Thursday, February 7, 2013

ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා... | සංශෝධිත නිකුතුව



2013 නවම් මස 07වනදා

තකද "ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා"  ?

ඕක තමයි කුරුන්දෙ දිශානතිය වෙනස් කරපු ලිපිය. නොහිතපු විදිහට පාඨක ආකර්ෂණයට ලක් වෙච්ච ලිපිය. අදටත්, කුරුන්දෙ ලිපි අතරින් වැඩිම පිරිසක් කියවපු ලිපිය. මේක කුරුන්දෙ තුන්වෙනි ලිපිය. ඊට කලින් දාපු ලිපි දෙකට මගේ ප්‍රතිචාරත් එක්ක ප්‍රතිචාර දහයක් දොළහක් තමා තිබුණෙ. හැබැයි මේක රොකට් එක වගේ කඩාගන උඩට ගියා. දවස් දෙකතුනක් යනකොට මගෙ ඒවත් එක්ක ප්‍රතිචාර හතළිස් ගාණක් වුණා. අංකුර බ්ලොග් කාරයෙක් වෙච්ච මට ඒක මහ මෙරක් වගේ. සතුට උපරිමයි. මහන්සි වෙලා තොරතුරු හොයලා හදපු ලිපිය කට්ටිය කියවලා අගය කරද්දි දැනුණ සතුට නිමක් නෑ..

ඒත්, කියන්ඩ කණගාටුයි.. මට මේ ළඟදි දැනගන්න ලැබුණා ලිපියෙ අන්තර්ගත සමහර කරුණු සත්‍යයෙන් බොහෝ දුරස්ථ බව. ඒ වගේම අසම්පූර්ණයි කියලා. ඉතින් මම තීරණය කළා ලිපිය නැවත සංශෝධනය කරන්න. නොකියවපු අයට කියවන්නත්, කියවපු අයට නිවැරදි තොරතුරු එක්ක නැවත කියවන්නත් මේකෙන් අවස්ථාව ලැබේවි. සංශෝධනයට හේතු වෙච්ච සබැඳි යටින්ම රතු පාටින් සලකුණු කරල තියනවා. ඒවත් කියවලා, ශ්‍රවණය කරලා බලන්න. 


~~~~~




දිනය, 1982 ජුනි 30 වැනිදා. ටෝකියෝ බලා ගමන් කිරිමට නියමිත ගුවන් යානය, ලහි ලහියේ ඒ සඳහා සුදානම් වෙමින් පවතී. සියළු මගීන් යානයට ගොඩවී තමනට වෙන්වු අසුන් සොයා යයි. ගුවන් සේවිකාවන්ද ඔවුන්ට සහය වෙමින් යානය ගුවන් ගත කිරිමට අවශ්‍ය පූර්ව සුදානම් කිරිම් වල නියෙලෙමින් සිටියාය. මොහොතකින් සියල්ල සුදානම්. මගීන් 340 ක් රැගත් Alitalia 1790 ( Boeing 707 ) ගුවන් යානය නව දිල්ලි අහස් කුස දෙබෑකරගන ගුවන් ගතවිය.

සියල්ල යථාපරිදි සිදුවෙමින් පැවතුනි. මගීන් සුවපහසු ලෙස සිය අසුන්වලට බරදෙමින් සිටින අතරතුර කාර්‍ය්‍යය මණ්ඩලය සිය කටයුතුවළ නිරත වෙමින් සිටී.

යානය අඩි 35,000 ක්වු, පියාසර මට්ටමට ලඟාවිය. මේ අතරතුර එක් ගුවන් සේවිකාවක් විසින් කපිතාන් Georgo Amarosa වෙත මගියෙකුගෙන් ලද ලියමනක් යොමුකරන ලදී. තමන් විසින් පාලනය කරනු ලබන යානය සිය පාලනයෙන් ගිලිහී ඇති බව අවබෝධ කොට ගැනීමට මේ පළපුරුදු නියමුවාට එම ලිපිය දෙවරක් කියවීමට අවශ්‍ය නොවුනි.

                                     ~~~~~

1949 ජුනි 03 වෙනිදා, මාතර කරතොට ග්‍රාමයේ උපත ලබන සේපාල, හම්බන්තොට යෝධකණ්ඩිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබයි. කුඩාඅවදියේ සිටම විප්ලවකාරි චරිතයක් වන සේපාල, 50 දශකයේ අග බාගයේදී සිය පියාත් සමඟ ඇතිකරගන්නා ආරවුලක් හේතුකොටගෙන නිවසින් පිටව ගොස්, එවකට ආනන්ද කනිශ්ඨ විද්‍යාලයේ විදුහල්පති  D.L.B. පෙරේරා මහතාගේ නිවසේ නතරව සිටී. 1972 දී, බටහිර ජර්මනියේ සිටි සිය අසල්වැසි මිතුරකු මාර්ගයෙන් සේපාල ඉසුරු සොයා බටහිර ජර්මනිය බලා යෑමට තීරණය කරයි.

1973 දී, බටහිර ජර්මනිය බලා යන සේපාල, පළමුවෙන්ම කම්කරුවෙකු ලෙස අව්රුදු තුනක් බටහිර ජර්මනියේ රැකියාව කරයි. මේ අතර තුර, ඉතාලි ජාතිකයන් කිහිප දෙනෙකු සමඟ මිතුදමක් ගොඩ නගා ගන්නා සේපාල, 1976 ඔවුන්  සමඟ ඉතාලියට පැමිණ,  සිය මිතුරන් ගේ සහායෙන් ඉතාලියේ මොඩෙනා නගරය ආසන්නයේ ගොවිපලක රැකියාවක් ලබා ගනී.


සිය මිතුරකු මාර්ගයෙන් Anna Aldrovandi හඳුනා ගන්නා සේපාල, ඇය සමඟ පෙම්සබඳ තාවයක් පටන් ගන්නා අතර, ටික කලකින් එක්ව වාසය කිරිමට පටන් ගනී. 1978 දී සිය දරුවා වූ ෆ්‍රී ඒකනායක, ඔවුන් අතරට පැමිනෙන අතර එම වසරේදීම ඇනාගේ පාර්ශවයෙන් එල්ලවන විරෝධයද නොතකා ඔවුන් නීත්‍යණුකූලව විවාහ වේ.


කාලය සෙමෙන් ගලා ගියේය. කාලයාගේ ඇවෑමෙන් සේපාල හා අන්නා අතර සබඳතාවය බිඳී යන තැනටම කටයුතු සිදු වෙමින් පැවතුණි. ඔවුන්ගේ විවාහ දිවිය එතරම් සාර්ථක එකක් නොවුණි. 

මේ අතරතුර, සේපාල විසින් වාර්ෂික අලුත් කිරීමට භාරදුන් සිය පුරවැසිභාවයට අදාළ කිසියම් ලියවිල්ලක් නැවත ලබා ගැනීමට අදාළ කාර්යාලයට ගිය විට ඔවුන් පවසා සිටියේ තමනට එවැනි ලියවිල්ලක් ඔහුගෙන් නොලැබුණ බවයි. එහෙත් එම කාර්ඩ් පත අලුත් කිරීම උදෙසා ඔවුනට භාරදුන් බවට මතකයක් ඇති සේපාල විසින් එය පිළිබඳව සොයා බලන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියද සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණි. ඔවුන් දැනුම් දුන්නේ ලංකාවට ගොස් එහි තානාපති කාර්යාලයෙන් විමසා බලන ලෙසයි. එම උපදෙස් මත සේපාල ලංකාවට පැමිණියද ඔහුව මවිත කරවමින් ඉතාලි තානාපති කාර්යාලය දැනුම් දුන්නේ එවැනි කාඩ් පතක් තමනට එවා නොමැති බවත්, එය භාරදුන් කාර්යාලයෙන්ම නැවත ලබා ගන්නා ලෙසත්ය. සේපාල නැවතත් ඉතාලියට ගමන් කෙරුවේය. ඉතාලියට ගොස් අදාලා කාර්යාලයට ලංකාවේ තානාපති කාර්යාලයෙන් දැනුම් දුන් දේ දන්වා සිටියද ප්‍රතිඵලයක් රහිත විය. මාස දෙකක පමණ ඔහු ඉතාලියේ සිට ඒ සම්බන්ධයෙන් වෙහෙසුනද පලක් නොවුණි. ඔවුන් සෑම විටම පවසා සිටියේ ලංකාවට ගොස් එහි ඉතාලි තානාපති කාර්යාලයෙන් අදාළ ලියවිල්ල ලබා ගන්නා ලෙසයි. එබැවින් සේපාල නැවතත් ලංකාවට පැමිණීමට සිදුවිය.

සේපාල පවසන පරිදි අදාළ ලියවිල්ල ඉතාලියට ඇතුල්වීම සඳහා ඔහුට අවශ්‍යය නොවුණත්, එහි රැකියාවක් කිරීම වැනි කටයුතු සඳහා එය ඉතා ප්‍රයෝජනවත් වේ. එබැවින් ඔහුට මෙය නැවත ලබා ගැනීමේ දැඩි උවමනාවක් විය. ලංකාවට පැමිණි පසු හත් අට වරක්ම ඉතාලි තානාපති කාර්යාලයට ගොස් මේ පිළිබඳව විමසා සිටියද ඔවුන් විසින් ඔහුව රස්තියාදු කරමින් නැවත නැවත පැමිණ බලන ලෙස දන්වනවා මිස ප්‍රතිඵලදායක යමක් නොවුණි. ඉවසීමෙහි අන්තිම සීමාවත් ඉක්මවා ගිය සේපාල විසින් අවසානයේදී දිනක් එහි සිටි නිලධාරියාට තදින් කතා කරන්නට යෙදුණි. අවාසනාවකට තරුණවියෙහි සිටි නිළධාරියාද සේපාල සමඟ බහින්බස්වීම නිසා එය ආරවුලක් බවට හැරුණි. තානාපති නිළධාරියාවත්, සේපාලවත් එකිනෙකාට යටත් වීමට මැලිකමක් දැක්වීය. අවසානයේදී එය ඔවුන්ගේ පෞරුෂය පිළිබඳ ප්‍රශ්නයක් බවට පෙරලුණි. දෙදෙනාගෙන් එක් අයෙකුවත් අනෙකාට දිනුම දීමට සූදානම් නොවීය. මෙසේ බහින් බස් වීම යන අතරතුර ඇවිලෙන ගින්නට පිදුරු දමමින් එම නිලධාරියා අතින් සේපාලගේ ලියකියවිල වගයක් බිම පතිත විය. සේපාලට එය ලෙහෙසියෙන්ම අහුලා ගත හැකි වුවද පැවති වාතාවරණය නිසා නිලධාරියා විසින් ඒවා අහුලා දිය යුතු බව ඔහු තදින් පවසා සිටියේය. මෙහිදී එම නිලධාරියා;


" උඹ ඔහොම හැසිරුනොත් උඹට ආව කාරණාව කවදාවත් ඉෂ්ට කරගන්න බැරිවෙයි." යයි පැවසීය.

" උඹ කරලා නොදුන්නට මම දන්නවා ඒක කරගන්නෙ කොහොමද කියලා"

"හඃ පුළුවන්නම් කරගනින් "

" මට සති දෙකක් කල් දෙන්න " යැයි කියමින් ආයෙ කිසි දිනක මෙහි පස් නොපාගමියි අදිටන් කරගත් සේපාල එතනින් එළියට බැස්සේය.

මෙසේ අභියෝගකොට තානාපති කාර්යාලයෙන් පිට වුවද, අභියෝගය ජය ගැනීමට කළ යුත්තේ කුමක්දැයි ඒ වනවිටත් සේපාලට අදහසක් නොවුණි. ඒ ගැන සිය කල්පනාව මෙහෙයවනන්ට වූයේ තානාපති කාර්යාලයේ මිදුලේ සිටමය. තානාපති කාර්යාලයට පහරදීම, තානාපති කාර්යාලයේ පිරිසක්ව ප්‍රාණ ඇපයට ගැනීම වැනි නොයෙක් නොයෙක් විකාර අදහස් ඔළුවට පැමිණියත් ඒ එකක්වත් ක්‍රියාත්මක කිරීමට ඔහු මැලිවිය. අවසානයේදී කළ යුතු කුමක්දැයි ඔහු විසින් තීරණය කෙරුණේ තානාපති කාර්යාලයේ මිදුලෙන් ඉවත්ව ඒමටත් ප්‍රථමය. 

1982 ජූනි අග, සේපාල තවත් සිය මිතුරකු සමඟ නව දිල්ලි නගරයට පැමිණියේ සිය සැළසුම් සහගත වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අදහසිනි. නමුත් ඔහුගේ මිතුරා මොහු කිරීමට යන භයානක කාර්යය පිළිබඳව හාන්කවිසියක්වත් නොදැන සිටියේය. කෙසේ නමුත් අවසානයේදී ඔහුගෙන් අවශ්‍යතාවයක් නැතැයි තීරණය කළ සේපාල, නැවත ඔහුට ලංකාවට යන ලෙස දැනුම් දී ඔහුගෙන් වෙන් විය.

1982 ජුනි 30, සිය සැලසුම සිතේ තබාගෙන සේපාල නව දිල්ලි ගුවන් තොටේ රඳවා තිබූ අලිතාලියා ගුවන් යානයට ගොඩ වී අසුන් ගත්තේය.. ඔහුගේ අරමුණ වූයේ භාරගත් අභියෝගය ජයගැනීම උදෙසා මෙම ගුවන් යානය පැහැර ගැනීමයි. මෙය එක්තරා විදිහක පිස්සුවක් යැයි කෙනෙකුට හැඟී යා හැකිය. ඒ වන විට කිසිඳු ශ්‍රී ලාංකිකයකු මෙවැනි ක්‍රියාදාමයකට කිසිදා සම්බන්ධ නොවී තිබුණි. නමුත් දැන් සේපාල ඒ සඳහා තනිවම අතගසා ඇත. එවකට පැවති ගුවන්යානා පැහැර ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය වූයේ ආයුධ රැගෙන යානයට ඇතුල් වී නියමුවා මරණ බවට තර්ජනය කොට, යානයේ පාලනය කොල්ලකරුවන්ගේ අතට ගැනීමයි. එහිදී මුලු යානය පුරාම ඔවුන් භීෂණය පතුරවන අතර මගීන්වද ත්‍රාසයට පත්කෙරේ. මෙම සාම්ප්‍රදායික ක්‍රමය මැඩ පැවැත්වීමට එවකට කමාන්ඩෝ බළකායන් ඒ පිළිබඳව හොඳ පුහුණුවකින් සිටින බව දත් සේපාල, විකල්ප ක්‍රමයක් කෙරෙහි සිය අවධානය යොමු කළේය. එතුළින් ඔහු විසින් ගුවන් යානා මංකොල්ල කෑමේ ශ්‍රී ලාංකීය ක්‍රමවේදය ලොවට හඳුන්වා දුන්නේය. 


~~~~~


සේපාල ඒකනායක

යානය ගුවන්ගතවී මොහොතකින්, සේපාල විසින්, තමාට සිදුවූ අසාධාරණය සඳහන් කොට, එයට සාධාරණයක් ඉෂ්ටකර ගැනීම උදෙසා තමාට අකමැත්තෙන් වුවද යානය තමන්ගේ අතට ගැනීමට සිදුවන බවත්, එසේ නොවුණහොත් තමන් යානය පුපුරුවා හරින බවට තර්ජනයක් කෙරුණු ලිපියක් යානයේ නියමුවා වූ කපිතාන් අමරෝසා වෙත ලිවීය. එහිම ඔහු විසින් සිය ඉල්ලීමද සඳහන් කිරීමට වගබලා ගත්තේය.

ලිපිය ගුවන් සේවිකාවකට ඉදිරිපත් කොට එය ගුවන් නියමුවා වෙත රැගෙන යන ලෙස කීවද ගුවන් සේවිකාව එයට විරෝධය පෑවාය. නමුත් සේපාල ඉන්පසුව තදින් කළ අණ කිරීමට යටත් වී ඇය ලිපිය කපිතාන් වරයා වෙත ගෙන ගොස් භාර දුන්නාය.

මොහතකට පසු පිටුපස වූ දුරකථනයක් අසලට ගිය සේපාල එමගින් කපිතාන්වරයාට අමතා ලිපිය ලැබුනේදැයි විමසා සිටියේය. ලිපිය ලද බවත් තමන් එය කියවමින් සිටින බවත් කපිතාන් වරයා සේපාලට දැනුම් දුන්නේය. විනාඩි දහයකින් නැවත අමතන බව සඳහන් කළ සේපාල සිය අසුනට නැවත බරවිය. මේ අතර යානයේ කටයුතු සුපුරුදු පරිදි කෙරෙමින් පැවතිණි. ආහාර ගන්නන් ආහාර ගනිමින්ද, මධු විත තොල ගාන්නන් එසේ කරමින්ද සුව පහසු ලෙස සිටියහ. යානය පැහැර ගැනීමකට ලක්වී ඇති බව කිසිඳු මගියෙක් ඒ වන විටත් නොදැන සිටියහ. ගුවන් යානා පැහැර ගැන්මේ ශ්‍රී ලාංකීය ක්‍රමවේදයේ වෙනස එයයි.

නැවත විනාඩි දහයකින් පමණ සේපාල විසින් නියමුවා ඇමතීය. නමුත් නියමුවා එක වරම යටත් වීමට අදිමදි කොට සේපාල හා බහින්බස් විය. එහෙත් පසුව සේපාලගේ තර්ජනය හමුවේ අසරණවූ නියමුවා ඔහුට යටත් විය.

" සියලුම මගීන් සිය ආසන පටි සවිකරගන, හදිසි ගොඩබැස්සවීමක් සඳහා සුදානම් වන්න"

නියමුවාගෙන් නිකුත් වූ මෙම නිවේදනයත් සමගම, එක් මගියකු හැර අනික් සියළුම මගීන් තුෂ්නිම්භූත විය. අවිනිශ්චිතතාවයට පත්විය. සිදුවෙමින් පවතින්නේ  කුමක්දැයි ඔවුන්ට සිතා ගැනීමට අපහසු විය. 

සේපාල ඒකනායකගේ නියෝගය මත, යානය බැංකොක් ගුවන්තොටුපලට ගොඩබැස්සවීය. ඔහු විසින් කරන ලද ප්‍රධාන ඉල්ලීම් තුනකි.

1. ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා, ඔහු වෙත පැමිණවිය යුතුය.
2. ඩොලර් 300,000.00 මුදලක් ඔහුට ගෙවිය යුතුය.
3. සියළුම මගීන්, ආරක්ෂක පරික්ෂා කිරීම් වලින් තොරව ගුවන් යානයෙන් පිටවීමට අවසර දිය යුතුය.

මෙම පැහැර ගැනීමේ අරමුණ පෙර සඳහන් ලියවිල්ල ලබා ගැනීම වුවද මෙම පැහැර ගැනීමෙන් පසුව තමාට නැවත ඉතාලියට යාමට නොහැකි බව සේපාලට පසක් විය. අනෙක් කරුණ වූයේ ගුවන්යානයක් මංකොල්ලකා කුඩා කාඩ් පත්‍රයක් ඉල්ලා සිටීම ලෝකයා ඉදිරියේ විහිළුවකට කාරණයක් වීමයි. එමනිසා ඔහු එම කාර්ඩ් පත වෙනුවට තමාගේ පුත්‍රයාව තමන් ළඟට ගැනීමට කල්පනා කළේය. අණ්නා සමඟ තමාගේ සබදතාවය කෙතරම් දුරස් උවද දරුවාට මව නොමැතිව සිටිය නොහැකි බැවින් ඇයවද ඉල්ලා සිටියේය. එයට අමතරව මෙම සමස්ත ක්‍රියාදාමයටම තමන්ට වූ වියදම් පියවා ගැනීම සඳහා ඩොලර් 300,000/- මුදලක් ඉල්ලා සිටියේය. සේපාලගේ අර්ථකථනයට අනුව මෙම මුදල ඉල්ලා සිටියේ කප්පමක් වශයෙන් නොව හුදෙක්ම සිය වියදම් පියවා ගැනීමේ අරමුණින් පමණකි. මේ එය සේපාලගේම වදනින්;

"පැහැදිලිවම මම එදත් කිව්වා ඒක කප්පමක් නොවෙයි. මට මේ ක්‍රියාවලියට යම්කිසි මුදලක් වියදම් වුණා. ඉතාලියට යන්න එන්නත්, ගුවන් යානා කොල්ලයට අවශ්‍යය දේවල් ගන්නත්. නමුත් ඩොලර් ලක්ෂ තුනක් වියදම් වුණේ නෑ. ඒත් ඉතාලිය වගේ රටකින් ඩොලර් 40000ක් ඉල්ලන්න ලැජ්ජයිනෙ. ඒක හරියට ලංකා ආණ්ඩුවෙන් රුපියල් 50ක් ඉල්ලනවා වගේ වැඩක්නෙ. ඒ වගේම මේ සිදුවීමෙන් පස්සෙ අළුත් ජීවිතයක් ගත කරන්නත් එපැයැ. ඒ නිසා මම කිව්වා ඩොලර් ලක්ෂ 03ක් දෙන්න කියලා. කප්පමක් ඉල්ලුවනම් මම ඉල්ලනවා ඩොලර් මිලියන 30ක් වගේ ගාණක්. මොකද ඉතාලියෙන් කප්පම් ගන්නවනම් ලක්ෂ ගණනින් අරන් වැඩක් නෑ. ඒක ඉතාලියත් දන්නවා. මොකද මම මේ තත්ත්වයට පත්වුණේ ඉතාලි රජයේ වරදින්. ඒ අනුව තමයි මම මේ ඉල්ලීම ඉල්ලුවෙ." 


මේ අතර සේපාලගේ ඉල්ලීම මත ඔහු අසල සිටි මගීන්ව, ඔවුනට වෙනසක් නොදැනෙන ලෙස ඉදිරි අසුන් කරා යොමු කරවන ලදී. ඉන් ටික වේලාවකට පසු යානය බැංකොක් ගුවන්තොටුපලට ගොඩ බැස්වූ අතර කාර්මික දෝෂයක් නිසා යානය සැලකිය යුතු වේලාවක් බැංකොක් ගුවන්තොටුපළේ නවතා තැබීමට සිදුවන බව නියමුවා විසින් මගීන්ට දන්වා සිටියේය.

නියමුවා වූ කපිතාන් ජෝජෝ අමරෝසා සහ සේපාල අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව සුහදව කටයුතු කිරීමට තරම් එකිනෙකා සමඟ සුහදව සිටියහ. සිය ඉල්ලීම් ඉතාලි රජයට දැනුම් දුන් බව කපිතාන් විසින් සේපාල වෙත දන්වා සිටියේය. මේ අතර සේපාල විසින් කොළඹ ඉතාලි තානාපති කාර්යාලයේ සිටි අදාළ නිලධාරියාව සම්බන්ධකොට දෙන ලෙස කපිතාන්ගෙන් ඉල්ලා සිටියේය. ඉල්ලීම ඉටු විය.

"ඔන්න මම මගේ පොරොන්දුව ඉෂ්ට කළා,ඔයා සූදානම් වෙන්න" යි සේපාල විසින් පවසන විටම ඔහු විසින් දුරකථනය විසන්ධි කළේය. නැවත මොහොතකට පසු ඔහු හා සම්බන්ධ වූ සේපාල තමන්ට පැවසීමට ඇති දෑ පවසා අවසානයේදී " ඔයා ලෑස්ති වෙන්න ආපහු ඉතාලියට යන්න" යැයි කියමින් සංවාදය නතර කළේය.

කටයුතු යහපත්ව සිදු වෙමින් පැවතුණි. කපිතාන්වරයා විසින් වරින් වර සියලු විස්තර වාර්තා කොට සිටියේය. සිය දරුවා සහ බිරිඳ ඉතාලියෙන් පිටත්වූ බවද සේපාලට දැනගැනීමට ලැබුණි. සිය ඉල්ලීම් ලැබීමට යන බව දැනගත් සේපාල විසින් වයසක අය සහ ස්ත්‍රීන්ව පිටත් කිරීමට අවසර ලබා දුන්නේය.

මේ අතර යානය පැහැරගැනීමකට ලක්වී ඇති බව මගීන්ටද අවබෝධවී තිබුණි. එහෙත් ඔවුන්ව මවිත කරමින් පැහැර ගත්තෙක් දක්නට නොවුණි. ඔවුන් දැන සිටියේ තුවක්කු, රයිෆල් මානාගෙන යානය යටත් කරගන්නා මංකොල්ලකරුවන් පිළිබඳව පමණී. එබැවින් ඔවුන් දකින්නට බලාපොරොත්තු වූයේද එවැනි දසුනකි. එහෙත් මෙහි තත්ත්වය ඉඳුරාම වෙනස් විය. හාස්‍යජනක කරුණනම් එක මගියකු සේපාල වෙතම පැමිණ "කවුද ප්ලේන එක හයිජැක් කරලා තියෙන්නේ !" යයි විමසීමයි. " මමත් මේ ඒ ගැන තමයි හොයන්නෙ." යැයි පවසා සේපාල එයින් මගහැරීය. 

පසු දින රාත්‍රියේ, නිතර කවුළු තුළින් අවට නිරීක්ෂණය කරමින් සිටි සේපාලට අමුතු දසුනක් දක්නට ලැබුණි. ඒ යානය දෙසට සෙමෙන් සෙමෙන් ඇදෙන කමාන්ඩෝ භටයන්ගේ දසුනයි. ඉතාලි රජය ලෙහෙසියෙන්ම යටත්වීමට සූදානම් නොවන බව සේපාලට වැටහුණි. වහාම නියමුවාට ඇමතූ සේපාල;

"ජොජෝ, ඔයා අද ගෙදරින් එනකොට මොකක් කියලද ආවෙ ? යන්නම් කියලද නැත්නම් ගිහින් එන්නම් කියලද ? "

"ගිහින් එන්නම් කියලා සේපාල."

"මමනම් යන්නම් කියලා ආවෙ, මොකද මට ආපහු ගෙදර යන එක ශුවර් නෑනෙ. ඔයා ගෙදරට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න පුළුවන් කියලා ඔයාට විශ්වාසද ? "

"අපි දෙන්නා බොහොම සුහදව වැඩ කරනවනෙ සේපාල, ඉතින් මම හිතන්නෑ එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා. "

"මගෙ නෙමේ ප්‍රශ්නෙ තියෙන්නෙ ජෝජෝ, පොඩ්ඩක් කව්ළුවෙන් බලන්නකො නැගෙනහිර පැත්ත, එතැන වෙන දේ නිසා සමහර විට ඔයාට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වෙයි"

"මගෙන් අවසරයක් නැතුවයි මේ අය මේ එන්නෙ. මම ඒ ගොල්ලන්ව ඉවත් කරන්නම්"

"මටනම් ප්‍රශ්නයක් නෑ ජෝජෝ, මම යන්නම් කියලා ආපු මිනිහනෙ. ඒත් ඔයා ගිහින් එන්නම් කියලා ආපු එක්කෙනානෙ. ඒ වගේම, පළමු පහර දීම මගෙන් නෙමේ වෙන්නෙ, මොනවා වුණත් සේපාල තනියෙන් මැරුම්කයි කියලා නෙමේ, සියගාණක් මරාගෙන මැරෙයි කියලා පත්තර වල වැටෙයි."

එසැනින් ක්‍රියාන්විතය අවලංගු කෙරිණ.


~~~~~

අවසානයේදී, සේපාලගේ බිරිඳ සහ දරුවාද, ඉල්ලූ මුදලද බැංකොක් වෙත ලඟාවූ බව නියමුවා විසින් සේපාල වෙත දැනුම් දුන්නේය. කෙසේවෙතත්, සියල්ල එලෙසින්ම විශ්වාසයට ගැනීමට අදිමදි කල සේපාල, තමන්ට තම දරුවාගේ කට හඬ ශ්‍රවණය කිරීමට අවැසිබව දන්වා සිටියේය. ( පසුකලෙක ෆ්‍රී ඒකනායක, තමාට මෙම සිද්ධිය මතක බවද සඳහන් කළේය. ) සිය ඉල්ලීම් සියල්ල ලබාගත් පසු සේපාල විසින් යානය එහි මගීන් සමඟම නිදහස් කොට තමන්ද එයින් පිටත් විය.

මෙහිදී සේපාල හමුවට එන එවකට තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපතිනිය වූ, මානෙල් අබේසේකර මහත්මිය, ඔහුට නැවත කිසිදු බියකින් තොරව ශ්‍රි ලංකාව බලා යා හැකි බව දැනුම් දුන්නාය. ( මෙම ප්‍රකාශය ගැන පරස්පර විරෝදතා ඇති අතර, පසුකලෙක ඇය විසින් එය මෙසේ ප්‍රතික්ශේප කොට ඇත.) එබැවින් සේපාල විසින්, තමන් කලින් සැලසුම් කොට තිබූ ගමනාන්තය වෙනස් කොට ශ්‍රී ලංකාව බලා යාමට තීරණය කළේය.

සේපාල, 1982 ජුලි 02 වන දින සිය බිරිඳ සහ දරුවා සමගින් ලංකාවට පැමිනෙන්නේ රුහුණේ ජනතාව වෙතින් වීරයකුට ලැබෙන පිළිගැනීමක්ද සමගිනි. ඩොලර් 300,000/- ක්වු මුදලද කිසිඳු අවහිරයකින් තොරව රේගුවෙන් නිදහස් කරගන්නා සේපාල, ගුවන්තොටුපලේ සිට Ceylon Inter- Continental හෝටලය වෙත ගමන් කෙරුවේය.

මෙම සිද්ධිය විශ්ලේෂණය කොට බැලීමේදී, සමාජගතව ඇති ජනප්‍රිය මතය වන " සේපාල මේක කළේ දරුවා වෙනුවෙන්" ය යන්න බැහැර කිරීමට සිදුවේ. ඔහුට ඉතාලියට යාමට බාධවක් නොවුන බැවින් අවැසිනම් ඉතාලිය ගොස් දරුවා සමඟ විසීමට හෝ රැගෙන ලංකාවට පැමිණීමේ හැකියාව ඔහුට තිබුණි. මෙය තරුණ මදයෙන් හා උද්ධච්චකමෙන් මත්වූ තරුණයකුගේ ආවේගකාරී ක්‍රියාවක් යැයි පැවසීම වඩාත් සත්‍යයට ආසන්නයැයි සිතිය හැක. දරුවාව ඉල්ලා සිටීම මෙම ක්‍රියාවලිය නිසා හට ගන්නා අතුරු ප්‍රතිඵලයක් හේතු කොටගෙන ඇතිවූ තත්ත්වයක් පමණක් වේ. 

***************************************************************************************************************
***************************************************************************************************************

සිද්ධිය මෙසේ අවසන් වුවද, ඉතාලි රජය සහ ජාත්‍යන්තරය එය ලෙහෙසියෙන් අත්හැරීමට සූදානම් නොවීය. ශ්‍රි ලංකා රජයට බලකරමින් ඔවුන් දන්වා සිටියේ, සේපාලව  අත්අඩංගුවට ගෙන ඉතාලි රජයට බාර දිය යුතු බවයි. සුපුරුදු පරිධි සිය තර්ජනාංගුලිය දිගුකරමින් ලෝක පොලිස් කාරයා වූ ඇමරිකාව දන්වා සිටියේ, ශ්‍රි ලංකාව මේ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වුවහොත්, ශ්‍රි ලංකාවද ගුවන් මංකොල්ලකෑම් සම්බන්ධයෙන්, ලිබියා රාජ්‍යය ගණයේ රටක් ලෙස සැලකීමට සිදුවන බවයි. නැග එන ජාත්‍යන්තර පීඩනය හමුවේ ශ්‍රි ලංකාවද මේ සම්බන්ධයෙන් යම්කිසි දෙයක් කළයුතු තැනට තල්ලුවෙමින් පැවතුනි.

1982 ජූලි 02 වන දින රාත්‍රී 0800 පමණ, විදේශ ඇමති A. C. Shaul Hamid සිය ජේෂ්ඨ නිළධාරි මණ්ඩලය, නීති උපදේශක වරුන්, විදේශ ලේකම් සහ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක  සිය නිළ නිවසට කැඳවන්නේ මේ තත්ත්වය හමුවේ යම් දෙයක් කලම යුතු වූ බැවිනි.

පැයක පමණ සාකච්චාවකින් පසු, කොළඹ දිශාව බාර නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතාවද සාකච්චාවට සහභාගී කරගැනිම සඳහා කැඳවන ලදී. මිනිත්තු 15 ක් පමණ කාලයකදී එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා අදාළ ස්ථානයට පැමිණුනි. අවෙලාවේ කැඳවීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කොට සිටි, විදේශ ඇමති තුමා, කැඳවීමට හේතුව කෙටියෙන් විස්තර කරන ලදී. මෙය ශ්‍රි ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් නිළ වශයෙන් දැනුවත් කළ මුල්ම අවස්ථාව විය.

මේ අතර සේපාල සිය බිරිඳ සහ දරුවා සමගින් Ceylon Inter- Continental හෝටලයේ 730 කාමරයේ නතරවී සිටි අතර, දෙස් විදෙස් මාධ්‍ය ඇතුළු, ඉතා විශාල පුද්ගල සංඛ්‍යාවක් ඔහුව හමුවීමට පැමිණෙමින් සිටියේය. කොටුව පොලිසිය සේපාලගේ සියළු කටයුතු සම්බන්ධයෙන් ඇස ගසාගන සිටි අතර නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතාවද දැනුවත් කොට තිබීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ඇමති තුමා ඇතුළු පිරිස, නවතම තත්ත්වය පිළිබඳව දැනුවත් කළහැකිවිය. ඇමති තුමා මේ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකොට සිටියේය.

අවසානයේදී, දීර්ග සාකච්චාවකින් පසුද, ගත හැකි ක්‍රියාමර්ගයක් නොදුටු ඇමතිතුමා, නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහාතා දෙසට හැරෙමින්,

"ඇයි අපිට මේ මනුස්සයව අත් අඩංගුවට ගන්ඩ බැරි ? " යැයි ඇසීය.

" සර්, මේ සම්බන්ධයෙන් පුවත් පත් වාර්ථා මිස, මේ දක්වා කිසිදු පාර්ශවයකින් අපිට පැමිණිල්ලක් ලැබිලා නැහැ. අනිත් එක, ශ්‍රි ලංකා නීතියේ හැටියට ඔහු කිසිදු අපරාධයක් නොකරපු කෙනෙක් හැටියට තමා සලකන්ඩ වෙන්නේ, මොකද ගුවන් යානා මංකොල්ලකෑම් වලට එරෙහි නීතියක් මේ දක්වා ශ්‍රි ලංකාවේ සම්මත කරගන නැහැ."

මේ අවස්ථාවේදී එක් නීති උපදේශකයකු කතා කරමින්,

" සර් අපි මේ සම්බන්ධයෙන්, පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉක්මනින්ම සම්මත කරගමු."

"තමුසෙට පිස්සුද ? ඕකට සතිගානක් යයි. අනිත් එක විපක්ශෙන් අපිට හොඳ ප්‍රහාරයක් හම්බවෙයි, IATA සම්මුතියට අත්සන් කරපු වෙලාවෙම මේක සම්මත කරගතේ නැති එක ගැන." ඇමතිතුමා කෝපයෙන් උත්තර දෙයි.

මෙහිදී කතාකල නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා, "සර් මේකට සම්බන්ධ කුමන හෝ පාර්ශවයකට, මේ ගැන පැමිණිල්ලක් කරන්ඩ පුළුවන්නම්, මම වගකීම බාර අරගන ඔහුව අත් අඩංගුව ගන්නම්." තවදුරටත් කතාකරමින් ඔහු යොජනා කොට සිටියේ Alitalia ගුවන් සේවයේ අයිතිකරුවන් ලෙස, ඉතාලි රජය වෙනුවෙන්, ඉතාලි තානාපති මේ සම්බන්ධයෙන් පමිණිල්ලක් කරන්නෙනම් වඩාත් ප්‍රතිඵලදායක විය හැකි බවයි.

මෙහිදී දුරකථනය වෙත ගිය ඇමතිතුමා ඉතාලි තානාපතිවරයා අමතන්නට විය. " මිනිහා දැන්මම එන්නම් කිව්වා "  කියමින් ඇමතිතුමා දුරකථනය විසන්දි කළේය.

රාත්‍රී 11.00 ට පමණ ඉතාලි තානාපති Franco Micieli de Biase මහතා, එම ස්ථානයට ලඟාවිය. තත්ත්වය පැහැදිලි කිරීමෙන් පසු, ඉතාලි තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට එකඟ වූ අතර, නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා පසුදින ඉතාලි තානාපති කාර්‍ය්‍යාලයට ගොස් එම පැමිණිල්ල ලබා ගැනීමට එකඟ විය.

පසු දින ඉතාලි තානාපති කාර්‍ය්‍යාලයට වාර්ථාකල නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා සහ කොටුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක George Nicholas මහතා පහත සඳහන් පැමිණිල්ල, ඉතාලි තානාපතිවරයා අතින් බාරගන්නට යෙදුනි.

Colombo, 2nd July 1982

"Ambasciata d'Italia
Colombo.

N. 1508

The Inspector General of Police,
Police Headquarters,
Colombo 1

Dear Sir,

Acting on behalf of the Italian Government, I wish to lodge a complaint with the Sri Lanka Police Authorities that the Sri Lankan national Sepala Ekanayake, born on 30.6.1947 at Matara, has hijacked an airplane (Flight No. AZ 1790) of Itali's national airline ALITALIA on 29.6.82 in Bangkok, Thailand, taking hostage of the crew and passengers and subsequently extorted and obtained a ransom of 300,000 US $ from the Italian Government for the release of such hostages and the aircraft.
On behalf of the Government of Italy, I kindly request the Sri Lanka Police Authorities to take necessary action under law against said Sepala Ekanayake for the crime committed and for the return of 300,000 US $ to the Italian Government.

Thanking you,

Yours sincerely,

Sgd/

(Franco Micieli de Biase)
Italian Ambassador

පරිවර්තනය.

1982 ජූලි 02

ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය
කොළඹ

අංක 1508

පොලිස්පති තුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ 1.

මහත්මයාණනී,

ඉතාලි රජය වෙනුවෙන් කටයුතු කරමින්, පහත සඳහන් පැමිණිල්ල ඔබ වෙත බාර දීමට මා බලාපොරොත්තු වෙමි.

1947 ජුනි 03 වන දින මාතරදී උපත ලද, ශ්‍රි ලංකිකයකු වූ, සේපාල ඒකනායක නැමැත්තා 1982 ජුනි මස 29 වන දින තායිලංතයේ බැංකොක් නුවරදී, ඉතාලි රජයට අයත් Alitalia AZ 1790 ගුවන් යානය එහි ගමන් ගත් මගීන්ද සමඟ පැහැරගෙන,  ඔවුන් සහ කාර්‍ය්‍යය මණ්ඩලය, ප්‍රාණ ඇපයට තබා ගනිමින් ඩොලර් 300,000/- කප්පම් මුදලක් ඉතාලි රජයෙන් ලබා ගැනීමට කටයුතු කොට ඇත.

ඉතාලි රජය වෙනුවෙන්, මා ශ්‍රි ලංකා පොලීසියෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, කළ වරද සම්බන්දයෙන්, පවත්නා නීතිය යටතේ, සේපාල ඒකනායක නැමැත්තාට එරෙහිව නිසි පියවර ගෙන, ඩොලර් 300,000.00 මුදල නැවත ඉතාලි රජයට ලබාදීමට කටයුතු කරන මෙනි.

ස්තූතියි.

මෙයට විශ්වාසී,


Sgd/
(Franco Micieli de Biase)

ඉතාලි තානාපති.
---------------------------------

එම ලියවිල්ල නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස, පොත්වල සටහන් කිරීමෙන් පසු, එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා, ප්‍රධාන පොලිස් පරීක්ශක George Nicholas මහතාට, නියෝග කරමින් කියා සිටින්නේ සේපාල ඒකනායකව වහා අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය හමුවට පමුණුවන ලෙසයි.


මේ අනුව ක්‍රියාත්මක වන ප්‍රධාන පොලිස් පරීක්ශක George Nicholas මහතා, සේපාල ඒකනායකව අත්අඩංගුවට ගැනිමට හෝටලයට ගියද ඔහුට දැනගනීමට ලැබෙන්නේ සේපාල ඒකනායක ඒ වනවිටත් සිය බිරිඳ හා දරුවා සමඟ හෝටලයෙන් පිටව ගොස් ඇතිබවයි. වැඩිදුරටත් සිදුකල පරික්ශණ වලින් දැන ගැනීමට ලැබෙන්නේ ඔවුන් ගාල්ල බලා ගමන් කොට ඇති බවයි. එදිනම සවස ගාල්ලේදී සේපාල ඒකනායකව අත්අඩංගුවට ගනු ලබයි.



මෙහිදී වහා ක්‍රියාත්මක වූ, ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය, සේපාලගේ බිරිඳව සහ දරුවාව, කඩිනමින් නැවත ඉතාලියට යැවීමට කටයුතු කරන ලදී.

සේපාල ඒකනායකව මෙසේ අත් අඩංගුවට ගත්තද ඔහුට එරෙහිව කටයුතු කිරීම්ට නීතියක් ශ්‍රි ලංකාවේ ඒ වන විට නොපැවති හෙයින්, සේපාලව අධිකරණය ඉදිරියට පැමිණවීමට පෙර එය සම්මත කර ගැනීම අවශ්‍යය විය.

එලෙස ගුවන් මංකොල්ලකෑම් වලට එරෙහි නීතිය, අතීතයටද බලපාන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සම්මත කරගැනීමෙන් අනතුරුව, සේපාල ඒකනායකව, ඉහල උසාවියෙ විනිසුරු J.J.S.A ඩයස් උපවංශ යාපා මහතා ඉදිරියට පමුණුවන ලද අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ද නීතීඥ රන්බංඩා සෙනෙවිරත්න මහතා පෙනී සිටින ලදී.

නඩු විභාගය අවසානයේදී, සේපාල ඒකනායකට, පස් වසරක සිරදඩුවමක් හිමිවන අතර, 1987 දී ඔහු එයින් නිදහස් විය. පසුකලෙක සේපාල, ඉංග්‍රීසි ගුරුවරියක හා විවාහ වන අතර, ඔවුන්ගේ කැදල්ලට දරු දෙදෙනෙකුද එකතු වේ.

වයස 19 දී සිය පියා බැලිමට  ෆ්‍රී ඒකනායක ලංකාවට පැමිනෙන අතර, පිය පාර්ශවයෙන් ශ්‍රි ලංකිකයකු වන ෆ්‍රී, තමන් ලංකාවට හා එහි අහාර වලට රුචි බවද සඳහන් කරයි. අනාගතයේ දවසක කරුණු යෙදෙන ලෙස, සමහර විට තමන් ශ්‍රි ලංකාවේ පදිංචි වීමට පැමිණීම උවද විය හැකි බව ෆ්‍රී ඒකනායක සඳහන් කරයි. වැඩි විස්තර මෙතනින්.

වසර 16කට පසු හමුවූ පියා සහ පුතා
ෆ්‍රී සිය සොයුරු සොයුරියන් සමඟ

එදා මෙදා තුර ගුවන් යානා මංකොල්ලාකෑම් ඉතිහාසය පරික්ෂා කිරීමේ දී, දේශපාලනික නොවූ හේතුවක් පදනම් වූ, එකම ගුවන් යානා මංකොල්ලය, සේපාල ඒකනායක විසින් සිදුකල ගුවන් කොල්ලය සේ සැලකිය හැකිය. එසේම ගුවන් යාන මංකොල්ලයක් සිදුකල ප්‍රථම සහ එකම ශ්‍රි ලාංකිකයා ලෙසද සේපාල ඒකනායක ඉතිහාසයට එක්වේ.


පසු සටහන :

මෙහි එන සමහර දෙබස් සහ අවස්ථා, එලෙස සිදුවන්නට ඇතැයි උපකල්පනය කොට මනඃකල්පිතව යොදන ලදී. ඒවා සත්‍යය සිද්දියෙන් මදක් බැහැර විය හැකි බව කරුණාවෙන් සළකන්න.

මූලාශ්‍ර;

http://lankanews.org/?p=1019
http://www.hirunews.lk/sinhala/37735


විශේෂ ස්තූතිය;
මුළින් ලියවුන, සදොස් බහුල ලිපිය කියවා, ඒ ගැන සිය අදහස් ප්‍රකාශ කොට, වඩා නිවැරදි තොරතුරු අඩංගු සබැඳියක් ලබා දුන්, හරී ට. 

සැකසුම:
~~සෙන්නා / 07.02.2013

103 comments:

  1. මං මේ ලිපිය කියවපු පළමු වතාව.. මේ කතාව ගොඩ පාරක් කියවල පත්තියම් වෙලා තිබුණත් පොඩ්ඩක්වත් කියවද්දි රසය අඩු උනේ නෑ.. ඇත්තෙන්ම නියමයි.....

    .
    .
    ..
    ආ... දැක්කනෙ මාතර , දකුණෙ කොල්ලොන්ගෙ ඉස්සර ඉඳලම වැඩර්ල කියලා :P

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යසිත්...

      නැතුව නැතුව.. අපි නොදන්නවයෙ දකුණෙ කොල්ලන්ගෙ හැටි. උන් හරි වසයි නොවැ.. :-)

      Delete
    2. අවුලක් තියේ.. ඇත්තටම කොහොමද මෙයා යානය පුපුරවන්නෙ ? බෝම්බ එහෙම ගෙනිහින් තිබුනද ? ඒ ගැන කිසිම සඳහනක් නෑ කොහෙවත්ම..

      Delete
    3. යසිත්,

      ඇත්තටම ඔතන අවුලක් තියේ... ඕක පැහැදිලි මදි විවාදාත්මක කරුණක්.. ජනප්‍රිය මතය තමයි සේපාල බෝම්බයක් නැතුව නිකන් අමුණ ගත්තු වයර කෑලි ටිකක් විතරක් අවශ්‍යය වුනොත් පෙන්වන්න බඩේ බැඳන් හිටියා කියන එක.

      ඒත් එක සම්මුක සාකච්චාවකදි සේපාලම ඒක බොරු කියලා තියනවා. ඒයා කියන හැටියට එයා ගාව ඇත්ත බෝමබ තිබිලා තියනවා.. ඒ ගැන සටහනක් පළමු ලිපියෙ අන්තිමට තියනවා.. එතනින් තියන සබැඳියෙන් ගිහිනුත් කියවලා බලන්න..

      මේ අලුත් එකේ ඒ ගැන සඳහනක් නෑ.. ඇත්තටම මේ ලිපියට පදනම් වෙච්ච මූලාශ්‍ර දෙකම සම්පූර්ණ නෑ.. දෙකේම අග කොටස නෑ.. සමහර විට ඒවයෙ අග ඒ ගැන සඳහනක් තියනවද දන්නෑ..

      මොනවා හරි තොරතුරක් ලැබුනොත් දැනුම් දෙන්න. අපි, ලිපියට ඒ කරුණ ඇතුලත් කරමු.

      Delete
  2. Replies
    1. හිමීට කියවන්ඩකො සහන්..

      Delete
    2. මේ සිද්දිය කලින් දැනගෙන උන්නත් හැම දේම ඔලුවේ මැවෙන්න අද
      තමයි හරියට දැනගත්තේ සෙන්න..ඒ ගැන ස්තූතියි මුලින්ම..

      අනික් දේ ඔය කාලේදී ගුවන් යානා පැහැරගැනීම් ගැන අද වගේ චිත්‍රපටියක්
      වත් හරි හැටි නැති කාලෙක සේපාලගේ වික්‍රමය..ඒක දරු සෙනෙහසද වෙන
      එකක්ද මන්ද ඔයා කිව්වත් වගේ..

      කොහොමින් හරි ජීවිත නැති නොවී , චරිතත් හානි නොවී මෙයින් බේරුනා
      හොදටම ඇති..
      ෆ්‍රී නම් හැබෑම ඉතාලි තරුණයෙක් වගේමයි..ඒ බැල්මමයි ..
      ස්තූතියි සෙන්න ගොඩක් මහන්සියෙන් මෙහෙම පෝස්ට් දානවට.
      මේවා අවුරුදු ගාණකට අන්තර්ජාලයේ තියේවි, දහස් ගණන් දෙනා
      දෙයක් ඉගෙන ගනීවි ..

      ඒ හොදටම ඇති නේද ?

      Delete
    3. ස්තූතියි සහන්, මගෙත් අරමුණත් ඒක තමයි. "කවදා හරි, කාට හරි...."

      Delete
  3. හ්ම් ඒක නම් වෙනස්ම අදහසක් තමයි..සෙන්නා..හැබැයි ලෝකෙටම පාඩමක් ඉගැන්නුවා..මෙන්න ලංකාවෙ ක්‍රමේ කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් නේද.. මම හිතන්නෙ මීට කලින් කවුරුවත් ඔය ක්‍රමේට කරලා තිබුනෙ නෑ..

      Delete
  4. රසවත් ලිපියක් , මානුෂීය බැඳිමක් මුල් කරගත් සිදුවීමක් ගැන කියවු හොඳම ලිපියක් කියන්නට පුළුවන් .
    ස්තුතියි

    ReplyDelete
  5. සිර දඩුවමේ අවසානකාලයේ හිටියේ මහර බන්දනාගාරයේ. ''පෝලිම '' කියලා නාට්ටියකුත් නිර්මානයකලා, ඒක ප්‍රසිද්ද වේදිකාවේ පවා පෙන්නුවා,
    මම දන්න විදිහට අසිමිත නිදහසක් වින්දා සිරකාරයෙක් විදිහට
    අපරාදකාරයෝ අතරේ වීරයෙක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අටමා...මාත් අහලා තියනවා ඔය නාට්‍යය ගැන..

      මටත් උන්දෑ එක්තරා විදිහක වීරයෙක්..

      Delete
  6. තිස්සමහාරාමේ පොඩි කඩයක් කරනවා දැන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුජියා ඔත්තුවට.. සමහර විට ගියවෙලාවක හම්බෙන්නවත් බැරියෑ..

      Delete
  7. පත්තර වලින් කියවල තිබුනා පුංචි විස්තරයක්.. මට මතක හැටියට සම්පූර්ණ කතන්දරේ අඩුපාඩු නැතිව කියෙව්වේ සෙන්නගේ මේ ලිපියෙන් කියන එකත් කියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන.. මේකෙත් තව අඩු පාඩු ඇති.. හරියටම තොරතුරු හොයාගන්න ටිකක් අමාරුයි මේ ගැන.. මේ අලුත් සබැඳියත් මට අහම්බෙන් වගේ හම්බුනෙ..

      Delete
  8. කුරුන්දේ ගියපු පරණම ලිපියක්නේ. කතාව ඇත්ත මේ ලිපියෙන් පස්සේ නේද කුරුන්ද නැගලම ගියේ? ඊට කලින් පී ටී සර්ගේ කතාවක් එහෙම තිබුනා මට මතකයි. හැබැයි මේ ජාතියේ ලිපි තමයි ගති :) වැරදි නිවැරදි කරලා ආපහු පළ කරපු එක බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. සයුරි ඉතින් කුරුන්දෙ පරණම සාමාජිකාවක්නෙ.. වෙච්ච සංගෙදි ඔක්කොම මතක ඇති කියලා හිතනවා.. ඔව් පීටී සර්ගෙ කතාව තමා කුරුන්දෙ ආරම්භය.. ගති ඒවා තව දෙන්න උත්සහ කරන්නම්කො...සංශෝධනය කළේ අර ලිපිය ගොඩක් වැරදි වලින් ගහනයි කියලා පෙනුන නිසා.. සමහර විට මේකෙත් තව වැරදි ඇති..

      ස්තූතියි සයුරි.

      Delete
  9. බොහොම අගෙයි සෙන්නා. පර්යේෂණාත්මක අනාවරණයක්. තම ආත්ම අභිමානය, පවුල් ජීවිතය, වෙනුවෙන් මිනිසෙකුට කල නොහැක්කේ කුමක්ද.

    ගුවන්යානා මංකොල්ලයක යෙදුන ප්‍රථම ශ්‍රී ලාංකිකයා සේපාල ඒකනායක වුනත්, 'එකම' ශ්‍රී ලාංකිකයා ඔහු නොවෙනු ඇති කියලයි මටනම් හිතෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක මහතා...

      මම හිතන්නෙ එකම තමා නේද ? ඊට පස්සෙ කවුරුවත් ඔය වැඩේට අත ගහල නෑනේද ? අඩුම ගානෙ jvp/ltte කට්ටියවත්..

      Delete
  10. ලංකාවේ ක්‍රමේ හරි වෙනස්...
    ඒ ක්‍රමවේදයට ගරුකරන අපි!!!!!!!
    ඉතාලි කාරයන්ටත් පාඩං උගන්නපු සේපාල ඈ...

    ReplyDelete
    Replies
    1. සෙල්ලම් නෑ.. දැක්කනෙ.. :-)

      Delete
  11. සෙන්නගෙන් අපි බලාපොරොත්තුවෙන්නෙ මේ වගේ පෝස්ට් තමයි.

    ඉතිහාසගත සිදුවීම්ක් පිළිබද සියල්ල එක් තැන් කළ සම්පූර්ණ ලිපියක්.....

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු ඉටු කරන්න ලැබීම සතුටක් සුමිත්.. ගොඩක් ස්තූතියි.

      Delete
  12. මේහේ උනුත් කොර උනාලු ඒ කාලේ සේපාලගේ වැඩ හන්දා.. හැබැයි පස්සේ ටිකක් අපේ අය වැඩට ගන්නත් බය උනාලු.. හැබැයි කාලයත් එක්ක මෙහේ අයටත් ඒක අමතක උනා..

    හොද ලිපියක් අයියේ..

    ReplyDelete
    Replies
    1. මට මේක ලියනකොට මල්ලිව මතක් වුනා.. ඔහොම කාර්ඩ් එකක් තාම තියනවද ? වාර්ශිකව අලුත් කරන්න ඕනා එකක් ? පුංචි කාර්ඩ් එකක් කරපු හරියක්..

      ඉතාලියෙ අයටත් ලංකාවෙ අයට තියන අමතකවෙන ලෙඩේ තියනවා වගේ නේද ? මොනවා වුනත් ඉතාලි කාරයො හරි හොඳ මිනිස්සු..

      Delete
  13. ආයෙමත් ඇඟ හිරි වැටෙන කතාවක් සෙන්නා...ලස්සණට ලියලා..වෙච්ච සිදුවීම් හැම දෙයක්ම රූප රාමු විදියට මැවිලා පේනවා...මේ කතාව ගැන හදපු ෆිල්ම්ස් එහෙම නැද්ද?

    ඔයා දන්නවද....ඔයා හොඳයි ෆිල්ම් එකක තිරපිටපතක් ලියන්ට.:)

    ReplyDelete
    Replies
    1. මෙයාට දැන් රගපාන්නමයි හිත :)

      Delete
    2. ඔයාට විතරයි මාව හරියටම තේරුනේ...:D:D:D

      Delete
    3. අපොයි එහෙමද ? :-)

      ෆිල්ම් එකක් නෑ මම දන්න විදිහට පොඩ්ඩි..ලංකාවෙ උන් ඉතින් මල්ගස් වටේ දුව දුව ඉන්නවා මිසක් මේවගේ කතාවක් ෆිල්ම් එකකට ගන්නෙ නෑනෙ.. මට ඇත්තටම හිතුනා මේක ලියනකොටා ඇයි මුන් මේකෙන් ෆිල්ම් එකක් හදන්නැත්තෙ කියලා.. මට සල්ලි තිබුනනම් මම හදනවා..:-) පොඩ්ඩිට මොන චරිතෙද ඕනා..? අණ්නාගෙ එකද නැත්නම් ගුවන් සේවිකාවගෙ එකද ? නැත්තම් තානාපති නෝනගෙ චරිතෙද ? :-)

      ඔයා දන්නවද....ඔයා හොඳයි ෆිල්ම් එකක තිරපිටපතක් ලියන්ට.:) // ඔයා ඔය හදන්නෙ වලට වැටිලා තියන සිනමා කර්මාන්තෙ පස්දාල වහන්ඩ.. හෙහ් හෙහ්..

      Delete
  14. මම නම් සේපාල වීරයෙක් කියලා සලකන්නෙ නෑ. මිනිස්සු විශාල සංබ්‍යාවක් පරාණ බයෙන් ගත කල කාලෙ ගැන හිතන්න. මේ වගෙ දෙයක් කොටි කොල්ලෙක් කලා නම් අපි කොහොමද හිතන්නෙ ? ඇයි එයා ලාංකිකයෙක් හින්දා අපි ආඩම්බර වෙන්නෙ ? අපි ලජ්ජා වෙන්න ඕනෙ. මොන චේතනාවකින් කලත් ත්‍රස්තවාදී ක්‍රියාව ත්‍රස්තවාදී ක්‍රියාවක්.. සමාවකින් තොරව දඬුවම් කලයුතු..

    ReplyDelete
    Replies
    1. එයා වීරයෙක්ද නැද්ද කියන්ට දන්නේ නෑ. ඒත් හැම දේටම ඔලුව නමාගෙන ඉන්න මිනිස්සු දිහා බැලුවාම තමන්ගේ අයිතිය සාධාරණව ලබා ගන්ට බැරි නම් මේක මට පේන්නේ අසාධාරණයට එරෙහිව කල සටනක් හැටියට.

      අනෙක එයා ප්ලේන් එකේ ගමන් කල කාටවත් හිරිහැර වෙන්ට ඉඩ දුන්නේ නෑ නේද? ත්‍රස්තවාදියෙක් හිටියානම් ඔය ප්ලේන් එකම පුපුරවලා තමයි තමන්ගේ ඉල්ලීම් ලබා ගන්නේ...:)

      Delete
    2. සරත් අයියා,

      වීරයොයි, ත්‍රස්තවාදියොයි සාපෙක්ශයිනෙ නේද ? ඔන්න "ත්‍රස්තවාදියා" යන්නට නිර්වචනයක් දෙන්න යනවා කියලා ඊයෙද කොහෙද දියවන්නාව දිහෑයිනුත් ඇහුනා.

      ඔය පොඩ්ඩිත් කියලා තියනවා වගේ මෙතන සේපාලගෙ අරමුණ වෙනස් නිසා අපිට ඔහුව ත්‍රස්තයෙක් හැටියට හදුන්වන්න පුලුවන්ද කියලා සැකයි. අනික ඔහු බලලා තියෙන්නෙ පුලුවන් තරම් මගීන්ව ත්‍රස්ත නොකර වැඩේ කරගන්නනෙ.. ඔහු කරපු වැඩේ හරියි කියලා මම කියන්නෑ.. ඒත් දිගින් දිගටම අසාධාරණයට ලක්වෙනකොට මිනිස්සු ඒවට විවිධ ප්‍රතිචාර දක්වනවනෙ.. මේ සේපාලගෙ ප්‍රතිචාරය..

      අනික ඔහුගෙ නිර්භීත කම අපි අගය කරන්න ඕනා.. නිකන් හිතන්න ප්ලේන් එකක් හයි ජැක් කරන්න මොන තරම් ගටක් තියෙන්න ඕනද ? ඔහු තත්ත්වය පාලනය කරන විදිහ කොයි තරම් අපූරුද ? මට හරි ආසයි කැප්ටන් අමරෝසා අද මොනවගේ අදහසක්ද සේපාල ගැන දරන්නෙ කියන එක දැනගන්න.

      අනේ මන්දා මටනම් මිනිහා ගැන පොඩි වීරත්වය මුසු ගෞරවයක් තියෙන්නෙ..

      Delete
    3. එයාගෙ අතේ තිබ්බෙ බොරු ඒවා කියල දැන ගන්නකොට මිනිස්සු කීදෙනෙක් සියවතාවක් මැරි මැරි උපදින්න ඇතිද පොඩි ? ගුවන් යානයක් මගීන් එක්ක පැහැර ගැනීම විතරක් ගත්තත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් නේද ? හිතන්න.. අපි හරි අපෙ කවුරුහරි එහි හිටියානම් ..

      Delete
    4. අරමුණ හොඳ උන පලියට වැරදි දෙයක් හරි වෙන්නේ කොහොමද ? ඔන්න ඔය හේතුව තමයි ලෝකෙ අපරාද කල බොහොමයක් අය නිදහසට පෙන්නන්න හදන්නෙ.

      Delete
    5. ඔබ කියන එක වැරදියි කියලා කොහෙත්ම අහක දාන්න බෑ සරත් අයියා.. ඔබ හරි.

      Delete
    6. සෙන්නා මමත් එකඟයි සරත් මහත්මයාට. අපි ගුවන් යානයක් තුලට නගිද්දී සමහර වෙලාවට හිතෙනව ආයෙත් ගොඩබිමට යන්න වෙයිද කියලා. තමනේ අරමුනක් වෙනුවෙන් අනිත් මිනිස්සුන්ගේ ජිවිත උගස් ගනන් එක වීර කමක් නෙමෙයි

      Delete
    7. බැරි වෙලාවත් මේ කේස් එක කලින් ලිපියෙ දි වගේ කොල්ලා වෙනුවෙන් කරපු දෙයක් නම් මිනිහා සැබෑ ම වීරයෙක්. ලාංකීය ක්‍රමයට පැහැරගත්තු නිසා කාටවත් ජීවිත හානි නැති නිසා වීරත්වය වඩාත් ඔපවත් වෙනවා. සරත් අය්යලාට, සෙන්නලාට කොල්ලෝ ඉන්න නිසා මම කියන දේ තේරෙනවා ඇති. තමන්ගේ කොල්ලා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න තමන්ට පොරොන්දු වෙලා ඉන්න මිනිස්සු මේ වගේ දෙයක් මිනිස් ජීවිත වලට කිසිම හානියක් නොවී කරනවා කියන්නෙ අන්තිම වීර ක්‍රියාවක්. සරා ගොයියා මොකද කියන්නෙ? සෙන්නා නම් කෝමත් උත්තර දෙන්න එපැයි!

      ඔන්න සෙන්නා මහ රෑ 12 පහුවෙලා දෙවෙනි පාරටත් මේ ලිපිය කියෙව්වා.

      Delete
    8. නිදිමරාගෙන දෙපාරක් කියෙව්වට නොවක් තුති...

      සෙන්නගෙ අදහස උඩින් තියනවනෙ..සෙන්නටත් මිනිහා වීරයෙක් තමා.. ඒත් කරපු වැඩේ වැරදියි කියලා සරත් අයියයි / පුංචි කුමාරිහාමියි කියන කාරණයටත් එකඟ වෙන්න වෙනවා..

      මොකෝ සරා ගොයියටයි, සෙන්නටයි විතරයෑ කොල්ලො ඉන්නෙ ? :DD අනිත් එක අපි වීර තාත්තලගෙ වීර පුත්තු ගැනත් කියවලනෙ ඉන්නෙ. :DD

      Delete
  15. මට හිතෙන්නෙ ඔහු වීරයෙක් කියල.

    කාලයක් මම බැන බැන හිටියා මූ මොන ආතල් එකකට මෙහෙම වැඩක් කලාද කියලත්..

    ස්තුති සෙන්නා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑමා.. මම හිතන්නෙ උඹ දැන් බනින්නැතුව ඇති..

      Delete
  16. මේ කතාව මීට කලින් පත්තර වලින් හරි කොහෙන් හරි අහලා තිබුනට සවිස්තරව දැනගත්තේ අද තමයි. පට්ටයි ඇ..
    අඩේ මේ මම මේ ආවමද මන්දා...එන්නං ඈ ආයිත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරුවා... ආවමයි නේන්නම්.. දිගටම එන්ඩකො එහෙනම්..

      Delete
  17. දැන් රටේ පවතින තත්වෙ අනුව.... ඒ කියන්නෙ තමුන්ගෙ බිරිද, තමන්ගෙ කිරි දරුව, මව, සහෝදර සහෝදරියන් මරන රටේ....... එයාගෙ ජීවිතය පරදුවට තියල... එයාගෙ දරුව සහ බිරිද ලබා ගැනීමට සටන් වැදපු එක ගැන මම ගොඩාක් දකුනෙ කෙනෙක් හැටියට ගරු කරනව...

    ReplyDelete
    Replies
    1. සටන් කරන්නෙනම් ඒකට නෙමේ පසන්.. ඒත් සටන නිසා ඒගොල්ලව තමන් ලඟට ගන්න වෙනවා..

      Delete
  18. ඉස්සර නම් මටත් සේපාල වීරයෙක්. ඒත් මේ ලිපිය සහ තවත් විසතර කිපයක් දැනගනිමින් සිටිනා අතරේ ඒ ගෞරවය නැතුව ගියා. හොද වැඩක් සෙන්නා.

    ReplyDelete
    Replies
    1. එහෙමද රතු.. මටනම් තාම මිනිහා ගැන පොඩි මෙව්වා එකක් තියනවා..

      Delete
  19. සෙන්නා නියම ලිපිය. මේ ගැන මට මතකයි දිවයිනේ ඉරිදා කොටස් ලිපි වගයක් ගියා.. ඒ වගේම ෆ්‍රී ආපු එක ගැනත්. කොහොම උනත් ඔබගේ මහන්සිය ඇත්තටම හරිම ප්‍රෙයාජනවත්.. ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. දේශකයාණනී අගය කිරීම ගැන ඔබට මාගේ අවංක ස්තූතිය..

      Delete
  20. සෙන්නා, ඒ සංශෝධනයට ලක් වෙච්ච කොටස් කෙටියෙන් මොනවද?

    මට සේපාල හම්බවුනා දවසක් අපේ ඉස්කෝලෙට ඇවිල්ලා ඉන්නකොට කොටහේනෙදි. සේපාල සංචාරක ව්‍යාපාරයක් කලා ඒ කාලෙ. අපි ටිකක් වෙලා කතා කර කරත් හිටියා.

    ReplyDelete
    Replies
    1. සංශෝධනයට ලක්වෙච්ච කොටස් මෙහෙමයි ඩූඩ්;

      කාර්ඩ් එක ලබාගන්න කරණ උත්සහය සහ එම්බසියෙදි සේපාල බහින් බස් වෙන එක.

      දිල්ලියට ගමන් කිරීම සහ යානය ඇතුලෙ සිදුවූ විස්තරය.. එතකොට අදාල මුදල පිළිබඳ කෙරෙණ පැහැදිලි කිරීම..

      අන්තිමට මේක කෙරුවේ දරුවා වෙනුවෙන් නිසා නොවන බව කෙරෙණ පැහැදිලි කිරීම. මුල් ලිපියෙ මේක සටහන් වුනේ දරුවා වෙනුවෙන් කරපු වීර ක්‍රියාවක් හැටියට.

      ඩූඩ්ට එහෙනම් ඉතිහාසගත වෙච්ච මිනිහෙක් එක්ක වචන කිහිපයක් හරි හුවමාරු කරගැනීමේ වාසනාව ලැබිලා..

      Delete
    2. මෙහෙමයි බං සෙන්නා. අපේ ස්ටාෆ් එකේ හිටියා සරණතිස්ස නමින් තරුණ හාමුදුරු නමක්. ඒ හාමුදුරුවෝ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායකගෙ ඇහැ හානි වෙච්ච බෝම්බෙට අහුවෙලා අපවත් වුනා. සේපාල ඒ හාමුදුරුවන්ගෙ ගජ යාලුවෙක්.

      Delete
    3. මම සේපාලගේ අළුත් තොරතුරු කලින් පොස්ට් එකේදිත් සෙන්නගෙන් ඇහුවා. එකට ඔහු දුන්නේ හෙන්ද්‍රි ගේ උත්තරේම තමා. ඒ කියන්නේ පොස්ට් එකේ සංශෝදනයක් උනාට මගේ කමෙන්ට් ක සංශෝදනය කරන්න ඕනේ නැහැ නේ.

      මොනවද ඒද කතා කලේ.සාමාන්යෙන් මොන වගේ කෙනෙක්ද පුලුවන්නම් පොඩි විස්තරයක් දාපන් කෝ.

      Delete
    4. අසරණයා, මම ඔය ඉස්කෝලෙ වැඩ කලේ 1992ත් 2002ත් අතර කාලයේ. එතකොට සේපාල හමුවුනේ 1992ත් ජයාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ ඇහැක් අහිමි වුනු ටවුන් හෝල් බෝම්බයත් අතර කාලේදි.

      ඒ කාලේ සේපාල අර සංචාරක ව්‍යාපාරේ කරනවා, මම මතක විදියට නුවර එලියෙද කොහෙද.

      එදා අපි සේපාලගේ පුතා ‍ෆ්‍රී ගැන කතා කලා. ඔය සිද්ධිය ගැනත් උඩින් පල්ලෙන් කතා කලා, තව එයාලගේ ව්‍යාපාරය වගේ සාමාන්‍ය දේවල් කතා කලා. පුතා දැන් ලොකුයි කියනවා නම් මතකයි. නමුත් හයි ජැක් කිරිල්ල ගැන කියනකොට හිනා වෙවී හිටියා මිසක් ඊට වැඩි දෙයක් කිව්වෙ නෑ. ප්‍රශ්ණෙ බං ඒක හැම දෙනාම දන්න සිද්ධියක් නිසාත්, සේපාල ගැන නොදන්න කෙනෙක් නැති නිසාත් ඒක එච්චර සාර්ථක සාකච්ඡාචක් වුනේ නෑ. මම අඩුගානේ එදා දැනගෙන හිටියා නම් ඔය වැඩේ කලේ ළමයා වෙනුවෙන් නෙවෙයි, මේ සෙන්නා කියන හේතුවට කියලා, මට ඒ ගැන අහන්න තිබ්බා.

      හැබැයි. මට ඇතිවෙච්ච ඉම්ප්‍රෙෂන් එක නම් මේ යකා ඔලුව ඉදිමිච්ච පොරක් නෙවෙයි. හරිම අත්දැකීම් බහුල නමුත් නිහතමානී ලස්සන හිනාවක් තියෙන down to earth බුවෙක් හැටියට බව නම් කියන්නම ඕනෙ.

      Delete
    5. මටත් ඔහොම්මම හිතුනා ඩූඩ් අර ඉන්ටර්වීව් එක ඇහුවම. ඇහුවෙ නැත්නම් අහන්නකො.. ලින්ක් එක මූලාශ්‍ර වල යටම ඇති.

      Delete
    6. හපොයි ඩූඩ්, උ‍ඔට ෆෝං එකෙන් වත් පොටෝ එකක් ගන්න තිබ්බා එක කෙලින් හිටගෙන.... සික් මම නං සංගිත සංදර්සන වලට ගියාම ගායිකාවෝ එක්ක බලෙන්ම පොටෝ ගන්නවා ඒ කාලේ. එහෙව් එකේ සෙපාල මහත්තයා මට අහුවුනානම් පොටෝ සීයක් විතර ගන්නවා සුවර් ආය....!

      Delete
  21. මම කියන්නේ සේපාල කලදේ හරි කියල නෙවෙයි ඔය වයසේ වැරැද්ද.මමත් කූරු ගණන් කලානේ ඉක්මන් කේන්තිය නිසා.

    ReplyDelete
    Replies
    1. ඉක්මන් කොටයි කියනවනෙ කෝරා.. උඹ කූරු ගැනපු කතාව කියෙව්වා මතකයි..

      Delete
  22. ස්තුතියි සෙන්නා මේ නිවැරදි කිරීමට...
    තවත් පාරක් ලිපිය කියෙව්වාට පාඩු නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ.. ඔයා කලින් ලිපිය කියවලා තිබුනද ?

      Delete
  23. චිත්‍රපටියක් බැලුවා වගේ :) ඒ දවස් වල හින්දා එහෙම එත් දැන් එහෙම වුනා නම් ෆ්ලයිට් එකෙන් එලියට බහින්න හම්බෙන එකක් නැහැ.මේ සිද්දිය මීට වඩා දැන් කාලෙත් ප්‍රසිද්ද වෙන්න තිබ්බා.ඒකනායක තරුණ උමතුවෙන් එහෙම දෙයක් කරත් මන් නම් දකින්නේ ඒක ලංකාවේ එකෙක් කරපු දැවැන්ත වීරකමක් ලෙස.

    ඔබත් එක ලෙසටම ලියලා සෙන්නා අයියා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිශාන්.. මේක දැන් තියටර් එකක් වෙන්න වගේ යන්න.. :-)

      මටත් මිනිහා ගැන පොඩි මෙව්වා එකක් තියනවා..

      Delete
  24. සුපිරියි.... මල් 7යි පෝස්ටුව

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  25. උඹ දන්නවනෙ මම එක හුස්මට කියවන එකා කියල ..ඒ නිසයි පරක්කු උනේ.කියවල ඉවර උනාම තමා හිතුනෙ කලින් කියවල තිබුන නේද කියල ඒත්.. නැවුම් ගතියක් දැනුන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීයා හැමදාම වගේ එක හුස්මට කියෙව්වට...

      Delete
  26. ස්තුතියි මචං නිවැරදි කලාට.

    ReplyDelete
    Replies
    1. උඹනම් කලින් එකත් කියවලා තිබුනනෙ නේද ? ස්තූතියි නැවත ආවට.

      Delete
  27. සෙන්නා තරහ වෙන්න එපා මෙහෙම කියනවාට මට නම් සේපාල කියන්නේ විරයෙක් නෙමෙයි ඉතාලිය තුල අපේ රටේ නම කැත කල කෙනෙක්. අදටත් අලිතාලියා ගුවන් යානයකින් අපිට ලංකාවට යන්න බැරි ඔහු කල ක්‍රියාව නිසා අලිතාලියා ගුවන් සේවය ලංකාවට යන එක සදහටම නවතා දැමුව නිසා. ඔහු මහන්සි වී ලබාගත් ඔහුගේ බිරිදත් ඔහුව අතැහැර දමා ගිහින්. මට නම් මෙය වීර ක්‍රියාවක් නෙමෙයි. අනික් වැදගත්ම කාරනය ගුවන් යානයක සිට මෙවැනි දෙයකට මූන දෙන මගින් පත්වන තත්වය. මෙය බොරුවක් උනත් හදිසි කම්පනයට පවා මගින් මිය යා හැකි නේද. මොකද අපි ගුවන් යානයේ අනවශ්‍ය ගැස්සීම් වලට පවා එතුලදී සංවේදී නිසා.

    ReplyDelete
    Replies
    1. පුංචි කුමාරිහාමි,

      මම කැමති නෑ අර තරහා වෙන්ඩ එපා කෑල්ලට. මම ලිපියක් ලියලා පල කරාම ඒකෙන් අදහස් වෙන්නෑ ඒක කියවන අය මගේ මතයම දරන්න ඕනා කියලා. පාඨකයන්ට තමන්ගෙ මතය සීලාචාරව දක්වන්න මගෙන් කිසිම බාධාවක් නෑ.. එහෙම කළාම මම තරහා වෙයි කියලා හිතන්නෙ ඇයි ?

      ඔයයි, සරත් අයියයි මේ ගැන කියනකම්ම මම මේ සිද්දිය දිහෑ මගීන්ගෙ පැත්තෙන් බැලුවෙ නෑ. ඔයා හරි.. ගුවන් ගමන්වල යෙදෙන්නෙක් හැටියට මට හිතා ගත්තැකි ඒ වගේ වෙලාවකට ඇතිවෙන තත්ත්වය. හදවත් රෝගියෙක් එහෙම හිටියනම් ලොකු විනාශයක් වෙන්න තිබුනා.

      මොකක්දෝ මංදා හේතුවක් හින්දා මගෙ හිතේ සේපාල ගැන පොඩි ගෞරවයක් තියනවා.. ඒක මගේ ලිපියට මුසු වීම නවත්වන්ඩ අමාරුයි.. ලිපිය සමබර නෑ කියලා මම පිළිගන්නවා..

      ඔයාටයි, සරත් අයියට දෙන්නටම ස්තූතියි අළුත් පැත්තකින් මේ දිහෑ බලන්න යොමු කෙරෙව්වට. මේ පිළිතුර ඔයාගෙ උඩ කමෙන්ට් එකටත් එක්කයි.

      Delete
    2. පුංකුමාරිහාමිට ,අනේ ඔයා දන්නා තරම කවදාද අපේ රටට Alitalia ආවේ???? නොමැති නිසානෙ සේපාලට දිල්ලියට ගිහින් නගින්න වුනේ.ඔයා නොදන්නවා වුනත් සේපාල අදටත් Italy visa අරන් රට යනවා වසරකට තුන් හතර වරක් .ඔහුගේ දුව සහ පුතා විරාම ඉන්නේ France and Germany. Check Sepala Ekanayaka's fb .ඔහු Alitalia යානයකින් ම ගිහින් තිබේ . ඔබට මෙය ලොකු ප්‍රශ්නයක් වුනත් Alitalia ගුවන්පත් ඔහුට ගන්න පුලුවන් .

      Delete
    3. පුංචිකුමරියට කියන්නේ ඔබ පිලිතුරක් ලියන විට හරි දේවල් ලියන්න ඉතිහාසයේ කවදාකවත් අපේ රටට Alitalia ගුවන් යානා ආවෙ නෑ . එනිසයි ඔහු දිල්ලියට ගිහින් එහෙන් ගොඩ වුණේ Alitalia ගුවන් යානායට . ඔබට Alitalia යානාවකින් යන්න අවශ්‍යනම් එම යානා එන තොටුපොලින් නගින්න .

      Delete
  28. මේ කතාව මං කියෙව්වා වගේ මතකයක් තියෙනවා. වැරදි නිවැරදි කලාට ස්තුතියි..... මේ ලිපිය හරිම රසවත් විදියට ලියල තියෙනෝ.....

    ReplyDelete
  29. මේ සිද්ධිය ලිපි පෙලක් විදියට ඉරිදා ලංකාදීපෙ ‘දියත‘ අතිරේකෙ ගියා කාලයක්. මම වරද්දන්නෙ නැතුව හැම සතියකම ඔය කතාව කියෙව්ව. අපි උපදින්නත් කලින් වෙච්ච ඔය සිදුවීම් පෙළ ගැන කියවපු පළමු අවස්ථාවෙදිම මටත් ඇතිවුනේ ආඩම්බරයක්, මෙච්චර දෙයක් කරන්න ඒ මනුස්සය තුළ තිබුණු ධෛර්ය තමයි මම හිතන්නෙ මෙතනදි අපිට මුලින්ම හිතට දැනෙන දේ, මොකද මේ ක්‍රියාවලියෙදි කාගෙවත් ලේ සෙලවීමක් සිදුවෙල නැති නිසා. එහෙම උනානම් අපි ඔහු ගැන අහන පළමු අවස්ථාවෙදිම පිළිකුලක් තරහවක් ඇතිවෙන්න තිබුන. එහෙම උනත් ඔය සරත් අයියයි, පුංචි කුමාරිහාමියි කියන කතාවෙත් ඇත්තක් නැත්තෙත් නෑ.

    කොහොම උනත් මෙතනදි ලංකාවෙ රජයට තමන්ගෙ පුරවැසියට වෙච්ච අසාධාරණය වෙනුවෙන් පෙනී හිටින්න තිබුන. ඔහු යම් අපරාධයක් කළා නම් එයට දඬුවම් ලබා දීම වෙනත් දෙයක්. ඒ නීතිමය ක්‍රියාවලිය සිදුවෙද්දි උනත් ඔහුට උන අසාධාරණය වෙනුවෙන් කටයුතු කිරීමට රජයට ගැටළුවක් නෑනේ. ඒක තමන්ගෙ රටේ ගෞරවය වෙනුවෙන් කළ යුතු දෙයක්. සමහර විට අපේ අය ඒ රටවල්වලට යන්නෙ ඔවුන්ගෙ රටේ කම්කරු වැඩ කරන්න කියන මානසිකත්වය ලංකා රජයටත් තියෙනවද මන්දා, මේ සිද්ධියෙන් අවුරුදු 30 කට පස්සෙත් රිසානාගෙ සිදුවීම සම්බන්ධයෙන් රජය ක්‍රියාකරපු ආකාරය දැක්කමත් ඒක වඩාත් තහවුරු වෙනව. මම කියන්නෙ ලෝකෙ පුරා ගිහින් ඔවුන් මොනව කළත් යම් සිදුවීමකට ඇමරිකානු, බ්‍රිතාන්‍ය පුරවැසියෙක් මැදි වුනොත් ඒ රජයන් කටයුතු කරන්නෙ කොහොමද, ඉතිං ... අපේ අභිමානෙ ගැන කටින් බතල හිටවල විතරක් හරියනවයැ.

    අන්තිමට කියන්න තියෙන්නෙ ඉතිං හොඳට උනත් නරකට උනත් දකුණෙ කොල්ලො තමා. ඒකෙනුත් මාතර කොල්ලො ...... අපි සාපේක්‍ෂව වෙනස්, හරිය.

    ReplyDelete
    Replies

    1. DDT,

      ඔව් ලේ සෙලවීමක් වුනානම් මේ තියන ගෞරවේ ඔහුට අනිවාර්යයෙන් නැතිවෙනවා.

      ලංකාවෙ රජය අනුගමනය කරන්නෙ ජේ.ආර්. මහත්තයගෙ තියරිය තමා."තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගත යුතුය."

      අපි මොකද නොදන්නෙ දකුණෙ ඈයො ගැන. එතකොට DDT මාතර කොල්ලෙක්ද ? දැන් ලංකාවෙ ජනාධිපතිත් දකුණෙ එක්කෙනෙක්ලු නේද ?

      Delete
    2. // ඒකෙනුත් මාතර කොල්ලො ...... අපි සාපේක්‍ෂව වෙනස්, හරිය//

      ඇයි අප්පා මාතර කෙල්ලොත් එහෙම තමා..

      Delete
    3. @ සෙන්නා,

      // එතකොට DDT මාතර කොල්ලෙක්ද ? දැන් ලංකාවෙ ජනාධිපතිත් දකුණෙ එක්කෙනෙක්ලු නේද ?//

      ඔව් සෙන්නා, මම මාතර. ඒක තමයි දෙයියනේ කිව්වෙ හොඳට උනත් නරකට උනත් ඉතිං දකුණෙ කොල්ලො තමයි කියල. :)

      @ සයුරි,

      අනේ සයුරි මම කිව්වෙ මාතර කොල්ලො ගැන. ආඃ ... සයුරිත් මාතරනේ. ඔව්නේ ... මාතර කෙල්ලොත් එහෙම තමා, හරිය.

      Delete
    4. ඩීඩීටී ගේ කමෙන්ට් එක හැම අතින්ම සමබරයි. ඒවගේම සාධාරණයි. මං කියන්න ආපුවා වේරම ඊටත් වැඩියෙන් ලියලා තියෙනවා.

      Delete
    5. අපි නම් ඔය මාතර එව්වන්ට බයයි.. හරිය.. :)

      Delete
    6. ඔව් ඔව් මාතර ඈයෝගෙන් මක්කවත් හාන්න නරකයි. ඔහේලටත් සුරුස් ගාලා පොල් ඔයල දේවි...

      Delete
  30. කියවන්න ආසාවෙන් හිටපු කාරනාවක් ගැන ලියවුනු ලිපියක්. සෙන්නගේ සැවුලා ගැන ලියපු ලිපියෙන් පස්සේ ඔක්කොම කියවලා තිබුණත් අනික්වා කියවන්න වෙලාවක් ලැබුණේ නෑ. ඒ ගැන මං කනගාටු වෙනවා මං ගැනම. මේ වගේ වැදගත් ලිපි මග හැරීම ගැන.

    ඔයා මේ කරන්නේ අපේ අයට (වගකිව යුත්තන්ට) සත පහකට වැඩකට නැති සිද්ධි ගැන වගේම අපිට වැදගත්, හිතන්න යමක් ඉතුරු කරන, සත්‍ය සිදුවීම් අපිට සමීප කරන එක. ඒ ගැන මං ආඩම්බර වෙනවා. අපේ රටේ සිද්ධ කෙරෙන බොළඳ වාර්තාමය වැඩසටහන්/ ලිපි මේ ලිපිය අහලකටවත් ගෙන්න බෑ. ඩිස්කවරි එක බලනවා වගේ ආසාවෙන් තමයි මං ඔයාගෙ බලන්නේ.

    සේපාල කියන්නේ මටනම් වීරයෙක්. එයාගෙ ෆොටෝ එකක් දැක්කෙත් අද. ඒත් එයා ගැන වගේම ෆ්‍රී ගැනත් අහලා තියෙනවා. මේ සිද්ධියත් එක්ක එයා මේක කලේ විප්ලවකාරී හැගීමෙන් මිස දරුවා වෙනුවෙන් නොවන බවත් තේරෙනවා. ඒත් එයාගේ අරමුණ කාටවත් කරදරයක් නොවී ඉල්ලීම් දිනා ගැනීමනම්, ඒක 100% සාර්ථකයි. ඒ ගැන මම ආයෙත් ආඩම්බර වෙනවා.

    මේකෙදි සරත් අයියත් පොකුත් එක්කත් එකඟ උනත් මෙහෙම ප්‍රශ්නෙකුත් හිතට එනවා. "ඔයාලා කවුරුවත් ප්‍රයිවට් බස් එකක ගිහින් නැද්ද?" කියලා.

    ReplyDelete
    Replies
    1. මට ඉස්සෙල්ලා දෙයක් කියන්න අමතක උනා.

      "සේපාලට ජයවේවා!!!"



      (ඒ ඩිංගට තේම් එකට මොකෝ බං උණේ.)

      Delete

    2. බොහොම ස්තූතියි කික් එකක් එන කමෙන්ට් එකක් දුන්නට...


      හෙහ් හෙහ් පොඩි එකපරිමන්ට් එකක් කර කර හිටියෙ බන් උඹ කමෙන්ට් එක දාද්දි

      Delete
  31. කතාව ගොඩක් වෙනස් වුණා නේද?

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර්,

      ඔක්කොවන්ටම ඉස්සෙල්ලා මට කියපන් බොලා මොකද දැන් ලියන්නැත්තෙ කියලා ? මම අණකරසිටිනවා වහාම නැවත ලිවීම අරඹන ලෙසට. නැත්නම් උඹ ලංකාවට එන වෙලාවක් බලලා ශ්‍රී ලංකන් මෙතඩ් එකට ප්ලේන් එක උස්සනවා හරිය... ? :) :)

      කතාව සෑහෙන වෙනස් වුනා තමා.. මේක සෑහෙන්න සත්‍යට ලඟ ඇති කියලා හිතෙනවා.. සේපාලම තහවුරු කරපු තොරතුරුනෙ මේකෙ ගොඩක් තියෙන්නෙ..

      Delete
  32. මට නම් ඔහු වීරයෙක්...කලින් පෝස්ටුව මම කියවලා තිබුනෙ නෑ...අද කියෙව්වා...මීට කලින් පුවත්පත් වල පලවූ වාර්තා එහෙමත් කියවලා තිබුනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා.. ලිපි දෙකම කියෙව්වට..

      Delete
  33. මමත් අදයි මේ ලිපිය කියෙව්වේ.... සේපාල ඒකනායක ගැන කලින් පත්තරේ ගිය ලිපියක් කියවල තිබුනත් මෙතරම් සවිස්තරාත්මකව තිබුනේ නෑ... ස්තුතියි ඔබට

    ReplyDelete
  34. ර්‍ප්‍රථම වතාට අද තමයි කියෙව්වෙ.ස්තුතියි ඔබට දැනුවත් කිරීමට

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. කියෙව්වට ස්තූතියි ගයනි.

      Delete
  35. සෙන්නා, අහම්බෙන් තමයෝ ඔබේ අඩවියට ගොඩ උනේ. මේ ලිපිය මගේ ළමා කාලයට මාව ගෙනගියා.
    හැමදාම මෙපට්ඨේ එන්න හිතාගෙන book mark කළා. මේකට ෆොලොවර් එකක් දන්නා කෝ සෙන්නා.

    ReplyDelete
    Replies
    1. Ayilas,

      සාදරයෙන් පිළිගනිමි !

      ෆලෝවර් එක ඔහොම්ම ටිකක් යටට ගියාම තියානවා Ayilas.

      Delete
    2. හරි හරි ෆොලොවර් එක දැක්කා. ඔන්න ෆොලොපාරක් දැම්ම එහෙනම්.

      Delete
  36. මේ ලිපිය මම කියෙව්වෙ කුරුන්ද ආපු මුල්ම දවසේ. කලින් කිව්වා වගේ එදා මුලු දවසෙන් වැඩි හරියක් කලේ කුරුන්දේ ඇවිද්ද එකනේ. මුලින් කිව්වා වගේ කුරුන්දට මාව ඇද බැද තබා ගන්න මේ ලිපියත් මේ ලිපිය ලියලා තියෙන ශෛලියත් සමත් වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බුද්ධි.. අර රොබින් හූඩ් උන්දැගෙ ටෝක එක තමා දෙන්න වෙන්නෙ.."nothing is ever forgotten"

      Delete
  37. අද තමා මේ ලිපිය කියෙව්වේ. මම දැනගෙන හිටියේ සේපාල මේක කළේ ළමයවයි, නෝනාවයි එයා ගාවට ගන්න කියලා.

    ගුවන් මඟීන් ට කරදරයක් වුන එක පිළිගන්නවා වුනත්, එය අවසන් මොහොත දක්වාම මඟීන් ට් නොදැනෙන ලෙස ක්‍රියා කිරීම ගැන නම් හිතෙන්නේ සේපාල ඇත්තටම දක්ශයෙක්. මේක හොඳට පේනවා එක ගුවන් මඟියෙක් සේපාලගෙන් ම කවුද ගුවන් යානය පැහැර ගත්තේ කියලා අහපු එකෙන්.

    තව එකක්, සේපාලව මේ ක්‍රියාවට යොමුකරවන්න හේතු වුන මූලයන් ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා සඳහන් වන්නෙ නෑ. මේකෙන් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැනත් අදහසක් ගන්න පුළුවන්. ලංකාව ස්වාධීන රාජ්‍යයක් වුනත්, බලවත් කියන රටවලට ගැති ක්‍රියා පිළිවෙතක් තමා ගත කරලා තියෙන්නේ.

    ස්තූතියි මේ ලිපියට.

    ReplyDelete
    Replies
    1. ගිහාන්,

      බොහොම ස්තූතියි පැරණි ලිපියක් කියවලා ඔබේ අදහස කීම ගැන.

      ඇත්තටම මිනිහා දක්ශයෙක්.. එහෙම කෙනෙක්ට විතරයි ඔහොම වැඩක් කරන්න පුලුවන්.. මම හිතන්නෙ මුලු ඉතිහාසෙටම මෙච්චර නිහඬව කෙරිච්ච ගුවන් කොල්ලයක් නැතුව ඇති.

      ලංකාව කුඩා රටක් හින්දා අනිවාර්යයෙන්ම බලගතු රටවල බලයට හිස නවන්න වෙන්න ඇති.. එක දෙයක් ගැන අපි ජේ.ආර්. ජනාධිපතිවරයට ස්තූති වන්ත විය යුතුයි. ඒ සේපාලව ඉතාලියට බාර නොදුන්න එකට. එහෙම වුනානම් ඔහුට ලැබෙන දඬුවම බොහොම දරුණු එකක් වෙන්න තිබුනා.,

      Delete
  38. සත්‍ය තොරතුරු අවශ්‍යනම් අමතන්න සෙන්. 0717899914

    ReplyDelete
  39. සත්‍ය තොරතුරු අවශ්‍යනම් අමතන්න සෙන්. 0717899914

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog