Friday, May 17, 2013

බෝතලේ විත්ති | තවත් දවසක්...

2013 වෙසක් මස 17වනදා

දා උදේ මම නැගිටිනකොට සීයයි, අයියයි දෙන්නම නැගිටලා ගිහිල්ලා. මමත් දඩි බිඩි ගාලා නැගිටලා පැදුර රෝල් කරලා මුල්ලකට දාලා එළියට පැන්නෙ කුස්සිය පැත්තට දුවන්න බලාගෙන. මම බය වුණේ මේ දෙන්නා මාව දාලා රැණගලවත් ගිහින්දෝ කියලා.

මම සීයගෙ කාමරෙන් එළියට ඇවිත් සාලෙ මැද්දෙන් කුස්සිය පැත්තට ආවා. ගෙයි පිටිපස්සෙම දොරෙන් පිට වුණාම තියෙන්නෙ කුස්සියට යන්න තියන වැරැන්ඩා එක. වැරැන්ඩා එකේ දුකුණු පැත්තෙ තිබුණා ඔය එක එක ලට්ට ලොට්ට දාන කාමරයක්. ඒකෙම තමයි සීයගෙයි, බාප්පගෙයි බයිසිකල් දාලා තිබුණෙත්, බල්ලො ගැට ගැහුවෙත්. වැරැන්ඩා එකෙන් වම් පැත්තෙ හිස් ඉඩක් තිබුණෙ, අයින දිගේ බිමට කළු ගල් දාලා. කළුගල් දාලා කිව්වට පිළිවෙළකට අතුරලා නෙමේ, එහෙන් මෙහෙන් දිගටම බිම දිගේ දාපු කළුගත් වගයක්. ඒවා උඩට වැටුනොත් එහෙම ලොකු විනාශයක් වෙනවා. ඔය කළුගල් දාලා තිබුණ මට්ටමේ ඉඳලා වැරැන්ඩා එකේ උඩ මට්ටමට අඩුම ගානෙ අඩි තුනක උසක්වත් තියනවා. කිරිඅම්මගෙ අහල පහලා යාළු ආච්චිලා ටික ආපුවම ඔය වැරැන්ඩා එක උඩ තියන බංකුවෙ වාඩිවෙලා කයිය ගගහ බුලත් විට කාලා කෙළ ඔක්කොම විදින්නෙ ඔය කළුගල් උඩට තමා. එතන අඩිය තියන්ඩ බැරි තරමට බුලත් කෙළ වලින් පිරිලා.

ගේ ඇතුළෙන් ඇවිත් ඔය වැරැන්ඩා එකට එනකොට ඕක තියෙන්නෙ උතුරු දිශාවට මුහුණ දාලා. ඒ කියන්නෙ දකුණෙ ඉඳලා උතුරට තමා යන්න ඕනා. ඒත් හරි පුදුම වැඩේ කියන්නෙ වැරැන්ඩා එක දිගේ ඇවිදගෙන ඇවිත් කුස්සියට ගිහින් ආපහු හැරිලා බලපුවම ඒක තියෙන්නෙ නැගෙනහිර දිශාවට මුහුණ දාලා. එහෙම වෙන්නෙ කොහොමද කියන එක මට හරිම ප්‍රශ්නයක්. ඒත් මම එහෙම කිව්වම හැමෝම හිනා වෙන්නෙ සමහර විට ඒ ගොල්ලන්ට එහෙම වෙන්නැද්ද දන්නෑ. අනිත් එක මෙහෙ උතුර තියෙන්නෙත් වෙන දිහාක. අපේ උතුර තියන පැත්තෙ නෙමේ. වැරැන්ඩා එක දිගේ එනකොට එක පාරටම ඇතුළෙ හිටපු බලු තඩියෙක් බුරපු බිරිල්ලට මාව බය වෙච්ච පාර වැරැන්ඩා එකෙන් එළියට විසිවෙන්ඩම ගියා. යාන්තම් දන්න සෙල්ලම් දාලා අත් දෙක හතර අතටම කරකවලා තමා වැටෙන්නැතුව හිටියෙ. තව පොඩ්ඩෙන් කෙළ ගොඩේ ! මම ඉක්මනටම කුස්සියට පැන ගත්තා බලු තඩියට ඇතිතරම් බුරා ගන්න ඇරලා.  "කළුවා.. මොකෑ ඔය දරුවට කන්න හදන්නෙ ?" කියලා බල්ලට කියාගෙන නැන්දත් ඒ එක්කම වගේ මගේ පස්සෙන් ආවා.

මේ කුස්සියෙ තියනවා මහා දුමක්. අපේ ගෙදර කුස්සියෙත් දුමක් තියනවා. ඒත් මේක ඊට වඩා විශාල තට්ටු දෙකේ දුමක්. කිරි අම්මා ඕක උඩ දාලා තමා ඔක්කොම වේලන ජාති වේලන්නෙ. ඒක යටම බිම තිබුණා ලිප් තුනක් විතර. මම යනකොට කිරි අම්මා එක ලිපක් ළඟ කොළොම්බුවක් තියන් වාඩි වෙලා හිටියේ රෙද්දකුත් පොරෝගන. ලිප උඩ කේතලේ තියලා හොඳට ගින්දර දාලා තිබුණේ.

"කෝ සීයා, කිරිඅම්මේ?"

"අන්න අයියත් එක්ක කිරි ගන්න ගියා. ඔයත් යන්න"

කළේ නවලා වතුර එකක් අරන් කට හෝදලා, ඉතුරු ටික බීලා දාපු මම එළියට පැන්නෙ හරක් මඩුවට යන්න.

ෂිඃ ! හැමදාම කරන ගොන් වැඩේ මෙදා පාරත් කළානෙ. සෙරප්පු දෙක ගෙදර දාලා ආවනෙ. ගෙදර වැලි පොළවෙ පිනුම් ගගහා හිටපු අපිට මෙහෙ ඇවිල්ලා මේ ගල් ගොඩවල්, බොරළු ගොඩවල් උඩ අඩිය තියපු ගමන් තරු විසි වෙනවා. හැමදාම ගෙදර යනකොට ගල් තැලුම් දෙක තුනක් අනිවාර්යයයි. එහෙම කියලත් බෑනෙ ! අනිත් එක මේ බොරළු පොළව හින්දා ගොඩක්ම අමාරු වුණේ අපිට නෙමේ. නැන්දගෙ පූස් හමුදාවට. අපේ ගෙදර පූසනම් ජරා කරලා හොඳට වැලිවලින් වහලා තමා යන්නෙ. ඒ වැඩේට එයාට ඕනා තරම් වැලිතියනවා අඩුවක් නැතුව. ඒත් මෙහෙ උන් පව් අප්පා ! ඒත් ජාති වැඩේ කියන්නෙ උන් බොරුවට වහන එකනෙ. වැලි නැති උණත් බොරුවට අතින් වහනවා. අපිව රවට්ටන්න එහෙම කරනවද, නැත්නම් උන්ම රැවටිලද මංදා !

ඇඟිලි වලින් පැන පැන ගිය මම පොඩි පඩි පෙළ නැගලා, කලු ගල් තෝරගෙන, ඒවට පැන පැන හරක් මඩුවට ගියා. අපරාදෙ කියන්න බෑ මෙහෙ කලු ගල් වලින්නම් අඩුවක් නෑ. තැනින් තැන ගල් තලා දිගටම තියනවා. ඒවයෙ කකුල තියන්ඩත් ආසයි. මාර සනීපයි. සීයයි, අයියයි දෙන්නම මඩුවෙ. මම හරක් මඩුව ගාවම තිබුණ හොඳ කලු ගල් තලාවක් බලලා එතෙන්ට පැනලා ඒක උඩ හිට ගත්තා. සීයයි, අයියයිනම් අර මඩුවෙ, ගොම ගොඩේ කිසි ගාණක් නැතුව ඇවිදිනවා. මටනම් අප්පිරියාවෙ බෑ ඒ වැඩේ. ඒක හින්දා මම අර ගල්තලාව උඩ හරි බරි ගැහිලා මේ ගොල්ලො කරන දේ බලාගෙන හිටියා. මේ හරක් මඩුව තියෙන්නෙ සීයලෑ ගෙට උඩහින් තියන කණ්ඩියෙ පිටිපස්සට වෙන්න. මම දැන් හිටගෙන ඉන්න මට්ටමටත් පහළින් තමා සීයලෑ ගෙයි වහලෙ තියෙන්නෙ. මේ වටේම පුදුම හෙවණක් තියෙන්නෙ. එක එක ජාතියෙ ගස් වලින් වැහිලා. මහ දවල්ටත් හරියට අවුවක් වැටෙන්නෑ. කරුවලයි.

මුලින්ම සීයා මුල්ලක තිබුණ උදැල්ලක් අරන් රෑ තිස්සෙ උන් දාලා තිබුණ ගොම බෙටි ඔක්කොම එකතු කරලා එක මුල්ලකට කරළා මඩුව අතු පතු ගාලා පිරිසිදු කළා. මෙතන හරක් දහයක් දොළහක් විතර ඇති. මම තුන් හතර පාරක් ගනින්න  හැදුවා කොහෙද මුන්ට විසේනෙ. එක විදිහකට ඉන්න බෑ අඩු ගානෙ ගණින වෙලාවටවත්. ඉතින් මම වැඩේ අතෑරලා දැම්මා. ජාති ජාති හරක් හිටියා ඒ රංචුවෙ. සමහරු ලප වැටිච්ච උන්, සමහරු අං කැඩිච්ච උන්. එක එළදෙනක් හිටියා ගොඩාක් වයසයි. සීය කිව්වෙ ඌ තමාලු ඔක්කොවන්ගෙම අම්මා.

මේ රංචුවෙන්ම එදානම් එක වැස්සිටයි පැටියෙක් හිටියෙ. තව දෙන්නෙක්ද කොහෙද පැටවු ගහන්න ඉන්නෙ කියලා සීයා කිව්වා. සීයා ඉස්සෙල්ලම පොඩි වහු පැටියව ලිහලා එයාගෙ අම්මට ලං කළාම ඌ පිස්සුවෙන් වගේ වැස්සිගෙ තන් බුරුල්ලට හොම්බෙන් ඇන ඇන කිරි බිව්වෙ. මෙහෙම ටිකක් වෙලා බොන්න දුන්නට පස්සෙ සීයා ඌව ඇදලා අරන් වෙන තැනකින් ගැට ගැහැව්වා. ඌ දගල දගල උම්බෑ කිය කිය අම්මා ගාවටම යන්න තමා දැගළුවෙ. මට ඌ ගැන හරි පවු හිතුණා. බඩිගිනි ඇති කියලා. ඊට පස්සෙ සීයා වතුර බාල්දියක් අරන් අත් දෙක හොඳට හෝදගෙන වැස්සිගෙ තන බුරුල්ලත් හොඳට හෝදලා, ගෙනල්ල තිබුණ මුට්ටියකට චීස් චීස් ගලා ගිරි දොවා ගත්තා. වැස්සිත් කිසිම කලබලයක් නොකර ඉඩ දීලා බලන් හිටියෙ මම පුදුමයෙන් බලන් ඉද්දි. මම හිතුවා වැස්සි පැටියව ගත්තු එකට තරහා ගිහින් සීයට අනීවත්දෝ කියලා. ඒත් එහෙම වුණේ නෑ. මුට්ටියෙන් භාගයක් විතර පිරුනට පස්සෙ, සීයා කිරි ගන්න එක නවත්තලා ආයෙත් ගිහින් පැටියව ලිහුවා. ඌ පිස්සුවෙන් වගේ දුවගෙන ඇවිත් ආයෙත් වැස්සිගෙන් කිරි බොන්න ගත්තෙ. සීයා උගෙ පිට අතගාලා "හඃ දැන් ඉතින් ඇති වෙන්න බීපන්" කිව්වා.

"ඔය මදෑ අපිට. යහ්" කියලා දොවා ගත්තු කිරි මුට්ටිය අතට ගත්තු සීයා ඉස්සර වුණා. අයියයි මමයි පස්සෙන් වැටුණා.

එහෙම දොවාගෙන ආපු කිරි ටික කිරිඅම්මා ලිපේ තියලා රත් කරලා අරගෙන අපි දෙන්නට ලොකු කෝප්ප දෙකකට දාලා දුන්නා. ඒකෙ අමුතුම රහක් තියෙන්නෙ. ගෙදරදි බීපු ලක්ස්ප්‍රේ වගේ නෙමේ. හැබැයි මට ගොඩක් බොන්නනම් පිරියක් තිබුණෙ නෑ. කෝප්පෙ අන්තිම ටික මම පූස් හමුදාවෙ සාමාජිකයො දෙතුන් දෙනෙකුට පෙව්වා. උන්නම් බිමට දාපු කිරි ටික බොහොම ආශාවෙන් වට වෙලා බීගෙන බීගෙන ගියා.

නැන්දා මූණ හෝදන්න ළිඳට යන්න කතා කළේ ඊට පස්සෙ තමා. සීයලට තියන ලොකුම ප්‍රශ්නයක් තමා වතුර නැති එක. මේ කන්ද උඩ මොන වතුරද ! ගේ ඉස්සරහා ළිඳක් කපලා තියනවා මගේ අම්මෝ ඒකෙ ගැඹුර. ඒ ළිඳේ වතුර ඇර අනිත් හැම දෙයක්ම තියනවා කියලයි මට හිතෙන්නෙ. මම දවසක් බිම බඩ ගාලා වගේ ඔළුව දාලා බැලුවා. අම්මෝ මගෙ මුලු සර්වාංගෙම සීතල වෙලා මවිල් කෙළින් වෙලා මුළු ඇඟම මොනවද වෙලා ගියා ඒක දැක්කම. මම හිතුවෙ ඒක අපායට යන පාර වෙන්න ඇති කියලා. ඒ තරම් ගැඹුරුයි. අතරින් පතර බිත්තියෙන් හරහට මතු වෙච්ච කළු ගල් තියනවා. කොච්චර බැලුවත් මට ඒකෙ වතුරනම් දකින්න හම්බුනේ නෑ. කවුරු හරි වැටුනොත් මැරෙන්නෙ වතුර පෙවිලා නෙමේ, අර කළුගල් වල හැප්පිලා. අඩියට වැටෙන්නෙම මැරිලා. මේ ළිඳ හෑරුවෙ ඩයිනමයිටුත් දාලා කියලා සීයා කියනවා මට මතකයි. මෙච්චර භයානක ළිඳ වටේට බැම්මක් බැඳලා නැත්තෙ ඇයි කියන එක හරි ප්‍රශ්නයක්. නිකන් කළුගල් වැටියක් විතරයි. අපේ ගෙදර එක වටේනම් බැම්මක් තිබුණා. සීයමයි බැන්දෙ.

මූණ හෝදන්න යන්න ඕනා කඩේ අයියලෑ වත්ත පහළ ළිඳට. ඒකට එක්කො පඩි පෙළ බැහැලා වම් පැත්තට ගිහින් කඩෙත් පහු කරගෙන ගිහින් පාලම ගාව තිබුණ කඩේ අයියලෑ වත්ත පල්ලෑහැට යන්න ඕනා. නැත්නම් පඩි පෙළෙන් අනික් පැත්තෙ තියන බෑවුම හරහා වැටිලා තිබුණ අඩි පාරක් දිගේ පහළට බැහැලා ගම මැද පාරට වැටිලා, එතනින් කඩේ අයියලැ වත්තට ගිහින් යන්න ඕනා. බොහෝ වෙලාවට පාවිච්චි කරන්නෙ මේ පාර තමා.

බාල්දි, කළ, කෑන්, තුවා අරගෙන අපිත් නැන්දා පස්සෙන් වැටුණා. ළිඳට යනවනම් පුළුවන් තරමක් භාජන අරන් ගිහින් වතුර අරන් එන්න ඕනා කියන එක නීතියක් වෙලා තිබුණෙ. ළිඳට ගිහින් හිස් අතින් පැමිණීම දඩුවම් ලැබිය හැකි වරදක්. බුරුසු ගෙනල්ලත් නෑ, සෙරප්පුත් නෑ ! මේ අඩි පාර පුරාම තියෙන්නෙ ගල් බොරළු. අයියෝ එපා වෙනවා ඉතින් යන්න ගියාම.

අඩි පාර දිගේ පල්ලම් බැස්ස අපි එතනින් ගම මැද පාරට වැටුණා. ඒ පාර පැන්නම කඩේ අයියලාගෙ වත්ත. වත්තට ඇතුල් වෙලා ගේ පිටි පස්සෙන් ගිහින් වමට හැරිලා පොඩි පල්ලමක් බැස්සම තමා ළිඳ තියෙන්නෙ. තාර පාරෙන් ආවොත් ගේ ඉස්සරහින් තමා ළිඳ දිහෑට එන්න තියෙන්නෙ. ළිඳක් කිව්වට මෙතන ලිං දෙකක්ම තියනවා. වෙරළු ගහ යට තිබුණු ලොකු ළිඳ, අඩි දහයක් විතර පළල, රවුම් ළිඳක්. වටේට බැම්ම බැඳලා, දෙපැත්තෙන් කණු දෙකක් උඩට බැඳලා හරහට ගිය කණුවෙ තමා බොලොක්කෙ ගැට ගහලා තිබුණෙ. මේ ළිඳේ වතුර තමා බොන්න ගත්තෙ. අනිත් ළිඳ හතරැස් එකක්. ඒකට යන්න රවුම් ළිඳ ගාව ඉඳන් ටිකක් පහළට බහින්න ඕනා. මේක තමා නාන ළිඳ. නිල් කැටේට වතුර. හැමදාම කට ගාවටම වතුර. පුංචි අපිටත් ලණුවක් නැතුවම බාල්දිය දාලා වතුර ගන්න පුළුවන්.

මේ ලිං දෙකම තිබුණෙ කඩේ අයියලෑ වත්තෙ එහා මායිමේ. ළිඳෙන් යන වතුර ඔක්කොම එකතු වුණේ කඩේ අයියලෑ මායිමත් එක්ක ගලාගෙන ගිය පොඩි ඇළට. ඇළෙන් එහා කුඹුරු යාය. පාලම උඩට පේන්නෙ මේ කුඹුරු යාය තමා. සීයලෑ කුඹුරකුත් තිබුණා ළිඳට පොඩ්ඩක් එහාට වෙන්න.


"හා දෙන්නම දත් මැදගන්න" කියලා දත් බේත් එක අපිට දීපු නැන්දා "මෙදා සැරෙත් බුරුසු ගෙනාවෙ නෑ නේද" කියලා ඇහුවෙ හිනා වෙලා. අපි දත් මදිනකම් නැන්දා භාජන වලට බොන ළිඳෙන් වතුර ඇදලා පුරවන්න ගත්තේ අපි ඇඟිලි වලට දත්බේත් අරගෙන මදින්න පටන් ගන්නකොට.

මේක SR දත් බේත් එකක්. අපේ ගෙදරනම් කවදාවත් දත් බේත් තිබුන්නෑ. ඒවා ගණන් හින්දද මංදා ! අපි ගෙදරදි දත් මැද්දෙ දත් කුඩු වලින්. ජාති දෙකක් තියනවා, එකක් "පැරකුම්බා" අර ගස් ලබු කෑල්ලක් අල්ලන් ඉන්න යෝධයගෙ පින්තූරෙ තිබුණෙ ඒකෙ තමා. අනිත් ජාතිය "දන්ත මුක්ත". සුදුම සුදු දත් ටිකක රූපයක් තමා ඒවයෙ තිබුණෙ. මම කැමතිම දන්ත මුක්ත එකට. ඒකෙ අමුතු රහක් තිබුණා. කන්න පුළුවන්. පැරකුම්බා එකනම් තනිකර බේත් රහක් තිබුණෙ, කන්න බෑ. අප්පිරියයි. ඔය දෙකටම වැඩිය මේක මරු. ආව් අප්පා කට සීතල වෙලා යනවා. මම එක සැරයක් ඇඟිල්ලට අරන් දෙතුන් පාරක් එහෙට මෙහෙට කරලා ගිල්ලා. අප්පා ඔක්කොම නිකන් කූල් වෙලා ගියා. හූස් ගාලා උඩට ඇද්දම තවත් සීතලයි. මරේ මරු.

"ඔය මොකෑ කොරන්නෙ ? කනවා නේද ටූත් පේස්ට් ?" නැන්දට වැඩේ මාට්ටු. "ගිලින්නෑ ඕවා, දත් මැදලා කෙළ ගහන්න එළියට"

මේ ලිං පාවිච්චි කරන්නෙ අපි විතරක් නෙමේ. ගමේ ඉන්න තව ගොඩ දෙනෙක් එනවා මේවයින් වතුර ගන්න, නාන්න. අපි දත් මැද මැද ඉන්නකම් තව දෙතුන් දෙනෙක්ම ඇවිත් මූණ හෝදන් වතුර පුරවන් ගියා.

"ආ මේ ගුණපාලගෙ කොල්ලො දෙන්නා නේද ? කවද්ද ආවෙ ? " ආ ආච්චි, සීයා බලන්න ඇවිත් වගේ ! " වගේ එක එක ඒවා අහන්ඩත් ඔය හැමෝම අමතක කළේ නෑ.

"ආ ඔය ඉතින් මදෑ දත් මැද්දා, දැන් ඇවිත් මූණ හෝද ගන්න" කියලා නැන්දා කතා කළාම තමා මූණ හෝද ගන්න පහළ ළිඳට ගියේ.

ආපහු යන එකනම් ටිකක් අමාරු වැඩක්. වතුරත් උස්සගෙන කඳු නැගපල්ලකො ! මටත් පොඩි කෑන් එකක් හරි වරදින්නෑ. නැත්නම් සබන් පෙට්ටි, දත් බෙහෙත් එහෙම දාපු බාල්දිය තමා මට හම්බෙන්නෙ. තුවාය නැන්දා බෙල්ල වටේ ඔතා ගන්නවා. අයියත් දෙපැත්තට කෑන් දෙකක් අරගන්නවා. නැන්දනම් එක කළයක් උකුලට අරන්, තව කෑන් එකක්වත් අනිත් අතට ගන්නවා. මේ හොඳයි ! හවසට වෙනම තියනවා වතුර ඇදීමේ වැඩසටහනක්. ඒකනම් ඉල ඇදෙන, මහ පණ යන වැඩක් ! හත් අට පාරක්වත් උඩහා පහළ යන්න ඕනා එතකොටනම්. 


අපි මූණ හෝදන් ගෙදර එනකොට බාප්පා ගේ ඉස්සරහා තිබුණ කනාටු පොල් ගහේ මූණ බලන කණ්ණාඩියක් එල්ලන් රැවුල කපනවා. නැන්දා කඩේ අයියලෑ ළිඳට ගියාට බාප්පනම් නාන්න ඇර ඒ ළිඳට යනවා මට මතකයක් නෑ.

මම කෙළින්ම කුස්සියට ගියේ සීයා කොහෙද කියලා කිරිඅම්මගෙන් අහගෙන.

"සීයා ඕන්න රැණගල ගියා හරක් බැඳලා එන්න" 

"අයියෝ ගියාද ? මමත් මේ යන්න කියලා හිටියේ"

"පස්සෙ යන්න බැරියෑ, තව දවස් තියනවනෙ" කිරි අම්මා කතා කළේ උදේට කන්න රොටි පුච්චන ගමන්මයි.

එදා උදේට කැවට පස්සෙ අපි දෙන්නා කරන්න දෙයක් නැතුව එහෙට මෙහෙට වෙවි හිටියෙ. නැන්දත් ලෑස්ති වෙලා වැඩට ගියා. නැන්දා වැඩ කළේ පේෂකර්ම මධ්‍යස්ථානයක ගුරුවරියක් හැටියට. බාප්පා ඒ අහල පහළ ගමක ග්‍රාම සේවක. නැන්දා උදේ අටට කලින් වැඩට යන්න පිටත් වෙනවා. බාප්පනම් සෑහෙන්න පරක්කු වෙලා ගිහින් දෙකටත් කලින්ද කොහෙද ගෙදරත් එනවා. බාප්පත් ලෑස්ති වෙලා "අම්මෙ මම ගිහින් එන්නම්" කියලා බයිසිකලේ උස්සලා කරට ගත්තා. ඕක සීයගෙයි, බාප්පගෙයි දින චරියාවෙ කොටසක්. කොහේ හරි යන්න ගෙයින් එළියට බැස්සොත් අනිවාර්යයෙන් බයිසිකල් කරේ තියන් පල්ලම් බහින්න ඕනා. වෙන විදිහකුත් නෑනෙ. එනකොට තමා පණ යනවා ඇත්තෙ. ඕක කරේ තියන පඩි අනූ පහක් නගින එක සෙල්ලමක්යෑ. මටනම් හිතනකොටත් පිස්සු හැදෙනවා. අනිත් එක මෙහෙ මිනිස්සු බයිසිකල් පදිනවට වැඩිය තල්ලු කරන එක තමා කරන්නෙ. ඇයි ඉතින් හැම තැනම කඳුනෙ. පොඩ්ඩක් පදිනවා, ආයෙ බැහැලා තල්ලු කරනවා. පයින්ම ගියානම් ඉවරනෙ. මටනම් වෙලාවකට හිනාත් යනවා.

කරන්න දෙයක් නැතුව ගෙයි ඉස්තෝප්පුවෙ බැම්ම උඩ වාඩි වෙලා මම හිටියෙ. අයියා ඉස්තෝප්පුවෙ එහා කොනේ තිබුණ පුටුවක වාඩි වෙලා මොකක්ද කියව කියව හිටියෙ. සීයලෑ ඉස්තෝප්පුවෙ උඩ බිත්තිය දිගටම රීප්ප පටි දෙකක් ගහල රාමු කරපු පින්තූර මහ ගොඩක් එල්ලලා තිබුණා. ඒවයෙන් එක පින්තූරයයි මට අඳුන ගන්න පුළුවන් වුණේ. ඒ අපේ අම්මගෙයි, තාත්තගෙයි මගුල් ෆොටෝ එක. අනිත් කාවවත් මමනම් අඳුනන්නෙ නෑ. කලින් දැකලා තිබුණට එදා තමා මට ඔය ෆොටෝ ටික දිහා හොඳට බලන්න හිතුණෙ. දකුණු පැත්තෙ උඩම තිබුණෙ මහ රැවුල කාරයෙකුගෙ ෆොටෝ එකක්. ඒකට වම් පැත්තෙන් පයිප්පයක් කටේ ගහගෙන ඉන්න එක්කෙනෙක්ගෙ ෆොටෝ එකක් තිබුණා. ඊටත් එහායින් පදක්කම් මහ රාශියක් පපුවෙ එල්ල ගත්තු මනුස්සයෙක්ගෙ ෆොටෝ එකක්. අනිත් ෆොටෝ ඔක්කොම මගුල් ෆොටෝ.

ඔන්න ඔහොම ඔය ෆොටෝ ටික බල බල ඉන්නකොට තමා මාව එක පාරටම ගල් ගැහුණෙ. "මේ මොකෝ මේ ඔක්කොමල්ලා මම දිහා බලන් ඉන්නෙ ? "

මම අම්මලෑ ෆොටෝ එක දිහාත් බැලුවා. ඒ දෙන්නත් මම දිහාමයි බලන් ඉන්නෙ. මතක විදිහට මම අද දවස ඇතුළත, අඩුම ගානෙ පහුගිය සතිය ඇතුළෙවත් බර පතල වරදක්නම් කරලා තිබුණෙ නෑ. ඒත් හැමෝම මම දිහා හොඳට බලාගෙන ඉන්නෙ ඇයි ? මාව පඩියෙන් බිමට පැනුණෙ නිකන්ම.

"ලොකු අයියෙ.. "

"හ්ම්ම්.. "

" මේ පින්තූර ඔක්කොම මං දිහා බලන් ඉන්නෙ ඇයි ? " මම ළඟම හිටපු වැඩිහිටියට ප්‍රශ්නය ඉදිරිපත් කළා. සීයාවත් පේන්න හිටියෙ නෑ.

පිළිතුරක් නෑ.

"ලොකු අයියේ.. "

" ඇයීයියි.. " කියන ගමන් අයියා පොතෙන් ඔළුව අරන් මම දිහා බැලුවා.

"මේ පින්තූර ඔක්කොම මං දිහා බලන් ඉන්නෙ ඇයි ?"

" ඒ ඔයාට පේන හැටි"

"පේන හැටි නෙමේ, මේ ඔක්කොමල්ලා මං දිහා බලන් ඉන්නෙ"

"එහෙම එකක් නෑ, ඒ පේන හැටි. බලන හැමෝටම පේන්නෙ එහෙම තමා, දැන් මට පේන්නෙ හැමෝම මම දිහා බලන් ඉන්නවා වගේ"

අයියා බොරු කියනවා කියලා හිතපු මම එතනට ගිහින් බැලුවා. ඇත්ත නේන්නම්, මෙන්න දැන් කට්ටිය ඔක්කොම මෙතන බලන් ඉන්නවා. ඊට පස්සෙ මම පින්තූර දිහා බලාගෙනම ආයෙ හිටපු තැනට ආවා. ඔන්න ආයෙත් හීන් දාඩිය දැම්මෙ එතකොට තමා. මේ කට්ටියම මම දිහා බලාගෙන හැරෙනවා මෙන්න. හොල්මන්වත්ද !

ආයෙ පින්තූර දිහා බලාගෙන අයියා හිටපු තැනට ගියා, මෙන්න ආයෙත් හැරෙනවා. බුදු අම්මෝ !

මම ඔහොම උඩ බලාගෙන එහෙට මෙහෙට වෙවී ඉන්නකොට තමා " ඔය මොකෑ කොරන්නෙ" කියලා අහගෙන ඇවිත් එතන තිබුණු අනිත් පුටුවෙ සීයා වාඩි වුණෙ. මමත් එහා පැත්තෙන් තිබුණ අනිත් පුටුවෙන් වාඩි වෙලා සීයට ප්‍රශ්නය දාන්නයි කල්පනාව. සීයා ටීපෝ එක උඩ තිබුණ බුලත් හෙප්පුව අතට අරගෙන කකුල් දෙක අස්සෙ හිර කරගන්න ගමන් ගිරය අතට අරන් පුවක් ගෙඩියක් ටකස් ගාලා දෙකට කැපුවා.

"මේ පින්තූර ඔක්කොම මම දිහා බලාගෙන ඉන්නෙ ඇයි සීයෙ ?"

" කෝහ් කොහෙද ? " කියලා සීයා ඇහුවෙ හිනා වෙන ගමන්.

" මේ හැමෝම මම දිහානෙ බලන් ඉන්නෙ, බලන්නකො "

"පින්තූර එහෙම තමයි, බලන කෙනාට පේන්නෙ පින්තූරෙ තමන් දිහා බලන් ඉන්නවා වගේ. හැමෝටම එහෙම තමා පේන්නෙ" කියලා සීයා කරපු පැහැදිලි කිරීම මට එච්චරටම නොතේරුණත්, අයියා කිව්වෙත් ඒකම නිසා එහෙම වෙන්න ඇති කියලා මමත් හිත හදා ගත්තා. ඒත් ඒක මටනම් හරිම පුදුමයක්. හැමෝම එකපාරම මම දිහා බලාගෙන හැරෙන එක කොච්චර පුදුම වැඩක්ද !

ඊළඟට මට ආවෙ මේවයෙ ඉන්නෙ කවුද කියන ප්‍රශ්නෙ. මේක හොඳ වෙලාව ඒ ගැන දැන ගන්න. සීයා කපා ගත්තු පුවක් බෑයක කොන ගිරෙන් අල්ලලා අනිත් පැත්තට නමලා පුවක් ඇටේ එළියට අරගත්තා. අනිත් බෑයටත් ඒකම කළා. ඊට පස්සෙ ගිරේ යට අණ්ඩ දිගෑරලා අර මහත තලයෙන් පුවක් පලු දෙකම සූරලා ඒවයෙ කුරුට්ට අයින් කළා.


" මේ ෆොටෝ වල ඉන්නෙ කවුද සීයෙ ?"

සීයා කර කර හිටිය වැඩේ නවත්තලා අමුතු විදිහට බැලුවා. "හැබෑටම ඕක දන්නැද්ද?" කියලා අහන ජාතියෙ බැල්මක් ඒක.

"එහෙනම් තාත්තා ළමයින්ට කියලා දීලා නෑ වගේ !"

"මේ ලොකු රැවුලක් තියෙන එක්කෙනා කවුද ? "

"ඔය පුතේ ඩී.ඇස්. සේනානායක මහත්තයා"

"කවුද එයා ? ඇයි ඉතින් එයාගෙ පින්තුරෙ මෙතන ගහලා තියෙන්නෙ ?" 

අයියනම් ඒ වෙනකොටත් දන්නවද කොහෙද ? මමනම් දන්නවා වගේ බැල්මක් තමා එයා පොත කියවන එකත් නවත්තලා දාගෙන හිටියෙ. අර අපි දන්න බව කාට හරි පෙන්නන්න තියන උනන්දුවෙන් තමා එයා ඒ වෙලාවෙ හිටියෙ. ඒත් සීයා හිටපු හින්දා එයා මුකුත් කීවෙ නෑ.

"ඩී.ඇස්. සේනානායක කියන්නෙ ලංකාවෙ පළවෙනි අගමැතිට"

"අගමැති ! ඒ කවුද ? "

සීයා ආයෙත් හිනා වුණා. දැන් පුවක් පලු දෙක සුද්ධ වෙලා කෑලි වලට කැපිලා හෙප්පුවෙ පැත්තකට වෙලත් ඉවරයි. බුලත් කොළයක් අරන් දෙපැත්ත කඩලා දාපු සීයා, හුණු දාලා තියන පොඩි ටින් එකෙන් හුණු ටිකක් ඇඟිල්ලට අරන් බුලත් කොලේ ගාලා, දුම්කොළ කෑල්ලකුයි, පුවක් කෑලි දෙකකුයි මැද්දෙන් තියලා, ගුලි කරලා කටේ ඔබා ගත්තා. ඒක හක්කෙ එක පැත්තකින් හපන ගමන් හෙප්පුව ටීපෝ එක උඩින් තියලා, කකුලක් පිට කකුලක් එහෙම දාලා පුටු ඇන්දට හොඳට හේත්තු වුණා. සීයා ලොකු කතාවක් කියන්න යන්නෙ කියලා මට තේරුණා.

"අගමැති කියන්නෙ, ඒ දවස්වල ලංකාව පාලනය කරපු නායකයට."

"ඉතින් ඇයි මෙයාගෙ පින්තූරයක් මෙතන ගහන් ඉන්නෙ. සීයලෑ නැයොද ? "

"හෙහ් හෙහ්.. නෑ නෑ අපේ නැයොනම් නෙමේ. මෙයා තමයි සුද්දන්ගෙන් ලංකාවට නිදහස ගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා, පස්සෙ සුද්දො ලංකාව දාලා යනකොට ලංකාවෙ නායකයා උණේ. පළවෙනි අගමැති. එයාට අපි හැමෝම ගරු කරන්න ඕනා. මෙයාට කියන්නෙ ජාතියේ පියා කියලා. රටට ගොඩක් හොඳ වැඩ කරපු මනුස්සයෙක් තමා ඔය. අනිත් එක මෙයා බෝතලේ මනුස්සයෙක්."

හොඳට ඇදලා බැඳලා තියන දුන්නක ලණුව කැඩුනම, ටොයිංන්න් ගාලා දුන්න කෙළින් වෙන විදිහ දන්නවනෙ, ආන්න ඒ විදිහටම කෙළින් වෙලා මාව පුටුවෙන් නැගිටුනා ඔය සීයගෙ අන්තිම වචන ටික ඇහුණම.

"නෑහ්හ්හ් බෝතලේ මනුස්සයෙක් ?" මට කතා කරන්නෙ සීයත් එක්කයි කියලත් අමතක වුණා. සීයත් පුදුම වෙලා වගේ මම දිහා බැලුවෙ මොකද මූට එක පාරටම වුණේ කියන්න වගේ. සීයා මට දුන්න ආරංචියෙ වටිනාකම සීය දන්නවනම් !

" ඔව් බෝතලේ තමා.. ඔය ඔතනින් ටිකක් එහා තමා ඒ ගොල්ලන්ගෙ වලව්ව තියෙන්නෙ " සීයා ඒ පැත්තට අත දික්කරලා පෙන්නුවා.

හැමදාම ඉස්කෝලෙ උන් තාත්තගෙ ගම කොහෙද කියලා අහද්දි මම කිව්වෙ මීරිගම කියලා. දෙතුන් පාරක් බෝතලේ කියලා මුන් මට පල් එක දැම්මනෙ "උඹලෑ තාත්තා බෝතලේකද ඉන්නෙ " කියලා. එදායින් පස්සෙ මම ඔය නම කිව්වෙම නෑ. කිව්වත් කිව්වෙ බොහොම හිමින්, ලජ්ජාවෙන්. ඒත් දැන් තත්ත්වය වෙනස්. යකෝ ලංකාව සුද්දන්ගෙන් බේර ගත්තු, ලංකාවෙ පළවෙනි අගමැති වෙච්ච, ජාතියේ පියාට බෝතලේ ඉන්න පුළුවන්නම්, මගේ පියා බෝතලෙන් වුණාම මොකද ? වරෙල්ලකො බලන්න ආයෙ කියන්න. දෙන්නම් තොපිට. 


ෂිඃ මේ උලව් නිවාඩුව තාම පටන් ගත්තා විතරනෙ !

~~ ඉවරයි වගේ පෙනුණට ඉවර නෑ, තව තියනවා ~~ 

ලියුවේ;
~~සෙන්නා / 17.05.2013



Saturday, May 11, 2013

බයිසි මොටෝ එක...

2013 වෙසක් මස 11වනදා



සූව දශකයේ මුල ඇතිවූ ඒ දීපව්‍යාප්ත වැඩවර්ජන රැල්ල, තාත්තාගේත්, අම්මාගෙත් රැකියාවන් අහිමි කොට දමා තිබීම නිසා දරිද්‍රතාවය ඉදිරි දොරටුවට තට්ටු දමමින් තිබුණි. වසරකට ආසන්න අති දුෂ්කර කාලයකට පසු තාත්තාට රැකියාවක් ලැබුණද, එය දරු පස් දෙනෙකුගෙන් යුතු පවුලක කුදු මහත් කටයුතු වෙනුවෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවුණේය. කොරේ පිටට මරේ යැයි කියමින්, තාත්තාගේ මතට ඇබ්බැහිවීම තත්ත්වය තව තවත් නරක අතට හරවන බව ඔහුට හැර අන් සියලු දෙනාටම වැටහුණු කාරණයකි. ඔහු පියවි සිහියෙන් සිටින විට, නන්දා මාලිණියගේ "බුදු තාත්තෙ බොන්න එපා" ගීතය ඔහුට ඇසෙන්නට වාදනය කිරීමේ සිට බීමට ගෙනවිත් සඟවා තිබූ මත් පැන් රහසින් විසි කරදැමීම දක්වාවූ නා නා ප්‍රකාර ක්‍රමෝපායන් අත්හදා බැලුවද, ඒ එකක්වත් සාර්ථක නොවුණි. ඒවායින් ලද එකම ප්‍රතිඵලය ඔහු ප්‍රකෝප වීම පමණය. අවසානයේදී, පවුලේ සාමය වෙනුවෙන්, වෙන දෙයක් වෙද්දෙන් යැයි සිතා ඔහුට රිස්සක් කරගැනීමට හරිනවා මිස වෙන විකල්පයක් ඉතිරිව නොතිබුණි.

අති බහුතර ලාංකීය කුටුම්බයන් සංඛ්‍යාවක් වෙතින් දික්කසාදය නම්වූ ඒ අමිහිරි අත්දැකීම ඉවත් කොට තැබීමට නිහඬ එහෙත් අති විශාල සේවයක් කළ ඒ අපූර්ව ආප්තෝපදේශය වූ "බැඳගත්තු බෙරේ ගහන්න එපැයි" යන්නට තවත් එක් නිදර්ශනයක් එකතු කරමින්, කඩා වැටෙමින් පැවති පවුලේ ආර්ථිකයේ සැලකිය යුතු බරක් සිය කර මතට ගැනීමට ධෛර්යවන්ත කාන්තාවක් වූ අම්මා ඉදිරිපත් වූවාය. කුඩා කළ සිටම දරිද්‍රතාවයේ විවිධ හැලහැප්පීම් තුළින් ලද පන්නරය මෙයට මුල් වූවා නිසැකය.

කුකුළාටත් පෙර අවදිව, කුස්සියේ ලිප ළඟ ගිනි රස්නයට දැවෙමින්, දෑත් රිදුම් දෙනතුරු ඉඳි ආප්ප මිරිකා හෝටලයකට හා අසල්වැසි නිවෙස් වලට විකිණීම වැටෙමින් පැවති ආර්ථිකය නගා සිටුවීමට ඇය ගත් එක පියවරකි. එපමණකින් නොනැවතී, ගල්ලැහැ පන් උපයෝගී කරගෙන වියනු ලබන, අප විසින් "පන් කාපර්ට්" යැයි හැඳිවූ බුමුතුරුණු විශේෂය විවීමද දිවා කාලයේ ඇය අතින් සිදු කෙරුණාය. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ආයතනයකට අනුබද්ධව ඔවුන්ගෙන් ලද ඇණවුම් මත මෙම කාර්යය සිදු වූ අතර ප්‍රධානම ගැණුම් කරුවා "ලක්සල" යි. මෙය කුඩා අපටද අමතර ආදායමක් උපයාගත හැකි කාර්‍යයක් විය. බුමුතුරුණු විවීම උදෙසා මුලින්ම ගල්ලැහැ පන් උපයෝගී කොටගෙන, කාන්තාවන් කොණ්ඩා ගොතන ආකාරයෙන් පටියක් ගොතා ගත යුතුය. අපි විසින් මෙය "පටි ගෙතීම" යනුවෙන් හැඳින්වීමු. අම්මා කෙතෙක් ඇවිටිලි කළද සෙල්ලම් වයසේ සිටි අප හට එක තැනකට වී මෙම කාර්‍යයෙහි යෙදීම මරනවා වැනි විය. බැරිම තැන අම්මගෙන් ඒ සඳහා පොඩි උත්තේජනයක් ලැබුණි. ගොතනු ලබන සෑම පටි යාරයකටම ශත දහයක් ගෙවීමට ඇය පොරොන්දු වූවාය. මෙය, තත්ත්වයෙහි සැලකිය යුතු වෙනසක් ඇතිකරවීමට සමත් විය. එයින් පසු අප විසින් උනන්දුවෙන් පටි ගෙතීමටත්, ගොතන ලද පටි මැන පොතක සඳහන් කරගැනීමටත් පුරුදු වූහ. ඇණවුමක් ලක්සලට දැමීමෙන් පසු ලැබෙන මුදලින් පොරොන්දු ප්‍රකාර අපගේ මුදල් ගෙවීමට අම්මා වගබලාගත්තාය. කාලීනව මතු වෙන එක් එක් අවශ්‍යතා වෙනුවෙන් මෙම මුදල් වැය කිරීම අපගේ සිරිත වූහ.

මෙයට අමතරව බිත්තර උදෙසා ඇති කරවනු ලැබූ කුකුළන් රංචුවක්ද වූහ.. බිත්තර විකිණීමෙන් ලැබෙන ආදායමද පවුලේ දියුණුව වෙනුවෙන්ම වැය කෙරිණි. අම්මාට සහයක් වෙමින් ලොකු අම්මාද කොහු ලණු කැරලි ගොතා කඩයට දැමීමෙන් යම් අදායමක් උපයා දීමට සමත්වූවාය.

මේ සියල්ල කළද, දරු පස්දෙනෙකුගේ අධ්‍යාපන, සෞඛ්‍යය වියදම් දරමින්, වැඩිවෙන ජීවන වියදමට මුහුණ දීම ඔවුනට අපහසු කාර්‍යක් වූහ.. තාත්තා සිය මුළු අදායමම ගෙදර වෙනුවෙන් වැය කළේනම් යම් තරමක සහනයක් ලැබිය හැකි වුවද, එසේ කළත් සම්පූර්ණ වශයෙන්ම වියදම් පියවා ගැනීමට හැකියාවක් නොතිබුණි. තාත්තාගේත්, අම්මාගේත් එකඟත්වයෙන් නිවසේ ඉදිරිපස කාමරය කුලියට දීම, නිවසේ ආදායම් වැඩි කරගැනීම උදෙසා ගනු ලැබූ අලුත්ම ක්‍රියාමාර්‍ගය විය. එයින් වසර පහක් හෝ හයකට පසුව සිදුවන ප්‍රස්තුත කතාවට පසුබිම සකසනුයේ මෙම තීරණයයි.

මුලින්ම කාමරය එක්තරා යුවලකට කුලියට දෙනු ලැබූ අතර ඔවුන් වැඩි කල් එහි නොරැදුනහ. එයින් පසුව එය, කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක සේවය කළ තරුණයක් දෙදෙනෙකුට වාසභවන විය. කුරුණෑගල සිට පැමිණි මොවුන් දෙදෙනා වැඩි කල් නොයවාම අප හා මිත්‍රාශීලී වූහ. ඔවුන් අතර වූ වයස් පරතරය නිසාම අප විසින් "ලොකු අංකල්" හා "පොඩි අංකල්" වශයෙන් හැඳින්වූ මොවුන් දෙදෙනා, ටික කලෙකින්ම අප නිවසේ සාමාජිකයන් වන තරමටම අප හා කුළුපග වූහ.

"ලොකු අංකල්" නැමැත්තා බොහෝ ඇසූ පිරූ, දැනුම් තේරුම් ඇති, පරිණත අයෙක් බව නිතැතින්ම විද්‍යාමාන විය. ඔහුගේ ඉංග්‍රීසි දැනුමද ඉතා හොඳ තත්ත්වයේ වූ අතර අප හට එය නොමිලේ බෙදා දීමට තරම් ඔහු නිර්ලෝභී වූවේය. "පොඩි අංකල්" නැමැත්තා මදක් විනෝදශීලී තාරුණ්‍යයේ පසුවූ අයෙකි.

~~~~~

යතුරු පැදි නොහොත් මෝටසයිකල් ! ඒ වනවිට අසූව දශකයේ අග භාගයේ දිවි සරමින්, ගැටවර වියට පිය මනිමින් සිටි අප හටද, සෑම පිරිමි ළමයෙකුට මෙන්ම මෙම රෝගය තදින්ම වැළඳී තිබුණි. යතුරු පැදියක් හිමි කරගැනීම හීනයක්ම බැවින් අඩුම තරමින් එකක් පැදීමේ ආශාවවත් සන්සිදුවා ගත යුතුය. තාත්තා සතු එකම වාහනය වූ, එකල අප විසින් "ෆොනෙක්ස්" ලෙසින් හැඳින්වූ "ෆීනික්ස්" බයිසිකලය, ඒ වන විට අප විසින් එපා වෙනතරමටම පැද තිබුණෙමු. පාපැදියක් පැදිය හැකි සියලුම ක්‍රම ඒ වනවිට අත්හදාබලා සුදුසුකම් සපුරා සිටියහ.

පැවති තත්ත්වය හමුවේ තාත්තාට යතුරු පැදියක් මිලදී ගන්නයැයි ඉල්ලා සිටිම හාස්‍යයට කරුණක් බව තේරෙන තරමට අප මෝරා සිටියෙමු. එබැවින් කෙදිනකවත් විහිළුවක් ලෙසවත් එවැනි ඉල්ලීමක් සිදු වූ බවට මතකයක් නොමැත.

මාගේ මෝටර් සයිකල් උමතුව තීවෘර වීමට බලපෑ තවත් ප්‍රධානම හේතුවක්නම් පන්තියේ මිතුරකු විසින් සිය පියා සතුවූ "සුපර්කබ්" රථයෙන් එහෙ මෙහෙ සැරි සැරීමය. නෙක නෙක සෙල්ලම් පෑමය. මට මෙන්ම අයියාටත් මෙවැනිම හේතුන් බලපෑ බවට නොඅනුමානය. හඳ ඉල්ලා හඬා වැටෙන පුංචි එවුන් එය ලබාගත නොහැකි බව අවබෝධවූ පසු, සිය ආශාව යටපත් කොටගෙන නිහඬ වන්නේ යම්සේද, අපගේ යතුරුපැදි ආශාවද සිත්වලටම පමණක් සීමා කොට සඟවා තබා ගෙන නිහඬ වන ලෙස දරිද්‍රතාවය විසින් සිය තර්ජනාංගුලිය විදහා අපට දන්වා සිටියේය. එහෙත් ඒ ආශාව යතුරුපැදි  වල පින්තූර එකතු කිරීම වැනි අහිංසක ප්‍රයෝගයන්ගෙන් සපුරා ගැනීම වැළැක්වීමට දරිද්‍රතාවයද අසමත් වූවේය.

පොඩි අංකල් හදිසියේම මෙන් ගමේ යැමක් සිදුවන්නේ මෙවන් වාතාවරණයක් යටතේදීය. පසුදින සුදු පැහැති දුම් දමමින් පැමිණ හදිසියේම අපගේ නිවස ඉදිරිපිට නතරකළ යතුරු පැදියේ ධාවකයා කවුරුද යන්න දැනගැනීමට මොහොතක් බලා සිටීමට සිදුවූහ. ආරක්ෂිත හිස්වැස්ම ඉවත් කළ පසු ඒ පොඩි අංකල් බව හඳුනා ගත් සැණින්, අයියාත් මාත් එතනට දිවගියේ යන්ත්‍රානුසාරයෙනි. අපගේ උනන්දුව අපටද නොදැනුවත්ව අපගේ දෙපා ක්‍රියාත්මක කොට තිබුණි. යතුරුපැදිය වටා දෙතුන් විටක් කැරකී අප එය අතගා බලන තෙක්ද පොඩි අංකල් විසින් තවමත් එහිම වාඩිවී සිටියේය.

"කොහොමද ? හොඳයිද ? " ඔහු විසින් සිනාසී ඇසීය.

"කොහෙන්ද පොඩි අංකල් මේ ? ඔයාගෙද"

"නැතුව ඉතින් වෙන කාගෙවත් ඒවා අපට දෙනවයැ"

දැන් අපගේ සවන ඉන්ද්‍රිය යමක් අපට අවභෝධකරවමින් සිටී. දීර්ඝ කාලයක් සඟවා තබාගෙන සිටි ආශාවක් ඉෂ්ටකර ගැනීම මගක් පැදී එන බවට ඉවෙන් මෙන් අවභෝධවෙමින් තිබුණි.

"ඒ කියන්නෙ පොඩි අංකල් ඉස්සරහට වැඩට යන්නෙ මේකෙන්ද"

"හ්ම්ම්"

මම අයියා දෙසත්, ඔහු මා දෙසත් බැලුවේ නොසිතාමය. අපගේ හිත් ප්‍රීතියෙන් පුරවාලීමට ඔහුගේ උගුරෙන් නිකුත් වූ එම හඬට හැකි විය. පොඩි අංකල් යතුරුපැදියෙන් බැස ගිය පසුද අප ඒ වටා කරකැවෙමින්, එය අතාගාමින් සිටියේ එම ආශාව නිසාමය. එයින් නිකුත්වූ පැට්ට්‍රල් සුවඳ ඒ මොහොතේ මට මෙලොවෙහි වූ හොඳම සුවඳ විය. එහි ඇක්සිලේටරය කරකවා බැලීම, ගියර් ලිවර් එක පාගා ගියර් කඩා බැලීම, ස්විච් එහෙට මෙහෙට කොට බැලීම වැනි මූලික පරීක්ෂණයන් එයින් පසු සිදු කෙරිණි. යමහා මේට් ෆිෆ්ටි වර්ගයේ යතුරු පැදියක් වූ එය, ඉදිරියෙන් සුදු පැහැති ප්ලාස්ටික් ආවරණයකින් වැසී තිබුණු, ඉදිරිපසින් කකුල දමා ගොඩ විය හැකි, පෙට්ට්‍රල් ටැංකිය සීට් එක යට පිහිටා තිබූ වර්ගයේ එකකි. මාගේ මිතුරා සතුවූ සුපර්කබ් එකෙහි හා මෙහි වෙනසක් නොවූ තරම්ය. හොන්ඩා සුපර්කබ් එක පරයා යමහා මේට් ෆිෆ්ටිය ඉදිරියෙන් සිටින බව එම මොහොතේම මම නිගමනය කළෙමි. එය හුදෙක්ම, මුකුත්ම නැතිව තිබෙනවාට වඩා ලැබී තිබෙන දේ අගය කළ යුතු නිසාම මිසක, එම යතුරු පැදි දෙක පිළිබඳ කළ විධිමත් සංසන්දනයකින් පසු කළ නිගමනයක් නොවුණේය. ඇත්තෙන්ම එය අලුත්ම සතුරු පැදියක්ද නොවුණි. එහෙත් අපට බලපෑමක් කිරීමට එම සාධකයට කිසිඳු හැකියාවක් නොතිබුණි.

"ඕකෙ ඇක්සිලේටරේ නිකන් කරකවන්න එපා පුතාලා, කාබලේටරේට තෙල් යනවා " යි පොඩි අංකල් ජනේලයෙන් ඔළුව දමා කෑ ගැසුවේ අපගේ මෙම පරීක්ෂණය අතරතුරය.

දැන් මාගේ එකම අභිලාෂය වූයේ මෙය වටයක් පැද බැලීමයි. අයියාත් එයම අදහස් කළ බවට මොනවද කැට ! එහෙත් පොඩි අංකල් විසින් කවදා අපට මෙය පදින්න දේවිද යන්න ගැටළුවක්ම විය. මේ උණුසුමේම එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට තරම් අප අඥානද නොවූවෙමු. තව ටිකක් ඉවසීමට එකි නෙකා කතිකා නොකරම අප විසින් එකඟ වූ සෙයකි.

එයින් පසු කාලය දින සති වශයෙන් ගෙවී ගියේය. කල් යල් බලා යතුරු පැදිය පැදීමට පොඩි අංකල් වෙත කෙරුණු ඉල්ලීම් කිහිපයක්ද බාලගිරි දෝශයට හසුව පසු පසට තල්ලුවී ගිහහ. එහෙත්, යතුරු පැදිය පිස දැමීම, රාත්‍රියට ගෙට ගැනීම හා උදෑසනට එළියට දැමීම වැනි කටයුතු අයියාගේත්, මගේත් දායකත්වයෙන් නොකඩවා සිදු කෙරුණේ කවදා හෝ අවස්ථාවක් ලැබේයැයි යන බලාපොරොත්තුවේ බීජය සිත්හී දරාගෙනය. පොඩි අංකල් විසින් දිනපතාම වැඩට යාමට ලක ලෑස්තී වී පැමිණෙන විට යතුරු පැදිය සූදානම්ව මිදුලේ නතරව තිබුණේ එහි ආනුභාවයෙනි.

නිරන්තර ඇවිටිලි ගෑමෙහි ප්‍රතිඵලයක් ලෙස එක් ඉරිදා දිනක පොඩි අංකල් විසින් යතුරු පැදිය පැද්දවීමට එකඟ වූවේය. ඔහු විසින් පසු පස අසුනේ වාඩි වී අප හට මාරුවෙන් මාරුවට යතුරු පදිය පැදගෙන යාමට ඉඩ ලබා දුන්නේය. පාපැදිය පැදීමෙහි වූ පුරුද්ද නිසාම මෙය කෙළින් රැගෙන යාමේ කලාව හසු කර ගැනීමට අපට මහ වේලාවක් ගත නොවුණි. මෙම අනර්ඝ අවස්ථාව ඉතා කෙටි කාලයකට සීමා කෙරුණේ තෙල් අවසන් වෙමින් පවතින බව පොඩි අංකල් විසින් දැනුම් දීම නිසාය. "පස්සෙ දවසක ආයෙ බැරියෑ" යි යන්නෙන් නැවතත් දවසක මෙලෙසින්ම පද්දවන බවට පොරොන්දුවක්ද ලැබුණි.

මිදුලෙහි යතුරු පැදිය නතර කෙරුණු පසු පොඩි අංකල් විසින් යතුරද රැගෙන ඉවත් විය. එහෙත් අප දෙදෙනා තවමත් යතුරුපැදිය අසල දැවටෙමින් සිටියේ අසංතෘප්ත ආශාවෙන්ය. අයියා තවමත් යතුරු පැදිය මත නැග සිටියේ එයින් බැසීමට අකමැති බවක් දක්වමිනි.

"ලොකු මල්ලී ඔයා ටිකක් තල්ලු කරනවද ? " යි එක වරම ඔහු මගෙන් ඇසීය. දෙවරක් නොසිතාම මමද ඔහු කී ලෙස කළෙමි. මා විසින් තල්ලු කරණ විට ඔහු යතුරු පැදිය තුලනය කරගනිමින් ඉදිරියට මෙහෙයවීය. අප විසින් ගේ ඉදිරිපස සුළු ඉඩෙහි ටික වේලාවක් තල්ලු කිරීමෙන් අනතුරුව ඉදිරි පස වැලි පාරට ප්‍රවිෂ්ට වූවෙමු. එවිටම වාගේ පොඩි අංකල්ගෙන් නිකුත් වූ "බලාගෙන.. පෙරළන්න එහෙම එපා" යි යන විධානය එම ක්‍රියාවට ඔහු අකමැති නොමැති බව අප හට දැනුම් දුන්නේය. මෙලෙස ඉඩදීමෙන්, අපගේ කන්කරච්චලයෙන් මිදී, ඔහුගේ සාක්කුවට හා යතුරු පැදිය යන දෙකටම අඩුම අවාසියක් වන අයුරින් ගැටලුව මගහැර යා හැකියයි ඔහු සිතුවා වන්නට ඇත.

~~~~~

සුපුරුදු පරිදි අලුයම දෙකට පමණ අම්මා විසින් කූද්දනු ලැබීමෙන් එදිනද මම අවදි වුණෙමි. ඒ වන විටත් අයියා පාඩම් කරමින් සිටියේය. පැදුරෙන් නැගිට දැසින්ම නිදි ගැට කඩමින් අම්මා පස්සේ වැටෙමින් කුස්සියට ගමන් කොට කුස්සියෙහි වූ වේවැල් කැඩී ගිය පුටුවට බර වුණෙමි. අම්මා විසින් ලහි ලහියේ ලිප ගිනි මොලවා, කේතලය ලිප තබා, ඉඳි ආප්ප තැම්බීමට අවැසි කටයුතු සම්පාදනය කරන විටත් මා පුටුව මතට වී, පුටුවෙහි ඉදිරි පස අඬු දෙක හරහට ඉහළින් සවි කර තිබූ ලීය මත කකුල් දෙක තබා ගැනීම නිසා උඩට එසවෙන දණිස් දෙක අතර නිකට රුවාගෙන, අත්දෙක කකුල් වටා යවා දණහිසට පහලින් බැදගෙන තව මොහොතක් හෝ වකුටු වී නිදා ගැනීමට උත්සහ කරමින් සිටියෙමි. මා මෙසේ සිටින විට කොහේදෝ සිට එන කිටියාද මා සහ පුටු ඇන්ද අතර වූ හිස් ඉඩට ගුලි වනුයේ උණුසුමක් සොයමින් විය යුතුය. මමද උගේ උණුසුමට ප්‍රිය කළ බැවින් ඌට සිත්සේ සිටීමට ඉඩ හරිමි. මෙය සෑමදාම සිදුවන නිශ්චිතව පෙලගැස්වූ දෛනික ක්‍රියාකාරමකින් කොටසකි.

අම්මා විසින් සාදා දෙන තේ එක පානය කරන තෙක් නිදි කිරමින් සිටින මම, එයින් පසු ටිකෙන් ටික ක්‍රියාශීලී වීම අරඹමි. මින් පෙර අම්මාට සහය දීමේ වගකීමට උරදී සිටියේ අයියා වුවද, ඔහු විසින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාඩම් කිරීම ඇරබීමත් සමඟම එම වගකීම මා වෙතට පැවරුණි. රාත්‍රී එක දෙක පමණ වන තුරු පාඩම් කරණ අයියා සාමාන්‍යයෙන් නින්දට වන්නේ අප අවදිවූ පසුවය.

අලුයම පවතින මෙම ගැඹුරු නිහඬතාවයට මම කවදත් අතිශය ප්‍රිය කළෙමි. තේ එක බීමෙන් පසුවද දණහිස් තුළ නිකට රුවා මා එළියෙන් එන ශබ්ද වලට සවන් දෙමින් ඒවා හඳුනා ගැනීමට උත්සහ දැරුවෙමි. එවිට, වවුලෙකුගේ තටු සලා ඉගිල යෑමක්, බල්ලකු කන්පට ගැසීමක්, ඇතින් ඇසෙන කුකුළකුගේ හැඬලීමක් ආදී වශයෙන් පැහැදිලිව හඳුනාගත හැකි හඬවල් කිහිපයක් පමණක් ශ්‍රවණය කළ හැකිවේ. බෝධිසත්වයා ප්‍රමුඛ අපගේ කුකුළු නඩයද තවමත් සැප නින්දේය. අප උන්ටත් කලින් අවදිව සිටියෙමු.

ඉඳි ආප්ප සඳහා පොල් ගෙඩි හතරක පොල් ගා, සම්බෝල සෑදීම මාගේ මෙම අවදි වීමේ මුඛ්‍ය පරමාර්ථයයි. ඒ සඳහා මා විසින් කලින් දින පොල් ගෙඩි හතරක් ලෙලි ගසා, කටුව පැදෙන තරමට පිහියකින් සූරා සූදානම් කොට තැබීම සුපුරුදු චර්යාවයි. පොල්ගෙඩි හතරක් ගා සම්බෝල සාදා අවසන් කිරීමට පැය දෙකකට ආසන්න කාලයක් ගතවේ. එයින් පසු කළ යුතු විශේෂ කාර්යයක් නොවුණෙන් පොතක පතක වැඩක් කර ගැනීමට මම ඉතිරි කාලය ගත කරමි. මේ, එසමයෙහි අපගේ දිනය ඇරඹුණු සාමාන්‍ය පිළිවෙතයි.

"ලොකු මල්ලී පොඩ්ඩක් එන්නකො" උදෑසනම නැවත අවදිවී සිටි අයියා, සාලයේ සිට බෙරිහන් දෙන විට මා කුමක්දෝ සටහනක් ලියමින් සිටියෙමි. මා සාලයට යන විටත් ඔහු පොඩි අංකල්ගේ යතුරු පැදියට ගොඩවී ප්‍රධාන රඳවනය නිදහස් කරගැනීමට යතුරු පැදිය ඉස්සරහට පද්දවමින් සිටියේය. ඔහු අදහස් කළ දේ ඉවෙන් මෙන් හඳුනා ගත් මා, වහා ඉදිරිපත් වී ඔහුට සහය දීමෙන් යතුරු පැදිය ප්‍රධාන රඳවනයෙන් නිදහස් කොටගෙන සම්පූර්ණ බරම එහි රෝද මතට හා, අයියාගේ දෙපා මතට ගැනීමට සමත් වූවෙමි.. ඉන්පසු නිවසෙහි ඉදිරිපස දොරටුව විවෘත්ත කොටගෙන යතුරු පැදිය මිදුලට ගන්නා විට කළුවරවත් පහවී නොතිබුණි.

එයින් පසු අප විසින් සැලකිය යුතු වේලාවක් එකිනෙකා මාරුවෙන් තල්ලු දමමින් යතුරු පැදිය පදින ලද්දෙමු. එයට පැදීමක් යැයි කිව හැකිදැයි නොතේරෙන නමුදු, කෙසේ වෙතත් තුලිතව යතුරු පැදියක් ඉදිරියට ගෙන යාමට අප තුළ වූ ආශාව යම් පමණකින් හෝ සංතෘප්ත කොට ගැනීමට මෙය ඉවහල් විය. එදින මෙම ක්‍රියාව නිවස ඉදිරි පස වූ මීටර් පනහක් පමණ වූ වැලි පාරෙහි ඔබ මොබ සැරි සැරීමකට පමණක් සීමා විය.

දෙවෙනි දවසේදී තවත් පියවරක් ඉදිරියට තබමින්, නිවස ඉදිරිපස වූ වැලිපාරෙන් වමට හැරී තාර පාර වෙත ගමන් කරනා වැලිපාරෙහිද යතුරු පැදිය තල්ලු කරමින් ඉහළ පහළ ගමන් කළෙමු. තෙවෙනි සිව්වෙනි ආදී වශයෙන් ඉදිරියට පැමිණි දිනයන්හීදී ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගමන් කොට, තාර පාරෙහිද සැලකිය යුතු දුරක් ගමන් කළෙමු. එයින් පසු මෙය, පාරෙහි ගමන් කරනා අප අසල් වැසියනට අතිශය සාමාන්‍යය දසුනක් වෙන තරමටම අප විසින් දෛනිකව සිදු කරණ ලද කටයුත්තක් බවට පත් විය. ආශාව කෙතරම්ද යත් අප හට එය අප්‍රිය වන ලකුණකුදු දක්නට නොවුණි.

ඔය අතර වාරයන්හීදී අප විසින් යතුරු පැදිය පණගන්වා ගැනීම උදෙසා දන්නා සියලු උත්සහයන් දැරූවද අපගේ බලාපොරොත්තු කඩවෙමින් ඒ එකක්වත් සාර්ථක නොවුනි. තල්ලු කරමින් යනවිට ගියර් එකකට දැමීමෙන් යතුරු පැදිය පණ ගැනීමට උත්සහ දරණ බව අප විසින් සිදු කරණ ලද අනර්ඝ සොයා ගැනීමක් විය. එහෙත්, යතුරු පැදියක් පණ ගන්නා මුල්ම අවස්ථාවේදී ඇතිවෙන ශබ්ධය පමණක් ඇතිවී ඒ සමඟම බුසු බුසු හඬක් නගමින් මලානිකව වියැකී යන්නේ එම ශබ්ධයට සමගාමිව උච්චාවචනය වන අපගේ බලාපොරොත්තුද සමගිනි. කික් කිරීම මගින්ද පණ ගන්වා ගැනීමට උත්සහා දැරුවේ මෙලොව පවතින, කිසිසේත්ම සිදු නොවෙතැයි අප විශ්වාස කරණා දෑ හදිසියේම සිදුවීම යන සංසිධිය මතවූ අල්ප බලාපොරොත්තුවකින් මිස යතුර නැතිව කික් කිරීම නිශ්ප්‍රයෝජන දෙයක් බව නොදැන නොවේ.

කටයුතු මෙසේ සිදුවෙමින් පවතින විට, දිනක් සවස අයියා විසින් මාහට පෙන්වූයේ සතුට, බලාපොරොත්තුව ඉහල නංවන දෙයකි.

"මෝටර් බයික් යතුරක් නේද ? කොහෙන්ද ?"

"මට යාළුවෙක් දුන්නෙ, අපි බලමු මේකෙන්" ඒ අයියාගේ යෝජනාවයි.

"හරි යයිද ? " යි මා ඇසුවේ ආවේනික යතුරකින් මිස සෑම එකකින්ම පණ ගැන්විය නොහැකි බව මා දැන සිටි නිසා වෙමි.

"බලමු, මිනිහානම් කිව්වෙ යතුරු පරණ වුනාම ඕන එකකින් ස්ටාර්ට් කරන්න පුළුවන් කියලා. අනික, මේකත් මේට් ෆිෆ්ටියකම එකක්."

එම සතර කන් මන්ත්‍රනයෙන් පසු හෙට නම්වූ දවස උදාවෙන තෙක් මා සිටියේ නොයිවසිල්ලෙනි. එදින රාත්‍රියේ මා හට හරිහමන් නින්දක් නොවූ අතර අළුයම අම්මා අවදි කිරීමටත් පෙර මා නැගී සිටියෙමි.. වෙනදා උදෑසනට අවදි වූ විට පවතින අපහසුතා කිසිවක් එදින නොවුනි. පුටුව මත වකුටු වී විදින අලස සුවය විදීමට එදින මා හට ඉස්පාසුවක් හෝ උවමනාවක් නොතිබුනි. කිටියාටද එදා උණුසුම් වීමට නොලැබුනි. එදින වවුලන් පියබා ගිය බවක්, බල්ලන් කන්පට ගැසූ බවක් හෝ කුකුළන් ඈතින් හැඬලූ බවක් මා හට මතක නැත . තේ එක පානය කිරීමටත් පෙර පොල් ගෙඩි ටික බිඳ, ගෑමට පටන් ගත්තෙමි. උනන්දුව විසින් ඇති කළ  ජවය හිරමනය කරකැවීම වේගවත් කළ අතර එය සවිකර තිබූ මේසය, එය මත වූ බඩුත් සමඟම දඩ දඩ ගා  සෙලවෙන්නට ගත්තේ භූමිකම්පාවක් සිහි ගන්වමිනි.

"මොකද ඔය හදිස්සිය ?" යි අම්මා ඇසුවේ ඇයද මාගේ වෙනස නිරීක්ශණය කළ බැවිනි.

මාගේ උනන්දුව ඔරලෝසුවට නැති සෙයකි. එය සුපුරුදු රිද්මයෙන්ම කිසිඳු හදිසියකින් තොරව කැරකෙමින් තිබුනි. එබැවින්ම මාගේ කාර්යය නිමා කිරිමෙන් පසු තවත් හෝරා කිහිපයක් නොයිවසිල්ලෙන් බලා සිටීමට සිදු වූවෙමි. එදින පොතක පතක වැඩක් කිරීමටද හිතේ නිස්කලංකයක් නොවුනි.

ගොලුබෙල්ලෙක් මෙන් ගමන් කළ ඔරලෝසුව අවසානයේදී අදාල ස්ථානයට ලඟාවිය. අයියාත් මා මෙන්ම සුදානම්ව සිටි බැවින් වෙනදාටත් කලින්ම අප විසින් යතුරු පැදිය එළියට අර ගත්තෙමු. තාර පාරෙහිද සැලකිය යුතු දුරක් ගෙවෙන තෙක් එය තල්ලු කරගෙන පැමිණියේ යම් හෙයකින් එය පණ ගතහොත් ශබ්ධය ඇසීම වැලැක්වීමටය. ඉන්පසු යතුරු පැදිය නතර කොට සිය සාක්කුවෙන් යතුර ගත් අයියා එය යතුරු සිදුරට ඇතුලු කර දකුණට කරකැවීය. දකුණු පස වූ හතරැස් කොළපාට බල්බය දීප්තිමතව දැල්වූයේ අපගේ සිත් සතුටින් පුරවාලමිනි. එම මොහොතේ ඇති කරවනු ලැබූ ඒ සතුට මිශ්‍ර හැඟීම, අදටත් යතුරු පැදියක යතුර දමා කොළ පාට බල්බය දැල්වීමේදි මා අත්විදිනු ලබමි. එම මොහොත සිහි කරවනු ලබයි. අප දෙදෙනා උඩ නොපැන්නා පමණයි. සතුටෙහි කෙලවරක් නොමැත. දැන් ඉතින් කළ යුත්තේ මේ නෙලා ගත් ඵලය භුක්ති විඳීමය. එය වංචාවක් බවත්, නොකළ  යුතු දෙයක් බවත් අවභෝධ වුවද ආශාව විසින් ඒ සියල්ල යටපත් කොට දමා තිබුනි.

"පොඩ්ඩක් ඉන්න තෙල් තියනවද දන්නෑ" යි කියමින් ඉදිරි අසුන ඔසවා පියන විවෘත්ත කළ අයියා ඉන්ධන තත්ත්වය පරික්ශා කොට බැලීය. එය සතුටුදායක මට්ටමක විය.

ඉන් අනතුරුව යතුරු පැදියට නැගි අයියා විසින් කික් පැඩලය පෑගීමෙන් එය පණ ගැන්වීය. ඇන්ජිමෙන් නැගුනු හඬ අපගේ සතුට දෙගුණ තෙගුණ කළේය.

එදින අප විසින් සිත්සේ යතුරු පදිය ධාවනය කළෙමු. නමුත් වෙනදාටත් කලින්ම එය නැවත රැගෙන ඒමට අප සැළකිලිමත් වූවෙමු.. මේ ලද අවස්ථාව හසු නොවන සේ භාවිතා කිරීමට අප දෙදෙනාම කතිකා කරගත්තෙමු. ඒ අනුව සෑමදාම එය නොපැදීමට තීරණය වූ අතර වෙනදාට වඩා කලින් එය පැදීමට අප විසින් සැළසුම් සකස් කෙරුවේ, පොඩි අංකල් වැඩට යන වේලාව වන විට ඇන්ජිම නිවී තිබිය යුතු බැවිනි. ඔහුගේ කකුලට රස්නය දැනේවියැයි බියක් අප වෙත තිබිණි.

එදින පොඩි අංකල් වැඩට පිටත් වන ආකාරය දෙස අප දෙදෙනාම හොරෙන් නිරීක්ශණය කෙරුණේ ලබ් ඩබ් ලබ් ඩබ් අනුකරනයෙන් ස්පන්දනය වෙන වේගවත් හදවත්ද සහිතවය. වෙනදා මෙන්ම යතුරු පැදියට නැගුනු ඔහු, යතුර දමා කරකවා, කකුලෙන් කික් පැඩලය දකුණට හරවා යතුරු පැදිය පණ ගැන්වීය. සුපුරුදු ලෙසම එය කෑගසමින් අවදි වී අපගේ හදවත් වලට සමානුපාතිකව ගැහීමට පටන් ගත්තේය. ඉන්පසු පැති කණ්නාඩි සකස් කළ පොඩි අංකල් විසින් වම් කකුලෙන් ගියරකට දමා බෲම් ගා ඉගිලී ගියේ අපගේ හිත් සැහැල්ලුවකින් පුරවාලමිනි.

කාලය සෙමින් ගලා ගියේය. අප විසින් උපක්‍රමශීලී ලෙස පොඩි අංකල්ගේ යතුරු පැදිය භාවිතා කරමින් සිටියෙමු. පටි ගොතා එකතු කරගත් මුදල් වලින් ඉඳ හිට පෙට්‍රල් ගැසීමට තරම්ද අප කල්පනාව දුර දිග මෙහෙය වූවෙමු. ඒ මන්ද යත් අප ගැන පොඩි අංකල්ට ගතු කිව හැකි එක් ඔත්තු කරුවෙක්නම් ඉන්ධන ටැංකියයි. එමනිසා ඔහුට සන්තෝශම් දී සතුටින් තැබීමට අප වගබලා ගත්තෙමු. මෙතක් මෙම ක්‍රියාව හසු නොවීම පිළිබඳව විටෙක අපම මවිතයට පත්වීමු. "මේ මනුස්සයට මේක නොතේරෙනවාද, නැත්නම් තේරී ඒ බව නොහඟවා ඉන්නවාද " යන ගැටලුවත් අප දෙදෙනාටම වූවේය. ඒ මහාර්ඝ වස්තුව වූ "යතුර" වැඩි පරිස්සමට නිතරම අප සන්තකයේ තබා ගැනීමට වගබලා ගත්තෙමු. එවකට මා සතුවූ ගාංචුවක් සහිත නිල් පැහැති කොට කලිසමෙහි, මෙම යතුර නිතරම මා විසින් එල්ලාගෙන සිටියෙමි. එක් ඉරිදා දිනෙක මෙය නිරීක්ශණය කළ පොඩි අංකල් විසින් සියල්ලන් ඉදිරියේදී " ආ ආ දැන් යතුරු එල්ලගනමයි ඉන්නෙ නේද" යි ඇසුවේ සිනාසෙන ගමන්ය. ඔහු විසින් යමක් අවභෝධ කොටගෙන සිටින බවක් ඇඟවීදැයි සැකයක්ද අපට මතු වූහ. කෙසේ වෙතත් ඒ සම්බන්දයෙන් අයියාගේ දෝශාරෝපණයට ලක්වීමට මට සිදු විය.

"මම තමුසෙට කිව්වනෙ ඕක ඔහොම පේන්න එල්ලන් ඉන්න එපා කියලා, බලනවා දැන් පොඩි අංකල් මොනවා හරි හිතුවද දන්නෑ."

වැඩි පරිස්සම උදෙසා එයින් පසු අප යතුරු පැදිය භාවිතය ටික කලෙකට තවත් සීමා කළෙමු. දැන් දැන් ඒ සඳහා වූ ආශාවද හීන වෙමින් පැවතුනි.

වංචාවට, බොරුවට කෙටි කලක් පමණක් රජකම් කළ හැකි බව නැවතත් පසක් කරමින් අවසානයේදී ඒ අමිහිරි දිනය උදා විය.

එදිනද අප සුපුරුදු පරිධි යතුරු පැදිය පාරට ගෙන සිත්සේ පැද නැවත ගෙනවිත් තැබූවෙමු. දැන් පොඩි අංකල් පරික්ෂා කර බලාවියයි යන බිය සම්පූර්ණයෙන්ම අපගේ සිත් වලින් පහවී තිබූ බැවින් එය ගෙනවිත් නතර කළ පසු පාසල් යාමට සූදානම් වනවා මිස පොඩි අංකල්ගේ හැසිරීම් නිරීක්ශණයක් නොවුනි. එය එතරම්ම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුනි. එදිනද මම පාසල් යාමට සූදානම් වෙමින් සිටියෙමි. හදිසියේම නිවසේ ඉදිරි පසින් ඇසෙන කෑ ගැසීමේ ශබ්ධය කුමක්ද යන්න බැලීමට මම බොත්තම් නොපියවූ කමිසය පිටින්ම කාමරයෙන් පිටතට පැමිණියෙමි.

"කවුද මේ බයිසිකලේ පැද්දෙ ?" පොඩි අංකල් උස් හඬින් ඇසීය. ඔහු තදින්ම කෝපාශ්ඨ වී සිටියේය.

"පැද්දෙ ?? අපිනම් පැද්දෙ නෑ, තල්ලු කළා විතරයි" මම කීවෙමි.

"තල්ලු කළා විතරයි ? තල්ලු කළාම ඇන්ජිම රත් වෙනවද ? බොරුනම් කියන්න එපා හරිද. මම දැන ගත්තා යතුරු එල්ලගෙන ඉන්නකොට මොකක් හරි විකාරයක් කරන බව" යි ආදී වශයෙන් ඔහු විසින් උස් හඬින් අප වෙත දෝශාරෝපණය කළා පමණක් නොව අවනඩුව තාත්තාට සහ අම්මාටද ඉදිරිපත් විය.

අයියාත් මාත් මුහුණින් මුහුන බලා ඇස් වලින් කතිකා කරගත්හ. ඒ මා පැවසූ ප්‍රකාශයෙහිම එල්බ ගැනීමටයි. තාත්තා සහ අම්මා අපෙන් නැවත විමසා සිටියද අපගේ පිළිතුර එයම විය.

"අපි පැද්දෙනම් නෑ, තල්ලු කරන ගමන් ගියර් එකටනම් දැම්මා, ඒකෙන් රත් වුනාද දන්නෑ" යි අයියා විත්තිය වෙනුවෙන් තවත් සාක්ශියක් ගෙන හැර පෑවේය. එයින් පැමිණිලිකරුගේ කෝපය වැඩි වූවා මිස වෙන කිසිවක් නොවුනි. 

අවසානයේදී පැමිණිලිකරු කෝපයෙන් පුපුරමින් යතුරු පැදියට නැග පිටත්ව ගිය අතර තාත්තාගෙන් නැවත යතුරු පැදිය නොඅල්ලන ලෙස අවසාන නියෝගය ලැබුනේ බැනුම් වර්ෂාවකට පසුවය.

අප විසින් ඔහුගේ යතුරු පැදිය පැදීමට ගත් දා සිට, මුල්ම වරට එදින පොඩි අංකල් හට ඇන්ජිමේ වූ ලිහිසි තෙල් තත්ත්වය පරික්ෂා කිරීමට සිත්වී ඇත. ඒ සඳහා ඇන්ජිමේ වූ පියන විවෘත්ත කිරීමට යාමේදී එය රත් වී ඇති බව ඔහුට වැටහී යාම මෙලෙස අපගේ යතුරු පැදි භාවිතයේ ආරම්භයට නැවතීමේ තිත තැබීය. මෙය අප විසින් කිසිදිනක බලාපොරොත්තු වූ හෝ අනුමාන නොකළ දෙයකි. මේ පිළිබඳව කලින් සිහියට පැමිණියේනම් කිසිවිටකත් අප විසින් මෙම අවධානම නොගැනීමටත් ඉඩ තිබුණි. එයින් පසු අප විසින් ඔහුගේ යතුරු පැදිය වැරදීමකින්වත් නොඇල්ලුවෙමු .

එයින් දස වසරකට පසු, රැකියාවට යාම සඳහා උදේ හවහා, කාර්‍ය බහුල කොළබ-මීගමු පාරේ වාහන තද බදයන් අතරින් වංගු කපමින්, වෙට්ටු දමමින් යතුරු පැදියෙන්  ගමන් කිරීමට මෙම ආරම්භයෙන් ලද පරිචය ඉමහත් පිටිවහලක්ම විය.

~~නිමි~~

පිදුම : එදා, දරු පස් දෙනෙකුගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිය ජීවිතයම කැප කොට ජීවන අරගලයක යෙදුනු, මෙදා, අංශභාග රෝගයෙන් ඔත්පලව ජීවිතය පවත්වා ගැනීම උදෙසා අරගලයක යෙදෙන, ආදරණීය අම්මාට.

ලියුවේ ;
~~සෙන්නා / 11.05.2013

Friday, May 3, 2013

බෝතලේ විත්ති | ගමේ යාම.....

2013 වෙසක් මස 03වනදා


ටෑං ටෑං ටෑං ටෑං ටෑං ටෑං......



ඔය කියන්නෙ එයැයිට මාසයක් නිවාඩු, වද නොදී අපිට ගෙදර යන්න කියලා. ඒ කියන්නෙ අපිටත් නිවාඩු !!! ආව් ආව් ආපි ඔන්න සෙල්ලම් කාලේ..

න්‍යායපත්‍රානූකූලව ඊළඟට නියමිතව ඇත්තේ ගමේ යාමයි. න්‍යායපත්තරේ මොනවා තිබ්බත් ඕක අපිට ඕනා ඉක්මනට වෙන්නෙ නෑ.. අඩුම ගානෙ දවස් දෙක තුනක්වත් යනවා. එක්කෝ සීයා හරි, කිරිඅම්මා හරි, නැන්දා හරි, බාප්පා හරි ඇවිල්ලා එක්ක යන්න ඕනා. ඔතනින් බොහෝ වෙලාවට එවෙන්නෙ සීයා හරි, නැන්දා හරි තමා. නැත්නම් තාත්තා ගිහින් ඇරලවන්න ඕනා..ඕකට ඉතින් ඒ ගොල්ලන්ට නිවාඩු පාඩු දවසක් හම්බෙන්න ටික දවසක් ඉන්න වෙනවා.

ඔහොම ඇහැ උල්කරන් ඉන්නකොට තමා සීයා ආවෙ, අපිව එක්කන් යන්න. හොඳ වෙලාවට මෙදාපාර එච්චර පරක්කු නෑ. අයියයි මායි ඉතින් ඇඳුම් කෑලි ටිකකුත් බෑග් එකකට ඔබාගෙන, තියන හොඳම ඇඳුමෙන් සැරසිලා ඉන්නෙ දැන් සීයත් එක්ක ගමේ යන්න. ඇයි ගමේ යන්න ඔච්චර ආස ? ඔය ප්‍රශ්නෙ ඕගොල්ලො 2013 වගේ ඈත අනාගතේදි ඇහුවොත්නම් මට පිළිතුරු අමතකත් වෙයි, ඒත් මේ 1985 වගේ වර්තමානෙදි අහපු හින්දා උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. නානා ප්‍රකාර පලතුරු, අළුත් පරිසරය, කිරි අම්මාලගෙ සැලකිලි, සීයගෙ කතන්දර වගේ ඒවා තමා ඉතින්. හැබැයි, ඔය කොයිකටත් වැඩිය මම කැමති ගමන යන එකටයි, ඒ කියන්නෙ මග දිගේ ගෙවෙන කාලයටයි. අනිත් එක මේ නිවාඩු කාලෙ ගෙදරම ඉන්න එක මොන පිස්සු වැඩක්ද ! වෙනසකටත් එක්ක කොහෙ හරි යන්න එපැයි. අම්මානම් එච්චර කැමති නෑ අපි ගමේ යනවට, මොකද එළකිරි බීලා සෙම වැඩිකරගන්නවා කියලා.

බොහෝ වෙලාවට අයියයි, මමයි තමා සීයලෑ යැවෙන්නෙ. අනිත් තුන්දෙනා පොඩි හින්දා ගෙදරින් පිට තනියම යැවෙන්නෑ අම්මලා නැතුව. අම්මට, තාත්තට, ලොකු අම්මට ( අම්මගෙ අම්මා ) එහෙම වැඳලා ඔන්න ඉතින් අපි පිටත් වෙන්න යන්නෙ. ඔය වෙලාවට උපදෙස් නම් හම්බෙනවා එකතු කරලා විකුණ ගන්න පුළුවන් තරමට.

"ලොකු පුතා ඔය කඳු වල එහෙම බලාගෙන යන්නෙ හරිද ? මල්ලිව බලා ගන්න ඕනා, පතල් වලට එහෙම එබෙන්නෙ යන්නෑ හරිද, සීයලා කවුරුවත් නැතුව කොහෙවත් යනවා එහෙම නෙමේ හොඳේ" ඔන්න ඔය වගේ ඒවා.. අපිත් ඉතින් ඔය ඔක්කොම ඔළුව වනලා එකතු කරලා සාක්කුවෙ දාගන්නවා.

සීයයි, අයියයි, මමයි ගෙදරින් පිටත් වෙලා වැලිපාර දිගේ ඇවිදගෙන එනවා. සීයා සුදු සරමයි, සුදු කමිසෙයි ඇඳලා, කමිසෙ සරමට යට කරලා කළු බෙල්ට් එකක් දාලා. අයියයි මායි ඉතින්, කොට කලිසම් ඇඳලා, ටී ෂර්ට් එකක් හරි, කමිසයක් හරි ඇඳලා සපත්තු දාලා.

ගමේ යන්න විධි දෙකක් තියනවා. එකක් තමා රාගමට කෝච්චියෙන් ගිහින්, රාගමින් ආයෙ කෝච්චියක නගින එක. අනිත් එක තමයි ගම්පහට බස් එකක ගිහින්, ගම්පහින් කෝච්චියට නගින එක. රාගමට ගිහින් යනවනම් ඔය වැලිපාර තාර පාරට වැටෙන තැනින් දකුණට හැරිලා ඉස්ටේෂන් එකට යන්න ඕනා. එතනින් හැරුණම මීටර් සීයක් විතර තමා ඉස්ටේෂන් එකට තියෙන්නෙ. ගම්පහට ගිහින් යනවනම්, වැලිපාර ඉවර වෙන තැනින් වමට හැරෙන්න ඕනා. ඒ හැරිලා හැතැම්මක් විතර පයින් යන්න ඕනා, බස් එකට. දැන් ඕගොල්ලො කොහෙට හැරෙන්නද කැමති ? ඕගොල්ලො කැමති වුණත්, අකමැති වුණත්, වමට හැරෙන්න වෙනවා, මොකද දන්නවද ? මම කැමති නෑ රාගමට කෝච්චියෙන් ගිහින් යන්න. ඒකෙ කිසි ගතියක් නෑ. ගම්පහට යනකොට බස් එක යන්නෙ වෙල් යායවල් මැද්දෙන්, හුළං වැදි වැදි. හරිම ජාති ඒක. සමහර කාලවල් වලට අපි යනකොට ඒ ගොල්ලො කුඹුරුවල වැඩ කරනවත් එක්ක. හරක්ගෙන් මඩවනවා එහෙම බලන්නත් හම්බෙනවා. කෝච්චියෙ රාගමට යනකොට ඔය මුකුත්ම නෑ, දෙපැත්තෙම ගෙවල් විතරයි. අනිත් එක කෝච්චිය රාගමට යනවා සුටුස් ගාද්දි. බලන්න දෙයක් ඇත්තෙම නෑ. හරිම පල්.

ඔය හැතැම්ම ගෙවන්න අපිට පැය භාගයක් විතර යනවා.සීයා තනියම ආවනම් ඔයිට ඉක්මනට එයි, ඒත් අපිත් එක්ක කොහෙද ඒවා. ඒ පාර ඇවිල්ලා වැටෙන්නෙ ගම්පහ බස් යන ප්‍රධාන පාරට. එතන හන්දියෙම තමා බස් හෝල්ට් එක තියෙන්නෙ. බස් හෝල්ට් එකක් කිව්වට අඩුම ගානෙ ටකරම් මඩුවක්වත් නෑ. මිනිස්සු පාවිච්චියෙන්ම හදාගෙන තිබුණ තැනක්. ලාවුලු ගහක් තිබුණා ඒක යට ලෑලි බංකුවක් හයි කරපු. බස් එනකම් ඉතින් ඕකෙ තමා සමහරු වාඩි වෙලා හිටියෙ. ලාවුලු ගහ ළඟම පොඩි පෙට්ටි කඩයක් තිබුණා. තාත්තා එක්ක යනකොට තාත්තා ඔතනින් තමා සිගරට් එකක් එහෙම පත්තු කරගන්නෙ. සීයනම් ඒවා පාවිච්චියක් නෑ බුලත් විටක් විතරයි.

කොහොමත් තවත් පැය භාගයක්වත් ඉන්න වෙනවා බස් එකක් එනකම්. ඔතනදි මම ආස නැති තව වැඩක් වෙනවා. ඒ තමයි නිට්ටඹුව බස් එකක් එන එක. ඒක ගම්පහ බස් එකට කලින් ආවොත් සීයා අනිවාර්යයෙන් ඕකට නගිනවා. ඒකෙන් කෙළින්ම නිට්ටඹුවට ගිහිල්ලා, එතනින් මීරිගමට ආයෙ බස් එකක් ගන්නවා. එතකොට අපිට කෝච්චිය මිස් වෙනවා. මේ ගමනේ සුන්දරම කෑල්ල තමයි ගම්පහ ඉඳලා මීරිගමට කෝච්චියෙන් යන එක. මම ඒක උපරිමෙන්ම විදින්න පුරුදු වෙලා හිටියෙ. ඉතින් වෙනසක් වෙනවට මම කැමතිම නෑ. දෙවියන්ට කිය කිය ඉන්නෙ අනේ ගම්පහ බස් එක ඉක්මනට එවන්න කියලා.

දෙවියන්ට මගෙ කන්නලව්ව ඇහිලද කොහෙද ඔන්න ගම්පහ බස් එක එනවා. සීයා අපි දෙන්නවත් අරගෙන බස් එකට නැග්ගා. හොඳ වෙලාවට වැඩිය සෙනග නෑ. අපිට ජනේලයක් අයිනෙ අල්ල ගන්න පුළුවන් වුණා. ක්‍රීම් පාට කබායක් දාගත්තු කොන්දොස්තර මාමා ටාර්සන් වගේ උඩ පොල්ලෙ එල්ලිලා පැද්දි පැද්දි අපි ඉන්න තැනට ඇවිල්ලා එහා පැත්තෙ සීට් එකේ ඇන්දට හේත්තු වෙන ගමන්ම සීයගෙන් කොහාටද කියලා අහලා අතේ තිබුන මැසිමක අන්ඩක් ක්‍රීස් ටි, ක්‍රීස් ටික්, ක්‍රීස් ටික් කියලා තුන් පාරක් කැරකුවම මෙන්න පොඩි කොළ කෑලි තුනක්ම එළියට ආවා. සමහර කොන්දොස්තර මාමලා ගාව ඔය මැසිම නෑ, නිකන්ම නිකන් පොතක් තියෙන්නෙ, ඒකෙ පෑනකින් කුරුටු ගාලා ඉරලා දෙනවා. මම ඒකට කැමති නෑ. කොන්දොස්තර මාමෙක්නම් මේ මැසිමක් තියෙන්නම ඕනා. 

ඩ්‍රැයිවර මාමත් බලන්න එපැයි, බස් එක එලෝන අපූරුව. වම් පැත්තෙ අතින් මහ පොල්ලක් නිතරම එහෙට මෙහෙට කර කර, අර රවුම වමට, දකුණට කැරකුවම බස් එක යනවා හුළං කපාගෙන හැටට හැටේ. මට හිතාගන්න බැරි අර රෝදෙ එහෙට මෙහෙට කරකවපුවම බස් එකේ වේගෙ වැඩි වෙන්නෙ කොහොමද කියලා. අනිත් පුරස්නෙ තමා කොහොමද නවත්වන්නෙ කියලා. සමහර විට අර කොන්දොස්තර මාමා අතේ තියන මැසිමෙන් කියනවද දන්නෑ ඇන්ජිමට අහවල් අහවල් තැන් වලින් බහිනවා කියලා. ඒත් එතකොට පොත් තියන කොන්දොස්තර මාමල කොහොමද ඒ වැඩේ කරන්නෙ. අනේ මංදන්නෑ..සමහර විට අර රෝදෙ කරකවන්නැතුව හිටියම බස් එක නිකන්ම නවතිනවා ඇති. ඔව් එහෙම තමා වෙන්න ඕනා, රෝදෙ කරකවපුවම බස් එක හයියෙන් යනවනම්, ඒක කරකවන්නැතුව හිටියම බස් එකේ වේගෙ අඩුවෙලා නතර වෙන්න එපැයි.  අයියා හරියටම දන්නවා ඇති. පස්සෙ වෙලාවක අහලා බලන්න ඕනා, දැන් මෙතන සද්දෙ වැඩියි. 

මම කලිනුත් කිව්වා වගේ මේ බස් එක යන්නෙ වෙල් යායක් මැද්දෙන්. දෙපැත්තෙම කුඹුරු. එක තැනක තියනවා මහ විශාල ගහක්. එකේ අතු හෙණ විශාල පැත්තක් වහගෙන තිබුණෙ. පුදුම හෙවණක් ඒ ගහෙන් ලැබුණෙ. ගොවිතැන් කරන අය ඔය ගහ යට මහන්සි අරිනවත් අපිට සමහර වෙලාවට දකින්න හම්බෙනවා.

බස් එක හුළං කපාගෙන ඉස්සරහට යනවා, එළියට අත දාලා, අල්ල ඉස්සරහට හැරෙව්වොත් අල්ලට හුළං බදලා අත පැද්දි පැද්දි පස්සට යනවා. ඒක මරු වැඩේ. හැබැයි සීයා දැක්කොත් බැණුම් අහන්න වෙනවා. මේ පාර පටුයි, අනිත් පැත්තෙන් එන බස් සමහර වෙලාවට ඇවිල්ල අපේ බස් එකේ හැප්පෙයි කියලා හිතෙන තරමට ළඟින් යනවා. ඒ වෙලාවටනම් ලේ වතුර වෙනවා. කොහොමද ඒ වෙලාවකට අරෙහෙම අත එළියට දාගන හිටියොත් ? සීයා බනින්නෙ ඕක නිසා තමා. සමහර වෙලාවට මම හිතෙන් බස් දෙක හප්පවලා බලනවා මොනවා වෙයිද කියලා. ඒ වෙලාවටනම් මම හිතන ඒවට මමම බය වෙනවා. හම්මෝ එහෙම හැප්පුණොත්, කෑලිවත් හොයන්න හම්බෙන්නෑ. හැබැයි කවදාවත් මම ගිය බස් එකක පොඩිම පොඩි ඇක්සිඩන්ට් එකක්වත් වෙලා නෑ.. ඉඳලා හිටලා හුළං ගියොත් ඇරෙන්න.

ඔහොම ඇවිල්ලා අපි එනවා ගම්පහට. ගම්පහෙන් බැහැලා ඉස්ටේෂමට යන්න ඕනා කෝච්චිය ගන්න.සීයා ටිකට් ගන්න දෙපැත්තෙ ලී වැටවල් දෙකක් තියන පෝලිමට එකතු වුණාම අපි දෙන්නා හිමීට කිට්ටු කරනවා අර ටිකට් කපලා කට්ටියව ඇතුළට දාන මාමා ගාවට. පුරුද්දෙන් අපි දන්නවා සීයා ටිකට් අරන් ඔතෙනට එනවා කියලා. වැඩි ඈතකුත් නෑ පේන දුර. 

අපි බලන් ඉන්නෙ අර මාමා කතුරක් වගේ එකක් අතේ තියන්, අපි සල්ලි දීලා ගන්න ටිකට් කපලා දාන විදිහ ගැන. ඇයි දන්නෑ එහෙම ටිකට් කපන්නෙ ? අපේ ගෙවල් ගාව ඉස්ටේෂමේනම් ඔහොම කපන්නෑනෙ. බැහැලා එනකොට ටිකට් ඉල්ල ගන්නවා විතරයි.

සීයා ටිකට අරන් එතනට ඇවිත් අපි දෙන්නවත් අරගෙන ඇතුළට ආවෙ අර මාමට ටිකට් ටික කපන්න දුන්නට පස්සෙයි. මේ ඉස්ටේෂම රාගම තරම්ම ලොකු නොවුනට, අපේ ගෙවල් ගාව එකට වැඩියනම් ගොඩක් ලොකුයි. රේල් පාරවල් දෙකක්ම තියනවා. සැරින් සැරේ කෝච්චි එනකොට කෑගහන ලවුස් පීකරුත් තියනවා. සවන් දෙන්න, සවන් දෙන්න කියලා පටන් අරන් මොන මොනවදෝ කියනවා. මටනම් හුඟක් වෙලාවට ඒවා තේරෙන්නෑ. ලවුස් පීකරේ දෙදරන සද්දෙ තමා ඊට වැඩියෙන් ඇහෙන්නෙ.

රාගමදි වගේම ගම්පහදිත් අපේ ප්‍රියතම වැඩ වලින් එකක් තමා අර මහ විශාල තරාදියට නැගලා බර මනින එක. ඒකට නැග්ගම අර විශාල කටුව කැරකිලා යන විදිහ බලන් ඉන්න ආසයි. අපි, තනි තනිවම, දෙන්නම, තනි කකුලෙන් හිටගෙන, කකුල් දෙකෙන්ම හිටගෙන ආදී එකී නොකී සියලු ක්‍රම වලට ඕකෙන් බර මනිනවා. ඔන්න අපේ ගෙවල් ගාව ඉස්ටේෂමේ තියන තවත් දුර්වලතාවයක්.

"ආහ් දැන් එන්න, කෝච්චිය එනවා.. " සීයා බංකුවෙ ඉඳන් කෑගැහුවම තමා අපි දෙන්නා ඔතනින් අයින් වුණේ.

ඔන්න අපේ කෝච්චිය එනවා. අයියෝ පවර් සෙට් එකක් ! අර ලොකු ඇන්ජිමක් තියන දිග කොච්චියක යන්න තිබුනනම් හොඳයි. ඒත් හුඟක් වෙලාවට අපිට හම්බෙන්නෙම පවර් සෙට්. අර හැකරැල්ලා වගේ ඒවා. එතකොට ඔය පාරෙ තව යනවා අමුතු මූණක් තියන ඇන්ජිමක් තියන කෝච්චියක්. අපි ඒකට කිව්වෙ යක් ඇන්ජිම කියලා. තනිකරම යකා මාක් මූණක් එයාට තිබුණෙ. 

කෝච්චිය නවැත්තුවට පස්සෙ අපි දඩි බිඩි ගාලා නැග ගත්තා කෝච්චියට. පවර් සෙට්වල එක හොඳක් තියන්වා. ඒ තමයි සීට් තියන විදිහ. සීට් තියෙන්නෙ දිගට නිසා ජනේලයක් ගාව අල්ලගෙන එළිය බලාගෙන දණගහ ගත්තම හොඳට බල බල යන්න පුළුවන්. ඔය පහළ පින්තූරෙ තියෙන්නෙ එහෙම යන හැටි තමා. එදාත් වැඩිය සෙනග නැති දවසක්. ඒක හින්දා අපිට හිතේ හැටියට යන්න ලැබුණා.



කෝච්චිය වූස් ගාලා සද්දයක් එහෙම දාලා ඔන්න ටික ටික ඉස්සරහට ඇදෙනවා. ඔය වෙලාවට මට කෝච්චි ඩ්‍රැයිවර් මාමා ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ. මෙච්චර ලොකු කෝච්චියක් මෙහෙම ඇදගෙන යන්න එයා කොච්චර හපනෙක් වෙන්න ඕනද. අර බස් ඩ්‍රැයිවර් මාමා කරන්නෙ හරි ටොයිස් වැඩක්නෙ මෙයත් එක්ක බැලුවම. මේ දෙන්නගෙන් කවුද දන්නෑ වැඩිය දක්ෂ. ගහ ගත්තොත් කවුරු දිනයිද ?

අයියයි මායි ජනේලයක් අල්ලගෙන හොඳට දණ ගහලා හරි බැරි ගැහුණා සිරි නරබන්න. සීයත් අපි ළඟින්ම වාඩි වුණා. මේක තමයි මේ ගමනෙ මම ආසම කොටස. කොච්චිය හුළං කපාගෙන වෙල් යායවල් මැද්දෙන් ඉස්සරහට යනකොට හරිම ගති. ගම්පහ පහු කරලා ටිකක් දුර යනකොට රේල් පාර අයිනෙන්ම වගේ පටන් ගන්නවා ඇලක්. මේ ඇල සෑහෙන දුරක් දිගටම තියනවා. වෙලාවකට රේල් පාරෙ දකුණු පැත්තෙන්, වෙලාවක වම් පැත්තෙන්. පුදුමෙ කියන්නෙ ඕකෙ ඉන්නවා දියබරි, කඹරයො එහෙම උනුත් හැමදාම අපිත් එක්කම පීනගෙන එනවා දිගටම. සමහර වෙලාවල් වලට නොපෙනි ගියත් ආයෙ ටිකකින් මතු වෙනවා. උනුත් ගමේ යනවද දන්නෑ. ඇලට එහායින් තියෙන්නෙ වෙල් යාය. ඒවයෙ හරක් දාගෙන කුඹුරු හානවා හොඳට බලා ගන්න පුළුවන් මෙහම යනකොට. ඔහොම බලාගත්තොත් තමයි. මොකද අපේ ගමේ කුඹුරු තියනවයැ.

මේ වේගෙන් යන කෝච්චිය, ඒක ඇතුලෙම ඉඳන් නවත්වන්න දන්නවද ? පුදුම වෙන්න දෙයක්නෑ එහෙම පුළුවන්. බොහොම සුළු දෙයක් කරනන් තියෙන්නෙ. මමනම් කෝච්චියෙ යනකොට මේක නිතරම කරනවා. මෙහෙමයි, කෙළින්ම එළිය බලන එක නවත්තලා, කෝච්චියෙ අයිනක්, නිකන් ජනේලක කොනක් වගේ දිහා බලාගෙන ඉන්න ගමන්, හොර ඇහෙන් එළිය බලන්න ඕනා. ඔන්න ටිකකින් ඕගොල්ලන්ට පේන්ඩ ගනියි කෝච්චිය නතරවෙලා තියනවා හැබැයි එළියෙ තියන දේවල් වේගයෙන් අනිත් පැත්තට ගමන් කරනවා වගේ. ඕක විදින්න වටින හරි ජොලි අත්දැකීමක්. මමනම් කෝච්චියෙ යන හැම නිතරම කරනවා ඕක.

ඕවා කර කර ඉඳලා බෑ ඔයිට වැඩිය වැදගත් රාජකාරිය කරන්න තියනවා. ගම්පහ ඉඳලා මීරිගමට තියන ඉස්ටේෂන් ටිකේ නම් ටික පාඩම් කරගන්න ඕනා. ඕක හරියට වටිනවා ගම් කොටන්න ගියාම. මගේ වාසනාවකටද කොහෙද ගම්පහ ඉඳලා මීරිගම අතර තියනවා මහා දිග නමක් තියන ඉස්ටේසමක්. ඕක සමහර විට ලංකාවෙත් දිගම නමක් තියන ගමද මංදා. "හීන්දෙණිය පට්ටිගොඩ". ඔය නම හින්දා ගම් කොටන්ඩ ගිහින් මම අසූවෙ කෑලි කීයක්නම් දිනලා ඇතියි කියලද ඕගොල්ලො හිතන්නෙ !

දැන් ටික ටික බහින්න ලංවේගන එන්නෙ. එතකොට ඉතින් හිතට ටිකක් හරි මදි. ඒත් ඉතින් නොබැහැත් බෑනෙ. අන්තිමට මීරිගම ඉස්ටේෂමේ ලවුස් පීකරේ සවන් දෙන්න, සවන් දෙන්න ගානව මට ඇහුණා. ඔය කියන්නෙ බහින්න කියලා.

කෝච්චියෙන් බැහැලා, උඩ තියන ගුවන් පාලම දිගේ ඇවිත් අපි එනවා බස් ස්ටෑන්ඩ් එකට. ඔන්න දැන් තමයි ගමනෙ භයානකම කොටස පටන් ගන්නෙ. මෙතන ඉඳන් යන්න තියෙන්නෙ කඳු පල්ලම් තියන මහ භයානක පාරක. සීයලෑ ගෙවල් ගාවින් බහින්න කලින් විශාල කඳු දෙකක් හම්බෙනවා. බස් එක ඔය කඳු වල අද්දන්නෙත් බොහොම හිමීන්, හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් ගගා බොහොම හිමින් තමයි උඩට යන්නෙ, දෙපැත්තෙම හෙල. මහ කන්ද කියන එක තමා වැඩියෙනම භයානක. එතනින් බස් පෙරළිලත් තියනවාලු.

සීයලෑ පාරෙ යන බස් ජාති දෙකක් තියනවා. එකක් සීටීබී බස්. අනිත් එක පාන් ගෙඩියක් වගේ, රතු පාට ලොරියක්, වගේ ජාතියක්. ඒ වාහන ඉස්සර ලියුම් ගෙනියන්න පාවිච්චි කරපුවා කියලා නැන්දා කියනවා මම අහලා තිබුණා. මමනම් ඒවයෙ යන්න වැඩි කැමැත්තක් නෑ. කොච්චර උණත් සීටීබී බස් ගැන පොඩි විශ්වාසයක් තිබුණා. මේ පාරෙ බස් එළවන ඩ්‍රැයිවර් මමලනම් කෝච්චි ඩ්‍රැයිවර් මාමලට වැඩිය දක්ෂ ඇති.

අපි නැග්ගා සීටීබී බස් එකකට. මම නැගපු ගමන් බලන්නෙ ඩ්‍රැයිවර් මාමා දිහා. පොඩි අදහසක් ගන්න පුළුවන් ඒකෙන් එයාට අපිව කරදරයක් නැතුව සීයලෑ ගෙදර ගාවින් ගිහින් බස්සවන අභියෝගය භාර ගන්න පුළුවන්ද කියලා. කොච්චර් වුණත් බස් එක මහ කන්ද අදින්න ගන්නකොටනම් පපුව ඩිග් ඩිග් ගාන්න ගන්නවා. නිකන් හරි පෙරළුණොත් කාට කියන්නද ? ඔය වෙලාවට නිකන්ම යාඥා මතක් වෙනවා. අමතක වෙලා තියන ඒවත් මතක් වෙනවා. බස් එකෙන් බහිනකම් "නමෝ මරිය" දහයක් පහළොවක්වත් කියවෙනවමයි.  ඔය වෙලාවට මගෙන් කවුරුහරි ඇහුවොත් මේ ලෝකෙ වැඩියම ආදරේ කාටද කියලා, සමහර විට මම කියයි බස් එකේ ඩ්‍රයිවර් මාමට කියලා. උන්දැ අතේනෙ ඉතින් අපේ ජීවිත ඔක්කොම රැඳිලා තියෙන්නෙ.

යාන්තම් ඒ මරු කපොල්ලනම් පැන ගත්තා. ඊට පස්සෙ තව පොඩි කඳු, පල්ලම් දෙක තුනක් නැගල බැස්සට පස්සෙ හම්බෙනවා පාලමක්. ඒ පාලමෙන් දකුණු පැත්තෙ තනිකරම වෙල් යාය. සීයලෑත් කුඹුරක් තිබුණෙ ඒකෙ. පාලම පහු කරලා ටිකක් දුර ගියාම ආයෙ කන්ද, කන්ද උඩම තමා සීයලෑ බස් හෝල්ට් එක තිබුණෙ. එතනම ඒ අහලකටම තිබුණු එකම කඩෙත් තිබුණා. කඩේ ඉස්සරහින්, පාරෙන් දකුණු පැත්තෙ, ගම ඇතුළට යන පාර තිබුණා.

කන්ද උඩ බස් එක නැවැත්තුවට පස්සෙ අපි බැහැගත්තා. මම ඩ්‍රැයිවර් මාමට හිතෙන් පින් දුන්නා අපිව කරදරයක් නැතුව ගෙනාවට. බස් එක චිංක්ස් කියලා සයිලන්සරෙන් සද්දයක් එහෙම දාලා පල්ලම බහින්න ගන්නකොටම අපිත් බස් එක පිටි පස්සෙන්ම පයින් පල්ලම බහිනවා. ඒ පල්ලමේ ටික දුරක් යනකොට තමා දකුණු පැත්තෙ තියෙන්නෙ සීයලෑ ගෙදරට යන්න නගින්න ඕනා ඒ මහ විශාල පඩි පෙළ.


මේක අලි විශාල පඩි පෙළක්. මම දැකලම නෑ ගෙදරකට මෙච්චර ලොකු පඩිපෙළක් තියනවා. කොච්චර ලොකුද කිව්වොත් පඩි පෙළේ යටම හිට ගත්තම ගේ පේන්නෑ. අපි දහ දොළොස් වතාවක්ම ගැණලා ගැණලා තමා ඕකට පඩි අනූ පහක් තියනවා කියලා දැන ගත්තෙ. ගැනගෙන මගක් යනකොට ගැනපු ගාන අමතකයි. ඔන්න ඔය වගේ.

පඩි පෙළ අයිනදිගේ දෙපැත්තෙම කොස් ගස් තියනවා. ඒවා සීයලා, තාත්තලා එකතු වෙලා හිටවපුවලු. දකුණු පැත්තෙ පටන් ගන්න තැනම තියනවා උළු හෙවිල්ලපු ගෙයක්. එතනින් උඩට තනිකරම කැලේ. කැලේ කියන්නෙ වනාන්තරයක් නෙමෙයි, ඒත් ඒවගේම එක එක ජාතියෙ මහ විශාල ගස් වැල් ජාති වලින් වැහිලා ගිහින්. අලි කොටි නැති ටික විතරයි. එතකොට වම් පැත්තෙ භාගයක් විතර යනකම් අන්නාසි වගාවක්. මැද්දෙන් හරහට යනවා වැටක්. එතනින් පස්සෙ ඒ පැත්තෙත් කැලේ. ඒ වැටෙන් උඩ කෑල්ල සීයලගෙ.

සීයලෑ ගේ හදලා තියෙන්නෙ කන්දක මැද්දෙ ගෙපල කපලා. එතකොට ගෙයින් උඩහා දිගටම කන්ද, පහළ බෑවුම. ඔය ඔක්කොම බොහෝදුරට, කොස්, අඹ, දූරියන්, යකඩ මරන්, ගොරකා, මිල්ල, රබර්, වේ වගේ ගස් වැල් ජාති වලින් වැහිලා තියෙන්නෙ. හරිම සනීප හෙවන.

පඩි පෙළට ආපු ගමන් අපි දෙන්නා ඔට්ටුවට දුවන්න පටන් ගන්නවා, ඒ ඉස්සෙල්ලම ගෙදරට යන එක්කෙනා වෙන්න. "හා හා වැටෙනවා දැන් " කියලා සීයගෙ අනතුරු ඇඟවීම නිකුත් වුණත් අපි නෙමේ ඒවා ගණන් ගන්නෙ. ඔය තරඟෙන් මම බොහෝ දුරට පරදිනවා. එකක් අයියා මට වඩා ලොකු වීම, අනික එයා පොඩි කාලෙ ඉඳන් මෙහෙ හැදිච්ච නිසා පරිසරය, පඩිපෙළ හොඳින් හුරු වීම.



කොච්චර හයියෙන් දුවගෙන ආවත් උඩට ආපු ගමන් නැන්දගෙ බලු සේනාවෙ තර්ජනයත් එක්ක අපි ගල්ගැහෙනවා. අඩුම ගානෙ බල්ලො තුන් දෙනෙක්වත් කවදාවත් වරදින්නෑ. සමහර එවුන් හරිම වස එවුන්. නැන්දා හරි, බාප්පා හරි උන්ව අල්ලලා බැන්දට පස්සෙ තමා අපිට ගෙට යන්න පුළුවන්. අපි එනවට උනුත් කැමති නැතුව ඇති. මොකද අපි ආවට පස්සෙ උන්ව හැම වෙලේම ගැට ගහලා. දවල්ට ටිකක් අරිනවා, ඒ අපි ඇඳක් උඩට හරි, මේසයක් උඩට හරි නැගලා ආරක්ෂාව තහවුරු කරගත්තට පස්සෙ. උන්ව ආයෙ බඳිනකම් අපි හිරකාරයො. ඇවිල්ල ටික දවසක් ගියාමනම් පොඩි හිනාවක් එහෙම දානවා නැට්ට වනලා. ඒත් වැඩි පරිස්සමට අපි භජනෙට යන්නෑ.

"මොකෑ පරක්කු ? " ඔය අපි ආපු ගමන් නැන්දගෙන් එල්ල වෙන සාමාන්‍යය ප්‍රශ්නය. ඕකට උත්තර දීමක්නම් කවදාවත් සිද්ධ වෙන්නෙ නෑ. වැඩිම උණොත් මුග්ධ මෝඩ හිනාවක් විතරයි. මම හිතන්නෙ නැන්දා උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒක චාරිත්‍රයක් විතරයි.

මෙහෙ මට අමුතු දේවල් කිහිපයක් තියනවා. එකක් තමයි භාෂාවෙ තියන පොඩි පොඩි වෙනස් කම්.

අපි මොකද කියන එකට ඒ ගොල්ලො කියන්නෙ "මොකෑ" කියලා. තව කියනවා "බලාගෙන බල්ලා ඔයාට කයි" කියලා. මුලදිණම් මට මේක හරි විකාරයක්. යකෝ බල්ලා මොනවද මට කන්නෙ, මාව කෑවොත් මිසක් කියලා. පස්සෙ තමා ඉතින් ඕවා තේරුණෙ.

ආපු ගමන් ඇඳුම් මාරු කරගෙන, පොඩ්ඩක් ගේ වටේ එහෙට මෙහෙට රවුමක් දානව පරිසරය හුරු කරගන්න. ගිය පාරට වඩා මොනවද වෙනස් වෙලා තියෙන්නෙ කියලා බලන්න. ඔය අස්සෙ කිරිඅම්මගෙන් මොනවා හරි කෑමක් එක්ක තේ එකක් එහෙම හම්බෙනවා. දැන් හවස් වෙලා, ටිකකින් සීයා යනවා හරක් ටික අරන් එන්න. ඊට කලින් බාල්දි වලට වතුර පුරවලා පෝලිමට තියලා තියෙන්නෙ. සීයා රෑණගලට ගිහින් උන්ව ළිහපු ගමන් කඩාගෙන බිඳගෙන ගෙදරටම එනවා. කිසිම මග පෙන්වීමක් නැතුව. මුලදිනම් මට මේක හරිම මැජික් එකක්. උන් ඇවිල්ලා අර වතුර බෲස් බෲස් ගාලා උගුරට දෙකට බීලා දානවා. හරක් දහ දොළොස් දෙනෙක්වත් ඇති එතන. උන් ළඟින ගේ තියෙන්නෙ සීයලෑ ගෙට උඩහින් තියන කණ්ඩියෙ. ඒකට යන්න තව පොඩි පඩි පෙළක් තියනවා, එහෙම නැත්නම් වටෙන් යන්න අඩි පාරක් තියනවා. වතුර බීලා මුන් හරියටම ඔය ළඟින ගෙදරට තනියමම යන හැටි බලන්න වටිනවා. හරියට නිකන් පුරුදු කරවලා වගේ. සමහර එවුන් වටෙන් යනකොට, විසේ තියන ඉක්මන් කාරයො අර පොඩි පඩි පෙළ නැගලා යනවා.

ඔය ඔක්කොම ඉවර වෙනකොට අඳුර වැටිලා. මෙහෙ තියන තවත් මට හුරු නැති දෙයක් තමයි ලයිට් නැති කම. රෑට තනිකරම ලාම්පු එළියෙන් තමා ජීවත් වෙන්නෙ. හවසට සීයා හරි බාප්පා හරි අර මහ විශාල පැට්‍රො මැක්ස් ලාම්පු දෙකට තෙල් දාලා හුළං ගහලා පත්තු කරලා ගන්නවා. ඒ එකක් ඉස්සරහා එල්ලනවා, අනික සාලෙ.

ඔය ඔක්කොම කරලා සීයා බුද්ධ පූජාව තියනවා. සීයලෑ ගෙදර තිබුණ තවත් අමුතු චාරිත්‍රයක් තමයි උයන ඒවයෙන් ටිකක්වත් කටේවත් තියන්නෑ බුද්ධ පූජාවට වෙන් කරලා, ඒක තියනකම්. ඒක හැමෝම තදින්ම පිළිපැද්දා. උයන එකෙන් කෑම ටිකක්, හොඳට පෙරාගත්තු වතුර එකක් සහ කඩා ගත්තු මල් වට්ටියක් සීයගෙ කාමරේ තිබුණ බුදු පිළිමෙ ගාව තියලා, බිම පැදුරක් එළලා තමා සීයා ගාථා කියන්න පටන් ගන්නෙ. අයියයි, මායිත් ඕකට එකතුවෙනවා. ගෙදරදි කතෝලික අපි මෙහෙ ආපුවම ඔන්න ඔය විදිහට බෞද්ධ වෙනවා. මුලදි මුලදි බොරුවට තොල් හොල්ල හොල්ල හිටිය මට, පස්සෙ ඔක්කොම වගේ ගාථා පුළුවන් වුණා.

සීයා කියන ගාථාවල හඬ වරින් වරේ උස් වෙලා ආයෙත් අඩු වෙලා යනවා. අයියටත් හොඳටම ගාථා පුළුවන්. මම තමයි දන්නැත්තෙ. මම ඉතින් බොරුව කර කර වට පිට බල බල ඉන්නවා. ගාථා කියලා ඉවර වෙනකොට, බුදු පිළිමෙ පිටි පස්සෙ හූනො කීදෙනෙක් ඉන්නවද, උන්ගෙ පාට, දිග පළල, කීපාරක් එළියට ආවද, කීපාරක් ඇතුළට ගියාද කියන එක ගැන මට හොඳ අවබෝධයක් තියනවා. ඒත් ඒ අවබෝදෙන් වැඩක් නැත්තෙ කවදාවත් කවුරුවත් මගෙන් ඒ ගැන ඇහුවෙම නැති නිසා.

ඔය වැඩේට කොහොමත් පැය භාගයක් විතර යනවා. ඊට පස්සෙ තියෙන්නෙ කතන්දර වාරය. සීයා බුලත් විටක් එහෙම ඒදගෙන ඉස්තෝප්පුවෙ තියන හාන්සි පුටුවෙ දිගෑරුණම අපි දෙන්නා, දෙපැත්තෙන් පොඩි බංකු දෙකක් තියන් කිට්ටු වෙලා ඉන්නවා. ඔය බංකු වලට ඒ ගොල්ලො කිව්වෙ කොළොම්බු කියලා. ඔන්න මට හුරු නැති තව වචනයක්. නැන්දයි, කිරිඅම්මයි තව ආපු කවුරු හරි වගේ එකතු වෙලා සාලෙ මැද්දෙ බර කතාවක්. බාප්පා එයාගෙ කාමරේද කොහෙද. සීයා අපිට එක එක ජාතියෙ කතා කියලා දෙනවා. හුඟක් ඒවා බෞද්ධ කතා තමා. මම ආසම කතාවක් තමා අර රුවන් වස්සපු බමුණගෙ කතාව. ගෙදරදිනම් මේ වෙනකොට බඩගිනියි කියලා පෙරළි කරන්න පටන් අරන්, ඒත් මෙහෙදි එහෙම බඩ ගින්නක් නෑ. කතන්දර නිසාද මංදා !

කිරිඅම්මා හරි, නැන්දා හරි "ළමයි ආ දැන් ඔය මදෑ, එන්න කෑම කන්න" කියලා කතා කරනකම් ඔය කතන්දර වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

"හ්ම් එහෙනම් අදට ඇති, ආයේ හෙට කියන්නම්කො " කියලා සීයත් නැගිට්ටට පස්සෙ තමා අපි නැගිටින්නෙ.

ඊට පස්සෙ කෙළින්ම කුස්සියට යනවා කිරිඅම්මගෙ බත් බෙදිල්ල බලන්න. මෙහෙ ඒකත් අමුතුයි. ගෙදරදිනම් අම්මා කෙළින්ම මුට්ටියෙන් පිගානට බෙදන්නෙ, ඒත් මෙහෙ බත් එක ඔක්කොම වට්ටියකට දාලා ඒකෙන් තමා පිගන් වලට බෙදන්නෙ. කනකොට ගෙදර හැමෝම වගේ කනවා. බාප්පගෙ ලොකු බොකුටු පිගානත් මට අමතක නොවෙන තව එකක් තමයි. එයා බත් කන්නෙ අමුතුම ක්‍රමේකට. කුස්සියත් ගේත් අතර තියන දිග වැරැන්ඩා එකේ තියන දිග බංකුවෙ දකුණු කකුල නවලා උඩින් තියාගෙන, වම් අතින් අර බොකුටු පිගාන අල්ලගෙන, නවා ගත්ත කකුලෙ දනිස්ස උඩින් දකුණු අත තියාගෙන තමයි බාප්පා බත් කන්නෙ. ඒක අමුතුම කෑමක්. තාත්තත් ගෙදරදි ඔහොම කරනවා මම දැකලා තියනවා.

රෑ කැමෙන් පස්සෙ කට්ටියම නින්දට යනවා. අයියයි මායි සීයගෙ කාමරේ බිම පැදුරු එළාගෙන නිදා ගන්නවා. සීයා ඇඳ උඩ. ගෙදර හැමෝම වැඩිම වුණොත් ඕන්නම් රෑ නවය වෙනකම් ඇහැරලා ඉඳියි. ඊට එහානම් නෑ.


~~~ ඉවර නෑ ~~~
ප.ලි.
අවවාදයයි : මෙම කතාව කියවීමෙන්, පාඨකයා සිය ළමා අතීතයේ අතරමංවීමේ වගකීම ලේඛකයා විසින් නොදරන අතර නැවත වර්තමානයට පැමිණීමේ ගමන් ගාස්තුද නොදරන බව කරුණාවෙන් සලකන්න.  :D


ලියුවේ ;
~~සෙන්නා / 03.05.2013

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog