Sunday, September 16, 2018

ආදරය සහ අකුරු..





ව යොවුන් වියේදී මල්සරාගේ හීසරයෙන් බේරෙන්න මටත් හම්බුනේ නෑ. තමන්ගේ පාඩුවේ පොතක් පතක් බලාගෙන හිටපු මටත් මේ යකා අර මලකඩකාච්ච දුන්නෙන් විද්දයි කියමුකෝ ඉතින්. ඊට පස්සේ වෙන සන්තෑසිය ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑයි?

උසස් පෙළ ආරම්බ කරපු මුල් අවදියේදී වුනු මේ හදිසි අනතුර නිසා හිතේ ඉතින් අමුතු අමුතු හැඟීම් පීදෙන්න ගත්තා. මට ඕනා කළා මේ හැඟීම් අකුරු කරන්න. ලේසී වැඩක් යෑ ඕක ඉතින්. කොහොම කොහොම හරි අකුරුවලට පෙරලගත්තා කියලා කියමුකෝ. මල මගුලයි දැන් ඕක අනිත් උන්ගෙන් ආරක්ෂාකර ගන්නත් එපැයි. හිතේ තියන ඒවනම් ඉතින් බැංකුවේ සේප්පුවේ දැම්මා වගේ තමා. හීනෙන් කියවන පුරුද්දකුත් නැති නිසා බයවෙන්න කාරණයක් තිබුනෙම නෑ. ඒත් අකුරු එහෙමයෑ.. ලංකාවේ සාක්ෂරතාවයත් වැඩියි කියලා ඒ කාලෙ විදුසර පත්තරේක කියලා තිබුනා මට මතකයි.

අපිට ඉතින් තමන්ටම වෙන් වෙච්ච කාමර, යතුරු සහිත මේස ලාච්චු, අල්මාරි තිබුනයි කියලා එකක්යැයි. අයියයි, මායි දෙන්නම හිටියේ එකම කාමරේ. බෙදාගෙන පාවිච්චි කළේ එකම මේසේ ලාච්චු දෙක. ඒවට ආයේ යතුරු තිබුනයි කියලයෑ. ඕනැම වෙලාවක අනිත් කෙනාගේ ලාච්චුවට හොට දැමීමේ හැකියාව සහ පූර්ණ බලතල තිබුනා. අනිත් එක ඉතින් අම්මලා තාත්තලත් තමන්ගේ තරුණ දූ පුතුන් ගැන අවධානෙන් තමා හිටියේ. නිතර නිතර පොත් පත් රහස් පරීක්ෂණයන්ට අහුවෙලා තියන බව මටනම් තේරිලා තිබුනේ.

ඉතින්, දැන් මොකද කරන්නේ. කුළුදුල් ආදර හැඟීම් අකුරු කරන්නත් ඕනා. ඒවා හංග ගන්නත් ඕන. හංග ගන්න තැනකුත් නෑ.

ආවා අදහසක්!

කාටවත් තේරුම් ගනන් බැරි භාෂාවකින් ලියුවොත් මොකද? හහ් ඔය තියෙන්නේ වැඩ. තවත් පරක්කු නොවී වහ වහාම හැදුවා අලුත් භාෂාවක්. ඒක හොඳට මතක තියාගත්තා, හෝඩිය ඉරලා විසිකරලා දැම්මා.

ඔන්න දැන් ටික ටික 93 ඩයරිය අලුත් අකුරු වලින් පිරෙන්න ගත්තා. ඒ ලියපු ඒවා දිහා වැඩිහිටියෙක් හැටියට අද ආපහු හැරිලා බලද්දි මටම හිනා ගියත් ඒවා එහෙම වෙන්න ඇහි නේද හැමෝටම.

කොහොමින් කොහොම හරි මම, මට ලියන්න ඕන ඒවා නිදහසේ කුරු‍ටු ගාලා, සිංහයා වගේ ඩයරිය මේසෙ උඩ තියලා ගියා. ආයේ මෙලෝ මල යකෙකුට ඕක කියවන්න බැරි එකේ බයවෙන්නේ අහවල් මගුලකටද?

තාත්තා දවසක් මේක දැකලා තමන්ගේ හිතවතුන් කීප දෙනෙක් එක්ක බොහොම ආඩම්බරෙන් කතාකරල තිබුනා කියලා ආරංචියි, තමන්ගේ පුතා මොකක්ද අමුතු බාසාවකින් ලියනවයි කියලා. ඒත් ඕක මේ ලෝකෙ මුල් වරට කරපු එකා මම නෙමේ කියලයි මට හිතෙන්නේ.

අද ඒ ඩයරිය කොහෙද කියලා හොයා ගන්න නෑ. තිබුනනම් ඒක ආයෙ කියවන එක බොහොම ආනන්ද ජනක වැඩක් වෙන්න තිබුනා. ඒ කොහොම වෙතත් අවුරුද්දක් පුරා ලියපු එකේ ප්‍රතිපළයක් හැටියට අදටත් මට ඒ අකුරු මතකයි.

ඔය උඩ තියන පින්තූරේ තියෙන්නේ ඒ බාසාවෙන් ලියපු වැකි දෙකක් තමා.

හොඳයි, දැන් රහස්පරික්ෂක කතා කියවලා Decoding වලින් ඔළුව කුරුවල් කරගෙන ඉන්න බ්ලොග් අවකාශයේ ඉන්න දක්ෂයන්ට ඔන්න අභියෝගයක් තියනවා. මේක කරන්න බැරි වැඩක් නෙමේ. පුළුවන්නම් කියන්න ඔය උඩ පින්තූරේ ලියලා තියන වැකි දෙක මොකක්ද කියලා. හරිම උත්තරේ දෙන කෙනාට මේ සාහිත්‍ය මාසයේ තමන් නම් කරණ පොතක් ( හොයාගන්න  බැරි පොත් නම් කරන්න එපෝ. ) තෑගි ලැබීවි.

පුංචි ඉඟියක් දෙන්නම් වැඩේ ලේසි කරගන්න.

ඉඟිය : පුංචි ටාර්සන්ට එයාගෙ යාළු මකුණන්ව හඳුනගන්න ලැබුනා.

සෙන්නා / 16.09.2018

43 comments:

  1. දැං ඔහේ හිතන්නෙ ඔය පොතට රැවටිලා අපි ඕක පරිවර්තනේ කොරයි කියලද හිටං. ඒව කුරුන්දෙ ඈ.

    ඇති යන්තං බොලාගෙ තාත්ත බොලාව අංගොඩ අරන් නොගිය.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. අපේ තාත්තා කිව්වා "මම උඹව අංගොඩ නොදාන්නෙ දොස්තරලටත් පිස්සු හැදෙන නිසා කියලා"

      Delete
  2. මරු වැඩේ හැබැයි කරලා තියෙන්නේ. ට්‍රයි එකක් දාල බැලුවට හිතා ගන්න අමාරුයි වගේ... මගේ කාමරේ නම් මටම කියල හංගන්න තැන් තිබ්බ නිසා මෙච්චර සෙකියුරිටි දාන්න ඕනේ වුනේ නෑ...

    මේවා දැකල අයියා වත් ඇහුවේ නැද්ද උඹට පිස්සු ද කියල හෙහ් හෙහ්?

    ReplyDelete
    Replies
    1. එහෙම අහපු බවක් මතකනම් නෑ. එයාට මම ගැන හොයනවට වැඩිය වැඩ තියෙන්න ඇති ඒ කාලෙ. හෙහ් හෙහ්...

      Delete
  3. අැත්ත කියහං උඹට හෝඩිය මතක නෑ නේද?? හැක්. මාත් ඒ කාලෙ ඔය බාසා කීපයක් බාවිත කරා. දැන්නං මුකුත් මතක නෑ. අනංගයා සීයට විද්ද විදිල්ල මතකයි නෙ හාන්ස්ගෙ කතාවෙ.

    https://deshakaya.blogspot.com/2013/10/the-naughty-boy.html?m=1

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නෙ තව ඒ ජාතියෙ පොරක්

      සිංහල හෝඩියත් මතක නැති වුනාට අපි ඔය අපූරුවට ලියන්නෙ බන්..

      හාන්ස්ගෙ කතාව මතක නෑ බන්. ආයෙ කියවන්න ඕනා...
      ...

      Delete
  4. මේක සිංහලෙන්ද ලියලා තියෙන්නේ. ගොං ප්‍රශ්ණයක් කියළා හිතන්න එපා. භාෂාව සිංහල කියළා හිතලා දුරට ගියාම ඉංග්‍රීසි කිව්වොත් කරදර වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මට මේක දාද්දිම හිතුනා සුධීක ට්‍රයියක් දෙයි කියලා...

      ගොං ප්‍රශ්නයක් නම් නෙමේ කොහොමත්.. මෙතන ඉන්නෙ අපි හොඳට දන්න මකුනො ජාතියක්.. 😀

      Delete
    2. මම මේ වැඩේට පිස්සුව හදා ගත්තේ රහස් පරීක්ෂක පොත් වලින් නෙවෙයි. සයිබර් ආරක්ෂාව පිලිබඳ පොත් කියවලා. එන්ක්රිප්ෂන් වලට මේවගේ අභ්‍යාස තියෙනවා. පස්සේ මේක පිස්සුවක් වගේ වුණා. රීඩර්ස් ඩයිජෙස්ට් ඔන්ලියින් පිටුවේ මේ වගේ ගේම් එකක් කලින් තිබුණා. දැන් නෑ. ඒකෙ තියෙන්නේ ඉංග්‍රීසි අකුරුම ජම්බල් කරලා.

      Delete
  5. මෙයා ගෙදර අයට පොත පෙරලලා ඔන්න අපිටත් පොත පෙරලන්න හදනවා.අපි නම් අහු වෙයි ඕවාට.

    "ඩා වින්චි කෝඩ්" කියලා මේ ලදී කියවපු පොතකත් තිබ්බා ඔහොම සංකේත භාවිතා කරලා කරන කතාවක් ගැන.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙහ්..

      මමත් කෙටි කතාවක් කියවලා තියනවා ඔය ජාතියේ. දැන්නම් මතක නෑ, කවුද ලියුවේ, නම මොකක්ද කියලවත්.. මට මේ අයිඩියා එක ආවෙත් ඒකෙන්මද කොහෙද!

      Delete
  6. සෙන්නො, උඹ මේක ලියලා තියෙන විදියට සමහර අකුරු වල වෙනස තේරුම් ගන්ට අමාරුයි. ඒ වගේම එකම අකුර වුනත් තැන් දෙකක පොඩි වෙනසක් එක්ක ලියැවිලා තියෙන්නත් පුළුවන්. එහෙම වුනාම ඩික්‍රිප්ට් කරන්ට අමාරුයි. පොඩ්ඩක් හෙමිහිට පැහැදිලිව ලියලා ආපහු ඉමේජ් එකක් අප්ලෝඩ් කරහංකො ට්‍රයි එකක් දාලා බලන්ට.

    අකුරුවල පිළි භාවිතවෙලා තියෙන නිසා මම හිතනවා මේක ඩික්‍රිප්ට් වෙන්ට ඕන සිංහල බාසාවට කියලා. මම හරිය?

    ReplyDelete
    Replies
    1. බූරා,

      අලුත් එකක් දැම්මා බලහන් ඇති වෙයිද කියලා.. මගේ ඕනැම අකුරු ජාතියක් හරිම පැහැදිලියි, ළගන්නා සුළුයි.. කියවන්නාට පහසුයි.. හෙහ් හෙහ්.. ඉතින් ඔයිට වැඩිය හොඳටනම් ලියන්න අමාරුයි..

      මම ද්විභාෂිකයි..ඒ ඇතිවෙයි කියලා හිතනවා..

      Delete
    2. ඈ බොල, ඒ කියන්නෙ ඔය වාක්‍ය දෙකේ සිංහල ඉංගිරිසි අකුරු දෙජාතියෙන්ම තියෙනව ද? :-O

      අඩෝ ඒක අසාධාරණයි!

      Delete
    3. අපෝ නෑ බන්ස්.. මම එච්චර ඇඩ්වාන්ස් නෑ.. මම කිව්වේ ඉතින් ඔය භාෂා දෙකෙන් එකක් කියන එක තමා.. මොකෝ වෙන භාෂා දන්න එකක්යැයි ඒවට ස්ක්‍රිප්ට් හදන්න.. :D

      Delete
    4. හරියන්නෑ බං. මං ට්‍රයි එකක් දුන්නා දවස පුරාම. අතෑරලා දාන්ට තීරණය කොලා...

      තව ඉඟියක් වගේ එකක් දෙන්ට බැයිද දන්නෑ නේ ද? ;-)

      Delete
    5. අඩේහ්... ⁣මේ වැඩකට නැති විකාරයක් එක්ක උඹ දවසම ඔට්ටු වුනාද ? 🙄

      හරි මෙන්න තවත් ඉගි,

      1. උබ්‍ෙ නිගමනය හරි. මේ සිංහල. පිලි තියන නිසා උඹ ම්‍ෙ වෙනොටත් ඒක තීරණය කරලා ඇති කියලා හිතනවා..

      2. ම්‍ෙක, මේ දවස්වල tv එකෙ ඇහෙන සිංදුවක පද දෙකක්...

      ඇති නේහ්...🙂

      Delete
    6. අඩෝ සෙන්නා. මේක අමාරුයි බං. අර ඩබ් අකුරෙන් ටික වස්සානේ ද?

      Delete
    7. පික්සුද ඈ.. එහෙනම් මම ඕක සිංහලෙන්ම ලියලා දානවනේ බන්ස්.. හෙහ්...

      තව ඉඟියක් දෙන්නම්.. එක අකුරක් තියනවා ඒක යෙදිලා තියෙන්නේ ඒකෙන් කියවෙන අපි දන්න ශබ්ධයටමයි..

      Delete
    8. මම අනුමාණ කරප දෙයක් තමයි මේක සින්දුවක කෑල්ලක් කියළා. හරි දැන් පැහැදිලි නිසා බලමු.

      Delete
    9. පිළිතුර ප්‍රශ්නය ඇතුලේමයි සොයා ගන්නකෝ
      එළිය ළඟ තියන් එළිය හොයයි කණාමැදිරියෝ

      Delete
    10. Wow... well done Bura.

      හොයපු විධිහත් කියන්නකෝ...

      පොත මොකක්ද? එවන විධිහ කොහොමද කියලත් කියන්න..

      Delete
    11. මේකෙ උඹේ අක්ෂර වින්‍යාස වැරැදි තියෙනවා.

      ප්‍රශ්නය කියලා ලියන්නෙ දන්තජ ‘න‘යන්න. උඹ ලියලා තියෙන විදියට මූර්ධජ ‘ණ‘යන්න නෙවෙයි :-D

      Delete
    12. හයියෝ මෙයා හොයාගෙනනේ!!! මං 'එ'යනු දෙකයි 'ද' අකුරයි හරියට හොයාගත්තා. ගීත පිළිබඳ සාක්ෂරතාවය බොහොම අඩු මං ඕක මේ කපේදී හොයාගන්න එකක් නෑ බොහෝ විට. කොටින්ම ඔය සිංදුව මං අහලාවත් නෑ. සුබ පැතුම් බුරම්පි අයියේ! :D

      සෙන්නා - මගේ ඉල්ලීමත් සලකලා වඩා පැහැදිලි රූපයක් දුන්නාට ස්තූතියි. ඒ ගැන වැඩි වෙලාවක් යොදවන්න කළිං මේ බුරම්පි මහත්තැන් උත්තරේ හොයාගෙනනේ. කමක් නෑ ඉතිං. පෝස්ට් එකේ දීලා තියෙන ටාර්සන්ගේ ඉඟියේ තියෙන සම්බන්දෙ මොකද්ද?

      Delete
    13. මට උදවුවක් වුනේ උඹ සිත්තමීට දාපු ඉඟි ටික.

      // 1. මේ සංඛේත භාවිතා වෙලා තියෙන්නේ සිංහල භාෂාවට. //

      මේක මම මුලින්ම අනුමාන කලා පිළි නිසා

      // 2. මෙතන තියන එක සංඛේතයක් භාවිතා වෙන්නේ අපි පොදුවේ ඒකට දන්න ශබ්ධය වෙනුවෙන්මයි. //

      මේක උදවු වුනා. එහෙම අකුරු තියෙන්නෙ 3යි A, M හා S

      // 3. මේක, මේ දවස් වල නිතර tv එකේ ඇහෙන සිංදුවක මුල් පද දෙක. //

      මේක මට කොහෙත්ම වැඩක් වුනේ නෑ. මොකද මම tv බලන එකෙක් නොවන නිසා. :D

      // 4. "එ" අකුර දෙවතාවක් යෙදිලා තියනවා. //

      මෙන්න මේක සෑහෙන්න උදවු වුනා. මොකද ‘එ‘යන්න සාමාන්‍යයෙන් වචනෙක මැද වැටෙනවා අඩුයි. මම ‘එළිය‘ කියන වචනය හදාගත්තෙ ඒකෙන්. ඒ එක්කම ඒ වචනය එක ළඟ දෙපාරක් තිබුන නිසා ‘එළිය ළඟ තියන් එළිය‘ කියන කොටස හදාගත්තා. ‘තියන්‘ කියන කොටස අනුමාන කලා.

      අන්තිමේදි ඔය පද කෑල්ල දාලා ගූගල් සර්ච් එකක් කලා. උඩින්ම ආවෙ සිංදුවෙ පද පේළි දෙක

      Delete
    14. බූරා, nice try...

      අක්ෂර වින්‍යාසයනම් හැමදාම ඇන ගන්නවා බන්..🙄 සිදුවු අපහසුතාවයට සමාව භජනය කෙරේවා..

      Tv උපකාරය ප්‍රයෝජනවත් වුනේ නෑ කිව්වට, උඹට ගූගල් කරන්න හිතුනේ ඒක නිසා කියලයි මට හිතුනේ...

      හරී දැන් තියෙන්නේ ජයග්‍රහාකයාට තෑගී දීමේ අවස්ථාව. ඒකට අවශ්‍ය කටයුතු සම්පාදනය කළානම් වැඩේ සම්පූර්ණයි....

      සිත්තමී, අවුලක් නෑ, ඔයාගෙ උත්සහය අපි අගය කරනවා.. ටාර්සන් ඉඟියෙන් මම කියන්න උත්සහා කෙරුවෙ මේක හුරුපුරුදු බාෂාවකින් හැදුන එකක් කියලා පෙන්වන්න. ටාර්සන් අකුරු කියවන්න ඉඟන ගත්තු විධිහ කියවලා අැති කියලා හිතනවා...

      Delete
    15. උඹ කියන කතාවත් ඇත්ත. “tv එකේ ඇහෙන සිංදුවක්“ කියන ඉඟිය දුන්නෙ නැත්තං මම ගූගල් සර්ච් එක නොකරන්ටත් තිබුනා...

      තෑග්ගට පොතක් නේ ද? බැරි ද උඹේ අර 93 ඩයරි එක එවන්ට? මං දැන් උඹේ සීක්‍රට් කෝඩ් එකත් දන්න හන්දා ඒක කියවන එක නවල් එකක් කියෝනවා වගේ රසවත් වේවි. සමහර විට මට අලුතෙන් බ්ලොග් එකක් ලියන්ටත් බැරි වෙන එකක් නෑ ඒකෙ තියෙන කතා දාලා... :D

      සිරාවටම තෑගි ඕනැන්නෙ නෑ මචං. මේ පෝස්ට් එකම තෑග්ගක් වගේ තමා. කාලෙකින් බ්ලොග් පෝස්ට් එකකින් මෙච්චර ආතල් එකක් ගත්තෙ. Cryptology කියන්නෙ මගෙ ප්‍රියතම විෂයයක්. දැන් අර සිත්තමීත් මෙගා-ටෙලි ස්ක්‍රිප්ට් ලිය ලියා ඉන්නවා මිසක් එයැයිගෙ ගණිත මඤ්ඤං දාන්නෙත් නැති එකේ මෙහෙම පෝස්ට් එකක් දැක්කෙත් කාලෙකින්...

      මට තෑග්ගක් දෙන්ටම ඕනෑ නං මෙහෙම කරමු. මාවත් හිතෙන් මතක් කරලා, ඔය පොත් කියවන්ට ආස කරන පුංචි එකෙකුට පොතක් දෙකක් තෑගි දෙන්ට. මට දුන්නා වගේම තමා...

      Delete
    16. ඒ ඩයරියට වෙච්ච දෙයක් නෑ බන්..මටත් ඇත්තටම අද ආසයි ඒකෙ මොනවද ලියලා තියෙන්නේ කියලා කියවන්න. 😉

      මගේ විකාරයක් ගැන ලියවෙච්ච මේ පෙ⁣ා්ස්ට් එක ⁣කාට හරි මෙච්චර intersting වෙයි කියලා හිතුනෙම නෑ බන්. ඒ ගැන සතුටුයි.

      තෑග්ග එපාමනම් මම උඹ කියපු විධිහට කරන්නම්.

      ⁣ෙම්⁣ තරඟයට සහභාගී වීම පිළිබඳ නොවක් තුති.

      සිත්තමීගේ බ්ලොග් එක මට මග හැරුන එකක් නේ.. යන්න ඕනා එ පැත්තෙ ගිහින් එන්න...

      Delete
    17. පැතුම් බූරා !!!! මම එක අකුරයි හොයාගෙන හිටියේ. ඒ S වලින් තියෙන නයන්න.

      සෙන්නා මේ එයනු තුනයි දයනු දෙකයි කියන එක දැන් තමයි දැක්කේ. මොකද මම මේ පින්තූරේ ක්ලික් කරළා, ඒ දිහා බලන් හිටියට, කමෙන්ට් අප්ඩේට් වෙලාද බැලුවේ නෑ. ඒ වුණත් බූරාගේ උත්සාහයට, අවමන් කරන්න නෙවෙයි එහෙම දැම්මේ.

      මේ වගේ ඒවා හොයා ගන්න (ඉංග්‍රීසි) පාවිච්චි කරන්නේ Dictionary Attack කියන ක්‍රමය. ඉංග්‍රීසියේදී නම් වැඩියෙන්ම භාවිතා වෙන අකුර "e" කියළා දන්නවා. එතකොට මේවා හොයා ගන්න ලේසියි. අනික "a", "he","an","or","the","this" වගේ ඒවා පහසුවෙන් හොයා ගන්න පුළුවන්. ඒ අනුසාරයෙන් අකුරු දෙකක් විතර හොයා ගත්තම. අකුරු ගණන අනුව වචනය පහසුවෙන් Decyper කරන්න පුළුවන්. Cryptography කියන්නේ මමත් ආසම විෂයයක්. ඒ වගේම Crypt Analyst කියන්නේ හොඳට ගෙවන රැකියාවක්. මෙහෙ ඕවා නෑ. මේ පොස්ට් එකන් තවත් අලුත් දෙයක් එලියට එනවා. ඒ සිංහල භාෂාවෙන් ලිවුවොත් හොයන්න අමාරු බව. එතකොට අනාගතයේ ඉංග්‍රීස් වාක්‍ය සිංහලට හරවලා, ඒවා කෝඩින් කරන්න පුළුවන්. සමහරවිට මේ ක්‍රමය නව සොයාගැනීමක් වෙන්නත් පුළුවන්.

      Delete
    18. සුධීක, නයන්න හොයා ගත්තු විධිහ පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?

      සුධීකගේ කමෙන්ට් එක දැක්කම මම ටිකක් මේ ගැන ගූගල් කරලා බැලුව.. මේකට සිංහලෙන් කියන්නේ "ගුප්ත කේතනය" :D කියලා එක තැන තිබුනා..

      Delete
    19. සිරාවටම සුදීක, මම කොහෙත්ම හිතුවෙ නෑ සෙන්නා A අකුර පාවිච්චි කරලා තියෙන්නෙ කොම්බුව වෙනුවෙන් කියලා. ඒ වගේම ඇලපිල්ලට පාවිච්චි කරලා තියෙන්නෙ ‘o‘ කියලා. ඒ දෙක වෙනම අකුරු දෙකක් කියලයි හිතුවෙ. සිංහල වාක්‍ය ඩික්‍රිප්ට් කරන එක හෙන අමාරුයි ඉංගිරිසියට වඩා.

      Delete
    20. මම මෙතැන attack කරපු වචන දෙකක් තිබුණා. ඒ පලවෙනි පේලියේ අන්තිම පදය, අර දේශා වස්සානය කියළා මතුපිට පෙනුමෙන් අහලා තිබුණ වචනය. ඒ වගේම දෙවෙනි පේලියේ A අකුර වගේ තුනක් තියෙන වචනය. මේ වගේ ඒවායින් තායි පටන් ගන්න ලේසි. කොට වචන අල්ලන අමාරුයි මොන භාෂාවේ වුණත්. මොකද ගොඩක් වචන තියෙන නිසා. තෝරාගැනීම් ගොඩක් තියෙනවා. අනිත් අතින් අකුරු වැඩි වචන බොහොම විරලයි. ගම් වල නම් ඇරෙන්න. භාෂාවේ වචන අඩුයි. අපේ භාෂාවේ "න්න" යෙදෙන වචන වැඩියි. තව දෙයක් මගේ විශ්වාසයක් තිබුණා සිංහල භාෂාවේ වැඩියෙන්ම යෙදෙන අකුර "න"යන්න කියළා. මෙතැන "ස්ස","ද්ද" හෝ "ත්ත" වෙන්නත් පුළුවන්. නමුත් ගීතයක එහෙම යෙදෙයිද?

      බුරා : 'o' පිල්ලක් කියළා වැටහුනත් අනික් අකුරු දන්නේ නැතිව, ඒකෙන් වැඩක් ගන්න බෑ. මේ ගේම් එකේදී නම් මම තනිකර මුලා වුණා කිව්වොත් නිවැරදියි.

      Delete
    21. මේක ඩික්‍රිප්ට් කරන්න අනිත් අය කල්පනා කරන විධිහ දැනගන්න එක හරිම interesting සූධීක. ඒකයි මම ඔයා නයන්න හොයා ගත්තු විධිහ ඇහුවේ.

      ඇත්තම කිව්වොත් මේ අකුරු මට හුරුපුරුදු නිසා මට හිතුනේ ලියලා තියන භාෂාව දැනගත්තම මේක කඩා ගන්න ලේසි වෙයි කියලා. ඒකයි මම මුලින්ම අර වගේ මෝඩ ඉඟියක් විතරක් දුන්නේ...අනිත් පැත්ත හරවපු P අකුරෙන් තියන පයන්න එහෙම ලේසියෙන්ම අල්ල ගනියි කියලා මට හිතුනා. බලාගෙන යනකොට වැඩේ හිතනවට වැඩිය අමාරුයි වගේ.

      මුලා වුණා කියන්න බෑ සුධීක. මට බොහොම විශ්වාසයි සූධීක මම සිත්තමීට දීපූ ඉඟි ටික දැක්කනම් අනිවාර්යයෙන්ම මේක විසඳනවා කියලා.

      කොහොම වුනත් බොහොම ස්තූතියි සූධීක ඔයාගෙ උත්සහය තුළින් මේකට යම් අගයක් වටිනාකමක් දුන්නට.

      Delete
    22. මම target කරපු තව තැනක් තමා “හොයා“ කියන වචනය හා “හොයයි“ කියන වචනය. එතන අකුරු එක හා සමානව වගේ යෙදිලා තියෙන නිසා තේරුනා මෙතන එකම වචනයක ෆෝර්ම්ස් දෙකක් තියෙන්ට ඕන කියන එක.

      ඒ වගේම “හොයයි“ කියන වචනයෙ අර ඉරි කෑලි දෙකක් තියෙන A අකුර ‘ය‘යන්න වෙන්ට ඕනැයි කියලා අනුමාන කලේ ඔහොම තියෙන්ට පුළුවන් එක්කො “යයි“ හරි “කකි“ වගේ බොහොම සුළු ප්‍රමාණයක් නිසයි.

      මේ වගේ දේකදි patterns වලට ඇටෑක් කරන එක තමා ප්‍රායෝගිකව හොඳම දේ.

      // අනිත් පැත්ත හරවපු P අකුරෙන් තියන පයන්න එහෙම //

      සෙන්නො, උඹ ඒ ලියලා තියෙන්නෙ අනිත් පැත්ත ගහපු P අකුර ද? මම හිතුවෙ 9 ඉලක්කම කියලා... :D

      Delete
    23. 😀
      ඔව් ඒ P. මෙතනදි හම්බුනේ නෑ.. B අකුර අනිත් පැත්තට ලියලා තියෙන්නේ 'බ' යන්නට.. J සහ M එහෙම්මම දාලා තියනවා.. අතන ඇත්තටම හොයයි නෙමෙයි 'සොයයි'. ශබ්දය ආසන්න නිසා උඹේ තර්ක කිරිල්ලට ඒක බාධාවක් නෙමේ...

      උඹ ලස්සනට තර්ක කරලා තියනවා...

      Delete
  7. සිංහලත් හරියට බැරුව මේවා කොහොම කියවන්නද

    ReplyDelete
    Replies
    1. සිංහල අපි කව්රුවත් හරියට දන්නෑ කියලයි මගේ අදහස අටමෝ..

      Delete
  8. මේ රහස් කේත විසඳන එක මගේ විනෝදාංශයක්. ඒත් ඉතිං මෙච්චර කල් විසඳලා තියෙන ඔක්කොම ඉංගිරිස් අකුරුවලට හදපු රහස් කේත තමයි. ඉස්සර ඔබ්සර්වර් පත්තරේ තිබුණා Chanakya's Mind Games කියලා ඔහොම cryptograms ඉදිරිපත් කරන කොටසක්. පස්සෙ මට මෙන්න මේ සයිට් එකත් හම්බවුණා.

    මේක තමයි ඉස් ඉස්සෙල්ලාම සිංහල වචන පේළියකට හදපු රහස් කේතයක් විසඳන්න ලැබුණු අවස්ථාවා. වැඩේ අමාරුයිනේ. :( ඉංග්‍රීසි ඒවා විසඳද්දි තියෙන අනුමාන කරන්න පුළුවන් විධි (නිතර යෙදෙන අකුරු, නිතර යෙදෙන වචන වගේ වාසි) මෙතන නැහැ. ඒත් මං තාම ට්‍රයි කරනවා. පුළුවන්නං අනේ තව ටිකක් පැහැදිලිව ලියලා පින්තූරයක් දාන්නකෝ. Please...

    ReplyDelete
    Replies
    1. සිතුවිලි,

      ඕගොල්ලන්ට මේක විසඳනවට වැඩිය අමාරුයි මට ඒක පැහැදිලිව ලියන එක.. හෙහ් හෙහ්..

      තුන් හතරදෙනෙක්ම උත්සහා කරණ නිසා ඔන්න දැම්මා තව ටිකක් පැහැදිලි එකක් එක්ක වැඩිපුර ඉඟි ටිකක්. ඇති වෙයි කියලා හිතනවා.

      ඉඟි;

      1. මේ සංඛේත භාවිතා වෙලා තියෙන්නේ සිංහල භාෂාවට.
      2. මෙතන තියන එක සංඛේතයක් භාවිතා වෙන්නේ අපි පොදුවේ ඒකට දන්න ශබ්ධය වෙනුවෙන්මයි.
      3. මේක, මේ දවස් වල නිතර tv එකේ ඇහෙන සිංදුවක මුල් පද දෙක.
      4. "එ" අකුර දෙවතාවක් යෙදිලා තියනවා.
      5. "ද" අකුර පිල්ලමක් එක්ක එක් අවස්ථාවක යෙදිලා තියනවා.

      Delete
  9. අයියෝ අයියෝ කියල වැඩක් නැත. මම හොඳටම පරක්කුය. කමෙන්ට් බලපු හින්දා උත්තරේ දන්නවා :) සෙන්නත් මරු නේ. නියම මොලයක් තිබිල තියෙන්නේ හොර වැඩ කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ටිකක් කලින් ආවනම් පොඩි උත්සහයක් දාන්න තිබුනානෙ....

      මේක හොර වැඩක්දඅඅඅඅඅ...??

      සෙන්නා සාමාන්‍යයෙන් හොර වැඩ කරන්න බයයි...🙄

      Delete
  10. සේහ්.. පරක්කුයි නේ.. මමත් රස්සාවට cryptography ඉගෙන ගත්ත එකෙක්.. මෙතන මාස්ටර් බුරා, සුධික සහ සිත්තමි ගේ හපන්කම් සැහෙන්න ඉහලයි.. ඒවා දැක්කම හිතුනා වෙලාවට කලින් මේ පොස්ට් එක දැක්කේ නැත්තේ කියල. :)

    ReplyDelete
  11. අපරාදේ පරක්කු වුනේ...ට්‍රයියක් දාන්න තිබුනා නැත්නම්...

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog