Friday, December 20, 2013

ඔව්, මේ ඇය තමා...

2013 උඳුවප් මස 20වනදා

කොන්ටෙයාන්ස් යනු යුරෝපයේ ඈත කොනක හුදකලාව පිහිටා තිබුණු පෞරාණික නගරයකි. කෙතරම් පෞරාණිකද යත්, දහසයවන ලුවී රජගේ බිසව ජනතාවට "පාන් නැත්නම් කේක් කාපල්ලා" යැයි කීමටත් පෙර, එසේත් නැත්නම් ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇමෙරිකාව සොයා ගැනීමටත් පෙර, කොන්ටෙයාන්ස් නගර වැසියෝ සර්ව  සාධාරණ නොවුනද තමන්ගේම යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමයකටද, පාසල්, පල්ලි රෝහල් සහිත ජීවන ක්‍රමයකටද උරුමකම් කීහ. කෙසේ වෙතත් ඒ යුගයේදී යුරෝපයේ බොහොමයක් රට වලට පොදු වූ චාරිත්‍ර වාරිත්‍ර, මිත්‍යා විශ්වාස ඔවුන් අතරද හිඟ නොවූහ. අංග විකල, මන්ද බුද්ධික දරුවන් උපන් ගමන් මරා දැමීමට හෝ කැලයකට විසි කිරීමටත්, යක්දෙස්සියන්යයි හඳුනා ගත් කාන්තාවන් පණපිටින් පුළුස්සා දමා ඔල්වරසන් නැගීමටත් ඔවුන් මොහොතකට හෝ නොපැකිළුණහ. සොරකම් පාලනය කිරීම උදෙසා දරුණු දඬුවම් නියම කර තිබුණද අධික දරිද්‍රතාවය හේතුවෙන් සොරකම් නිතරම වාර්තා වූ අතර සතියකට දෙතුන් දෙනෙකු සොරකම් කිරීමේ වරදට ප්‍රසිද්ධියේ එල්ලා දැමීම සුලභ දසුනක් විය. පල්ලියේ පියතුමාද ජනතාවට සොරකමෙහි ආදීනව කියා දී ඔවුන් එයින් මුදවා ගැනීමට උත්සහ කළද එයින් පලක් නොවන බව දුටු කල්හී දේශනා කිරීම නවතා දැමූ පියතුමා වහ වහා පල්ලියෙහි දෑ රැක ගැනීමට අවැසි පියවර ගනු ලැබීය. අනෙකුත් අපරාධද අඩු වැඩි වශයෙන් සිදු වුණද, සමස්තයක් වශයෙන් ගත් කළ ඔවුන් යුරෝපයේ අනෙක් නගරවසීන්ට වඩා මදක් ඉදිරියෙන් සිටියහ.

මේ පවුකාර ජනතාව අතරට වන් දේව දූතියක්ද වූවාය. ඒ, පල්ලිය අසල කන්‍යාරාමයේ විසූ ප්‍රධාන කන්‍යා සොයුරිය වූ මේරි තෙරේසා කන්‍යා සොයුරියයි. කුඩා කල සිටම දැහැමි දරුවෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළ ඈ, තුරුණුවියට වන් කල්හී ස්ව කැමැත්තෙන්ම කන්‍යා සොයුරියක් බවට පත්වුණාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය දැහැමි භක්තිමත් කාන්තාවක් වූවාය. ඇය අතින් කෙරුණ කිසිඳු පවක් හෝ නපුරු ක්‍රියාවක් පිළිබඳ ඇසූ බවට කිසිඳු නගර වාසියෙකුට මතක නොමැත. ඇය පිළිබඳව දනන් තුඩ තුඩ රැව් පිළිරැව් දුන්නේ හොඳක්ම මිස නරකක්නම් නොවුණේය. මේරි තෙරේසා කන්‍යා සොයුරිය කිසිදා කිසිඳු හේතුවක් නිසා මුසා බස් නොදොඩන්නියක වශයෙන් ඉතා විශාල කීර්තියක් නගර වාසීහු අතර ලබා තිබුණාය. මේ සම්බන්ධයෙන් ඇය සතු වූ කීර්තිය පල්ලියෙ පියතුමාවද අභිබවා යන්නකි.ඇය රහසින්වත් පවු නොකළාය.

එයට අමතරව මේරි තෙරේසා කන්‍යා සොයුරිය කරුණාවන්තකම පිළිබඳවද ඉමහත් කීර්තියක් ඉසුලුවාය. නගර වාසින් විසින් මහ මග හෝ අගු-පිල්වල දමා යන අසරණ ළදරුවන් ඇති දැඩි කිරීම උදෙසා ඇයගේ ප්‍රධානත්වයෙන් ඉඳිවූ ළමා නිවාසය එයට හොඳ නිදර්ශනයකි. මුලින් මුලින් නගරවාසීන් වෙතින් ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල වූ නමුදු "මෙලොවට බිහිවන සියලුම දරුවන් දෙවියන්වහන්සේගේ ත්‍යාගයන්" යැයි කියමින් ඇයගේ ස්ථාවරයෙහි පසු වීම තුළින්ම ඇය නගරවාසීන්ව මෙල්ල කරනු ලැබුවාය.

ඉරිදා දිනය නගරවාසීන්ට ප්‍රීතිමත් දිනයකි. දිව්‍ය පූජාවෙන් පසු පැවැත්වෙන අධිකරණ සභා වාරය හා එයින් පසු චූදිතයන්ට දඩුවම් දීමේ වාරය, අහිංසක, අවංක නගරවාසීන් හට ඉමහත් විනෝදය ගෙන දෙන්නක් විය. තමනට සිදුවන තෙක් සියලුම ව්‍යසනයන් රස විදීමෙහි ගූඨ මිනිස් ස්වභාවය නිසාම මෙම අහිංසක මිනිසුන් හොරෙක්, වංචා කරුවෙක්, මිනී මරුවෙක් එල්ලා මරන විට ප්‍රීතියෙන් අත්පුඩි නොගැසූවද සිත යටින් රහසින් එහි ආනන්දය උපරිමයෙන් ලැබීමට පුරුදුව සිටියහ. එයින් ප්‍රමුදිතව,  එහෙත්  සිතෙහි පවත්නා සැබෑ හැඟීමට හාත්පසින්ම විරුද්ධ හැඟීමක් මුහුණෙන් පෙන්වමින් ඔවුන් නිවෙස් බලා ගියහ. දැඩි අදහස් ඇත්තෙකු වූ නගරයෙහි අග්‍රවිනිශ්චකාරතුමාද සෑම ඉරිදා දිනකම අඩුම වශයෙන් එක් අයකු හෝ එල්ලා නගරවාසීන් ප්‍රීති ප්‍රමෝදයෙහි ගිල්ලවීමට වග බලා ගත්තේය.

දැන් ඔබට කොන්ටෙයාන්ස් නගරය, එහි වාසීන්, ඔවුන්ගේ විශ්වාසයන් හා සිරිත් විරිත් පිළිබඳව දළ අදහසක් ඇතැයි මම සිතමි. එය ප්‍රස්තුත කතාව කියවා තේරුම් ගැනීමට සෑහේ.

ඒ ඉරිදා, මේරි තෙරේසා කන්‍යා සොයුරියට අකරතැබ්බයක් සිදුවිය. ඇයව නඩුවක සාක්ෂිය වෙනුවෙන් අධිකරණය ඉදිරියට කැඳවනු ලැබුවේය. අධිකරණයට හා එහි ක්‍රියාන්විතයන්හට සම්පුර්ණයෙන්ම ආගන්තුක තැනැත්තියකු වූ ඇය, මෙම කැඳවීමත් සමඟම මදක් වෙව්ලා සිටියාය. පසු ගිය සතියේ දිනෙක පල්ලියෙහි පූප දමන රත්‍රන් මංජුසාව හොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට නගරයට අලුතින් පැමිණි වැන්දඹු ස්ත්‍රීයක් වූ ක්‍රිස්තියානාව බාලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. සොරකම් සිදුවන අවස්ථාවෙහි මංජුසාව සොරාගත් හෙර විසින් පල්ලියෙහි ප්‍රධාන ශාලාව මැදින් දිව ගොස් ඇති අතර මේරි තෙරේසා කන්‍යා සොයුරිය එම අවස්ථාවෙහි එහි යාඥා කරමින් සිටි බවට සිද්ධිය ඇසින් දුටූවන් පවසා තිබුණි. ඒ අනුව කන්‍යා සොයුරිය විසින් අදාළ ස්ත්‍රියව හඳුනා ගන්නට ඇතැයි යන අනුමානය ඔස්සේ ඇයව උසාවියට කැඳවා තිබුණි.

ඇය උසාවිය මැදින් සාක්ෂි කූඩුව වෙත හිස බිමට නැබුරු කරගෙන පිය නගනා විට මුළු උසාවියම ඇල්පෙනෙත්තක් බිම වැටෙනා තරම් ශබ්දයක් උවද ඇසෙනා ආකාරයේ නිහඬතාවයක් ඉසිලීය. විනිසුරු තුමා ඇතුළු සියලු දෙනම ඇයට ගරු කරනු වස් නැගී සිටියහ. ඒ, ඇය සිය සත්‍යගරුකභාවය හා කරුණාවන්තබව ඇසුරෙන් ගොඩනගාගත් ධනය වේ. සාක්ෂි කූඩුවට නැගී ඉදිරිය බැලූ කන්‍යා සොයුරියට සම්පූර්ණ කලු අවරණයකින් හිස වැසූ ස්ත්‍රීයක් විත්ති කූඩුවෙහි සිටගෙන සිටිනාකාරය දිස් විය.

නිශ්ශබ්දතාවය බිඳිමින් ප්‍රධාන විනිසුරු තැන විසින් කන්‍යා සොයුරිය ඇමතීය.

"ගරු කන්‍යා සොයුරිය, මෙතැනට ඔබව කැඳවා ඔබට සිදුකළ හිරිහැරය සම්බන්ධයෙන් මුලින්ම මම ඔබෙන් උදක්ම සමාව ඉල්ලා සිටීමට කැමතියි. නමුත් සාධාරණ විනිශ්චයක් උදෙසා ප්‍රබල සාක්ෂිකාරියක් වශයෙන් අපිට ඔබ මෙහි නොකැඳවා සිටීමට කිසිම හැකියාවක් තිබුණේ නෑ. ඔබ තත්ත්වය තේරුම් ගනු ඇතයි අප අපේක්ෂා කරනවා. නැවතත් මම ඔබෙන් මේ හිරිහැරය පිළිබඳව මේ ගරු අධිකරණය වෙනුවෙන්ම සමාව ඉල්ලා සිටිමට කැමතියි." මෙහිදී කන්‍යා සොයුරිය විසින් එය තමන්ට කරදරයක් නොවේයැයි දක්වන ආකාරයේ මද සිනාවක් දක්වා සිටියාය.

"සමහර විට ඔබ දැනටමත් දන්නා පරිදි ගිය සතියේ පල්ලියෙහි සොරකමක් සිදුවී තිබෙනවා. ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, මිනිසුන් ලුහුබඳින විට අදාළ හෙර රත්‍රන් මංජුසාව රැගෙන පලා ගොස් ඇත්තේ පල්ලියෙහි ප්‍රධාන ශාලාව මැද්දෙන්. එවිට ඔබ එහි යාඥා කරමින් සිටි නිසා ඔබ ඇයව හොඳින්ම දුටුවා වන්නට ඇතැයි ඔවුන් අනුමාන කරනවා. ඊට දිනකට පස්සෙ අපි මෙහි සිටින සැකකාරියව සැකපිට අත් අඩංගුවට ගනු ලැබුවා. දැනටමත් ඇයට එරෙහිව සාක්ෂි දෙන අයවලුන් සිටිනවා. නමුත් ඒ සාක්ෂි විශ්වාසයෙන් තොරයි. ඔවුන් පරස්පර ප්‍රකාශ නිකුත් කරනවා."

"ඔබගේ සත්‍යගරුකභාවය මේ නගරයෙහිම ප්‍රචලිත දෙයක්. ඒ පිළිබඳව මේ ගරු සභාවෙහි සිටින කිසිවකුටත් අබමල් රේණුවක තරම්වත් සැකයක් නෑ. එමනිසාම මේ ගරු අධිකරණයෙහි පැවති චාරිත්‍රයෙහි යම් වෙනසක් ඔබ වෙනුවෙන් කිරීමට මා සූදානම්. එය ඔබේ සත්‍යගරුකභාවයට කරණ ගෞරවයක් හා මෙම සුපුරුදු චාරිත්‍රය පිළිපැද්දොත් ඒක ඔබේ සත්‍යගරුකභාවයට කරණ අගෞරවයක් හා එය අවිශ්වාස කිරීමක්. සාමාන්‍ය සාක්ෂිකරුවන් කරනා පරිදි ඔබ බයිබලයෙහි අත තබා පවසන දෑ සත්‍යයැයි දිව්රිය යුතු නොවේ. මම ඔබව එයින් නිදහස් කරනවා." කන්‍යා සොයුරිය නැවතත් උපේක්ෂා සහගත මද සිනාවක් නැගීය.

"ගරු කන්‍යා සොයුරිය, මම එසේනම් කාරණයට යොමු වෙනවා. එදා ඔබ ඒ හෙර දුටුවාද ? ඔබ ඈ හඳුනනවාද ? "

"ඔව් මම ඈ දුටුවා. එහෙත් මම ඈ හඳුනන බවක් මට මතක නෑ. "

"ඔබට ඇයව නැවත දුටුවොත් අඳුනා ගත හැකිද ?"

"ඔව් මට පුළුවනි."

"එසේනම් අප මෙහි සිටින සැකකාර ස්ත්‍රියගේ මුහුණු ආවරණය ඉවත් කරනවා. බලන්න මේ එදා පල්ලියෙහි ප්‍රධාන ශාලව මැදින් මංජුසාව රැගෙන පලා ගිය හෙරමද කියා. ඔය ස්ත්‍රියගේ මුහුණු ආවරණය ඉවත් කරනු ! "

ආවරණය ඉවත් කෙරිණි. සැකකාරියව හඳුනා ගැනීම උදෙසා කන්‍යා සොයුරිය උනන්දුවෙන් දෑස් අයා ඈ දෙස බැලුවාය. එවිට නෙත් සතරක් එකිනෙක ගැටුණි. තත්පරයකටත් අඩු කාලයක් තුළ නෙත් සතරම එකි නෙකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි දාමයන් හේතුකොටෙගෙන දීප්තියෙන් බැබලී විශාල වූහ. දෙනෙතක්, ක්ෂණික හඳුනාගැනීමක්, කාලයේ වැලිතලාවෙන් යටව අමතකව තිබූ අමිහිරි සිද්ධියක ක්ෂණික මතකයක්, ක්ෂණිකව පහළවු පළිගැනීමේ සිතුවිල්ලක් නිසා දීප්තිමත් වන විට අනෙක් දෙනෙත ක්ෂණික හඳුනා ගැනීමක්, ඒ ඔස්සේ ඇතිවූ නව බලාපොරොත්තුවක සේයාවක් හේතු කොටගෙන දීප්තිමත් වූහ.

ක්‍රිස්තියානාගේ සිත, ඇතිවූ නව බලාපොරොත්තුව හේතු ගොටගෙන ප්‍රහර්ෂයෙන් පිම්බී යද්දී, මේරි තෙරේසා කන්‍යා සොයුරිය මානසික ඝට්ටනයකට මැදි වූවාය. දුෂ්ටත්වය, කාරුණිකබව, සත්‍යගරුකභාවය, නැවත කිසිදා නොලැබෙන අපූරු අවස්ථාව, පළිගැනීමේ දුෂ්ට චේතනාව, සමාජයේ තමනට ඇති ප්‍රතිරූපය, දෙවියන් වෙත ඇති බිය ආදී එකිනෙකට පරස් පර සිතුවිලි දාමයක එකෙල මෙකල වෙමින්, විශාල මානසික අරගලයක නිරතව අතීරණව එක් නිමේෂයක් පසු වූවාය. මේ මොහොතේ ඇයගේ මනසට සම කළ හැකි කිසිවක් මෙලොවෙහි නොමැත. එය සමාන කළ හැක්කේ දුෂ්ටත්වය හා සභ්‍යත්වය අතර දෝලනය වන තවත් එවැනිම වූ මනසකටම පමණී. ඒ අතර සිහිනයකින් මෙන් ප්‍රධාන විනිසුරුගේ කටහඬ ද ඇයට ඇසුණි.

" ගරු කන්‍යා සොයුරිය, ඔව් අපිට කියන්න ඔබට මැය හඳුනා ගත හැකිද ? එදා පල්ලිය මැදින් දිව ගියේ මැයද ? "

මේරි තෙරේසා කන්‍යා සොයුරිය පාෂාණිභූතව එක එල්ලේ ක්‍රිස්තියානා දෙස බලා සිටියා මිස පිළිවදන් නොදුන්නාය. ක්‍රිස්තියානාගේ හදවත කල්පයක් තරම් දිගුවූ මේ නිමේෂයේදී වේගයෙන් ගැහෙමින් තිබුණි. කන්‍යා සොයුරියගේ මුවින් නික්මෙන වදන මත තම ජීවිතයෙහි ඉදිරිය තීරණයවන බව ඈ හොඳින් දැන සිටියාය. කොන්ටෙයාන්හීදී පූජනීය දෑ සොරකම් කිරීමට එරෙහිව ලැබෙන දඬුවම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන්නකි. නගරයට ළඟදී පැමිණියා වුවද ඇය මේ පිළිබඳ දැනුවත්ව සිටියාය. මේ දක්වා තමන්ට එරෙහිව ඇති සාක්ෂි ප්‍රබල බැවින් ඈ ජීවිත ආශාව අත්හැර සිටියාය. අත්හැර තිබූ ජීවිත ආශාව කන්‍යා සොයුරිය දුටු මොහොතේ සිට නැවත දළුලා වැඩෙමින් තිබුණි.පියාත් නොමැති සිය දරු දෙදෙනා ඇයගේ දෑස් ඉදිරියෙහි මැවී පෙනුණි. 

"ඔව් මම එහෙම කියනවා. කවුද දන්නෙ ? මම විතරයි. කවුරුවත් මම කියන එක විශ්වාස කරනවා මිස වෙන මුකුත් පිළිගන්නෙ නෑ. මම මේක රහසක් වශයෙන් තියාගත්තාම ඉවරනෙ. ඒත් එහෙම කරන එක හරිද ? ඒක අපරාධයක්. මේ වෙනකම් මම ගොඩ නගපු සියල්ල විනාශවෙලා යනවා එතකොට. .........." ඔව්, ගරු කන්‍යා සොයුරිය මේ ගරු අධිකරණය ඔබගේ පිළිතුර බලාපොරොත්තුවෙන් ඉන්නව...." .........මම වැඩකට නැති ගැහැනියක් වෙනවා ඊට පස්සෙ. දෙවියන් වහන්සේ මට ශාප කරාවි. මාව සදාකාලික නරකාදියට දමාවි. ඒත් මේක හොඳ අවස්ථාවක්. කිසිදා නොලැබෙන අපූරු අවස්ථාවක්. ඔව් මම ඒක තමා කරන්න ඕනා."

" ගරු කන්‍යා සොයුරිය.. අප ඔබගේ........ "

"ඔව්.. නෑ.. නෑ ඔව්, මේ ඇය තමා..." දුෂ්ටත්වය, සභ්‍යත්වය පරයා නැගී සිටියේය. 

කන්‍යා සොයුරියගේ මුවින් ගිලිහුණ වදන් ක්‍රිස්තියානාට අදහා ගත නොහැකි විය. එක් වරම හෙණයක් පතිතවූවා වැනිය.

"අයියෝ සිස්ටර්.. අයියෝ සිස්ටර් ඇයි මේ ඔබ බොරු කියන්නෙ..?? ඔබ හොඳටම දන්නවා ඒ මම නොවන බව... අයියෝ සිස්ටර් ඔබට මාව හඳුනගන්න බැරිද ?" හයියෝ දෙවියන් වහන්ස මට පිහිට වන්න. මම කිසි දෙයක් හොරකම් කළේ නෑ.. අයියෝ අනේ මගේ අසරණ දරු දෙදෙනා.." යි කියමින් ක්‍රිස්තියානා විසින් සිය පපුවට ගසා ගනිමින් මුළු අධිකරණය දෙවනත් වන සේ විලාප තැබීය. ඒ මැදින් ඇසුණ, ක්‍රිස්තියානාට නිහඬවන ලෙස කරන තර්ජනය කිරීම්, සාප කිරීම් අතරින්, අගවිනිසුරුවරයා විසින් ක්‍රිස්තියානාව ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමේ නියෝගය නිකුත් කොට අදාළ ලියවිල්ලට අත්සන් තැබීය.

නියෝගය ශ්‍රවණය වූ වහාම කන්‍යා සොයුරියගේ හැසිරීමෙහි ප්‍රබල වෙනසක් වූ අතර කුමක්දෝ පැවසීමට වෙර දරනු පෙනිණ. ඒ සමඟම කන්‍යා සොයුරිය සිහි මුර්ජාවී ඇද වැටුණාය. 

පැයකින් පමණ සිහිය ලබා දෑස් අරින විට දුෂ්ටත්වයේ යක්ෂයා ඈ වෙතින් පලාගොස් තිබුණි. සිදුවූ සියල්ල සිහියට නැගෙන විට මේරි තේරේසා කන්‍යා සොයුරිය උමතු බවේ ආසන්නයටම පැමිණියාය.

" ඒ ඇය නෙමේ.. ඒ ඇය නෙමේ.. කෝ ඇය? කෝ ඇය?" යි කියමින් වහා නැගී සිටි ඈ අවට සිසාර බලන්නට වූවාය. ඒ වන විටත් වැඩි පිරිසකට අභ්‍යන්තර ගූඨ නිහඬ විනෝදය සපයමින් ක්‍රිස්තියානාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර කඹයෙකින් එල්ලෙමින් තිබුණි. ඉන් මොහොතකට පසු කන්‍යා සොයුරිය උමතු වෙසින් පල්ලියේ පිය තුමා වෙත දුවයමින් සිටිනු දක්නා ලදී.

"අයියෝ ෆාදර් මම මහා පවුකාරියක්, මම මහා අපරාධයක් කළා. දෙවියන් වහන්සේගෙන් මට කවදාවත් සමාව ලැබෙන එකක් නෑ."

"කලබල නොවී මොකද වුණේ කියන්න සිස්ටර්"

"මම බොරුවක් කිව්වා ෆාදර්. ඒකෙන් ඇතිවෙන ප්‍රතිඵලය ගැන අවබෝධයකින් තොරව මම බොරුවක් කියුවා ෆාදර්. දැන් මම බොරුකාරියක් විතරක් නෙමේ ෆාදර්, මිනීමරුවෙක්."

"ඔබ කළ පාපය ගැන ඔබ මුලු හදවතින්ම පසු තැවෙනවානම් ඔබට දෙවින්ගේ සමාව ලැබෙවි සිස්ටර්."

"නැහැ ෆාදර් මට කවදාවත් සමාව ලැබෙන එකක් නෑ. මම හිතාමතාම බොරුවක් කිව්ව. අයියෝ මම මේ කරපු අපරාධය මොකක්ද ? " යි කියමින් ඇය පල්ලිය දෙසට දිවයාමට සැරසෙන විටම පියතුමා විසින් ඈ ඇමතීය.

"සිහි එළවා ගන්න සිස්ටර්. දැන් සිදුවූ දේ සිදුවී අවසානයි. ඊළඟට කළ යුතු දේයි අප සොයා බැලිය යුත්තේ. එයට පියවි සිහියෙන් සිටීම අත්‍යවශ්‍යයි." මෙයින් කන්‍යා සොයුරියගේ කලබල ගතිය මදක් සන්සිඳුණි. 

" මට ඔබෙන් යමක් අහන්න අවසරද ?" ඈ නිහඬව විමතිය සහිත දෑසින් පියතුමා දෙස බලා සිටියය. එය අනුමැතිය ලෙස සැලකූ පියතුමා සිය පැනය යොමු කළේය.

"මට දැන ගන්න පුළුවන්ද ඔබ ඇයි කවදාවත් නැතුව බොරුවක් කිව්වෙ කියලා?"

මොහොතක් නිහඬව, කල්පනාබරිතව සිටි කන්‍යා සොයුරිය කඳුළු අතරින් සිය හඬ අවදි කළාය. "එයා පොඩි කාලෙ දවසක් මට පිරිසක් ඉදිරියේදී කම්මුලට ගැහුවා. ඊට පස්සෙ මගෙ මුලු ගවුමම ඉරලා මාව ලැජ්ජාවට පත්කළා. අයියෝ මට ඒ කාලකණ්ණි සිද්ධිය ඒ මොහොතෙදි මතක් වුණා ෆාදර්, මට ඒක මතක් වුණා. හයියෝ මම මහා පවුකාරියක්... මම මහා පවුකාරියක්" යි කෑ ගසමින් ඈ දෙවියන්ගේ පිළිසරණ සොයා උමතුවෙන් මෙන් පල්ලිය දෙසට දිව යනු පිය තුමා බලා සිටියේ බොහෝ හැඟීම බර මුහුණකිනි. එහෙත් එම මොහොතේම ඔහුගේ හදවතෙහි එක් අඳුරු මුල්ලක ඔහුටද තේරුම් ගත නොහැකි, දෙවියන් වහන්සේට පමණක් තේරුම්ගත හැකි, සතුටත්, නොසතුටත් අතර හැඟීමක් තිබුණි. 

~~නිමි~~

ලියුවේ:
සෙන්නා / 20.12.2013
http://kurundha.blogspot.com/2013/12/blog-post_20.html

Thursday, December 12, 2013

බිළාල ශාපය....

20.03.20__
නිවසේදීය,

මා  ප්‍රිය හිතවත / හිතවතිය, ඔබ මේ බ්ලොග් සටහන කියවන විට මා ජීවිතයට සමුදී සදාකාලික නිද්‍රාවට පිවිස අවසානය. මෙය මෙහි පළවන අවසාන බ්ලොග් සටහන බව ඉතා කරුණාවෙන් සලකන්න. පුරා දෙවසරකට මදක් වැඩි කාලයක් ඔබ හා රැදුණු හෙයින් මේ අවසන් නික්මයාම පිළිබඳව මෙසේ සටහන් කොට තබා යාම මාගේ යුතුකමක් යැයි මම සිතමි. සිදුවූයේ හා වන්නේ කුමක්දැයි පැහැදිලිව පවසා මම ඔබගෙන් සමුගනිමි. එහෙයින් මෙතැන් සිට අවසානය දක්වා සියල්ල ඉතා සාවධානව කියවන මෙන් ඔබෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. මෙතෙක් ඔබ හා මා දොඩමළු නොවූ මාගේ තථ්‍ය ජීවිතයේ, මා හා බැඳුණු චරිත හා සිදුවීම්, අතිශය තීරණාත්මක සිදුවීම් කිහිපයක් ඔබගේ දැන ගැනීම සඳහා මෙතැන් සිට පෙළ ගස්වමි. මා දැන් සිටිනා මානසික වාතාවරණය හේතුකොටගෙන එය නිසියාකාරයෙන් කිරීමට හැකිවේදැයි මටම සැකය. එහෙත් මම උත්සහා කරමි. සිදුවීම් සිදුවූ ආකාරයෙන්ම ලියා තැබීමට උත්සහා කරමි. තව හෝරා කිහිපයකින් එළබෙන ඒ අවාසනාවන්ත දිනයේ කිනම් මොහොහොතක හෝ ඒ කාලවර්ණ නපුරු යක්ෂයා මා වෙත පැමිණෙන බව ඒකාන්තය. එයට පෙර මා ඉක්මන් විය යුතුය. එහෙයින් මෙම ලිපිය හැකිතරම් ඉක්මනින් ලියා අවසන්කොට ප්‍රසිද්ධ කිරීමට මම අදහස් කරගෙන සිටිමි.

+++++

එදා මාර්තු 21 වෙනිදාවක් බව කෙසේනම් අමතක කරන්නද ? මේ දිනය දැන් මාගේ ජීවිතයට සම්බන්ධවී ඇත්තේ එය මාගේ උපන්දිනය නිසාම පමණක් නොවේය. එදා, උපන් දිනය සැමරීම සඳහා අප රාත්‍රී ආහාර වේල පිටින් ගත යුතුයැයි යෝජනා කෙරුවේ තාත්තාය. මුලු සන්ධ්‍යාවම පාහේ පිටත ගතකොට රාත්‍රී ආහාර වේලද ප්‍රසිද්ධ ආපන ශාලාවකින් රැගෙන අප පස් දෙන නැවත නිවස බලා ඒමට පිටත් වන විට රාත්‍රී එකොලහත් පසුවී තිබුණි. තාත්තා වෑන් රථය ධාවනය කළ අතර මම ඉදිරි පස වම් පස අසුනට බරවී සිටියෙමි. අම්මාත් අක්කාත් මල්ලීත් පිටුපස අසුනේය. වාහන නොමැති කමින් පාර පාළු ස්වාභාවයක් ගෙන තිබූ බැවින් තාත්තා සැලකිය යුතු වේගයකින් රථය ධාවනය කළේය. එය සිදුවූයේ ඉතා හදිසියේය. එක වරම වැන් රථයට මීටර දහයක් පමණ දුරින් පාර හරහා දිව යන කළුම කළු බළලෙකු විය. ඌ කොහෙන් කෙසේ ප්‍රාදූර්භූත වූයේ දැයි අදහා ගැනීමටවත් නොහැකි වූ ඒ නිමේෂයේදී තාත්තා වැරදි තීරණයකට යොමු විය. හදිසි තිරිංග පහරින් පැත්තට විසිවී ගිය වෑන් රථය දකුණු පස වූ තාප්පයේ ඉතා තදින් වැදුණේ එයද අනිත් පසට පෙරළා දමමිනි. අනතුරින් සිහිසන් වූ මා රෝහලේදී නැවත සිහිය ලබා ටික වේලාවකින් තාත්තා හා අක්කා අප හැර ගොස් ඇති බව දැනගෙන රෝහලේ වහල ගැලවී යන තරම් හයියෙන් කෑ ගසා හඬා වැටුණි. මාගේ උපන් දිනය අප නිවසේ දෙදෙනෙකුටම සිය ජීවිතයේ අවසන් දිනය වී තිබුණි.

හදවත්හී ඇතිවූ තුවාලයන් කෙමෙන් කෙමෙන් සුවපත් කරමින් කාලය ගලා ගියේය. නෑසිය මිතුරන්ගේ, අසල්වැසියන්ගේ සැනසිලිදායක වදන් අපට යථා තත්ත්වයට පත්වීමට මහඟු පිටිවහලක් විය. අනිත්‍යය හා අටලෝ දහම සිහිකොට එය අපට පමණක් සීමා නොවූ ඉරණමක්යැයි සිතා සිත් සාදා ගත්හ. අවසන තාත්තාත්, අක්කාත් නොමැති ජීවිතයකට අප හුරු වූහ.

වසරක් ගෙවුණි. මාගේ උපන් දිනයත්, තාත්තාගේ හා අක්කාගේ සැමරුමත් එකට යෙදී තිබුණද උපන් දිනය සපුරා අමතක කළ අප වර්ෂ පූර්ණ පින්කම් සඳහා ලක ලෑස්ති වූහ. කිසිසේත් බලාපොරොත්තු නුවූ ලෙස එදිනම මාරාන්තික දෙවන ප්‍රහාරයද එල්ල වූයේ අපගේ ස්නායු භීතියෙන් හිරිවට්ටවමිනි. වර්ෂ පූර්ණය වෙනුවෙන් අම්මාත් මමත් මල්ලීත් කනත්තට ගොස් තාත්තාගේත් අක්කාගේත් සොහොන් අබියස ඉටි පන්දම් දල්වා, අලුතින් මල් පොකුරු තැන්පත් කොට ඔවුන් සිහි කර පින්පතා නැවත එමින් සිටිහය. අප කනත්ත අයිනෙන් වූ මාවතෙහි වම් පසින් ගමන් කරමින් සිටි අතර හදිසියේම කනත්තෙහි වැටෙන් රිංගා පාරට පැමිණ අප දෙසට එකිනෙකා ලුහු බැඳන් එන බළලුන් දෙදෙනෙකු වූහ. එකෙක් සුදු පාට බළලෙකු වූ අතර ඌව හඹා ආ අනෙකා තදම තද කළු පැහැති බළලෙකි. සුදු බළලා අම්මාගේ පාදයක් අසලින් දිව යන විට කළු බළලා ඇයගේ දෙපා අතරින් දිව ගියේ විදුලි වේගයකිනි. මෙයින් කලබලයට පත් ඈ කෑගසමින් අහකට පැන්නේ සතුන්ව මග හැරීම සඳහාය. අවාසනාවක මහත ! කලබලවූ අම්මා එක් වරම පැන්නේ පාර දෙසටය. පිටුපසින් ආ බස් රථය ඇයව යට කරගෙන ඉදිරියට ගොස් නතර විය. අභ්‍යන්තර රුධිර වහනය හා සුසුම්නාව බිඳි යාම නිසා දින දෙකක් රෝහලෙහි අධික ලෙස වේදනා විධි ඇය අවසන මමත් මල්ලීත් මෙලොව හුදකලාකොට අප අත්හැර තාත්තා සහ අක්කා වෙතට ගියාය.

එකිනෙකා විවිධි විවිධ මත ඉදිරිපත් කළහ. සමහරුන් මුහුණට නොකීවද එය මාගේ අවාසනාවක් නිසා වෙන දෙයක් බව කියා තිබූ බව මට කණින් කොනින් ආරංචි විය. ඒ මෙම සියලු මරණ වලට බලපෑ හේතුව මාගේ උපන් දිනය දවසේම සිදුවී තිබීම නිසාය. සමහරුන් බලි තොවිල් ශාන්ති කර්ම ආදී කටයුතු කිරීමට යෝජනා කළ අතර සමහරෙක්ගේ මතය වුයේ අප ප්‍රදේශය අත් හැර යා යුතු බවය. තාත්තාගේත් අක්කාගේත් මරණයට සහභාගී වූ පිරිසෙන් අඩක්වත් අම්මාගේ මරණයට නොවූහ. සිදු වන්නේ කුමක්දැයි මටවත්, මල්ලීටවත් නිසියාකාරයෙන් නිශ්චය කරගැනීමට නොහැක. කුමක් නමුත් අපගේ පාලනයෙන් තොර අමුතු දෙයක් සිදුවන බවක් අපට හැඟුණි. කාලය ගතවීමත් සමඟ අප දෙදෙනා නැවතත් සාමාන්‍ය නොවුණත් එදිනෙදා ජීවිතයට හුරු වූහ. නිවස එකම පාළු අම්බලමක් වී තිබුණි. අප දෙදෙනාම ගෙදර සිටින වේලාවකදී වූවත් අප අතර වැඩි කතා බහක් නොවුණි. දැන් දැන් අප ඇසුරු කරනා යාළු මිත්‍රාදීන්ද හිඟය. අප පවුලම කුමක් හෝ සාපයකට ගොදුරුවී ඇතැයි අනුමාන කළ ඔවුන් ක්‍රමක්‍රමයෙන් අපගෙන් ඈත් වෙමින් සිටියහ.

ඊළඟ මාර්තු 21 වෙනිදාව උදාවූයේ අප දෙදෙනාගේම හදවත් භීතියෙන් සලිත කරවමිනි. එදින උදයේම අවදිවූ මා දෙවියන් බුදුන් සිහිකර අප දෙදෙනා වෙනුවෙන්ම ආරක්ෂාව පැතුවේය. කිසිඳු අතුරු අන්තරාවකින් තොරව මේ දිනය පහු කර ගැනීමට ලැබේවායි පැතුවෙමි. දෙදෙනාම එදින නිවාඩු දමා ගෙදරට වී සිටියේ අනතුරකට ලක්වීමේ ඉඩ අහුරාලනු වස්ය. නමුත් සිද්ධවීමට ලියවී ඇති දෑ කෙසේනම් වළකාලම්ද !

එදින දහවල් දිවා ආහාරයෙන් පසුව අප දෙදෙනා සාලයේ අසුන් ගෙන රූපවාහිනී යන්ත්‍රය නරඹමින් සිටියහ. හදිසියේම ඇසුණු බළල් පොරයේ හඬට අවධානය යොමු කර පිටත බැලූ අපට, අපගේ බළලා ලුහු බැඳ එන කළු පාට බළලෙකු දිස් විය. අපගේ බළලා ආරක්ෂාව පතා ගෙට වැදී පුටුවක් යටට රිංගුවේය. එහෙත් කළු බළලාද ඌ හඹා විත් පුටුව යටදීම පෙරළාගෙන සපන්නට විය. මෙයින් කෝපාවිෂ්ට වූ මල්ලි අප බළලාව බේරාගැනීම සඳහා එතනට ලංවන විටදීම ඔහු වෙතට කඩා පිනූ කළු බළලා ඔහුව සපා කා පැන දිවීය. දත් පහරවල් හතරක් සමඟින් නියපොතු පහරවල් කිහිපයක් ඔහුගේ දකුණතෙහි විය. ඒවා එතරම් බරපතල තත්ත්වයේ නොවූ හෙයින් ඔහු බේත් දමා ගැනීමට යාම ප්‍රතික්ෂේප කොට ගොඩ වෙදකමකින් සෑහීමකට පත් විය. අප දෙදෙනාට කිසිඳු අනතුරකින් තොරව මාර්තු 21 ගෙවී ගියේය. ඒ ගැන අප බොහෝ සතුටට පත්වූ අතර කිසියම් හෝ අසුබ දෙයක් තිබුණිනම් එය අවසන් වී ඇතැයි අප අනුමාන කළහ.

එතැන් සිට මාස දෙකක් ගෙවුණ තැන මල්ලීගේ හැසිරීමෙහි යම් අමුත්තක් මා හට දිස් විය. ඔහු සාංකාවෙහි හා විශාදියෙහි මූලික ලක්ෂණ පෙන්නුම් කර සිටියේය. එක දිගට පැමිණි කරදර වැල නිසා එසේ වන්නට ඇතැයි අපි අනුමාන කෙළෙමු. එහෙත් එන්න එන්නම තත්ත්වය නරක අතටම හැරුණි. ඔහු මහ රෑ හදිසියේම අවදිව භීතියෙන් කෑ ගැසීමට පටන් ගත්තේය. යම් යම් රූප හා ඡායාවන් පෙනෙන බවට සඳහන් කළේය. ඔහුට කිසිඳු දියර වර්ගයක් පානය කළ නොහැකි වූ අතර මුත්‍රා පිට කිරීමෙහි පාලනයද ඔහු වෙතින් ගිලිහී තිබු බැවින් නිතරම ඇඳ තෙමීම ඔහු අතින් සිදු විය. කිසිවකුගේ හව්හරණක් නොමැතිව මෙම කරදරයට මුහුණ දීමට මා හට සිදුවී තිබුණි. කළ යුතු කිසිඳු ප්‍රතිකර්මයක් නොදුටු තැන අවසන මා ඔහු රෝහලට ඇතුළත් කෙරුවේය. අවාසනාවකි ! ඔහු ජලභීතිකා රෝගයෙන් ඔත්පලව සිටින බැව් වෛද්‍යවරුන් මාහට පවසා සිටියේ එයට කිසිඳු ප්‍රතිකර්මයක් මේ වන විට සොයාගෙන නොමැති බවද දන්වමිනි. මාගේ මුලු ලොවම නැවතත් මා හිස මත කඩා වැටෙමින් තිබුණි. මා හට මෙලොවෙහි වූ එකම හිතවතාද මා හැර යාමට සූදානම් වෙමින් රෝහලෙහි ඇඳක් මත දගලමින් සිටියේය. තවත් දින දෙකක් පෙරකී රෝග ලක්ෂණයන්ගෙන් බැට කෑ මලණුවන් අවසානයේදී මා තනිකර යන්නටම ගියේය. මෙම දරුණු ප්‍රහාරය ඉවසා දරා ගැනීමට තවමත් මාහට ශක්තිය තිබීම ගැන විටෙක මමම පුදුමයට පත් වීමි. වසරක් පාසා එකින් එක මාගේ සමීපතමයන් මා හැර යද්දීත් තවමත් මා නිරුපද්‍රිතව හොඳ සිහියෙන් පසු වීම විටෙක මටම අදහා ගැනීමට නොහැකි තත්ත්වයකි. සැබවින්ම මා ජීවත් වේද ? නැතහොත් මා මේ දකින්නේ සිහිනයක්ද ? මා ඔවුනට පෙර මිය ගොස් ඔවුන්ගේ මරණයන් කොහේ හෝ සිට නරඹමින් සිටින්නේද ?

මල්ලිගේ දේහය නිවසට ගෙන යාමට මම ප්‍රතික්ෂේප කළ බැවින් රෝහල මුල්වී අවසන් කටයුතු සිදු කර දමන ලදී. නෑ හිත මිතුරන් සියල්ලම පාහේ බොහෝ දුරට අප අත් හැර සිටි බැවින් මළ ගෙයි කටයුතු වෙනුවෙන් හෝ ඔවුන් සහභාගී වෙදෝයි මා හට වූයේ සැකයකි. මළ මිනියක් සමඟින් නිවසේ තනිවීම මා උමතු කරවන්නක් වීමට ඉඩ තිබුණි.

මල්ලීගේ මරණයත් සමඟින් මෙතෙක් මා පිළිගැනීමට අදිමදි කළ එක් දෙයක් අකමැත්තෙන් හෝ පිළිගැනීමට වී තිබේ. ඔව්, අප පවුලට කිසිවකුගේ හෝ සාපයක් වැදි ඇත. එහෙත් ඒ කාගේ සාපයද ? දන්නා තරමින් අප කා හට හෝ අහිතක්, නපුරක්, අනතුරක් සිදු කොට නොමැත.

සිදුවන්නේ කුමක්දැයි අදහා ගැනීමට නොහැකිව අඳුරෙහි අතපත ගාමින් සිටි මාහට ඉතා අහඹු ලෙස ප්‍රහාරකයා හෙළිදරව් කරගැනීමට හැකි විය. මා දැන් විශ්වාස කරනා අන්දමට අවසාන ඉලක්කය වූ මා වෙත ප්‍රහාරය එල්ල කිරීමට පෙර තමාව හඳුන්වා දීමට ඌට උවමනා වූවා වැනිය. මෙතැන් සිට කතාව කීමට මම මදක් පැකිලෙමි. ඒ ඔබ මා අන්ධ විශ්වාසයන් ඇති මිථ්‍යාදෘෂ්ටිකයෙකුයැයි අනුමාන කිරීමට ඉඩ ඇති බැවිනි. නමුත් මාගේ ඉන්ද්‍රියනට වැටහෙනා පරිධි මෙම ඛේදවාචකයට මීට වඩා තේරුමක් දිය නොහැකිය.

ඉතා අහඹු ලෙස ඔබගෙන් කෙනෙකු ( අදාල නොවන බැවින් මම ඔහුගේ නම හෙළි කිරීමෙන් වැළකෙමි ) හා කළ සංවාදයකදී මා හට එඩ්ගා ඇලන් පෝ නැමති ඇමෙරිකානු ලේඛකයාගේ කෘති අඩංගු අඩවියකට සබැඳියක් ලැබුණි. එහි වූ කතා විශාල ගණනක් අතරින් එකවරම මාගේ අවධානය The black cat කතාව වෙතම යොමු වූයේ මන්දැයි මම තවමත් සිතමි. එය කිසිවකුගේ අදෘශ්‍යමාන මගපෙන්වීමක්යැයි විශ්වාස කිරීමට මා කැමතිය.  මා එම කතාව කියවා අවසන් කෙරුවේ ලොමුදැහැගැන්වීය. ඒ එම කථාවෙහි වූ කිසිඳු භයානක කමක් නිසා නොව එය මාගේ එක් දුෂ්ට ක්‍රියාකාරකමක් හා 100%ක් ගැළපීමේ අපූරු සමානකම නිසාවෙනි. එය එසේ සිදු විය හැකිද ? මා විසින් සැබවින්ම කළ ක්‍රියාකාරකමක් එලෙසින්ම අතීතයෙහි වූ ලේඛකයෙකු ලියා තැබුවේ කෙලෙසද ? මෙම කතාව කියවීමෙන් පසු මෙතෙක් මාහට සම්පූර්ණයෙන්ම අමතකව තිබූ, අතීතයේ මා කළ ඒ මහා පාපය මාගේ දෑස් ඉදිරියෙක් මැවී පෙනෙන්නට විය. ඒ සමඟම අපගේ පවුලේ සෑම සාමාජිකයෙකු මිය යාමට ප්‍රථම ප්‍රාදූර්භූත වූ ඒ මහා පොදු සාධකය, කාලවර්ණ නපුරු යක්ෂ බළලා මාගේ දැස් ඉදිරියෙහි මැවී පෙනුණි. ඔව් එය එසේම විය යුතුය. ඒ ගැන මා හට අබමල් රේණුවක තරම්වත් අවිශ්වාසයක් නොමැත.

මෙම බිහිසුණු පලිගන්නාගේ අවසාන ඉලක්කය මා බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. තාත්තාව සහ අක්කාව මුලින්ම ක්ෂණිකව මිය යාමට සලස්වන්නේ අන් අයගේ මරණයන් තුළින් ඔවුනට ඇතිවෙන වේදනාව වැළැක්වීමට හා ඔවුන්ගේ මරණයන් තුළින් අප තිදෙනා වේදනාවට පත් කිරීමට බව දැන් මා හට ප්‍රත්‍යක්ෂය. මන්ද යත් ඔවුන් දෙදෙනා මේ මහා පාප කර්මයට කිසි ලෙසකිඳු හවුල් නොවූ බැවිනි. අම්මා මද කෙටිකාලීන වේදනාවකුත්, මල්ලී ඊට වැඩි වේදනාවකුත් විඳ මිය ගියේ ඔවුන් මෙම පාපයට හවුල් වූ ප්‍රමාණයේ අනුපාතයට බව සැකයක් නොමැත. මෙසේ බලන කළ මෙම පාපයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ මා වෙත මෙම පලිගන්නාගේ සැලසුම මොන තරම් බිහිසුණු එකක් වේදැයි හිතා ගැනීමටවත් නොහැක. එය අති බිහිසුණු සෙමෙන් සෙමෙන් ළඟාවන විනාශයක් බවනම් සහතිකය. මෙතෙක් සිදු වී ඇත්තේ අන් අයගේ මරණයන් තුළින් මා දරුණු චිත්ත පීඩාවකට ලක් කිරීම පමණකි. මා හට උරුම සැබෑම දඬුවම තවමත් මා වෙනුවෙන් බලා සිටී. ඒ දිනය එන තෙක් බලා සිටී.

+++++

මම ඌට ආදරයට කපූ කිවෙමි. ඒ කළු පූසා යන්න කෙටි කරය. මුළු ශරීරයේම වූ සෑම මවිල් ගසක්ම තද කළු පැහැයෙන් යුක්ත වූ මෙම බළලාගේ එකඳු සුදු හෝ වෙන යම් වර්ණයක් සොයා ගැනීමට නොහැකි විය. කට දෙපසින් වූ සන්වේදක ස්පර්ශකයන් පවා තද කළු පැහැයෙන් යුක්ත වූහ. මුලින් මුලින් ඉතා හුරතල් බළලෙකු වූ කපූ අප සැමගේ ආදරයට පාත්‍ර විය. උගේ ආගමනයත් සමඟින් නිවසෙහි අරක්ගෙන සිටි මීයන් අදෘශ්‍යමාන වීමෙහි ගෞරවයද අපි නොඅඩුවම ඌටම පිදුවෙමු. එහෙත් පසු කලෙක මෙම සත්වයාගේ ඇතිවූ නොමනා හැසිරීමක් නිසා අප හට ඌ එපා වෙමින් පැවතුණි. නිවසේ උයා පිහා තැබූ කෑම වලඳේ සිට මේසයට බෙදා තිබූ බත් පත දක්වා හොරා කෑමට ඌ පසු බට නොවීය. එතකින් නොනැවතී අසල්වැසියන්ගේ නිවෙස් වලින්ද සොරා කෑමට පටන් ගැනීම නිසා අප ඔවුන්ගේ දෝෂාරෝපණයටද ලක් වූහ. කෙතරම් දඩුවම් කළත් මෙම සත්වයාගේ මෙම කැත පුරුද්ද අත් හැරීමට සූදානම් වූයේ ඌ නොවේය. මේ සම්බන්ධයෙන් වැඩියෙන්ම ප්‍රකෝපව සිටියේ අම්මාය. එයින් වැඩියෙන්ම පීඩා වින්දේ ඇය බැවින් එය ස්වාභාවිකය.

එය, උක්ත රිය අනතුර සිදුවී තාත්තාත්, අක්කාත් මිය යාමට පෙර වසරේ මාගේ උපන් දිනයයි. මෙවර උපන් දිනය යාළුවන් කිහිප දෙනෙකුටද අරාධනා කොට මදක් උත්සවාකාරයෙන් ගැනීමට අප සැලසුම් කළහ. එදින සවස මුළුතැන්ගෙයින් ඇසුණු අම්මාගේ ගෝරනාඩුව ඇසී මා එදෙසට යන විට පෙර දින ඈ විසින් පිළියෙල කොට කපුවාට විවෘත්ත කළ හොහැකියැයි විශ්වාස කළ ලෙස වසා ඉහළින් තබා තිබුණු කේක් ගෙඩිය බිම වැටී තිබුණ අතර එයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඌ විසින් කා දමා තිබුණි.

"මූව මැරුවත් හිත්වදින්නෑනෙ මේ කරපු වැඩේට. මටනම් මේ යක්ෂ බළලත් එක්ක තවත්නම් බෑ මේ වැඩේ කරන්න. එක්කෝ ඕකව කොහෙට හරි ගිහින් දාපල්ලා, නැත්නම් මරලා දාපල්ලා. කොච්චරක්නම් කියලා ඉවසන්නද මේ වදේ ? " ඒ ආවේගශීලීව බැණ වදින අම්මාය. එය මෙයින් ප්‍රකෝපව සිටි මාගේ ගින්නට දැමූ පිදුරු විය. දඩුවම් කිරීමට සිතා සොයා බලන විට කිසිවක් නොවූ ආකාරයෙන් පුටුවක් උඩට වී අත පය දිගෑරගෙන නිදා සිටි බළලා දුටු මාගේ ප්‍රකෝපය දෙගුණ තෙගුණ විය. කෑ ගසන විටම බෙල්ලෙන් අල්ලා ගෙන රෙදි කඩකින් උගේ මුහුණ වැසූ මා ඌට දරුණු ලෙස පහර දුනිමි. මෙයට මල්ලීද හවුල් විය. බළලා අඩපණ වෙන තෙක්ම අපි ඌට පහර දුනිමු. එහෙත් තවමත් මාගේ සිතට මදිය. අතට හසු වු පටියකින් මා උගේ ගෙල සිර කොට බැඳ කුස්සියෙහි උළුවස්සෙහි එල්ලා නැවතත් තදින් පහර දුන්නේය. එල්ලා ඇති පන්දුවකට ක්‍රිකට් පිත්තකින් පහර දෙන්නාක් මෙන් ඌට පහර දුන්නේය. වදින සෑම පහරක දිම කොන්ද වකුටු කොට, අත් පා එකට ලංකරමින්, යටි ගිරියෙන් ඤාව් හඩ නිකුත් කරමින් බළලා කෑගැසීය. එය "අනේ මාව බේර ගන්න" වැනි ඉල්ලීමක් වන්නට ඇත. එහෙත් අවාසනාවකට මා හට බළල් භාෂාව නොතේරුණි. ටික වේලාවකින් බළලා නිශ්චල විය. ඒ ඌ අඩ පණ වූ නිසායැයි මම සිතුවෙමි.

තාත්තාත්, අක්කාත් උත්සවයට අවැසි බඩු වගයක් ගෙන ඒමට කඩයට ගොස් නැවත පැමිණියේ අප මෙසේ  චූදිතයාව එල්ලුම් ගස් යවා අහවර වූ පසුවය. කර ඇති අපරාධය දුටු තාත්තා දුන් කම්මුල් පහරින් මා විසිවී ගොස් බිම වැටුණි. අක්කා වහ වහා ලණුව ලිහා බළලාව නිදහස් කර ගත්තද ඒ වන විටත් ඌ අවසන් ගමන් ගොස් තිබුණි. මෙය මා කිසි විටෙකත් අපේක්ෂා නොකළ දෙයකි. බළලුන්ගේ පණ හයිය බැවින් ඔවුන් ලෙහෙසියෙන් නොමැරෙන්නන් ලෙස මම විශ්වාස කළෙමි. එම විශ්වාසයම පෙර කී දරුණු දඬුවමට මා යොමු කළේය. එහෙත් මාගේ විශ්වාසය වැරදී තිබුණි. හිතවත / හිතවතිය මම ඔබට මේ අවසන් මොහොතේ සත්‍යයක් කියමි. මට කපුවාව මැරීමේ කිසිඳු චේතනාවක් නොතිබුණි. එය අප පවුලේ සිව් දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි තරමටම සත්‍යයකි. මට ඒ සම්බන්ධයෙන් ඕනෑම තැනක දිව්රිය හැකිය, චේතනාව කුමක් වූවත් මා අතින් එම අපරාධය සිදුවී තිබුණි.

ඔබ එඩ්ගා ඇලන් පෝ ගේ මතු සඳහන් කෘතිය කියවා ඇත්නම් බළලාට හිංසා කිරීමට ඝාතකයන් දෙදෙනාම යොදා ගන්නා ක්‍රමවේදයේවූ ඒ අපූරු සමානත්වය දකිනු ඇත. සමහරවිට එය කළු බළලෙකු මැරීම සඳහා කාල, ද්වීප, දේශ නොසලකා දෛවයෙන් නියමවී ඇති ක්‍රමවේදය වන්නටද හැකිය. ඒ සමානත්වය නොවන්නට මා පසු පස හඹා එන මේ ශාපය පිළිබඳව නොදැනුවත්වම මා එයට ගොදුරු වනු නියතය. අඩුම තරමින් මම එසේ විශ්වාස කරමි.

+++++

තව හෝරා කිහිපයකින් ඒ බිහිසුණු දවස උදාවනු ඇත. ඔව් හෙට මාගේ උපන් දිනයයි. මේ දක්වා වූ සියල්ල විශ්ලේෂණයකොට බැලීමේදී හෙට දිනයේදී ඒ කළු බලලා මා ඉදිරියෙහි දර්ශනය වන බව හෙට හිරු නැග එන්නාක් මෙන්ම නිශ්චිතය. මෙවර ඌ පැමිණෙනේ මාරාන්තික ප්‍රහාරයටය. තම නියම සතුරා වෙත ඉලක්කය බලා එල්ල කරනා, තම සතුරා අඩපණ කොට, දීර්ඝ කාලයක් විඳවීමට සලස්වා ක්‍රමක්‍රමයෙන් මරා දමනා ඒ බිහිසුණු ප්‍රහාරයටය. දාමාව කැපීමට ප්‍රථම ඌ වටා ඉන්නා ආරක්ෂක ඉත්තන් කපා ඉවත්කරන්නාක් මෙන්, මා වටා සිටි සියලු හිතවතුන් ඌ විසින් කපා ඉවත් කොට මා හුදකලාකොට තිබේ. මේ ප්‍රහාරය මට දරාගත නොහැකිය. ඒ ගැන සිහිවන විටත් මා සියොලඟම දහදියෙන් තෙත්ව, අප්‍රාණික වී යයි. ඔව්, මා ඉස්සර විය යුතුය. ඒ බිහිසුණු කාලවර්ණ මරණයේ දූතයා සම්මුඛ වීමට ප්‍රථම මා ඉස්සර විය යුතුය.

ඉදින් ප්‍රිය මිතුර / මිතුරිය ඔබ මේ දක්වා කියවූයේ මින් පෙර මා ඔබට නොකී මාගේ සැබෑ කතාවයි. එකක් පැවසිය යුතුමය. මෙම දුෂ්කර,බිහිසුණු කාලපරිච්ඡේදයේ අවසාන වසර දෙක තුළ ඔබ හා දොඩමළු වීමට ලැබීම හේතු කොටගෙන යම් ඉසිඹුවක් ලදිමි. එසේ නොවන්නට මා උන්මන්තකයෙකු වී බොහෝ කල්ය. ඒ ගැන මාගේ ස්තූතියි පිළිගන්න.

දැන් යාමට කාලය පැමිණ ඇත. මෙය ලියා ප්‍රසිද්ධ කළ වහාම උපක්‍රමිකව ලබාගෙන දැන් මේ මොහොතේත් මා ඇස් අබියස ඇති නිදිපෙති අහුරම පානය කොට මා සදාකාලික නිද්‍රාවට පත්වෙමි.  ඒ බිහිසුණු යක්ෂයාට මුහුණ දීමට නොහැකිව මම බියසුල්ලෙකු සේ ජීවිතයෙන් පලා යමි.

ඔබට රිසිනම් වෙනදා සේම මෙයට ප්‍රතිචාර දැක්විය හැකිය. රිසිනම් නොකර සිටින්න. කෙසේ වෙතත් ඒවා කියවීමට හෝ ප්‍රතිචාර දැක්වීමට නොහැකිවන බව කිව යුතු නොවේ.

ප්‍රිය හිතවත / හිතවතිය වෙන්ව යාමට කලින් ලද අත්දැකීම් ඇසුරෙන් යමක් පැවසීමට අවසර ! කිසි දිනෙක, කිසි විටෙක, කිසිම හේතුවක් අරභයා සම්පූර්ණයෙන් කාල වර්ණ බළලෙකුව ඝාතනය කිරීමට එඩිතර නොවන්න. එය ඔබව විනාශය කරා රැගෙන යනු ඇත. ඔවුන් වනාහී සූක්ෂම පළිගන්නන්ය. එද්මොන් දාන්තේ පවා අභිබවා යන අති සූක්ෂම පළිගන්නන්ය. එපමණක් නොව කිසිඳු කුඩා සතෙකු උවද ඝාතනය කිරීමෙන් වළකින්න. ඔබට එය සුළු සිදුවීමක් වූවත් ඔවුනට එය ජීවිතය පිළිබඳ ගැටලුවකි. අප සිදු කොට අමතක කරදමනා කුඩා වුවත් පාපකර්මයන්ගේ ප්‍රති විපාක කෙතරම් බිහිසුණුද යන්න වටහා ගැනීමට ඔබට මාගේ කතාව ඉවහල් වනු ඇතැයි සිතමි.

එසේ නම් සදාකාලික සමු ගැන්මකට අවසරයි !

මෙයට ඔබට සදා හිතවත් සෙන්නා. 
20.03.20__

Sunday, December 1, 2013

ද්වන්ද්ව සටන


2013 උඳුවප් මස 01 වනදා

"උඹලට රූල තියලවත් සරල රේඛාවක් ඇඳ ගන්න තමා බැරි. ඒ වුණාට කලිසමේ ෆ්ලීට් එකනම් තියනවා ආයෙ අත කැපෙන්න තරම් කෙළින් හිටින්න."

කමල් සර්ගේ ගෝරනාඩුව ඉදිරිපස සිටි සිසුවකුටය. එයට වස්තු බීජවූ හේතුව කුමක්දැයි නිසි ලෙස මා හට ග්‍රහණය කරගත නොහැකි වූයේ මගේ වම් පසින් අමුතු යමක් සිදුවෙමින් පවතින බව මා නිරීක්ෂණය කරමින් සිටි බැවිනි. එය කුමක් වුවත් හොඳක් නොවන බවනම් මාගේ සවන ඉන්ද්‍රිය මා වෙත දන්වා සිටියේය.

++++++

කමල් සර්ගේ පන්තිය ප්‍රදේශයේ අති ප්‍රසිද්ධ ගණිත පන්තියයි. "මම ඉගැන්වීමටම උපන්නෙමි"යි කියා පෝස්ටර් නොගැසූවද සැබවින්ම ඔහු ඉගැන්වීමටම උපන්නෙක් බව අප අතැඹුලක් සේ දැන සිටි කාරණයකි. අහෝ අවාසනාවක මහත ! ඔහු අප පාසලේ ගුරුවරයෙකු වුවද, පාසලේදී ඔහුගෙන් නිසි පරිදි දැනුම ලබා ගැනීමට තරම් අප වාසනාවන්ත නොවූහ. ඒ ඔහුගේ කුසලතාවයන් එළිදැක්වූයේ සල්ලි ඉදිරියේදී පමණක් වීම නිසයි. ඔහු පාසලේදී නිසි ලෙස උගන්වන්නකු නොවන බව මුළු පාසලම දන්නා ප්‍රසිද්ධ රහසකි. නුමුත්, හේ වනාහී ප්‍රදේශය පුරාම නම රැන්දූ අති දක්ෂ ගණිත ගුරුවරයාණෝමැයි. කොළඹ සුපිරි පාසල් වලට යන සිසුන් පවා ඔහු වෙත ගණිතය උගෙනීමට පැමිණීම මගින් ඔහුගේ හැකියාව, ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකිය. ඇති-හැකි, නැති-බැරි සෑම දෙමාපියෙකුම කෙසේ හෝ මුදලක් සරි කොටගෙන සිය දරුවාව ඔහුගේ ගණිත පන්තියට යොමු කරවීමට වග බලා ගත්තේ එබැවින්මයි. එය මාගේ දෙමාපියන්ටද පොදු වූවකි.

ඔහුගේ ගණිත පන්තිය පැවැත්වුණේ සිය නිවසේම ඉදිරි පස තනා ගත් ටකරන් සෙවිලි කළ විශාල මඩුවක් යටදීය. එය එකවර ළමුන් දෙසීයකට වැඩි පිරිසකට පමණ අසුන් ගැනීමේ පහසුකම් සහිත වූ මඩුවකි. බාල දැවයෙන් තැනූ එකවර ළමුන් දහ දෙනෙකුට පමණ වාඩිවිය හැකි දිග මේස හා දිග බංකු ගණනාවකින් එය සමන්විත වී තිබුණේය. බෙදා වෙන් කොට නොතිබුණද, වම් පස ගැහැණු ළමුන්ටත්, දකුණු පස පිරිමි ළමුන්ටත් ආදී වශයෙන් නිසගයෙන්ම භාවිතා විය. බිමට සිමෙන්ති දමා නොතිබූ එය තනිකරම වැලි සහිත විය. මඩුවෙයි හරි මැදින්ම වාගේ වහලය පලාගෙන අහසට නැගී සිටි දැවැන්ත පේර ගස දකින ඕනෑම කෙනෙකු මොහු පරිසරයට ඇලුම් කරන්නකු හෝ ගස් කැපීමට කැමැත්තක් නොදක්වන්නකුයයි සිතීමට යොමු වීම නොවැළවැක්විය හැකිය. වැට දිගෙහි වූ ලා රතු පැහැහි කොළ වලින් සැරසුණු අති අලංකාර නා ගස් පේළිය හා වත්තෙහි වූ නෙක නෙක වෘක්ෂලතාවන් විසින් එම කරුණ එසේමයයි සාක්ෂි දීමට ඕනෑම මොහොතක සැදී පැහැදී සිටියෝය.

සැබවින්ම ඔහුට ළමුන්ගේ ඒකාග්‍රතාවය රඳවා තබාගෙන එක දිගට රසවත්ව ඉගැන්වීම කරගෙන යා හැකි අමුතුම හැකියාවක් තිබුණි. එබැවින්ම බොහෝ විට සෑම පන්ති වාරයකදීම වාගේ මඩුව පිරෙන තරමටම ළමුන් සිටියහ. අතරින් පතර ඉගැන්වීම නවතා රසවත් කතා කීමද ඔහුගේ සිරිතයි. මා මුල් වරට මැක්කාගේ කතාව අසා දැනගත්තේද කමල් සර්ගෙන්මැයි. ඉගැන්වීම සිදුකෙරෙන අතර තුර පන්තියෙහි එකි නෙකා කතා කිරීම ඔහුව වියරු වට්ටවන්නකි. එය ගැහැණු ළමුන් ඉදිරියේ ප්‍රසිද්ධිය සායම යවා ගැනීමට සිදුවන භයානක වරදකි. එබැවින් ළමුන්, විශේෂයෙන්ම පිරිම පාසලකට ගිය අප එවැනි වරදක් වීමට කිසිසේත්ම ඉඩනොතැබීමට හැකි සෑම විටම වග බලා ගත්හ. ගැහැණු ළමුන් ඉදිරියෙහි සමච්චලයට ලක්වීම අපට නොහුරු අත්දැකීමකි.

දිනක් පාඩම කෙරීගෙන යන අතරතුර ළමයෙකුට ඉක්කාවක් ගියේය. ළමුන්ට පිටුපා බෝඩ් එකෙහි ගාණක් ලියා පැහැදිලි කරමින් සිටි කමල් සර් වහාම තමන් කරමින් සිටි කාර්‍යය නතර කොට පිටු පස නොබලාම "කවුද ඒ ?" යයි ඇසීය. ඉඳිකට්ටක් බිම වැටුණද ඇසෙනාකාරයේ නිශ්ශබ්දතාවයක් පැතිරිණි. ළමුන් දෙසට හැරුණු සර් "ඉක්කා ගහපු එකා නැගිටිනවා,"යි තදින් විධානය කළේය. රැවුලින් වැසුණ ඔහුගේ මුහුණ රකුසු වෙස් ගෙන තිබුණි. කෙනෙකුට පාලනය කරගත නොහැකි ඉක්කාවක් නිසා ඔහු එතරක් ප්‍රකෝප වූයේ මන්ද යන්න මා පෑන කටේ ගසමින් කල්පනා කළ අතර ඒ ඉක්කාව මට නොයාම ගැන දෙවියන්ට ස්තූති කළෙමි. අවසානයේදී විත්තිකරු සෙමින් සෙමින් නැගී සිටියේය.

"ඇයි තමුසෙ ඉක්කා ගැහුවෙ ?" කමල් සර්ගෙන් පැනයකි. අහෝ අර අසරණයාගේ කලිසම ගැලවී යාමට ඔන්න මෙන්නය. පන්තියේ වම්පස වූ කෙල්ලන් රැන කිචි බිචි ගාමින් ඔහුට සිනාසෙයි.

"නෑ සර් මම් සර්......."

" නෑ සර් .. මම් සර්.... ඉස්සෙල්ලම මැනර්ස් ඉගන ගන්නවා. තමුසෙ ආයෙ ඉක්කා ගැහුවොත් මම එළෝනවා පන්තියෙන්. ඒක දැනගන්නවා හරිද ?" කමල් සර් රකුස් මුහුණින්ම අසරණයාට සැර කළේය. "හ්ම් දැන් ඉඳ ගන්නවා." යි කියමින් නැවතත් බෝඩ් එක දෙසට හැරෙමින් අතර මග නැවැත්වූ ගාන සෑදීම ඇරබීය. තත්පර තිහක් පමණ එහි නිරත වූ ඔහු නැවත ළමුන් දෙසට හැරුණේ සිනා සෙමිනි. අර රකුසු මුහුණ කොහේ ගියාද ?

"ඔය ළමයගෙ ඉක්කාව දැන් හොඳයි නේද ? " ඇසුවේ එම ළමයා දෙස බලා සිනා සෙමිනි. විස්මයජනක ලෙස ඔහුගේ ඉක්කාව සුවවී තිබුණි.

"ඔව් සර් "

"බැන්නෙ තරහකට නෙමේ. ඕක තමා ඉක්කාවට නොවරදින බෙහෙත. තිගැස්මකින්, ක්ෂණික බය කිරීමකින් අවධානය වෙන අතකට ගන්න ඕනා. " සියලු දෙනාම මුහුණට මුහුණ බලා ගත්හ. ඒ කමල් සර්ය. ඔහුටම ආවේණික වූ ඔහුගේ ක්‍රම සහ විධිය.

++++++

ඉදිරි පස සිටි ළමයා සරල රේඛාවක් සම්බන්ධයෙන් සර්ගේ ගෝරනාඩුවට ලක්වෙමින් සිටි එම මොහොතේම මගේ වම් පස අසුන් ගෙන සිටි අප පාසලේම  "C" පන්තියේ සිසුවකු වූ රංග ක්‍රමක්‍රමයෙන් මා තෙරපමින් මා දෙසට එන බවක් මම නිරීක්ෂණය කරමින් සිටියෙමි. බොහෝ විට සිදුවන පරිදි මුලු බංකුවම පිරෙන තරමට ළමුන් අසුන් ගෙන සිටියහ. එබැවින් එකි නෙකා අතර පරතරය සීමිත විය. නමුත් සාමාන්‍යයෙන් සිදු වන්නේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව ඉඩ බෙදාගෙන ඉගෙනීමෙහි නිරත වීමයි. ඒ අනුව දකුණතින් ලියන්නකු වූ මා වමත බංකුව යටට ගෙන මාගේ දෙපා මත රඳවා තබාගෙන රංගට හැකිතරම් ඉඩ දුන්නේය. නමුත් මෙම තෙරපීමත් සමඟම එල්ලවූ රැවුම් ගෙරවුම් නිසා සාමාන්‍ය තෙරපීමකට වඩා යමක් සිදුවෙමින් පවතින බව මා හට අවබෝධ විය. රංගට එහායින් අසුන් ගෙන සිටි ගිය සතියේ මා අතින් පරාජයට ලක්වූ නාරදව දැකීම එම අවබෝධය තහවරු කෙළේය.

ගිය සතියේ පන්තිය අවසන්ව නිවෙස් බලා යන විට දැන් නිශ්චිතව මතක් කරගත නොහැකි හේතුවක් නිසා නාරද හා මා අතර ආරවුලක් හට ගත්තේය. අවසානයේදී ආරවුල් සමථයකට පත් කිරීම උදෙසා එවකට අප අනුගමනය කළ පිළිගත් ක්‍රම වේදය වූ ද්වන්ද්ව සටනකට යාම සඳහා නාරද විසින් මා හට අභියෝග කළේය. දෙදෙනෙකු අතර ආරවුලක් හට ගත් විට ද්වන්ද්ව සටනකට යාම එකල අප අතර බෙහෙවින්ම ජනප්‍රියව පැවතුණි. එවිට පිලිමලුන් දෙදෙනාගේ ආධාර කරුවන් විසින් වටවී ඇති කරනා ලබන කවයක් තුළ අදාළ දෙදෙනා සටනට යොමුවීම් සම්ප්‍රදායයි. අනතුරුදායක තත්වයකදී හැර අන් අය සටනට මැදිහත් නොවීම පිළිගත් රීතියයි. කොර්සිකානු සහෝදරයන් ද්වන්ද්ව සටන් මගින් ගැටලු නිරාකරණය කරගත් දහ නව වන සියවසේදී තරම්ම අප අපගේ නීතී රීති වලට ගරු කළහ. එකම වෙනස අප විසින් අවි ආයුධ භාවිතා නොකිරීම පමණයි. ආයුධ තෝරා ගැනීමේ නිදහසක් විසි වන සිය වසේ සිටි අපට නොවූහ. ස්වභාවධර්මයා විසින් ලබා දී තිබූ අත් පා සතර වරණයකින් තොරවම භාවිතා කිරීමට සිදුවී වී තිබුණි.

එවන් අභියෝගයක් එල්ල වූ විට එය මගහැර යාම බානසුල්ලකුගේ ක්‍රියාවකි. එය ළමුන් අතර බියගුල්ලෙකුයැයි කොන්වීමට ලක්වීමට සිදුවන කාරණයකි. සටනට ගොස් පැරදීම වෙනමම කාරණයකි. සටනකින් පැරදුණු කෙනා හට කිසි වෙකුත් බියගුල්ලෙකුයැයි චෝදනා නොකළේය. ශරීර ප්‍රමාණයෙන්ද මට වඩා පොඩි වූ මෙම ඇටයාගේ අභියෝගය පිළිගැනීමට මම දෙවරක් නොසිතීය. මාගේ කල්ලියට පණිවිඩය වාර්තා කෙරුණ සැණින් සටනට අවැසි ස්ථානය තීරණය කර ගත්හ. එය අප යමින් සිටි පාරෙහිම පිහිටි එක් තරා ඉඩ සහිත ස්ථානයක් විය.

සම්ප්‍රදයානූකූලව පිහිටවූ කවය තුළ සටන ඇරඹිණි. අප පන්තියේම සගයකුවූ නුවන් විසින් අප වෙත හඳුන්වා දුන්, ඔහු විසින් නිතර පරිහරණයක කර ජය ලද්දා වූද ප්‍රතිමල්ලවයාගේ ගෙල වටා සුරත යවා එය අනෙක් අතින් ඇද සිර කිරීම තුළින් ඇති කරනු ලබන ග්‍රහණයෙන් ප්‍රතිමල්ලවයාව අඩපණ කරවීමේ ශිල්ප ක්‍රමය මමද යම්තාක් දුරකට ප්‍රගුණ කොට සාර්ථක ප්‍රතිඵල ලබා සිටියේය. දැන් මාගේ එකම උත්සහය නාරදවද එම ග්‍රහණයට ගෙන අඩපණ කිරීමයි. එයට නිසි අවස්ථාව එනතෙක් කල්මරමින්, එහෙට මෙහෙට පනිමින් ඔහුගේ පහරවල් වැළැක්වීමට මම සමත් වීමි. ඔහු මට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා වීම හා මගේ අතපය සාපේක්ෂව දිගින් යුක්තවීම යන කාරණය මෙහෙදී මගේ වාසියට සිටියේය. වරක් ඔහු එල්ල කළ පහරක් වැළැක්වූ විට මා බලා සිටි අවස්ථාව උදා වූයේ එම පහර එල්ල කිරීමට ඔහු හට මා වෙත වඩාත් සමීප වීමට සිදුවූ බැවිනි. වමතින් ඔහුගේ ප්‍රහාරය ඉවතට යොමුකළ මා වහා පැන ඔහුගේ ගෙල වටා අත යවා වමතින් මගේ දකුණත කිටි කිටියේ තද කරමින් පහතට නැමුවේය. අති සාර්ථකය ! ප්‍රතිමල්ලවයා කිසිවක් කර කියා ගත නොහැකිව අත් පා ගසමින් දගලමින් සිටියේය. අවසානයේ තමා පරාජය වූ බව ඔහු විසින් පිළිගැනීමත් සමඟම ග්‍රහණය බුරුල් කොට නිදහස් කළේය. මා නැගී සිටියේ ජයග්‍රහාකයෙකු ලෙසය. මා හට මා මිතුරන්ගේ ප්‍රිති ප්‍රශංසා හිමි වන විට නාරද ඇතුළු කණ්ඩායම එතනින් ඉවත්ව ගියහ. එය එතනින් අවසන්යැයි මම සිතුවෙමි. එහෙත් එය එසේමද ?

හදිසියේම රංගගේ දකුණු දණ හිසින්, මාගේ වම් දණ හිසට කකුල පද්ධවා එල්ල කරනු ලබන දරුණු පහරක් එල්ල විය. මා ඔහු දෙස බලන විට ඔහු මා වෙත රවාගෙන සිටියේය. "මොකද ?" කියා ඇසිය යුතුව තිබූ නමුත් මා එසේ නොඇසුවේ සර් දුටුවහොත් ඇතිවිය හැකිව තිබූ දරුණු තත්ත්වය සිහි කිරීමෙනි. කෙල්ලන් රොත්තක් ඉදිරියේ ප්‍රසිද්ධියේ නිරුවත් වීමට මාහට උවමනාවක් නොතිබුණි. අවසානයේදී සුපුරුදු පරිදි සර් විසින් ගාණක් සෑදීමට දී "තේ එකක් බීලා එන්නම්" යැයි කියමින් සිය නිවස තුළට ගියේය.

"තමුසෙ හරි චණ්ඩියෙක්ලු නේද ? " රංග මගෙන් ඇසීය. ඒ වන විට ලද ජයග්‍රහණය හේතුකොටගෙන මාගේ හිසද යම්තාක් දුරකට මානයෙන් පිරී තිබුණි. ඕනෑම කෙනෙකු ජයගත හැකියයි යන විශ්වාසයද ඇතිවී තිබුණි. රංග යනු ශරීර ප්‍රමාණයෙන් මා හට වඩා උස මහතින් යුතු අයෙක් වීය. සටනක් ඇති වුවහොත් ඔහුට වාසිදායක තත්ත්වයක් ඇතිවීමේ ඉඩ ප්‍රස්ථා බහුල විය. නමුත් මානය හා ආත්ම විශ්වාසය ඊට ඉහළින් සිටියේය.

"මගෙ චණ්ඩි කමෙන් උඹට වැඩක් නෑනෙ. ඇයි ප්‍රශ්නයක්ද ? " යි මමද පෙරළා ඇසුවේ එබැවිනි. ඒ වන විට සැලසුම් සහගත යමක් සිදුවෙමින් පවතින බව මා හට අවබෝධ වෙමින් තිබුණි. මොන දේ වුණත් එයට මුහුණ දීමට මම සිත දැඩි කොටගෙන සිටියෙමි.

"හා එහෙමද ? එහෙනම් එනවකො බලන්න මාත් එක්ක ගහ ගන්න. ඔච්චර චණ්ඩියෙක්නම්." නැවතත් අභියෝගයකි. කිසිසේත්ම පලායා නොහැකි අභියෝගයකි. මෙය කලින් නාරද හා ඇතිවූ සටනේම දිගුවක් බව මාහට පසක් විය.

"මූ ගේම ඉල්ලනවා." මම දකුණු පසින් වාඩිවී සිටි මගේ මිතුරාට කනට කොට කීවෙමි. ඔහුගේ පිළිතුර මා බලාපොරොත්තු වූවම මිස වෙන දෙයක් නොවුණි.

"හරි මම ලෑස්තියි. කවදද ? කොහෙද?" මම අභියෝගය භාරගතිමි. 

"හරි ක්ලාස් ඉවර වෙලා යද්දි. අතන හිස් වත්තෙදි හම්බෙමු."

එයින් පසු අප එකි නෙකාට රවමින් සිටියා මිස සැලකිය යුතු තරම් දෙයක් සිදු නොවීය. මෙම සටන ජයගත හැකි වේද යන අවිනිශ්චිත තාවයම මාගේ හදවතෙහි ගැස්ම වැඩි කරනු ලැබීය. විටෙක සටනින් පලා යාමටද නොසිතුණා නොවේ. එසේ කළහොත් ඇතිවන ලජ්ජාව සිහි කිරීමටත් අපහසුදායක එකකි. එය, පසු ගිය සතියේ ලද ජයග්‍රහණයේ අභිමානය මඩෙහි දමන්නකි. එයින් පසු සර් විසින් ඉගැන්වූ කිසි දෙයක් මාගේ කන් පෙති වලින් ඇතුළට නොගිය බවනම් සහතිකය. ඒවා කන් පෙති ස්පර්ශ කරමින් ඉවත ගසාගෙන ගියේය. වාසනාවකට මෙන් ඔහු මාගෙන් කිසිඳු ප්‍රශ්නයක් නෑසීය. එසේ වූවානම් සටනට පෙරම ප්‍රසිද්ධියේ කලිසම ගැලවීම වැළැක්වීමට සක්කරයාගේ පුතා වයිමටවත් නොහැකි වනු ඇත. 

අවසානයේදී පන්තිය නිමා විය. එකඟ වූ පරිදි මම මාගේ මිතුරන් සමඟම අදාළ ස්ථානයට වාර්තා කළෙමි. රංග හා නාරදද ඔවුන්ගේ මිතුරන් සමඟ එතනට පැමිණියහ. එය කමල් සර්ගේ නිවසේ සිට නිවෙස් දෙකක් එහායින් වූ හිස් වත්තකි. පොත් පත් පොල් ගසක් යට තබා සටනට සූදානම් වූහ. එදා නාරද හා සටනේදී නොවූ අවිනිශ්චිතතාවයකින් මාගේ සිත පෙළුණි. එය රංගගේ ශරීර ප්‍රමාණය හේතුකොටගෙන ඇතිවූවක්යැයි උපකල්පනය කළ මා, බිය නොවීමට සිත දැඩි කොට ගතිමි. අරමුණ වූයේ ඔහුවද සුපුරුදු ග්‍රහණයෙන් මෙල්ල කර ගැනීමයි.

සටන ඇරඹුණි. ඔහු විසින් කරාටේ ක්‍රීඩකයකුගේ ඉරියව් ප්‍රදර්ශනය කරමින් සටනට එළබුණි. වැඩේ වැරදී ඇති බව මා හට තේරුම් යන විට පෙරහැර ගොස් අවසානය. දැන් ආපසු හැරිය නොහැකිය. වන්නක් වේවායි සිතා හැකි අයුරින් මුහුණ දීමට නැවතත් හිත ශක්තිමත් කරගැනීම. මා විසින් එල්ල කළ පහරක් ඉතා පහසුවෙන් මග හැරගිය ඔහු තරු විසි වන ආකාරයේ දරුණු පහරක් මාගේ කම්මුල හරහා එල්ල කළේය. සටනකදී පහර කෑ තැනැත්තා දකිනවායැයි උපකල්පනය කරමින් චිත්‍රකතා කරුවන් විසින් ඔළුවට උඩින් අදිනු ලබන තරු, කොම්බු, කුරුල්ලන් සියල්ල ප්‍රථම වරට මමද එදා දුටිමි. ඒ සමඟම යක්ෂයා මාගේ ඔළුවට ආරූඪ විය. මරු විකල් වූවකු ලෙසින් රංග වෙත කඩා පිනූ මම ඔහුගේ ගෙල වට අත යවා ඔහුවද සුපුරුදු ග්‍රහණයට අර ගත්තෙමි. නුමුත් අමුත්තක් සිදු විය. මින් පෙර මාගේ මේ ග්‍රහණයට හසුවූ කිසිවකුටත් එයින් ලෙහෙසියෙන් නිදහස් වීමට නොහැකි විය. එහෙත් අද සියල්ල නොපිටට සිදු වෙමින් තිබේ. ඉතා පහසුවෙන් මාගේ දකුණු මැණික් කටුවෙන් අල්ලා එම ග්‍රහණයෙන් නිදහස් වූ රංග, එසේ කරමින්ම මාගේ දකුණත පිටු පසට කර කැවීය. කිසිවක් කර කියා ගත නොහැකිව මා අසරණ විය. එවිටම මාගේ හකුපාඩා දෙකට යටින් සිය වමත තැබූ ඔහු විසින් ලෙහෙසියෙන්ම මාගේ උගුර තද වන ලෙස මාව උඩට එසවීය. මාගේ දෑස් නිලංකාර වනවාක් මෙන් දැනුණි. හුස්ම ගැනීමට අපහසු විය. තරු, කුරුල්ලන් හා කොම්බු රංචු වශයෙන් අහසේ පාවෙන විට මා ඔහුගේ ග්‍රහණයෙන් ගැලවීමට දගලමින් සිටියේය. හදිසියේම අප අතරට පැන්න නුවන් විසින් රංගගේ අත ඇද දමා මා බේරා නොගන්නට එය දරුණු ප්‍රතිඵලයකින් අවසන් විය හැකිව තිබූ සටනක් විය. ඒ සමඟම සටන ගැන දැනගත් කමල් සර් එම ස්ථානයට පැමිණෙනවායි යන ආරංචියට, පොලිසියෙන් එන විට විසිර යන්න බූරු ගසන්නන් පිරිසක් මෙන් අප සියල්ල වහ වහා එතනින් ඉවත් වූහ.

ප්‍රධාන පාරට පැමිණි පසුද මාගේ ගෙල ආශ්‍රිත ප්‍රදේශය වේදනා දෙමින් තිබුණි. කහිමින් හා උගුර අතගාමින් වේදනාව සමනය කර ගැනීමට දගලමින් සිටින විට නුවන් පැවසූයේ " ඇයි බන් ඌත් එක්ක ගහ ගන්න ගියේ ? ඕකා කරාටි බෙල්ට් කාරයෙක්. මම හිටියනම් උඹට කීයටවත් ඕකට යන්න දෙන්නැ." යන්නයි. නුවන් හට මේ ගැන් දැන්වූවේවත්, සටන පටන් ගන්නා විට ඔහු නොසිටි බවත් මාහට සිහි වූයේ එවිටයි.

"කවුද බන් දන්නෙ ? ඒත් ඉතින් ඌ මොකා වුණත් චැලෙන්ජ් කරාම නොගිහින් බෑනෙ."

'ඌ ඔය ගත්තෙ නාරදයට ගහපු වාඩුව. ඌට ඒකට කේන්ති ගිහිල්ලලු හිටියෙ. එදා මිනිහා හිටියෙත් නෑනෙ."

අවසානයේදී ජීවිතයට මතක හිටින පාඩමක් ඉතුරු කරමින් එම ගැටලුව සමථයකට පත්විය. " සටනට යාමට පෙර සතුරා පිළිබඳව හොඳින් දැනුවත් වන්න" එම සිද්ධියෙන් පසු ජීවිතයේ කවර ගැටුමකදී ඌවත් මා අනුගමනය කරනා ප්‍රතිපත්තියකි.

ඉන් බොහෝ කලකට පසු හා මින් බොහෝ කලකට පෙර මෙම පිලිමලුන් දෙදෙනා නැවත මුණ ගැසුණි.

"අඩේ සෙන්නා උඹව දැකපු කල් මචන්. උඹට මාව මතකද ?" යි දිනක් අහම්බෙන් හමුවූ රංග මාගෙන් ඇසීය.

"හම්මෝ දැකපු කල්. මොකෝ බන් අමතක. ඉතින් දැන් මොනවද කරන්නෙ ?" ආගිය කතා වාරයකින් පසු " උඹට මතකද අපි දෙන්නා ගහ ගත්තා" යැයි ඔහු ඇසුවේ හිනා වෙමිනි.

"මොකද බන් අමතක. තව පොඩ්ඩෙන් එදා මැරෙනවා." මමත් පිළිවදන් දුන්නේ සිනා සෙමිනි.

"අපිට පිස්සු නේද බන් ඒ කාලේ? "

ඒ පිස්සු කාලය අදටත් සිහිකර රස විඳිය හැකි දෑ ඉතුරු කොට තිබීම ගැන මම තවමත් සතුටු වෙමි. 

පසු සටහන.
1. නම් ගම් මනඃකල්පිතය.
2. ඕගොල්ලොත් ඔය වගේ ජීවිතේට අමතක වෙන්නැති පාඩම් ඉගෙනගන තියනවානම් ලියලා යන්නකො. 

ලියුවේ :
~~සෙන්නා / 01.12.2013

Sunday, October 27, 2013

නොමිනිසුන් මැද මිනිසත්ව......

2013 වප් මස 27 වනදා

මාජය පිරිහිලා කියන එක තමා අද පොදු මතය. ඉස්සරහට තවත් පිරිහෙයි කියලත් සමහරු අනුමාන කරනවා. ඒ කියන්නෙ අපේ ආච්චි, සීයලෑගෙ කාලෙ තිබුණ ගුණයහපත්කම්, සාමාජීය ආචාර ධර්ම මේ වෙනකොට සැලකිය යුතු මට්ටමකින් පිරිහිලා කියන එක තමා කියවෙන්නෙ. සමස්තය සලකලා බැලුවම හා එදිනෙදා ඇහෙන ප්‍රවෘත්ති බැලුවාම ඒ කතාව බොරුයි කියලා ප්‍රතික්ෂේප කරන්නත් හැකියාවක් නෑ. වර්තමාන සමාජයේ, අපිත් ඇතුළුව අති බහුතරය ආර්ථික රැල්ලේ ගසාගෙන යමින් අසීමිත තරගකාරිත්වයක වෙලිලා ඉන්න නිසා සෑමවිටම උත්සහා කරන්නෙ තමන්ගෙ ඉලක්කයන් සපුරා ගන්න මිසක්, අන් අය වෙනුවෙන් කැපවෙන්නවත්, පොදු යහපත උදෙසා සියා කාලය ශ්‍රමය මිඩංගු කරන්නවත් කිසි කෙනෙකුට හැකියාවක්වත්, උවමනාවක්වත් නෑ. ඒත් ඔය තත්ත්වයට ව්‍යතිරේකයන් ඇත්තේම නැද්ද ? නෑ, තියනවා. මේ කියන්න යන්නෙ ඒ වගේ මනුස්සයෙක් ගැන. ඇත්තෙන්ම මේක ඔහුගේ උතුම් සේවයට කරණ ඉතාම සුළු ඇගයීමක් කිව්වත් නිවැරැදයි. පුද්ගලිකව මම ඔහුව අඳුනන්නෙවත්, නම, ගම ආදී විස්තර කිසිත් දන්නේවත් නෑ. මම දැකලා තියෙන්නෙ ඔහු කරන උතුම් කාර්‍යය විතරයි.

+++++++

අපේ ගමේ ඉස්කෝලෙ ප්‍රධාන ගේට්ටුව තියෙන්නෙ රේල් පාරක් ඉස්සරහා. ගමේ ඉස්කෝලෙ කිව්වට මේක ළමයි දෙදහක් විතර ඉගන ගන්න ජාතික පාසලක්. එතකොට ඔය දෙදාහෙන් 95%කට ආසන්න ගාණක් උදේ හවා ඔය රේල් පාර උඩින් තමා යන්න එන්න ඕනා. අපි පොඩි කාලෙ ඉස්කෝලෙ යනකොටත්, මේ මෑතක් වෙනකම්මත් ඔය තත්ත්වය ඔහොම්මම තමයි. ඒ කියන්නෙ අනාරක්ෂිත දුම්රිය  හරස් මාර්ගයක් හරහා තමා ළමයින්ට ගමන් කරන්න වෙලා තිබුණෙ. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්මයා අනාරක්ෂිත ගේට්ටු හැම එකකටම උණ බම්බු ගේට්ටු දාපු කාලෙනම් ඔතනට බම්බු ගේට්ටුවක් වැටිලා තිබුණට කාලයත් එක්ක ඒ බම්බු දිරලා ගිහින් ආයෙත් පරණ පුරුදු තත්ත්වයටම ආවා. ඒ කියන්නෙ ආනාරක්ෂිත හරස් මාර්‍ගය. අපි ඉස්කෝලෙට සමුදීලා එනකනුත් තත්ත්වය එහෙම්මම තමා. ඊට පස්සෙ මීට අවුරුදු හය හතකට කලින් ඔතෙන්ට සවි කළා සීනුවක් විතරක්. ඒක කෝච්චියක් එනකොට ටෑන් ටෑන් ගාලා වදිනවා. හැබැයි ගේට්ටුවක් නෑ.

තත්ත්වය් ඔහොම තියනකොට ඔතෙනට එනවා මම මේ කියන මනුස්සයා. එයාගෙ දරුවෙක් හරි මුණුබුරෙක් හරිත් ඉස්කෝලෙ ඉගන ගන්නවාලු. උදේ හයා මාරට එතනට එන මේ මනුස්සයා කෝච්චියක් එන ගානෙ ළමයින්ව රේල් පාර ගාව නවත්ව ගන්නවා. ඒ විතරක් නෙමේ වාහන වලටත් සංඥා දෙනවා, හරහා යන්න ආරක්ෂිතද නැද්ද කියලා. එයාගෙ වැඩ අවසන් කරලා යන්නෙ උදේ අටට විතර. ඒ ගිහින් ආයෙත් එනවා දවල් එකොළහා මාර වෙනකොට.

අවුරුදු ගාණක් මේ මනුස්සයා කිසිම ප්‍රතිලාභයක් නොලබා, අනුන් වෙනුවෙන් මෙහෙම කාලය ශ්‍රමය මිඩංගු කරනවා. ඔය අතරෙදි තමයි ඉස්කෝලෙ ළමයෙක් ඒ ආසන්නයේ තියන දුම්රිය පළේදි කෝච්චියට දිවි දෙන්නෙ. එතකොට තනි රේල් පාර, දෙකක් කරපු අලුත. ෆ්ලැට්ෆෝම් දෙකකුත් වැටිලා. හැබැයි ෆ්ලැට්ෆෝම් හරහා යන්න ගුවන් පාලමක් නෑ. ඉස්කෝලෙ ඇරිලා ළමයි ටික ඔක්කොම වෙනදා පුරුදු ෆ්ලැට්ෆෝම් එකේ ඉන්නවා කෝච්චිය එනකම්. හදිසියෙම දුම්රිය ස්ථානාධිපති කියනවා කෝච්චිය එන්නෙ අනිත් ෆ්ලැට්ෆෝම් එකට කියලා. දැන් මොකද කරන්නෙ ! කෝච්චියත් ළඟ ළඟම එනවා. වෙන විකල්පයක් නෑ මේ ෆ්ලැට්ෆෝම් එකෙන් රේල් පාරට බැහැලා, රේල් පාර හරහා ගිහින් අනිත් එකට නගිනවා හැර. නැත්නම් ඉතින් ඊළඟ කෝච්චිය එනකම් ඉන්න වෙනවා. ඔක්කොම ළමයි ඒ ක්‍රියාන්විතය ජය ගන්න සමත් වුණත්, එක ළමයෙක් අසමත් වෙනවා. අනිත් ෆ්ලැත්ෆෝම් එකට නගින්න ඕන්න මෙන්න තියලා කෝච්චිය අර ළමයව යට කරගෙන යනවා.

ඒ  ළමයගෙ ජීවිත පරිත්‍යාගය තමයි බළධාරින්ගෙ ඇස ඇරවන්නෙ, මෙතෙනට ගුවන් පාලමක් අවශ්‍යයයි කියන කාරණය සම්බන්ධයෙන්. ඒ එක්කම වගේ කලින් කියපු දුම්රිය හරස් මාර්‍ගයට ගේට්ටුවකුත් වැටෙනවා. ඒ කියන්නෙ අර මනුස්සයට තමන් කරපු සේවය නවත්වල දාන්න පුළුවන්. ඒත් ඔහු එහෙම කරන්නෑ. හැමදාම එනවා. මමත් හැමදාම උදේට වැඩට යනකොට ඔහුව දකින වාරයක් පාසා කල්පනා කරන්වා ඇයි මේ මනුස්සයා තාම එන්නෙ, දැන් ගේට්ටුව තියනවනෙ කියලා. ඒ කට උත්තරේ මට හම්බුනේ මේ ඊයෙ පෙරේදා දවසක කෝච්චියක් යනකම් රේල් ගේට්ටුව ගාව හිටගෙන ඉන්න වුණාම. මම ගත්තා අතේ තිබුණ ෆෝන් එකෙන් පින්තූරයක්. උත්තරේ එතන තියනවා.

මේ සටහන තියන්න මම ඒ උතුම් මිනිසාගෙන් අවසරයක් ගත්තේනම් නැ. මේ වගේ සටහනක් තියන්න එහෙම අවසරයක් අවශ්‍යය නැතිව ඇති නේද ?




+++++++

මීට අවුරුදු හයකට කලින් අද වගේ ඔක්තෝබර් 27 වෙනිදාවක ඔයා ඉපදෙනකොට හරිම චූටියි. දැන් ඔයාට අවුරුදු හයක් වගේම ඉපදෙනවට හිටියට වඩා උස මහතයි. ඉස්සරහට තව තවත් ලොකු වෙයි. කොච්චර ලොකු වුනත් පොලවෙ පය ගහලා ඉන්න ඉගන ගන්න. ඔය උඩ ඉන්න සීයා වගේ හැකි හැම වෙලාවකම අනුන්ට උදව් කරන්නත් පුරුදු වෙන්න. මේක අද නොකියෙව්වට  ඔයා කවදා හරි කියවයි. එදාට, ගන්න පුළුවන් ආදර්ශයක් අරගෙන හොඳ මිනිහෙක් වෙන්න, ලොකු මිනිහෙක් නෙමේ. අම්මගෙයි, තාත්තගෙයි පැතුම එච්චරයි. සුබ උපන් දිනයක් වේවා !!





~~ සෙන්නා / 27.10.2013

Sunday, October 20, 2013

වෙලා නැති සඳ......

20.10.2013

ඹලට මතකයක් එහෙම තියනවද දන්නෑ එකමත් එක රටක හිටියා සෙන්නා කියලා කම්මැලි බ්ලොග් කරුවෙක්. කම්මැලියි කිව්වෙ ඉඳලා හිටලා පෝස්ට් එකක් දාන හින්දා මිසක් වෙන එහෙකට නෙමේ ඕන්. ඌට ඔන්න ඔය එකමත් එක රටෙන් එන්න වුණ එක පුද්ගලික ජීවිතේ පැත්තෙන් ගත්තම හොඳ දෙයක් වුණාට බ්ලොග් කෙරුවාවටනම් තදින්ම බලපෑවෙ නැතෑ. වෙන එකක් තියා කමෙන්ට් එකක්වත් කොටා ගන්න වෙලාවක් නැතුව ගියා කිව්වම ! ඉස්සර වගේ ගවේසන කොරලා, ජාලේ පීරලා ලියන ලිපිනම් ආයේ කවදා ලියන්න ලැබෙයිද දන්නෑ ඕන්. එතකන් මෙහෙම එකෙන් ඉන්නවා කියලා අමතක වෙන එක වළක්වන්න කම්මැලි පෝස්ට් එකක් තමා මේ.

එකමත් එක රටෙන් මෙහෙට එනකොට උස්සන් ආවනෙ කැමරා පොජ්ජක්. ඒකෙන් ගත්තු ගේ වටේ පින්තූර ටිකක් තමා දැන් ඔහොම්ම පල්ලෙහෑට ගියාම දකින්න ලැබෙන්නෙ, හරිය !

පස්සෙ එන්නම්කො.

















මැරුණු ගස

කැපුණු ගස








හඳ



ඇටිකුකුළා මහතා




ලංවූ පොල්


කුරුඳු නැති කුරුන්ද

දෙමළිච්චා සීරුවෙන්


කොවක්කා


කහ කුරුල්ලා


කුරුන්දේ කොටියා



වද මල

ගේ තුළ ඕර්කිඩ්


බත් කූරෝ

හුදෙකලාව

බලු තෙමේ

පුත්‍රය


Thursday, August 15, 2013

දොරුව පරාදයි......

2013 නිකිණි මස 15 වනදා

නිර්භීත, නොපසුබස්නා, දරුණු තීරණ ගත හැකි, අධිෂ්ඨානශීලී, උත්සහවන්ත මිනිසෙකුව කිසිවෙකුටත්, කිසිදා සිරගත කල නොහැකිය. ඇරන් රාල්ස්ටන්ගේ කතාව අපිට කියාපාන්නේ මෙම සත්‍යය නොවන්නේද ?

XXXXXXX

ඇරන් රාල්ස්ටන් යනු කඳු නැගීම හා ගවේෂණය සිය විනෝදාංශය කොටගත්, මෙම සිදුවීම වන විට විසි හත් හැවිරිදිවූ, ඇමෙරිකානු ජාතික තරුණ ඉන්ජිනේරුවෙකි. 1975 ඔක්තෝබර් මස 27වන දින ඔහියෝ ඔහායෝ හී මරියොන් නගරයේ උපත ලද ඇරොන්, ඔහුට වයස 11දී සිය පවුලේ සාමාජිකයන් සමඟ ඩෙන්වර් වෙත සංක්‍රමණය විය. යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව හා ප්‍රංශ භාෂාව පිළිබඳ උපාධි වලින් පිදුම් ලබන ඔහු තාක්ෂණික ලෝකයේ දැවැන්තයකු වූ ඉන්ටෙල් හා එකතු වන්නෙ යාන්ත්‍රික ඉන්ජිනේරුවකු ලෙසිනි. නමුත් ඇරොන් යනු වෘත්තීය, සාමාජීය බැඳීම වලින් එකතැන සිරකොට තබා ගත හැකි චරිතයක් නොවීය. ඔහුගේ වැඩි කැමැත්ත වූයේ ස්වභාව ධර්මය ගවේෂණය කිරීමටය. එකලාව කඳු නැගීම හා ගවේෂණයන්හී යෙදීම ඔහුගේ විනෝදාංශය විය. අඩි 14000 කට වඩා උසින් යුතු, මුදුන් 59කින් සැදුම් ලත්, කොලරාඩෝහී "ෆෝර්ටීනර්ස්" නමින් හැඳින්වූ කඳු පන්තිය සිසිරයේදී එකෙලාවම තරණය කිරීම ඔහුගේ එක් අභිලාෂයක් විය. මෙම ක්‍රියාකාරකම් ඔහුගේ රැකියාව නොකඩවා සිදුකරගෙන යැමට බාධාවක් වූ අතර එක් අවස්ථාවෙක ඔහුට දෙකින් එකක් තීරණය කළ යුතු විය. නිදහස ප්‍රිය කල ඇරොන් ඉන්ටෙල්හී රැකියාවට සමුදුන්නේය. පසුව ඔහු සිය විනෝදාංශය හා බැඳී පවතින ආයතනයක් වූ UTE Mountaineer හී රැකියාවක් ලබා ගන්නේ මෙතෙක් ලද වැටුපට වඩා සැලකිය යුතු අඩු වැටුපක්ද සහිතවය. මෙමගින් ඔහුගේ ආර්ථික සුරක්ෂිතතාවය ගිලිහී ගියද සිය විනෝදාංශයෙහි නියැලීමට ඇතිතරම් කාලය සොයා ගත හැකි බැවින් ඔහු එයින් තෘප්තිමත් විය.

XXXXXXX

Blue John Canyon යනු ඇමෙරිකාවේ යූටා ප්‍රාන්තයෙහි වූ කාන්තාර අතර පිහිටි පටු ගල් දොරුවකි. එය කි.මි. 11ක පමණ ප්‍රදේශයක පැතිර ඇතැයි සැලකේ. කැනියොන් නොහොත් දොරුවක් යනු කඳු ගැට දෙකක් මධ්‍යයෙහි පිහිටි කඳුරකි. මෙම සුවිශේෂී භූමි ලක්ෂණය බොහෝවිට ගංගා මගින් ඇති කරවනු ලබයි. බ්ලූ ජෝන් කැනියොන් යනු එවන්වූ සුවිශේෂ භූමි ලක්ෂණ වලින් හෙබි, සමහර ස්ථාන වලදී එක පුද්ගලයෙකුට පමණක් ගමන් කිරීමට පමණක් තරම් පළලින් යුක්තවූ ඉතා පටු ගල් දොරුවකි. මෙය, ඒ අවට වූ කඳු ගවේශකයන්ගේ නිරන්තර අවධානය හා පහස ලබන්නාවූ දොරුවකි.

බ්ලූ ජෝන් දොරුවෙහි අභ්‍යන්තර කොටසක ඡායාරූපයක්
උපුටා ගැනීම :http://www.summitpost.org/blue-john-canyon/710899

XXXXXXX

2003 අප්‍රේල් මස 26ක්වූ ඒ දෛවෝපගත ශනිදා උදයේ ඇරන් රාල්ස්ටන් සුපුරුදු පරිදි සිය විනෝදාංශය වෙනුවෙන් නිවසින් පිටත් විය. මෙම ගවේෂණ චාරිකා වලදී ඔහු විසින් නිතරම අනුගමනය කරනා නරක පුරුදු දෙකක් වූහ. එකක් නම් නිතරම සිය ගවේෂණයන් එකෙලාව සිදුකිරීමයි. දෙවැන්න ඔහුගේ ගමනාන්තය පිළිබඳව කිසිවකුත් දැනුවත් නොකිරීමයි.

කඳු නගින්නන් කඳවුරු ගැසෙනා ප්‍රදේශයට සිය වාහනයෙන් පැමිණි ඇරන්, එතැන් සිට සැලකියයුතු දුරක් පාපැදියෙන් ගමන් කළේය. ඉන් පසු පාගමනින් අදාළ ස්ථානයට සේන්දු විය. ගල්දොරුවට පිවිසි ඔහු එහි අභ්‍යන්තරයේ පටු බිත්ති අතරින් ගමන් කරමින් සිටියේය. සමහර තැනෙක පහසුවෙන් ගමන් කරත හැකිවූ අතර සමහර තැනෙක දොරුවෙහි බිත්ති අතර සිරව තිබූ විශාලා පාෂාණ කුට්ටි යටින් හෝ උඩි පැන ගමන් කිරීමට සිදු විය. ඔහු ඉතා සැහැල්ලුවෙන් එනමුත් සැලකිය යුතු වේගයකින් මෙම දොරුව නිරීක්ෂණය කරමින් එහි පහතට බසිමින් සිටියේය. තමන් ගමන් කරමින් සිටිනුයේ සිය ජීවිතයේ විශාල පෙරළියක් වෙත බව මේ මොහොතේදී ඔහු හට කිසිඳු දැනීමක් නොවුණි. ඇරන් දොරුවෙහි එක ස්ථානයකට ළඟා විය. එතනින් පසු දොරුව මීටර කිහිපයක් ශීඝ්‍ර ලෙස පහත බෑවුම් වී තිබුණි. ඇරන් සිටගෙන සිටි ස්ථානයට මදක් ඔබ්බෙන්, එම මට්ටමින්ම දොරුවෙහි බිත්ති අතර හරහට සිරවී තිබූ පාශාණයකි. ඔහුගේ අරමුණ වූයේ එම පාෂාණය වෙත ගමන් කොට එහි එල්ලීමෙන් පහතට පැන ගැනීමයි. ඒ සඳහා දොරුවෙහි බිත්ති දෙක මත සිය පාදයන් හා හස්තයන් යුහුසුළුව හසුරුවමින් එම පාෂාණය වෙතට ආසන්න විය. පාෂාණයට ගොඩවී එයට බර යොදමින් පහලට එල්ලුන මොහොතේදී සියල්ල නොපිටට සිදුවන්නට වූහ. එම පාෂාණ කුට්ටියත් සමඟින්ම ඔහුව පහතට කඩාගෙන වැටුණි. මොහොතකට ඔහු වික්ෂිප්තවිය. ඔහුගේ එකම අරමුණ වූයේ සිය හිස හැකිතාක් පාෂාණයෙන් ඇත්කොට තබා ගැනීම හා එයට යටවීමෙන් ආරාක්ෂාවීමටයි. අවසානයේදී පාෂාණය සමඟින්ම දොරුවෙහි පහළ බිම මට්ටමට කඩා වැටුණ ඇරන් දකුණතෙහි ඇතිවූ ඒ අති බිහිසුණු වේදනාව කරනකොට බ්ලූ ජෝන් දොරුව දෙදරා යනතරම් විශාල හඬකින් කෑ ගැසීය. ඇත්තෙන්ම කෑගැසුණි.

සියල්ල සන්සුන්වූ පසු සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීමට ඇරන් යුසුසුළු විය. දොරුවෙහි බිත්ති දෙක අතර, ඔහුගේ මුහුණ ඉදිරියෙන් පාෂාණය නැවතත් සිරවී තිබුණි. ඔහු දොරුවෙහි බිම් මට්ටමටම පැමිණ තිබූ අතර දෙපා පොළවෙහි වැදී තිබුණි. දකුණතෙහි වූ දරුණු වේදනාව හැරෙන්නට වෙන කිවයුතු තරම් හානියක්වී නොතිබුණි. පාෂාණයෙන් මෑත්වීමට සිතා පසුපසට ඒමට සූදානම්වන විට ඔහුට යම් අමුත්තක් ඇතිවිය. සිය දකුණතෙහි ඇතිවූ දරුණු වේදනාව එය දොරුවෙහි බිත්තියෙහි වැදීම නිසා හට ගත්තක් නොවන බව මුල් වරට ඔහුට අවබෝධවෙමින් තිබුණි. දකුණත පාෂාණය හා දොරුවෙහි බිත්තිය අතරට මැදිවී නොසෙල්විය හැකි අයුරින්ම සිරවී ඇතිබව ඔහුට පසක්වූයේ එවිටය. අත එම ස්ථානයෙන් ගලවා ගැනීමට ඔහු දැරූ සියලු ප්‍රයත්න ව්‍යයර්ථ වූහ. වම් අතින් පාෂාණය ඔසවා දකුණත ගලවා ගැනීමට දරූ තැතද අසාර්ථක විය. එය එතරම්ම තදින් දොරුවෙහි බිත්ති දෙක අතර සිරවී තිබුණි. ඇරන් රාල්ස්ටන් බ්ලූ ජෝන් දොරුවෙහි සිරකරුවෙකු වී තිබුණි.

මම ගලේ උඩින් අල්ලගෙන පහතට එල්ලුණා විතරයි. එතකොටම ඒක මාවත් එක්කම පහතට රූටගෙන ආවා. මගෙ වම් අත මේ බිත්තියෙ තදින් වැදුණා. දකුණු අත මේ බිත්තියෙ වැදිලා ගලත් එක්කම ඇතිල්ලීගෙන පල්ලෙහාට ඇවිත් මේ තියන විදිහට නතර වුණා. මගේ එකම කල්පනාව වුණේ ගලෙන් ඔළුව බේරාගෙන හැකිතරම් එයින් ඇත්ව සිටීම. මගෙ අත මේ විදිහට සිරවෙයි කියලා මම මොහොතකටවත් හිතුවෙ නෑ. ඒක ඒතරම්ම වේගයෙන් සිද්දවුණේ.  - ඇරන් රාල්ස්ටන්, සිද්ධියෙන් මාස හයකට පසු NBC මාධ්‍යවේදියකු සමඟ අදාළ ස්ථානයේම සිට සිද්ධිය විස්තර කරමින්. 

ඇරන්ගේ සිරගෙය පොළව මට්ටමින් අඩි සියයක් පමණ ගැඹුරෙහි, ආසන්නම ප්‍රධාන මාර්‍ගයට සැතපුම් විස්සක පමණ දුරින්, සැතපුම් සිය ගණනකින් වටවූ කාන්තාරයක් මධ්‍යයේ පිහිටා තිබුණි. ඉතා අහඹු ලෙස තවත් ගවේෂකයෙකු එම පෙදෙසට පැමිණියහොත් මිස, වෙනත් පුද්ගලයෙකුගේ අවධානයට ඔහුව ලක්වීමට ඇති අවස්ථාව ඉතා සීමිතය. එළිමහන් චාරිකා වලදී අනුගමනය කළයුතු ස්වර්ණමය රීතිය, එනම් එක් පුද්ගලයකු හෝ තමන්ගේ ගමනාන්තය පිළිබඳ දැනුවත් කොට තිබීම අනුගමනය නොකිරීමෙහි ආදිනව ඇරන් අවබෝධකරගනිමින් සිටියේය.

ප්‍රථම දිනය - සෙනසුරාදා.

පැය භාගයක් හෝ විනාඩි හතළිස් පහක් පමණ කාලයක් ඔහු පාෂාණයෙන් අත මුදවා ගැනීමෙහි දරුණු ප්‍රයත්නයක නිරත විය. දණහිසෙන් පාෂාණය තෙරපමින් අත නිදහස් කරගැනීමට දැගලුවද, තවමත් එය සිරවූ ලෙසින්ම පවතී. වෙහෙසට පත්වූ ඇරන් සිය වතුර බෝතලයෙන් තුනෙන් එකක් පමණ ක්ෂණිකව පානයකොට දැම්මේ තමන් මුහුණ දෙමින් සිටිනා අනතුර පිළිබඳව නිසි වැටහීමකින් තොරවය. එවන් හැඟීමක් එම අවස්ථාවෙහි ඇතිවුණිනම් ඔහු විසින් සිය වතුර සලාකය ඉතා පරිස්සමින් භාවිතා කරනු නිසැකය. සමහර විටෙක ඔහු විසින් මද වේලාවක් තුළ නිදහස් වීමට හැකියැයි අපේක්ෂා කළා වන්නටද පුළුවන. ගත මදක් ප්‍රාණවත් වීමෙන් පසු ඔහු විසින් සිය සාක්කු පිහිය රැගෙන පාෂාණය සිය දකුණත සිරකොටගෙන සිටි කොටස රහින්නට විය. ඉතා අඩු තත්ත්වයේ සාක්කු පිහියක්වූ එය, එම කාර්‍යයට කිසිසේත්ම නොසෑහුණු අතර එය පොල් කෙන්දකින් මුහුද ඉසිනවාට සමාන කාර්‍යයක් විය. හිරු අවරට යනතුරාවටම ඇරන් විසින් මෙම කාර්‍යයේ නිරත විය. දැන් දැන් ඔහුට රාත්‍රියත් මෙහිම සිරකරුවෙකු ලෙස ගතකිරීමට වන බව පැහැදිලිය. පසු දින නැවත පිටත්වීමේ අපේක්ෂාවෙන් මෙහි පැමිණි ඇරන් සතුවුයේ සීමිත ජලය ප්‍රමාණයක් හා ආහාර ස්වල්පයකි. කිසියම් ක්‍රමයකින් තමන්ම හෝ බාහිරෙන් ලැබෙන සහායක් මාර්‍ගයෙන් මෙම මර උගුලෙන් නිදහස් වෙනතෙක් සිය ජීවිතය පවත්වා ගැනීම උදෙසා ඔහු සතුවූ සියල්ල එපමණකි. එයට අමතරව කඳු නැගීම උදෙසා භාවිතා කරනා කඹ, ගාංචු ආදියද, වීඩියෝ කැමරාවක්, ඩිජිටල් කැමරාවක්, වෝක්මන් යන්ත්‍රයක් හා වාසනාවකට මෙන් හිසෙහි පළදනා විදුලි පන්දමකද විය. ඔහු නිතර පරිහරණය කරනා ස්විස් වර්ගයේ බහුකාර්යය සාක්කු පිහිය වෙනුවට මෙවර රැගෙන විත තිබුණේ බාල වර්‍ගයේ සාක්කු පිහියකි.

ඇරන්ව සිය භූගත සිර මැදිරියෙහි තනි කොට සූර්‍යයා බැස ගියේය. ඒ සමඟම උෂ්ණත්වයද පහත වැටුණි. ෆැරන්හයිට් අංශක පනස් ගණන් දක්වා එය අඩු විය. සාමාන්‍යය ටී ශර්ටයකින් හා කොට කලිසමකින් පමණක් සැරසී සිටි ඇරන් හට එය දරාගැනීමට අපහසු තරමේ ශීතලකි. ඔහුගේ සියලුම් උණුසුම් කබා සිය වාහනය තුළය. කුසගින්න හා පිපාසාවද ඔහුව දුර්වල කරමින් සිටියහ. ශරීරය උණුසුම්ව පවත්වා ගැනීම උදෙසා ඔහුවිසින් දිගින් දිගටම වැඩෙහි යෙදුණි. නින්දක් පිළිබඳ සලකා බැලීමක් කළ නොහැකි තරම් විය. ප්‍රධානම කාරණය ඔහු සිරවී සිටි ආකාරයයි. සිටගෙන සිටිනා ඉරියව්වකින් සිරවී සිටි බැවින් ඔහු හට හරිහමන් නින්දක් ලැබීමෙහි අවකාශයක් නොවුණි. සිය දුර්වල සාක්කු පිහියෙහි ආධාරයෙන් මුලු රාත්‍රිය පුරාවටම ඔහු විසින් නිදි වර්ජිතව, සිය වමත රිදුම් දෙන තෙක් පාෂාණය හා ඔට්ටු වෙමින් සිටියේය. එම රාත්‍රියේදී ඇරන් හට තමන් වැටී සිටිනා අනතුරෙහි සැබෑ ස්ව්භාවය තේරුම් ගැනීමෙහි හැකියාව ලැබුණි. තමන් පවත්වාගෙන යන මෙම වේගය එලෙසින්ම පවත්වාගෙන ගියහොත් අඩුම වශයෙන් පැය 150ක්වත් මෙම පාෂාණය ඉවත් කරගැනීමට ගත වේ යැයි ඔහු විසින් දළ ගණනය කිර්‍රමක යෙදුණි.

දෙවන දිනය - ඉරිදා

ශනිදා රාත්‍රියම ඇරන් විසින් පාෂාණය කඩා බිඳ දැමීම වෙනුවෙන් දිය කර හැරියේය. නමුත් එහි සාර්ථකත්වය විමසා බැලූ කළ ඔහුට හැඟී ගියේ පවතින සීමිත සම්පත් මගින් එය කිසි දිනක සිදු කළ නොහැකි අසාර්ථක කර්තව්‍යයක් බවයි. ඔහු දැන් බ්ලූ ජෝන් දොරුවෙහි සිර කරුවෙකු වී හෝරා දාසයක් ගෙවී තිබුණි. නිදහස් වීමට ඇති අවකාශයන් පටු වන තරමටම නව නව විකල්පයන් කෙරෙහි සිත යොමු වන්නට විය. ඒ අතර අවසාන විකල්පය වශයෙන් සලකා බැලිය හැකි, ඇරන් විසින් සිතීමටත් මැලිවූ දරුණු විකල්පයක්ද ඔහුගේ සිතෙයි ඇඳී නොඇඳී ගියේය.

ඉරිදාට හිරු පහන් වූයේ ඇරන්ගේ සිතෙහි නව බලාපොරොත්තු ඇති කරවමිනි. සාමාන්‍යයෙන් සති අන්තයෙහි බොහෝ කඳු නගින්නන් සිය චරිකාවන්වල නිරත වන හෙයින් ඇරන් විසින් එවන් කවුරුන්හෝ තමන්ව සොයා ගනීවියැයි අපේක්ෂා කළේය. එ බැවින්ම පල රහිත කාර්‍යයක් බව දැන දැනම ඔහු එක වරක් හඬ නගා කෑගැසීමක්ද සිදු කළේය. තමන් සිටිනා වැනි ස්ථානයක සිට හඬ එතරම් දුරකට ප්‍රක්ෂේපණය නොවනා බව ඔහු හොඳින් දැන සිටියේය.

මේ මොහොත වන විට සිය දකුණතෙහි ඉදිරි කොටස මිය ගොස් ඇති බවට ඔහු අනුමාන කළේය. වේදනාව සැලකිය යුතු තරමින් යටපත් වී තිබුණි. දිගින් දිගටම සිටගෙන සිටීම ඔහුගේ දෙපා වෙහෙසට පත් කළේය. සිය ඉන්ජිනේරු දැනුම භාවිත කරමින් පවතින සම්පත් එනම් කඹ සහ ගාංචු ඉහළින් වූ පාෂාණ අතර සිර කොට පාදයන් වෙත වූ පීඩනය නිදහස්  කොටගත හැකි යාන්ත්‍රණයක් සකසා ගැනීමට සමත් විය. මේ සියල්ල සිය වමත හා මුඛය ආධාරයෙන් පමණක් සිදු කර ගැනීමට සිදු විය. කෙසේ වෙතත් පැවති සීතල ඔහුට වැඩෙහි යෙදීමට බලකර සිටියේය. එදින නැවතත් සිය ඉන්ජිනේරුමය  දැනුමෙහි වාසිය භාවිතයට ගනිමින් ඔහු ඉතිරි කඹ හා ගාංචු භාවිත කරමින් පාෂාණය විතැන් කරවීමට එසවුම් යාන්ත්‍රණයක් සැකසීය. නමුත් එය අසාර්ථක කරමින් පාෂාණය කිසිඳු හැල හොල්මනක් නොමැතිව නිහඬවම  පසු විය.

ඉරිදා අපරභාගය වන විට ඇරන් විසින් සම්පූර්ණ දිනයක් දොරුවෙහි සිර කරුවෙකු ලෙස ගත කොට තිබුණි. නිසි ආහාර, ජලය හා නින්දක් නොමැතිව, සිටගෙනම දිනයක් ගත කිරීම කෙතරම් අපහසු කරුණක්දැයි ඒ පිළිබඳ මදක් සිත වෙහෙසුවහොත් ඔබට නිසැකවම අවබෝධවනු ඇත. පැවති තත්ත්වය විසින් ඇරන් හට වෙනත් විකල්පයක් ඉතිරි කොට නොතිබුණි. රාත්‍රිය පුරා වෙහෙසී පාෂාණය කඩා දැමීමට දැරූ තැතද, තමා විසින් සකසා ගත එසැවුම් යාන්ත්‍රණයෙන් පාෂාණය ඉවත් කිරීමට ගත් තැතද අසාර්ථකව තිබුණි. ස්වොත්සාහයෙන් මෙම මර උගුලෙන් ගැලවිය හැකියැයි යන සිතුවිල්ල ක්‍රමක්‍රමයෙන් ඇරන්ගේ සිතින් පහ වෙමින් පැවතුණි. වෙනත් ගවේෂකයකුගේ පැමිණීම පිළිබඳව තැබූ බලාපොරොත්තුද අත හැරීමට කාලය එළබෙමින් තිබුණි. හිරු අවරට යමින් පවතින මෙම මොහොතේ, යමෙකුගේ පැමිණීමක් පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැකි බව ඇරන් හොඳාකාරවම දනී. එසේනම් වෙනත් ගවේෂකයෙකුගේ අවධානයට ලක්වීමට තවත් සතියක්ම බලාසිටිය යුතුය. තමන් එතෙක් කල් ජීවත් නොවන බව ඇරන් හට සක්සුදක් සේ පැහැදිලිය. එසේම ඇරන් නැවත රාජකාරියට වාර්තා කිරීමට නියමිතව තිබුණේ එළබෙන අගහරුවාදාය. එතෙක් කිසිවකු හට ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳව සෙවීමට අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇත. එබැවින් ගලවා ගැනීමේ කණ්ඩායමක් පැමිණීමේ බලාපොරොත්තු තබා ගත නොහැකිය. යම් හෙයකින් කිසිවකුගේ මැදිහත්වීමකින් ගලවා ගැනීමේ කණ්ඩායමක් යෙදවූවද ඇරන් සිටිනා ස්ථානය පිළිබඳ දැනීමක් ඇත්තේ කා හටද ? එළිමහන් සංචරණයන්හී ස්වර්ණමය රීතිය ඔහු විසින් බිඳ දමා තිබුණි.

ගැලවීමට ඇති අවස්ථාවන් හීන වෙමින් යනවිට ඇරන් විසින් ටිකෙන් ටික මරණයට සූදානම් වන්නට විය. සිරවී දවසක් ගතවූ තැන, සිය වීඩියෝ කැමරාව මගින් ඔහු සිය සිරුර සොයාගන්නන් උදෙසා පණිවිඩයක් පටිගත කළේය. තමාව හඳුන්වා දුන් ඔහු, තාමගේ සිරුර හමුවූවෙකුට එම පණිවිඩය තම දෙමාපියනට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටියේය. මෙතැන් සිට ඇරන් විසින් වරින් වර සිය තත්ත්වය හා හැඟීම පටිගත කරනු ලැබීය.

දොරුව තුල සිරවී සිටියදී ඇරන් විසින් සිය වීඩියෝ කැමරාවෙන්ම සිදුකළ පටිගත කිරීමක කොටසක්.
උපුටා ගැනීම : 
http://cellulord.blogspot.ae/2011/01/127-hours.html
ඇරන් විසින් ඉතිරිව පැවති සිය සීමිත ආහාර හා ජල සලාකයන් රැක ගැනීම කෙරෙහි උත්සුක විය. සිය තොල් තෙමා ගැනීමකින් පමණක් සෑහීමකට පත්වීමට ඔහුට සිදු විය. ජලය නොමැතිව දින තුනකට වඩා ජීවත් නොවිය හැකිබව ඇරන් දැන සිටියේය. ඒවන විටත් ඔහුගේ ශරීරය විජලනයේ මූලික ලක්ෂණ පෙන්නුම් කරමින්තිබුනි. ඔහුගේ ආහාර සලාකයද බුරිටෝ දෙකකට පමණක් සීමා විය. වරෙකට එක් කට බැගින් ඉතා සීමිතව එය පරිහරණය කිරීමට ඇරන් හට සිදුවී තිබුණ අතර නැවතත් රාත්‍රියේදී අධික සීතලින් ආරාක්ෂාකාරී වීමටද ඔහුට සිදුවී ඇත. කඳු නගින පටි කිහිපයක් සිය ගෙලවටා දවටාගෙන, සිය කැප් තොප්පිය පැළඳගෙන හා දෙකන සීතලින් ආරක්ෂා කර ගැනීමට වෝක්මන් යන්ත්‍රයේ හිස් බනුව පැළඳගෙන ඇරන් විසින් සීතලින් ආරක්ෂා වීමට උත්සහයක යෙදුණි.

තෙවෙනි දිනය - සඳුදා

සඳුදා රාත්‍රිය වන විට සිය ආහාර සලාකය කටවල් දෙක තුනකට හා ජලය උගුරු කිහිපයකට පමණක් සීමාවී තිබුණි. තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබුණේ ගැලවීමේ බලාපොරොත්තු ඔහු වෙතින් ඈත් කරමිනි. සඳුදා රාත්‍රියේ සිට ඇරන් විසින් සිය මුත්‍රා එකතු කිරීමට පටන් ගැනුණේ ජලය වෙනුවෙන් පානය කිරීම උදෙසාය. සිය නිදහස වෙනුවෙන් කිසිදා නොකළ යමක් සිදු කළ යුතු බව ඇරන් හට තේරුම් යමින් තිබුණි. බලහත්කාරයෙන් යටපත් කොට තිබූ සිතුවිල්ල නිදහස උදෙසා නැවත නැවතත් ජලයෙහි ඔබ්බවා ඇති රබර් බෝලයක් මෙන් උඩට පැමිණීමට වූයේ අනෙකුත් සියලු විකල්පයන් එකින් එක අසාර්ථක වෙමින් යාම නිසාය. සඳුදා රාත්‍රියද ගෙවී ගියේය. මේවන විට ඇරන් විසින් රාත්‍රීන් තුනක් බ්ලූ ජෝන් දොරුවෙහි ගත කොට තිබුණි.

සිව්වෙනි දිනය - අඟහරුවාදා

ඉරිදා උදයේ සිට සෑම දවසකම උදෑසන 08:15ට නොවැරදීම දර්ශනය වූ එම දසුන එදත් දිස් විය. ඒ කපුටෙකි. සෑම දිනයකම ඇරන්ගේ හිසට ඉහළින් වූ ආකාශයේ පියබා ගිය විශාල කපුටෙකි. ඔවුන්ගේ විශ්වාසයනට අනුව කපුටා යනු අසුභ සලකුණකි. මරණයේ දූතයෙකි. මේ පෙන්නුම් කරන්නේ ඇරන්ගේ මරණයෙහි පෙර සලකුණුද !

එදින උදෑසන ඇරන් සතුවූ අවසාන ජල සලාකයද අවසන් විය. පාෂාණය ඉවත් කිරීමෙන් තමන් හට මෙයින් ගැලවිය නොහැකි තරමටම, බාහිරින් ආධාර ලැබීමට තිබූ අවස්ථාවන්ද සීමිත විය. අවසානයේදී මෙතෙක් කල් කිරීමට පමා කළ එම අවසාන විකල්පය, අවසාන තුරුම්පුව ක්‍රියාවෙහි යෙදවීමට ඇරන් සිත දැඩි කොට ගත්තේය. තමා විසින් තමාගේම හස්තය කපා දැමීමෙන් ලබන නිදහස !!

මෙය කෙතරම් වේදනාකාරිදයි මා ඔබට කිව යුතු නොවේ. සියුම් කැපුම් තුවාලයක් ඔබට කොතෙක්නම් වේදනාවක් දී ඇත්දැයි සිහියට නගා ගන්න. එවිට ඇරන් විසින් සිය උත්තරීතර නිදහස වෙනුවෙන් දැන් කිරීමට යන ඒ නිර්භීත ක්‍රියාවෙහි වේදනාකාරී බව ඔබට පසක් වේවි. එසේ කිරීමට පෙර ඔහු විසින් සලකා බැලිය යුතු කාරණා රාශියක් විය. මුලින්ම එය කරනා ආකාරය සහ භාවිතා කළ යුතු උපකරණ. බාල වර්‍ගයේ සාක්කු පිහිය හැරෙන්නට ඒ සඳහා උපයෝගී කරගත හැකි වෙනත් උපකරණයක් ඔහු සතු නොවීය. යම් හෙයකින් සිය දකුණත කපා දමා නිදහස ලබා ගත්තත් එම නිදහස භුක්ති විඳීමට ඔහුට ඉඩ ලැබේවිද ! සමහර විට ඔහු අධික රුධිර වහනය හේතු කොටගෙන මිය යා හැකිය. එසේ නැතහොත් තනි අතින් දුර්ගයෙන් පහතට බැසීමේදී යම් අනතුරක් සිදුවී උවද ඔහු මිය යා හැකිය. කෙසේ වෙතත් ඇරන් විසින් අවසානයේදී එම බිහිසුණු, නිර්භීත කාර්‍යය උදෙසා සිය හිත හදා ගත්තේය.

මුලින්ම සිය සාක්කු පිහිය ගෙන සිරවී තිබුණු සිය දකුණතෙහි අග්‍ර බාහුවෙහි (වැලමිටත් මැණික් කටුවත් අතර ප්‍රදේශය) මධ්‍යයට කිඳා බැස්සවීය. පිහිතලය මස පසාරු කරගෙන ගියද මෙම බාල වර්‍ගයේ පිහියට හස්තයෙහි අස්ථි කපා දැමිය නොහැකි බව ඔහුට අවබෝධ විය. එයින් නැවතත් ඔහු දුර්මුඛ විය. තමන්ගේ අසාර්ථක උත්සහය පිළිබඳව හැඬුම්බරව දෙවියන් හා පවසන ඇරන්ගේ හඬ එදින විඩියෝ පටයෙහි සටහන් විය.

අගඟරුවාදා සවස වන විට ඔහු සතු ආහාරද අවසන් වී තිබුණි. එකතු කරගත් මුත්‍රා බෝතල දෙකක් පමණක් ඒ වනවිට ඇරන් සතු විය. එය ඔහුට ජීවිතය පවත්වා ගැනීමට මහෝපකාරීවිය. විජලනය හා ශරීර උෂ්ණත්වය පහත වැටීම ඔහුව ටිකෙන් ටික අඩපණ කරමින් තිබුණි. තවද ඒ වන විට ඔහු හෝරා අනූවක් පමණ නිදි නොමැතිව ගත කර ඇත. තමන් ක්‍රමක්‍රමයෙන් මරණය කරා පිය මනින් බව ඔහු දැන සිටියේය.

පස්වන දිනය - බදාදා

බදාදා උදෑසන වන විත ඇරන් සේවය කළ ආයතනයෙහි කළමනාකරු විසින් ඇරන් දින දෙකක් සේවයට වාර්තා නොකිරීම පිළිබඳ විමසිලිමත් විය. ඇරන් හට යම් අනතුරක් වී ඇති බවට ඔහුට වැටහුණි. ඇරන්ගේ මවව මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් එකතුව ඇරන්ව සෙවීමෙහි මෙහෙයුම දියත් කළහ. බලධාරීන්ව දැනුවත් කිරීම සිදු වුවද ඔවුන් සියලු දෙනාම අසරණවන එක් තැනක් විය. ඒ ඇරන් සිටිනා ඉසව්වක් නොදැන සිටීමයි. මෙය තමන් විසින් සිදුකළ බරපතල අත්වැරැද්දක් බව පසුව ඇරන් විසින්ද පිළිගැනුණි.

පස්වන රාත්‍රියද එළබිනි. එය තමන්ගේ අවසන් රාත්‍රිය බව ඇරන් විසින් අනුමාන කළේය. ඒ වන විට ඔහු ජලය නොමැතිව දින දෙකක් ගත කොට තිබුණි. ස්වොත්සාහයෙන් මෙයින් ගැලවිය හැකියැයි කිසිඳු ආත්ම විශ්වාසයක් දැන් ඔහුට නොවීය. අඩුම තරෙමේ සුදුසු ආයුධයක්වත් තිබුණේනම් සිය හස්තය කපා දමා නිදහස් වීමට ඔහු දැන් සූදානම්ය. නමුත් ඒ බාල සාක්කු පිහිය එයද වළක්වා තිබුණි. නමුත් එම පිහියම ඔහුට සිය නම දොරුවෙහි බිත්ති මත කෙටීමට උපකාරී විය. මුලින්ම සිය නම ලියූ ඔහු එයට උඩින් උපන් දිනය සටහන් කළේය. එයට යටින් තමන් මිය යතැයි අනුමාන කළ දිනයද සමාදානයේ සැතපේවා යන්න හඟවන R.I.P. සලකුණද සටහන් කළේය. එයට අමතරව ඔහු සිය දෙමාපියන් වෙත අවසන් පණිවිඩය පටිගත කළේය. සිය සිරුර පුළුස්සන ලෙසනත්, අළු විසුරුවා හැරිය යුත්තේ කිනම් ප්‍රදේශයකද යන්නත් ඔහු විසින් දැනුම් දුන්නේය. ඔහු මරණය පිළිගැනීමට සූදානමින් සිටියේය.

සයවන දිනය - බ්‍රහස්පතින්දා

මෙම දිනයට හිරු නැගෙනවා දැකිය හැකිවෙතැයි ඇරන් හට විශ්වාසයක් නොතිබුණි. ඇරන් විසින් සුපුරුදු කපුටාගේ දර්ශනය දැකීමට දෑස් අයා බලා සිටි නමුත් එදින මරණයේ දූතයා දර්ශනය නොවීය.

එදින උදයේ ඇරන් නැවතත් අරමුණකින් තොරව පාෂාණයට පිහියෙන් කොටමින් සිටියේය. එක්වරම පිහිය අත්ලේ වැදීම හේතුකොටගෙන සුළු පැල්මක් අත්ලෙහි සමෙහි ඇතිවිය. කුතුහලයෙන් යුතුව අත්ලට පිහියෙන් තට්ටු දමමින් සිටි ඇරන් එක් ස්ථානයකදී එය අඟල් හාගයක් පමණ ඇතුළට බැස්සවීය. නමුත් ඔහුට කිසිඳු දැනීමක් නොවුන බව ඔහු පවසයි. එක් වරම එම සිදුරෙන් ෂ්..ෂ්...ෂ්.. අනුකරණයෙන් වායුවක් නිකුත් වනු ඇරන් බලා සිටියේය. ඒ අත නරක්වීම නිසා හටගත් වායුවක් බව ඔහුට අවබෝධ විය. සිය ශරීරයට සම්බන්ධ අවයවයක් දිරාපත්ව යන්නේය යන සිතුවිල්ල නැවතත් ඔහුව තැතිගන්වන ලදී. එයින් කලබලවූ ඔහු නැවතත් අත නිදහස කරගැනීම උදෙසා දගලන්නට විය. දෙපැත්තට පැද්දෙමින් ඔහු අත ගලවා ගත හැකිදැයි නැවතත් උත්සහ කර බැලුයේ ඇතිවූ තැතිගැන්ම නිසාමය. මෙම මොහොතේ ඇරන් හට, ඔබට හෝ මට කිසිදා පහළ නොවීමට ඉඩ නැති කදිම එහෙත් බිහිසුණු අදහසක් පහළ විය. දින දෙහෙකට පෙර අත කපා දැමීමට කළ උත්සහය අස්ථි කැපීමට නොහැකි නිසා අත් හැර දමන ලදී. නමුත් අතට සම්බන්ධ අස්ථීන් යුගල කඩා දැමුවහොත් තත්ත්වය මුළුමනින්ම වෙනස් අතට හැරෙන බව ඇරන් හට අවබෝධ විය. එවිට මස පිහියෙන් කපා දමා ඔහුට නිදහස් විය හැකිය. දෙවරක් නොසිතාම ඔහු ක්‍රියාත්මක විය. අත මැණික්කටුව ප්‍රදේශයෙන් තදින් සිරවී තිබීම නිසා මෙය වඩාත් පහසු වූ අතර  තමන්ව සිර කරගෙන සිටිනා පාෂාණයේම අනෙක් පසින් තදින් අල්ලාගෙන අත හැකිතාක් අනෙක් පසට නැවීය. මොහොතකින් අස්ථි බිඳුම් හඬක් දොරුව පුරා නින්නාද වන විට සිය දකුණතෙහි යට අස්ථිය කැඩී ගිය බව ඇරන් හට අවබෝධ විය. ඒ සමඟම පාෂාණයට බර දෙමින් අත යටට තද කිරීමෙන් ඔහු විසින් උඩ අස්තියද බිඳ දමන ලදී. මේ කාර්‍යයය පුරාවට ඔහු විඳි වේදනාව වචනයෙන් විස්තර කිරීමට අපහසුය. තමන්ගේ අස්ථියක් තමන් විසින්ම කඩා බිඳ දැමීම උදෙසා මිනිසකු සතුව කෙතරම් උසස් ධෛර්‍යයක්, දරා ගැනීමේ හැකියාවක් තිබිය යුතුද, ඇරන් රාල්ස්ටන් සතුව එය නොඅඩුවම තිබුණි.

ඉන්පසුව එළබියේ වෛද්‍යවරයකු නොවන පුද්ගලයකු නිර්වින්ධනයකින් තොරවම තමාගේ අවයවයක් උදෙසාම කරනා ඒ අපූරු සැත්කමයි. මුලින්ම සාක්කු පිහියෙහි විශාල තලයෙන් උත්සහ කළ මුත් එය සම සිදුරු කිරීමට තරම්වත් සමත් නොවුණේය. ඉන්පසු ඇරන් විසින් එහිවූ කුඩා වූ අඟල් දෙකක දිගින් යුතු තලය භාවිතයට ගත්තේය. එමගින් ඔහු සෙමින් සෙමින් සම සහ මාංශපේශි අමු අමුවේම ලේ පෙරමින් කපා දැම්මේය. එය ඉතා වේදනාකාරී සැත්කමක් විය. පැයක් පමණ කාලයක් තිස්සේ ඔහු විසින් මාංශපේශී, නහර ආදිය එකෙන් එක කපා දමන ලදී. ධමනි දෙකක්ද කැපී වෙන්විය. එයට පෙර ඔහු රුධිර වහනය සීමා කිරීමට උඩින් පටියක් යොදා අත තද කිරීමට වගබලා ගත්තේය. ප්‍රධාන ස්නායුව කපා දැමීම සැත්කමෙහි දුෂ්කරම කොටස විය. ස්නායුවට පිහිය තබනා විටදී පවා සිය අත දිගේ උරපත්ත දෙසට පැතිරෙන දරුණු පිළිස්සීමක් වැනි ඒ වේදනාව ඔහු අත් වින්දේය. දෙතුන් වරක් උත්සහා කිරීමෙන් අනතුරුව හිතට එඩි ගෙන අවසානයේදී එයද කපා දැමුයේ අත දිගේ ඉහළට පැමිණි විදුලිය වැනි ඒ දරුණු වේදනාවද විඳිමින්ය. එය සැත්කමෙහි දුෂ්කරම කොටසයි. ඉන් මොහොඅතක පසු ඇරන් රාල්ස්ටන් හිරෙන් නිදහස් විය. ඒ සඳහා ඔහුට සිය දකුණතින් කොටසක් පූජා කිරීමට සිදුවී තිබුණි, එම මොහොත සිය ජීවිතයේ ප්‍රීතිමත්ම මොහොතක් බව ඇරන් පවසයි. මෙම අසීරු කාර්‍යය පුරාවටම ඔහුගෙන් එකදු කෑගැසීමක්වත්, එකඳු කෙදිරියක්වත් පිට නොවූ බව පවසන ඇරන් කිසිඳු විටක තමන් සිහිසුන් නොවූ බවද පවසයි. ගැබුරු හුස්මක් ගැනීමට මදක් නැවතුණු ඔහු වහා සිය ආම්පන්න සියල්ල එකතු කරගෙන එම ස්ථානයෙන් පිටත් විය. අභියෝගය තවමත් අවසන් නොමැති බව ඔහුට නොරහසකි.

සිය ආපසු ගමන කිසිසේත්ම සුළුපටු කටයුත්තක් නොවන බව ඇරන් දනී. ඔහු මෙහි පැමිණියේ පටු, අඳුරු මාර්‍ගයන් ඔස්සේ, විටෙක පාෂාණ කුට්ටි උඩින් පනිමින්, විටෙක යටින් ගමන් කරමින්, විටෙක පටු බිත්ති අතර අත් පා තෙරපමින් ආදී ලෙස ඉමහත් දුෂ්කරතා මධ්‍යයේය. දැන් එම මාර්ගයේම ඔහුට එක අතක සහයෙන් නැවත යායුතු වුයේ රුධිරය වහනය වෙන අනෙක් අත ගැනද අවධානය යොමුකරමින්ය. ඇරන් විසින් එම අභියෝගයද ජයගන්නා ලදී. අවසානයේදී ඔහු දොරුවෙන් පිටතට පැමිණුන අතර සය මහල් ගොඩ නැගිල්ලක් තරම් උසින් පිහිටි පීටිකාවක සිටගෙන සිටියේය. එයින් පිට විය හැක්කේ පහතට හෙළූ කඹයක ආධාරයකින්ම පමණී. එහෙත් එක් අතක් පමණක් ඇති, අනෙක් අතෙහි දරුණු වේදනාකාරී තුවාලයක් ඇති මිනිසෙකුට මෙවන් අභියෝගයක් ජයගත හැකිද ? ඇරන් රාල්ස්ටන් යනු අධිෂ්ඨානයේ හා ආත්ම ශක්තියේ ප්‍රතිමූර්තියකි. දින හයක් නිසි අහරක්, නිසි නින්දක් නොමැති මිනිසෙක්, දින තුනක් පුරාවට වතුර බිඳක්වත් තොල නොගෑවුණ මිනිසෙක්, සිය දකුණත තමන් විසින්ම කපාගැනීම නිසා ඉතා වේදනාකාරී තුවාලයක් සමඟ අධික රුධිර වහනය සහිත මිනිසෙක්, එම නිසාම එක් අතකින් පමණක් වැඩකළ හැකි මිනිසෙක් අඩි හැට පහකට අධික උසක් කඹයක ආධාරයෙන් බැසීම විග්‍රහ කළ හැක්කේ කෙසේද ! ඔබ එය කෙසේ විග්‍ර කළද සත්‍යය නම් ඔහු විසින් එය සිදු කළ බවයි. බ්ලූ ජෝන් දොරුව, අධිෂ්ඨානශීලි, දැඩි ආත්ම ශක්තියෙන් යුතු මිනිසෙකු ඉදිරියේ මෙසේ පරාදවී තිබිණි.

XXXXXXX

බිමට බට වහාම ඒ ආසන්නයේ වූ අපිරිසිදු වතුර පිරුණ වළකින් කුස පිරෙන තෙක් ජලය පානය කළ ඇරන්, සිය බෝතලයටද පුරවාගෙන එතනින් නික්මුණි. තවමත් ඔහු වෙත වූ අනතුර ඉවතව ගොස් නොමැත. මෙතැන් සිට ඔහු විසින් සිය වාහනය වෙත අඩුම තරමින් සැතපුම් හතක්වත් ඝන හිරුරැස් මධ්‍යයේ ගමන් කළ යුතුව තිඹුණි. නොනවත්වා රුධිරය වහනය වන, දින ගණනාවක් අහර හෝ නින්ද නොලබා ඇති මිනිසෙකුට මෙය දැරීමට අපහසු තත්ත්වයකි.මේ අතර ප්‍රදේශයේ ආරක්ෂක බලධාරීන් දිනගණනාවක් එක තැන නවතා තිබූ ඇරන්ගේ වාහනය නිරීක්ෂණය කොට ගවේෂණයෙහි යෙදුණු කවුරුන්හෝ අනතුරකට පත්ව ඇතැයි සැකකොට සෙවීම් කටයුතු අරඹා තිබුණි. ඔවුනට හෙලිකොප්ටර් යානයක සහයෝගයද ලැබුණි.

ඉතා අමාරුවෙන් සැලකිය යුතු දුරක් ගමන් කළ ඇරන් හදිසියේම තමන්ට ඉදිරියෙන් තිදෙනෙකු ගමන් කරනු නිරීක්ෂණය කළේය. ඇරන් විසින් උදව් ඉල්ලා කළ කෑගැසීම ඔවුන් තිදෙනාව ඔහු වෙත රැගෙන අවේය. ඒ, එම ප්‍රදේශයේ සංචාරයට පැමිණි ඕලන්ද පවුලකි. ඇරන් හට වහාම ඔවුන්ගේ වතුර බීමට ලැබුණු අතර මවත්, පුත්‍රයාත් උදව් ඉල්ලා ඉදිරියට දිව යන විට පියා ඇරන්ට සහය වෙමින් ගමන් කළේය. දිගටම සිදුවූ රුධිර වහනය නිසා දුර්වලව සිටි තමා හට එම අධික උෂ්ණත්වය යටතේ තවදුරටත් ඉදිරියට යාමට නොහැකිවෙතැයි සිතුණු එම නිමේෂයේම ඔවුනට හෙලිකොප්ටරයක හඬක් ශ්‍රවණය වූහ. ඒ ඇරන් රාල්ස්ටන්ගේ නිදහසේ නාදයයි.

XXXXXXX

ඇරන්ගේ නැවත පැමිණීමෙන් දින කිහිපයකට පසු බලධාරින් විසින් පාෂාණයට සිරව තිබූ ඔහුගේ හස්තයෙහි කොටස ඉවත් කර ගන්නා ලදී. ඒ සඳහා මිනිසුන් 13දෙනෙකු හා තවත් ලීවර කිහිපයක් කිහිපයක් අවැසි විය. පිළිස්සු අත් කොටසෙහි අළු ඇරන් රාල්ස්ටන් වෙත ලබා දුන් අතර අනතුරින් මාස හයකට පසු එනම් සිය උපන්දිනය දා NBC මාධ්‍යවේදීන් හා නැවත එම ස්ථානයට කළ සංචාරයේදී ඇරන් විසින් එම අළු පාෂාණය මතට ඉසින ලදී. ඔහුට අනුව එයට හිමි ස්ථානය එයයි.

අනතුරින් ටික කලකට පසු ඇරන් රාල්ස්ටන් විසින් නැවතත් සිය සුපුරුදු ගවේෂණයන්හී යෙදුණු අතර 2005දී සිය සිහිනය වූ "ෆෝර්ටීනර්ස්" කඳු මුදුන් සියල්ල ජයගැනීමටද සමත් විය.

නතර කළ නොහැකි ඇරන් රාල්ස්ටන් 
උපුටා ගැනීම :  http://www.movie-nerd.com/showthread.php?20694-Desperate-Days-In-Blue-John-Canyon-(2005)


පසු සටහන් :

1. ඇරන් රාල්ස්ටන්ගේ කතාව කියවූ පසු ඒක්ෂණයෙන් මනසේ ඇඳී ගියේ කුඩා කළ අසා තිබූ කතාවකි. පොළඟෙකු දෂ්ට කිරීමෙන් අනතුරුව වහාම සිය ඇඟිල්ල කපා දැමූ, සිය මිතුරකුගේ පියෙකු පිළිබඳව මින් බොහෝ කලකට පෙර අයියාගෙන් අසා තිබුණි. එයට අඩු වැඩිය දමා නිට්ටළුවන් සොයා අප සිදුකළ බදුලු චාරිකාවට එකතු කිරීමේ ප්‍රතිඵලය "පොළඟා පරාදයි" වේ. එහි සඳහන් සෙන්නා යන නාමය, ගාමිණී නම් වූ චරිතය හා ඔහු කළ වීර ක්‍රියාව, මුළුතැන්ගෙහි ජවනිකාව සම්පූර්ණයෙන්ම මනඃකල්පිත වේ.

මූලාශ්‍ර:
1. Desperate days in Blue John Canyon ( 06 Videos ) - NBC Documentary
2. 127 hours - A film based on the Aron Ralston's story - Directed by Danny Boyle.
3. http://en.wikipedia.org/wiki/Aron_Ralston
4. http://en.wikipedia.org/wiki/Blue_John_Canyon

සැකසුම :
~~සෙන්නා / 15.08.2013
http://kurundha.blogspot.com/2013/08/Aron-Ralston.html

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog