Friday, July 27, 2012

සැවුලෙකුගේ විලාපය

2012 ඇසල මස 27 වනදා



යාන්තම් ඇහැ පියවීගන ආවා විතරයි, එතකොටම වගේ ඇහැරුණා වගේ තමා මතක. ඒ ඉතින් අපේ හැටිනෙ. තාම හොඳටම කළුවරයි. එළිය බැලුවට එච්චරම පැහැදිලිත් නෑ. මම වාඩි වෙලා හිටපු පටිය දිගේ බිත්තිය අයිනට ගියේ යාන්තම් හරි එළියක් පේනවද බලන්ඩ. මොන ! පට්ට කළුවරයි. අල්ලපු ගෙදර කුකුල් රාජයනම් අඬලන සද්දෙ ඇහුණා. ඒ කියන්නෙ තව සෑහෙන වෙලාවක් මෙහෙම ලැගගන ඉන්ඩ ඕනා කියන එකයි. මට එපාම කරපු දෙයක් තමයි ඇහැරුණාට පස්සෙ මේක ඇතුළට වෙලා ඉන්න එක. ඒත් කොහොමද එළියට යන්නෙ. එකක් දොර අගුල දාලා. ඒ නැතත් බෝධිසත්වයගෙන් කිසිම අවසරයක් නෑ මේ කළුවර ජාමේ එළියට බහින්ඩ.

මට ඉතින් මෙහෙම ඉන්නකොට නා නා ප්‍රකාර දේවල් ඔළුවට එනවා. ආයෙත් අර කුකුළා අඬලනවා. එයාල ඉන්නෙ හරි උඩින්. ඒක නිසා කෑ ගහන සද්දෙ වටේටම හොඳටම ඇහෙනවා. ඒ ගොල්ලන්ගේ කූඩුව හරි අමුතුයි. ඒක තියෙන්නෙ ගහක අත්තක එල්ලලා. ඒ ගෙදර මිනිස්සු හැමදාම හවසට ඒකට ඉණිමගක් හේත්තු කරනවා. එතකොට කුකුල්ලු ටික ඒ ඉණිමග දිගේ නැගලා තමා කූඩුවට යන්නෙ. මම බලන් ඉඳලා තියනවනෙ ඒ ගොල්ලො නගින හැටි. එක එකා සැරින් සැරේ ඒ ගොල්ලන්ට ඕනා වෙලාවට තමා ඇවිත් නගින්නෙ. එක පඩියක් නගිනවා, ආයෙ ටිකක් ඉන්නවා, ඔන්න ඔහොම තමා නැගිල්ල. කොහොමින් කොහොම හරි ගොම්මන් කළුවර වැටෙනකොට ඔක්කොමල්ලා ටික ඉණිමග නැගලා කූඩුවට යනවා. ඒ ගොල්ලො ඒකට පුරුදු වෙලා. ඊට පස්සෙ ඒ ගෙදර මිනිස්සු ඉණිමග අයින් කරනවා. උදේට ඒ ගොල්ලො පියාබලා පහළට එනවා. මාත් දවසක ගිහින් බලන්ඩ ඕනා ඕකට. ඒ කූඩුවෙ ලගින රත්තා අයියානම් කියන්නෙ ඒ ගොල්ලන්ගෙ ආරක්ෂාවටලු ඒක එහෙම හදලා තියෙන්නෙ. කලවැද්දන්ගෙන් එහෙම බේර ගන්ඩ. ඒ කථාවත් ඇත්ත එක අතකින් බලපුවම. එල්ලලා තියන කම්බිය දිගේ බඩගාගන ආවොත් මිසක් කාටවත් ඒකට ළංවෙන්න ලේසි නෑ. කාටද ඔය කම්බි දිගේ බඩ ගාන්ඩ පුළුවන්.

අපිටනම් එච්චර ආරක්ෂාවක් නෑ තමා. මේක නිකම්ම නිකන් ගල් වලින් බැඳපු කූඩුවක්. ඒකත් බිම ඉඳන් අඩි තුනක් විතර. ඊට පස්සෙ වටේටම පුවක් ලී වගේ පටි ජාතියක් ගහලා තියෙන්නෙ. අපේ කට්ටිය නම් තාම හොඳටම නිදි වගේ. එතකොට මට විතරද මේ නින්ද නොයන්නෙ ? නැත්තම් ඒ ගොල්ලොත් නිදි වගේ ඉන්නවද ?

අපි ඔක්කොම අට දෙනෙක් මේ කූඩුව ඇතුළෙ හිටියා. ගෑනු පිරිමි කලවමේ. වැඩියෙන් හිටියෙ පිරිමි තමා. කුකුළො හයයි, කිකිළියො දෙන්නයි. අපි හය දෙනාම ලැගලා හිටියේ කූඩුව හරහා අඩි දෙකක් විතර උඩින් හයි කරලා තිබුණ පටි උඩ. අපිට වෙන් වෙච්ච ස්ථාන තිබුණා ඒ පටි වල. කිසිම හේතුවක් නිසා කවදාවත් ඒවා මාරු වුණේ නෑ. කවදාවත් අනිකගෙ තැන ගන්ඩ අපි පොරකෑවෙත් නෑ. කිකිළියො දෙන්න නම් හිටියෙ බිම ලැගලා. දහයියා ගොඩේ. ඒවයෙ ටිකක් යටට පොඩි වළක් හාරගන ඒක ඇතුලෙ තමා උන් ළගින්නෙ. එහෙම ඉන්නකොට පොඩි උණුසුමක් දැනෙනවා.

අපේ කාණ්ඩෙ නායකයා තමා "බෝධිසත්ත්වයා". ඌ බොහොම ආඩම්බරකාර, හොඳට උස මහතට හැදුණ කුකුල් නාම්බෙක්. අපි ඔකොම ගරු කළේ උගෙ ඇඟේ ප්‍රමාණෙට නෙමේ. උගෙ තියන බෝසත් ගති වලට. ඌ අපි හැමෝටම හොඳ නායකයෙක්. අපි හැමෝ ගැනම හොඳට හොයලා බැලුවා. හොඳ මොකක්ද නරක මොකක්ද කියන එක ගැන ඌට හොඳ අවබෝධයක් තිබුණා. අපි අතර වෙන පොඩි පොඩි සණ්ඩු සරුවල් වුණත් ඌ මැදිහත් වෙලා තමා විසදෙන්නෙ. දවසක් රාජාලියයි මමයි අතර කඳන් පණුවෙකුට ඇතිවුණ පොරය බේරුවෙත් බෝධිසත්ත්වයා තමා. අපිට මේ ඔක්කොම නම් දාලා තියෙන්නෙ මේ ගෙදර ඉන්න ළමයි. ඒ ගොල්ලො ගැන පස්සෙ කියන්නම්. බෝධිසත්ත්වයට ඒ නම් දාන්න ඒ ගොල්ලොත් මේ මම දකින විශේෂ ලක්ෂණ දකින්න ඇති කියලා මට හිතෙනවා. බෝධිසත්ත්වයා තනිකරම සුදුම සුදු කුකුළෙක්. කරමල විතරක් රතු පාටින් කැපිලා පේනවා.

ඊ ළඟට "රාජාලියා". අපේ රැහේ කේන්ති කාරයා. බෝධිසත්ත්වයා ඇරෙන්න අපි හැමෝම ඌට බයයි. ඌට මහ දරුණු පොර කටු දෙකක් තිබුණා. අපිව බය වුණේ ඒ පොර කටු වලට තමයි. ඌ හරි හයිරන් කාරයා. හැමතිස්සෙම අනුන්ගෙ දේවල් බලෙන් උදුර ගන්ඩ තමා මාන බැළුවෙ. පොර කටු දෙකේ හයිය නිසාද මංදා හැම තිස්සෙම වලියකටම තමා අරාදින්නෙ. මමත් හුගක් වෙලාවට ඌට තැන දීලා මගෑරල යනවා. ඒ අර පොර කටු දෙකෙන් පාරක් කන්ඩ අමාරු නිසා. ඒත් හැම වෙලාවෙම ඉවසන්ඩත් බෑනෙ. එහෙම ඇතිවෙච්ච සණ්ඩුවක් තමා එදා බෝධිසත්ත්වයා මැදිහත් වෙලා බේරුවෙ. මූ කෙට්ටු උස කුකුල් නාම්බෙක්. රතට හුරු දුබුරු පාටක් තමා මූට තිබුණෙ. නිකන් රාජාලියෙක්ගෙ පාටට හුරු පාටක්. පෙනුමත් ටිකක් ඒ වගේ. ඒක නිසා වෙන්ඩ ඇති ඌට ඒ නම හම්බෙන්ඩත් ඇත්තෙ.

ඊට පස්සෙ ඉන්නෙ අපේ "ජොකොල". ඌ නම් පොඩි කාලෙම වෙච්ච මොකක්ද අනතුරකින් එක කකුලක කොරයක් තියන එකෙක්. දුබුරු පාට හොඳ පුෂ්ටිමත්ව හැදුණ කුකුල් නාම්බෙක්. හබැයි අහින්සකයා. ඒ ආබාධිත හින්දමත් නෙමේ. ඒ උගේ හැටි. 

ඊළඟට මම ගැන කියන්නම්කො. මට මේ ගෙදර ළමයි දීලා තියන නම තමා "සුද්දා". මම බෝධිසත්ත්වයා තරම්ම සුදු නොවුණත් සැහෙන සුදක් තිබුණ කුකුළෙක්. ඒත් බෝධිසත්ත්වයට සුද්දා නොකියා මට සුද්දා කිව්වෙ, බෝධිසත්ත්වයට, බෝධිසත්ත්වයා කියන නම හොඳටම ගැලපෙන නිසා වෙන්න ඇති. 


ඊළඟට "පොඩි එකා". ඌ ශරීර ප්‍රමාණයෙන්ම පොඩියි. ඒක නිසා වෙන්ඩ ඇති ඒ නම දාන්ඩ ඇත්තෙ. කළුපාට ඇඟේ සුදු පාට වෛරම් වැටිච්ච කුකුළෙක් ඌ. ඌට නාම්බෙක් කියන්ඩ නම් බෑ. එච්චරට පොඩියි.

අන්තිමට ඉන්නෙ " අන්තිමයා ". ඌට ඇයි අන්තිමයා කියන්නෙ කියලා මම දන්නෑ. ඌත් බොහෝ දුරට මම වගේ.. පාටනම් මට ප්‍රතිවිරුද්ධයි. කළු පාට. ඌට "කල්ලා" නොකියා අන්තිමයා කිව්වෙ ඇයි කියලා ඉතින් මේ ගෙදර ළමයින්ගෙන්මයි අහන්ඩ ඕනා.

ඊට පස්සෙ ඉන්නෙ අපේ නෑම්බියො දෙන්නා. උන් දෙන්නා ගැන කියන්ඩ ඉතින් විශේෂ දෙයක් නෑ. අපි හැමෝගෙම ආදරය කරුණාව උන් දෙන්නට යහමින් හම්බුනා. ඉඳලා හිටලා අල්ලපු ගෙදර රත්තයි, අනික් නාම්බයිත් උන්ට ආදරය කරන්ඩ එනවා මම දැකලා තියනවා. කුකුල්ලු වෙච්ච අපිට ඕවා ඉතින් මහ ලොකු දේවල් නෙමේ. බෝධිසත්ත්වයගෙන් උණත් ඒවට විරෝධයක් තිබුණෙ නෑ. ඒ උන්දැට ලෝකස්වභාවය ගැන හොඳ වැටහීමක් තියන නිසා වෙන්ඩ ඇති. අපේ නෑම්බියො දෙන්නා දාන බිත්තර නම් මේ ගෙදර අය ඔක්කොම එකතු කරගන්නවා. මුන් දෙන්නත් ආ මෙන්න ඇවිත් අර ගනිල්ලා කියනැහැ බිත්තරේ දාලා කෑ ගහනවනෙ. ගෙදර අයත් පොඩි වී අහුරක පගාවක් දීලා බිත්තරේ අරගන යනවා.

කුක්කු කූක් කූක්......

ඒ බෝධිසත්ත්වයගේ නාදය. මමත් අඩලන්න කිහිප වරක් උත්සහ කළාට තාම මට ඒක හරියට බෑ. රාජාලියත් ඉඳලා හිටලා අඬලනවා අහලා තියනවා. දැන් ඉතින් බෝධිසත්ත්වයි, එහා ගෙදර නාම්බයි තරගෙට අඩලන එක සාමාන්‍යය දෙයක් අපිට.

අපේ කූඩුවට යාබදව ඉස්සරහින් තියෙන්නෙ අර මම කලින් කියපු ළමයි ඉන්න ගෙදර. බෝධිසත්ත්වයා අඬලලා ටික වෙලාවකින් ඒ ගෙදර එළි පත්තුවෙන්ඩ ගන්නවා. ඕක තමා සාමාන්‍යයෙන් හැමදාම වෙන සුපුරුදු චර්යාව. මේ ගෙදර මිනිස්සු උදෙන්ම ඇහෙරෙන අය. ගෙදර හැමෝමත් නෙමේ. ගෙදර ළමයි "අම්මා" කියලා කතා කරන ගෑනු කෙනා අනිවාර්යයෙන් බෝධිසත්ත්වයා කෑගහලා ටිකකින් නැගිටිනවා. ඒ ඇරුණම ලොකු පිරිමි ළමයි දෙන්නම හෝ එක්කෙන් නැගිටලා ඉන්නවත් පේන්ඩ හම්බෙනවා. වටේ පිටේ අනිත් ගෙවල්වල ඔක්කොම අය ඊට ගොඩක් පස්සෙ තමා අවදිවෙන්නෙ.


දැන්නම් හොඳටම එළිය වැටිලා. ඒත් අපේ කූඩුව තාම වහලා. මට ඔය තරම් කේන්ති එන වැඩක් තවත් නෑ. මෙච්චර එළි වෙලත් අපිව මේ කූඩුවෙ හිර කරන් ඉන්න එක කොච්චර අසාධාරණද ? ඒකට අල්ලපු ගෙදර රත්තලා. උදෙන්ම පහළට පියාබලා එනවා. එහෙව් නිදහසක් !

ටිකකින් අපේ කූඩුව ඇරියේ මේ ගෙදර ලොකු ගෑනු ළමයා. කූඩුව රපු ගමන් උන්දැ දුවලා ගිහින් ළඟ තියන බිත්ති කණ්ඩියට නැග ගන්නවා. මොකද අපි ගාල කඩා ගත්තු හරක් වගේ එක රොත්තට එළියට පැනලා දුවගෙන එන එකට ඒ ළමය බයයිද කොහෙද. රැයක් තිස්සෙ හිරවෙලා ඉඳලා ඇඟේ හිරි ඇරගන්ඩත් එක්ක අපි වේගෙන් වත්ත පල්ලැහට දුවගන ගියා. බෝධිසත්ත්වයා, රාජාලියා එහෙම නම් ටිකාක් දුර පියාබගනත් ගියා. 

අපේ කූඩුව තිබුණ, මේ වත්තෙ ඉස්සරහාම තිබුණෙ මම අර කලින් කියපු ගෙදර. ඊට පස්සෙන් අපේ කූඩුව තිබුණා. වත්තෙ මැද්දට වෙන්ඩ තවත් ගල්වලින් බැඳපු කාමරයක් වගේ එකක් තිබුණා. ඒ ගොල්ලො නම් ඒකට කිව්වෙ " කක්කුස්සිය " කියලා. ඔතනින් එහාට මේ වත්තෙ සෑහෙන විශාල ගස් වලින් ආවරණය වෙලා තිබුණෙ. කොස්, පොල්, දෙල්, කිතුල්, මිල්ල, කෝපි ආදී නනාප්‍රකාර ගස් වලින් වත්ත පිටි පස්ස හෙවන වෙලා තිබුණෙ. අපි කූඩුව ඇරපු ගමන් දුවගන එන්නෙ මේ පිටිපස්සට තමා. එහෙ හොයාගන්ඩ කෑම ඕන තරම්. පොඩ්ඩක් බිම පහුරු ගාපුවම පණුවෙක්, වේයෙක්, කැරපොත්තෙක් හොයාගන්න එක මහ අමාරු දෙයක් උණේ නෑ. රත්තලා හිටපු වත්තත් මේ අපේ එක වගේමයි. ඉස්සරහා ගෙදර, පිටිපස්සෙ වදුල. එතකොට අනිත් පැත්තෙන් තිබුණ වත්තත් එහෙමයි. අපි බඩගෝස්තරය හොයගන යන රාජධානිය වෙලාතිබුනෙ ඔය වතු තුන එකතු වෙච්ච ප්‍රදේශය තමා. ඔය වතු තුනටම පිටිපස්සෙන් ගලාගන ගිය පුංචි දිය අගලක් තිබුණා. අපි වතුර තිබහක් එහෙම ආවොත් ඕකෙන් තමා පිරිමහ ගන්නෙ. ඔය අගලට එහායින් තිබුණෙ මහා කැලයක්. ඒකෙ එක එක ජාතියෙ විශාල ගස් තිබුණා. ගෙදර අය නම් ඒකට කිව්වෙ "කුරුන්ද" කියලා. බෝධිසත්ත්වයා අපිට එහෙට යන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබුණේ. ඒ කුරුන්දෙ අගල් කණ්ඩිය උඩ ඉඳන් නරි කෑ ගහනවා ඇහිච්ච රාත්‍රියේ ඉඳලා. එහෙ නොගියට අපිට මේ වතු තුනේ කෑම ජාති එමටයි. අපි හිටපු වත්තෙ පිටිම පස්සට වෙන්න හරි අපූරු ළිඳක් තිබුණා. මේ මිනිස්සු ඒක පාවිච්චි කළේ වතුර ඇදලා ඇඟේ හලා ගන්ඩ. මට හිතාගන්ඩ බෑ මිනිස්සු ඇයි වතුර අරන් ඇඟේ හලා ගන්නෙ කියලා. දූවිලි ටිකක් ඇඟේ තවරගත්තම ලැබෙන සනීපෙ ලබෙනවද ඒකෙන් ! මෝඩ මිසිස්සු. ඒ ළිඳේ වැහි කාලෙට කට ගාවට වතුර පිරිලා. මේ ගෙදර අය අතින් වතුර ඇදලා තමා ඇඟේ හලා ගත්තෙ. පායන කාලෙට වතුර ටිකක් අඩු වෙනවා. එතකොට ඒ ගොල්ලන්ට කොට කඹ කෑල්ලක් ඕනා වෙනවා. එච්චරයි. ඔය ඇඟේ හලා ගන්න වතුර ඔක්කොම පොඩි කාණුවක් දිගේ යන්නෙ අර මම කලින් කියපු අගලට. ඔන්න ඔය කාණුව අපිට කෑම උල්පතක්. ඔතන පොඩ්ඩක් පහුරු ගාපුවම පණුවො රොත්තක් හොයා ගත්තෑකි.

බා බා බා බා ......

ඔය හඬ ඇහෙන්නෙ අපි කෑම හොයන්ඩ පිටිපස්සට ඇවිල්ලා ටික වෙලාවක් ගියාට පස්සෙ. ඉර මුදුන් වෙන්ඩ ටික වෙලාවක කලින්. ඔය සද්දෙ මොකක්ද කියන්ඩ අපි පුරුද්දෙන්ම දන්නවා. ඒ කතා කරන්නෙ අපිට කෑම දෙන්ඩ. අපිට මෙහෙ කොච්චර කෑම වලින් හිඟයක් නොතිබුණත්, නිකන් හම්බෙන ඒ කෑම ටික කන්ඩ අපි ඔක්කොමලා දුවගන යනවා. ඒ ගියාම ඒ ගෙදර මිනිස්සු බතුයි, පොල්කුඩුයි, පුන්නකුයි අනපු කෑම අහුරු අහුරු අපි ඉන්න දිහාට විසි කරනවා. අපි ඉතින් වටවෙලා ඕවා අහුලගන කනවා. ඉඳලා හිටලා පොඩි පොඩි ආරවුළුත් ඇති වෙනවා කෑම බෙදාගන්ඩ ගිහින්. ඒව ඔක්කොම ඉතින් බෝධිසත්ත්වයගෙ එක කෙටීමකින් ඉවර වෙනවා. ඔය ටික කෑවට පස්සෙ ආයෙත් සුපුරුදු රාජකාරියට යනවා. පොළව පහුරු ගගා කෑම සොයා යාම. ඇති වුණාම හොඳට දූවිලි ඉතියන තැනක් බලල හොඳට පෙරළි පෙරළි දූවිලි ටිකක් නා ගන්නවා. ඔය අතරෙ නෑම්බියන් පස්සෙන් පැන්නීමත් සිද්ධ වෙනවා. ඒකට ඉතින් අපේ නෑම්බියො දෙන්නයි, අල්ලපු ගෙදර රත්තලාගෙ කූඩුවෙ හිටපු නෑම්බියො ටිකයි හිටියා. ඔහොම ඉතින් දවස ගෙවාදාලා ඉර අවරට යන ගොම්මනේ අපි හිමීට කූඩුවට ගාටනවා. ගෙදර අයත් ඒ ගැන දන්න නිසාද කොහෙද කූඩුවෙ දොර ඇරලා තමා තියෙන්නෙ. ඕක තමා අපේ දින චර්යාව. ඇත්තටම මම නම් හරිම තෘප්තිමත් මේ ජීවිතය ගැන. ලෝකෙ කොච්චර ලස්සන තැනක්ද ! 

~~~~~

අද නම් මට ඇහැරුණේ එහා ගෙදර නාම්බගේ ඇඬලිල්ලට. මමත් තටු දෙකම එහම ගහලා පොඩ්ඩක් අඬලන්ඩ උත්සහා කළා, මොන ! තව ටිකක් කල් ඕනා වගේ.

පුරුදු විදිහටම ටිකකින් බෝධිසත්ත්වයා ඇඬලුවා. ඊට ටිකකට පස්සෙ ඉස්සරහා ගෙදර එළි පත්තු වුණා. මට එක අතකින් හරි ප්‍රශ්නයක් ඇයි මේ ගෙදර මිනිස්සු විතරක් උදෙන්ම නැගිටින්නෙ කියලා. අහල පහළ අනිත් ගෙවල්වල ඔක්කොමල්ලා හොඳටම නිදි. වෙන එකක් තියා අපේ සමහර ඇයෝත් හොඳ නින්දේ.

මේ ගෙදර හිටිය පිරිමි මනුස්සයා, අර ළමයි " තාත්තා" කියපු මනුස්සයා, ගෙදර හැමෝටම වඩා උස, උසට සරිලන මහත මනුස්සයෙක්. මට හිතුණ හැටියට නම් ඒ මනුස්සයා හොඳ කෙනෙක්. අපිට නම් අබමල් රේණුවක් තරම් වත් හිරි හැරයක් තිබුණෙ නෑ. හුගක් වෙලාවට උදෙන්ම නැගිටලා රෝද දෙකක් උඩ යකඩ පටි හයිකරපු වාහනයක නැගලා යනවා. ආයෙ එන්නෙ හවසට. ගෙදර ඉන්න දවසට නම් වත්තෙ පිටියෙ මොකක් හරි වැඩක් කරනවා. හුඟක් වෙලාවට මොනවද හප හප රතු පාටට කෙළ ගහනවා. හැබැයි උදේ ඉන්න මනුස්සයා නෙමේ හවසට ඉන්නෙ. උදේට කනට ඇහෙන්ඩ කතා නොකරන මනුස්සයා හවසට හරියට කියවනවා. ඒත් සද්දෙන් කතා කරනවනම් කවදවත්ම ඇහිලා නෑ.

ගෙදර ගැනු මනුස්සයත් හරි උත්සහවන්තී. මම හිතන්නෙ ඔය උදෙන්ම නැගිටින්නෙත් ඒ වගේ මොකක් හරි දේකට තමා. කොයි වෙලේ බැලුවත් මොකක් හරි වැඩක තමා ඉන්නෙ. නිතරෝම ලොකු ඉඳිකටුවක් වගේ එකක් අතේ තියන් ලොකු කඹ වගේ ජාතියක් එකට මහමින් ඉන්නවා මම දැකලා තියනවා, ඉඳල හිටලා ඔය ගේ අතුලට ගිය දවස් වලට. මේ ගෙදර ළමයි ඔය කඹ වගේ ජාතිය ගොතනවා මම දැකලා තියනවා. සමහර වෙලාවට රත්තලෑ ගෙදර හිටපු පිරිමි ළමයෙකුත් ඒකට හවුල් වුණා. ඒ ගොල්ලො ඔය වැඩේ කරනකොට මමත් ඉතින් ඔය අහල පහළ දැවටි දැවටි කෑම හොයනකොට හුණ කතා වලින් තේරුණේ මේවා ගොතනවට ඒ ගොල්ලන්ට අර "අම්මා" කියන ගැහැණු මනුස්සයා පොඩි ගාණක් ගෙවනවා. ඒ ගොල්ලො ඒවයෙන් ඉස්සරහට එන මොකක්ද උත්සවයකදි රතිඤ්ඤාද මොනවද ගන්ඩ තමා කතාව. 

ඊට පස්සෙ ළමයි පස් දෙනා. මම කලින්, සැරින් සැරේ කීවෙ ඒ ගොල්ලො ගැන තමයි. අපිට දාලා තියන නම් ඔක්කොම ඒගොල්ලන්ගෙ නිර්මාණ. ලොකුම එක්කෙනා පිරිමි ළමයෙක්. මිනිහත් හරි ධෛර්යයවන්තයා. හුඟක් වෙලාවට උදෙන්ම නැගිටලා අම්මා කරන මොකක් හරි දේකට එයත් උදව්වෙනවා කියලා තමා මට හිතුණේ.

දෙවෙනියත් පිරිමි ළමයෙක්. මිනිහා ටිකක් අපේ රාජාලියා වගේ. හැමතිස්සෙම මොකක් හරි රණ්ඩුවක පැටලෙන්ඩ තමා බලන්නෙ. එයාට බාල අය නිතරම එයාගෙ අඩන් තේට්ටම් වලට යට වුණා කියලා තමා මට හිතුණේ. " අම්මෙ පොඩි අයියා ගැහුවා " කියන ආඩපාලිය නිතරම වගේ අහන්ඩ ලැබුණා. මිනිහට තව කාලෙන් කාලෙට එක එක පිස්සු තියනවා. කාලයක් පුවක් පටියකට ලණුවක් ගැට ගහලා ඒක මැද්දෙන් තවත් කෝටු කෑල්ලක් තියලා දකින දකින් ඒවට විද විද හිටියා. හුඟක් වෙලාවට අහිංසක කෙහෙල් ගස් තමා ඒවට වන්දි ගෙව්වෙ. කාලයක් වල් කපලා ඒවා උඩින් වහලා ඒවට අනිත් අයව වට්ටන්ඩ හැදුවා. ඒවට වැටුණ කෙනෙක් නෑ.. අඩුම ගානේ පූසෙක්වත් නෑ. බැරිම තැන මිනිහම ගිහින් ඒවට පනිනවා. මිනිහා වෙලාවකට හරිම හොඳයි, අපිවත් අල්ලගන තටු අතගගා හුරතල් කරනවා. වෙලාවකට යකා වගේ අතේ තියන එකෙන් දමලා ගහනවා. හරිම භායානකයි.

තුන්වෙනියා ගෑනු දැරිවියක්. අර ඊයෙ ඇවිත් දොර ඇරියෙ එයා තමා. එයා අර දෙවෙනියට වැඩිය ටිකක් බාල ඇති ඕන නම්. මෙයා එක්ක තමයි අර මනුස්සයා නිතරම රණ්ඩු ඇල්ලුවෙ. එයත් කියන්ඩ තරම් වරදක් තිබුණේ නෑ. අපිටත් වරදක් නෑ. හැබැයි අපි ගේ අතුලෙ ඉන්නවා දැක්කොත් නම් එලෝලා දානවා. අපි බෙටි දානවා කියලා එන්ඩ දෙන්නෑ.

තව හිටියා පිරිමි ළමයෙකුයි, චුටි ගෑනු දරුවෙකුයි. ඒ දෙන්න නම් බොහොම පොඩියි.

ඊට අමතරව හිටියා වයසක ගෑනු කෙනෙක්. වයසෙ හැටියට උන්දෑ බොහොම නිරෝගියි. ගෙදර අනිත් අයට උන්දැගෙන් ලැබුණ සහය අපමණයි. මේ ගෑනු කෙනා අර මම කලින් කීව අගලෙ පොල් ලෙලි පොගවලා ඒවයෙ කොහු අරගන ලණු විව්වා.

ඔයිට අමතරව තව පිරිමි මනුස්සයො දෙන්නෙක් හිටියා. ඒ ගෙදර ළමයි ඒ ගොල්ලන්ට කතා කළේ "ලොකු අංකල් " සහ "පොඩි අංකල්" කියලා.

ඔය ගෙදර තව එක්කෙනෙක් හිටියා. එයා නිකන් ගෙදර අයිතිකාරයා වගේ තමා හිටියේ. ඒ තමයි බලු තඩියා. මූ එච්චර උසත් නැති, දුඹුරු පාට බලු තඩියෙක්. රට බල්ලෙක් එහෙම නෙමේ වල්ම වල් බල්ලෙක්. හැබැයි මූ මහ ආඩම්බර කාර බල්ලෙක්. මම කවදාවත් අහලා නෑ මේ බල්ලා බුරනවා. මම හිතන්නෙ උගෙ අම්මට අමතක වෙලාද කොහෙද ඌට ඒක උගන්වන්ඩ. හැබැයි වටේ පිටේ මිනිස්සුයි, බල්ලොයි ඔක්කොම මූට බයයි. දෙතුන් දෙනෙක්වම පලු යන්ඩ කාලා තිබුණා. ඒ කිසිම සද්දයක් නැතුව හොරෙන්ම පිටි පස්සෙන් ගිහින්. එයාගේ ප්‍රහාරය ඒක තමා. ඌට ගෙදර ඕනැම තැනක ඉන්ඩ ගෙදර අය අවසර දීලා තිබුණේ. අපි පොඩ්ඩකට ගෙට ගොඩ වුණොත් ශෝ ශෝ ගාලා අපිව එළවන මිනිස්සු බලන්ඩ ඕනා අර බල්ලට දීලා තිබුණ නිදහස. ඌ ඉන්නෙ ගෙදර සාලෙ මැද්දෙම තිබුණ ලොකු පුටුව උඩ. අත් දෙක ඉස්සරහට දික්කරගන, කකුල් දෙක පස්සට දික් කරගන. ගෙදර කවුරුවත් නෙමේ ඌට කටක් ඇරලා පලයන් කිව්වෙ. උගේ නම " බුමට්". වෙන බල්ලො වගේ නෙමේ මුගෙන් අපිටත් කිසි කරදරයක් තිබුණෙ නෑ. කවදාවත් විහිලුවටවත් අපේ පස්සෙ පන්නලා නෑ. මූ මහ අමුතු බල්ලෙක්. 

~~~~~

කාලය ඉතින් ඔහොම ගෙවිලා ගියා. අපේ දින චර්යාවෙත් කිසිම වෙනසක් තිබුණෙ නෑ. අපේ පුංචි ලෝකය සතුටින් පිරිලා තිබුණෙ.

පළවෙනි කම්පනය, බිය, ත්‍රාසය දැනුණ දවස මට අද වගේ මතකයි. රාජාලිය එදා තමා මුල්ම වරට බෝධිසත්ත්වයා එක්ක රණ්ඩු කළේ. ඒ රාජාලියා බෝධිසත්ත්වයත් එක්ක කරපු පළමු සහ එකම රණ්ඩුව. රණ්ඩුවට හේතුව රාජාලියාට කුරුන්දට යන්ඩ උවමනා වීම. එහෙ රස කෑම ජාති තියන බව තමා රාජාලියාගේ මතය වුණේ. කොහොම හරි රණ්ඩුවෙන් පස්සෙ බෝධිසත්ත්වයා තීරණය කළා ඔහුට යන්ඩ දෙන්න. ඒ ගියා ගියාමයි එදායින් පස්සෙ අපිට රාජාලියව දකින්ඩ හම්බුනේ නෑ. ගෙදර අය නම් කිව්වෙ එක්කෝ නරියෙකුට අහුවෙන්ඩ ඇති නැත්නම් කවුරුහරි මිනිහෙක් අල්ලගන්ඩ ඇති කියලා. කොහොම හරි එදා අපිට රාජාලියාව නැතිවුණා. අපි කොච්චර උගේ වැඩ වලට අකමැති වුණත් ඌ නැති වෙච්ච එක ගැන අපි හැමෝම කම්පා උණා. රාජාලියා නැතුව ගෙවපු ඒ පළවෙනි රාත්‍රිය මහ මූසල රාත්‍රියක්. මිනිස්සුනම් හිතන්නෙ අපිට හැඟීම දැනෙන්නෑ කියලා. ඒත් ඒක එහෙම නෙමේ කියලා මිනිස්සු කවදා දැනගනියිද ?

ඊට පස්සෙ උදා වුණේ ශීත කාලෙ. උදෙන්ම හමා යන සිහිල් සීතල හුළන් රැල්ල දේශගුණයේ වෙනස්වීම අපිට කියා පෑවා. 

එදා හවස ගෙදර ළමයි ටික එකතු වෙලා වත්ත ඔක්කොම අතු ගෑවා. වැටිලා තිබුණ කොළ ඔක්කොම එකතු කරලා ලොකු කසළ ගොඩක් ගැහුවා. මොනවා කරන්ඩ යනවද කියලා අපිට තේරුමක් තිබුණේ නෑ. පහුවෙනිදා උදේ අපි කූඩුවෙන් එළියට එනකොට මේ ගෙදර ළමයිනුයි රත්තලෑ ගෙදර ළමයිනුයි අර කහළ ගොඩට ගිනි තියලා ඒක වටේ වටවෙලා ඉන්නවා. සීතල දරාගනඩ බැරුවද කොහෙද.

ඔය සිද්ධිය වෙලා ටික දවසකින් පස්සෙ අපි වෙනදා වගේම වත්ත පල්ලැහැ කෑම හොය හොය හිටියේ. එක පාරටම බා බා බා ගාලා අපිට කතා කරනවා ඇහුණා. කවදාවත්ම නැතුව අද දෙපාරක් කෑම ! අපිත් දෙපාරක් නොහිතා දුවගෙන ගියා. හැබැයි මෙදා සැරේ අමුත්තක් තියනවා. වෙනදට එළියට කෑම විසිකරනවා අපිට අහුලන් කන්ඩ. ඒත් අද ! කොටුව ඇතුළටයි කෑම දාලා තියෙන්නෙ. අපිත් ඉතින් දෙපාරක් හිතන්නැතුව කෑම කන්ඩ කොටුව ඇතුළට ගියා. එතකොටම දොර වැහුණා. වෙන දේ ගැන අපි ටිකක් තුෂ්නිම්භුත වෙලා හිටියෙ. මොකද මේක අමුතුයි. මෙන්න ටිකකින් කවදාවත් දැකලා නැති මිනිස්සු දෙන්නෙක් කොටුව ඇතුළට ඇවිත් අපි එක එකාව අල්ලන්ඩ ගත්තා. අපිත් කෑ ගගහා හතර අතේ දිව්වා. ඒත් කවුරුවත් ආවෙ නෑ අපිව බේර ගන්ඩ. අඩු ගානෙ අර ගෙදර මිනිස්සුවත්. ඒගොල්ලොත් ටිකක් එහායින් ඉඳන් බලා ඉන්නවා දැක්කා. ළමයින්ගෙ මූණු දැක්කම නම් මට මොකක්දෝ භයානක දෙයක් වෙන්ඩ යන බව ඉවෙන් වගේ තේරුණා. කොටුවට පැනපු මිනිස්සු බෝධිසත්වයවයි, ජොකොලවයි, පොඩි එකාවයි අන්තිමයවයි අල්ලගන ගෝනියකට දාගත්තා. අපේ යාළුවන්ගේ විලාපය මට අහන් ඉන්ඩ බැරි තරම්. ඒත් දෙවියනේ මම කියලා මොනවා කරන්ඩද ?

අන්තිමට ඉතුරු වුණේ මමයි අපේ නැම්බියො දෙන්නයි විතරයි. අටදෙනෙක් ලැගපු කොටුව ඉවසන්ඩ බැරි පාළුවකින් වෙලිලා ගිහිල්ලා. මුලු ජීවිතේම එපා කරවන කාලකණ්ණි මූසල කමක් හිත පුරාම වෙලිලා. මිනිස්සුන්ට තේරෙනව නම් අපිටත් මේ හැඟීම් දැනෙනවා කියලා. අහෝ මිනිසුනී නුඹලා මෙතරම් රෞද්‍ර වූයේ කෙසේද ?

අන්තිමට ඒ මූසල දවස උදා වුණා. එදා උදේ වෙනදා වගේ කොටුව ඇරියෙ නෑ අපිට එළියට යන්ඩ. කලින් දවසෙ රෑ මහා පිපිරුම් සද්ද ගොඩාක් ඇහුණා. මගෙ ජීවිතේට එච්චර ශබ්ද ගොඩක් ඇහුවමයි ඒ. මොනවද ඒ ?

ඉර මුදුන්වෙන්ඩ ටිකකට කලින් අර පොඩි අංකල් කියන මනුස්සයා කොටුවට ඇවිත් මාව අල්ල ගත්තා. මාව කකුල් දෙකෙන් අල්ලලා තමා උස්ස ගත්තෙ. නෑම්බියො දෙන්නව පයින් ගහලා එළියට එළවලා දැම්මා. මම තටු ගහලා බේරිලා යන්ඩ දැගලුවත් බේරෙන්ඩ නම් හම්බුනේ නෑ. එච්චරට තදින් මිනිහා මාව අල්ලගන හිටියා. මාව දැන් අරගන යනවා කොහාටද තැනකට. අල්ලන් ඉන්න විධිය හින්දා මට පේන්නෙ අහස. ඔක්කොම ගස්කොළන් කැරකෙනවා වගේ දැනුණා. යාන්තමට වගේ දැක්කා මිනිහගෙ දකුණු අතේ තිබුණ ලොකු මන්න පිහිය. මට තේරුණා වෙන්ඩ යන වැඩේ. මේ ලෝකෙ ජීවත් වෙන හැම සතෙකුටම දැනෙන ඒ මාරන්තික මරණ බිය මටත් දැනුණා. ඒත් මම අසරණයි. මගේ දැගලිල්ලෙන් පලක් නෑ.ඒත් මම අන්තිම මොහොත වෙනකම්ම කෑගගහ දැගලුවා. අන්තිමට මාව ගහක කඳක් උඩ තිබ්බා වගේ මතකයි. අන්තිමට දැක්කෙ අර මන්නා පිහියා වේගයෙන් පහළට එන දර්ශනය. ඊට පස්සෙ මගේ ඇස් නිලංකාර උණා. එච්චරයි !

~~නිමි~~

ප/ලි :
අපේ කතාව හීනියට කුකුළකුගේ ඇසින්.

~~සෙන්නා / 27.07.2012




149 comments:

  1. අපූරු ලිපියක්.. ටික වෙලාවක් කියවනකොටයි තේරුනේ මේ කතා කරන්නේ කුකුළෙක් කියලා.. අන්තිමටයි තේරුනේ මේ මැරිච්ච කුකුළෙක් කියලා..

    කුකුළන්ට නමුත් තිබිලා නේද? දැන් ඔය ගෙදර කට්ටියක් ගැන කරපු විස්තරේ පොඩ්ඩක් මට ටැපලුනා. ඒ කතා කරන්නේ සෙන්නලාගෙ ගේ ගැනද අල්ලපු ගේ ගැනද? අනික ඉඳිකට්ටෙන් කරන්නෙ මොකක්ද තේරුනෙත් නෑනෙ.

    නත්තලට එහෙනම් කුකුල් මස් කාලා තියෙන්නෙ.

    නිර්මාණශීලීත්වය ඉතා ඉහළැයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හරී අගය කිරෙම පිළිබඳව..

      ඔය කිව්වෙ අපේ ගෙදර වෙච්ච ඇත්තම කතාවක්.. මම ටිකක ටපලෝල වගේද.. මම අපේ ගෙදර වගෙ0 යෙදුමක් නොයෙදුවෙ කුකුල්ලුන්ට ඔය සීමා මායිම් නැති නිසානෙ.. අපි උන්ව ඇති කළාට උන්ගේ අපේ ගෙයත් තව එක ගෙයක් විතරයිනෙ.. මම කුකුලට ආවේශ වෙලා තමා මේක ලියන්ඩ උත්සහ කළේ..

      ඉඳි කට්ටෙන් කළේ හරී, ඉස්සර අපේ අම්මා පන් වලින් හදන කාපට් මැහුවා.. ගල්ලැහැ පන් ගෙනල්ලා ඒවා ඔය ගෑනු අය කොන්ඩෙ ගොතනවා වගේ ගොතනවා. ඊට පස්සෙ ලොකු ඉඳි කට්ටකට අර සරුන්ගල් අරින නයිලෝන් නූල් දාලා ඒක එක හැඩ වලට මහනවා.. අපිත් ඉස්සර අර ගොතන වැඩේට හවුල් වුනා.. ඒකට අම්මා අපිට පොඩි ගතමන්ට් එකක ගෙව්වා.. ඒවයෙන් තමා අපි රතිඤ්ඥා එහෙම අරගත්තෙ.. දුශ්කර එහෙත් ලස්සන කාලයක් ඒක.

      ඒ කුකුලගෙ මස්කාපු පසුතැවිල්ල අදටත් මට තියනවා.. ඒකමයි මේවගේ කහාවක් බිහි වුනෙත්.

      Delete
    2. කියන්න අමතකවුනා මමත් ඉස්සර බල්ලොන්ට පූසන්ට බොරුවලවල් කපනවානෙ.. අහුවුන ලබ්බෙක් නෑ..

      සෙන්නා කුකුල් මස් කනවද?

      Delete
    3. මටත් වුනේ ඔය ආනිසන්සෙම තමා.. උන් අපිට වඩා කපටියි... :-)

      ඔව් හරී.. මම නම් අදටත් කුකුල් මස් කනවා.. එච්චරම තමයි කන්නෙත්..

      Delete
    4. මටත් හිතෙනවා කුකුල් මස් කනවුන්ට පේන්නත් එක්ක පෝස්ට් එකක් ලියන්න.

      Delete
    5. ලියපන්, ලියපන්.. මමත් ඉන්නවා ඔය ගොඩේ... :-)

      Delete
  2. විශිෂ්ට නිර්මාණයක්. කුකුළෙක්ගේ ජීවිතේ විස්තර කරලා තියන හැටි අපූරුයි. අවසානය නම් හරිම දුකයි. ඔයා මේ ගෙදර කීවෙනි ලමයද?:)

    නත්තලද? අවුරුද්දද? වෙඩි හඬ ඇහෙන්නේ ඔය දෙකෙන් එකකදිනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි.. මම තමයි අර පිස්සු දෙවෙනියා... :-)


      නත්තල ගැන තමයි මම අදහස් කළේ.. ශීත කාලෙ මතකනෙ..

      ඇත්තටම ඔය කුකුලව මැරුවෙ කොයි කාලෙකද කියලා මට හරියටම මතක නෑ..අපේ ගෙදර කාටවත් කුකුලෙක් මරන්ඩ හයියක් නෑ.. අන්තිමට පොඩි අංකල් තමා වැඩේ බාරගත්තෙ. මට අදටත් හරි දුකයි ඒ පවුකාර වැඩේ ගැන. ඊට වැඩිය දුකයි උගෙ මස් කාපු එක ගැන.

      Delete
  3. මේ අර කිව්ව කුකුල් කතාව නේද . ඔන්න ඉතින් සෙන්නත් දුමි වගේ අපට කුකුල් මස් කන්න එපා කරවනවා . ඇත්තටම මස් කෑම නවත්වන්න හිතා ඉන්නේ . මේවා දැක්කම ඉක්මන් වෙන්න හිතෙනවා . ලේ වල යකඩ අඩු ගතියක් ස්වභාවයෙන්ම තියෙන නිසා දොස්තරලා අනුමත කරන්නේ නැහැ . [ඒක ඉතින් නිදහසට කාරණයක් . මස් නොකා පෝෂණය ගන්න හැටිත් මන් නොදන්නවා නෙමේ ]

    හරිම ලස්සනට කුකුලා කතාව කියල . ගමේ ගෙදරක ජීවිතය කුකුලෙක්ගෙ ඇසින් . හරිම නිර්මාණ ශිලියි.

    ඇත්තමයි මන් නම් හිතුවෙම නැහැ ඒ වගේ අවසානයක් . අපෙත් අර බතල වැව්ව කාලේ කුකුල් කුඩුවක් තිබුණා. ගස් දෙකක් කඹයකින් යාකරලා කඹේ තමා කුඩුව එල්ලලා තිබුනේ . ඉනිමගක් තිබ්බද මතක නැහැ . උගුඩුවන්ගෙන් බේරගන්න තමා උඩ එල්ලන්නේ . හැබැයි අපේ දිහා කුකුලෝ මැරුවේ නැහැ . උන් වයසට ගිහින් මලේ . ඉඳහිට උන් නැති වුනා මතකයි. එක්කෝ හොරු අරන් ගිහින් . නැත්නම් සත්තු කාලා .කිකිලියෝ දාන බිත්තර විතරයි කෑවේ. මේ වැඩේ වැඩි කල් කරන්න බැරි වුණා වගේ තමයි මතක .

    ආච්චිලගේ ගෙදර නම් අපි ලොකු කාලේ වෙනකම්ම කුකුල් කුඩුවක් තිබුණා. කුකුල් බෙටි වල ගඳ නම් හරිම සවුත්තුයි නේ . සමහර ගෙවල්වල හිටියා වස උන්. කොටන්න එලවනවා . මන් නම් ආසම පෙඳේ එන්න කලින් චුට්ටන් කුකුළු පැටවුන්ට . මන් කුකුළු පැටව් අඳින්න දැනුත් ආසයි. පොඩ්ඩන්ගේ චුටි ඇඳුම් වල වැඩියම මැහුවේ හරි

    අපේ අය්යා නම් බිත්තර අමුවෙන් කටේ දාගන්නවා ඉස්සර . ඉස්සර කුරුළු උන තිබ්බේ නැහැනේ .චඃ මට නම් කවදාවත් බිත්තර කෝපි එකක් වත් බොන්න බැහැ කවදාවත් .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි..

      ඔවු ඔවු ඒ කතාව තමයි. බින්දි අර සත්තු ගැන කතාව දාපු පළවෙනි දවසෙම මට මුන් රංචුව මතක් වුනා. ලඟදි දවසක උදේ නැගිටිනකොට මට මුන් ගැන මොන හේතුවකටද මංදා මතක් වුනා. මම එදා දවසම හිතෙන් ප්ලෑන් කළා කොහොමද මුන්ගැන කතාවක් ලියන්නෙ කියලා. එදාම ඔන්න බින්දි සත්තුන්ගෙ දෙවෙනි කොටසත් දාලා.. ඉතින් උත්තේජනය නිකම්ම වැඩි වුනා.. අන්තිමට කතාව පබ්ලිශ් කරනකොට පාන්දර තුනයි..

      බින්දිටත් කුකුල්ලු ගැන ලස්සන මතකයන් තියනවා නේද. සමහර උන්නම් කොටනවා තමයි.. අර රාජාලියාත් එහෙම එකෙක්.

      මටත් හරි අප්පිරියයි බිත්තර කෝපි. බිත්තර අමුවෙන් හරි හිනි ගඳයි.. තම්බලා, බැදල නම් අවුලක් නෑ..

      ස්තූතියි බින්දි මෙතන ඔයාගෙ කතාවත් කිව්වට.

      Delete
    2. කුකුලු පැටව්ට දළ කඩි ප්‍රහාරයක් එල්ල උනා මම පොඩි කාලෙ දී.. ඒ කතාව ඩ්‍රාෆ්ට්මය ස්වරූපයෙන් තාම තියෙන්නෙ....

      Delete
    3. දළ කඩි?? ei mokkuda?

      Delete
    4. කඩි ජාති දෙකක් ඉන්නවා නේද.? අර සාමාන්‍ය කඩියයි, ඌට වඩා ටිකක් දිග කඩියයි.. ඌ කෑවොත්නං බඩුම තමා.. ආන්න උංට තමා දළ කඩි කියන්නෙ..

      Delete
    5. අර හීනි කඩි 1 1/2 ක් විතර දිග කළු එවුන්ද?

      Delete
    6. සෙන්නා = මමනම් බිත්තර බිව්වා කාලයක් අපේ ඉස්කෝලේ ප්‍රශ්නයක් වෙලා.

      Delete
    7. හරී,
      බුරා හරි. තැඹිලි පාට දිමියෝ සයිස් කලු පාට උන් ජාතියක් තමා දළ කඩි කියන්නෙ... එකෙක් කාපුවාම ඇති සතියකට බඩපිරෙනවා....

      Delete
  4. එක සැරයයි කියෙව්වෙ.. හොඳ නිර්මාණයක්..ආයි නිවී හැනහිල්ලෙ ඇවිත් කියවන්නම ඕනි !

    ReplyDelete
    Replies
    1. වෙනි අයියේ උඹ මේ අහ ආපු එක මට ලොකු සතුටක්... සාදරයෙන් පිළිගන්නවා !!

      හිමීට කියවන්ඩකො..

      Delete
  5. ඉතාමත් රසවත් ලෙස ලියා ඇත.....අපේ ගෙදරත් ඉස්සර කුකුල්ලු හිටියා...ඒත් උන්ගෙන් කරන්නෙ බිත්තර ගන්න එක විතරයි...
    ඒත් පස්සෙ උන්ව හොරු මරං කන්න පටන් ගත්තා...ඉන් පස්සෙ තාත්තා කුකුල්ලු ඇති කරන් එක නවත්තල දැම්මා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අමිල..

      සමහර් උන් එහෙම අනුන්ගෙ කුකුල් කොටුවලට පනිනවා තමා..එතකොට ඉතින් මලම පනිනවා..

      Delete
  6. හප්පේ කුකුලේක්ගේ ඉරණම විසදෙන හැටි. නත්තලට තමයි මරලා තියෙන්නේ...
    ලස්සනට ලියලා තියෙනවා මචන් එල..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්...නත්තලට ඉතින් කුකුල්ලු කීදෙනෙක්ගෙ ඉරණම විසඳෙනවා ඇත්ද.. ?

      Delete
  7. දෙපාරක් කියවන්න හිතෙන නිර්මාණයක්. මට මේක කියවද්දී මතක් උනා 6 වසරේ සිංහල පොතේ තිබුණු මීටර් 100 කතාව. ඒ විදිහේ ශයිලියක් තමයි තියෙන්නේ. එතකොට මේ කියලා තියෙන්නේ සෙන්නලාගේ ගෙදර ගැනද. හදිසියේම කුකුල්ලු ටික මරන්න හේතු උනේ මොකක්ද?

    බොරු වලවල් හදලා තමන්ම ඒවාට පැනපු එක තමයි මරු වැඩේ :)

    ආපහු කියන්නේ, බොහොම ලස්සන වෙනස් විදියේ නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි..

      ඔවු ඔවු අපේ ගෙදර තමයි.. මුල්ම කුකුල්ලු ටික වික්කා.. නත්තල් කන්ඩ.. (ඒ කාලෙ දරිද්‍රතාවය ඉහලයි.. ළමයි පස් දෙනෙක් එක්ක හොරකම්, වංචා නැතුව ජීවිතේ ගැට ගහ ගන්ඩ අම්මලා සෑහෙන දේවල් කළා..) කතාව කියන කෙනා ඉතුරු වුනා අපිට කන්ඩ.. ඔය කතාව 100% කම ඔහොමම නෙමේ උනේ ඒත් ඔයිට සමානයි,, වෙච්ච සිද්දෙ මට හරියටම මතක නෑ..

      බොරු වලවල් හදලා මමම පැනපු එක නම් අමූලික ඇත්තක්.. ඇයි යකෝ මම හදන බොරු වලවල් වලට පූස් පැටියෙක්වත් නොවැටෙන හැටි..

      ස්තූතියි සයුරි..

      Delete
    2. අඩේ බොරු වලවල් කතාව උඔද කලේ.... මමත් කලා.. මගේ ඒවටත් කව්රුවත් වැටෙන්නෙ නෑ. ඒක හන්දා නංගිව බය කරලා නොදන්න විදිහට ගිහිල්ලා වැටෙන්න කියනවා.. හෙහ් හේ...

      Delete
    3. මගෙත් බොරුවලවල් වලට කට්ටිය අහුනොවුනට තොණ්ඩුවලට නම් අහුවුනා.. දෙවැටක තොණ්ඩුව එලලා.. වැලිවලින් වහලා. එකෙක් කකුල තියනකොටම අදිනවා.. කසිප්පු තිප්පොළකට යන පාරක් තමා තෝරගන්නෙ.. එහෙම කාවහරි තොණ්ඩුවට අහුවෙච්ච ගමන් මෙහෙම සද්දයක් එනවා..

      'තොපෙ අම්මලාට #$#%^ $% #@## පුත්තු. මිනිහෙකුට පාරෙ යන්න දෙන්නැති වල් හැත්ත' :D

      Delete
    4. බුද්ධි,

      අඩේ ඔය කිව්වම තමා මතක් වුනේ.. අපිත් ඔහොමම කළා.. බොරු කියලා එක්කන් ඇQවිත් වල උඩින් යන්ඩ සලස්වනවා.. ඒත් අහුවෙන්නෙ එහෙමත් දවසක තමා.. හිහ්..

      හරී,

      යකෝ උඹ මාර ගේම්නෙ දීලා තියෙන්නෙ.. පාරෙ යන මිනිස්සුන්ට තොන්ඩු දාලා කුණුහරුප අහල බේරුනා මදැයි..

      Delete
    5. @ සයුරි,

      මීටර් 100 පාඩම තිබුනෙ 6 වසරේ නෙවෙයි.. 7 වසරේ සිංහල පොතේ පළමුවෙනි පාඩම, කළුබණ්ඩාගේ මුදලිහාමි.. :)

      Delete
    6. @හරී,...
      මරු බඩුවක්නෙ...මරු ආතල් ඇතිනේ..!!

      Delete
    7. @ වීපොකුර,

      ඔව් බන්.. හිතපන්කො බීලා බීලා කෙලින් යන්නත් බැරි එකෙක් ලණුවක පැටලිලා බෙරිහන් දෙනකොට...

      Delete
    8. බූරා,
      4 වසරේ පළවෙනි පාඩම “සියාතු සියාට නිවහනක්“

      Delete
    9. ඒ 5 වසරේ නෙවෙයිද බං..??

      Delete
  8. කුරුන්ද - කියන්නෙ ඒකද එතකොට. මෙතන ළමයි අතරේ උඔත් ඉන්නවද?

    මීට කලින් මම කියවලා තිබුනා වස්සෙක් ඔය විදිහට කතා කරන කතාවක්.

    ඒ කාලේ, මම චුටි මහත්තයා කාලේ අපේ කුකුලු කූඩුවත් තිබුනේ පොල් ගහකයි අඔ ගහකයි එල්ලලා. මුල්ම දවසේ උන්ට ඉනිමග දිගේ නගින්න හුරු කලාම පහුවෙනිදා ඉදලා ඉබේම හවස් වෙද්දි යනවා යනවා.

    කතාව ගොඩනගලා තියෙන හැටි හොඳයි. රතිඤ්ඤා ගැන වේලාසනින් කියලා තියෙන හන්දා ‍සහ රතිඤ්ඤා සද්දෙ රෑ ඇහුනා කියලා තියෙන හන්දා කතාව වඩාත් තාත්විකයි.

    වෙලාවක මාමලහෙ එන ගමන් අපි කුරුන්ද බලන්ඩ එන්ඩද?

    ReplyDelete
    Replies
    1. ඔවු බුද්ධි - මේක කුරුන්ද වුනේ ඒ කුරුන්දෙන් තමා.. ඕක තමා අපේ සිංහරාජය.. ඔවුනෙ අර පිස්සු දෙවෙනියා.. මේ අපේ ගෙදර කතාව, හීනියට කුකුළෙකුගේ ඇසින් :-)

      ඔවු ඒ ජයසේන ජයකොඩි මහත්තයගෙ කතාවක්නේ. - "ගොන්නු" තමා ඒකෙ නම මට මතක විදිහට.. එතකොට ඒ පොතේම තව කතාවක් තිබුනා රන් කුකුලෝ ඉගිල යති කියලා.. උත්සහයෙන් ඉගිලෙන්ඩ පුරුදුවෙන කුකුලෙක් තමන්ගෙ කට්ටිය බේරගන කැලයකට පියාබලා යන කතාවක් තමා ඒකෙ තිබුනෙ.. මට ඔය කතා දෙකම මතක් වුනා මේක ලියද්දි. දෙකේම ආභාශය මේකෙ තියනවා..

      ස්තූතියි බුද්ධි.. මම ඉතින් හිතට එන විදිහට, මතක් වෙච්ච විදිහට අපේ කතාව ලියාගන ගියා.. එච්චරයි..

      අනිවා සාදරයෙන් පිළිගන්නවා.. මම දෙසැම්බර් නිවාඩුවට එන්ඩ ඉන්නේ. එතකොට එන්ඩ..

      අර ඩ්‍රෆ්ට්මය තත්ත්වයෙන් තියන කුකුල් පැටියගෙ කතාව ලියමුද ඉක්මනට.. කාලෙකින් ලිපියක් නෑ සයිබර් යායෙ.. මක්කැයි වුනේ.. ?

      Delete
    2. @ සෙන්නා,

      දැන් පෙන්නන්න කුරුන්දක් තියෙනවද බං?

      Delete
    3. තව පොඩි කෑල්ලක් තියනවා බන්.. ළඟදිම ඒකටත් බබා හම්බෙයි..

      Delete
  9. වෙනස් විදියකට හිතලා ලියපු ලස්සන කථාවක්... කුකුල්ලුන්ට කථා කරන්න පුලුවන් නම් මෙහෙම කියාවි හැබෑටම... කථාවෙ අවසානය ගැන මට නම් දුක හිතුනෙ නෑ... මම මේ වෙද්දි මස් අනුභවය නතර කරලා තියෙන නිසා.. ඒ තීරණය ගැන සතුටක් ඇති වුනා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා,

      මමත් කාලයක් මස් කන එක නවත්වලා තිබුනා..ප්‍රායෝගික දුෂ්කරතා කිහිපයක් හින්දා ආයෙ කන්ඩ වුනා.. ආයෙ බලන්ඩ ඕනා නවත්තන්ඩ ලංකාවට ආපු කාලෙක..

      Delete
    2. සෙන්නා කුමන රටේ වෙසෙන්නෙක්ද ?

      Delete
    3. සෙන්නා මැදපෙරදිග මරුකතරේ වෙසෙන්නෙක් වේ.

      Delete
  10. මාත් මේකුරුන්ද පැත්තට ගොඩ උනා සැවුලෙකුගේ විලාපය ගැන කියවන්න. හරිම අමුතු අදහසක්.හරිම ලස්සනට ලියලත් තියෙනවා. ඇත්තටම අපි සත්තුන්ගෙ අදහස් ගැන දන්න එකක්යැ.මම සතුටු වෙනවා මස් නොකන එක ගැන. ඒ හින්ද කතාව කියවනකොට දුක වැඩියි...

    ReplyDelete
    Replies
    1. නීතා,

      සාදරයෙන් පිළිගනිමි කුරුන්දට !

      ස්තූතියි අදහසට.. මස් නොකනවනම් ගොඩක් හොඳයි..

      Delete
  11. පොඩි එකෙක් රචනාවක් ලියලා වගේ ලස්සනට ගලපලා ලියලා.
    බලපන් උඹත් නියම කුකුලෙක් වුනා එහෙනම් :)

    ReplyDelete
    Replies
    1. මම කුකුලෙක් වුනා ? කෝ කොහෙද ? :-)

      කතාව කුජීතද බන් ? පොඩි එකෙක්ගෙ රචනාවක් වගේ කිව්වෙ.

      Delete
  12. සෙන්නා, පුංචි කාලෙ ඔය වගේ දේවල් වුණාම අදටත් මතකයි තමා ..

    මං පොඩි කාලෙ අපෙ ගෙදරට පහළ ගෙදර කුකුල්ලු ඇති කළා. එක දවසක් එහේ එක මාමා කෙනෙක් මස් කන්න ඕනෙ කියල කුකුලෙක් මරන්න කුකුල පස්සෙන් දිව්වා.. මම අක්කිත් එක්ක අපේ ගෙදර මිදුලට වෙලා බලාගෙන. කුකුලා කෑගහ ගහ දුවනවා, ඒ මාමා පිහියක් අරන් පස්සෙන් දුවනවා.. අපිට අවසන් ජවනිකාව බලන්න දුන්නෙ නෑ අත්තම්ම ඇවිත් ඒ මාමාටත් බැනල අපිව ඇදගෙන ගියා.. එදායින් පස්සෙ අපි සෑහෙන කාලයක් කුකුල් මස් කෑවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් සම්මානි.. ඒ දේවල් මහ නරක විදිහට මතක හිටිනවා.. මටත් ඔය වගේ ඒවා දකින්ඩ ලැබිලා තියනවා.. ඒවා මේවගෙ තැනක ලියන්ඩ නුසුදුසු තරම් තිරශ්චීනයි.

      Delete
    2. ඔය වගේ ඒවා කියන්නෙ???

      Delete
    3. සත්තු මරණ සීන් බන්..

      Delete
  13. අප්පා ... දිග වැඩියි, දැන් වෙලාව මදි, ආයිත් ඇවිත් කියවල කමෙන්ට් කරන්ඤං. (ඔන්න ප්ලේස් එක බුක් කරා කලින්ම)

    ReplyDelete
    Replies
    1. හෙහ්.. එන්ඩකො එහෙනම් හිමීට.. ප්ලේස් එක තියලා තියන්නම්.. :-)

      Delete
    2. අවට පරිසරයෙ තියෙන ගොඩක් දේවල්වලට ජීවයක් තියෙනව ඇති, අපි නොහිතුවට ඒව අපි ගැනත් හිතනව ඇති. හොඳ උත්සාහයක් සෙන්නා. මේක කියවද්දි මට මතක් වුනේ මොකක්දෝ වැරදීමකින් පූසෙක් වුනු ළමයෙක් ගැන මම පොඩි කාලෙ කියවපු කතාවක්.
      අපේ ගෙදර නම් මට මතක ඇති කාලෙ ඉඳලම කිසිම සතෙක් හැදුවෙ නෑ. අදටත් මම නම් කැමති නෑ සතුන් කූඩු කරන් හදනවට. බොරු ඕන නෑ, මමත් කුකුල් මස්, බිත්තර නම් කනව. මස් ජාතිවලින් මම කන්නෙ එච්චරයි. අනෙක මම හාල්මැස්සො, කරවල, මාළු කිසිම දෙයක් කන්නෙ නැහැ. පව් කියල අදහසකින් කෑම වර්ගීකරණයක් නම් නෑ, ඒක පොඩි කාලෙ ඉඳල පුරුදු වෙච්චි හැටි.

      Delete
    3. ස්තූතියි DDT නැවත ආවට..

      ඒ ගොල්ලන්ටත් සිතුවිලි පහල වෙනවා අති නේද.. මටත් නිකන් එහෙම හිතෙනවා.. අපේ ගෙදර නම් කුකුල්ලු බල්ලො , පූසො හිටියා.. කුකුල්ලුන්ව කොටු කළේ උන්ගෙ ආරක්ශාවට.. ඔය තියනවා වගේ උන් දවල් කාලෙම නිදැල්ලෙ තමා හිටියේ..

      ඇත්තෙන්ම අපිට තව කෙනෙක්ගෙ මස් නොකා ජීවත් වෙන්ඩ පුලුවන්නම් ඒක බොහොම වටිනවා.. ඒත් අපි නම් දැන් ඇබ්බැහි වෙලාද කොහෙද ? මමත් කාලයක් නවත්වලා තිබිලා ආයෙ කන්ඩ පටන් ගන්ඩ වුනා..

      Delete
  14. හරිම ලස්සනට ලියල තියනවා සහෝ කියවන්න ආස හිතෙන්න..
    ඇත්තටම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරූ.... බැරිද මේවගේ සිංදුවක් හදලා කියන්ඩ..සත්තු ගැන, උන් හිතන විදිහ ගැන.. :-)

      Delete
  15. නියමයි.. හොඳ කතාවක්. මට මම කියවපු රුසියන් කෙටි කතා පොතක කතාවක් මතක්වුනා. අවසානය නම් ගොඩක් සෝචනීයයි. ඇත්තටම මාව අප්සෙට් වුණා ඒකෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්සැන්ඩර්.. අවසානය එච්චර සෝචනීයද.. ?

      Delete
    2. ඒක ඒ තරම්ම ගානක් නැතිවෙන්න තිබ්බා නිකම්ම සතා මලා කිව්වනම් හරි, චිත්ත රූප මැවෙන්නේ නැති විදියට හරි ලියලා තිබුනා නම්. ඒත් මේ තියන විදියට ඒක දැනෙනවා වැඩියි.

      Delete
  16. නියම කුකුලෙක් නෙ... !!

    ReplyDelete
    Replies
    1. කුකුල් රාජයෙක්.. :)

      Delete
    2. හිහ්...:-) ස්තූතියි මධුරංග..

      Delete
  17. උඹට මතකයිනේ අපේ ගෙදර ඇති කරපු කුකුලා. මං හිතන්නේ ඌ රාජාලියා වගේ එකෙක් ඒ වගේ පාට පාට. උටත් උනේ ඉතින් ඒ සන්තෑසියම තමා.

    මම බොරු වලක් කපුවා ටිකක් කපද්දී මට මහන්සි කම්මැලි. ටිකකින් අම්ම ආයේ එක පස් දාල වැහුවා.

    කතාවගන කියනවනම් කියන්න දෙයක් නැහැ සුපිරි. කූඩුව ඇතුලේ හිටියාවගේත් දැනුනා ඒ විදියට හිතේ මැවෙන්න ලියල තියෙනවා මචං

    ඒත් මම හිතුවේ නැහැ මේ පොස්ට් එක මෙච්චර ඉක්මනින් ලැබෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. මොකද නැතුව.. මට ඌවත් මතක් වුනා මේක ලියද්දි..

      හිහ්.. බොරු වල් කියන ඒවා එහෙම නිවාඩු දදා කපන්ඩ බෑ බොල.. හතුරා එන්ඩ කලින් ඉක්මනට කපලා වහලා තියන්ඩ ඕනා.. මට උනේ වැටෙන්ඩ හතුරො නැති වෙච්ච එකයි.. :-)

      ස්තූතියි මචන් අගය කළාට.. ඒකියනෙ උඹ, මම මෙහෙම ලිපියක් දානවා කියලා දැනගෙන හිටියද.. මට මතක විදිහට මම උඹට එහෙම එකක් කිව්වෙ නෑ..

      Delete
    2. ඇයි උඹ බින්දි අක්කගේ පොස්ට එකක කමෙන්ට් එකක් දාල තිබුනේ කුකුලෝ ගැන ලිපියක් හිතින් ඩ්‍රෆ් කළා කියල.

      Delete
    3. ආහ්.. නේන්නම්...උඹ මේ ඒකයි කිව්වෙ. මම ඒත් බැලුවා.. උබ කොහොමද දන්නෙ කියලා.. මට අමතක වුනා උඹ මේ තියන බ්ලොග් ඔක්කොම කියවන එකෙක් කියලා.. :-)

      මම බින්දිගෙ බ්ලොග් එකේ කමෙන්ට් එක දාද්දිත් මේ විදිහට හිතෙන් කතාව ගොතලා ඉවරයි.. ලියන්ඩ විතරයි තිබුනෙ...

      Delete
  18. සෙන්නා හරිම නිර්මාණශීලී පෝස්ට් එකක්, මේ වගේ නිර්මාණ නිසා තමා බ්ලොග් අවකාශෙ ලස්සන තැනක් වෙන්නෙ...මම නම් හරිම සතුටකින් කියෙව්වෙ.
    රූපවාහිනියෙ පෝය දවසක ගිය "සිත නිවන කතා" ටෙලිනාට්‍යක කොටසක් මතක් උනා.බොඩිම් වෙලා හිටිය දෙන්නෙක් කුකුලව මරන්කාල ගෙදර අය්තිකාරගැහැනු කෙනා පුතා කියල තමයි..කුකුලව හොයන්නෙ. අන්තිමට මරපු දෙන්නට ඇතිවන පසුතැවීම ගැන කියවෙන කතාවක්..!නැවතත් කියන්නෙ හරිම නිර්මාණ ශීලී වගේම සංවේදී විදියට ලියල තියෙනව...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වී, බෙහෙවින්ම අගය කළාට..

      Delete
  19. කුකුලෙක් කතා කරයි කියලා කිව්වාට "කුක්කු කූ කූ" නැතිව නියම කතාවක් නොවැ තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... :-) කොහොමද එහෙම පෝස්ට් එකක් දැම්ම නම්... තනිකරම කුක්කු කූක් කූක් වලින් විතරක්...

      ස්තූතියි හසිත..

      Delete
    2. රැග් සීසන් එකේදි දෙකේ පාදයෙන් කතාවක් කරන්න කිව්වා මතක් වුනා මේක දැක්කාම..

      Delete
  20. සෙන්නා උඔ ක්‍රිස්මස් ද, මං හිතුවෙ ටෙම්පල් කියලා......?

    ReplyDelete
    Replies
    1. බුද්ධි,

      අපේ තාත්තා ටෙම්පල්, අම්මා ක්‍රිස්මස්.. එතකොට මම මොකෙක්ද බන්.. ?

      අපිට පොඩි කාලෙ ඉඳලා ඔය දෙකේම අභාෂය ලැබුනා.. මම ඔය දෙකෙන්ම ටික ටික දන්නවා.. පොඩි කාලෙනම් ආගම හැටියට ඇදැහුවෙ ක්‍රිස්මස් තමා.. දැන්නම් මුකුත්ම නෑ.. හැබැයි ටෙම්පල් වලට බරයි..

      ඉස්සර මට මතකයි තාත්තලෑ ගමේ ගියාම සීයා අපිව වට කරන් ටෙම්පල් කතා කියපු හැටි.. එහෙ ඉද්දි හැමදාම හවසට පන්සිලුත් ගත්තා.. මෙහෙ ආපුවම පල්ලි යනවා.. හොඳයි නේද ?

      Delete
    2. ඒක තමා මට පැටලුනේ.... කවදා හරි දවසක මිට කලින් දවසක උඔ මට බුද්ධ ධර්මෙන් මොකද්දෝ පැහැදිලි කලා. ආයිත් මේ ක්‍රිස්මස් කතාව ආපු හින්දයි ඇහැව්වෙ... හෙහ් හේ... අපේ නෑ සනුහරෙත් එහෙමයි.... ඒක හන්දා කුරුලු හමුදාවෙ ඉද්දි අප්‍රියෙල් නිවාඩුවටයි දෙසැම්බර් නිවාඩුවයි දෙකම ගන්නවා.... හෙහ් හේ....

      Delete
    3. අපිත් එමම තමා.. තව වෙසක් එකට කූඩුත් හදනවා.. ඉස්සර වෙසක් එකට අපේ ගෙදර විතරයි වටෙන්ම කූඩු පත්තු වුනේ.. වටේ ඉන්න අනිත් අය ඔක්කොම කතෝලික..

      Delete
  21. සුපිරි නිර්මාණශීලීත්වයක්. කතාව කියවන එක අතාරලා දාන්න හිතල නිකමට කමෙන්ට් ටික කියෙව්වා. ඊට පස්සේ කියෙව්වා. කියවන්නේ නැතුව ගියානම් අපරාදේ. නියමයි කතාව. සුබපැතුම්. ජීවිතේ අතීතේ සිද්ධ වෙන සමහර දේවල් වලින් නැගෙන පසුතැවිල්ල සමහර වෙලාවට කවදාවත් අපේ හිතෙන මැකිලා යන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට.. මේ කමෙන්ට් එක ටිකක් විශේෂයි.. මොකද දන්නවද ඒ.. කතාව නොකියවා යන්ඩ ගිය කෙනෙක් කතාව කියවලා ඒක බොක්කටම වෑදිච්ච නිසා දාපු කමෙන්ට් එකක් වගේ තමා මේක මට පේන්නෙ. කියවන්නැතුව ගියානම් අපරාදේ කියලා හිතවන්ඩ පුලුවන් උනා කියන්නෙ.. මගේ උත්සහාය සාර්ථකයි..

      උඹට ස්තූතියි..

      Delete
  22. මට එක වරම මතක්වුන කරුණු දෙකක් තියනවා. පලවෙනි එක සුනිල් එදිරිසිංහගේ බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ ගීතය. දෙක මිස්ටර් බීන් අර නත්තල් සාදයකදී කලුකුමකුගේ හම ගහපුසිරුර ඔලුවේ හිර කර ගනිමින් මස් කෑම ගැන අපටම කරන උපහාසය. සංඝ බිත්තර කියලා බිත්තර ජාතියකුත් අපේ බෞද්ධයෝ හදාගෙන තියනවා නේද? මරණ නිසා කනවා කන නිසා මරනවා කියන බොරුවෙනුත් අපි අපේම හෙළුව වහගන්න හදනවා. මම කුකුළු මස් කනවා. හැබැයි බොරු උපාසක කමක් නම් නැහැ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක මහතා... මමත් කනවා.. සංඝ බිත්තර ගැන නම් මම අහලා නෑ..

      Delete
    2. සාමාන්‍යයෙන් කිකිළියක් (බොහෝවිට කුකුළු ගොවිපොලවල) කුකුළකුගේ සම්බන්දය නැතුවත් බිත්තර දමනවා. එය ජීවයෙන් තොරයි. ඉතින් අපි සම්මතයක් ඇති කරගෙන තියනවා ඒවා කෑවාට පවු නැහැ. හාමුදුරුවන්ට දානෙට දුන්නත් පවු නැහැ කියලා. නමුත් එය සතෙකුගේ ජීව කොටසක්. අර බොරුව හදාගන්නේ බිත්තර කෑමේ පෙරේතකමටයි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. නමුත් එය සතෙකුගේ ජීව කොටසක්. එතකොට එළකිරි??

      Delete
    4. මම හිතන්නෙ එතන ජීවයක් නෑ විචාරක මහතා. ජීවයක් ඇති වෙන්නනම් ඔබ කී එකතු වීම අවශ්‍යයි නේද ? මටත් හිතෙන්නෙ ඒවා කෑවට පවු නැතුව ඇති. හැබැයි ඕවා හරියටම තෝරා බේරා ගන්න එක නම් ප්‍රශ්නයක්..

      Delete
    5. @ සෙන්නා,

      ඔය තෝරා ගැනීම ගම් බිත්තරෙන් නම් කරන්න බෑ.. ඒත් ෆාම්වල විකුණන්නෙ ඒවගේ බිත්තර තමයි (Unfertilized eggs). මම වාර්තා වැඩසටහනක් දැක්කා (How is Made) ඔය වගේ ජීවය නැති බිත්තර තෝරලාම තමයි වෙළඳපොළට එවන්නෙ

      Delete
    6. සියල්ලටම මුල් වන්නේ සිත සහ චේතනාවයි. අපි අපේ චින්තන ශක්තියෙන් විශ්වාස කරනවානම් එය පව් කියලා. (අර වර්ගයේ බිත්තර කෑම, කිරි බීම) අපට එයින් අත්මිදෙන්න පුළුවන්. ඒ බිත්තරය දාන කිකිළිය දන්නේ නැහැනේ මෙය අජීව බිත්තරයක් කියලා. ඉතින් ඒ බිත්තරය කිකිලියගෙන් ඉවත් කරන විට ඇය දුකට පත වෙනවාඇති සමහරවිට . ඒ වගේම තමන්ගේ පැටියාට දෙන්න තියන කිරි ටික දොවාගන්නකොට පැටියෙක් ඉන්න එලදෙනෙකුට මොනවා හිතෙනවාද කියා අපි දන්නේ නැහැ.එහෙම හිතන්නත් පුළුවන් කවුරු හරි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  23. ඇත්තටම හරි අපූරු කතාවක් අයියේ.. මේ සෑහෙන දිගයි කියලා දැක්කේ කමෙන්ට් බලලා ආයෙම ටිකක් කතාව බලද්දි.. :)

    කියන්න දෙයක් නෑ අයියේ.. කතාව උපරිමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් මල්ලී...

      Delete
  24. අපි ගැනත් ලියලා තියෙන්නෙ! :D ඇත්තෙන්ම සෙන්න විශිෂ්ඨයි. මේ වගෙ රචනාවල් ලියන්න හම්බවෙනවා ඉස්සර සිංහල පාඩමට. උදැල්ලක් කතා කරයි. කාර් එකක් කතා කරයි වගේ. අනුන්ගෙ ඇසින් බලලා ලියන එකත් සෑහෙන බොන්න වෙන ප්‍රශ්ණයක්නෙ.

    අද තමයි ඕං කුරුන්ද කියන එකේ තේරුම දැන ගත්තෙ! :)

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. පුංචි කාලෙ "කාර් එකක් කතා කරයි" වගේ මාතෘකාවක් දීලා වාක්‍ය රචනයක් ලියන්න කිවුවහම ඉස්සෙල්ලාම කරන්නෙ පිටුවෙ කාලක් විතර පිරෙන්න ලස්සන කාර් එකක් අඳින එක.. ඉතිරි තුන්කාලෙ තමා රචනෙ ලියන්නෙ.. :)

      Delete
    2. අපි ගැන කිව්වෙ ඩුඩ් ? ඩූඩ් කුකුළෙක්ද ? :-) ඒකනම් බොන්ඩ වෙන වැඩක් තමයි.. හැබැයි අපි හැමෝම අනුන්ගෙ ඇස් වලින් බලන්ඩ පුරුදු වුනොත්, මේ ලෝකෙ තියන ප්‍රශ්ණ වලින් බාගයක් ඉවරවෙනවා.. සහතිකයි..

      @ බූරා,

      උඹ හෙන කපටියා නේද ?

      Delete
  25. අති විශිෂ්ටයි සහෝ....
    මම පරක්කුවුනා, මොකක් හරි පොටෝ කෑල්ලක් දාලා තිබුණනම් ඇහැ ගැහෙනවා.

    මේ කතාව පොඩ්ඩක් වෙනස් කළොත් ළමා කතා පොතක් විදියට ප්‍රින්ට් කරලා දාන්න පුළුවන්....මොකද කියන්නෙ.....?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුමිත්. ලේඛන කලාව ගන හොඳ දැනුමක් තියන සුමිත් ගෙන් " අති විශිෂ්ටයි " එකක් හම්බුනා කියන්නෙ සෑහෙන සතුටු වෙන්ඩ පුළුවන් කාරණයක්..

      කිසි පරක්කුවක් නෑ සුමිත්.. කොහොම හරි ආවනෙ. ෆොටෝ කෑල්ලක් බැලුවා මම, හරිහමන් එකක් හම්බුනේ නෑනෙ.. ඒක හින්දා නිකම්ම දැම්මා.

      මොනවද වෙන්ඩ ඕනා වෙනසකම් සුමිත් ? අදහසනම් හොඳයි. අකමැත්තකුත් නෑ කාලය සහ මුදල් තමයි ගැටලුව.. ඒත් මේ කතාව විතරක් පොතක් ගහන්ඩ මදි නේද.. ?

      Delete
    2. එක කතාවයි - එක පොතයි, ළමා කතාවක් විදියට ටිකක් සංසංකරණය කළාම ඇති. ඉලක්කගත වයස අවුරුදු 7-9 දක්වා විතර.
      හිතලා බලන්න

      Delete
    3. ස්තූතියි සුමිත්,

      බලමු.. ළමා කතාවක් විදිහට සංස්කරණය කරනවානම් මට හිතෙන්නෙ අවසානයත් වෙනස් කරන්ඩ වෙයි.. පුංචි හිත් වලට මේ වගේ අවසානයක් හොඳ නෑ කියලා තමා මට හිතෙන්නෙ..

      Delete
  26. harima lassani. hariyata denenne podi kaleta giya wage. ammath kathawa kiyewa. ape athithaath ekka goda neguna meweni kathawak rachana karapu oya gena nangi vidiyata mata denenne adambarayak. minissu godak adaraya karana, minissu jiwath wana anda lokayen eliya dakinnata heki rachana dahas gananak liyanna oyata shaktiya lebenna ona. god luck!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගී, කමෙන්ට් එකට.. අම්මත් කියවපු එක ගැන මට සතුටුයි..

      දුශ්කර එහෙත් ලස්සන ඒ අතීතය හා සබැඳුනු කතා මේ විදිහේ වෙනස් වෙනස් නිර්මාණ හරහා ඉදිරියේදී එළියට ඒවී..

      ඔයාගෙ සුබ පැතුම මට ලොකු ශක්තියක්..

      Delete
  27. එක හුස්මට කියවගෙන ගියා..අපේ ගෙදරත් තිබුනනෙ පුංචි කුකුල් කොටුවක්..මගෙ''පොහොරියි මමයි'' පෝස්ට් එකේ ලිව්වෙ ඒ කතාව..ඔයාගෙ ලියවිල්ල කවදත් විශිෂ්ඨයි..!! අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..
    සත්තු ගැන ලියවෙන කතාවලට මම හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිරිල්ලි.. කියවන්ඩ ඕනා පොහොරිගෙ කතාව...

      සත්තු ගැන ලියවෙන කතාවල අමුතු ගතියක් තියනවා තමා..

      නැවතත් ස්තූතියි අගය කළාට..

      Delete
  28. කුරුන්දෙන් ආපු වෙනස්ම ලිපියක්.ඒත් ඒ වෙනසට අපි කැමතියි.දිගටම ලියමු සෙන්නා.

    ReplyDelete
    Replies
    1. කුරුන්දෙ අතරින් පතර මේ වගේ ලිපි යනවා A.Wickz . ඒකාකාරිත්වයෙන් මිදෙන්නයි, පොඩි විවේකයක් ගන්ඩයි... අර ලිපි දිගටම ලියන එක ටිකක් පණයන වැඩක්..

      ස්තූතියි කියෙව්වට සහ කමෙන්ට් කළාට.

      Delete
    2. ඔව් ඔව්...ඒ ලිපි දැක්කහම හිතා ගන්න පුළුවන්.සැහෙන්න කල් යනවා ඇති ඒ වගේ ලිපියක් ලියන්න...ජය!!!

      Delete
  29. හරිම ලස්සනට දැනෙන්න ලියල තියනවා. පොඩි කාලෙ කියවපු "උගුඩු විත්ති" කියන ලස්සන පොත මතක්වුනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Pisakkaatuwa.

      "උගුඩු විත්ති" නම් මම කියවලා නැද්ද කොහෙද..ජයසේන ජයකොඩි මහත්තයගෙ පොතක් තිබුනා " මී මාමා " ද කොහෙද ඒකෙ නම. ඒකත් සත්තු ගැන උන්ගෙ කෝණයෙන් ලියවෙච්ච පොතක් වගේ තමා මට මතක..

      Delete
  30. එළට ලියලා මචං ..වෙනස්ම විදියට ලියලා තියෙන්නේ..
    මේ විදියට පොඩි කාලේ කුකුලෙක් මරනවා දැකලා ගොඩක් කල් යනකං මස් කෑවේ නෑ...පස්සේ ටෙස්ට් කරන්නත් එක්ක කොටයක් උඩ තියලා ඔය වගේ බෙල්ල කැපුවා....විනාඩි 10 විතර එහෙ මෙහෙ දුවලා කුකුලා මළා...ආයිත් මස් කෑම එපා උනා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ...

      අපොයි බන්.. උඹ !! උඹ ඇයි ටෙස්ට් කරන්ඩ කුකුලෙක් තෝරගත්තෙ, මිනිහෙක්ව තෝරගන්නැතුව ? :-)

      උඹ කලින් දවසකත් කිව්වා වගේ මතකයි මොකක්ද කුකුලෙක් මරපු කතාවක්..

      Delete
    2. @ ඔබ නොදු‍ටු ලොවක්,

      කුකුලට මොකෝ කළේ?

      Delete
    3. ඔව් ඔව් කලින් කිව්වා මේ සීන් එක..කුකුලව රෝස් කරලා කෑවද කොහෙද අනික් උන්...මම කෑලි දෙකයි කෑවේ.....

      Delete
  31. මරු සෙන්නා මචෝ.සංවේදියි...ඒත් දිග වැඩිදෝ මන්දා (මම කියන්නෙ මට හිතිච්චි විදියට )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගැටයා මචෝ...උඹ සෑහෙන කාලෙකින්...

      දිග වැඩිද ? මේ පුලුවන් තරම් කොට කරලා ලිව්වෙ බන්.. තව දේවල් තිබ්බා ලියන්ඩ, ඒවා ලියුවනම් තවත් දිග වෙනවා.. කොටස් කරන්ඩත් මම එච්චර කැමති නෑ..

      Delete
  32. ම්..පෝස්ටුව ගැන නම් ආයෙ දෙකක් නෑ විශිෂ්ඨයි..එක හුස්මට කියවලා ඉවර කලා..
    එක දිගට කියවන්න වෙලාව හොයාගත්ත හැටියෙයි ආපහු ආවෙ..

    මේ කතාවෙ සැවුලිඳුගෙ විලාපය කියලා තිබුනට තියෙන්නෙ කුකළෙක් සතුටින් ජීවත් වුන හැටිනෙ..දැන් නම් අපරාදෙ කියන්න බෑ කට ඇරලා සෙන්නට කුකුලා කියලා කියන්න පුළුවන්..
    ඇයි මේ සාක්ෂි ඇතුවම කියලා තියනවනේ..

    මම නම් මස් මාළු කෑම අතෑරලා අවුරුදු 12ක් විතර වෙනවා..ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ සමහර වෙලාවට හැදෙන ලෙඩ වලට පෙති වලින් විතරක් ප්‍රතිකාර කරලා ගොඩ දාගන්න බැරි එක..හරියට බින්දි කිව්වා වගේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ,

      මුල ටිකනෙ ඉතින් සන්තෝසෙන් හිටියේ.. පස්සෙ ඉතින් ශෝකාලාපයක්නෙ තියෙන්නෙ...

      හැක් හැක්.. මේකෙ කොහෙවත් කියලා නෑනෙ මම කුකුලෙක් කියලා. කිව්වොත් මම අර නම කියනව.. :ඩී

      ෂඃ මරුනෙ.. අවුරුදු 12ක්.. මම වෙජිටේරියන් වෙලා මාස පහයි හිටියෙ.. ආයෙ කන්ඩ ගත්තා..

      Delete
    2. අපි බයවෙයි ඕවට දැන්නම්..!!

      Delete
    3. ආයෙ කන්ඩ ගත්තා කියපු එකට වෙන්ඩ ඇති බය නෑ කිව්වෙ.. :-)

      Delete
  33. ඇයි බන් කිකිළි බිත්තරේ දාලා කෑ ගහන්නෙ.. ?

    ReplyDelete
    Replies
    1. දන්නෑ බන්.. උන් බිත්තරේ දාපු ගමන් කෑගහනවා.. ඇවිල්ල බිත්තරේ ගත්තු ගමන් නවත්වනවා.. හැබැයි පොඩි පගාවක් දෙන්ඩ ඕනා..

      Delete
    2. ඔය ටික මාත් දන්නවනෙ.. කුකුලෙක්ගෙ ඇසින් දැනගන්නයි ඇහුවෙ.. :)

      Delete
    3. හැහ් හැහ්.. දැන් බෑ බන්.. ඒකට කුකුලෙකුට ආවේශ වෙන්ඩ ඕනා.. වෙලාවක කිකිලියෙක්ගෙ ඇහෙන් පෝස්ට් එකක් දාන්නම්..

      Delete
    4. ඔය මම කිව්වෙ බොරුද?
      සෙන්නා කුකුලෙක් කියලා..හික්ස්..

      Delete
    5. හැක හැක... කුකුලෙක් වීම ආඩම්බරයකි.. :-)

      Delete
  34. අනේ සෙන්න සහෝ... ලිපිය දිග වැඩි නැද්ද? මට හිතෙන්නේ නම් ලිපිය ටිකක් කෙටි උනානම් හොඳයි කියල... මම හැමදාම කියවන්නේ බාගෙට... :(((((((

    ReplyDelete
    Replies
    1. අය්යෝ දිග වැඩිද ? මේ උපරිම කෙටි කරලා. නැත්තම් තව තිබුනා කුකුලන්ගෙ වීර ක්‍රියා එහෙම.. කොටස් වශයෙන් දැම්මමත් චා නේද ?

      Delete
    2. නෑ නෑ මම කියවන්න ඕන කියල කොටස් කරන්න කියන එක අසාධාරණයි... සම්පුර්ණ කතාව දැනුයි බැලුවේ... කැඩුවා නම් අපරාදේ....

      Delete
  35. මේ දැන් දැකපු දෙයක්. මේක බලන්න.

    http://panhidablog.blogspot.com/2012/08/intensedebate-comment-system-blogger.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+Panhida+%28Panhida%29


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේක හරි ගියේ නෑ විචාරක මහතා.. පස්සෙ අල්ලලා දැම්මා.. ස්තූතියි ඔබට.

      Delete
  36. කෑලි කඩපු නැතිඑක හොදයි මචං

    ReplyDelete
  37. ලස්සන උනත් අවසානයේ දුක හිතුනු කතාවක්.... කුකුළගෙ ඉරණම දුක හිතෙන විදියටම ලියලා.... මම නම් දැන් මස් මාළු කෑම බොහෝ දුරට අතහැරලා තියෙන්නෙ... ඒත් බිත්තර, කරවල නම් කනවා.....
    අර ගෙදර විස්තරේ අර තරම් හොඳට ලියලා තියෙනකොට මං දැනගත්තා මේ සෙන්නගෙ ගෙදර වෙච්චි දෙයක් වෙන්නැති කියලා.... මේක කියවද්දි අසරණයගෙ කුකුළවත් මතක් උනා.....
    අපේ ගෙදර බල්ලො පූසො ඇරුනම අනිත් සත්තු ජාති නම් හිටියෙ නෑ.... ඒ නිසා බලු පූස් කතා මිස කුකුල් කතා නම් නෑ මට....

    ReplyDelete
    Replies
    1. පරණ කතාවක් කියවලා කමෙන්ට් කළාට ස්තූතියි මියුරු.. ලියන්ඩකො ඒ බලු බලල් කතා, අපිට කියවන්ඩ...

      Delete
  38. අවසානය මාර දුකක් නේ ඇති වුණේ මම අදමයි මේකට ගොඩ වැදුණේ

    ReplyDelete
    Replies
    1. ආවට ස්තූතියි යසිරු.. ඛේදජනක අවසානයක් දෙන්ඩ වුනාට කණගාටුයි.. මේක අවාසනාවට ඇත්ත කතාවක්..

      Delete
  39. aluth mukuth neddooooooo...................

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ වැඩ වැඩියි අප්පා.. මැරිලා මැරිලා ආපුවම ලියන්ඩ ෆිට් එකක් නෑ.. වැටිලා නිදා ගන්නවා මිසක්.. පුළුවන් තරම් ඉක්මනට එකක් දාන්නම්..

      ස්තූතියි.

      Delete
  40. මුලු ජීවිතේම එපා කරවන කාලකණ්ණි මූසල කමක් හිත පුරාම වෙලිලා. මිනිස්සුන්ට තේරෙනව නම් අපිටත් මේ හැඟීම් දැනෙනවා කියලා. අහෝ මිනිසුනී නුඹලා මෙතරම් රෞද්‍ර වූයේ කෙසේද ?
    මිනිස්සුන්ට කොහෙද ඕව තේරෙන්නේ...පව්කාර වැඩ...

    ReplyDelete
  41. මුලින්ම අද තමා මේ පැත්තට ආවේ... ආයෙමත් එන්නම්...

    ReplyDelete
    Replies
    1. රෙහානි, අළුත් මල්ලී,

      සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට..

      Delete
  42. අනේ මේ කුකුළව ඇඬෙව්වා ඇති බං... අලුත් මොකුත් නැද්ද?

    ReplyDelete
  43. කෝ ..... මුකුත් ලියන අදහසක් නැද්ද? කුරුන්ද පාළුවට ගිහින්නේ.

    ReplyDelete
  44. මගේ කුකුල් කතාව මෙතෙන්ට ගිහිල්ල කියවන්නකෝ.. ඊටත් පස්සේ කුකුල් මස් කනවා නම් ඉතින් මේ කතාව ලියාපු එකේ තේරුමකුත් නැහැ ඕන්.. http://lankapriyagesithivili.blogspot.com/2012_04_01_archive.html

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නෙ මොකටද සරත් අයියා, මම නම් කුකුල් මස් කනවා.. මේ සිද්දිය මගේ හිතේ කම්පනයක් අති කළා තමා..ඒත් අනිත් මස් ජාති නොකන නිසාද කොහෙද කුකුල් මස් නම් තාම කනවා..කාලයක් වෙජිටේරියන් වෙන්න ෆුල් ට්‍රයක් දුන්නා.. වැඩේ අමාරුයි.. මස් මාළු වලට පුරුදු වෙලා හින්දා. මගේ හිතේ කොනක තියනවා සම්පූර්ණයෙන් ශාඛ භක්ශක වීමේ අදහසක්.. ඒත් වැඩේ දවසින් දවස කල් යනවා..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  45. අති විශිෂ්ඨයි !!!!!!
    කුකුල් කො‍ටුවෙ චරිත ටික විස්තර කරද්දි මතක් උනේ අපේ බෝඩිම :ඩී. කොහොමත් මිනිහයි කුකුලයි එක වගේලුනේ. ඒකලු ඔය බිලිදෙන වැඩ වලට කුකුල්ලු පාවිච්චි කරන්නෙ.
    කතාව නම් සුපිරියි. මේ වගේ එකක් මීට කලින් කියෙව්වෙ, ගාමිණී වියන්ගොඩ මහත්තය පරිවර්තනය කරපු මිකායෙල් බුල්ගකෝව්ගෙ "බල්ලෙකුගෙ හදවත" කියන පොතේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි De silva..

      හෙහ් හෙහ් බෝඩිමත් ඒ වගේද ?

      Delete
  46. මට කුතුහලයක් තිබෙනවා සත්තු මරණ ගෑනු ඉන්නවද කියලා.දන්න කෙනෙක් කියා දෙන්න

    ReplyDelete
  47. උපරිමයි ඉතාමත් ලස්සන නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. අඩේ කෝරාලෙ, උඹට අද වෙන වැඩක් කරන්න හම්බෙලා නෑනෙ බන්.... :D

      පට්ට ස්තූතියි බන් ඔක්කොම ලිපිටික කොනක ඉඳන් කියෙව්වට..

      Delete
  48. සෙන්නා කුකුළට ඇඳලා. :D නිර්මාණශීලී පෝස්ටුවක්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්..:D ස්තූතියි චන්දන මෙතනටත් ඇවිත් කියවලා ගියාට.

      Delete
  49. හ්ම්ම්.................අහිංසක සත්තු ගැන දුක හිතුනා...සංවේදී සටහනක් සෙන්නා..මනෝගේ පෝස්ටුවේ ලින්ක් එක දැකලයි ආවේ..

    ඔය කුකුල්ලු රෑට ගස් උඩ ඉන්නකොට රත්කරපු පොල් ලෙල්ලක් ලීයක බැඳලා උඩට උස්සලා තියනවලු.එතකොට කුකුළා ටිකකින් රස්නෙට පොල් ලෙල්ල උඩට එනවලු..පස්සේ හිමීට බිමට කුකුළා බාගන්නවලු.කුකුල් හොරකමේ යන උන් කුකුල්ලු අල්ලන්නේ එහෙමලු.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්...මම මේක කලිනුත් කියවලානේ බොලේ ...ඔන්න මතකේ තරම :D

      Delete
    2. හැක් හැක්.... මාර මතකයක්නෙ මේක...... :D

      අර රත්කරපු පොල්ලෙල්ලෙ කතාවනම් මම ඇහුවමයි.. හැබැයි ඒක වෙන්න පුළුවන් කියලා හිතෙනවා. බලන්නකො හොරුත් හොයාගන්න ක්‍රම...

      Delete
  50. අද තමයි ලින්ක් එක දිගේ ඇවිත් කුකුල් කතාව ඉවරකොලේ...:)
    හැබැයි ඉතින් මමනම් ඔය ඕනෙම මසක් කනවා සෙන්නයියේ.

    ReplyDelete
    Replies
    1. මමත් ඔය කිව්වට කනවා මලේ.. :D

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!