Thursday, September 4, 2014

රට ගිය ඇත්තෝ.......

2014 බිනර මස 04වනදා

දිනය : 2005 ඔක්තෝබර් 27
දවස : බ්‍රහස්පතින්දා
වේලාව : මධ්‍යම රාත්‍රියට ආසන්නයි.

මැදපෙරදිග වූ එක්තරා දියුණුයැයි සම්මත නූතන නගරයකි. එහි වූ දහසකුත් එකක් අති නවීන උස් ගොඩනැගිලි අතරින්, එක් සුවිශේෂී ගොඩනැගිල්ලක විසි එක් වන මහලයේ වූ මහල් නිවාසයක් අභ්‍යන්තරයෙහි පිහිටි කාමරයෙකි. බැලූ බැල්මට ස්ත්‍රීන්ගේ වාසස්ථානයක්යැයි සිතිය හැකි ලක්ෂණ එයින් විද්‍යාමාන විය. නිසි පිළිවෙළ, මේසයක් මත වූ මල් බඳුන, විශාල අජීවී පැන්ඩාවන් දෙදෙනෙකු එයින් සමහරක් පමණකි. බිත්තියෙහි අලවා තිබූ විශාල ප්‍රමාණයේ මනරම් දර්ශනයකි. එහි අති අලංකාර වෙරළ තීරයක් දක්නට වූ අතර යටින් "ලස්සන පිලිපීනය" යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබුණි. එහි සයනයන් ද්විත්වයක් වූ බැවින් තරුණියන් දෙදෙනෙකු වසනා බව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. නමුත් මෙහි ඇති විශේෂත්වය මේ කිසිවක් නොවේ. මේ කියනා මොහොතේ මෙම කාමරයෙහි වූ පැන්ඩාවන් දෙදෙනාගෙන් එකෙකු එක සයනයෙක පහසුවෙන් වැතිර සිටිනා විටම අනෙක් පැන්ඩාවා අනෙක් සයනය අසල බිම පතිතව සිටිනු දක්නට හැකි විය. ඉතින් එහි ඇති විශේෂත්වය කුමක්ද ? ඔබ එසේ අසනු ඇත. විශේෂත්වයනම් එම මොහොතේම බිම වැටී සිටි පැන්ඩාවා අසළවූ සයනය මත විශාල ගිනි ජාලාවක් බුර බුරා නැගීමයි. ගින්නකට අවැසි සියලු සාධක මනාව එකතුව පැවති බැවින් එහි ගිනි ජාලා විහිදුවමින් බුර බුරා නැගෙනා ගින්නකි. විටෙක එකිනෙකා වෙලෙමින් සයනයෙන් ඉහලට නැගෙනා ගිනි දළු, විටෙක සයනයටම ඇලී ගිලී යති. ගින්නකට හසුවූ වියළි දණ්ඩක් ඇබරී, මිරිකී දැවී හළු වී යන අයුරු සිහිගන්වමින් මෙම ගින්නෙහි ප්‍රබලතාවයට හසුවූ සයනය ඇබරෙමින්, මිරිකෙමින් චලනය වෙමින් තිබිණි. ලෝකයන් දෙකක් මුලු මනින්ම දවා හළු කළ හැකි තරම් වූ අති ප්‍රබලව නැගෙනා ගින්නකි ඒ.

එහෙත් පුදුමයකි ! සිගරට් දුමාරයකට පවා අති සංවේදීව ක්‍රියාත්මක වන අති ප්‍රබල සංවේධකයන් මෙම ගිනි ජාලාවන් දෙස බලා නිසලව සිටියහ. හැකිතරම් වීරිය දමා කෑගසා මුළු ලොවටම මේ ගින්නෙහි පණිවිඩය දැනුම් දිය යුතු උවත් ඔවුන්ද වගේ වගක් නොමැතිව සිටී. සමහර විට ඔවුන් ගින්න රසවිඳිනවා විය හැකියැයි හිතෙනා තරමට නිහඬය. එබැවින්ම එම ගින්න මුළු ලෝකයටම රහසක්ව නිවී යාමට වුවත් බැරි නැත.

OOOOO

අබුඩාබි නගරයට තවත් සති අන්තයක් උදා කරමින් ඒ බ්‍රහස්පතින්දා සවස හිරු අවරට යමින් පැවතුණි. උදයේ සිට නොකඩවා වැඩ කිරීම හේතුකොටගෙන ඇතිවූ වෙහෙසත් සමඟින් කුසල් සිය කාමරය වෙත පියනගිමින් සිටී. කලකට පසු ඔහුට නියමිත වේලාවට සේවය අවසන් කිරීමේ හා සති අන්තයෙහි නිවාඩුව ගැනීමෙහි භාග්‍ය උදාවූ තිබූ බැවින් ඔහු සිටියේ සතුටිනි. ශීත කාලය අත ළඟම පැමිණෙන බවට ඉඟි දෙමින් ගතෙහි දැව‍ටුණ සිසිලස ඔහුගේ එම සතුට තීව්‍ර කළේය. කාර්‍යය බහුල අබුඩාබි නගරයෙහි මාවත් දිගේ පා නගමින් සිටියද ඔහුගේ සිත තිබුණේ ඉන් සැතපුම් දහස් ගාණක් එපිටිනි. විනාඩි පහලවක පමණ ඇවිදීමකින් අවසානයේදී ඔහු සිය නවාතැන්පල වූ කාමරයට ළඟා වීමට සමත් විය. එය ඔහු තවත් තරුණයන් දෙදෙනෙකු හා හවුලේ පරිහණය කෙරුවේ වියදම් අවම කරවා ගැනීමේ අරමුණිනි. මේ කියන දිනයේ එහි වූයේ කුසල් හා තවත් එක් සගයෙකු වූ ජගත්  පමණී. තෙවෙනියා වූ දර්ශන කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට ගොසිනි.

කාමරයට පැමිණි කුසල්, සිය ඇඳුම් මාරු කර නොගමින්ම ජංගම පරිගණකය ක්‍රියාත්මක කරවූයේ ස්කයිප් හරහා නිවස හා සම්බන්ධ වීමටය. මෙය දෛනික ක්‍රියාකාරකමකි.

‍ටුක් ‍ටුක් ‍ටු‍ටුට් ‍ටුට් ‍ටුට් අනුකරණයෙන් එය අනෙක් පසින් වූ බිරිඳගේ ගිණුම හා සම්බන්ධ වීමට දරණ උත්සහය දෙස මද වේලාවක් බලා සිටින විට තිරය මතා සිනා මුවින් යුතු කුසල්ගේ බිරිඳගේ රුව දර්ශනය විය.

"කොහොමද ?"

"හොඳයි.."

"වැඩ අඩුද අද ? අද වේලාසනින්"

"හ්ම්ම්ම් "

"කෝ පුතාලා ? "

"ආහ් ඔය ඉන්නේ ටී වී එකේ එල්ලිලා.."

"පාඩම් කරලද ඔය ඉන්නේ ?"

"පොඩ්ඩනම් කළා, අරයව ඉතින් මරන්න ගෙනියන්න ඕනා ඒකට."

"එහෙමද ? බලමුකො.. හැමෝම ඉතින් ඉගන ගන්න මනාප නෑනේ.. අඩුම ගානේ විභාග ටිකවත් ගොඩ දාගත්තොත් මදෑ.. "

හෝරා යන්ත්‍රයෙහි සවස හයයි තිහ සටහන් වන විට ඔවුන් බොහෝ දේ පිළිබඳව කතා බහ කළහ. යමින් එමින් පරිගනකයට ඔළුව දැමූ දරු දෙදෙනා නිසා මාතෘකා වෙනස් වුවද එය ඔවුනට බාධාවක් නොවුනි.

"ආ... ක්‍රෙඩිට් කාර්ඩ් බිල් එක ගෙව්වද ? අද අන්තිම දවස" හදිසියේ මතකයට නැගුනු එම පැණය කුසල්ගෙන් බිරිඳටය. එවිටම අනෙක් පසින් නළලෙහි අත ගසා ගන්නා බිරිඳගේ රුව දු‍ටු කුසල්ගේ මුහුණ අඳුරු විය.

"අයියෝ අමතක වුනානෙ"

"විහිළුද කරන්නෙ ? " කුසල්ගේ ස්වරයට කෝපය මුසු වී තිබිණි.

"නෑ ඇත්තමයි.. අමතක වුනා අනේ."

"තමුසෙට මොන විකාරයක්ද හලෝ වෙලා තියෙන්නෙ? දැන් මේ තුන් වෙනි පාරනෙ ඕක අමතක කරපු !"

"හයියෝ ඉතින් අමතක වුනානෙ.. මම හිතලා අමතක කරා නෙමේනෙ.."

" අමචක වුනා ..! මම ඊයෙත් මතක් කරපු එක අද අමතක වුනා..? ඊයෙ ගෙවන්න කිව්වා ඒක කළේ නෑ අදට කල් දැම්මා. ඔච්චර කියද්දිනෙ ඕක අමතක කළේ. තමුසෙ මොන ලෝකෙද ඉන්නෙ ? මම මේහෙ ඉඳන් සල්ලි අච්චු ගහනවා කියලා හිතුවද ඔහොම නිරපරාදෙ නාස්ති කරන්න. එක පාරක් දෙපාරක්නම් කමක් නෑ.. තුන් පාරක් කියන්නෙ ! මම මේ බලනවා කීයක් හරි එකතු කරන් මේ අපායෙන් ඉක්මනට එන්නෙ කොහොමද කියලා.. මුන්ට විහිළු........." ඔහුගේ වත කෝපයෙන් රතු පැහැ ගැන්වී තිබිණි.

"අයියෝ ඔච්චර කියවන්න එපා අනේ.. මේ පොඩි වැ‍රැද්දකට. කොච්චර කළත් කවදාවත් හොඳක්නම් අහන්න නෑ, එත් පොඩි වැ‍රැද්දක් තිබුනොත් ගිරිය පුප්පන් කෑ ගහනවා."

"පොඩි!? පොඩි වැ‍රැද්ද...? අනේ මගේ කට.." ඇයගේ එකටෙක කීම ඔහුගේ කෝපය උත්සන්න කෙළේය. "චටාස්" අනුකරනයෙන් ලැප් ටොප් එක වසා දැමූ කුසල් සයනයෙන් නැගී සිට, ඇඳුම් මාරු කොට නාන කාමරයට වැදුනේ නොනවත්වා බෙරිහන් දුන් ජංගම දුරකතනයද නොතකාය. ඇමතුම කාගෙන්දැයි කීමට ඔහුට දුරකතනයෙහි තිරය බැලීමට උවමනා නොවුනි. නාන කාමරයේ දොර වැසෙන විටම වාගේ කාමරයෙහි දොර ඇරෙනු ඇසුනු හෙයින් සිය සගයාගේ පැමිණීමද ඔහුට සංවේදනය විය.

OOOOO

යාන්ත්‍රිකව සයනයට බරවූ ජගත් සිය පරිගනකය දිගෑරගත්තේ ප්‍රිය බිරිඳව ඇමතීමටය. 

"කොහොමද ඩාලින් ?" ඒ ජගත්ය.

"ඉන්නවා අනේ, ඔයාට කොහොමද ? දැන්ද ආවේ ? මටනම් අද හරිම මහන්සියි අප්පා.. ඔ‍ෆිස් එකේ සෑහෙන වැඩ. ඉතින්හ්.. ?"

"එහෙමද පැටියෝ.. අයියෝ ඔයත් හරියට මහන්සි වෙනවා නේද ? අපි ඉතින් තව ටිකක් මෙහෙම ඉවසගෙන යමුකො ඩාලින්.. ඉක්මනටම ඔක්කොම හරි යයි.."

"හ්ම්ම්ම් ඉතින්හ්.. හෙට නිවාඩු නේද ?"

"ඔව්"

"මොනාද කරන්න ඉන්නෙ ?"

"මේ ඔ‍ෆිස් එකේ උන් ඩුබායි යන්න දාගෙන අනේ.. ඉතින් යන්න වෙනවා.. මටනම් ආසත් නෑ.. කාමරේ ඉඳන් ඔයත් එක්ක චැටක් දාගෙන ඉන්නවා තරම් මොනාද නේද ?

"අනේ හොඳයි ගිහින් එන්න.. අපිට ඉතින් කවදා කතා කරන්න බැරිද ? වෙනසකටත් හොඳයිනෙ. කීයටද යන්නෙ ?"

"අද රෑ යනවා පැටියෝ" එවිටම ජගත්ගේ දුරකතනය බෙරිහන් දීමට සැරසුනු නමුත් ඔහුගේ එක ඇඟිලි පහරකින් නිහඬ විය.

"මේ අරුන් කතා කරනවා..."

"එහෙමද.. ආන්සර් කරන්න එපෑයෑ."

"මොන විකාරයක්ද.. ? ඔයත් එක්ක කතා කරණ එක නවත්තලා උන් එක්ක කතා කරන්න.. මොන හෝහපු‍ටුවොද උන් ? "

"හි හි...පවු අනේ.. ඔන්න ආයෙත් රින්ග් වෙනවා.. ගන්න ගන්න මම මෙහෙම ඉන්නම්.." එහෙත් නැවතත් දුරකතනය ජගත්ගේ අනින් නිහඬ විය. මෙවර අණ දිම පෙරට වඩා දැඩි වූ අතර එයට මද වේලාවක්ද ගත විය.

"මල වදේ.." දුරකතනයට එරවූ ජගත් "ඉතින්හ් " යැයි කියමින් සිය පරිගණක තිරය දෙස බැලීය. කුසල් කාමරයට ඇතුලු වීමත් එවිටම වාගේ සිදු විය..

"ආ කුසල් මල්ලී අද වේලාසන ඇවිල්ලානේ.. මම ඒත් බැලුවා මේ මොන පුදුමයක්ද කියලා.." කුසල් දෙස බලමින් පැවසූ ජගත් " බලන්නකො ඩාලින්, මූ අද වේලාසන ඇවිල්ලා.. මෙහෙටනම් ඉතින් වහින්නෑනෙ, අඩුම ගානේ ඔහෙටවත් වහිනවද බලන්න.. පැටියෝ .. හෙහ් හෙහ් " පරිගනකයට කීය. ජගත් බිරිඳ සමඟ කතා කරමින් සිටි බැවින් කුසල් මුවින් නොබැන සිනාවකින් පමනක් සංග්‍රහ කෙළේය.

"පවු අනී නිකන් ඉන්න බයිට් නොකර."

කුසල් නිහඬව පරිගනකයට යොමු වූ අතර ජගත්ගේ ස්කයිප් කතා බහ දිගටම කෙරීගෙන ගියේය..

"එහෙනම් මම තියන්නද වස්තුවෙ.. මම දැන් යන්න ඕනා. අරුන් බලාගෙන ඇති. එහෙනම් හෙට හවසට කතා කරමු හොඳේ ?"

"හරි බබා ඔයා පරිස්සමින් ගිහින් එන්න.. අපි හෙට කතා කරමු.. ලව් යූ"

" ඕකේ ඩාලින්.. ලව් යූ ටූ.. ලව් යූ සෝ මච්. "

"ඉතින් මචන්.. මොනාද කරන්න යන්නෙ අද ? උඹ හෙට වැඩද ?" ජගත් කුසල්ගෙන් ඇසුවේ හෙඩ් ෆෝනය කනෙන් ඉවත් කරමිණි..

"නෑ බන් හෙටත් නිවාඩු.. "

"නෑහ් මාරයිනෙ... ඉතින් මොකද කරන්නෙ ? කොහෙවත් යනවද ? "

"එහෙමට යන්න කියලා තැනක් නෑ බන්.. බොහෝ විට කාමරේම ඉඳියි. උඹ කොහෙවත් යනවද ? "

"ඔව් බන් මම තව ටිකකින් ඩුබායි යනවා හෙට රෑ තමා එන්නෙ"

"එහෙමද ? එළ එළ එහෙනම් ගිහින් වරෙන් මාත් තව ටිකකින් පොඩි වැඩකට එළියට යනවා.. රෑට කන්නත් ඕනා.."

~~නිමි

ලියුවේ:
~~සෙන්නා / 04.09.2014


86 comments:

  1. මොකක් කියනවාද කියලා හිතාගන්න තමා අමාරු.

    කියන්න තියන වැදගත්ම දේ දමයි ආපහු කුරුන්ද දකින්න ලැබීම විශාල සතුටක් කියන එක.

    හොඳ පරිවර්තනයක් ලියන්නකො ඉස්සර වගේ.

    ReplyDelete
    Replies
    1. විචාරක මහතා, ගින්න දිහා ටිකක් වෙලා බලන් ඉන්නකො. එතකොට කතාව තේරුම් ගන්න අවශ්‍යකරණ රූප මතුවෙයි..

      ස්තූතියි කුරුන්ද ගැන අවධානයෙන් පසුවීම ගැන.

      Coming soon ... "අන්තිමයා පළවෙනියා වන්නේය"

      Delete
  2. දැන් ඉතින් මේකට පසු වදනක් එහෙම ලියලා අපිට තේරුම් කරලා දුන්නනම් හොඳා... :0 මට විතරද මන්දා නොතෙරුනේ. මන් කොහොමත් ටිකක් විතර ටියුබ් ලයිට්.

    කොහොම හරි කමක් නෑ කුරුන්ද ආපහු කරළියට ඇවිල්ලා තියනවා දැකීමත් සතුටක්. ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. සයුරි, අන්න පසු වදනක් දුන්නා විචාරක මහතාට.. ඇතිවෙයි නේද ? මම දන්නවා සයුරි මීටරේ කියලා..

      ස්තූතියි කුරුන්ද ගැන අවධානයෙන් හිටියට..

      Delete
  3. මටත් පේන්නේ පොඩි පසු වදනක් හිබුනනම් හොදයි වගේ.. මම ඒත් කල්පනා කලා මට මොනවා හරි මඟ ඇරුනද කියලා..

    ආයේ කුරුන්දේ පෝස්ට් එකක් වැටුන එක ගැන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මුකුත් මග හැරිලා නෑ.. පොඩ්ඩක් අවධානෙන් කියවලා රටේ ලෝකෙ වෙන ඒවට ගලප ගත්තනම් වැඩේ ගොඩ.. කෙලින්ම කිව්වම ඉතින් ගතියක් නෑනෙ..

      ස්තූතියි දිනේශ් කුරුන්දෙ පුනරාගමනය ගැන සතුටු වීම ගැන..

      Delete
  4. රන්ඩු උනත් ඒ ආදරේ අවංකයි.
    (සෙනසුරාදාට ඇවිල්ලම වැඩි විස්තර කතා කරමු )

    ඉ.උ

    ReplyDelete
    Replies
    1. ඉ.උ.

      ඇති යන්තම්.... එන්නකො එහෙනම් සෙනසුරාදට කට්ටියට මේක තේරුම් කරලා දෙන්න..

      Delete
    2. බ්‍රහස්පතින්ද රෑ ෆෝන් එකෙන් බං බැලුවෙ. ඒකයි ඇනෝ කමෙන්ට් එක දාල මාරු උනේ වැඩි විස්තර පසුවට තියල. දැං ඉතින් හරිනෙ. පැහැදිලි කරල තියෙනවනෙ තිසරයි රාජුයි.

      // සමහර විට ඔවුන්ද ගින්න රසවිඳිනවා විය හැකියැයි හිතෙනා තරමට ඔවුන් නිහඬය//

      වක්‍යෙ අඩුපාඩුව මම කියන්න ඕනෙ නෑනෙ. මේකෙන් පේන්නෙ හදිසියෙ ලියපු ගතියක්.

      //ජංගම පරිගණකය // මේ ලැපිටොප් එකක්ද?

      // අරයව ඉතින් මරන්න ගෙනියන්න ඕනා ඒකට."// මේක අම්මෙක් කියන්නෙ මීට වෙනස්ව්ව නෙමේද?

      අඩුපාඩු පෙන්නල දෙන්නෙ හදා ගෙන දියුණු වෙන්න මිසක් තලල පහලට දාන්න නෙමේ කියල උඹට මුතුවෙන් නොකිව්වත් මේව දකින සමහරු වෑදියට හිතාවි කියලයි මේ තකහනියෙ ඒකත් ලිව්වෙ.

      කතාවෙ ශෛලිය සහ අදහස පට්ට සිරා!!

      Delete
    3. ඉන්දික,

      මුලින්ම ස්තූතියි අඩුපාඩු පෙන්වා දීම ගැන. අඩුපාඩු පෙන්වා දීම නිවැරදියට යන්න අත්‍යවශ්‍ය දෙයක් බව මමත් පිළිගන්නවා. උඹට ඕන වෙලාවක මගේ වැ‍රැද්දක් දැක්කොත් පෙන්නුවෑකි. ඒකෙ කිසි අවුලක් නෑ.. මට අවබෝධ වුනොත් ඒක වරදක් කියලා මම වහාම ඒක නිවැරදි කර ගන්නවා සහ ඉදිරියට කෙරීමෙනුත් වලකිනවා..

      << වක්‍යෙ අඩුපාඩුව මම කියන්න ඕනෙ නෑනෙ. මේකෙන් පේන්නෙ හදිසියෙ ලියපු ගතියක්.>>

      මේකනම් මට හිතා ගන්න අමාරුයි.. ඔවුන් නිහඬය කියලද එන්න ඕනා.. හදිසියෙනම් තමා ලියුවේ.. ඒත් උඹ ඔය කියන එකනම් ඒක නිසා වෙච්ච දෙයක් නෙමේ..

      ඔව් ලැප් ටොප් එකක් තම මම අදහස් කෙරුවේ..

      අපේ අම්මනම් ඉස්සර ඔහොම තමා කියුවේ... :D උඹ හිතන විදිහත් කියපන් බලන්න ඒක හොඳනම් අපි ඒක දාමු..

      අගය කිරීම ගැන බොහොම ස්තූතියි..

      Delete
    4. // සමහර විට ඔවුන්ද ගින්න රසවිඳිනවා විය හැකියැයි හිතෙනා තරමට ඔවුන් නිහඬය//

      "ඔවුන්" කියල දෙපාරක්ම ඒ වාක්යෙ ඇතුලෙ තීනව නේද?

      // "පොඩ්ඩනම් කළා, අරයව ඉතින් මරන්න ගෙනියන්න ඕනා ඒකට."//

      ඔතන වාක්‍යාර්තෙ ටිකක් අවුල්. අපේ ගෙදරත්, මටත් ඔය වගේ කතාවක් කියල තීනව. හැබැයි ඔතන පෙළ ගැස්ම නිසා එන්නෙ ඒ අම්මල කියන කතාවෙ හැඟීම නෙමෙයි වගේ!

      දැන් උඹ ලියල තීන විදියට තේරෙන්නෙ, පොඩ්ඩ පාඩම් කරා, ලොක්ක මරන්න ගෙනිච්චොත් තමා පාඩම් කරන්නෙ වගේ දෙයක් නෙ. නමුත් ඔතන උඹට ලියන්න ඕන වෙලා තිබ්බෙ, "පොඩ්ඩ කැමැත්තෙන්ම පාඩම් කරා, ඒත් ලොක්කට ඒක නිකන් මරන්න ගෙනියවනව වගේ වැඩක් කියල දන්නවනෙ" කියන දේනෙ. එහෙම නේද? ඒක උඹෙ ඔය කෙටි වාක්‍යෙ මැවෙන්නෙ නෑ නේද?

      සාමන්‍යෙං කතාවක් ලියල ඒක වෙන දන්න කෙනෙක් බැලුවොත්
      තමා හරියටම අඩුපාඩු අහුවෙන්නෙ. ඒත් තමන්ටම ගොඩක් දේ අහුවෙනව, ලියල දවසක් දෙකක් ගිහින් ආයි කියවල බැලුවනං.

      හැබැයි එකක්, උඹෙ පරිවර්ථනවල මේවගේ දේ අඩුයි, ඒව මීට වඩා විශිෂ්ඨයි!! ස්වතන්ත්‍රත් ඒ ගානට ගේන්න පොඩ්ඩක් මහන්සිවෙයන්.

      ජය!!

      Delete
    5. << "ඔවුන්" කියල දෙපාරක්ම ඒ වාක්යෙ ඇතුලෙ තීනව නේද? >>

      උඹ හරි.. මට ඒක පෙනුනෙම නෑ.. ඒක හදමු..

      // "පොඩ්ඩනම් කළා, අරයව ඉතින් මරන්න ගෙනියන්න ඕනා ඒකට."//

      මෙතනදි උඹ තේරුම් අරං තියන විදිහ තමා මට කියන්න ඕනා වුනෙත්. ඒ කියන්නෙ මරන්න ගෙනියනවා වගේ නෙමේ, මරන්න ගෙනිච්චොත් තමා උන්දෑ පාඩං කරන්නෙ. අපෙ අම්මා ඉස්සර ඔය මරන්න ගෙනියනවා කියන එක පාවිච්චි කරේ කෝ‍ටුවක් අරන් දෙකක් දීලා, දන ගස්සවලා, ටොකුඇනලා බලෙන් පාඩම් කරවන එකට. ඒකම තමා මටත් කියන්න ඕනා වුනේ..

      << ස්වතන්ත්‍රත් ඒ ගානට ගේන්න පොඩ්ඩක් මහන්සිවෙයන්. >>

      එකෙන්ම එකඟයි. මම රාජ්ටත් කියලා තියනවා වගේ මගේ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම්, උපමා උපමේය යොදා ගැනීම් වගේ දේවල් හරිම දුර්වලයි කියලා මටත් තේරිලා තියෙන්නෙ.. ඒකට උත්සහයක් දෙන්න ඕනා.. අනිට් හෙක මට ස්වතන්ත්‍ර නිර්මාණ කරද්දි පුදුම හදිස්සියක් තියෙන්නෙ. අරවා එහෙම නෙමේ, බොහොම කල් අරන් සීරුවට මාරුවට ලියන්නෙ.. ඒකත් බලපානවා ඇති කියලා හිතෙනවා..

      උඹට ගොඩක් ස්තූතියි ආයෙ ආයෙ ඇවිත් මෙහෙම අඩු පාඩු පෙන්වලා දෙන එක ගැන.

      Delete
  5. දැක්කදේ තමා තරුණියන්ගේ කාමර පිලිවෙලට තිබීම හී හී...

    ගෙවල් දෙකේ වෙනස පැහැදිලිව පේනවා. මුලින් වෙච්ච ගින්නට ඒක සම්බන්ධ කොහොමද කියලා නම් තේරෙන්නේ නෑ තාම. ආයෙම කියවලා බලන්ට ඕනි.

    සෙන්නාගේ ලියවිල්ල වෙනස් වෙලා වගේ...:P

    ReplyDelete
    Replies
    1. මෙයාට ඉතින් ගැණු ළමයි හෙන ලොකුයිනෙ.. ඔයාද මෙයා වනිතා හඬ කියල්ත් එන්නෙ ? හෙහ් හෙහ් :)

      ආයෙ පොඩ්ඩක් කියවලා බලන්නකො පොඩ්ස්, එතකොට තේරෙයි.. උඩ දුන්න ඉඟියත් ප්‍රයෝජනවත් වෙයි..

      මම ඉතින් ලියන්නෑනෙ මලවනවනෙ මෙයා...

      Delete
  6. මේ නෝනලාගෙන් එක්කෙනෙක් ලංකාවේ කෙනෙක් නෙමේද දන්නේ නෑ නේද? :D

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ නොවන අයට සිංහල බෑ නේද ?

      Delete
  7. මට නං මෙලෝ හසරක් නොතේරුණි...
    මුල මැද අග
    මංඥං

    ReplyDelete
    Replies
    1. මහේශ්, ආයෙ පොඩ්ඩක් කියවලා බලන්න.. මේ ගැන පොඩි හරි අත්දැකීමක් / අත්විඳීමක් තිබුනනම් වැඩේ ටස් ගාලා ගොඩ දාගන්න තිබුනා. ඒ නැතත් අවුලක් නෑ..

      Delete
  8. Replies
    1. මකසි, ආයෙ කියවහන් පොඩ්ඩක්.. නැත්නම් කමෙන්ට් බලහන්කො.. පොඩි සිද්ධියක් තියෙන්නෙ මෙතන..

      Delete
  9. කුසල් හා ජගත් පිච්චී මලාද?? නැතිනම් ජගත් මරා කුසල් සියදිවි හානි කරගත්තාද?? ක්‍රෙඩිට් කාඩ් අවුල දුර දිග ගියාද?? මටත් තේරෙනවා හොරයි බං..

    ReplyDelete
    Replies
    1. දේශා, මට උඹ ගැන පුදුමයි අදනම්.. වෙනදට මේ වගේ දේවල් උඹටනෙ කලින්ම මීටර් වෙන්නෙ.. ඊයෙ වැඩිවුනාවත්ද !?

      Delete
    2. අර ගෑනිගෙ කතාව ලිව්ව දවසෙ ඉඳල මුගේ තත්තෙ හොඳ නෑ මං හිතන්නෙ.

      Delete
    3. මොන ගෑනිද ? අර ටේලර් ට කියලා කට්ට ගස්සෝ ගත්ත එක්කෙනා ගැනද උඹ ඔය කියන්නෙ ? :)

      Delete
    4. තාමත් තේරුං ගන්න බෑ බං...

      Delete
    5. දැන්නම් උඹ බබා වෙනවා වගේ කියලයි මට හිතෙන්නෙ දේශකයෝ...

      Delete
    6. අඩේ තහඩුව වෙනස් කරලා ඒ ඩිංගට සෙන්නගේ..

      බබා නෙමෙයි බං සිරාවට.. අනේ මන්ද බං මට මේ ටිකේ හෙනහුරා ගහල..

      Delete
    7. ඔය තහඩුවෙ තියෙන්නෙ මමත් පය තියපු නැවක් හරිය...

      හා හා එහෙනම් බෙල්ල කඩා නොගෙන තිසරගෙ කමෙන්ට් එක කියවහන්කො..

      Delete
  10. ආපහු සැරයක් කියෙව්වා ඔන්න. අර දිනේට ඇහැ ගියේ දැන් තමයි. බලනකොට පස්සේ ලියලා තියන සිද්ධිය තමා මුලින් වෙලා තියෙන්නේ...ඒ කියන්නේ අර ඇඳ උඩ තිබ්බා කියන ගින්න, ගින්නක්ම නෙමේ. abstract ගින්නක්. පැන්ඩා බිම මොකද ඌට ඇඳේ ඉඩ මදි.

    මම හරිද සෙන්නෝ?

    ReplyDelete
    Replies
    1. මට මේ කල්පනා වුණේ ඔය ගින්නට 'ෆයර් එලාම්' වදින්න ගත්තොත් කොහොම හිටීද කියලා....

      Delete
    2. මම කිව්වෙ සයුරි මීටරේ කියලා.. පැන්ඩා පවු නේද ? :)

      තිසර, එහෙනම් වසල හමාරයි... :D

      Delete
    3. හෙහෙ...ඒක ප්‍රෙෂර් මීටරේ වගේ වෙලාවකට විතරනේ නගින්නේ...වැඩක් නෑ :)

      Delete
  11. මට හිතෙන්නේ මුලින්ම සඳහන් කරලා තියන ගින්නට ජගත් සම්බන්ධයි... මේ ගින්න ඇවිලෙන්න ඇත්තේ බිරිඳගෙන් දුරස්ව වාසය කරන ජගත්ට "පිලිපීනයේ ලස්සන" පෙනිලා වෙන්න පුළුවන්.... ඒ ගින්නට අබුඩාබියේ ජගත් වගේම, ලංකාවේ ඉන්න ජගත්ගේ බිරිඳගේ ලෝක ඇවිලිලා විනාශ වෙන්නත් පුළුවන්... නමුත් අර කිව්වා වගේ හොරෙන්ම නිවී යන්නත් පුළුවන්....

    අනිත් පැත්තෙන් තව කතාවක් තියනවා කියලා හිතෙනවා... රණ්ඩුවකින්, කේන්තියකින් කෙලවර වෙන සංවාදයක්... බැලු බැල්මට හිතෙන්නේ ආදරයක් කරුණාවක් නැති තැනක් කියලා, ඒ වුණාට ඒක එහෙමද? ඒ එක්කම ආදරය දෝරේ ගලනවා යැයි පෙනෙන තවත් සංවාදයක්... ඒත් එතන ඇත්තටම ආදරේ තියනවද?

    සෙන්නා.. මේ මාතෘකා දිග ඇරලා, පාඨකයාට විවිධ මාන ඉතුරු කරලා නියමිත තැනදි නවත්තන්න පුළුවන්කම තියෙන්නේ බොහොම පරිණත කතා කාරයෙකුට විතරයි. මේක මම මෑතකදී කියවපු හොඳම නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. වෙල් ඩන් තිසර... ලකුණු 100යි...

      නොසෑහෙන්න වැඩි වුනත් අර ප්‍රශංසාවටත් ස්තූතියි..

      Delete
    2. //"පිලිපීනයේ ලස්සන" පෙනිලා//
      හරියට හරි!

      Delete
    3. නොසෑහෙන්න වැඩි වෙන්නේ කොහොමද? ප්‍රශංසාවට මාත් එක පයින්ම එකඟයි.

      Delete
    4. දෙන්නෙක්ම දෙන එකේ ඔන්න ඔහෙ ගන්නම්කො එහෙනම්... තැන්කුයි ආ..

      Delete
  12. ගින්න අපිටත් රසවිඳින්න තිබුනනෙව තවත් ඇවිළුව නං. කොහොම උනත් මේ ආකෘතිය හොඳයි, බට් ඒ වගේම සංකේත මදිද කියලත් හිතනව. බලමු අපේ තිසර එහෙම මොනවද කියන්නෙ කියල!

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි මෙන්න තිසරය මට ඉස්සර වෙලා!

      Delete
    2. රාජ්,

      මම ගින්න වැඩිය විස්තර කරන්න නොගියෙ හිතා මතාම පාඨකයට ටිකක් හිතන්න දෙන්න ඔනා කියල හිතුන නිසා.. මට ඒක, එක එල්ලේ කියවපුවම නිකන්ම නිකන් ගින්නක් හැටියට පේන්නත්, අවධානෙන් කියෙව්වොත් සඛේතයක් ලෙස දකින්නත් ඕනා විදිහටයි ලියා ගන්න ඕනා වුනේ.. මම කොච්චර දුරට සාර්තකද කියලා ඉතින් උඹලම තමා දන්නෙ. අනිත් එක මම උපමා/උපමේය යොදාගෙන කරණ විස්තර කිරීම වලට හෙන දුර්වලයි බන්.. මගේ කතා අරගෙන බැලුවොත් ඒක නිකන්ම තේරෙයි.. නිකන්ම පොල්ලෙන් ගැහුවා වගේ කතාවම විතරයි තියෙන්නෙ..

      ගින්නට අහු වෙන්නේ කවුද කියන එකත් කියවන්නාට දෙපාරක් හිතලා හිතා ගන්න තමා ඔහොම නැවැත්තුවේ..

      Delete
    3. කොහොම උනත් එකක් නං ශුවර්. මේක මුල ඉඳල කියවගෙන යන එකා අන්තිමට හොල්මන් ද පොල්කොල වීම මත දෙවැනි වතාවට කියවන්න පෙළඹෙනව.

      Delete
  13. දැන් ඔය ගින්න බුර බුරා නැගෙනවා කිවුවහම මේ අහක ඉන්න අහිංසක බුරා ගැන ලෝකයා මොනවා නොහිතාවිද? පැහැදිලි චරිත ඝාතනයක් මෙතන සිද්දවෙලා තියෙනවා. මම බැලුවෙ මානව හිමිකම් කොමිසම පැත්තෙවත් යන්ට කියලා...

    ReplyDelete
    Replies
    1. ලෝකයා දන්නවා බන් උඹ බුරන්න යන්නෑ කියලා.. අනිත් එක ලී බෝනික්කො ගිනින්දර එක්ක සෙල්ලම කරන්න යන්නෑ කියලා කවුද නොදන්නෙ ? ඒක හින්දා මුකුත් හිතන එකක් නෑ.. කොමිසම පැත්තෙනම් ගියාට කමක් නෑ.. ඒක ඉතින් තිබුනත් නෑ වගෙලු නේද ? :)

      Delete
  14. ජගත් සාර්ථක දේශපාලුවෙක් වෙයි කවදා හරි. ඔහේ හිටියත් කොම්පැණියේ CEO වෙලා තමයි නවතින්නේ.

    අරූට වෙන්නේ ත්‍රී වීලර් එකේ අවංකයා හැමදා දුකේ කියලා ගහගෙන හයර් යන්න.

    ReplyDelete
    Replies
    1. හෙන්රි, එහෙම වෙයිද ? වර්තමාන තත්ත්වයනම් ඔයිට ටිකක් වෙනස්.. ඒත් ඉතින් අවංකයා දුකේ තමා නේද හුඟක් වෙලාවට...

      Delete
  15. කුරුන්ද මළවුන්ගෙන් නැගිටීමේ හාස්කම ගැන සතුට!!!

    //යන්ත්‍රාණුසාරයෙන් සයනයට බරවූ // කියන්නෙ mechanically ද?

    ReplyDelete
    Replies
    1. හාස්කම් නිකම්ම වෙන්නෑනෙ ප්‍රා.... හැබැයි ආයේ හයිබර්නේට් වෙයිද දන්නෑ... හෙහ් හෙහ්... :)

      ඔව් ඒ වගේ අදහසක්.. ඒ කියන්නෙ අපි නොහිතා යාන්ත්‍රිකව කරණ එදිනෙදා දේවල්...

      Delete
    2. එහෙමනම් වෙන්න ඕනැ "යාන්ත්‍රිකව". "යන්ත්‍රානුසාරයෙන්" නෙමෙයි.
      මේ......... අරෙහෙ වගේ උලතියන්නෙ නෑ නේද කිව්වට? කිරි නම් දැලි පිහියෙන් පොඩ්ඩක් කන්න පුලුවන්

      Delete
    3. ප්‍රා, අපෝ නෑ... උලනම් තියන්නෙ නෑ..

      ප්‍රා මෙහෙම කිව්වම මමත් ටිකක් හොයලා බැලුවා..(මම ඔය වචනෙ භාවිතා කළෙත් යාන්ත්‍රිකව එහෙම නැත්නම් යන්ත්‍රාණුසාරයෙන්.. ඒ කියන්නෙ වැඩිය හිතන්නැතිව. ඉබේ ) :) වචන දෙකම ඔය අදහසෙන් භාවිතයේ යෙදිලා තියනවා.. බලමු තව කාටවත් ඒ ගැන අදහසක් තියෙයිද කියලා.. වැඩි ඡන්දය ලබා ගන්නා වචනය ප්‍රතිස්තාපනය කරනු ලැබේ..

      Delete
    4. සෙන්නා මම හිතන්නෙ "යන්ත්‍රයක්මෙන්" කියන එකට "යාන්ත්‍රික" තමයි. "යන්ත්‍රානුසාරයෙන්" කිව්වහම "යන්ත්‍රයක් යොදාගෙන" වගේ - හොස්පිටල් බෙඩ් එකක් රිමෝට් එකකින් හාන්සි කලා වගේ. :-D

      ඔව් ඔව් දැන්ම වෙනස් කරන්න එපා, බුර්, විචාරක වගේ අය තීන්දුව දෙයි

      Delete
    5. මං හිතන්නෙත් ප්‍රා නිවැරදියි , යාන්ත්‍රිකව මෙන් කිව්වනම් නිවැරදි බවයි ..... (මගේ මතය පමණි වැරදි හෝ නිවැරදි වීමට හැක)

      Delete
    6. Pra hari. yanthrika misak yanthranusarayen kiyala yedeema sampoornayenma weradiyi

      Delete
    7. වරද පිළිගතිමි, නිවැරදි කෙළෙමි. වරද පෙන්වූ ප්‍රාටත්, එය තහවුරු කළ ඉවාන් හා රාජ්ටත් බෙහෙවින්ම තුති.

      Delete
  16. පරක්කු වුනා .. මතුපිටින් රළු ,අනාදරයක් පෙනෙන තැනක බොහෝ විට සැබෑ ආදරය තියෙනවා , හැබැයි ඕනවට වඩා ආදරය පෙන්නන යන තැනක් ආදරය නැති වෙන්නත් පුළුවන්, මේ කතාව තේරුම් ගන්න දෙසරයක්ම කියවන්නත් වුනා. සෙන්නගේ කතා කියවන්න ප්‍රැක්ටිස් වෙන්න වෙයි වගේ. නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්, මේ කතාව හුඟක් දෙනෙක්ට දෙපාරක් කියවන්න වෙලා වගේ නේද ? අර රාජ් කියනවා වගේ හොල්මන්ද පොල්කොල වෙලා වත්ද ? හෙහ් හෙහ් :D

      Delete
  17. ඔබගේ සියලුම ලිපි කියවා ඇත. ඒවා ඉතා අනර්ඝ පරිවර්ථන.
    පාලුවෙ හිටියෙ අප්පා... ඇති යංතං අවා...

    ReplyDelete
    Replies
    1. විසිටර්, ඔයාගෙ කමෙන්ට් එක දැකලා මට මොනා කියන්නද කියලා හිතා ගන්න බැරුව ගියානෙ.. අන්තිමට මම හිතාගත්තෙ මට මම ගැන අඩු තක්සේරුවක් තියනවා කියලා තමා... ස්තූතියි මේ සියළු බඩ වැල් කියෙව්වට ආ...

      Delete
    2. මෙහි ඇති සියලු බඩවැල් කියවා නැති මුත් බොහොම බඩවැල් දෙතුන් වතාවේ කියවා ඇති බව ගවුරව අභිමානයෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි. :D

      Delete
    3. මනෝජ්, ඒ පිළිබඳ මාගේ හද පිරි ස්තූතියද ගෞරව බහුමානයෙන් යුතුව ඔබට පිළිගන්වා සිටිමි.. :D

      Delete
  18. මටත් මේක හෙන අවුල් වුනා කමෙන්ට් වලින් ගොඩ දා ගත්තා...:)

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් නෑනේ...

      මේක පත්තරේකට එහෙම ලියුවනම් මට නියුමෝනියාවත් හැදිලා නතර වෙන්න තිබුනා එහෙනම්...කට්ටියගෙන් බැනුම්ම අහලා... හෙහ් හෙහ්.. :D

      Delete
  19. මේක ටෙලි නාට්ටියක් උනානම් වහ කන්ඩ වෙන්නෙ. තේරුම් ගන්ඩ බැරුව ගිහිල්ලා. විලි ලැජ්ජාව තියන මනුස්සයෙක් හැටියට කොහොමද ගෙදර උන්දලාගෙන් යටිපෙල ගැන තෙරුම අහගන්නෙ.

    දෙයියන්ගෙ පිහිටෙන් දේශකයා මට කලින් පඹගාලක පැටලිලා හිටිය නිසා යාන්තම්, තිසරගේ කොමෙන්ට් එක කියෝලා ගොඩ ගියා.
    ඒ එක්කම ඔය වගේ කොලු කුරුට්ටෝ සිය ගානක් හිටියා කියල බය නැතිව කිව්වැකි අර මම හිටිය ඉඟිල්ලෙන හමුදාවෙ.....

    ReplyDelete
    Replies
    1. මට මැවිලා පේනවා චූටි මහත්තයා මේකේ ටෙලිය බලලා. "මොකක්ද අනේ ඒකෙන් කියන්නේ ! ?? " කියලා කට ලොකු කරගෙන ගෙදර අයගෙන් අහනකොට ගෙදර අය කිංඩියට හිනා වෙනවා...

      ඔහොම කොළු කුරුට්ටො හැම තැනම ඉන්නවා.. ඕවයෙ ප්‍රතිවිපාක හරියටම දන්නවනම් උන්දලා ඕවා කරයිද නේද ?

      Delete
  20. ශා.. මෙන්න ආයෙත් කූරුන්දෙ නරි හූ කියනවා..

    මට නම් කතාව තේරුනේ නෑ. කමෙන්ට් වලින් තමයි ටිකක් හරි තේරුම් ගියේ.. ඒත් ඇත්තටම කතාව තේරුම්ගන්න බෑ කියලා තමයි හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න බැරි අයට වෙන්නැති නරි හූ කියන්නෙ... :)

      සයුරිගෙ කමෙන්ට් එක කියවලා තිසරගෙ කමෙන්ට් එක කියවන්න.. ඒත් තේරුන් නැත්නම් හීයක් එවන්න...

      Delete
  21. බොහොම කාලෙකට ඉස්සර මං කතරෙ ඉන්නකොටත් ඔහොම ගිණි බොහොමයි.. පකිස් අය්යලා අපේ ගෑණුලමයි එක්ක ගින්නෙ හිටපු එක නං ප්‍රසිද්දයි.. සෙන්නගෙ විස්තර වලින් මට මතක් උනේ මගෙ එක්තරා සගයෙක් .. නෝනා කතා කලාම ෆෝන් එක ගන්නෙ දෑතින්.. උම්ම නොදෙන එක විතරයි.. කවදාවත් නෑ බෑ නෑ. හැබැයි ඉන්න ගෙදරටත් ගින්දර අරං ගියා.

    ReplyDelete
    Replies
    1. මැදපෙරදිග කලාපෙනම් ඔය ජාතියෙ ගිනි බොහොමයි තමා සරත් අයියා. කට්ටිය නිදහස උපරිමෙන් බුක්ති විඳිනවා...

      Delete
  22. ගින්න ලෙස සෙන්නා උපමා කරලා තියෙන්නෙ ස්කයිප් කථා බහ අතර ඇති වූ කෝපය නිසා හටගත් තත්වය විය යුතුය.

    ReplyDelete
    Replies
    1. නෑ සිරා. ඒ කෝප ගින්නනෙ.. මේක වෙන ගින්නක්... මහ භයානක ගින්නක්...

      Delete
  23. කතාව නිදහසේ කියවලා තේරුම් ගන්න පුළුවන් වටපිටාවක ඉඳගෙන නෙමෙයි කියෙව්වේ
    කමෙන්ට් ටිකත් කියවල තමයි ගේම ගොඩ දා ගත්තේ
    ඉතාම නිර්මාණශීලී සහ සාර්ථක ලිවීමක්

    මමත් මැදපෙරදිග පැත්තේ කාලයක් උන්නට ගිනි රස්නයක් ගැන හිතන්නත් බය හිතෙන රටක හිටියේ
    ගින්දරත් එක්ක සෙල්ලම් හොඳ නැහැ කියන එක ඒ රටට අපුරුවට ගැලපුනා

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා, ගොඩ දාගත්තනම් ඒ මදෑ... :)

      මට හිතා ගත්තෑකි ඔය කියන රට.

      Delete
  24. කොමෙන්ට් ටික බලල තමයි හිතා ගත්තේ.. හෙහ් හෙහ්... ලංකාවට ගිය වෙලාවේ අපේ ගෙවල් පැත්තේ තිබුණු මළගෙදරක ගියා. ඒ ගේ හදල තිබුණු හරියට ඉස්සර අපි කිව්වේ කුරුන්ද කියල.. මට සෙන්නව මතක් වුණා..

    ReplyDelete
    Replies
    1. රට ගිය ඇත්තො වෙලත් කමෙන්ට් බලන්න වුනාද ? ඔහෙ ඒ ජාතියෙ ගින්දර නැතුව ඇති එහෙනම්...
      හෙහ් හෙහ්.. එහෙම හරි මතක් වෙච්ච එක ලොකු දෙයක් ..... :D

      Delete
  25. කතාව තේරුම් ගන්න දෙසරයක් කියවන්න වුන කමෙන්‍ටුත් සමග. දෙවෙනි සැරී හිමීට කියෙව්වම තමා තෙරුනේ.ඔනෑවට වඩා චා‍ටුව, රහස් ගොඩක් කියල හිතන්න පුලුවන්. අනිත් කෙනා කෙලින්ම අදහස් ප්‍රකාශ කරන. හොඳ සමාජ විවරණයක්. මෙතන ලියල අනිත් අය වරදවා නොසිතාවි කියා සිතනවා. මා ඉන්න පරිසරයෙන් ලබපු අත්දැකීම් අනුව රට යන ගොඩක් පිරිමි (සමහර ගැනු අයත් ඇතුලුව) තව සම්බන්දෙකට නිතැතින්ම පෙලඹෙනවා.

    ReplyDelete
    Replies
    1. නිල් මානෙල්,

      රට හුඟක් අයට තමන් රට ආපු අරමුණ අමතක වෙනවා.. ඒක තමා හුඟක් වෙලාවට ඔය වගේ දේවලට හේතුව..

      Delete
  26. ඔන්න මමත් ආමි !
    ගින්න ගැන කියල තියන කොටස දෙපාරක් විතර කියෙව්වම කතන්දරේ තේරුනා.

    ReplyDelete
    Replies
    1. උඹ ආමිද ? මම හිතුවෙ නේවි කියලා ? :)

      මේක තනියම තේරුම් ගත්තු දෙතුන් දෙනාගෙන් කෙනෙක් එහෙනම් උඹ චන්දනයො...

      නැවත පැමිණීම සතුටක්... ලියමු එහෙනම් පට් පට් ගාලා...

      Delete
  27. දැවෙන සිත්, දැවෙන සිරුරු, ස්කයිප්, ලැප්ටොප්.....
    හරිම සංකීර්ණයි කියල හිතුවට ලිහාගෙන ලිහාගෙන ගියහම ඇතුලෙ හිස් නේද ?
    සෙන්නා කියන්න වගේ සංකීර්ණ "කරගත්තු" ජීවිතවලටම දැනෙන කථා මේව
    රාජසිංහ රජ්ජුරුවන්ට "ඩග් ගාල අපායට යාවි" කියල හාමුදුරුවො කරගත්තු වින්නැහිය කරගන්නෙ නැතිව මේ ශෛලියෙන් [ශානරයෙන්? :-P ] ලියන එක හොඳයි - ස්තූතියි හා ජය!

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියා, සතුටක් මේ පැත්තට ගොඩවීම..

      හැමදේම හිස් කියලා තේරුම් ගන්න පෘතග්ජනයො වෙච්චි අපට කල් යනවනේ.. හති දාගෙන පස්සෙන් පන්නලා පන්නලා අල්ල ගත්තට පස්සේ තේරෙනවා මොකක්ද මේ විකාරෙ ඇති දෙයක් නෑනෙ කියලා..

      රාජසිංහ රජ්ජුරුවන්ගේ කතාවනම් මම අහලා නෑ කියලා ශුවර්.. වෙලාවක් තියනවානම් ඒකත් කියලම් යන්නකො...

      ඔබටත් ජය හා සතුට !

      Delete
    2. මාසෙට එකක්ද ලියන්නේ ;-)

      රාජසිංහ රජ්ජුරුවෝ තමන් කල අකටයුතූ කම් වල විපාක කොහොමද කියල හාංදුරුවන්ගෙන් ඇහුවාම කොලේ වහන්නේ නැතිව "ඩග් ගාලා අපායට යාවි" කිව්වලු පුතයගෙ හැටි ගැන හිතන්නෙවත් නැතිව
      සේනාසසනයේ සියල්ලන්ටම මැරුම් කන්න වුණා පමණක් නෙමේ අරිට්ටකීවෙනිඩු පෙරුමාල්ට රාජ්‍ය පාලනය අස්සට රිංගන්නත් ඉඩක් ලබුණ. තව ඩිංගෙන් සිරීපාදෙත් අද වෙනකොට හින්දු කෝවිලක් කීර්ති ශ්‍රී රාජසින්හ නරනා නොවෙන්ට! යමක් කියනකොට ඉතින් වටෙන් කියනෙකෙත් සෙතක් ඇත!

      ලියමු ඈ - ඩීන් මහත්තයත් සෙන්නගෙ ලිපි ගැන හරියට වනනව!
      ඔය කොමෙන්ට් දදා හිටියවගේද ලියන එක

      Delete
  28. හොඳ වෙලාවට පරක්කු වෙලා කියෙව්වේ... :) ගින්නක් කිව්වාම මගේ හිතේ ඇඳුනේ ඇත්තම ගින්නක්... ඒකෙන් තමයි සේරම අවුල් ගියේ... අන්තිමට කමෙන්ට් වලින් ගොඩ ගියා...

    ReplyDelete
    Replies
    1. චැහ්.. මට තිබුනෙ අනිත් කමෙන්ට් හංගලා තියන්න... :)

      ස්තූතියි බීටලේ කියෙව්වට..

      Delete
  29. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  30. සිද්ධිය ඉතිං දන්නා හින්දා මටනං කතාව තේරුනා... ඕවා ඉතිං මේ මැදපෙරදිග සුලභ දේවල් නෙව.

    ReplyDelete
  31. සෙන්නා සහෝ ස්වතන්ත්‍ර නිර්මාණකරණයට බැස්ස එක නම් ගොඩාක් හොඳ දෙයක්...! ඉස්සරහට තවත් හොඳ කථා ලියවේවි කියලා හිතෙනවා...! ජය

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!