Sunday, December 16, 2012

ලෝකය සරලව ළමයකුගේ ඇසින්



2012 උඳුවප්  16 වනදා

ද වැඩිය කියවන්ඩ නෑ.. පින්තූර විතරයි. කම්මැලි පෝස්ට්...ළමයෙක් ලෝකය දකින්නෙ කොහොමද කියලා බලන්ඩකො.

සමහර ඒවානම් වටහා ගන්න අමාරුයි. ළමා මනස කියවීමේ විශේෂඥයො ඉන්නවනම් දෙන්න පුළුවන් ඒවා ගැන විශ්ලේෂණ හෝ විචාර.

වැඩි කතා මොකටද.. ඔහොම්ම යමු පල්ලෙහෑට...


1. කඩල-පළතුරු...

2. මල හා ළමයා...

3. දෙන්න බලන්න විශ්ලේෂණයක්... 

4. අල්ල භාවිතයෙන් ඇඳපු කුරුල්ලෙක්. පෙර පාසලෙන් උගත් දෙයක්.. 

5. උදය
6. සත්තු වත්ත
7. අපට උදව් කරන්නෝ
7. අපට උදව් කරන්නෝ
8. පියුම් මාමා
9. අල්ල භාවිතයෙන් ඇඳපු මාළුවෙක්...උගත්තේ පෙර පාසලෙන්
10. කොළ වගයක් වගේ...



11. මේකත් හිතා ගන්න අමාරුයි.. | ප.ලි. බස් එකේ ඉස්කෝලෙ යනවා කියලා සිත්තරා කියනවා.
12. මේකත් පෙර පාසලෙන් උගත් දෙයක්.. තේරුම් ගන්න අමාරුයි.
13. මේකත් එහෙමයි
14. මේකත් එහෙමයි | ප.ලි. මේ "පලතුරු"ලු මම චිත්‍රෙ අනිත් පැත්තට දාලා තියෙන්නෙ හෙහ්..
15. මෙයාව දන්නවද ? මකුළු පැංචා.. කොහොමද හිනාව 
16. මෙයානම් කැරපොත්තෙක් වගේ.. | ප.ලි.  මෙයා මාලුවෙක් කියලා සිත්තරා කියනවා. මෝරෙක්ලු
17. මේකත් මොකක් හරි දර්ශනයක්. තේරුම් ගන්න අමාරුයි.


18. කැලයක් වගේ..


19. ගොවියා. ඔය දුඹුරු පාට එක මොකක් කියලද හිතන්නෙ ?

20. මකුළුවා සමඟ දිවියා

21. හරකා
22. කුකුළා ගස් උඩ. මෙයාව හොඳයි " සැවුලෙකුගේ විලාපය " චිත්‍රයට
23. මොකක් වෙන්න පුළුවන්ද ?
24. මේකත් ගැටළුවක්..
25. පළතුරුද ?

26. මේකත් අභිරහසක්.. | ප.ලි.  මේක මල් වත්තක්ලු
27. සත්තු. උඩින්ම ඉන්න එකානම් වල් ඌරෙක් වගේ..
28. කුරුල්ලෝ..

29. කුරුළු කූඩුවක්ද ?  Nest කියලනම් ලියලා තියනවා..
30. රොබෝ කෙනෙක්..

31. සල් මල් යාය

32. ඉර හඳ එකවර දෙපස නැගේ..
33. දුම්රියක්..

34. විලක් වගේ...

35. බැටළුවන්ගෙ ලොම් කපන්නෙ මෙහෙමයි.. 

36. ඩයිනෝසිරස් මහතා | ප.ලි.  මේක සිත්තරා පාට කරලා විතරයි.

37. මලක් වගේ..


38. ආශ්චර්යයෙන් පසු...


39. මේකත් අභිරහසක්. පුළුවන් අය විසදන්න..


40. දොරක් තියන කළු ගලක්ද මන්දා.. | ප.ලි. මේක කන්දක්ලු
41. මාළු ටැංකිය

මේ ඉන්නෙ සිත්තරා...............








"පොඩි සෙන්නා"

බ්ලොග් ලියන, කියවන නැන්දා, මාමලා හිතුන දෙයක් කියලා යන්ඩකො. සිත්තරා ලියන්ඩ පුරුදු වෙච්ච දවසක පිළිතුරු හම්බෙයි..

~~ සෙන්නා / 16.12.2012

Monday, December 3, 2012

මේ ස්තූතිය නුඹලාටයි !

2012 උඳුවප් මස 03 වනදා

-----------------------------------------------------------

ආයුබෝවන් !!!

උඳුවප් 03, 2011

අද තුන.

තුන් වෙනිදා කියන්නෙ, අපේ ජීවිත වල විශේෂ සිදුවීම් වෙච්ච දවසක්. ඒ අතරිනුත් උඳුවප් තුන විශේෂයි, මොකද අද අපේ විවාහ සංවත්සරය. හය.

ඉතින් ඒ විශේෂ දවසෙම, මට හිතුනා මගේ බ්ලොග් එකත් පටන් ගත්තොත් හොඳයි, කියලා. මේක තමයි, මෙදා සැරේ බිරිඳට ලැබෙන තෑග්ග. හොඳයි නේද.

පටන් ගත්තේ නම්, හැමෝම කරනවා දැකලා මිසක්, කිසිම අරමුණක් ඇතුව නෙමේ. සමහර විට මේකත් තවත් එක FM නාලිකාවක් වගේ වෙන්ඩ පුළුවන්.

දැනට අදහසක් නැහැ අඩු ගානෙ මොනවගේ දේවල්ද ලිවිය යුත්තේවත් කියලා.....

බලමු,

------------------------------------------------------------------------------------
කුරුන්දත් එක්ක මුල ඉඳලම හිටපු අයටනම් ඔය උඩ තියන අකුරු ටිකේ අමුත්තක් නැතුව ඇති. අනිත් අයත් සමහරු සමහර විට ඕක කියවලා ඇති කියලා හිතනවා. ඕක තමා කුරුන්දෙ ආරම්භක සටහන. ඔය සටහන තියද්දිනම් මෙච්චර දුර එන්න, අඩුම ගානෙ අව්රුද්දක් දුර එන්නවත් පුළුවන් වෙයි කියන අදහසක්වත් තිබුණෙ නෑ. ඇත්තම කිව්වොත් කොච්චර දුර යන්න පුළුවන් වෙයිද කියලා මම හිතුවෙ නෑ. ඕනැම දෙයක් සාර්ථක වෙන්නනම් පටන් ගන්න ඕනා කියලා තදින්ම විශ්වාස කරන මම කරපු තවත් ඒ ජාතියෙ පටන් ගැනීමක් තමා මේ. විවාහයෙ හත්වෙනි සංවත්සරය බ්ලොග් එකේ පළමු සංවත්සරය වුණේ ඔහොම තමා.


ඕක ලියලා දවසක් වගේ යනකොට කමෙන්ට් එකක් ලබන්න තරම් මම වාසනාවන්ත වුණා කිව්වොත් නිවැරදියි. ඒ හසිතගෙන්. හසිත කොහොම හොයා ගත්තද කියන එකනම් මට අදටත් ගැටලුවක්. මොකද ඒ වෙනකොට මම සින්ඩි ගැන එහෙම අහලවත් තිබුණෙ නෑ.

ඊට පස්සෙ බ්ලොග් ලෝකයේ නිහතමානී දැවැන්තයා, සඳරුගෙන් කමෙන්ට් එකක් වැටෙනවා කියන්නෙ අලුතෙන්ම බ්ලොග් එකක් පටන් ගත්තු එකෙක්ට ඉහේ මලක් පිපෙන වැඩක් නොවේද ?

සෙන්නාගේ බ්ලොග් ආගමනය:

සෙන්නා කියන්නෙ 2011 මැදක් විතර වෙනකම්ම ඔය එක එක ගොසිප් සයිට් වල රස්තියාදු වෙවී හිටපු එකෙක්. ඒ දවස් වල බ්ලොග් කියලා දෙයක් තියනවද කියලවත් දන්නෙ නෑ. යාන්තම් වගේ අහලා තිබුණත් මොන වගේ ජාතියක්ද කියලා අවබෝධයක්වත් තිබුණෙ නෑ.

දවසක්.. ඒ කියන්නෙ 2011 ජූනි හරි, ජූලි හරි වෙන්න ඕනා හරියට මතක නෑ, අහම්බෙන් වගේ සත්සමුදුර ලියන දිනේෂ් දීපාල් ලංකා සී නිව්ස් එකේ දාලා තිබුණ ලින්ක් එකක ක්ලික් කෙරුවා. අන්න එදා තමයි මුලින්ම සෙන්නා බ්ලොග් ලෝකෙට කඩන් පාත් වුණේ. අනේ ඒත් ඉතින් තාම දන්නෙ නෑ මොකක්ද මේ කියලා. මම හිතන් හිටියෙ සත් සමුදුර කියන්නෙත් තවත් වෙබ් සයිට් එකක්ම තමා කියලා. හැබැයි සත් සමුදුරේ අන්තර්ගතය මාව ඒක්ශනයෙන් ඇද බැද ගත්තා. දෙපාරක් නොහිතාම බුක් මාක් කරගත්තා.

" මචන් මරු වෙබ් සයිට් එකක් තියනවා සත් සමුදුර කියලා, පොඩ්ඩක් ගිහින් බලපන් " කියලා කාමරේ අල්ලපු ඇඳේ හිටපු සගයටත් කියන්න තරම් මම ඒකට ආශක්ත වුණා. මම විතරක් නෙමේ ඊට පස්සෙ ඌත් ඒක දිගටම කියෙව්වා.

ඔන්න ඉතින් දැන් දෙයියනේ කියලා සත් සමුදුර කියෝගන ඉන්නවා. කමෙන්ට් එහෙමත් දානවා. වැඩේ නැගලා යනවා. ඔහොම ටික දවසක් ගියාම තමා මට තේරුණෙ " යකෝ මේකෙ අනිත් කමෙන්ට් කරන උන්ගෙ නම හරි අමුතුයිනෙ ! උන්ගෙ නමේ ක්ලික් කරන්නත් පුළුවන්නෙ !, උන්ට පින්තූරත් තියනවනෙ ! " කියලා. ඇයි මගෙ නමේ ක්ලික් කරන්න බැරි කියන එක මට හරි ගැටලුවක්. හඃ බලමුකො කියලා දවසක් නිකමට වගේ ක්ලික් කළා වෙන කමෙන්ට් එකක් දාපු කෙනෙක්ගෙ නමක. ඒ තමයි "බින්දි" කියලා නෙළුම් මලක රූපයක් එහෙම දාගන හිටපු කෙනා.

හම්මට සිරි මෙන්න ආවෙ නැද්ද වෙබ් සයිට් ලයිස්තුවක්ම. මම හිතුවෙ මේ ඔක්කොම එයා ලියන ඒවා කියලා. ඔන්න ඔතනදි තමා මට තේරුණෙ බ්ලොග් කියලා අමුතුම ජාතියක් තියනවාය, ඒක අමුතුම ලෝකයක්ය කියන එක. ටිකක් වෙලා බින්දිගෙ ප්‍රොෆයිල් එක ස්ටඩි කළාම මට තේරුණා මේ ඔක්කොම මෙයා ලියන ඒවා නෙමේ, මෙයා ලියන්නෙ My Blogs කියලා තියන ටික විතරයි කියලා. නෙළුම් විලට ගොඩ වුණේ ඔහොම තමා. බින්දි ලියන විදිහට සහ ඒකෙ ගිය අපූරු සංවාද හින්දා ඒකත් මට නැගලා ගිය බ්ලොග් සයිට් එකක් වුණා. සිං ගාලා ඇඩ් කළා බුක් මාක් එකට.

දැන් සෙන්නා බ්ලොග් සයිට් දෙකක් කියවන පොරක්. කාලයක්ම ඔය සයිට් දෙක විතරක්ම කියෙව්වා. ඔහොම ඉන්න අතරෙ මටත් හිතුණා මාත් හදා ගන්න ඕනා කියලා ප්‍රොෆයිල් එකක්.. රූපයක් එහෙම දාලා. සත් සමුදුරයි, නෙළුම් විලයි දෙකම බ්ලොගර් කියලා එකකින් තිබුණ හින්දා බ්ලොගර් කියලා ගූගල් කළා. ආපු රිසල්ට් එකේ උඩින්ම තියනවා Blogger: Create your free Blog  කියලා. ඔන්න ඒකෙ ක්ලික් කළාම තව පියවරක් වැටහුණා. ඒ කියන්නෙ මේ බ්ලොගර් කියන්නෙ කාලෙක ඉඳන් දන්න කියන ගූගල් කට්ටියෙ එක්කෙනෙක් කියන එක. දෙපාරක් හිතන්නැතුවම තිබුණ G-mail අකවුන්ට් එකෙන් Log-IN වුණා. එතනින් ගිහින් ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරගත්තා.

ඔය 2011 අගෝස්තු විතර. දැන් නිකන් මාත් මොනවා හරි ලියන්න ඕනා අදහස ලාවට හිතේ වැඩ කරමින් තිබුනෙ. බ්ලොග් එකට මුල් ගල තියන්නෙ ඔය කාලෙ තමා. ටෙස්ට් පෝස්ට් දෙක තුනක් එහෙම දාලා, ඒ එක්කම ඒවා මකලා දැම්මා. කවුරුත් දැක්කොත් විනාශයි, ලැජ්ජාවෙ පණ යනවා කියලා හිතලා.

ඔහොම ඉන්නකොට තමා අහම්බෙන් දවසක් සඳරුගෙ "හිස් අහස"ට ගොඩ වෙන්න හම්බුනෙ. ඒ නෙළුම් විල හරහා. අන්න මිනිහා. උගෙ ලිවිල්ල තමා ලිවිල්ල. එක දැකපු මට අර අළු යට ගිනි වගේ තිබුණ ආශාව ඩිං ගාලා ආයෙ උඩට ආව. "මටත් බැරි වෙයිද මොනවා හරි ලියන්න ? " කාමරේ සගයා සුගතුත් ඒකට පොඩි තල්ලුවක් දුන්නා.

ඕනම දෙයක් හරියන්න හරි, වරදින්න හරි පටන් ගන්න ඕනා කියලා තදින්ම විශ්වාස කරන මම, ඕන මගුලක් කියලා අපිට සුබ දවසක් වෙච්ච තුන් වෙනිදා ඔන්න ඔය උඩින් තියන පෝස්ට් එක දාලා වැඩේට බැස්සා.

හසිතගෙයි, සඳරුගෙයි ආගමනයෙන් පස්සෙ ටික ටික කට්ටිය එන්න පටන් ගත්තා. සම්මානි, සිත් රූ සිහින, අසරණයා, මියුරු, සෑමා, සයුරි, ගැමියා, මණ්ඩිපාල, ඩීන් අයියා, හරී, බණ්ඩාර, ඔබා මාමා, චතුරංග, මඩිස්සලේ නිශාන්, වර්ණා, ශානි නොහොත් අනූ, පුංචි කුමාරිහාමි වගේ අය කුරුන්ද මුල් අවදියේ ඉඳන් සෑහෙන සහයෝගයක් දීපු අය. පෝස්ට් එකක් දැම්මොත් අනිවාර්යයෙන් ඇවිත් මොනවා හරි කියලා දිරි ගන්වලා යන්ඩ ඒ ගොල්ලො අමතක කළේ නෑ. මට මතකයි ඩීන් අයියා එහෙම එයාගෙ බ්ලොග් එකේ " අලුතින් හඳුනා ගත් බ්ලොග්, අත දෙමු කියලා කුරුන්දත් දාලා තිබුණා. අසරණයා තමා මට මතක විදිහට සින්ඩි ගැන එහෙම කියලා දුන්නෙ. 

"මචන් උබේ අහවල් පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙල නෑ."
" බ්ලොග් වල පොඩි අවුලක් තියනවා බැකප් අරන් තියාගනින්" 

වගේ මේල් කීයක් අසරණය මට එවලා ඇත්ද කියලා මට මතක නෑ. එච්චරට ඌ මට උදව් කරලා තියනවා බ්ලොග් ලොකයේ තැනක් හදා ගන්න. 


ඊට පස්සෙ සුමිත් නිරිඇල්ල, විචාරක මහතා, DDT, වින්චැට් කිරිල්ලී, වීයා, අටමා, A.WICKZ, තරියා, චමී, සිරා, සරා, ක්සැන්ඩර්, සරත් ලංකාප්‍රිය, දිනේෂ් දීපාල් වගේ අයත් ඔය ගොඩටම එකතු වෙනවා.

2012 මාර්තු මාසෙ, දුන්නකුයි, ඊතලේකුයි මානගත්තු හරි අපූරු පුද්ගලයෙක් ගොඩ වෙනවා කුරුන්දට. ඒ තමයි අර කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා කියන උන්නැහැ. මෙයා ගැන විශේෂයෙන් සඳහන් කරන්ඩම වෙන එක වලක්වන්ඩම බෑ. අද කුරුන්ද යම් තැනක තියනවද, ඒකට මුන්නැහැ සෑහෙන වග කියන්න ඕනා. 

දැකලා නැති අය මේක එහෙම ගිහින් බලන්නකො. මම මේක සලකන්නෙ මට බ්ලොග් කරණයෙන් හම්බෙච්ච සම්මානයක් හැටියට.

බුද්ධිගෙ ආගමනයෙන් පස්සෙ රොත්තක්ම කුරුන්දට එකතු වෙනවා. නම් වශයෙන් කිව්වොත් රූ, බුරතිනෝ, බින්දි, ඉෂාර, ඩූඩ්, පොඩි කුමාරිහාමි, මුහුදු, වෙනි අයියා වගේ අය මට මතක විදිහට කුරුන්ද හඳුනා ගන්නෙ බුද්ධි හින්දා.

මුන්නැහැ පස්සෙ දවසක, කුරුන්ද දරට කපලා ගාමන්ට් එකක් ගහනවා කියපු එක වෙනම කතාවක් හෙහ් හෙහ් :-) :-) 

ඔයිට අමතරව ඉඳලා හිටලා තම තමන්ට රුචි ලිපි පල වුණාම ඇවිල්ලා ගිය අයත් හිටියා.

ඉතින් මේ ඔක්කොම කිව්වෙ මේ හැමෝටම මේ ගමන එන්න උදව් කළාට හදවතින්ම ස්තූති කරන්න.

වසරක් ඇතුළත කුරුන්ද ඇවිත් තියෙන්නෙ බොහොම මන්දගාමී ගමනක්. ලිපි 20 යි ( ආරම්භක සටහන හා ඔබා මාමා වෙනුවෙන් ලියවුණ සටහනත් ඇතුළත්ව ) මේ වසර ඇතුළතම මට ලියන්න හම්බෙලා තියෙන්නෙ. හිට්ස් 18300 ගාණක්. මම බොහොම දුර්වල බ්ලොග් කරුවෙක් නොවෙද ?

එහෙනම් හැමෝටම නැවතත් හදවතින්ම ස්තූති කරමින් වර්ෂ පූර්ණ සටහන මෙහෙම නවත්වන්නම්. කාගෙ හරි නමක් මග හැරිලනම් සමාවෙන්න ඕනා. බොහොම පරික්ෂාවෙන් එකින් එක බලමින් තමා නම් ටික සටහන් කෙරුවෙ. ඒත් ඉතින් වරදින්න පුළුවන්නෙ. 

අවසාන වශයෙන්, මේ දක්වා කුරුන්දෙහි පළවුණ ලිපි වලින් තමන් වැඩියෙන්ම කැමති ලිපිය මොකක්ද සහ කුරුන්දෙහි ඉදිරි දිශානතිය මොන වගේ වෙන්ඩ ඕනද කියලා පොඩි ඉඟියක් දීලා ගියොත් ගොඩක් වටිනවා.

එහෙනම් හැමෝටම ජය !!!

පිදුම ;
සත් වසරක් දිවි මගෙහි දුක සැප බෙදා ගත් බිරිඳ, නිදර්ශාට.

~~ සෙන්නා / 03.12.2012

Thursday, November 29, 2012

සුද්දො මෙච්චර පොහොසත් ඇයි ? | Why, you white man have so much cargo ? - අවසාන කොටස



අප්‍රිකාව !! මානවයාගේ තිඹිරි ගෙය යයි නම් ලද මහා දේශය ! අපගේ මුතුන් මිත්තන් සිය මුල්ම ඇරඹුම සනිටුහන් කළ භූමිය ! මෑතකදී කළ සොයා ගැනීම් වලින් හෙළි වූයේ, එය විශාල ඝර්ම කලාපීය ශිෂ්ටාචාරයකට නිවහන වී තිබූ බවයි. නගර සහ රාජධානි මහද්වීපය පුරා පැතිර ගොස් හදිසියේම අතුරුදහන් වී ඇත්තේ ඒ පිළිබඳ සීමිත සලකුණු කිහිපයක් පමණක් ඉතිරි කරමිනි. මේ සාර්ථක විජයග්‍රහණයන්ට සිදු වූයේ කුමක්ද ?

අප හොඳින් දන්නා පරිදි, මහාචාර්ය ජෙරඩ් ඩයමන්ඩ්, යාලිගේ පැනයට පිළිතුරු සොයා මානව ඉතිහාසයේ රටාවන් ගවේෂණය කිරීම ඇරඹීය. එය, ඔහුව නිව් ගිනිහී කැලෑවන් වෙත හා පේරු හී හිමෙන් වැසුණු කඳු වෙතට රැගෙන ගිය චාරිකාවක් බවට පත් විය. ඔහුගේ ගවේෂණය මගින් එක් ජාතියක්, එනම් යුරෝපීයන් මෙතරම්ම ලෝකයේ අන් ජාතීන්ව යටත් කර ගත්තේ කෙසේද යන්න වටහා ගැනීම අරමුණ විය. මහාචාර්ය ඩයමන්ඩ්ගේ මතයට අනුව යුරෝපීයන් ලබන මෙම ජයග්‍රහණයන්ගේ මූලය වසර දහස් ගණනක් අතීතයට දිවයන අතර භූගෝලීය වශයෙන් ලැබුණු වාසියේ ප්‍රතිඵලයකි. භූගෝලීය තත්ත්වයන් විසින්, යුරෝපීයන් හට මිහිමත සිටි ඉතා ඵලදායී බෝග සහ සතුන් දායාද කොට දී තිබුණි. එම තත්ත්වය, යුරෝපියානු ආක්‍රමණ උදෙසා මහඟු මෙහෙයක් ඉටු කළ, මානව ඉතිහාසයේ හැඩය වෙනස් කළ ත්‍රිත්ව මහා බල වේගයන් වූ තුවක්කු, විෂ බීජ සහ වානේ, සංවර්ධනය කිරීමට මං පෙත් හෙළි පෙහෙළි කොට දී තිබුණි. දැන් මහාචාර්ය ඩයමන්ඩ් සිය ගවේෂණයේ අවසාන අදියරට පැමිණෙමින්, තුවක්කු, විෂ බීජ සහ වානේ, අප්‍රිකාවට පැමිණි පසු සිදු වූයේ කුමක්දැයි සොයා බැලීමට සැරසේ. තවද, මෙම බලවේගයන් තවමත් රඟ දක්වන භූමිකාව කුමක්දැයි සොයා බැලීම, මෙම ගමනේ අරමුණයි.

~~~~~

යුරෝපීයන් විසින් ලෝකය ගවේෂණය කරමින් එහි ව්‍යාප්ත වීම ඇරඹීමත් සමඟම ඔවුන් විසින් ලෝකයේ අනෙකුත් බොහොමයක් ජාතීන් යටත් කරගෙන, ඒවායෙහි දියුණු නගර, මංමාවත්, දුම් රිය මාර්ග, ගොඩනැගිලි තනමින් සිය යටත් විජිත ගොඩනගාගෙන ගියහ. ඔවුන් විසින් සාර්ථකව උතුරු ඇමෙරිකාවෙහි, දකුණු ඇමෙරිකාවෙහි හා ඕස්ට්‍රේලියාවෙහි සිය යටත් විජිත පිහිටුවා ගත් අතර අවසානයේදී අප්‍රිකාවට ගොඩ බටහ.

ප්‍රථම යුරෝපීය පදිංචි කරුන්වන් පිරිස දාහත්වන සිය වසේ මැද භාගයෙහිදී අප්‍රිකාවට පැමිණියහ. ඔවුන් විසින් මහද්වීපයේ දකුණෙහිම වූ සුබ පැත්මේ තුඩුවට මුලින්ම පැමිණීමෙන් අනතුරුව සිය ගොවිපළවල්, වගාවන් හා සත්ව ගොවිපළවල් පිහිටුවාගෙන අනායාසයකින්ම එහි පදිංචි වූහ. නමුත් අප්‍රිකාවෙහි මෙම ප්‍රදේශය යුරෝපයේ සිට සැතපුම් පන් දහසකටත් වඩා දුකුණින් පිහිටි ප්‍රදේශයකි. යුරෝපයෙන් එතරම්ම දුරස්ථව, දකුණට වන්නට පිහිටි ස්ථානයකට ඔවුන්ගේ බෝග සහ සතුන් රැගෙන විත් වැඩි වර්ධනය කර ගත්තේ කෙසේද ? නැවතත් භූගෝලීය වාසිය ඔවුන් සමග අත්වැල් බැඳ ගත් සෙයකි. කේප් තුඩුව සහ යුරෝපය, සමකයේ සිට එක හා සමාන දුරකින් පිහිටා තිබිණි. එබැවින් දකුණු අප්‍රිකාවෙහි දේශගුණය, යුරෝපයේ දේශගුණික තත්ත්වයන් හා හොඳින් ගැළපුණි. එය යුරෝපීයන්ගේ බෝග හා සතුන් ව්‍යාප්ත කොටගෙන සිය සමෘද්ධිය සහතික කරගැනීමට ඔවුනට ඉවහල් විය.

යුරෝපයේ හා කේප් තුඩුවෙහි පිහිටීම
යුරෝපීයන් දකුණු අප්‍රිකාවට ගොඩ බසින විට එහි මුල් උරුමක්කාරයන් වූයේ කොයිසාන් ( Khoisan ) මිනිසුන්ය. නමුත් යුරෝපීයන්ගේ ආගමනයෙන් කෙටි කලකට පසු මෙම ස්වදේශිකයන්ව සිය ඉඩම් වලින් පලවා හරිනු ලැබූහ. ඒ සඳහා යුරෝපීයනට වඩාත්ම ඉවහල් වූ නොපෙනෙන බලවේගය වූයේ, මහාචාර්යය ඩයමන්ඩ් විසින් මානව ඉතිහාසයේ යටත් කරගැනීම වලට සහය වූ විශාලම බලවේගය ලෙසින් හඳුනා ගන්නා විෂ බීජයි.

ගෘහාශ්‍රිත සතුන් විසින් යුරෝපීයන් වෙත ඔවුන් කිසි කලෙකත් නොදැන සිටි වාසියක් හිමිකර දී තිබුණි. යුරෝපීයන් විසින් ගෘහාශ්‍රිත සතුන් හා පැවැත්වූ සමීප ගනු දෙනුවේ ප්‍රතිඵලයක් ලෙස, සතුන් වෙත වූ විෂ බීජ මිනිසුන් වෙත ආසාදනය වී එමගින් මිනිසුන්ව දුර්වල කරනා රෝගාබාධ හට ගැනීම සිදු විය. නමුත්, සියවස් ගණනාවක් පුරා යුරෝපීයන් මෙම තත්ත්වයනට නිරාවරණය වීම නිසා, ඔවුන්ගේ සිරුරු තුළ ඒ සඳහා අවැසි යම් පමණක ප්‍රතිශක්තියක් ගොඩ නැගී තිබිණි. එහෙත් මෙම ප්‍රතිශක්තිය සතුන් හා සමීප ගනු දෙනුවක් නොවූ අන්‍ය ජාතින් වෙත නොවුණි. එබැවින් යුරෝපීයෙන් හා ඔවුන්ගේ සතුන් වෙතින් වහනය වූ විෂ බීජ මගින් ඇති කළ ලෙඩ රෝග මගින් මෙම ස්වදේශිකයන් සංහාරයකට ලක් වූහ. ඇමෙරිකාවෙහිදී මිලියන සංඛ්‍යාත ස්වදේශිකයන් මෙම ලෙඩ රෝග නිසා මරු වැළඳ ගත් අතර එම ව්‍යසනයටම කොයිසාන් වරුනටද මුහුණ දීමට සිදු විය.

සිය ගොවිතැනින්, සත්ත්ව පාලනයෙන් හා විෂ බීජ මගින්, යුරෝපීයන් විසින් දකුණු අප්‍රිකාවෙහි සිය පැවත්ම හොඳින් තහවුරු කර ගත්හ. දැන් ඔවුන්ගේ අරමුණ තව දුරටත් ව්‍යාප්ත වීමයි.

දහ නව වන සිය වසේ තෙවන දශකයේදී, කේප් තුඩුවෙහි පදිංචියට පැමිණි ඕලන්ද මිනිසුන් ( බෝයර් වරුන් ) නව ඉඩම් සොයා සිය පවුල් සමඟින්ම රට අභ්‍යන්තරය ගවේෂණය කිරීම ඇරඹුහ. ඔවුන් විසින්ම ඔවුන්ව හඳුන්වා ගත්තේ  Voortrekkers  වරුන් යනුවෙනි. Voortrekkers  වරුන් සතුවද යුරෝපීයන් විසින් යටත් කරගැනීම් නැතහොත් ආක්‍රමණ සඳහා භාවිතා කළ ප්‍රභල  බලවේගයක් විය. ඒ තුවක්කුය.

ඔවුන් විසින් එවකට භාවිතා කෙරුණේ Muzzle-loading rifle යනුවෙන් හැදින්වූ පහත රූපයේ පෙනෙනා ආකාරයේ තුවක්කුය.
Muzzle-loading rifle 

එම ගවේශකයන්ගේ වර්තමාන පරපුරෙහි මිනිසුන් පවසන පරිදි, එකල සෑම නිරෝගී මිනිසෙක් සතුවම අඩුම තරමින් මෙවැනි රයිෆල් දෙකක් හෝ තුනක් තීබී ඇත. ඔවුන් විසින් ආත්මාරක්ෂාව සඳහා මෙන්ම දඩයම සඳහාද මෙම තුවක්කු භාවිතා කොට තිබිණ. ඔවුන් පවසන පරිදි එකල යමෙක් මෙම තුවක්කු භාවිතා නොකළේ නම් ඔහු කිසියම් අස්වාභාවිකත්වයකින් පෙළුණ මිනිසෙක් ලෙස සැලකී තිබිණ.

තුවක්කු යනු වසර දහස් ගණනක් තිස්සේ වැඩි දියුණු කළ තාක්ෂණයේ ප්‍රතිඵලයකි. මෙය යුරෝපයෙන් පිටත සිදු වුවද යුරෝපීයන් අතින් අංග සම්පූර්ණත්ත්වයට පත්විය. තුවක්කු සමඟින් ඔවුනට සිය ආක්‍රමණ උදෙසා නොමද සහයක් දුන් අනෙක් බලවේගය  වූයේ වානේ හා ඒ හා බැඳුණු නිෂ්පාදනය. මේ සියල්ල වසර දහස් ගණනකට පෙර ඔවුන්ගේ ගොවිතැන විසින් ඔවුනට ලබා දුන් වාසියේ ප්‍රතිඵලයකි.

~~~

1838 පෙබරවාරි මාසයේ එක්තරා අඳුරු දිනයක,මෙසේ පැමිණි Voortrekkers කණ්ඩායමක් කේප් තුඩුවෙන් සැතපුම් 800ක් පමණ රට අභ්‍යන්තරයට වන්නට සිය තාවකාලික කඳවුර ඉඳිකරගෙන ගිමන් හරිමින් සිටියහ. ඒ රාත්‍රී කාලයයි. කඳවුරේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පැවතුණි. ඔවුන් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහතක,හදිසියේම අඳුර කපා මතුවූ ස්වදේශික හමුදාවක් විසින් එල්ල කරණ ලද ක්ෂණික පහරදීමකට ලක් වූහ. එය කෙතරම් ක්ෂණිකව, හදිසියේ සිදුවුවේද යත්, යුරෝපීයනට එකදු වෙඩිල්ලක්වත් පත්තු කිරීමට ඉඩ නොතබාම සම්පූර්ණයෙන්ම විනාශයට පත් කරන ලදී. හෝරාවක් වැනි සුලු කාලයක් ඇතුළත තුන්සියයකට ආසන්න Voortrekkers වරුන් සංඛ්‍යාවක් මිය ගොස් සිටියහ. සතුරාගේ ප්‍රහාරය අතිශය කෲරතර හා අමානුෂික එකක් වී තිබුණි. මිනිසුන්ට අමතරව ගහැනුන් සහ ළමයින්ද කිසිදු දයාවකින් තොරව ඝාතනයට ලක් වී සිටියහ.

ඇත්තෙන්ම යුරෝපීයන් විසින් සිය ගමනේදී බලගතු අප්‍රිකානු රාජ්‍යයක සීමාව පසු කොට ගොස් තිබුණි. ඔවුන් කේප් තුඩුවේදී මුණ ගැසුණු කොයිසාන් වරුනට හාත්පසින්ම වෙනස් ජන කණ්ඩායමක් වූහ. යුරෝපීයනට මුණගැසී තිබුණේ ZULU ( සූලු ) වරුන්ය. සූලු වරුන් යනු එවකට අප්‍රිකාවෙහි වාසය කළ අන් කිසිම ජාතියකට සම කළ නොහැකි වූ, සංවර්ධිත, මැනවින් සංවිධානාත්මක ජන සමාජයක් වූහ. ඔවුන්ගේ හමුදාමය හැකියාවන් විසින් ඔවුනට අප්‍රිකාවෙහි අනෙක් ජාතින් යටත් කොටගෙන නැගී සිටීමේ හැකියාව ලබා දී තිබුණි. සූලු රාජ්‍යයට අයත් වපසරිය වර්ග සැතපුම් 30000 කට නොඅඩු විය. ඔවුන් සතුව දියුණු ආර්ථිකයක් සහ සමාජ තත්ත්වයක් දක්නට ලැබුණි. සූලු වරුන් සතුව ඕනෑම මොහොතක දස දහසකට වැඩි පිරිස් බලයක් යෙදවිය හැකි බලගතු හමුදාවක්ද විය. ඔවුන් සැබවින්ම බිය නොහදුනන නිර්භීත ජාතියක් වූහ. තුවක්කු, විෂ බීජ සහ වානේ යන ත්‍රිත්ව බලයෙන් සැදුම් ලත් යුරෝපීය ආක්‍රමණිකයනට සිය කරට කර සිටින ප්‍රතිමල්ලවයා අප්‍රිකාවේදී හමු වීද ?

1838 පෙබරවාරි මස 06 වන දින එනම් සූලු වරුන් හා Voortrekkers වරුන් අතර අත්සන් කෙරුණු ඉඩම් පරිහරණය පිළිබඳ එකඟතා ගිවිසුමෙන් දින දෙකකට පසු, සූලු නායකයා වූ  Dingane kaSenzangakhona විසින් Voortrekkers වරුන්ගේ නායකයා වූ  Pieter Mauritz Retief හා පිරිවරට, සිය නිල නිවසේ වූ බීර සම්භාෂණයකට ආරාධනා කෙරිණි. සම්භාෂණයට පැමිණි අමුත්තන්ගේ ආයුධ ඉවත් කොට රජු ඉදිරියට පැමිණවූයේ රජු ඉදිරියට යාමේ සාමාන්‍යය සම්ප්‍රදාය රකිමිනි. සම්භාෂණය අතරතුර අත්අඩංගුවට ගත් Retief  හා පිරිවර සියලු දෙනාවම සූලු වරුන් විසින් අමානුෂික ලෙස ඝාතනය කරණ ලදී. මෙම ඝාතනයෙන් ඉනික්බිතව සූලු රජ විසින් සිය භූමිය තුළ කඳවුරු ගසා සිටින සියලුම Voortrekkers වරුන්ව ඝාතනය කිරීම සඳහා සිය සේනා පිටත් කොට හැරීය. ඉහත සඳහන් සමූල ඝාතනය එලෙස සිදුවූ ප්‍රහාරයන්ගෙන් එකකි. සියලුම ප්‍රහාර මගින් Voortrekkers වරුන් 500 කට ආසන්න පිරිසක් එම රාත්‍රියේදී මිය ගොස් තිබුණි.

සිය නායකයා හා පිරිවර මැරීමෙහි පලිය ගැනීම වෙනුවෙන්, Voortrekkers වරුන් විසින් සූලු රජුව සිහසුනෙන් නෙරපීම සඳහා කටයුතු සකස් කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස 1838 දෙසැම්බර් මස 16 වන දා, බෝයර් වරුන් හා සූලු වරුන් මුහුණට මුහුණ හමු වූහ. සූලු වරුන්ගේ ශක්තිය පිළිබඳ එතරම් තැකීමක් නොකළ බෝයර් වරුන් සිය භට පිරිස් හා ආයුධ, Ncome නදී තෙර අසල, කරත්ත වලින් වට කෙරුණු වළල්ලක් මධ්‍යයට එක් රැස් කළ අතර මෙවර යුරෝපීයන් විසින් තමන් සතු නවීනතම අවි ආයුධ වලින් සන්නද්ධව සිටියහ. එදින අලුයම, දහදාහකට අධික සූලු භට කණ්ඩායමක් විසින් බෝයර් වරුන් වෙත ප්‍රහාර එල්ල කෙරිණ. මෙවර බෝයර් වරුන්ගේ තුවක්කු යුහුසුළුව පත්තු වන්නට විය. කෙනෙකු වෙඩි තබන විට තවෙකකු විසින් තුවක්කු පිරවීම සිදු කරණ ලැබීම නිසා ඔවුනට සෑම තත්පර පහක් ඇතුළත වාගේ උණ්ඩයක් නිකුත් කිරීමේ හැකියාව ලබා දුනි. ඊට අමතරව බෝයර් වරුන් සතු කාලතුවක්කුද සූලු වරුන් වෙත මහත් විනාශයක් ගෙන දීමට සමත් විය. එබැවින්ම, මෙම සටනින් සූලු වරුන් අසාර්ථක වී සංහාරයකට ලක් වූහ. මෙමගින් සූලු වරුන් තුන්දහසක් හෝ තුන්දහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් මිය යන්නට ඇතැයි ආසන්න වශයෙන් ගණන් බලා ඇති අතර බොයර් වරුනට සිදුවූ හානිය තුවාල කරුවන් තුනක් තරම් වූ සුළු හානියකි. මෙම සටන Battle of blood river හෙවත් "රුධිර නදියේ සටන" ලෙස ඉතිහාසයට එකතු වී ඇත. නැවතත් යුරෝපීයන් සතු තුවක්කු, විෂ බීජ හා වානේ වල සාර්ථකත්වය තහවරු වී තිබිණ.

ජයග්‍රාහී යුරෝපීයන්, සූලු භූමියද යටත් කොට ගනිමින් තව තවත් රට අභ්‍යන්තරයට ඇදුනි.යුරෝපීයන්ගේ තාක්ෂණයේ සිදුවූ දියුණුවත් සමඟින් ඔවුන්ගේ ආක්‍රමණයන්හී වේගවත් බව තවත් තීවෘර විය.දුම්රිය ඔවුන්ගේ යටත් කරගැනීම් සහ ඉන්පසු වූ යටත් විජිත පාලනයන්ට මහගු දායකත්වයක් සැපයූ තාක්ෂණික මෙවලම විය. එමගින් ඔවුනට විශාල පිරිසක් මෙන්ම බඩු භාණ්ඩ තොගයක්ද එකවර එහා මෙහා ගෙනයාමට හැකියාව ලබා දුනි. එය, ඔවුන් සතු යටත් විජිත වල සැපයුම් අඛණ්ඩව පවත්වා ගැනීමට මොනවට උපකාරී වූ මෙවලමකි. එබැවින් යුරෝපීයන් විසින් කේප් තුඩුවේ සිට මහද්වීපය අභ්‍යන්තරයට මැනවින් සංවිධානාත්මක දූම්රිය මාර්ග පද්ධතියක් ඉඳි කිරීමට වග බලා ගත්හ.

ඒ කාර්මික විප්ලවය සිදුවෙමින් පැවති වකවානුවයි. විප්ලවය විසින් තවත් දියුණු අවියක් යුරෝපීයන්ගේ අතට පත් කොට තිබුණි. Machine Gun නොහොත් යාන්ත්‍රීය තුවක්කුව නම් වූ එම අවිය මගින්, සූලු වරුන් හා ඇතිවූ සටනේදී පිරිසක් එකතුව ඇතිකිරීමට සමත්වූ විනාශකාරී වෙඩි බලය, එක පුද්ගලයෙකුට තනිවම ඇති කිරීමේ හැකියාව නිර්මාණය කොට දී තිබිණ. එම තුවක්කුව විනාඩියක් ඇතුළත උණ්ඩ පන්සියයක් පමණ නිකුත් කිරීමේ හැකියාවකින් යුක්ත විය. එය තනි උණ්ඩයේ තුවක්කු සහිත මිනිසුන් සිය දෙනෙකු සතු වෙඩි බලයට සමාන තත්ත්වයකි.

Maxim Gun
මෙම අවියේ සුපිරි හැකියාව මුලින්ම නිරික්ෂණය කළ අවස්ථාව වූයේ 1893 ඔක්තෝබර් මස බ්‍රිතාන්‍යය හමුදා හා තවක් අප්‍රිකානු ජන වර්ගයක් වූ Matabele වරුන් ( නූතන සිම්බාබ්වේ දේශයේ ජන සංයුතියෙන් 16% ක් නියෝජනය කරනා ජන කණඩායම ) අතර ඇතිවූ සටනේදීය. දෙපස භට පිරිස් ශක්තියේ අසමානතාවය Matabele වරුන් ලක්ෂයකට ( හෙල්ල කරුවන් 80000ක් හා තුවක්කු කරුවන් 20000 ක් ) බ්‍රිතාන්‍ය භටයන් 1450 ක් පමණ ( 700 ක් වූ ට්ස්වානා භටයන්ද ඇතුළත්ව ) වූහ.

සටන ඇරඹිණි. Maxim Gun යනුවෙන් හැඳින්වූ මෙම නූතන අවියේ ප්‍රබලත්වය බලාපොරොත්තු වූවාටත් වැඩියෙන් ඔප්පු කරමින් Matabele  වරුන් එකා පිට එකා ඇඳ හැළුණේ කපා හෙළු කෙසෙල් ගස් මෙනි. පැය කිහිපයකට පමණක් සීමා වූ මෙම සටනින් Matabele  වරුන් පසු බසිනා විට 1500 කට අධික පිරිසක් මිය ගොස් සිටි අතර අති විශාල සංඛ්‍යාවක් තුවාල ලබා සිටියහ. බ්‍රිතාන්‍ය කඳවුරෙන් මිය ගොස් සිටියේ සිව් දෙනෙකු පමණි. ඉන් සතියකට පසු Matabele  වරුන් විසින් නැවතත් එල්ල කළ ප්‍රහාරය අවසන් වූයේ ජීවිත 2500කට අධික සංඛ්‍යාවක් අහිමි කර ගනිමිනි. තුවාල වු සංඛ්‍යාව අති විශාල විය.

තුවක්කු, විෂ බීජ හා වානේ වල බලය, අඩියෙන් අඩිය, ජන කොට්ඨාශයෙන් ජන කොට්ඨාශය යටත් කරගනිමින් විජයග්‍රාහීව අප්‍රිකාව නම් වූ ඒ මහා දේශයේ පැතිරෙන්නට විය. එහෙත් කල්නොයවාම මෙම ආක්‍රමණිකයින්ට සම්පූර්ණයෙන්ම අළුත් හතුරෙකුට මුහුණ දීමට සිදු විය. ඒ, වෙන කිසිවක් නොව මෙතෙක් කල් ඔවුනට වාසි සහගත ලෙස ඔවුන් සමඟ සිටි භූගෝලීය තත්ත්වයම විය.

මෙලෙස ඔවුන් ක්‍රමක්‍රමයෙන් උතුරට සංක්‍රමණය වෙමින්, අලුත් ඉඩම් අස්වැද්දීමට මුල පිරුවේ අප්‍රිකාවෙහිදී සශ්‍රීක  ජීවන තත්ත්වයක් ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් සියල්ල කණපිට හැරෙමින් පැවතුණි. එම භූමිය ඔවුන්ගේ නගුල් මගින් හෑම අසීරු කාර්යයක් විය. ඔවුන්ගේ බෝග එම භූමියෙයි පැලවීම ප්‍රතික්ෂේප කෙරිණ. ඔවුන් මුහුණ දුන් අනෙක් බරපතලම ගැටලුව වූයේ සිය සතුන් ජීවිතක්ෂයට පත්වීමයි. ගවයන් හා අශ්වයන් අහේතුකවම මිය යන්නට විය.

වසර දහස් ගණනක් පුරා මෙම ගෘහාශ්‍රිත සතුන් හා බෝග යුරෝපීය ශිෂ්ටාචාරය පෝෂණය කොට තිබුණි. එම සතුන් හා බෝග නොවන්නට තුවක්කු, විෂ බීජ හා වානේ නොතිබෙන්නටත් ඉඩ තිබුණි. ආක්‍රමණ හා යටත් විජිතද ඇති නොවන්නට තිබුණි. එහෙත් දැන් පෙර නොවූ විරූ ලෙස යුරෝපීයන් රෝග වලට ගොදුරු වෙමින් පැවතුණි. කටුයුතු මෙසේ සිදුවන විට ඔවුන්ගේ අසල්වැසි ස්වදේශිකයන් හා ඔවුන්ගේ සතුන් නිරෝගීව සිය ගොවිතැන් කට යුතු වල නිරතව සිටිනු දක්නා ලදී.

මෙය සිදුවිය හැක්කේ කෙසේද !!!

මෙම අමුතු, අළුත් භූමියෙහි වූ රහස කුමක්ද !!!

මෙතෙක් සෑම කල්හීම යුරෝපීයන් සමඟ සිටි භූගෝලීය සාධක මෙම අළුත් දේශයේදී ඔවුනට එරෙහි වන්නට පටන් ගෙන තිබුණි. කේප් තුඩුවේදී ඔවුන් අනායාසයෙන්ම සාර්ථක වූ හේතුව නම් එම ප්‍රදේශය හා යුරෝපය සමකයේ සිට එක සමාන අක්ෂාංශ වල පිහිටීම නිසා කේප් තුඩුව හා යුරෝපයේ දේශගුණික තත්ත්වයන්ගේ වෙනසක් නොවීමයි. එය යුරෝපයේම ප්‍රතිබිම්බයක් විය. එහෙත් ඔවුන් උතුරට ගමන් කරනා විට ක්‍රම ක්‍රමයෙන් සමකයට ආසන්න වූහ. අක්ෂාංශ 23 දී ඔවුන් Tropic of Capricorn යනුවෙන් හැඳින්වූ ප්‍රධාන භූ විෂමතා මායිම පසුකරමින් සිය සුපුරුදු යුරෝපීය දේශගුණය අත් හැර අලුත්ම දේශගුණික කලාපයක් වූ ඝර්ම කලාපයට ඇතුළත් වූහ.

යුරෝපීය දේශගුණය හා සසඳන විට ඝර්ම කලාපය සම්පූර්ණයෙන්ම වෙනස් ස්වාභාවික රීතියක් යටතේ පාලනය වූ ප්‍රදේශයකි. යුරෝපයෙහි, උතුරු ඇමෙරිකාවෙහි හෝ කේප් තුඩුවෙහි පැවති සෘතු සතර වෙනුවට මෙහි දක්නට ලැබුණෙ සෘතු දෙකකි. ඒ වියළි කාලය හා වර්ෂා කාලයයි. වසර සිය දහස් ගණනක් යුරෝපයේ සාර්ථක වූ තිරිඟු සහ බාර්ලි මෙම ඝර්මකලාපීය දේශගුණයට අනුවර්තනය නොවී අසාර්ථක විය.

එහෙත් සූලු, මතබිලී ඇතුළු යුරෝපීයන්ට හමු වූ සියලුම ස්වදේශිකයන් සිය කෘෂිකාර්මික වගාවන්ගෙන් සාර්ථක වී තිබිණ. යුරෝපීයන් අසමත් වන විට ඔවුන් මෙම සාර්ථකත්වය ලැබුවේ කෙසේද ?

~~~

අප්‍රිකාව යනු වර්තමානයේද දහස් ගණනක් වූ ජන වර්ග වලින් සැදුම්ලත් දේශයකි. එක් ජන වර්ගයක් අනෙකින් වෙන්වන්නේ භාෂාවෙහි හෝ චාරිත්‍ර වල පවත්නා සුළු සුළු වෙනස්කම් වලින් පමණකි. බොහොමයක්වූ අප්‍රිකානුවන්ට සිය භාෂාවට අමතරව යටත් පිරිසෙයින් අනෙක් ජන වර්ගයන්ගේ භාෂාවන් තුනක් හෝ හතරක් කතා කිරීමේ හැකියාව ඇත. එම භාෂාවන් අතර දැකිය හැකි පොදු ලක්ෂණය නම් බොහොමයක් වූ භාෂාවන් එකිනෙකට දක්වන ආසන්න සමානකමයි. බොහොමයක් භාෂාවන් අතර පොදු හෝ ආසන්න වචන රාශියක්ම නිරීක්ෂණය කළ හැකිය. මෙම භාෂාවන් අතර ඇති සමාන කම අපට හෙළිකරන රහස කුමක්ද ? නූතන ඝර්ම කලාපීය අප්‍රිකානු භාෂාවන් බොහොමයක මූලය එකක් බව, එකම ජන වර්ගයක් භාවිතා කළ භාෂාවකින් නූතන බොහොමයක් අප්‍රිකානු භාෂා පැවතෙන බව, මෙම සමානතාවය නිහඬව කියා පායි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කරණ භාෂා විශ්ලේෂකයන්, බටහිර අප්‍රිකාවෙන් ඇරඹුණේයැයි සැලකෙන එක් සුවිශේෂී භාෂාවක් හඳුනා ගැනීමට සමත් වී ඇත. "බැන්ටු" යනුවෙන් හඳුන්වන මෙම භාෂාව කතා කළ ජන වර්ගය, බටහිර අප්‍රිකාවේ සිට ක්‍රමක්‍රමයෙන් ඝර්ම කලාපීය අප්‍රිකාව පුරාම සිය බෝග, සතුන් ආදිය සමඟින් ව්‍යාප්තවූ ආකාරයක් දක්නට හැකිය.

දකුණු සිම්බාබ්වේ ප්‍රදේශයේ Limpopo නදිය අසල Mapungubwe පුරා විද්‍යා ගවේෂණ අඩවියෙහි කැණීම් කරණ Dr. (ms.) Alex Schoeman ඇතුළු විද්‍යාඥයන්ට අනුව යුරෝපීයන් හෝ වෙන මොනයම්ම හෝ බාහිර ජාතියක් අප්‍රිකාවෙහි පය ගැසීමට බොහෝ කාලයකට පෙර, මෙම ප්‍රදේශ වල බොහෝ සෙයින් දියුණුයැයි සැලකිය හැකි ශිෂ්ටාචාරයක් පැවතී ඇත. එය බෙහෙවින්ම යුරෝපය ශිෂ්ටාචාරගත වීමෙහි මූලික අදියරට සමානකම් දක්වන බව පුරාවිද්‍යඥයන්ගේ මතයයි. ඔවුන් සතුව සෝගම්, මිලට් වැනි ධාන්‍ය වලට අමතර ගවයන්, බැටළුවන් වැනි සතුන්ද ඇති කළ බවට සාක්ෂි දක්නට ඇත. තවද මෙය හුදෙකලා ශිෂ්ටාචාරයක් නොව Limpopo නදිය ඔස්සේ බාහිර ලෝකය සමඟ ජාත්‍යන්තර ගනු දෙනු කිරීමට තරම් දියුණුවූ ශිෂ්ටාචාරයක් බවද නිරීක්ෂණය කොට තිබේ.

යුරෝපීය ආක්‍රමණිකයන්ව පරාජයට පත්කළ කෘෂිකාර්මික ගැටලු ජය ගැනීමට ස්වදේශික අප්‍රිකානුවන් සමත්වී ඇති බවට මෙම ශිෂ්ටාචාරයේ දියුණුව හොඳ නිදර්ශනයකි. ඔවුන් ආවේණික කෘෂිකාර්මික ක්‍රමයක් ගොඩනගාගැනීම තුළින් අප්‍රිකාව පුරා පැතිරුණු සංකීර්ණ සමාජයකට පදනම සකසාගෙන තිබුණි.

~~~

ඝර්ම කලාපයට ඇතුළුවූ වහාම යුරෝපීයන් සහ ඔවුන්ගේ සතුන් භයානක රෝගාබාධ වලට ගොදුරු වන්නට වූ බව ඉහත සඳහන් වුනි. ඝර්ම කලාපීය උණ රෝග යුරෝපීයන්ව විනාශ කරමින් පැවතුණි. නමුත් අප්‍රිකානුවන් එයට සාර්ථකව මුහුණ දෙමින් සිටි අතර රෝගවලට ගොදුරුවූයේ අප්‍රිකානුවන්ගෙන් සුළුතරයක් පමණි. ඇමෙරිකාවෙහි හා කේප් තුඩුවෙහි ස්වදේශිකයන්ව විනාශ කළ මාරක යුරෝපියානු අවිය වූ වසූරිය රෝගයට පවා මෙම ඝර්ම කලාපීය අප්‍රිකානුවන් බහුතරයක් සාර්ථකව මුහුණ දෙමින් සිටියහ. මෙය සිදුවිය හැක්කේ කෙසේද ?

මහාචාර්ය ඩයමන්ඩ් විශ්වාස කරණ පරිදි සියල්ල තීරණය වී ඇත්තේ භූගෝලීය සාධක මතය. යුරෝපීයන්ව හා ඔවුන්ගේ සතුන්ව විනාශ කළ බොහොමයක් ලෙඩ රෝග ඝර්ම කලාපීය අප්‍රිකාවට ආවේණික ඔවුන් කිසි දිනෙක මුහුණදී නොතිබුණ ලෙඩ රෝගයන්ය. එය සම්පූර්ණයෙනම, සුපුරුදු යටත් කරගැනීමේ රටාවෙහි ආපසු හැරීමකි.

නවලෝකයේදී විෂ බීජ ස්වදේශිකයන්ව ඝාතනය කරමින් යුරෝපීයනට ආයුධයක් වෙලා තිබුණත් මෙහිදි ස්වදේශික ලෙඩ රෝග යුරෝපීයන්ව විනාශ කරන ආකාරය අපිට දකින්න පුළුවන්. මෙහිදීත් අපිට තුවක්කු, විෂ බීජ හා වානේ වල බලපෑම දකින්න පුළුවන් ඒත් විෂ බීජ ක්‍රියාකරන්නෙ ප්‍රතිවිරුද්ධ ආකාරයටයි. - මහාචාර්යය ඩයමන්ඩ්.

යුරෝපීයන්ගේ සතුන්ද මෙම මාරාන්තික රෝග වලින් මිය යන්නට විය. එහෙත් අප්‍රිකානු ගවයන් වසර දහස් ගණනක් තිස්සේ මෙම රෝගවල්ට ගොදුරුවීම තුළින් සැලකිය යුතු ප්‍රතිශක්තියක් ගොඩ නගාගෙන තිබුණි. තවද ඝර්ම කලාපීය අප්‍රිකානුවන්, කොයිසාන් වරුන් මෙන් ඉතා පහසුවෙන්ම වසූරියට ගොදුරු නොවුනේ මන්දැයි යන කාරණයටද මෙම ගවයන් මගින් පිළිතුරක් ලැබේ. සියවස් ගණනකට පෙර වසූරිය වෛරසය මුලින්ම ගවයන්ගෙන් මිනිසුනට වහනය වී ඇත. විශේෂඥයන් විශ්වාස කරනාකාරයට එම මුල්ම වහනය වීම බොහෝදුරට ඝර්ම කලාපීය අප්‍රිකාවේදී සිදුවී ඇතැයි සැලකේ. එබැවින්ම ඝර්ම කලාපීය අප්‍රිකානුවන් සතුව මෙම රෝග වලට ඔරොත්තුදීමේ ප්‍රතිශක්තියක් නිතැතින්ම ගොඩ නැගී තිබුණි. එපමණක් නොව, ලෝකයෙහි පවතින දරුණුම රෝගයක් වූ මැලේරියාවට මුහුණු දීමේ ප්‍රතිශක්තියද ඝර්ම කලාපීය අප්‍රිකානුවන් සතු වූහ. යුරෝපීයන්ව ඝර්ම කලාපීය අප්‍රිකාවේදී අසරණ කිරීමට මුල්වූ ප්‍රබලම ආයුධය මෙම මැලේරියාවයි.

අප්‍රිකානුවන් මෙම රෝගයෙන් ආරක්ෂා වීමට අපූරු ක්‍රම භාවිතා කොට තිබුණි. ඔවුන් සිය වාසස්ථාන, මදුරුවන් බෝවීම බහුලව දැකිය හැකි තෙත්, දියසීරාව සහිත ප්‍රදේශ වලින් බාහිර, උස් හෝ වියළි ස්ථාන වල ඉඳි කරගත්හ. එපමණක් නොව, කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වීම නිසා මෙම වසංගතය පැතිර යාමෙහි පාලනයක් ඇති කරගැනීමට ඔවුන් සමත් වූහ. නමුත් ඝර්ම කලාපීය අප්‍රිකානු පරිසර සාධක පිළිබඳ මද දැනුමක් තිබුණු යුරෝපීයන්, ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් ජලය ලබා ගත හැකි ගංගා හෝ විල් අසල ඔවුන් සිය වාසස්ථාන ඉඳි කරගත්හ. ප්‍රතිඵලය ! දහස් ගණනින් මිය යාමයි.

මෙලෙසින් ඝර්ම කලාපීය තත්ත්වයන් යුරෝපීයන්ව පරාජයට පත් කොට තිබුණි. මෙම අමුතු භූමියේ හිමි කරුවන් විජයග්‍රහණය කොට තිබුණි. ඔවුන් ඝර්ම කලාපයට සුදුසු සංකීර්ණ ශිෂ්ටාචාරයක් දක්වා පරිණාමය වී තිබුණේ මහද්වීපය පුරා විසිර යමිනි.

මෙය, යුරෝපීය තුවක්කු, විෂ බීජ හා වානේ යන ත්‍රිත්ව බලයේ අවසානයද ? මෙම ඝර්ම කලාපීය සුපිරි ශිෂ්ටාචාරයේ අනාගතය කෙබඳු වේවිද ?

යුරෝපීයන් ඝර්ම කලාපීය අප්‍රිකාවෙහි සිය ජනාවාස ඇති කරගැනීමට මෙලෙස අසමත් වූහ. මෙවැනි තත්ත්වයකට ඔවුන් උතුරු හෝ දකුණු ඇමෙරිකාවේදී මුහුණ නොදුන්හ. එහෙත් එම මහා දේශයේ හෙවත් අප්‍රිකාවේ වූ දියමන්ති, තඹ, රත්‍රන් ආදී අප්‍රමාණ ස්වාභාවික සම්පත් ප්‍රමාණය, කෙතරම් දුෂ්කර ඌවත් ආක්‍රමණිකයන්ව ආකර්ෂණය කරගන්නා සාධකයක් බවට පත් විය.

ඝර්ම කලාපීය විෂ බීජ ඉදිරියෙහි පරාජය වූ යුරෝපීයන් සිය ආක්‍රමණයෙහි මුහුණුවර වෙනස් කරමින් සම්පූර්ණයෙන්ම වෙනස් පිළිවෙතකට අනුගත වෙමින් සිටියහ. දහනව වන සියවසේ අවසාන භාගය වන විට යුරෝපීයන් විසින් ස්වදේශික ගම්මාන ගිනිබත් කරමින් ඔවුන්ගේ සියවස් ගණනක් පැරණි ශිෂ්ටාචාරය පොළවට සමතලාකරමින්, ස්වදේශික අප්‍රිකානුවන් මිලියන ගණනින් සිය භූමියෙන් පලවා හරිමින්, ඝර්ම කලාපීය පරිසර තත්ත්වයනට මැනවින් හුරුවී සිටි එම ස්වදේශික ජනතාවම අප්‍රිකාවෙහි සම්පත් කොල්ලකෑම උදෙසා සේවකයන් ලෙස හෝ වහලුන් ලෙස යොදාගැනීම ආරම්භ කෙරිණ. එමගින් ඔවුන් අප්‍රිකාවෙහි වූ එම මහා වස්තු සම්භාරය යුරෝපයට රැගෙන යන ලදී. මේ සඳහා යුරෝපීයන් ඔවුන් සතුව තිබූ තාක්ෂණය උපරිමයෙන්ම යොදා ගත්හ. දීර්ඝ කාලයක් තිස්සේ දහස් ගණනක් වූ අප්‍රිකානුවන්ගේ ලේ කඳුළු දහඩිය මතින් කේප් තුඩුවේ සිට ඝර්ම කලාපීය අප්‍රිකාවෙහි මධ්‍යයට ඉඳිවූ ඒ වානේ දුම්රිය මාර්ගය අදටත් සිය ආරම්භක මෙහෙය ඉටු කරමින් සිටී. කේප් තුඩුවේ සිට වර්තමාන කොංගෝ හෝ සැම්බියා දේශයන් වෙත එන දුම්රිය ටොන් දහස් ගණනින් තඹ හා අනෙකුත් ඛනිජ වර්ග කේප් තුඩුව වෙත ප්‍රවාහනය කරයි.
~~~~

වර්තමාන අප්‍රිකාව යටත් විජිතයන්ගෙන් තොර නිදහස් ස්වෛරීය ජාතීන්ගෙන් සමන්විත දේශයකි. මහාචාර්යය ඩයමන්ඩ්ගේ මෙම උත්සහාය සිය න්‍යාය නූතන අප්‍රිකාව හැඩ ගස්වන ආකාරය සොයා බැලීමයි. අධිරාජ්‍යවාදීන් විසින් ස්වදේශික අප්‍රිකානුවන්ගේ ලේ කඳුළු දහඩිය මතින් ගොඩ නැංවූ එම දුම්රිය මාර්ගයේම, කේප් තුඩුවේ සිට අරඹන සිය ගමන ඝර්ම කලාපීය අප්‍රිකාවෙහි පිහිටි නූතන සැම්බියාවෙන් අවසන් කරනුයේ අසල්වැසි කොන්ගෝවෙහි ඇති සිවිල් යුද තත්ත්වය නිසා මෙම මාර්ගයෙහි තව දුරටත් උතුරට ගමන් කිරීම භයානක බැවිනි. අප්‍රිකාවෙහි මෙන්ම ලෝකයේත් දුප්පත්ම රටක් ලෙස සැලකෙන සැම්බියාව, මහාචාර්යය ඩයමන්ඩ් විසින් මානව ශිෂ්ටාචාරය හැඩ ගැස්වීමෙහි මුල්වූ ත්‍රිත්ව බලවේග ලෙස හඳුනාගත් තුවක්කු, විෂ බීජ හා වානෙ මගින් වර්තමානයෙහි හැඩගස්වන ආකාරය හා මෙම බලවේගයන් වර්තමාන සැම්බියාවෙහි ඇති ඛේදනීය තත්වයන් තේරුම් ගැනීමට උදව් වන ආකාරයන් සොයා බැලීම මහාචාර්යය වරයාගේ අරමුණයි.

වර්තමාන සැම්බියාව යටත්විජිතකරනයෙන් හැඩගැස්වී ඇති ආකාරය මැනවින් නිරීක්ෂණය කළ හැකිය. යුරෝපීයන් විසින් ගොඩ නැංවූ ඛනිජ ආකර හෝ දුම්රිය මාර්ග ආශ්‍රය කොටගෙන ඉඳිවී ඇති යුරෝපීය පන්නයේ නගර වර්තමාන සැම්බියාවෙහි සුලභ ලක්ෂණයකි.

මහාචාර්යය ඩයමන්ඩ් හඳුනා ගත් ත්‍රිත්ව බලයෙන් එකක් වූ විෂ බීජ වර්තමාන සැම්බියාවෙහි හැඩරුව අදටත් වෙනස් කරමින් පවතී. මැලේරියාව !! වරෙක යුරෝපීයනට මාරාන්තික වුවද අප්‍රිකානුවන්ට එතරම් ගැටලුවක් නොවුන මෙම මාරාන්තික වසංගතය, වර්තමාන සැම්බියාව මුහුණ දී ඇති භායානකම උවදුරු වලින් එකකි. අංක එකේ මහජන සෞඛ්‍යය ගැටලුවයි. සංඛ්‍යාලේඛන අනුව වයස අව්රුදු පහට අඩු සැම්බියානු දරුවන් වැඩි වශයෙන් මෙම වසංගතයෙන් මරුවාට ගොදුරු වී ඇත.

පෙර මෙන් අප්‍රිකාණුවනට මෙම රෝගයෙන් ආරක්ෂාකාරී වීමට නොහැකිවී අත්තේ කුමන හේතුවකින්ද ? එය වසංගතයක් වන තරමටම අප්‍රිකානු සමාජය ගිල ගත්තේ කෙසේද ? පුරාතන අප්‍රිකානු සමාජය කුඩා කණඩායම් වශයෙන් විශාල ප්‍රදේශයක විසිර වාසය කිරීම නිසා මෙම වසංගත පැතිරීම සීමා වී පැවතුණි. එහෙත් නූතන, අධි ජනගනත්වයකින් යුතු නගර වල දිවිගෙවන වර්තමාන අප්‍රිකානුවන්, එබැවින්ම රෝගය පැතිරීමෙහි වේගය වැඩිවීම නිසා නිරායාසයෙන්ම මෙම වසංගතයන්හී ගොදුරු බවට පත්වී ඇත. වසර දහස් ගණනක් මෙම රෝග සඳහා අප්‍රිකානුවන් සතුවූ ප්‍රතිශක්තිය තව දුරටත් නොමැත. රෝගය උදෙසා සාමාන්‍යයෙන් පිළිගත් ඖෂධ වල ක්‍රියාකාරිත්වයද අඩපණ වී ඇත.

මේ පිළිබඳ කරුණු අධ්‍යනය පිණිස මහචාර්යය වරයා තෝරා ගත් රෝහලෙහි, වසංගතය උත්සන්න කාලයට දිනකට ළමුන් හතක් පමණ මිය යන බව කියවේ. එහි නේවාසික ප්‍රතිකාර ලබන අසරණ සැම්බියානු දරුවන් දකින මහාචාර්යය වරයා වරෙක ඉකිගසා හඬා වැටෙන්නේ මැලේරියාව විසින් ඔවුන් මත ඇතිකොට ඇති දුක්ඛිත තත්ත්වය දරාගත නොහැකිවයි. මහාචාර්යයවරයාම පවසන පරිදි ඉතිහාසය හැඩගැස්වීමෙහිලා මුල්වූවේයැයි තමන් විසින් හඳුනා ගත් ප්‍රබල සාධක ත්‍රිත්වයෙන් එකක් වූ විෂ බීජ, ක්‍රියාකාරීව තිබෙන ආකාරය සියැසින්ම දක්නට ලැබීම ඔහුව කම්පනයට පත් කිරීමට තරම් සමත් කාරණාවක් වී ඇත.


අවුරුදු තිහකට පෙර, මෙලොවෙහි පවතින අසමාණාත්මතාවයේ මූලයන් සොයා මා විසින් දීර්ඝ ගමනක් ඇරඹුවා. මෙම කථාවෙහි ආරම්භය ශිෂ්ටාචාරයේ ආරම්භය තරම්ම ඈතට දිවෙන බවත්, මිහිමත ඇති භූගෝලීය තත්ත්වයන්ගේ වෙනස මත එය රදා පවතින බවත් මට අවබෝධ වූවා. මානවයා මුලින්ම ගොවිතැන ඇරඹු විට, එක් කුඩා ප්‍රදේශයක සිටි මිනිසුන් සමූහයක් ලොවෙහි පවතින හොඳම බෝග සහ සතුන් ලැබීමට වාසනාවන්ත වී ත. එම වාසනාව විසින් වර්තමානය තෙක් ආ ගමනේදී ඔවුන්ට ආවේණික වාසියක් ලැබුණා. යුරෝපීයන් වෙත ලැබුණු මෙම වාසියේ ප්‍රතිඵලයක් ලෙස ඔවුනට නව රටවල්, මද්වීප සියතට ගැනීමට සහ අසාමාන්‍ය සමෘද්ධියක් ගොඩනගා ගැනීමට සහය වූ තුවක්කු, විෂ බීජ හා වානේ අත්පත් කරගැනීමේ හැකියාව ලැබුණා. භූගෝලීය සාධක හා තුවක්කු, විෂ බීජ හා වානේ මානව ඉතිහාසයෙහි හැඩය වෙනස් කිරීමට ඉවහල්වූ ප්‍රබලතම බලවේග බව මට කියන්න පුළුවන්. සැම්බියාවෙහි මෙම බලවේග වල බලපෑම අදටත් දකින්න පුළුවන්. ඝර්ම කලාපීය විෂ බීජ ඔවුන්ව යටත් කොටගෙන දරිද්‍රතාවය වෙත රැගෙන යන හැටි අපට මෙහිදී දැකිය හැකියි. මෙහි තේරුම සැම්බියාව හෝ අප්‍රිකාව සදහටම මෙම භූගෝලීය සාධකයන්ගේ හා බලයන්ගේ ගොදුරක්ව පැවතිය යුතු බවද ? අනාගතයේදීත් වර්තමානයේ මෙන්ම දරිද්‍රතාවයෙන් පෙළිය යුතු බවද ? කිසිසේත්ම නැත.

අප්‍රිකාව හෝ ලෝකයෙහි වෙනත් නොදියුණු ප්‍රදේශ එලෙසින් පැවතීමට බලපාපු විශේෂ හේතු සාධක තියනවා. එම හේතු සාධක තේරුම් ගැනීම මගින් ඇතිවෙන දැනුම භාවිතා කිරීමෙන් අපට පුළුවන් ඉතිහාසයේදී අවාසි සහගත තත්ත්වයනට මුහුණ දුන් එම ප්‍රදේශ නගා සිටුවීමට උදව් කරන්න. - මහාචාර්යය ඩයමන්ඩ්. 


මැලේසියාව හා සිංගප්පූරුව, ලෝකයේ ප්‍රබලම ආර්ථිකයන් කිහිපය අතර සිටිනා දෙරටක්. ඝර්ම කලාපීය අප්‍රිකාව මෙන්ම ඔවුන්ටත් ඝර්ම කලාපීය භූගෝලීය සාධක හා සෞඛ්‍ය ගැටලු පොදුය. මෙම දෙරටද සැම්බියාව මෙන්ම මැලේරියාවෙන් නොසෑහෙන තරම් බැටකා ඇත. නමුත් සිය පරිසරය අවබෝධ කොට ගැනීම මගින් මෙම රටවල් ද්විත්වයම වර්තමානයෙහි පවතින තත්ත්වයට ළඟා වූහ. වසර පනහකටත් පමණ පෙර මෙම රටවල් විසින් භූගෝලීය සාධක හා විෂ බීජ මගින් ඇති කළ හැකි බලපෑම අවබෝධ කොට ගත් පසු සැලසුම් සහගත පරිශ්‍රමයකින් මැලේරියාව සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට සමත් වූයේ සිය ආර්ථිකය හා ජීවන තත්ත්වය නගා සිටුවමිනි. මැලේසියාවේ හා සිංගප්පූරුවේ කතාව, භූගෝලීය තත්ත්වය හා ඉතිහාසය අවබෝධ කොටගැනීම මගින් ලබාගත හැකි තත්ත්වයන් මැනවින් පෙන්නුම් කරනා සජීවී නිදර්ශනයන්ය.

යමක් පිළිබඳ කරණ පැහැදිලි කිරීම් ඔබට වෙනස් වීමට අවැසි ශක්තිය ලබාදෙයි. එමගින් ඔබට ඉතිහාසයේ සිදුවූයේ කුමක්ද හා එසේ සිදුවූයේ ඇයි ද යන්න හෙළිකරයි. එම දැනුම ඔබට ඔබගේ අනාගතය හැඩගස්වා ගැනීම උදෙසා භාවිතා කළ හැකියි. - මහාචාර්යය ඩයමන්ඩ්

මහාචාර්යවරයාගේ මෙම දීර්ඝ ගවේෂණය, මානව ඉතිහාසය හැඩ ගැස්වූ ප්‍රබල බලවේගයන් හදුනා ගැනීම උදෙසාය. එහෙත්, ඒ ඒ පුද්ගලයාගේ ජීවිතය හැඩ ගැසීම ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරකම් මතම රඳා පවතින බව ඔහුගේ අදහසයි.

මහාචාර්යය ඩයමන්ඩ්ට අනුව, වසර තිහකට පසුවත්, තුවක්කු, විෂ බීජ හා වානේ පිටුපස වූ ගැටලුවෙහි වැදගත්කම තවමත් අඩුවී නොමැත.

මට හිතෙන විදිහට, මගේ ඉදිරි ජීවිතයේදී මම විසඳීමට උත්සහා කරණ කිසිම ගැටලුවක් තුවක්කු, විෂ බීජ හා වානේ පිටු පස වූ ගැටලුව තරම් චිත්තාකර්ෂණීය නොවනු ඇත. මන්ද යත් එය මානව ඉතිහාසයේ විශාලම ගැටලුව වන බැවිනි. - මහාචාර්යය ඩයමන්ඩ්

~~නිමි~~


මූලාශ්‍ර ;

1. Guns, germs and steel, a documentary film by National Geographic
2. http://en.wikipedia.org/wiki/Jared_Diamond
3. http://en.wikipedia.org/wiki/Yali_(politician)
4. http://en.wikipedia.org/wiki/Guns_germs_and_steel
5. http://en.wikipedia.org/wiki/Francisco_Pizarro
6. http://en.wikipedia.org/wiki/Atawalpa
7. http://en.wikipedia.org/wiki/Battle_of_blood_river
8. http://en.wikipedia.org/wiki/Maxim_gun
9. http://en.wikipedia.org/wiki/First_Matabele_War
10. http://en.wikipedia.org/wiki/Kingdom_of_Mapungubwe


Guns, Germs and Steel වාර්තා චිත්‍රපටය ඇසුරින් සකස් කෙරුවේ ;
~~ සෙන්නා / 29.11.2012

Thursday, November 15, 2012

සුද්දො මෙච්චර පොහොසත් ඇයි ? | Why, you white man have so much cargo ? - දෙවන කොටස

පළවෙනි කොටසට.......................

2012 ඉල් මස 15 වනදා
2
හසයවන සියවසේ තෙවන දශකයේදී දකුණු ඇමෙරිකාවෙහි, රත්‍රන් හා වෙනත් ඉසුරු ගවේශණයේ යෙදෙනා ස්පාඤ්ඤ සේනාවකි. ඔවුන් වෘත්තීය හමුදා භටයන් නොවූ නමුදු විශ්‍රාමික ස්පාඤ්ඤ හමුදා කපිතාන් වරයෙකු වූ Francisco Pizarro විසින් මෙහෙයවනු ලැබූ නිර්භීත, ත්‍රාසජනක ක්‍රියා ප්‍රිය කළ සමූහයකි. Francisco Pizarro ඒ වනවිටත් මධ්‍යම ඇමෙරිකානු යටත් විජිතයන් වල සිය වාසනාව උරගා බැලූවකි. දැන්, ඔහු සිය පිරිවරත් සමඟ තවත් දකුණෙහි වූ නොදන්නා දේශයන් කරා ගමන් කරයි. මුලින්ම ඇන්ඩීස් කඳු වැටිය තරණය කළ යුරෝපීයන් කණ්ඩායම ලෙස ඔවුන් ඉතිහාසගත වී ඇත. එමෙන්ම දකුණු ඇමෙරිකා මද්වීපයේ මෙතරම් අභ්‍යන්තරයට ගමන් කළ මුල්ම යුරෝපීයන් කණ්ඩායමත් ඔවුන්ම වේ.

මෙසේ ගමනේ යෙදෙන විට, Pizarro ඇතුළු කණ්ඩායමට, ක්‍රමක්‍රමයෙන් ශිෂ්ටාචාරගතවූ මානව ජනාවාස වල ලක්ෂණ දක්නට ලැබුණි. ඔවුන් නොදැනුවත්වම අති දැවැන්ත ඉන්කා අධි රාජ්‍යයේ එළිපත්තට ගොඩවී සිටියහ. ඉන්කාවරුන් මින් පෙර සුදු මිනිසුන්ව දැක නොතිබුණි. එබැවින්ම මේ සුදු මිනිසුන් තමන් වෙත ගෙන එන තර්ජනයේ ස්වභාවය පිළිබඳ ඔවුන්ට කිසිඳු දැනුමක් නොවීය. දින කිහිපයක් ඇතුළත මේ අමුත්තන් කිහිප දෙනා තම ලෝකය උඩු යටි කුරු කරනා බව ඔවුන් සිහිනෙකුදු නොසිතන්නට ඇත.


ඉන්කා අධිරාජ්‍යය

මැදපෙරදිගින් පැතිරුණු මිනිසුන්, සතුන් සහ බෝග මගින් යුරෝපයේ ශිෂ්ටාචාරය ගොඩනැංවූ බව පෙර සඳහන් විය. දහසයවන සියවස වන විට යුරෝපයේ බොහොමයක් ගොවිපළවල් මැදපෙරදිගින් පැතිරුණු සතුන්ගෙන් පිරී පැවතිණි. මේ එකද සතෙකුවත් යුරෝපයට ආවේණික සතුන් නොව්නි. මෙම සතුන්ගෙන් මාංශ, කිරි, ලෝම වලට අමතරව ලද විශාලම ප්‍රයෝජනය නම් ගොවිතැන උදෙසා යොදා ගත හැකිවීමයි. නගුලට ඇඳුණු අශ්වයන්, ගවයන් වැනි සතුන්ගෙන් ගොවිතැනෙහි කාර්යක්ෂමතාවය සහ අස්වැන්න වැඩි කරගැනීමට ලැබුණු සහය අපමණ විය. ගොවිතැනින් ලද ඵලදාව වැඩි වත්ම යුරෝපියානු ගොවියන් හට වැඩියෙන් ආහාර නිපදවා වැඩි පිරිසක් පෝෂණය කිරීමේ හැකියාව ලැබුණි. එය, විශාල සහ සංකීර්ණ සමාජයක් ගොඩ නැංවීම කෙරෙහි අතිශයින් ඉවහල් විය.මෙයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් නව ලෝකය හෙවත් ඇමෙරිකා මහද්වීපයේ දක්නට ලැබුණි. ඔවුන් ගොවිතැනට සතුන් භාවිත නොකළ අතර කුදු මහත් සියලු දෑම පාහේ මිනිස් අතින්ම කෙරිණ. ආශ්‍රයේ සිටි එකම සත්වයා වූ ලාමා සතුන්ද කෙදිනකවත් ගොවිතැන සඳහා උපයෝගී කොටගත් බවක් දක්නට නොතිබුණි.

අශ්වයන් පිට උඩ නැගුණු මිනිසුන් දුටු ඉන්කාවරුන්ගේ විමතිය ඉමහත් විය. ඔවුන් කිසිදිනක සතුන් මත නැගී ගමන් කිරීම කර නොතිබුණි. එබැවින් අසුන් පිට නැගී සිය රට මැදින් ගමන් කරනා Pizarro හා පිරිසගේ ගමන ඔවුනට ආසාමාන්‍ය එකක්ම විය. ඉන්කාවරුනට මෙම පිරිස අර්ධ මිනිසුන් හා අර්ධ සතුන් වූ අමුතුම ජීවීන් කොටසකි. සමහරුන්ගේ අදහස වූයේ ඔවුන් දෙවිවරුන් විය හැකි බවය. ඉන්කා වරුන්ට අශ්වයා හා උන් මත නැගුණු මිනිසුන් අමුතුම දසුනක් වුවද, යුරෝපයේ අසුන් භාවිතයට පැමිණ ඒ වන විට වසර 4000 ක් පමණ වී තිබුණි. අශ්වයා යනු, යුරෝපීයන් විසින් ගොවිතැන, සත්ත්ව පාලනය සහ යුද කටයුතුවලට නොමදව සහභාගී කරගත් සත්ත්වයෙකි. ඔවුන් අසුන්ව අති දක්ෂ ලෙස හැසිරවීමේ ශූරයෝ වූහ. මෙම හැකියාව ඒ වන විටත් අසුන් සමඟ ගනු දෙනු කොට නොතිබූ ඉන්කා වරුන් වැනි මිනිසුන්ව විමතියට, ත්‍රාසයට සහ භීතියට පත් කිරීමට හොඳටම ප්‍රමාණවත් විය.

සිව්පාවුන් මත නැගි අමුතු මිනිසුන්ගේ ආගමනය පිළිබඳ ආරංචිය රැගෙන රාජකීය දූතයකු ඉන්කා අධිරාජ්‍යයා වෙත ඉගිලුනි. "අත'ක්ව්ල්පා", හිරු දෙවියන්ගේ පුත්‍රයා ලෙස හැඳින්වූ ඉන්කා අධිරාජ්‍යයා ඒ වන විට ඉන්කා සෙබළුන් 80000 කින් පමණ රැකවරණය සැපයූ කහමාකා නගරයේ මෑතදී ලද යුද ජයග්‍රහණ මාලාවක් වෙනුවෙන් ස්තූති පූජාවක නිරත වෙමින් සිටියේය. ස්පාඤ්ඤයන්ගේ පැමිණීම ගැන ආරංචිය ලද අත'ක්ව්ල්පා ගේ සිතෙහි අමුතුම අදහසක් පහළ විණි. ඔහු විසින්, ඔවුන්ව ඝාතනය කිරීම වෙනුවට, හැකි ඉක්මනින් කහමාකාහිදී තමන් හමුවන ලෙස පණිවිඩයක් නිකුත් කරණ ලදී.

අමුත්තන්ව උපක්‍රමශීලීව තමන් ළඟට ගෙන්වාගෙන උගුලකට හසුකර ගැනීමේ සැලැස්මක් අත'ක්ව්ල්පා ගේ සිතෙහි වැඩකරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. ඔහුට ලැබී තිබුණ බුද්ධි වාර්තාවලට අනුව, පැමිණ තිබුණේ මුහුණ පුරා ලෝම වවාගත් සතුන් වැනි කොට්ඨාශයකි. සමහර වාර්තාවලට අනුව ඔවුන් දෙවිවරුන් වූහ.  තවද හිස මත ඉවුම් පිහුම් වලදී භාවිතා කරනා හැලියක් පැළඳගන සිටියහ. හිස උඩ හැළියක් පැළඳගෙන ගමන් කිරීමට නම් ඔවුන් අනිවාර්යයෙන්ම උමතු පිරිසක් විය යුතුමය. අත'ක්ව්ල්පා හට මෙම පිරිස මිනිසුන් කණ්ඩායමක්ය විය හැකි බවට අදහසක් තිබුණි.

අශ්වයන් කිහිප දෙනෙකුගෙන් හා සුලු පිරිසකගෙන් සැදුම් ලත් මෙම මිනිසුන් කණ්ඩායමට, අති ශ්‍රේෂ්ඨ, බලගතු ඉන්කා අධිරාජ්‍යට කළ හැක්කේ කුමක්ද ? සැබවින්ම කිසිත් නැත. මේ අතව්ල්පාගේ ගණනය කිරීමයි.
නමුත්, අත'ක්ව්ල්පා නොදැන සිටි කරුණ වූයේ, මෙම මිනිසුන් සමූහය, එවකට ලොව තිබූ බොහොමයක් දියුණුම ආයුධ වලින් සන්නද්ධ වී සිටි බවයි.

Pizarro  ඇතුළු කණ්ඩායමට කහමාකා යෑමට ඉඩදී, අප ඔවුන් මේ දියුණු අවි වලින් සන්නද්ධ වූයේ කෙසේදැයි සොයා බලමු.

ස්පාඤ්ඤය, එවකට යුරෝපයේ ප්‍රබලම හමුදාවෙන් සන්නද්ධ වූ රාජ්‍යය, සියවස් ගණනක් පුරා ඉස්ලාම් ආක්‍රමිකයින් සමඟ සටන් වැදීම හා එවකට යුරෝපයේ පැවති එකෙනෙකා පරයා නැගී සිටීමේ අවි තරගයෙන් නොනැසී පැවතීම උදෙසා ඔවුන් හට නවතම තාක්ෂණයෙන් යුතු අවි ආයුධ වලින් සන්නද්ධ වීම අත්‍යවශ්‍යය කාරණයක් විය. දුනු ඊතල වැනි ප්‍රාථමික අවි වලින් මෙම තරගය ජයගත නොහැකි බව ඉතා පැහැදිලි සත්‍යකි. එබැවින් එවකට පැවති, "හාර්කබස්" වැනි නවීනතම තුවක්කු වර්ග ස්පාඤ්ඤය සතු විය. විසි එක් වන සියවසේ අවි සමඟ සසඳා බලන විට හාර්කබස් තුවක්කුව සම්පූර්ණයෙන්ම විහිළුවකි. එය එල්ලය ගැනීම දුෂ්කරවූ, නැවත පිරවීමට කල්ගතවූ ගොරහැඩි අවියක් විය. එහෙත් එවන් අවියක්වත් පෙර නොදුටු අයකුව ත්‍රස්ත ගැන්වීමට මෙම අවිය හොඳටම ප්‍රමාණවත් විය. චීනුන් විසින් සොයාගත් වෙඩි බෙහෙත්, ආරාබීන් විසින් අවියක් ලෙස භාවිතා කිරීම ඇරඹූහ. පසුව යුරෝපීයන් අතින් සහැල්ලු, බුහුටි තුවක්කු ලොවට දායාද විය. එක්දාස් පන්සිය තිස් ගණන් වන විට, හාර්කබස් අවිය ස්පාඤ්ඤ හමුදාව විසින් සුලභව භාවිතා කළ අවියකි. 

හාර්කබස් තුවක්කුවක්.
තුවක්කුවේ කතාව එසේ වුවද, යුරෝපියානු ආක්‍රමණිකයින් සතුවූ සැබෑම බලය අනෙකකි. එය වානේ නිෂ්පාදනය මත රඳා පැවති රහසකි. යුරෝපීයන් විසින් මාරක වානේ අවි නිපදවන විට ඉන්කා වරුන් වැනි ජාතීන් තඹ වලින් නිර්මිත අවි භාවිතයට පමණක් සීමා වූ රහස කුමක්ද ? ලෝහ සමඟ ගනුදෙනු කිරීමේ කලාව වසර 7000 කට පමණ පෙර යුරෝපයෙන් පිටත Fertile Crescent හීදී ඇරඹී ඇතැයි සැලකේ. යුරෝපය භූගෝලීය වශයෙන්  Fertile Crescent වෙත ආසන්නව පිහිටීම නිසා මෙම තාක්ෂණය ඔවුන් වෙතට ලෙහෙසියෙන්ම ගලා එන්නට ඇතැයි සිතිය හැකිය. එසේ වසර දහස් ගණනක් සෙමෙන් සෙමෙන් ගොඩ නැගුණු තාක්ෂණය යුරෝපීයන් විසින් භාවිත කොට තමනට අවැසි අවි, වානේ උපයෝගී කොටගෙන නිපදවා ගැනුණි. එසේ නොමැතිව, ඒ සඳහා යුරෝපීයන්ට පමණක් විශේෂ වූ හැකියාවක් නොමැති වූ බව මහාචාර්යය ඩයමන්ඩ්ගේ මතයයි.

වානේ නිෂ්පාදනය ගැන දැන ගැනීමත් සමගින් , යුරෝපීයන් විසින්, ලෙහෙසියෙන් නොකැඩෙන, තියුණු, දිගු අසිපත් නිර්මාණය කරන්නට විය. දහසය වන සියවසේදී සුලභව භාවිතාවූ අවියකි, "රේපියර්" යනුවෙන් හැදින්වූ සිහින්, දිගු, දෙපැත්ත කැපෙන අසිපත.  එය, එක් රැයකින් කළ නිමවුමක් නොව සියවස් ගණනක් පුරා අත්වැරදීම් තුළින් ලබාගෙන තිබූ විශිෂ්ටත්වයකි. මැනවින් හැසිරවීම පුරුදු කළ අයෙකුට මෙම අවිය මගින් කෙටි වේලාවක් තුළ කිහිප දෙනෙකුම වුව බිම හෙළීම එතරම් අපහසු කටයුත්තක් නොවුණි. එකල එය සමාජ තත්ත්වය පෙන්නුම් කෙරෙනා සලකුණක්ද විය. දහසය වන සියවසේ විසූ ප්‍රභූන්ගේ ඇඳුමෙහි වූ ප්‍රධාන අංගයක් වූයේ මෙම අවියයි. Pizarro ඇතුළු පිරිසද මෙම අවි වලින් මැනවින් සන්නද්ධව සිටියා පමණක් නොව ඔවුන් ඒවා හැසිරවීමෙහිද ශූරයෝ වූහ. අහෝ, අත'ක්ව්ල්පා මේ ගැන දැන සිටියේ නම් !

රේපිය(ර්) අසිපතක්
~~~

1552 නොවැම්බර් මස 15 වන දින, Pizarro හා කණ්ඩායම කහමාකා නිම්නයට ඇතුළු විය. අතව්ල්පා මෙහිදී ඔවුන්ව මුණ ගැසෙන බව දැනුම්දී තිබුණි. කඳු වළල්ලකින් වටවී තිබූ කහමාකා නගරය ආයුධ සන්නද්ධ ඉන්කා භටයන් 80000 කින් පමණ ආරක්ෂා කෙරිණ. සිය පිරිස සීමිත වූ බැවින් හා සැලකිය යුතු දුරක් රට අභ්‍යන්තරයට පැමිණ සිටි බැවින් Pizarro හා කණ්ඩායම මද චකිතයකින් යුක්ත නොවුණාත් නොවේ.

කහමාකා නගරයේ කඳවුරු ගසා ගැනීමෙන් අනතුරුව, පිසාරෝ, කපිතාන් ඩි'සෝටෝ විසින් නායකත්වය දුන් දක්ෂතම අසරුවන් කිහිප දෙනෙකුව අත'ක්ව්ල්පා සිටි කඳවුර වෙත පිටත් කර හැරියේ ඉන්කා අධිරජ්‍යයාට සිය කඳවුරට පැමිණෙන ලෙස ආරාධනා කිරීමටය. අත'ක්ව්ල්පා විසින් මෙම ආරාධනය පිළිගැනුණු අතර පසු දින ඔවුන් මුණ ගැසෙන බවට පොරොන්දු විය.මෙය එක්තරා සැලැස්මකට අනුව කළ ආරධනයක් බව පෙනෙන්නට තිබේ. සමහර වාර්තාවල දැක්වෙන ආකාරයට මෙහිදී කපිතාන් ඩි'සෝටෝ හා අත'ක්ව්ල්පා අතර ඇතිවූ බහින් බස්වීමක ප්‍රතිඵලයක් ලෙස අත'ක්ව්ල්පා විසින් ඔවුනට තර්ජනය කළ බවයි.

කහමාකා නගරයේ කඳවුරු ගසා ගත් 168 දෙනෙකුගෙන් යුක්තවූ කණ්ඩායම රාත්‍රිය ගත කෙරුවේ ඉමහත් විමසිල්ලෙනි. අත'ක්ව්ල්පාගේ තර්ජනය සරල ලෙස ගැනීමට තරම් ඔවුන් අඥාන නොවුණි. ඒ අතරම ඔවුන් හෙට දිනයේ ඇතිවිය හැකි තත්ත්වයට සුදානම් වෙමින්ද සිටියහ. 168 දෙනෙකුගෙන් පමණක් සමන්විත වූ කණ්ඩායම, ඉන්කා රට අභ්‍යන්තරයේ 80000 ක් පමණ වූ හමුදාවකට මුහුණ දීමේ අභියෝගය ඉදිරියේ පසු වූහ. මේ අතර, පිසාරෝ සිය විශ්වාසවන්තම නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටියේ " අත'ක්ව්ල්පාට  මුහුණ දිය යුත්තේ කෙසේද ? " යන්නයි. සටනක් ඇතිවුවහොත් සාර්ථක විය හැකියැයි අනුමානකල සියලු විකල්ප සලකා බැලීය. පිසාරෝගේ අරමුණ වූයේ බලාපොරොත්තු නොවූ මොහොතක එල්ල කරණ හදිසි ප්‍රහාරයක් මගින් සතුරාව ජය ගැනීමයි. මෙම ක්‍රමය මගින් මින් පෙර වූ ස්පාඤ්ඤ ආක්‍රමණිකයින් සාර්ථක පල නෙලා ගෙන තිබුණි. පිසාරෝ ඇතුළු පිරිසට මෙහෙයුම සැලසුම් කරන්නට ඉඩදී අපි නැවතත් ස්පාඤ්ඤය දෙසට හැරෙමු.

පිසාරෝ ඉන්කා දේශයට යාමට වසර දොළහකට පෙර, තවත් ස්පාඤ්ඤ ආක්‍රමණිකයෙක් වූ Hernán Cortés වර්තමාන මෙක්සිකෝව ඇති ප්‍රදේශය දික් විජය කළහ. ඔවුන් අතින් යටත් වූයේ එවකට පැවති තවත් දියුණු ශිෂ්ටාචාරයක් වූ ඇස්ටෙක් ශිෂ්ටාචාරයයි. පිසාරෝ යෝජනා කළ ක්‍රමයම අනුගමනය කරමින් Hernán විසින් මෙක්සිකෝවේදී සාර්ථක පල නෙලාගැනීමට සමත් වී සිටියේය. ඔහු විසින් ඇස්ටෙක් නායකයාව පැහැර ගැනීම මගින් හා ඉන්පසු ඇතිවූ අවුල් සහගත තත්ත්වයේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් රාජ්‍යය යටත් කරගනු ලැබීය. මෙම ආක්‍රමණයේ සියලු විස්තර පසුව පොතක් ලෙස එළි දැක්වූ අතර ආදායම් වාර්තා තැබීමටද සමත්වූ පොතක් බවට එය පත්විය. අදටත් උතුරු ස්පාඤ්ඤයේ සලමන්කා විශ්ව විද්‍යාල පුස්තකාලයේදී දැකිය හැකි එම පොත ආක්‍රමණිකයෙක් වීමට බලාපොරොත්තුවන කෙනෙකුට අත් පොතක් ලෙස උවද පරිහරණය කළ හැකි අන්දමේ එකකි.  මෙම අනර්ඝ පොත Hernán විසින්, ඇස්ටෙක් වරුනට කළ සියලුම ආකාරයේ ප්‍රහාර, කුමන්ත්‍රණ ආදී විස්තරවලින් සමන්විත වී ඇත. එය පිසාරෝ හට ඉන්කා වරුන් සමඟ කරනා ගනු දෙනුවේදී පූර්වාදර්ශයක් වූ බවට නොඅනුමානය.

එහෙත්, ඉන්කා වරුන්ගේ තත්ත්වයත් එසේමද ? නැත, ඔවුන් අතර ඒ වන විටත් පොත් පරිහරණයක් හෝ අක්ෂර භාවිතයක් නොවුණි. දැනුම සංචරණය වූයේ වාචිකව, මතකය ඔස්සේය. එබැවින් අත්දැකීම් තුළින් ලබන දැනුම පරපුරෙන් පරපුරට සංචරණය වීම මන්දගාමී වූ අතරම නිවැරදිද නොවූහ.

"ලියකියැවීම මෙතරම්ම වැදගත් නම්, ඉන්කා වරුනට එය නොහැකි වූයේ මන්ද ?"

ලියකියැවීමේ ක්‍රමවේදයක් අලුතින්ම සකසා ගැනීම අතිශයින්ම සංකීරණ ක්‍රියා පටිපාටියක් වේ. මානව ඉතිහාසය පුරාවටම එවැනි අවස්ථා හඳුනා ගත හැක්කේ සීමිත සංඛ්‍යාවක් පමණී. මුලින්ම එවැනි අක්ෂර නිර්මාණය කිරීමක් දැකිය හැක්කේ Fertile Crescent හී වාසය කළ සුමේරියානුවන් අතරය. අදින් වසර 5000 කට පමණ පෙර ඔවුන් විසින් වැඩි දියුණු කළ අක්ෂර ක්‍රමය හැඳින්වූයේ "ක්‍යුනිෆෝම්" ලෙසය. බොහොමයක් වූ යුරෝපියානු හා ආසියානු භාෂාවන් ක්‍යුනිෆෝම් අභාෂයට ගෙන ගොඩ නැගී ඇති අතර, කඩදාසි, තීන්ත වැනිදෑ සොයා ගැනීමත් සමඟම ලිවීම වේගයෙන් සමාජයන් අතර පැතිර යන්නට විය. ඒ හා සම්බන්ධ බොහොමයක් වූ සොයා ගැනීම් යුරෝපයෙන් පිටත සිදුවී යුරෝපය වෙත සංක්‍රමණය වූ දේවල් වන අතර මධ්‍යතන යුගයේදී යුරෝපීයන් විසින් මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීම සාක්ෂරතාවයෙහි විප්ලවීය සන්ධිස්ථානයකි. එයින් පසු, දැනුම මුද්‍රිත මාධ්‍යය ඔස්සේ යූරෝපය හා ආසියාව හරහා වේගවත්ව හා නිවැරදිව පැතිර ගිය අතර, අක්ෂර භාවිතයක් නොවන්නට නූතන ලෝකයේ දියුණුව සිහිනයක්ම පමණක් වන්නට තිබිණ.

මීට අමතරව ලෝකයේ ස්වාධීනව අක්ෂර භාවිතය සොයා ගත් තවත් පිරිසක් වූහ. අඩුම තරමින් මින් වසර 2500 කටවත් පෙර දකුණු මෙක්සිකානු ප්‍රදේශ වල සිටි ජනයා සංකේත සමඟ ගනු දෙනු කිරීමේ ක්‍රමවේදයක් සකසාගෙන සිටියහ. පසුව මායා අක්ෂර මාලාව බවට පරිවර්තනය වූයේ මෙම දැනුමයි. එහෙත්, මායාවරුන් හට සාක්ෂරතාවය තිබුණේ නම්, එය, එතනින් සැතපුම් පන්සියයක් පමණ දකුණෙහි විසූ ඉන්කා වරුන් වෙත සංක්‍රමණය නොවුයේ කුමන හේතුවක් නිසාද ? මහාචාර්ය ඩයමන්ඩ් සතුව ඒ සඳහා සිත්ගන්නා සුළු පැහැදිලි කිරීමක් ඇත. ඔහුට අනුව පිළිතුර රැඳී ඇත්තේ මහද්වීප වල හැඩය මතය.

ආසියාව හා යුරෝපය එක්ව තනනු ලබන යුරේශියානු මහද්වීපය, පළලින් වැඩි, එහෙත් උසින් අඩු නැගෙනහිර සිට බටහිර දක්වා පැතිරුණු මහද්වීපයකි. එහෙත් ඇමෙරිකානු මහද්වීපය පළලින් අඩු, එහෙත් උසින් වැඩි උතුරේ සිට දකුණ දක්වා විහිදුණු මහද්වීපයකි. මහාචාර්යය ඩයමන්ඩ් කලිනුත් පෙන්වාදී ඇති පරිදි, ශිෂ්ටාචාරයේ පැතිරීම Fertile Crescent හී සිට නැගෙනහිරට හා බටහිරට සිදුවිය. මහද්වීපය පුරාවට එකම අක්ෂාංශ කිහිපයක් අතර නැගෙනහිර හා බටහිර අතර මෙම පැතිරීම ඉතා පහසුවෙන් සිදුවූයේ, මේ සියලු ප්‍රදේශ වල මූලික භූ විෂමතා, දේශගුණික ලක්ෂණ බොහෝ දුරට එක හා සමාන බැවිනි. එබැවින්, මිනිසුන්, සතුන්, දැනුම, තාක්ෂණය එක් තැනක සිට තවත් තැනකට සංක්‍රමණය වීම ඉතා පහසුවෙන් සිදු විය.

එහෙත් අමෙරිකාණු මහද්වීපයේ තත්ත්වය මීට ඉඳුරාම වෙනස්ය. මහද්වීපයේ එක් කොනක සිට අනෙක් කොන දක්වා කෙරෙන ගමන උතුරේ සිට දකුණ දක්වා කෙරෙනා ගමනකි. එහිදී එකිනෙකට වෙනස් තත්ත්වයන් යටතේ වූ අක්ෂාංශ, දේශගුණික ලක්ෂණ, භූවිෂමතා පසු කළ යුතුය. එබැවින් ඇමෙරිකාණු මහද්වීපය තුළ මානව, සත්ත්ව, දැනුම්, අදහස් හා තාක්ෂණයේ සංක්‍රමණයන්, යුරේශියානු මහද්වීපයට සාපේක්ෂව බොහෝ සෙමින් සිදුවිය. මායාවරුන් ලියැකියවීමේ හැකියාව ලබා සිටින විට, එම දැනුම ඉන්කා වරුන් වෙතට සංක්‍රමණය නොවීමට බලපෑ ප්‍රධානතම හේතුව මෙයයි. එලෙස සලකා බලන විට, පිසාරෝ සහ පිරිවර භූගෝලීය වශයෙන් ආශිර්වාද ලද කණ්ඩායමකි. යුරේශියාව පුරා ලෙහෙසියෙන්ම පැතිර ගිය දැනුමේ හා තාක්ෂණයේ ප්‍රතිලාභ ඔවුනට මොනවට භුක්ති විඳීමේ භාග්‍යය උදා වී තිබිණි.

යුරේශියාව


ඇමෙරිකාව

~~~
ක්‍රි.ව. 1532 කේ නොවැම්බර් 16 වන දිනට හිරු උදා විය. අත'ක්ව්ල්පා හට ස්පාඤ්ඥයන්ව හමුවීමේ බලවත් ඕනෑ කමක් විය. ඔහු විසින් සිය පිරිවර ඔහුට කලින් පිටත් කොට හැරිණි. නමුත්, මෙහිදී අත'ක්ව්ල්පා විසින් දෛවෝපගත තීරණයක් ගෙන තිබුණි. ඒ සිය භටයන් ආයුධ වලින් සන්නද්ධ නොකිරීමටයි. ඒ පිටුපස සැගවුණු රහස කුමක් විය හැකිද ?

ඉතිහාසඥ Efrain Trelles විසින් මේ සඳහා කරුණු දෙකක් ගෙන හැර දක්වයි. මූලික කරුණ වූයේ අත'ක්ව්ල්පා ඒ වන විට සිටියේ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව යුද ජයග්‍රහණ සමරමින්ය. ඔහු මේ දැන් ගමන් කරන්නේත් සටනක් සඳහා නොව තම ශක්තිය පෙන්වීමේ අරමුණින් පමණක්මය. තම ශක්තිය පෙන්වා දෙවියන්යයි හැඳින්වූ සුදු මිනිසුන්ව බිය කොට පලවා හැරීමටය. ඔහුගේ ගණනය කිරීම් වලට අනුව අධි බලැති ඉන්කා අධිරාජයාට ඒ සඳහා ආයුධ අවශ්‍ය නොවුණි. අනෙක් කරුණ වූයේ, ඔහු ලද බුද්ධි තොරතුරු වලට අනුව, තම ජනයාගෙන් සමහරෙක් මෙම මිනිසුන් දෙවිවරුන්යයි පිළිගැනීමක් විය. එසේ නම්, තමන් විසින් එම දෙවිවරුන්ව පරාජය කළහොත් එම සියලු මිනිසුන්ම නැවතත් තමන් සමඟම පෙළ ගැහෙනු ඇත. තමන් සූර්ය්‍ය දිව්‍යරාජයාගේ පුත්‍රයා යැයි ඔවුන් නැවතත් පිළිගනු ඇත. තමන් කිසිඳු බලයක් නොයොදාම මෙම දෙවි වරුන්යැයි කියා ගන්නා මිනිසුන්ව පලවා හැරියහොත් තමන් එම දෙවිවරුනටද වඩා බලවත්, ඔවුනට වඩා ඉහළින් සිටින්නෙක් ලෙස ජනතාව අතර පිළිගැනීමක් ලැබෙනු අත. මෙම කරුණු සැලකිල්ලට ගෙන ඔහු විසින් සිය භටයන්ගෙන් ආයුධ ඉවත් කළේය. බලගතු ඉන්කා අධිරාජ්‍යයේ මධ්‍යටම පැමිණ, මේ මිනිසුන් කිහිප දෙනෙකුට කළ හැක්කේ කුමක්ද ?

රත්තරනින් හා රිදියෙන් සැරසූ අති අලංකර දෝලාවක් මත නැගුණු අත'ක්ව්ල්පා  සිය මිනිසුන් විසින් අදාළ ස්ථානයට උත්සවාකාරයෙන්, ගරු ගාම්භීර ලෙස වඩම්මනු ලැබීය. පන් දහසක් හෝ සය දහසක් පමණ පිරිසක් ඔහු සමඟින් පැමිණෙන්නට ඇත. එහි ඇති ගාම්භීර භාවයම අවශේෂ ඉන්කාවරුන්ව බිය කිරීමට තරම් සමත් විය. එහෙත් ස්පාඤ්ඤයන්ටත් එය එලෙසින්ම අදාළද ? පිසාරෝ ඇතුළු පිරිස එම ස්ථානයට කලින්ම පැමිණ සැඟවී සිටියහ. ඔවුන් හොඳින් ස්ථාන ගතවී, සිය ආයුධ සුදානම්ව තැබුයේ සටනක් ඇති වුවහොත් ප්‍රහාර එල්ල කිරීමේ අරමුණිනි. ඔවුන්ගේ අරමුණ නව දේශයන් යටත් කොටගෙන ඒවායෙහි සම්පත් තමන් සතු කර ගැනීම බැවින්, ඉන්කා දේශය යටත් කරගැනීමේ මුල්ම ප්‍රහාරය එල්ල කිරීමේ අරමුණින් සිටියා වන්නටත් හැකිය.

අත'ක්ව්ල්පා අදාළ ස්ථානයට පැමිණීමෙන් පසුව ස්පාඤ්ඥයන්ව දැකීමට බලාපොරොත්තුවූ නමුදු ඔවුන් දක්නට නොසිටියහ.

" මේ සුනඛයෝ රැළ කොහිද ? " ඒ අත'ක්ව්ල්පාගේ ගාම්භීර හඬයි. ඔහු අසලින් වූවෙක් පිළිතුරු දෙනුයේ " ඔවුන් බලගතු ඉන්කා අධිරාජ්‍යයේ බලය දැක බිය වී පලා යන්නට ඇති. " යනුවෙනි. එවිටම වාගේ පිසාරෝ විසින් සිය පිරිසේ වූ දේවගැතිවරයාව පිරිස අතරින් අත'ක්ව්ල්පා ඉදිරියට එව්වේය. කුරුසයක්ද අතින් රැගෙන අත'ක්ව්ල්පා ඉදිරියට පැමිණි දේවගැති වරයා;

" නුඹට සත්‍යයේ මාර්ගය පෙන්වීම උදෙසා, ක්‍රිස්තියානිත්වයේ නාමයෙන් මා මෙසේ නුඹ ඉදිරියේ පෙනී සිටිමි. " යි හඬ නගා පැවසීය.

" නුඹ කියවන්නේ මොන විකාරයක්ද රැවුල් මූණෝ ? මම සූර්ය්‍ය දිව්‍යරාජයාගේ පුත්‍රයා වෙමි. මගේ මිනිසුන්ව පාලනය කිරීමේ බලය මා සතුය. මා හට මෙලෙස ගරුසරු නැතිව කතා කිරීමට නුඹට ඇති බලය කිම ? " ඒ කෝපාග්නියෙන් දැවෙන අත'ක්ව්ල්පාගේ හඬයි.

" මට බලය ලැබී ඇත්තේ සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන්ය. ඔහුගේ ශ්‍රී වචනය මෙම පොතේ ලියවී ඇත. " යි කියමින් බයිබලයක් අත'ක්ව්ල්පා වෙත ඉදිරිපත් කෙරිණ.

මෙය සුවිශේෂී අවස්ථාවකි. අත'ක්ව්ල්පා මින් පෙර පොතක් දැක නොතිබිණි. මෙයින් ඇත්තේ කිනම් ආකාරයේ ප්‍රයෝජනයක්දැයි වටහා ගැනීමට ඔහුට අසීරු විය. ඔහු සිතුවේ සුදු මිනිසුන් සතු බලය මෙම පොත විය හැකි බවයි.

" මේකයි එහෙනම් නුඹේ බලය ? මෙය කිසිසේත්ම නොවටිනා දෙයකි. නුබ කතාකරනා වදන් මට එයින් නෑසේ." යි කියමින් බයිබලයෙන් දේව ගැතිවරයාට දමා ගැසීය.

මෙහිදී පරල වූ දේව ගැතිවරයා " ඉන්දියානු සුනඛයා ! තා එතරම් එඩිතර වූයේ කෙසේද ? ස්පාඤ්ඤවරුනී එළියට පැමිණ, දෙවියන්ගේ දෑ හට ගරු සරු නොදක්වන මෙම සුනඛයන්ව විනාශ කරපල්ලා. " යි බෙරිහන් දෙන්නට විය.

එයින් පසු උදා වන්නේ ලෝක ඉතිහාසයේ තීරණාත්මක සිද්ධියක ආරම්භයයි. සැඟවී සිටි ස්පාඤ්ඤ තුවක්කු කරුවන්ගෙන් නිකුත් වූ වෙඩි හඩ ඉන්කා ගගන තලය පුරා රැව් දෙමින් සිව් දෙසින්ම ඇසෙනා විට, ඉන්කා වරුන් එකින් එක බිම වැටෙන්නට විය. ඒ සමඟින් කඩා වැදුණු අශ්වාරෝහක සේනාව ඉන්කා වරුන්ව සිය තියුණු අසිපත් මගින් පෙති ගසන්නට පටන් ගැනිණ. අතිශයින් කලබලයට පත්වූ ඉන්කා වරුන් කළ යුත්තේ කුමක්දැයි නොදැන හිස් ලූ ලූ අත දුවන්නට වූ අතර පිසාරෝ ඇතුළු පිරිස සිය මාරක අවි ලෙලවමින් ඔවුන් ලුහුබැඳ ගොස් මරා දමන්නට විය. ඉන්කා භටයන් පවා අන්දමන්ද වී සිටියේ ඉන් පෙර ඔවුන් යුද්ධයකදී අශ්වයන් පිට නැගුණු මිනිසුන් හා සටන් කොට නොතිබූ බැවිනි. තවද මෙම අසුන් සාමාන්‍ය අසුන් නොවුණි. හොඳින් වැඩුණු, සටන් සඳහා මැනවින් පුහුණු කොට තිබූ, ජවාධික අශ්වයන් වූහ. එම අසුන්ගේ වියරු හැසිරීමම පවා ඉන්කාවරුන්ව භීතියෙන් පාෂාණිභූත කරනා සුළුය. අශ්වාරෝහකයන්ට මුහුණ දිය යුත්තේ කෙසේදැයි අවබෝධයක් කිසිඳු ඉන්කා වරයෙක් වෙත නොවුණි. කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ අදහසක් ස්පාඤ්ඤවරුනට හැර අන් කිසිවෙකුටත් නොතිබිණි. ඔවුන් පිරිස් මධ්‍යයේ අසුන් හසුරවමින්, අසිපත් ලෙලවමින්, වමටත් දකුණටත් පහර පිට පහර දෙමින්, ඉන්කාවරු එකින් එක බිම හෙළන්නට වූහ. ඒ අතර වරින් වර නිකුත් වූ වෙඩි වලින් තවත් ඉන්කා වරුන්ව බිම ඇද හෙළීය. අත'ක්ව්ල්පාගේ දෝලාව ඔසවා සිටි මිනිසුන් වෙතද පිසාරෝගේ මිනිසුන් පහර පිට පහර එල්ල කෙරිණ. එහෙත් එකෙකු පහර කා ඇද වැටෙනා විට තවෙකෙකු එම ස්ථානය ගන්නා බැවින් දෝලව බිම හෙලීම සිතූ තරම් පහසු කාර්යයක් නොවුණි. කෙසේ නමුදු අවසානයේ විය යුතු පරිදිම දෝලාව ඔසවාගෙන යැමට ඉන්කා වරුන් නොමැති වූ හෙයින් අත'ක්ව්ල්පාගේ ගමන නතරවුනි. පිසාරෝ විසින්ම අත'ක්ව්ල්පාව අත්ඩංගුවට ගන්නා ලදී. සටන අවසන් වන විට ඉන්කා වරුන් හය දහසකට වැඩි පිරිසක් මියගොස් සිටි අතර එක ස්පාඤ්ඤ භටයකුදු දිවි පුදා නොතිබුණි. Hernán Cortés  ව අනුගමනය කරමින් පිසාරෝ සැකසූ සැලැස්ම අතිසාර්ථකය. භටයන් සංඛ්‍යවෙහි පැහැදිලි අසමානතාවයක් තිබියදීත්, ස්පාඤ්ඤ අශ්වයන්, අසිපත් හා උපක්‍රම ඵලදායී හා කාර්යක්ෂම බව මෙලෙස තහවුරු වී තිබුණි.

අත'ක්ව්ල්පා තාවකාලිකව ඉඳිවූ සිරගෙයක සිර ගත කෙරිණි. කෙසේ නමුත් ඔහු ජීවත්ව සිටීම, මිය යනවාට වඩා ප්‍රයෝජනවත් යයි අවබෝධ කොට ගත් පිසාරෝ ඔහුට යම් යම් පහසු කම් ලබා දුන්නේය. අතරවාරයේදී ඔහු ස්පාඤ්ඤ බස කතා කිරීමට පුහුණු වූ අතර චෙස් ක්‍රීඩා කිරීමටද පුරුදු විය. අත'ක්ව්ල්පා විසින් සිය ජනතාවට ස්පාඤ්ඤ නීති රීති හා අණ පනත් පිළිපදින ලෙස නියෝග කෙරුණ අතර සියලුම රන් හා රිදී වස්තූන් උණු කිරීමටද ඔහු විසින් නියෝග කෙරිණ. පිසාරෝ විසින් සියලුම රන් හා රිදී වස්තූන්වල හිලව්වට ඔහුගේ නිදහස පිරිනමන බව පොරොන්දු වී තිබුණද එය කඩවුණු පොරොන්දුවක් විය. රන් හා රිදී ටොන් 20කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසු පිසාරෝ විසින්, ඉන් මාස අටකට පෙර අත'ක්ව්ල්පාගේ අනුගාමිකයන් ඝාතනයට ලක්වූ චතුරශ්‍රයේදීම අත'ක්ව්ල්පාවද ඝාතනය කෙරිණ. 168 දෙනෙක් වැනි සුළු පිරිසක්, හය දහසකට වැඩි පිරිසක් ඝාතනය කරමින් සිදුකළ මෙම ආක්‍රමණය, අති සාර්ථක වූ යුරෝපියානු ආක්‍රමණයන් සඳහා පෙන්විය හැකි අපූරු නිදර්ශනයන්ගෙන් එකකි. 


~~~

පැරණි ලෝකය විසින් නව ලෝකයෙහි කරණ ලද ආක්‍රමණ වලට ඉවහල් වූයේ ඔවුන්ගේ තුවක්කු, අසිපත් හා අශ්වයන් පමණක්මද ? ආක්‍රමණිකයන්ද නොදැන සිටි මාරාන්තික අවියක්, නව ලෝකයෙහි ස්වදේශිකයන්ව කබලෙන් ලිපට හෙළූ අවියක්, අති විනාශකාරී අවියක්, ආක්‍රමණිකයින්ද නොදැන ඔවුනට පෙරගමන් කොට තිබුණි.

විෂ බීජ !!! එම මාරාන්තික අවියයි.

පිසාරෝ කහමාකා ආක්‍රමණය කිරීමට වසර දොළහකට පෙර, ස්පාඤ්ඤයේ සිට මෙක්සිකෝව බලා ගමන් කළ නැවක වූ වහලුන්ගෙන් කෙනෙක් උණ රෝගයෙන් විඳවමින් සිටියේය. නව ලෝකයට මුලින්ම  වසංගත රෝගයක් රැගෙන පැමිණි මිනිසා ඔහුය. ඔහුගේ ආගමනයෙන්  සතියක් හෝ දෙකක් ඇතුළත  එම වසංගත ඇමෙරිකානු වාසීන් දහස් ගණනකට ආසාදනය විය.  

වසූරිය........ !!  මෙම වසංගත අතරින් වැඩිම විනාශයක් කළ වසංගතයයි.


මුලින්ම මධ්‍යම ඇමෙරිකාවේ පැතිර ගිය මෙම යුරෝපියානු  වසංගත ක්‍රමක්‍රමයෙන් ඉන්කා දේශයටද පැතිරිණි. අත'ක්ව්ල්පාගේ පියා පවා වසූරිය වසංගතයෙන් මිය ගිය බවට ඉතිහාසයේ ලියවී ඇත. වෛරසය පැතිරුණු සෑම තැනකදීම පාහේ අති විශාල වශයෙන් ස්වදේශිකයන් මරුමුවට පත්වන්නේ ඔවුන්ව ආක්‍රමණිකයන්ගේ පහසු ගොදුරක් බවට පත් කරවමිනි.

මෙම වසංගත ඒක පාර්ශවීයව පමණක් වහනය වූයේ මන්ද ? යුරෝපීයන්ගේ වසංගත ඇමෙරිකානු ස්වදේශිකයන්ට පැතිරුණද එහි ප්‍රතිලෝමය සිදු නොවුයේ මන්ද ? පිළිතුර, වසර දස දහසකට පමණ පෙර මිනිසුන් හා ගෘහාශ්‍රිත සතුන් අතර ඇතිවූ ගනු දෙනුව තරම්ම පැරණිය. Fertile Crescent වෙතින් නික්මුණ මිනිසුන් සිය කටයුතු පහසු කරගනු වස්, සතුන්ගේ සේවය ලබා ගත් බව පෙර සඳහන් විය. සතුන්ගේ සිරුරෙහි වූ නා නා ප්‍රකාර විෂ බීජ, ඔවුන්ගෙන් කිරි, මාංශ, සම්, ලෝම ආදිය ලබා ගනිද්දීද, එම සතුන් ගෘහාශ්‍රිතව වාසය කිරීම නිසා වාතය ඔස්සේද, මිනිසුන්ට සංක්‍රමණය විය. මෙය වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් හා සතුන් අතර පැවති ආශ්‍රයෙන් මිනිසුන්ට ලැබුණු දායාදයක් විය. මධ්‍යතන යුගයේදී සහ ඉන් පෙර මෙවැනි සත්ත්ව විෂ බීජ මගින් පැතිරුණු රෝගාබාධ නිසා යුරෝපයේ පමණක් මිනිස් ජීවිත මිලියන ගණනක් අහිමි විය. නමුත් නිතර නිතර මෙම වසංගත වලට ගොදුරුවීම තුළින් යුරෝපීයන් අතර මෙම රෝගාබාධ උදෙසා ස්වාභාවික ප්‍රතිශක්තියක් ජනනය වීම හේතුවෙන් පරම්පරා ගණනාවක් ඇතුළතදී එවැනි රෝග වලට යම්තාක් දුරකට ඔරොත්තු දීමේ හැකියාවක් යුරෝපියානු සමාජය තුළ ඇති වුණි. මෙම වසංගත වලට අලුතින්ම නිරාවරණය වූ ඉන්කා වරුන් ඇතුළු ඇමෙරිකානු ස්වදේශිකයන් හට මෙම රැකවරණය නොතිබුණේය. එම වසන්ගත ඔවුන් අතර ඉතා පහසුවෙන් පැතිරෙමින් මහත් විනාශයක් ගෙනදීමට තරම් සමත් විය.

තවද, මෙවැනි වසංගත ඔවුන් අතර යුරෝපීයන් පැමිණීමට පෙර නොතිබුණේ මන්ද ? ඔවුන් වෙතින් යුරෝපීයන් වෙතට වහනය වීමට තරම් මාරන්තික ආවේණික වසංගත ඔවුන් අතර නොතිබුණේ මන්ද ? පිළිතුර සරලයි. ඒ, ඔවුන් අතර සතුන් සමඟ කිට්ටු සම්බන්ධතා නොතිබුණු බැවිනි. ඔවුන් අතර සිටි ලාමා සතුන්, යුරෝපීයන් ගවයන්, බැටළුවන්, එළුවන් ආදී සතුන් භාවිතා කළ අයුරින් ගෘහාශ්‍රිතව භාවිතා නොකෙරිණ. එමනිසා එම සතුන්ගෙන් මිනිසා වෙත වහනය විය හැකිවු විෂ බීජ අවදානම අවම වූ අතර, එබැවින්ම සතුන්ගෙන් බෝවිය හැකි වූ මාරාන්තික වසංගත වලින් ඇමෙරිකානු ස්වදේශිකයන් ආරක්ෂා වූහ.

ලෝකයේ හීලෑකරගනු ලැබූ ගෘහාශ්‍රිත සතුන් සියල්ලම පාහේ යුරේශියානු මහද්වීපයෙන් හමුවූ සතුන්ය. එබැවින්ම මාරාන්තික වසංගත සියල්ලත් යුරේශියාවටම උරුම විය. පසුව එම වසංගත සියල්ල ලෝකය පුරා මාරන්තික බලපෑම් සහිතව පැතිරි ගියහ.

ස්පාඤ්ඤ ආක්‍රමණ නිසා මිය ගිය ඇමෙරිකානු ස්වදේශිකයන් ගණන පිළිබඳ සංඛ්‍යා ලේඛන විවාදාත්මකය. සමහර වාර්තාවල දැක්වෙන පරිදි මිලියන විස්සකට ආසන්න ඇමෙරිකානු ස්වදේශික ජනගහනයක් සිට ඇති අතර එයින් අති විශාල සංඛ්‍යාවක්, එනම් සියට 95ක් පමණම පැරණි ලොව වසංගත වලින් මිය ගොස් ඇති බවට අනුමාන කෙරේ. අවසානයේදී මහද්වීපය සිය ස්වදේශික ජනතාවගෙන් බොහෝදුරට හිස් විය.


~~~

අත'ක්ව්ල්පාගේ මරණයත් සමඟම ආක්‍රමණිකයින් විසින්, සිය තුවක්කු, විෂ බීජ හා වානේ වල බලයේ මහිමයෙන්, ඉන්කා අධිරාජ්‍යය හෙවත් වර්තමාන පේරු දේශය සිය යටත් විජිතයක් බවට පත් කරගත්හ. ස්පාඤ්ඤය, යටත් විජිත වලින් ගලා ආ සම්පත් මගින්, එවකට මිහිමත වු ධනවත්ම ජාතියක් බවට පරිවර්තනය විය. ආක්‍රමණිකයන් විසින් පැරණි ලොව සහ නව ලොව අතර වූ සම්බන්ධය සදහටම වෙනස් කොට තිබුණි.

පිසාරෝ ඇතුළු පිරිස ඉන්කාවරුන්ව යටත් කරගනු ලැබුවේ කෙසේද ? එහි ප්‍රතිලෝමය සිදුනොවුයේ මන්ද ? පැරණි පැහැදිලි කිරීම් වලට අනුව, ඒ, යුරෝපීයන් සතු වූ නිර්භීතකම, දැඩි බව, තීක්ෂණ බව ආදී ලක්ෂණ හේතුකොටගෙනය. නමුත්, සැබෑ පිළිතුර හා යුරෝපීයන් සතුවු පුද්ගලික ලක්ෂණ වල සම්බන්ධයක් නොමැත. සැබවින්ම එය යුරෝපීයන් වෙත අහම්බයෙන් ලැබුණු භූගෝලීය වාසියෙහි ප්‍රතිඵලයකි. ලොව මුල්ම තුවක්කු, විෂ බීජ හා වානේ අත්පත් කරගත් මිනිසුන් ඔවුන්ය. - මහාචාර්යය ඩයමන්ඩ්. 





Guns, Germs and Steel වාර්තා චිත්‍රපටය ඇසුරින් සකස් කෙරුවේ ;
~~ සෙන්නා / 15.11.2012

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog