Saturday, February 4, 2012

ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " - දෙවන කොටස

2012 නවම් මස 04 වන ශනිදා.

ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " පළමු කොටසට.




විසිවන සියවසේ මහා ප්‍රාඥයා යැයි විරුදාවලිය ලත්, ඇල්බට් අයින්ස්ටයින් මහතා, නොදැනුවත්ව හෝ මෙම මහා ඛේදවාචකයේ පළමු ගිනි පුපුර දැල්වීමට දායක වී ඇතැයි ඔබ දැන සිටියේද? එය එසේමැයි.

1879 මාර්තු මස 14 වන දින ජර්මනියේදී උපත ලද ජර්මන් ජාතික යුදෙව්වකු වූ අයින්ස්ටයින්, 1933 දී ඇමෙරිකාවට සංක්‍රමණය වන්නේ හිට්ලර්ගේ බලයට පැමිණීමත් සමඟයි. හිට්ලර් පාලනය විසින් යුදෙව්වන්ට එරෙහිව ගෙන ගිය ප්‍රතිපත්තිය මත අයින්ස්ටයින්ට සහ තවත් යුදෙව් සම්භවයක් හෝ සම්බන්ධතා ඇති විද්‍යාඥයන් බොහෝ දෙනෙකුට තව දුරටත් ජර්මනියේ රැඳී සිටීමේ හැකියාවක් නොවූ අතර ජීවිත ආරක්ෂාව පතා රට අත්හැර ඇමෙරිකාවට ඒමට ඔවුනට සිදුවිය. අයින්ස්ටයින්ගෙ හිසට ඩොලර් 5000 ක ත්‍යාග මුදලක් සමඟ, ඔහුගේ නමද ඝාතන ලේඛනයට එකතු විය.

අයින්ස්ටයින් විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය
1939 දී Leó Szilárd ඇතුළු හන්ගේරියානු විද්‍යඥයන් පිරිසක් විසින්, නාසි හමුදාව විසින් කරගන යනු ලබන පරමාණු බෝම්බ පිළිබඳ පර්යේෂණ ගැන වොෂින්ටන් පාලනයට අනතුරු ඇඟවීමක් කලද එය එතරම් සැළකිල්ලට භාජනය නොවන ලදී. මෙහිදී අයින්ස්ටයින් ඇතුලු විද්‍යාඥයන් පිරිස, ජර්මනිය විසින් නිර්මාණය කිරීමට ඉඩ ඇති පරමාණු බෝම්බය පිළිබඳව ඇමෙරිකානු රජය දැනුවත් කිරීම සිය වගකීමක් සේ සලකා ක්‍රියාකොට, නැවත 1939 අගෝස්තු මස අයින්ස්ටයින්ගේ අත්සනින් යුතුව අනතුරු හැඟවීමේ ලිපියක් එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ Franklin D. Roosevelt වෙත යවන ලදී. ඇමෙරිකානු රජයද නොපමාව පරමාණු තාක්ශණය පිළිබඳ පර්යේෂණ ඇරඹිය යුතු බවට නිර්දේශයක්ද එම ලිපියෙහි විය. අයින්ස්ටයින් ලිපියට අත්සන් කලද, ලිපිය සැකසීමේ සිට සියලු කර්තව්යන් සිදුකරන ලද්දේ Leó Szilárd විසිනි. ජර්මනිය විසින් පරමාණු ආයුධයක් නිපදවතැයි වැඩි වශයෙන්ම අවධානයෙන් සහ බියට පත්ව සිටියේ Leó Szilárd ය. 

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පිළිතුර
මෙම ලිපියෙහි සහ අයින්ස්ටයින් සහ ඇමෙරිකානු ජනාධිපති වරයා අතර සිදුවූ හමුවක ප්‍රතිඵලයක් ලෙස, ඇමෙරිකානු රජයද පරමාණු බෝමබ නිපදවීමෙ තරගයට එක් වන්නේ, එම තරගයෙන් ජර්මනියට දිනීමට කිසිසේතම ඉඩදිය නොහැකි බැවිනි. මෙය පරමාණු බෝම්බය සෑදීමේ " Manhattan Project " යනුවෙන් හැදින්වූ ව්‍යාපෘතියේ ආරම්භය විය.

කෙසේ වෙතත් අයින්ස්ටයින් විසින් මෙමගින් සිවිල් ජන සංහාරයක් බලාපොරොත්තු නොවූ අතර, ඔහුට අවැසි වූයේ ජර්මනිය විසින් එවැනි අවියක් නිර්මාණය කලහොත් එයට මුහුණ දිය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමටයි. එය ඇමෙරිකාව විසින් අවභාවිතා කිරීම පිළිබඳව පසු කලෙක ඔහු පසු තැවීමෙන්  සිය මිතුරකු වූ Linus Pauling සමඟ පවසා සිටියේ;

" මම මගේ ජීවිතයේ විශාල වැරැද්දක් කලා, රුස්වෙල්ට් ජනාධිපතිවරයාට යවපු ලිපිය අත්සන් කිරීමෙන්. නමුත් ජර්මනිය එය නිරමාණය කලානම් වෙන  විනාශය ඊට වැඩි විය හැකියි "

බෝමබය නිර්මාණය කිරීම - The Manhattan Project

ලිපිය ලද ජනාධිපතිවරයා, ජාතික ප්‍රමිති කාර්යංශයේ Lyman Briggs ට යුරේනියම් කමිටුවේ නායකත්වය ගෙන, ලිපියෙන් මතු කරන ලද කාරණය ගැන වැඩිදුර පරික්ෂණ කරනමෙන් නියම කෙරුවේය. ටික කලෙකින් කමිටු වාර්තාව ජනාධිපතිවරයට සපයමින් Lyman Briggs කියා සිටින්නේ යුරේනියම් මූලාශ්‍ර කොටගෙන, දැනට පවත්නා කිසිඳු දෙයකින් නිපදවිය නොහැකි තරම් ප්‍රබල බෝම්බයක් නිපදවිය හැකි බවයි. තවදුරටත් කරුණු දක්වමින් Lyman Briggs කියා සිටින්නේ, ජාතික ආරක්ශක පර්යේෂණ කමිටුව විසින් යුරේනියම් සහ ප්ලූටෝනියම් ගැන පර්යේෂණ කිරීම සඳහා මුදල් වෙන්කල යුතු බවයි. ජනාධිපතිවරයා විසින් යෝජනාවට අනුමැතිය ලබාදේ. ජනාධිපතිවරයාගේ මෙම අනුමැතියත් සමඟම, විද්‍යාත්මක පර්යේෂණ සහ සංවර්ධන කාර්යාලය විවූර්ත වන්නේ Vannevar Bush එහි අධ්‍යක්ෂක වෙමිනි.

1941 ඔක්තෝබර් මස 09 වන දින, ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා සහ Vannevar Bush අතර ඇතිවන සාකච්චාවකින් පසු ජනාධිපති Franklin D. Roosevelt පරමාණු බෝම්බය සෑදීමට සිය අනුමැතිය ලබා දේ. බෝම්බය නිපදවීමේ කුදු මහත් කටයූතු, ජනාධිපතිවරයා විසින් හමුදාව වෙත භාර දෙනුයේ ඔවුනට ඉන්ජිනේරු කටයුතු පිළිබඳ අත්දැකීම්ද තිබෙන බැවිනි. ව්‍යාපෘතියේ ප්‍රධානියා වශයෙන් Major General Leslie Groves  නම් කරන ලදී.

Head and shoulders view of man in military uniform with decorations.



Head and shoulders portrait
J. Robert Oppenheimer

1942 මැයි මස භෞතික විද්‍යා මහාචාර්ය, Gregory Breit ගේ ඉවත් වීමත් සමගම,General Groves  විසින් පර්යේශණ කටයුතු අධීක්ෂණය සහ මෙහෙයවීම උදෙසා, භෞතික විද්‍යා මහාචාර්ය වරයකු වු J. Robert Oppenheimer ව පත්කරන ලදී. Oppenheimer විසින් එවකට ක්ෂේත්‍රයේ ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරමින් සිටි, Enrico FermiEdward Teller (අයින්ස්ටයින් විසින් අත්සන් කල ලිපිය, අත්සන ගැනීම සඳහා ඔහු වෙත රැගෙන යනු ලබන්නේ මොහු විසිනි.), Hans Bethe වැනි විද්‍යාඥයන්ව පර්යේෂණ කටයුතු වලට ඈඳා ගන්නා ලදී.


මේසේ ඇරඹෙන පරමාණු අවියක් සඳහා වූ පරීක්ෂණ ඇමෙරිකාවේ, එක්සත් රාජධානියේ සහ කැනඩාවේ අනුග්‍රහය ඇතිව " මැන්හැට්න් ව්‍යාපෘතිය " නමින් Oak Ridge, Tennessee හී පිහිටුවන ලද්දේ ජර්මනියට කලින් පරමාණු අවියක් එළි දැක්වීමේ අරමුණ ඇතිවය. 1942 සිට 1946 දක්වා ක්‍රියාත්මක වූ මැන්හැට්න් ව්‍යාපෘතියට එම නම ලැබෙන්නේ, එය ඇමෙරිකාවේ මැන්හැට්න් දිස්ත්‍රිකය මුල් කොටගෙන ක්‍රියාත්මක වූ බැවිනි. විද්‍යඥයන්, ඉන්ජිනේරුවන් සහ හමුදාවේ එකතුවෙන් මෙම දැවැන්ත ව්‍යපෘතිය ඇරඹු අතර, වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුලත ඒ සඳහා අවැසි සියලු පහසුකම් රට පුරාම ස්ථාන 30 කට අධික වැඩ බිම් සහ පර්යේශණාගාර වල ඉඳිකරන ලදී. බෝම්බ කිහිපයක් නිපදවීමේ අරමුණින් ගොඩ නැගුන මේ ව්‍යාපෘතිය සඳහා 130000 අධික සේවක පිරිසක් සහභාගී වන අතරම, එවකට සමස්ත ඇමෙරිකාවම පාවිච්චිකල විදුලි බලයෙන් දහයෙන් එකක් මෙම ව්‍යාපෘතියට අදාල ආයතන විසින් බාවිතා කළ බවට ගනන් බලා ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 02 කට අධික මුදලක් මේ සඳහා වැයවූ බවද කියවේ. ව්‍යාපෘතියේ විශාලත්වය මෙයින්ම සිතා ගත හැකිය. 

Map of the United States and southern Canada with major project sites marked
ව්‍යාපෘතියේ ප්‍රධාන ස්ථානයන්

බෝම්බය නිපදවීම සඳහා Los Alomos ප්‍රදේශය ( Project Y ) General Groves විසින් තෝරගනු ලබන්නේ, නිදහස්, කලබල කාරී බවෙන් තොර, දැකුම්කළු පරිසරයක් කටයුතු වලට පහසු වේයැයි සිතන බැවිනි. රහස්‍ය භාවය ආරක්ෂා වීමද අතිශයින් වැදගත් විය.

සිදුකළ දීර්ග පර්යේෂණ මාලාවකින් පසුව, ව්‍යාපෘතිය මගින් දෙයාකාරයක බෝම්බ නිපදවීමට සමත් විය.

පළමු වර්ගය වුයේ යුරේනියම් භාවිතා කල Gun-type fission weapon යනුවෙන් හැදින්වූ බෝම්බයයි. හිරෝශීමාවට එල්ල කල "Little Boy" නම් බෝම්බය මේ ආකාරයේ එකකි. මෙය 1945 පෙබරවාරි මසදී සම්පූර්ණ කරන ලදී.

දෙවෙනි වර්ගය වූයේ ප්ලූටෝනියම් භාවිතා කළ Implosion-type යනුවෙන් හැදින්වූ බෝම්බ වර්ගයයි. නාගසාකියට හෙලූ "Fat man" මෙම වර්ගයේ බෝම්බයකි. මෙය 1945 මාර්තු මස සම්පූර්ණ කෙරේ.

The Gadget
1945 ජූලි 16 වන දින අළුයම 05:30 ට ලෝකය පරමාණු යුගයට ඇතුළු විය. ඒ General Groves ඇතුළු කණ්ඩායම විසින් සිදුකල " Trinity Test " යනුවෙන් හැදින්වූ, මුල්ම පරමාණු බෝම්බ පුපුරුවා හැරීමත් සමගයි. ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ Jornada del Muerto කාන්තාරයේදී දී මෙම පරික්ෂණ පුපුරුවා හැරීම සිදු කෙරින. Implosion-type වර්ගයේ බෝම්බයක් වූ මෙය (මෙය Gadget යනුවෙන් නම් කරන ල දී) පිපිරීමෙන්,  ක්ෂණිකව ඇතිවූ අධික ආලෝකය, අධික උණුසුම සහ කම්පන තරංග මාලාවක් සමඟ අඩි 40000 ට වඩා ගිනි ජාලාවක් පැතිරුනි. බෝම්බය රඳවා තිබූ කුළුණ සම්පූර්ණයෙන්ම වාෂ්ප වී තිබූ අතර යාර 800 ක පමණ වටප්‍රමාණයක වැලි අධික උශ්ණත්වය නිසා වීදුරු බවට හැරී තිබුනි.


මෙම පුපුරුවා හැරීම සාර්ථක වීමත් සමගම " මැන්හැට්න් ව්‍යාපෘතියෙන් " අපේක්ශා කළ කරුනු මැනවින් සාර්ථක වී තිබෙන බව අවබෝධ කොට ගත් ඇමෙරිකාව සිය ගොදුරට ඉව අල්ලන්නට විය.

සැළසුම් කිරීම සහ පුහුණු වීම;


මෙසේ බෝම්බය නිපදවීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර තුර, 1944 දෙසැම්බර් 14 වන දින Colonel Paul W. Tibbets ගේ නායකත්වයෙන් යුතු 509 කණ්ඩායම, ප්‍රහාරයට පුහුණු වීම අරඹන ලදී. Tibbets ව කණ්ඩායම සංවිධානය කිරීම සහ අණදීම සඳහා පත්කරන ලද අතර ඔවුන්ට පැවරුන රාජකාරිය වූයේ ජර්මනියේ සහ ජපානයේ හඳුනා ගත් ඉලක්ක වෙත පරමාණු බෝම්බ හෙලීමයි.

නිව් මෙක්සිකෝ හී ලොස් ඇලමෝස් Y ව්‍යාපෘතිය සමඟ කටුයුතු කල උවද, Tibbets විසින් පුහුණු කටයුතු සඳහා වෙන්ඩෝවර් ප්‍රදේශය තෝරා ගන්නේ එහි ඇති හුදකලා සහ දුරස්ත බව නිසාවෙනි.

1944 සැප්තැම්බර් මස, 504 කණ්ඩායම සමඟ නෙබ්රස්කා හී සාමුහික පුහුණුවක නිරතව සිටි 393 වෙනි කණ්ඩායම, වෙන්ඩෝවර්  වෙත පැමිනෙන්නේ සිය මවු කන්ඩායමට වෙනත් රාජකාරිය කිරීමට ඉවත්වීමට සිදුවන බැවිනි. 509 කණ්ඩායම පිහිටුවන තුරු ඔවුන්ව දෙවෙනි ගුවන් හමුදාවට අනුයුක්ත කෙරේ. 21 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමින් 15 දෙනෙකුව B-29 යානා පැදවීමේ පුහුණුව සඳහා තෝරා ගන්නා අතර ඔවුන්ව පස් දෙනෙකුගෙන් සැදුම්ලත් අනු කණ්ඩායම් තුනකට බෙදන ලදී.

509 කණ්ඩායමට පැවරුණු කාර්යයේ රහසිගත බව නිසාම ඔවුනට, පිරිස් සහ උපකරණ එහා මෙහා ගෙනයාමට තමන්ගේම ප්‍රවාහන මාධ්‍යයක් අවැසි වූ බැවින් 320 ඒකකයද 509 කණඩායමට එකතු කරනලදී. ඊට අමතරව තවත් බොහොමයක් වු සහයක ඒකක ස්වාදීනව 509 කණ්ඩායමට සහය දීමට යොදවා තිබුනි.

ටිනියන් දිවයින සහ ජපානය
1945 මාර්තු මසදී, තවත් විශේෂ ඒකකයක් කණ්ඩායමට එකතු කරන ලදී. ඔවුනට පැවරුන වගකීම වුයේ, බෝම්බය එහි මෙහෙයුම් ස්ථානයේදී එකලස් කිරීමට, විශේෂ පුහුණුව ලත් නිළධාරින් සහ උපකරණ සැපයීමයි.

මෙසේ සැදුම්ලත් කණ්ඩායම, දිගින් දිගටම පුහුණුවීම වල නිරත වෙමින්, පුහුණුවීම් අතරතුරදී හඳුනා ගන්නා ලද අඩුපාඩු සකසා ගනිමින් මෙහෙයුම සඳහා සැරසෙමින් සිටියහ. 1945 ජුනි මසදී, මූලික පුහුණුව අවසන් කළ 509 කණ්ඩායම, ටෝකියෝ සිට සැතපුම් 1450 දුරින් පැසිෆික් සාගරයේ පිහිටි "ටිනියන්" දූපතට විතැන්වෙන ලදී.



තමන්ගේ සහ ඇමෙරිකානු යුධ ලේඛම් වරයාගේ අවසාන අනුමැතිය යටතේ තෝරා ගත යුතු ප්‍රහාර ඉලක්ක නම් කරන ලෙස General Groves ගෙන් ඇමෙරිකානු හමුදා ප්‍රධානියා වූ George Marshall ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස General Groves විසින් ප්‍රහාර ඉලක්ක තෝරා ගැනීම සඳහා වූ කමිටුව 1945 අප්‍රේල් මසදී, සිය සභාපතිත්වයෙන් යුතුව පත්කරන ලදී. කමිටුව විසින් තෝරා ගන්නා ලද ප්‍රධාන ඉලක්ක හතරකි.

කොකුරා;
ජපානයේ විශාලම යුද්ධෝපකරණ නිපැයුම් කර්මාන්ත ශාලාවක් පිහිටි නගරයකි.

හිරෝශීමා;
ප්‍රධාන කර්මාන්ත පුරයක් සහ හමුදාවන්හී බොහොමයක් ප්‍රධාන කාර්යාල පිහිටි නගරයයි.

නීගාටා;
තෙල්, වානේ, ඇළුමිනියම් කර්මාන්ත ශාලා සහිත වරායක් පිහිටි නගරයකි.

කියෝටෝ;
ප්‍රධාන කර්මාන්ත පුරවරයකි.

කියෝටො නගරය එවකට ඇමෙරිකානු යුධ ලේඛම් වරයා වූ Henry L. Stimson ගේ මැදිහත් වීමෙන් මෙම ලේඛනයෙන් ඉවත් වන්නේ එය ඊට දශක කිහිපයකට කලින් සිය මදුසමය ගත කල, ඒ වන විටත් ඔහුගේ සිත් ගත් ස්ථානයක් වූ බැවිනි. කියෝටොවට වෙන්වූ ස්ථානය නාගසාකියට හිමිවෙන ලදී.

ජපානයේ අනෙකුත් බොහොමයක් නගර දිනපතා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් අඩු වැඩි වශයෙන් විනාශ වී තිබුනද, මෙම නගර වලට ප්‍රහාර එල්ල කිරීමෙන් ඇමෙරිකානු ගුවන් හමුදාව වැලකී සිටියේ ඔවුන් වෙනුවෙන්ම සැලසුම් කරන ලද විශේෂ ප්‍රහාරයක් ඇති නිසාය. ඔවුන්ව මානව ඉතිහාසයේ සිදුකරන ලද බිහිසුණුම පරික්ෂණයට තෝරාගෙන සිටි බැවිනි. දිනපතා තමන්ගේ හිසට උඩින් කිසිඳු කරදරයක් නොකර පියඹා ගොස් සිය සහෝදර නගර වලට ප්‍රහාර එල්ල කරන සතුරු ගුවන් යානා දෙස මෙම නගර වැසියන් බලා සිටියේ බිය මුසු කුතුහලයකිනි.

ප්‍රහාරය එල්ල කරන ආකාරය සහ ඉන්පසු තත්ත්වය පිළිබඳව තෙවන ලිපියෙන් බලමු.


ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " - අවසාන කොටසට


~~සෙන්නා / 04.02.2012

39 comments:

  1. අර පින්තුරේ තියෙන්නේ මොකක්ද සෙන්නා? වෙනදා වගේම වැදගත් ලිපියක්..

    // Henry L. Stimson ගේ මැදිහත් වීමෙන් මෙම ලේඛනයෙන් ඉවත් වන්නේ එය ඊට දශක කිහිපයකට කලින් සිය මදුසමය ගත කල, ඒ වන විටත් ඔහුගේ සිත් ගත් ස්ථානයක් වූ බැවිනි//

    මේක දැක්කම නම් හිනා ත් ගියා..:(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි.

      ඒ මැන්හැට්න් ව්‍යපෘතියේ ලාංචනය සයුරි.

      ඒක නිකන් විහිළුවක් වගේ උනාට බලන්ඩකො ඒ ගොල්ලන්ගේ පුද්ගලික අවශ්‍යතා මත ඒ දේවල් වෙනස් වෙලා තියන හැටි.

      Delete
    2. ඒක ඇත්ත...එයා මධු සමයට ගිය නිසා ඒ නගරය අත අරින්න කිව්වලු..කාට කියන්නද මේ අවනඩු :)

      Delete
  2. Henry L. Stimson වගේ කීප දෙනෙක් ජපානයේ වෙනස්, වෙනස්, නගර වල මධු සමය ගත කරල තිබුන නං, ලෝක ඉතිහාසයත් වෙනස් වෙන්න ඉඩ තිබුන.

    විහිළු පැත්තකින් තියල කියන්න තියෙන්නෙ, ඉතාම හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්.. ඒකනම් මරු අදහසක් ඔබා මාමේ... ඔය වගක් දන්නවනම් කට්ටියව බලෙන් හනිමුන් යවන්ඩ තිබ්බා...

      ස්තූතියි අගය කිරීම ගැන.. විහිළුවක් නැත්නම් ජීවිතේ පල්...

      Delete
  3. ඉතාම හොඳ ලිපියක්..දවස් කීපයක්ම ඇවිත් බැලුවා අලුත් ලිපිය ඇවිල්ලද කියලා..

    "දිනපතා තමන්ගේ හිසට උඩින් කිසිඳු කරදරයක් නොකර පියඹා ගොස් සිය සහෝදර නගර වලට ප්‍රහාර එල්ල කරන සතුරු ගුවන් යානා දෙස මෙම නගර වැසියන් බලා සිටියේ බිය මුසු කුතුහලයකිනි." මේ කොටස කියවද්දී මතක් වුනේ ජපන්නු ලංකාවට බෝම්බ දාපු දවස්වල අපේ ආච්චිගේ අත්දැකීම්..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. හරී මොකෝ මේ දවස්වල "ඇනෝ" එන්නේ.. ?

      ස්තූතියි හරී උනන්දුව පිළිබඳව. ලියන්ඩකො බලන්ඩ ඒ ගැන ලිපියක්.. ආච්චි දැනට ඉන්නවනම් වැඩි විස්තර අරගන හොඳ ලිපියක් සකස් කරන්ඩ පුලුවන් වෙ‍යි ඒ ගැන.

      Delete
    2. මොකක්ද කෙහෙල්මලක් වෙලා බං මට ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කරන්න බෑ..ඒ මදිවට කමෙන්ට් සබ්ස්ක්‍රිප්ශන් වැඩ කරන්නෙත් නෑ..කමෙන්ට් කරපු එව්වට ආයෙ ආයෙ යන්න ඕනා රිප්ලයි කරලද බලන්න..

      ඒක හින්දා තාවකාලිකව ඇනෝ එනවා...

      ආච්චිට නම් සෑහෙන්න වයසයි මම බලන්නම්කො ඉන්ටර්වීව් එකක් තියලා ලිපියක් දාන්ට..

      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
  4. ගොඩක් වැදගත් ලිපියක් . මේ පරමානු බෝම්බ කතාව ගැන මම වැඩි විස්තරයක් දැනං හිටියේ නෑ මම මේ ලිපියෙන් දැනගත්ත කරුනු බොහොමයි ..

    අනිත් කොටසත් එනතුරු බලාන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. සඳරු,

      ස්තූතියි පැමිණීමට සහ දිරිගැන්වීම ගැන. පළවෙනි කොටසත් කියවන්ඩ ඇති කියලා හිතනවා.. ඉතුරු ටිකත් පුළුවන් තරම් ඉක්මනට දාන්නම්...

      Delete
  5. විස්තර ගොඩක් දැනගත්ත එත් මට මේ කොටස් දෙකම කියවද්දී ආපු ප්‍රශ්නයක් තියෙනවා.ඒක මගේ නොතේරුම් කැමට අහන්නේ.

    ජපනයි ජර්මනියයි දෙගොල්ලම මිත්‍ර රටවල් ද?.මං දන්නා විදියට යුද්දේ තිබුනේ පාර්ශව දෙකයි.

    ReplyDelete
    Replies
    1. අසර්,

      උඹ ඇහුවේ හරි වැදගත් ප්‍රශ්ණයක්. ඇත්තටම ඕක මගේ ලිපියේ එක අඩුපාඩුවක්.. මට ඔය ගැන පොඩි ලුහුඬු විස්තරයක්වත් කරන්ඩ තිබුනා එක පාරටම බෝම්බෙ අතාරින්නැතුව.

      ඕක මෙහෙමයි මචන්..

      ලෝක යුද්දෙ ප්‍රධාන පාර්ශව දෙකක් හිටියා Axis සහ Allies කියලා.. Axis යටතේ ජර්මනිය, ඉතාලිය සහ ජපානය එකතු වෙලා හිටියා. Allies යටතේ ලෝකේ අනිත් සියලුම බලවත් රටවල් පෙල ගැහිලා හිටියා. ජර්මනිය, ඉතාලිය සහ ජපානය අතර කලින් ඉඳන් තිබුන මිත්‍ර සම්බන්දතා ඔය එකතුවට බලපාලා තියනවා.. ඊට අමතරව ජපානය කාලයක් ඉඳන් පැසිෆික් කලාපයේ බලය අල්ලා ගැනීමට, රුසියාව, චීනය, කොරියාව, ඇමෙරිකාව වගේ රටවල් එක්ක සටන් වල පැටලිලා ඉඳලා තියනවා. ඉතින් ඔය ඔක්කොම එකතුවෙලා ජපානය පර්ල් වරායට බෝම්බ දැම්මට පස්සේ.. ඇමෙරිකාව කෙලින්ම ජපානෙට ගේම ඉල්ලලා තියනවා. ඔය ඔක්කොම ඉතින් ලෝක යුදෙත් එක්ක පැටලිලා දිගින් දිගට ගිහින් අන්තිමට ඉවර උනේ පරමාණු කෙලියෙන් තමා.

      ඇත්තටම ජපානය කියන්නේ ඉස්සර හරිම යුධකාමී රටක්. හැබැයි පරමාණු බෝම්බෙන් පස්සේ ඔවුන් එහෙම් පිටින්ම වෙනස් වෙලා තියනවා.

      මෙන්න මේ ලින්ක් වලට ගිහින් බලපන් නිකන් ඉන්න වෙලාවකට

      http://en.wikipedia.org/wiki/Wwii
      http://en.wikipedia.org/wiki/Axis_powers
      http://en.wikipedia.org/wiki/Allies_of_World_War_II

      Delete
    2. ස්තුතියි මචං විස්තරේ දැම්මට වෙලාවක් ලැබුන ගමන් මේ ලින්ක් වලින් ගිහිල්ල බලන්න ඕනේ.

      Delete
  6. පරක්කු කලා සැනසිල්ලේ බලන්න ඕනෙ නිසා. අද දුන්නා ගේම.. ;)

    මධුසම කතාව නම් විකාරයි. එහෙමත් යුධ ලේකම්ල ඉන්නවද බං ?

    ReplyDelete
  7. ඔන්න කියන්න අමුතුදෙයක් නෑ ලිපිය පට්ට වටිනවා...

    ReplyDelete
  8. එළ කොල්ලෝ.. පරක්කු වෙලා හරි බැලුවනම් ස්තූතියි..

    ඒක විකාරයක් නෙමේ බන්.. ඇත්තක්... ඔය මොන ලේකම්ලා උනත් මනුස්සයොනෙ බන්.. හැඟීම් තියනවානේ... පරන සිහිවටන වලට මිනිස්සු ආසයි..

    ඕක මිනිහා කෙලින්ම කියන්ඩ නැතුව ඇති මම හනිමුන් ගිය හින්දා එහෙට බෝමබ දාන්ඩ එපා කියලා.. අමතක කරන්ඩ එපා අවසන් අනුමැතිය තිබ්බේ මිනිහගේ අතේ..

    ඔය කතාව සඳහන් වෙලා තියෙන්නේ අමෙරිකානු බුද්ධි අංශ නිළධාරියෙකුගේ ස්වයං චරිතාපදානයේ...මුලින්ම රාවයක් පැතිරිලා තියනවා ඒ නිළදාරියා කියෝටෝව බේර ගන්ඩ මැදිහත් උනා කියලා.. ඒක ප්‍රතික්ශේප කරමින් තමයි ඔහු ඔය හෙළිදරව්ව කරන්නේ..

    ReplyDelete
    Replies
    1. සුපිරි සෙන්නා.. නාසි එක ගැන.. හිට්ලර් ගැන.. චේගුවේරා වැනි තව විවිධ චරිත ගැන දැම්මොත් නැගල යයි.. ජය.. !

      Delete
    2. එළ එළ.. ඔහොම යන්කෝ හිමීට...

      Delete
  9. මම මේ ලිපි දෙකම කොපි කරගත්තා..කමක් නෑනෙ..

    ReplyDelete
    Replies
    1. අයියෝ කමක් නෑ... කොඵි කරගත්තු විදිහ මටත් කියනවද ? මට මේ කොපි කරගන්ඩ බැරුව ඉන්නේ...

      Delete
    2. :O :O රයිට් ක්ලික් කරල කොපි ගිහින් වර්ඩ් එකකට පේස්ට් කරගත්ත..ඇයි?

      Delete
    3. මාත් එහෙම කලා ඒත් හරියට ආවේ නැහැ.. පින්තූර ඔක්කොම කැලේ...ඇයි කියලා අහපු විදිහට බයත් හිතෙනව.. :-)

      Delete
  10. මේ සිද්දිය පිටිපස්සෙ මෙච්චර ලොකු විස්තරයක් තියෙනව කියල අදයි දැනගත්තෙ...ලිපිය ගොඩාක් වටිනව.ඊළඟ ලිපියත් ඉඩක් ලැබුන වෙලාවක ඉක්මනින් දාන්න බලන්න...

    මේ විස්තර ලියන විදිහනම් ලස්සනම ලස්සනයි...

    ReplyDelete
  11. වැදගත් ලිපියක් .. ඉතිරියත් වෙලා අරගෙන ලියන්න....... . ස්තූතියි සෙන්නා ...

    ReplyDelete
  12. මට මේකේ ලිපි දෙකම මගඇරිලානේ ඕං අදයි මේ පැත්තේ ආවේ....

    සෑහෙන්න වටින ලිපියක් අයියේ මට මතක් වුනා කාලෙකට කලින් ඩිස්කවරි එකේ මේ ගැන ගියපු වැඩසටහනකුත්...ඒ වැඩසටහනේ පෙන්නුවා බෝම්බය හෙලලා තත්පර ගානකට පස්සේ ඒකේ පරමාණු එකිනෙක විකන්ඩනය වෙලා විශාල බලයක් නිපදවෙන හැටි ඒ වීඩියෝවට ඊළඟ ලිපියෙන් ලින්කුවක් හෝ දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.....මේ බෝම්බ හෙලන්න ගියපු නියමුවන් මේ ගැන නොදන්නා බවත් මම අසා තිබෙනවා....මේ ප්‍රහාරයේ දරුණුකමට තවමත් විවිධ විකෘතිතා සහිත දරුවන් එම ප්‍රදේශ වලින් උපත ලබන බවත් මම අසා තිබෙනවා...ගොඩක් වෙලාව අරන් දීර්ඝ ලිපියක් ලියන්නකෝ

    ReplyDelete
    Replies
    1. ගැමියා.. ස්තූතියි මේ පැත්තේ ආවට.. හැබයි අදනෙමේ ඔයා කලිනුත් දවසක ආවා මට මතකයි..

      පළවෙනි කොටසේ වීඩියෝ කෑල්ලක් තියනවා මම හිතන්නේ ඒක ඒ වගේ එකක් ආයේ බලන්ඩ..

      මම මේකට වීඩියෝ දෙක තුනක්ම පරිශීලනය කලා ඒවායේ ලින්ක් දෙන්නම් අන්තිමට..

      ඒක බොරු මල්ලී.. ඒගොල්ලෝ කරන්නේ මොනවද කියලා හොඳටම දැනගන තමා ඔය ඔක්කොම කලේ.. ඒ ගැන විස්තර ඊලඟ ලිපියෙන් කියන්නම්..

      Delete
  13. Replies
    1. අලුත් එක ලියනෝ...පොඩ්ඩක් ඉන්ඩො...

      Delete
  14. අවුලක් නැතෝ..වෙලා තියෙන විදිහට හිමීට ලියලා දාන්න..නිකමට වගේ ඇහුවෙ...

    ReplyDelete
  15. වෙනදා වගේම කියවන්න වටින සාරවත් ලිපියක්....

    ReplyDelete
  16. ඔයාට ලොකුවැයින් උම්ම එකක් දෙන්න වටිනව අර ලිපි දෙක හොයා ගත්තු එකට.... ඒවා මං අදමයි දැක්කෙ.... ඇත්තටම කොහෙන්ද අනේ සොයාගත්තෙ.... ඒවා කියවනකොට පුදුම හැඟීමක් මට ඇතිවුනේ... ඒ පුංචි ලියුම් කරදහි දෙකෙන් ලෝක ඉතිහාසයක් වෙනස් වෙච්චි හැටි මතක් වෙලා..... ඇත්තටම පුද්ගලයෙක් විදියට අයින්ස්ටයින් ගැන දන්නෙ නැතුවට එයාගෙ ලියුම කියවනකොට හිතුන ඇත්තටම මේ මනුස්සයමද මේක ලිව්වෙ කියල.... ඒත් පස්සෙ එයා අනුන් ලියපු ලියුමකටයි අත්සන් කරල තියෙන්නෙ කියල දැනගත්තම හිතුන ටිපිකල් ප්‍රොෆෙසර් කෙනෙක් කියල :).....
    අර ගැජට් එක ගැන අහල තිබ්බට ඒකෙ පින්තූරයක් දැක්කෙ නම් අදයි...
    කලින් ලිපියෙන් වගේම නොදැන හිටපු බොහෝ දේවල් දැනගත්තා, දැක බලාගත්ත... බොහෝම ස්තුතියි.... මේ වගේ ලිපියක් ලියන්න ගියාම වෙන්න වෙන මහන්සිය ගැන දන්න හින්දා සෙනාගෙ කර්තව්‍යයේ අගය තවත් වැඩි වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් ඔයා මටත් පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන තැනට වැඩ සිද්ද කරන්ඩ තමා සැරසෙන්නේ.. :-)

      ඒ ලිපි දෙක විකිපීඩියා එකෙන් තමා අර ගත්තේ..

      මහන්සියනම් අපමණයි.. ඒත් ඉතින් මේ වගේ කමෙන්ට්ස් දැක්කම ඒ මහන්සිය අපතේ ගිහින් නැහැ කියලා හිතෙනවා..

      ස්තූතියි...

      Delete
  17. මධුසමය ගත කරපු නගරය බේරන්න ඇත්තේ ගෙදර ගිහින් හාමිනේගේ ගෝරනාඩුවෙන් බේරිලා ඉන්න ඕනේ නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. හිහ් .. එහෙම වෙන්ඩ ඇති.. සිංහයත් උගේ ගෑනිට බයයිලුනෙ...

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog