Saturday, November 14, 2026

අදෘශ්‍ය වාහකයෝ


2026 නොවැම්බර් 14



ඔහු ජීවිතය පිළිබඳ ආශාව අත්හැරියේය. එය තම ජීවිතයේ අවසාන නිමේෂය බව ඔහුට පසක් විය. වේගයෙන්, වැරදි පසින් තමා ඉදිරියට ඇදී එන විශාල බස් රථය තම ජීවිතයේ ඉරණම ලියා දමනු ඇති බව ඔහු වටහා ගත්තේය.

නිමේෂ පිළිබඳ අසා තිබුණද, තත්පරයෙන් පංගු ඔහු අත්විඳියේ එම මාරාන්තික මොහොතේදීය. තත්පරයක් ඇතුළත ජනිත කළ හැකි අප්‍රමාණ සිතුවිලි සංඛ්‍යාව ජීවිතයේ ප්‍රථම වරට ඔහු ප්‍රත්‍යක්ෂ කළේ එම මොහොතේදීය. තත්පරයක් ඇතුළත ගත හැකි අප්‍රමාණ තීරණ සංඛ්‍යාවත් ඔහු අත්විඳියේ එම මොහොතේදීය.

වේගයෙන් ඉදිරියට ඇදී එන බස් රථය ඔහු දුටුවේ වේගයෙන් පිම්බෙමින්, විශාල වෙමින් තමාව තෙරපා දැමීමට එන දැවැන්ත බැලූනයක් ලෙසිනි. තවත් තත්පරයෙන් කොටස් කිහිපයකින් තම වාහනයේ ගැටෙන මෙම බැලූනය තමාව පොඩි පට්ටම් කර දමනු ඇත.

එහෙත් ඔහු ජීවිතය පිළිබඳ ආශාව අත නොහැරියේය. තත්පරයටත් පංගු ඇත්නම්, ඒ එක් පංගුවකදීවත් ජීවිතය වෙනුවෙන් යමක් කළ යුතු බව ඔහුට වැටහුණි. අවසාන තත්පරයේ අවසාන පංගුවේදී වාහනය වමට කැපීමට ගත් ඒ තීරණය ඔහුගේ ජීවිතය ගලවා ගැනීමට උපකාරී වුවද, දකුණු පාදය ආබාධ වීම වළක්වා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවුණි.

යකඩ එකිනෙක ගැටෙන, වීදුරු බිඳී යන ඒ අමිහිරි නාදයන් ඔහුගේ මතකයේ ඇත්තේ සිහිනයක් මෙනි. තවත් තත්පරයෙන් පංගු කිහිපයකදී සියල්ල නිශ්චල විය. හතර අතින් මිනිසුන්ගේ කෑගැසීම් ඇසෙන විට, ඔහු නැවතත් තත්පරයට පංගු නොමැති ලෝකයට පැමිණ ඇති බව අවබෝධ කරගනිමින් සිටියේය.

පිටුපසින් පැමිණෙමින් තිබූ ආරක්ෂක රථය නිසා බැංකු ශාඛාව වෙත ගෙන යමින් තිබූ අලුත්ම කාසි මලු කිහිපය ආරක්ෂිත බව ඔහුට සහතික විය.


🪙🪙🪙

ගාමිණී කවදත් නිර්භීතය. උතුරුකරයේ ක්‍රියාන්විත රාජකාරියේ නියුක්ත සමයේ තමන් සහභාගී වූ සටන්වලදී දැක්වූ දක්ෂතා සහ නිර්භීතකම් වෙනුවෙන් ඔහු ලද පදක්කම් හා ඇගයීම් අපමණය. ඔහු යුද බිම අත්හැර පැමිණීමට රිසි නොවීය. නමුත් වයස නැමති සාධකය ඔහුට හරස් විය. සිය පවුලේ අවශ්‍යතා පිරිමසා ගැනීමට විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නොවන නිසාම බැංකුවෙහි ආරක්ෂක නිලධාරී තනතුර භාර ගත්තද, ඔහුගේ සිත තිබුණේ තවමත් උතුරුකරයේ සටන් වදින සිය සගයන් සමඟය. ත්‍රස්තවාදීන් හා කෙරෙන වෙහෙසකර සටනකින් පසු සිය අවියෙන් නිකුත් වන අමුතු සුවඳ දීර්ඝ ආශ්වාසයකින් නාස්පුඩු හරහා පෙනහලුවලට පුරවා ගැනීමට ඔහු කවදත් කෑදරය. එහෙව් අභීත මිනිසකු මෙවන් වූ තුට්ටු දෙකේ සොර කැලකගේ විධානයන්ට අවනත වීම විය නොහැක්කකි. එහෙත්, රුදුරු ත්‍රස්තයන් හා ගැටුණු අනේක වාරයන්හි සිය සගයන්ගේ ඇද වැටීම දකිමින් සතුරු වෙඩි පහරින් බේරී සිටීමට ගාමිණී සමඟ වූ වාසනාව, අවාසනාවන්ත ලෙස අද ඔහු හැර ගොස් තිබුණි.

ශාඛාව පුරා ගිගුම් දුන් පිස්තෝල හඬ සහ රුධිරය දසත විහිදුවමින් නිර්භීත ආරක්ෂක නිලධාරියා ඇද වැටීම සිදු වූයේ එකවරමය. සියලු දෙනා පාෂාණීභූත වන විට, "ඉක්මන් කරපල්ලා" යැයි මුහුණ වසාගත් කොල්ලකරු නැවත බෙරිහන් දුන්නේය. ඊළඟ නිමේෂයේදී, වහ වහා මලුවලට පුරවනු ලැබූ මුදල් නෝට්ටු රැගත් කොල්ලකරුවන් තිදෙනා මියගිය ගාමිණිගේ සිරුර උඩින් පනිමින් බැංකු ශාඛාවෙන් පිටව තමන් පැමිණි වාහනයට දිව යන අයුරු දක්නට ලැබුණි.


🪙🪙🪙

"මට ආරංචි වුණා මිස් වෙච්ච දේ. අනේ පවු ගාමිණි. හරිම අවංක මනුස්සයා. මගෙත් එක්කත් හොඳට හිතවත්ව හිටියා. යකෙක්ටවත් බය නෑ නේද?"

"ඒකනේ සේපාල, බලන්නකෝ වෙච්ච දේ. ආ, මෙන්න සේපාලගේ සල්ලි. රුපියල් පන් ලක්ෂ විසිපන්දාස් පන්සීයයි. පනහක් පහේ ඒවයෙන් දෙන්නම්, කමක් නෑ නේද? ආ, මෙන්න. ගැනලා ගන්න."

"අයියෝ, ඒකට මොකද වෙන්නේ මිස්," සල්ලි ගණන් කර බැලූ සේපාල ඒවා සිය ගමන් මල්ලේ රඳවා ගත් අතර, මාරු කාසි කිහිපය සිය පසුම්බියෙහි රුවා ගත්තේය.

සේපාල යනු එම නගරයෙහි ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සුළු ව්‍යාපාරිකයෙකි. බැංකුවට පැමිණ මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම ඔහුගේ දිනපතා චර්යාවකි. එබැවින්ම බැංකු නිලධාරීන් හා මිය ගිය ආරක්ෂක නිලධාරියා ඔහුට නුහුරු නුපුරුදු අයවලුන් නොවූහ.

බැංකුවෙන් පිටවූ ඔහු අසල තේ කඩයකින් උදේ ආහාරය ගනිමින් ඊළඟ කර්තව්‍යයන් සැලසුම් කෙරුවේය. නගර සභා කාර්යාලයේ ඇති රැස්වීමට තව වැඩි වේලාවක් නොමැති බව දුටු ඔහු ලහි ලහියේ තේ කඩයෙන් නික්මුණි. මුදල් ගෙවා දමමින් පසුම්බියත් අතැතිව සේපාල එළියට පැමිණෙන්නාත් සමඟම, උකුසකු මෙන් ඔහුගේ පසුම්බිය ඩැහැගත් ගැටකප්පන්නා විදුලි වේගයෙන් අතුරුදන් විය. සේපාල කෑගසමින් ඔහු පසුපස දිව ගියද ප්‍රමාද වැඩිය. සේපාලව වටකරගත් ජනයාගේ ප්‍රශ්න කිරීම හා උපදෙස්වලින් ඔහුගේ දෙකන් පිරී යන විට, පසුම්බියෙහි බැංකුවෙන් ලැබූ මාරු කාසි කිහිපය හැර වෙනත් මුදලක් නොවූ බව මතක් වී සැනසීමක් ලැබුණද, පසුම්බියෙහි වූ සිය වටිනා ලියකියවිලි කිහිපය නැවත ලබා ගැනීම උදෙසා විඳීමට සිදුවන හිරිහැරය මතක් වීමෙන් ඔහුට සුසුමක් පිට විය.


🪙🪙🪙

උගේ පටබැඳි නාමය උකුස්සාය. ඒ, උකුසකු මෙන් මිනිසුන්ගේ පසුම්බි ඩැහැගැනීමට ඇති හැකියාව නිසාමය. අද උකුස්සාගේ පළමු ගොදුර වූයේ සේපාලය. පාර දෙපස වූ පැල්පත් නිවාස අතරින් පියඹා ගිය උකුස්සා, කිසිවකුත් තමන් පසුපස හඹා නොඑන බව සැක හැරගත් පසු දිවීම නතර කොට තම අස්වැන්නේ ප්‍රගතිය පරීක්ෂා කර බැලීමට වූයේය. එහි වූයේ පහේ කාසි හතරක් පමණක් බව දුටු උකුස්සාගේ මුහුණ සුදුමැලි විය.

"නෙදෝමකින් අපතයා. දවසම කෑවා මුස්පේන්තුවා. තූහ්, නොදකින්!"

අවසාන වචන දෙක කියමින්ම පසුම්බිය අසල මුල්ලකට වීසි කර දැමූ ඔහු, දිනයේ මුල්ම ආදායම කෙතරම් සුළු වූවත් ඒවා සිය කලිසම් සාක්කුවෙහි රුවා ගනිමින්ම නැවත මාර්ගයට අවතීර්ණ වූයේ ඊළඟ ගොදුරට ඉව ඇල්ලීමටය.

මෙවර ඔහුගේ ඉලක්කය වූයේ කඩිනම් ගමනින් කාර්යාලය බලා පියමනිනා තරුණ කාන්තාවකි. ඇයගේ වම් අතෙහි එල්ලෙමින් තිබූ දිගු පටියක් සහිත කුඩා පැති බෑගයෙහි යම් මුදලක් නොවරදින බව ඔහු පළපුරුද්දෙන් දැනගෙන සිටියේය. මඳ දුරක් ඇයගේ පසුපසින් හඹා ගිය උකුස්සා, කල්යල් බලා සිය ප්‍රහාරය එල්ල කළේය. විදුලි වේගයෙන් පසුම්බිය ඩැහැගත් ඔහු දිව යන්නට විය. තරුණියගේ කෑගැසීමත් සමඟින් අසල ගමන් කළ අයවලුන් තමා හඹා එන බව වැටහුණු හෙයින් ඔහු වේගය වැඩිකර ගැනීමට සැරසුණා පමණය...

අහෝ! අද නම් කරුමක්කාර දවසකි!

කවුරුන් හෝ දැමූ කකුල් මාට්ටුවක් නිසා උකුස්සා වට දෙකක් කැරකී ගොස් පොළොව සිප ගත්තේ, මහ පොළොවට මහත් වූ සෙනෙහසක් ඇත්තෙකු එය දෑත් විදහා ආදරයෙන් සිප ගන්නා ලෙසය.

ඉන් පසු ආරම්භ වූයේ උකුස්සා විසින් කලකට පසු රස විඳි ඉස්තරම්ම දානමය පුණ්‍යකර්මයයි. පසුම්බියෙහි හිමිකාරිය විසින් සිය පසුම්බිය කිසිදු අඩුපාඩුවකින් තොරව නැවත ලැබීමේ ප්‍රීතිය නිසාම ඔහුව අතහැර දමන ලෙස පැවසූ හෙයින්, දානය පූජා කරන්නන්ගේ අවධානය ගිලිහුණු ඒ නිමේෂයේම එතැනින් ගැලවී පලා යාමට උකුස්සාගේ වෘත්තීය අත්දැකීම් ඔහුව පුහුණු කර තිබුණි. එබැවින්, ඊළඟ නිමේෂයේ ඔහු එතැනින් ගමන් කළ බස් රථයක එල්ලී සිටිනු දක්නට ලැබිණි.


🪙🪙🪙

"ගම්සභා හන්දිය එකයි."

"මාරු රුපියල් පහක් දෙන්න. මාරු නෑ."

සිය පිටුපස කලිසම් සාක්කුවට අත දැමූ උකුස්සා එයින් රුපියල් පහක් ගෙන කොන්දොස්තරවරයා අත තැබීය.

ජයසේන මුදලාලිගේ ඉහේ මලක් පිපුණි. කඩයට අවශ්‍ය අඩුම කුඩුම රැගත් ගෝනියද කරගහගෙන අමාරු ගමනින් බස් නැවතුමට පිය නඟන විට, තමාට ඊළඟ බසය වෙනුවෙන් තව පැය දෙකක්වත් බලා සිටීමට සිදුවන බව ඔහු සිතින් ගණන් බලා තිබුණි. නමුත් කුමක්දෝ ආශ්චර්යයක් නිසා තමන්ට මඟ හැරුණු බස් රථය පොලිසිය විසින් නතර කරවාගෙන දඩ කොළයක් ලියමින් සිටිනවා දුටු ඔහුගේ ඉහේ මලක් පිපුණි.

ලද අවසරයෙන් දණිපණි ගා බසයට ගොඩ වැදුණු ඔහු, සිය කලමනා පිරුණු ගෝනියද තමන් වාඩිගත් අසුන අසලින්ම තබා ගත්තේය. ඉන් විනාඩි දහයකට පමණ පසු පැමිණි රියදුරා හා කොන්දොස්තරවරයා පොලිසියේ මවුගුණ ගී ගයමින් නැවතත් ගමන ආරම්භ කළහ.

කොන්දොස්තර තැන විසින් නිකුත් කළ ටිකට්පත හා ඉතිරි මුදල් සියල්ල එකට ගුලි කොට සිය කමිස සාක්කුවේ රුවා ගත් ජයසේන මුදලාලි, බසය අල්ලා ගැනීමට ලැබීමේ ප්‍රීතියෙන් පොලිසියට සිත යටින් ස්තූති කළේය. එකම සිද්ධිය කෙනෙකුගේ සතුටටත්, තවෙකෙකුගේ දුකටත් හේතු වන ආකාරය සිහි කළ ඔහු, බුදුදහමත් ලෝක ස්වභාවයත් මෙනෙහි කරමින්ම කෙටි නින්දකට ප්‍රවිෂ්ට වූයේය.

🪙🪙🪙

ජයසේන මුදලාලිට තිබුණේ පුදුම හදිස්සියකි. ඉක්මනින් කඩය වසා දැමීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබිණි. ඒ වෙන කිසිවක් නිසා නොව, දින කිහිපයකට පෙර කඩයේ සිදු වූ සොරකම නිසාය. එයින් පසු රෑ වෙන තෙක් කඩය ඇරගෙන සිටීමට ජයසේන එතරම් කැමැත්තක් නොදැක්වීය.

ජිනදාස ලහි ලහියේ කඩයට ගොඩ වූයේ අවසන් පියන් දෙක වසා දැමීමට ඔන්න මෙන්න තිබියදීය.

"මොකෝ මුදලාලි, කලින්ම කඩේ වහන්න යන්නේ?"

"ඇයි ජිනදාස, දන්නැද්ද වෙච්ච දේ?"

"නෑ, මම දන්නේ නෑ. මොකද වුණේ?"

"ඊයේ කඩේ හොරු කැඩුවානේ. තිබ්බ සකල මනාම අරගෙන ගියා. ඉතුරු වුණේ මෙන්න මේ සිල්ලර කාසි ටික විතරයි."

"නෑහ්, හාන්කවිසියක්වත් මම දැනගෙන හිටියේ නැහැ."

"රෑ වෙනකන් කඩේ ඇරගෙන ඉන්න එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. දැන් කාලේ බොහොම නරකයි. ඒකයි මං මේ කලින්ම වහන්න කියලා හිතුවේ. ජිනදාසට මොනවද ඕනේ?"

"මට කොහු කඹ කැරලි පහක් දෙන්නකෝ. තැඹිලි එල්ලන කඹ ඔක්කොම වගේ දිරලා දැන්."

"ආ, මෙන්න. ඉතුරු නම් මෙච්චර තමා තියෙන්නේ. දහයක් පස්සේ ආපු වෙලාවක ගමුද?"

"අයියෝ මුදලාලි, ඕක මොකක්ද? මොකෝ අපි නාඳුනන මිනිස්සුයෑ?"


🪙🪙🪙

බුර බුරා නැගෙන අග්නි ජාලය, ඉතා මහන්සියෙන් තනාගත් සිය තැඹිලි මඩුව දවා හළු කරන ආකාරය ජිනදාස බලා සිටියේ රූරා වැටෙන කඳුළැලි සහිතවය. එදින උදෑසනම ගම වටා ගොස් කපාගත් තැඹිලි වලු කිහිපයද බැඳගත් පාපැදිය වෙර යොදා පදිමින් සිය මඩුව දෙසට ළඟා වෙමින් සිටියදී, වෙනදා නොදුටු අමුතු දසුනක් සිය මඩුව දෙසින් දුටු ජිනදාසට එක්වරම එය කුමක්දැයි අවබෝධ කරගැනීමට නොහැකි විය.

එහෙත් කල් යාමට මත්තෙන් සිදුවෙමින් පැවති දේ අවබෝධ කරගත්තද, ඒ වන විට ප්‍රමාද වැඩිය. ගිනි දෙවියා සිය විකුමන් අවසන් කරන තෙක් නරඹන්නෙකු ලෙස සිටිනවා හැර වෙන විකල්පයක් නොමැති බව තේරුම්ගත් ජිනදාස, ආරක්ෂිත දුරක සිට එය නරඹමින් සිටියේ එකා දෙන්නා බැගින් වට වී සිටි පිරිසේ අනේක ප්‍රශ්නවලට පිළිතුරු සොයමිනි.

අවසානයේදී මඩුවෙන් ශේෂ වූයේ දැවී හළු වී ගිය තැඹිලි කපන කොටය සහ පිළිස්සී ගිය සිල්ලර කාසි කිහිපයක් පමණි. ඒ පෙරදින ජයසේන මුදලාලි විසින් කඹ මිලදී ගැනීමේදී ලබා දී, තමන් කඹත් සමඟම මඩුවේ දමා ගිය සිල්ලර කාසි කිහිපය බව ජිනදාසට සිහි විය.


🪙🪙🪙

විලියම්ස් පවුල ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි දසවන හෝ එකොළොස්වන වතාව මෙය විය යුතුය. මුල්ම වරට ඔවුන් මෙහි පැමිණෙන විට, අද නව හැවිරිදි වියේ පසුවන සිය දියණිය නොසිටි බව විලියම්ස්ට හොඳින්ම මතකය. ඔවුන් ඒ තරම්ම ලංකාවට ලැදිය. නිවාඩුවක් ලද සැණින් ලංකාවේ සංචාරය කිරීම විලියම්ස් පවුලේ ජනප්‍රියම විනෝදාංශයයි. එහෙයින්ම ඔවුන්ට දැන් කැඩුණු සිංහලෙන් අදහස් හුවමාරු කරගැනීමද එතරම් දෙයක් නොවීය.

මෙවර ඔවුන්ගේ සැලසුම වූයේ සති දෙකක් ලංකාවේ ගත කොට ඉන්පසුව සංචාරක මගී නෞකාවකින් ඕස්ට්‍රේලියාව බලා ගමන් කිරීමය. නෞකාවේ කාලසටහනට අනුව මෙවර නත්තල ගත කිරීමට වන්නේ මහ මුහුද මැද නෞකාවක බව විලියම්ස් දැන සිටියේය. එක්තරා නැවුම් වෙනසක් ලෙස සිතා එය පිළිගැනීම හැර වෙන විකල්පයක් ඉතිරිව නොතිබුණි.

ඔවුන් දැන් ගමන් කරමින් සිටියේ සිය සංචාරය අවසන් කොට නැව් නැගීම සඳහා කොළඹ වරාය වෙතය. ඒ යන අතරවාරයේ මාර්ගය පසෙක වූ තැඹිලි කඩයක් දැක, තැඹිලි ගෙඩියක් බීමට සිය කුඩා දියණියට උපන් දොළ නොසන්සිඳුවා යාමට තරම් දිරියක් විලියම්ස්ට නොවුණි.

තැඹිලි ගනුදෙනුවේ අවසානයේ ඉතිරි මුදල් ලෙස ලැබුණු කාසි අතර තිබූ පිළිස්සී ගිය පහේ කාසිය, විදෙස් රටවල කාසි එකතු කිරීම සිය විනෝදාංශය කරගත් කුඩා දියණියට දුන්නේ, පිළිස්සීමෙන් එහි ඇතිව තිබූ අමුතු වර්ණ වෙනස නිසාමය.

කුඩා ක්‍රිස්ටීන් ද අනෙක් කාසිවලට වඩා එම කාසියට පෙම් බැඳි බැවින්, එය කාසි එකතුවට නොදමා සිය අතෙහිම ගුලි කොටගෙන, වරින් වර එහි අලංකාරය පිරික්සීම චර්යාවක් කරගත්තාය.


🪙🪙🪙

ගත පුරා වෙළෙන ශීතල සුළං දහරාද නොතකා, ඒ සුන්දර නත්තල් දිනයේදී කුඩා ක්‍රිස්ටීන් මඳකට සිය දෙමාපියන්ගෙන් වෙන්ව නැවේ තට්ටුව මත හුදෙකලාව ඔබ මොබ සක්මන් කරමින් සිටියාය. ඉමක් කොනක් නොපෙනෙන සාගරයේ අමුතු ආනන්දයෙන් ඇය මත්වී සිටියාය. මුහුදෙහි සැරිසරන ඩොල්ෆින් මත්ස්‍යයන්, විශාල තල්මසුන් හා කැස්බෑවන් පිළිබඳ පාසලේදී උගත් පාඩම් ඇයගේ කුඩා මනස හරහා වරින් වර ඇදී ගියේය. නැව සමඟ ගමන් කරන ඩොල්ෆින් රැළ ගැන අසා තිබූ කුඩා ක්‍රිස්ටීන්ට ඔවුන් දැකීමේ ආශාවෙන් නෞකාවේ වැට අද්දරට ගොස් එහි ගරාදියට හේත්තු වී මුහුද දෙස දෑස් යොමා මොහොතක් නොසෙල්වී සිටියාය.

ඒ වන විටත් ඇය ඉතා ආශා කළ ඒ අගනා වස්තුව වූ රුපියල් පහේ කාසිය ඇයගේ සුරතෙහි හොඳින් ගුලි වී තිබුණි. නෞකාව ඒ මොහොතේ ඉන්දුනීසියානු කලාපයට අවතීර්ණව, ඊළඟ නවතුම්පළ වූ පුකෙට් වරාය වෙත ගමන් කරමින් සිටියාය.

හදිසියේම මුහුදින් මතු වූ ඩොල්ෆින් රැළ කුඩා ක්‍රිස්ටීන්ව ආශාවෙන් කුල්මත් කළේය. ප්‍රීතියෙන් ඔද වැඩුණු ඇය දැත් ඔසවා ඩොල්ෆින් රැළට කෑගසන විට, ඇයටත් නොදැනීම සිය අතෙහි වූ පහේ කාසිය මුහුදට විසි වී ගියේය. ඩොල්ෆින් රැළ දැකීමෙන් ඇති වූ සතුට ඒ ක්ෂණයෙන්ම ඇයගෙන් අතුරුදහන් වූයේ, තමන්ගේ වටිනා කාසිය අහිමි වීමේ ශෝකය එම ස්ථානය අත්පත් කරගත් හෙයිනි. දෑසෙහි කඳුළු පුරවාගත් කුඩා ක්‍රිස්ටීන් සිය පියා සොයමින් දිව යන විට, ඇගේ අතින් මිදුණු කාසිය මුහුදු පතුලට ඇදී ගොස් සිය නවතම වාසස්ථානයෙහි අරක් ගත්තේය.

කුඩා දියණිය අස්වසාලූ විලියම්ස්, ඊළඟ අවුරුද්දේ ශ්‍රී ලංකාවේ සංචාරයකදී තවත් පහේ කාසියක් ලබා දෙන බවට පොරොන්දු වී, ඇයද රැගෙන නෞකාවේ පැවැත්වෙන නත්තල් සාදය වෙත ගමන් කළේය. තව හෝරා කිහිපයකින් උදාවන හෙට දිනය සමස්ත කලාපයටම කෙතරම් භයජනක සහ කාර්යබහුල එකක් වනු ඇත්දැයි හාංකවිසියක්වත් නොදැන සිටි ඔවුහු, නත්තල් උත්සවයේ ප්‍රීතිය තුළ ගිලී සිටියහ.


~~නිමි~~

ලියුවේ:
~~ සෙන්නා / 14.11.2026

No comments:

Post a Comment

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

අදෘශ්‍ය වාහකයෝ

2026 නොවැම්බර් 14 ඔ හු ජීවිතය පිළිබඳ ආශාව අත්හැරියේය. එය තම ජීවිතයේ අවසාන නිමේෂය බව ඔහුට පසක් විය. වේගයෙන්, වැරදි පසින් තමා ඉදිරියට ඇදී එන ව...

Search This Blog