Thursday, December 12, 2013

බිළාල ශාපය....

20.03.20__
නිවසේදීය,

මා  ප්‍රිය හිතවත / හිතවතිය, ඔබ මේ බ්ලොග් සටහන කියවන විට මා ජීවිතයට සමුදී සදාකාලික නිද්‍රාවට පිවිස අවසානය. මෙය මෙහි පළවන අවසාන බ්ලොග් සටහන බව ඉතා කරුණාවෙන් සලකන්න. පුරා දෙවසරකට මදක් වැඩි කාලයක් ඔබ හා රැදුණු හෙයින් මේ අවසන් නික්මයාම පිළිබඳව මෙසේ සටහන් කොට තබා යාම මාගේ යුතුකමක් යැයි මම සිතමි. සිදුවූයේ හා වන්නේ කුමක්දැයි පැහැදිලිව පවසා මම ඔබගෙන් සමුගනිමි. එහෙයින් මෙතැන් සිට අවසානය දක්වා සියල්ල ඉතා සාවධානව කියවන මෙන් ඔබෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. මෙතෙක් ඔබ හා මා දොඩමළු නොවූ මාගේ තථ්‍ය ජීවිතයේ, මා හා බැඳුණු චරිත හා සිදුවීම්, අතිශය තීරණාත්මක සිදුවීම් කිහිපයක් ඔබගේ දැන ගැනීම සඳහා මෙතැන් සිට පෙළ ගස්වමි. මා දැන් සිටිනා මානසික වාතාවරණය හේතුකොටගෙන එය නිසියාකාරයෙන් කිරීමට හැකිවේදැයි මටම සැකය. එහෙත් මම උත්සහා කරමි. සිදුවීම් සිදුවූ ආකාරයෙන්ම ලියා තැබීමට උත්සහා කරමි. තව හෝරා කිහිපයකින් එළබෙන ඒ අවාසනාවන්ත දිනයේ කිනම් මොහොහොතක හෝ ඒ කාලවර්ණ නපුරු යක්ෂයා මා වෙත පැමිණෙන බව ඒකාන්තය. එයට පෙර මා ඉක්මන් විය යුතුය. එහෙයින් මෙම ලිපිය හැකිතරම් ඉක්මනින් ලියා අවසන්කොට ප්‍රසිද්ධ කිරීමට මම අදහස් කරගෙන සිටිමි.

+++++

එදා මාර්තු 21 වෙනිදාවක් බව කෙසේනම් අමතක කරන්නද ? මේ දිනය දැන් මාගේ ජීවිතයට සම්බන්ධවී ඇත්තේ එය මාගේ උපන්දිනය නිසාම පමණක් නොවේය. එදා, උපන් දිනය සැමරීම සඳහා අප රාත්‍රී ආහාර වේල පිටින් ගත යුතුයැයි යෝජනා කෙරුවේ තාත්තාය. මුලු සන්ධ්‍යාවම පාහේ පිටත ගතකොට රාත්‍රී ආහාර වේලද ප්‍රසිද්ධ ආපන ශාලාවකින් රැගෙන අප පස් දෙන නැවත නිවස බලා ඒමට පිටත් වන විට රාත්‍රී එකොලහත් පසුවී තිබුණි. තාත්තා වෑන් රථය ධාවනය කළ අතර මම ඉදිරි පස වම් පස අසුනට බරවී සිටියෙමි. අම්මාත් අක්කාත් මල්ලීත් පිටුපස අසුනේය. වාහන නොමැති කමින් පාර පාළු ස්වාභාවයක් ගෙන තිබූ බැවින් තාත්තා සැලකිය යුතු වේගයකින් රථය ධාවනය කළේය. එය සිදුවූයේ ඉතා හදිසියේය. එක වරම වැන් රථයට මීටර දහයක් පමණ දුරින් පාර හරහා දිව යන කළුම කළු බළලෙකු විය. ඌ කොහෙන් කෙසේ ප්‍රාදූර්භූත වූයේ දැයි අදහා ගැනීමටවත් නොහැකි වූ ඒ නිමේෂයේදී තාත්තා වැරදි තීරණයකට යොමු විය. හදිසි තිරිංග පහරින් පැත්තට විසිවී ගිය වෑන් රථය දකුණු පස වූ තාප්පයේ ඉතා තදින් වැදුණේ එයද අනිත් පසට පෙරළා දමමිනි. අනතුරින් සිහිසන් වූ මා රෝහලේදී නැවත සිහිය ලබා ටික වේලාවකින් තාත්තා හා අක්කා අප හැර ගොස් ඇති බව දැනගෙන රෝහලේ වහල ගැලවී යන තරම් හයියෙන් කෑ ගසා හඬා වැටුණි. මාගේ උපන් දිනය අප නිවසේ දෙදෙනෙකුටම සිය ජීවිතයේ අවසන් දිනය වී තිබුණි.

හදවත්හී ඇතිවූ තුවාලයන් කෙමෙන් කෙමෙන් සුවපත් කරමින් කාලය ගලා ගියේය. නෑසිය මිතුරන්ගේ, අසල්වැසියන්ගේ සැනසිලිදායක වදන් අපට යථා තත්ත්වයට පත්වීමට මහඟු පිටිවහලක් විය. අනිත්‍යය හා අටලෝ දහම සිහිකොට එය අපට පමණක් සීමා නොවූ ඉරණමක්යැයි සිතා සිත් සාදා ගත්හ. අවසන තාත්තාත්, අක්කාත් නොමැති ජීවිතයකට අප හුරු වූහ.

වසරක් ගෙවුණි. මාගේ උපන් දිනයත්, තාත්තාගේ හා අක්කාගේ සැමරුමත් එකට යෙදී තිබුණද උපන් දිනය සපුරා අමතක කළ අප වර්ෂ පූර්ණ පින්කම් සඳහා ලක ලෑස්ති වූහ. කිසිසේත් බලාපොරොත්තු නුවූ ලෙස එදිනම මාරාන්තික දෙවන ප්‍රහාරයද එල්ල වූයේ අපගේ ස්නායු භීතියෙන් හිරිවට්ටවමිනි. වර්ෂ පූර්ණය වෙනුවෙන් අම්මාත් මමත් මල්ලීත් කනත්තට ගොස් තාත්තාගේත් අක්කාගේත් සොහොන් අබියස ඉටි පන්දම් දල්වා, අලුතින් මල් පොකුරු තැන්පත් කොට ඔවුන් සිහි කර පින්පතා නැවත එමින් සිටිහය. අප කනත්ත අයිනෙන් වූ මාවතෙහි වම් පසින් ගමන් කරමින් සිටි අතර හදිසියේම කනත්තෙහි වැටෙන් රිංගා පාරට පැමිණ අප දෙසට එකිනෙකා ලුහු බැඳන් එන බළලුන් දෙදෙනෙකු වූහ. එකෙක් සුදු පාට බළලෙකු වූ අතර ඌව හඹා ආ අනෙකා තදම තද කළු පැහැති බළලෙකි. සුදු බළලා අම්මාගේ පාදයක් අසලින් දිව යන විට කළු බළලා ඇයගේ දෙපා අතරින් දිව ගියේ විදුලි වේගයකිනි. මෙයින් කලබලයට පත් ඈ කෑගසමින් අහකට පැන්නේ සතුන්ව මග හැරීම සඳහාය. අවාසනාවක මහත ! කලබලවූ අම්මා එක් වරම පැන්නේ පාර දෙසටය. පිටුපසින් ආ බස් රථය ඇයව යට කරගෙන ඉදිරියට ගොස් නතර විය. අභ්‍යන්තර රුධිර වහනය හා සුසුම්නාව බිඳි යාම නිසා දින දෙකක් රෝහලෙහි අධික ලෙස වේදනා විධි ඇය අවසන මමත් මල්ලීත් මෙලොව හුදකලාකොට අප අත්හැර තාත්තා සහ අක්කා වෙතට ගියාය.

එකිනෙකා විවිධි විවිධ මත ඉදිරිපත් කළහ. සමහරුන් මුහුණට නොකීවද එය මාගේ අවාසනාවක් නිසා වෙන දෙයක් බව කියා තිබූ බව මට කණින් කොනින් ආරංචි විය. ඒ මෙම සියලු මරණ වලට බලපෑ හේතුව මාගේ උපන් දිනය දවසේම සිදුවී තිබීම නිසාය. සමහරුන් බලි තොවිල් ශාන්ති කර්ම ආදී කටයුතු කිරීමට යෝජනා කළ අතර සමහරෙක්ගේ මතය වුයේ අප ප්‍රදේශය අත් හැර යා යුතු බවය. තාත්තාගේත් අක්කාගේත් මරණයට සහභාගී වූ පිරිසෙන් අඩක්වත් අම්මාගේ මරණයට නොවූහ. සිදු වන්නේ කුමක්දැයි මටවත්, මල්ලීටවත් නිසියාකාරයෙන් නිශ්චය කරගැනීමට නොහැක. කුමක් නමුත් අපගේ පාලනයෙන් තොර අමුතු දෙයක් සිදුවන බවක් අපට හැඟුණි. කාලය ගතවීමත් සමඟ අප දෙදෙනා නැවතත් සාමාන්‍ය නොවුණත් එදිනෙදා ජීවිතයට හුරු වූහ. නිවස එකම පාළු අම්බලමක් වී තිබුණි. අප දෙදෙනාම ගෙදර සිටින වේලාවකදී වූවත් අප අතර වැඩි කතා බහක් නොවුණි. දැන් දැන් අප ඇසුරු කරනා යාළු මිත්‍රාදීන්ද හිඟය. අප පවුලම කුමක් හෝ සාපයකට ගොදුරුවී ඇතැයි අනුමාන කළ ඔවුන් ක්‍රමක්‍රමයෙන් අපගෙන් ඈත් වෙමින් සිටියහ.

ඊළඟ මාර්තු 21 වෙනිදාව උදාවූයේ අප දෙදෙනාගේම හදවත් භීතියෙන් සලිත කරවමිනි. එදින උදයේම අවදිවූ මා දෙවියන් බුදුන් සිහිකර අප දෙදෙනා වෙනුවෙන්ම ආරක්ෂාව පැතුවේය. කිසිඳු අතුරු අන්තරාවකින් තොරව මේ දිනය පහු කර ගැනීමට ලැබේවායි පැතුවෙමි. දෙදෙනාම එදින නිවාඩු දමා ගෙදරට වී සිටියේ අනතුරකට ලක්වීමේ ඉඩ අහුරාලනු වස්ය. නමුත් සිද්ධවීමට ලියවී ඇති දෑ කෙසේනම් වළකාලම්ද !

එදින දහවල් දිවා ආහාරයෙන් පසුව අප දෙදෙනා සාලයේ අසුන් ගෙන රූපවාහිනී යන්ත්‍රය නරඹමින් සිටියහ. හදිසියේම ඇසුණු බළල් පොරයේ හඬට අවධානය යොමු කර පිටත බැලූ අපට, අපගේ බළලා ලුහු බැඳ එන කළු පාට බළලෙකු දිස් විය. අපගේ බළලා ආරක්ෂාව පතා ගෙට වැදී පුටුවක් යටට රිංගුවේය. එහෙත් කළු බළලාද ඌ හඹා විත් පුටුව යටදීම පෙරළාගෙන සපන්නට විය. මෙයින් කෝපාවිෂ්ට වූ මල්ලි අප බළලාව බේරාගැනීම සඳහා එතනට ලංවන විටදීම ඔහු වෙතට කඩා පිනූ කළු බළලා ඔහුව සපා කා පැන දිවීය. දත් පහරවල් හතරක් සමඟින් නියපොතු පහරවල් කිහිපයක් ඔහුගේ දකුණතෙහි විය. ඒවා එතරම් බරපතල තත්ත්වයේ නොවූ හෙයින් ඔහු බේත් දමා ගැනීමට යාම ප්‍රතික්ෂේප කොට ගොඩ වෙදකමකින් සෑහීමකට පත් විය. අප දෙදෙනාට කිසිඳු අනතුරකින් තොරව මාර්තු 21 ගෙවී ගියේය. ඒ ගැන අප බොහෝ සතුටට පත්වූ අතර කිසියම් හෝ අසුබ දෙයක් තිබුණිනම් එය අවසන් වී ඇතැයි අප අනුමාන කළහ.

එතැන් සිට මාස දෙකක් ගෙවුණ තැන මල්ලීගේ හැසිරීමෙහි යම් අමුත්තක් මා හට දිස් විය. ඔහු සාංකාවෙහි හා විශාදියෙහි මූලික ලක්ෂණ පෙන්නුම් කර සිටියේය. එක දිගට පැමිණි කරදර වැල නිසා එසේ වන්නට ඇතැයි අපි අනුමාන කෙළෙමු. එහෙත් එන්න එන්නම තත්ත්වය නරක අතටම හැරුණි. ඔහු මහ රෑ හදිසියේම අවදිව භීතියෙන් කෑ ගැසීමට පටන් ගත්තේය. යම් යම් රූප හා ඡායාවන් පෙනෙන බවට සඳහන් කළේය. ඔහුට කිසිඳු දියර වර්ගයක් පානය කළ නොහැකි වූ අතර මුත්‍රා පිට කිරීමෙහි පාලනයද ඔහු වෙතින් ගිලිහී තිබු බැවින් නිතරම ඇඳ තෙමීම ඔහු අතින් සිදු විය. කිසිවකුගේ හව්හරණක් නොමැතිව මෙම කරදරයට මුහුණ දීමට මා හට සිදුවී තිබුණි. කළ යුතු කිසිඳු ප්‍රතිකර්මයක් නොදුටු තැන අවසන මා ඔහු රෝහලට ඇතුළත් කෙරුවේය. අවාසනාවකි ! ඔහු ජලභීතිකා රෝගයෙන් ඔත්පලව සිටින බැව් වෛද්‍යවරුන් මාහට පවසා සිටියේ එයට කිසිඳු ප්‍රතිකර්මයක් මේ වන විට සොයාගෙන නොමැති බවද දන්වමිනි. මාගේ මුලු ලොවම නැවතත් මා හිස මත කඩා වැටෙමින් තිබුණි. මා හට මෙලොවෙහි වූ එකම හිතවතාද මා හැර යාමට සූදානම් වෙමින් රෝහලෙහි ඇඳක් මත දගලමින් සිටියේය. තවත් දින දෙකක් පෙරකී රෝග ලක්ෂණයන්ගෙන් බැට කෑ මලණුවන් අවසානයේදී මා තනිකර යන්නටම ගියේය. මෙම දරුණු ප්‍රහාරය ඉවසා දරා ගැනීමට තවමත් මාහට ශක්තිය තිබීම ගැන විටෙක මමම පුදුමයට පත් වීමි. වසරක් පාසා එකින් එක මාගේ සමීපතමයන් මා හැර යද්දීත් තවමත් මා නිරුපද්‍රිතව හොඳ සිහියෙන් පසු වීම විටෙක මටම අදහා ගැනීමට නොහැකි තත්ත්වයකි. සැබවින්ම මා ජීවත් වේද ? නැතහොත් මා මේ දකින්නේ සිහිනයක්ද ? මා ඔවුනට පෙර මිය ගොස් ඔවුන්ගේ මරණයන් කොහේ හෝ සිට නරඹමින් සිටින්නේද ?

මල්ලිගේ දේහය නිවසට ගෙන යාමට මම ප්‍රතික්ෂේප කළ බැවින් රෝහල මුල්වී අවසන් කටයුතු සිදු කර දමන ලදී. නෑ හිත මිතුරන් සියල්ලම පාහේ බොහෝ දුරට අප අත් හැර සිටි බැවින් මළ ගෙයි කටයුතු වෙනුවෙන් හෝ ඔවුන් සහභාගී වෙදෝයි මා හට වූයේ සැකයකි. මළ මිනියක් සමඟින් නිවසේ තනිවීම මා උමතු කරවන්නක් වීමට ඉඩ තිබුණි.

මල්ලීගේ මරණයත් සමඟින් මෙතෙක් මා පිළිගැනීමට අදිමදි කළ එක් දෙයක් අකමැත්තෙන් හෝ පිළිගැනීමට වී තිබේ. ඔව්, අප පවුලට කිසිවකුගේ හෝ සාපයක් වැදි ඇත. එහෙත් ඒ කාගේ සාපයද ? දන්නා තරමින් අප කා හට හෝ අහිතක්, නපුරක්, අනතුරක් සිදු කොට නොමැත.

සිදුවන්නේ කුමක්දැයි අදහා ගැනීමට නොහැකිව අඳුරෙහි අතපත ගාමින් සිටි මාහට ඉතා අහඹු ලෙස ප්‍රහාරකයා හෙළිදරව් කරගැනීමට හැකි විය. මා දැන් විශ්වාස කරනා අන්දමට අවසාන ඉලක්කය වූ මා වෙත ප්‍රහාරය එල්ල කිරීමට පෙර තමාව හඳුන්වා දීමට ඌට උවමනා වූවා වැනිය. මෙතැන් සිට කතාව කීමට මම මදක් පැකිලෙමි. ඒ ඔබ මා අන්ධ විශ්වාසයන් ඇති මිථ්‍යාදෘෂ්ටිකයෙකුයැයි අනුමාන කිරීමට ඉඩ ඇති බැවිනි. නමුත් මාගේ ඉන්ද්‍රියනට වැටහෙනා පරිධි මෙම ඛේදවාචකයට මීට වඩා තේරුමක් දිය නොහැකිය.

ඉතා අහඹු ලෙස ඔබගෙන් කෙනෙකු ( අදාල නොවන බැවින් මම ඔහුගේ නම හෙළි කිරීමෙන් වැළකෙමි ) හා කළ සංවාදයකදී මා හට එඩ්ගා ඇලන් පෝ නැමති ඇමෙරිකානු ලේඛකයාගේ කෘති අඩංගු අඩවියකට සබැඳියක් ලැබුණි. එහි වූ කතා විශාල ගණනක් අතරින් එකවරම මාගේ අවධානය The black cat කතාව වෙතම යොමු වූයේ මන්දැයි මම තවමත් සිතමි. එය කිසිවකුගේ අදෘශ්‍යමාන මගපෙන්වීමක්යැයි විශ්වාස කිරීමට මා කැමතිය.  මා එම කතාව කියවා අවසන් කෙරුවේ ලොමුදැහැගැන්වීය. ඒ එම කථාවෙහි වූ කිසිඳු භයානක කමක් නිසා නොව එය මාගේ එක් දුෂ්ට ක්‍රියාකාරකමක් හා 100%ක් ගැළපීමේ අපූරු සමානකම නිසාවෙනි. එය එසේ සිදු විය හැකිද ? මා විසින් සැබවින්ම කළ ක්‍රියාකාරකමක් එලෙසින්ම අතීතයෙහි වූ ලේඛකයෙකු ලියා තැබුවේ කෙලෙසද ? මෙම කතාව කියවීමෙන් පසු මෙතෙක් මාහට සම්පූර්ණයෙන්ම අමතකව තිබූ, අතීතයේ මා කළ ඒ මහා පාපය මාගේ දෑස් ඉදිරියෙක් මැවී පෙනෙන්නට විය. ඒ සමඟම අපගේ පවුලේ සෑම සාමාජිකයෙකු මිය යාමට ප්‍රථම ප්‍රාදූර්භූත වූ ඒ මහා පොදු සාධකය, කාලවර්ණ නපුරු යක්ෂ බළලා මාගේ දැස් ඉදිරියෙහි මැවී පෙනුණි. ඔව් එය එසේම විය යුතුය. ඒ ගැන මා හට අබමල් රේණුවක තරම්වත් අවිශ්වාසයක් නොමැත.

මෙම බිහිසුණු පලිගන්නාගේ අවසාන ඉලක්කය මා බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. තාත්තාව සහ අක්කාව මුලින්ම ක්ෂණිකව මිය යාමට සලස්වන්නේ අන් අයගේ මරණයන් තුළින් ඔවුනට ඇතිවෙන වේදනාව වැළැක්වීමට හා ඔවුන්ගේ මරණයන් තුළින් අප තිදෙනා වේදනාවට පත් කිරීමට බව දැන් මා හට ප්‍රත්‍යක්ෂය. මන්ද යත් ඔවුන් දෙදෙනා මේ මහා පාප කර්මයට කිසි ලෙසකිඳු හවුල් නොවූ බැවිනි. අම්මා මද කෙටිකාලීන වේදනාවකුත්, මල්ලී ඊට වැඩි වේදනාවකුත් විඳ මිය ගියේ ඔවුන් මෙම පාපයට හවුල් වූ ප්‍රමාණයේ අනුපාතයට බව සැකයක් නොමැත. මෙසේ බලන කළ මෙම පාපයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ මා වෙත මෙම පලිගන්නාගේ සැලසුම මොන තරම් බිහිසුණු එකක් වේදැයි හිතා ගැනීමටවත් නොහැක. එය අති බිහිසුණු සෙමෙන් සෙමෙන් ළඟාවන විනාශයක් බවනම් සහතිකය. මෙතෙක් සිදු වී ඇත්තේ අන් අයගේ මරණයන් තුළින් මා දරුණු චිත්ත පීඩාවකට ලක් කිරීම පමණකි. මා හට උරුම සැබෑම දඬුවම තවමත් මා වෙනුවෙන් බලා සිටී. ඒ දිනය එන තෙක් බලා සිටී.

+++++

මම ඌට ආදරයට කපූ කිවෙමි. ඒ කළු පූසා යන්න කෙටි කරය. මුළු ශරීරයේම වූ සෑම මවිල් ගසක්ම තද කළු පැහැයෙන් යුක්ත වූ මෙම බළලාගේ එකඳු සුදු හෝ වෙන යම් වර්ණයක් සොයා ගැනීමට නොහැකි විය. කට දෙපසින් වූ සන්වේදක ස්පර්ශකයන් පවා තද කළු පැහැයෙන් යුක්ත වූහ. මුලින් මුලින් ඉතා හුරතල් බළලෙකු වූ කපූ අප සැමගේ ආදරයට පාත්‍ර විය. උගේ ආගමනයත් සමඟින් නිවසෙහි අරක්ගෙන සිටි මීයන් අදෘශ්‍යමාන වීමෙහි ගෞරවයද අපි නොඅඩුවම ඌටම පිදුවෙමු. එහෙත් පසු කලෙක මෙම සත්වයාගේ ඇතිවූ නොමනා හැසිරීමක් නිසා අප හට ඌ එපා වෙමින් පැවතුණි. නිවසේ උයා පිහා තැබූ කෑම වලඳේ සිට මේසයට බෙදා තිබූ බත් පත දක්වා හොරා කෑමට ඌ පසු බට නොවීය. එතකින් නොනැවතී අසල්වැසියන්ගේ නිවෙස් වලින්ද සොරා කෑමට පටන් ගැනීම නිසා අප ඔවුන්ගේ දෝෂාරෝපණයටද ලක් වූහ. කෙතරම් දඩුවම් කළත් මෙම සත්වයාගේ මෙම කැත පුරුද්ද අත් හැරීමට සූදානම් වූයේ ඌ නොවේය. මේ සම්බන්ධයෙන් වැඩියෙන්ම ප්‍රකෝපව සිටියේ අම්මාය. එයින් වැඩියෙන්ම පීඩා වින්දේ ඇය බැවින් එය ස්වාභාවිකය.

එය, උක්ත රිය අනතුර සිදුවී තාත්තාත්, අක්කාත් මිය යාමට පෙර වසරේ මාගේ උපන් දිනයයි. මෙවර උපන් දිනය යාළුවන් කිහිප දෙනෙකුටද අරාධනා කොට මදක් උත්සවාකාරයෙන් ගැනීමට අප සැලසුම් කළහ. එදින සවස මුළුතැන්ගෙයින් ඇසුණු අම්මාගේ ගෝරනාඩුව ඇසී මා එදෙසට යන විට පෙර දින ඈ විසින් පිළියෙල කොට කපුවාට විවෘත්ත කළ හොහැකියැයි විශ්වාස කළ ලෙස වසා ඉහළින් තබා තිබුණු කේක් ගෙඩිය බිම වැටී තිබුණ අතර එයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඌ විසින් කා දමා තිබුණි.

"මූව මැරුවත් හිත්වදින්නෑනෙ මේ කරපු වැඩේට. මටනම් මේ යක්ෂ බළලත් එක්ක තවත්නම් බෑ මේ වැඩේ කරන්න. එක්කෝ ඕකව කොහෙට හරි ගිහින් දාපල්ලා, නැත්නම් මරලා දාපල්ලා. කොච්චරක්නම් කියලා ඉවසන්නද මේ වදේ ? " ඒ ආවේගශීලීව බැණ වදින අම්මාය. එය මෙයින් ප්‍රකෝපව සිටි මාගේ ගින්නට දැමූ පිදුරු විය. දඩුවම් කිරීමට සිතා සොයා බලන විට කිසිවක් නොවූ ආකාරයෙන් පුටුවක් උඩට වී අත පය දිගෑරගෙන නිදා සිටි බළලා දුටු මාගේ ප්‍රකෝපය දෙගුණ තෙගුණ විය. කෑ ගසන විටම බෙල්ලෙන් අල්ලා ගෙන රෙදි කඩකින් උගේ මුහුණ වැසූ මා ඌට දරුණු ලෙස පහර දුනිමි. මෙයට මල්ලීද හවුල් විය. බළලා අඩපණ වෙන තෙක්ම අපි ඌට පහර දුනිමු. එහෙත් තවමත් මාගේ සිතට මදිය. අතට හසු වු පටියකින් මා උගේ ගෙල සිර කොට බැඳ කුස්සියෙහි උළුවස්සෙහි එල්ලා නැවතත් තදින් පහර දුන්නේය. එල්ලා ඇති පන්දුවකට ක්‍රිකට් පිත්තකින් පහර දෙන්නාක් මෙන් ඌට පහර දුන්නේය. වදින සෑම පහරක දිම කොන්ද වකුටු කොට, අත් පා එකට ලංකරමින්, යටි ගිරියෙන් ඤාව් හඩ නිකුත් කරමින් බළලා කෑගැසීය. එය "අනේ මාව බේර ගන්න" වැනි ඉල්ලීමක් වන්නට ඇත. එහෙත් අවාසනාවකට මා හට බළල් භාෂාව නොතේරුණි. ටික වේලාවකින් බළලා නිශ්චල විය. ඒ ඌ අඩ පණ වූ නිසායැයි මම සිතුවෙමි.

තාත්තාත්, අක්කාත් උත්සවයට අවැසි බඩු වගයක් ගෙන ඒමට කඩයට ගොස් නැවත පැමිණියේ අප මෙසේ  චූදිතයාව එල්ලුම් ගස් යවා අහවර වූ පසුවය. කර ඇති අපරාධය දුටු තාත්තා දුන් කම්මුල් පහරින් මා විසිවී ගොස් බිම වැටුණි. අක්කා වහ වහා ලණුව ලිහා බළලාව නිදහස් කර ගත්තද ඒ වන විටත් ඌ අවසන් ගමන් ගොස් තිබුණි. මෙය මා කිසි විටෙකත් අපේක්ෂා නොකළ දෙයකි. බළලුන්ගේ පණ හයිය බැවින් ඔවුන් ලෙහෙසියෙන් නොමැරෙන්නන් ලෙස මම විශ්වාස කළෙමි. එම විශ්වාසයම පෙර කී දරුණු දඬුවමට මා යොමු කළේය. එහෙත් මාගේ විශ්වාසය වැරදී තිබුණි. හිතවත / හිතවතිය මම ඔබට මේ අවසන් මොහොතේ සත්‍යයක් කියමි. මට කපුවාව මැරීමේ කිසිඳු චේතනාවක් නොතිබුණි. එය අප පවුලේ සිව් දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි තරමටම සත්‍යයකි. මට ඒ සම්බන්ධයෙන් ඕනෑම තැනක දිව්රිය හැකිය, චේතනාව කුමක් වූවත් මා අතින් එම අපරාධය සිදුවී තිබුණි.

ඔබ එඩ්ගා ඇලන් පෝ ගේ මතු සඳහන් කෘතිය කියවා ඇත්නම් බළලාට හිංසා කිරීමට ඝාතකයන් දෙදෙනාම යොදා ගන්නා ක්‍රමවේදයේවූ ඒ අපූරු සමානත්වය දකිනු ඇත. සමහරවිට එය කළු බළලෙකු මැරීම සඳහා කාල, ද්වීප, දේශ නොසලකා දෛවයෙන් නියමවී ඇති ක්‍රමවේදය වන්නටද හැකිය. ඒ සමානත්වය නොවන්නට මා පසු පස හඹා එන මේ ශාපය පිළිබඳව නොදැනුවත්වම මා එයට ගොදුරු වනු නියතය. අඩුම තරමින් මම එසේ විශ්වාස කරමි.

+++++

තව හෝරා කිහිපයකින් ඒ බිහිසුණු දවස උදාවනු ඇත. ඔව් හෙට මාගේ උපන් දිනයයි. මේ දක්වා වූ සියල්ල විශ්ලේෂණයකොට බැලීමේදී හෙට දිනයේදී ඒ කළු බලලා මා ඉදිරියෙහි දර්ශනය වන බව හෙට හිරු නැග එන්නාක් මෙන්ම නිශ්චිතය. මෙවර ඌ පැමිණෙනේ මාරාන්තික ප්‍රහාරයටය. තම නියම සතුරා වෙත ඉලක්කය බලා එල්ල කරනා, තම සතුරා අඩපණ කොට, දීර්ඝ කාලයක් විඳවීමට සලස්වා ක්‍රමක්‍රමයෙන් මරා දමනා ඒ බිහිසුණු ප්‍රහාරයටය. දාමාව කැපීමට ප්‍රථම ඌ වටා ඉන්නා ආරක්ෂක ඉත්තන් කපා ඉවත්කරන්නාක් මෙන්, මා වටා සිටි සියලු හිතවතුන් ඌ විසින් කපා ඉවත් කොට මා හුදකලාකොට තිබේ. මේ ප්‍රහාරය මට දරාගත නොහැකිය. ඒ ගැන සිහිවන විටත් මා සියොලඟම දහදියෙන් තෙත්ව, අප්‍රාණික වී යයි. ඔව්, මා ඉස්සර විය යුතුය. ඒ බිහිසුණු කාලවර්ණ මරණයේ දූතයා සම්මුඛ වීමට ප්‍රථම මා ඉස්සර විය යුතුය.

ඉදින් ප්‍රිය මිතුර / මිතුරිය ඔබ මේ දක්වා කියවූයේ මින් පෙර මා ඔබට නොකී මාගේ සැබෑ කතාවයි. එකක් පැවසිය යුතුමය. මෙම දුෂ්කර,බිහිසුණු කාලපරිච්ඡේදයේ අවසාන වසර දෙක තුළ ඔබ හා දොඩමළු වීමට ලැබීම හේතු කොටගෙන යම් ඉසිඹුවක් ලදිමි. එසේ නොවන්නට මා උන්මන්තකයෙකු වී බොහෝ කල්ය. ඒ ගැන මාගේ ස්තූතියි පිළිගන්න.

දැන් යාමට කාලය පැමිණ ඇත. මෙය ලියා ප්‍රසිද්ධ කළ වහාම උපක්‍රමිකව ලබාගෙන දැන් මේ මොහොතේත් මා ඇස් අබියස ඇති නිදිපෙති අහුරම පානය කොට මා සදාකාලික නිද්‍රාවට පත්වෙමි.  ඒ බිහිසුණු යක්ෂයාට මුහුණ දීමට නොහැකිව මම බියසුල්ලෙකු සේ ජීවිතයෙන් පලා යමි.

ඔබට රිසිනම් වෙනදා සේම මෙයට ප්‍රතිචාර දැක්විය හැකිය. රිසිනම් නොකර සිටින්න. කෙසේ වෙතත් ඒවා කියවීමට හෝ ප්‍රතිචාර දැක්වීමට නොහැකිවන බව කිව යුතු නොවේ.

ප්‍රිය හිතවත / හිතවතිය වෙන්ව යාමට කලින් ලද අත්දැකීම් ඇසුරෙන් යමක් පැවසීමට අවසර ! කිසි දිනෙක, කිසි විටෙක, කිසිම හේතුවක් අරභයා සම්පූර්ණයෙන් කාල වර්ණ බළලෙකුව ඝාතනය කිරීමට එඩිතර නොවන්න. එය ඔබව විනාශය කරා රැගෙන යනු ඇත. ඔවුන් වනාහී සූක්ෂම පළිගන්නන්ය. එද්මොන් දාන්තේ පවා අභිබවා යන අති සූක්ෂම පළිගන්නන්ය. එපමණක් නොව කිසිඳු කුඩා සතෙකු උවද ඝාතනය කිරීමෙන් වළකින්න. ඔබට එය සුළු සිදුවීමක් වූවත් ඔවුනට එය ජීවිතය පිළිබඳ ගැටලුවකි. අප සිදු කොට අමතක කරදමනා කුඩා වුවත් පාපකර්මයන්ගේ ප්‍රති විපාක කෙතරම් බිහිසුණුද යන්න වටහා ගැනීමට ඔබට මාගේ කතාව ඉවහල් වනු ඇතැයි සිතමි.

එසේ නම් සදාකාලික සමු ගැන්මකට අවසරයි !

මෙයට ඔබට සදා හිතවත් සෙන්නා. 
20.03.20__

72 comments:

  1. අනෙ අම්මෝ..ලොමු ඩැහැගැන්වෙන කථාවක්නෙ..මේක ස්ව නිර්මානයක්ද? පරිවර්තනයක්ද? මොකක් උනත් ඉතාම සුපිරි සෙන්නා..එක හුස්මට කියෙව්වා..පොඩිකාලෙ මුතුහරෙ ද මන්ද මේ වගෙ ශය්ල්යෙ කතා කියෙව්වා මතකය්..

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      බොහොම ස්තූතියි ඉහලින්ම අගය කළාට. මේක ස්වනිර්මාණයක්.

      Delete
  2. මරු කතාව සෙන්නා. ඒත් ජීවත්ව ඉන්නකොට මොකුත් කරන්න බැරිවෙච්ච බලලෙක් මැරුනාම පළිගන්නෙ කොහොමද? :)

    //මම ඌට ආදරයට කපූ කිවෙමි. ඒ කළු පූසා යන්න කෙටි කරය.// පුන්සිරියි කමලාවතියි ගත්තු ලොරිය වගේ..

    ReplyDelete
    Replies
    1. මෙයා ඉතින් ඉඳලා ඉඳලා මේ වගේ කතාවක් තමා කියන්නේ... :D

      Delete
    2. හරී,

      ස්තූතියි හරී. මිනිස්සුන්ගෙත් හොල්මන් ප්‍රබලයිනෙ ජීවත්ව ඉන්න එකාට වැඩිය.. බළල්ලුන්ගෙත් එහෙම වෙන්නැති.. :-)

      පොඩ්ඩි,

      :D

      Delete
  3. මේකට කමෙන්ට් එකක් දාලා වැඩක් නැහැ කිවුවනෙ.. ඒ නිසා කියන්ට ආපු ටික නොකියම යඤ'ඤං.. :D

    ReplyDelete
    Replies
    1. බුරානිස්,

      ආන්න උඹ ටපලෝ ගත්තා. උඹ දන්නවද අපේ මේ ක්ශීරපත මංදාකිනියෙ ඉඳන් ආලෝක වර්ෂ ට්‍රිලියන 200320ක් ගියාම තියානවා තවත් මන්දාකිනියක් "කේයොන් බන්ඩරෙරාර්ස්" කියලා. ඒකෙ එක ග්‍රහ මණ්ඩලයක තියනවා අපේ මේ පෘතුවිය වගේ ග්‍රහලෝකයක්. ඒ ග්‍රහලෝකෙ තියනවා ශ්‍රී ලංකාවක් සහ සිංහල බ්ලොග් අවකාශයක්. ආන්න එකේ හිටියා තවත් සෙන්නා කියලා බ්ලොග් කරුවෙක් "කටුකුරුන්ද" කියලා බ්ලොග් එකක් ලියපු. මිනිහත් මම සෙන්නා වගේම තමා. උපන් දිනෙත් ඒකමයි ( ඔක්කොම සෙන්නලා ඉපදෙන්නෙ මාර්තු 21. ඒක විශ්ව නීතියක් :D ) ආන්න ඒ සෙන්නට වෙච්ච සන්තෑසියක් තමා මේ ලියලා තියෙන්නෙ. ඕක වුනේ මේ අවුරුද්දෙ මාර්තු 20. බලහන් වැඩේ මට සන්නිවේදනය වෙන්න මාස අටකට වැඩිය ගිහිල්ලා. දුර හින්දා.. ඇත්තටම උඹට කවදාවත්, නිකමටවත් හිතිලා නැද්ද අපි මේ ප්‍රබන්ධ කියලා ලියන දේවල් මේ විශ්වයේ කවදා හෝ කොතැනකදී හෝ ඇත්තටම වෙච්ච දේවල් වෙන්න පුළුවන් කියලා.

      කමෙන්ට් දැම්මට වැඩක් නෑ කිව්වෙ "කටුකුරුන්ද" ලියපු සෙන්නා මිසක් "කුරුන්ද' ලියන සෙන්නා නෙමේ ඕන්. ඒක හින්දා හොඳ එකා වගේ කියන්න ආපු දේ කියලා පලයන්. තිත්ත වුනත් කම්ක් නෑ. උඹ දන්නවනෙ මට ඒක බොහොම වටිනවා කියලා.

      Delete
    2. ඈ බං! ඒක කියන්ට කලියෙන් මට මේන්න මේ ටික පැහැදිළි කරපන්.. කේයොන් බන්ඩරෙරාර්ස්වලට අපේ මන්දාකිණියෙ ඉඳන් ආලෝක වර්ෂ ට්‍රිලියන 200,320ක් තියෙනවානං උඹට කොහොමෙයි ඔය නිවුස් එක මාස අටකින් සන්නිවේදනය වෙන්නෙ.!!?? ඇයි බංස් ඒ දුර ගෙවන්ට ආලෝකයටත් අවුරුදු ට්‍රිලියන 200,320ක් ගතවෙනවනෙ.. නරකද උඹෙ ඔය සන්නිවේදන තාක්ෂණේට පේටන්ට් එකක් අරගත්තානං? නාසා එකෙන් අම්බානකට සල්ලි ගෙවයි.. :-)

      Delete
    3. ආ! අනෙක ඒ ග්‍රහලෝකෙත් තිබිලා තියෙනවා නේද ඇමෙරිකාවක්. තව එඩ්ගා ඇලන් පෝ කියලා ඇමෙරිකන් ලේඛකයෙකුත් ඉඳලා තියෙනවා.. :D

      Delete
    4. ඉතින් බන් උඹ හිතන් ඉන්නෙ මේ විශ්වයේ වේගයෙන්ම ගමන් කරන දේ ආලෝකය විතරයි කියලද ? නෑ ඊට වැඩිය වේගෙන් ගමන් කරන දේවල් තියනවා. ඕක උඹට දැන් මෙතන පැහැදිලි කරන්න මට තව පෝස්ට් එකක් ලියන්න වෙනවා. ඒක හින්දා ඒක ඕනා නෑ. උඹ දැනට එහෙම දේවල් තියනවා කියලා විතරක් හිතේ තියාගනින්. කුල්ල ! හහ්... :D

      අපොයි ඔව් ඇමෙරිකාවක්, ඇලන් පෝ කෙනෙක් විතරක් නෙමේ බූරෙකුත් ඉන්නවා එහෙ.. :D

      Delete
  4. සෙන්නෝ... සෙන්නෝ... සෙන්නෝ...D ///

    20.03.20__ කියලා තියෙන නිසා නිවන් සුව පතන්නේවත් කොයි අවුරුද්දේද කියලා මම මේ කල්පනා කලේ... :))

    කියවපු "The black cat කතාව" උබේ බොක්කටම වැදිලා තියෙනවා වගේ, මෙහෙම අපූරු නිර්මාණයක් කරන්නට තරම්. උබ කියලා තියෙනවා වගේ අසරණ වෙච්ච එකාට තමා කාගේවත් කාගෙවත් (අඩු ගානේ ලගින් උන්නු එවුන්ගෙවත්) support එකක් නැත්තේ :(

    අපේ නම් පොඩි විශ්වාසයක් තියෙනවා කලු පූසෙක් ගෙදර ඇති කරන එක වාසනවක් කියලා. ඉතින් අපේ ගෙදර නම් වැඩිපුරම ඇති කරලා තියෙන්නේ කලු පූසෝ තමා. ඒත් දැන් ආපහු කල්පනා කරලා බැලුවම ඒක නිකම්ම-නිකං විශ්වාසයක් විතරයි වගේ, මට හිතන්නේ...:D

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ අඩනවද හිතවතෝ ? නාඩා ඉඳින් මම යහතින්.. අන්න වෙච්ච දේ බූරට කිව්වා. බලහන්කො...

      මිනිස්සු ඔහොම තමා බන්. අපි වුනත් එහෙමනෙ.. දුක්වෙන්න එපා ඕවට..

      පූසෙක් ඇති කළාට කමක්නෑ.. හැබැයි මරන්න එපා. ඕවා ඔක්කොම මිත්‍යා විශ්වාස විතරයි බන්.

      Delete
  5. අම්මපා, පෝස්ට් එකේ මුලම බලද්දී එක පාරම කල්පනා කලා මේ මොකද්ද මේ කියලා.. බිලාල ශාපය කියලා කතාවක් කියෙවුවා මතකයි මොකද්ද කියලා කියන්න හරි මතකයක් නෑ.. කෝම වුනත් මේක මරු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්. හැබෑටම එහෙම කතාවක් තියේද ? මේ නම මට නිරායාසයෙන්ම ආපු එකක්...

      Delete
  6. මම මේ කියන්ට හැදුවා විතරයි මෙහෙම කතා ලියනවද කියලා...එතකොට තමා දැක්කේ දවස...20.03.20 නේ. :)

    හරිම ලස්සණයි සෙන්නෝ...අර උඩින් ලියලා තියෙනවා වගේ ලොමු ඩැහැ ගැන් උණා...
    කලු බළලා එච්චර සුබ නැති බවක් මේ පැත්තෙත් කියවෙනවා...

    ReplyDelete
    Replies
    1. දිනය තමා මම මේක ප්‍රබන්ධයක් කියලා කියවන්නන්ට හඳුනා ගන්න භාවිතා කරපු උපක්‍රමය පොඩ්ඩි. නිර්මාණයක් කියලා දානවට වැඩිය ඒක හොඳයි නේද ?

      ලොමුදැහැගන්වගත්තට ස්තූතියි ඈ.. :D

      පවු අහින්සක සත්තු. මිනිස්සුන්ට පිස්සු පොඩ්ඩි. උන්ගෙ සුබක්, අසුබක් නෑ...

      Delete
  7. කස්ටියව භය කරන්න එපා යකෝ..
    උඩම ටික කියෝලා කොමන්ට් ටික කියවලයි ලිපිය කියන්න ගත්තේ.
    අර උඹ මගේ ලිපියට කොමන්ට් කරලා තිබුන,
    >>අකුරු වලින් හදුනා ගත් මිතුරන් උනත් ..... <<
    ටික මතක් වුනා.
    මෙහෙම දේවලුත් ලෝකේ වෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,

      මට පේන්නෙ උඹ උඹ තේ එක නිවලා බීලා තියෙන්නෙ.

      මෙහෙම දේවල් නොවෙන්න බැරි කමකුත් නෑ නේද ? අපි මොනාද ලෝකෙ ගැන දන්නෙ ?

      Delete
  8. අම්මට සිරි. පෝ වැදිලා මූට හෙන ගහන්නම... ඔය කතාවේදි මට මතක් වෙන්නේ පව්ස්තව්සිකිගේ කාරාබුගාස් කතාවේ එන භූගර්භ විශේෂඥයාව. මිනිහත් හිතනවා අත සෙලෙව්වත් කාගේ හරි මරණයක් වෙන්න පුළුවන් කියලා. බ්ලැක් කැට්ස්ලා අපිට තාම මතකයි බං... (මේක ආයි සාවදානව කියවන්න ඕන)

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස්වල සිරසෙ කාටූන් එකක් තිබුන. ඌත් යන යන තැන මොකක් හරි වෙනව. නමුත් ඌට කිසි හානියක් නෑ.

      Delete
    2. දේශා,

      පෝව නෙමේ බන් මට වැදුනෙ මිනිහගෙ කළු බළලව මොකද මමත් කළු බළලෙක්ව ඔහොම එල්ලුම් ගස් යවපු නිසා. රාජ්ට දීපු පැහැදිලි කිරීම බලහන්කො.

      Delete
  9. ලොමු දැහැගැන්විලා ආයෙත් ගැන්වෙනවනෙ මේ කතාවට.
    ඊට වැඩිය භයානක දේ තමයි අපේ ගෙදර දැං කළු බළල් පැටවු 4 දෙනෙක්ම ඉන්න එක. එකෙක්නං ටික දවසකට උඩදි යටිපස්ගම ගියා තාම මිනියවත් හම්බඋනේ නෑ. අපොයි අනික් තුන්දෙනා ගැනවත් බලාගන්න ඕන. බොලාට එකයි උනාට මේ හතරදෙනාම මගේ පස්සෙං ආවොත් එහෙම කොහොමද ආතල් එක.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,

      හිටියට කමක්නෑ, උන්ව මරන්න යන්න එපා. එතකොට ප්‍රශ්ණයක් නෑ...

      Delete
  10. සිරාවටම සෙන්නා අයියේ මගේ මයිල් ඉස්මයිල් වුනා කියවන යද්දී ලෙසටම ආයේ තියෙනවා කිසිම අඩු ලුහුඬු කමක් නැතිව.

    කෝරලේ මහත්තයා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෝරා.

      මේ, උඹ දැන් ඉන්දියාවට වෙලා මොනාද කරන්නෙ ?

      Delete
  11. "එඩ්ගා ඇලන් පෝ" ගේ ලින්ක් එක ගත්තේ දේශකයාගේ බ්ලොග් එකෙන් වෙන්න ඕනේ මම හිතන්නේ...:D
    බළලාට වඩා කොටියා හොදයි වගේනේ සෙන්නෝ.
    //කාල වර්ණ බළලෙකුව ඝාතනය කිරීමට එඩිතර නොවන්න.//
    ඒ කියන්නේ කාල වර්ණ නොවන වුන් අවුලක් නැහැ කියලායි.:P

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ඔබ හරි....

      මෙහෙම් උන්ට වැඩියනම් කොටි හොඳයි තමා නේද ? :D

      උඹ මේ ටික හරියට කියවලා නෑ වගෙ..

      >> එපමණක් නොව කිසිඳු කුඩා සතෙකු උවද ඝාතනය කිරීමෙන් වළකින්න. ඔබට එය සුළු සිදුවීමක් වූවත් ඔවුනට එය ජීවිතය පිළිබඳ ගැටලුවකි. අප සිදු කොට අමතක කරදමනා කුඩා වුවත් පාපකර්මයන්ගේ ප්‍රති විපාක කෙතරම් බිහිසුණුද යන්න වටහා ගැනීමට ඔබට මාගේ කතාව ඉවහල් වනු ඇතැයි සිතමි. <<

      Delete
    2. සිරාවටම බං,මම වාගේ පව්කාරයෙක්ට එක අතකට ඕක නොදැක්ක එකත් අරුමයක් නොවේ. :-O

      Delete
    3. මොකද බන් උඹටම බැන ගන්නෙ ? උඹ පව්කාරයෙක්නම් අපි ගල් ගහන්නද ? අපිනම් ජීවිතේට කිසිම පවක් කරලා නෑ ඕන්.. :D

      Delete
  12. අති විශිෂ්ටයි ... ඒ ගැන වචන දෙකක් නෑ...

    මට නම් හිතෙන්න ඇලන් පෝ ගැන නොකිය ඉන්න තිබුනෙ සෙන්නාට.. ඒකත් එහෙම කරලා දිනයත් ඊයෙට හැදුවනම් හරි :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමී.

      පෝ ගෙ කතාව කියෙව්වට පස්සෙ තමා මට මේක ලියන්න අදහස ඔළුවට ආවෙ. අනික මේක විසදන්න තියන ලේසිම විදිහත් ඒකම තමා. නැත්නම් මේක පාඨකයට ඒත්තු ගන්වන්න සෑහෙන කතාවක් ගොතල දගලන්න වෙනවා. ඒක අභව්‍ය එකක් වෙන්න තියන ඉඩ බොහොම වැඩියි.

      දිනය තමයි මලේ මේක ප්‍රබන්ධයක් කියලා පාඨකයට හඳුනගන්න තියන ටූල් එක. අප්පට සිරි ඊයෙ දිනේ දැම්මනම් කට්ටිය මල්වඩම් අරන් එයි නේද ? :D

      Delete
  13. විශිෂ්ටයි! අර සබැඳීය අස්සට මේ කතාව දැම්මොත් කෙනෙකුට හඳුනාගන්න බෑ කියන සහතිකේ දෙන්නං.

    ReplyDelete
    Replies
    1. සංවාදය ඇතිවූ කාලය එක්ක බැලුවම උඹට සෑහෙන වේගයක් තියනව. මේ වේගය ඇති කලු බළල පරද්දන්න. අපරාදෙ මැරෙන්නෙ.

      Delete
    2. රාජ්,

      ඒ සහතිකේනම් බොහොම වටිනවා ඒ වුනත් බන් ලෝකප්‍රකට ලේඛකයෙක්ගෙ කතා එක්ක මගෙ කතාවක් සම කිරිල්ල !! ඒක බොහොම බරපතල සහතිකයක් බන්.

      සංවාදය ඇති වෙනකොට මම මේ කතාවෙ බාගයක් ලියලා තිබුනේ කියලා කිව්වොත් උඹ විශ්වාස කරණවද ? ගිය සිකුරාද මම ලයිබ්‍රියෙන් ගෙනාව කේජී. කරුණාතිලකගෙ එඩ්ගා ඇලන් පෝගෙ කෙටි කතා පරිවර්තනයක්. "රන් මකුණා". ඒකෙ දෙවෙනි කතාව "කළු බළලා". ( ගතු කියූ හදවතත් අනිවා ඒකෙ ඇති. මම කලු බළලා කියවලා මේක ලියන්න ගත්තා. පොත ඇල්ලුවෙවත් නෑ තාම ) ඒ කතාව කියවනකොට මට මතක් වුනා අපේ ගෙදර හිටපු කළුම කළු පූස සහ හොරා කන එකට ඔහොම එල්ලලා ගහපු එක. ඌ නම් මැරුන්නෑ බන් ලිහුවට පස්සෙ මට විරිත්තලා යන්න ගියා. :D පස්සෙ තමා මට නිකමට හිතුනෙ පෝගෙ සංකල්පය ඒකට මිශ්‍ර කරලා පොඩි කතාවක් ගොතන්න. අපේ සංවාදය ඇති වෙනකොට මල්ලිව පූසා කාපු තැනට එනකම් මම ලියලා තිබුනෙ. කලින් මම මේක ලියන්න හිටියෙ අහම්බෙන් හම්බෙන මේ පරිවර්තනය කියවන්න ලැබිලා රහස හෙලිවෙන ආකාරයට. ඒත් අපේ පෝ සන්වාදෙන් පස්සෙ ( පෝ ගැනම සංවාදයක් ඇතිවුන එකත් ටිකක් විතර පුදුම සහගතයි. මම ඕකට කියන්නෙ හිතේ බලේ කියලා ) මට හිතනා ඇයි යකෝ මෙහෙම ලියන්න පුලුවන්නෙ කියලා. ඔන්න ඔහොමයි වුනේ. මේක ඇත්ත සහ ප්‍රබන්ධය පත අට එකට හින්දවලා ලියපු කතාවක්...

      Delete
    3. පසුබිම් කතාවත් සෑහෙන්න වටිනව. ඒ වගේම පුදුම සහගතයි.
      ඔය පොතේ තියන බෙඩ්ලෝ සහ ඔල්ඩෙබ් කියන චරිත දෙක ඇතුලත් පුනර්භවය සංකල්පය ගැන කියවෙන කතාව ඊලඟට බලපං. (මතක විදියට පොතේ අන්තිම කතාව) ඒකත් මේ වගේම අහම්බයක් ගැන කියවෙන්නෙ.

      "Then," said I mutteringly, as I turned upon my heel, "then indeed has it come to pass
      that one truth is stranger than any fiction --- for Bedloe, without the e, what is it but
      Oldeb conversed! And this man tells me that it is a typographical error."

      Delete
    4. ස්තූතියි රාජ්. දැන් ආපහු පොතට යන්න ඕනා. ලබන සතියෙ දෙන්නත් එපැයි..

      Delete
  14. සෙන්න තමයි සෙන්න ...මාර නිර්මාණයක් නේ මේක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතිය් බින්දි. සෙන්නට ඔය එක එක ඒවා ඉඳලා හිටලා හිතෙනවනෙ... :D

      Delete
  15. සිරාවට සෙන්නෝ ඔය හොල්මන් කතා ටිකක් හොයාගෙන පරිවර්තනය කරන්නකෝ ..........මේක නියමයි ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන්... අනේ වෙලා නෑ බන්..

      Delete
  16. එඩ්ගා ඇලන් පෝ ගේ නිර්මාණ කියවීමේ භාග්‍යය මා ලැබුවේ පාසල් සිසුවකු වශයෙන් 1960 දශකයේදී. ඔහුගේ නිර්මාණ වල තිබෙන අමුතු ගුප්ත බව එදත් අදත් ඒ නිර්මාණ අද්විතීයත්වයට පත් කරනවා.

    සෙන්නා කාලෙකට පස්සේ කල මේ ඉදිරිපත්කිරීම අතිශයින්ම අගය කරන්නේ එහි සර්වකාලීන වටිනාකමක් ඇති නිසයි. මේ ලිපිය කියවද්දී මා 1970 දශකයේදී නැරඹු චිත්රපටියකුත් මතක් වුනා ඒ තමයි The Omen (1976) අද්භූත රසය පිරි නිර්මාණයක්. නොවරදවාම බලන්නට වටිනා චිත්‍රපටියක්.

    ReplyDelete
    Replies
    1. විචාරක මහතා, ඔබ හා එකඟයි. පෝගේ හුඟක් කතාවල අමුතු ගුප්ත බවක් තියනවා තමා. දේශකයාගේ පෝස්ට් එකේදී දීර්ග වශයෙන් පෝ ගැන කතා වුනෙත් ඒවට තියන ආකර්ශණය නිසා වෙන්නැති.

      ස්තූතියි අගය කළාට. චිත්‍රපටිය ඉඩ තියන වෙලාවක බලන්න ඕනා.

      Delete
  17. පරණ සුපුරුදු සෙන්නා නැවතත් කරළියට ආපු එක ගැන සතුටු වෙනවා.

    මුලින්ම දිනේ දැක්කම තේරුණා මේක කතාවක් කියලා. හැබැයි මම හිතුවේ පරිවර්තනයක් කියලා, කමෙන්ට් කියවද්දී තමයි දැක්කේ මේක ස්වනිර්මාණයක් කියලා. අතිවිශිෂ්ඨයි කියලා තමා කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරතුමා. ඒත් පරණ සෙන්නා ලියුවේ වාර්තානෙ !

      Delete
  18. මේ බ්ලොග් එක මුල්ම කාලෙ කියවලා මග හැරිලා තිබිලා ආයේ අහු උනේ මේ ළඟදි.
    ඉතින් ඊයේ මේ සටහන කියවලා මූට නම් පිස්සු කියලා සද්ද නැතිව ගියා. දැන් බලාගෙන ගියාම සෙන්නාට ඕනේ වෙලා තියෙන්නෙත් අපිව ලවා එහෙම කියවන්න වෙන්න ඇතිනේ.
    කළුපාට පූසෝ කියන්නෙ ලස්සනම එවුන්නේ. මටත් හිටියා ඉස්සර කළු සුදු ක්‍රොස් පර්සියන් පූස් බබෙක්. එයා ගියේ මගේ හිත හොඳටම රිදවල හින්දා මම නම් දැන් පූස් යාළුවන්ව ගෙදර ගේන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මොකද බොලන් මට පිස්සු කියලා හිතුවෙ ?? :-O

      Delete
  19. කියවද්දී මුලින් හිතාගෙන හිටියෙ පරිවර්තනයක්ය කියලයි.නිර්මාණයක් නං සෑහෙන සාර්ථකයි සෙන්නෝ,මටනං මතක් වුණේ පෝ මයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපෙ අයියා. මේක මගේම නිර්මාණයක් තමා. හැබැයි මේකට පෝගේ කතාවල අභාශය මිශ්‍ර වෙලා තියනවා කියන එකනම් පිළිගන්නම වෙනවා. මොකද කතාව ලියන්න මුල් වුනෙම පෝගේ කළු බළලා කියෙව්වට පස්සෙයි.. ඉතින් ඒකෙ ආභාශය නෑ කිව්වොත් මම බොරු කාරයෙක්.

      Delete
  20. මම හිතුවෙ සෙන්නා මේක පරිවර්ථනයක් කියලා...පස්සෙ යටින් දැක්කා ස්ව නිර්මාණයක් බව..ඉතාමත් අගය කරනවා මේ කථාව...නිර්මාණ ගුණයෙන් ඉතාම පොහොසත් බව නොකියාම බෑ.....නලින් අයියට කියලා පත්තරයක පල කරමු කෙටි කථාවක් විදියට...එතකොට බොහෝ දෙනෙක් මේ රසය විද ගනීවි.

    අපේ ගෙදර එදා ඉදන් තනිකරම කලු බළල්ලු කිප දෙනෙකුම හිටියා..අන්තිමට හිටිය කෙනා වස වර්ගයක් කැවිලා අවුරුදු 7 ක් ආයු වළදලා මිය ගියේ...කිසිම නපුරු දෙයක් කවදාවත් වෙලා නෑ..අන්තිම සතා බේරගන්න මම සෑහෙන්න මහන්සි උනා...ඒත් බැරි උනා....පූසට අර විදියට ගැහුවා කියලා තියෙන තැන කියවද්දි නම් හිතට සෑහෙන දුකක් දැනුනා...මම සත්තුන්ට හරිම ආදරේ එකෙක්..

    ReplyDelete
    Replies
    1. සිරා බොහොම ස්තූතියි බන්. බොහොම සතුටුයි එහෙම අහන්න ලැබීම.

      මට බොරු කියලා බොරු සුදනෙක් වෙන්න ඕනා නෑ සිරා. මම දවසක් කේන්ති ගිහින් කපුවට ඔය තියන විදිහටම ගැහුවා. වාසනාවකට ඌට මුකුත් උන්නෑ. එහෙම උනානම් ඒ වරදකාරී හැඟීම මුලු ජීවිත කාලෙම තියෙයි. මමත් සන්තුන්ට හරි ආදරෙයි. ඒත් කේන්ති ගියාම උන්නා මලා පේන්නැතුව යන වෙලාවලුත් එනවා.

      හැබැයි එහෙම ගහපු නිසා තමා අර කතාවෙ තිබ්බ එක දැක්ක ගමන් මට කපුවව මතක් වුනේ.. ඒ ඔස්සේ දිගින් දිගටම සිතීමේ ප්‍රතිපලය තමා මේ කතාව.

      Delete
    2. සිරා මාත් එහෙමයි හිතුවේ මේක මුගේ අජපල් පරිවතර්තනයක් කියලායි. ඉතිං දෙතන් පාර කියව කියව ඉන්න කොට තමා ඌම කොරහ බිදල තිබුනේ ස්වතන්ත්‍ර නිර්මාණයක් කියලා. අන්න එතකොට අපි සිංහයෝ වගේ එළියට ආවා එච්චරයි.

      Delete
    3. දේශකයා,

      අනේ තෝ වගේ මෝඩ මූසල මී හරකෙක්..... :D

      යකෝ පෝගෙ කතා වලට ලින්ක් එක දාලා තිබුනෙ තොගෙ බ්ලොග් එකේමයි නේද ? ඒක දැක්කමවත් තොට හිතුන්නැද්ද මේක මම තුමාගෙ නිර්මාණයක් වෙන්ඩ බැරිද කියලා !

      ඒක නෙමේ උඹ දැන් සෙනසුරාදත් කමෙන්ට් කරනවද ? :-O

      Delete
    4. ඕයෑස්.. මට පික්සු හැදුනම එහෙමත් කරනවා.. ඇයි බොට අවුල්ද? හැක්.. මේවා බොලා මට මඩගහන්න මතක තියාගෙන ඉන්න කරුණු...

      Delete
    5. පොඩ්ඩක් හිටහන්කො තාම මම මඩ ගැහුවෙ නෑ.. මම බොලාව ප්‍රධාන නළුවා කරලා කතාවක් ලියලා තියෙන්නෙ.. කඹයක් ලෑස්ස්ති කරන් හිටහන් එල්ලෙන්න ඒක රිලීස් වුනාම.. :D

      Delete
    6. ඌට එල්ලෙන්න කඹේ මගේ ගානේ...:D

      Delete
  21. සෙන්නා....මාව හොල්මන් වෙලා ගියා..කමෙන්ට් බලන්නත් බය හිතුනා...නියම ලිවීමක්..විශිෂ්ඨ වැඩක්!!

    ReplyDelete
    Replies
    1. අරූ, බොහොම ස්තූතියි අරූ. බොහොම සතුටුයි සහ දිරිගන්වන සුලුයි...

      Delete
  22. හපොයි මේ විපිරියාස දිනේ නොතිබෙන්න මේක ඇත්තක් කියලා මම විස්සාස කොරනවනේ. හොඳ වෙලාවට මාර්තු මාසේ දිනයක් දැම්මේ...මගේ ලොමු දහගන්වුනා ගැන්වුනාමයි. තාම බැස්සේ නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් දිනය ඔස්සේ මම දෙන්න අදහස් කරපු පණිවිඩයත් සාර්තකයි සයුරි. මළකෙලියයි ! දැන් මොකද කරන්නෙ ? ලොමු බස්සගන්න... :D

      Delete
  23. දිනේ නම් හෙට අනිද්දා වගේ වත් දා ගෙන ඕන් කොරනවා නම් වැඩේ සෙන්නා..අපි එනවා නිදි මරන්න ! එහා ගෙදර කළු පූසට මම ඊයේ පයින් ගැහුවා ඒකෙන් මොනා වෙයිද මන්දා ???

    ReplyDelete
    Replies
    1. හපොයි පයින් ගැහුවද ? උඹ ඉවරයි එහෙනම් වෙනි අයියේ, උඹ ඉවරයි..බලහන්කො කරුමෙ කියන්නෙ මට ඒක කියන්න අමතක වුනානෙ. කළු බළලෙකුට පයින් ගැසීම මරණවා තරම්ම භයානකයි.. ඔව් ! :D

      Delete
  24. හෙහ්, උඹ හදන්නෙ බොහොම ලේසියෙන් නිදිපෙති බීල ආතල් එකේ මැරිල කළු බළලගෙන් බේරෙන්ට නෙවද? එව්ව හඳේ හොඳද?

    උඹට වෙන එක මම කියන්ටද හූණ කියන්නැහෙ?..ඔය නිදිපෙති උඹට වමනෙ යනව...හරිය? ඒ වගේමයි වෙන කිසිම විදිහකින් උඹට දිවිනහගන්ට වෙන්නෙත් නෑ.

    උඹ මැරෙන්නෙ කොහොමද දන්නවද? උඹ නිදියං ඉන්දැද්දි අර කළු බළල ඇවිල්ල ඉස්සෙල්ලම උඹේ ඇස් දෙක ගලවල දානව.උඹ ඇස්දෙක තදකරගෙන මරහඬ දෙද්දි බළල ඔළුව දානව උඹේ කට ඇතුලට. උගෙ ඔළු ගෙඩිය උඹෙ උගුරෙ හිරවෙලා පැයක් විතර හුස්ම ගන්ට බැරුව දඟලලා තමයි මල්ලි උඹ මැරෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මටත් ඔහොම හිතුනා.. ඔය සාපයන්ට ගොදුරු වුනාම ආයෙ උන්ට ඕනා විදිහටමලු මැරෙන්නෙ නේද ? පැරකොට් සමඟ මැටි ගුලි කෑවත් බේරෙනවලු.. හෙහ් හෙහෙ :D

      Delete
  25. හෆොයි..!
    පරක්කු වෙලා නිසා මුකුත් නොකියමි.
    නිර්මාණය ඉතා ඉහලයි...!

    ReplyDelete
  26. උපන්දිනෙයි පෝස්ට් එක දාපු දිනෙයි ගැලපුවා නම් මේකෙ ආතල් එක වැඩි කරන්න තිබ්බා. උඹලා අර පොලිස් ක්‍රමයකටනේ කපූට ගේම දීලා තියෙන්නේ...

    බොහොම හොඳ නිර්මානයක් මචං...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිසර. හෙහ් හෙහ් ඒකනම් පොලිස් ක්‍රමයක් තමා...එහෙම වුනානම් මොකද දන්නවද වෙන්නෙ. කට්ටිට්ය මට පෝලිමට විශ් කරන්න ගන්නවා මගෙ උපන් දිනේ කියලා. :D

      Delete
  27. හපොයි හපොයි මේ පෝස්ටුවට කෙමෙන්ට් කරන්න අමතක වුනානේ..අපේ ගෙදර හිටපු කළු බලලා නම් නැතිවුනේ වයසට ගිහින්...
    ඒත් ඌ බලන විදිහේ අමුත්තක් තිබුනා තමයි..

    ලස්සන කතාවක් සෙන්නා..

    ReplyDelete
    Replies
    1. ඌ ගෙදරම නැති වුනාද රූ නැත්නම් හිටපු ගමන් අන්තරස්දාන වුනාද ? කළු බළල්ලු ගෙවල් වල මැරෙන්නෑ කියලත් කතාවක් තියනවා. අපේ කපුවනම් ඒක ඔප්පු කළා. අන්තිමට ඌ කොහෙද කියලා හොයා ගන්න නැතුව ගියා. ඌ ගෙදරින් ගියා.

      Delete
  28. සෙන්නගෙ නිර්මාණ නම් ඉතින් කතා දෙකක් නෑ මාරයි.අපිට තියෙන්නෙ ඒව ගෙ ශෛලිය ස්ටඩි කරන එක විතරයි.හැබැයි ඔය ශාප සුබ අසුබ ඒව බොරු නොවෙයි.ඒවගෙ විද්‍යාත්මක පැත්ත මම දන්නෙ නෑ.තවම ඒක සොයා ගෙන නැතිව ඇති.හැබැයි ඒව ප්‍රතික්ෂේප කරන එක නම් මෝඩ කමක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යකෝ. මමත් ඕවා එක හෙලාම ප්‍රතික්ශේප කරන්නෙත් නෑ, හිස් මුදුනින් පිළිගන්නෙත් නෑ..

      ඒවයින් නිර්මාණයක් කරන්න ලැබෙන එකම මදෑ... :D

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!