Friday, July 20, 2012

9/11 අතුරු කතාවක් | The Miracle of Stairwell B

2012 ඇසල මස 20 වනදා





හල් එකසිය ගණනකින් යුත් ගොඩනැගිල්ලක් මහලින් මහල ගැටෙමින් කඩා වැටන විට, ඔබ එම ගොඩ නැගිල්ලේ සිව්වන මහලේ සිටියොත් දැනෙන හැඟීම කිනම් වේවිද ? එසේ සිටි අයකු දිවි ගලවා ගනීද ? එසේ සිටි එක් අයකු නොව පිරිසක්ම දිවිගලවා ගත් කතාවක් අසා තිබේද ?

ටොන් මිලියන භාගයක් තරම් වූ යකඩ සහ කොන්ක්‍රීට් ප්‍රවාහයකට හසුව දිවි ගලවා ගැනීම ඇත්තෙන්ම හාස්කමකි. ආශ්චර්යයකි. ඔවුන්ගේ දිවි ගැලවුණේ කෙසේද ? ඔවුනට දැනුණ හැඟීම් කෙසේ වන්නට ඇතිද ?

එය දැනගැනීමට අපට වසර එකොළහක් අතීතයට යාමට සිදු වේ. මේ ඔවුන්ගේ කතාවයි.

2001 සැප්තැම්බර් 11, නිව් යෝර්ක් නගරය.

දිනය දුටු ගමන්ම, අටුවා ටීකා ටිප්පණි අනවශ්‍යයයි සිතමි. සිදුවූ ඛේදවාචකය ඔබ සැමගේ මතකයෙන් ගිලිහී නැතුව ඇතැයිද සිතමි. නමුත්, මෙම කතාව ඒ ගැන නොවේ. මේ එහි අතුරු කතාවකි.

~~~~~

කතාව ඇරබෙන්නෙ ඔවුන්ව ප්‍රහාරයට ලක් වූ ලෝක වෙළද මධ්‍යස්ථානයට කැඳවීමෙනි. ඒ, නිව් යෝර්ක් නගරයේ ගිනි නිවන භටයන් ලෙස අන් අයගේ ජීවිත ගැලවීමටය.

උදෑසන 08:46 ට ප්‍රථම ගුවන් යානය උතුරු කුළුණේ මහල් අංක 93 හා 99 අතර ගැටෙන විට, ලිපිකරු සහයිකාවක වූ ජොසපින් හැරිස් සේවය කරමින් සිටියේ 78 වන මහලේය. මොහතකින් ඇය ඉවත්වීමේ ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් "B" පියගැට මාර්ගයෙහි සිටිනු දක්නා ලදී.





ගිනි නිවන භටයන් 235ක් දෙනෙකු එම ස්ථානයට විනාඩි 15ක් ඇතුළත ළඟාවිය. මුලින්ම පැමිණි කණ්ඩායම් අතර කපිතාන් Jay Jonas අණ දුන් Ladder 6 ඒකකයද විය.






---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අප එම ස්ථානයට ළඟාවන විට දුටුවේ කිසිදා දැකීමට නොසිතූ දර්ශනයක්. ඒ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වම් කුළුණෙහි ඉහළ තට්ටු විස්සක් පමණ ගින්නට හසුවී දැවෙන ආකාරයයි. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------





Jim McGlynn හා ඔහුගේ කණ්ඩායම එම ස්ථානයට පැමිණෙන විට දුටුවේ, ගොඩනැගිල්ලෙන් බිමට පිනූ සහ පනින මිනිසුන්ගේ දර්ශනයයි.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම දැක්කා මිනිසුන් ගොඩනැගිල්ලෙන් බිමට පනින ආකාරය. මට ඔවුන්ව පොළොවෙහි ගැටෙන ශබ්දය පවා ඇසුණා. - Jim McGlynn 
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------




උදෑසන 09:03 ට දෙවන ගුවන් යානය මගින් දකුණු කුළුණට ඒ මාරාන්තික මරාගෙන මැරෙන ප්‍රාහාරය එල්ල කළේය. විනාඩි නවයක් ඇතුළත 3000 කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් ඝාතනයට ලක්විය. Mickey Kross හා ඔහුගේ ඒකකය එම ස්ථානයට ළඟා වුයේ එවිටම වාගේය.

උදෑසන 09:10 ට සැලකිය යුතු ගිනි නිවීම් ඒකක සංඛ්‍යාවක් එම ස්ථානයට ළඟා වී සිටි අතර සියලු ඒකක පාලනය කළ හැකි, අණ නිකුතු ඒකකයක් වහ වහා උතුරු කුළුණේ ප්‍රවේශ ශාලාවෙහි පිහිටුවන ලදී. Peter Hayden එහි ප්‍රධානියා වූ අතර ඒ ඒ ඒකක විසින් සම්පුර්ණ කළ යුතු කාර්යයන් පැවරීම සිදු කෙරුණේ ඔහු අතිනි. 


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔවුන් පැමිණි පසු අප අදාළ කාර්යයන් පැවරුවා. මෙය ඉතා අවදානම් සහ අපහසු කර්තව්‍යයක් බව ඔවුන්ටම වැටහී ඇති බව හොඳින්ම පෙනෙන්නට තිබුණා. - Peter Hayden
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
" නැවතත් මා එනතුරු බලා සිටි මාගේ භටයන් වෙතට පැමිණියේ මෙසේ කියමිනි, " හරි, මෙන්න අපිට ලැබුන ගනුදෙනුව. ඒක හරි හමන් ගනුදෙනුවක්. අපි ඒක කරන්ඩ ඕනා. " " - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
කපිතාන් Jay Jonas නැවතත් අප වෙත පැමිණෙමින් පැවසු දේ මට කවදාවත් අමතක වෙන්නෑ. " කොල්ලනේ මුන් අපිව මරන්ඩ හදන්නෙ. අපි යමු. "  අපිට ඒකට යනවා හැර වෙන විකල්පයක් තිබුනේ නෑ. ඒකට තමා අපිට ගෙවන්නෙ." - Bill Butler
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------





මෙය නිව් යෝර්ක් ගිනි භටයන්ට සිය ඉතිහාසයේදී මුහුණ දීමට වූ වැඩිම උසකදී ඇතිවූ ගින්නයි. එය මැඩපැවත්වීමට ඔවුනට පිය ගැටපෙළ උපයෝගී කොටගෙන අඩුම වශයෙන් මහල් අනූවක්වත් නැගීමේ දුෂ්කර අභියෝගයට මුහුණ දීමට සිදුවිය.

වේලාව උදෑසන 09:25 යි. වම් කුළුණේ වූ ගින්න ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී පාලනය කළ නොහැකි ලෙස බුර බුරා නැගෙමින් තිබුණි. මේ මොහොත වන විට Josephine Harris හැට වන මහල වෙත ළඟා වී තිබුණි. අනතුරින් ඇයට කිසිදු අනතුරක් වී නොතිබුණද සිය කකුලේ වූ පරණ තුවාලයක් ඇයගේ ගමන ගොළුබෙලි වේගයකට සීමා කළේය. 

ජොසපින් හැරිස් එසේ "B" පිය ගැටපෙළ ඔස්සේ පහතට බසිමින් සිටින විට, කපිතාන් Jay Jonas ප්‍රධාන ගිනි භටයන් එම මාර්ගයෙන්ම ඉහළට නගිමින් සිටිනු දක්නා ලදී.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
සෑම තට්ටු හතරකට පහකට සැරයක්ම අප හොඳ හුස්මක් ගැනීම සඳහා විනාඩියකට පමණ නතර වුණා. අපි එකිනෙකාට " දිගටම යන්, දිගටම යන් " කියමින් තමා උඩට නැග්ගේ. ඒ අතර පහතට බසින මිනිසුන් අපට " පරිස්සම් වෙන්න, දෙවි පිහිටයි " කියමින් ආශිර්වාද කළා මතකයි. - Mike Meldrum
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------



ඉහළ මහලයන්හී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1300 ක් පමණ දක්වා වැඩිවී තිබුණි. මෙම තත්ත්වය ලෝක වෙළද මධ්‍යස්ථානයේ කුළුණු ද්විත්වයෙහි ආධාරක වානේ රාමුව ඇද කිරීමට සමත්ව තිබුණි. එහෙත් ! ඉහළට යන ගිනි භටයන් ගොඩනැගිල්ල කඩා වැටීමට කෙතරම් ආසන්නදැයි කිසිසේත්ම නොදැන සිටියහ.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අපිට පැයක් විතර ගියා 31 වෙනි තට්ටුවට එන්න. ඒ වෙලාවෙ අපි නැවත කණ්ඩායම් සැකෙසමින් හිටියේ. හදිසියේම ගොඩනැගිල්ල හිටගන ඉන්න බැරි තරමට හෙලවෙන්ඩ පටන් ගත්තා. එම සෙලවීම නිසා අපි සියලු දෙනාම සිටගෙන සිටීමට නොහැකිව ඇද වැටුණා. Jim McGlynn
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ගොඩනැගිල්ල මෙතරම් සෙලවීමකට ලක් කෙරුවේ කුමක්ද ? එය ඒ තුළ සිටි ගිනි භටයනට සිතාගැනීමට අපහසු වූ කාරණයකි. සත්‍යය රුධිරය වතුර කරවන තරම් භයානකය. එය මහල් අනූවකටත් වඩා ඉහළින් පිහිටි ගින්නක් නිවීමට ඉහළට යන ගිනි භටයනට කිසිසේත්ම සුබදායක නොවන ආරංචියකි. ඔවුන්ගේ ගුවන් විදුලි පණිවිඩ සම්ප්‍රේෂණ යන්ත්‍රද ක්‍රියා විරහිතව තිබූ බැවින්, එම සෙලවීම, අසලින් වූ දකුණු ගොඩනැගිල්ල කඩා වැටීම නිසා ඇති වූවක් බව ඔවුන්ට මද වේලාවක් යනතෙක් දැනගැනීමට නොලැබුණි.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

සිහි එළව ගත්ත ගමන්ම මට හිතුණේ අපේ ගොඩනැගිල්ලෙ කොටසක් කඩාවැටුණා කියලා. මම බිලීට කිව්වා, " බිලී ඔයා දකුණු පැත්තෙ ජනෙල් වලින් බලන්න මම උතුර පැත්තෙ ඒවයෙන් බලන්නම්. අපිට බලාගන්ඩ ලැබෙයි මොනවද වුණේ කියලා". මම ජනෙල්ලෙන් බැලුවත් දැඩි දූහුවිල්ල මිසක් වෙන කිසිදෙයක් දැක්කෙ නෑ. මම බිලී දිහා බැලුවා. මට හිතුණෙම ඔහු දැන් ගොඩනැගිල්ල කඩන් වැටුනොත් මොනවා වෙයිද කියලා අහයි කියලා. මා දිහා එක එල්ලෙ බලන් හිටපු ඔහු " දකුණු ගොඩනැගිල්ල මේ දැන් කඩන් වැටුණා" කිව්වා. " - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

එය හිතාගැනීමට අපහසු තරමේ ඛේදවාචකයකි. වෙළද මධ්‍යස්ථානය අවට මංමාවත් අධික දුහුවිල්ලෙන් සහ අබලි ද්‍රව්‍යන්ගෙන් මොහොතකින් වැසී ගියේය. දකුණු ගොඩනැගිල්ලෙ සිරවු ජනතාව සහ ඔවුන් මුදවා ගැනීමට ගිය ගිනි භටයන් සියලු දෙනාම මොහොතකින් මරු වැළදගෙන තිබුණි. 

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මට දැනුණා අපි මොන තරම් අවධානමකද ඉන්නෙ කියන එක. තවදුරටත් කාලය අපත් සමඟ නෙමේ තිබුණේ. අපි වාසනාවන්ත නම් අපිට මේ මර උගුලෙන් ගැලවෙන්ඩ පුළුවන් වෙයි. මම මගේ පිරිස දිහා බලමින් "කණගාටුයි කොල්ලනේ, අරක කඩන් වැටුණා කියන්නෙ, මේකත් මේකත් කොයිවෙලේද කියන්ඩ බෑ. අපි වහාම මෙතනින් ඉවත් වෙන්ඩ ඕනා" යි කිව්වා. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

කපිතාන් Jay Jonas ප්‍රධාන ගිනි භටයන්, සිය ජීවිතය උදෙසා නැවතත් වේගයෙන් පහළට බසින්නට වූහ. දකුණු කුළුණ ඔවුනට ඒ සඳහා ප්‍රමාණවත් අනතුරු හැඟවීමක් කොට තිබුණි.

උදෑසන 10:15 ට, පහළොස් වෙනි මහලේදී ඔවුනට ඉබි ගමනින් පහත බසින ජොසෆින් හැරිස් මහත්මියව හමු වෙයි. ඇයගේ සහයට ඇයගේ කළමනාකාරවරයාද ඇය සමඟ විය. කපිතාන් ජෝනස් කළමනාකාර වරයාට හැරිස් මහත්මිය හැර යන ලෙස උපදෙස් දෙන්නෙ ඇයගේ වගකීම ඔවුන් අතට ගනිමිනි. එය කඩා වැටෙන ගොඩනැගිල්ලකින් ඉවත්වෙන මිනිසුන්ගෙන් බලාපොරොත්තු නොවිය හැකි තරමේ කැප කිරීමකි. නිර්භීත කමකි.

හැරිස් මහත්මිය මේ වනවිට හොඳටම විඩාවට පත්වී සිටියාය. ඇයගේ කකුලේ වූ තුවාලය ගමනේ වේගය තවත් අඩාල කළේය.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම බිලිට කොඳුරලා කිව්වා බිලී අඩිය ඉක්මන් කරලා යමු කියලා. මම මේක කිව්වෙ බොහොම හිමින්, කලබලයක් නැතිව. ඒත් ඒ මොහොතේ මම ඇතුළෙන් දැවෙමින් හිටියේ. අපි මීට වඩා වේගෙන් නොගියොත් අපිට මේ මර උගුලෙන් ගැලවෙන්ඩ හම්බෙන්නෑ කියන සිතුවිල්ල මට තදින්ම දැනුණා. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

උදෑසන 10:24 ට ඔවුන් යාන්තමින් සිව්වන මහල වෙතට ළඟා වූහ. ඒ මොහොතවන විට හැරිස් මහත්මියට තව දුරටත් සිටගෙන සිටීමටවත් නොහැකි තත්ත්වයක ඇය පසු වූවාය.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අපි හතරවෙනි තට්ටුවට එනකොට හැරිස් මහත්මියට තවදුරටත් සිටගෙනවත් ඉන්ඩ පුළුවන් තත්වයක් තිබුණේ නෑ.. ඇය කිව්වා " මාව අතෑරලා ඕගොල්ලො යන්ඩ " කියලා.. අපි කොහොමද ඇයව අතෑරලා යන්නෙ ? - Capt. Jay Jones
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

මේ අතර ප්‍රවේශ ශාලවේ, සියලු දෙනාම සිය ජීවිත ගලවා ගැනීම වෙනුවෙන් පිටතට දිවයනවිට, තම සගයකු තවමත් පිය ගැටපෙළෙහි හිරවී ඇති බව වටහා ගත් ලුතිනන් ජිම් මැග්ලේන් ඔහුට සහය පිණිස ඇතුළට දිව යමින් සිටියේය. තමාව අනුගමනය නොකරණ ලෙස ඔහුගේ ඒකකයට නියෝග කළද ජේම්ස් එෆ්තිමියාඩේස් ඇතුළු අනෙකුත් සගයන් එම නියෝගයට අවනත නොවූහ. ඔවුන්ද ඔහු පසු පස වැටිණි.


ජේම්ස් සිය සගයනට සහය පිණිස පිය ගැට පෙළට ඇතුළු වූවා පමණී, ගොඩනැගිල්ල තුළ සිරවී සිටි අයවලුන් තත්පරයකින් හෝ පමාවේවායි පැතූ ඒ අති බිහිසුණු ඛේදවාචකය ඇරබුණි. ගොඩනැගිල්ල තුළ වූවන්ගේ රුධිරය ජලය බවට පත් කරමින්, හද ගැස්මේ වේගය උපරිම කරමින්, ලොමුදැහැගන්වමින්, උතුරු කුලුණ කඩා වැටීමට ඇරබුණි.

මේ ඔවුන්ගේ මරණාසන්න අත්දැකීම්ය.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම පඩි පෙළට ඇතුළු වුණා පමණයි. මට ඇහුණා ගොඩනැගිල්ල කිරි කිරි ගාන ශබ්දය. මට තේරුණා මේකත් කඩා වැටෙන්ඩ තමා යන්නෙ කියලා. - James Efthimiades
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------







---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මෙදා සැරේ ගොඩනැගිල්ල සෙලවෙන කොට වෙන්න යන්නෙ මොකක්ද කියන එකේ සැකයක් තිබුණෙ නෑ. මොකද, අපිට ඇහුණා තට්ටු එක මත එක පතිත වෙමින් ගොඩනැගිල්ල පහළට එන ආකාරය. - Jim McGlynn
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
එක තට්ටුවක් ඊළඟ එකේ වදින වාරයක් පාසා ලොකු ශබ්දයක් සමඟ විශාල දෙදරීමක් ඇති වුණා. කොච්චරද කියනවනම් අපි හිටපු තට්ටුවෙ අපිව ඉහළ පහළ විසිවුණා. ඒ එක්කම කුලුණ ළඟ ළඟම කඩා වැටීගෙන එන ශබ්දය ඇසුණා. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
" මම මුල්ලකට පෙරළිලා කකුල් දෙක අතර හිස සඟවන් අවසානය එන තෙක් බලාගන සිටියා."  - Jim McGlynn
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
" භූම් භූම් භූම් අනුකරණයෙන් තට්ටු එකින් එක හැප්පෙමින් කඩා වැටෙනවා හඬ අපට හොඳින්ම ඇසුණා. මට මතකයි මම හිතනවා අය්යෝ ඒක පටන් අරන්, අපට පැනගන්ඩ බැරි වුණානෙ කියලා."  - Sal D'agostino
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------



---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම හිතුවෙ ඊළඟ තත්පර කිහිපයෙදි මාව මැරෙනවා කියලා. ඒක ඉක්මනින්ම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කළා. මට ඕනා වුණේ නෑ අබාධිතයෙක් හැටියට ජීවත් වෙන්ඩ නම්. - Mickey Kross
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඒ තත්පර දහයෙදි මට කල්පනා වුණේ ගෙවිච්ච අවුරුදු තිස්තුනටම මම මොනවද කරලා තියෙන්නෙ කියලා. බොහෝ වෙලාවට වැඩ කිරීමම පමණයි. මගේ බිරිඳ දැන් වැන්දබුවක් වේවි. මගේ අවමගුල් උත්සවයට සියලුදෙනාම, දෙමාපියන්, පවුලේ අය සහභාගි වන ආකරයත් මගෙ කල්පනාවට නැගුණා. - James Eftimiades
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


උතුරු කුළුණේ කඩා වැටීම එහි සිරවූ පුද්ගලයන් 1300 කට අධික පිරිසකට මරු කැඳවීය. එහෙත්,
"B" පියගැටපෙළෙහි සමහර කොන්ක්‍රීට් බිත්ති, ඒ තුළ සිරවූ 14 දෙනෙකුගේ ජීවිත රැකගනිමින් නොසැලී සිටියහ.


තම දෑස් විවර කොට බලන විට ඔවුන් ආශ්චර්යයක් අත් විදිමින් සිටියහ. ජීවිතයේ අවසාන මොහොතට සූදානම් වී දෑස පියාගත් පසු නැවත එම දෑසම විවර කොට මෙලොව දකින්නට ලැබීම කිනම් වූ අත්දැකීමක් වේවිද ? ඔවුන් දැන් මේ විදිමින් සිටිනුයේ ඒ විරල අවස්ථාවයි.

අවටින් ඇසුණ ශබ්ද නිසා, කපිතාන් ජෝනස්ට තමන්ද, සිදුවීමට අපහසු හාස්කමක කොටස් කාරයකු වී ඇති බව තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවුණි.


ඛේදවාචකයෙන්, සම්පූර්ණ Ladder 6 කණ්ඩායමම සහ ජොසෆින් හැරිස් මහත්මිය දෛවෝපගත ලෙස දිවිගලවාගන තිබුණි. මෙම හාස්කම සිදුවූයේ කෙසේදැයි මුලදී විශේෂඥයන්ව අන්ධ මන්ද කළද, දැන් ඔවුන් ඒ සඳහා ආසන්න හේතුවක් ඉදිරිපත් කොට ඇත. ගොඩනැගිල්ල කඩා වැටීමේදී එහි පිටත කොටස්, ඇතුළත කොටස් වලට වඩා වේගයෙන් කඩා වැටීම හේතුකොටගෙන ගොඩනැගිල්ලෙ පාදම දෙසට වන්නට ආරක්ෂිත අවකාශයක් ඉතිරි වී ඇත. දිවිගලවා ගත්වූවන් සිරවූයේ මෙම කොටසේය.


වෙළද මධ්‍යස්ථානය අවට කලාපයම ඝන දූලි වලාවකින් වැසීගොසිනි. සතර අතින් අනෙකුත් ගොඩනැගිලි මධ්‍යයෙන් දූලිවලාව ගමන් කෙරුවේ කාන්තාර වල ඇතිවෙන වැලි කුණාටුවක් සිහිපත් කරවමිනි. මෙය පිටත සිටි ගිනි භටයනට සිය කාර්යයන් අපහසු කළේය. ගමන් කථන හරහා කෙරුණ සන්නිවේද කටයුතුද ඇන හිටිනි.


දූලි වලාව පහව ගිය වහාම, විදුලි පණිවිඩ සංඥා මගින් දසතින් ඇසෙන්නට වූයේ උපකාර ඉල්ලා නිකුත් කෙරුණ පණිවිඩයි. ( Mayday Messages )


කපිතාන් ජොනස්ද තමන්ගේ Mayday පණිවිඩය ගුවනට මුදා හළේය. එහෙත්, එකවර දසතින් ඇසුණු උපකාර ඉල්ලීම වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. ඔහුගේ පණිවිඩයටද ප්‍රතිචාරයක් නොමැත.



කපිතාන් ජෝනස් ඇතුලු Ladder 6 කණ්ඩායම හා ජොසෆින් හැරිස් සිරවී සිටි ස්ථානයට පහළට වන්නට ලුතිනන් ජිම් මැග්ලේන් හා ඔහුගේ කණ්ඩායමද සිරවී සිටියහ. මිකී ක්‍රොස් අන් අයගෙන් හුදකලාවූ වෙනමම ස්ථානයක තනිවම සිරවී සිටියේය. සියලු දෙනාම පසු වූයේ බරපතල අවිනිශ්චිතතාවයක. බාහිර ලෝකය සමඟ තිබු සම්බන්ධය බිඳී තිබුණ හෙයින් පිටත සිදු වන්නේ කුමක්දැයි ඔවුනට අවබෝධයක් නොවුණි. කපිතාන් ජෝනස් දිගින් දිගටම උපකාර ඉල්ලා කෙරෙන පණිවිඩ නිකුත් කරමින් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් පසු විය. තවමත් ඔහුගේ පණිවිඩ වළට ප්‍රතිචාරයක් නොමැත.


සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ඇරබුණි. එහෙත්, එය සිතූ තරම් පහසු කටයුත්තක් නොවුණි. ඉතා සෙමෙන් කළයුතුවූ අනතුරුදායක කටයුත්තක් වී තිබුණි. සිය ගණනින් නව ගිනි භටයන් එම ස්ථානයට ළඟා වන විටත් කපිතාන් ජෝනස් සිය උපකාර පණිවිඩ සඳහා ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් පසු විය. ඔහුට වෙන කළ හැකි කිසිවක් නොවුණි.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අපිට තේරුණා මෙතනින් බාහිර උදව් නැතුව ගැලවෙන්ඩ බැරි විත්තිය. ඒක ගිනි භටයකුට ඉතා විශාල මානසික පීඩනයක් ගෙනදෙන කාරණයක්. මොකද අපි නිතරම අන් අයව ගලවා ගැනීමට යන අය. දැන් ඔක්කොම කණපිට හැරිලා, අපිට වෙන කවුරු හරි ඇවිත් අපිව බේර ගන්නකම් බලා ඉන්ඩ වෙලා. - Capt. Jay Jonas 
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


සැප්තැම්බර් 11, මද්‍යහනය වන තුරුත් කපිතාන් ජෝනස්ගේ පණිවිඩ වලට ප්‍රතිචාරයක් නොමැත. පිටත සිටි ගිනි භටයනට ඔවුන් සිරවී සිටින්නේ කෙතරම් ආසන්නයේදැයි අදහසක්ද නොවුණි. කපිතාන් ජෝනස් නැවතත් සිය ගුවන් විදුලි පණිවිඩය මුදා හළේය. මෙවර එය සාර්ථක විය. බලාපොරොත්තු නොවූ ලෙස මෙවර එයට ප්‍රතිචාර දැක්වීය. ඒ ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කරමින් සිටි Chief Nick Visconti ය.



---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මට ඇහුණා නික් ගුවන් විදුලි යන්ත්‍රයෙන් අප අමතනවා " Operations to ladder 6, all units stand by, operations to ladder 6, Jay, where are you ? " - Capt. Jay Jones
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


නමුත් කපිතාන් ජෝනස් සඳහන් කළ ස්ථානය ඔවුනට කිසිසේත්ම විශ්වාසකළ නොහැකි එකක්ම විය. උතුරු කුළුණක් තව දුරටත් නොපැවතුණි. නික් විසින් කිහිප වරක්ම ජෝනස්ගෙන් ස්ථානය පිළිබඳ විමසා සිටියේ මෙම ව්‍යාකූලතාවය මගහරවා ගැනීමටය.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මට ඇහුණා කවුදෝ ගුවන් විදුලියෙන් අහනවා " කොහෙද උතුරු කුළුණ තියෙන්නෙ " කියලා. - Capt. Jay Jones
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


නික් විස්කොන්ටී විසින් යුහුසුළුව ඔවුන්ව ගලවා ගැනීම සඳහා කණඩායමක් පිටත් කෙරිණ. ග්ලෙන් රෝහන් ප්‍රධාන කණඩායමට එම කාර්යය පැවරිණ. නමුත් මුලින්ම ඔවුනට උතුරු කුළුණේ නටබුන් සොයා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු විය.






---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
නික් කිහිප වරක්ම මට ගුවන් විදුලියෙන් කතා කළා. ඔහු පැවසූවේ " මම උඹව බේරගන්ඩ එනවා සහෝදරයා. මම එනවා. "  - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


මේ අතර තවත් දෙයක් සිදු විය. පැවති දූලි වලාව පහව ගොස් අවට වාතාශ්‍රය පැහැදිලි වූ විට, තමන්ගේ ගැලවීම් මාර්ගය වැටී ඇත්තේ කොහෙන්දැයි පෙන්වමින් සූර්යයා දිදුලමින් මග පෙන්වන්නට විය. විවරයක් තුළින් සූර්යාලෝකය ඔවුන් සිටි තැනට වැටී තිබුණි.


එම මාර්ගය ඔස්සෙ ඇඳුණු කඹයක් ආධාරයෙන් සමහර භටයන් ඉහළට නැගීම ඇරඹීය. අනෙක් අය සුන් බුන් අතර තව දුරටත් සිරවී සිටියහ. පැය හතරකට අධික කාලයක් නටබුන් අතර සිරවී සිට ගොඩට පැමිණි භටයන් සිය අවට දක්නට ලබුණු විනාශයේ ප්‍රමාණයෙන් විමතියට පත්වූහ.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම අවට බලද්දි දක්කේ හැමතැනම පැතිරුණු ගින්දර, දුම් සහ නටබුන් විතරයි. හරියට නිකම් න්‍යෂ්ටික බෝම්බයකට අහුවෙලා වගේ. මේකෙන් බේරුණා කියලා මට විශ්වාසකරන්ඩත් බෑ වගේ. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


මෙසේ පිරිසක් ගලවා ගැනීමෙන් අනතුරුව, ග්ලෙන් රෝහන් ජොසෆින් හැරිස් මහත්මියව සහ අනෙකුත් භටයන්ව බේරා ගැනීම උදෙසා අදාළ විවරය දිගේ කඹයක් ආධාරයෙන් පහතට බසින්නට විය.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මට මතකයි ඔහු පහළ එනවා. ඒත් ඔහු ආවෙ කඹයකින්. කොහොමද ඔවුන් මාව කඹයක් ආධාරයෙන් ගලව ගන්ඩ යන්නෙ? - Josephine Harris
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම කිව්වා ජොස්ෆින්ට, අපේ තව පිරිස් සහ උපකරණ එනවා. අපි ඔබව මෙතනින් ගලව ගන්නම්. ඒ ගැන බය වෙන්ඩ එපා කියලා. - Glenn Rohan
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


ජොස්ෆින් හැරිස්ව බේරා ගනීමෙන් අනතුරුව, ග්ලෙන් රෝහන් සිය අවධානය යොමු කෙරුවේ ජිම් මැග්ලේන් අතුළු ඔහුගේ කණ්ඩායම වෙතයි. ජිම් මැග්ලේන් ඔහුට පහතින් සිරවී ඇති සිය සගයන් දෙදෙනා ගලවාගන්නා තුරු එතනින් යාම ප්‍රතික්ෂේප කළේය. පැයක පමණ වූ අති දුෂ්කර ව්‍යායාමයකින් පසුව ග්ලෙන් රෝහන් විසින් පහතින්ම සිරවී සිටි අවසන් භටයන් දෙදෙනාද ගලවා ගන්නා ලදී. "B" පියගැට පෙළෙහි සිරවූ ගිනි භටයන් දාහතර දෙනාවම මෙසේ ගලවා ගන්නා ලදී. පුදුමයකට මෙන් ඔවුන් සියලු දෙනාම බරපතල තුවාල කිසිවක් ලබා නොතිබුණි.

පස්වරු තුනට කපිතාන ජේ ජෝනස්, සිය ආගමනය වාර්තාකිරීම සඳහා අණ නිකුතු ඒකකය සොයාබලන විට   Peter Hayden ගිනි නිවීම් රථයක් මත සිට ගලවා ගැනීම මෙහෙයුම් සම්බන්ධීකරණය කරමින් සිටිනු දක්නා ලදී.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ජේ මාවෙත පැමිණ ආචාර කොට " කපිතාන් ජෝනස් සේවයට වාර්තා කරනවා " යි පැවසුවා. - Peter Hayden
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඒක අපි දෙදෙනාටම හරිම හැඟුම් බර මොහොතක්. ඔහු කීවා "ජේ ඔබව දකින්න ලබුන එක හොඳයි" කියා, එතකොට මම කීවා නැවත මෙහි සිටීමට ලැබීමත් හොඳයි කියා. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


ඉවතට පැමිණි මිකී ක්‍රොස් සිය ඒකකය සොයන්නට විය. අණ නිකුතු ඒකකයට ආසන්නයේ වූ මේසයක් දුටු මිකී ඒ වෙත ගමන් කෙරිණ.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
එම මේසය වෙත ගමන් කොට මම කිවා " මම ලුතිනන් මිකී ක්‍රොස්, Ladder 16 වෙතින්. " එවිට ඔවුන් දීර්ඝ නම් ලයිස්තුවක් පරික්ෂා කොට " ඔබ අතුරුදහන් වූ හෝ මිය ගිය ලෙස මෙහි වාර්ථා වී තිබෙනවා " යි කීවා. " නැහ් නැහ්.. මම මේ ඉන්නවා.. කෝ මගේ කණ්ඩායම " " ඔවුන් සියලු දෙනාම හොඳින් " යි ඔවුන් කීවා - Mickey Kross
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


මිකී ක්‍රොස් ගේ කණඩායමේ සියලු දෙනාම අනතුරින් දිවි ගලවා ගෙන තිබුණි.


සිය ප්‍රථමදාර අවසන් වූ වහාම ජිම් මැග්ලේන් සිය ඒකකයේ අනෙක් සගයන් ගැන සොයා බලන්නට විය. ඔහුගේ කණ්ඩායමේද සියලු දෙනාම දිවි ගලවා ගැනීමට සමත්ව සිටියහ.


ජේමස් එෆ්තිමියාඩේස් තදබල හුස්ම ගනීමේ අපහසු තාවයකින් පෙළෙන්නට විය. ප්‍රථමාධාර වලින් පසුව ඔහුව වහාම රෝහල කරා යොමු කෙරිණ. ඊට පෙර සිය බිරිඳට කතා කිරීමට ඔහු සමත් විය.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
" මම හොඳින් ඉන්නවා. මම දැන් රෝහලට යන්ඩයි යන්නෙ. අම්මටත් කතා කරලා කියන්න මම හොඳින් කියලා. "  - James Eftimiades
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


~~~~~
පසුව සොයා ගත් සිය ගණනකගේ සිරුරු අනුස්මරණීය ලෙස භූමදාන කරන ලදී. එක්දහස් ගණනක් අංශු මාත්‍රයක හෝ සටහනක් නොතබා සුන්බුන් අතර අතුරුදහන්ව සිටියහ.


කපිතාන් ජෝනස් සිතන පරිදි ජොස්ෆින් හැරිස්ගේ භූමිකාව මෙහිදී ඔවුන්ගේ ජීවිත ගැලවීම කෙරෙහි තදින්ම බලපා ඇත. 


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ජොසෆින් හැරිස්ගේ ජීවිතය ගලවා ගැනීම වෙනුවෙන් නතරවීමට ගත් තීරණය ඇත්තෙන්ම අති විශාල සාධකයක්. අපට මෙන්ම ඇයටත්. අපි ඇයව ගලවා ගැනීමට නතර නොවුණේ නම් මේ වෙනකොට අපි කොහේ ඉඳියිද ? - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


ඔවුන් එසේ දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වුවද, නිව් යෝර්ක් ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ භටයන් 343 දෙනෙකු සිය ජීවිතය පූජා කොට තිබුණි. එය නිව් යෝර්ක් ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ අඳුරු දවසකි.


~~නිමි~~


" The Miracle of stairwell  B වාර්තා චිත්‍රපටය අකුරු වලට හැරවූයේ ;


~~ සෙන්නා / 20.07.2012


පසු සටහන් :
1. කිසිත් නැත. වැරදි ඇතොත් කියන්න.

86 comments:

  1. පලවෙනි කුළුණට යානය කඩා වැදිලා ටික වෙලාවකින් මම ටි.වී. එකේ ඕක බල බල හිටියෙ. ටික වෙලාවකින් දෙවෙනි එක බලා ඉද්දිම වගේ ඇවිත් වැදුන. එතන ඉඳන් වෙච්ච හැම දෙයක්ම අදහගන්න බැරිව බලන් හිටිය. මිනිස්සු අච්චර මහල් ගණනක් උසින් බිමට පනිනව, කුළුණු දෙක බිමට කඩා වැටෙනව බලාගෙන හිටියෙ කියන්න බැරි තරම් දුකකින්. මේක කියවද්දි ඒ හැඟීම් නැවත දැනුන වගේ උනා.

    මේ වගේමයි එදා උදේ ළමයව ඉස්කෝලෙට දාන්න ගිහින් වැඩට එන්න පරක්කු වෙච්ච නිසා, ඔෆිස් එකේ යට treat එකක් දෙන්න doughnuts අරන් එන්න පොඩ්ඩකට එලියට ගියපු නිසා වගේ සුළු සුළු කාල වෙනස්කම් නිසා කීදෙනෙක් බේරුනාද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මුහුදු සටහනට.

      අත්තෙන්ම අර මිනිස්සු බිමට පනින කේස් එකනම් මගෙත් ඇඟ හිරි වැට්ටුවා.. ත්ට්ටු 110 ක් උඩ ඉඳ බිමට පනිනව කියන්නෙ.. මට හිතා ගන්ඩ බෑ ඇයි එහෙම කළේ කියලා..

      ඔව් එහෙම බේරිච්ච අය ගොඩක් ඉන්ඩ ඇති නේද ? ලියවිලා තියන ආයුශ කාලය අනුව ඒ ඒ විදිහට කරුණු යෙදෙන්ඩ ඇති කියලා හිතෙනවා.

      Delete
    2. ඔතන වැඩ කල ඉන්දියානුවෙක් ගෙදරට කොල් කරලා වයිෆ්ට කිව්වලු, "බිල්ඩින් එක ගිනි අරගෙන නිසා එයාල පිච්චෙනවා. පිච්චෙන වේදනාව දරාගන්න බැරි නිසා එයත් බිමට පනින්නයි යන්නෙ" කියලා.

      තවත් කතාවක් තියෙනවා. මගේ යාලුවෙක් හිටියා ඒ දවස් වල ඔය අව‍ට. මිනිහා ලංකාවේ උනාට ඇමරිකන් කාරයයින්ට ඌත් එක Fxxxxx ඉන්ඩියන් කෙනෙක් විතරයි. උන් හැංගිලාලු හිටියේ ඒ දවස් වල. ඇමරිකන් කල්ලෝ ඉන්දියන් මුස්ලිම් පෙනුම තියෙන උන්ට පන්න පන්න ගැහුවලු. මම නම් ඒ සිද්ධිය ඇහැව්වෙ එදාමයි. මිනිහා නං දිවුරලා කිව්වා එහෙම දෙයක් උනා මයි කියලා.

      Delete
    3. මමත් ඊයෙ බලපු තව ඩොක්‍යුමන්ට්‍රි එකක තිබුනා, දරාගන්ඩ බැරි රස්නෙ නිසයි මිනිස්සු බිමට පැනලා තියෙන්නෙ කියලා. ඒකෙ නම් බිමට වැටිලා හිටිය මිනිස්සුන්වත් පෙන්නුවා. අප්පා ඒ මිනිස්සු නෙමේ තනිකරම මස් ගොඩවල් විතරයි..

      අර කතාවනම් ඇත්ත වෙන්ඩ ඇති බුද්ධි. My name is Khan film එක පුරාම පෙන්නන්නෙ ඔය හිරිහැර කිරීම් තමා.

      Delete
  2. මේ සිද්ධිය නම් ජීවිතේ කවදාවත් අමතක වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. ටීවී එකේ America under attack කියලා පෙන්නන කොට මේ ඇත්තක්ද, බොරුවක්ද, කියලා හිතා ගන්ටත් බැරි උනු තරම්. එහෙන්, මෙන් ෆෝන් කෝල්ස් එන්ට පටන් ගත්තට පස්සේ තමා ඒ ඇත්තක් කියනකොට ඔලුවට වැදුනේ. ඒ දවසට ආය ගියා මේ සටහන දැක්කාම. එච්චර වේගෙන් ආපස්සට ඇදදාන සටහනක්.

    මේ ඔක්කොම සිදු උනාට පස්සේ මේ ස්ථානයට ගිහින් බලන්ට අවස්තාවක් ලැබුනා. විනාශකාරී ක්‍රියාවලියකට පස්ස්සේ ඕනෑම තැනකදී දක්නට ලැබෙන සිත රිදෙනා, මිනිස් සංහතියම එපාවී යන හැඟීමක් ඒ වේලාවේ හිතට ආවේ.

    වෛරය කියන්නේ කෙතරම් හානිකර දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පොඩ්ඩි, මට මේක ලියාගන යනකොට ආසාවක් ආව එතනට ගිහින් අද තියන විදිහ දැක ගන්ඩ. මම හිතන්නෙ කවදාවත් ඒ අවස්ථාව ලබෙන එකක නෑ.. ඒත් මට එහෙම හිතුනා. :-) ඔයාට ඒ වාසනාව ලැබිලා තියනවා නේද ?

      මේක ඇත්තටම හරි විවාදාත්මකයි පොඩ්ඩි. සමහර තැන් වල කියවනවා මේක සැලසුම් සහගතව කෙරුනු කඩා දැමීමක් කියලා.. එවකට හිටිය ඇමෙරිකානු ජනාධිපතිවරයා කලින්ම මේක වෙන බව දැනගන හිටීයත් කියලා..ඒ සම්බන්ද Documentary film එකක් තියනවා Fahrenheit 911 කියලා. පුලුවන් නම් හොයාගන බලන්න. මට නම් ඒක බලපුවම මාර කල කිරීමක් ඇති වුනේ.. මිනිස්සු මෙච්චර දුෂ්ඨ වෙන්නෙ කොහොමද කියලා. පුලුවන් උනොත් ඒකත් මම මේ වගේ අකුරු කරන්ඩ කියලා ඉන්නෙ. බලමු.

      Delete
    2. සෙන්නා කියන මේ කතාව සිංහල බ්ලොග් එකක දීර්ඝ විස්තරයක් එක්ක පලවුනා. සාක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්නලා තිබුනා මේ සිද්ධියට අතිශය ඉහල නිලධාරින්ගෙ සම්බන්ධය. ඒ සිද්ධියට දින දෙකකට කලින් ආරක්ෂ අංශවල වෙබ් අඩවි පවා රජයේ වෙනත් නිළධාරින්ගෙ අතට පත් කරලා තිබුනා ආදී වශයෙන්. අවාසනාවකට ඒ වෙබ් අඩවිය මගේ මතකයේ නෑ.

      Delete
    3. අර මම කියපු ෆිල්ම් එකත් බලන්ඩකො බුද්ධි. ඒකෙත් සෑහෙන්න පෙන්නනවා ඔය වගේ දේවල්.. ජනාධිපති බුෂ් පවුල සහ බින් ලාඩන්ලා අතර තිබුන සම්බන්ධකම් එහෙම..

      Delete
  3. ඒ වෙලාවෙ දැනුන දේවල් මේ ලිපිය කියවනකොට ආයෙම දැනෙන්න ගත්ත වගේ. කවුරු කරත් යුද්ධය කියන දේ නම් අනව්‍ව්‍ශ්‍ය දෙයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩිලාන්. හැම යුද්දෙන්ම දුක් විදින්නෙ අහිංසක මිනිස්සු විතරයි.

      Delete
  4. මේ විදිහට විශාල ගොඩනැගිලි එකපාර බිම වැටුනෙ කොහොමද සෙන්නා?

    දැන් හදාගෙන යන උස ගොඩනැගිලිවල හැටියට එව්වා ගිනි ගත්තොත් නිවන්න ලේසි වෙන එකක් නෑ.. ලිපිය ලියා ඇති ආකාරයෙන්ම මට තේරුනා මේ නම් වාර්තා චිත්‍රපටියක පරිවර්තනයක් කියලා.. ඔන්න ඔක්කොම කියෙව්වා.. ඔබට බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. මටත් ඕක ගැටලුවක් හරී. විශ්වාස කරන්ඩ අමාරුයි නේද ? පොඩ්ඩිට දීපු උත්තරෙත් ටිකක් බලන්ඩකො. මේකෙ කියන විදිහටනම් අදික රස්නය නිසා වානේ රාමුව දුර්වල වීමෙන් කඩා වැටුනා කියලා තමා කියන්නෙ. අනේ මංදා මටත් ඒක පිළිගන්ඩ බෑ බෑ වගේ..

      Delete
  5. මම හිතන්නේ ජපන්නු පර්ල් වරායට බෝම්බ දැම්මට පස්සේ ඇමරිකාවට එල්ලවුණ ලොකුම ප්‍රහාරය මේක. මෙයින් ඉගෙනගතයුතු පාඩම් රාශියක් තියනවා.

    1. කිසිදු විටක තමන්ගේ ආරක්ෂාව පිලිබඳ අධි තක්සේරුවක් කරන්න එපා.
    2. ලෝකයේ ලොකුම යුද්ද හමුදාව දාලා තමන්ගේ රටේ ගෞරවය කියන කේක් ගෙඩිය රකින්න හැදුවත් ත්‍රස්තවාදියා කියන මීයා කොහෙන් හරි රිංගලා කන්න බලනවා.
    3. යම්කිසි රජයක් පිළිබඳව ඒ රටේ ජනතාවගේ විශ්වාසය නැත්නම් ඒ අවිශ්වාසයේ වාසය කරන්නේ ත්‍රස්තවාදියා.

    මේ වාර්තා චිත්‍රපටිය බලන්න කැමති අයට ඒක බාගත කරගන්න ලින්ක් ඒක දුන්නනම් හොඳයි.
    වෙනද වගේම සංක්ෂිප්තව එහෙත් අවශ්‍ය සියල්ල ආවරණය වන පරිදි ලියා තිබෙනවා. ඔබ දන්නවා නේද ප්‍රවෘත්තියක තිබිය යුතු විශේෂ ලක්ෂණයක් තිබෙනවා. ප්‍රවෘත්තියක් හරියට ලස්සන තරුණියකගේ කොට ගවුමක් වගේ විය යුතුයි. අවශ්‍යදේ වෙත අනුන්ගේ අවධානය එල්ල වන තරම් කෙටි විය යුතුයි. අවශ්‍ය දේ අවශ්‍ය පමණට ආවරණය වෙන තරම් දිග විය යුතුයි.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දීලනෙ තියෙන්නෙ විචාරක මහතා. ලිපියෙ යටම දාලා තියන තැන ලින්ක් එකත් එක්ක තමා දාලා තියෙන්නෙ.

      ස්තූතියි ඔබේ දැනුවත් කිරීම ගැන.. ඔය ගවුමෙ කතාව මම දැනගෙන හිටියෙම නෑ.. :-)

      පර්ල් වරාය ගැන මතක් කලාට ස්තූතියි.

      Delete
    2. වයසක උන්දෑට ලින්ක් ඒක නොපෙනීම ගැන කමා කරන සේක්වා.

      Delete
    3. සමාවෙන්න විචාරක මහතා වරද මගේ.

      මම ලින්ක්ස් වලට දීලා තිබුන පාටින්මයි අද පෝස්ට් එකත් පල කළේ. ඉතින් ලින්ක් එක කැපිලා පෙනුනෙ නෑ. ඒක ඔබේ වයසේ හෝ පෙනීමේ දෝෂයක් නිසා නෙමේ. මටත් වැඩේ තේරුනේ පස්සෙ. ඔන්න දැන් හැදුවා.

      Delete
    4. නෑ නෑ මමත් ටිකක් හොඳින් බැලුවේ නැති එකයි වරද
      ප්‍රංශ ජාතික අනාගත වක්තෘ කෙනෙකු වූ නොස්ත්‍රදාමුස්‌ 9/11 ගැන අනාවැකියක් කියූ බවටත් කතා පැතිරුනා. නමුත් එහි විද්‍යාත්මක සත්‍යයක් නැතිබව විකිපීඩියාවේ සඳහන් වෙනවා. මෙතනින් බලන්න.
      http://en.wikipedia.org/wiki/Nostradamus_in_popular_culture

      Delete
    5. ස්තූතියි විචාරක මහතා.. ඒ ගැන කිව්වට..හිමීට කියවන්ඩ ඕනා..

      Delete
  6. ලස්සනට ලියලා තියෙනවා එතන හිටියා වගේ තේරුනේ....ගොඩක් විස්තර දැනගත්තා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ..

      කෝ බං උඹේ පෝස්ට් එකක් කාලෙකින් දැක්කෙ නෑ.. අධික වැඩද ?

      Delete
  7. මේ විස්තරේ කියවගෙන යද්දි ඇඟ හිරිවැටෙනවා වගෙයි දැනුනෙ..අපූරු පරිවර්තනයක්..
    මහබැංකු ප්‍රහාරය නුගේගොඩ බෝම්බය වගේ ලංකාවෙ අපි අතරම සිද්ධ වුනු දරුණු සිදුවීම් බොහොමයක් ආපහු මතක් වුනා..

    2007 දි නුගේගොඩ බෝම්බයට අහුවෙන්න ගිහින් විනාඩි ගණනකින් බේරුන හැටි තාමත් මතකයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ.

      හැබෑටම එහෙම අනූනවයෙන් බේරුනාද ? එහෙම බේරිච්ච කෙනෙක්ම තමා දන්නෙ මරණාසන්න අත්දැකීමක් කියන්නෙ මොනවගේ දෙයක්ද කියලා..

      ලංකාවෙ සිද්ධිත් ලියන්ඩ හිතේ තියනවා.. ඒත් විස්තර හරිම අඩුවෙන් තමා ජාලයෙන් හොයා ගන්ඩ පුලුවන්. බලමු.

      Delete
    2. පාරමී කුලතුංග මහත්මයා මරා‍ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අහුවෙද්දි අපි ඒ අසල 138 බස් එකේ. පන්නිපිටියෙ ධර්මපාලෙට යන ගමන්.....!

      Delete
    3. බුද්ධිත් එහෙනම් යාන්තම් බේරිච්ච කෙනෙක් වගේ..කුරුළු හමුදාවෙ හිටපු හින්දා තව ඔය වගේ අත්දැකීම් ඇති නේද ?

      Delete
    4. බුද්ධි ඉඳල තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව . මන් බනි ඉපදිලා නිවාඩු පිට ඉන්න දවස්වල . කන ගාවම වගේ සද්දේ ඇහුනේ . ඉස්කෝලේ කියලයි කට්ටිය හිතුවේ අම්මලා අඬ අඬා දිව්වා . ඊට දවස්කිපෙකට කලින් රැකියා ආයතනයෙන් වියට්නාමේ යන්න කැමතිද කියල අහල තිබුනේ . මන් ඒ ගැන ටිකක් අකමැතිව හිටියේ .මේ සිද්ධිය වුන වෙලාවේම මන් තීරණය කළා ඒකට කැමැත්ත දෙන්න . ඒ දවස් මහා එපා කරපු දවස්. ලොක්කි ඉස්කෝලේ නොගිය දවස් වැඩියි ගිය දවස්වලට වඩා . පොඩි එකී වෑන් එකේ යවල මන් කොහොම ගෙදරට වෙලා ඉන්නද . ඉස්කෝලවලට ගහනව කියල කියා තිබු කාලයක්. ඉතින් ඒ ආපු ගමන තාම මෙහෙ

      Delete
    5. සෙන්නා,
      බිම් බෝම්බ වලට අහුවුනු, බෝම්බ නිශ්ක්‍රීය කරන්න ගිහින් අත්වැරදීම් වෙච්ච යාලුවන්ගේ කඳුලු කතා ඕන තරම් තියෙනවා. දැන් ඒ දේවල් වලට නියම වටිනාකම ඇවිල්ලා කියලයි මට හිතෙන්නෙ.

      කොටින් ම චිත්‍රපටිවල පෙන්නවට වඩා හැබෑ වීරයෝ ඉන්නෙවා යුධ පිටියේ. ඒත් කවුද ඒ සජීවි අවස්ථා වීඩියෝ කරන්නෙ.......


      බින්දි අක්කා,

      ඒකත් එහෙමද? අපි ඒ දවස් වල පුහුණුවීම් කලේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ. ඔය සිද්ධිය වෙද්දි අපි අවුරුදු දෙකක් විතර සතියට දින 4 ක් හැමදාම කොළඔ ඉදලා ධර්මපාලෙ‍ට ආවා.

      ඒ සිද්ධිය වෙච්ච හැටියේ අපි බස් එකෙන් බැහැලැ පරණ පාරෙන් ධර්මපාලෙට ආවා. ඒ එද්දිත් දෙමව්පියෝ තුන් හාරසීයක් ගේට්ටුව ගාව පොදිකනවා තමන්ගේ ළමයා ඉල්ලලා.

      Delete
    6. බින්දි,

      මම හිතන් හිටියෙ බින්දි වියට්නාම් ගියේ මහත්තයා ගිය හින්දා කියලා..

      ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ.. එහෙම බයෙන් හිටපු කාලයක් හැමෝටම තිබුනා නේද ? උදේ ගෙදරින් ගිය මිනිහා හවස ගෙදර ඒදැයි සැකයෙන්, බයෙන් බලන් හිටපු කාලයක්..

      බුද්ධි,

      ලියන්ඩකො ඒ දන්න කියන වීරයන්ගේ කතා..ෆිල්ම් වල කාඩ්බෝඩ් වීරයො රජ වෙලා ඉන්නෙ සැබෑ වීරයන්ගේ ඇත්ත අත්දැකීම් එළියට නො එන නිසා තමයි.

      Delete
    7. මම දන්න ජෝඩුවක් හිටියා, කවදාවත් දෙන්නා එකට ගමනක් ගියේ නෑ.මහත්තයා කලින් එනවා, කෝච්චිය පරක්කූනං නෝනට කියනවා , දැන්ම ඔයා ආවොත් යන්න වෙන්නේ එකම කෝච්චියේ , පරක්කු වෙලා ගෙදරින් එන්න කියලා.

      මොනම හේතූවකටවත් එකට ගියේ නෑ.

      අපරාදේ එච්චර පරිස්සම් කරපු ඒ බිරිද මහ බැංකූ බෝම්බයට අහු උනා

      Delete
  8. ඇමරිකාව පොවපු කිරි වලින් ඇමරිකාවටම ගහපු එක අවස්ථාවකට උදාහරණයක් විතරයි. ඒත් එතනදී විනාශ වුනු අහිංසකයින් කොහෙත්ම ඒ දේවල් වලට සමහර විටක කැමති නැතුව ඇති.

    රසවත්ව ලියලා තියනවා සෙන්නා. වැඩ මැදින් උනත් මම මේ ටික දිගටම කියවගෙන ගියේ ඒ නිසාමයි. ලියලා තියන විලාසයෙන් මට මතක්වුනේ එක්තරා චිත්‍රපටියක්. The Vantage Point ඒ චිත්‍රපටයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්සැන්ඩර්.

      මට හිතෙන්නෙ මේ කාරණය විවාදාත්මකයි. ඇමෙරිකාවට ගැහුවාද, අමෙරිකාව ගහ ගත්තාද කියලා ප්‍රශ්ණයක් එනවා? දෙවෙනි කාරණය ඔප්පු කරන්ඩ හදපු වීඩියෝ සිය ගානක් හොයා ගන්ඩ පුලුවන් යූ ටියුබ් එකේ..

      මට පිස්සු නොහැදුනා විතරයි අර ෆිල්ම් එක බලලා.. එකම දේ නැවත නැවත් පෙන්නනකොට මුලදි නම් එපාම වුනා.. ඒත් අන්තිම හොඳයි.. ලස්සනට කතාව සම්බන්ධ කරලා තියනවා.. ඒකෙන් ගන්ඩ දේවල් බොහොමයි.. බලමු ඉස්සරහට ඒ වගේ අත්හදා බැලීමකුත් කරලා :-) නැත්තම් කට්ටියට මේ පල්හෑලි කියවන්ඩ එපා වෙයි නේද ?

      Delete
    2. පල් හෑලි?? මේවා? පිස්සුද? එහෙම කිව්වොත් පල් හෑලි වලට කියන්න වෙන නම් දෙන්න වෙයි. :)

      ඇමරිකාව ගහගත්තා වෙන්නත් බැරි කමක් නෑ. තෙල් වලට කෙලින්න ඕනේ උනාම ඉතින් උන්ට ජීවිත සියදාස් ගානක් මොකක්ද? කොහොමත් ඇමරිකාවේ මිනිස් ජීවිතේ බල්ලෙක්ට වඩා අඩුවෙන් වටින්නේ. (මේ මම දන්නා දේ. )

      Delete
    3. මානව හිමිකම් ගැන කියවන අයියලා මිනිස්සුන්ට සලකන විදිහ කියයි ඇහුවනම් ජුලින් අසන්ජේ ගෙන්.. :-) බණ තමයි උන්ගෙ..

      Delete
  9. මේ හා සමානම ෆිල්ම් එකක් මම බැලුවා... හැබැයි ඒකේ තිබුනේ මේ අනතුරින් මියැදුණු තම පියා ගැන දුකින් තැවුනු දරුවෙක් ගැන කතාවක්... ෆිල්ම් එකේ නම " Extremely Loud and Incredibly Close 2011 " හරිම සංවේදි චිත්‍රපටයක් අනිවාර්යෙන් කඳුලක් එනවා ඒක බැලුවාම...

    ඔය වගේ දේකින් බේරුනාම ටිකක් වෙලා යනකන් හිතාගන්න බෑ මොකද වුනේ කියලා.... පිළියන්දල බෝම්බෙ පිපෙරෙන්න විනාඩි පහකට කලින් මම එතනින් ගියේ අපේ ගේ ගාවට එද්දි සද්දෙ ඇහුනත් බෝම්බයක් පිපිරිලා කියලා දැනගත්තම මම හිටියේ හීනෙක වගේ දැනුනේ... දන්න අඳුරන හැමෝම සෙල්ලම් කරලා ඉවරවෙලා එතනින් ගියේ.හැබැයි මගෙ එක යාළුවෙක් එදා බෝම්බෙට අහුවෙලා නැතිවුනා...

    හැමදාමත් අමුතුම දේවල්නේ සෙන්නා අයියා දෙන්නේ එල ඈ.... මට ටිකක් හිතාගන්න බැරිවුනා මුලදි මේ මොකකද් කියලා.පස්සෙයි තේරුනේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගැමියා මලේ,

      ක්සැන්ඩර් දුන්නු ෆිල්ම් එකනම් බැලුවා. මේකත් බලන්නම්.. ස්තූතියි.

      ඔයත් එහෙනම් අනූ නවයෙන් බේරිච්ච කෙනෙක්.. මගේ බිරිඳත් මරදාන බෝම්බෙන් ඔය වගේ යාන්තමින් බේරිච්ච කෙනෙක්. එහෙම බේරිච්ච කෙනෙක්ම තමා දන්නෙ ඒවයෙ තියන භයානක කම නේද ? යාලුව ගැන නම් කණගාටුයි.

      Delete
    2. සෙන්නාගෙ වයිෆ් මරදානෙ බෝම්බෙන් බේරුනේ අනූනමයෙන් කිව්වා? එහෙනම් එයා අපි එක්කමයි එදා බේරිලා තියෙන්නෙ. ඔය කතාව මම ඉංග්‍රීසියෙන් නම් ලියලා තියෙනවා මෙතනමෙතන. පස්සෙ පරිවර්තනය කරන්න ඉන්නෙ.
      henryblogwalker the Dude

      Delete
    3. කතාව කියෙව්වා ඩුඩ්..

      ඕගොල්ලො අනූ නවයෙන්නෙ බේරිලා තියෙන්නෙ.

      මගෙ වයිෆ් ඉඳලා තියෙන්නෙ ඒ ආසන්නයේමයි.. එයා ඒදවස්වල එච්චර පාරවල් දන්නෙත් නෑ.. හිටපු බස් එකෙන් බැහැලා, කලබල වෙච්ච සෙනග අස්සෙ අතරමං වෙලා, පස්සෙ කවුදෝ නාදුනන ගෑනු ළමයෙක් තමයි ගෙදරටම ගෙනත් ඇරලවලා තියෙන්නෙ.

      Delete
  10. මේ වගෙ විපතකදි මිනිස්ස්සු ක්‍රියාකරන ආකාරය සමහරවිට හරිම පුදුම සහගතයි. ඒව කල් තියා සැලසුම් කරපු දේවල් නෙවෙයි. සමහරු තමන්ගෙජීවිත ආරක්ෂාව පරදුවට තියනවා කිසිදා නොදැකපු අමුත්තෙක්ගෙජීවිතය බේරාගන්න. ඒවා හරිම ලස්සන දේවල්.
    //ඒ තත්පර දහයෙදි මට කල්පනා වුණේ ගෙවිච්ච අවුරුදු තිස්තුනටම මම මොනවද කරලා තියෙන්නෙ කියලා. බොහෝ වෙලාවට වැඩ කිරීමම පමණයි. //
    ඔය කතාව කොච්චර ඇත්තද!!!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම හෙන්රි ඒවා හරිම ලස්සන දේවල්. හැමදාම මගේ ඇස් තෙත්වෙන දෙයක් තමයි මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්ඩ දගලන එක. කොටින්ම කිව්වොත් සයිරන් ගහගන යන ඇම්බියුලන්ස් එකක් දැක්කත් මගේ හිතට හරියට දැනෙනවා ඒක. ඒ රියදුරා මේ දගලන්නෙ වෙන කෙනෙක් වෙනුවෙන් නේද කියන හැඟීම හරිම සංවේදියි මට නම්.

      වැඩ කරන කතාවනම් අපි හැමෝටම වගේ ඇත්ත නේද ? මැෂින් වගේ දුවනවා..

      Delete
  11. නියමයි කතාව..බොහොම මහන්සියෙන් ලියල තියෙන්නේ..හ්ම්ම්..දිගටම ලියන්න සහෝ..:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු හිමාවි.

      Delete
  12. පුදුම කුතුහලයකින් බැලුවෙ සෙන්නා...!ජීවිතය ගැන නැවත හිතන්න බලකලාවගේ..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වී,

      මේවගේ සිද්ධි වලින් ගන්නව නම් අපිට පාඩම් බොහොමයි..

      Delete
  13. මමත් හිරවෙලා හිටියා වගේ. මේ සිද්දිය වෙද්දී මම 10 වසරේදී වගේ. ලෝකේ ගොඩාක් රටවල උස ගොඩ නැගිලි වල රජ්ස්කාරි කරන්න මිනිස්සු කැමති වුනේ නැහැ ඒ කාලේ..

    මේ ප්‍රෝග්‍රෑම් ඒක ටිකක් ටිකක් බලල තියෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. උඹ දහය වසරෙද එතකොට ? මටනම් මතකයි අපි ඔෆිස් එකේ වටවෙලා අඩේ මාරයිනෙ බන් කිය කිය කතා කරනවා..අපි එතකොට හිටියේ හයවෙනි තට්ටුවෙ.. එකෙ ඉන්ඩත් බය වුනා.. ඇයි ඉතින් කොටි හපුවොත් හිටියනේ ඒ කාලේ..

      ලින්ක් එක තියෙන්නෙ ආයෙ බලපන් නිකන් ඉන්න වෙලාවක.. මේක කියවනවට වැඩිය ආතල් බලපුවම තමයි.

      Delete
  14. මේ ප්‍රහාරය ගැන ඇමරිකන් ඩොලර් කොලයකිනුත් කිව්වලුනේ

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කතාවක් මාත් අහලා තියනවා.. එතකොට MS Word එකේ 911 කියලා ගහලා මොකක්දෝ ෆෝන්ට් එකකට මාරු කළාම කුලුනු දෙකක් දිහාට යන ප්ලේන් එකක් පෙන්නනවා.. ඒවා හරි පුදුම දේවල්..

      Delete
    2. ඔන්න ඔය කතන්දර දෙක දෙන්නා එක්ක කෙටියෙන් ලියන්ඩකෝ මෙතන තරහා නැතූව

      Delete
    3. හරියට මතක නෑ අටමෝ.. ආයෙ හම්බුනොත් බලන්නම්..

      Delete
    4. @ අටම්,

      පළවෙනි සිද්ධිය මෙතනින් බලන්න .

      http://www.foldmoney.com/

      දෙවැනි සිද්ධිය මෙහෙමයි

      MSword අරගෙන Q33 NY කියලා ටයිප් කරන්න.මේක හැප්පුණු ප්ලේන් එකේ අංකය. ඊටපස්සේ font size 48 ට දාලා windings font එක දාන්න.

      Delete
    5. මේ තියෙන්නෙ.. !! ස්තූතියි හරී..

      මම හෙන පචයක්නෙ ගහලා තියෙන්නෙ ලියන්ඩ ඕනා 911 කියලා.. චැක්..

      Delete
    6. අඩේ මේව්වා මාරයිනේ බං

      Delete
  15. වයසිං පොඩි උනාට මටත් ලාවට මතකයි ඔය සීන් එක වෙනකොට අපි ටීවී එකේ ඕක බලං හිටියා.
    බිල්ඩ්ම කඩං වැටුනට පස්සෙ දූවිල්ලෙං නෑවුනු මිනිස්සු මතක්වෙනකොටත් හිරිවැටෙනවා වගේ.
    මරු පෝස්ට් එකක් අයියේ..

    ReplyDelete
  16. ඔය සල්ලි කොළ කේස් එක මමත් කරලා තියනවා,,ඒක හැම ඩොලර් කොලේම වෙන්නෙත් නෑ මට විස්තරේ මතක නෑ දැන් ඩොලර් කොලේ අවුරුද්ද, මට මතක් වෙන්නේ එදා මම ඕක ටීවී එකෙන් බලන් උන්නු විදිහ මුලදී හිතුවේ මේක චිත්‍රපටියක්ද කියලත්,,,ගොඩක් ලස්සනට දැනෙන්න මේක ලියලා තියනවා සෙන්නා

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හරියටම මතක නෑ.. ඩොලර් නෝට්ටුවක්, 20 මතක විදිහට, මොකක්ද විදිහකට නමපුවම පෙන්නනවා කුලුනකට ප්ලේන් එකක් වදින සීන් එකක් හරි ගිනි ගන්න සීන් එකක් හරි.. ඔන්න ඔය වගේ මොකක්ද එකක්..

      ස්තූතියි ඩිලාන්.. මේ පැත්තට ආවමද කොහෙද නේද ? වෙල්කම් කීවා ඕන්.

      Delete
  17. තිරය පිටුපස කතන්දර එලියට දැම්මාට තුති මචං

    මම දැනං හිටියේ ඕක වැටෙන එක විතරයි..

    ReplyDelete
    Replies
    1. තව ගොඩක් තියනවා බං ඔය වගේ තිරය පිටුපස කතා.. ස්තූතියි ආවාට.

      Delete
  18. මට මේ ලිපිය කියවද්දී හිතට ආවේම මම එවෙලේ ඒ බිල්ඩිමේ හිටියා නම් කියන බය.ඒ තරමට දැනෙන්න ලියලා තියෙනවා සහෝ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.. වැඩි හරියක් ඉතින් වීඩියෝ එකේ තිබුන විදිහම තමා.. මම අතින් දාලා ලියලා තියෙන්නෙ බොහොම ටිකයි..

      Delete
  19. මේ සිද්ධිය වෙද්දි මම හිටියෙ බදුල්ලෙ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල නේවාසිකාගාරයක. ක්‍රීඩා උත්සවේකට සහභාගීවෙන්න ගිහිල්ලා. මේ කුලුනු දෙක බිමට ම වැටුනා කිව්ව ම මට චිත්ත රූපයක් මවා ගන්න බැරිව ගියා.

    පසුකාලෙක සුරියප්පෙරුම මහත්තයා ඇවිල්ලා කිව්ව, මේ විදිහට ගොතපු හොලිවුඩ් චිත්‍රපටියක් හැදුවානම්, ඒක මිනිස්සු විශ්වාස කරන එකකුත් නෑ කියලා.

    අර මම මුලින් කියපු මගේ යාලුවා කියන විදිහට සාමාන්‍ය ඇමරිකානුවන් සෑහෙන පිරිසක් මේ සිද්ධිය දකින්නෙ නිකම්ම නිකම් ත්‍රස්ථ ප්‍රහාරයක් කියල ම නෙමේයි.

    ReplyDelete
    Replies
    1. මම නම් ඔහොම බිල්ඩින් කඩලා බිම දානවා කලින් ටීවී එකේ දැකලා තිබුනා..ඒත් ප්ලේන් එකක් ගිහිල්ල වැදුනම එහෙම කඩන් වැටුනා කියන එක හරි පුදුමයි. එතනදි තමා ඔය අමෙරිකානුවන්ට මතුවෙන සැකය එන්නෙ.

      Delete
    2. http://www.divaina.com/2011/12/04/diyaga08.html

      Delete
    3. ආ ඕක තමයි මාත් කියපු ෆිල්ම් එක.. ස්තූතියි මේ ලින්ක් එක දුන්නට බුද්ධි..

      Delete
  20. ඔය සිද්ධිය වෙනකොට අපි ඒ ලෙවල් කරනව. හැම පත්තරේකම ඔය ගැන ගියපු ලිපි මම කියෙව්ව මොකද උනේ කියල දැනගන්න. ඇමරිකාව වගේ රටකට ඒ වගේ දෙයක් වුනා කිව්වම අදහන්නත් අමාරු වුණා ඒ දවස්වල. මොනව උනත් අන්තිමට කොයි රටෙත් මේ හැමදේකටම ගොදුරු වෙන්නෙ අහිංසක සාමාන්‍ය මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. හැබැයි අමෙරිකාවෙ ඔය බහුතරයක් අහිංසක මිනිස්සු, ලෝකෙ අනිත් රට වල මේවා වෙනකොට හිනා වෙන මිනිස්සු. ඒවා ටෙලි නාට්‍ය වගේ රස විඳපු මිනිස්සු.. උන් හිතුවෙ නෑ උන්ට කවදා හරි මෙහෙම වෙයි කියලා.. ඒකම තමයි ඒ ගොල්ලන්ට ඒක ඔච්චර දරාගන්ඩ අමාරුත්..

      Delete
  21. අපේ දේශයේ නොවුනත් මනුෂ්‍යත්වයේ නාමයෙන් මුලු ලොවම කම්පනය කල මේ සිදුවීම විදේශීය රෑපවාහිනී නාලිකාවන් වෙතින් කම්පනය වූ මනසින් සිරා බලා සිටි ආකාරය මට සිහිපත් උනා... මේ පෝස්ටුව කියවද්දි ඒ හැගීම් ආයෙත් දැනුනා... ස්තූතියි සෙන්නා පෝස්ටුවට... චිලී රාජ්‍යයේ පතල් කම්කරැවන් සිරවීමේ සිද්ධිය පිළිබදවත් පුලුවන් නම් ලියන්න... ඒ සිරා කම්පනයට පත් කල තවත් සිදුවිමක්... ඔවුන් සියල්ලම නැවතත් මිහිමතට පැමිණි දිනයේදී අපේ ඔපීසියේ හැමෝම ඉතාමත්ම සතුටු වුනා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා. සංවේදි හිතැත්තෝ ජාති, ආගම්, දේශ නොසලකා අනුන්ගේ විපතේදී කම්පා වෙති.

      චිලී පතල් සිද්ධිය සෙන්නා ලියුවේ, සෙන්නා බ්ලොග් ලෝකයේ දණ බඩ ගාන අවදියේදීය. :-)

      මෙන්න ලින්ක් එක

      Delete
    2. ලින්කුවට ස්තූතියි !

      Delete
  22. වටිනවා මරැ ලිපිය

    ReplyDelete
    Replies
    1. වැල්කම් ඔන්බෝඩ් :-)

      ස්තූතියි කිව්වා..

      Delete
  23. මේ පාරත් සෙන්නා අයියගෙන් වටිනා ලිපියක්. ඔය 911 සිද්ධිය ගැන කතා කරන එකත් දුක් සහගතයි. කාගේ උවමනාවට ඒවා උනත් අන්තිමට එයින් විඳෙව්වේ අහිංසක මිනිස්සු. අර බිල්දිමෙන් පනින සිද්ධිය අහුවමනම් ඇඟ හිරි වැටෙනවා. වඩා පහසු මරණය තෝරා ගන්න එහෙම කරන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වෙනද උදෙන්ම එන සයුරි ටීටර් මොකෝ පරක්කු.. ?

      ස්තූතියි සයුරි.. මගෙ නම් ඇඟ හිරි වැටිලා යනවා ඒ පනින ඒවා දකිනකොට.. හපොයි හතුරෙක්ටවත් එහෙම නම් වෙන්ඩ එපා..

      Delete
    2. අනේ පරක්කු උනා අප්පා :( දවස් 3 ක් ගෙදර හිටියේ නෑ.

      Delete
  24. සෙන්නගේ ලිපි දිග හින්දා මන් ටිකක් විවේක වෙලාවට බලන්නේ . දිග වැඩි වීම ප්‍රශ්නයක් නෙමේ . හොඳින් කියවන්න ඕන නිසයි එහෙම කරන්නේ . මේ සිද්ධිය නම් පුදුමාකාරයි . හොලිවුඩ් චිත්‍රපට බලලා බලලා මෙහෙම එකක් ඇත්තටම වුනා කිව්වම පිස්සු හැදෙනවනේ .. . රටවල දේශපාලන ප්‍රතිපත්ති මොනවා වුනත් අසරණ මිනිස්සු මෙහෙම මරා දමන එක හිතක් පපුවක් නැතුව . වැපිරූ දේවල් නෙලාගන්නේ කොහෙවත් ඉන්න අහිංසක ජනතාව . මේ මතවාද ,ආගම්, කුමන්ත්‍රණ අහක් කරලා වෙන වෙනම සුද්ධ කරලා ගත්තම මනුස්සයෙක් කියන්නේ සුන්දර නිර්මානයක් . මන් මේ දවස්වල නිතරම මේ ගැන කල්පනා කරනවා . මගේ ඊශ්‍රායල් මිතුරිය නිසා . මේ ගොඩනැගිල්ලේම ඉන්නවා ඉරාන පවුලක් . පොඩි උන් මේ දවස්වල මෙහෙ ඇවිත් තාත්ත එක්ක ඉන්න . ඔලුවේ ඉඳන් වහගෙන පිනන්නෙත් . දෙගොල්ල ආස්සරයක් නැහැ . ඒ වුනාට එකම පිනුම් තටාකයේ ඉරාන ළමයි . ..ඊශ්‍රායල් ළමයි සහ අපේ ලංකික ළමයි පිනනවා . එකම වතුර නේදැයි කියල මට ඉතින් දාර්ශනික සිතුවිලි පහල වෙනවා . කොයි රට එක්කත් අවුලක් නැති එක ගැන මට අපේ රට ගැන සතුටක් දැනෙනවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි,

      ටිකක් දිග නම් වැඩියි තමා.. ඒත් මම ආසනෑ කතා කොටස් කරන්ඩ බැරිම වුනොත් මිසක්.. වෙලා තියන විදිහකට කියවන්ඩ.. නොකියෙව්වා කියලා අමනාපයකුත් නෑ.. හැමෝම කාර්යය බහුලයිනේ මේ 21 වන ශතවර්ශයේ..

      ඇත්තටම ළමයින්ගේ ලෝකේ ඔය සීමා මායිම් නෑනේ.. ඒකනෙ උන් ලස්සනට ඉන්නෙ.. ටික ටික ලොකු වෙනකොට විශබීජ වැටිලා විනාශ වෙනවා.. ඊට පස්සෙ ලෝකෙත් විනාශ කරනවා..

      Delete
  25. Again a great article... well done Senna !

    ReplyDelete
  26. පරණ ලිපි බලාගෙන බලාගෙන යනකොට මේකත් අහුවුනා... ඇත්තටම සෙන්නා මං තාමත් හිටපු ගමන් ඔය සිදුවීමට සම්බන්ධ වීඩියෝ බලනවා.... ඒවා අතර මේකත් තිබ්බා මට මතකයි.... දේශපාලන පසුබිම මොනවා උනත් ඒ විදියට කාට හරි මැරෙන්න සිද්ද වෙන එක දරාගන්න හරිම අමාරුයි.... මේ ගිනි නිවන හමුදා භටයින් ඒ අවස්ථාවේ ක්‍රියා කළ හැටි ගැන සජීවී වීඩියෝ යූ ටියුබ් එකේ තිබුණා.... ඒ වෙලාවෙ එක කුළුණක උඩම තට්ටුවක සේවය කරපු කෙනෙක් බිල්ඩිම කඩා වැටෙන්න මොහොතකට කලින් 911 එකට කතා කරලා කියපු විස්තරයේ වීඩියෝ එකකුත් තිබුණා... ඒවා මතක් වෙනකොටත් හරිම කණගාටුයි....

    ReplyDelete
  27. අප්පච්චිගේ පප්පේ .............මෙන්න බොලේ ජුලි මාසේ 27 වෙනිදටද කොහෙද පස්සේ කුරුන්දට පණ ඇවිල්ලා. මේ කාලය තුල දිනපතාම ඇවිත් හිස් අතින් ආපහු හැරිලා ගියා බැන බැන කම්මැලියා කියලා.

    හරිම අගෙයි සෙන්නා. මේ වාර්තා චිත්‍රපටිය මම ඩිස්කවරි නාලිකාවෙන් බැලුවා. ඔබ ඉතාම ලස්සනට අකුරක් නෑර එය උසස් මට්ටමෙන් පරිවර්තනය කරලා තියනවා. වාර්තා චිත්‍රපටිය නොබැලු කෙනෙකුට වුනත් සිද්ධිය පිලිබඳ සම්පූර්ණ අවබෝධයක් ලැබෙනවා මේ ලිපියෙන්. අති විශිෂ්ඨයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  28. මට මේ ලිපිය මග හැරුණේ කොහොමද මන්දා....අපි හැමෝම දන්නේ එදා මිය ගිය අය ගැනනේ.අද ජීවිතය බේර ගත්ත අය ගැන ඉගෙන ගත්තා.ඉතාම වටිනා විස්තරයක්.මේ ව්ගේ ලිපියක් ලියන්න ඔබ වෙන මහන්සියට මගේ උත්තමාචාරය!!!

    ReplyDelete
    Replies
    1. මට වික්ස්ගෙ කමෙන්ට් එක මග හැරිලනෙ.. පස්සෙ දාපු නිසාද කොහෙද ? සමාවෙන්න. ස්තූතියි අදහසට හා අගය කිරීම ගැන.

      Delete
  29. ඒ මන් දැං මේ ලිපිය බලපු 6වෙනි පාරද කොහෙද

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බන්.. එච්චරටම රහයිද මේක ?

      ගොඩක් ස්තූතියි උඹට..තමන් ලියපු දෙයක් කවුරු හරි හයපාරක් බැලුවා කියලා අහන්ඩ ලැබෙන එක ලියන්නෙකුට බොහොම සතුටු හිතෙන කාරණයක්...

      Delete
  30. පලවෙනි ගොඩනැගිල්ල ගිනිගෙන දැවෙන ආකාරය සී එන එන එකී බල බල ඉන්නකොටයි දෙවෙනි යානය කඩා වැදුනේ .. ආගමක නාමයෙන් එකතැන මිනිසුන් දහස් ගණනක් මල ප්‍රථම වතාව මේ වෙන්න ඇති.. ආගම යුද්ධ ව්කුර්තියක් විදිහට වටහාගෙන භේද වලට සහයෝගයදී සියල්ල විනාශ කිරීමේ කාර්යයට බවුද්ධ පුජ්‍ය පක්ෂයත් සහභාගීවෙනහැටි දැන් දැන් පෙනෙනවා. කෙටි වාක්‍යවලින් සිදුවීම් අපුරුවට ජීවාත්මක කරලා තියෙනවා සෙන්නා..

    ReplyDelete
    Replies
    1. ආගමේ නාමයෙන් මිනී මරණ එක දැන් කලාවක් වෙලානෙ. බෞද්ධයොත් ඒ පැත්තට යොමු වෙන එකනම් අයහපත් ප්‍රවනතාවයක් තමා.

      ස්තූතියි සරත් අයියා...මටනම් පස්සෙ කතාව කියවද්දි හිතුනෙ එහෙම නොදා හිටියනම් හොඳයි කියලා. නිකන් ගැලපෙන්නෑ වගේ කියලා හිතුනා..

      Delete
  31. ත්‍රස්තවාදය කවදාවත් මේ ලෝකෙට හොඳක් කරලා නැහැ

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog