කියලා ආරංචි වුණා. ඒකයි ආවේ."

"ඔව්..අපි ඊයේ ආවේ.." උත්තර දුන්නේ අයියා.

අපි කතා කර කර ඉස්සරහාට ආවා. අයියයි කඩේ අයියයි ගේ ඉස්සරහා තිබුණු විශාල කළු ගල උඩ දෙපැත්තෙන් වාඩි වුණා. මම ළඟ තිබුණු පතොක් ගහක් කූරු ගහන්න ගත්තා. ගිය පාර නිවාඩුව ආපු වෙලේ කොටපු නම ලස්සනට මෝරලා උඩට මතුවෙලා තියනවා දැකලා මම පුදුම වුණා.

"ආව් අප්පා මේ බලන්නකෝ.. නම අපූරුවට මතු වෙලා." කඩේ අයියා, ඒක මහලොකු අමුත්තක් නෙමේ කියන විදිහේ හිනාවක් හිනා වුණා.

"එහෙම තමයි, පතොක් කොළවල මොනවා හරි ලියුවම මෝරනකොට ඔයවගේ මතු වෙනවා." කෝ‍ටු කෑල්ලක් කඩා ගත්තු මම අලුතෙන් නමයි, ඉස්කෝලෙයි, පන්තියයි කුරු‍ටු ගෑවා.

"මම ආවේ බට ගහක් කපාගන්න යන්නත් එක්ක. යමුද උඩහට?" කඩේ අයියා කිව්වේ අයියට.

"ඒ මොකට ද බට?"

"සරුංගලයක් හදන්න."

"නෑහ් මරුණෙ." ඒත් කොහෙද යවන්නේ? මෙහෙ පිට්ටනියක්වත් තියනව ද?"

"රෑනගල පුළුවන්."

"රෑනගල! එහෙ කොහොමද සරුංගල් යවන්නෙ? හැම තැනම බෑවුමනෙ? කොහොම ද නග්ග ගන්නේ?"

"නෑනෙ උඩහා කොටහා හෙණ තැන්නනෙ. ඔය සීනි පේර යායට උඩහින් මම කිව්වේ. අනිත් එක එතන හොඳට හුළං තියනවා. ඔයගොල්ලන්ගෙ පැත්තෙ වගේ සරුංගලේ අරන් දුවන්න ඕනා නෑ සරුංගලේ නග්ගන්න."

"එහෙනම් ජාතිනෙ. හදමු හදමු..." මම උඩ පැන්නා..

"කොහෙද ඒ ගමන් තුන්දෙනත් එක්ක යන්නේ" කිරිඅම්මා කෑ ගහලා ඇහුවේ අපි කුස්සියෙන් පිහියක් අරගෙන එළියට පනිනකොටම වගේ.

"අපි උඩහා යන්නේ කිරිඅම්මේ.. බට ගහක් කපන්න." උත්තර දුන්නේ කඩේ අයියා.

"කඩේ පුතේ.. මල්ලිලා දෙන්නව බලාගන්න. ඔහෙ සරපයොත් ඇති." අපි ඒකට උත්තර දෙන්න ගියේ නෑ. කිරිඅම්මත් උත්තරයක් බලාපොරොත්තු වුණේ නෑ මයෙ හිතේ.

හරක් ගාලා ගාවින් උඩට නැග්ග අපි තුන්දෙනා බට පඳුරක් හොයාගෙන ගියා. මේ හරිය සෑහෙන කැලෑවක්. අව්ව නොවැටෙන තරමටම ගස්වලින් වැහිලා. රස්නයක් ඇත්තෙම නැති තරම්. කලින් රබර් හිටවලා අතෑරලා දාලා කියලා පේන්ඩ තියනවා. තැනින් තැන තිබුණ කේඩෑරි රබර් ගස් ඒකට සක්කි. ගොරකා ගහක් ගව නැවතුණු කඩේ අයියා බිම වැටිලා තිබුණු ගොරක ගෙඩියක් අහුලගෙන පළලා මදේ අපිට දුන්නා. මම ඒ ගොරක මද කෑවමද කොහෙද. මාර රසක් ඒකෙ තියෙන්නෙ.

මෙහෙත් අනික් හැම තැනම වගේ කළු ගල් තමා. තැනින් තැන උඩට මතු වෙච්ච කළු ගල් අඩියෙන් අඩියට. අපි ආවා හරහට බැඳලා තිබුණු කළුගල් බැම්මක් ළඟට. එතන අතෑරලා දාපු පරණ ගේක අත්තිවාරම විතරක් ඉතුරු වෙලා තිබුණා. ඒ සීයලෑ කලින් ගේලු. බට පඳුර තිබුණේ ඒ කිට්‍ටුව. මම අහලා තිබුණේ බට පඳුරු තිබුණේ සාමාන්‍යයෙන් ගං ඉවුරු වල හරි වතුරට කිට්‍ටුව කියලා. ඒත් මේ පතුර පොදක් නැති කන්දක් උඩ බට පඳුරක් ! හරි පුදුමයි !

ගානට මෝරලා තිබුණු අඟලක් විතර මහත බට ගස් දෙකක් ‍තෝර ගත්තු කඩේ අයියා ඒවා මුලින්ම කපලා ඇදලා ගත්තා. ඒ ඇදිල්ලට අපිටත් එක් වෙන්න වුණේ උඩින් තිබුණ පටලැවිලි නිසා ඒවා තනියම ඇදලා ගන්න ඒක ලේසි පාසු වුණේ නැති හින්දා. ගස් දෙකම එළියට ඇද ගත්තට පස්සේ, කඩේ අයියා දෙපැත්තට බෙදිලා තිබුණු සිහින් අතු පිහියෙන් ‍රැහැලා දැම්මා. එකක් අඩි හයක් විතර දික්වුණු මේ බට ගස් දෙක අපේ වැඩේට ඕනෑවටත් වැඩියි.

ගෙදර ආපු අපි කෙළින්ම වැඩේට බැස්සා. කඩේ අයියා වැඩේට බොහොම දක්ෂ බව පෙනුණා. හීනි දිග බට පතුරු දෙකක් ‍රැහ ගත්තු කඩේ අයියා කුරුසයක් හැඩේට ඒ දෙක ගැට ගහලා තමා වැඩේ පටන් ගත්තේ. ඒයා හදන්න යන්නේ වව්ලෙක් කියලා මට තේරුණා. ඒක අඩි හතරක් විතර උසට හැදුණු අපූරු සරුංගලයක් වුණා. කඩේ අයියා දුවලා ගිහින් ඒ ගොල්ලන්ගෙ කඩෙන්ම ගෙනාපු සව්කොළ වලින් සැරසුවාම සරුංගලේ අපි හිතුවට වැඩිය බොහොම අලංකාර වුණා. හැබැයි පොඩි පරහක් තිබුණා. ඒ නූල් නැති කම. කඩේ අයියලෑ කඩේ නයිලෝන් නූල් තිබුනේ නෑ. ගන්නනම් මීරිගමටම යන්න වෙනවා.

"නැන්දට කිව්වොත්නම් ගෙන්න ගත්තෑකි."

"එහෙම වුණොත් ඉතින් හෙටත් බෑ අනිද්දා තමා යවන්න වෙන්නේ."

"කරන්න දෙයක් නෑ නේහ්! අපි එහෙම කරමු. තව දවස් දෙකක් ඉවසමු." කඩේ අයියා එහෙම කිව්වට මටනම් සරුංගලේ යවනකම් තිබුණේ පුදුම නොයිවසිල්ලක්.

එදා සෙනසුරාදා උදේ. ඊයේ නූල් පන්දුව හම්බුණු වේලේ ඉඳන් මේ වෙලාව එනකම් මට තිබුණෙ පුදුම දඩිබිඩියක්. මම හතර පස් වතාවක්වත් සරුංගලේ ගාවට ගිහින් බලන්න ඇති. සේරියා නුලෙන් එල්ලිලා පැද්දි පැද්දි, දෙපැත්තෙ ‍රැළි වන වන එයා හිටියේ අහසට විදින්න ලෑසිති කරලා තිබුණු රොකට් එකක් ඉන්නවා තරම් ආඩම්බරෙන්. අපි හිතුවටත් වැඩිය ලොකු නූල් පන්දුවක් නැන්දා ගෙනත් තිබුණා. ඒකෙන් මෙයාව තිත් කරන්න පුළුවන්. ආයෙ දෙකක් නෑ. මොකෝ කඩේ අයියා තාම පරක්කු ! අයියයි මමයි කාලා බීලා ලෑස්ති වෙලත් දැන් සෑහෙන වෙලාවක්. සීයා ‍රැනගල යන්න එනවද කියලා ඇහුවට අද සීයත් එක්ක රෑනගල යන්න ආසාවක් අපිට තිබුණේ නෑ.

"පොඩ්ඩක් පරක්කු වුණා. කඩේට හිර වුණානේ" කියාගෙන කඩේ අයියා හති දදා පඩි පෙළෙන් මතු වුණේ ඔය අස්සෙ තමා. එයා හති දාන දැමිල්ලෙන් පඩි පෙළේ දුවගෙන ඇවිත් කියලා හිතා ගන්න පුළුවන්.

"යමු එහෙනම්" කියලා ගෙට දුවගෙන ගිය මම සරුංගලේ එල්ලලා තිබුණ තැනින් ගලවගෙන ආවා.

"නැන්දේ ඒ ඒ ඒ .... අපි රෑනගල යනෝ ඕ ඕ ඕ......" කියලා කෑ ගැහුවේ කඩේ අයියමයි.

"කඩේ ළමයෝ මල්ලිලා දෙන්නව බලාගෙන. පතල් පැත්තට එහෙම යන්නෑ.."

" නැ නෑ අපි උඩහට යන්නේ සරුංගල් අරින්න.."



සරුංගලේ ගෙනියන වැඩේ කඩේ අයියම භාර ගත්තා. එයා පුරුදු කාරයා හින්දා. අපි ඔය කඳු, ගල් අස්සේ සරුංගලෙත් එක්කම ඇදගෙන වැ‍ටුනොත් ඔක්කොම හබක් ! අපි විනාඩි පහළොවක් විස්සක් විතර හීනි අඩි පාරවල් අස්සෙන්, කලු ගල් උඩින්, කැලෑ ඇතුළෙන් බඩ ගාලා රෑනගල උඩම කොටසෙන් මතු වුණා. මම මීට කලින් කවදාවත් මේ හරියට ඇවිල්ලා තිබුණ බවක් මට මතක නෑ. මේ හරිය රෑනගල අනිත් පැති වගේ බෑවුම නෑ. තැන්න. මෙහෙ පොල් ගස් එහෙම තිබුණෙත් නෑ. අනිත් හැම තැනකම වගේ මෙහෙත් පොළවෙන් මතු වුණ කළුගල් වලින් නම් අඩුවක් තිබුණෙ නෑ. කලු ගල් නැති හැම තැනකම වගේ පොළව වහගෙන තිබුණෙ බොහොම සනීපදායක තණකොළ වලින්. ඒක හින්දා තැනින් තැන තණකොළ කකා හිටිය හරක්ගෙන් අඩුවක් වුණෙත් නෑ. ඒ එකෙක්වත් සීයලෑ උන් නම් නෙමේ කියලා දැන් මට කිව්වෑකි.

අපි එනකොට තව තුන්දෙනෙක් එතන හිටියා සරුංගලයක් එක්ක. බැලූ බැල්මට කියන්න පුළුවනේ ඒ අය අපිට වැඩිය ලොකු අය කියලා. ඒ කට්ටියව දැකපු කඩේ අයියගෙ මූණ ඇද වුණා. ඒගොල්ලන්ව දකින්න කඩේ අයියා එච්චර සතු‍ටුවුණේ නෑ කියලා අපි දෙන්නටම තරුණා.

"අපෝ..විමලසිරියා..." කඩේ අයියා අපිට විතරක් ඇහෙන්නයි කෙදිරුවේ.

"ඇයි මිනිහා ප්‍රශ්නයක් ද?"

"ඔය යකා නාහෙට අහන්නැති චණ්ඩියෙක්. වැඩි කතා වලට යන්න එපා."

"අපිව අදුනන්නෑනෙ. ඒක හින්දා කතාවට එන එකක් නෑ."

"ඔය යකාට අදුනන්න ඕනා නෑ."

විමලසිරි කියපු කෙනා තවත් දෙන්නෙක් එක්ක සරුංගලයක් යවන්න මාර විදිහට ඔට්‍ටු වෙවී හිටියේ. ඒක මොණරෙක්. කොච්චර දැගලුවත් ඒක හරියට උඩ ගියේ නෑ. පොඩ්ඩක් උඩ ගිහින් වටයක් කැරකිලා කූරියා ගහලා ඤොක්හ් ගාලා හොට බිම ඇනුණා. සරුංගලේ ගාවට දුවලා ගිය විමලසිරි ඒක අතර අරන් එක පැත්තක ‍රැළි කඩලා සේරියා නූලෙන් උස්සලා බැලන්ස් කරනවා අපි බලාගෙන. අනුන්ගෙ සරුංගල් ගැන වද වෙන එක අතෑරල අපි, අපි ආපු වැඩෙට බැස්සා. නූල් පන්දුව එළියට ගත්තු කඩේ අයියා එකේ කොන සේරියා නූලෙ හරිම තැනින් ගැට ගැහුවා. ඊට පස්සේ නූලෙන් උස්සලා බැලන්ස් බැලුවා. සරුංගලේ ආපු හුළගින් වරල් ගගහා උඩ යන්න පොර බද බද හිටියේ. මෙතන සරුංගල් යවන්න කියාපු තැන . ඒ තරමට හුළං. කඩේ අයියා හරි. අපේ පැත්තෙදි කරනවා වගේ සරුංගලේ අරන් ටික දුරක් දුවන්න ඕනා නෑ නග්ගන්න. සරුංගලේ උඩට කරලා අල්ලපු කඩේ අයියා ටික ටික නූල නිදහස් කළා. අපේ බලාපොරොත්තු කඩ නොකර එයා ටික ටික උඩ ගියේ දවස් දෙකක් හිර කරන් හිටපු එකට නෝක්කාඩු කියන්න වගේ හොඳටම ‍රැළි ගහ ගහ. ඒක හරි අපූරු සරුංගලයක්. කිසිම කූරියා ගැහිල්ලක් නැතුව කෙළින්ම උඩටම උඩටම උඩටම එයා ගියා. සරුංගලේ අන්තිමට අපිට පෙනුණෙ බොහොම පොඩියට. සරුංගල් භාෂාවෙන් කිව්වොත් එයා "තිත්" වෙලා. ටිකක් වෙලා නූල තියන් හිටපු කඩේ අයියා අපේ අයියට දුන්නා. ඊට පස්සෙ මම. ඔය විදිහට අපි වට කීපයක්ම මාරුවෙන් මරුවට සරුංගලේ ඇරියා.සරුංගලේ පහතට එනකොට නූල ටිකක් එක දිගට ඇද්දම එයා ආපහු ආපහු උඩට නගින්නේ කියන දේ අහන දරුවෙක් වගේ. ඉඳලා හිටලා අපි පොඩි නෙත්තියක් ඇරියම එයා පොඩි නැටිල්ලක් නටලා පෙන්නුවා. ඊට පස්සේ ළඟ තිබුණු පඳුරක සරුංගලේ නූල ගැට ගහපු අපි තුන්දෙනා ඒ ළඟින්ම වාඩි වෙලා සරුංගලේ දිහා බලාගෙන හිටියා. කඩේ අයියා ගෙනත් තිබුණ සව් කොළ ‍රැල්ලක් නූලෙ ගැන ගහලා පොඩ්ඩක් නූල ගැස්සුවම ඒක ටික ටික නූල දිගේ උඩට නගින්න ගත්තා. ඒකත් මරු වැඩේ. අපිට ඒ විදිහට ඕන්නම් සරුංගලේට පණිවිඩයක් හරි යවන්න තිබුණා. 

විමලසිරියි එයාගෙ යාළුවො දෙන්නයි සරුංගලේ උඩට ගත්තේ බොහොම දගලලා. ඒක මහ කමකට නැති සරුංගලයක්. හරියට හැදුවේ නැති වුණාම ඔහොම වෙනවා. ඒ ගොල්ලන්ගේ සරුංගලේ කූරිය නොගහා තියාගන්න ඒ ගොල්ලො මාර වෙහෙසක් ගත්තා. ඒක බොහෝවෙලාවට උඩට යනවට වැඩිය එක තැන කැරකුණා. ඔය විදිහට ඒගොල්ලො අකීකරු පුත්‍රයත් එක්ක හරියට ඔට්‍ටු වුණා. ඒක අපේ එක ගියායින් භාගයක්වත් උඩ ගිහින් නෑ. බොහොම පැහැදිලව සරුංගලේ ‍රැලි හිටන් අපිට පෙනුණා. ඔය අතරෙ තමා විමලසිරි එයාගෙ සරුංගලේ නූල යාළුවෙකුට දීල අපේ පැත්තට ආවේ.

"හොඳට උඩ ගියා නේද ? මමත් ටිකක් අරන් බලන්න ද?" ඒ විමලසිරි. කඩේ අයියා අපි දිහා බැලුවා මිසක් මුකුත් කිව්වේ නෑ. විමලසිරි බලෙන්ම වගේ පඳුරේ ගැට ගහලා තිබුණ නූල උඩින් අල්ලගෙන සරුංගලේට විධාන දෙන්න ගත්තා. කඩේ අයියා මුකුත්ම නොකියන එකෙන් එයත් විමලසිරිට කොච්චර බයද කියලා තේරුණා.

"අපේ එකත් මරු සරුංගලේ අද හුළඟ ටිකක් හරි මදි වගේ. ඊයේ අපි ඇරියා තිත් වෙන්න." විමලසිරි බලෙන්ම එයාගේ පම්පෝරිය ගහනවා. අපි හූමිටිවත් නොතියා අහගෙන ඉන්නවා. අපිට තිබුණ බය මේ යකා මේක ආයෙ අපිට නොදෙයි ද කියන එක. ටික වෙලාවක් අපේ සරුංගලේ එල්ලිලා හිටපු විමලසිරි ආපහු ඒ ගොල්ලන්ගෙ සරුංගලේ ගාවට ගියා. අපි තුන්දෙනාම සැනසුම් සුසුම් දැම්මේ එකටම වගේ. මෙතන වැඩි වෙලා ඉන්න එක එච්චර සුබ්දායක නැති බව තේරුණ හින්දා අපි සරුංගලේ බාගන්න පටන් ගත්තා.

හඳට ගිහින් ආපු නීල් ආම්ස්ට්‍රෝං වගේ අඩම්බරෙන් සරුංගලේ අපේ අතට ආවා. විමලසිරිලෑ කට්ටිය ක‍ටුකු‍ටු ගානවා දැක්කත් අපි එච්චර ඒක ගණන් ගත්තේ නෑ. සරුංගලේ අතට අරන් අපි පිටත් වෙන්න යනකොටම;

"මල්ලිලා පොඩ්ඩක් ඔහොම ඉන්නවලා.." කියලා විමලසිරි කෑ ගහනවා අපිට ඇහුණා. මොකක් හරි නරකක් වෙන්න යන බවනම් අපි තුන්දෙනාටම ඉවෙන් වගේ දැනුණා. අපේ ළඟට ආපු විමලසිරි කොහෙන්ද ඇදලා ගත්තු රුපියල් පහක් දික් කරලා කිව්වා "මම ඔය සරුංගලේ ගන්නවා" කියලා.

"ගන්න අපි විකුණන්නෑනෙ." මම කිව්වා නෙමේ කියවුණා. කඩේ අයියා බය වෙලා වගේ මම දිහා බලනවත්, විමලසිරි මම දිහා බලලා ඔරවනවත් සිද්ධ වුණේ එකටම වගේ.

"මේකනම් දෙන්න බෑ විමලසිරි, අපි ඕන්නම් ඔයාට මේ වගේ වෙන එකක් හදලා දෙන්නම්." කඩේ අයියා කිව්වා.

"මට වෙන ඒවා ඕනා නෑ. මගෙ හිත වෙනස් වෙන්න කලින් මේ රුපියල් පහ අරගෙන මට ඕක දෙනවා. නැත්නම් අන්තිමට උඹලට සල්ලිත් නැතිවෙන්න පුළුවන්."

"හහ් එහෙම කොහොමද තමුසෙ එහෙම ගන්නෙ. යකෝ මෙක මාර වැඩක්නෙ. පුළුවන්නම් අරගෙන බලනවා." හිතන ඒවා ඇහෙන්නැති එක කොච්චර ලොකු දෙයක් ද ? නැත්නම් සමහර විට මම මිනිරක් පතලක් යට ඉන්න තිබුණා. කඩේ අයියා මූණ ඈඹුල් කරගෙන සේරියා නූලෙන් නුල් පංදුව ගලවලා විමලසිරිට සරුංගලේ දෙනවා අපි දෙන්නා බලන් හිටියේ බොහොම දුකෙන්. අපි රුපියල් පහත් අරගෙන නුල් පන්දුව විතරක් අතේ ඇතුව ආපහු එන්න පිටත් වුණේ අපේ සරුංගලේ බලෙන් මිලට අරන් උජාරුවෙන් යන විමලසිරියා දිහා දත්මිටි කකා ටිකක් වෙලා බලන් ඉඳලා. ඒ මොහොත ඇතුළත මම කීපාරක් විමලසිරියට හිතෙන් බිම පෙරලගෙන ගැහුවද කියලා මටවත් මතක නෑ. මට ඒතරම් කේන්තියි. ඒත් ඉතින් මොනවා කියලා කරන්න ද ?

" කමක් නෑහ්.. මම ආයෙ එකක් හදන්නම් ඔයිට වැඩිය හොඳට. මේ වෙච්ච දේ සීයලාට කියන්න ඕනා නෑ. ඇහුවොත් කඩන් ගියා කියමු." සීනි පේර පඳුරු අස්සෙන් පල්ලම් බහින ගමන් කඩේ අයියා කිව්වා.

ලියුවේ;
සෙන්නා / 10.05.2017

අන්තිමට බෝතලේ කතාවක් ලියලා තියෙන්නේ 2013 මැයි මාසෙ කියලා දැක්කේ මේක ලියන්න කලින් ඒක පොඩ්ඩක් බලන්න ගිය වෙලාවේ. මට මතක අද ඊයේ වගේ. ඒත් අවුරුදු හතරක් ගෙවිලා නොදැනිම. කාලය යන වේගෙ ! කිහිප වරක් බෝතලේ කතා ගැන මතක් කරපු රංගි හෙවත් බූරු බබාට විශේෂයෙන්ම ස්තූතියි.

Thursday, May 4, 2017

එබෝලා රෝගියා | අවසාන කොටස - නික්මයාම

2017 වෙසක් මස 04 වන දා


"නෝල් කතා කරලා මට කිව්වේ ඇම්බ්‍යුලන්ස් එක දෙන්න බෑ කියලා මෙඩිකල් සෙන්ටර් එකෙන් කියනවා කියලා. මම කතා කරලා ලෙඩාට එබෝලා නෑ කිව්වම තමා ඇම්බ්‍යුලන්ස් එක දෙන්න ඒගොල්ලො කැමති වුණේ. අපි මෙච්චර අවදානමක් අරගෙන මහන්සි වෙලා ලෙඩාව අරගෙන එනකොට ඇම්බ්‍යුලන්ස් එක රෙඩි කරලා තියන එකවත් කෙරිලා නෑ." යි කිවේ ඇනුම් පදයක් ලෙසිනි. එයින් ඔහු චෝදනාව නෝල් වෙත පවරා නෝල් විසින් කිසිවක් නිසියාකාරව සිදු කර නැතැයි මිස්ටර් ස්ටීවන්සන් වෙත හැඟවීමේ උවමනාව ගැබ්ව ඇතැයි නෝල් විශ්වාස කෙළේය.

"එහෙම නෙමේනෙ ඩොක්ටර්. අපි ඇම්බ්‍යු......"නෝල්ට අවසන් කිරීමට ඉඩ නොලැබුණි.

"මේ නෝල් මට ඔයා කියන ඒවා අහන්න තවත් උවමනාවක් නෑ. මම මෙතනට ආවේ ඔයත් එක්ක කතා කරන්න නෙමේ. මිස්ටර් ස්ටීවන්සන් එන්න කියපු නිසා." යනුවෙන් වෛද්‍යවරයා වෙතින් නික්මුණු වදන් මාලාව මොහොතකට ඔහුව තුෂ්ණිම්භූත කෙළේය. ඊළඟ නිමේශයේදි කෝපය ඔහුව සිය වසගයට ගත්තේය. නෝල්ගේ මුහුණ රතු වී අඳුර විය. ස්ටීවන්සන් නෝල්ගේ කකුල පෑගුවේය.

"හරි ඩොක්ටර් දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි. ඩොක්ටර් මේකෙදි ලොකු අවදානමක් අරගෙන සෑහෙන මහන්සි වුණ නිසා අර ලෙඩාගෙ ජීවිතේ බේරුණා කියන එක තමා ඇත්ත. අපේ පැත්තෙන් මොකක් හරි වරදක් වුනානම් මම ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා." යි ස්ටීවන්සන් පවසනු නෝල් අසා සිටියේ කලකිරීම මුසු හිරිකිතයකිනි. තමන්ගේ රාජකාරිය වෙනුවෙන් ලැබෙන වැ‍ටුපට අමතරව මුදල් ඉල්ලා සිටීම කෙතරම් නිහීන ක්‍රියාවක් ද? එසේ කරණ අයවලුන්ගෙන් රාජකාරිය කර ගැනීමට පැමිණෙන්නන් හට සමාව අයැදීමට සිදු වීම කෙතරම් ජුගුප්සාජනකද? සමස්ත පද්ධතිය්ම උඩු යටිකුරු වී රටම රුවිතයට ගමන් කරණ සෙයකි.

"මට තේරෙනවා මිස්ටර් ස්ටීවන්සන්. ඔයා ළඟ තියන වැදගත්කමට තමා ඔයා එහෙම කියන්නේ. නිකමට හිතන්න මම ඔය තරම් අවදානමක් අරගෙන අච්චර ලොකු වැඩක් කළාට පස්සේ මට පන්දාහක් එව්වම, ඒකත් වෙන කෙනෙක් අතේ, මට තියන තත්ත්වය මොකක්ද කියලා." ජරාව කණ හිවලුන්ට ඇති තත්ත්වය කුමක්දැයි නෝල් හිත යටින් සිනාසෙමින් කල්පනා කරයි. "පන්දාහකින් මට අඩුම ගානේ මගෙත් එක්ක ගිය මිනිස්සුන්ටවත් ගෙවන්න පුළුවන්ද? ඒ මිනිස්සුත් නිකන් මාත් එක්ක එන්නේ නෑනෙ. මට සල්ලි ඕනෑ කමකට කියනවා නෙමේ මිස්ටර් ස්ටීවන්සන්, නිකමට කල්පනා කරලා බලන්න මම කියන එක ගැන. ලෙඩාව ගොඩට ගෙනාවයින් පස්සේ අඩුම ගානෙ එකම එක දවසක් මාව ඇවිත් හම්බෙන්න බැරි තරමට නෝල් හෙණ.....බිසි." වෛද්‍යවරයා සමච්චලයට කට ඇදකරමින් කීවේය.

"මිස්ටර් ස්ටීවන්සන් මෙන්න තියනවා ඕගොල්ලන්ගෙ පන්දාහ. මේකත් අරගන්න. මට අවශ්‍ය නෑ ඕකත්. මම සලකන්නෙ මෙක තනිකරම මට කරපු අපහාසයක් කියලා." යි කියමින් වෛද්‍ය ඉමෝටලියන් සිය බෑගයෙන් ගත් ලියුම් කවරයක් ස්ටීවන්සන් වෙත දිගුකළේය.

"එහෙම නෙමේ ඩොක්ටර්, මේ දේවල් නිතර සිද්ධවෙන දේවල් නෙමේනෙ. ඉතින් අපිටත් අදහසක් නෑ කොහොමද ගණන් මිනුම් කියන එක ගැන. ඩොක්ටර් කියන්නකෝ මොකක්ද වෙන්න ඕනා කියලා අපි ඒ විදිහට කරන්නම්."

"මට එහෙම කියන්න බෑ මිස්ටර් ස්ටීවන්සන්. දැන්නම් මට මේකට සල්ලි හම්බුනේ නැතත් කමක් නෑ. මම අද ආවේ සල්ලි ඉල්ලගනත් නෙමේ. මිස්ටර් ස්ටීවන්සන්ට මේ කථාවේ ඇත්ත නැත්ත පහදලා දෙන්න."

"හරි මට තේරෙනවා ඩොක්ටර්. මම හිතලා බලලා ඩොක්ටර්ට ආයෙ කෝල් එකක් දෙන්නම්."

"හරි මිස්ටර් ස්ටීවන්සන්. මම යන්නම් එහෙනම්. මිස්ටර් ස්ටීවන්සන් බලලා ඕන තීරණයක් ගන්න. "

"රයිට් ඩොක්ටර්, මම එහෙනම් ආයෙ කෝල් එකක් දෙන්නම්." යි කියමින් ස්ටීවන්සන් ඔහුට අතට අත දුන්නේය. නැගි සිටි වෛද්‍යවරයා ස්ටීවන්සන් හට අතට අතදී සිය ගමන් මල්ලද ‍රැගෙන පිටත්ව ගියේ නෝල් එහි සිටිනා බවක් නොදන්නවා සේය.

විශාල සුසුමක් පිට කළ ස්ටීවන්සන් නැවතත් වාඩි වුයේ "මුන්නම් මාර සත්තු" යයි සිනාවෙමින් පවසමිනි.

"කොහොමද උගේ කතාව. හොම්බට අනින්න හිතෙනවා මටනම්. හෙහ් වැදගත් කම ! ජරාව කණ බල්ලන්ට කොහෙ තියන වැදගත් කමක් ද?" නෝල් දත්මිටි කමින් හිරකරගෙන සිටි කෝපය දත්කූරු හපමින් පිට කෙළේය.

"ඔහොම බෑ නෝල්. මේවගේ අය එක්ක ඒගොල්ලන්ට ගැලපෙන විදිහට කටයුතු කරන්න වෙනවා. අනිත් එක ඔය මිනිස්සුන්ව අපිට ආයෙ ඕන වෙන්න පුළුවන්නේ. තරහා කරගෙන බෑ. නෝල් මේකෙන් අයින් වෙලා ලෙඩා වෙනුවෙන් කෙරෙන්න ඕනා වැඩ කටයුතු ටික කරන්නකෝ. මම මෑන් ගැන බලා ගන්නම්."

පසු දින එම ස්ථානයේදීම වෛද්‍ය ඉමෝර්ටලියන්ව හමුවූ ස්ටීවන්සන් ඔහුට අතට අත දුන්නේය. 

+++++

නැවූ මැද ඇගිල්ලේ පිට පැත්ත දෙවරක් දොරෙහි වැදී ගියේය.

"ටොක් ටොක්.." ඇතුළතින් ශබ්දයක් නොමැත.

නැවතත් එයම. "ටොක් ටොක්

"Yes, come in please" යි යන්න මෙවර ඇතුළතින් ඇසුණි. එබැවින් දොරෙහි අල්ලුව අල්ලා පහත් කළ නෝල් අඩවල් කළ දොර තුළින් සෙමින් සෙමින් සිය හිස ඇතුළට යොමා විමසිල්ලෙන් ඇතුළ බැලීය. ඇඳ විට්ටමට හේත්තු වු සිටි ඉම්රාන් ඇඳ හරහා යවා තිබූ රෝද මත දුවන ආධාරකය මත තබා ගෙන ආහාර අනුභව කරමින් සිටි අතර ඔහුට ඉදිරියෙන් බිත්තියෙහි සවිකර තිබූ රූපවාහිනිය ක්‍රියාත්මකව තිබුණේය. කාමරයට ඇතුළු වන්නේ කවුදැයි යන කුතුහලයෙන් යුතුව ආහාර ගැනීම මදකට නතර කළ ඉම්රාන් එක එල්ලයේ ඒ දෙස බලාගෙන සිටියේය. නෝල්ව කලින් දැක නොතිබූ බැවින් ඉම්රාන්ගේ මුවෙහි ප්‍රශ්නාර්ථය මුසු වූ පිළිගැනීමේ මදහසක් ඇඳී තිබිණි. 

"හෙලෝ කොහොමද ඉම්රාන්? මම නෝල්"

"හෙලෝ නෝල්. මට දැන් හොඳටම හොඳයි."  යි පවසමින් මදකට නතර කොට තිබූ ආහාර ගැනීම නැවත ඇරඹීය. "නෝල්, කවද්ද මාව ඩිස්චාර්ජ් කරන්නෙ කියලා දන්නවා ද?" යි ඇසුවේ විවර කළ බෝතලයෙන් වතුර උගුරක් උඩ බලා මුවට හලා ගෙන එය ගිල දැමීමෙන් ද අනතුරුවයි.

"මැලේරියා කැම්පේන් එකෙන් කියපු විදීහට බෝහෝ විට අද කෙරෙයි."

"එතකොට මට අදම ෆ්ලයි කරන්න පුළුවන් ද ?"

"ඔව් ඔව්, ඒගොල්ලො අපිට කියලා තියෙන්නේ කෙළින්ම එයාර් පෝර්ට් ගෙනියන්න කියලා. අපි ටිකට් එක කන්ෆර්ම් වෙනකම් ඉන්නේ ඩිස්චාර්ජ් කරන්න."

"ඒක හොඳයි.. අනිද්දා මගේ ලොකු දුවගේ උපන් දිනේ. මම යන්නම ඕනා."

"ආහ් ඇත්තද ? මම හිතුවේ ඉම්රාන් තාම බැඳලා නෑ කියලා!" නෝල් සිය මවිතය පෙන්වමින් ඇසීය.

"මට දුවලම දෙන්නෙක් ඉන්නවා" යි ඉම්රාන් පැවසුවේ සිනා සෙමිනි. නෝල්ද මද සිනහවකින් එයට සම්මාදම් විය. එයින් පසු නෝල් විසින් ඉම්රාන් සිටි තත්ත්වය හා ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා සිදු කළ ක්‍රියාන්විතය ඔහු වෙත විස්තර කර සිටියද හැඟීම් දැනීම් නැත්තෙකු සේ එය අසා සිටියා මිස අඩුම තරමින් ස්තූතියක් හෝ ඉම්රාන්ගේ මුවින් පිටනොවනු නෝල් මවිතයෙන් යුතුව නිරීක්ෂණය කෙළේය.

+++++

එදින් සවස නෝල්, එබෝලා නොවැළදුණු, එබෝලා රෝගියාගෙන් නිල වශයෙන් සමුගත්තේ ඔහුට ගුවන්තො‍ටුපළ බල යාමට අවැසි ප්‍රවාහන පහසුකම්ද සපයා දීමෙන් අනතුරුවය. රාජකාරියකදි, විශේෂයෙන්ම මෙවන් වූ විශේෂ කාර්යයකදි හමු විය හැකි මිනිසුන්ගේ ගුණ දොස් ගැන අපූරු අත්දැකීම් රාශියක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා විවර කළ මේ කුඩා ඉන්දුනීසියානුවා පිළිබඳ නෝල්ගේ සිතෙහි වචනයෙන් විස්තර කළ නොහැකි අමුතුම හැඟීම සමුදායක් තිබුණි. ආරම්භයේ සිට අවසානය දක්වාම මේ නාටකයේ ප්‍රධන චරිතයක් වෙමින් රෝගියාගේ ජීවිතය බේරගැනීමට දායක වීමට හැකි වීම පිළිබඳ නෝල්ගේ සිතෙහි විශාල තෘප්තියක් විය. සිය වෘත්තීය ගරුත්වය මුදලට පාවා දුන් අයවලුනට එවන්වූ ආත්ම තෘප්තියක් ලද හැකිදැයි නෝල් කල්පනා කරයි. නෝල්ගේ ජංගම දුරකථනය නාද විය. මැලේරියා මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය මිෂෙල්ගේ අංකය ඉහි දිස් විය.

"ඔව් ඩොක්ටර් කියන්න."

"මිස්ටර් නෝල් අර ලෙඩාව ඕගොල්ලො එයාර් පෝර්ට් එකට යැව්වද?"

"ඔව් ඩොක්ටර් මේ දැන් තමා හොස්පිට්ල් එකෙන් වෑන් එක පිටත් වුණේ."

"හරි මිස්ටර් නෝල් බොහොම ස්තූතියි. එයා රටින් පිට වෙනවා කියලා එන්ශුවර් කරගන්න හරිද? අමතක කරන්න එපා අපේ රටේ මැලේරියා නෑ, හරිද?" වෛද්‍ය මිෂෙල් සිනාසෙමින් කීවාය.

කළු, සුදු යන දෙවර්ගයේම අයවලුන් ඇස්පනාපිට ප්‍රදර්ශනය වෙමින් ඇති මොහොතක, කළු ගැන පමණක් සිතා සිත කලකිරවා ගත යුතු නොවේයැයි සිතූ නෝල්, කාර්යාලය බලා යාමට සිය මෝටර් රථයට ගොඩ විය. 


-නිමි-

ලියුවේ;
සෙන්නා / 04.05.2017

Wednesday, May 3, 2017

එබෝලා රෝගියා | නව වන කොටස - ගලවා ගැනීමේ මෙහෙයුම

2017 වෙසක් මස 03 වන දා


වෛද්‍ය ඉමෝර්ටලියන් බෝට්‍ටුව නවතා තිබූ පාලම වෙත පැමිණෙන විට නෝල් බෝට්‍ටුව සූදානම් බව පවසා පැය දෙකකටත් වඩා ගෙවී තිබුණි. ඒ අතරතුර කාලයේ නෝල් වෙතින් හා ප්‍රින්ස් වෙතින්, ඉක්මනින් පිටත්වීම කෙතරම් වැදගත්දැයි අවධාරණය කෙරෙමින් කෙතරම් දුරකථන ඇමතුම් පැමිණිය ද, වෛද්‍යවරයාට සිය සහයකයන්ද සූදානම් කොටගෙන ගමනට පිටත් වීම නෝල් හෝ ප්‍රින්ස් සිතූ තරම් පහසු කාර්යයක් නොවීය. ආයතනික පටිපාටීන්, ක්‍රියාමාර්ග ඔවුන්ගේ ගමන පමා කළ බව සත්‍යයක් වුවද, අවැසිතාවය තිබුණේනම් ඔවුනට මීට වඩා කලියෙන් පැමිණීමේ හැකියාවක් නොවුණා නොවේ.

එය කාලගුණය ඉතා යහපත් මනරම් උදෑසනකි. ඔවුන්ව ‍රැගෙන යාමට සූදානම්ව තිබූ බෝට්‍ටුව ලතාවකට පැද්දෙමින් ඔවුන්ගේ ආගමනය බලාපොරොත්තුවෙන් නොයිවසිමත්ව සිටියාය. තමන් යෙදී සිටින මෙහෙවරේදී කඩිනම්බව කෙතරම් අවැසිදැයි යන්න ඇය, වෛද්‍යවරයට වඩා අවබෝධ කොටගෙන ඇති සෙයකි. වෛද්‍යවරයා පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ සතුටට පත්වීය. එය තමන්ගේ කාර්යය පහසු කරවන බව ඔහුට සහතිකය. පාලමේ සිට බෝට්‍ටුව සම්බන්ධ කොටතිබූ කුඩා යකඩ අත්වැල් පාලම අවසානයේදී බෝට්‍ටුව ඇතුළතින් දික්වූ සහයක හස්තයෙහි ආධාරයද ඇතිව වෛද්‍යවරයා බෝට්‍ටුව තුළට වන්නේය. ඔහුගේ සහයකයන් ඔහුව අනුගමනය කළහ. ඔවුන් බෝට්‍ටුව තුළ අසුන් ගැනීමටත් පෙරම බෝට්‍ටුවේ ඇන්ජිම විශාල හඬක් නංවා ක්‍රියත්මක වූ අතර එයින් මොහොතකට පසු ඔවුන් සියල්ල චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නෞකාව බලා ගමන් කරමින් සිටිනු දක්නා හැකි විය.

මේ ගමන නිෂ්ප්‍රයෝජන ගමනක් බව වෛද්‍ය ඉමෝර්ටලියන් තවමත් විශ්වාස කරයි. තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද විමසා බලා, අනෙකුත් වෛද්‍යවරුන්ගේද අදහස් විමසීමෙන් පසු නැව වරායට ගෙන ඒමට දුන් නියෝගය නොසලකා හැරීම හා එතුළින්ම තමන්ට අවදානම් සහිත අමතර කාර්යයක යෙදීමට සිදුවීම පිළිබඳ ඔහු සිටියේ නොපහන් සිතිණි. පසුගිය රාත්‍රිය නිදි වර්ජිතව රාජකාරියෙහි නියැලුණු කාර්යබහුල රාත්‍රියක් වීමත් එම නොපහන් බව තීවෘර කිරීමේහිලා සමත් වීය. එයම තමන් මේ සඳහා යෙදවීමට දායක වූ සියලු දෙනා කෙරෙහිම අප්‍රසාදයක් ඇතිකරවීය. කෙසේ වෙතත් කාර්යයට පිළිපන් පසු අසරණ රෝගියාගේ ජීවිතය බේරා ගැනීමේ උවමනාව වෛද්‍යවරයාට නොතිබුණේයැයි කිව නොහැකිය.

තමන් පසු කරමින් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරණ නෞකා, නාවික හමුදාවේ වේග යාත්‍රා ඔබ මොබ සැරි සැරූ මාර්ගයක් ඔස්සේ හෝරාවක් පමණ කළ ගමන් කිරීමකට පසු ඔවුනට චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නෞකාව සේයාවක් මෙන් ඈතින් දිස් විය. බෝට්‍ටුවෙහි කපිතාන් වරයා ගුවන් විදුලි පණිවිඩ මාර්ගයෙන් නෞකාව හා සම්බන්ධ වී තමන්ගේ පැමිණීම වාර්තා කර සිටියෙන් ඔවුන් නෞකාව ආසන්නයට පැමිණෙන විටත් නැවට නැගීමට අවශ්‍ය ලණු හිණි මග පහතට වැටී එල්ලෙමින් තිබිණි.

බෝට්‍ටුව සෙමෙන් සෙමෙන් නෞකාව ආසන්නයට පැමිණියාය. බෝට්‍ටුවෙන් නැගුණු ජල පහර නෞකා බදේ හැපී නැවත පැමිණ බෝට්‍ටුවෙහි වැදීම නිසා එය අනවරත ඉහළ පහළ යාමකට ලක්ව සිටියාය. එයට අමතරව මුහුදු ජලයෙහි ස්වාභවික උස් පහත් වීම් එහි ප්‍රවේගය තීවෘර කොට තිබිණි. මෙම තත්ත්වය යටතේ ලණු හිණි මගක් ආධාරයෙන් නෞකාවට නැගීම ඒ සඳහා නිසි පුහුණුවක් නොමැති, නිතර එහි නොයෙලෙන කෙනෙකුට ඉතා අසීරු, ජීවිතයත් මරණයත් අතර කෙරෙන ත්‍රාසජනක ක්‍රියාවලියකි. ඉහළ පහළ යන බෝට්‍ටුවේ සිට නැවෙන් පහතට හෙළා ඇති ලණු හිණි මග ග්‍රහණය කර ගැනීමට හැකි ආසන්නයට පැමිණි පසු ක්ෂණිකව ඒය ග්‍රහණය කොටගෙන හනි හනික උඩට නැගිය යුතුය. සුළු අතපසුවීමකින් ලණුවෙහි ග්‍රහණය ලිහිල් වීම ගැඹුරු මහ මුහුදට වැටීමෙන් අවසන් වේ. චලනය නිසා එකිනෙක හැපෙමින් තිබෙන නෞකාව හා බෝට්‍ටුව අතරට වැටීම කිනම් ආරක්ෂිත ක්‍රියාමාර්ග තිබුණද බොහෝවිට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන අවදානමකි. මෙම ක්‍රියාවලියේදී මුහුදට වැටීමෙන් මිය ගිය අයවලුන් අතර පිහිනීම ප්‍රගුණ කළ පුහුණු නාවිකයන්ද සිටින බව වෛද්‍ය ඉමෝර්ටලියන් අසා දැන තිබුණි. එසේනම් ප්‍රවේසම් විය යුතුය. ලැබෙන මුදල් සලකා වුවද මෙය නොපැමිණිය යුතුව තිබූ ගමනක් බව දැන් වෛද්‍යවරයාට සිතෙයි. සියලු වියදම් බලා ගන්නේයැයි කීවද ගාණක් කතා බහකරගෙන නොතිබුණි. නෞකා නියෝජිතයට අවැසිනම් කාර්යය ඉෂ්ට වූ පසු මග හැර සිටීමට වුවද හැකිය. පසුව එළබෙන කාර්යයකදී රස්තියාදු කිරීමක් සිදු කරනු විනා මුදල් නොගෙවුවහොත් ඒ සඳහා තමනට කළ හැකි අන් යමක් නොමැති බවද ඔහු දනී. නිතී විරෝධී ගනු දෙනු අරඹයා නිතීයෙහි පිහිට පැතිම කළ නොහැකි දෙයකි. බොහොමයක් නෞකා නියෝජිතයන් වංචනික බොරුකාරයන්යැයි වෛද්‍ය ඉමෝර්ටලියන්ගේ නිගමනයයි. මෙවන් වූ ගනු දෙනු විෂයෙහි ලා ඔවුන් තමන් ‍රැවටූ, තමන්ට වංචා කළ අවස්ථා කිහිපයක්ම ඇති බව ඔහු මෙනෙහි කළේය.

ජීවිත ආරක්ෂක කබාය පැළදගෙන සූදානම් වූ වෛද්‍යවරයා හිණි මග ග්‍රහණයට ගත හැකි ආසන්නයකට පැමිණෙන තුරු බෝට්‍ටුවෙහි කෙළවරකට වී විමසිල්ලෙන් බලා සිටියේය. දෙතුන් වරක් ආසන්නයටම පැමිණිය නමුදු ඒ අවස්ථාවන්හී ක්‍රියාත්මක වීමට අවශ්‍ය විශ්වාසය ඔහු කෙරෙහි නොවීය. ඊළඟ රළත් සමඟ බෝට්‍ටුව ඉහළට එසවෙනු බලා සිටි ඔහු හිණි මග එල්ලීමට හැකි ආසන්නයට පැමිණියෙන් වහා එය සිය ග්‍රහණයට ගෙන එහි එල්ලි ගත්තේය. එසේ එල්ලී පහත බැලූ ඔහුගේ සියොලග හිටිවැටී ගියේය. අඩි ගණනාවක් පහතින් පෙනෙන චණ්ඩ මුහුද නිමේෂයකට ඔහුව පාෂාණිබුත කරවීය.

"පහළ බලන්න එපා, ඉක්මනට උඩට යන්න අ අ අ අ අ....." යනුවෙන් බෝට්‍ටුවෙන් නැගුණු කෑ ගැසීම ඔහුව පියවි ලෝකයට ගෙන ඒමට සමත් විය. ඉහළ බැලූ ඔහු තවත් මීටර් පහක් හෝ හයක් හිණි මග දිගෙහි ඉහළට බඩ ගෑමට ඇති බව දැක නැවතත් අධෛර්යයට පත්වූ නමුත් මෙම ස්ථානයේම ‍රැදී සිටිමත් අති අවදානම් බව දිටීය. ගැස්සෙමින් පැද්දෙමින් එන බෝට්‍ටුව තමන්වද තලා දමමින් නෞකාවෙහි ගැටිමේ මාරාන්තික අනතුරක් ඇති බව වටහා ගැනීමට ඔහුට අපහසු නොවීය. එබැවින් වහා යුහුසුළු වූ වෛද්‍යවරයා කඩිනමින් දෙපසට වැනෙන හිණි මග දිගෙහි ඉහළට බඩ ගෑවේය. නෞකා තට්‍ටුව මතදී ඔහුව දෑතින්ම ග්‍රහණයට ගෙන ආරක්ෂිතව උඩට ගැනීමට සූදානමින් නාවිකයන් දෙදෙනෙකු සිටියහ.

නැව මතදී වෛද්‍ය ඉමෝර්ටලියන්ට හමු වූයේ ඔවුන්ගේ පැමිණීම නොයිවසිල්ලෙන් බලාපොරොත්තුව සිටි, කෝපයට පත්වූ කපිතාන්වරයෙකි.

"ඩොක්ටර් අපි ආවේ උදේ හතරට, දැන් අටත් පහු වෙලා. බොහොම පරක්කුයි. ලෙඩාගෙ තත්ත්වය අන්තිම අවදානම්. අපි ඒ ගැන මෙච්චරටම කියලා තියෙද්දිත් මෙහෙම පරක්කු වෙන එක ගැන මටනම් තේරෙන්නෑ." කපිතාන්වරයාගේ හඬට කෝපය මොනවට මුසු වී තිබුණි.

"මට ඒ ගැන කනගා‍ටුයි කැප්ටන්. අපි සැලසුම් කරලා තිබුණේ නැව බර්ත් කරන්න. ඒත් අන්තිම මොහොතේ ඔක්කොම වෙනස් වුණා. කෝ දැන් කොහෙද ලෙඩා ඉන්නේ, අපි ඉක්මන් කරමු."

"මෙහෙන් එන්න.."යි කියමින් කපිතාන් වරයා ඉස්සර විය.

කුඩා බරාඳ කිහිපයක් ඔස්සේ හැරි හැරී ගමන් කිරීමෙන් අනතුරුව නෞකවෙහි රෝහල යැයි සඳහන්ව තිබූ කුඩා කුටියකට ඔවුන් කපිතාන් වරයා සමඟින් ඇතුළු වූහ. සයනයක දිගා කොට තිබූ රෝගියා හට ඔක්සිජන් හා සේලයින් සැපයුම ලබා දී තිබුණි. කපිතාන් වරයාගෙන් රෝගයේ ඉතිහාසය හා මෙතෙක් ලබා දුන් ප්‍රතිකාර පිළිබඳ විමසමින් වෛද්‍යවරයා රෝගියාව පරික්ෂා කර බැලීය. එබෝලා රෝග ලක්ෂණ කිසිවක් ඔහු කෙරෙන් විද්‍යාමාන නොවන බව වෛද්‍ය ඉමෝර්ටලියන් මුලින්ම තහවුරු කර ගත්තේය. රෝගියාගේ ශරීරයෙහි උෂ්ණත්වය අත්ලට දැනෙන තරමටම ඉහළ ගොස් තිබුණු අතර, හෘද ස්පන්දනය සිදු වෙමින් තිබූ නමුත් නාඩි වැටීමෙහි යම් දුර්වලතාවයක් පෙන්වීය. රෝගියාට ප්‍රතිකාර කිරීම සඳහා නෞකාවෙහි ඇති උපකරණ හා බෙහෙත් ද්‍රව්‍ය ප්‍රාමානවත් නොවන බව තේරුම් ගත් වෛද්‍ය ඉමෝර්ටලියන් ඔහුව කඩිනමින් ගොඩ බිමට ‍රැගෙන යාම අත්‍යවශ්‍යය කරුණක් ලෙස දු‍ටුවේය. රෝගියාව නෞකාවෙන් බෝට්‍ටුවට පටවා ගැනීම අතිශය අවදානම්කාරී ක්‍රියාවක් වුවද, ඔහුගේ ජීවිතය බේරා ගැනීමටනම් එය සිදු කිරීම අත්‍යවශ්‍යය.

"කැප්ටන් අපි මෙයාව ගොඩට ගෙනියන්නම්, මෙයාට හදිසි ප්‍රතිකාර අවශ්‍යයි."

"ඔව් ඒක හොඳයි." පැවසූ කපිතාන් ජෝන් ක්ලේටන් වහ වහා ඊට අවශ්‍ය සහය ලබාදෙන ලෙස සිය කාර්යය මණ්ඩලයට නියෝග කෙළේය.

අඩ හෝරාවකට අඩු කාලයක් තුළ ඔක්සිජන් හා සේලයින් සැපයුමට අදාළ උපකරණද සමඟ ගිලන් මැස්සක තබා තදින් ගැට ගැසූ රෝගියා ගේ සිහිසුන් සිරුර නැව් තට්‍ටුව මත දක්නා ලදී. මෙම ක්‍රියාන්විතයේ අතිශය බිහිසුණුම ක්‍රියාවලියට පනපෙවීම සඳහා ඔවුන් සියල්ල ලකසැහැස්ති වී සිටියහ. කෙස් ගසක තරමින් හෝ සියුම් වරදක් සිදු නොවිය යුතු නිර්වද්‍යතාවයෙන් යුතුව සියල්ල සිදු කළ යුතුය. මුහුද මැද නවතා ඇති නෞකාවකින් ඒ ආසන්නයේ ඉහළ පහළ යමින් ඇති බෝට්‍ටුවකට සිහිසුන් රෝගියකුගේ සිරුරක් ගොඩ බෑම වචනයෙන් විස්තර කළ නොහැකි අවදානම් කාරියකි. සුළු අතපසු වීමකින් රෝගියා හෝ ඔහුත් සමඟම තවත් කිහිප දෙනෙකුත් මුහුදට වැටීමෙන් සියල්ල කෙළවර විය හැකිය. එහෙත් වාසනාව තවමත් ඔහුන් සමඟයැයි හඟවමින් මේ නිශ්චිත මොහොතේ සයුර මදක් සන් සුන් වී සිටියාය. එසේත් නැතිනම් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට පිරිසක් වෙහෙසෙන මේ සද්කාර්යයට බාධා කිරීමට ඇයට අවැසි නොවූනා විය හැකිය.

ගිලන් මැස්සෙහි ස්ථාන කිහිපයකින් සවිමත් දිගු කඹ ගැට ගැසී ගියේය. එයින් පසුව නැවෙහි සිටින නාවිකයන් කිහිප දෙනෙකුගේ එකතුවෙන් ඔසවා ගත් ගිලන් මැස්ස නෞකාවෙන් පිටතට ගත් අතර කිටි කිටියේ එහි දැව‍ටුණු කඹ අල්ලා ගත් අයවලුන් සෙමින් සෙමින් ඒවා නිදහස් කරමින් ගිලන් මැස්ස බෝට්‍ටුව වෙත පහත් කිරීම ඇරඹූහ. එයට සමගාමීව පහත බෝට්‍ටුවෙහි සිටි අයවලුන් ගිලන් මැස්ස භාර ගැනීමෙහි ලා යුහුසුළු වූහ. ක්‍රමක්‍රමයෙන් පහතට පැමිණි ගිලන් මැස්ස බෝට්‍ටුවෙහි සිටි නාවිකයන් වහ වහා සිය ග්‍රහණයට ගත්තද ඉහළින් වූ ග්‍රහණය තවමත් නිදහස් නොවුනේ ආරක්ෂාව පතාය. එකිනෙකාට අමතමින්, කෑ ගසමින්, විධාන දෙමින් ඔහුන් සියලු දෙනා ඉම්රාන්ගේ නිසල සිරුර ආරක්ෂිතව බෝට්‍ටුව වෙත ගැනීමෙහි ප්‍රයත්නයක යෙදී සිටියහ. ඒ මොහොතේදී මේ අතිශය භයානක රෝගයක් වූ එබෝලා රෝගියෙක්යැයි පැතිර තිබූ කටකතා මත පදනම්ව එයින් කර හැරීමේ කිසිම උවමනාවක් ඔහුන් කිසිවකු කෙරෙන් දක්නට නොවීය. ඔවුහූ මිනිස් ජීවිතයක් බේරා ගැනීමේ උදාර අරමුණ වෙනුවෙන් එතරම්ම පරාර්ථකාමී වී සිටියහ.

ගිලන් මැස්ස ආරක්ෂිතව බෝට්‍ටුව වෙතට ලබා ගත්තෙන් ඉහළින් වූ කඹවල ග්‍රහණය නිදහස් කෙරිණි. ඊළඟ අභියෝගය වූයේ රෝගියාව බෝට්‍ටුවෙහි වූ කුටිය වෙතට ගැනීමයි. එහි ද්වාරය ගිලන් මැස්සෙහි පළලට වඩා අගල් කිහිපයකින් පමණක් විශාල වූ බැවින් ගිලන් මැස්ස අංශක අනූවක කෝණයකින් කුටීයටඇතුළු කිරීම අවැසි විය. ඒ සඳහා ගිලන් මැස්සෙහි තුන්කාලකට වඩා ප්‍රමාණයක් බෝට්‍ටුවෙන් පිටතට යන ලෙස ඔසවා ගත යුතුය. ඉහළ පහළ පැද්දෙමින් තිබෙන බෝට්‍ටුවක තබා සවිමත් නිශ්චල ස්ථානයක සිටවත් එවැනි කාර්යයක් සිදු කිරීම කෙතරම් අපහසුද ! එහෙත් පසුබට වූවෝ හෝ අතහැර දැමූවෝ ඔවුහූ නොවෙති. බෝට්‍ටුවෙහි වැටට හේත්තු වූ සවිමත් නාවිකයන් සිව් දෙනෙකු බෝට්‍ටුවෙන් පිටතට දිගු කළ හස්තයන් මතට ඉතා අසීරුවෙන් ගිලන් මැස්සෙහි බර දරාගනිමින් සෙමෙන් සෙමෙන් කුටීරයෙහි දොරට අංශක අනූවක් වන සේ කෙළින් කළ ගිලන් මැස්ස එය තුළට ඇතුළු කරගැනීමට සමත් වූහ. නෞකාව මත සිටි නාවිකයන් ද, වෛද්‍යවරයා ඇතුළු පිරිසද මේ ත්‍රාසජනක අවස්ථාව දෙස කෙළින් වූ රෝම කූප, නතර වූ හදවත් සහ හිරවූ හුස්ම සමඟින් ගැහෙමින් බලාසිටි අතර රෝගියා නිරුපද්‍රිතව කුටිය තුළට ගැනීමෙන් පසු සියලු දෙනාම පාහේ එකවර සැනසුම් සුසුම් හෙළූහ.

නෞකාවෙන් බැසීමට පෙර වෛද්‍ය ඉමෝර්ටලියන් විසින් කළයුතු වූ තවත් රාජකාරියක් විය. කොන්ටෙයාන්ස්හී බෝවන රෝග පිළිබඳ වූ ජාතික රෝහලෙහි ප්‍රධානී ඇන්ඩෲ වොට්සන් අමතා පවතින වාතාවරණය හා රෝගියාගේ තත්ත්වය වර්තා කර සිටි ඔහු තමන්ට පෙනෙන පරිදි රෝගියාට කිසිඳු එබෝලා රෝග ලක්ෂණයක් නැති බවත් මැලේරියා බවට තමන් සැක කරණ බවත් දන්වා සිටියේය. මෙම නිරීක්ෂණය හා වාර්ථ කිරීම ඉදිරි කටයුතු පහසු කරවීය.

වෛද්‍ය ඉමෝර්ටලියන් හා ඔහුගේ සහායකයින් බෝට්‍ටුවට වන් කල්හී නෞකාව වෙතින් නික්මුණ බෝට්‍ටුව වහ වහා ගොඩ බිම බලා ඇදෙන්නට විය. වෛද්‍යවරයා රෝගියාගේ තත්ත්වය පිරික්සමින් ඔහු අසලට වී සිටිනා අතර ඔහුගේ ජංගම දුරකථනය නාද වීය. නෝල්ගේ අංකය එහි සටහන් වී තිබුණි.

                                                                                             එබෝලා රෝගියා | අවසාන කොටස - නික්මයාම


ලියුවේ;
සෙන්නා / 03.05.2017


Tuesday, May 2, 2017

එබෝලා රෝගියා | අට වන කොටස - සාකච්ඡා

2017 වෙසක් මස 02 වන දා

කොන්ටෙයාන්ස් නගර මධ්‍යයේ පිහිටා ඇති පෞරාණික හෝටලයකි. අඩුම තරමින් ශතවර්ෂයක්වත් එපිට එය ඉදිවූ බව හැඟවෙන ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණයන්ගෙන් එය සමන්විත වීය. හෝටලයට ඇතුළු වීමේදි ඕනෑම නාසයකට දැනෙන අනන්‍ය වූ පුස් ගන්ධය, අතිශය පැරණි සෝපාන කට්ටලය, පෞරාණික ගෘහභාණ්ඩ පංතිය ඒ බව විදහා දක්වන අමතර සාධකයන්ය. නූතන ඉහළ තරු පංතියේ හෝටල් මගින් සිය පාරිභෝගිකයන් ඔවුන් වෙත අද්දවාගෙන තිබුණ ද මෙයට තමන්ටම ආවේණික වූ පාරිභෝගිකයන් පිරිසක් සිටියෙන් පැවැත්ම පිළිබඳ ගැටලුවක් නොවුණි.

එහි පහත මාලයේ වූ ආපන ශාලාවෙහි කොනක වූ මේසයක, පාඨකයන් මේ වන විටත් හොඳින් හඳුනන නෝල් සහ ඔහුගේ සාමාන්‍යාධිකාරීවරයා කෝපි කෝප්ප දෙකක් තොලගාමින් කතාබහක යෙදී සිටියහ. ඔවුන් වරින් වර ප්‍රධාන දොර‍ටුව වෙත නෙත් හෙලූයෙන් තුන්වැන්නෙකු බලාපොරොත්තුවෙන් පසුවන බව වටහා ගැනීම අසීරු නැත.

"මිනිහා කීයටද එනවා කිව්වේ" සිය අත් ඔරලෝසුව දෙස බලමින් ඇසුවේ නෝල්ය.

"දහයට"

"දැනටම පැය භාගයක් පරක්කුයි. කීයට එයිද මංද! අපරාදෙ සර් ආවේ. සර්ගෙ වැඩ පාඩුවෙනවා මේකෙන්."

"ප්‍රශ්නයක් නෑ. බලමු ටිකක්. එයාට මම පොරොන්දු වුණානෙ හම්බෙනවා කියලා."

"මිනිහා මොනාද ඊයෙ කිව්වේ." මෙම පැනය ස්ටීවන්සන් මහතාගේ මුවෙහි මදහසක් නැංවීමට සමත් වීය.

"තනිකරම නෝල්ට බනින එක තමා මිනිහා කළේ. ප්‍රින්ස් අතේ යවපු එකටත් එයා කැමති නෑලු.කොටින්ම ඔයා එයාට ඉන්සල්ට් කළාලු."

"නෙදෝමකින් කාලකණ්ණියා. මුන්ට ජරාව කන්නත් ඕනා. ඒක ඩීසන්ට් පිට කරන්නත් ඕනා. අමන හැත්ත!" නෝල් දත් මිටි කමින් තෙපළීය.

"මම කිව්වේ නෝල් 5000 මදි කියලා. මිනිහා ඊට වැඩිය බලාපොරොත්තුවෙනවා. ඒකයි මේ ඔක්කොම ප්‍රශ්ණ හදන්නේ."

"හරිනම් ශත පහක් දෙන්න වටින්නෑ. ඒක උන්ගෙ ජොබ් එක. මම ඔහොම හරි කීව්වේ අර මනුස්සයාගේ ජීවිතේ බේරගන්න ඕනා හින්දා. එහෙම නොවුනනම් ඔය යකා ලෙඩා මළත් කීයටවත් යන්නෑ. අසමජ්ජාති හැත්ත. චිහ් විතරක්.."

"Calm down Knowll, ඔය යක්කු තරහා කරගෙන බෑ. අපිට ඉස්සරහටත් ඕන වෙන්න පුළුවන්. අනිත් එක අපේ නැව් ඇෆ්‍රිකා ඉඳලා දිගටම එනවානේ. ඉතින් මේ වගේ කේස් ඇති වෙන්න තියන ඉඩ වැඩියි. කරන්න දෙයක් නෑ, රටේ හැටියට අපිට අනුගත වෙන්න වෙනවා, කොච්චර වැරදි වුණත්." නෝල් හිස සන් කිරීමේන් එයට එකඟතාවය පළ කෙළේය. නැවතත් ඔරලෝසුව දෙස බලා චුක් හඬක් නගමින් නෝල් සිය අප්‍රසාදය දැක්වීය. අන් දේවල් කෙසේ වෙතත් අඩුම තරමින් වේලාවට වැඩ කීරිමේ ගුණාංගයවත් මේ මිනිසුන් තුළ නැතැයි නෝල් සිතයි. සමාගමක සාමාන්‍යාධිකාරීවරයෙක් යනු රාජකාරි බහුල අයෙකි. එවන් අයෙකු සමඟ යොදාගත් හමුවීමකටවත් මුන්ට වේලාවට පැමිණිය නොහැකි හැටි. නෝල්ගේ ජංගම දුරකථනය නාද විය. නාදුනන අංකයකි.

"හෙලෝ මිස්ටර් නෝල් ද කතා කරන්නේ?"

"ඔව් ඔව් නෝල් තමා, කවුද මේ?"

"මම ඩොක්ටර් මිෂෙල් කතා කරනේ මැලේරියා කැම්පේන් එකෙන්. මිස්ටර් නෝල්ගෙ අංකය මට දුන්නේ හොස්පිටල් එකෙන්. මම කතාකරන්නේ අර මැලේරියා පේෂන්ට් ගැන."

"ඔව් ඩොක්ටර් කියන්න. මොකක්ද අපෙන් වෙන්න ඕනා?"

"දැනට විශේෂ මුකුත් නෑ නෝල්. ඔයා දන්නවා ඇතිනේ දැනට පේෂන්ට් අපේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව. ඊයේ එයාව ප්‍රයිවට් හොස්පිට්ල් එකට මාරු කළා නේද? අපේ අය එහෙදිත් පේෂන්ට්ව මොනිටර් කරනවා. දැනට තියන තත්ත්වය අනුව තව සතියකින් හමාරකින් අපිට මෙයාව ඩිස්චාර්ජ් කරන්න පුළුවන් වෙයි. ඔයගල්ලො කරන්න ඕනා එක දෙයක් මිස්ටර් නෝල්."

"කියන්න ඩොක්ටර් මොකක්ද අපෙන් වෙන්න ඕනා?"

"මිස්ටර් නෝල් දන්නවද දැනට අවුරුදු හතක වෙලේ ඉඳන් අපේ රටේ කිසිම මැලේරියා රෝගියෙක් වාර්තා වෙලා නෑ කියලා. රට එතෙන්ට ගන්න අපි සෑහෙන කැපකිරීම ගොඩාක් කළා. මෙයා නිසා ආයේ එක රෝගියෙක් හරි ඇති වුණොත් අපේ ඔක්කොම උත්සහයන් වතුරේ. ඒක හින්දා මෙයාව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරපු ගමන් රටින් පිට කරණ විදිහට කටයුතු සකස් කරගන්න. හොටේල්වල කොහෙවත් නතර කරගෙන ඉන්න එපා. ට්‍රීට්මන්ට් වලින් පස්සේ මෙයාගෙන් බෝවෙන්න හැකියාවක් නැති වුණත්, අපි මොකටද නිකන් රිස්ක් එකක් ගන්නේ. ඒක හින්දා එයාර් ටිකට් එක බුක් කරලා හොස්පිටල් එකෙන්ම එයාර්පොර්ට් එකට අරන් යන එක වඩා හොඳයි මිස්ටර් නෝල්. පුළුවන්නම් මටත් එවන්න ටිකට් එකේ කොපියක්. ඒකට සෙට් වෙන විදිහට පේෂන්ට්ව ඩිස්චාර්ජ් කරන්න අපි ඇරෙන්ජ් කරන්නම්."

"හරි ඩොක්ටර්.. කිසි ප්‍රශ්නයක් නෑ, අපි ඒ විදිහට ඇරෙන්ජ් කරන්නම්."

"බොහොම ස්තූතිය් මිස්ටර් නෝල්. මේ මගේ මොබයිල් නම්බර් එක. මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් මට ඕනෑම වෙලාවක මේ නම්බරයට කතා කරන්න."

"බොහොම ස්තූතියි ඩොක්ටර්."

"හ්ම්ම් අර වගේ අපතයො අස්සේ, අමතර ලාභ ප්‍රයෝජන මුකුත්ම නැතිව රාජකාරියට කැපවෙන මේ වගේ අයත් ඉන්නවා එහෙනම්.." යි කියමින් නෝල් දුරකථනය විසංධි කළේය.

"කවුද ඒ?"

"මැලේරියා කැම්පේන් එකෙන්. ඒ මිනිස්සු මාර කන්සර්න් සි‍ටුවේෂන් එක ගැන."

"මොනවද කියන්නේ?"

"පේෂන්ට්ව හොස්පිට්ල් එකෙන් කෙළින්ම එයාර්පෝර්ට් ගෙණියන්නලු. අවුරුදු හතකින් කොන්ටෙයාන්ස්වල මැලේරියා කේස් එකක් රිපෝර්ට් වෙලා නෑ කියන්නේ!"

"නෑ..හ් ඇත්තද? ස්ටීවන් පැවසුවේ නළල ‍රැළි නංවමින්, දෑස් උඩ යවමිනි. එහෙනම් මේක ස්පෙෂල් කේස් එකක්. නිවුස් වලට යයිද දන්නෙත් නෑහ් !? ." ස්ටීවන්සන් දෙවුර ගස්වමින් සිය බිය පළ කෙළේය.

නෝල් නැවතත් අත් ඔරලෝසුව දෙස බැලීය. එකොළහ පසුවි විනාඩි දහයකි.

"සර් අපි යමු ද යන්න, වෙලාවට වැඩක් කරන්න බැරි උන් හින්දා අපේ වැ........ආහ් ඔය එන්නේ.." ඔරලෝසුව දෙස බලාගෙන පැවසීම ආරම්භ කරමින් ප්‍රධාන දොර‍ටුව දෙස බලන විට වෛද්‍ය ඉමෝර්ටලියන්ගේ පැමිණීම දු‍ටු හෙයින්, පැවසීමට ගිය දෑ අතර මග නතර කොට ඔහුගේ පැමිණීම ස්ටීවන්සන් වෙත වාර්තා කර සිටියේය. ස්ටීවන්සන් ප්‍රධාන දොර‍ටුවට පි‍ටුපා සිටියෙන් ගෙල හරවා බලා.. "ඔය එන එක්කෙනාද?" යි නෝල්ගෙන් විමසා සිටියේය.

"හ්ම්ම් එයා තමා.."

"හරි, නෝල් කතා කරන්න එපා. මම කේස් එක හැන්ඩ්ල් කරන්නම්. මිනිහා මොනවා කිව්වත් ගණන් නොගෙන ඉන්න හරිද?" වෛද්‍යවරයා නෝල්ව හඳුනා ගත් බැවින් ඔවුන් සිටි මේසය බලා පැමිණියේය. කළු දිගු කලිසමකින්, කබායකින් සැරසී සිටි ඔහු රාජකාරි ගමන් මල්ලක්යැයි සිතිය හැකි හත‍රැස් මල්ලක්ද වමතින් ඔසවාගෙන සිටියේය. බොකු‍ටු කොණ්ඩයකට හිමිකම් පෑ වෛද්‍යවරයා මුහුණ පුරා වැවූ ‍රැවුලකින් සමන්විත වූයේය. සිය නමටම සරිලන පරිදි නරියෙකුගේ වැනි නේත්‍රා යුග්මයක්ද පිහිටා තිබිණි. සට කපට බව, අවස්ථාවාදී බව එයින් කියවෙන්නේයැයි නෝල් සිතීය. සිනාසී අතට අත දෙමින් ස්ටීවන්සන් වෙත ආචාර කළ වෛද්‍යවරයා නෝල්ව නොතකා හැරියේය. නෝල් සිය දකුණත වහා ආපසු ඇද ගත්තේය.

"කොහොමද ඩොක්ටර්, හමු වීම සතුටක්. මොනවා හරි බොමු ද අපි?"

"නෑ නෑ..මුකුත්ම එපා. බොහොම ස්තූතියි. මම දැන් ඩියුටි පිට ඉන්නෙ. රාජකාරියේ ඉන්නකොට මගේ ප්‍රතිපත්තියක් තමා කවුරුවත් දෙන කිසිම කෑමක් බීමක් නොගැනීම." නෝල්ගේ දෑස් උඩ ගියේය, මතුවූ සමච්චල් සහගත සිනාව පාලනය කරගැනීමට කැස්සක් ආරූඪ කරගෙන අතින් කට වසා ගැනීමට සිදු විය. ස්ටීවන්සන්ටත් එයම සිදුවුවද සීනාසෙමින්ම සිටි බැවින් සමච්චල් සහගත සිනාව, මුල් සිනහවෙන වසා දිය කර හැරීමට අපහසු නොවීය. "ජරාව හැර" යි නෝල් සිතින් කීයූ නමුත් මුවින් පිට නොකළේය.

"සමාවෙන්න මම පොඩ්ඩක් පරක්කු වුණා. දන්නවනෙ ඉතින් අපේ රාජකාරිය."

"ඒක ප්‍රශ්නයක් නෑ ඩොක්ටර්. අපි දන්නවනේ ඩොක්ටර්ලා කොච්චර බිසීද කියලා."

"මිස්ටර් ස්ටීවන්සන් විශ්වාස් කරයිද මංදා මම මේ ඊයේ උදේ ඉඳන් ඉන්නෙ. තාම වැඩ."

"ඇත්තද ඩොක්ටර්. මහන්සි ඇති එහෙනම්. කියන්නකො ඩොක්ටර් එහෙනම් වෙලා නොයවා හමුවෙන්න ඕනා කියපු කාරණය."

"මට ඇත්තටම අවශ්‍යය වුණේ, මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ කියලා මිස්ටර් ස්ටීවන්සන්ට පැහැදිලි කරලා දෙන්න. මොකද මට තේරුණ දෙයක් තමා බොහොමයක් දේවල් මගින් නතරවෙනවා කියන එක." යි කියමින් වෛද්‍යවරයා තමා ඉදිරියෙන් වාඩිවී සිටි නෝල් දෙස ඇස් කොනකින් හොර බැල්මක් හෙලුවේය. නෝල් සමච්චලයට මෙන් කට කොනකින් සිනාසුණේය. මෙවර එය සඟවා ගැනීමේ උවමනාවක් ඔහු නොදැක්වීය. සිද්ධියේ මුල සිට සියල්ල සිය ප්‍රධානියා සමඟ කතාබහ කොට, ගත් සියලු තීරණ පිළිබඳ ඔහු දැනුවත් කොට තිබූ බැවින් වෛද්‍යවරයා කුමක් කීමට අර අදිනවාදැයි යන්න පිළිබඳ නෝල් එතරම් තැකීමක් නොකළේය.

"මම, වෙච්ච දේවල් වෙච්ච හැටියට මුල ඉඳන්ම කියන්නම් මිස්ටර් ස්ටීවන්සන්." ස්ටීවන්සන් හිස සලා එය අනුමත කෙළේය.

"ඔය එබෝලා සස්පෙක්ට් බාපු නැව එන්න ටික දවසකට කලින් නෝල් මට ලියුමක් එවලා තිබුණා ප්‍රින්ස් අතේ මෙහෙම ලෙඩෙක් ඉන්නවා කියලා. මම WHO එකෙනුත් චෙක් කරලා බැලුවා, කියලා තිබුණ ලක්ෂණ එබෝලා ලක්ෂණ නෙමේ. ඊට පස්සේ මම අපේ සීනියර්ලා එක්කත් කතා කරලා තමා නැව බර්ත් කරන්න අවශ්‍ය අනුමැතිය ලබා දුන්නේ..................................



                                                                         එබෝලා රෝගියා | නව වන කොටස - ගලවා ගැනීමේ මෙහෙයුම ......

ලියුවේ;
සෙන්නා / 02.05.2017

Monday, May 1, 2017

එබෝලා රෝගියා | හත් වන කොටස - රෝහල්ගත කිරීම

2017 වෙසක් මස 01 වන දා


එය වෘත්තීය ආතතියෙහි උච්චම අවස්ථාවකි. මේ වන විට කපුටන් හත් දෙනෙකු වමනය සමඟ පිට වූ බව කණෙන් කොනින් පැතිර යාමට ඇරබී තිබුණි. කාගෙන් හෝ පිටවූ තොරතුරකට ත‍ටු ලැබී, එබෝලා රෝගියෙකු නැවකින් ගොඩ බෑ බවට පැතිර යමින් තිබිණි. මාධ්‍ය කරුවන් මෙයට හොට දමතියැයි බියක්ද නෝල් වෙත විය. එසේ වුවහොත් රාත්‍රියෙහි දු‍ටු සිහිනය යථාර්ථයක් වීම වුවද සිදු විය හැකිය. නෝල් සිය ප්‍රධානියා වූ ආයතනයෙහි සාමාන්‍යාධිකාරී වරයා හමු වූයේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමටය.දෙදෙනාම මොහොතකට මුහුණට මුහුණ බලාගෙන පසු වූයේ උභ‍තෝකෝඨිකයකට මැදිව සිටි හෙයිනි. දැන් අපි කුමක් කරමු දැයි දෙදෙනාම, දෙදෙනාගෙන්ම අසනා සෙයකි. 

"දැන් මොකද කරන්නේ නෝල්? හොස්පිටල් එකෙන් මුකුත් ආරංචියක් ආව ද? හාබර් මාසටර්  MD ටත් කතා කරලා කම්ප්ලේන් කරලා, අපි මුකුත් කෙරුවේ නැහැල්ලු, ඇම්බියුලන්ස් එකත් එයාලු ඇරෙන්ජ් කළේ, කියලා.."

"එයාට පිස්සු සර්, මම පැය භාගයක් යන්න කලින් බෝට් එකත් ඇරෙන්ජ් කරගත්තා නේවී පර්මිෂන්, අරවා මේවා මුකුත්ම නැතුව. ඇම්බියුලන්ස් එකත් ඇරෙන්ජ් කරලා තිබුණේ, උන්ට කොහෙන්ද ආරංචි වෙලා එබෝලා පේෂන්ට් කෙනෙක්ව ගේන්නේ කියලා එක පාට්ටම උන්ගේ එක දෙන්න බෑ, උණ රෝහලේ එක ඉල්ල ගන්න කිව්වා. උන්ට කතා කළාම ඇම්බියුලන්ස් නැහැල්ලු. පස්සේ මම ඩොක්ටර්ට කතාකරලා කිව්වම එයා බැන්නා කවුද කිව්වේ එබෝලා පේෂන්ට් කෙනෙක් කියලා, මේ යකාට ඇති එබෝලාවක් නෑ.. මම උන්ට කතා කරන්නම් කියලා. පස්සේ ඩොක්ටර් කතා කරලා කිව්වම මෙඩිකල් එකෙන් ඇම්බියුලන්ස් එක එවන්න කැමති වුණා. හාබර් මාස්ටර් කාට ඇම්බියුලන්ස් ඇරෙන්ජ් කළා ද කියලා මම නම් දන්නේ නෑ."

"දැන් කියනවා, නැව බර්ත් කරන්න නම් හොස්පිට්ල් එකෙන් ක්ලියරන්ස් එකක් ගන්න ලු, ලෙඩාට එබෝලා නෑ කියලා."

"හෙහ් හෙහ් හෙහ් ඒක මරු වැඩේ.. ලෙඩා රට ඇතුළේ... නැව බර්ත් කරන්න ක්ලියරන්ස් ගන්න ඕනා... මුන්ට පිස්සු."

"මාර්ක් කතා කළා ද ?"

"ඔව් සර් මම දැන් ටිකකට කලින් කතා කළා. තාම හරි හමන් විස්තරයක් නෑ. මරු වැඩේ කියන්නේ ලෙඩාව ගෙනාපුවම හොස්පිට්ල් එකේ ඇටෙන්ඩන්ට්ලා දිව්වලු බයවෙලා. ලෙඩාව ඇතුළට අරන් තියෙන්නේ අපේ කට්ටියත් එකතු වෙලාලු."

"නෑහ්.. උන් මාර ඇටෙන්ඩන්ට්ලා නේ..!"

"නෝල් දැන් කොහොම ද මේ යකාට එබෝලා තියනව ද නැද්ද කියලා චෙක් කර ගන්නේ.. ඔයා බැලුව ද හොයලා?"

"මම කොන්ටෙයාන්ස් වල තියන ඔක්කොම හොස්පිට්ල් වලට කතා කළා. කොහෙවත් නෑ.. සමහර එවුන් අහනවා මොකක් ද එබෝලා කියන්නේ කියලා." එවිටම වාගේ නෝල් ගේ ජංගම දුරකථනය නාද විය.

"ඔව් මාර්ක් කියන්න. මොකද තත්ත්වය?"

"නෝල් මිනිහට සිහිය ආව. ඩොක්ටර්ල ට්‍රීට්මන්ට් කරගෙන යනවා. ඇතුළෙ කාමරයක. කාටවත් යන්න දෙන්නැ.. මම දොරේ විදුරුවෙන් දැක්කේ, මිනිහා ඇස් ඇරලා ඔළුව හෙලෙව්වා."

"අප්පේ ඒකනම් සුබ ආරංචියක්.. මම හිතුවේ ඔය යකා මැරිලා ඇති කියලා. මාර්ක් ඒක නෙමේ දැන් පෝර්ට් එකෙන් කියනවා ඔය හොස්පිටල් එකෙන් ක්ලියරන්ස් එකක් ගන්නලු මෙයාට එබෝලා නෑ කියලා, එහෙම වුණොත් විතරයි ලු නැව බර්ත් කරන්න පුළුවන්. ඔයා ඔතන ලොකු ඩොක්ටර්ට කතා කරල බලනවා ද, මොනව ද කරන්න පුළුවන් කියලා?"

"හරි නෝල් මම බලලා ආයේ කෝල් කරන්නම්."

"මිනිහට සිහිය ඇවිල්ල ද?" නොයිවසිල්ලෙන් ඔවුන්ගේ කතාවට සවන් යොමා ගෙන සිටි සාමාන්‍යාධිකාරී වරයා ඇසුවේ නෝල් දුරකථනය විසන් දි කිරීමටත් පෙරය.

"ඔව් ඔව්. සිහිය ඇවිත් කියල මාර්ක් කියනවා."

"එහෙනම් ලොකු අමාරුවක් නැතිව ඇති නේද?"

"කියන්න බෑ, බලමු."

"හරි නෝල් ඔයා මට කියන්නකෝ වෙන්නේ මොනව ද කියලා. මම හාබර් මාස්ටර්ට කියන්නම් ලෙඩාට සිහිය ඇවිත් කියලා."

"හරි සර්, මම කියන්නම්" යි කියමින් කමරයෙන් පිටත් වීමට දොර හැරියා පමණි...නැවතත් නෝල් ගේ දුරකථනය නාද විය. ඒ මාර්ක් ය.

"ඔව් මාර්ක්, කියන්න."

"නෝල් මෙයාට එබෝලා නෑ.. තියෙන්නේ මැලේරියා." යි අනෙක් කෙළවරින් ඇසුණු වදන් මොහොතකට නෝල් විසින් අවිශ්වාස කෙළේය. විඳිමින් තිබූ මානසික පීඩාවක්, මෙලෙස එක් වරම සියයට සියයකින් අනිත් පැත්ත හැරී සැනසීමක් විඳීමේ භාග්‍ය වචනයෙන් විස්තර කළ නොහැකි, අත්දැක, ප්‍රත්‍යක්ෂයෙන්ම විඳිය යුතු දෙයකි. නෝල් පිට කළ සැනසුම් සුසුමෙහි වේගය වේරම්බ වාතයද පරදවනවා නො අනුමානය..

"නෑහ්...එක මාරයිනෙ.. ඒ ගොල්ලෝ චෙක් කරල ද? " නෝල් ඇසුවේ දොර අත හැර නැවතත් සාමාන්‍යාඩිකාරි වරයා දෙසට හැරෙමිනි.

"ඔව් මැලෙරියාවට කරණ ‍රැපිඩ් ටෙස්ට් එකක් තියනවලු, මේගොල්ලෝ සැකේට ඒකත් කරලා බලලා, වෙලාවට එක පොසිටිව්ලු. ඩොක්ටර් කිව්වා දැන් ක්ලියරන්ස් එකක් දෙන්නම් කියලා."

"හරි  මාර්ක්.. තැන්කියු වෙරි මච් මේ ආරංචියට. මේ දහ අතේ කල්පනා කර කර හිටියේ මොක ද කරන්නේ කියලා, හරි මම ආයෙ කෝල් කරන්නම්."

"පොරට මැලේරියා ලු." සාමාන්‍යාධිකාරීවරයාත් නෝල්ට නොදෙවෙනි සැනසුම් සුසුම් හෙළීය.

"එහෙනම් වැඩේ ගොඩනෙ. මම හාබර් මාස්ටර්ට මේ දැන්මම කෝල් කරලා කියන්නම්."

++++++

ජනශූන්‍ය වූ රෝහල් බරාධය තනි ඉරක් සේ සෘජුව, දිගට වැටී ඇත. ඉහළින් වූ උළු සෙවිලි කළ වහලය මැදින් බෙදී දෙපසට විහිදී තිබූ අතර බරාධය දෙපසින් සමාන දුරින් නැගී සිටි කණු මගින් එහි බර දරා සිටියේය. මේ රෝගීන් බලන වේලාවක් නොවූයෙන් ලොකු නිහැඩියාවකින් හාත්පස වෙලී තිබුණි. එය බිඳ දැමුණේ කඩිමුඩියේ එකෙල මෙකෙල සක්මන් කෙරූ රෝහල් කාර්යය මණ්ඩලයේ කෙනෙකුගෙන් පමණි. ප්‍රදේශයේම වූ නිහඬ බව බිඳිමින් බර බර අනුකරණයෙන් බරාධය දිගේ රෝහල් සේවකයෙකු විසින් තල්ලු කරගෙන ගිය ට්‍රොලියෙහි ශබ්දය වියැකී යාමත් සමඟම මතුව ආයේ එකම රිද්මයකට ටකොස් ටොකොස් අනුකරණයෙන් බරාදයේ නිහඬ බව බිඳිමින් සපත්තු ගැටෙනා හඬකි. එම හඬ නැගී එන්නේ සපත්තු හතරකින් බව පැවසීමට එතරම් උගහට නොවුණි. ඒ, විශේෂ අවසරයක් මත සිය රෝගියා බැලීමට ගමන් කරනා නෝල් සහ මාර්ක්ය.

"මාර්ක් කොහෙද මිනිහා ඉන්නේ?" යි නෝල් ඇසුවේ බරාධය දිගෙහි සෑහෙන දුරක් ගමන් කිරීමෙන් පසුවත් රෝගියා නතර කොට සිටින විශේෂ ප්‍රතිකාර ඒකකය වෙත නොපිවිසීමෙන් ඇතිවූ කුහුල නිසාය.

"ඔය ඉස්සරහින් දකුණට හැරිලා ගියාම කෙළවරේ තමා ICU එක තියෙන්නේ නෝල්. තව ටික දුරයි."

"පොර උදේ හොඳට හිටිය ද?"

"අපෝ ඔව්, නැගිටලා හිටියේ. කෑමත් කෑවා කියලා මට නර්ස් කිව්වා."

තවත් සුළු මොහොතක ගමනකින් පසු ඔවුන් දෙදෙනා විශේෂ ප්‍රතිකාර ඒකකය වෙත ළඟා වූහ. එයට පිටස්තරයන් හට ඇතුළු වීමට ඉඩ නොදුන් බැවින් සවිකර තිබූ වීදුරු කවුළු මගින් රෝගියා නැරඹීමට ඔවුනට සිදු වුහ. නෝල්ගේ ඉමහත් චිත්තප්‍රීතියට හේතුවන පරිදි ඉම්රාන් සුව වෙමින් සිටියේය. ඉම්රාන් හට බෙහෙත් වගයක් පානය කිරීමට දුන් හෙදියක් ඔහුගේ රුධිර නියැදියක් ලබාගනිමින් සිටියාය. 

"හම්මේ ඔයින් ගියා මදැයි, මම හිතුවේ ඩෙඩ් බොඩියක් හැන්ඩ්ල් කරන්න වෙයි කියලා." යි කියමින් නෝල් විසින් ලය සැහැල්ලු කෙරෙණ විශාල සුසුමක් පිට කෙළේය. මාර්ක් මද සිනහවකින් එය අනුමත කෙළේය.

"නෝල් අපි ගිහින් හෙඩ් නර්ස්ව හම්බෙමු ද? ඒගොල්ලො ඊයේ ලොකු සේවයක් කළා. තෑන්ක්ස් කර්ලවත් එමු." 

ඔවුන්ගේ ආපසු ගමන අතරතුර රෝගියා භාරව කටයුතු කරණ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා වූ ඇන්ඩෲ වොට්සන් බරාධයේදී හමු විය.

"නෝල් මේ තමා ඩොක්ටර් ඇන්ඩෲ මෙයා තමා අපේ පේෂන්ට්ව භාරව ඉන්නේ. ඩොක්ටර්, මේ නෝල්, අපේ ඔපරේෂන් මැනේජර්" යනුවෙන් මාර්ක් ඔවුන් දෙදෙනා එකිනෙකාට හඳුන්වා දුන්නේය.

"Hello doctor, nice to meet you."

"හෙලෝ..පේෂන්ට්ව බලන්න ආවද?"

"ඔව් ඩොක්ටර්. කොහොමද දැන් ලෙඩාට."

"Not to worry, he is out of danger now."

"Thanks doctor."

"අපි මැලේරියා කැම්පේන් එකට ඉන්ෆොර්ම් කරලා තියෙන්නේ. ඒ ගොල්ලො තමා ඔක්කොම ප්‍රතිකාර කරන්නේ." නෝල් එහෙම ද යන්න හැඟවීම සඳහා හිස ඉහළ පහළ යවමින් සිටියේ මුවෙහි ඇඳුණු මද සිනාවක් ද සමඟිනි.

"ඩොක්ටර්, අපිට හෙඩ් ඔ‍ෆිස් වලින් ඉන්ස්ට්‍රක්ට් කරලා තියනවා පේෂන්ටව ප්‍රයිවට් හොස්පිටල් එකකට මාරු කරන්න කියලා. අපිට එහෙම කරන්න පුළුවන් ද?"

"ඒක ඉතින් ඕගොල්ලන්ගේ කැමැත්තක්. මෙතනත් ඉතින් අවශ්‍යය කරණ ඔක්කොම ප්‍රතිකාර කෙරෙනවා. අනිත් එක මෙයා කොහෙ හිටියත් මැලේරියා කැම්පේන් එකේ අධීක්ෂණය යටතේ ඉන්න ඕනා. ඒගොල්ලො තමා ප්‍රතිකාර කරන්නේ."

"හරි ඩොක්ටර් තේරුණා. ඩොක්ටර්ගේ භාරයේම අපිට මෙයාව ප්‍රයිවට් හොස්පිටල් එකකට ට්‍රාන්ස්වර් කරන්න පුළුවන් වෙයිද? ඩොක්ටර් යන හොස්පිට්ල් එකක් තියේ ද?"

"ඔව් බැරි කමක් නෑ. මම කොන්ටෙයාන්ස් හොස්පිටල් එක විසිට් කරනවා. ඕගොල්ලො කැමතිනම් එතෙනට යවන්න. හැබැයි මතක ඇතිව මැලේරියා කැම්පේන් එක දැනුවත් කරන්න. මම ලියුමක් දෙන්නම්."

"Thank you very much doctor, i'll see you later." යි කියමින් වෛද්‍යවරයාට අතට අත දුන් නෝල්, මාර්ක් සමඟින් වෛද්‍යවරයාගෙන් සමුගත්හ.

+++++

" ක්‍රිස්ටීන්..කොහොම ද ඊයේ මෙයාගෙ දිවිල්ල ?" යි ප්‍රධාන හෙදිය සිය සහයිකාවට පැවසුවේ අසල සිටි සාත්තු සේවක මයිකල් ඇස්ටන්ව ඉහළට එසවූ ඇහි බඹ මගින් පෙන්වමිනි. ඈන් නිකල්සන් නම් වූ මෙම තරබාරු ප්‍රධාන හෙදිය හාස්‍ය ප්‍රිය කළ, අසල සිටින් කොයි කවුරුත් සිය උපහාසයන්ට ගොදුරු කරගන්නා ප්‍රිය මනාප තැනැත්තියකි.

"ආහ් ඔව් මාත් බලාගෙන හිටියේ.. ඇම්බ්‍යුලන්ස් එක ගේට්‍ටුවෙන් ඇතුළට එනකොටම පනකඩාගෙන දුවපු දිවිල්ල.." ක්‍රිස්ටීන්ගෙන් ද ලුණු ඇඹුල් එකතු විය.

"පිස්සු ද !? මම කොහෙ ද දිව්වේ ? මම ට්‍රොලිය අරන් එන්න ගියේ."

"ආ... මේන් මෙයා ට්‍රොලිය අරන් එන්නලු ගියේ ක්‍රිස්ටීන්... හෙහ් හෙහ් අනේ ඉතින් අපිටනේ කියන්නේ. ඔන්න ඔය ෆයිල් එක මෙහාට දාන්න."

"ඇත්තටම කවුද කිව්වේ එයාට එබෝලා කියලා ?" ක්‍රිස්ටීන් ඇසුවේ ප්‍රධාන හෙදියගෙනි.

"කියන්න දන්නෑ.. හැබැයි කොහෙන් හරි ඔය ආරංචිය ලෙඩාව මෙහෙට ගේන්න කලින් ඇවිත් තිබුණා. ඒක තමයි මෙයා බෙන් ජොන්සන් වගේ දිව්වේ." යි කියමින් ඈන් නිකල්සන් සිය තරබාරු සිරුරම සොලවමින් සිනාසුණාය. ඇයත් සමඟ අනෙක් දෙදෙනාම සිනාසුණහ. සැබවින්ම ඔවුන් විසින් ඔවුන්ටම සිනා සෙමින් සිටියහ.

"ලෙඩාට දැන් කොහොම ද ක්‍රිස්ටීන්.. ඔයා බ්ලඩ් ටෙස්ට් එක කළා ද ?"

"ආ ඔය ඉන්නේ යස අපූරුවට. මාර බඩගිනි කාරයෙක්.. කෑම ඉල්ල ඉල්ල කෑවා. මම හිතන්නේ දවස් ගාණක් බඩගින්නේ ඉඳලද කොහෙද?"

"මැලේරියා කැම්පේන් එකෙන් ආවද අද උදේ?"

"ඔව් ඇවිත් බලලා දෙන්න ඕනා බේත් ඔක්කොම දිලා ගියේ. දවල්ට ආයෙ එනවා කිව්වා. ඒගොල්ලට නොකියා ලෙඩාව ඩිස්චාර්ජ් කරන්න එපා කිව්වා."

මෙවිටම වාගේ ඔවුන් සිටි කාමරයෙහි දොරට තට්‍ටු කරණ හඬ ඇසුණෙන් ඈන් හිස් ඔසවා දෝරෙහි වීදුරුව දෙස බලන්නී ඊයේ රෝගියා සමඟ පැමිණි හුරු පුරුදු මුහුණක් දු‍ටුවාය.

"ආහ් මේ අර ඊයේ ලෙඩාව ඇඩ්මිට් කරපු මහත්තයා නේද! මයිකල් ඔය දොර අරින්න." මයිකල් වීසින් විවර කළ දොරෙන් මාර්ක් ද ඔහු පසු පසින් නෝල් ද හෙදියන්ගේ කාර්යාලයට ඇතුළු වූහ.

"සිස්ටර් මේ නෝල් අපේ ඔපරේෂන් මැනේජර්. අපි අර පේෂන්ට්ව බලන්න ආවා."

"හෙලෝ මිස්ටර් නෝල්, හමුවීම සතුටක්. වාඩිවෙන්න" යි ඈන් සිය ප්‍රියමනාප සිනහව දක්වමින් නෝල්ට පු‍ටුවක් දැක්වුවාය."

"ඉතින්.. දැන්නම් ඕගොල්ලන්ගෙ ලෙඩාට ගොඩක් හොඳයි.. මෙහාට ගෙනාවෙනම් මළ කඳක්..."

"ඔව් සිස්ටර් ඕගොල්ලො නිසි වෙලාවට දීපු ප්‍රතිකාරවලට පින්සිද්ද වෙන්න, මසුස්සයා දැන් හොඳින්. අපි මේ විශේෂයෙන් ආවේත් කරපු සේවයට ස්තූති කරලා යන්න."

"ස්තූති අනවශ්‍යයි මිස්ටර් නෝල්. ඒක අපේ රාජකාරිය. " නෝල් හිස ඉහළ පහළ යවමින් මදහසක් නැගීය.

"මිස්ටර් නෝල්ට මේ මහත්මයා විස්තරේ කියන්න ඇති නේද ? ආ මේන් මෙයා තමා ඊයේ ලෙඩාව ගෙනකොට පැනලා දිව්වේ" යි නැවතත් මයිකල්ව සිය සරදමට හසුකරගත්තාය. මයිකල් සිටියේ නෝල්ට පි‍ටුපසින් බැවින් ඔහු දෙස බැලීමට නෝල හට ඇඟද සමඟින් අංශක අනූවක් හිස හරවා බැලීමට සිදු විය. මයිකල් දෙස බැලූ නෝල් මද සිනහවකින් ඔහුට සංග්‍රහ කෙළේය.

"අර ඕගොල්ලන්ගේ ඩ්‍රයිවර්ටත් ඇඳුම අන්දවලා තමා අන්තිම්ට අපි ලෙඩාව උඩට ගත්තේ. මෙහෙ ලිෆ්ට් එකකුත් නැනේ. හරි අමාරු වුණා එයාව එතනට ගන්න. එක අතකින් අපිට මෙයාලට දොස් කියන්න බෑ නෝල්. අපි ඇත්තටම ඒ වගේ වසංගත රෝගයක් හැන්ඩ්ල් කරන්න සූදානම් නෑ. අපිට ප්‍රමාණවත් පහසුකම් නෑ එහෙම දේකට. ඔයා දන්නවද වාසනාවකට මේ මනුස්සයට තියෙන්නේ මැලේරියාව. නිකන් හරි එබෝලා තිබුනනම් මෙයාව නැවෙන් බාපු තැන ඉඳන් මෙතෙනට ගේනකම් සම්බන්ධ වෙච්ච හැම කෙනෙකුටම වගේ මේ ලේඩේ බෝවෙන්න ඉඩ තියනවා."

"හැබැයි පොර්ට් හෙල්ත් එකේ ඩොක්ටර් නැවට ගිහින් බලලා තමා සිස්ටර් මෙයාව ගොඩබාන්න තිරණය කළේ. එයාට තේරෙන්න ඇතිනෙ මෙයාට එබෝලා නෑ කියලා. මම කතාකරපුවමත් එයා කිව්වේ මෙයාට එබෝලා නෑ කියලා."

"ඔව් එහෙම වෙන්න පුළුවන්. නෑ, මම කිව්වේ අපි තාම මේ වගේ දේකට සූදානම් නෑ කියලා."

"මට තේරෙනවා සිස්ටර්.."

"ඉතින් දැන් ඕගොල්ලො මොනවා කරන්න ද කල්පනාව. ඩොක්ටර් ඇන්ඩෘව හම්බුනා ද? මම හිතන්නේ තව උපරිම සතියකින් විතර මෙයාව අපිට යවන්න පුළුවන් වෙයි. මැලේරියා කැම්පේන් එකෙන් තමා පේෂන්ට්ව බලන්නේ දැන්, ඕගොල්ලන්ට ඒ ගොල්ලො එක්ක ටච් එකේ ඉන්න වෙයි."

"ඔව් අපි දැන් ඩොක්ටර් ඇන්ඩෘව හම්බුනා. අපිට හෙඩ් ඔ‍ෆිස් එකෙන් කියලා තියනවා ලෙඩාව ප්‍රයිවට් හොස්පිටල් එකකට මාරු කරන්න කියලා."

"ඒකනම් ඕගොල්ලන්ගෙ කැමැත්ටක් නෝල්. අපිට ගැටලුවක් නෑ. මැලේරියා කැම්පෙන් එක දැනුවත් කරලා කරණ දෙයක් කරන්න. අපිත් මෙහෙන් දැනුම් දෙනවා."

"හරි සිස්ටර්, අපි එහෙම කරන්නම්. ඒක නෙමේ දැන් මෙයා ෆොරිනර් කෙනෙක් නේ. මොකක් හරි චාර්ජ් එකක් තියනව ද අපි හොස්පිටල් එකට ගෙවන්න ඕනා?"

"ඒකනම් චෙක් කරලා බලන්න ඕනා නෝල්. සාමාන්‍යෙන් මෙහෙ මුදල් අය කරන්නේ නෑ. හැබැයි ඒ කොන්ටෙයාන්ස් අයට. ෆොරිනර්ස්ල්ට් කොහොමද කියලා චෙක් කරන්න වෙනවා."

"හරි සිස්ටර් බලලා කියන්නකෝ. මුදල් අය කරන්නේ නැත්නම් අපිට පුළුවන් කතා කරලා ඒ වෙනුවට වෙනත් ආධාරයක් රෝහලට කරන්න."

"ඔව් ඒකනම් හොඳයි. මෙයාට අපි ඊයේ ගෙනාපු ගමන් දුන්න ඉන්ජෙක්ෂන් එක ටිකක් ගණන් එකක්. එහෙම වුණොත් ඒ බෙහෙත් ටික හරි අරගෙන දෙන්න." 

"ආ ඔව් මට ඒ වෙලේ ඩියුටි හිටපු පොඩි ඩොක්ටත් කිව්වා මොකක් ද ඉන්ජෙක්ෂන් එකක් දීපු කතාවක්" යි මාර්ක් හෙදියගේ කතාව අනුමත කරමින් සිය නිහඬ බව බින්දේය."

"හරි සිස්ටර්, ඒක ප්‍රශ්නයක් නෑ. අපිට කියන්නකො මොනාද වෙන්න ඕනා කියලා. අපි ගිහින් එන්නම් සිස්ටර් එහෙනම්.. බොහෝම ස්තුතියි ඊයේ කරපු හැම දේකටම."

"ඒක සුළු දෙයක් දරුවෝ. ස්තූති කරන්න දෙයක් නෙමේ. ඒක අපේ රාජකාරිය. කවුරු වෙනුවෙනුත් අපි උපරිමය කරනවා හැම වෙලේම."



+++++


රෝහලෙන් නික්මී නැවතත් කාර්යාලය බලා එන ගමනේදි නෝල් කපිතාන් ජෝන් ක්ලේටන් වෙතින් මුල්ම පණිවිඩය ලැබීමේ සිට මේ දක්වා සිදුවූ සිද්ධි දාමය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගෙන විශ්ලේෂණය කරමින් සිටියේය. වෛද්‍ය ඉමෝර්ටලියන් ගේ සිට සිස්ටර් ඈන් නිකල්සන් දක්වා මේ නාටකයේ විවිධ චරිත නිරූපණයන් හී යෙදුණ නළු නිළියන්ගේ ස්වභාවයන් ඔහුගේ විශ්ලේෂණයට හසු විය. මුදල් උදෙසා ඕනෑම පහත් ක්‍රියාවක් කිරීමට පෙලබෙන, වංචාවෙන් දූෂණයෙන් අපවිත්‍ර වී ඇති කොන්ටෙයාන්ස් ජනසාමජය තුළ වෛද්‍ය ඉමෝර්ටලියන් වැන්නන් පුදුමයට කාරණයක් නොවුනද සිස්ටර් ඈන් නිකල්සන් වැන්ණියන් අවිවාදයෙන් විමතිය දනවන සුළුය. දූෂණයට, වංචාවට නැඹුරු වූ බහුතරය විසින් ඇති කරවනු ලබන ජුගුප්සාව යම් පමණකින් හෝ පහකර ගැනීමට සිස්ටර් නිකල්සන් වැනි අයගෙන් සමාජයට ලැබෙන පි‍ටුබලය අති මහත්ය.

අතීරණයෙන් අත්මිදීමේ සතුට නෝල්ගේ සිතෙහි රජ කරවීය. කුමක් සිදුවන්නේ දැයි නොදැන අවිනිශ්චිතව බලාසිටීමට වීමේ පීඩනය ස්නායු හිරිවට්ටන්නකි. එයින් මිදිමේ ප්‍රීතිය වචනයෙන් විස්තර කළ නොහේ යැයි නෝල් ගේ විශ්වාසයයි. ඉම්රාන් සුවය ලබනු ඇත. ඒ සඳහා කළ හැකි සියල්ල සිදු කොට ඔහුව සිය රට බලා කඩිනමින් යැවීමට අවැසි ඊළඟ පියවරයන් පිළිබඳව නෝල් සිත මෙහෙයවමින් සිටී.

කල්පනා ලෝකයෙන් නෝල්ව පියවි ලෝකයට ඇද දමමින් ඔහුගේ ජංගම දුරකථනය නාද වන්නට විය.

"හෙලෝ නෝල්.. මම ඩොක්ටර් ඉමෝර්ටලියන්.. ඔයා කොහෙද ඉන්නෙ? කතා කරන්න පුළුවන් ද?"

"හෙලෝ ඩොක්ටර්.. මම අර ලෙඩාව බලන්න හොස්පිට්ල් එකට ගිහින් එන ගමන්. ඔව් කියන්න. කතාකරන්න පුළුවන්."

"කොහොමද දැන් ලෙඩාට?"

"හොඳටම හොඳයි ඩොක්ටර්. මිනිහා අද උදේට කෑමත් කෑවලු හොඳට. ට්‍රීට්මන්ට් කෙරීගෙන යනවා."

"අහන්නත් සතු‍ටුයි නෝල්. මිනිහව අපි ගෙනාපු හැටියට මම හිතුවේ නෑ ජීවත් වෙයි කියලා. එහෙම් පිටින්ම මළ කදක්නේ අපි ගොඩ බෑවේ."

"ඒක ඇත්ත ඩොක්ටර්. ඇත්තටම ලොකු පිනක් කරගත්තේ ඩොක්ටර්. එවෙලේ ගිහින් මිනිහව නොගෙනාවනම් එයා මැරෙන්න වුණත් ඉඩ තිබුණා නේද?"

"අනිවාර්යයෙන් නෝල්, අනිවර්යයෙන්. එයා අන්තිම අවස්ථාවේ හිටියේ. නෝල් දන්නවද අපිට කොච්චර අමාරු වුණාද කියලා එයාව ගේන්න. ඇත්තටම මේවා අපි කරන්න ඕනා වැඩ නෙමේ. අපිට කිසිම ප්‍රතිපාදනයක් දීලා නෑ මේ වගේ වැඩ කරන්න." මෙය පැහැදිලිවම මුසාවක් බව නෝල්ට නොරහසකි. මෙවන් වූ අවස්ථාවක වරාය වෛද්‍යවරයා අදාළ නෞකාවට ගොස් පරික්ෂාකර බලා අනුමැතිය දුන් පසු පමණක් නෞකාව වරායට පිවිසීමට හෝ රෝගියා ගොඩ බෑමට ඉඩ ලැබෙන පරිදි විධිවිධාන සකසා ඇති බව නෝල් දනී. නමුත් තමා සිය රාජකාරියට අමතර දෙයක් කළේයැයි හුවා දැක්වීම උදෙසා වෛද්‍යවරයා මෙසේ පවසන බව සිය අත්දැකීම් තුළින් අවබෝධකර ගැනීමට නෝල්ට හැකිය. එබැවින් ඔහු වෛද්‍යවරයාගේ කතාවට බාධ නොකර හූ මිටි පමණක් තැබුවේය.

"මම ඉස්සෙල්ලම නැවට ගිහින් කැප්ටන්ව හම්බෙලා ලෙඩා ළඟට ගියා. බලපු ගමන් මට තේරුණා මෙයාට එබෝල නෑ කියලා. ඒකයි මම මිනිහව ගොඩට ගේන්න තීරණය කළේ. ලෙඩාව ස්ට්‍රෙචර් එකට අරන්, ගැට ගහලා හිමීට නැවෙන් බෝට්‍ටුවට බෑවේ. නැවයි බෝට්‍ටුවයි දෙකම පැද්දෙනවා. හරිම ඩේන්ජරස්, පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් ලෙඩාව ස්ට්‍රෙචර් එකත් එක්කම මුහුදට වැටෙන්න වුණත් තිබුණා. බෝට්‍ටුවට ගත්තට පස්සේ, ඇතුළට ගන්න සෑහෙන දගලන්න වුණා. අපරාදෙ කියනන් බෑ, බෝට් එකේ කොල්ලො ටිකත් තමන්ගේ ජීවිතේට තියන තර්ජනේ ගැනවත් නොබලා හරි හරියට මහන්සි වුණා."

"එච්චර දගලලා අපි ලෙඩාව අරන් එනකොට, මෙහෙ ඉන්න අයට ඇම්බ්‍යුලන්ස් එක දෙන්න බෑ. නෝල් කතා කරලා මට කිව්වට පස්සෙ මම ඒ ගොල්ලන්ට කතා කරලා සහතිකයක් දෙන්න වුණා මෙයාට එබෝලා නෑ කියලා. ඊට පස්සෙ මම ඩොක්ටර් ඇන්ඩෘට කතා කරලා කිව්වා මෙහෙම ලෙඩෙක් එනවා, මෙයාට එබෝලා ලක්ෂණ මුකුත් නෑ. මට සැකයි මැලේරියාද කියලා. මැලේරියා ‍රැපිඩ් ටෙස්ට් එක කරලා බලන්න කියලා."

"ඔව් ඒ වෙලේ ඩොක්ටර් කතා නොකළානම් ඒ ගොල්ලෝ කීයටවත් ඇම්බ්‍යුලන්ස් එක දෙන්නේ නෑ."

"ප්‍රශ්නයක් නෑ නෝල්. කෙරෙන්න ඕනා වැඩ ටික කෙරිලා මිනිහගෙ ජීවිතේ බේරුණානෙ. ඒකම මදැයි."

"ඒක්නම් ඇත්ත ඩොක්ටර්."

"නෝල් අද එනවද මේ පැත්තේ?"

"ම්ම්ම්ම් පොඩ්ඩක් බිසි ඩොක්ටර් මේ වැඩ හින්දා. මම බලන්නම් එන්න."

"හරි කමක් නෑ, එනකොට මට කෝල් එකක් දෙන්නකො. මම ඔ‍ෆිස් එකට එන්නම් එතකොට."

"හරි ඩොක්ටර්. මම කෝල් කරන්නම්."

"රයිට් නෝල් එහෙනම් මම තියනවා. බායි."

"බායි ඩොක්ටර්."

"කවුද? ඩොක්ටර් ඉමෝර්ටලියන් ද?" යි මෙතෙක් වේලා කතාවට සවන් දෙමින් සිටි මාර්ක් විමසීය.

"ඔව් ඔව්.. හෙහ් හෙහ් ඒ පැත්තේ එනව ද අහනවා."

"දොළ පිදේනිය ගන්න වෙන්න ඇති. උන්ගෙ රාජකාරියට අපි සල්ලි ගෙවන්නත් ඕනා. ජරා සත්තු."

"ඒ වෙලේ ඔය යකාට එහෙම පොරොන්දු නොවුනනම් කීයටවත් යන්නෙ නෑ. එහෙම වුනානම් අර මනුස්සයා නැවේම මැරෙනවා."

                                                  එබෝලා රෝගියා | අට වන කොටස - සාකච්ඡා................

ලියුවේ;
සෙන්නා / 01.05.2017


රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog