Friday, March 30, 2012

අවතාරයකට රියදුරෙක්ව....

2012 මැදින් මස 30 වනදා,




මේ කතාව මට අහන්ඩ ලැබුණෙ, කොහොමවත් මම එහෙම කතාවක් අහන්ඩ හිටපු වෙලාවකවත්, එහෙම කතාවක් කියයි කියලා හිතපු පුද්ගලයෙකුගෙන්වත් නෙමේ. කොටින්ම මට ඒ මනුස්සයව එදායින් පස්සෙ හම්බෙලාවත් නැහැ. මේක විශ්වාස කරන්ඩ පුළුවන්ද, බැරිද කියලා අදටත් මට ගැටලුවක්. ඕනම දෙයක් වෙන්ඩ පුළුවන් මේ ලෝකේ මෙහෙම දේවල් නොව්නයි කියන්ඩත් බැහැ ඉතින්. නවීන විද්‍යාව ඔළුව උඩ තියන් ඉන්න මිනිහෙක් නම් කියයි;

" මොන විකාරයක්ද ? ඕක ඒ යකා හිතෙන් මවාගත්තු එකක්" කියලා.

මට ඉතින් ඔය විද්‍යාව ගැනවත්, මිනිස් මනස ගැනවත් ලොකු දැනුමක් නැති හින්දා මට ඉතින් එක පාරම බැහැර කරන්ඩත් බැහැ බැහැ වගේ. අනේ මංදා, මම කතාව කියන්නම්. ඕගොල්ලොත් බලන්ඩකො මේක වෙන්ඩ පුළුවන් දෙයක්ද කියලා. ඕක මට කියපු මනුස්සය නම් දහ අතේ දිවුරලා කිව්වා මේක තමන්ගෙ යාළුවෙකුට උණ ඇත්තම සිද්ධියක් කියලා.
                                                                          ~~~~~


පිටරටක වැඩ කරන කෙනෙක් දන්නවා අවුරුද්දකට සැරයක් හම්බෙන නිවාඩුවට ලංකාවට එන දවස කොච්චර ප්‍රීතිමත් එකක්ද කියලා. හිතම ප්‍රීතියෙන් පිරිලා තියෙන්නේ. දකින දකින හැම දේම නිකන් හරි ලස්සනට පේන්නේ. ඒ වෙලාවට ලෝකෙ කොච්චර ලස්සනද කියලා හිතෙනවා. ඒක මාරම හැඟීමක්, වචනයෙන් විස්තර කරන්ඩ බැහැ. විඳලම බලන්ඩ ඕනා. අපහු යන දවසට ඒකෙ අනිත් පැත්ත. මරන්ඩ ගෙනියන හරකා වගේ.

කටුනායකින් ගුවන් යානය ගොඩබානකම් පුදුම නොඉවසිල්ලකින් හිටියේ. නවත්තන්ඩත් ඉස්සෙල්ලා ආසන පටි ගලවලා මාව හිටෙව්වේ ඒ නොඉවසිල්ලමයි. එතකොට වෙලාව රෑ නමයා මාරට විතර ඇති. අවශ්‍යය කරන කටයුතු නිමවෙලා, තීරු බදු රහිත සාප්පුවෙත් ටිකක් වෙලා ගත කරලා එළියට එනකොට එකොළහමාරත් පහුවෙලා වගේ තමා මතක.

මෙදා සැරේ මම ගෙදර අයව පොඩ්ඩක් පුදුම කරවන්ඩ නොකියම ගෙදරට යන්ඩ තමා කල්පනාව. අඩු ගානේ මම එනවද කියලවත් ගෙදර අය තාම දන්නෙ නෑ. ඒක හින්දා මට සිද්ධ උනා කුලී රථයක පිහිට පතන්ඩ. ගමනට කුළිය ඇහුවම ඇත්තටම හිතුනා ගුවන් යානෙන්ම ගෙදරට යාගන්ඩ තිබුනනම් ඊට වඩා ලාබයි කියලා. තනිකරම කළ දුටු කල වල ඉහ ගැනීමේ න්‍යායාය තමා ඒ ගොල්ලො අනුගමනය කරන්නේ. රට ඉඳලා එන බව දන්න හින්දා ගානක් කඩා ගන්ඩ පුළුවන් කියලා දන්නවා. කොහොම හරි දෙපැත්තටම සාධාරණ ගානකට එකඟ වෙන්ඩ පුලුවන් උනා අන්තිමේදී. ඔය ගම්වලින් මැදපෙරදිග මෙහෙකාර සේවයට ගිය නූගත් ගැහැනු උදවියගෙන් එහෙම හොඳට ගාන කපනවා ඇතියි කියලත් මට හිතුනා. ඒ වගේ සමහරුන්ට මගදී එක එක අතවර වලට මුහුණ දෙන්ඩ උන කතාත් මම අහලා තිබුනා. ඒවට කාටද දොස් කියන්ඩ ඕනා කියලා මට තේරෙන්නෑ.

" මහත්තයා මාතර කොහෙටද යන්නෙ ? "

" ටවුන් එක කිට්ටුවටම. "

රියදුරාම මගෙ ගමන් මළු ටික අරන් රථයට පටව ගත්තා. වයස පනහක, හැටක විතර තලත්තෑනි මනුස්සයෙක්.

අන්තිමේදී පිටත් වුනා.

මමත් ඉස්සරහා වම් පැත්තෙ අසුනෙ හොඳට හරි බරි ගැහිලා වාඩි වුණේ ගුවන් ගමනට වැඩි වෙලාවක් මේකට යනවා කියලා දන්න නිසා.

ටික දුරක් යනකම් මම වට පිට බලමින් ගියේ සිද්ධ වෙලා තියන වෙනස ග්‍රහණය කරගන්ඩ. කියන්ඩ තරම් ලොකූ වෙනසක් තිබුණෙත් නැහැ. දත් තිස්දෙක එළියෙ දාගන, කණු උඩ එල්ලිලා ඉන්න මුහුණු ටික දැක්කම තමා මතක් උණේ ඡන්දයක් ඉවර උණේ මේ ළඟදි නේද කියලා. රටට සේවය කරන්ඩ කොච්චර කැපවෙලාද කියලා හිතාගත්තෑකි දැන්වීම් අලවලා කරලා තියන පරිසර හානිය දැක්කම. නොදෝමකින්..!!

ටිකක් වෙලා ගතවුනා. වාහනේ දැන් මීගමු පාරට වැටිලා කොළඹ පැත්තට යනවා. ඔන්න ඔය වෙලාවෙ තමයි මගේ අර කැත පුරුද්ද මතු උනේ. ශිඃ මේක මට නවත්ත ගන්ඩ බෑනේ. හොඳටම දන්නවා හොඳ නැහැ කියලා, ඒත් ඉතින් පුරුද්ද ලොකුයිනේ. දෙතුන් පාරක් නවත්තන්ඩ උත්සහ කළා, කොහෙද ! හැබැයි මේ පුරුද්ද, මේ කතාව අහගන්ඩ ඉවහල් උනා කියලා තමා දැන් මට හිතෙන්නේ. මොකද මෙච්චර වෙලා බමුණා වගේ බුම්මගන රෝදෙ කරකවපු එකා මාත් එක්ක කතාවට වැටුනෙ ඊට පස්සෙ තමා. ඔව් ඔව් එයා තමයි මට ඔය කතාව කිව්වෙ. ටැක්සි රියදුරා.

" මේ.. මම සිකරට් එකක් බිව්වට කමක් නැද්ද ? ඔයත් බොනවද එකක් ? " මම සිගරට් පැකට් එක දික්කරන ගමන්මයි ඇහුවේ.

" කමක් නැහැ මහත්තයා බොන්ඩ බොන්ඩ.. අහ් එහෙනම් මටත් එකක් දෙන්ඩකො. "

මමත් එකක් පත්තු කරන් රියදුරාටත් එකක් දුන්නා. මිනිහා සිගරට් එක දිහාට අමුතු බැල්මක් එහෙම දාලා තමා ඒක පත්තු කර ගත්තේ.

" රට සිකරට් ජාතියක් නේද මහත්තයා ? "

" ඔව් ඔය මම එහෙන් අරන් ආපු ඒවා වගයක්. "

" මහත්තයා මොන රටේ ඉඳලද එන්නේ ? "

" මැද පෙරදිග. " මම එහෙම කිව්වේ මම ගැන ඕනැවට වැඩි විස්තරයක් නොදෙන්ඩ හින්දයි. මම කොහොමත් මිනිස්සුන්ව එක පාරටම විශ්වාසෙට ගන්නෙ නැහැ. එකට කන බොන උන්වත් විශ්වාස කරන්ඩ බැරි අද කාලේ, මේ නොදන්න මනුස්සයෙක්ව කොහොම විශ්වාස කරන්ඩද! ඒක හින්දා මගේ තොරතුරු අවම වශයෙන් හෙළිකරපු එක තමා වුණේ.

" ඩ්‍රයිවර් මහත්තයා කොයි අහද, නැහ්.. මං කිව්වේ මොන පළාතෙද ? " අපේ පලාතට ආවේනික භාෂාව තේරෙන්නැතුව ඇති කියලයි මම දෙවෙනි කොටස එකතු කළේ.

" කුරුණෑගල මහත්තයෝ. ඒත් මම දැනට නම් කටුනායක බෝඩ් වෙලා තමා ඉන්නෙ. "

" නම මොකක්ද ? "

" ගුණවර්ධන කියලා තමා හැමෝම කතා කරන්නෙ. "

" හ්ම්ම් "

ක්‍රමක්‍රමයෙන් දැන් අපි අතර කතාව ගොඩ නැගෙනවා. රටේ ලෝකෙ දේවලුයි, ඡන්ද ගැනයි, බඩු මිළ ගැනයි, ක්‍රිකට් ගැනයි කතාව ඇදි ඇදී යනවා. ඔය අතරෙ අතරින් පතර සිගරට් එහෙමත් පිච්චෙනවා.

වෙලාව රෑ දොළහටත් කිට්ටු හින්දා පාරේ වාහන එහෙම අඩුයි. ඒක හින්දා අපේ වාහනේ සැළකිය යුතු වේගයකින් ඉදිරියට ඇදුනා. එක හන්දියකට කිට්ටු වෙනකොට කිසිම හේතුවක් නැතුව ගුණවර්ධන රථයේ වේගය බාල කළා.

" ඇයි ඒ ? "

එතකොට මනුස්සයා මට වම් පැත්තෙ තියන ගෑනු කෙනෙක්ගෙ පිළිමයක් ඇඟිල්ලෙන් පෙන්නලා ඇහුවා " දන්නවද මේ කව්ද කියලා ? "

" ඔව්, ඔය රුක්මණී දේවිගෙ පිළිමෙනෙ. " මම කිව්වා.

" මහත්තයා දන්නවද එයා මැරුනෙ කොහොමද කියලා ? "

" ඔව්, ඇක්සිඩන්ට් එකකින්නෙ. "

" ඔව් ඔව් එහෙම තමා, දැන් ඔතන හොල්මන් තියනවාලු. " යි කියලා මනුස්සය මම දිහා බැලුවා. මට ඒ වෙලාවෙ අමුතුම අවඥාසහගත හිනාවක් ආව කට කොනකට. මම ඒක මනුස්සයට නොපෙන්වා ඉන්ඩ උත්සහ කළාට හරි ගියේ නැහැ. ඇත්තටම මම ඒ වෙනකොට හොල්මන් එච්චර විශ්වාස කළේ නැහැ. ඇත්තටම මට එහෙම කරන්ඩ හේතුවක් වෙලා තිබුනේ නැහැ. මම කවදාවත් හොල්මනක් දැකල තිබුනෙත් නැහැ. එච්චර ඒවගේ දේවල් ගැන අහන්ඩ ලැබිලා තිබුනෙත් නැහැ. ඉතින් මම ඕවා නිකන් අවඥාවෙන් බැහැර කරන මානසික තත්ත්වෙක තමා ඒ වෙනකොට හිටියේ.

" ඇයි මහත්තයා හිනා වෙන්නේ ? ඒක විහිලුවක් නෙමෙ. අපේ ඩ්‍රයිවර්ලා දෙතුන් දෙනෙක්ම දැකලා තියනවා ඔතනින් පාර පනින සුදු ඇඳ ගත්තු ගෑනු කෙනෙක්. නිකන් පාවෙලා වගේලු යන්නේ පාර හරහා. එකපාරටම වාහනේ ඉස්සරහින් පනිනවා වගේලු පේන්නෙ. රෑ දොළහත් එකත් අතර තමා පේනවා කියන්නේ.  "

මම පුදුම වෙලා මනුස්සයා දිහා බලාගන හිටියා.

" මම බොරුවක් නෙමේ කියන්නේ මහත්තයො. දැකලා බය වෙච්ච අය ඉන්නවා ඕන තරම්. ඒ වගේම ඇක්සිඩන්ටුත් හරියට වෙලා තියනවා. "

" ඩ්‍රයිවර් උන්නැහැ දැකලා තියනවද ? "

" මම නම් තාම දැකලා නැහැ. ඒත් කෝකටත් කියලා මෙතනින් මම රෑට යනවනම් ස්ලෝ කරනවා. "

" ඕක නිකන් කාගෙ හරි හිතලුවක් වෙන්ඩ බැරිද ? ඇත්තටම පාර පැනපු ගෑණු කෙනෙක් දැකලා හැඳුන එකක් වෙන්ඩ බැරිද ? " මම අවිශ්වාසය පළකරා.

" අනේ මංදා මහත්තයෝ. ඔය පිළිමෙ ඉස්සර තිබුනේ ටිකක් එහාට වෙන්ඩ, පාරෙන් අනිත් පැත්තෙ. හරියටම ඇක්සිඩන්ට් එකෙන් එයා මැරුණ තැන. ඉස්සර එතන හරියට ඇක්සිඩන්ට් වෙනවා. මාරාන්තික අනතුරු. පස්සෙ පස්සෙ මිනිස්සු ඇක්සිඩන් එකක් උනාම පිළිමෙට කළු තෙල් ගහන්ඩත් පටන් ගත්තා. පස්සෙ තමා පිළිමෙ මෙතනට ගෙනාවෙ. මෙතනට ගෙනාවට පස්සෙ අනතුරු ටිකක් අඩුයි කියනවා. ඒත් ඔය පාර පනින ගැනු කෙනාගෙ කතාව තියනව. ඕවා නිකන් බොරුම වෙන්ඩ බැහැනෙ මහත්තයො. "

මම කොච්චර හොල්මන් විශ්වාස කරන්නෑ කියලා හිත තද කරන් හිටියත්, මේ කතාව ඇහෙද්දි ඇඟේ හිරි ගඩු පිපෙනවා වගේ දෙයක් දැනුනා. ඒ ඇයි කියන්ඩ මට තේරෙන්නෑ. ඒත් මගේ හිත එකපාරටම මේ කතා පිළිගන්ඩ සූදානම් නැහැ. මේ මතෘකාව ගැන මගේ උනන්දුවත් ටික ටික වැඩි වේගන ආවා. මට තේරුනා මම පිළිගන්නැති බවක් පෙන්නුවොත් මේ මනුස්සයගෙන් තව තව කතා අහ ගත්තැකි කියලා.

වාහනේ ආයෙත් සුපුරුදු වේගයෙන් ඇදෙනවා. කඳාන පොලිසිය කියලා ගහපු බෝඩ් එක ලාවට වගෙ දැක්කා ලයිට් එළියෙන්. තාම ගමනේ ආරම්භය.

" මටනම් විශ්වාස කරන්ඩ අමාරුයි ඩ්‍රයිවර් උන්නැහැ. මම නම් හොල්මන් අවතාර පිළිගන්නෑ. හොල්මන් කියන්නේ හෙල්ලෙන මනස කියලා කියනවලුනෙ. "

මම මෙහෙම කිව්වම මිනිහ මහ අමුතු විදිහට මම දිහා බැලුවා. ඒ බැල්ම දැක්කම මට හිතුනේ මමත් මේ යන්නේ හොල්මනක් එක්කද කියලා. හොල්මනක් ඇවිත් මාවා මරන්ඩ අරගන යනවා ! ඒ සිතුවිල්ල මාව මොහොතකට ගැස්සුවා. ඒත් ඊ ලඟ නිමේශයේදී මම පියවි තත්ත්වෙට ආවෙ, " උඹට පිස්සුද යකෝ ? හොල්මන් සිගරට් බොනවද ? " කියලා මගෙ හිත මගෙන්ම ඇහුවාම තමා. ඒ ප්‍රශ්නෙ මගෙ මුවට මද හසක් නැංවූවා.

" මහත්තයා මට හිනා වෙනවා. මහත්තයට මම කියන්නම් ඔය කතාවම කියපු මගේ යාළුවෙකුට වෙච්ච දෙයක්. " එහෙම කියලා රියදුරා ටිකක් කල්පනාවට වැටුනා. මිනිහගෙ මූණ හැඟීම් බරවෙනවා මට පාරෙන් වැටුන ලයිට් එළියෙන් පවා බලා ගන්ඩ පුලුවන් වුණා. "

" ඔව් කියන්ඩ, යාළුවට මොකද වුණේ ? " දැන් මට මේ කතාව අහනකම් ඉවසිල්ලක් නැහැ.

" මේක වෙලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා මහත්තයෝ. මම මේ එයාර් පෝට් හයර් කිරිල්ල පටන් ගන්ඩ කලින් කළේ ත්‍රී වීල් එකක් එලෝපු එක. " මම මනුස්සයට තව සිගරට් එකක් දික්කළේ පොඩි උත්තේජනයක් දෙන්ඩ ඕනා නිසා. ගුවන් ගමනේ මහන්සියත් එක්ක, නිදිමතත් ලාවට වගේ තිබුනා. ඒත් ඒ සියල්ල යට කරන් මගේ කුතුහලය දැන් නැගිටගන එනවා.

" ඉතින් ! "

" මම ගෙවල් ගාව හන්දියක තමා ත්‍රී වීල් එක තියන් හිටියේ. මහත්තය දන්නවනේ ඉතින් ඕවයේ ඉතින් එක ත්‍රී වීල් එකක් නෙමේනෙ තියෙන්නෙ. අපෙත් හිටියා කට්ටිය දහ දොළොස් දෙනෙක්. "

" මම කියපු ඔය මගේ යාලුවත්, යාලුව කිව්වට පොඩි කොල්ලෙක්, බැඳලා තිබුනෙත් නැහැ. අපිත් එක්ක ඔය රස්සාවම තමා කළේ. නම නිලන්ත. "

" හරිම හිත හොඳ එකා මහත්තයො, දහිරියවන්ත කොල්ලා. තාත්තත් නැතුව මුලු ගෙදරම කටයුතු බලාගන බාල සහෝදරයන්ට ඉගැන්නුවෙත් ඉතින් ඔය රස්සාවෙන් හම්බෙන කීයකින් හරි තමා. ඒ වගේ තමා ඉතින් යකා වගේ, සාමාන්‍යයෙන් කාටවත් බය ඇති එකෙක් නෙමේ. ඕනම බාල්දියක් පෙරලුනොත් මිනිහ හැමෝට කලින් එතන ඇති. "

" ඉතින් ඉතින් "

" ඔහොම ඉන්නකොට දවසක් අපි අතර ඇති වුණා කතාවක් හොල්මන් ගැන. "

" ඉතින් ! "

" ඒ වෙලාවෙ එතන අපි හතර දෙනෙක් හිටියා, ඔය මම දැන් මහත්තයට ටිකකට කලින් කිව්වා වගේ අපි අහපු දැකපු දේවල් තමා අපි කතා වුණේ."

" "මොන පිස්සුද බන් හොල්මන් කියලා ජාතියක් නැහැ. ඕවා ඔක්කොම මනස් ගාත. මම මේ ලඟදි දැක්කා ටී වී එකෙත් කව්ද කියනවා ඔය හොල්මන් කියන්නේ හෙල්ලෙන මනස කියලා", මිනිහා කිව්වා. "

" ඔන්න බලන්ඩ මහත්තයෝ ඔය මහත්තයා දැන් ටිකකට කලින් කිව්වෙත් ඕකම නේද ? "

" ඔව් ඔව් " දැන් දැන් මගේ කුතුහලය හොඳටම ඇවිස්සීගෙන එන්නේ.

" අපි තුන්දෙනා, අපි දන්න, අහපු කතා ඔක්කොම කිව්වා. අරෙහෙ මෙහෙම වෙලා තියනවා, මෙහෙ මෙහෙම වෙලා තියනවා. මොන, පුතයා නෙමේ ඒවා අහන්නේ. ඌ කියන්නෙම ඒවා බොරු කියල. "

" ඔන්න ඔය වෙලාවෙ තමා අපිත් එක්ක හිටපු සාන්ත කියන එකාට නහුතෙට තද වුණේ. "හා උබ ඔච්චරම පිළිගන්නැත්තම් උඹට පුලුවන්ද රැයක් තනියම පරණ කනත්තෙ ඉන්ඩ ?" කියලා අහපි. "

" ඉතින්හ් ! මිනිහ හා කිව්වද ? ඇයි ඒකට පරණ කනත්ත කිව්වෙ ? "

" නැතුව ? මම කිව්වනෙ මිනිහගෙ හැටි. යකෙකුටවත් බය නැහැ. "

" "හරි මම ඉන්නම්, උඹලා කියපල්ලා මම කවද්ද ඉන්ඩ ඕනා කියලා. " ඔන්න උත්තරේ. "

" අපි තුන්දෙනා මූණෙන් මූණ බලා ගත්තා. අපි හිතුවෙ මූ කයිය ගැහුවට ඔහොම එකකට එකඟ වෙන එකක් නැහැ කියලා. හුඟක් මිනිස්සු එහෙමන. "

" ඇයි ඒකට පරණ කනත්ත කිව්වෙ ? " ඒ විශේෂණ පදය ගැන මට තිබුන කුතුහලය නිසාමයි ආයෙත් ඇහුවෙ.

ඔය කනත්ත කාලෙකට කලින් පාවිච්චි කරලා අතඇරලා දාපු එකක්. ගමේ කොනකට වෙන්ඩ තමා ඕක තියෙන්නෙ. පිටිපස්සෙන් ගඟ. ඉස්සරහින් තියන පාර කෙටිම පාරක් තමා ටවුන් එකට යන්ඩ ඕන නම්. ඒත් කාලයක් තිස්සෙ සිදුවෙච්ච අත්භූත සිද්ධි හින්දා මිනිස්සු ඔය පාර පාවිච්චියත් කනත්ත වගේම අතඇරලා දාලා තිබුනෙ. ඉඳලා හිටලා මිනිහෙක් දවල්ට ගියොත් මිසක්, රෑට නම් හදිස්සියකටවත් බලු බල්ලෙක්වත් යන්නෑ ඔය පාරෙන්.

" මොනවද අත්බූත සිද්ධි කිව්වෙ ? "

"සමහරු දැකලා තියනවා, හවසට සුදු ඇඳගෙන කනත්තෙ ඇවිදින ගෑනු කෙනෙක්ව. සමහරුන්ගෙ පස්සෙන් තඩි කළු බල්ලෙක් එලවන් ඇවිල්ලා තියනවා, සමහරුන්ට අස්සයෙක් දුවන සද්ද වගේ ඒවා ඇහිලා තියනවා, කීප දෙනෙක්ම එක එක ඒවට බය වෙලා තිබුනා ඔය කනත්ත ගාවදියි, පාරෙදියි. ඉතින් ඒ වගේ කනත්තක රැයක් ගත කරන්ඩ යනවා කිව්වම ඌට පිස්සුම වෙන්ඩ ඕනා. "

" එතකොට සාන්තයා කිව්වා "හරි හරි ඕක අල්ලලා දාමු අපි පිළිගන්නම් උඹ හොල්මන් වලට බය නැහැ කියලා. ", ඇත්තටම අපි ඔක්කොටම කියන්ඩ ඕනා වෙලා තිබ්බෙ ඒක. බොරුවට ඔට්ටු අල්ලන්ඩ ගිහින් මූට නස්පැත්තියක් උනොත් අපි ඉඳල මොකටද "

" එතකොට නිලන්තයා කිව්වා "නැහැ නැහැ.. දැන් උඹලා අභියෝග කළානේ, මම ඒක බාරගන්නවා. අනිද්දා මම ඔය කනත්තෙ මුලු රැම ගත කරනවා. බලමු හොල්මන් මට මොකක් කරයිද කියලා ""

" අපි දන්න දහිරිය දැම්මා ඌව නවත්තන්ඩ. මොන, ඒකා කිව්වොත් කිව්වා."

" විසි එක්වෙනිදත් ආවා, එදා තමයි කියපු දවස. එදා දවසෙම අපි ඒ ගැන වචනයක්වත් කතා නොකර ඉන්ඩ තමා කතාවෙලා හිටියේ, නිලන්තට අමතකවෙලා හරි, මිනිහා හිත වෙනස් කරගන හරි හිටියොත් එහෙම්ම මගෑරිලා යන්ඩ දෙන්ඩ. කොහෙද එදා උදේම මූ ඇවිල්ලා කතාව ඇදලා ගත්තෙ නැද්ද ! "

" කොහොමින් කොහොම හරි රැත් උනා කියමුකො. අන්තිම මොහොත දක්වාම වැඩේ නවත්ත ගන්ඩ තමා කට්ටියම බැලුවෙ. සාන්තයට තමා ගොඩක් ඕනා කම තිබ්බේ ඇයි ඉතින් උගෙ කට වැරදිච්ච නිසානෙ මේක උණේ. මොනවා හරි උනොත් හැමෝම ඌට දොස් කියන්ඩ ගනියි කියලා. මම නම් එදා රෑ වැඩේට සහබාගි උණේ නැහැ.  කොල්ලො ටික මූව කනත්තට ඇරලවලා ඇවිල්ලා. උදේ කට්ටිය එනකම්ම කනත්තෙ ඉන්නවා කියලා තමා නිලන්ත කියලා තිබුනෙ. "

" ඉතින් මිනිහා ඇත්තටම හිටියද, නැද්ද කියලා දැන ගත්තෙ කොහොමද ? "

" ඉන්ඩකො කියනකම්. ඒකට අපිනම් ක්‍රමයක් යෙදුවෙ නැහැ. මොකද අපිට කිසිම සැකයක් තිබුනෙ නැහැ මිනිහා එහෙම බය ගුල්ලෙක් වගේ බොරුවක් කරලා මාරු වෙලා යයි කියලා. එහෙම ඕන නම් බලෙන්ම ඔහොම එකකට පැටලෙන් නෑනෙ. අනිත් එක අපි හැමෝටම ඕනා වෙලා තිබුනෙ මිනිහා එහෙම හරි මගෑරලා යනවනම් යන්ඩ දෙන්ඩ. මොකද මේකෙ තියන භයානක කම නිලන්ත ඇරෙන්ඩ අනිත් ඔක්කොවන්ටම හොඳටම දැනිලා තිබුනෙ. අපි කිසි කෙනෙකුට ඔතන වෙන ඔය සිද්ධි ගැන කිසි සැකයක් තිබුනෙ නැහැ. "

" ඉතින් ඊට පස්සෙ ? "

" ඉතින් කට්ටිය බිමට එළිය වැටෙද්දිම කනත්තට ගිහිල්ලා."

"යනකොට දැකපු දෙයින් කට්ටියගෙ ලේ වතුර වෙලා තිබුනා, මෙන්න මිනිහා ඉන්නවලු මිනී වලක් උඩ වැටිලා. "

" නෑ..හ්හ් " මගේ රෝම කූප කෙලින් වෙන බවක් තමා මට දැනුනෙ.

" ඒ මක් වෙලාද ? "

"සාන්ත ඔලුවෙ අතගහගන තිබුනා, මොකක්ද මං කරපු මේ අපරාදෙ මේකව මේකට පටලවලා කියලා. "

" හොඳට ලංවෙලා බලලා තියනවා සිහි නැති වෙලාවත්ද කියලා. නෑ හුස්ම ගන්නෙත් නැහැලු. කොල්ලො ටික සෑහෙන්ඩ අවුල් වෙලා. හිමීට නිලන්තව අනිත් පැත්තට හරවනකොටම... "

" ඔව් මොකද වුණේ.. " මට දැන් ඉවසිල්ලක් නොමැත.

" මේ යකා කෑගහගන හූ කියාගන නැගිටලා තියෙන්නෙ. අරුන් තුන්දෙනා පණ එපා කියලා දුවන්ඩ පටන් අරන්.. " ගුණවර්ධන කියමින් සිනාසෙයි.

" " හෝව් හෝව් කොහෙද තොපි දුවන්නෙ ? මේ මම මම" කිය කිය  නිලන්තයා බඩ අල්ලන් හිනාවෙනවලු. " "

" අරුන් ටික නැවතිලා කුනුහරුප කියාගන තමයි ආයෙත් ඇවිත් තියෙන්නෙ. කන්ඩ කෙන්තිය මේ කරපු වැඩේට. "

" මොකද වෙලා තියෙන්නෙ ? " මමත් ටිකක් කේන්තියෙන් ඇහුවෙ. මහලොකු කතාවක් කියන්ඩ වගේ ඇවිල්ලා බොරුවට කුතුහලයත් අවුස්සමින් කරපු මේ කතාව ගැන මට ඒ වෙනකොට අප්‍රසාදයක් තමා ඇති වෙලා තිබුනෙ. " මේ යකා අතින් දාලා බොරු කියනවා " කියන නිගමනයට මම ඒ වෙනකොට ඇවිත් හිටියෙ.

" නිලන්තයා අරුන් ටිකව බොරුවට බය කරන්ඩ තමා එහෙම ඉඳලා තියෙන්නෙ. "

" ඒ කියන්නෙ මිනිහට මුකුත් වෙලා නැහැ. ඒ කියන්නෙ හොල්මන් කියන එක බොරුවක් කියලා තමා ඔප්පු වෙන්නෙ ? එහෙම නේද ? කෝ ඩ්‍රයිවර් උන්නැහේ මට කිව්වෙ හොල්මන් ඇත්ත කියලා ඔප්පු වෙන කතාවක් කියනවා කියලනෙ " ඒ මගේ නොරිස්සුම මිශ්‍ර වෙච්ච හඬ.

" ඉවසලා ඉන්ඩ මහත්තයො කතාව තාම ඉවර නැහැ. මම මේ වෙච්ච විදිහටමයි කියාගන යන්නෙ. "

" හරි හරි ඉතින් කියන්ඩකො. "

" කෝ බන් උඹලා කියපු හොල්මන් ? මම නම් එකෙක්වත් දැක්කෙ නැහැ කියලා තමා ඉතින් මිනිහ අන්තිමට කිව්වෙ."

" ඔන්න ඔහොම මුළු ගමක්ම කාලයක් බය වෙලා හිටපු ඔක්කොම හොල්මන් වලට කොලොප්පමකුත් කරලා තමා නිලන්තයා හොල්මන් නැහැ කියලා ඔප්පු කළේ. "

කට්ටියම මුකුත්ම කියන්ඩ ගියෙ නැහැ. මිනිහට දිනුම දීලා නිකන් හිටියා ඇරෙන්ඩ. ආයෙ මොකක් හරි කියලා තවත් විකාරයක් කරයි කියන බය හැමෝටම තිබුනා. නිලන්ත මොන සෙල්ලම් දාලා පෙන්නුවත් අනිත් අය කවුරුවත් ඉතින් තමන්ගෙ හිතේ තියන විශ්වාස එක පාරටම අතාරින්නෑනේ මහත්තයො. "

" ඊ ලඟට මොකද වුණේ ? " මට දැන් කතාව නීරස වීගන එන්නෙ. මේ යකා කියන තරම් මඟුලක් මේකෙ නැහැ කියලා තමා මට දැන් හිතෙන්නෙ.

" ඕක වුණේ බදාදා දවසක. ඊලඟ ඉරිදා උදේ, නිලන්තයගෙ ත්‍රී වීල් එක ඔය කනත්තට ටිකක් මෙහායින් පාරෙ අයිනෙ තියන විශාල සියඹලා ගහේ හැප්පිලා තිබිලා හම්බුනා. "

" නෑහ්හ්.... ඒ මොනවා වෙලාද ? " නැවතත් මගේ යටයමින් තිබූ කුතුහලය ඇවිස්සුනි.

" ත්‍රී වීල් එක ඉස්සරහ චප්ප වෙලා. නිලන්තව එලියට ගන්න කොටත් සිහි නැහැ. මිනිහට පිටින් පේන්ඩ නම් තුවාලයක් තිබුනෙ නැහැ. " ගුණවර්ධනගේ කට හඬ නැවතත් හැඟීම් බර වෙමින් තිබුනි.

" මොකද වෙලා තියෙන්නෙ ? "

" මිනිහා දවසක්ම හිටියා ඉස්පිරිතාලෙ සිහි නැතුව. පහුවදා තමයි සිහිය ආවෙ. ඊට පස්සෙ ටික ටික කතා කරන්ඩ ගත්තා. ඒත් නිතරම බය වෙලා වගේ තමා හිටියේ. හිටපු ගමන් නින්දෙන් කෑගහගන් නැගිටිනවා . "

" මොකක්ද වෙලා තියෙන්නෙ ? " කතාව නොකියමින් වටේ වැල්වටාරම් ගහමින් ඉන්න එක ගැන මට ඒ වෙනකොට රියදුරත් එක්ක කෝපයක් ඇති වෙමින් තිබුනෙ.

" සිහිය ඇවිත් හොඳට හිටපු වෙලාවක තමා අපි මිනිහගෙන් කතාව දැනගත්තෙ. "

" එදා සෙනසුරාදා රෑ, නිලන්ත හයර් එකක් ගිහිල්ලා එමින් ගමන්. වෙලාව රෑ එකොළහමාරට විතර ඇතිලු. මගදි ගෑනු කෙනෙක් අත දාලා තියනවා ත්‍රී වීල් එකට. පොඩි අත දරුවෙක්වත් වඩාගන. "

" මෝහිනීද ? " මම ඉස්සර විය. ඒ මෝහිනී ගැන කලින් අසා තිබුන බැවිනි.

" ඉන්ඩකො මහත්තයො කියනකම්. "

" ළමයට හදිසියේ අසනීප වෙලා, ඉස්පිරිතාලෙට බේත් ගන්ඩ ගිහිලා එන ගමන්ලු, බස් එක මගෑරුණා කියලා කිව්වලු. "

" ඉතින් ඉතින් "

" යන්ඩ ඕනා කියලා තියෙන්නේ අපේ ගමට අල්ලපු ගමට. ටවුන් එකේ ඉඳලා අර මම කලින් කියපු පාර තමා කෙටිම පාර. නිලන්තයා ඉතින් ඔය පාරෙන් තමා ඇවිත් තියෙන්නේ. " " ඕකෙ ඌම ඇරෙන්ඩ ඔය වෙලාවෙ වෙන එකෙක් නම් කීයටවත් යන්නෑ කියලා මට ඉර හඳ වගේ විශ්වාසයි. හොල්මන් නැහැ කියලා මිනිහම ඔප්පු කරලා තිබුන එකත් ඕකට බලපාන්ඩ ඇති. "

" ඔය කනත්ත හරියට එනකොටම නිලන්තට දැන් ඇහෙනවලු පිටි පස්සෙන නිකන් සිලි සිලි මල්ලක් පොඩි වෙනවා වගේ සද්ද්යක්. "

" ඉතින් ! " දැන් මගේ හද ගැස්මද වැඩි වෙමින් පවතී.

" මිනිහ හැරිලා බලල තියනවා නිකමට වගේ. ඒ දැකලා තියන දේ වෙන එකෙක් දැක්ක නම් එතනම මැරෙනවා මහත්තයෝ. මුගෙ හිත හයිය හින්දම ඔහොමවත් අල්ලලා හිටියා. "

" ඇයි මොකක්ද දැකලා තියෙන්නෙ.. ? "

" මූ පිටි පස්ස බලපුවම දැකලා තියෙන්නේ ගෑනි කොණ්ඩෙ කඩාගන දත් විලිස්සලා මූ දිහා බලලා තියනවා. ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ රතුම රතු පාටයිලු, ලොකූ වෙලාලු. දෙකොනෙන් මතු වෙච්ච උල් දත් වලින් ලේ පෙරෙනවලු. ඔඩොක්කුව දිහා බලපුවමයි දැකලා තියෙන්නේ ගෑනි අර ළමයව කනවලු. ඒ වෙනකොටත් ඔලුව නැහැල්ලු "

" නිකන් හිතලා බලන්ඩ මහත්තයෝ තමන්ගෙ පිටිපස්සෙන් අඩි දෙකක්වත් දුර නැතුව ඒ වගේ දෙයක් එකපාරටම දැක්කම මොන ජගතද බය නොවී තියෙන්නේ. මාව නම් එතනම මැරෙයි. "

එවිට මමත් සිතා බැලුවේ මම එවැනි දර්ශනයක් දුටුවහොත් මගේ ප්‍රතිචාරය කුමක් වෙයිදැයි කියාය. අනිවාරයයෙන්ම දරුණු තිගැස්මකට හෝ බයවීමක් විය හැකි බව හැඟුනේ එම සිතුවිල්ල පවා මසිත බියෙන් පුරවාලූ බැවිනි.

" මේ යකා බය වෙච්ච පාර සිහි නැතුව ගිහිල්ලා අර සියඹලා ගහේ වද්දගන. "

" උඹලා හරි මචන්, හොල්මන් අවතාර කියලා දෙයක් තියනවා, මම දැන් පිළිගන්නවා" කියලා ඌ ඇඳේ ඇල උනා. ඒ තමයි උගෙ අවසාන වචන මහත්තයො. "

" ඇයි මොකද වුණේ ? "

" දවස් දෙකයි හිටියේ, ඊලඟ දවසෙ මුලු ඇඟම නිල් වුනා, ඊට පහු වෙනිදා ඌ අපිව දාලා ගියා මහත්තයො." ගුණවර්ධන බෙහෙවින්ම හැඟුම් බර විය. ඉන් පසු සැහෙන දුරක් යනකම් අප දෙදෙනා අතර කතාවක් නොවීය.

ටිකකට පසු ගුණවර්ධන විසින්ම සිය හඬ අවදි කළේය.

" හොඳම වැඩේ කියන්නේ මහත්තයො, ත්‍රී වීල් එකේ සීට් එකේ තිබිලනේ ලේ වගයකුයි, පොඩි එකෙක්ගෙ සූප්පුවකුයි "

" නෑහ්හ්හ්..... !!! " ඒ මවිත වූ මාය.

" ඔන්න ඕක තමා මහත්තයෝ මම කිව්වේ හොල්මන් තියනවා කියලා. මහත්තයා තාමත් විශ්වාස කරන්නැද්ද ? "

" ගමේ මිනිස්සු නම් කියන්නේ හොල්මන් අවතාර සම්ච්චලයට ලක්කරපු හින්දම නිලන්තට මේ දඬුවම ලැබුනා කියලා. "

                                                                          ~~~~~
සැබැවින්ම මට අදටත් ඒ පිළිබඳ ඇත්තේ දෙගිඩියාවකි. හොල්මන් තිබෙන්නත් පුලුවන, නොතිබෙන්නත් පුලුවන. බුදු දහමෙත් ප්‍රේත ආත්ම වැනි දේවල් ගැන කියවෙන බැවින් හොල්මන් නැතැයි එක වරම අහක දැමිය නොහැකි යැයිද මට හිතේ. එහෙත් ඡායා මාත්‍රයකින්වත් එවන් වූ අත්දැකීමක් ලබා නැති බැවින් ඒ පිළිබඳව සැකයක් නැත්තේත් නොවේ.

මේ ගැන ඔයගොල්ලො මොනවද හිතන්නෙ ?


පසු සටහන ;

~ ඉහත සඳහන්, ත්‍රීරෝද රථය තුල සිදු වූවයි කියන සිද්ධිය මට ඇසීමට ලැබුනේ මගේ මිතුරකු වූ රොනල්ඩ් ඩයස් මහතා මාර්ගයෙනි. එය සිදුවූ ප්‍රදේශය හා කාලය ඔහු සඳහන් කළද දැන් එය මාගේ මතකයෙන් ගිලිහී ගොස්ය. මෙය එය අනුසාරයෙන් මා විසින් ගොතන ලද කතාවක් පමණී.

~ රුක්මණී දේවියගේ පිළිරුව පිළිබඳ දැක්වුනු අදහස් ඒ ශ්‍රේෂ්ඨ කලාකාරිණියට අපහාසයක් සිදුකිරීමේ අරමුණින් යෙදූවක් නොව, අදටත් ඒ ප්‍රදේශයේ ප්‍රචලිත මිත්‍යාවක් මාගේ කතාව ගොඩනැගීම සඳහා යොදා ගත්තා පමණී. ඒ පිළිබඳව කාට හෝ සිත්තැව්ලක් ඇතිවුවහොත්  ඒ සම්බන්ධයෙන් උදක්ම සමාව ඉල්ලා සිටිමි.

පින්තූරය Google Images වෙතින්.

~~ සෙන්නා / 30.03.2012

Friday, March 23, 2012

බළල් පණක් තිබූ පූජකයා..

2012 මැදින් මස 23 වනදා,


සාමාන්‍යයෙන් මිනිසෙකුව මැරීමට කෙතරම් සයනයිඩ් ප්‍රමාණයක් අවශ්‍යද ? මෙය ඒ පිළිබඳව අත්දැකීම් ඇත්තෙකුට හෝ ඒ පිළිබඳ පරීක්ශණ කරන පුද්ගලයෙකුට, වෛද්‍යවරයකුට හැරුන කොට එක එල්ලේ සාමාන්‍යය පුද්ගලයෙකුට පිළිතුරු දිය නොහැකි පැනයක් බවට සැකයක් නැත. කොටි ත්‍රස්තවාදීහූද සයනයිඩ් කරලක් පාවිච්චි කළ බවට අප අසා ඇත්තෙමු. එහි කෙතරම් ප්‍රමාණයක් සයනයිඩ් නම් වූ වස අඩංගුව තිබෙන්නට ඇත්ද ? ඒ කෙසේ වෙතත් අප සැම පොදුවේ දන්නා දෙයක් ඇත. ඒ සයනයිඩ් යනු මාරාන්තික විසක් බවත් එය භාවිතා කළ සැනින් මරණය ලඟා කිරීමට සමත් තියුනු විසක් බවත්ය. එහෙත් එය එසේමද ?

                                                                           xx

1916 දෙසැම්බර් මස 19 වන දින, රුසියාවේ මලයා නෙව්කා නදියෙහි, මහා පෙට්‍රොව්ස්කි පාලම අසලින් ගොඩ ගත් මළසිරුරකි. එය හඳුනා ගත නොහැකි අයුරින් ඒ වන විටත් නරක්ව තිබුනි. වැඩිදුරටත් කළ පරීක්ෂණ වලින් තහවුරු වූයේ, එය අධික ලෙස වස දීමෙන්, තෙවරක් වෙඩි තැබීමෙන්, දරුණු ලෙස පහර දීමෙන් සහ අවසානයේදී දියේ ගිල්වීමෙන් සිදු කළ මරණයක් බවයි. ඔබ දැන් මවිතවී ඇති එක මිනිසකුව මැරීමට මෙතරම් දෑ කළ යුතුද කියා ! ඔව්, සැබවින්ම එලෙස කිරීම අත්‍යවශ්‍යම වී තිබුණි.

                                                                           xx 

20 වන ශතවර්ෂයේ ආරම්භයේදී, රුසියාව දෙවන සාර් නිකොලස් අධිරාජයා යටතේ පාලනය විය. අධිරාජයා සහ රාජිණිය සිත්තැව්ලට පත්කරමින් සිහසුනේ මීළඟ උරුමක්කාරයා වෙනුවෙන් වසර හතරක් වැනි කාලයක් බලා සිටීමට සිදු වූහ. ගැහැණු දරුවන් හතර දෙනෙකු ලැබීමෙන් පසු බලාපොරොත්තු කඩ වූ රාජකීය යුවළ නා නා ප්‍රකාර පුද්ගලයන්ගේ, පූජකයන්ගේ සහය පැතුවේ පෙළපතට උරුමක්කාරයකු වූ පුත්‍ර රත්නයක් ලබාගැනීමටයි. අවසානයේදී බලාපොරොත්තු මල්ඵල ගන්වමින්, 1904 අගෝස්තු 12 වන දින ඇලෙක්සියි නිකොලායෙවිච් ( Alexei Nikolaevich ) දරුවා මෙලොව එළිය දුටුවේය. එහෙත් අවාසනාව තවමත් ඔවුන් පසු පසය. ළදරුවා " රාජකීය රෝගය " යැයි හැදින්වූ හිමෝෆීලියාවෙන් පෙළෙන්නට විය. නොයෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ගත්තද ප්‍රතිඵල රහිත විය.

                                                                           xx 

රස්පුටින්
රස්පුටින් හෙවත් Grigori Yefimovich Rasputin, 19 වන ශතවර්ශයේ අග භාගයේ රුසියාවේ සයිබීරියාවට අයත් කුඩා ගම්මානයක් වූ පොක්රොව්ස්කොයි ( Pokrovskoye ) ගම්මානයේ වැසියකු ලෙස උපත ලැබීය. ඔහුගේ උපන් දිනය පිළිබඳ නිශ්චිත සඳහනක් නොවුනත්, මෑතකදී ඔහුගේ උපන්දිනය 1869 ජනවාරි 10 වන දින ලෙස නිර්ණය කරන ලදී.

ඔහුගේ ළමා විය පිළිබඳ විශේෂ විස්තරයක් නැති අතර ඔහුට එක් සහෝදරයෙක් සහ සොහොයුරියක් සිට ඇත. සහෝදරිය වූ  මරියා අපස්මාර රෝගයෙන් පීඩා විඳි අතර අසල වූ ගඟක ගිලී මිය ගිය බව පැවසේ. සොහොයුරා වූ දිමිත්‍රි, පොකුණක ගිලීමෙන් පසුව හටගත් නිව්මෝනියා රෝගයෙන් මිය ගොස් ඇත. මෙය රස්පුටින්ගේ ජීවිතයට විශාල වශයෙන් බලපෑ අතර, විවාහ වී දරුවන් ලද පසු, ඔහු සිය පුත්‍රයා සහ දියණිය, දිමිත්‍රි සහ මාරියා ලෙස නම් කිරීමට යොමුවිය.

වයස 18 දී, තෙමසක් තාපසාරාමයක ගත කරන ඔහු, තහනම් කළ ක්‍රිස්තියානි නිකායක් ( Khlysty  ) සමඟ සම්බන්ධතා පැවැත්වූ බවටද විශ්වාස කෙරේ. තාපසාරාමයෙන් ඉවත්වූ පසු, අසල විසූ, මකාරී නම් ධාර්මික දිවියක් ගෙවූ මිනිසකු ඇසුරට වැටෙන රස්පුටින් ඔහුව අනුකරණය කිරීමටද පෙළබේ. මකාරී විසින් රස්පුටින් කෙරෙහි දක්වූ බලපෑම අති මහත්ය.

1889 දී රස්පුටින් ප්‍රස්කොවියා ඩුබ්රොවිනා නම් තරුණිය හා විවාහ වන අතර ඔහුට දාව ඇයට දරුවන් තිදෙනෙකි.

1901 දී නිවසින් පිටවන ඔහු, වන්දනා කරුවකු වශයෙන් තැනින් තැනට සංචාරය කරයි. ඔහු ග්‍රීසියට හා ජෙරුසලමට ගිය බවද සඳහන් වේ. 1903 දී ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණෙන රස්පුටින්, ටික කලෙකින් සුවකරන්නකු හා අනාගතවක්තෘ කෙනෙකු ලෙසටද නමක් දිනා ගැනීමට සමත් වේ.

රස්පුටින් ඉතා කාමශක්ත පුද්ගලයකු වූ අතර කාන්තාවන්ව ආකර්ෂණය කර ගැනීමේ අපූරු හැකියාවකින්ද යුක්තවිය. රුසියානු ඉහළ සමාජයේ බොහොමයක් කාන්තාවන් ඔහු විසින් සිය ග්‍රහණයට ගෙන සිටි බවද සඳහන්වේ. එයට අමතරව ඔහු ද්විත්ව ලිංගික ආශාවන්ගෙන් ( Bisexual ) යුක්ත වූ බවද පැවසේ.

ඔහුගේ පෞර්ෂත්වය විදහා දැක්වන අනෙක් කරුණ වූයේ නේත්‍රා යුග්මයයි. මෙය අන්‍යන්ව වශී කරවන සුළු ප්‍රබලතාවයකින් යුක්ත විය.

                                                                           xx 

සිදුකළ සියලු ප්‍රතිකාර අසාර්ථක වූ පසු, රාජකීය යුවළ පිහිටක් ගතහැකි හැම අතටම යොමු වන්නට වූහ. මේ අතරතුරේදී රාජිනියගේ මිතුරියක මාර්ගයෙන් රස්පුටින් ගැන දැනගත් රාජකීය යුවළ ඔහුව මාලිගයට කැඳවනු ලැබූහ. මෙම කැඳවීම ලැබෙන විට ඔහු සයිබීරියාවේ සංචාරය කරමින් සිටියේය.

වෛද්‍යවරුන් පළකළ අනාවැකි බොරු කරමින් රස්පුටින් ළදරුවාට යම් සහනයක් ගෙනදීමට සමත්වේ. ඔහු එය සිදු කළ ආකාරය අදටත් අභිරහසක් වන අතර, සමහරු එය මෝහනය මාර්ගයෙන් කළ බව පවසන අතර සමහරු රස්පුටින් සතුව ඔහු පවසනාකාරයේ විශේෂ සුවකිරීමේ බලයක් ඇතැයි විශ්වාස කළහ. කෙසේ නමුත් රාජකීය යුවලට ඇවැසි දේ ඉෂ්ඨවී තිබුණි.

මෙලෙස වරින් වර දරුවාගේ රෝගය උත්සන්න වූ අවස්ථාවලදී රස්පුටින්ගේ සේවය ලබාගැනීමට ඔවුන් පුරුදු වූ අතර, කලක් ගතවන විට රස්පුටින් රාජකීය පව්ලේ හිතවතකු දක්වා ඔසවා තැබීමට මෙම සම්බන්ධයට හැකිවිය. එය කෙතරම්ද යත් සාර් අධිරාජයා විසින් ඔහුව " අපේ මිතුරා " , " ශුද්ධවූ මිනිසා " යනුවෙන් ඇමතීමට තරම් කුළුපග විය. රාජකීය යුවළ ඔහුව දෙවියකු නැත්නම් සෘෂිවරයකු ලෙස සැලකීමට පුරුදු වූහ. අධිරාජිණිය, දෙවියන් වහන්සේ රස්පුටින් හරහා තමනට කතාකරන බව විශ්වාස කිරීමට තරම් මේ විශ්වාසය දැඩි විය.

1915 සැප්තැම්බර් මස, දෙවන නිකොලස් සර් අධිරාජයා පළමු ලෝක සංග්‍රාමයේ යෙදී සිටි බළමුළු මෙහෙයවීම සඳහා වැඩිකාලයක් යොමු කළ බැවින්, අභ්‍යන්තර දේශපාලනික කටයුතු අධිරාජිණිය විසින් මෙහෙයවන්නට යෙදුනාය. මෙහිදී රස්පුටින් ඇයට අනුශාසකයකු වශයෙන් ක්‍රියාකළ අතර ඔහුගේ මැදිහත්වීම සෑම දේශපාලන තීරණයක වාගේම දක්නට විය. මාස කිහිපයක් අතර ඇමතිවරුන්, ඔවුන්ගේ නියෝජ්‍යයන් හා අනුප්‍රාප්තිකයන් ශීඝ්‍ර ලෙස වෙනස් වනනේ රස්පුටින්ගේ අනුදැනුමද සමඟිනි.

විය යුතු පරිදිම, මෙම තත්ත්වය එරට ප්‍රභූ පැලැන්තිය නොරිස්සන අතර ඔවුනට රස්පුටින්ව නයාට අඳුකොළ තත්ත්වයට පත්වේ. ඔවුන් විසින් මේ ගැන රාජකීය යුවළ දැනුවත් කිරීමට උත්සහා කළද එය නිෂ්ඵල කාර්යයක් වන්නේය.

මේ අතර අධිරාජිණිය සහ රස්පුටින් අතර රහසිගත සබඳතාවයක් ඇතැයිද රාවයක් පැතිර යයි. පිය පාර්ශවයෙන් ජර්මානු සම්භවයක් ඇති රාජිණිය, රස්පුටින් හා එක්ව ජර්මනිය හා රහසිගත එකඟතාවයකට සැරසුණ බවටද කියවේ.

මේ සියල්ල රුසියානු ප්‍රභූ පැලැන්තිය රහසිගත කුමන්ත්‍රණයක් වෙතට තල්ලු කොට දමනු ලබයි.

1916 නොවැම්බර් මස රුසියානු පහළ මන්ත්‍රී මණ්ඩලයේ ( Duma ) නායකයා ලෙස කටයුතු කළ ව්ලැඩිමීර් පුරිෂ්කෙවිච් ( Vladimir Purishkevich ) ෆීලික්ස් යුසුපොව් ( Felix Yusupov  ) කුමාරයාට ලිපියක් ලියමින්;

" මම රස්පුටින්ගෙන් මිදීම සඳහාවූ සැලසුමක් ගැන සිතයොමුකරමින් කාර්යය බහුලව සිටී. එය දැන් පැහැදිලිවම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබේ. ප්‍රමාදය ඉක්මනින්ම සියල්ල අවසන් කරනු ඇත. ඔබත් මෙයට සහභාගී විය යුතුය. දිමිත්‍රි පව්ලොවිච් මේ ගැන සියල්ල දන්නා අතර දෙසැම්බර් මස මැදදී ඔහු නැවත පැමිණි පසු මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. මේ ගැන කටේ කෙලබිඳක් නොසොල්වන්න. "

එයට පිළිතුරු යවන ෆීලික්ස් කුමරා;

" ඔබගේ ලිපියට ස්තූතියි. මට එයින් බාගයක්ම තේරුම් ගත නොහැකියි. එහෙත් ඔබ දරුණු ක්‍රියාමර්ගයකට යෑම සඳහා අරාඳින බව පෙනෙන්නට තිබේ. මාගේ ප්‍රධානම විරෝධය, ඔබ මා නොවිමසා සියල්ල සැලසුම් කොට තීරණය කොට තිබීමයි. මම නොමැතිව මෙය ක්‍රියාත්මක කිරීමට නිර්භය නොවන්න. නැතහොත් මා සම්පූර්ණයෙන්ම සහභාගී වීමෙන් වැළකෙමි. "

ඝාතකයෝ :

ෆීලික්ස් යුසුෆොව් කුමරු ( Felix Yusupov  ) :

රුසියාවේ ධනවත් පව්ලකින් පැවත එන මොහු, සාර් රජුගේ ලේලිය වූ රූමත් ඉරිනා හා විවාහ වී සිටියේය. එබවින් මොහුට රජ පවුල හා ඉතා කිට්ටු සබඳතා විය. එසේ වුවද මොහු සමලිංගික ආශ්‍රයන් ප්‍රියකළ පුද්ගලයකු බවද කියවේ. එම රුචිකම් රස්පුටින්ව ග්‍රහණයට ගැනීමට ඉවහල්වී ඇත.

ආදිපාද දිමිත්‍රි පව්ලොවිච් ( Dmitri Pavlovich ) :

මොහු සාර් රජතුමාගේ ඥාති සොහොයුරෙක් විය. රජුගේ වැඩිමහලු දියණිය හා විවාහ ගිවිසගෙන සිටියද, ෆීලික්ස් කුමරා හා පැවැත්වූ සමලිංගික සබඳතාවය නිසා එම විවාහය කඩා කප්පල් විය.

ව්ලැඩිමීර් පුරිෂ්කෙවිච් ( Vladimir Purishkevich ) :

ඔබ දනටමත් දන්නා පරිදි මොහු ඩුමා හී ප්‍රධාන තනතුර හෙබවූ පුද්ගලයා විය. කුමන්ත්‍රණයට මුල්වී ක්‍රියා කළ අයගෙන් කෙනෙකි.

ලුතිනන් සුක්හෝටින් :

තරුණ හමුදා නිලධරයෙකි.

දොස්තර ලසාවර්ට් :

පුරිස්කෙවිච්ගේ මිතුරකු සහ වෛද්‍යවරයා වේ.

සැලැස්ම :


රස්පුටින් හා මිතු දමක් වගා කරගන්නා ෆීලික්ස් කුමරු, රස්පුටින්ව ඔහුගේ මාලිගයට රවටා ගෙනවිත් ඝාතනය කිරීමට සැලසුම් කෙරිණි. දෙසැම්බර් 16 වන දින තෙක් දිමිත්‍රි පව්ලොවිච් කාර්යය බහුල බැවින් හා දෙසැම්බර් 17 වන දින පුරිස්කෙවිච් යුද පෙරමුණට යායුතු බැවින් ඝාතනය දෙසැම්බර් 16 රාත්‍රියේදී, 17 ට එළිවන පාන්දර කිරීමට තීරණය කරගත්හ. මධ්‍යම රාත්‍රියෙන් පසුව රස්පුටින්ගේ නිවසට යොදා තිබුණු ආරක්ෂක රැකවල් ඉවත් කිරීමද මෙම වේලාව තෝරා ගැනීමට එක් හේතුවක් විය. දෙසැම්බර් 17 වන දින අලුයම 12.30 ට ෆීලික්ස් විසින් රස්පුටින්ව නිවසින් රැගෙන ඒමට සැලසුම් කරණ ලදී.

එහෙත් රස්පුටින්ව නිවසින් පිටතට ගැනීමට සෑහෙන හේතුව සැපයිය යුතුව තිබුණි. මේ සඳහා, රස්පුටින්ගේ ස්ත්‍රී ලෝලත්වය ගැන හොඳින් දැන සිටි ඝාතකයන්, ෆීලික්ස් කුමරුගේ රූමත් බිරිය ඇමක් ලෙස භාවිතා කිරීමට කතිකා කරගත්හ. ඒ අනුව එවකට ක්‍රිමියා හී නතරව සිටි සිය බිරිඳට ලියන ෆීලික්ස් කුමරු මෙයට සහභාගී වන ලෙස ඇගෙන් ඉල්ලා සිටී. එහෙත් ඇය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම කරණකොටගෙන රස්පුටින්ව බොරුවකින් මුළා කිරීමට එකඟතාවයකට පැමිණේ.

මෙසේ ඉරිනා කුමරිය මුණගැස්වීමටයි රවටා රැගෙන එන රස්පුටින්ව මාලිගයේ බිම්මහලේ රඳවා තබා ගැනීමට ෆීලික්ස්ට නියම විය. ඒ අතරතුර ඉහළ මහලයේ ඉරිනා කුමරිය හදිසියේ පැමිණි අමුත්තකු සමඟ කතා බහක යේදී සිටින බවක් රස්පුටින්ට ඇඟවෙන සේ ක්‍රියා කිරීම, එසේ බලාපොරොත්තුව සිටින අතරතුර රස්පුටින්ට සයනයිඩ් දමූ කේක් සහ වයින් පානය කිරීමට දී ඝාතනය කිරීම, ඝාතනයෙන් පසු ගෝනි වළ දවටන ලද දේහය මලයා නෙව්කා නදියට දැමීම සැලසුමයි. හඬ පිටතට ඇසිය හැකි බැවින් ඝාතකයන් රිවෝල්වර් භාවිතයට යොමු නොව්නි.

                                                                           xx 

නොවම්බර් මස, රස්පුටින්ව හොඳින් දන්නා සිය හිතවතියක් වූ මාරියා ග්ලොවිනා අමතන ෆීලික්ස්, තමනට නිතර නිතර හට ගන්නා පපුවේ අමාරුවක් ගැන දන්වා සිටින්නේ සිය අරමුණට ළඟා වීමේ මාර්ගයක් ලෙසයි. ඔහු බලාපොරොත්තු වූ පරිදිම ඇය විසින් ප්‍රතිකාර සඳහා රස්පුටින්ව යෝජනා කෙරේ. ප්‍රතිකාර සඳහා ඇයගේ නිවසේදී ෆීලික්ස් ට රස්පුටින්ව මුණගස්වන අතර ටික කලෙකින්ම රස්පුටින් හා හොඳ මිතු දමක් ඇති කරගැනීමට ෆීලික්ස් සමත්වේ. ෆීලික්ස් නිතර නිතර රස්පුටින්ගේ නිවසට යැම් ඊම් අරබන අතර, බොහෝදෙනෙකු එය සුවකිරීම් වලට එහා ගිය සමලිංගික සම්බන්ධයක් යයි අනුමාන කිරීමටද පෙළබේ.

සැලැස්මේ වූ පරිදිම සුදුසු කල්හී, ෆීලික්ස් විසින් රස්පුටින් හට සිය බිරියගේ පැමිණීම ගැන දැනුම් දෙන අතර බලාපොරොත්තු වූ පරිදිම රස්පුටින් ඇයව හමුවීමට උනන්දු වේ. ඔවුන් විසින් දෙසැම්බර් 17 වන දින අළුයම 12.30 ට ඇයව රස්පුටින්ට මුණගැස්වීමට විධිවිධාන සැලසූහ.

අවසානයේදී දිනය පැමිනුනි. එදින මධ්‍යම රාත්‍රියේදී පමණ සිය ඇඟලුම් මාරු කළ රස්පුටින් ලා නිල් පැහැති කමිසයකින් හා නිල් පැහැති වෙල්වට් කලිසමකින් සැරසී තමාව රැගෙන යාමට ෆීලික්ස් පැමිණෙන තුරු පොරොත්තුවෙන් සිටියේය. මෙම ගමන ගැන කිසිවකුට නොපවසන ලෙස ෆීලික්ස් ඉල්ලා තිබුණද ඇත්ත වශයෙන්ම රස්පුටින් ඒ වනවිට බොහෝ දෙනෙකුට එය දන්වා තිබුණි. ඒ අතර සිය දියණිය සහ සිය හිතවතිය වූ මාරියා ග්ලොවිනාද වූහ.

මේ අතර ඝාතකයන් විසින් ෆීලික්ස් ගේ මාලිගයේ බිම් මහලේ වූ කෑම කාමරයට එක් රොක්ව සිටියහ. දොස්තර ලසාවර්ට් විසින් සයනයිඩ් කැට කුඩු කොට කේක වළට සහ වයින් වලට දමමින් සිටියේය. කේක් කිහිපයක් සහ වයින් වීදුරු කිහිපයක් වස නොදමා ඉතිරි කළේ අවශ්‍ය වුවහොත් ෆීලික්ස්ට පරිහරණය කිරීමටයි. සියල්ල සකස් කළ පසු දොස්තර ලසාවර්ට් සහ ෆීලික්ස් රස්පුටින්ගේ නිවස බලා සිය මෝටර් රථයෙන් පිටත් වූහ.

12.30 ට ඔවුන් රස්පුටින්ගේ නිවසට ළඟා වුණි. ඔවුන්ව පිළිගත් රස්පුටින් ඔවුන් හා යෑමට එක්විය. නිවසේ මෙහෙකාරිය තවමත් අවදියෙන් සිටි අතර ජනෙල් තිර අතරින් ෆීලික්ස්ව හඳුනා ගැනීමට ඇය සමත් වූවාය.

ඔවුන් ෆීලික්ස් ගේ මාලිගයට පමිණි පසු, ෆීලික්ස් විසින් රස්පුටින්ව පැත්තෙන් වූ ද්වාරයකින් බිම් මහලෙහි කෑම කාමරය වෙත කැඳවාගන එන ලදී. ඉහළ මාලයෙහි සිහින් සංගීතයක් වාදනය වෙමින් පැවතුණි. සිය බිරිඳ හදිසියේ පැමිණි අමුත්තකු සමඟ කතා බහක යෙදෙන බවත්, මොහොතකින් පහළට එන බවත් ෆීලික්ස් විසින් රස්පුටින්ට දැනුම් දෙයි.

ඝාතනය සිදුකළ ෆීලික්ස් කුමරාගේ මාළිගය.
මෙසේ ඉරිනා කුමරිය බලාපොරොත්තුවෙන් සිටින කාලය තුළ, ෆීලික්ස් විසින් රස්පුටින් හට කේක් සහ වයින් පිළිගැන්වූවද එවා පැණිරස අධිකයයි පවසා රස්පුටින් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මෙහිදී සිත කලබලයට පත්වූ ෆීලික්ස්, රස්පුටින්ට විශේෂයක් නොහැඟෙන පරිධි උඩුමහලට ගොස් අනෙක් අයට සිද්ධිය සැලකොට සිටියේය. කුමරා නැවත පහළට එන විට රස්පුටින් විසින් නොදන්නා හේතුවක් මත කේක් සහ වයින් පිළිගැනීමට එකඟ විය.

අප දන්නා පරිදි සයනයිඩ් භාවිතා කළ සැණින් ක්ෂ්ණික මරණයක් උරුම විය යුතු උවද රස්පුටින් කිසිම වෙනසක් නොපෙන්වා පෙර පරිදිම සිටියේය. රස්පුටින්ගේ ඇදවැටීම දැකීමට බලාපොරොත්තුවෙන් ෆීලික්ස් විසින් ඔහු සමඟ කතා බහා කරමින් සිටියේය. කිසිවක් සිඳු නොවෙන බව දුටු ෆීලික්ස් සමාව ගෙන නැවතත් කලබලයෙන් උඩු මහලට දිව ගියේය.

කෙටි සාකච්ඡාවකින් පසු ඔවුන් විසින් රස්පුටින්ව වෙඩිතබා ඝාතනය කිරීමට එකඟ වූහ. දිමිත්‍රිගේ පිස්තෝලය රැගෙන ෆීලික්ස් නැවතත් පහළට පැමිනුනි. ෆීලික්ස් පහළට එන විට රස්පුටින් විසින් එහි වූ කළුවර කැබිනෙට්ටුවක් දෙස සිය අවධානය යොමුකොට සිටියේය. පිස්තෝලය පිටුපස සඟවාගන පැමිණි ෆීලික්ස්, ක්ෂණිකව රස්පුටින් අමතා සිය අවධානය ඔහුවෙතට ගෙන, රස්පුටින්ගේ පපු ප්‍රදේශ ඉලක්ක කොටගෙන උණ්ඩයක් නිකුත් කළේය. මොහොතකින් උණ්ඩය රස්පුටින්ගේ හදවත පසාරු කරගන ගියේය. වෙඩි හඬ ඇසුණු අනෙක් කුමන්ත්‍රණ කරුවන් පිරිසද පහළට දිව ආහ.

ඔවුන් පහළට පැමිණෙන විට, රස්පුටින් බිම වැටී සිටි අතර ෆීලික්ස් පිල්තෝලය අතැතිව ඔහු අසල සිටගෙන සිටියේය. මොහොතක් ගැස්සෙමින් තිබූ රස්පුටින්ගේ සිරුර නිසල විය.

රස්පුටින්ගේ මියයාම ගැන ප්‍රීතියට පත් කුමන්ත්‍රණ කරුවන් උඩුමහලට ගොස් එය සමරන්නට වූහ. තව ටික වේලාවක් ගතවෙන්නට හැර සිරුර නදිය වෙත රැගෙන යාමට සැලසුම් කෙරුවේ කිසිවකුටත් නොපෙනෙන පරිදි එය සිදුකළ යුතු බැවිනි.

පැයකට පමණ පසු, ෆීලික්ස් හට පහළට ගොස් රස්පුටින්ගේ දේහය පරික්ෂාකොට බැලීමේ සිතුවිල්ලක් නැගුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ ඔහු, බිම්මහලට ගොස් සිරුර පරික්ෂා කොට බැලීය. එය තවමත් උණුසුමින් යුක්තය ! ඔහු සිරුර සොලවා බැලීය. ප්‍රතිචාරයක් නොමැත. සියල්ල සතුටුදායකව අවසන් වී ඇතැයි සිතමින් ආපසු හැරීමෙදී දුටු දෙයින් ඔහුගේ රුධිරය ගල් ගැසුණි. රස්පුටින්ගේ වම් ඇස විවර වෙමින් තිබුණි. ඔහු තවමත් ජීවතුන් අතර !!

ක්ෂණිකව ෆීලික්ස් වෙතට පිනූ රස්පුටින් ඔහුගේ ගෙලින් සහ උරහිසෙන් ග්‍රහණය කොට ගත්තේය. සුලු පොරබැදීමකින් ඔහුගෙන් ගලවුණු ෆීලික්ස් " ඔහු තවම ජීවතුන් අතර " යැයි කෑ ගසමින් උඩුමහලට දිව ගියේය. ඔහු උඩු මහලට එන විට භීතියෙන් ගල් ගැසී සිටි අතර ඇස් දෙක පියන් වලින් එළියට පැනීමට තරම් විශාලව තිබුණි. මේ අවස්ථාවේදී සිය රිවෝල්වරය අරගත් පුරිෂ්කෙවිච් වහාම පහළට දිව ගියේය. ඒ අවස්ථාවේදී රස්පුටින් " ෆීලික්ස් ෆීලික්ස් මම හැම දේම අධිරාජිණියට කියනවා " යි කෑගසමින් මැද මිදුල හරහා එළියට දිව යමින් සිටියේය.

ඔහුව ලුහුබැඳ ගිය පුරිස්කෙවිච් දුවමින්ම දෙපාරක් වෙඩි තැබුවද එම දෙවරම ඉලක්කය මගහැරුණි. තෙවෙනි වෙඩිල්ල ඉලක්කය සම්පුර්ණ කරමින් රස්පුටින් වෙත ළඟා විය. සිව්වෙනි වෙඩිල්ල රස්පුටින්ගේ හිස පසාරු කරගෙන ගමන් කළේය. රස්පුටින් ඇදවැටුණි. සිය හිස් ගැස්සෙමින් තිබුණද ඔහු විසින් බඩ ගාමින් ඉදිරියට යාමට උත්සහා කළත් ඔහු වෙත පැමිණි පුරිෂ්කෙවිච් රස්පුටින්ගේ හිසට පා පහරක් එල්ල කළේය.

ඔවුන් විසින් නැවතත් රස්පුටින්ව මාලිගය තුළට රැගෙන එන්නාහ. රස්පුටින්ගේ මුහුණ දුටු ෆීලික්ස් කෝපයෙන් වියරුව අසල වූ ව්‍යායාම පිණිස බර ඔසවන උපකරණයකින් ( Dumbbell ) දිගට හරහට රස්පුටින්ගේ සිරුරට පහර එල්ල කළේය. එය ෆීලික්ස් විසින් කුමන අරමුණක් උදේසා කළේදයි පැහැදිලි නැත. මිය යන මොහොතේ පවා තමනට හිසරදයක් වූ මිනිසා කෙරෙහි ඔහුගේ සිතේ අසාමාන්‍ය කෝපයක් ඇති වූවා වන්නට පුළුවන. මිනිස් සිත ක්‍රියා කරනා ආකාරය කාටනම් විස්තර කළ හැකිද !

මේ අවස්ථාවේදී වෙඩි හඩ ඇසුණු අසල වීථියේ රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරියා ඒ ගැන පරික්ෂා කිරීමට මාලිගය වෙත පැමිණේ. ෆීලික්ස්ගේ සේවකයා හමුවන ඔහු ඒ ගැන විමසා සිටියද එවැනි දෙයක් නොඇසුණු බව සේවකයා පවසා සිටි නිසා එය මෝටර් රථයක දුම් බටයකින් අතිවූ හඬක් යැයි සිතා නැවතත් සිය රාජකාරි ස්ථානයට ගමන් කරයි.

සේවකයා විසින් මේ ගැන දැනුම් දීමෙන් පසු, පුරිෂ්කෙවිච් විසින් පොලිස් නිලධාරියාව නැවත කැඳවා;

" ඔබ කවදා හෝ පුරිෂ්කෙවිච් කෙනෙක් කියලා කෙනෙක් ගැන අසා තිබේද ? " යි ඇසීය.

" ඔව් සර් "

" හොඳයි, මම තමා පුරිෂ්කෙවිච්. ඔබ කවදා හෝ රස්පුටින් ගැන අසා තිබේද ?"

" ඔව් සර් "

" රස්පුටින් දැන් මැරිලා, ඔබ රුසියානු මාතාවට ආදරයක් දක්වන්නේ නම් මෙහිදී ඇසූ දුටු දේවල් ගැන කටේ කෙලබිඳක් නොසොල්වන්න. "

" හොඳයි සර් "

ඔවුන් විසින් පොලිස් නිලධාරියාව පිටත් කොට හරිනු ලබයි. සිය රාජකාරි ස්ථානයට ආපසු ගමන් කළ පොලිස් නිලධාරියා සිය ප්‍රධානියාට සියල්ල වාර්තා කොට සිටියේය. කුමන්ත්‍රණ කරුවන්ට දෙවියන්ගේම පිහිටයි !

ඇදහිය නොහැකි පරිදි, වස දීමෙන්, තුන් වරක් වෙඩි තැබීමෙන් සහ අධික ලෙස පහර දීමෙන් පසු පවා රස්පුටින් තවමත් මිය ගොස් නොසිටියේය !

මෙම කරදරයෙන් කල් නොයවාම මිදීමට සිතූ ඝාතකයන්, ඔහුගේ අත් පා බැඳ සිරුර බර රෙදිවලින් ඔතා මෝටර් රථයට දමා, නෙව්කා නදිය වෙත ගමන් කළහ. මෙය සීතල උඳුවප් මාසය බැවින්, ගඟ බොහෝ දුරට මිදී තිබුණි. ඔවුන් විසින් කලින් කළ පරික්ෂණ වලදී අයිස් තට්ටුව කැඩී ගිය එක් විවරයක් හඳුනාගන තිබුණ අතර එතනින් මිනිය ගඟට දැමීමට සැලසුම් කොට තිබුණි. සැලසුමේ වූ පරිදිම ක්‍රියාත්මක විය. එහෙත් ඔවුනට සිරුරට බරක් ගැට ගැසීමට අමතක වී තිබුණි.

සිය කාර්යය නිමා කළ ඝාතකයන් විසිර ගියේ තමන් මරණයට හසුනොවනු ඇතැයි සිතමිනි. එහෙත් එය වැරදි සිතුවිල්ලකි.

පසුදින උදයේ, රස්පුටින්ගේ නිවසේ අය ෆීලික්ස් සමඟ ඊයේ රාත්‍රියේ පිටත්ව ගිය රස්පුටින් ආපසු පැමිණ නොමැති බව නිරීක්ෂණය කොට ඒ ගැන සොයා බලන්නට වූහ. ඔවුන් විසින් ග්ලෝරියා වෙතද ඔහුගේ නොපැමිණීම ගැන සැල කොට සිටියහ. ෆීලික්ස්ගෙන් ඒ ගැන විමසා සිටි විට ඔහු පැවසූයේ, පසු ගිය රාත්‍රියේදී තමා රස්පුටින්ව නොදුටු බවකුයි. මෙය බොරුවක් බව මෙහෙකාරිය ඇතුළු එම නිවැසියන්ට රහසක් නොවීය.

මේ අතර පොලිස් නිලධාරියා විසින් සිදුකළ ප්‍රකාශය අරභයා පරික්ෂණ ඇරඹී තිබුණි. පොලිස් පරික්ෂණයක් සිදුවෙතැයි අනුමාන කළ ෆීලික්ස් සිය සුනඛයාව මරා උගේ රුධිරය අපරාධය වූ ප්‍රදේශයේ විසුරුවා හැරියේය. පසුගිය රාත්‍රියේ සම්භාෂණයට සහභාගී වූ අමුත්තකු සුනඛයකු වෙඩි තබා මැරීම ඉස්තරම් විහිළුවක් යයි පවසා මෙය සිදුකළ බවත් එමනිසා සෑම තැනම රුධිරය විසිරී ඇති බවත් පොලීසියට දැනුම් දුන්නේය. එහෙත් ඔහුට පොලීසිය නොමග යැවීමට නොහැකි විය. එහි සුනඛකයකුගෙන් නිකුත්විය හැකි ප්‍රමාණයට වඩා රුධිරය වූ අතර පොලිස් නිලධාරියා වෙඩි හඬ තුනකටද වඩා ශ්‍රවණය කොට තිබුණි. ප්‍රබලම සාක්ෂිය වූයේ පෙරිස්කොවිච් විසින් රස්පුටින්ව ඝාතනය කළ බවට කළ ප්‍රකාශයයි.

දෙසැම්බර් 19 වන දින පොලීසිය විසින් පාලම අසල තිබී ලේවලින් නැහැවී ගොස් තිබුණු සපත්තුවක් සොයා ගත් අතර, වැඩි දුරටත් කළ පරීක්ෂන වලින් පසු පාලමට මදක් ඔබ්බෙන් රස්පුටින්ගේ දේහය සොයා ගැනීමට ඔවුන් සමත් වූහ. දේහය ගොඩ ගන්නා විට රස්පුටින්ගේ එක් අතක් ඉහළට එසවී සිටිනා ආකාරයෙන් ගල්වී තිබුණි. මෙම නිසා රස්පුටින් ගඟට දමන විටත් පණපිටින් සිටින්නට ඇතැයිද, දිවිගලවා ගනීමට සටන් කොට ඇතයිද සියලු දෙනාම විශ්වාස කරන්නට වූහ.

වහාම මරණ පරීක්ෂණය සිදුකළ අතර ප්‍රතිඵල පහත පරිදි වේ.


මරණ පරික්ශනයේදී
1. මියයාමට මදකට මත්තෙන් ඇල්කොහොල් භාවිතා කොට ඇතිබව තහවුරු වූ නමුදු කිසිම විසක් ශරීර ගතවී නොතිබුණි.

2. වෙඩි උණ්ඩ තුනකින් සිදුවූ මාරාන්තික තුවාල ශරීරයේ නිරික්ෂණය කරන ලදී. ප්‍රථම උණ්ඩය පපු ප්‍රදේශයෙන් අතුල්වී ආමාශයට හා අක්මාවට තුවාල සිදු කොට තිබුණි. දෙවන උණ්ඩය ශරීරයේ පිටු පසින් ඇතුල්වී වකුගඩු වලට හානි සිදු කොට තිබුණි. තෙවන උණ්ඩය මොළයට මාරාන්තික තුවාල සිදුකොට තිබුණි.

3. පෙනහළුවල වූ ජලය ස්වල්පයක්ද පරීක්ෂකයන් විසින් නිරීක්ෂණය කරන ලදී.


රස්පුටින්ගේ දේහය දෙසැම්බර් මස 22වන දින සුලු අවමංගල්‍ය චාරිත්‍රයකින් පසු භූමදාන කරණ ලදී.

ඝාතකයන්ව සැකයකින් තොරව ඔප්පු වූවද, සාර් රජ විසින් සිය ඥාතිත්ත්වය සලකා ඔවුනට එරෙහිව නඩු විභාගයකින් සිදුකරනු ලබන දඩුවම් දීමකින් වැළකේ. එහෙත් නගරයෙන් පිටුවහල් කිරීමකට ඔවුන් ලක්වේ.

රස්පුටින්ගේ මරණය රුසියානු රාජාණ්ඩුවට සාපයක් වූ බවටද මතයක් ඇත. රස්පුටින්ගේ ඝාතනයෙන් තෙමසක් ඉක්මයාමට මත්තෙන් පෙබරවාරි විප්ලවය මගින් රාජාණ්ඩුව බිඳ දමන අතර වසරක් ඉක්මයාමට මත්තෙන් රොමානොව් පව්ලම ඝාතනයට ලක්වේ.

ඇත්ත වශයෙන්ම රස්පුටින් වස දැමූ කේක් අනුභව කළාද ? එසේ කළානම් මරණ පරීක්ෂනයෙන් ඒ බව තහවුරු නොවූයේ මන්ද ? නො එසේනම් ඔහුම පවසන පරිධි ඔහු අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු මිනිස් බව ඉක්මවා ගිය පුද්ගලයෙකුද ? ඔහුගේ ඝාතනය රජ පව්ලට සාපයක් වූයේද ?

මෙම පැනයන් අදටත් නොවිසඳී ශේෂව පවතී.

Boney M සංගීත කණ්ඩායම විසින් රස්පුටින් ගැන ගායනා කළ ගීතය. උපුටා ගැනීම You Tube වෙතින්.



පසු සටහන : 

* සිද්ධිය වූ අවධිය වන විට රුසියාව ග්‍රෙගෝරියානු දින දර්ශනය භාවිතයට ගෙන නොතිබූ බැවින්, ඉහත       සඳහන් සියලුම දින වකවානු ජූලියන් දින දර්ශනයට අනුව බව සලකන්න. ඒ ගැන වැඩි විස්තර මෙතනින්.

* ඡායාරූප Wikipedia වෙතිනි.

මූලාශ්‍ර :

1. http://history1900s.about.com/od/famouscrimesscandals/a/rasputin.htm
2. http://www.spartacus.schoolnet.co.uk/RUSrasputin.htm
3. http://en.wikipedia.org/wiki/Rasputin
4. http://www.youtube.com/watch?v=-o6B_aq5-2s&feature=autoplay&list=PLCFB15F60DB3639D9&lf=results_main&index=2&playnext=2

~~ සෙන්නා / 23.03.2012

Tuesday, March 13, 2012

හිමකතරක අතරමංව


2012 මැදින් මස 13 වනදා,



අද 13. සාමාන්‍යයෙන් 13 අසුභ ලකුණක් කියලා තමා පොදු පිළිගැනීම. සිකුරාදා දිනය 13 වැටුනොත් තවත් නපුරු බව පැවසෙයි. ජේසු තුමාව කුරුසියේ ඇණ ගසා ඝාතනය කළේත් එවැනි දවසක බවටද මතයක් ඇත. ජේසු තුමාගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගන්ඩ ඕනානම් ඒකට වඩාම සුදුසුම පුද්ගලය තමා, මම කවදාවත් නොදැන සිටි මේ කතාව ගැන දැනුවත් කොට ඒ ගැන ලිපියක් ලිවීමට පෙළඹු හීනලන්තයේ හරී.

13 හෝ 13 වෙනිදා සිකුරාදාවක් වුණොත් අසුභයි කියන එක සනාථ කළත්, නොකළත්, මේ සිද්ධිය සිදුවී ඇත්තේත් එවැනි දවසක.  

දිනය 1972 ඔක්තෝබර් 13 වෙනි සිකුරාදා.

ඇන්ඩීස් කඳු වැටියට උඩින් පියාසර කරනා යානයකි. 45 දෙනෙකුගෙන් සමන්විත් පිරිසක් යානය තුළ විය. ඒ චිලී හී සන්තියාගෝ නුවරට රග්බි තරගයක් සඳහා උරුගුවේ හී මොන්ටිවීඩියෝ සිට ගමන් ගන්නා Old Christians Club රග්බි කණ්ඩායම හා ඔවුන්ගේ හිතවතුන්ගෙන් සමන්විත පිරිසයි. මොහොතකින් තමන් විසින් මුහුණ දීමට නියමිත භයානක අනතුර ගැන හැඟීමකුදු නොවූ තරුණයෝ පිරිස යානය තුළ කෙළිදෙලෙන් පසු විය.

ඇත්ත වශයෙන්ම ගමන ආරම්භ කෙරුණේ දිනකට කලිනි. අයහපත් කාලගුණය නිසා ආර්ජෙන්ටිනාහී මෙන්ඩෝසා නගරයේ දවසක් නතර කෙරුණි. මෙම ගුවන් යානයට විශේෂ වූ සීමිත පියාසර මට්ටම හා අයහපත් කාලගුණය හේතුකොටගෙන, මෙන්ඩෝසා නගරයේ සිට ඇන්ඩීස් කඳුවැටිය හරහා කෙළින්ම චිලී වෙත ගමන් කිරීමේ හැකියාවක් නොතිබුණි. ඒ වෙනුවට ඇන්ඩීස් කඳුවැටියට සමාන්තරව මෙන්ඩෝසා නගරය ඔස්සේ දකුණට ගොස් කඳු වැටියේ පහත් දුර්ගයක් ඇති තැනකින් බටහිරට හරවා කඳුවැටිය පසු කොට චිලී වෙත ළඟාවිය යුතුවිය.

යානය ගුවන් ගතවී ටික වේලාවකින් කඳුවැටියේ දුර්ගය පසු කරමින් තිබුණි. සන්තියාගෝ පාලන මැදිරිය ඇමතු නියමුවා, යානය චිලි හී කූරේකෝ නුවරට උඩින් ගමන් කරමින් තිබෙන බවත්, ගොඩබෑම සඳහා සූදානම් බවත් දැනුම් දුනි. ඇත්ත වශයෙන්ම නියමුවා මෙහිදී මාරන්තික වරදක් කර තිබුණි. ඔහු විසින් තමන් මුහුණ දෙමින් තිබුණ තද සුළඟ අමතක කොට සිය ගණනය කිරීම සිදු කොට තිබුණි. සුළඟ මගින් ගමනට සිදු කළ පමාව නොසලකා හැරි නියමුවා තමන් කූරේකෝ නගරයට ඉහළින් පියාසර කරමින් සිටිතැයි අනුමාන කොට යානය ගොඩබැස්සවීමට සූදානම් වෙමින් යානය පහත් කළේය. ඔවුන් ඒ වන විට සිටි ස්ථානය ඔවුන් සිතූ තරම් බටහිරට නොවන්නට විය. නියමුවා විසින් කළ මේ මාරන්තික වරදේ ආදීනව ඔවුන් සියලුදෙනාම මොහොතකින් අත්විදින්නට වූහ. වලාකුළින් බර අයහපත් කාලගුණ තත්ත්වය යටතේ යානය පහත් කිරීමට කළ උත්සහායේදී යානය අධික ලෙස ගැස්සීමට ලක්විය.

හදිසියේම යානයේ දකුණු පස තටුව අසල වූ කඳු ගැටයක හැපී යානයෙන් වෙන්වී ගිය අතර, පාලනයෙන් තොර වූ යානය මොහොතකින් අසල වූ තවත් කඳු ගැටියක හැපී වම් පස තටුවද, පිටුපස කොටසද ගැලවී වෙන්විය. පසුපස ආසන වල පසු වූ සියලු දෙනා එසැනින් ගුවනට මුසු වී ගසාගන ගියහ. හිම මත පතිත වූ යානයේ ඉදිරිපස කොටස සැළකිය යුතු දුරක් ලිස්සා ගොස් හිම වැටියක ගැටී නතර විය.

යානයේ සිටි 45 දෙනාගෙන් 33 දෙනෙකු දිවිගලවා ගැනීමට සමත්වී තිබුනි. යානය අනතුරට පත්වූයේ කිනම් ප්‍රදේශයකදීදැයි කිසිවකුට අදහසක් නොතිබුනි. ඔවුන් සීමිත ආහාර සහ ජල සැපයුමක් සමඟින් අධික සීතලින් යුතු කඳු වළල්ලක අතරමංව තිබුනි.

" මා දුටු පළමු දේ වූයේ, අප වටේටම වූ සුදු පැහැති කඳු වළල්ල සහ දරාගැනීමට නොහැකි තරම්වූ වූ අධික ශීතලයි " - Carlitoz Paez.

දිවිගලවා ගත් පිරිස සියලු ආකාරයේ මදිපාඩු වලින් පීඩා විඳිනට වූහ. අඩි 12000 ක පමණ උසකදී සීතලෙන් ආරක්ෂා වීමට සුදුසු තරමේ වූ ඇඳුම්, පාවහන්, අත්වැසුම් කිසිවක් නිසි පරිදි නොවූහ. අනතුරින් සිදුවූ තුවාල සහ කැඩුම් බිඳුම් වලට ඇවැසි ඖෂධ හෝ වෛද්‍ය පහසුකම්ද නොවුණි. කණ්ඩායමේ වෛද්‍යවරයාද අනතුරින් මිය ගොස් තිබුණි. පසු දින තවත් 04 දෙනෙකු සටන අත්හැර ජීවිතයෙන් සමුගත්හ.

ඔවුන් යානයේ ඉතිරිව තිබූ සියලු දෑ පරික්ෂාකර දිවි රැක ගැනීමට හැකි සෑම දෙයක්ම සොයා බැලුහ. මුහුණ දී සිටි අති දුෂ්කර තත්ත්වය ඔවුන්ව නිර්මාණශීලී කළේය. යානයේ සෑම අසුනක් පිටිපසම වූ ඇලුමිනියම් තහඩුවක් උපයෝගී කොටගෙන හිම දියකොට ජලය යම් ප්‍රමාණයක් සපයා ගැනීමේ ක්‍රමවේදයක් ඔවුන් සකසා ගත්හ. මෙය ඔවුන් පිඩා විදීමෙන් සිටි විජලනයෙන් ආරාක්ෂාකාරී වීමට මහෝපකාරී විය.

අනතුර සිදුවූ දින සිට දින තුනක් සිහිසුන්ව සිටි නන්දෝ පරාඩෝ, තෙවෙනි දින පියවි සිහිය ලැබුවේය. ඒවන විට ඔවුන් සමඟ ගමන් කළ ඔහුගේ මව මිය ගොස් සිටි අතර, නැගනිය ආසාධ්‍ය තත්ත්වයේ පසුවිය.



රටවල් තුනක් එක්ව සෙවීමේ මෙහෙයුම ඇරඹුණි. කෙසේ වෙතත් ගුවනින් කළ සෙවීම් වලදී සුදු පැහැති යානයක් වූ එය, තනි සුදෙන් වැසුණු හිම යාය අතරේ සොයා ගැනීම පිදුරු ගොඩෙහි ඉඳි කට්ටක් සොයනවාට සමාන විය.

අනතුර සිදුවී 08 වන දින නන්ඩෝ පරාඩෝ ගේ නැගණිය දීර්ඝ සටනකින් පසු මරුවාට යටත් විය. මෙම කම්පනය නන්ඩෝ පරාඩෝ හට නව ජවයක් ගෙන එන ලදී. ඇයගේ නික්ම යාමත් සමඟම දිවිගලවා ගත් සංඛ්‍යාව 27 දක්වා පහත වැටුණි.

" මගේ නැගණිය මිය ගිය පසු, මගේ සිතුවිලි වල ලොකු වෙනසක් සිදු වුණා. මට ඒක විස්තර කරන තේරෙන්නෑ. ඒත් හදවතේ ගැඹුරුම් තැනින් කව්රුන් හෝ මාව ආමන්ත්‍රණය කරනවා වැනි හැඟීමක් ඒක. මම ඉදිරියටම යායුතු බවත්, දිවි ගලවා ගැනීමට සටන් කළ යුතු බවත්, මා විසින් විනාශ වීමට ඉඩ ප්‍රස්ථා නොතැබිය යුතු බවත් මට හැඟුණා. " - Nando Parrado.

අනතුරින් දසවන දින වන විට සියලු දෙනාම සාගින්දරින් පීඩා විඳිමින් සිටියහ. ආහාරයට ගත හැකි සෑම දෙයක්ම ඔවුන් ඒ වන විට අත්හදා බලා තිබුණි. ආසන වලින් ගලවා ගත් සම් කැබලි, සපත්තු කොටස්, ලී කැබලි සහ කොණ්ඩා වළට දමන ජෙල්ද ඒ අතර විය. ඒ සියල්ල තව තවත් ඔවුන්ව දුර්වල කළා මිස ශරීරයට ශක්තියක් දීමට සමත් නොව්නි. දීර්ඝ කාලයක් නිසි අහරක් නොළැබීම හේතු කොටගෙන ඒවන විට ඔවුන්ගේ ශරීරයන් විසින් තැන්පත් වූ මේද කොටස් සහ පේශී පටක දිය කරමින් ශරීරයට අවැසි ශක්තිය නිපදවමින් සිටියහ. එහෙත් එය තව දුරටත් සිදුවුවහොත් ඔවුන්ගේ ශරීරයන්ගේ වැදගත් ඉන්ද්‍රීයන් වූ, වකුගඩු, පෙනහලු, අක්මාව ටික කලකින් අක්‍රීය වීම නොවැළැක්විය හැකි තත්ත්වයක පැවතුණි.

පේන තෙක් මාණයක ආහාරයට ගත හැකි ශාක වර්ගයක්වත්, සතකුවත් නොසිටියහ. නව ප්‍රෝටීන් ප්‍රභවයක් සොයාගැනීමට අපොහොහසත් වුවහොත් ඔවුන් සියලුදෙනාටම කෙටි කලකින් සිය මිතුරන් ගත් මග ගැනීමට සිදුවන බව සක්සුදක් සේ පැහැදිලිව තිබුණි.

රොබේටෝ කනේසා, කණ්ඩායමේ වූ වෛද්‍ය සිසුවා අනතුරින් දසවන දින කණ්ඩායම ඇමතීය.

" දැන් අපි සියලු දෙනාම සාගින්දරින් පසු වෙන්නේ. අපිට ඉක්මනින්ම ප්‍රෝටීන් අඩංගු ආහාරයක් සොයාගන්ඩ බැරි වුණොත් අපි ඔක්කොවන්ටම මැරෙන්ඩ සිදු වෙනවා ඒකාන්තයි. මෙහෙ එකම එක විදිහයි තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රෝටීන් අඩංගු ආහාර ලබා ගන්ඩ. "


" ඒ තමයි අපේ මිය ගිය මිතුරන්. "

ශිෂ්ට සමාජයේ සිටින අපට මෙම අදහස ඇඟ කිළිපොලා යවන්නක් වුවද, එම මොහොතට, එම තත්ත්වයට මුහුණදී සිටියහොත් අප වුවද මෙම තීරණයට පැමිණෙනවා නොඅනුමානය.

කනේසාගේ අදහස සෙමෙන් සෙමෙන් අනුමත විය. ඔවුන් යානයේ නියමුවාගේ සිරුරින් සිය ආහාර අවශ්‍යයතාවය සපුරා ගැනීම ඇරබූහ.

අනතුරින් 11 වන දින, බාහිර සමාජය විසින් සෙවීමේ උත්සහාය අත්හැර දමන ලදී. යානයේ වූ කුඩා ට්‍රාන්සිස්ටර් ගුවන් විදුලි යන්ත්‍රයක් ආධාරයෙන් සෙවීමේ මෙහෙයුම ගැන පුවත් දැනගැනීමට උත්සහ කළ කණ්ඩායමට මෙම අසුභ ප්‍රවෘත්තිය කණ වැටුණු විගස සියලු බලාපොරොත්තු කඩ විය.

" මේ ආරංචිය දැන ගත්තු වේලෙම මට තේරුනා අපි ගැලවිය නොහැකි උගුලක පැටලිලා ඉන්නේ කියලා. මම මටම කියා ගත්තා මෙතන ඉඳන් ටික ටික මිය යනවට වැඩිය සටනක් දීලා මිය යනවා කියලා. " - Nando Parrado

එහෙත්, කලිටෝ පයේස් ගේ පියා වු කාලෝස් පයේස් එය ලෙහෙසියෙන් අත්හැර දැමීමට සූදානම් නොවීය. ඔහු තනිවම ගමින් ගමට ගොස් ගුවන් අනතුරක් ගැන තොරතුරු විමසීම් කළේය.

අනතුරින් 17 වන දින, එනම් ඔක්තෝබර් මස 29 වන දින රාත්‍රියේ යානය තුලා නිදාසිටි කණ්ඩායමට භායානක ශබ්දයක් ඇසිණි. මොහොතකින් දරුණු හිම කුණාටුවක් ඔවුන්ව ආක්‍රමණය කොට තිබුණි. යානය අඩි ගණනක් හිම වලින් වැසී ගියේය. දින තුනක් ඔවුන් මෙසේ පණපිටින් වැළලී සිටියහ. අවසානයේදී නන්ඩෝ පරාඩෝ විසින් යානයෙහි වහලෙහි විදින ලද සිදුරකින් වාතාශ්‍රය ලබා ගැනීමට සමත් විය. එම සිදුවීම තවත් 08 දෙනෙකු ඔවුන්ගෙන් වෙන් කරවීය. ඉතිරි වූ සංඛ්‍යව 19 දක්වා පහත වැටුණි.

නොවැම්බර් 15 හා 18 තවත් දෙදෙනෙකු මරුවාට යටත් වූයේ 17 දෙනෙකු ඉතිරි කරවමිනි. මේ අතර අවට ගවේෂණයේ යෙදුණු නන්දෝ ඇතුළු තරුණයෝ පිරිස යානයේ පසුපස කොටස සොයා ගැනීමට සමත් වූහ. එය ඔවුන්ගේ බලාපොරොත්තු නංවන සිදුවීමක් විය. යානයේ එම කොටසේ ඔවුනට පරිහරණය කළ හැකි ආහාර ද්‍රව්‍ය හා තවත් නොයෙකුත් දෑ බොහෝ විය. එහි වූ විදුලි කෝෂ අවධානය වැඩියෙන්ම දිනා ගත්තේය. ඔවුන්ගේ අරමුණ වූයේ එම විදුලි කෝෂ යානය වෙත ගෙනගොස් එහි ඇති ගුවන් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ක්‍රියාත්මක කොට බාහිර ලොවට පණිවිඩයක් නිකුත් කළ හැකිදැයි සොයා බැලීමයි. එහෙත් විදුලි කෝෂ රැගෙන යාමට බර වැඩි වූ හෙයින්, ඒ වෙනුවට ගුවන් විදුලි පද්ධතිය ගලවාගෙන විදුලි කෝෂ වෙත රැගෙන එන ලදී. කෙසේවෙතත් ඔවුන්ගේ මේ උත්සහාය සම්පූරණයෙන්ම අසාර්ථක වූයේ, ඒ පිළිබඳ නිසි දැනුමක් කිසිවෙකුටවත් නොවූ බැවිනි. ඔවුන් නොදැන සිටි අනිත් කරුණ වූයේ ගුවන් විදුලි පද්ධතිය ක්‍රියාත්මක වූයේ ප්‍රත්‍යාවර්තක විදුලියෙනි. ( A/C ) 

බලාපොරොතුවූ කාර්යය සඵල කොටගත නොහැකි වූ තරුණයෝ පිරිස, යානයේ පසුපස කොටසේ ඉතිරිව තිබු හිස් ගමන් මලු උපයෝගී කොටගෙන දැවැන්ත කුරුසයක් හිම මත නිර්මාණය කොට එතනින් නික්මිණ. ඒ යම් හෙයකින් සෙවීම් යානයක් පැමිණියහොත් ඔවුන්ගේ අවධානයට හසුවීම පිණිසය.

සියල්ල මෙසේ අසාර්ථක වන විට, කන්ද තරණය කොට අනෙක් පසට උදව් සොයා තමන්ම ගමන් කිරීම හැරුණ කොට වෙන සරණක් නොමැති බව ඔවුන්ට ඒත්තු යන්නට විය. නන්දෝ පරාඩෝ මේ ගැන වැඩියෙන්ම උනන්දුවූ පුද්ගලයාය. අවසානයේදී දෙසැම්බර් මස 12වන දින ගවේෂණය සඳහා නික්මීමට තීරණය විය. සියලු දෙනාම ගමන් කිරීම ප්‍රායෝගික නොවූ හෙයින් තෝරාගත් සුදුසු දෙතුන් දෙනෙකු කඳුවැටිය තරණය කොට උදව් ලබාගෙන පැමිණීමට අවසානයේදී තීරණය කළහ.

මෙහිදී ගවේෂකයන් මුහුණදුන් බරපතලම ගැටලුව වූයේ රාත්‍රියේදී සීතලට මුහුණ දීමයි. අවසානයේදී එයටද සුදුසු විසඳුමක් ලැබුණි. යානයේ පසුපස කොටසින් ලබා ගත් නිදන මලු උපයෝගී කොටගෙන ඔවුන්ට රාත්‍රියේදී සීතලින් ආරක්ෂාකාරීවිය හැකි ආවරණයක් නිර්මාණය කොට ගන්නා ලදී. මැසීම ගැන හොඳ පළපුරුද්දක් තිබූ කාලිටෝස් මෙහිදී මුල්වී ක්‍රියා කළේය. අනෙත් අයගෙන්ද නොමද සහයක් ඔහුට ලැබුණි. ඒ අතර ගවේෂණ කණ්ඩායමට අවැසි ආහාරද සකසන ලදී. සියලුදෙනාම එකාවන්ම, කණ්ඩායක් හැඟීමෙන් යුතුව සියලු කාරයයන්ට දායක වූ බැවින් සියල්ල පවතින පහසුකම් යටතේ ඉතා හොඳින් සකසා ගැනීමට ඔවුනට හැකිවිය.

දෙසැම්බර් 12වන දින උදා විය. එදිනම තවත් එක් පුද්ගලයකු මියගිය බැවින් ඉතිරි වූ සංඛ්‍යාව 16 බවට හැරුණි.

නන්ඩෝ පරාඩෝ, රොබේටෝ කනේසා සහ ඇන්ටෝනියෝ වීසන්ටීන් ගමනට සූදානම්ව සිටියහ. පිටත්වීමට කලින් නන්ඩෝ පරාඩෝ විසින් සිය මවගේ සහ නැගණියගේ දේහයන් අනෙත් අයට ආහාර සඳහා දීමට තරම් පරිත්‍යාගශීලී විය.

" නන්දෝට තිබුණේ කඳුවටිය තරණය කිරීමට තිබූ ධෛර්යය පමණක් නෙමේ, ඒ වන විට ඔහු සතුවූ උතුම්ම වස්තුවූ සිය මවගේ සහ නැගණියගේ දේහයන් අපට ආහාර ලෙස ගැනීමට දීමට තරම් හැකියාවකුත්, ධෛර්යයකුත් ඔහුට තිබුණා. " - Carlitoz Paez.

කඳුවැටිය තරණය කිරීම සිතූතරම් පහසු නොවීය. විශේෂයෙන්ම මාස දෙකකට ආසන්න කාලයක් දුෂ්කර ජීවිතයක් ගතකළ පිරිසකට සැබැවින්ම එය අභියෝගයක්ම විය. ඔවුන් සතුවූයේ චිත්ත ධෛර්යය පමණී. ඉහළට ගමන් කිරීමේදී ඔවුන් විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන්නට වූහ. ප්‍රධානම ගැටලුව වූයේ දුර්වල වාතාශ්‍රයයි. ඔවුන් තබන අඩියක් අඩියක් පාසා හොඳින් හුස්ම ගැනීමට සිදුවිය.

දින තුනක දුෂ්කර වෑයමකින් පසු නන්දෝ සහ රොබේටෝ කඳු ශිඛරයෙහි මුදුනට ළඟාවිය. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ කඳුවැටියෙන් අනෙක්  පස චිලී හී රතු නිම්නය දැකීමටයි. නැවතත් ඔවුනට වැරදී තිබුණි. නන්දෝ සහ රොබේටෝ සුන්වූ බලාපොරොත්තු සහිතව කඳු මුදුනේ සිටගෙන ඉදිරිපසින් වූ කඳු මාලාවක් දෙස දැස්යොමා සිටියේ දුටු දේ අදහා ගැනීමට නොහැකිවය. ඔවුන් සිතා සිටියේ අනතුර සිදුවූයේ කඳුවැටියේ චිලී දෙසට වන්නට කඳු පාමුලක බවයි. එම ගණනය කිරීම ඔස්සේ සලකා බැලූ නන්දෝ තමන් දැන් තරණය කළ කඳුවැටියට පසු චිලී හී රතු නිම්නය දැකීමට බලාපොරොත්තු විය. සැබෑ ලෙසම ඔවුන් ඇන්ඩීස් කඳුවැටිය මධ්‍යයේ සිරවී සිටියහ.

සීමිත ආහාර ප්‍රමාණය ඉතිරිකර ගැනීම සඳහා ඔවුන් විසින් ඇන්ටෝනියෝව නැවතත් යානය වෙත හරවා එවා, නන්දෝ සහ රොබේටෝ පමණක් ඉදිරියට ගමන් කළහ. ඔවුන් කඳුවටිය බසිමින් දුෂ්කර ගමනක් ඉදිරියට ගමන් කළහ. යානයෙන් නික්මී දින නවයකට පසු ඔවුන් දෙදෙන බැවුම ප්‍රදේශයක් වූ ගංගාවක් අසබඩට පැමිණිහය. එම ප්‍රදේශයේ මිනිස් වාසයක ලක්ෂණ මද වශයෙන් පෙන්නුම් කරන්නට විය. ඒවන විට ඔවුන් තමන්ගේ ශරීරයට දැරිය හැකි උපරිම සීමාවට ළඟා වී සිටි අතර රොබේටෝ තව දුරටත් ඉදිරියට ගමන් කිරීමට හැකි තත්ත්වයක නොසිටියේය.

එම මොහොතේ නන්දෝ විසින් ගිනිමැලයක් ගැසීම සඳහා කෝටු කැබලි එකතු කරමින් සිටියේය. හදිසියේම අසකු පිට නැගි මිනිසකු වැනි රුවක් ගඟේ එහා ඉව්රෙන් නිරික්ශණය කළ රොබේටෝ වහාම එය නන්දෝට දක්වා සිටියේය. වහා ගං ඉව්ර වෙත දිව ගිය නන්දෝ එම අසරුවාට කෑගසා ඔහුගේ අවධානය දිනා ගැනීමට සමත් විය. එහි අසරුවන් තිදෙනෙකු වූහ. ගඟෙහි ශබ්ධය ඔව්නතර හොඳ සන්නිවේදනයකට බාධාවක් විය. නන්දෝ ඔවුන් මුහුණපා සිටින තත්ත්වය පැහැදිලි කිරීමට උත්සහා කළේය. එක් අසරුවෙකු හස්ත මුද්‍රාවෙන් දක්වා " හෙට " යයි පැවසීය. දැනට මේ පිළිතුරෙන් සෑහීමකට පත්වීමට ඔවුන් දෙදෙනාට සිදුවූහ. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉතාම ඉහල මට්ටමේ වූ බැවින් දිගු කලකට පසු ඔවුනට හොඳ නින්දක් ලැබීමට හැකිවිය.

පොරොන්දු වූ පරිදිම අසරුවා පසුදින උදයේ නැවතත් පැමිණියේය. ඔහු විසින් ඔවුන් වෙත පාන්ගෙඩි කිහිපයක් ගඟ හරහා මෙහා ඉවුර වෙත විසි කළ අතර එය තරුණයන් දෙදෙනා විසින් වහා අනුභව කරණ ලදී. අනතුරුව ගලක දවටන ලද පෑනක් සහ කොලයකි. නන්දෝ විසින් එහි සිද්ධිය සැකෙවින් විස්තර කොට උදව් ඉල්ලා ලියුමක් ලියා නැවතත් එහා ඉවුරට විසි කරණ ලදී. අසරුවා විසින් එය තේරුම් ගත් බව ඉඟියෙන් දක්වා සිටියේය.



සර්ජියෝ කටලාන් ( අසරුවා ) උදව් රැගෙන ඒම සඳහා පැය කිහිපයක්ම ගමන් කළේය. අතරමගදී වෙනත් පුද්ගලයෙකුට තරුණයන් දෙදෙනා ගැන පවසා ඔවුන්ව ගමට කැන්දන් එන ලෙස දන්වා සිටි ඔහු දිගටම සිය ගමන ගියේය. අවසානයේදී ළඟම වූ පොලිස් ස්ථානයට වාර්තා කළ සර්ජියෝ සිද්ධිය දැනුම් දී සිටියේය. මොහොතකින් එය චිලීහී සන්තියාගෝවට වාර්තා කරණ ලදී. මේ අතර වාරයේ තරුණයන් දෙදෙනාවා ගලවා ගත් ගම්වැසියන් ඔවුනට කෑම බීමෙන් සංග්‍රහ කොට තිබුණි. ඒ දෙසැම්බර් මස 21 වෙනිදායි.

ඔක්තෝබර් මස 13 වන දින සිදුවූ සිද්ධියෙන් දිවි බේරා ගත් අය ඇති බවත්, ඔවුන්ව ගලවා ගැනීමට සූදානම් වන බවත් පසුදින වන විට ජාත්‍යන්තර මධ්‍ය වෙත වාර්තා වී තිබුණි. එම පුංචි ගම්මානය ඔවුන්ව දැකීමට වැල නොකැඩී පැමිණි නා නා ප්‍රකාර ජනමාධ්‍ය කරුවන්ගෙන් පිරී යන්නට විය.

පසු දින එනම් දෙසැම්බර් මස 22 වන දින හෙලිකොප්ටර් යානා දෙකක් මගින් ගලවා ගැනීමේ මෙහෙයුම ඇරබුණි. මග පෙන්වීම සඳහා නන්දෝ ඔවුන් සමග එකතු විය.

ඉතා අයහපත් කාලගුණ තත්ත්වයක් යටතේ එදින මධ්‍යහන වන විට ඔවුනට කඩා වැටුණ යානය වෙත පැමිණිය හැකි වූහ. තමන් වෙත එන හෙලිකොප්ටර් යානය දුටු තරුණයෝ පිරිස දිවිගැලවීමේ ප්‍රීතියෙන් ඔල්වරසන් දෙමින් නටන්නට වූහ.

එදින සය දෙනෙකු පමණක් රැගෙන, ගලවා ගැනීමේ කණ්ඩායමේ කිහිප දෙනෙකු අනෙක් අය සමඟ නතර කොට යානය පිටත් විය. ඉතිරි 08 දෙනාව පසු දින ගලවා ගත්හ.

ඔවුන්ව පිළිගැනීමට ආශාවෙන් බලා සිටි තවත් විශේෂ අමුත්තෙක් විය. ඒ සිද්ධිය සිදුවූ දින සිට නොකඩවා ඔවුන්ව සොයා ගැනීමේ උත්සහයක නිරතවී සිටි, කර්ලිටෝ පයෙස් ගේ පියාය. හෙලිකොප්ටරයෙන් බැසගත් සිය පුතුනුවන්ව ඔහු ඉතා ආදරයෙන් වැළඳ ගත්තේ උතුරා ගිය දාරක සෙනෙහසකිනි. නන්දෝ පරාඩෝගේ නොපසුබස්නා උත්සහය නොවන්නට මෙලෙස එක්වීම ඔවුනට සිහිනයක්ම පමණක් වීමට තිබුණි.

දින 72ක් අධික සීතලෙන් යුත් හිමකතරක, අවම පහසුකම්වත් නොමැතිව දිවිගෙවා, නැවතත් මෙලොවට පැමිණි ඔවුන්ගේ කතාව මිනිස්සුන් සතු අධිෂ්ඨාන ශක්තිය පෙන්නුම් කරන කදිම අවස්ථාවකි.

2010 වසරේ චිලී හී සිදුවූ පතල් කම්කරුවන් හිරවූ සිද්ධියේදී මෙම දිවි ගලවා ගත් 16 දෙනා විසින් ඔවුනට සහය පලකිරීමටද ඉදිරිපත් විය.

මූලාශ්‍ර :
1. http://en.wikipedia.org/wiki/Uruguayan_Air_Force_Flight_571
2. http://www.youtube.com/watch?v=UWTN6nAIBcY
3. http://www.viven.com.uy/571/eng/historia.asp
4. http://www.parrado.com/

විශේෂ ස්තූතිය හරීට.

~~සෙන්නා / 13.03.2012

Wednesday, February 29, 2012

නොකැපූ නියපොත්ත

2012 නවම් මස 29 වන දා,

මම මේ කියන්ඩ යන කථාවේ නිධාන කථාව තියෙන්නේ මෙන්න මෙතන. මේ කථාව තව දිගට කියවන්ඩ කලින්, ඒ කතාව කියවීම තදින්ම නිර්දේශ කරමි. ඔන්න එහෙම නොකර මේ කථාව තේරුනේ නැහැ කියලා මට දොස් කීම සපුරා තහනම්ය.

=====================================XX================================

සිද්ධිය පොලීසියට වාර්ථා වූ සැනින්, ස්ථානාධිපතිවරයාගේ අණින් උපපොලිස් පරික්ෂක රොබින් නිරිඇල්ල සහ ඔහුගේ සහයකයා වූ සාජන්ට් වීරවංශ සිද්ධිය සිදුවූ නිවසට හෙවත් කැලෑව මැදවූ ලෑලි ගෙදරට පැමිණියහ.

ගෙදර ස්ත්‍රීය විලාප තබමින් සිටි අතර වටවී සිටි අවට වැසියන් ඇය සැනසීමට උත්සහා කරමින් සිටියහ.

වැඩි වැඩියෙන් පිරිස් එම නිවසට රොක්වීමට ගත් බැවින්, තම පරීක්ෂණය අවසන් වන තුරු ඔවුන්ව එපිටින් තැබීමට රොබින් වගබලා ගත්තේ, ගම් වැසියන් පැමිණීම නිසා එම අවට කලාපයේ තිබිය හැකි අපරාධය පිළිබඳ හෝඩුවාවල් මැකී යා හැකි බැවිනි.

නිවසට ඇතුලුවූ රොබින්, කෙලින්ම මෘතදේහය වූ ස්ථානයට පිවිස අන් අයට පැමිණිය නොහැකි ලෙස කාමරයේ දොර වසා ගත්තේය. තනිකරම ලෑලි බිත්ති වලින් සමන්විත පුංචි නිවසක් වූ මෙහි තිබු එකම කාමරයද එයයි. ඉදිරිපස ඉස්තෝප්පුවකින් ගෙට ඇතුළු වූ පසු සාලයට පැමිණිය හැකි අතර සාලයට යාබදව දකුණු පසින් මෙම කාමරය විය. සාලයේ වම් පස වූ ද්වාරයකින් ඇතුලුවිය හැක්කේ මුළුතැන් ගෙයක් ලෙස පරිහරණය කළ ස්ථානයකටයි.

කාමරයේ වූ ඇඳක් මත මියගිය තැනත්තාගේ දේහය වූ අතර මිය යාමට මොහොතකට පෙර මිනීමරුවා සමඟ සිය ජීවිතය වෙනුවෙන් පොර බැදූ බවට සළකුණු තිබුනි.හිස ඇඳෙන් පහලට කඩාවැටී තිබුන අතර, පපුව මත කොට්ටයක් විය. කොට්ටයෙන් මුහුණ තදකර හුස්ම හිරකොට ඝාතනය කළ බව පෙනෙන්නට තිබුනි. වම් පස උරහිසෙහි තද සීරුම් පාරක් තිබූ අතර එයින් මද වශයෙන් ලේ වහනය වෙමින් තිබුනි. ඉතා කෙසඟ පුද්ගලයකු වූ මිය ගිය අය, කාලයක් අසනීපයකින් පෙළුනු ලක්ෂණද විය. වයස අවුරුදු හතලිහක් පමණ විය හැකියයි රොබින් අනුමාන කලේය.

රොබින් විසින් ඉතා සුපරික්ෂාකාරිව සියල්ල හොඳින් පරික්ෂා කළේය. විශාලනය කොට බලන කාචය උපයෝගී කොටගෙන දේහය සහ අවට ප්‍රදේශය ඉතා සූක්ශමව ඔහු විසින් පරික්ෂා කරන ලදී. එම පරීක්ෂණයේදී සැක කටයුතු යමක් ඔහුගේ නෙත ගැටුනි. දේහයේ වම් පස උරහිස අසල, ඇඳට දමා තිබූ පැදුරේ ඇමිණී තිබී සිය තීක්ශණ ඇසට යොමුවූ මෙය දුටු විට රොබින්ගේ මුවෙහි නැගුන මදහස විස්තර කළ නොහැකි තරම්ය. මෙය අපරාධය පසුපස හඹායාමට මහඟු රුකුලක් බව ඔහුට සිතුනි. ගොදුරක් ඩැහැගන්නා උකුස්සකු මෙන් එය ආරක්ශිතව සිය සුරතට ගෙන හොඳින් පරික්ෂා කොට, ඉන්පසුව එවන් දෑ සඳහාම වෙන්වූ සිය භාජනයේ ප්‍රවේසමින් එය තැන්පත් කළේය.

ඉන්පසු තවත් ටික වේලාවක් එම කාමරය හොඳින් සෝදිසි කළ රොබින් එයින් එළියට නික්මින. ගේ අවට ප්‍රදේශයද, අඩි පාරෙහි වූ අඩි සළකුනුදු ඔහුගේ තියුණු පරික්ශණයට ලක්විය.

මෙසේ නිහඬ සාක්ෂි එකතු කොටගත් රොබින්, වාචික සාක්ෂි කෙරෙහි යොමුවිය. එහෙත් ගෙහිමි කාන්තාව ඒ සඳහා සුදුසු මානසික තත්ත්වයක නොසිටින බව ඔහු නිරීක්ශණය කළේය. සිය සැමියාගේ මරණය පිළිබඳව ලතෝනී තබමින් සිටි ඇය දෙතුන් වරක්ම සිහිසුන්ව ඇද වැටුනාය. ඇය විසින් කිසියම් කෙනෙකුට දෙස් තියමින් සිටින බව දුටු රොබින් ඒ ගැන උනන්දු විය.

" මේ ගෙදර වෙන කව්ද ඉන්නේ " ගෙහිමි කාන්තාව අසලින් සිටි වෙනත් කාන්තාවකගෙන් රොබින් ඇසීය. ඇය විසින් අවුරුදු හතලිහකට ආසන්න, ආරෝහ පරිණාහ දේහධාරී පුරුෂයෙක් වෙත හස්තය දිගුකොට දැක්වූවාය.

රළු ජීව්නෝපායකට හුරුවූවකුගේ දේහ ලක්ශණ පෙන්නුම් කළ ඔහු, කාල වර්ණ සමකින් යුක්ත විය. උඩු රැව්ල වවා සිටි ඔහුගෙන් සැර පරුෂ, මුරන්ඩු පුද්ගලයකුගේ ලක්ශණ විද්‍යාමාණ විය.

රොබින් අතින් සංඥා කොට ඔහුව තමා අසලට කැඳවීය.

" තමා මියගිය පුද්ගලයගේ කව්ද ? "

" එයා මගේ අක්කගේ මහත්තයා සර්. "

" එතකොට තමාගේ පදිංචියත් මෙහෙද ? "

" ඔව් සර්. "

" තමාගේ නම ? "

" සෝමදාස සර්. "

" හොඳයි දැන් කියමු බලන්ඩ මොකක්ද වුනේ කියලා. "

" මේක වෙනකොට මමත් ගෙදර හිටියේ නැහැ සර්. මම පොළට ගිහිල්ල හිටියේ. අක්කගෙන් දැන ගත්තු ටික තමා මාත් දන්නේ. "

" අක්ක මොනවද තමාට කිව්වෙ ? "

" ඔය මැරිච්ච ගුණසේන අයිය, කාස කාරයා සර්. පහුගිය ටිකේම ලෙඩ ගානේ හිටියෙ. කරපු කිසිම බෙහෙතකින් ගුණයක් තිබුන්නැ. එයා හුඟක් වෙලාවට ඔය කාමරේ නිදාගන තමා ඉන්නේ. අද උදේ මම පොළට යද්දිත් උන්දෑ නිදි. මං ගිහිල්ල ටික වෙලාවකින් වෙනදා වගේම අක්කා එයාට කෑම කවලා තියනවා. ඊට පස්සේ ගුණසේන අයිය ආයෙත් නින්දට වැටිලා තියනවා. ඊට ටික වෙලාවකට පස්සේ පල්ලි ගිහින් එන ගමන් අර සියඹල ගහ ගාව ගෙදර ඉන්න මාගරට් නෝනා ගොඩ වෙලා තියනවා අපේ ගෙදරට. ටික වෙලාවක් ඉඳලා එයා යන්ඩ ගිහිල්ලා. ඊට ටිකකට පස්සේ අක්කා කසාය ටික හදන් අයියට දෙන්ඩ යනකොට තමා මේ වෙලා තියන දේ දැකලා තියෙන්නේ. "

" මොනවද අක්කා දැකලා තියෙන්නේ "

" අයියාගේ බෙල්ල ඇඳෙන් පැත්තට කඩා වැටිලා, ඇස් දෙක උඩ ගිහිල්ලා ඔය දැන් තියනවා වගේම ඉඳලා තියෙන්නේ. කොට්ටේ පපුව උඩ මූණ ගාවට වෙන්ඩ තිබිලා තියෙන්නේ. "

" ඉතින් අක්කා මොනවද කරලා තියෙන්නේ ? "

" අක්ක බය වෙච්ච පාර කෑගහගන ලඟම ගෙදරට දුවලා තියනවා. මම එනකොටත් කට්ටිය වටවෙලා "

" කාව හරි මේකට සැක කරනවද ? තමුන්ලට තරහා කාරයො එහෙම ඉන්නවද ? "

" අනේ නෑ සර් අපි මෙහෙට ආවෙත් ලඟදි, මොකට තරහා වෙන්ඩද කාත් එක්කවත්. අක්කනම් කියන්නේ මේක අර මාගරට් කියන ගෑනු කෙනාගෙම වැඩක් කියලා. වෙන ඉතින් කව්රුවත් ආවෙත් නැහැනේ. "

" ඉතින් එයා ඕක කරනකම් අක්කා කොහෙද ඉඳලා තියෙන්නෙ ? "

" අක්ක එයාට තේ එකක් හදන්ඩ කුස්සියට ගිහින් තියනවා. ඒ අතර මේක කරන්ඩ ඇති කියලා තමා අක්ක හිතන්නෙ. "

" ඒත් ඇයි ? " ඒ ප්‍රශ්ණය රොබින් අසා ගත්තේ තමාගෙන්මයි.

" තමාට පොලිස්ථානයට ඇවිත් තව දීර්ඝ වශයෙන් කට උත්තරයක් දෙන්ඩ වෙයි. "

එදින සවස මාගරට්ව සැක පිට අත් අඩංගුවට ගන්නා ලදී.

=====================================XX================================

රොබින් සිය පුටුවේ ඇන්දට උපරිමයෙන් බරවී, පුටුව වම් පසට හරවාගන, දකුණු කකුල මේසයේ කොනකින් හරහට මේසය මතින් තබාගන, දකුණු අතින් කඩදාසි බරුව මේසය මත හෙමිහිට උඩ දමමින්, සිවිලිම දෙස දෑස් යොමාගෙන කල්පනා සයුරේ ගිලී සිටියේය. සාජන්ට් වීරවංශ ඔහු ඉදිරියේ වු පුටුවට බරවී රොබින්ගෙන් අදහසක් නිකුත්වන තුරු විමසිල්ලෙන් බලා සිටියි.

" වීරේ මොකද මේ ගැන හිතන්නේ ? "

" මටත් තාම අදහසක් නම් නැහැ සර්. "

" තියන තොරතුරු වල හැටියටනම් මේ ගෑණී මෙහෙම දෙයක් කරයි කියලා කියල හිතන්ඩ අමාරුයි. ගමේ හුඟ දෙනෙක්ගේ මතයත් ඒකමයි. ඒත් අපිට හිතළු වලින් නිගමනයකට එන්ඩ අමාරුයි. ඒත් මට තියන ප්‍රශ්ණේ මේවගේ දෙයකින්, මේ ගෑනිට ලැබෙන වාසිය මොකක්ද කියලා. අපි හොය ගන්ඩ ඕනා අන්න ඒක."

රොබින් නැවතත් කල්පනාවට වැටුනේය. ඒ කාලය පුරාවටම වීදුරු කඩදාසි බරුව නොනැවතී ඉහල පහල යැමේ හිරිහැරය නොඅඩුවම වින්දේය. මෑතකදී උප පොලිස් පරීක්ශක ධූරයට උසස් කරනු  ලැබූ රොබින් නිරිඇල්ල, තරුණ, ජවසම්පන්න, නොපසුබස්නා උත්සහයෙන් යුතු, යම් දෙයක් ඔස්සේ දිගින් දිගටම හඹා යැමේ සහජ ගතියෙන් යුතු අවංක පොලිස් නිළධාරියෙකි. අලුත ගෙනා කොස්සකින් බිම පිරිමැදෙන්නේ යම්සේද, මේ කාලයේ රොබින්ගේ කාර්යක්ෂමතාවයද එසේමැයි. මේ සියල්ල ටික කලකින් ඔහුට උසස්වීමක් ලබාදීමට අඩු වැඩි වශයෙන් මහෝපකාරී වූහ.

" වීරෙ, හෙට නේද මළ ගෙදර අවසන් කටයුතු ? "

" ඔව් සර් "

" හරි, හෙට වීරේ මළ ගෙදර යන්ඩ ඕනා. හැබැයි යුනිෆෝම් එක නැතුව යන්ඩ. හැම සිද්ධියක් ගැනම ඇහැගහගන ඉන්ඩ ඕනා වීරේ, හැම පුද්ගලයෙක්ගෙම හැසිරීම අපිට වැදගත් වෙන්ඩ පුළුවන්. මම හෙට යනවා වෙන ගමනක්. ඒකෙ විස්තර ඇවිල්ල කියන්නම්."

"හරි සර්"

" වීරෙ ඔය ගෙදර ගැණු කෙනාගෙන් කට උත්තරයක් ගන්ඩ පුළුවන් උනාද ? " 

" තවම නැහැ සර්, ගැණී අඬා ගත්තු ගමන්මයි. මම ඊයේ දෙපාරක් උත්සහා කළා, ඒත් ගැණී පියවී තත්ත්වයෙන් නැහැ කියලා තමා මට හිතුනේ. මළ ගෙදරින් පස්සෙවත් බලන්ඩ ඕනා. "

" මොනවද ඒ ගොල්ලො ගැන හොයා ගත්තු විස්තර ? "

" තවම වැඩි විස්තරයක් නැහැ සර්. ඒ මිනිස්සු ලඟදි තමා ඔය ගෙදර පදිංචියට ඇවීත් තියෙන්නේ. ඉතින් ගමේ අයත් වැඩි යමක් කියන්ඩ දන්නේ නැහැ."

"බලමු"  මේ පිළිතුර, රොබින් ගැන හොඳින් දන්නා සාජන්ට් වීරවංශට එතනින් නැගිටයාමට හොඳටම ප්‍රමාණවත්ය.

=====================================XX================================

පරීක්ශණයේ කිසිදු ප්‍රගතියක් නොමැතිව සතියක් පමණ ගෙවී ගියේය. රොබින් මෙම අවුල ලිහා ගැනීමට දිවා රෑ නොමැතිව වෙහෙසුනි. සාජන්ට් වීරවංශගේ සහයද ඔහුට නොඅඩුවම ලැබුනි. මිය ගිය පුද්ගලයා වෙනුවෙන් පැවැත්වූ හත්දොහේ ධර්ම දේශණය පැවැත්වුනු දින, වීරවංශට පොලිස්ථානයේ තමා එන තුරු රැදී සිටින ලෙස උපදෙස් දුන් රොබින් යන තැනක් නොදන්වා අතුරුදහන් විය. රාත්‍රී එකොළහ පසුවී සුළු මොහොතකින් රොබින් කලබලෙන් මෙන් පොලීසියට ගොඩවිය.

" වීරේ අපි දැන් ගමනක් යන්ඩ ඕනා. තව කොස්තාපල්ලා දෙතුන් දෙනෙක්වත් එකතු කරගන්ඩ. "

මෙම විධානය වීරවංශව විමතියට පත්කළද ඔහු ප්‍රශ්ණ නොනගා අණ ක්‍රියාත්මක කළේය.

සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම, මිනීමැරුම වූ ගමට පාගමනින්ම සේන්දු විය. ගම්වල මිනිසුන් සතුවූ වේලාසන නින්දට යාමේ පුරුද්ද, ඔවුනට කිසිදු පුද්ගලයකුට නොපෙනෙන ලෙස අදාල ස්ථානයට සේන්දු වීමට පහසුවක් විය. රොබින් විසින් මේදක්වා අන් තිදෙනාට ගමනාන්තය ගැන ඉඟියකින්වත් හඟවා නොතිබුනි. අවසානයේදී ඔවුන් පැමිණ තිබුනේ සුසාන භූමියකට බව අන් තිදෙනා දැන ගත්තේ ගමන අවසානයේදීය. ඒ අදාල මෘතදේහය වලදමා තිබුනු සුසාන භූමියයි.

එය මලාණික සඳ එළියක් තිබුන දවසක් විය. යන්තමින් එකිනෙකා පෙනෙන තරමට වූ එම එළිය ඔවුන්ගේ කටයුතුවලට ප්‍රමාණවත් විය. රැහැයියන්ගේ නාදය වරින් වර දසතින් පැතිරුනි. ඉඳ හිට ගුප්ත හඬක් නඟමින් හැඬූ බකුසා, තමන් කරන්ඩ යන දෙය දන්න බව හඟවන්නේයැයි රොබින්ට සිතුනි.

කනත්ත අසල වු පදුරු ගොන්නක් අසලට නිසොල්මනේ පැමිණි ඔවුන් සිව්දෙන, කිසිවකුට නොපෙනන පරිදි එම පඳුරු අතර සැඟවී වාඩි ගත්හ.

මෙසේ සැළකිය යුතු වේළාවක් ඔවුන් වදනකදු නොදොඩා විමසිල්ලෙන් බලා සිටියහ. රොබින්ට හැර අන් තිදෙනාට තවමත් මෙය ප්‍රෙහෙළිකාවකි.

වේලාව පාන්දර එකට ආසන්න‍යයි සිතිය හැකිය. කනත්තේ එහා කෙලවරින් ඔවුන් සියුම් චලනයක් නිරීක්ෂණය කළහ. රොබින්ගේ අත නිතැතින්ම සිය ඉනෙහි වු පිස්තෝලය වෙත ළඟා වූයේ එය සුරක්ශිතව ඇත්දැයි සැකහැර දැනගැනීම සඳහාය. පෙරකී ඡායාව සෙමෙන් සෙමෙන් ඔවුන් සිටි දෙසට ලඟා වන්නට විය. අතකින් පොල්ලක් වැනි යමක් ඔහු රැගෙන එන ලෙස දුටුවද එය උදැල්ලක් බව පැහැදිලි වූයේ ඔහු වඩාත් ආසන්නයට පැමිණි පසුය. එම ඡායව කෙලින්ම ගමන් කෙරුවේ දින කිහිපයකට පෙර වළදමන ලද ගුණසේනගේ මිනී වළ වෙතය. මෙය දුටු රොබින්ගේ මුවෙහි ඇතිවූ මදහස අනිත් අය අඳුර නිසා නොදුටුවෝය. මෙතෙක් වෙලා නොඉවසිල්ලෙන් බලා සිටි අවස්ථාව උදාවී ඇති බව ඔහුට පැහැදිලි විය.

එම මිනීවළ අසලට පැමිණි ඔහු උදැල්ල බිමතබා අනෙත් අතෙහි වූ තවත් යමක්ද බිම තබා සාත්පස සිසාරා හොඳ බැල්මක් හෙලුවේ කව්රුන්හෝ බලාගෙන ඇත්දැයි සැකහැර දැනගැනීමටය. මදක් මෙසේ කල්පනාකාරිව සිටි ඔහු, උදැල්ල අතට ගෙන යුහුසුළුව එම මිනී වළ හාරන්නට විය. ටිකවේලාවක් ඔහුට සිය කාර්යය කරගන යාමට ඉඩ හල රොබින්, අනෙක් අයට රහසින් කළයුතු දෑ විස්තර කළේය.

සැඟවී සිටි තැනින් නැගී සිටි ඔවුන් සිව් දෙන, සෙමෙන් සෙමෙන් වළ සාරමින් සිටි තැනැත්තාට කිට්ටු කළහ. ඒක්ශණයෙන් තමන් අසල සිදුවෙමින් පවතින නුහුරු යමක් හැඟුනු වැඩෙහි යෙදෙන්නා වහා කළබල වී පිටුපස බලන විටම දුටු දෙයින්  භ්‍රාන්ත වී ගොස් මොහොතකට ගල් ගැසුනි. එසැනින්ම දීවීමට සැරසුනු ඔහු මතට අප යහලුවන් සිව්දෙනා කඩාපැන්නේ ගොදුරක් මතන පනින දිවියන් මෙනි. මොහොතකින් මිනී වළ් කනින්නා අත් අඩංගුවට පත්විය.

=====================================XX================================


" සෝමදාස, තමුසේ කිසිදෙයක් හංගන්ඩ උත්සහ කරන්ඩ එපා. අපි ඔක්කොම දේවල් හොයාගන තියෙන්නේ. දැන් මුළ ඉඳලා කිසිදෙයක් හන්ගන්නැතුව කියන්ඩ පුලුවන්. බොරු කියන්ඩ උත්සහා කලොත් ඉතින් මට කියන්ඩ තියෙන්නේ හැමදෙයක්ම ඔප්පු කරන්ඩ සාක්ෂි අපි ලඟ තියනවා කියලා විතරයි. දැන් කියමු. තමා මේ කියන හැම වචනයක්ම තමාට එරෙහිව සාක්ෂියක් ලෙස පාවිච්චි කරන්ඩත් පුළුවන් කියලත් මේ ගමන්ම මතක් කරනවා. "

" මට පේනවා සර් කිසි දෙයක් හංගලා පලක් නැහැ කියලා. සර්ලා එදා කනත්තට ආපු එකෙන්ම මට පේනවා හැමදේම එළිවෙලා ඉවරයි කියලා. "

" ඔව් ඒක ඇත්ත, මට දැන් තමාගේ කටින්ම මේක සහ සුද්දෙන්ම දැන ගන්ඩ ඕනා එච්චරයි. "

" අපි මෙහෙට එන්ඩ කලින් හිටියේ පානදුරේ පැත්තේ ගමක. මට ඔය කරුණාවතී හම්බුනේ එහෙදි තමා. "

" කරුණාවතී කිව්වේ ? " ඒ ප්‍රශ්ණය වික්ශිප්ත වූ වීරවංශගෙනි. මෙහිදී රොබින් විසින් ඔහුව අතින් සංඥා කොට නතර කරන ලදී.

" කරුණාවතී කිව්වේ මම ඔය සර්ලට කලින් මගේ අක්කා කියලා කියපු ගෑණු මනුස්සයා. ඇත්තටම ඒ මගේ අක්කා නෙමේ. "

" හරි කතාව කියාගන යන්ඩ. " ඒ විධානය රොබින්ගෙනි.

" මම කතාව කෙටියෙන් කියන්නම්. කොහොම හරි හම්බෙලා ටික කාලෙකින් අපි අතරෙ පොඩි සම්බන්දයක් ගොඩ නැගුනා. හැබැයි ඒ වෙද්දිත් ඒයා ඔය මැරුණු ගුණසේන අයියට විවාහ වෙලා හිටියේ. හැබැයි මිනිහා උපන් ගෙයි ලෙඩා. එහෙම ඉන්නකොට තමා මිනිහට අර කරුම ලෙඩෙත් හැදුනේ. ඊට පස්සෙ ඉතින් මිනිහ ඇවිදින ඇටසැකිල්ලක් උනා. දෙන්න දෙමහල්ලො අතර මුල ඉඳලම එච්චර තද සම්බන්ධයක් තිබිලත් නැහැ. ළමයි ඇත්තෙත් නැහැ. ඉතින් ඔය වගේ තත්ත්වයක් තියෙද්දී තමයි මට කරුණාවතීව හම්බුනේ. මට මුළදී ගෑනි ගැන අනුකම්පාවක් ඇති උනා. පස්සෙ පස්සෙ ඒක දන්නෙම නැතුව දුරදිග ගිහිල්ලා. "

" අපේ සම්බන්ධය දැන ගත්තම ගුණසේන අයියා යකෙක් වගේ වියරු වැටුනා. ඒත් මිනිහට කර ගන්ඩ දෙයක් තිබුනේ නැහැ. ඇගේ පතේ හයියෙන්වත්, පිරිස් බලයෙන්වත් මිනිහට මාව අභිබවා යන්ඩ පුලුවන් කමක් තිබුනේ නැහැ."

" පස්සේ පස්සේ මේක රහසක් උනේ නැහැ. මමත් නිතරම එහෙ යන්ඩ එන්ඩ පටන් ගත්තා. "

" එක දවසක් මම එහෙ යනකොට මුලු ගේම වහලා දාලා. කව්රුවත් නැහැ. මටත් හිතා ගන්ඩ බැරි උනා මොකද වෙලා තියෙන්නේ කියලා. කව්රුවත් දැනගන උන්නේ නැහැ දෙන්නට මොකද උනේ කියලා. මමත් සෑගෙන්ඩ හෙව්වා, ඒත් කොහෙද ගියේ කියලා හොයා ගන්ඩ බැරිඋනා. ඔහොම ඉන්නකොට තමා මට කරුණාවතීගෙන් ලියුමක් හම්බුනේ විස්තරේ කියලා. මිනිහා බලෙන්ම වගේ කරුණාවතීත් එක්කගන මේ ගමට ඇවිල්ලා. මෙහෙ මිනිහගේ දුරින් නෑ කෙනෙක් වෙන කෙනෙක් ඉන්නවා. එයා තමා ඔය ඉඩමේ පැළ අටෝ ගන්ඩත් උදව් කරලා තියෙන්නේ. "

" කොහොම හරි විස්තරේ දැන ගත්තට පස්සේ මමත් හොයාගන මෙහෙට ආවා. ඊට පස්සේ මිනිහා කරබාගන ඉන්ඩ ගත්තා කරන්ඩ දෙයක් නැති කමටමද කොහෙද. මමත් මේහෙම නතර උනා. ඒත් මට මෙහෙම ජීවත් වෙන එක එපා වෙලා තිබුනේ. මට ඕනා උනේ මගේම කියලා දරු පව්ලක්, ගෙයක් දොරක් හදාගන සන්තෝසෙන් ජීවත් වෙන්ඩ."

" ඉතින් අපි දෙන්නා ඔය ගැන කතාවෙලා දවසක් තීරණය කළා මේ කරදරයෙන් මිදෙන්ඩ. කරුණාවතීනම් කොහෙත්ම කැමති උනේ නැහැ මේ වැඩේට, ඒත මම කොහොම හරි ගෑනිව නම්ම ගත්තා. "

" පස්සේ අපි කල්පනා කල මේක අහු නොවෙන්ඩ කොහොමද කරන්නේ කියලා. ඔය ගැන හිත හිතා ඉන්නකොට තමා මම දැක්කේ හැම ඉරිදම වගේ සියඹල ගහ ගාව ගෙදර මාගරට් නෝනා පල්ලි ගිහිල්ල, අපේ ගෙදරට් එන අඩි පාර පහු කරලා තනියම යනවා. "

" මම මේක සති දෙක තුනක්ම හොඳට බැලුවා. ගෑනි හැමදාම තනියම් තමා එන්නේ. "

" ඔය සිද්ධිය වෙච්ච දවසෙත් මාගරට් නෝනා තනියම එනවා. මම කරුණාවතීව ඉස්සරහට යැව්වා, ගිහිල්ලා කොහොම හරි කතා කරගන එන්ඩ කියලා. "

" ටික වෙලාවකින් දෙන්නම ගොඩ වුනා ගෙදරට. මම හිටියේ ගේ පිටි පස්සේ, පේන්ඩවත් එළියට ආවේ නැහැ. මාගරට් ටිකක් වෙලා ඉඳලා තේ එකක් එහෙම් බීලා යන්ඩ ලෑස්ති උනා. ඒත් මම කරුණාවතීට කියලා තිබුනේ තව කව්රු හරි ඈතින් එනවා පේනකම් එයාව කතාවට අල්ලගන තියා ගන්ඩ කියලා. කරුණාවති ගානට වැඩේ කළා. සර්ට හිතාගන්ඩ පුළුවන්නේ ඒ ඇයි කියලා. "

" ඊට පස්සේ තමා අපි, අපේ සැලැස්ම ක්‍රියාත්මක කළේ. "

" අයියා එතකොටත් කාමරේ ඇතුලෙ නිදි. මම හිමීට කාමරේට ඇතුල් වෙලා ලඟ තිබුන කොට්ටෙන් හුස්ම හිරවෙනකන් තද කරන් හිටියා. මිනිහා කෙසඟ උනාට තිබුන ශක්තියක් !  සෑහෙන්ඩ සටනක් දුන්නා බේරෙන්ඩ. ඒත් මගේ ශක්තිය ජය ගත්තා. අනිතිමේදී ඒ කරදරයෙන් අපි නිදහස් උනා. "

" මම ඊට ටික වෙලාවකට පස්සේ කැලෙන් පැනලා පොළ පැත්තට ගියා. ඊට පස්සේ වෙච්ච හරිය සර්ලා දන්නවා. "

" හරි ඔක්කොම පැහැදිලියි. නියපොත්ත කැඩිලා කියලා දැනගත්තේ කොයි වෙලේද ? "? " ඒ ප්‍රශ්ණය රොබින්ගෙන්.

" මම කාලයක් තිස්සේ දිගට වවපු නියපොත්තක් ඕක. ඔය සිද්ධිය වෙන්ඩ දවස් දෙකකට කලින් ඕක පිහියෙන් හැඩ කරන්ඩ යද්දී  මගේ අතින්ම බාගෙට වගේ කැපුනා. කපලා අයින් කරන්ඩ දුක හින්දා එහෙමම තියන් හිටියා. ඕක කැඩිලා තියනවා මම දැක්කේ එදා සර් ඇවිල්ලා පරික්ශා කරනකොට. මට හිතා ගන්ඩ බැරිඋනා මේක කැඩුනේ කොයි වෙලේද කියලා. අර වෙලේ කැඩුනනම් ඒක අනිවාරයයෙන්ම මිනිය ලඟම තියෙන්ඩ ඕනා. මාව වෙව්ලන්ඩ ගත්තා ඒක දැක්කම. ඒ එක්කම මට ගන දෙවි ණුවන පහල උනා. මම ඉක්මනටම පිහිය අරන් මැදින් කැඩිලා තිබුන නිය පොත්ත මුලින්ම කපලා දැම්මා. ඒ එක්කම අනිත් නියපොතුත් කැපුවා. "

" සර්ලා මිනිය අරන් ගිය ගමන් මම ඉක්ක්මනටම කාමරේට ගිහින් හොයලා බැලුවේ ඕක. ඒත් මට හම්බුන්නෑ. මට හිතා ගන්ඩ බැරිඋනා කොහෙදිද මේක කැඩුනේ කියලා.

" මේක බරපතල අපරාධයක්. එකක් නෙමේ දෙකක්. මිනිහෙක්ව ඝාතනය කිරීම සහ ඒකට අහිංසකයෙක්ව පැටලීමට තැත්කිරීම. වීරෙ, කරුණාවතීවත් අත්අඩංගුවට ගන්ඩ අවශ්‍ය කටයුතු ලෑස්තිකරන්ඩ. "

=====================================XX================================


" මට සැකයක් ඇති උනා වීරේ, මම ඒ සැකය ඔස්සේ පැන්නුවා. වාසනාවකට මගේ සැකය හරි පුද්ගලයටම එල්ල වෙලා තිබුනා. නැත්නම් අපි තාමත් අඳුරෙ. "

" මට තාම පැහැදිලි මදි සර්. "

" වීරෙට මතකනේ අපි මරණය වෙච්ච දවසේ ඒ ගෙදරට ගියා පරික්ෂණයට. "

" ඔව් සර් "

" මට එදා මිනිය ගාව පැදුරෙ ඇමිනිලා තිබිලා හම්බුනා නූල් දෙකක් විතර දිග නිය පොත්තක්. ඒක පිරිමියෙක්ගේ ගන, පළල නියපොත්තක්. මේ තියෙන්නේ ඒක තමා " යි කියමින් රොබින් විසින් එය සාජන්ට් වීරවංශට පෙන්වා සිටියේය.

" මම අනුමාන කළා මේක මිනීමරුවගේ වෙන්ඩ පුළුවන් කියලා. ඒත් කාගෙද ? කොහොමද ඒ නියපොත්තේ අයිතිකාරයව හොයාගන්නේ ? ඒ ඊ ලඟට මට ආපු ප්‍රශ්ණ. "

" එදා මේ සෝමදාස, කරුණාවතිගේ මල්ලියි කියද්දිම මට පොඩි සැකයක් ඇතිඋනා. දෙන්නගේ හැඩහුරු කමේ ආසන්න වශයෙන්වත් සමාන කමක් නැති නිසා. මම එදා ඇඟිලි සළකුණු ගන්න මුවාවෙන් කළේ මිනිහගේ ඇඟිලි පරික්ශා කරපු එක. ඒත් මිනිහගේ නියපොතු ගානට කපලා තිබුන නිසා මගේ සැකය සනාථ කරගන්ඩ හම්බුනේ නැහැ. මට ඒවෙලේ අමතක උනා මිනිහා මේව ටිකකට කලින් කපන්ඩ ඇතියි කියන එක. "
" එදා මළ ගෙදර දවසේ ඔය සෝමදාසලා කලින් හිටපු ගමට ගිහින් මම සෑහෙන්ඩ විස්තර හොයාගත්තා. දෙන්නගේ සම්බන්ධය ගැනත් මට ආරංචි කරගන්ඩ පුලුවන් උනා. එතකොටනම් මට සෑහෙන විශ්වාසයක් ආව මේකට මේ දෙන්නගෙම හරි එක්කෙනෙක් හරි ගෑවිලා තියෙන්ඩ පුළුවන් කියලා. "

" ඒත් ඒ එකක්වත් මට ස්ථීර සාක්ෂි හැටියට ගන්ඩ පුළුවන් උනේ නැහැ. තිබුන එකම බලාපොරොත්තුව තමා මේ නියපොත්ත. "

" පස්සේ මම දවස් ගානක් කල්පනා කලා කොහොමද මේක විසදන්නේ කියලා. මගෙ හිත කිව්වා මේ නියපොත්ත එක්ක මේ මරණයට සම්බන්දයක් ඇතිමයි කියලා. "

" එදා බණ දවසේ, උදේ මට ආවා යස කල්පනාවක්. ඒ තමයි පොඩි බොරුවක් ප්‍රචාරය කරන්ඩ. එදා රෑ වෙන පුද්ගලයෙක් මාර්ගයෙන් මට පුලුවන් උනා, මෙහෙම ප්‍රචාරයක් යවන්ඩ. "

" පොලීසියට මිනියත් එක්ක තිබිලා නියපොතු කැල්ලක් හම්බෙලා තියනලු. ඒකේ ඉතුරු කෑල්ල මිනියත් එක්ක තියනවද බලන්ඩ හෙට මිනිය ගොඩ දාන්ඩ යනවලු. ඒ නියපොත්ත පරික්ෂා කරලා මිනීමරුවව අල්ලගන්ඩ පුලුවන්ලු. " කියලා.

" මම බලාපොරොතු උනා ඔය නියපොත්තේ මිනී මැරුමට සම්බන්ධයක් තියනවනම්, අයිතිකාරයා අනිවාර්යයෙන්ම අපි මිනිය ගොඩ දාන්ඩ කලින් මිනිය ගොඩ අරන් විනාස කරන්ඩ හදයි කියලා. වාසනාවට මගේ අනුමානය ටක්කෙටම හරි ගියා. "

" අනිත් සැක කටයුතු දේ තමා කසාය කෝප්පය "

" ඒ කිවේ සර්  ? "

" වීරෙට මතකද ඔය සෝමදාස කිව්වා, කරුණාවති, ගුණසේනට කසාය කෝප්පය අරගන යද්දියි මේක වෙලා තියනවා දැක්කේ කියලා. ඔහොම එකක් දැකපු ගමන් ගෑනියෙක්ගෙන් අනිවාරයයෙන්ම ඕක බිම වැටෙන්ඩ ඕනා. ඒත් ඒ කාමරේ එහෙම කිසිම සළකුණක් තිබුනේ නැහැ. වෙන්ඩ බැරි උනත්, බිම නොවැටී කොහේ හරි තිබ්බානම් ඒක එහෙමම තියෙන්ඩ ඕනා අපි යනකොටත්. මොකද අපි සිද්ධිය වෙලා ටිකකින් එතෙන්ට ගියා. ඔය කළබල අස්සේ ඔහොම එකක් අයින්කරන්ඩ කාටවත් කල්පනාවක් තියෙන්ඩ විදිහක් නැහැ. මම සෝමදාසගෙන් කට උත්තරය අරන් ආයේ කාමරයට ගිහින් බැලුවේ ඔය දෙක තමා. " ඔය ඔක්කොම මගේ හිතේ ලොකු සැකයක් ඇති කළා මේ ජෝඩුව ගැන.

" ඔන්න ඕක තමා උනේ. කවදාවත් අපරධයක් කරලා සාක්ෂියක් ඉතුරු නොකර යන්ඩ බැහැ වීරේ. "

=====================================XX================================

" මාගරට් හිල් නම්වූ යුශ්මතියව, සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරමි. "

=====================================XX================================


සැළකිය යුතුයි ;

1. මෙහි නිධාන කතාව ලිවිමෙන් මා විසින්, එය කියවූවන්ගේ සිත් සතන් වල ඇතිකරනු ලැබු, කුතුහලය සන්සිදුවීම උදේසාම මෙම රහස් පරීක්ෂක කෙටි කතාව ලියා පල කළ අතර, මෙය මවිසින් ලියනු ලබන ප්‍රථම සහ එකම රහස් පරීක්ෂක කතාව බව සැළකිය යුතුය.

2. මා හට පොලිස් සේවයේ හෝ අපරධ පරීක්ෂණ ක්ෂේත්‍රයේ අත්දකීම් හෝ දැනුමක් නොමැති බැවින්, අඩු පාඩු බොහෝ විය හැකිය. ඒ පිළිබද තතු දත්තෝ මා නිවැරදි කරත්වා.

3. මා දන්නා එකම රහස් පරික්ශකයා වූ " ෂර්ලොක් හෝම්ස් " ගේ අභාශය මේ කතාව පුරා වැටී ඇතැයි මට හැඟේ. ඒ ගැන මා කමත්වා.

4. මෙය සම්පූරණයෙන්ම මාගේ හිතෙහි මැවුණු මනෝ විකාරයක් මිස, සත්‍ය සිද්ධියක් නොවන බව සැලකුව මැනවී. යම් හෙයකින් මෙවන් වූ සත්‍ය සිද්ධියක් වී ඇත්නම්, එය හා මගේ කතාව එකක් වීම හුදු අහම්බයක්ම පමණී.

~~ සෙන්නා / 29.02.2012

Thursday, February 16, 2012

ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " - අවසාන කොටස

මුල් ලිපි දෙකෙන් ප්‍රහාරයට මුල්වූ හේතු, සැලසුම් කිරීම, බෝම්බය නිපදවීම, අත්හදා බැලීම, ඉලක්ක තෝරා ගැනීම පිළිබඳව සාකච්චා කළා ඔබට මතක ඇති. ප්‍රහාරය එල්ල කරන ආකාරය සහ ඉන්පසු ඇතිවන තත්ත්වය ගැන දැන් විමසා බලමු.

1945 ජුලි 16වන දින ප්‍රථම පරමාණු බෝම්බ අත්හදා බැලීම සාර්ථකව අවසන් වූ වහාම " Little Boy " නම් වූ යුරේනියම් බෝම්බය "USS Indianapolis" නෞකාවෙන් ටිනියන් දිවයින බලා නැව්ගත කරන ලදී. මේවන විට 509 කණ්ඩායම ටිනියන් දිවයිනට පැමිණ පූර්ව සූදානම් වල නිරතවෙමින් සිටියහ.

1945 ජූලි 26 වන දින " USS Indianapolis " නෞකාව ටිනියන් දිවයිනට ලඟාවූ අතර එදිනම එම බෝම්බයට ඇවැසි සමහර අමතර කොටස් සහ " Fat Man " නම් වූ ප්ලූටෝනියම් බෝම්බය " C-54 " වර්ගයේ ගුවන් යානයකින් ටිනියන් දිවයිනට ගොඩ බාන ලදී.

එදිනම ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ චීනය එකතුව ජපානයට නිකුත් කල යටත් වීමේ නිවේදනය ( Potsdam Declaration ) ජපානය විසින් බැහැර කිරීමෙන් පසුව, 1945 අගොස්තු මස, ඇමෙරිකානු ජනාධිපති Harry S. Truman විසින්  ජපානයට බෝම්බය දැමීමට නිළ වශයෙන් අනුමැතිය දෙන ලදී.

මෙයට අදාල නොව්නද ඊට දින හතරකට පසු සිදුවූ තව වැදගත් සිද්ධියක් ගැන සඳහනක් කළ යුතුය.

ජූලි 26 වන දින බෝම්බය සහ ඊට අදාල අංගෝපාංග ගොඩ බෑමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගිය නෞකාවට ජූලි 30 වන දින අළුයම රාජකීය ජපාන නාවික හමුදාවේ I-58 සබ්මැරිනය මඟින් එල්ල කල ටෝපිඩෝ ප්‍රහාර දෙකක් මගින් පිලීපීන මුහුදේදී නාවිකයන් 300 ක් පමණ ගනනක් සමග මුහුදුබත් විය. 800 ක් පමණ නාවිකයන් සංඛ්‍යාවක් ඊට දින දෙකකට පසු බේරා ගන්නා ලදී.

මෙම ප්‍රහාරය ඊට දින හතරකට හෝ පහකට කලින් නැව ටිනියන් දිවයින බලා යාත්‍රා කිරීමේදී එල්ල කිරීමට ජපන් නාවික හමුදාව සමත් වූයේනම්, ලෝක ඉතිහාසය මීට වඩා වෙනස් වීමට උවද ඉඩ තිබුනි. එම ප්‍රහාරය ගැන වැඩි විස්තර, ඉහත නෞකාවේ නමත් සමඟ දී ඇති සඹැඳිය ඔස්සේ ගොස් කියවිය හැකිය.

මෙසේ ගෙන එන ලද බෝම්බ දෙක, ටිනියන් දිවයිනේදී එකලස් කොට ගුවන් යානයට සවිකරන ආකාරය මෙම චායාරූප වාර්ථාවෙන් ඔබට බලා ගත හැකිය.

හිරෝශීමා නුවරට එල්ල කල " Little Boy " බෝම්බය සවිකරනු ලැබුවේ 509 කණ්ඩායමේ අණදෙන නිළධාරියා වූ Colonel Paul W. Tibbets විසින්ම පදවන ලද " Enola Gay " නම් වු ගුවන් යානයටය. තම මවගේ නම අනුව යමින් ඔහු විසින් මෙම යානයට එම නම දමන ලදී. එම යානයෙහි මෙහෙයුමට සම්බන්ධ 12 දෙනෙකුගෙන් යුත් ගුවන් භටයන් සංඛ්‍යාවක් විය. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ නාම ලේඛනයයි.

Colonel Paul W. Tibbets, Jr. (1915-2007) 
Captain Robert A. Lewis (1917-1983)
Major Thomas Ferebee (1918–2000)
Captain Theodore "Dutch" Van Kirk (1921-) 
Captain William S. "Deak" Parsons (1901–1953) 
Lieutenant Jacob Beser (1921–1992) 
Second Lieutenant Morris R. Jeppson (1922–2010) 
Technical Sergeant George R. "Bob" Caron (1919-1995)
Technical Sergeant Wyatt E. Duzenberry
Sergeant Joe S. Stiborik (1914-1984) 
Sergeant Robert H. Shumard (1920-1967)
Private First Class Richard H. Nelson (1925-2003)


1945 අගෝස්තු 05 වන දින ප්‍රථම ප්‍රහාරයට සියල්ල සූදානම්. අගෝස්තු 06 වන දින අළුයම 02:45 ට, තවත් යානා 05 ක් පෙරටු කරගත් Enola Gay යානය ප්‍රහාරය සඳහා ටිනියන් දිවයිනෙන් පිටත් විය. අනෙකුත් යානාවල කාර්යයන් වූයේ කාළගුණ තත්ත්වයන් පරීක්ෂා කිරීම, චායාරූප කරණය සහ ප්‍රහාරයෙන් පසු ඇතිවන තත්ත්වයන් අධ්‍යනය කිරීම යනාදියයි. හිරෝශීමාව ප්‍රධාන ඉලක්කය වූ අතර යම් හෙයකින් එයට පහර දීමට නොහැකි වුවහොත් කොකුරා සහ නාගසාකි යන නගර දෙක අනු ඉලක්ක වශයෙන් විය.

මේ අතර ප්‍රහාරය එල්ල කිරීමට පෙර ගුවන් යානය තුල සිදුකලයුතු තවත් ක්‍රියාවලියක් විය. ඒ බෝම්බය සජීවී කිරීමයි. ගුවන් යානය නැංවීමේදී සිදුවිය හැකි අනතුරකින්  බෝම්බය පුපුරා යෑම වැලැක්වීම සඳහා, බෝම්බය ක්‍රියාත්මක වීමට අවැසි වෙඩි බෙහෙත් ඒ තුල අන්තර්ගත කොට නොතිබුනි. එය ස්ථාන ගත කිරීම Captain William S. Deak Parsons ගේ සහ Morris R. Jeppson ගේ මෙහෙයක් විය.

යානය ගුවන් ගතවී සුළු මොහොතකින් බෝම්බය රඳවා තිබු  කුටීරියට ඇතුළු වූ ඔවුන් දෙදෙන, බෝම්බයේ පිටුපස අදාල ස්ථානයේ වෙඩි බෙහෙත් තැන්පත් කරන ලදී. විනාඩි 15 ක් වැනි කාලයක් ඇතුලත් Captain Deak Parsons විසින් එම කාර්යය නිම කරන ලදී. එහෙත් තවමත් බෝම්බය අක්‍රීයය. එය සක්‍රීය කිරීමේ වගකීම පැවරී තිබුනේ Morris Jeppson හටය.

බෝම්බයේ බඳෙහි සවිකල කොළ පැහැති පේනු තුනකි. ප්‍රමාණයෙන් මෝටර් රථයක දුම්වැටි දල්වනයකට ආසන්න වූ මෙම පේනු තුන මගින් බෝමබයේ විද්‍යුත් පරිපථයේ ක්‍රියාකාරිත්වය අවහිර කොට තිබුනි. Morris Jeppson හට පැවරී තිබුනේ එම පේනු තුන ඉවත් කොට එම ප්‍රමාණයේම රතු පැහැති පේනු තුනක් එම ස්ථාන වලට ඇතුලු කිරීමයි. එය කිරීමත් සමඟම බෝම්බය සජීවී බවට පත්විය. ඒ අනුව Little Boy බෝම්බය ස්පර්ශ කල අවසාන පුද්ගලයා වීමේ භාග්‍යය හෝ අභාග්‍යය Morris Jeppson ට හිමි විය.

එහෙත් තවමත් බෝම්බයෙන් සිදුකළ හැකි විනාශය ප්‍රශ්ණාර්ථයකි ! එ‍ය පුපුරා යාම ගැනද ඇත්තේ සැකයකි. ඒ මන්ද යත් යුරේනියම් වලින් නිර්මිත බෝම්බය අත්හදා බලා නොතිබුනු බැවිනි. ජුලි 16 වන දින අත්හදා බලන ලද්දේ ප්ලූටෝනියම් වලින් නිර්මිත බෝම්බයක් පමණී.

ප්‍රහාරය එල්ල කිරීමෙදී අවශ්‍යය වූ වැදගත්ම සාධකයක් වූයේ ඉලක්කය ගුවනේ සිට දර්ශනය කල හැකි විය යුතු වීමයි. හිරෝශීමාවට උඩින් ගමන් කල Straight flush යානය නගරයේ කාළගුණ තත්ත්වය ප්‍රහාරය සඳහා ඉතා යහපත් බව Enola Gay හට මෝස් සංඥා මගින් දන්වා සිටියේය. හිරෝශීමාවේ විනාශයට එසේ සියල්ල හොඳින් පෙලගැසී තිබුනි.

Straight flush කාළගුණ නිරීක්ශණ යානය නිසා නගර වැසියනට ගුවන් ප්‍රහාරයක් ගැන අනතුරු හැඟවීමක් ලැබුනි. එහෙත් ප්‍රහාරක යානා වල සළකුණකුදු නොවූ නිසා අනතුරු හැඟවීම සුළු මොහොතකින් ඉවත් කරගන්නා ලදී. ඇත්ත වශයෙන්ම හිරෝශීමාව ඇමෙරිකානු හමුදා විසින් හිතාමතාම ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකුනු නගර වලින් එකකි. එයට හේතුවක් විය. ඒ පරමාණු බෝම්බයේ ප්‍රතිඵල හරියටම නිශ්චය කර ගැනීමට ඇවැසි වූ හෙයිනි.

වේලාව හරියටම උදෑසන 08:15 යි. ටොන් හතරාමාරක් බරැති පුංචි කොළුවා  Enola Gay වෙතින් නිදහස් වී සිය කාර්යය ඉටු කිරීමට හිරෝශීමා වැසියන් සොයා යන්නට විය. තත්පර 43 ක වැටීමකින් පසු, බෝම්බයේ න්‍යෂ්ඨික ක්‍රියාකාරිත්වය ආරම්භ වී නිමේශයකින්, මොහොතකට පෙර සජීවී නගරයක් වූ හිරෝශීමාව අළු ගොඩක් බවට පරිවර්ථනය කරන ලදී. යානයේ සිටි පිරිස මෙම තත්පර 43 දැඩි අවිනිශ්චිත තාවයකින් පසු වූයේ බෝම්බය නිසි පරිදි ක්‍රියාත්මක වේවිද, නැද්ද යන දෙගිඩියාවෙනි. ඔවුන්ගේ ප්‍රශ්ණය වූයේ එයයි.

බෝම්බය පිපිරූ නිමේෂයේ, පිපිරුම් මධ්‍යයේ ඇතිවූ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන ගනනක් විය. අති විශාල ආලෝකයක් සහ උණුසුමක් අවකාශය පුරා පැතිරෙන්නට විය. එයට හසු වූ දහස් ගනනක් මිනිසුන් මොහොතකින් වාෂ්ප බවට හෝ අඟුරු බවට හැරුනි. ගැමා කිරණ, එක්ස් කිරණ සහ නියුට්‍රෝන වැනි විකිරණශීලී ද්‍රව්‍ය සැතපුම් දෙකක දුරප්‍රමාණයක් දක්වා දසත පැතිරිනි. මේ සියල්ල සිදුවූයේ තත්පර දෙක තුනක් වැනි කාලයක් තුලදීය. ඊලඟ නිමේශයේදී අති විශාල, ශබ්දයේ වේගයෙන් ගමන් කළ කම්පන තරංග නගරය සිසාරා යන්නට විය. එයට හසුවු සියලු දේ මොහොතකින් සුන්නද්දූලි විය. මොහොතකට පෙර සජීවී නගරයක් වු හිරෝශීමාව මළ නගරයක් වී ඇත. නගරය සහමුලින්ම බිමට සමතලා වී ඇත. හැටදාහකට අධික ගොඩනැගිලි විනාශ වී තිබුනි. දකින දකින අත අඟුරු වූ මළ සිරුරුය. උදව් ඉල්ලා කෙරෙන ඉල්ලීම් දසතින් ඇසිනි. එහෙත් උදව් කරන්නට කිසිවෙක් නැත. සියල්ලන්ටම උදව් අවැසිව තිබුනි.

දිවි බේරා ගැනීමට සමත්වූවන් සිදුවූ දෙය අදහා ගැනීමට උත්සහා දරමින් සිටියහ. ඇවිදගත හැකිවූවන් උදව් ඉල්ලා කෑගසමින් හිස් ලු ලු අත යන්නට විය. සමහරුන් ඇවිදින මළමිනී මෙන් විය. පිලිස්සී එල්ලා වැටෙන සම් කැබලි, කැඩී බිඳී ගිය අත්පා සහිත වූවන්, ඇවිදිමින්, බඩගාමින් සරණක් සොයා යන්නට විය. සියල්ලම අසරණ වු කල අනේකාට සරණ විය හැක්කේ කාහටද ? හිරෝශීමාව තනිකරම මිහිමත මැවුන අපායක් මෙන් විය. බැලූ බැලූ අත ගිනි ගෙන දැවෙන ගොඩනැගිලිද, මිනිසුන්ද විය.


නගරයේ ඉතිරිව තිබුනේ රෝහල් තුනක් පමණී. ඒවා දිවි බේරා ගත්වූවන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුනි. නගරයේ සිටි බොහොමයක් වෛද්‍යවරුන් හා හෙදියන්ද මිය ගොස් සිටි බැවින් තුවාල වුවන්ට ප්‍රතිකාර කිරීමද විශාල ගැටලුවක් විය.

බෝම්බයෙන් නිකුත්වූ අධික විකිරණශීලීතාවයට ගොදුරුවූවන් ටික දිනකින්ම එතෙක් හඳුනා නොගත් රෝගයක ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. දිවි බේරා ගත්තාවූ අයගෙන් දහස් ගනනක් එම රෝගයෙන් මරුමුවට පත්විය.


ප්‍රහාරය එල්ල වූ සැනින් 70000 කට අධික පිරිසක් මියගිය බවට අනුමාන කොට ඇත. 1945 අවසාන වන විට විකිරණශීලීතාවය නිසා හා අනෙකුත් හේතුන් මත 90000 සිට 166000 කට ආසන්න ගනනක් මිය ගොස් ඇති බවට සැලකේ. සමහර වාර්ථා පෙන්නන පරිධි 1950 වන විට 200000 ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මෙය ලෝක යුධ ඉතිහාසයේ එක් ආයුධයකින් සිදුකරනු ලැබූ විශාලම විනාශය හා සංහාරය ලෙසට ඉතිහාස ගතවී ඇත. තුවාල වූ, අංගවිකල වු, විවිධාකාර රෝගාබාධ වලට ලක්වූ සංඛ්‍යාව අති විශාලය. එහෙත් ජපානය තවමත් යටත්වීමට සූදානමක් නැත.

දෙවන ප්‍රහාරයට කාල නිශ්චය කිරීමේ වගකීම ටිබෙට්ස්ට පැවරුනි. අගෝස්තු 11 වනදා කොකුරා නගරයට ප්‍රහාරය එල්ල කිරීමට සැළසුම් කෙරින. කෙසේවෙතත් දින පහක් පුරා පැවතිය හැකි අයහපත් කාළගුණ තත්ත්වයක් ගැන ලැබුනු වාර්ථා නිසා ප්‍රහාරය දින දෙකකින් ඉදිරියට ගත්තේය.

1945 අගෝස්තු 09 වන දින අළුයම 03:45 ට Fat Man බෝම්බය රැගත් Bockscar යානය ටිනියන් දිවයිනෙන් අහසට නැගුනේ සුපුරුදු පරිධි අනෙකුත් යානා පෙරටු කරගනය. ගුවන් ගත වීමට පෙර කළ පූර්ණ පරීක්ශණ වලදී අමතර තෙල් ටැංකියේ දෝශයක් නිරීක්ශනය කලද යානයේ නියමුවා වු Major Charles W. Sweeney එය නොසලකා ප්‍රහාරයට යාමට තීරණය කරන ලදී. ප්‍රහාරක යානය හා නිරීක්ෂණ යානා දෙක වෙන් වෙන්ව ගොස් හමුවීමට යොදා ගත් ස්ථානයේදී හමුවී එක්ව ඉලක්කය කරා යාමට නියමිතව තිබුනි. කෙසේවෙතත් එක් නිරීක්ශන යානයක් වූ Big Stink ප්‍රමාද වූ බැවින් Bockscar සහ The Great Artiste යානය විනාඩි හතලිහක් ගුවනේ සැරිසරමින් Big Stink එනතෙක් රැදී සිටියද එය නොපැමිනි හෙයින්, එම යානය නොමැතිව ප්‍රහාරයට යාමට Sweeney තීරණය කළේය. මෙසේ සැරිසරමින් සිටින අතර තුර කොකුරා සහ නාගසාකි නගර වල කාළගුණ තත්ත්වය නිරීක්ශණය කිරීමට ගිය යානාවලින් නගර දෙකෙහිම කළගුණ තත්ත්වය ප්‍රහාරයට යහපත් අන්දමින් පවතින බවට වාර්ථාවිය.

කෙසේ වෙතත් මෙම ප්‍රමාදවීම නිසා, යානය කොකුරා වෙත ලඟා වනවිට නගරය 70% ක් පමණ වළාකුළු වලින් වැසී තිබුනි. ඉන්ධන වැයකරමින් නගරය උඩින් වට තුනක් ගමන් කලද බෝම්බය හෙලීමට තරම් ප්‍රමාණවත් දර්ශණයක් නොමැති හෙයින් බොම්බය නොහෙලන ලදී. ඒ අතර වාරයේ ජපාන ගුවන් යානාද අහසට නැගෙනු නිරීක්ශණය කල බැවින් හා යානයේ ඉන්ධන තත්ත්වය නරක අතට හැරෙමින් පැවතුන බැවින් වහාම කොකුරා වලට පහර දීම අත්හැර අනු ඉලක්කය වූ නාගසාකිය වෙත යන ලදී.

නාගසකියට එනවිට එයද වළාකුළු වලින් වැසී තිබුන බැවින්, බෝම්බ කරු රේඩාර උපයෝගී කරගන බෝම්බය හෙලීමට සූදානම් උවද පසුව දර්ශණය වූ සුළු විවරයකින් උදෑසන 11:01 සටහන්ව තිබෙන විට බෝම්බය හෙලීමට සමත් විය.

එම බෝම්බයද තත්පර 43 ක වැටීමකින් පසු පුපුරා යන්නේ හිරෝශීමාවේ සිදූවූ විනාශය නැවතත් ප්‍රතිනිර්මාණය කරමිනි. කෙසේවෙතත් බෝම්බය එල්ල කළ ඉලක්කයේ සිට සැතපුම් එකහාමාරකින් පමණ වෙනස් වීම කරනකොටගෙන නගරයේ සෑහෙන ප්‍රමාණයක් ප්‍රහාරයෙන් ආරක්ෂා වෙන නමුත් 60% පමණ ප්‍රමාණයක් සුන්නද්දූලි කොට දමමින් 75000 කට පමණ ක්ෂණික මරණයක් ගෙනදීමට "මහත මිනිසා" සමත් වේ.

"මැරෙන්ඩ නැත්නම් ගලේ ගහලත් මරන්ඩ බෑ" කියන සිංහල කියමන සනාථ කෙරෙන සිදුවීමකුත් මේ අස්සෙන් සිදුවී ඇත. නාගසකි වැසියෙකු වූ ට්සුටොමු යමගුචී 1945 අගෝස්තු 06 වන දින ව්‍යාපාරික කටයුත්තක් සඳහා හිරෝශීමාවට ගොස් සිටින අතර තුර බෝම්බය පුපුරා යනවිට ඔහු එයට කි.මි. 03 මෙපිටින් සිටියද බරපතල පිලිස්සුම් තුවාල ලැබුවේය. පසු දිනම සිය ගම් ප්‍රදේශය වූ නාගසාකි වෙත ගොස් ඇති අතර එහෙදී දෛවෝපගත ලෙස දෙවන බෝම්බයෙන්ද දිවි ගලවා ගැනීමට සමත්ව ඇත. යමගුචී වයස අනූවක් ආයු වළදා 2010 ජනවාරි මස මිය ගොස් ඇත.

නාගසාකියට ප්‍රහාරය එල්ල වී දින හයකට පසු එනම් අගෝස්තු 15 වන දින ජපානය යටත් වීමත් සමඟම දෙවන ලෝක සංග්‍රාමයේ නිමාව සනිටුහන් විය.


පරමාණු බෝම්බ ජපානයට හෙලීම පිළිබඳව අදටද විවාදාත්මක ප්‍රශ්නයක් ඇත. එනම් " සැබැවින්ම එය අවශ්‍යය වීද ? " යන්නයි. බෝම්බය හෙලීමට විරුද්ධ වූවන් අතර ප්‍රමුඛම පුද්ගලයෙකු වන්නේ පසු කලෙක ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙකුද වූ ජෙනරාල් අයිසන්හවර්ය. මෙම බෝම්බය ගැන යුධ ලේකම් වරයාගෙන් දැනගත් මොහොතේ සිට ඔහු එය නතර කිරීමට උත්සහා කළද එය පළනොදරන ලදී. ඔහුට අනුව ජපානය ගෞරවාන්විතව යටත් වීමක් ගැන සළකා බලමින් සිටින අතර මෙම ප්‍රහාරය එල්ල නොකලද ටික කලෙකින් ඔවුන් යටත් වීමට සූදානම්ව සිට ඇත.

එහෙත් බෝම්බ ප්‍රහාරයට පක්ශව අදහස් දක්වන අයගේ මතයනම් ජූලි 26 වන දින යටත්වීමේ නිවේදනය ජපානය පිළිනොගැනීම මෙම තත්ත්වය ඇතිකිරීමට හේතු වූ බවයි. ඒ අනුව මෙම විනාශයෙහි සම්පූරණ වගකීම ජපානය මතටම පැවරේ.


අමෙරිකානු විද්‍යඥයන් මෙම බෝම්බයේ විනාශකාරී බව දැන සිටියද එයින් ඇතිකල හැකි විනාශය එය සජීවී ජනගහනයක් සහිත ස්ථානයකදී භාවිතා කිරීමෙන් මිස දැනගත නොහැකි නිසා, අනවශ්‍ය වුවද මෙසේ බාවිත කළ බවද කියවේ. ජපානයේ නගර කිහිපයක් සාමාන්‍ය ගුවන් ප්‍රහාර වලට ඉලක්ක නොවීමට හේතුවත් මෙයම වේ.

මෙසේ යුද්ධයෙන් බිමට සමතලා වූ ජපාන ජනතාව, අපරිමිත කැපකිරීම සහ උත්සහායෙන් නැවතත් සිය රට කෙටිකලක් තුල ලෝක ආර්ථික බලවතකු බවට පත් කරන්නේ මුළු ලොවටම අගනා පාඩමක් කියා දෙමිනි.

සෑම වසරකම අගෝස්තු 06 වන දින ඉර බැස යන යාමයේ හිරෝශීමා නදියේ දහස් ගනනින් ඉටි පහන් පා කරමින් අදටද ජපාන ජනතාව එම විනාශය කණගාටුවෙන් යුතුව මෙනෙහි කරති.

මූලාශ්‍ර ;

> http://en.wikipedia.org/wiki/Atomic_bombings_of_Hiroshima_and_Нагасаки
> http://www.naturalnews.com/019176.хтмл
> http://www.nuclearfiles.org/menu/educators/study-guides/history_decision-to-drop-bomb.хтм
> http://www.whale.to/b/mullins8.html#A__NEW___MISISION_
> http://www.gwu.edu/~nsarchiv/NSAEBB/NSAEBB162/index.хтм
> http://www.atomicarchive.com/Docs/ManhattanProject/
> http://en.wikipedia.org/wiki/Einstein_литер
> http://en.wikipedia.org/wiki/Timeline_of_the_Manhattan_Проект
> http://en.wikipedia.org/wiki/Albert_Еинстеин
> http://www.losalamoshistory.org/manhattan.хтм
> http://en.wikipedia.org/wiki/Manhattan_Проект
> http://www.alternatewars.com/Bomb_Loading/Bomb_Guide.хтм
> http://www.youtube.com/watch?v=jY9VwCE_Dsg&feature=релатед
> http://www.youtube.com/watch?v=SwHds1any9Y&feature=релатед
> http://www.youtube.com/watch?v=ложГ4П1РИ
> http://www.youtube.com/watch?v=МДаи9н5ЭМ
> http://www.youtube.com/watch?v=dirD3lJL1L8&feature=релатед

~~සෙන්නා / 16.02.2012

Sechszehn හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog