Saturday, June 15, 2024

හඳුන්කූරු වෙළෙන්දිය

 

ජුනි 15, 2024



පගෙ මුල්ම නැවතුම වූයේ ඇම්බැක්කේ දේවාලයයි. එය කලින් සැළසුම් කළ ගමනානතයක් නොව හදිසියේ මගදී දුටු නාමපුවරුවක් ඔස්සේ ලඟා වූ නැවතුමකි. කාලයක් සිට නැරබිය යුතු ස්තාන ලයිස්තුවේ අංගයක් වූ මෙම ස්තානනයට මෙලෙස හදිසීයේ, අහම්බයෙන් හෝ  පැමිණීමට හැකිවීම සතුටට කාරණයකි.

පුංචි බැවූම නැග දේවාලය කරා වූ මාවත දිගේ අප පිය මනින විට අරලිය ගසක් යට සිටි ඇය අප වෙතට ප්‍රවේශ වූවාය. මගේ මතක නිවැරැදිනම් ඇය සැළකියයුතු පිළිවෙලකට ඇඳුම් ඇඳ සිටියා. ඒ ඇය සතු උපරිම සහ හොඳම ඇඳුම විය යුතුය. නමුත් එය පිරිසිදුය, පිළිවෙලය. 

"අනේ මහත්තයා හඳුන් කූරූ පෙට්ටියක් අරන් අපිට ආධාරයක් කරන්න. මට ළමයි දෙන්නෙක් ඉන්නවා මහත්තයා මේකෙන් තමා ඒගොල්ලන්ට කන්න බොන්න ඉගන ගන්න වියදම් කරන්නෙ. අපිට වෙන ආදායම් මාර්ගයක් නෑ මහත්තයෝ. මේ ළමයින්ගෙ තාත්තා ගහකින් වැටිලා එක් තැන් වෙලා ඉන්නෙ. එයාගෙ බේත් වලටත් වියදම් කරන්නෙ මේකෙන් හම්බෙන ආදායමෙන් තමා. මහත්තයලා අපිට අනුකම්පා කරලා අනේ හඳුන්කූරු පෙට්ටියක් අරගෙන යන්න". ඒ, කොළඹදී ආලෝක සංඥා පුවරු අසල අනන්තවත් දැක ඇති, විකිණීමට නොව සිඟාකෑමේ මෙවලමක් ලෙස හඳුන්කූරු අතේ තියාගෙන සිඟමන් යදින යාචකයන් දැක ඇති මාගේ සිතේ හඳුන්කූරු පෙට්ටියක් රැගෙන අප වෙත පැමිනෙන ඇය දැකීමෙන් පහල වූ සිතිවිලිය.

"මහත්තයලා දේවාලෙට නේද යන්නෙ? හඳුන්කූරු පෙට්ටියක් අරන් යන්න මහත්තයා. මේවා බොහොම සුවඳ හඳුන් කූරු. අපි ගෙදරමයි හඳන්නෙ. එක පාරක් අරගෙන බලන්න. මේ එක කූරක් පැය දෙකක් විතර ඇවිලෙනවා. දිගටම සුවඳ තියනවා. මේවා අපිමයි හදන්නෙ. දේවාලෙ පත්තු කරන්න බොහොම හොඳයි මහත්තයා. එහෙම නැත්තම් ගෙදර ගෙනිහිල්ලා පත්තු කරලා බලන්න. සුවඳ ජාති හතරක් තියනවා. ඔය කඩේ තියන කොයි ඒවටත් වඩා මේවා හොඳයි. එක පාරක් පාවිච්චි කරොත් මහත්තයලට වෙනස් තේරෙයි." ඒ සිය නිෂ්පාදනය මහත් ආඩම්බරයෙන් අප වෙත පිළිගන්වූ ඇයගේ සැබෑම වචනයි. 

හඳුන්කූරු පෙට්ටියකට මුවා වී සිඟමනේ යෙදෙන සොරුන් මෙන් නොව ඇය ජීවිතය ජීවත් කරවීම වෙනුවෙන් උත්සහයෙන්, මහන්සියෙන් ව්‍යාපාරයක නිරතවන දිරියවන්ත කාන්තාවක් බව වටහා ගැනීමට ඇයගේ මේ වචන පමණක් ප්‍රමාණවත්ය. එම නිසාම අවශ්‍යයතාවයක් නොතිබුනද හඳුන්කූරු මිලදී ගැනීමට අප තීරණ කළහ. ගනුදෙනුව අවසානයේ ඇය විසින් අප වෙත රුපියල් දහයක් ඉතිරි දිය යුතු විය. එය අවශ්‍යය නැතැයිද, ඇයට තබාගන්නයයි ද පැවසූ විට " නෑ නෑ මහත්තයා එහෙම කරන්න බෑ, ඔහොම ඉන්න ඉතුරු දෙනකම්" යැයි කී ඇය අවසාන සතය දක්වාම ඉතිරි මුදල් බේරුම් කළාය.

සිය දිරියෙන් නිපදවන හඳුන්කූරු අලෙවි කිරීම ආඩම්බරකාර ව්‍යාපාරයක් කරගත් ඇය, හිස් හඳුන්කූරු පෙට්ටි පෙන්වමින් සිඟමනේ යෙදෙන යාචකයන් හට කදිම ආදර්ශයක් නොවන්නේදයි සිතමින්, මෙවන් වූ මිනිසුන් තවමත් මේ රටෙහි සිටීම ගැන ඇතිවූ සොම්නස් හැඟිමෙන්ද යුතුව අප දේවාලය කරා පිය නැඟූහ.

අදටත් ඇය හෝ ඇයගේ ව්‍යාපාරයේ යම් අයෙකු එම ස්තානයෙහි හඳුන්කූරු අලෙවි කරණවා විය හැකිය. බොහෝ විට ඇය සිය ව්‍යාපාරය ඊළඟ අදියර තෙක් ඔසවා ඇතිවාට නිසැකය. ඔබත් ඇම්බැක්කේ දේවාලයට ගියහොත් ඇයගෙන් හඳුන්කූරු මිලදී ගැනීමට දෙවරක් නොසිතන්න. ඒ වෙන කිසිවක් නිසා නොව ඈ පැවසූ පරිදිම ඇයගේ හඳුන්කූරු ඉතා උසස් තත්ත්වයේ ඒවා බැවිනි.

නිමි.


ලියුවේ;

සෙන්නා / 15.06.2024


19 comments:

  1. ++++++++++
    ඇම්බැක්ක අවට ගම් හරි ලස්සනයි.
    දවුලගල අම්බලම දැක්කද?

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් හදිසියෙ ගියෙ. එහෙම එකක් දැක්කා කියලා මතකයක් නෑ..

      Delete
  2. එහෙම අය කලාතුරකිං ඉන්නව. තමන්ගෙ මහන්සිය ව්‍යාපාරය හෑල්ලුවට ලක් වෙනවට අකමැති. මං කැමති ඒ මනුස්සයන්ගෙ තියෙන ආඩම්බරේට. උං පොළවට බරක්නැ ති මිනිස්සු.

    සංචාරයට කොයිිතරං කැමති වුණත් තවම ගිහිං තියෙන්නෙ අල්පයක් තැං වලට. ඒ නිසා රස්සාවෙ පිහිටෙන් යන්න පුලුවන් ලබ්බවල් ඔක්කම අස්සෙ රිංගන එකයිමගෙ විනෝදෙ.

    ඇම්බැක්ක ගිහිං නෑ 🙈🙈🙈 කියන්නත් ලැජ්ජයි

    ReplyDelete
    Replies
    1. ඔව්..දුක තමයි ඒ වෘත්තිය වංචාකරුව්න් පිරිසක් අවභාවිතා කරණ එක.. මමත් අහම්බෙන් යැවුනෙ.. යන්න කිසිම අදහසක් තිබුනෙ නෑ...

      Delete
  3. එහෙම ව්‍යවසායකයන් දකින්න ලැබීම සතුටක්. ඇම්බැක්කෙ හත්අට වතාවකට වඩා ගිහින් තිබුණත් හැමදාකම යළි යළි යන්න ආසා කරන තැනක්. කැටයම් දිහා කො‍‍තෙක් බලා හිටියත් ඇති වෙන්නෙ නෑ. කුරුන්දට ආවෙ නං අදමද කොහෙදෝ. කොහොමද කුරුන්ද ෆලෝ කරන්නෙ!

    ReplyDelete
    Replies
    1. ඇම්බැක්කේ පරද්දන කැටයම්කාරයො දැන්නම් නිති පතා හම්බෙනවා.. :)
      මමත් ඉස්සර ඔය ෆලො කරන ගැජට් එකක් දාලා තිබුනා. පස්සෙ අයින් කළා.. බ්ලොග් රෝලක් තියේනම් කුරුන්ද ඒකට ඇඩ් කරගන්න.. එහෙම නැතත් අවුලක් නෑ. ඔය යලට මහට මොනවා හරි නොවැදගත් දෙයක් වැටෙන බ්ලොග් එකක් මේක..

      Delete
  4. ඔව්,යහපත් චේතනාවක්!

    ReplyDelete
  5. අර කිව්වැහෙ,පොළවට බරක්නැ ති මිනිස්සු. ස්වස්ථි සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. ඇත්ත...බිස්නස් නම් බිස්නස්.. බිස්නස් මුවාවෙන් හිඟාකන්නෙත් නෑ, හොරකම් කරන්නෙත් නෑ ඒ මිනිස්සු..

      Delete
  6. මාත් ඔය වගේ විකුණන අයගේ දේවල් වැඩි ගානට ගන්නවා. නැත්නම් අරගෙන වෙන කාට හරි දෙනවා. ළමය්ක් අපි ස්පොන්සර් කරනවා ඒ ළමයාගේ අම්මගේ ජිවිකාවත් හඳුන්කුරු හදල විකුණන එක

    ReplyDelete
  7. ඇම්බැක්කේ ගිහින් නැද්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. හව් සෑඩ්..! ගිහින් බලන්න.. ආස හිතෙයි... :)

      Delete
    2. ඇම්බැක්කෙ තියෙන කැටයං කුරුන්දෙවත් නෑලු පැතුමො.

      Delete
  8. දැං ඉතිං පලයංකො හඳුංකූරු ගන්න ඇම්බැක්කෙ.

    ReplyDelete
    Replies
    1. උඩ එක දැම්මෙ මං ඈ.....

      Delete
    2. මම හිතුවෙ ඇනෝ කෙනෙක් කියලා...:)

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

හඳුන්කූරු වෙළෙන්දිය

  ජුනි 15, 2024 අ පගෙ මුල්ම නැවතුම වූයේ ඇම්බැක්කේ දේවාලයයි. එය කලින් සැළසුම් කළ ගමනානතයක් නොව හදිසියේ මගදී දුටු නාමපුවරුවක් ඔස්සේ ලඟා වූ නැව...

Search This Blog