Sunday, May 4, 2014

ගාර්-ඩි-ලියෝන් දුම්රිය අනතුර | 1988.06.27 || අවසාන කොටස

2014ක්වූ වෙසක් මස 04වනදා


නතුරින් දින තුනකට පසු, කඩාවැදුණු දුම්රිය, විමර්ශකයන්ගේ තීක්ෂණ පරික්ෂාවට හසු විය. ජාතික ප්‍රවාහන පර්යේෂණාගාරයෙහි ප්‍රධානී, දුම්රිය තිරිංග පද්ධති පිළිබඳ විශේෂඥයකු වූ ජෝන් පියර් පැස්කාල් විමර්ශන කණ්ඩායමේ ප්‍රධාන තාක්ෂණික උපදේශකයා විය. පසුගිය වසර හත ඇතුළත ත්‍රස්තවාදී සංවිධාන විසින් ප්‍රංශ දුම්රියන් මත විවිධ අවස්ථාවන්හීදී බෝම්බ පිපිරවීම් සිදුකළ බව පැස්කාල් හොඳින් දැනසිටි කරුණකි. දුම්රියන් මත මනුෂ්‍යය සංහාරයන් සිදුකිරීම උදෙසා ඔවුන් විසින් දැන් විනාශකාරී නව ක්‍රමවේදයක් සොයාගෙනද ? එසේනම් දහස් ගණනක් වූ අහිංසක මගීන්ගේ ජීවිත අනතුරේය.

56 දෙනෙකුට මරු කැඳවමින්, 57දෙනෙකුට තුවාල සිදුකරමින්, සොලෑන්ගේ දුම්රිය ගාර්-ඩි-ලියෝන්හීදී අනතුරට ලක්වීමට බලපෑ හේතුව සොයාගැනීම පැස්කාල්ගේ රාජකාරිය විය. තිරිංග ක්‍රියාත්මක නොවූ බවට පැස්කාල් දැනුවත්වී තිබුණි. ඔහුට අවබෝධකරගත යුතු වූයේ ඒ මන්ද යන්නයි. ඒ සඳහා පැස්කාල් කඩාවැදුණු දුම්රිය අඟලින් අඟල සීරුවට පරික්ෂා කළේය. ඒ ඔස්සේ ඉතා තීරණාත්මක සැකකටයුතු තොරතුරක් සොයාගැනීමට පැස්කාල් සමත් විය. දුම්රියෙහි තිරිංග පද්ධතිය වෙත වායුව සැපයූ ප්‍රධාන තිරිංග කපාටයක් (Break Brake Valve) වසා තිබෙනු පැස්කාල්ගේ නිරීක්ෂණයට හසු විය. තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක වීමටනම් එය විවරව තිබීම අනිවාර්‍යය සාධකයකි. කිසිවකු දුම්රියෙහි තිරිංග පද්ධතියට අතගසා තිබෙන බවට මෙය පැහැදිලි සාක්ෂියකි. මෙම අනතුර හිතාමතා සැලසුම් කරණ ළද කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්දැයි දැනගැනීම උදෙසා විමර්ශකයන්හට සෑම වියහැකියාවක් කෙරෙහිම සිය අවධානය යොමු කිරීමට සිදුවී තිබිණි.

දුම්රියෙහි තිරිංග බලගැන්වූයේ එන්ජින් මැදිරියෙහි උත්පාදනය කරණ ලද සම්පීඩිත වායුවෙනි. එය නළයක් ආධාරයෙන් දුම්රියෙහි මුළු දිගම ආවරණය වෙන පරිදි ‍රැගෙන යන ලදී. සෑම මැදිරියකම, මෙම නළයෙන් වායුව ලබාගෙන ක්‍රියාත්මක වෙන වෙනම තිරිංග ඒකකයක් විය. එන්ජින් මැදිරියෙහි පි‍ටුපස මෙම නලයෙහි ගමන් කරනා වායුව පාලනය කළ හැකි කපාටයක් පිහිටා තිබිණි. සොලෑන්ගේ දුම්රියෙහි වසා තිබුණේ මෙම කපාටයයි. එමගින් එම ස්ථානයෙන් පි‍ටුපසට වායුව ගමන් කිරීම අවහිර කොට තිබිණි. විමර්ශකයනට අනුව මේ සඳහා තිබිය හැක්කේ එකම නිගමනයයි. යම්කිසිවකු විසින් කපාටය වසා ඇත. පැස්කාල් විශ්වාස කරනා අන්දමට, කඩාකප්පල්කාරී ක්‍රියාවක් උදෙසා මෙය සිදු කළේනම්, සිදු කළ තැනැත්තා සතුව දුම්රිය තිරිංග පද්ධති පිළිබඳව විශේෂඥ දැනුමක් තිබිය යුතුය. හෝඬුවාවක් ලබා ගැනීමේ අරමුණින් පැස්කාල් විසින් රියදුරු සොලෑන් හා සහයකයා ජෝන් බෝවී ප්‍රශ්න කිරීමට භාජනය කරණ ලදී.

සොලෑන්ට අනුව ගමනෙහි මුල් විනාඩි 58 ඇතුළත දුම්රියෙහි තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක වී තිබුණි. එසේනම්, මෙම කපාටය වැසීමේ ක්‍රියාවලිය සිදුවී ඇත්තේ වෙයර්-ඩි-මෙසෝන්ස් හී ඇතිවූ හදිසි නතර කිරීමෙන් පසුව විය යුතුය. අදාළ කාන්තාව විසින් වෙයර්-ඩි-මෙසෝන්ස් හිදී හදිසි දම්වැල ඇද, දුම්රිය නතර කරවනු ලැබුයේ මන්ද යන්න කිසිවෙකුට පැහැදිලි කළ නොහැකි විය. තවද, ඇය, බෝවී එම මැදිරිය වෙත පැමිණීමට පෙර දුම්රියෙන් ඉවත්ව නොපෙනී ගොස් සිටි බැවින් බෝවී හට ඇයව ප්‍රශ්න කළ නොහැකි විය. මෙම කාන්තාව මෙම කපාටය වැසීමේ ක්‍රියාවලිය හා සම්බන්ධයක් ඇති තැනත්තියක් විය හැකිද ? දම්වැල ඇදි කාන්තාවට ඉදිරිපත් වන ලෙස මාධ්‍ය ඔස්සේ සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 21 හැවිරිදි එක දරු මවක් වූ ඕඩීර් මිර්වා විමර්ශකයන් හමුවට පැමිණියාය.

මීර්වාට අනුව, ඇය විසින් මෙම දුම්රියෙන් වෙයර්-ඩි-මෙසෝන්ස් වෙත පැමිණීම දෛනික ක්‍රියාවලියකි. ඒ වෙයර්-ඩි-මෙසෝන්ස් වෙත පාසල් යන සිය දරුවාව පාසලින් ‍රැගෙන යාම සඳහාය. එහෙත්, ගිම්හාන කාලසටහනෙහි සිදුවූ වෙනස ඇය විසින් නොදැන සිටියාය. දුම්රිය වෙයර්-ඩි-මෙසෝන්ස් හී නොනවත්වා ඉදිරියට ඇදෙනු දැක කලබල වූ ඇය විසින් හදිසි දම්වැල ඇද දුම්රියෙන් බැස ගියේ වේලාවට පාසලෙහි සිටිය යුතු බැවිනි. පැස්කාල්ට අනුව ඇයගේ ක්‍රියාව වගකීම රහිත එකක් නමුදු සැකකටයුතු නොවේ.

කාන්තාව දුම්රියෙන් බැසගිය පසු සිදුවූ සිද්ධිය දැනගැනීම සඳහා පැස්කාල් විසින් ජෝන් බෝවීව ප්‍රශ්න කිරීමට ලක් කළේය.

දුම්රිය නතරවීමෙන් පසු බෝවී විසින් හදිසි තිරිංග පද්ධතිය නැවත සැකසීමේ කාර්යයට යොමුවී ඈත. ඒ සඳහා භාවිතා කළ යුතු අල්ලුව පිහිටා තිබුණේ ප්‍රථම හා දෙවන මැදිරි ද්විත්වය අතරය. එම අල්ලුව පෙර සඳහන් තිරිංග කපාටයට ඉතා ආසන්නව පිහිටා තිබුණි. බෝවී පවසන පරිදි අල්ලුව ඉතා තදින් සිරවී තිබූ බැවින් ඔහුට එය සෙලවීමටවත් නොහැකි වී ඇත. ඒ සඳහා කළ ව්‍යායාමයන් නිෂ්ඵල වී ඇත. ඉන්පසුව එතනට පැමිණි රියදුරු සොලෑන් විසින්ද ඒ සඳහා උත්සහ කර ඇති අතර සැලකිය යුතු වේලාවක් ඒ සමඟ වෙහෙසීමෙන් අනතුරුව සොලෑන් විසින් අල්ලුව නියමිත පරිදි පිහි‍ටුවීමට සමත්වී ඇත.

නමුත්, සොලෑන් නැවතත් නියමු කුටියට පිවිසි විට ඔහුව මවිත කරවමින් තිරිංග තවමත් සිරවී තිබෙන බැව් නිරීක්ෂණය කරනා ලදී. හදිසි තිරිංග පද්ධතිය යළි සැකසූ පසුවත් දුම්රියෙහි තිරිංග තවමත් සිරවූ තත්ත්වයේ පසු වන්නෙ මන්ද ? එය පැස්කාල්වද ගැටලුවකට මැදි කළේය. දුම්රියෙහි තිරිංග ක්‍රමවේදය පිළිබඳව හොඳින් නිරීක්ෂණය කළ පැස්කාල් හට අවබෝධවූයේ හිරවූ හදිසි තිරිංග පද්ධතිය යථා තත්ත්වයට පත් කළද, සම්පීඩිත වායු නළයේ කපාටය වසා දමා ඇත්නම් දුම්රියෙහි තිරිංග තවමත් හිරවූ තත්ත්වයේ පවතින බවයි. එය තිරිංග සඳහා නිසි සම්පීඩිත වායු සැපයුමකින් තොරව දුම්රිය ගමන් ආරම්භ කිරීම වැළක්වීමට පිහි‍ටුවා තිබූ ආරක්ෂිත ක්‍රමවේදයකි. මෙහිදී පැස්කාල්ගේ සැකය වෙනත් දිශාවක් කෙරෙහි එල්ල විය.

සොලෑන් සමඟ සිදු කළ සාකච්ඡාවෙන් අනතුරුව කපාටය වැසුණේ කෙසේද යන්න හෙළිකර ගැනීමට පැස්කාල් ඇතුළු කණ්ඩායමට හැකිවූහ.

"අපි ඔහුව ප්‍රශ්න කළ අවස්ථාවේ සොලෑන් පිළිගත්තා හදිසි තිරිංග අල්ලුව නැවත යථාතත්වයට ගැනීමේදී ඔහු විසින් අදාළ කපාටයෙහි ලිවරය ඇල්ලු බවත්, වැඩි බලයක් යෙදවීම සඳහා එම ලිවරයට බර යෙදීමක් කළ බවත්." - පැස්කාල්

සොලෑන්ගේ ප්‍රකාශය පැස්කාල්ගේ සැකය තහවුරු කළේය. සොලෑන් විසින් හදිසි තිරිංග අල්ලුව යථා තත්ත්වයට ගැනීමේදී අනවධානයෙන් සම්පීඩීත වායු නළයේ කපාට ලිවරය මත බර යෙදීමෙන් ඔහුත් නොදැනුවත්වම එය වැසි ගොස් ඇති බව ස්ථීරය. එම අවස්ථාවේ සොලෑන්ගේ අරමුණ හදිසි තිරිංග අල්ලුව කෙරෙහිම යොමුව තිබූ බැවින්, තමා අතින් නොදැනුවත්ව සිදුවූ වරද ඔහුගේ අවධානයට ලක් නොවීය. 

සොලෑන් SNCF ආයතනයේ උපදෙස් නිසි පරිදි පිළිපැද්දේනම් තවමත් අනතුර වළක්වා ගැනීම අවස්ථාව ඔහු සමඟයි. තමන් නිසි පරිදි හදිසි තිරිංග පද්ධතිය යථා තත්ත්වයට පත් කළේයැයි සොලෑන් විශ්වාස කළේය. නමුත් සම්පීඩිත වායු නළයේ කපාටය වසා දැමීමෙන් ඔහු විසින් දුම්රියෙහි අනෙක් මැදිරි හතෙහිම තිරිංග සඳහා සම්පීඩිත වායු සැපයුම කපාහැර තිබිණ. එබැවින්, ප්‍රථම මැදිරියෙහි හැර අනෙක් මැදිරි හතෙහිම තිරිංග මේ මොහොත වන විටත් හිරවී තිබුණි. එහෙත්, එසේනම් සොලෑන් විසින් දුම්රිය නැවතත් ධාවනය කරවීමට සමත් වූයේ කෙසේද ? ඒ සඳහා ඇති එකම ක්‍රමයනම් සෑම මැදිරියකම ඇති තිරිංග වෙත සපයා තිබූ සම්පීඩිත වායුව නිදහස් කොට තිරිංග ලිහිල් කර ගැනීමයි. SNCF ක්‍රියාපටිපාටීන්ට අනුව මෙවන් අවස්ථාවකදී සොලෑන් විසින් ඉන්ජිනේරුවන්ගේ සහය ඉල්ලා සිටිය යුතුව තිබුණි. එසේ වූයේනම් සිදුවී ඇති වරද ඔවුන් විසින් එක් වරම හඳුනා ගැනීමට ඉඩ තිබිණ. එහෙත්, පිටත් වීමට හදිසියෙන් සිටි සොලෑන් විසින් ඒ වෙනුවට තමන් විසින්ම සිරවූ තිරිංග ලිහිල් කර ගැනීමට තීරණය කරණ ලදී. සොලෑන් නොදැන සිටි කරුණනම් සම්පීඩිත වායු නළය වසා දැමීම නිසා මෙම සිරවීම සිදුවී ඇති බවයි. ඒ වෙනුවට ඔහු විසින් උපකල්පනය කෙරුවේ මෙය හදිසි තිරිංග භාවිතා කළ සමහර විටෙක සිදුවෙන වායු සිරවීමක් නිසා ඇතිවූ තත්ත්වයක් බවයි. එවැනි විටෙක මෙසේ වායුව නිදහස් කර හැරීම මගින් තිරිංග ලිහිල් කර ගැනීම සාමාන්‍ය ක්‍රමවේදයයි. සොලෑන් විසින් බෝවීගෙද සහය ඇතිව මැදිරි හතෙහිම තිරිංග එකින් එක ලිහිල් කර ගැනුණේ පද්ධතියේ ඉතිරිව තිබූ සුළු සම්පීඩිත වායු ස්වල්පයද පිටතට මුදා හැර දමමිනි. දැන්, සොලෑන්ගේ දුම්රිය යනු නිසි වේගයට පැමිණි පසු මිනිස් පාලනයෙන් බැහැර වන විනාශකාරී යන්ත්‍රයකි.

අවසානයේදී දුම්රිය පිටත් විය. නියමිත වේලාවට ගමනාන්තය වෙත ළඟාවීම සඳහා සොලෑන් විසින් පැයට සැතපුම් 70කට ආසන්න වේගයක් දක්වා දුම්රියෙහි වේගය වැඩි කළේය. නියමිත තිරිංග බලයෙන් අටෙන් එකකින් පමණක් යුක්තව, දුම්රිය සිය ඛේදනීය අවසානය කරා ඇදෙමින් තිබුණි.

තවමත් මෙම විනාශය නතර කර ගැනීමේ අවස්ථාව සම්පූර්ණයෙන් ගිලිහී නොමැත. කාලසටහනට අනුව ගාර්-ඩි-ලියෝන් සිට සැතපුම් දෙකහාමාරක් මෙපිටින් තවත් නැවතුමක් වූ මෙයිසාන් අල්ෆෝර්ට් නියමිතව තිබුණි. එහි දුම්රිය නතර කිරීමට ගන්නා උත්සහයේදී දුම්රියෙහි තිරිංග නොමැති බව හෙළිවන අතර ගාර්-ඩි-ලියෝන් වෙත ළඟාවීමට පෙර වේගය තුනීවීමෙන් සිදුවන ස්වභාවික නැවතීමකින්ම දුම්රිය නතර කරගත හැකිව තිබුණි. එම රාත්‍රියේදී ගාර්-ඩි-ලියෝන් හී කාර්‍යය භාර නිලධාරියාවූ ඔන්ඩ්‍රේ ටෝලන්ස්ව ප්‍රශ්න කිරීමෙන් පසු, දුම්රිය ප්‍රමාද වී තිබූ බැවින් ඔහු විසින් දුම්රිය මෙයිසාන් අල්ෆෝර්ට් හී නතර නොකිරීමට උපදෙස් දුන් බව හෙළිකර ගැනීමට පැස්කාල් සමත් විය. විනාශය වළක්වා ගැනීමට තිබූ තවත් අවස්ථාවක් මෙසේ මගහැරී ගියේය.

අනතුර මගහරවා ගැනීමට වූ අවස්ථා තවමත් අවසන් නැත. දුම්රියෙහි අතිරේක විද්‍යුත් තිරිංග පද්ධතියක් පවතින බව දුම්රිය තිරිංග විශේෂඥයෙකු වූ පැස්කාල්ට රහසක් නොවීය. එම අතිරේක තිරිංග පද්ධතිය සැලසුම් කොට තිබුණේ ධාවනයේ පවතින දුම්රියක වේගය අඩාල කරගත හැකි අයුරිනි. නියමු කුටියේම සිට භාවිතා කළ හැකිව තිබූ විද්‍යුත් තිරිංගය වෙනුවට සොලෑන් විසින් බෝවී අමතා කිසියම් මැදිරියක වූ යාන්ත්‍රික තිරිංග පද්ධතිය සොයා එය භාවිතා කරණ ලෙස උපදෙස් දුන්නේය. පැස්කාල්ට අනුව එම යාන්ත්‍රික තිරිංගය භාවිතා කළද, වේගයෙන් ගමන් කරනා දුම්රියකට එයින් කළ හැකිවූ බලපෑමක් නැත. එය සැලසුම් කර තිබුණේ දුම්රිය ස්ථානයක ඇති දුම්රියයක් පාලනය කිරීම වැනි කටයුත්තක් සඳහා පමණකි. එ වෙනුවට විද්‍යුත් තිරිංගය, ඉතිරිව තිබූ සම්පිඩිත වායු තිරිංගය හා භාවිත කළේනම් අඩුම තරමින් විනාශය අවම කර ගැනීමටවත් හැකියාවක් ලැබෙන බව පැස්කාල්ගේ විශ්වාසයයි. එසේනම් දුම්රිය නතර කරගැනීම උදෙසා සොලෑන් විසින් එය භාවිතා නොකළේ මන්ද ?

පැස්කාල්ගේ විමර්ශනයන්ට අනුව, දුම්රිය රියදුරන් විද්‍යුත් තිරිංග භාවිතා කිරීමට මැලිකමක් දක්වයි. සම්පීඩිත වායු තිරිංග හා විද්‍යුත් තිරිංග ඒකාබද්ධව භාවිතා කරනා බොහෝ විට තිරිංග සිරවීම, රෝද අගුළු වැටීම වැනි දුෂ්කරතාවයනට මුහුණ දීමට සිදුවේ. එබැවින් දුම්රිය රියදුරන් පුරුද්දක් ලෙස හැකි සෑම විටම විද්‍යුත් තිරිංග භාවිතයෙන් වළකී. සොලෑන් හට විද්‍යුත් තිරිංග භාවිතා කිරීමේ පුරුද්දක් තිබුණද, තදින්ම කලබලවූ ඒ අවස්ථාවේ, දුම්රියෙහි තවත් අතිරේක තිරිංග පද්ධතියක් තිබෙනවා යන්න පවා සම්පූර්ණයෙන්ම අමතක වී ඇත. එමගින් දුම්රිය නවතා ගැනීමට සොලෑන් හට ලැබුණු අවසාන අවස්ථාවද ඔහු විසින් මගහරවාගෙන තිබුණි.

නමුත්, දුම්රිය ඝට්ටනය මගහරවා ගැනීමට තවත් අවස්ථා ඉතිරිව තිබුණි. පාලනයකින් තොරව ගමන්ගන්නා දුම්රියයන් සඳහා අනුගමනය කරනු ලබනා පිළිගත් ක්‍රමවේදයක් විය. එනම් අදාළ දුම්රිය හඳුනාගෙන එය අවම විනාශයක් ගෙනදිය හැකි හිස් පථයක් වෙතට යොමුකිරීමයි.

ඝට්ටනයට විනාඩි එකහමාරක් පමණ තිබියදී පාලන ඒකකය ඇමතු සොලෑන්, සිය දුම්රියෙහි තිරිංග නොමැති බවත් වහාම සියලුම දුම්රියයන් නතර කරවන ලෙසත් ඉල්ලා සිටියේය. එහෙත් මෙහිදී නැවතත් සොලෑන් විසින් පිළිගත් ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කොට තිබුණි. සෑම පණිවිඩයකදීම රියදුරා විසින් සිය නම හා ස්ථානය ඉදිරිපත් කිරීම SNCF පිළිගත් ක්‍රමවේදයයි. නමුත් අධිකව කලබල වී සිටි සොලෑන් හට මෙම නීතිය අමතක විය. එබැවින්ම පාලක මැදිරියෙහි වූ ඔන්ඩ්‍රේ ටෝලන්ස් හට ඇමතුම ලැබුණේ කිනම් දුම්රියෙන්දැයි යන්න අවබෝධ කොටගත නොහැකි විය. අධිකව කලබල වී සිටි සොලෑන්ගේ කට හඬ පවා හඳුනා ගැනීමට දුෂ්කර වූ බව ටෝලන්ස් පවසයි. තිරිංග නොමැති දුම්රිය හඳුනාගත හැකිවූයේනම් ඔහුට එය හිස් පථයක් වෙත යොමුකරවීමට හැකියාවක් තිබුණි. ටෝලන්ස් විසින් ඇමතුම ලද දුම්රිය නැවත ඇමතීමට ගත් උත්සහය ව්‍යර්ථ වූයේ එමගින් ප්‍රතිචාරයක් නොවූ බැවිනි. සොලෑන් ඒ වනවිටත් නියමු කුටිය හැරගොස් අවසන්ය.

තිරිංග නොමැති දුම්රිය ඒ මොහොතේ ගාර්-ඩි-ලියෝන් වෙත නියමිතව තිබූ දුම්රිය හතරෙන් එකක් විය යුතු බව දුම්රිය ගමන් පාලකයනට අවබෝධ විය. අනෙක් දුම්රියන් ත්‍රිත්වය හඳුනා ගතහොත් තිරිංග නොමැති දුම්රිය හඳුනාගත හැකි බව ඔවුන්ට අවබෝධ විය. නමුත් සොලෑන් විසින් නියමු කුටිය හැරයාමට ප්‍රථම අනතුරු හැඟවීමේ සංඥාව භාවිත කළ බැවින් ජාලයෙහි වූ සියලුම දුම්රියයන් වෙත එය සම්ප්‍රේෂණය විය. ටෝලන්ස්ට අනුව, සියලුම රියදුරන් සිදු වූයේ කුමක්දැයි දැනගැනීම සඳහා පාලක මැදිරිය වෙත එකවර කතා කිරීම හේතුකොටගෙන තමන්ට, අදාළ දුම්රිය හඳුනා ගැනීම නියමිත කාලයට ප්‍රථම සිදු කළ නොහැකි වූ බවයි.

මේ සියලු අවස්ථා මගහැරීගියද තවත් එකම එක අවස්ථාවක් ඝට්ටනය වැළකීම උදෙසා ඉතිරිව තිබිණ. ගාර්-ඩි-ලියෝන්හී දුම්රියයන් යොමු කිරීමේ ක්‍රියාවලිය සංඥා කරුවනට කලින් සැලසුම්කොට ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මකවීමට සකසා තැබිය හැකි ක්‍රමයකි. ඒ අනුව 2S පථයෙහි ගමන් කළ සොලෑන්ගේ දුම්රිය ටොන්ගීගේ දුම්රිය නවතා තිබූ වේදිකා අංක දෙක වෙත යොමුව තිබුණද, දුම්රියපළට යාර 560කට මෙපිටින් වූ යොමුකිරීම් සන්ධියෙන් දුම්රිය කලින් සංඥා කරුවන් සපයා තිබූ තොරතුරු වලට අනුව ස්ව්‍යංක්‍රීයවම වේදිකා අංක එක වෙත යොමු වීමට නියමිතව තිබුණි. එසේ වූයේනම් ජීවිත හානි කිසිත් නොමැතිව ඝට්ටනය කෙළවර වීමට බොහෝ ඉඩ තිබූ බවට පැස්කාල් විශ්වාසය පළ කරයි. එසේනම් කලින් සිදුකොට තිබූ සැලසුමට අනුව දුම්රිය වේදිකා අංක එක වෙත යොමු නොවුනේ මන්ද ? සංඥාකරුවනට නියමිත සැලසුම් සැකසීමට අමතකව ගොස්ද ? පැස්කාල්ගේ සොයාගැනීම වලට අනුව සංඥා කරුවන් සිය රාජකාරිය අකුරටම ඉ‍ටුකොට තිබුණි. එසේනම්, වැරදුණේ කොතනද ?

අනතුරු හැඟවීමේ සංඥාවක් ලද සැණින් සංඥා කරුවන් විසින් General Closure Procedure නමින් හැඳින්වූ පටිපාටිය වහා ක්‍රියාත්මක කළ යුතුය . ඒ අනුව සියලුම කොළ සංඥා රතු බවට හැරවෙන අතර මුලු ජාලයම වහා අක්‍රීය තත්ත්වයකට පත්වේ. නමුත් එම ක්‍රියාපටිපටියෙහි සංඥා කරුවන් නොදැන සිටි ප්‍රතිවිපාකයක්ද තිබුණි.

දුම්රියයන් වෙනත් පථයක් වෙත යොමුකිරීමේ පාලනය සංඥාකරුවන් අතට පත්කිරීම උදෙසා, කලින් සකසා තිබූ ස්ව්‍යංක්‍රීය යොමුකිරීම් සියල්ල, වසාදැමීමේ ක්‍රියාපටිපාටිය අනුගමනය කළ සැණින් මැකී යන ලෙස සැකසී තිබුණී. ඒ වනවිට යොමු කිරීමේ තුඩු පවතින අවස්ථාවෙහිම, එනම් වේදිකා අංක දෙක වෙතට යොමුව අගුළු වැටී තිබුණි. එබැවින් සොලෑන්ගෙ දුම්රිය තව දුරටත් ස්ව්‍යංක්‍රීයව හිස් පථයක් වෙත යොමුවීමක් සිදු නොවේ. දැන්, අනතුර මගහැරගැනීමට ඉතිරිව තිබූ සියලු අවස්ථා මගහැරී ගොස් අවසන්ය. ඝට්ටනය තවදුරටත් නවතාලිය නොහේ.

ඔන්ඩ්‍රේ ටොන්ගීගේ පරාර්ථකාමී කැපකිරීම නොවන්නට තවත් විශාල පිරිසක් මියයා හැකිව තිබුණ බව පැස්කාල් ඇතුලු පිරිසගේ විශ්වාසයයි. තමන් කළ මෙහෙවර අගයමින්, ඔන්ඩ්‍රේ ටොන්ගී, ගාර්-ඩි-ලියෝන් ඛේදවාචකයෙහි වීරයෙකු ලෙසින් පිදුම් ලැබීය.

විමර්ශකයනට අනුව ව්‍යසනයේ ප්‍රධාන හේතුව රියදුරාගේ වරදයි. එයට අමතරව දුම්රිය ජාලයෙහි වූ තාක්ෂණික හා ආරක්ෂක ක්‍රමවේදයන්ගේ අඩුපාඩු කිහිපයක්ද ඔවුන්ගේ පරීක්ෂණ මගින් හඳුනා ගන්නා ලදී. තිරිංග සම්පීඩිත වායු නළයෙහි කපාටය, ලෙහෙසියෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති බව ඔවුන් විසින් පෙන්වා දෙන ලදී. පණිවිඩ හුවමාරු ක්‍රමය සංකීර්ණ නොවිය යුතු අතර රියදුරන් ඒ සඳහා මනා පුහුණුවක් ලබා සිටිය යුතු බවත් ඔවුන්ගේ නිර්දේශ අතර වූහ. සංඥාකරුවනට කලින් සැකසූ දුම්රිය යොමුකිරීමේ උපදෙස් මැකී නොයන ලෙස සංඥා පද්ධතිය වසා දැමීමේ හැකියාව පැවතිය යුතු බවද පැස්කාල් ඇතුළු කණ්ඩායමේ නිර්දේශයක් විය.

ඩැනියෙල් සොලෑන් හා සහයකයා වූ ජෝන් බෝවී හය මසක සිර දඬුවමකින් පසු නිදහස ලැබීය. ගාර්-ඩි-ලියෝන් කාර්‍යභාර නිලධාරියා වූ ඔන්ඩ්‍රේ ටෝලන්ස් හා දම්වැල අදින ලැබූ ඕඩීර් මිර්වා හට අපරාධ චෝදනා එල්ල වුවද අධිකරණය හමුවේ ඔවුන් නිවැරදිකරුවන් ලෙස තීරණය වූහ.

අනතුරින් පසුව SNCF විසින් සිදුවූ වැරදි නැවත සිදු නොවීමට අවැසි පියවරයන් වහාම ගනු ලැබීය. ඔවුන් විසින් නව ආරක්ෂණ විධි විධාන රාශියක්ම හඳුන්වා දුන් අතර රියදුරු පුහුණුවද නව නිවැරදිකිරීම් සහිතව යාවත්කාලීන කරණ ලදී. සම්පීඩක වායු තිරිංග කපාටය පහසුවෙන් ළඟා නොවිය හැකි ලෙස ස්ථාන ගත කරණ ලද අතර පණිවුඩ හුවමාරු ක්‍රමවේදයද දියුණු තත්ත්වයකට පමුණුවන ලදී. මෙම සාධනීය ප්‍රතිචාරයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට යුරෝපයේ ආරක්ෂිතම හා තාක්ෂණික වශයෙන් උසස්ම දුම්රිය සේවයක්  ප්‍රංශය සතුව පවතී. 

--නිමි--


Seconds From Disaster S02E11 - Runaway Train  ඇසුරින් සකස් කෙරුවේ;


~~සෙන්නා / 04.05.2014

වෙනත් මූලාශ්‍ර;
1. http://secondsfromdisaster.net/s02e11-paris-train-crash-gare-de-lyon-rail-accident/
2. http://en.wikipedia.org/wiki/Gare_de_Lyon_rail_accident

102 comments:

  1. උණු උණුවෙම කියෙව්වා.. දුක්මුසු ප්‍රවෘත්තියක් උනත් ලියලා තියෙන විදිහ නම් පංකාදුයි..

    //මෙම සාධනීය ප්‍රතිචාරයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට යුරෝපයේ ආරක්ෂිතම හා තාක්ෂණික වශයෙන් උසස්ම දුම්රිය සේවයක් ප්‍රංශය සතුව පවතී. //මම මේ ලිපියෙ දැක්ක ලස්සනම වචන ටික තමයි ඔය..
    අපේ අය නම් වෙච්ච් වැරැද්දෙන් පාඩමක් ඉගෙනගන්නවාද සැකයි..

    ReplyDelete
    Replies
    1. උණුවෙන් තමා ඕන දෙයක් රහ නේද ?

      මොනහ් !! පරික්ෂනේ ප්‍රතිඵලයත් එක එකාට ඕන විධිහටනේ පිට වෙන්නේ, ඉතින් කොහෙද වැරදි හදා ගන්නේ...

      ස්තූතියි හරී..

      Delete
    2. ඒම කියන්න එපා අනේ...නිවිලා කෑම කන අයත් ඉන්නවා

      Delete
    3. මටනම් පිච්චෙන සයිස් එකටම ඕනා... නැත්නම් වැඩක් නෑ..

      Delete
  2. වාර්තා චිත්‍රපටියක් බැලුවා වගේ. බොහොම ඉහලයි. ඇත්ත කතාවේ පින්තූර ටිකකුත් දැම්මානම් හරිම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක් මහතා.

      මේකෙ පින්තූර ටිකක් දාන්න මම බැලුවා. ඒත් පැහදිලිවම මේ අනතුරේ පින්තූර කියලා හොයා ගන්න එහෙමට කියලා එකක් නෑ. කලවමේ තමා එන්නේ. ඉතින් වැරදි ඒවා දානවට වැඩිය නොදා ඉන්න එක හොඳ නිසා දැම්මේ නෑ..

      Delete
  3. විශිශ්ටයි සෙන්නා.. අනතුර වලක්වාගත හැකිව තිබූ අවස්ථා එකින් එක පැහැදිලි කිරීම හරිම අපූරුයි.. බාගයක් ලියද්දි මැකුන කිව්ව නේද.. සෑහෙන මහන්සියක් වෙලා තියනවා.. බොහොමත්ම ස්තූතියි !!!

    " ඉහලින්ම අගය කරනවා " ® විචාරක © 2014

    ReplyDelete
    Replies
    1. ඔබගේ අගය කිරීමට ඉහලින්ම ස්තූති කරණවා..

      Delete
  4. පින්තූර වල මදිකමක් නොතිබෙන්න පෝස්ට් එකේ කියන්න කිසිම අඩුවක් නෑ අයියේ.. ඉවසීමෙන් නිදහසේ අපිට මේ ගැන කියපු එකම සෑහෙන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. පින්තූර නොදාපු හේතුව විචාරක මහතාට කිව්වා දිනේශ් එතන ටිකක් බලන්නකෝ..

      බොහොම ස්තූතියි අගය කිරීම ගැන..

      Delete
  5. මං වැරදියි. සොලෑන්ගේ අත් වැරුද්ද තමා අවුල.. බැක්අප් තියාගෙන ලියහං අනිත් දවසේ අපිට මේ තරං පරක්කු වෙන්න බෑ අරි...

    ReplyDelete
    Replies
    1. වැරද්ද පිළිගැනීම නිහතමානි ගුණයක්..

      හරි සර්...

      Delete
  6. නියමෙට සිද්ධිය විස්තර කරල තියෙනව. අ‍ගෙයි..
    ඒ රටවල් වලනං වැරැද්ද නැවත සිදු නොවෙන්න හැකි පියවර ගන්නව. නමුත් ලංකාවෙනං කවදාවත් එහෙම උනා කියල අහල නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසා..

      ඒකනෙ අපි හැමදාම third world..

      Delete
  7. ම්ම්ම්... මං හිතුව හරි සොලෑන් කාරය ගම කාල...
    ලංකාවෙ ඕ වගේ දේවල් වුණා නං කොමිසං විස්සක් විතර පරීස්සන කොරල... ඒ මදිවට ඒකෙන් වෙන්නෙ මුට්ටිය බිදෙන එක විතරයි නෙව...
    මේක කියවන කොට මට හුටංගාල මතක් වුනේ ෆයිනල් ඩෙස්ටිනේෂන්... ඒ ෆිල්ම් සීරිස් එකේ 1 වෙනි එකේ නේද ප්ලේන් එකෙන් බේරෙන අය මොන විදියක් හරි වෙලා මැරෙන්නෙ..
    මේකත් ඊට සමානයි... මොකද වෙන්න තියෙන දේ කෝම හරි වෙලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතිය් මහේෂ්.. සොලෑන් එක අතකින් පවු බන්.. එයා, එයාගෙ
      කෝච්චියේ හිටපු අයව බේරගත්තු එකවත් අගය කරන්න ඕනා මම හිතන්නේ..

      Delete
  8. හැමදාම වාගෙම අදත් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මම හිතන් හිටියේ උඹ මේවා කියවන්නේ නෑ කියලා..

      Delete
  9. සෙන්නා බොහොමත්ම ස්තුතියි මෙවන් අගනා සටහන් අපට කියවන්නට අවස්ථාව ලබා දෙනවට...

    ReplyDelete
    Replies
    1. ලියපු දේ කියවන එකට මමයි ස්තූතිය් කරන්න ඕනා නලින්..

      Delete
  10. ප්ලේන්වල යන බය යන්ටත් කලින් ඔන්න කෝච්චිවල යන්ටත් බය හිතෙන විදියේ අගනා ලිපි පෙලක් සෙන්නා පලකලා... :D

    දැන් ඉතින් විදේශගත වෙන්නේ කොහොමලුද?

    ReplyDelete
    Replies
    1. :D පයින් යන්නකෝ... ඇවිද්ද පය දහස් වටී කියනවනේ.

      Delete
  11. break valve එක brake නෙවෙයි කියලා ෂුවර්ද? පොඩ්ඩක් බලපං.

    නියමයි සෙන්නා. දැන් තියෙන්නේ උඹට උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්ණ නෙවෙයි. සාමාන්‍යයෙන් පෘතජ්ජනයෙක්ගේ ඔලුවට එන ප්‍රශ්ණ.

    බ්‍රේක් වැඩ නොකර ගියොත් බිම යන ඕනෙම වාහනයක් හදිස්සියට නතර කරගන්න අමාරු බව ඇත්ත. නමුත් අවශ්‍ය තරම් දුර තියෙනවා නම් වේගය අඩු කරගන්න අවකාශය තියෙනවා. කාර් එකක් වගේ නම් පල්ලමක් නෙවෙයි නම් ඇක්සලරේටරේ අතහැරලා එතකොට ලෝ ගියර් වලට දාලා වේගය අඩු කරගන්න පුලුවන්. ඝට්ටයන අවම කරගන්න පුලුවන්. එතකොට කෝච්චි ගැන නම් මම එහෙමට දන්නේ නැතු වුනාට. ඩීසල් එන්ජිමක් නම් එන්ජිමේ වේගය (rpm) අඩු කරලා, diesel electric නම් ඒත් විදුලි සැපයුම අඩු කරන රෙගියුලේටරයෙන් අඩු කරලා. electric විතරක් නම් ඒත් විදුලිය පාලනය කරලා නවත්තන්න හෝ වේගය අඩු කරන්න හැකි වෙන්න එපායැ, බ්‍රේක් මතම විශ්වාසය නොතියා.

    මේ උඹට කියනවා නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩ්, ඔන්න හෑදුවා ඒක..

      ඈත්ත උඹ දන්නවනේ මම ඉතින් ඔය කොහෙන් හරි බලලා ලිව්වට මම ඕවා ගැන විශෙෂඥයෙක් නොවන බව.. මට තේරුනේ මෙහෙමයි.. කෝච්චියේ බ්‍රේක් නෑ කියලා දැන ගන්නේ අන්තිම මොහොතේ.. එතකොට ඔහොම කැරකුම් බලය කපා හැරලා කරන නතර කිරීමක් කරන්න දුර මදි. අනිත් එක ඔය මොනා කරන්නත් පැනික් නොවන පොරක් ඉන්න එපෑයෑ.. දැක්කනෙ අවස්ථා කීයක් මිස් වුනාද කියලා පොර කලබල වුනායින්..

      Delete
    2. මම මේ පෝස්ට් එකම ගැන කිව්වත් නෙවෙයි,. කෝච්චි අනතුරු ගැන කිව්වෙ.

      ඒක නෙවෙයි බං. මොකද අර වැරදි හදන්නේ කපලා දාලා අලුතෙන් ලියල හරියට ඉස්කෝලෙක වගේ? උඹ හිතුවද උඹ පරණ එක මකලා අලුතෙන් ලිව්වොත් මම ඒ ගැන බර බර ගායි කියලා? :D

      Delete
    3. හෙහ් හෙහ්.... ඒ මේකනෙ බන්.. දැන් උඹ ඔහොම කිව්වට පස්සේ මම එතන හදනවා නේද ? ඊට පස්සේ කියවන්න එන උන් උඹේ කමෙන්ට් එක දැකලා ඕක හොයනවා.. ඊට පස්සේ එහෙම වරදක් නෑ කියලා, උඹට පිස්සු කියලා බැන බැන යනවා.. :D ඒකයි.. අන්න උඹ මට මේල් එකකින් එව්වනම් මම නිකන්ම මකලා හදනවා...

      Delete
    4. @ සෙන්නා, සහතික ඇත්ත කතාව. මොකද මේ කොමෙන්ට් එක බැලුවට පස්සෙ මාත් ආයෙ උඩට ගිහිං බැලුව මොකක් ගැනද මේ කියන්නෙ කියල. :D

      Delete
    5. ඇත්තටම බං Brake කියන වචනේ රතු පාටින් ලියලත් හෙන්රියා ඕක දැක්කෙ නැද්ද?

      Delete
    6. ඒ තිසර, උඹ රට පටලවන්න යන්නෙ...හෙහ් හෙහ්.. :D

      Delete
    7. @Henry, කියන විදිහට මේ කෝච්චිය යන්නේ පල්ලමට, ඒ නිසා දැනට තියන මොමෙන්ටම් එක අඩුවෙන්න තියන ඉඩ අඩුයි...

      Delete
    8. මම පුරුද්දක් විදිහට බ්ලොග් කියවන්න පටන්ගත්ත කාලෙදි නම් මේ වගේ දේවල් ගෑන මාර වලි තිබුනෙ. :-D

      Delete
    9. හොඳ වෙලාවට ඩුඩ්ගේ වැරදි වචනේ මකන්නැතුව කපලා ඉතුරු කලේ... දැන් හැමෝටම පැහැදිලියිනේ... ළමයිටත් උගන්නන්නේ මෙහෙම වෙන්න ඇති.. පවු කාගේ වුනත් දරුවෝනේ...

      Delete
    10. මුන් එක්ක බෑ අප්පා.. මම මේ බ්ලොග් එක වහලා දානවා..... :)

      Delete
    11. දවසක් ඩිස්කවරි එකේ බෙයාර් ග්‍රිල්ස් පෙන්නුවා බ්රේක් නැති වාහනයක් පල්ලමට යත්දී නවත්වන විදිය. වාහයන පුලවන් තරම් දෙපැත්තට කපන්න ඕනේ. ළඟ ළඟ නෙවෙයි. එක පැත්තක පාරෙන් පිටටත් පොඩ්ඩක් ගිහින්, අනිත් පත්තෙටත් එහෙමම යන ගානට. මෙහෙම ගිහින් වේගය හුඟාක් අඩු වෙලා, තැන්නකට ආවම හොඳ ගහකට හේත්තු කරනවා.

      Please don't try this at home :)

      Delete
  12. මම මේ කල්පනා කරනෙ මෙච්චර කල් උඹෙ පෝස්ට් මට මිස් උනේ කොහොමද කියල. ඒ ගැන මටම මගේ විරෝධය.

    මම මුලින් කියෙව්වෙ දෙවනි කොටස නිසා නිකන් ඉතිහාසෙට ගියා වගේ දැනුන පලවෙනි කොටස පස්සෙ කියවනකොට.

    උඹෙ ලියවිල්ල ඉතාම රහයි, ඒ මහන්සියට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ඒකනම් රජෝ ඉතින් උඹම තමා දන්නේ.... :D

      මහන්සියෙන් ලියපු දේ කියෙව්වට ස්තූතියි ...

      Delete
    2. සාන්තල කවදත් පරක්කුයි.. හැක්...

      Delete
    3. ඔව්නෙ බන්, දැන්නෙ දැක්කෙ බොගෙ මේ කමෙන්ට් එක. සාන්ත දාන්ත ගමණින් එනකොට එහෙම තමා ඉතින්.

      Delete
  13. අනතුරින් පසුව SNCF විසින් සිදුවූ වැරදි නැවත සිදු නොවීමට අවැසි පියවරයන් වහාම ගනු ලැබීය. ඔවුන් විසින් නව ආරක්ෂණ විධි විධාන රාශියක්ම හඳුන්වා දුන් අතර රියදුරු පුහුණුවද නව නිවැරදිකිරීම් සහිතව යාවත්කාලීන කරණ ලදී. සම්පීඩක වායු තිරිංග කපාටය පහසුවෙන් ළඟා නොවිය හැකි ලෙස ස්ථාන ගත කරණ ලද අතර පණිවුඩ හුවමාරු ක්‍රමවේදයද දියුණු තත්ත්වයකට පමුණුවන ලදී. මෙම සාධනීය ප්‍රතිචාරයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට යුරෝපයේ ආරක්ෂිතම හා තාක්ෂණික වශයෙන් උසස්ම දුම්රිය සේවයක් ප්‍රංශය සතුව පවතී. ''

    අන්න ඒ කොටස මගේ සිත ගත්තා . අනතුරකින් පසු එයම නේද වෙන්න ඕන .
    ස්තුතියි සෙන්නා ..හුඟක් මහන්සි වෙලා මේක ලීවාට

    ReplyDelete
    Replies
    1. වෙන්න ඕනා ඕක වුනාට අපේ නොවෙන්නෙත් ඕකමයි නෙ0ද බින්දි.. කරුමේ කරුමේ...

      ස්තූතියි අගය කිරීම ගැන...

      Delete
  14. ඔය එයාර් ක්‍රෑෂ් ඉන්වෙස්ටිගේෂන්ස් ප්‍රෝග්‍රෑම් එකෙත් නිතර කියන දෙයක් තමයි අනතුරක් කියන්නේ එක සිදුවීමක ප්‍රතිඵලයක් නෙමෙයි, සිදුවීම් ගණනාවක ප්‍රතිඵලයක් කියලා. තාක්ෂණික තොරතුරුත් ඇතුලත් බොහොම හොඳ ලිපියක්... කලිනුත් කිව්වා වගේ සිදුවීම් පෙළගස්වලා තියන හැටි අගෙයි... චිත්‍රපටියක් වගේ....

    ReplyDelete
    Replies
    1. ඔව්.. මම හරි කැමතියි ඒ කතාවට... Disasters don’t just happened. It is a chain of critical events..මේ කතාව ඒක හොඳටම ඔප්පු කරනවා...

      ස්තුතියි තිසර.. පෙළගැස්වීමේ ගෞරවය යන්න ඕනා Natgeo ටීම් එකට... මම ඔවුන්ව අනුගමනය කළා විතරයි...

      Delete
    2. මේ වගේ දේවල් අවම කර ගන්න හොඳම විදියට තමයි, මේ යන්ත්‍ර සූත්‍ර පරීක්ෂා කරන අය තමන්ගේ දැනුම ගැන ලොකුවට හිතන්නේ නැතිව බොහොම බේසික් විදියට අදාලා පරීක්ෂණ කරන එක. ගොඩක්ම ඒවට හේතුව අතපහු වීම්.

      Delete
  15. අනතුරු අවම කිරීමට නොයෙකුත් යාන්ත්‍රණ යොදා තිබ්බත් මිනිස් ක්‍රියා නිසා සිදුවන අනතුරු බහුලයි.. මං අහල තියෙන විදිහට අතිමහත් බහුතරයක් ගුවන් අනතුරුවලට හේතුවත් මිනිස් බලපෑම.. ඒ හින්දා දැන් දැන් මිනිස් බලපෑම අවම කිරීම අවශ්‍යම කාරයයක් වෙලා හැම ක්‍රියාවලියකටම..

    ReplyDelete
    Replies
    1. එහෙම කෙරිච්ච දවසකටවත් මේ වගේ විනාශයන් නතර වුනොත් නේද ?

      Delete
    2. එහෙම්මම කියන්නත් බැහැ සරත්... යන්ත්‍රසූත්‍ර මතම විශ්වාසය තබලා සිදුවෙච්ච අනතුරු තියනවා.... එකම යාන්ත්‍රික වැරැද්ද නිසා අනතුරට පත් යානා දෙකකින්, එකක නියමුවන් ඔටෝපයිලට්ටම යානය ගොඩබාන්න දීලා අනතුරට පත්වෙච්ච අවස්තාවක් සහ අනෙක් යානයේ නියමුවා යානය තමන්ගෙ පාලනයට අරන් ආරාක්ෂාකාරීව ගොඩබස්වපු අවස්ථවක් තියනවා. මෑතකදි වෙච්ච ප්‍රංශ ගුවන් අනතුර ගැන වුණත් එක්ස්පර්ට්ලා කියන්නේ යන්ත්‍ර මතම විශ්වාසය තැබීම නිසා නියමුවන්ට ඔවුන්ගේ හැකියාව ගැන විශ්වාසය අඩුවෙලා නිවැරදි දේ කරන්න පෙළඹීමේ ප්‍රවණතාව අඩු වෙලා තියනවා කියලා.

      Delete
  16. දැන් නෙව සත්‍යය අවබෝධ වුනේ.. සෙන්නා, සොරි සොරි මං කිවුවෙ සෝලෑන් වැරැදියි තමා නෙවැ.. හැබැයි ඉතිං බුවා එයාගෙ කෝච්චියෙ හිටපු මගීන් ටික හරි බේරගත්තා නේද?

    ReplyDelete
    Replies
    1. ඔවුනෙ බන්, ඒකත් ලොකු දෙයක්නේ. නැත්නම් ඒ මිනිස්සු ටිකත් නිකාන් මැරෙනවානේ...

      Delete
  17. //අනතුරින් පසුව SNCF විසින් සිදුවූ වැරදි නැවත සිදු නොවීමට අවැසි පියවරයන් වහාම ගනු ලැබීය. ඔවුන් විසින් නව ආරක්ෂණ විධි විධාන රාශියක්ම හඳුන්වා දුන් අතර රියදුරු පුහුණුවද නව නිවැරදිකිරීම් සහිතව යාවත්කාලීන කරණ ලදී. සම්පීඩක වායු තිරිංග කපාටය පහසුවෙන් ළඟා නොවිය හැකි ලෙස ස්ථාන ගත කරණ ලද අතර පණිවුඩ හුවමාරු ක්‍රමවේදයද දියුණු තත්ත්වයකට පමුණුවන ලදී. මෙම සාධනීය ප්‍රතිචාරයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට යුරෝපයේ ආරක්ෂිතම හා තාක්ෂණික වශයෙන් උසස්ම දුම්රිය සේවයක් ප්‍රංශය සතුව පවතී. //

    මේ ටිකේ ඔක්කෝම කියාන්න ඕන ටික කියලා තියනවා. ස්තූතියි මේ සිද්ධිය අපිට කිව්වට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදර තුමා

      Delete
  18. සෙන්නා උඹේ ලියවිල්ල සම්පූර්ණ විමර්ශන වාර්තාවක් වගේ. හැම ඩීටේල් එකක්ම ඇතුලුකරලා තියෙනවා. ඒ නිසා වෙන්න ඇති විචාරක කියන්නේ, වාර්තා චිත්‍රපටියක් බැලුවා වගේ කියලා.

    ඒ මොනවා වුනත් මම මේ කල්පනා කරේ ඒ ඒ රටවල් මෙවැනි අනතුරුවලින් පසුව පවත්වන පරීක්ෂන සහ එහි නිගමනයන් අනාගතයේ එවැනි තත්වයන් වලක්වා ගන්න කොච්චර වැදගත්ද කියලා. අපි කරන්නේ මේ දේවල් වහන එකනේ.

    ReplyDelete
    Replies
    1. වාර්තා චිත්‍රපටියක් අනුසාරයෙන්නෙ බන් ලියුවේ.. ඒකයි ඔය..

      කරුමේ තමයි බන් වෙන මොකක්ද. එකම විදිහට අනතුරු දාහක් වුනත් හේතුව හොයලා පිළියම් යෙදෙන එකක් නෑ මෙහෙදිනම්...

      Delete
  19. ඇත්තම සිදුවීමේ ඡායාරූප දෙක තුනකුත් දැම්මා නම් පංකාදුයි...සෙන්නාගේ මහන්සියට මගෙන් මල් මිටක් මෙන්න...බලන්න ඒ රටවල් අනතුරකින් පාඩමක් ඉගෙන ගෙන ආයෙමත් එවැනි දෙයක් නොවෙන්න කටයුතු කරන ආකාරය...මේ ක්‍රියාදාමය නිසා තමයි බෙහෝ ක්ෂේත්‍ර වලින් බටහිර රටවල් ඉදිරියට ඇවිල්ලා තියෙන්නෙ...

    අපේ රටේ ඊයෙ පෙරේදාත් අනතුරක් උනේ...එක එක පාර්ශව වලට චෝදනා කරගැනීම විතරයි හැමදාම වෙන්නෙ..ආයෙමත් දවසක කෝච්චි දෙකක් හැප්පුනාම තමයි විසදුම් සොයන්න මතක් වෙන්නෙ...ඒ උනාට ප්‍රවාහන ඇමති කියලා පඹයෙකුත් ඉන්නවා ජනතා මුදලෙන් පිං පඩි කෙළින.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ සිරා.. ඕවා ගැන කතා කරලා..දැක්කනේ කොරියාවේ අගමැතිම ඉල්ලා අස්වුනා වගකීම බාර අරගෙන.. ඒකට අපේ...

      Delete
    2. අනේ සිරා ඌ නම් පඹයෙක් නොවෙයි... බොරුනම් උගේ වැඩ කිඩ නයනා කුමරීගෙන් අහල බලපන්..!

      Delete
  20. ඔන්න දැන්නම් හොඳටම පැහැදිලියි සොලෑන් තමා මේකට හේතුව කියලා. කලබල උනාම මුකුත් කර ගන්න බැහැ ලු නේ. අඟලක්වත් අඩු නැතුව ලියවිල්ල තියනවා ඔං. හරියට පැස්කාල් දුම්රිය පරික්ෂා කරා වගේ තමා.

    ReplyDelete
    Replies
    1. නිකන්යෑ අපේ අය කිව්වේ කලබල වුනාම කොරොස් කටෙත් අත දාගන්න බෑ කියලා..

      ස්තූතියි ඈ... :)

      Delete
  21. අද කම්පීතරේ දාගත්තේම දෙක දාල ඇති කියල හිතාගෙන. මොකද එක වගේම දෙක දාන්නත් හේතුවක් තිබුනනේ. මම තවම පෝස්ට් එක කියෙව්වෙනම් නෑ. එක කියවන්න ඉස්සෙල්ල අපේ ප්‍රසන්න අයියට දාපු රිප්ලයි එකක් මෙතන අලවන්න හිතුනා.
    .....//ඒ විතරක් නෙමේ ප්‍රසා, උන් ඒ ගැන පරීක්ෂණ කරලා වෙලා තියන දේ හොයාගෙන නැවත රිපීට්වෙන එකත් වලක්වන්න උත්සහා කරනවනේ.. අපේ එහෙම ඔය ජාතියේ පරීක්ෂණ සිදු වෙනවද නැත්නම් උඩින් පල්ලෙන් බලලා ආ මේකයි වෙලා තියෙන්නෙ කියලා නිකන් ඉන්නවද දන්නෑ..

    ඒ ටික ඉතුරු කොටසින් බලමුකො..//.............

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඒක මෙතන අලෝලා... !?

      Delete
    2. ඔය තියෙන්නේ....
      සොලෑන්ට නීතියෙන් හයමාසයක් හම්බ උනත් හර්දසාක්ෂියෙන් ජීවිතාන්තයටම දඬුවම් හම්බ වෙන්න ඇති. එතකොටනම් එයාට හිතෙන්නැති අනතුරෙන් මැරුනනම් හොඳයි කියල. මොකද අහක හිටපු "ඔන්ඩ්‍රේ ටොන්ගී" වීරයෙක් වෙද්දි මේ සිද්ධිය ගොඩනගපු සොලෑන් බයගුල්ලෙක් විදියට ප්‍රසිද්ධ වීම එයාට සෑහෙන්න පීඩනයක් වෙන්න ඇති.

      ප.ලි.
      මම එදා අහපු ප්‍රශ්නවලට උත්තර අද හම්බ වෙලා තියෙනවා.
      ....//තිරිංග යෙදීමේදී ගත යුතු පියවරවල් හඳුන්වා නොදී .......///....
      ප්‍රධාන තිරිංග පද්ධතිය, අතිරේක යාන්ත්‍රික තිරිංග පද්ධතිය, විද්‍යුත් තිරිංග පද්ධතිය

      ජයවේවා!!!!

      Delete
    3. වපුරපු විදිහට කියනවනේ අස්වැන්න...

      උත්තර හම්බුනානම් සතු‍ටුයි..

      ජය වේවා !!

      Delete
    4. @ සෙන්නාMay 7, 2014 at 7:48 PM

      ඒක ඇලෙව්වෙ මෙන්න මේක නිසා මේකට රිප්ලයි කරන්න මෙච්චර පරක්කු උනාට සොරි හොඳේ.

      Delete
    5. මේකට රිප්ලයි කරන්න මෙච්චර පරක්කු උනාට සොරි හොඳේ. :)

      Delete
  22. පරක්කු වෙලා කියෙව්වේ මචං... ඉස්සර ඉස්කෝලේ ඉවරවෙලා ගෙදර යනකොට මුතුහර සඟරාව කියවනවා වගේ... :) තව එපිසෝඩ් එකක් දාමු..

    ReplyDelete
    Replies
    1. තව එකක් ! එහෙනම් අපි ගොතමු මෙතන ඉඳන් කතාව.. උඹ පටන් ගනින්.. :)

      Delete
    2. නෑ මම කිව්වේ වෙන අලුත් සිද්ධියක්...

      Delete
    3. හෙහ් .. ඒක මිසක්... බලමු.. උඹ දීපු ඔත්තුවත් හිතේ කොනක සේව් කරගෙන තියනවා..

      වෙන පෙන්ඩින් වැඩක් තියනවා, ඒකට අත ගහන්න කියලා හිතුවේ..

      Delete
    4. බීට්ල්... උඹ කලින් එකේ දාපු කොමෙන්ට් එක නිසා මම පොඩ්ඩක් හොයලා බැලුවා.. මචං මේක ටර්මිනල් එකක්... ට්‍රැක් එක ඉවරයි... ඒ නිසා ඒක ඔප්ෂන් එකක් නෙමෙයි...

      ඒකෙ නෙමෙයි බං... MH370 ගැන දැන් නිව්ස් එකක්වත් නැහැ. මට ප්‍රශ්න තියනවා අම්බානකට, අහන්න කෙනෙක් නෑනේ...

      Delete
  23. බලධාරීන් වැඩේට අතගහපු ආකාරය සම්පූර්ණයෙන්ම වැරදියි.ඉස්සෙල්ලම කොච්චියෙයි ඉස්ටේෂන් වලයි ඉන්න දන්න කරන ඔක්කොගෙම වැඩ තහනම් කලයුතුයි.ඊට පසුව කොමිසමක් පත්කළ යුතුයි.එතනින් වැඩේ ඉවරයි.බොට තේරුණාද සෙන්නා.

    ReplyDelete
    Replies
    1. ඕක මට තේරුනාට හැලපේ, මේ සුද්දොන්ට තේරෙන්නෑනෙ..අනේ මංදා මේ සුද්දෝනම් තව අවුරුදු 500ක් ගිහිල්ලවත් හැදෙයිද මංදා ? :)

      Delete
    2. වැඩ තහනම් කලේ නැත්නම් පරීක්ෂණේට එන්නෙත් උන්මනේ.

      Delete
  24. හප්පේ,සෙන්නයියේ උඹ දන්නවාද යම් විදියකින් මම මේ රටේ ප්‍රවාහන ඇමති වුනානම්.උඹව පත් කරනවා ප්‍රවාහන අමත්‍යන්ශයේ උපදේශක කමකට.දැන් බලහං උඹේ සුදුසුකම්.
    1) ගුවන් යානා පැහැර ගැනීමක් ගැන.
    2) මගේ ප්‍රියතම කතාව ටයිටැනික්.
    3) BOAC Flight 781 කතාව.
    4) යුරි ගගාරින් උඩ ගිය රොකට් එක ගැන.
    5) මොගඩිෂූ එක.(යකෝ එකත් ගුවන් යානා මංකොල්ලයක්.)
    6) බයිසි මොටෝ එක.(කතාව මොකක් වුනත් එකත් ප්‍රවාහනයට සම්බන්ධයිනේ.)
    7) අර රසියන් සබ්මැරීන් කතාව.
    8) දැන් කොච්චි කතාව.

    දැන් බලපන් අයියේ උඹ පොළව,ගුවන,මුහුද,මුහුද යට කවර් නොකරපු පැත්තක් නැහැ නොවැ...:)
    මේ ලිපි වගකිවයුත්තෝ දකින්නේ නැහැනේ.එහෙම දැක්කා නම් අර පහුගියදා වෙච්චි කොච්චි ඇක්සිඩන්ට් එකේන් පස්සේ දාපු කමිටුවේ සභාපති උඹ නොවැ.එහෙම වුනා නම් අපිටත් එක්ක අඩම්බරයක් නොවැ බං....:D

    ReplyDelete
    Replies
    1. ආ මේ එක නෙමේ කෝ බං මේකේ තිබුන උණ ගස් ටික.සැටලිමක් ගහන්න ඉල්ලා ගන්න හිතාගෙන වුන්නේ බං ඒ ටික.

      Delete
    2. ඒකනෙ බන් උඹ පොරවාහන ඇමති නොවෙන්නේ.. :D

      උණ ගස් ටික කපලා වික්කා බන්..උද්දමනේ සැරයි නොවැ... :)

      Delete
  25. ඒ මිනිස්සු නම් සිද්ද වුනු වැරැද්දෙන් ඒ වරදට හේතුව සොයාගෙන ආයෙ එහෙම දෙයක් නොවෙන තැනට වග බලාගත්තා...
    මේ වගේ සත්‍ය කතාවකට තොරතුරු සොයන්න කොයි තරම් මහන්සි වෙන්න ඕනද... සෙන්නා තමුන්ගෙ කාලය කැප කරගෙන මේ වගේ කතාවක් අපට කියවන්න ලබා දුන්නට බොහොම ස්තුතියි...
    කොටස් දෙකම එක සැරේ බලන්න හිටි නිසා මං පහුවුණා...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මියුරු වීඩියෝ එකක් බලගෙන ලියන එක හෙන එපාවෙන වැඩක්..ප්‍රතිවාදනය කරන්න වෙනවා සෑහෙන්න. සමහර වචන තේරෙන්නේත් නෑ දහදොලොස් වතාවක් අහනකම්. ඔහොම තමා මේවා ලියවෙන්නෙ... ස්තූතියි අගය කළාට..

      පරක්කු වුනාට කිසි අවුලක් නෑ..

      Delete
    2. සෙන්නට මන් ඉඟියක් දෙන්නම්. ගොඩක් වීඩියෝස් වලට සබ් තියෙනව. පොඩ්ඩක් හොයල දාගත්තනම් වැඩේ ගොඩ. :D

      Delete
    3. මමත් ඔහොම එකක් කළා එක දවසක්. මුලින්ම හෙඩ් ෆෝන් ගහගෙන කියන ටික ඉංග්‍රීසියෙන් ටයිප් කළා. සමහර වචන උච්චාරණ අපට තේරෙන්නෙම නෑ තමයි. ඊට පස්සේ පරිවර්තනය කර ගැනීම නම් අමාරු නෑනේ.

      Delete
    4. @ AKM

      සබ් වැඩේ හරියන්නෑ බන්.. හැම එකකම සබ් එන්නෑනෙ.. තියන ඒවයෙත් සමහර විට ඔක්කොම දාන්නෑ.. අතරින් පතර තමා.. මට මතක විදිහට කර්ක්ස් ලිපිය ලියනඩ මම පාවිච්චි කරපු වීඩියෝ එකේ සබ් තිබුනා..

      @ සුදීක
      මමනම් පරිවර්තනය කරලමයි ලියාගන්නෙ සුදීක නැත්නම් ඩබල් වර්ක්.. සමහර වචන මලාට තේරෙන්නෑ..ඒවා කණගා‍ටුවෙන් වුනත් මග හරින වෙලාවල් තියනවා..නැත්නම් අදාල වෙන විදිහට මගේ වචනයෙන් ලියනවා...

      Delete
  26. මම හිතන්නේ ඉංග්‍රීසියෙන් හදපු වාර්තා වැඩසටහන බැලුවත් මෙච්චර හොඳට අපිට තේරෙන එකක් නෑ.. අපේ කඩ්ඩ හෙන පට්ට නිසා...කලින් පෝස්ට් එකේදී කිව්වා වගේ මේ වගේ විස්තර ඇතුව මේක ලියන්න ඔඅබ දරපු මහන්සිය ගැන නම් මට හිතා ගන්න බෑ.. මම කොච්චර කම්මැලි චරිතයක් ද කියල හිතන්නත් මට කම්මැලියි.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ දියුණුවෙලා තියෙන්නෙ කම්මැලියෝ නිසා කියලා මම කියුවොත් එකඟ වෙනවද ? :)

      Delete
    2. කම්මැලියෝ සහ පාදඩයෝ නැති ලෝකය එකම තැන සෙන්නා. මම සීරියස් කියන්නේ. පැතුම් කම්මැලියෙක් කියන්න හදනවා නොවේ. මේ සමාජය සැබෑ ලෙසම ඉදිරියට යන්නේ මේ අපූරු කලවම නිසා. මේ සියලු මිනිස් හැසිරීමක්ම ලෝකය ඉස්සරහට තල්ලු කරනවා. නමුත් ඒ දේවල් පාලනය කිරීම ඒ ඒ රටවල මොලේ ඇති පරිපාලකයෝ රාජ්‍ය නායකයා හරහා ක්‍රියාවට නංවනවා. ඒත් අපේ ක්‍රමවේදය වෙනස්. මීටත් වඩා පීචං ක්‍රමවේදයන් පාවිච්චිකරන රාජ්‍යයන් තියෙනවා. ඇයි අපට මොකද වුනේ කියන එකයි ගැටළුව.

      Delete
    3. කම්මැලියො සහ පාදඩයෝද ඇතුලත් මේ මිනිස් සමාජය කියා නිවැරදි විය යුතුයි.

      Delete
    4. අරූ හරි. මටත් කියන්න ඕනා වුනේ ඔය වගේ අදහසක්.. මොකද කම්මැලියා හැම වෙලේම ලේසි ක්‍රම හොයනවා. ඒ ඔස්සේ නව නිර්මාණ බිහිවෙනවා. ඒකෙන් තමා ලෝකේ ප්‍රගමනය සිදු වෙන්නේ. කම්මැලියො නොහිටියානම් ලෝකේ අද තියන හුඟක් දේවල් අපිට නොතිබෙන්නත් තිබුනා. ඉතින් පැතුම් උඹ ආඩම්බර වෙයන් උඹේ කම්මැලිකම ගැන.. :)

      Delete
    5. හෙහ් හෙහ් මම පට්ට ආඩම්බරෙන් තමයි බන් ඉන්නේ.. කියල වැඩක් නෑ.. ලොල්.. :D මොකක් හරි නව නිර්මාණයක් ඉබේ පහල වෙලා මම පට්ට පොරක් වෙයි වගේ හීන බල බල ඉන්නවා.. යාන්තම් වයිෆ් ට පින්සිද්ද වෙන්න උදේට වැඩට යන නිසා කාල ඇඳලා ඉන්නවා දැනට.. :D

      අරූ,

      මොනවා වුනත් ඒ කතාව ඇත්ත.. අපි වගේ කම්මැලි ඩයල් නිසා තමයි.. ඔය ඇක්ටිව් පොරවල් කියල ජාතියක් ඉන්නේ.. උන්ට සංසන්දනය වෙන්න අපි ඉන්න නිසා.. පාදඩයෝ නැත්නම් ලෝකෙම නිකන් සුදු පාට බිත්තියක් වගේ.. ඔක්කොම හොඳ උන් විතරනේ.. මෙලෝ රහක් නැති වෙනවා.. ලෝකෙට එක එක පාට වැටිලා තියෙන්නේ ඔය පාදඩ කම්මැලි ජනතාව නිසා තමයි..



      Delete
    6. වරක් මයික්‍රොසොෆ්ට් අධිපති බිල් ගේට්ස් ඔහු ළඟ වැඩ කරන කම්මැලි මෘදුකාංග ඉංජිනේරුවරුන්ට ස්තුති කර තිබෙනවා. හේතුව වශයෙන් ඔහු පවසා තිබෙන්නේ "විසඳීමට අමාරු බොහෝ දේට කෙටි ක්‍රම ඔවුන් සොයා ගැනීම"

      Delete
    7. මම හිතන්නේ ඔන්න ඔය කතාවෙ මතකය තමා මට තිබුනේ.. මම කලින් ඕක කොහෙදි හරි කියවලා තිබුනා...

      Delete
  27. හැම රියදුරෙකුට එකම ශාක්‍යතාවයක් නැති නිසා මේ මගීන් 56 දෙනා වන්දි ගෙව්වා කියලයි මට හිතෙන්නේ..ඒත් අනිත් අතට මේ සා විශාල අනතුරක් සිද්ද වුන නිසා තවත් ලක්ෂ ගාණක් මගීන්ගේ ජීවිත ‍අවදානම අඩු වුනා කියලයි මට හිතෙන්නේ..

    ස්තුතියි..සෙන්නා වෙනදා වගේම..

    ReplyDelete
    Replies
    1. රූ, ඒක හරි.. හැම දේකම දෙපැත්තක් තියනවානේ....

      Delete
  28. සුපුරුදු පරිදි සමාව ඉල්ලනවා පමා වීම ගැන. සෙන්නා ඔයාගේ මහන්සිය ගැන හිතා ගන්න පුළුවන්. ඉතාම රසවත් ලෙස ගලා යන ආකාරයට මේ ලිපිය පෙළ ගස්වලා තිබෙනවා. මට තියෙන සැකය මෙය කුමන හෝ පත්තරයක් ගෙඩිය පිටින්ම අරගෙන දායිද කියන එක. එහෙම දැම්මත් ඒ වෙනුවෙන් මහන්සි වුණ පුද්ගලයා ගැන සටහනක් කරනවා නම් වටිනවා. ඇත්තටම අද කාලේ බොහෝ පුවත්පත් වල තිබෙන නීරස දේවල් වලට වඩා මෙය කෙතරම් වටිනා ලිපියක්ද.
    ඔය වගේ වැඩ මටත් පුද්ගලිකව වෙලා තියෙනවා. මොකක් හරි දෙයක් සීරුමාරු(ඇජස්ට්) කරන්න යනකොට ලීවරය කැඩෙනවා(මිස්ට බීන්ට වෙනවා වගේ). නමුත් එය රියදුරුගේ වරදට වඩා නිෂ්පාදන දුර්වලතාවක් ලෙස දැකීම කෙතරම් වටිනවාද ? ඇත්තටම ඕනෑම කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන් අත්දැකීම් තුලින් තමයි. ඔවුන් වරද වාසියට හරවා ගන්නවා. අපේ වගේ රටවල් වල මෙවැනි රැකියා කරන අය ඔවුන් ගැන අධිතක්සේරුවකින් ඉන්නවා ඇති. ඒ නිසාම වුණේ මොකක්ද කියලා හොයා ගන්න බැරිව ඇති.

    සෙන්නාගේ Slowly But Surely ලිවිල්ලට මම ආසයි. ඒ වුණාට මට නම් බලාගෙන ඉන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලන්න දෙයක් නෑ සුදීක.

      පත්තර, දානවනම් දා ගත්තාවෙ සුදීක..මේවා යනකොට ගෙනියන්නෑනෙ. කාගෙ නමින් හරි වැඩි පිරිසක් අතරට යනවනම් ඒකත් ලොකු දෙයක්... හරියට බැලුවොත් මමත් හොරකමක්නේ කරලා තියෙන්නෙ.

      අපේ දුම්රිය බළධාරීන් කොච්චර දුරකට මේ වගේ දෙවල් ගැන උනන්දුද, ඒවා හදාරනවද දන්නෑ.. මෙතන රියදුරාගෙ වරද ඔහු ඒ පිළිබඳව ලිවර් එක මාරු කිරීම නෙමේ, ඊට පසු ඔහු ක්‍රියා කළ ආකාරයයි. ඇත්තෙන්ම ඔවුන්ට ඒවැනි දේවල් ගැන මූලික දැනුමක්වත් නොදී තිබීම දුම්රිය පාලනයේ වරදක් හැටියට තමා මමනම් දකින්නේ..

      Slowly but surely හෙහ් ඒක මරු.. :D වෙලාව තමා හෙනහුරා සුදීක.. නැත්නම් මීට වැඩිය ටිකක් වැඩිපුර ලියන්න මමත් කැමතියි...

      Delete
  29. http://en.wikipedia.org/wiki/Regenerative_brake

    ඔකේ තියෙනවා බ්රේක් වැඩ කරන විදිය ගැන කතාන්දරය, වටින ලිපියක්, මොනාවා උනත් සුළු අතපසු වීමක් කරපු හදියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොමියා.. ඒකනෙ කියන්නෙ, සුළු වුනත් අතපසුවීමක් භයානක වෙන්න පුළුවන් නේද ?

      Delete
  30. කෝ මේක එලි පෙහෙළි කරලා ගන්නේ නැද්ද අප්පා ??? :(

    ReplyDelete
    Replies
    1. කඩේ වසා ඇත. සිදුවූ අපහසුතවය පිළිබඳව කණගා‍ටුව.. හෙහ් හෙහ්.. :)

      ස්තූතියි සයුරි... ටිකක් කල් මෙහෙම ඉන්න බැලුවේ...

      Delete
  31. සෙන්නා, සෑහෙන කාලෙකට පස්සෙ මම අද ආවා

    ReplyDelete
    Replies
    1. සම්මානි, සම්මානි..... මේ කමෙන්ට් එක දැකලා මට දැනිච්ච සතුට විස්තර කරන්න වචන නෑ.. අවුරුදු ගානකින් පරණ යාළුවෙක් හම්බුනාම දැනෙන හැඟීමක් ඒක... සම්මානිව දැක්කම මට මගේ බ්ලොග්කරණයේ ළදරු අවදිය මතක් වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනෙ...

      කොහෙද අප්පේ ඉතින් ගිහින් හිටියෙ ? එකම එක සැරයක් එක පෝස්ට් එකක් වැ‍ටුනා.. ඒක ඔටෝ පබ්ලිශ් දාලා තිබුන එකක්ද මංදා.. කමෙන්ට් වලට රිප්ලයි කරෙත් නෑ..

      දැන් ඉතින් දිගටම ඉඳියි කිය්ලා බලාපොරොත්තු වෙනවා...

      ඇත්තෙන්ම හරිම සතු‍ටුයි සම්මානි ආයෙ ආපු එක ගැන...

      ජය වේවා !!

      Delete
    2. Yes Senna, I am also really happy to see u all again after a loooooooooonnnnnng period. Will try to write something soon... Sammani

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!