Friday, April 28, 2017

එබෝලා රෝගියා | පස් වන කොටස - ආගමනය

2017 බක් මස 28 වන දා




10.04.2015
සුබ දවසක් හිතවත් නෝල්!

ගිලන් රථය සහ වෛද්‍ය සේවා නැව ගාල් කළ වහා සැපයීමට වගබලා ගන්න. රෝගියාගේ තත්ත්වය ඉතා අසාධ්‍ය වන අතර ඔහුගේ දිවි ‍රැක ගැනීමට අප සියලු දෙනා වෙහෙසෙමින් සිටිති. මෙය ඉතා හදිසි අවස්ථාවක් බව සලකන්න.



කපිතාන් ජෝන් ක්ලේටන්


චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නෞකාව



+++++

රැකියාවෙහි පීඩනය නෝල් හට අමුතු දෙයක් නොවේය. එහෙත් ජීවිතයක පැවැත්ම හෝ අවසානය තීරණය වී ඇති මෙම මෙහෙයුම වෙනදා නොදුන් පීඩනයක් ඔහු වෙත ගෙන ආවේය. කපිතාන් ජෝන් වෙතින් දිනපතා ලැබෙන තත්ත්ව වාර්තා ගෙන ආවේ අසුභදායක ප්‍රවෘත්තීන් ම බැවින්, නෞකාව කොන්ටෙයාන්ස් වෙත ළඟා වීමේ වේගයට සමානුපාතව නෝල් ගේ පීඩනයද වැඩි වෙමින් තිබුණි. ගනු ලබන වැරදි තීරණයක් නිසා හෝ කා අතින් හෝ විය හැකි අතපසු වීමක් හෝ නොතකා හැරීමක් නිසා රෝගියාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය හැකිය. එබැවින් සෑම අංගයක්ම නිසි පරිදි සූදානම්ව ඇති බවට තහවරු කරගැනීම අත්‍යවශ්‍යය. තවද, ඔහු එබෝලා රෝගියෙක් නම් ! එමගින් රටට සිදුවිය හැකි අවැඩ ද සුළු කොට නොතැකිය හැකිය. මේ දක්වා වටහා ගත් කරුණු වලින්, කොන්ටෙයාන්ස් මෙවන් තත්ත්වයකට මුහුණ දීමට සුදානම් නොමැති බව නෝල් අවබෝධ කොටගෙන තිබුණි. 




ප්‍රින්ස් වෙතින් දුරකථන ඇමතුමක් ලැබෙනා තෙක් නෝල් සිටියේ නොයිවසිල්ලෙනි. නොයිවසිල්ල, පීඩනය කොතෙක්ද යත් එය නෝල්ව අසුනෙන් නැගි‍ටුවා ඔබ මොබ සක්මන් කරවූයේය. රාජකාරීමය පීඩනයකින් මිරිකෙමින් සිටිනා විට, විදුරුවක් පුරවා වතුර එකක් පානය කිරීම නෝල්ගේ සාමාන්‍ය උපක්‍රමයෙකි. එමගින් හිසරදයට වේදනා නාශකයකින් ලැබෙනවාක් මෙන් තාවකාලික අස්වැසිල්ලක් ලැබෙන බව නෝල් අත්දැකීමෙන් දනී. වීදුරුව පුරවා මුවට ගෙන උගුරු දෙකක් පානය කළා පමණී, නෝල්ගේ ජංගම දුරකථනය නාද වන්නට වුණි. ප්‍රින්ස් ගේ නම දුරකථන තිරයේ දිස් වූයෙන් වතුර බීම වහා අත්හල නෝල්, හනික දුරකථනයට ප්‍රතිචාර දැක්වීය.




"ඔව් ප්‍රින්ස් කියන්න. මොකද වුණේ ? ඩොක්ටර් දුන්නද ක්ලියරන්ස් එක ?"




"ඔව් නෝල් වැඩේ හරි. ඩොක්ටර් කියන්නේ මෙයාට එබෝලා ලක්ෂණ නෑ කියලා. ඒක නිසා නැව බර්ත් කරන්න පුළුවන්ලු. එයා සෞඛ්‍ය සංවිධානයෙනුත් අවසරය ගත්තා කිව්වා. මම මේ දැන් පෝර්ට් කොන්ට්‍රෝල් එකට යන ගමන් මේක භාර දෙන්න. "




"හරි ප්‍රින්ස්. ඔයා ඇම්බියුලන්ස් එකට ලියුම භාර දුන්නද? ආයෙ මතක් කරන්න, නැත්නම් ඔය යක්කු වෙලාවට එන එකක් නෑ."




"ඔව් ඒකත් හරි. නැව බර්ත් කරනකොට කෝල් එකක් දෙන්න කිව්වා. ඒ ගොල්ලො එයි එතකොට."




"හරි. නැව දැන් කලින් එනවා, හෙට උදේ හතට. එතකොට ඩොක්ටර්? එයත් එනවා කිව්වා නේද?"




"ඔව්, ඔව්.. එයත් බර්ත් කරනකොටම එන්නම් කිව්වා. මම කෝල් එකක් දෙන්නම් එයාටත්."




"ඔව්, ඩොක්ටර් ගිහින් හෙල්ත් ක්ලියරන්ස් එක දෙනකම් කාටවත් නැවට නගින්න දෙන්න එපා. මම ටර්මිනල් එකටත් කියන්නම්. කොච්චර වුණත් කියන්න බෑනේ.."



"හරි නෝල්, මම එහෙම කරන්නම්.."



"රයිට්. තෑන්ක්ස් ප්‍රින්ස්"



නැව ගාල් කරගැනීම උදෙසා සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනුමැතිය ලද නිසා, නෝල්ගේ පීඩනය මදකට සමනය වුවද ඒ සම්පූර්ණයෙන්ම නොවේ. රෝගියා පිටතට ගෙන රෝහල් ගත කරනා තෙක් මෙම පීඩනය ඔහු කෙරෙන් ඉවත්ව නොයනු ඇත. සියල්ල යහපත් ලෙස පෙනී ගියද ඕනෑම මොහොතක බලාපොරොත්තු නොවන බාධකයක් මතුවිය හැකි බව නෝල්  දනී. මේ, කොන්ටෙයාන්ස් වරායයි !



+++++



බන්ධනාගාරකි. බන්ධනාගාර නියාමකයින්ගේ අධීක්ෂණය යටතේ, බරපතල වැඩ සහිතව සිරගත කෙරූවන්, එළිමහන් රාජකාරීන්හී නියැලෙමින් සිටියහ. ආවේණික නිල ඇඳුමින් සැරසුණු සිරකරුවන් විස්සක් හෝ තිහක් එම මොහොතෙහි එහි රාජකාරි කරමින් සිටි අතර එයින් සමහරෙක් බැලූ බැල්මට ස්ථානයට හුරුපුරුදු, වසර ගණනාවක් එහි ගෙවූවන් බව දිස් වූ අතර කිහිප දෙනෙක් ස්ථානයට ආගන්තුකයන් බව ඔවුන්ගේ නිල ඇඳුම් වල නවතාවය, හැසිරීම ආදියෙන් පෙන්නුම් කෙරිණි.

මෙම බන්ධනාගාරය අනෙකුත් ඒවායින් වෙන්කරනා වෙනසක් විය. ඒ, නගරයෙහි හමුවන සියලු එබෝලා රෝගීන් ‍රැඳවීම සිදු කෙරුණේ එහිම එක් පසෙකය. එම හේතුවෙන්ම එබෝලා රෝගය පහසුවෙන්ම සිරකරුවන් අතර ද පැතිර ගිය අතර රෝගී වූවන් සිරකුටි වෙතින් රෝහලෙහි සයනයක් වෙත උසස්වීමක් ලදද එයින් බොහොමයක් කල්නොයවාම පොළවෙනුත් අඩි හයක් පහළට යැවෙණා බැවින්, කිසිවෙකුත් එම උසස්වීම කෙරෙහි ප්‍රියමනාප නොවූහ. ඒ වෙනුවට, බලධාරීන්ගේ මෙම තීරණය කෙරෙහි සිරකරුවන් උරණව පසු වූහ. රෝගය නගරයෙහි පැතිරීමෙහි ලා මුල්වූ පුද්ගලයන් කිහිප දෙනාද බරපතල වැඩ සහිත සිරකරුවන් සමඟ වූ අතර බන්ධනාගාර ජීවිතය හුරු නැති ඔවුන් සියලු දෙනා, අනෙක් අය වෙතින් කැපී පෙනුණි. අප හොඳින් හඳුනන නෝල් ඒ අතරින් කෙනෙකි. 



යතුරු පුවරුවට දෑත් හුරුවූ අයෙකුට මේ බර වැඩ අපහසු බව නොකිවමනාය. එනයින් නිතර නිතර කරමින් සිටි කාර්යය නතර කළ නෝල් සිය කමිසයේ අතින් මුහුණෙහි දහදිය පිසදා ගනු ඔහු දෙස සුලු වෙලාවක් වුව බලාසිටින්නෙකුගේ අවධානයට හසුවනවා නො අනුමානය. මුවෙන් ආරම්භ වී කම්මුල, නාසය, දකුණැස, නළලත පිසදා ගෙන කණ දක්වා දකුණතෙහි උඩු බාහුව ඉහළට එස වෙනා විට, වැසී විවර වූ ඇසෙන් තමා දෙස මරුමූස් පෙනුමින් බලා සිටිනා හැඩිදැඩි සිරකරුවා නෝල්ගේ අවධානයට හසු වූයේය. ඔහු පිළිබඳ නොතැකූ නෝල් නැවත සිය වැඩයට යොමු වුවද, නැවතත් සිය ඇස ඒ දෙස යොමුවනු වළක්වා ගැනීමට ඔහු අපොහොසත් වූයෙන් බලාගත් බැල්මෙන් යුතුව තමන් වෙත ඇදෙන එම දාමරිකයාගේ දසුන නෝල්ගේ නිරීක්ෂණයට ලක් වීය. 




කරමින් සිටි කාර්යය නතර කළ නෝල්, දාමරික පෙනුමැති සිරකරුවාගේ ආගමනය දෙසට සිය අවධානය යටැසින් යොමු කෙළේය. නොදන්නා, අලුත් පරිසරයක් තුළ ආරක්ෂාව සඳහා ඉමහත් විමසිල්ල ඉතා අත්‍යවශ්‍ය වන්නේය. එසේ වතුද, හනි හනික තමන් වෙත ආ දාමරිකයා සිය දඩු අඬු වැනි අයෝමය දෙ අත්ලෙන් නෝල්ගේ ගෙල සිය ග්‍රහණයට ගැනීමෙන් වළක්වා ගැනීමට එම විමසිල්ල ප්‍රමාණවත් නොවුණි. ක්‍රමක්‍රමයෙන් සිය ගෙල සිරවී හුස්ම ගැනීම අපහසු වන විට, දැත් මෙන්ම දෑස් ද ඉහළට එසවු නෝල්, කළ හැකි එකම දෙය වූ උගුරින් මර හඬක් නැගීම කරමින් මරු විකල්ලෙන් දෑත් වනමින් දගලන්න වූයේය. සියලු දෙනාම කවාකාරව තමන් දෙදෙනා වට කරගෙන සිනාසෙමින් බලා සිටිනු දැක ඔවුන් කිසිවකු හෝ තමන්ගේ ගැලවීමට ඉදිරිපත් නොවීම පිළිබඳ විමතියට පත් විය. ඒ අතර බන්ධනාගාරයෙහි නියාමකයන්ද සිටිනු දු‍ටු නෝල්ගේ විමතිය දෙගුණ තෙගුණ වීය. ඒ සමඟම බන්ධනාගාරයෙහි "මනිය" හෙවත් හෝරා දර්ශකය වැදීම ඇරබුණෙන් සියලු දෙනා වහ වහා එතනින් ඉවත් වූ අතර නෝල්ගේ ගෙල අත හැරි දාමරිකයාද ඔවුන් සමඟ එක් වීය.




තිගැස්සි අවදි වූ නෝල් ,ගෙල අතගාමින් එය යහතින්දැයි සැකහැර දැන ගත්තේය. හෘද ස්පන්දනය වේගවත් වී තිබූ අතර, ඔහු වේගයෙන් හුස්ම ගනිමින් සිටියේය. ඒ වන විටත් නාද වෙමින් තිබූ සිය ජංගම දුර කථනයෙහි නාදය කෙරෙහි නෝල්ගේ අවධානය යොමු වූයේ ඉන් මද වේලාවකට පසුවය. 



"හෙලෝ....." ඒ නිද්‍රාශීලි, තිගැස්මකින් යුතු බියපත් නෝල්ගේ කට හඬයි. 



"නෝල් මම චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නැවේ කැප්ටන් කතා කරන්නේ...පෝර්ට් කොන්ට්‍රෝල් එකෙන් අපිට දැනුම් දුන්නා ඩොක්ටර් නැවට එනකම් නැව බර්ත් කරන්නෑ කියලා. ඩොක්ටර් එන්නේ කීයට ද කියන්න. අපිට නාස්ති කරන්න වෙලාවක් නෑ.." කපිතාන්වරයාගෙන් අසන්නට යෙදුණු දෑ නෝල්ව පියවි ලෝකයට සම්පූර්ණයෙන්ම ඇද දැමීමට හොඳටම ප්‍රමාණවත් වුණි. සයනයෙන් නැගී සිටි ඔහු එහි වාඩි ගැනුණේ යාන්ත්‍රීකවය.




"මොකක් !!" නෝල්ගේ විස්මයාර්ථය.




"කැප්ටන් අපි ඊයේ ඇපෘවල් ගත්තානේ හෙල්ත් ක්ලියරන්ස් නැතිව නැව බර්ත් කරන්න. පෝර්ට් කන්ට්‍රොල් එකටත් දීලා තියෙන්නෙ. "




"ඒවුනාට ඒ ගොල්ලො දැන් කියන්නේ වෙන කතාවක් නෝල්. ඉක්මනට මොනවා හරි කරන්න."




"හරි කැප්ටන්, මම බලන්නම්"




වහා ක්‍රියාත්මක් වූ නෝල්ගේ පළමු ඇමතුම වරාය පාලක මධ්‍යස්ථානයට යොමු වුණි. අනෙක් පසින් නාදවෙන දුරකථනයට ප්‍රතිචාර පමා වන විට නෝල් නොඉවසිල්ලට පත්වුණි..."ගනින් යකො.. ගනින්.. ගනින්.. "යැයි සිතින් බැණ වදිමින් ඔහු සිය දකුණත මිට මොලවා සයනයෙහි ගුදිරියට පහර දීගෙන ගියේය. 




"ගුඩ් මෝර්නින්ං පෝර්ට් කන්ට්‍රෝල්.."




"හෙලෝ ගුඩ් මෝර්නින්ං, මම නෝල් කතා කරන්නේ. අපේ චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නැව එළියෙ ඇවිත් තියෙන්නේ. ඒක ඉක්මනට බර්ත් කරන්න ඕනා සීරියස් ලෙඩෙක් ඉන්නවා ඉක්මනට හොස්පිටලයිස් කරන්න ඕන"




"ඔව් අර එබෝලා පේෂන්ට් ඉන්න එක නේද, අපි දන්නවා. ඒකට ඩොක්ටර් යන්න ඕනා. ඊට පස්සෙ තමා බර්ත් කරන්න පුළුවන්."




" එබෝලා ! කවුද කිව්වේ එබෝලා පේෂන්ට් කෙනෙක් කියලා. ඩොක්ටර්ත් කිව්වේ එයාට එබෝලා ලක්ෂණ නෑ කියලනෙ. එයා ක්ලියරන්ස් එකත් දීලා තියනවා නැව බර්ත් කරන්න. ඒ ක්ලියරන්ස් එක අපි ඕගොල්ලන්ට ඊයේ දුන්නනේ. පොඩ්ඩක් බලන්න. අර මනුස්සයා පණ අදිනවා."




"ඒක හරි, ඒ වුණාට අපිට හාබර් මාස්ටර් ඉන්ස්ට්‍රක්ට් කරලා තියනව, ඩොක්ටර් නැවට ගිහින් ඉන්ස්පෙක්ට් කරලා ඕකේ එක දෙනකම් නැව බර්ත් කරන්න එපා කියලා..." එය ශ්‍රවණය වූ සැණින් නෝල්ට කෙඳිරි ගෑවුණේ නිරායාසයෙනි. ඔවුන් සමඟ වාද කිරීමෙන් පලක් නොමැත. ඔවුන් නියෝග පිළිපැදිය යුතුය. නෝල් දුරකථනය විසන්ධි කර දැමීය. 





තත්ත්වය බැරෑරුම් වෙමින් පවතී. අසරණ රෝගියාගේ ජීවිතය රඳා පවතින්නේ යුහුසුළු වන තරමටය. නෝල් ජංගම දුරකථනයේ තිරය දෙස බැලුවේ වේලාව දැන ගැනීමටය. උදෑසන හතර පසු වී මිනිත්තු කිහිපයකි. වරායපතිවරයාට ඇමතීමට සුදුසු වේලාවක් නොවේය. එහෙත් නොකරම බැරිය ! 


                                                                                එබෝලා රෝගියා | සය වන කොටස - කඹ ඇදීම...................


ලියුවේ;


සෙන්නා / 28.04.2017


17 comments:

  1. හම්මේ ඒකත් හීනයක්ද එහෙනම්. කතාව නොනැවතී ඇදීගෙන යාම ගැන මගේ බලවත් සන්තෝසය. මම හිතුවා අද එහාට හත නොවීම තියේවි කියලා :) හෙටත් හතට බලාගෙන ඉන්නවා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. බලන් හිටියට හය, හතට ඒම පරක්කු කරන්න වීම ගැන කණගා‍ටුව.

      Delete
  2. සෙන්න.. උඹ නං අපිව අමාරුවේ දාන්නමයි ලියන්නේ.. තිසරයා කිව්ව වගේ මේව්වා නෝට් ගහගෙන කියවන්න ඕන කතා. අර වතුර බොන එක උපක්‍රමයක්ද චර්යාවක්ද?? උපක්‍රමයක් කියන්නේ යමකින් බේරෙන්න කරන වැඩක් විනා පුරුද්දක් නෙමෙයාි නේද?

    මම නොයිවසිල්ල ලියන්නෙම නොඉවසිල්ල කියලයි.. ඒ ගැන වැඩි විස්තර නොදනිමි.

    පොරොන්දු ඉටු කරන සෙන්නා වසන්තම් ලී කුට්ටිය කරමු..

    ReplyDelete
    Replies
    1. අමතක උනා. අද බ්ලො/් රෝලේ අප්ඩේට් වෙලා තිබුනා.. බම්බුව..

      Delete
    2. ///ලාඟා///
      මේක මම ලියන්නේ "ළඟා" කියලා...

      ///නොයිවසිල්ල ///
      මේක මම ලියන්නේ "නොඉවසිල්ල" කියලා...

      මේවා නිකං අතේ හුරුවට ලියවෙන්නේ, කවුරුහරු නිවැරදි මෙව්ව එක කිව්වනම්, රෙද්ද...

      Delete
    3. 1. හරි එක 'ළඟා'. මම හිතන්නේ සෙන්නා ගේ කතාවේ නම් 'ලාඟා' කියලා තියෙන්නේ වැරදීමක් වෙන්න ඕනා.

      2. 'නොයිවසිල්ල' වරදක් නැහැ. සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ වචනයක් මැද්දේ ස්වරයක් තියන්නේ නැති නිසා නො+ඉවසිල්ල තැන ව්‍යංජනාගම සන්ධියක් වෙලා නො+ඉ මැදට ය් ඇවිත් නො-ය්-ඉ වෙන එක සාමාන්‍යයි. ඒත් මම සාමාන්‍යයෙන් නොඉවසිල්ල කියන වචනේ වඩා ලස්සනයි කියලා හිතන නිසා එහෙම ලියනවා :)

      Delete
    4. වතුර බොන එක උපක්‍රමයක් නේද ? චර්යාවක් කියන්නේ පුරුද්දක් ලෙස නිතර කරණ එකක් නේද ?

      අරවා පරණ ඒවා හින්දහ්ඩ කොහෙද අප්ඩේට් වෙලා නෑ... මේ කොටසේ ඉඳන් අලුත් ඒවනේ යන්නේ.. ඒකයි ඔය..

      ලාඟා වෑරදීමක්. ඒක හැදුවා. ස්තූතියි තරිඳු.

      නොයිවසිල්ලනම් තනිකරම සුබසට ඕන විධිහට තමා.. සමහර තැන් වල ඕන් නොඉවසිල්ල කියලත් තියනවා...

      තුන්දෙනාටම ගොඩක් ස්තූතියි.

      Delete
  3. මේක දැක්කේ දේශක උන්නාන්සේ ෂෙයා කරලා තිබ්බ නිසා. ඒ ගෞරවේ එතුමාට යන්න ඕනා...

    මේක අපට චැලේන්ජ් කරන කතාවක්. එක- මේකේ විෂය පථය අපට හුරු නෑ. දෙක- මේකේ ආඛ්‍යාන රටාව අපට එච්චර හුරු නෑ. තුන- ආඛ්‍යාන රටාව සමහර තැන්වල දීර්ඝයි. හරියට රුසියානු හෝ ප්‍රංශ යථාර්ථවාදීන්ගේ වගේ. එතකොට ලියන්නාට වගේම කියවන්නාට ශික්ෂණයක් අවශ්‍ය වෙනවා. විස්සයි විස්ස ස්ටයිල් එකට කියවන්න බැහැ. ඒ වගේම සයිබර් අවකාශය වගේ රිවර්ස් ස්වීප් ස්පේස් එකක් ඇතුළේ මේක කියවන එක අභියෝගයක්. මම හිතන්නේ කතාවේ අගය වැඩිවෙන්නේ එතනින් කියලා. වේගෙන් කතාව කියවගෙන යන්න කියලා ඇවිල්ලා මේ බ්ලොග් එකේ අයිනකට කරලා නවත්තලා හෑන්ඩ් බ්‍රේක් ඇදලා කමෙන්ට් කරන්නේ ඒකයි.

    ඒක සුන්දර අභියෝගයක්... ස්තූතියි සෙන්නා... ඔහොම යමු...

    ReplyDelete
    Replies
    1. කාර්පිස්සාට සෙන්නා හමු වූ මේ මොහොත දෙදෙනාටම මයිල්ගලක් විය හැකිය.. චියර්ස් ගායිස්

      Delete
    2. මටත් ඇත්තටම එකපාරට මේක හයේ ස්ටාටර් මෝටරේට දොළහේ බැට්රිය හයිකලා වගේ මූමන්ට් එකක් වුණා...

      Delete
    3. මේක චැලෙන්ජ් එකක් වෙන්නේ ලියන උන්ටද ? කියවන උන්ට ද ? ලියන උන්ට චැලෙන්ජ් එකක් - අකුරු වලින් පෙලහර පාන උඹලට මේක චලෙන්ජ් එකක් කියලා මම කීයටවත් හිතන්නෑ - වෙනවනම් මම වැඩිය කැමතියි. එතකොට තව මීට වඩා හොඳ නිර්මාණ එළියට එයිනේ..

      අවංකව කතා කළොත් මට අහන්න වෙනවා මොකක්ද ආඛ්‍යානය කියන්නේ කියලා. ඉස්කෝලෙ යන කාලේ සිංහල පාඩමට ඔය වගේ දෙයක් ඉගන ගත්තා වගේ මතකයි, දැන්නම් මෙලෝ මලදානයක් මතක නෑ. ඇත්තම කිව්වොත් මම හිතට අප්පු විධිහට කතාව ලියාගෙන ගියා විතරයි. කියවලා තියන පොත්වල ආභාෂාය, ශෛලිය අඩු වැඩි වශයෙන් මුසු වෙලා ඇති. එච්චරයි.

      දේශා, කාර් පිස්සා මට අමුත්තෙක් නෙමේ. මම කාර් පිස්සගේ පාඨකයෙක්..

      තරිඳු, හයේ මෝටරේට දොළහේ බැටරිය දැම්මම මොකද වෙන්නේ? මෝටරේ පිච්චෙයිද ? බැට්‍රිය වැඩි කල දුවයි ද ?

      Delete
    4. ආඛ්‍යානය ගැන මම පස්සේ කතා කරන්නම්. හයේ මොටරේට දොළහේ බැටරියක් මම ඉස්සරලම දැම්මේ මගේ 1960 බීට්ල් එකට. ඉස්සරලාම මොටරේ ගහපු වෙලාවේ මට දැනුණේ නිකං හෙලිකොප්ටරයක් ස්ටාට් වෙනවා වගේ. එහෙම දෙයක් මම එතෙක් විඳලා තිබ්බේ නැහැ. හැබැයි මම පාවිච්චි කරපු අවුරුදු දෙක තුනේ මොටරේ අපූරුවට දිවුවා. නමුත් මට තාම ඒ හඬ අද වගේ මතකයි.

      Delete
  4. දේශකයගේ ලින්ක් එකක් දැකලා ආවේ. සෙන්නා කතාවක් දැම්මා කිව්වාම අතීතේ මතක් වුනා. බැලින්නං කොටස් 5ක් ගිහින්නේ. මුල ඉඳං එන්නං :D

    ReplyDelete
    Replies
    1. අනේ බොල ගැමියෝ, බොලාට දැන් බ්ලොග් මතක් වෙන්නේ කව්රු හරි ශෙයාර් කළොත් විතරයි නේද ? අපි අරෙහෙ ගෑණු ලොවක හිර වෙලා..

      දිගටම වරෙන්, උඹලව දකින්නත් ආසයි..බ්ලොග් එක ලියහන්...

      Delete
  5. කතාව ලස්සනට ගලායනවා.
    තිගැස්සි අවදි වූ නෝල් ගැන කියවන තුරු හීනයක් බව නොදැනෙන්න ලියූ විලාසය බොහෝ අගේය. ඉදිරියටම යමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩීන් අය්යා..

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog