Friday, May 15, 2015

යාචකයෝ

2015 වෙසක් මස 15 වෙනිදා



ඇයි දරුවෝ ඉතින් ඔයා ඒ මනුස්සයව මැරුවේ !?      

ooooo

අසුන්දරත්වයේ ආරම්භයට මොහොතකට කලින්, එනම් බ්‍රේක් පැඩලයට දකුණු පය යෑමට නිමේෂයකට කලින්, ජීවිතය කෙතරම් සුන්දරදැයි මද හසින් යුතුව මම මෙනෙහි කරමින් සිටියෙමි. ආදරණීය බිරිඳක්, හැම දෙයකටම දක්ෂ දරු දෙදෙනෙකු, ඉහළ වැ‍ටුපක් සහිත ‍රැකියාවක්, නිවසක්, වාහනයක් ඇතුළු සැපපහසු දිවියකට ඇවැසි සියල්ල හිමිව සිටි මා හට එසේ සිතීමට අවැසි සියලු හිමිකම් තිබුණේයැයි කිව හැකිය.

එහෙත්, දෛවයේ නියමයන්ට යටත්ව හෝ කර්මයේ බලපෑමට අනුව රතු එළිය දැල්වුණ බැවින් දකුණු පය ක්‍රියාත්මක විය. රතු එළිය කොළ පැහැයට හැරෙන තෙක්, ගීත වාදකයෙන් වැයෙන මිහිරි ගීතයට අනුව උරුවම් බාමින්, ඇගිලි තුඩු වලින් සුක්කානමට තට්‍ටු දමමින් සිටි මම ඉදිරියෙන් තිබූ වාහන වලට අත පාමින් ක්‍රමක්‍රමයෙන් මා වෙතට ළඟා වෙන සිගන්නා දෙස අරමුණකින් තොරව බලා සිටියෙමි.

සිගන්නන්ට යමක් දීමේ දී මා විසින් සලකා බැලූ කාරණා කිහිපයකි. වෙනයම් කර්මාන්තයකින් දිවි ගැට ගසා නොහැකියැයි සිතෙනා තරමට අංග විකල වූ හෝ අත් පා අහිමූ වූ හෝ වයස්ගත වූ පුද්ගලයෙක්නම් අනිවාර්යයෙන් කීයක් හෝ පහතට යන වීදුරුවෙන් එළියට දික් වෙනු ඇත. සිගාකෑම වෘත්තියක් කරගත්තෙකුයැයි සිතෙන අයෙක් වුවහොත් පසුම්බියෙහි සෙලවීමක් සිදු නොවේ. එවන් අය දෙස එක එල්ලේ ඇසට ඇස යොමා බලා සිටීම ඔවුන්ව ඉක්මනින්ම වාහනය අසලින් ඉවත් කරවා ගැනීමට අත්දු‍ටු ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයකි.

මෙම හිගන්නාද දෙවෙනි ආකාරයේ වංචා කරුවෙකියැයිද, ඔහුට මා කිසිවක් නොදෙනේයැයිද, ඔහු මා වෙතට ඒමට පෙරම මම තීරණය කෙළෙමි. මවා ගත් කොරයකැයි මා අනුමාන කළ කොරයක්ද සහිතව, හැරමිටියක් ගසමින් මා වෙත පැමිණි ඔහු අත පාමින් මොන මොනවාදෝ කියා පැවේය. ඒවා ඇසීමට මාහට උවමනාවක් නොතිබූ බැවින් මම සුපුරුදු ක්‍රමවේදය අනුගමනය කරමින් ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටින්නට වූයෙමි. කිහිපයක් වැටීගිය දත් වලින් හා ඇද වූ තොල් වලින් සමන්විත වූ ඔහුගේ මුහුණට වැවී තිබූ ‍රැවුල එක් කොට තිබුණේ පුදුමාකාර විසුළු පෙනුමකි. මෙහිදි මා අතින් කිසි දිනෙක නොවුණු දෙයක් සිදු විය. ඔහුගේ මුහුණෙහි වූ විසුළු පෙනුම මා "බකස්" අනුකරණයෙන් සිනා ගැස්සවීය. මා එය නවත්වා ගැනීමට පමාවූවා වැඩිය. එයින් කුපිත වූ සිගන්නා අතෙහි දරා සිටි හැර මිටිය තෙවරක් බිමට ඇන්නේ මොනමොනවාදෝ මුමුණමිනි. ඒ සමඟම "දඩාං" අනුකරණයෙන් වාහනයේ බඳට හැරමිටියෙන් පහරක් ගසමින් වේගයෙන් එතනින් ඉවත් විය. වාහනයෙහි දොර හැර " ඒයි මෝඩයා" යි කෑ ගැසූ මම වාහනයෙන් බැස එය පරික්ෂා කිරීමට සිතනා මොහොතේම පි‍ටු පාස වාහන වලින් නිකුත් වූ අඛණ්ඩ නළා නාදය මා බලහත්කාරයෙන්ම ඉදිරියට තල්ලු කරවීය.

                                                                           ooooo

කරදර පැමිණෙන්නේ එකපිටය, වැල නොකැඩීය, අඛණ්ඩවය, අවිච්චින්නවය. ගංගාවක දිය වැල් පහතට ගලානා අයුරින් එකක් පි‍ටු පස එකක් වශයෙන් කරදර ඔබ සොයා එනු ඇත. එකකට මුහුණ දී අවසන් වීමටත් පෙර අනෙක් කරදරය ඔබ ඉදිරියේ ප්‍රාදූර්භූත වෙනු ඇත. ඒ, ඒවායේ ස්වභාවයයි. මුහුණ දීම හැර අන් යමක් ඔබට ඉතුරු නොකිරීමට ඔවුන් වග බලා ගනු ඇත. ඊශ්වරයාටත් බටකොළ කැවූ සෙනසුරාට මා මොන නර පනුවෙක්ද !

‍රැකියාව, මිනිසකුගේ අභිමානයයි. කු‍ටුම්භය රක්ෂා කරමින්, ඔවුන් ඉදිරියේ පතාක යෝධයෙකු සේ නැගී සිටීමට ඉවහල් වන ප්‍රබල සාධකයයි. එවන්වූ ‍රැකියාවටම කණකොකා හැඬු කල්හී!

එදින උදෑසන අවදිවන විටත් ලෝකය රුවිතයට යාමට ආරම්භ වී තිබිණි. පසුදින රාත්‍රියේ ඉතා සුහදව නින්දට ගිය බිරිඳ කිසිඳු සිතාගත නොහැකි හේතුවකින් තොරවම "පුප්පමින්, ගස්සමින්" සිටියාය. වෙනදා "මොර්නිං තාත්තා" කියා හාදුවක් පවා දෙන දරු දෙදෙනා වෛරක්කාරයන් මෙන් මා වෙත සමීප වීම පවා ප්‍රතික්ෂේප කළහ. විපිළිසරව සිටි මා, මාගේ දැනුමින් තොරව නින්දෙන් හෝ අමිහිරි යමක් වීදැයි මතක් කරගැනීමට මොළය වෙහෙසමින් සිටියෙමි. වෙනදා දණ ගසා වැඳ හාදුවක් පවා දී පාසල් යන දරු දෙදෙනා නොකියාම පාසල් බලා පිටත් වූ අතර, බිරිඳ මා පිටත් වීමට මොහොතකට පෙර නාන කාමරයට වැදී දොර වසාගත්තාය. "මම ගිහින් එන්නම්" යැයි කෑගසා කී මා ප්‍රතිචාරයක් වෙනුවෙන් නිමේෂයක් නැවතුනද එවැන්නක් නොලැබුණ බැවින් පිටත් වීය. ඔවුන් ඉදිරියෙහි මා මෙතරම් සැහැල්ලුවට පත්විය යුතු නොවේ යැයි මාන්නය මට බලකර සිටියේය.

"වෙරි ගුඩ් මොර්නිංග් සර් ! කොහොමද ? " ඒ ඊයේ සහ ඊට පෙරය. අද ආරක්ෂක නිළධාරියා මා පයිසයකටවත් මායිම් නොකෙළේය. මා දු‍ටුවද නොදු‍ටු ලෙස අහක බලාගනු මම හොඳින්ම නිරීක්ෂණය කෙළෙමි.
                                                                            
"අන්න බොස් ඔහේට එන්න කියනවා" ඒ වෙනදා ඉතා හිතවත් එහෙත් අද, ගරු සරු නැති ලේකම් වරියයි.

මම සැබවින්ම තුෂ්ණිම්භූත වී සිටියෙමි. මුළු ලෝකයම කතා වී මා හට බ්‍රහ්ම දණ්ඩනය දුන්නාක් වැනිය. මෙවැන්නක් සිදුවිය හැක්කේ කෙසේද !?

ගොදුරක් ගිලීමට හදන පිඹුරකු සේ ප්‍රධානියා පරිගණකයට ඔරවාගෙන සිටියේය. "ටක් ටක්" ලෙසින් දොරෙන් මතුවූ බාධාව නිසා මදක් හිස ඔසවා බැලූ ඔහු වැඩි තැකීමකින් තොරව ඇතුළට එන ලෙස මා හට අතින් සන් කොට නැවතත් පරිගණකය ගිලීමට සැරසුණි.

"ගුඩ් මෝර්නිංග් සර් ! " ප්‍රතිචාරයක් නැත. වෙනදා තිබෙන උණුසුම් හිතවත් කම් කිසිත් නැත. නිහඬව තත්ත්පර කිහිපයක් ගෙවී ගියේය. සිදු විය හැක්කේ අවැඩක් මිස වැඩක් නොවන බව ඉවෙන් මෙන් දැනුණ හෙයින් 'ලබ් ඩබ්, ලබ් ඩබ්' අනුකරණයෙන් හදවතින් නැගුණ ගැස්ම වැඩිවිය. එය නිහඬව ගෙවී ගිය තත්ත්පර ගණන අවබෝධ කරගැනීමට පිටිවහලක් විය. මා තාමත් සිටගත් ගමන්ය. හිඳ ගැනීමටවත් ආරධානයක් නොමැත.

"සර් මට එන්න කිව්වේ ?"

මා දෙස නොබලාම මේසයෙන් කොළයක් ගත් ඔහු, මා වෙත දික් කරමින් නැවැතත් ගොදුරට ඉව ඇල්ලීය. ගැහෙන හදවතින් හා වෙව්ලන දෑතින් එය පිළිගත් මා, මේ වරෙන්තුව කුමක් විය හැකිදැයි තේරුම් ගැනීමට උත්සහ කරමින් ඉහළ සිට පහළට දෑස් යැවීය.

"සේවය අත්හිටවීමේ නිවේදනයයි" යන අකුරු කිහිපය කියවා ගත් සැණින් මා අවසර නොගෙනම පු‍ටුවක් ඇද වාඩි වූයේ වෙව්ලීමට ගත් දෙපා තව දුරටත් ශරීරයේ බර දරාගෙන සිටීමට සූදානම් නැතැයි හැඟුණු හෙයිනි.

"ඇයි සර් මේ !? "

"වැඩි කතා ඕනා නෑ, විස්තරේ ඕකේ ඇතිනෙ. අපි ඉන්ක්වාරි එකට කතා කරලා ලියුමක් එවනකම් තමුන්ට ගෙදරට වෙලා ඉන්න පුළුවන්" පිඹුරා ගෙරවූයේ ගොදුරටයැයි මුලින් සිතුණ හෙයින් නිමේෂයක අස්වැසිල්ලක් ලැබුණද, ඊ ළඟ නිමේෂයේ ඒ වදන් මා වෙනුවෙන් බව පසක් වූයෙන් ඒ අස්වැසිල්ල නැවතත් මා හැර ගියේය.

වැඩි කතා සුබ නොවන බව අවබෝධ කොට ගත් මා කොළයත් ‍රැගෙන එතනින් ඉවත් විය. ප්‍රධානියාගේ කාමරයේ සිට එන විට ඒ වෙත යමින් සිටි මාගේ කාර්යාලීය පසමිතුරා වූ දර්ශන හමුවිය. මා දෙස බලා සමච්චල් සිනාවක් හෙළු ඔහු, මා නොතකාම ප්‍රධානියාගේ කාමරය බලා ගියේය.

ලිපියෙහි සඳහන්ව ඇති ආකාරයට, මාගේ දෙපාර්තමේන්තුවෙහි ලක්ෂ අසූවකට වඩා වටිනාකමින් යුක්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇති අතර එහි ප්‍රධානියා වශයෙන් සම්පූර්ණ වගකීම මා වෙත පැවරී ඇත. මා ලෙහෙසියෙන් ගැලවිය නොහැකි උගුලක පැටලී සිටින බව අවබෝධවන විට ප්‍රමාද වැඩිය. මේ සියල්ල පි‍ටුපස ඇති හස්තය මා හට රහසක් නොවේ.

දර්ශන, ආයතනයෙහි පරණ සේවකයෙකි. සෑම මිලදී ගැනීමකින්ම, සෑම ටෙන්ඩරයකින්ම අයථා ලාභ ඉපයීමෙහි රුසියෙකි. වසර ගණනාවක් පුරා ඉතා සූක්ෂම අයුරින්, මා පැමිණීමට පෙර මෙම දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියාද සමගින් එකතුව කෙරීගෙන ගිය මෙම වැඩ පිළිවෙළ මාගේ ආගමනයත් සමඟින් නතර වූයේ එවන් අයථා කටයුතු සම්බන්ධයෙන් මා දැක්වූ විරෝධය හේතුවෙනි. එවක් පටන් දර්ශන මා කෙරෙහි උඩින් මිතුරු, යටින් සතුරු ආකල්පයක් අනුගමනය කළ බව මා හට නොරහසක් වුවද මා එය නොදන්නවාක් මෙන් සුපුරුදු ලෙසින් ඔහුවද ඇසුරු කෙළේය. නමුත් ලක්ෂ ගණනින් ලද ආදයම් අහිමි වූවෙකු, එම ආදයමට හුරු වූවෙකු, වෙඩි කෑ ඌරකු මෙන් ක්‍රියාත්මක විය හැකියැයි අනුමාන නොකිරීමට තරම් අමනෝඥ වීමේ ප්‍රතිඵලය මම දැන් භුක්ති විඳිමින් සිටිමි.

ලිපියෙහි ප්‍රකාරව මා පරිහරණය කළ, ආයතනය සතු සියල්ල නැවත භාරදිය යුතුවූ බැවින් බොහෝ කලකට පසු දුරකථන ජාලයකින් මිදුණු මා බස් රථයකින් නිවෙස බලා ගමන් කරමින් සිටින්නේය.

උදෑසනම සිට අහේතුක බ්‍රහ්ම දණ්ඩනය නම් වූ ගසෙන් වැටී හතර හංදි කඩාගෙන සිටි මා හට, සේවය අත්හි‍ටුවීම යන ගොනාද ඇන්නේය. මේ සම්බන්ධයෙන් බිරිඳගේ ප්‍රතිචාරය කුමක් වේදැයි අනුමාන කිරීමට මම වෙහෙසුනෙමි.වෙන දිනෙකනම් ඇයගේ ප්‍රතිචාරය අනුමාන කිරීම අපහසු නොවුනද, අද උදෑසන පටන් සිදුවෙමින් පවතින දෑ නිසා අත්දකින තෙක් එය ගැටලුවක්මය. වේලාසනින් ආපසු පැමිණීම හා පයින් පැමිණීම යන කාරණා ඇය පුදුමයට පත් කළද කිසිත් නොවිමසා සිටීම සැබවින්ම මා ප්‍රකෝපයට පත් කළේය.

"තමුසෙට මොන යකෙක්ද වැහිලා තියෙන්නෙ ? උදේ ඉඳන් මෙතන බුම්මගෙන පුප්පන්නේ ? " ඒ, ඉවසීමේ සීමාව ඉක්මවා ගිය මාය.

මේ, මෙතෙක් කල් දක්නට නොතිබූ රංඩු සරුවල්, බැණ අඬ ගහගැනීම්, ශාප කිරිම්, නින්දා කිරීම, එකිනෙකා කෙරෙහි කරගන්නා අයථා චෝදනා, සැක කිරීම් වැලක ආරම්භය පමණි. පවුලේ මෙතෙක් පැවති සාමය, සතුට, සමාදානය, ආදරය, සෙනෙහස කොහේ ගියාදැයි සොයා ගැනීමටවත් නොහැකි ලෙසින් අප හැර ගියහ. දරා ගැනීමට අපහසුම කාරණයනම් දරු දෙදෙනාත් මා කොන් කිරීමයි. කිසිඳු හේතුවකින් තොරවම එදා සිට ඔවුන් මා සමගින් වචනයකුදු නොතෙපලූහ. අප රංඩු සරුවල් වන සෑම විටකම ඔවුන් හරි වැ‍රැද්ද නොතකාම මවගේ පාර්ශවය ගනු ලැබූයෙන් මා නිරන්තරයෙන්ම හුදකලා විය. ‍රැකියාව අහිමි වීමෙන් ලද ආර්ථික පීඩනය ඇවිලෙන ගින්නට මනාව ඉන්ධන එකතු කෙළේය.

වැටෙනා හුස්මක් පාසා ජීවිතය එපා වෙමින් පැවතුණි. ආශ්වාස ප්‍රාශ්වාසය නැවති සියල්ල හමාර වන්නේ නම් මැනවී යැයි සිතුණ වාර අනන්තය. දන්නා කියනා සැමගෙන්ම එකවරම අහේතුකව කොන්වීම මෙලොව වසනා කිසිඳු මිනිසෙකුට දරාගැනීමට පහසු වේයැයි මම නොසිතමි. අඩුම තරමින් සියල්ලන් එක්වරම මෙලෙස හැසිරීමට හේතුව දැන ගැනීම උදෙසා මා සතු සියලු සම්පත් පරදුවට තැබීමට වුව මා සූදානම්ය.

දෙතුන් වසරක් සේ හැඟුණු දෙතුන් මසක ඇවෑමෙන් පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වීය. විකල්ප දෙකකින් එකක් ‍තෝරා ගැනීමට මා හට බල කෙරුණි. වංචා කෙරුණේයැයි කියවුණු මුදල ගෙවා දමා සේවයෙන් ඉවත්ව යාම හෝ ආයතනය් විසින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගයනට මුහුණ දීමයි. මේ කවර විකල්පයකින් වුව අවසානයේ මා හට ‍රැකියාව අහිමි වන හෙයින්ද, නීතියමය ක්‍රියා මාර්ගයන්ට මුහුණු දීමට තරම් මානසික හෝ ආර්ථික ශක්තියක් නොතිබුණෙන්ද, තවමත් අභිමානය යැයි යම්දෙයක් මා කෙරෙහි ඉතිරිව පැවති බැවින්ද, මා සතු එකම දේපල වූ නිවස විකුණා දමා පළමු විකල්පය ‍තෝරා ගැනීමට මම තීරණය කෙළෙමි.

මාගේ තීරණය දැනගත් වාහාම දණ්ඩෙන් පහර ලද සැපින්නක සේ කිපුණු බිරිඳ, මා හට දෙස් දෙවොල් තබමින්, ශාප කරමින් බැණ වැදුනද මාගේ තීරණය වෙනස් කිරීමේහිලා ඒවාට කළහැකි වූ දෙයක් නොවුණි.

හඳුනන නොහඳුනන සියල්ලන්ම මා කෙරෙහි සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාම නිවස විකිණීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවුණි. අවසානයේදී ඉතා නොවටිනා එහෙත් මාගේ අවශ්‍යතාවයට අවැසි ප්‍රමාණයට වඩා මදක් වැඩියෙන් මුදල් ලබා ගැනීමට හැකි වන වර්ගයේ ගනු දෙනුවකින් නිවසේ අයිතිය මා වෙතින් ඉවත් විය. ඉතිරි මුදලින් ඉතා කුඩා කුලී නිවසක සෙවණ ලබාගත හැකි වූයේන්, මහ පාරට නොවැටීමේ අවදානමින් තාවකාලිකව මිදුනේය.

මා, ‍රැකියාවක් සොයා සිදු කල සැම උත්සහයක්ම අසාර්ථක වූ බැවින්, පවුලේ ආර්ථිකය වෙනුවෙන් බිරිඳ මා නොවිමසාම ‍රැකියාවක් සොයාගෙන තිබුණාය. එයට විරුද්ධ වීමට හෝ ප්‍රශ්න කිරීමට හැකි වාතාවරණයක් මා වෙත නොවුණි.

එයින් ටික කලෙකට පසු දිනක්, මා බැහැරට ගොස් නිවසට පැමිණෙන විට, එක්තරා අමුත්තෙකු ආලින්දයෙහි අසුන්ගෙන සිටියේය. වයසින් මා තරම්ම යයි හෝ එයට වඩා මදක් බාලයැයි අනුමානය කළ හැකි ලක්ෂණ ඔහු කෙරෙන් විද්‍යාමාන විය. හොඳින් වැඩුණු ශරීරයකට හිමිකම් කී ඔහු, කඩවසම් යැයි කිව හැකි වර්ගයේ එකෙකි. කකුලක් පිට කකුලක් දමාගෙන සඟරාවක් බලමින් සිටි ඔහු, මා පැමිණි බව දැනුණු හෙයින් හිස ඔසවා මා දෙස බැලුවද, ඊ ළඟ මොහොතේදී ඒ මුහුණේ ඇඳී ගිය සමච්චල් සහගත සිනාවක් සමඟින් නැවතත් සඟරාව දෙසට යොමු විය. දැන් දැන් එවන් දෑ මා හට නොහුරු නොවූ බැවින්, මා එය නොතකාම බිරිඳ සොයා නිවස තුළට වැදුණේය. ඇය ඔහු වෙනුවෙන් බීමක් පිළියල කරමින් මුළුතැන්ගෙහි සිටියාය.

"කවුද අර ? "

"මගේ ඔ‍ෆිස් එකේ යාළුවෙක්. ඇයි ??" තවදුරටත් කිවයුතු හෝ ඇසිය යුතු යමක් නොතිබිය යුතු බව ඇයගේ ස්වරයෙහි විය.

                                                                              ooooo

මේසය මත වූ වීදුරු මල් බඳුනෙහි බරින් නොසැලී සිටියෙද, විවර වූ තිබූ දොරින් හැමූ සුළගින් ඉගිල යාමට උත්සහා කරමින් තිබූ, දෙකට නැමූ කොළයට වෙවුලන ඇගිලි තුඩු ළංවූහ. චකිතයෙන් සැලුණු සිත, එය ඩැහැගනීම මදක් පමාකිරීමට සිතුවාක් මෙන් හස්තයට පසුපසට වන සේ විධානය කෙළෙන් රත් වූ යකඩයකින් ඉවත් වන්නාක් මෙන් ඇගිලි තුඩු පසු පසට වූයේ දහසකුත් එකක් සිතුවිලි දහරා මාගේ මොළය අභ්‍යන්තරයෙහි කැලබෙමින්, මොළය හිරි වට්ට්වමින් එහේ මෙහේ ගමන් කරමින් සිටියදීය.

මා නිවසට ගොඩ වන විට දොර හැර දමා තිබුණි. නිවසට ගොඩවන විට පිළිගැනීමට බිරිඳක් සිටියේ මින් බොහෝ කලකට පෙර හෙයින් දැන් එවැනි දෑ පිළිබඳ බලාපොරොත්තුවක් නැති මා ආලින්දයෙහි වූ වේවැල් පු‍ටුවට බර වී මදක් නිසොල්මනේ සිටියේය. නිවසෙහි කිසිඳු ශබ්දයක් නොමැත. බිරිඳගේ හෝ දරු දෙදෙනාගේ කට හඬකුද අසන්නට නොමැත. බිරිඳට නමින් ඇමතූවද ප්‍රතිචාර නොදක්වන හෙයින් මා එයද නවතා දමා බොහෝ කල්ය. පු‍ටුවෙන් නැගී සිටි මම, එම කුඩා නිවසෙහි වූ කාමර දෙක හා මුළුතැන්ගෙය යන සියල්ල පරික්ෂාකර බලා ඔවුන් මෙහි නොමැති බව සැකහැර දැගතිමි. ඔවුන් කොහේ හෝ ගොස් අතැයිද, තව මොහොතකින් නැවත පැමිණෙතැයිද අනුමාන කළ මා නැවතත් ආලින්දයට විත් පු‍ටුවට බර වී කල්පනා ලෝකයෙහි ගිලී ගියේය. අනේක විද වූ සිත වෙහෙසන කල්පනා අතුරින් මේසය මත වූ මල් බඳුනට යටවී ඉගිල්ලිමට වෙර දරමින් සිටි කොළය මාගේ අවධානයට හසු වූයේ නිරායාසයෙනි.

සිදුවෙමින් පවතින අස්වාභාවික සිද්ධි දාමය නිසාම, සෑම විටම නරකක්ම බලපොරොත්තුවෙන් සිටි මා, මෙහි ලියවී ඇති අකුරු කිනම් අසුභ පණිවිඩයක් ගෙනේවිදැයි අවිනිශ්චිතව, සැලෙන දෑතින් එය ‍රැගෙන දිග හැරියෙමි. සිය මූසල හඬ පරිසරය පුර නින්නාද කරවමින් කණකොකෙකු ඉගිල ගියේය.

ඔව්, අත්දැකීම් තුළින් ලද පුරුද්දෙන් කළ අනුමානය ටක්කයටම නිවැරැදිය. එහි සටහන්ව තිබුණේ ඔවුන්ගේ විගමනයේ නිවේදනයයි. නිශ්චිතව කිව නොහැකි නමුත් ඉතා නුදුරු දිනෙක විය හැකියැයි මා නිතරම සැක කළ දෙයම සිදුවී තිබිණි. බිරිඳ සහ දරු දෙදෙනා මා හැර ගොස්ය. එක් වරම ලෝකයෙහි භ්‍රමණ වේගය වැඩි වු හෙයින්, සමබරතවය ගිලිහී යන සෙයක් දැනුණි. මේසයට හේත්තුකොට තිබුණු පු‍ටුවලට බර වෙමින් නොවැටී ගමන් කළ මා ඉතා වෙහෙස වී නැවතත් වේවැල් පු‍ටුවට ශරීරයේ බර නිදහස් කළද පෘථුවියෙහි භ්‍රමණ වේගය යථා තත්ත්වයට පත් වීමට තවත් කෙටි වේලාවක් ගත වීය.

හුදකලාව, තනිකම, ප්‍රියයන් විසින් නොතකා හැරයාම ආදි කී නොකී සියලු ආකාරයේ චිත්ත පීඩාවන් එම නිමේෂයේ මා පෙළමින් සිටියහ. ලෝකය රුවිතයට යාමට පටන් ගත් දා සිට එල්ලවූ සියලු ප්‍රහාරයන් උපේක්ෂාවෙන් දරා සිටියද මේ බිහිසුණු ප්‍රහාරය දරා සිටිමට නොහැකි සෙයකි. අසරණභාවයේ පතුළෙහිම ගිලිගිය මම ඊළඟ නිමේෂයේදී මාගේ පාලනයකින් තොරවම ඉකි ගසා හඬමින් සිටියෙමි. වසර බොහෝ කලකට පසු, ළමා අවදියෙන් පසු මම නැවතත් ළමයෙකු සේ ඉකි ගසා හඬමින් සිටියෙමි. තනිකමට, හුදකලාවට වැඩිහිටියෙකු, කුඩා දරුවකු කිරීමට බොහෝ වේලාවක් අවශ්‍ය නොවන බවට මම සාක්ෂි දරමි.

සිහි එළවා ගත් මුල්ම නිමේෂයේ මාගේ සිතුවිලි අප ආදරයෙන් බැඳුණු ඒ මුල්ම කාලයට දිව ගියහ. ජීවිතය පවතින තුරා මා හැර නොයන බවට නැවත නැවතත් දිවුරා සපථ කළ ඒ අහිංසකාවිය අද සිය පොරොන්දු කඩකර තිබුණාය. ආදරිය, අප කෙතරම් නම් තදින් එකිනෙකාට බැඳි සිටියාද ? ඔබ හා මා එ බැම්මෙන් මුදවා වෙන් කළ මේ බලවේගය කුමක්ද ? අපගේ ජීවිත වලට එළිය ‍රැගෙන ආ ඒ මිණි පහන්ද ඔබ ‍රැගෙන ගොස්ය. ඉඳින් මාගේ ජීවිතය සදාකල්හිම අඳුරෙහි බව පුන පුන කිව යුතුද ?

"නෑ.. මේක හීනයක්.. මේක හීනයක්.." මාවම කොනිත්තා ගනිමින් මම තෙපලුවෙමි. නැත එය සිහිනයක් නොව සැබෑවටම සිදුවෙමින් තිබුණි.

වේව්ල් පු‍ටුවෙහි ඇන්දට හිස බර කළ මා, ඇස්බැස්ටස් තහඩු වෙත නෙතු යොමා නොකැඩී ගලා යන කඳුළු දහරාවන්ට ගලා යාමට සලස්වා මොහොතකට පාෂාණිභූත වූයෙමි.

කඳුළින් බොදව දිස්වූ ඇස්බැස්ටස් තහඩු අතර, එදා, මේ පු‍ටුවෙහිම කකුලක් පිට කකුලක් දමා වාඩි වී, මාහට සමච්චල් සිනාවක් පෑ ජේතුතුකාරයාගේ රුව මොහොතකට ඇඳි නොඇඳි ගියේය.

                                                                              ooooo

පෑම්....පෑම්....පෑම් යන හඬ නිසා පියවි ලෝකයට පැමිණි මා, දකුණු පස බලන විටම "බුදු සරණයි" ලෙසින් පච්ච කොටාගත් යක්ෂයා පිම්මේ මා දෙසට පැමිණෙමින් සිටියේය. හදවතෙහි ස්පන්දනය වැඩිවිය. රෝම උද්ගමනය වී මුළු ශරීරයම අප්‍රාණිකව යන්නාක් මෙන් දැනිණි. "බුදු සරණයි" යන්න අනුක්‍රමයෙන් විශාල වෙමින් විදුලි වේගයෙන් මා වෙත ළඟා වෙමින් පැවතුණු එම තත්ත්පරයෙන් දස දහසින් පංගුවේදී "ආපහු හැරිලා අහකට පැනපාං" යැයි කාගෙන්දෝ ලද අණ, දෙවරක් නොසිතාම ක්‍රියාත්මක කිරීම උදෙසා මා විදුලි වේගයෙන් වම් පාදය මත අංශක එකසිය අසූවක් කැරකී, ඒ වන විටත් ඉහළට එසවී තිබුණු දකුණු පාදය හැකි උපරිම දුරින් තියා නැවතත් වම් පාදය එස වූවා පමණී. ප්‍රමාද වැඩිය. බස් රථයේ ඉදිරි පස වම් කොනෙහි වැදුණු මා ඉදිරියට විසි වී මුණින් අතට බිම වැටීමත්, ඒ සමඟම වම් පාදයේ ඇතිවූ ඉවසිය නොහැකි දරුණු වේදනාවත් සමඟින් දෑස් ඉදිරියෙහි කළු අවකාශයක් මැවී යනු පමණක් මාගේ මතකයේ ඇත.

කරස්, කරස් හඬ නංවමින් කැරකෙමින් තිබුණු මළ බැඳුණු විදුලි පංකා පෙති, ලාවට විවර වෙමින් පැවතුණු දෑස් අතරින් මා දු‍ටු මුල්ම දසුනයි. ශරීරයට දැනුණු ඉවසිය නොහැකි වේදනාවෙන් නැගුනු කෙඳිරියත් සමඟින්, මා සිටින්නේ කොහිද යන්න සිහි එළවා ගැනීමට මම වෙහෙසුනෙමි. මොහොතකට සියල්ල හිස්ය. මම යනු කවුද කියා පවා මතකයෙන් ගිලිහී තිබිණි. එකි නෙකා හඹා ගොස් අල්ලා ගැනීමට අනවරත අසාර්ථක අරගලයක නියැලුණු පංකා පෙති දෙස බලා, සියල්ල සිහියට නංවා ගැනීමට මම වෙහෙසුනෙමි.

"ඒයි අන්න අර උන්නැහේට සිහිය එනවද කොහෙද !"

"කාටද බන්?"

"අර බස් එකට පැන්න පිස්සු යකාට බන්. අර කෙඳිරි ගගා දගලන්නේ, පොඩ්ඩක් බලහන්."

අපහාස, ඇනුම් බැණුම්, සමච්චල් කිරීම් මට නොහුරු දෙයක් නොවේ. ඒවාට උපේක්ෂාවෙන් මුහුණ දීමේ හා ප්‍රතිචාර දැක්වීමේ කලාව මම මැනවින් ප්‍රගුණ කර සිටියෙමි. සමච්චලයක්, අපහාසයක් මා හට මෙතරම් උදව්වක් කළ අවස්ථාවක් සිහියට නගා ගත නොහැකිය. ඔවුන්ගේ වදන් හිස් අවකාශයක අතරමංව සිටි මා හට සයුරේ අතරමංව සිටිනා විට හමුවූ මාලිමාවක් සේ විය. පිදුරු ගසෙහි එල්ලුණු මම ඒ ඔස්සේ අතීතයට ගියෙමි. "බුදු සරණයි" ලෙසින් පච්ච කොටා ගත් යක්ෂයා, අරමුණකින් තොරව ඇවිද ගිය මාවත, වෙන්ව යන බිරිඳ හා දරු දෙදෙනා, මහා හඬක් නංවමින් ඉහළ පහළ ගිය මිටිය, ‍තෝල්කයාගේ ගාම්භීර කෑගැසීම, කළු කබා හැඳගත් නීතිඥයන් හා මහේකාශ්‍යව ආසනාරූඪව සිටි සිටි විනිසුරුතුමා, එකින් එක මගේ මතකයට පැමිනුනි. එසේය, මම යනු කවුදැයි මම දැන් දනිමි. ඒ, කලෙක සියලු යස ඉසුරින් ආඪ්‍යව සැපවත් යැයි කිව හැකි ජීවිතයක් ගත කළ, හිමි කිසිවක් සැබෑවටම හිමි නැති බවත්, ඒ සියල්ල තාවකාලික බවත් මොනවට පසක් කරමින්, හිමිව තිබු සියල්ල වැල නොකැඩී අහිමිව ගිය අවාසනාවන්තයෙකි ! කාලකණ්නියෙකි !!

ඇඳ විට්ටමට හේත්තුවීමට අවැසි වූ බැවින් දකුණු කකුල නමා පතුල ඇඳට තද කොට, වම් කකුලද එම ස්ථානයටම ගෙන බර යෙදීමට කරන උත්සාහයේදී අමුත්තක් දැනිණි. වම් පාදය එසවුණද එහි අමුතු බරක් දැනුණ නිසා හා විලුබක් ඇඳට තද නොවූ බැවින් මදක් එසවී බැලූ විට අහිමි වීම් මා සිතා සිටි පරිදි අවසන්ව නොමැති බවත් එය ශරීරාංග දක්වාද පැමිණ ඇති බවත් පසක් වීය. වම් පාදය විලුබට මදක් ඉහළින් කපා දමා තිබුණි. මුළු හරීරයම දහදියෙන් තෙත්වී, අප්‍රාණික වීමට ගත වූයේ නිමේෂයකි. මළ මිනියක් සේ සුදු මැලිව සයනයෙහි වැතිරුණු මා කිසිවක් සිතා ගැනීමට නොහැකි තත්ත්වයක කොපමණ වේලා සිටියාදැයි මටම මතක නැත. අසරණ වීම යනු කුමක්දැයි මම වෙන කවරදාටත් වඩා හොඳින් අත්දකිමින් සිටියෙමි. බසයට යටවී මා මිය නොගියේ මංද ! සිදු විය යුතුව තිබුණේ එය වුවද සිදු වී ඇත්තේ අනෙකකි. මේ විඳවීමෙහි අවසානය කොතැනද !? නොදන්නා අත්භූත බලවේගයක් විසින් මුළු ලෝකයෙන්ම හුදකලා කරවනු ලැබූ මනුස්සයෙකුගේ පාදයක්ද අහිමි වූ විට අත්වන ඉරණම ගැන මා ඔබට විවරණ දිය යුතුද ? මාගේ අනාගතය හිතා ගැනීමටවත් නොහැකි තරමටම බිහිසුණුය.

බිරිඳ, දරුවන්, ‍රැකියාව, යාන වාහන, නිවස, නෑදෑ හිතවතුන්, මිතුරන් සහ අවසානයේදි මාගේ එක් පාදයක්ද මා හැර ගොස් අවසන්ය. ‍රැකියාව අහිමි වූ පසු ‍රැකියාවක් සොයා ගැනීමට මා ගත් වෙහෙස අපමණය. කිසිඳු ආකාරයක ‍රැකියාවක මා හට හිමිවීම මාගේ දුර්භාග්‍යය විසින් නතර කොට දමා තිබුණි. ඒ මා දෙපා සහිත ජීවියකුව සිටියදීය. දැන් මේ වාතාවරණය යටතේ කිසිඳු හෝ ‍රැකියාවක් ලැබේයැයි සිතීමට නම් මා උමතු වී සිටිය යුතුය. මම හදවතින් වැලපුනෙමි. එහි ආවේගය සිහින් ඉකි බිඳුම් වශයෙන් පිටත පැමිණීම වැළැක්වීමට මා හට හැකියාවක්වත්, උවමනාවක්වත් නොතිබුණි.

වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ, රෝහල් සහායකයන්ගේ අපහාස, සමච්චල්, බැණ වැදීම, අඩන්තේට්ටම් මතින් ගෙවී ගිය මාස හතරකට පසු, තුවාලය යම් පමණකට සුව වූයෙන්, රෝහලෙන් නික්මයාමේ අවස්ථාව ලැබුණි. මේ මාස හතර පුරාවටම සුව දුක් බැලීමට එකඳු වූ හිතවතකු නොපැමිණි  එකම රෝගියා මම වුනෙමි. භෞතචිකිත්සක විසින්, අනේකවාරයක් සිදු කළ අපහාස, සමච්චල්, බැණ වැදීම් වලින් පසුව මා හට ලබාදුන් මිය ගිය රෝගියෙකුගෙන් ලද කිහිලි කරු යුගලයට වාරු වෙමින් මම රෝහලෙන් පිටිවී ආවෙමි. ඉදිරිය කිනම් ආකාරයක් වේ දැයි අවිනිශ්චිත වුවද, මේ සිව් මාසය පුරාවට විඳි වේදනා සළකා බැලූ කල්හී කිනම් වූ ඉරණමක් සඳහා හෝ එතනින් නික්ම ඒම පිළිබඳ මම හදවතින්ම සතු‍ටු  වූයෙමි.

කළ යුත්තෙ කුමක්ද, යා යුත්තේ කොහේදැයි කියා අතීරණව මම මොහොතක් ගත කෙළෙමි. මෙයින් මතු මා හට ජීවත් වීමේ අරගලයට මුහුණ දෙන්නට වනවා ඇත. කෙතරම් අවලාද මධ්‍යයෙ වුවද කලට වේලාවට ආහාර ටික ලැබීම රෝහලේදී නොවැරදුනි. දැන් තත්ත්වය වෙනස්ය. අතෙහි සතයකුදු නොමැත. ‍රැකියාවක් ලබාගැනීමේ දුශ්කරතාවය නිසාම එය සළකා බැලීමටවත් නොහැකි තත්ත්වයක ඇත. ඉතිරිව ඇත්තේ සිඟාකෑම පමණී. අඩුම තරමින් වේලක් දෙකක් පිරිමසා ගැනීම උදෙසාවත් සිඟාකෑමට සිදුවී තිබිණි. අතීතයේදී කිසිඳු තත්ත්වයක් යටතේ සිතා නොබලන මෙම විකල්පය වර්තමාන තත්ත්වය ඉදිරියේදි ඉතා සාමාන්‍යය වී ඇත. මාන්නය, ආඩම්බරකම සමාජය විසින්ම තලා පෙලා ඉවත් කොට තිබූ බැවින්, සිඟා කෑමෙන් දිවි සරි කර ගැනීම පෙර මෙන් අපහසු කටයුත්තක්කැයි මට නොසිතුනි.

කිහිලි කරු වාරුවෙන් ඉතා වෙහෙසක් දරා මම ඉදිරියට ඇදුනෙමි. යා යුතු ඉසව්වක්, අරමුණක් නොමැති වූයේන් හිස හැරුනු අතට ගමන් කෙළෙමි. මා සිටියේ පුංචි බො‍රැල්ල හංදියේය. මෙයින් කොයිබට යන්නේදැයි මොහොතක් ලතැවුනු මා, දෛවයේ මග පෙන්වීම මත දකුණට හැරී බො‍රැල්ල දෙසට ගමන් කෙළේය. අතර මගදි කරුණාවන්තයැයි, මා මුහුණ බලා අනුමාන කළ කිහිප දෙනෙකුට අත පෑවද, නොතකාහැරීම්, ඔරවා බැලීම් හැර කිසිවක් නොලැබුනි. මාගේ දුර්භ්‍යය හිඟමනක්වත් ලැබීමට ඉඩ ප්‍රස්තා නොසළසන සෙයකි. තත්ත්වය මෙසේනම් ජීවිතය හැරයාම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත.  එමගින් මා හට දුර්භාග්‍ය ලෙහෙසියෙන්ම පරදවාලිය හැකිය. ඒ පිළිබඳ සළකා බැලීම පසුවට කල්තැබූ මම කොර ගසමින් ඉදිරියටම ගියෙමි. මා දැන් බො‍රැල්ල මංසන්දියේය.

කිහිලිකරු දෙක පසෙක තබා බස් නැවතුම්පළ අසළ වූ සිමෙන්ති බැම්මෙහි අපහසුවෙන් වාඩි වී මදක් ගිමන් හැරියෙමි. බස් නැවතුමෙහි වූ බංකුවෙහි හිඳ ගැනීමට බිය වූයේ කිසිවකු හෝ මා එළවා දමාවියැයි සිතුනු බැවිනි. මිනිසුන් කඩියන් මෙන් එහේ මෙහෙ දුවමින් සිටියහ. කළෙක මා ද මේ ප්‍රවාහයට හසුවී ඉවක් බවක් නොමැතිව කඩි මුඩියේ දුවමින් සිටි අයෙකි. වාහන වලින් නැහුනු දුමාරය, නලා හඬ, දැඩි අවු රශ්මිය මා කඩිනමින්ම වෙහෙසට පත් කෙළේය. දැන් මධ්‍යහනටත් ආසන්නය. උදෑසන රෝහලින් ගත් ආහාරය මිස ඉන්පසු වතුර උගුරක්වත් නොලැබුනු බැවින් මා සිටියේ දැඩි පිපාසයකිනි. මා ක්‍රියාත්මක විය යුතු බවට ශරීරය අභ්‍යන්තරයෙන්ම පණිවිඩ නිකුත් වෙමින් පැවතුනි. නැතහොත් දිවා ආහාරයට වතුර උගුරක්වත් නොමැතිව දහවල ගෙවී යනු ඇත. දෙතුන් දෙනෙකුට අත පෑවද ප්‍රතිඵලය පෙරසේමය. තවමත් මාන්නය, ලැජ්ජාව සහමුළින්ම ඉවත්ව නොමැති බව ප්‍රායෝගිකව එහි නිරත වන විට ප්‍රත්‍යක්ෂ විය. සිගන්නන් සිගාකණ ආකාරය මදක් සිහියට නංවාගෙන එය උපරිමයෙන් රඟ දැක්වීමට උත්සහා කෙළෙමි.

ඒ දවසම කාලකන්නි, මූසල දවසකි. උදෑසන සිට අත පෑ කිසිවකුගෙන් සතයකුදු නොලැබීමට තරම් මාගේ දුර්භාග්‍යය බලවත් වී තිබුණි. කුසගින්න, වෙහෙස, දාහය, තුවාලයේ වේදනාව ආදි කී නොකී සියල්ල මා හෙම්බත් කොට මිරිකා දමා ඇත. අසල වූ වතුර නළයකින් කුස පුරා වතුර බී ගත් මම නැවතත් කොර ගසමින් බස් නැවතුමට පැමිණියේ ඒ රාත්‍රිය එහි ගත කිරීමේ සිතුවිලිද සමඟිනි. බස් නැවතුම පි‍ටුපසින් වූ තාප්පයත්, බස් නැවතුමත් අතර හොඳ ඉඩක්ද, සිමෙන්ති බැම්මක්ද වූයෙන් එය වර්ෂාවක් නොමැති නම් සිගන්නෙකුට රාත්‍රියක් ගත කිරීමට යහපත් තැනකි.

නින්දත් නොනින්දත් අතර මැදි ස්ථානයකදි යාන්තමින් දෑස පියවී ආවා පමණී. වේලාව කීයට පමණ ඇත්දැයි නිශ්චිත නොමැත. සමහර විට මධ්‍යම රාත්‍රියට ලඟා වී හෝ පසුවී ඇතුවා වන්නට පුළුවන. එක් වරම කොහේදෝ සිට කඩා වැදුනු හැඩි දැඩි පිරිමින් හතර දෙනෙකු හෝ පස් දෙනෙකු මා ඔසවා ගත්හ. කෑගැසීමට දැරූ තැත එකෙකුගේ දැඩි හස්තයෙන් මිරිකී ගියෙන් ව්‍යර්ත විය. ග්‍රහණයෙන් ගැලවීමට දැරූ තැතම මා තව තවත් එහිම සිර කරවීය. මොහොතකින් ඔවුන් මා වෑන් රථයකට දමා ගත් අතර මුව සහ දෑස් වහ වහා රෙදි පටි වලින් වැසී ගියේය. මා හට කළ හැකි වූයේ උගුරෙන් පිට කළ හ්හූක් හ්හූක් හඬ පිට කිරීම පමණකි. කලබලය හේතු කොටගෙන පෑරුණු වම් පාදයේ තුවාලය දැඩිව ඇදුම් කන්නේය.

ඒ මේ අත හැරෙමින් ගමන් කළ වෑන් රථය විනාඩි විස්සක පමණ ගමනකින් යම් තැනක නැවතුනි..

"හ්ම් වරෙන් බැහැපන්" යි විවර වූ දොරින් නික්මුනු රළු හඬකින් නිකුත් වූ විධානය මා දැන් බැසිය යුතුයැයි හැඟවීය. නමුත් ඒ වනවිට අන්ධ, ගොළු සහ කොර තත්ත්වයට පත්වී සිටි මා හට තනිව එවැනි හපන් කමක් කළ නොහැකියයි ඔවුන්ටම හැගුනු හෙයින්දෝ නැවතත් මා ඔසවා ගත්හ. දොරක් ඇරෙනු, වැසෙනු, තවත් දොරක් ඇරෙනු වැසෙනු ඇසුනු පසු මා එක් වරම බිම පතිත විය. තුවාලය බිම වැදීමෙන් දැනුනු වේදනාව තරු පෙනෙන තරමේ වුවද මා හට කල හැකි වූයේ උගුරෙන් හඩක් නැංවීම පමණකි.

"බොස්, මූ තමයි මිනිහා..." නැවතත් රළු හඬකි.. මම, අවට අත ගාමින්, කෙලින් වී බිම වාඩි වීමට උත්සහා කරමින් සිටියෙමි.

ටකස් ටකස් අනුකරණයෙන් ටයිල් ඇල්ලු පොලව මත වදින හඬකි. එය අනුක්‍රමයෙන් මා වෙත ළඟා වෙන බව තේරුම් ගැනීමට ශ්‍රවණය පමණක් ප්‍රමාණවත් වීය.

දැඩි අතකින් ඉදිරිපස කොණ්ඩයෙන් මිරිකා අල්ලා පිටිපසට කෙරිණි.

"‍තෝ කාගෙන් අහලද බල්ලො මගේ ඒරියා එකේ හිඟා කන්නෙ ? " ඒ සමඟම කම්මුල පුපුරා යන තරමින් වැදුනු කම්මුල් පහරකි.

                                                                               ooooo

ඔබ විශ්වාස නොකරණු ඇත. බොහෝ කාලයකට, එනම් ‍රැකියාව අහිමි වීමෙන් පසු මුල් වරට  මම සම්මුඛ පරීක්ෂණයක් සමත් වී තිබුණි. කුදලාගෙනයාම්, අඩන්තේට්ටම්, පහරදීම් මතින් ඇරඹුනු මේ අමුතු, අපූර්ව සම්මුඛ පරීක්ෂණය සමත් වීමම මා සැළකුවේ මෙතෙක් මා පෙළමින් තිබූ දුර්භාග්‍යයට එල්ල කළ පහරක් ලෙසිනි. මා බො‍රැල්ල මංසන්ධියෙහි "හිගන්නා හෙවත් යාචකයා" යන තනතුර සඳහා බඳවාගෙන තිබුණි. ‍රැකියාවෙහි කොන්දේසි සරළය. සෑම දිනෙක මා උපයන ආදායම "බොස්" ට ලබා දිය යුතු වන අතර ආදායමේ තරම මත "බොස්' විසින් තමනට කැමති මුදලක් මා අතට පත් කරණු ඇත. ඉඳ හිට ගැටයක් කපා අමතර ආදායමක් සොයා ගැනීමට බාධාවක් නොවුනද, එම කාර්යය වෙනත් "බොස්' කෙනෙකු යටතේ සිදු කෙරුණු බැවින් අපගේ "බොස්" ඒ සඳහා අප වැඩි වශයෙන් උනන්දු නොකිරීමට වගබලා ගත්තේ ගැ‍ටුම් අවම කරවා ගැනීමට විය යුතුය. මුදල් සඟවා ගැනීම හෝ වෙන යම් සෙල්ලම් දැමීමට යාම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමක් විය හැකි බවට ආරම්භයේදීම කෙරුණු පැහැදිලි අනතුරු ඇඟවීමකි.

සෝමදාස හෙවත් සෝමේ මා හඳුනා ගන්නේ මේ ඔස්සේය. ඔහු වසර ගනනාවක සිටම බො‍රැල්ල මංසන්දියෙහි සිගමනෙහි යෙදී සිටින යාචකෙයෙකු බවට මා හට දැන ගන්නට ලැබුනි. වයස හැට ඉක්මවූවෙකැයි අනුමාන කළ හැකි වුවද, ‍රැකියාවට පැමිණ කෙටි කලෙකින්ම සිගන්නන්ගේ පෙනුම බලා වයස කිව නොහැකි බව මම අවභෝධ කොටගෙන සිටියෙමි. රජය විසින් උපරිම වයස් සීමාවක් නිර්ණය කිරීමට අමතක කර දමා තිබූ මේ ‍රැකියාවට වයස වැඩි වීම, අංගවිකල වීම, ආබාධිත වීම් ආශිර්වාදයන්ය. "බොස්" පවා එවැන්නන් කෙරෙහි වැඩි අවධානයක් හා සැලකිල්ළක් දැක්වීය.

මත් පැනට ඉතා ගිජු වූවකු වූ සෝමේ, දවසේ උපයන ආදායමෙන් වැඩි කොටසක් සෑම දිනකම මත් පැන් වෙනුවෙන් වැය කළේය. මුලදි මුලදි ඔහු හා මිතුරු වීමටත්, ඔහුගෙන් වැඩි වැඩියෙන් උදව් පදව් හා ‍රැකියාවට අදාල වූ සියුම් ක්‍රම වේදයන් දැන හඳුනා ගැනීම උදෙසාත් මම ඔහුගේ මෙම දුර්වලතාවය පාවිච්චි කෙළෙමි. එකම මංසන්දියෙක උදෑසන සිට වෙහෙසෙන සෝමේ සහ මා, හවස ගනු දෙනු පියවීමෙන් පසු බො‍රැල්ල වෙලඳ සංකීර්ණයේ අඳුරු මුල්ලක් රාත්‍රිය ගතකිරීම  සඳහා ‍තෝරාගෙන තිබුණි. කඩෙන් ‍රැගෙන එන බත් පැකට් දෙකක් සහ සෝමේ විසින් නොවරදවා ගනු ලබන මත් පැන් බෝතලයෙන් සප්පායම් වන අප, නිදි දෙව් දුව සොයා යන්නේ බලාපොරොත්තු නොමැති හෙට දිනක් බලාපොරොත්තුවෙනි. බොහෝ කළකට පසු මා හට මිතුරකු ලැබි තිබුනෙ එසේය. සියයේ සිට බිංදුවට ඇද වැ‍ටුනු මා නැවතත් ඉහලට නැගීමේ අරමුණ පෙරදැරිව මෙසේ ජීවිතයට මුහුණ දෙමින් සිටියෙමි.

සිගමනෙන් ලද ආදායම පිළිබඳව මා මවිත නොවුයේයැයි කිවහොත් එය අමුම අමු මුසාවකි. ඒය ඒ තරම්ම විශාලය. විටෙක මටම සිනා සෙමින් "මේ ‍රැකියාවට පැමිණීමට මෙතරම් ප්‍රමාද වූයේ මංදැයි"  මගෙන්ම අසා ගනිමි.මෙහි නැත්තෙ සමාජ තත්ත්වය පමණි. සම්පූර්ණ එකතුව මා හට ලැබුනේ නම් එය මා කලින් ලද වැ‍ටුප මෙන් දෙගුණයක්වත් වනු ඇත. එහෙත් සෑම තැනකදීම මෙන්ම, මෙහිද වැඩි ප්‍රතිලාභ ලාභියා වූයේ  "බොස්" ය.

                                                                                ooooo

"එදා උදේ ඉඳන් සෑහෙන මහන්සි වෙලා හිටියේ ෆාදර්. කලෙක්ෂන් එකත් සෑහෙන හොඳයි. හැන්දෑවෙ හතරට විතර මම මහන්සි හින්දා, පාරෙ මැද්දෙ තිබුනු පේව්මන්ට් එකේ වැටට ටිකක් හේත්තු වෙලා මහන්සි ඇරගන්න ගමන් හිටියේ..."

සංඥා එළි යට නතරව තිබූ වාහන වලින් සිගමන් යදිමින් සිටි සෝමේ ගේ එක් ක්‍රියාකාරකමක්, මා හට එක් වරම මාගේ මතකය වසර ගනනාවක් අතිතයේ සිදුවූ, එහෙත් කාලයේ වැලි තලාවෙන් යටව අමතකව ගොස් තිබු, ඇත්තෙන්ම මාගේ ජීවිතයට අදාල නොවන්නේයැයි සිතුනු හෙයින් මා විසින් අමතක කර දමා තිබූ එක් සිද්දියක් නැවතත් සිහි කැඳවීය. මොන මොනවාදෝ කියමින් සෝමේගෙ හැරමිටිය තෙවරක් බිමට අනිනවාත්, ඒ සමඟින් දඩං හඬින් ඔහුගේ හැර මිටියෙන් වාහනයට වැදුනු පහරත්, ඒ සම්බන්දයෙන් මාහට ඇති අත්දැකීම නැවත මතකයට නැගීමට හොඳටම ප්‍රමාණවත් වීය. වාහනයේ හිමිකරු බැන වදිමින් සෝමේ  පසු පස අඩි දෙක තුනක් දිව ආවද නැවත හැරී ගොස්, වාහනය මදක් පරික්ෂා කර බලා වාහනයට ගොඩ විය. සෝමේ වාහන අතරින් නොපෙනී සැඟව ගියේ ක්ෂණිකව නොපෙනී සැඟව යන නින්ජා වරයෙකු මෙනි.

වහා යුහුසුළු වූ මා කිහිලිකරු වාරුවෙන්, කොර ගසමින් එහෙත් ඉක්මන් ගමනින් සෝමේ හමුවට ගියෙමි. ඔහුව හමුවූ විට මා ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටියේ සිතෙහි ලාවට මෙන් ඇඳි තිබූ ඒ රුව මතකයට නංවා ගැනීමටය. දත් නැති මුව, පෙරලුනු තොල්, වැවුනු ‍රැවුල.. ඔව් මේ ඔහුම බවට කිසිඳු සැකයක් නොමැත. මේ සිද්ධිය නොවන්නට ඒ රුව කිසිම අයුරකින් නැවත මෙසේ මාගේ මතකයට නො එනු ඇත.

"මොකද උඹට වෙලා තියෙන්නෙ ? " සෝමේගේ හඬින් මා පියවි ලොවට පැමිණි නමුදු, මම මවිතයේත්, කුතුහලයේත් උපරිමයෙහි ‍රැඳි සිටියෙමි. මගෙන් සිගමනක් පතා මා වෙත අත පෑ මිනිසකු සමඟින් එක්ව සිඟා කෑමට සැලැස්වීමට තරම් මාගේ දෛවය මා හට අකාරුණික වී තිබීම ගැන මා සිටියේ දෛවයෙහි  ක්‍රියාකාරිත්වය පිළිබඳ ඉමහත් මවිතයකිනි. ඕනෑම මිනිසෙකුව, ඕනෑම තත්ත්වයකට පත් කළ හැකි බවට මා ජීවමාන සාක්ෂියක් නොවන්නේද !? තවද, සෝමේ විසින් සිදු කරණ මෙම අමුතු ක්‍රියාව පසු පස ඇත්තෙ කුමක්දැයි දැන ගැනීමේ කුතුහලයත් නො අඩුවම මා හට විය. එහෙත් මේ එයට වේලාව නොවේ. ඔව්, අරක්කු !

එදින සවස අප නවාතැන්පල බලා ඇදීමට පෙර මා විසින් වෙනදා සෝමේ විසින් ගනු ලබන භාගය වෙනුවට මෙදින අරක්කු බෝතලයක්ම මිළදී ගතිමි. ඔහුව මත්පැනින් නහවා මගේ කුතුහලය සංසිදුවා ගැනීම අරමුණයි.

නිසි කල් යල් බලා, සෝමේ නිසි පදමට ලංවූ කල්හී මම ප්‍රශ්ණය ඉදිරිපත් කෙළෙමි.

" ඒයි සෝමේ, මොකෝ බන් උඹ අද හවස අර වාහනේට පොල්ලෙන් දමලා ඇරියේ. තව පොඩ්ඩෙන් ඌ උඹව සම්බෝල කරනවා... "

"හෙහ්... හෙහ් ඌ ඌ.. කොහෙ අල්ලන්ඩද බන් මාව.. අල්ලයි මගෙ නැට්ට.. හෙහ්.." 

"ඇයි ඉතින් උඹ පොල්ලෙන් හැහුවේ.. උඹ හැමදාම ඔහොම වාහන වලට ගහනවද ?"

"නෑ ශනා මම හැමදාම ඔහොම කරන්නැ...අරී.. හැමදාම ඕම කරන්නෑ.. " මත් පැන් යහමින් ක්‍රියත්මක වෙමින් පැවතුනි.

"මම් ඕම කරන්නේ බල්ලන්ට විතරයි මලේ.. බල්ලොන්ට විතරයි..අපි හිගන්නෝ තමා බන්.. ඒ වුනාට අපි උන්ගේ අත් පල්ලෙන් වැටිලා නෑනෙ.. උඹ දන්නවද සමහර බල්ලෝ අපිට හිනා වෙනවා මලේ අපිව දැක්කම.. මට ඒ බැල්ලිගෙ පුතාලව පේන්න බෑ... හරී.."

"අඩෝ අපි හිඟා කෑවට උන්ට වැඩිය හම්බ කොරනවා කියලා ඔය මහත්තුරු දන්නවද දන්නැ... අම්මගෙ සෙද්දේ මහත්තුරු.. සමහර එවුන්ගෙ අතේ පිච්චිය නෑ.. මහ ලොකු වාහන වල ගියාට. අම්මගෙ ශෙද්දෙ මහත්තුරු.. හෙහ්.. ක්‍රැශ් .. තුප් හ්..."

"ඉතිං ඌ උඹට හිනා වුනාද ? "

"නැතුව...! අහවල් මගුලකටද මම එහෙනම් ඌට ගැහුවෙ ??"

"උඹ මීට කලිනුත් ඔහොම කරලා තියනවද සෝමෙ අයියේ ?"

"වැඩිය නෑ බන් දෙතුන් පාරක්..මට හිනා වුන බල්ලො දෙතුන් දෙනෙකුට.." ක්‍රාහ් තුප් හ්. එයින් එක් බල්ලෙක් ඔහු ඉදිරියෙහි බව ඔහු දන්නේ නම් !

"ඉතින් ඇයි බන් සෝමෙ අයියේ උඹ එහෙම කරන්නෙ ? ඔහොම ගැහුවා කියලා උන්ට දැනෙන්නෙවත් නෑනෙ. අනික උන් දන්නෙත් නැනෙ උඹ මොකට එහෙම ගැහුවද කියලා."

"යකෝ උඹ මාත් එක්ක එකට හිගා කණ එකා තමා, ඒත් ඒවා දේව රහශ් මලේ.. අහන්නනම් එපා මම් කියන්නෑ..." මෙහි, සිනාසෙන අයට පහර දෙනවාට වඩා වැඩි දෙයක් ඇති බව මා හට එයින් පැහැදිලි විය. කුතුහලය දෙගුණ විය.

"ආඅන්න ආන්න සෝමෙ අයියේ උඹ මටත් කොලේ වහන්න හදනවා. එකට කන එකා වෙච්චි මටත් කියහන්කෝ ඉතින් හොඳ එකා වගේ"

මුලින් මුලින් ඔහු විසින් එය පැවසීම ප්‍රතික්ෂේප කෙළේය. නමුත් මත්පැනින් මනාව පෝෂණය වන විට, මා විසින් ඔහුව චා‍ටුවෙන් මුරුංගා ගසෙහි දල්ලටම ගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගෙ හදවත විවර කරවා ගැනීමට මා හට හැකි විය.

"මලේ මේ අහපන්.. මම මේක උඹට විතරමයි ඕන් කියන්නේ..ශරි.. ආයෙ කටේ කෙල බිඳක් බිම තියනවා නෙමේ ඕන්.. එහෙම කළොත් මම උඹව ඉතුරු කරන්නෑ.. ආයෙ එකේ දෙකක් නෑ.. ශරි.." ක්‍රාක්හ් තුප් හ්..

"කිව්වට පිළිගනින් ඕන්. මං ගාව තියනවා බන් පොඩි මන්තරයක්..ඕක මට දුන්නේ අපේ සීයා. උන්දෑ රුහුණේ මහ බලගතු මන්තරකාරයා. සීයාගේ ශාශ්තරේ අපි කාටවත් හරියට දුන්නේ නෑ. එක එකාට පොඩ්ඩ පොඩ්ඩ තමා දුන්න්නෙ. ඒක මතුරලා කාට හරි ඔහොම ගැහුවොත් ඌ ආයෙ විනාශයි...නැත්තටම නැති බංගස්තාන වෙනවා ඕන්. දැන ගනින්..මට ඔය අපේ බොශාව උනත් ලොකු නෑ බොල.. ඌ දන්නෑ මම කවුද කියලා.. ඕකා මාව ශූරන් කන්න හැදුවොත් මම ඕකටත් දෙනවා ශම්බුව.........." ඔහු විසින් තව තවත් මොන මොනවාදෝ දෙඩෙව්වද ඒ කිසිවක් මාගේ සවන් පත් අතරින් නොගියේය...මුලින්ම මා එය පිළිනොගත්තෙමි. සිහිනයක් දකිනවා යැයි සිතුවෙමි. හිස භ්‍රමණය වීමට ආරම්භ වූයෙ මත්පැන් නිසා නොවන බව සහතිකය. මොහොතකට සියල්ල විශ්වාසයත්, අවිශ්වාසයත් අතර දෝලනය විය. මාගේ ජීවිතය විනාශ කළ පුද්ගලයා මා ඉදිරියෙහි මත්වී නන් දොඩවමින් සිටී. මා කළ යුත්තේ කුමක්ද ? 

පලිගැනීමේ දූතයා නිදි ගැට හරිමින් අවදි වෙමින් සිටි භයානක නිමේශයයි ඒ.. මාගේ ජීවිතය එහෙම් පිටින්ම විනාශ කල මේ කාලකණ්නියාට තව දුරටත් ජීවත් වීමට ඉඩ දිය යුතුද ? තව කීදෙනෙකුගේ ජීවිත මෙලෙසින් විනාශ නොකරාවිද ? මේ කාලකණිනියාගේ මුහුණ දු‍ටු විට හිනා නොයන්නේ කාටද ? මම නොදන්නා අර පුද්ගලයා ගැන අවංකවම දුක් වූවෙමි. ඔහුට විඳිමට සිදුවන කරදර, ගැහැට වල ප්‍රමාණය ඔහු දන්නේ නම්.. ! අනෙක් අතට මූ කියන්නේ හුදු හිතලුවක්නම් ! මූගේ හිතලුව හා මගේ දෛවෝපගත ඇදවැටීම අහබු ලෙස හමු වූ සිද්දීන් ද්විත්වයක් විය නොහැකිද ? එසේනම් මූ තමා සතුව ඇතැයි සිතාගෙන සිටින මායාවී බලයක් පිළිබඳ හුදු සිහින දකින්නෙක් පමණක්ම විය හැකිය. මුගෙන් පහර කණ සියල්ලන් මා මෙන් විනාශයෙහි පතුලටම අද නොවැටෙනවාත් වන්නට පුළුවන. "පොඩ්ඩක් හිටහන්" මම මා හටම විධාන කෙළෙමි. "උඹට වෙච්ච දේ ආයෙ හිතලා බලපන්, මෝඩයා. මේ යකා කියන්නේ ඇත්ත තමා.. හිතපන් උඹේ විනාශය කොහොමද පටන් ගත්තේ කියලා. මුළු ලෝකයම උඹව කොන් කළා මතක නැද්ද ? එහෙම වුනේ මොකක් හරි අත්භූත යමක් නිසා නොවෙයිද ? මිනිස්සු ඇදගෙන වැටෙනවා තමා, ඒත් උඹට වුනා වගේ දෙයක් අහලවත් තියනවාද ? මේ කාලකණ්නියා කියන්නේ ඇත්ත තමා.. ඔය ඉන්නේ උඹේ විනාශයේ දූතයා. ඉතින් දැන් උඹ මොකද කරන්නෙ ?"

මාගේ දෛවය මා හට පෙන්වමින් සිටින මේ රඟදැක්වීම කුමක් විය හැකිද ? අවසන එය විසින්, මාව විනාශ කළ පුද්ගලයා යැයි සිතිය හැකි පුද්ගලයා අභිමුඛයටම මා ගෙනැවිත් ඇත. මා එය සම්පූර්ණ කළ යුතුද ? නොකළ යුත්තෙ මන්ද !

තවමත් මොන මොනවාදෝ වෙරි මතින් කියවමින් සිටි කාළකණ්නියා දෙස මම අධික පිළිකුලින් යුතුව බැලිමි. මත්පැනට ඉතා කෑදර මේ හිඟන කාලකණ්නියා, නැවතත් බෝතලය අතට ගෙන අමු අමුවේ උගුරට හලා ගනිමින් සිටියේය. ඌ සිය ජීවිතයේ බොන අවසන් අරක්කු වඩිය දෙස මම ද්වේෂය, පිළිකුල, නොයිවසිල්ල මුසු බැල්මකින් බලාගෙන සිටියෙමි.

-- නිමි --

ලියුවේ :
~~ සෙන්නා / 15.05.2015

64 comments:

  1. සෙන්නා,
    හරිම ලස්සන කතාවක්. ඒ උනත් අවසාන කොටස කියවනවිට නම් ඇඟ හිරිවැටිලා ගියා .

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමරසේකර,

      බොහොම ස්තූතියි උදෙන්ම ඇවිත් අදහස් දැක්කුවට..ඔයිට වැඩිය හිරිවැටෙන්න ලියා ගන්නනයි මට ඕනා වුනේ.. ඒත් අදහස් එන්නෑ අප්පා..

      නැවතත් ස්තූතියි.

      Delete
  2. ටිකක් වෙන්න බැරි සිදුවීම් ගොඩක්.... සාමාන්‍යයෙන් නිවැරදි කාරයෙක්ට හිගමනට වැටෙන්න වෙනවා අඩුයි..

    ReplyDelete
    Replies
    1. අමිල,

      වෙන්ඩ බෑ කියලා හිතෙන ඕනැම දෙයක් වෙන්ඩ පුළුවන්..

      උඹට කියන්ඩ, අපේ වඳ පුංචි අම්මගේ පුතා මේ ළඟදි කිව්වා, ඌ දවසක් කියෙව්වලු පිරිමියෙක් නිවුන්නු වදාපු කතාවක්.. ඉතින් බලහන්... :D

      ස්තූතියි ප්‍රතිචාරයට අමිල..

      Delete
  3. සෙන්නා සෙන්නා.. උඹ ඉදල ඉදල ආවා නේද??

    එකම එක සිදු වීමකින් උඹ පුදුමාකාර කතාවක් මවනවා බං.. මෙතන බොට නිමිත්ත වෙන්න ඇත්තේ එකම එක දෙයයි. ඒ අතිං කතාව ගොඩ නැගීමට කොයි තරං පරිකල්පනයක් තියෙන්න ඕනද?? හැබැයි මේක සෝමේගේ අවසන් අරක්කු වඩිය කරන්න මාන්සි වෙච්ච එකට මං විර්ද්ධයි.. කතාවට මම මොකක්ද කියන්නේ..... හරියට විශ්ව සාහිත්‍යොය් එන කෙටි කතාවක් කියෙව්වා වගේ.. එළද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. //හැබැයි මේක සෝමේගේ අවසන් අරක්කු වඩිය කරන්න මාන්සි වෙච්ච එකට මං විර්ද්ධයි//

      මම නම් පක්ෂයි.යකෝ තමන්ව හිගමනට ඇදලා දාපු තවත් අයටත් එහෙම කරන්න පුළුවන් මිනිහෙක්ට විරුද්ධ නොවී ඉන්නේ නැහැ සාමන්‍ය මිනිහෙක්නම්.වෙරි මතින් ඉන්න සෝමේව මරලා දන්නා ඕනේ කියන සිතුවිල්ල මේ කතානායක හිගන්නාට එක මොහොතකට හරි නාවොතින් පුදුමයි.

      Delete
    2. දේශකයා,

      ආවා නේන්නම් බොලන්.. දැන් ගියාට පස්සේ ඕන් ආයෙ කවදා එයිද දන්නැ බන්.. :D

      තොරණෙ විස්තරේ මෙහෙමයි. දවසක් හිගන්නෙක් හරියටම බො‍රැල්ල හන්දියෙදි අත පෑවා.. මම ඌට මුකුත්ම දුන්නේ නෑ.. කතාව පටන් ගන්නේ ඒ ඇත්ත කතාවෙන් තමා. පස්සේ පොර ටිකක් වෙලා අත දික් කරන් ඉඳලා යන්න ගියා.. ඒ යනකොට පොරගෙ හැර මිටිය ටිකක් තදින් බිමට ඇණුනා.. ආන්න ඒක තමා කතාවේ වස්තු බීජයේ උපත.

      හැබැයි මේක සෝමේගේ අවසන් අරක්කු වඩිය කරන්න මාන්සි වෙච්ච එකට මං විර්ද්ධයි..
      ඇයි ඒ කියලා දැනගන්න පුළුවන්ද ?

      හරියට විශ්ව සාහිත්‍යොය් එන කෙටි කතාවක් කියෙව්වා වගේ..
      හෙහ් කබ්බෝ ෆෝර්ම් නොකර හිටහන්.. ඔය එකෙක් පිස්සෙක්ද කියලත් අහලා තියෙන්නෙ...

      ස්තූතියි දේශා, දිරිගන්වන සුළු ප්‍රතිචාරයට..

      මනෝජ්, මටත් හිතුනේ ඕකව කන්න එපැයි කියලා තමා..

      Delete
    3. //එකම එක සිදු වීමකින් උඹ පුදුමාකාර කතාවක් මවනවා බං.//

      උඹ කිව්ව සිදු වීම තමා මම හිතුවේ. හැබැයි උගේ හැරමිටිය උඹේ වාහනේ වැරදීමකින් හරි තරහින් හරි වදින්න ඇතැයි කියලත් මම හිතුවා.. මට හිතුනා මෙච්චර නැති බංගස්තාන වෙච්චි එකා සෝමේගේ දන්න මන්තර වලට විරුද්ධ නොවෙන්න ඕන කියල. එතැන නිකං පැන්ටසි පොයින්ට් එකක් නේහ්.. ඒකයි..

      Delete
  4. සුපිරියට ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉන්ද්‍රජිත්

      Delete
  5. හම්මේ දීර්ඝ කාලෙකට පස්සේ අනුවේදනීය කතාවක් අරන් ඇවිත් තියෙන්නේ.
    දැන්ද බොට වසන්තේ ඇවිත් තියෙන්නේ :D ? අර ගමේ හිතවතාත් නැගිටලා තියෙන්නේ බොහෝම කාලයකට පස්සේ බොලා වගේම හිටං.

    මේ අර ඊයේ,පෙරෙයිදා බ්ලොග් එක වහලා දාපු කෙබර චන්දනගේ පොස්ට් එකකද කොහේද මම කිව්වා හිගන්නන්ට සල්ලි දීමේ මගේ ප්‍රතිපත්ති ගැන ප්‍රතිපත්තිය තමයි එහෙම මුදල් දෙනවා නම් ඔය මුකුත් හොයන්නේ බලන්නේ නැතුව දීලා දාන එක.සමහරු කියනවානේ "ඕකට දෙන්න එපා.ඌ කුඩු ගහනවා.බොනවා"කියලා වගේ එව්වා.මට එව්වා වැඩක් නැහැ.

    යාචකයා මගෙන් දෙයක් ඉල්ලුවා.තියෙනවා නම් මම දුන්නා,නැත්තම් නැහැ.එව්වාගෙන් කාරී නැහැ සෙන්නයියේ උඹේ කතාවනම් නියමයි. අර දේශා කියලා තියෙන "විශ්ව සාහිත්‍ය කතාවක්" වගේ තමයි.

    අනික මේ සෝමේ හරියට මාකටිං දන්නේ නැහැ.නැත්නම් තිබ්බානේ ඌට ඔය කඩ කෑල්ලක් හොයාගෙන "ජෝතිෂ්‍ය කාර්යාලයක්"දාගෙන වැඩ පටන් ගන්න.මහා මන්ත්‍රචාර්ය සෝමේ වගේ නමක් හදා ගත්තයින් පස්සේ බැරිය ඔය ජනාධිපති උපදේශක කමක් වුනත් අර ගන්න හිටං.:D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්. මොකද බන් චන්දනයට වුනේ එක පාරම. ලියුවෙ නැතත් බ්ලොග් එක එහෙම තියෙන්න අරින්න එපැයි.. අපරාදෙ උගෙ මසුරන් කතා ටික.. මේලකුත් දැම්මා, නෝ ආන්සර්..

      බේබද්දන්ට මොන මාර්කටින්ද බන්....

      ස්තූතියි ටිකක් වැඩියෙන් අගය කළාට... උඹ ඔය දේශකයා කියන ඒවා කියන්න ගිහින් අමාරුවෙ වැටෙන්ඩ එහෙම ඕන්.. ඕකා කට ඇරියොත් බොරුවක් පිබිනවා.. :D

      Delete
  6. සෙන්නා කාලෙකට පස්සේ ලස්සන කතාවක් කියෙව්වා...
    හැබැයි ගෙදර අය/ නෑදෑයෝ එකපාරටම හේතුවක් නැතිව තරහ වීම මට හරියට සෙට් වුනේ නෑ... එකටත් ඔය මොකක් හරි හේතුවක් තිබ්බ නම් හරි කියල හිතුනා. ඔය පරණ ගෑනු සීන් එකක් වගේ හෙහ් හෙහ්
    අනිත් ටික නම් නියමයි අඩුපාඩුවක් කියන්න බෑ..


    ඔය වගේ දෙයක් මට වුණා නම් මම මොකක් කරයි ද කියල හිත හිත තමයි මේ කොමෙන්ට් එක දාන්නේ හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම් අගය කළාට...

      ඒක අරූගේ මන්තරේ බලෙන් වුන දෙයක්නෙ... ඔය මන්තර මුකුත්ම නැතුව වුනත් සමහර දවස් වලට හැමෝම නිකන් පුප්පන ගතියක් උඹට දැනිලා නැද්ද ? :D

      ඔය වගේ දේවල් කාටවත් නොවේවා කියලා පතමු..!

      Delete
  7. නියම කතාවක්. අති විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මකලා.

      Delete
  8. පැතුම් කියල තියෙනව වගේ ගෙදර මිනිස්සු එකපාරටම මේ මනුස්සයව ඇතෑරල යන එක ඇරි අනික් ටිකනං උපරිමයි.
    ඒ උනාට ඔය යන්තර මන්තර වැඩ ගැනනං මගේ ඒ හැටි විශ්වාසයක් නෑ.
    අන්තිමට අරූ මැරුවෙ ඔළුව උඩක කළු ගල් තඩියක් අතෑරල වෙන්නැති නේද?
    නියමයි සෙන්නා කතාව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      උඹේ දෙමළ අකුරු ටික නොතිබුනානම් මම මේ වෙන ප්‍රසන්නයෙක් කියලා හිතනවා, අනිවා.. මූ තවත් තරුණ වෙලාද මන්දා !

      ඒ බන් මන්තර බලේනෙ.. ඕකට කියන්නේ බ්‍රහ්ම දණඩන විනාශං මන්තරේ කියලා... :D

      මරපු විදිහ ඕන විදිහකට හිතාගන්න තියලා තමා ඔතනින් නැවැත්තුවේ.. උඹට කැමතිනම් පොරවකින් ගහලා හරි කමක් නෑ මරා ගනින්.. :D

      ස්තූතියි අගය කිරීමට..

      Delete
    2. නෑ බං ඌ නොකිය කියන්නේ ඒ පින්තුරේ මගේ බ්ලොගේ එල්ලන්න කියලා.. අපි අහුවෙනයි ඕවට..

      Delete
    3. @ දේශකයා,
      හැක් උඹ ලොවෙත් ඔය ෆොටෝ එක එල්ලන්නනෙ නෑ එතන ඉරියාවට.

      Delete
  9. සෙන්නා කාලෙකින් ඇවිත් පේන්ට නැතුව හිටිය මුලු කාලෙටම හරියන්ට ලියලා නේ? රසවත් කතාවක්. මොකක්දෝ හිතට එනවා. අර හිඟන්නට හිනාවුනාට වෙච්ච දෙයක් වගේ.

    ඇත්ත කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිට දාපු කමෙන්ට් එක වෙනුවට ප්‍රසන්නයට දාපු එකමනෙ වැටිලා තියෙන්නෙ...

      ඔයා එහෙම හිගන්නන්ට හිනා වෙන්ඩ යන්නෑනෙ.. නේද ?

      මේක පුංචි ඇත්තක් විශාල බොරුවකින් ඔතපු කතාවක්...:D

      ස්තූතියි පොඩ්ඩි..

      Delete
  10. මොනවද කියන්නේ කියලා මම මේ තාම හිතනවා.. ඇත්තටම ලසනයි..

    මග ඇරුන කාලෙටත් එක්කම හරි යන්න කතාව ලියලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්... මග හැරුනු කාලෙට මේ මදි බන්.. මාස අටකින්ද කොහෙද මුකුත්ම ලියලා නෑ..

      Delete
  11. කුරුන්ද බ්ලොග් රෝලට දා ගන්න බැරුව හිටිය ලෙඩේ හරි.. සෙන්න ලියන්නැතුව හිටි ලෙඩෙත් හරිගියානම් වැඩේ කම්ප්ලීට්.
    අනිත් ඔක්කොම හිතා ගතහැකි ඒත් අර ගෙදර උන්දැයි ළමයිනුයි වෙනස් වෙච්චි විදිය හිතාගන්න බැරුව හිටියේ.. පස්සෙනේ දන්නේ ඔය නීචකුල වස් කවි ශාප කියන ඒවට එච්චර බලපෑමක් කරන්න පුළුවන් කියලා.. (මමනම් සත පහකට විශ්වාස කරන්නේ නෑ ඒත්..)
    අර දේශා කියුවා වගේ එක පුංචිම පුංචි සිදුවීමකින් මේ වගේ වටකුරු කතාවක් ගොතන්න උඹේ පරිකල්පන ශක්තිය ඉතාම ඉහළ වෙන්නෝනෙ මචෝ.. ජය ශ්‍රි!

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බන් බ්ලොග් රෝලට දාගන්න බැරි... ? සෙන්නගෙ ලිවිල්ල ඉතින් ආයෙ කවදා වෙයිද දන්නෑ.. බලමු..

      මාත් ඕවා විශ්වාස කරන්නෑ.. ඒත් ඒවා බොරුම කියලා ඔප්පු කරන්නත් බැරි හින්දා කතාවකට පොඩ්ඩක් දාගත්තට අවුල්ක් නැතුව ඇති මගේ හිතේ..

      පරිකල්පන මොකක්ද එකනම් කොහොමද කියන්න දන්නෑ බන්.. මාසයක් තිස්සේ එහෙට මෙහෙට හිතලා තමා කතාව ලියුවේ...

      ස්තූතියි ඇවිත් අගය කරලා ගියාට...

      Delete
  12. ඇඟ හිරි වැටිල ගියා. හරි, මන්තර කතාව අමතක කලත්, ‍රැකියාව අහිමි වීමෙන් පසු , සමාජයෙන් , තමන්ගේම පවුලෙ සාමාජිකයින්ගෙන් කෙනෙහිලි වෙච්ච කතාවක් මාත් එක්ක කිව්ව, ඉහල ‍රැකියාවක් කල අයෙක්ව මට මතක් වුනා.

    කතාව හොඳට ලියල තියන නිසා තමයි , ඒ කම්පනය තදටම දැණුනෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සා. අපොයි ඔව් රස්සාව නැතිවුනොත් මන්තර මුකුත්ම ඕනා නෑ, හැමෝම අහක බලනවා..

      Delete
  13. සුපිරියි පුතේ.... වියත් වියරණානුකූල බස්වහර, මැනවින් ගොඩ නගා ඇති කතාවේ ආකෘතිය, පාඨකයා අවසාන මොහොත දක්වා ආතතියෙන් යුක්තව රඳවා තබා ගැනීම ... මෙකී නොකී හැම එකකින්ම පොහොසත් කතාවක්. අද කාලේ පළ කෙරෙන කෙටිකතා කියන පල්හෑලි සහ මෙලෝරහක් නැති බ්ලොග් පෝස්ටු අතරේ මේක මැණිකක්. ඔබට ජය! තවත් ලියන්න. අපි කියවනවා අනිවාර්යයෙන්ම.

    ReplyDelete
    Replies
    1. ඔබට බොහෝ ස්තූතියි මේ දිරිගන්වනසුළු ප්‍රතිචාරයට. හැකි සෑම විටක ලියන්න උත්සහා ගන්නම්.

      Delete
  14. මොකක්ද කියන්නේ. මොකක්ද දැන් මම කියන්නේ. ඉස්සෙල්ලම කියන්නේ යකෝ මේවා හංගාගෙන මොකාද එකා වගේ ඉන්නේ ඇයි. මේ කතාව කොටස් කීපයකින් දැම්මත් කියවන්ඩ අය ඕනෙතරම් ඉන්නවා. මේ වැඩේ කරන්න එපා සෙන්නා. අඩුගානේ මාසෙකට සැරයක්වත් ලියන්න.

    චිත්‍රපටියක් බැලුවා වගේ. මෙය අභව්‍ය සිදුවීමක් කියා කියන්නට බැහැ. ඉවසීමේ ගුණය නැති, මමත්වයෙන් පෙලෙන පුද්ගලයන් තමන් විසින්ම අගතිය සොයාගන්නා බව පසක්වන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක මහතා. නිකන් ලියන්න බෑනේ අප්පා, ඒවට නිමිති පහල වෙන්න ඕනා.. නැතුව හංගන් ඉන්නවා නෙමේ ඕන්... :D

      Delete
  15. හුඟ කාලෙකින් සෙන්නා.

    උඹට කියන්න දැන් මමත් බ්ලොග් කියවන්න එන්නෙ ගොඩක් අඩුවෙන්. වෙලාවක් නැතිකම නිසාම. ඉස්සර නිතිපතා ලියපු හුඟක් අය ලියනවත් අඩුයිනෙ දැන්. අද උඹේ ලිපිය දැකල ඇවිල්ලත් ලිපියෙ දිග දැක්කම කියවනවද නැද්ද කියල හිත හිත හිටියා හරියට අර හීතල වතුරට මහපටෑඟිල්ල ඔබ ඔබ නානවද නැද්ද කියල හිත හිත ඉන්නව වගේ. වම් පැත්තෙ තියෙන පරණ පෝස්ටු කීපයකුත් ක්ලික් කර කර ආයෙ උඩින් පල්ලෙන් කමෙන්ට් කෑලි දිහා ඇහැ දාගෙන ගියා. අන්තිමට අර ‘ටයිටැනික් මාගලත්‘ මම කියවල කමෙන්ට් කරල තියෙනව කියල දැක්කම ඔන්නොහෙ මේක කියවනව කියල හිතල ඇවිත් කියෙව්ව. :)

    කියෙව්වට පස්සෙ තමා ඔන්න මට ආයෙ මීටරේට වැටුනෙ සෙන්නා කියන්නෙ කොයිවගේ ‘ලිවිලිකාරයෙක්ද‘ කියල. උඹේ ලිවිල්ලනම් නියමෙටම තියෙනව. කොහොම උනත් සම්පූර්ණයෙන්ම නිවැරදි මිනිහෙක් මිනීමරුවෙක් වෙනකන්ම කරත්තරෝදෙ පස්සෙන් ඇවිත්. ප්‍රබන්ධයකදි හැරෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලත් මට හිතුනා. මගේ නම් ඔය යන්තර මන්තර කේන්දර සාස්තර ගැන ඇති විශ්වාසයක් නෑ. ඒ නිසාම මට නිකන් ගොන් අදහසකුත් ඇති වුනා. :) මොකද ඕනම දේක සීමාවක් තියෙන්නත් එපෑයැ. දැන් අර වගේ සියල්ල නැති වෙලා මිනිස්සු හිඟමනට වැටෙන තැනට දාන්න පුළුවන් මන්තරයක් තියෙනව නම් අවසන් ප්‍රතිඵලය විදියට ‘පොහොසතුන් නැති ලෝකයක්“ ලැබෙන්නත් බැරිනෑ. එතකොට ඉතිං අපි ඔක්කොම හිඟන්නො, අතපාන්නත් එකෙක් නෑ අන්තිමට. වැඩේ පරස්පරයි, උභතෝකෝටිකයක් :)

    ReplyDelete
    Replies
    1. කාලේකින් නේන්නම්.. උඹත්..

      හොඳ වෙලාවට ටයිටැනික් ලියලා තිබුනේ. නැත්නම් උඹ මේක කියවන්නෑනෙ..

      උඹටත් හිතෙන දේවල්..

      ස්තූතියි අගය කළාට.

      Delete
  16. විචාරක හරි. චිත්‍රපටියක් වගේ.
    සෙන්න දැකල තියනවද බොරැල්ල හන්දියෙ සුදු සරමක් සුදු කමිසයක් කලු පටියක් හා තොප්පියක් ඇඳගෙන් මවුත් ඕගන් හා රබානක් වාදනයකරමින් හිඟාකන කෙනෙක්?
    මං ගාවට එන හැමදාම මං සල්ලි දෙන්නව හිඟාකෑම එන්ටර්ටේනින් විදිහට කරන නිසා. බොරුවක් නෑනෙ. ( මං හරිද මංද )
    මිනිහගෙ ඉතිහාසය මොකක්ද දන්නෙ නෑ. සෙන්නට පුලුවන් ඒකෙනුත් කතාවක් ලියන්න ( තව අවුරුද්දකින් එන ඊලඟ පෝස්ට් එකට :-D )

    ReplyDelete
    Replies
    1. ප්‍රා, මම ඔය කියන කෙනාව දැකලා නෑ. කිහිපයක් දත් හැලුනු, තොල් පෙරලුනු, ‍රැවුල වවා ගත්තු කෙනෙක්නම් හම්බුනා...

      සමහර විට අවුරුදු දෙකක් වෙන්නත් පුළුවන්.... :D

      Delete
  17. නවකතාවක් කෙටි කරලා ලියලා.. මට නම් පුදුමයක් නෙවෙයි අර සිදුවීම්. සමාජයේ ඕනෙතරම් ඇති මෙහෙම මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. මටත් ලියනකොට හිතුනා මේකෙන් නවකතාවකුත් ලියන්න පුළුවන් කියලා...

      Delete
  18. සෙන්නා... සෙන්නා...! මේ කතාව නම් මාරයි. ඇඟ හිරිවැටිලා ගියා!

    ReplyDelete
  19. සෙන්නා කම්මැලි ඇරලා නිදිගැට කඩලා පොඩි සිදුවීමකින් රසවත් කතාවක් ගොඩ නගලා තියෙන්නේ. සමහර සිදුවීම් නම් අතිශයෝක්තියෙන් විස්තර කරලා වගේ මට වෙලාවකට හිතුනත්, මේක සෙන්නා ලකුණ තියෙන කම්මැලි නැතුව කියවපු හොඳ නිර්මානයක් කියලා කියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩේ... සෙන්නා ලකුණ මොන වගේද කියලා මම මේ කල්පනා කළේ...

      කම්මැලි නැතුව කියෙව්වනම් ඒ මදෑ..

      Delete
  20. අගේ ඇති ලියවිල්ලක්, කතාවත් නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උපේක්ෂා...

      Delete
  21. කතාව නම් මාරයි සෙන්නා,

    ලෙනාඩ් වුල්ෆ් දවසක් ලියලා තිබුණා, කළුතර පැත්තෙ ගුරුන්නාන්සෙ කෙනෙක් මළ මිණියකට පණ දුන්න හැටි ගැන. වුල්ෆ් ගෙ ඇස් ඉදිරිපිටම.

    drag me to hell ෆිල්ම් එකෙත් ඔය වගේ සාප කරන කතාවක් තියෙනවා. ඒ වුණාට උඹේ කතාව ඊට වඩා ගොඩක් තාත්විකයි.

    ආපහු දිගටම ලියහං මචං. නොලියා ඉන්න එක අපරාධයක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකියා...

      මමනම් ඉන්නේ මේ ලෝකේ ඕනැම දෙයක් වෙන්න පුළුවන් කියන තැන..

      දැන් වේගන යන අපරාධවල හැටියට මේවා හෙන සුළු අපරාධ බන්... නඩු දාන්නත් බෑ.. හෙහ්...බලමු ඉඩ තියන විදිහකට නේහ්..

      Delete
  22. මට නම් හිතුනෙ කතාව අන්තිමේදී අරූ සිද්ධවෙච්චි දේවල් කණපිට හරවන්න ක්‍රමයක්වත් හොයාගනී කියලා. හැබැයි ඒකත් ටිකක් අතාත්විකයි නේද? සමහර දේවල් ආපහු හරවන්න බැරි එව්වා උනාම.

    පවුල ගෙදරින් ගියපු සිද්ධියෙදි ළමයි දෙන්නවත් අරන් ගිය එකත් පොඩ්ඩක් අමුතුයි වගේ.

    කතාවේ මනුස්සයගෙ ජීවිතය පරිවර්තනය වෙච්චි හැටි නම් බොහොම අපූරුවට විස්තර කරලා තියෙනවා. කතාව නම් බොහොම හොඳයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම් ස්තූතියි හරී...

      "පවුල ගෙදරින් ගියපු සිද්ධියෙදි ළමයි දෙන්නවත් අරන් ගිය එකත් පොඩ්ඩක් අමුතුයි වගේ. "

      එහෙම දේවල්නම් වෙනවා නේද ? දැන් හරී හිතන්නේ පවුල කොහේ යන්න ඇති කියලද ?

      Delete
  23. සෙන්නට කියන්න මේක කියවන අතරතුරදී ලියමනක් ආවා...
    ලංකාවේ මා වැඩ කල ආයතනයක මිනිස්සුන්ට රට රැකියාවලට යනකොට නිවාඩු අනුමත කරගන්න මාවතේ හිටි එක් නිලධාරියෙක් - කිසිම උදව්වක් ලැබුනේ නෑ කාටවත් - වැඩේ හරහට මයි හිටියේ...
    දැන් ඒ නිලදරුවා ලියුකේමියා රෝගයෙන් !!! මිලියන විස්සකට වැඩියි ප්‍රතිකාරවලට...
    දැන් අර රට ආ කට්ටිය සල්ලි එකතු කරනවා..
    හැබෑව මේ නිර්මාණවලටත් වඩා බොහොම සංවේගජනකයි...

    කෙනෙක් එක්ක කේන්ති එනවනම් මෛත්‍රී වඩන්න කියනවනේ මේ තැනත්තා පෙරභවයක තමන්ගේ මව පියා දරුවා වෙලා ඉන්නැති කියලා...
    මට මතක් වුනේ ඒක සෙන්නා...
    මේක පත්තරේකට යවන්න...
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. "හැබෑව මේ නිර්මාණවලටත් වඩා බොහොම සංවේගජනකයි... "

      සහතික ඇත්ත තිස්ස අයියා.. සත්‍ය සැමවිටම ප්‍රබන්ධ පරදවනවා..

      ස්තූතියි අලුත් අදහසක් දුන්නට. උත්සහයක් දාලා බලන්නම්..

      ජය !

      Delete
  24. සෙන්නා කාලයකට පස්සෙ ලියපු ලස්සන කථාවක්...මේ කථාවෙදි ඔබ කියනවා වගේම තමයි මමත්...හිගන්නෙක්ට සල්ලි දෙන්න කලින් මමත් බලනවා යමක් කරන්න ඇත්තටම බැරි ද කියලා...ඒ තහවුරුව ලැබුනොත් තමයි සල්ලි දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා... මේ කතාව ලියුවට පස්සේ සහ තවත් හේතු කිහිපයක් නිසා මගේ ස්ථාවරයනම් දැන් ටිකක් ලිහිල් වෙලා වගේ...

      Delete
  25. අපේ සින්දු ඇනෝ තමයි පාර කිව්වේ..මම මිට කලින් මෙහේ ඇවිත් තියනවා වගේ මතකයි..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා, සිංදු ඇනෝගෙන් පාර අහගෙන ආවට ස්තූතියි.

      Delete
  26. මම උඹට කලින් කමෙන්ට් දාල තියෙනවද කියල මතක නැහැ...
    මේ පෝස්ට් එක නම් උපරිමයි මචං...
    උඹේ ලියමන් කෙටි කතා එකතුවක් විදිහට පොතක් ගහල පල කරපන්, "දේශක යා" කිව්වත් වගේ මටත් දැනුනේ පරිවර්තන කෘතියක් බලනවා වගේ හැඟීමක්...
    දිගටම ලියපන්...

    ReplyDelete
    Replies
    1. ලොකු පුත්‍රයා,

      මොකෝ නැතුව....ස්තූතියි ඇගයීමට...

      පොත් ගැහිල්ල ඔය කියන තරම් ලේසි නෑ පුතා...

      Delete
  27. හප්පේ ඇති යන්න්තම් මේ ඇවිත් ඉන්නේ...

    කතාව කොච්චර සුපිරිද කියනවනම් මේ මනුස්සයට වෙච්ච විපත්ති හරියට මට උනා වගේ තමයි දැනුනේ. ඒ මනුස්සයා ආපහු හිටපු තත්වෙටම එයි කියලා හිතාගෙන මම මේක කියෙව්වේ... සමහරවිට අර සියා එයාගේ වෙන මුනුබුරෙක්ට කියල දීලා තිබුනද දන්නේ නෑ නේ මන්තරේ අනිත් කොටස :)

    ReplyDelete
  28. හප්පේ ඇති යන්න්තම් මේ ඇවිත් ඉන්නේ...
    යාවජීව සාමාජිකයෙක් නැතිවුනාම ඉතින් පෝස්ට් එක සම්පූර්ණ නෑ වගේ දැනෙන්නේ....

    අනිත් කොටස ! එහෙම එකක් නෑ ඒ මන්තරේ... :-)

    ස්තූතියි සයුරි...

    කොයිබද ගොහින් හිටියේ පහුනු දොහේ...?

    ReplyDelete
    Replies
    1. මේකේ පෝස්ට් යන්න විදියක් නෑ මගෙ දෑහැට නොපෙනී..හෙහෙ
      පහුගිය ටිකේ ගම රට ගිහින් හිටියනේ සෙන්නයියේ...හපොයි පණ ගියා ඒ දවස් ටිකේ. නිවාඩුවට ගියාට මොකද මෙහෙ නිවාඩුයි ඊට වඩා

      Delete
  29. නිවාඩුවේ ෆිල්ම් එකක් බලන්න ගියාම තියන ආතල් එක මේ වගේ එකක් කියෙව්වාම හම්බවෙනවා. ඇත්තටම හිතෙන්නේ නැද්ද මේ කතාව එහෙම එකකට හොඳයි කියල? කාලෙකින් මෙහෙට ආවම කියවන්න හම්බවුන පලවෙනි පෝස්ට් එකම මසුරං..

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර්, ස්තූතියි අදහසට... ඕක ඉතින් මට හිතුනට වැඩක් නෑනේ බන්ස්... :D

      මසුරං නම් ඒකම මදෑ.....

      දැන් දිගටම ලියමු ආ......

      Delete
    2. ආහ්.. සැන්ඩරයා මෙහාටත් ඔලුව දාලා.. උඹ ඇගිල්ලෙන් ඇනපු නිසා මාත් ආයිත් කියෙව්වා.. (අවසාන කොටස හැර) මොකද ඒ ටික හොදට මතකයි..

      Delete
    3. සැන්ඩරයා කවදත් මෙහාට ඔළුව දාපු පරණ සාමාජිකයෙක් නෙ බොල... ස්තූතියි ආයිත් කියෙව්වට...

      Delete
  30. Kiyawala iwara wenaknma lassanai.paula keduna eka thama duka.lassana adahas godak liyanna wedi wediyen shaktiyaya lebenna ona.!!!!!

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog