2014 මැදින් මස 24 වනදා
එදා ඉරිදාවක් බව මට හොඳට මතකයි. ඒ, එදා මම වැඩට ගියේ ටිකක් පරක්කුවෙලා නිසා හා කලින්ම ආපු බව මතක නිසා. ෂිපින් කරන අපිට වෙලාව, අවෙලාව, සති අන්ත, ඉරිදා, පෝය, අවුරුදු, නත්තල්, වෙසක් ඔය මුකුත්ම හිමි නෑ. නැව් එන්නේ කවදද එදාට සුදානම් වෙලා ඉඳීම අනිවාර්‍යයි. අතේ බැඳපු ඔරලෝසුව බල බල, වෙලාව ගෙවෙනකම් බලන් ඉන්න, සති අන්තේ හරි නිවාඩු එනකම් හරි ඇඟිලි ගනින අයට මේ ජොබ් එක කරන්න බෑ. අපි කතාවට කියන්නේ ෂිපින් කරන උන් මැරුණ ගමන් කෙලින්ම දිව්‍ය ලෝකේ යනවා කියලා.
එදා උදේ මම වැඩට යනකොටත් තාත්තා අසනීපෙන් හිටියේ. හරි හමන් කෑමක් නැතුව, බඩේ අමාරුවක් කිය කිය තැම්බුම් හොදි බිබී හිටියේ. බඩ කොච්චර ඉදිමිලාද කිව්වොත් දිලිසෙනවා. අන්තිම පාර දොස්තර මහත්තයා ගාවට ගියාම කිව්වේ "පණට ආසාවක් ඇත්නම් ආයේ කටේ තියන්න එපා"කියලා. ඕන්නම් දවස් තුනක් පිළිපදින්න ඇති ඒ නියෝගය. ආයේත් පටන් ගත්තා ජරාව බොන්න. මෙච්චර අමාරුවෙන් ඉද්දිත් ගිහිල්ලා අරන් ඇවිත් හංගගෙන බීපු එකනෙ වැඩේ කියන්නේ. මේ ජරා බීමට ඇබ්බැහි වුණාම ආයේ ගැලවිල්ලක් නෑ. තාත්තා බීමට ඇබ්බැහි වුණ විදිහ මට හොඳට මතකයි. මුලින්ම බිව්වේ පඩි දවසට විතරයි. කාලක් ගෙනල්ලා තියාගෙන පැත්තකට වෙලා බිව්වා. කාටවත් කරදරයක් නෑ. අම්මා වුණත් ඒකට දොසක් කිව්වේ නෑ. බයිට් එකක් එහෙමත් හදලා දුන්නා කණු කුණු නොගා. ඊට පස්සේ සති අන්ත වල බොන්න පටන් ගත්තා. ඒකටනම් අම්මා එහෙන් මෙහෙන් පොඩි කරු කුරුවක් දැම්මා. ඊටත් පස්සේ සතියට දවස් දෙක තුනක් බොන්න ගත්තා. ඊළඟට පෝය හැර හැමදාම බොන්න පටන් ගත්තා. අන්තිමට පෝයටත් පස්වෙනි සිල් පදේ කඩන්න තාත්තා බය වුනේ නෑ. ඇබ්බැහියේ තරම එහෙමයි. ඒ කියන්නේ තාත්තා දැන් බේබද්දෙක් වෙලා අහවරයි. හැබැයි ඔය බිව්වේ රෑට විතරයි. ජොබ් එකෙන් අයින් වුණාට පස්සේ උදේටත් බොන්න ගත්තේ ඉරණමෙන් තීන්දු වෙලා තිබුණේ එහෙම නිසා වෙන්න ඕනා. ඊට පස්සේ තාත්තගේ මුළු ජීවිතේම වුණේ බීමත් කම තමා. කොටින්ම, ජීවත් වුණේ බොන්න. බීම වැඩිවීමට සමානුපාතිකව පවුලේ සමගියත් ටික ටික දියවෙලා ගියා. අම්මා හැම තිස්සේම ඇඬු කඳුළින්. ඒත් ඒ කඳුළු වලට පුළුවන් වුණේ නෑ තාත්තව ඒ නරක ඇබ්බැහියෙන් මුදව ගන්න. බීමත් කමට ඇබ්බැහි වුණ තාත්තා කෙනෙක්ගේ දරුවෝ විඳින මානසික පීඩනය මම සහ මගේ සහෝදර සහෝදරියන් නො අඩුව විඳලා තියනවා. තාත්තගේ බීමත් කම නිසා සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන්න වෙයි කියන බය බොහොම තදින්ම දැනෙන දෙයක්. "උඹලෑ තාත්තා හෙන බෙබේ නේද?" එහෙම නැත්නම් "ඒ බං අපි ඊයේ උඹලෑ තාත්තා බීලා වැනි වැනි යනවා දැක්කා" කියලා කවුරුහරි කොයි වෙලේ හරි අහයි, කියයි කියන බය නිතරම අපිව පෙලුවා. අම්මා අඬනවා දකින දේත් ළමයින්ගේ හිත්වලට එච්චර සුවදායක නෑ. තාත්තගෙ බීමත්කම නිසාම අපි මුහුණදීපු ආර්ථික අමාරුකමුත් එමටයි. ඒවා බීමට ඇබ්බැහිවුණ තාත්තා කෙනෙකුට කවදාවත් තේරුම් ගන්න පුළුවන් දේවල්ද !?
මම වැඩට ගිහින් එනකොට තත්ත්වය දරුණු අතට හැරිලා. තාත්තා ලේ වමනේ දාන්න පටන් අරන්. දැන්නම් ඉතින් තවත් බලන් ඉන්න බෑ. තාත්තා බෑ කියනකොටම බලෙන්ම වගේ ස්පිරිතාලේට ගෙනියන්න අපි තීරණය කළා. වෙලාව හවස හතරට විතර ඇති. ත්‍රීවීල් එකක් කතා කරගෙන අම්මයි මමයි තාත්තව මැදි කරගෙන ඒකට නැග්ගා. අයියා මෝටර් සයිකලෙන් අපිත් එක්කම වගේ ආවා. ඒ වෙලාවෙ අපේ ගෙදර ඇවිත් හිටිය් දමිතුත් අපිත් එක්ක එකතු වුනා ඉස්පිරිතාලෙට යන්න. ස්පිරිතාලෙට ගෙනියනකොටත් තාත්තා හොඳට හිටිය බව මතකයි. සිහි කල්පනාව එහෙම හොඳට තිබුණා. ඕපීඩී එකේදි ලියාපදිංචි කරලා තාත්තව වාට්‍ටුවට යොමු කෙරුවා. ඒ, කලින් දෙවතාවක් හිටපු එකම නිසා තාත්තා යන්නත් ටිකක් අදිමදි කළා දොස්තරලගෙන් බැණුම් අහන්න වෙයි කියලා. කොහොම හරි අපි තුන්දෙනා ගිහින් තාත්තව වාට්‍ටුවට භාර දුන්නා. හොඳ වෙලාවට ඇඳකුත් හම්බුනා. ඒ වෙනකොට ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙලා තිබුණ නිසා "එක්කෙනෙක් ළඟ ඉඳලා අනිත් අය යන්න" කිය කිය සිකියුරිටි කාරයොයි, ඇටෙන්ඩන්ලයි බුරන්න පටන් ගත්ත නිසා අපි තුන්දෙනාටම එතන ඉන්න හැකියාවක් තිබුණේ නෑ. මම, එදා රෑ තාත්තා ළඟ නවතින්න තීරණය කරපු නිසා අයියා කිව්වා මම පහළට ගිහින් මොනවා හරි කාලා එනකම් එයා තාත්තා ළඟ ඉන්නම් කියලා. අම්මයි, මමයි, දමිතුයි තාත්තට ගිහින් එන්නම් කියලා පල්ලෙහාට බහිනකොටත් තාත්තා ඇඳේ වාඩි වෙලා හොඳට හිටියා. "හා" කියලා ඔළුව වැනුව හැටි මට තාම මතකයි. ඒ මේ භවයෙදී අම්මයි, මමයි තාත්තා එක්ක කතා කරපු අන්තිම වචන කිහිපය කියලා අපි මොහොතකටවත් හිතුවේ නැත්තේ තාත්තට ලේ වමනේ ටිකක් යනවට වැඩිය අමාරුවක් නොපෙන්නුව නිසා හා කොහොම හරි සුවකරගෙන නැවත එක්කන් යන බලාපොරොත්තුව අපේ හිත්වල තිබුණ නිසා වෙන්න ඕනා.
අම්මව නතරකරගෙන හිටපු ත්‍රීවීල් එකටම නග්ගලා ගෙදර යවලා, මම රාගම ස්පිරිතාලේ පල්ලෙහා තිබුණ හෝටලයට රිංගුවේ මොනවා හරි බඩට දාගන්න. හේතු දෙකක් නිසා මට කන්න පිරියක් තිබුණේ නෑ. එකක් පැවතුණු වාතාවරණය නිසා හිතේ තිබුණු අවිවේකී බවයි ආතතියයි. අනෙක් එක, මේ හෝටල්වල තියන අපිරිසිදුකම. මට පෙන්නන්නම බැරි වැඩක් තමා තියන ඔක්කොම කෑම ජාති ගෙනල්ලා මේසෙ උඩ තියන එක. කන එවුන් ඔක්කොම අල්ල අල්ල ආයෙ පිගානටම අතාරිනවා. කාපු නැති ටික ආයෙ වීදුරු කූඩුවට යනවා. වෙන කවුරු හරි ඉල්ලුවම ආයේ ඒවම ගෙනත් දෙනවා. මොන ඌරු වැඩක්ද කියලා මටනම් තේරෙන්නෑ. සෞඛ්‍ය පරීක්ෂකයන්ට මේවා පේන්නැද්ද ? නැත්නම් ජරාවෙන් ඒගොල්ලන්ගේ දෑස් වැහිලද?
හංවෙලා තිබුණ බිත්තර රොටියක් කාලා, නහය වහගන්නැතුව බොන්න බැරි නිසා තේ එකක් නොබී, කූල් බීම බෝතලයක් බීලා මම දනි පනි ගාලා ආයේ කන්ද නගින්න ගත්තේ අයියව ඉක්මනින් ගෙදර යවන්න ඕනා නිසා. මම පඩි පෙළත් නැගලා තාත්තා හිටපු වාට්‍ටුවට ඇතුළු වෙනකොටම ටිකක් අමුතු දෙයක් දැක්කා. එක ඇඳක් වටේ කට්ටිය වට වෙලා ඉන්නවා. මම ඒත් හිතුවේ වෙන කවුරු හරි ලෙඩෙකුට අමාරු වෙලා කියලා. ළඟටම ගියාම තමා දැක්කේ ඒ තාත්තගේ ඇඳ තමා කියලා. ඕන් එතකොටයි මට හීන් දාඩිය දාන්න ගත්තේ. මම බැලුවා අයියා කෝ කියලා. එයත් දොස්තරලට, නර්ස්ලට පිටි පස්සෙන් ඉඳගෙන බයවෙලා වගේ තාත්තා දිහා බලන් හිටියා. දොස්තර කෙනෙක් තාත්තගේ පපුව ඔබ ඔබ කෘතිම ශ්වසනය දෙනවා.
"මොකද වුණේ ? " මම අයියගෙන් ඇහුවේ බය වෙලා.
"එක පාරටම මට අමාරුයි කියලා ඇඳේ දිගා වුණා. මම කෑ ගහපුවම තමා කට්ටිය දුවගෙන ආවේ."
වෙන්නේ මොනවද කියලා මමයි අයියයි ඇස් උඩ තියාගෙන බලන් හිටියේ. ඒක මගේ ජීවිතයේ අවිනිශ්චිතවම ගෙවුණු තත්පර කිහිපයක්. තාත්තගේ වෙලාවද නැත්නම් හැමදාම රාගම ස්පිරිතාලේ එහෙමද කියන්න මම දන්නැ, වාට්‍ටුව භාරව නිසි දැනුමක් තියන වෛද්‍යවරයෙක් ඒ වෙලාවේ හිටියේ නෑ. හිටිය ඔක්කොම වෛද්‍ය ශිෂ්‍යයෝ විතරයි හිටියේ. අපි අරක දීලා බලමුද, මේක දීලා බලමුදා කියලා පොත් පෙරළ පෙරළ දෙන්න ඕනා බේත් ජාති හොයමින් නටපු නාඩගමක් ! ෂොක් ට්‍රීට්මන්ට් දීලා බලමු කියලා තීරණය කරලා ඒකත් කෙරුවා. ඒත් තාත්තගේ නැවතුන හදවත නැවත පනගන්වන්න ඔවුන්ට බැරුව ගියා.
"හරියන්නෑ" කියන්න තොල පෙරළන ගමන් කරණ ඔළුව දෙපසට වැනීම, කනගාටුව මුසු වූ බැල්ම, සුදු පිරුවටය තාත්තාගේ හිසත් වසාගෙන ඉහළට ගමන් කිරීම, මුලු ලෝකයම කැරකෙමින් පෙරළෙමින් කඩා වැටීම, ඔක්කොම සිදුවුණේ එකටම වගේ. තාත්තා අපිව දාලා යන්න ගිහින් කියන සත්‍යය පිළිගන්න බැරුව අයියත් මමත් තාත්තගේ නිසල දේහය බදාගෙන කෑගහලා ඇඬුවා. එහෙම කළාට තාත්තා ආයේ නැගිටින්නෑ කියන එක තේරුම් ගන්න තරම් අපේ තර්ක බුද්ධිය ඒ වෙලාවෙ නිරවුල් නෑ. යාළුවන්ගේ තාත්තලගේ මලගෙවල් වල ගියාට අපේ තාත්තා මැරෙයි කියලා කවදාවත් නොහිතුණ හැටි. ඒක කොහෙත්ම වෙන්ඩ බැරිදෙයක් හැටියට අපේ හිත් විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම එක අතකින් හරිම පුදුමයි. මේ ලෝකේ හැම මිනිහෙක්ම මැරෙනවා කියන සත්‍ය අපි කවුරුත් දැනන් හිටියට ඒක අපිට සහ අපේ සමීපතයින්ටත් පොදු බව අපිට නොහැඟෙන හැටි. ඒක තමා අපේ කෙනෙක් නැතිවුනාම අපිව ගල් ගැහෙන්නේ. විශ්වාස කරන්න බැරුව තුෂ්ණිම්භූත වෙන්නේ. මේ වගේ අකල් මරණ වලදී මේ හැඟීම දෙගුණ තෙගුණ වෙලා දැනීම අහන්නත් දෙයක්ද ! අපි ඒ හැඟීම නොඅඩුවම විඳිමින් හිටි මොහොතක් තමා මේ ගෙවෙමින් පැවතුණේ.
ඒ වෙලාවේ වාට්‍ටුව භාරව හිටපු ප්‍රධාන හෙද නිලධාරිය ඇතුළු කට්ටිය අපිව සනසන්න මොන මොනවදෝ කිව්වා වගේ මතකයි. ඒත් ඒ කියපු කිසි දෙයක් අපේ කන්වලින් ඇතුළට නොගිය නිසා කිව්වේ මොනවද කියලා මට මේ මොහොතේ ලියන්න දැනුමක් නෑ. ඔය වගේ වෙලාවට භාවිතා කරණ සාම්ප්‍රදායික වදන් මාලාවම භාවිතා කරන්න ඇති කියන උපකල්පනයක් විතරක් කරන්න පුළුවන්.
ටිකකින්, ට්‍රොලියක් තල්ලු කරන් ආපු රෝහල් සේවකයෝ දෙන්නෙක් තාත්තගේ දේහය උස්සලා ඒකෙන් තියාගෙන යන්න ගියා. වාට්‍ටුවෙන් අපිට කිව්වේ දැන් ගෙදර ගිහින් මිනිය භාර ගන්න හෙට එන්න කියලා. රෝගියව රෝහලට ඇතුළත් කරලා පැය විසිහතරකට වඩා අඩු නිසා අනිවාර්යයෙන් මරණ පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් දැනුම් දුන්නා..
අයියයි මායි කොහොම ගෙදර ආවද කියන එකත් මට නිනව් නෑ. රෑ ළඟ නවතින්න ගිය මිනිහා මොකද ගෙදර ආවේ කියන විස්මයාර්ථය අම්මටත් අනෙක් අයටත් ඇතිවුණා කියලා ඔවුන්ගේ මුණු දැකපු ගමන් මට හිතා ගන්න පුළුවන් වුණා.
"ඇයි පුතේ ! ? " කියලා අම්මා ඇහුවේ හොඳටම බයවෙලා කියලයි මට හිතුණේ. ඒත් ඒකට උත්තර දෙන්න කලින් මගේ කඳුළු ඉස්සර වුණා. ඒකෙන් කියන්න ඕනා ඔක්කොම ඔවුන් වටහා ගන්න ඇති. ඊළඟ නිමේෂයේදී අසල්වැසියෝ අපේ ගේ වට කරගත්තේ පළාතම දෙදුරුම්කන තරමින් නැගුණු විලාපය නිසා. අපි ඔක්කොම එකට ගුලි වෙලා ඇති වෙනකම් ඇඬුවා. ඊළඟට මොනවද කරන්න ඕනා කියන එක වටහා ගන්නත් අපිට ටික වෙලාවක් ගියා. අනාරාධිතවම අසල්වැසියෝ වැඩට බැහැලා. සමහරු ඉස්සරහා මිදුල අස්පස් කරනවා, මඩු ගහන්න. ගැහැණු අය අම්මයි නංගිලයි එක්ක ඔවුන්ගේ දුක බෙදා ගන්නවා. එකම කතාව නැවත නැවත ප්‍රතිරාව කරන්න වුණත් ඒකෙන් වේදනාව තුනීවෙන හැටි හරිම පුදුමයි ! තාත්තගෙන් පස්සේ ගෙදර වැඩිමහලු පිරිමි දෙන්නා හැටියට අයියටයි, මටයි කටයුතු සංවිධානය කිරීමේ වැඩි වගකීමක් පැවරුණා. මස්සිනා නවරත්නත්, ගෙදර නැවතිලා හිටපු මගේ යාළුවා ඉන්දිකත්, මල්ලිත් හිටපු නිසා අපිට කටයුතු බෙදාහදාගෙන කරණ එකනම් කොහෙත්ම ගැටලුවක් වුණේ නෑ. පහුවදා අම්මයි මමයි ස්පිරිතාලෙට ගිහින් මිනිය නිදහස් කරගන්න අතරේ, අයියා අනිත් අයත් එක්ක ගෙදර වැඩ ටික එකලස් කරගන්න කතා කරගත්තා. හෙට කාර්යය බහුල දවසක් නිසා ටිකක් නිදාගන්න බලන්න කියලා හැමෝම කිව්වත් නින්ද අහලකවත් නෑ. එදා රෑ එළිවෙනකම් කුරුන්දෙන් නරි කෑ ගහනවා මම අහගෙන. උන්ට ඒ වගේ දේවල් දැනෙනවා කියලා මම අහලා තියනවා.
පහුවදා උදෙන්ම වගේ අම්මයි මමයි ස්පිරිතාලේට ආවා. ලෙඩගානේ හිටපු අම්මව එක්කන් එන්න වුණේ ලෙඩාව ඇතුළත් කරනකොට අපි කරපු මෝඩ වැඩක් නිසා. ඒ රෝගියාගේ භාරකාරයා හැටියට අම්මගේ නම දාපු එක. භාරකාරයට විතරලු පුළුවන් ලියකියවිලි වලට අත්සන් කරලා මිනිය භාර ගන්න. අපිත් එක්ක ඔය වගේ කටයුතු ගැන හොඳ අවබෝධයක් තියන අසල්වැසියෙක් වුණ ක්‍රිස්ටි මාමත් එකතු වුණා. ඇත්තටම ඒ වෙලාවේ ඒ මනුස්සයා ආපු එක අම්මටයි මට ලොකු පහසුවක් වුණා.
එතනට ගියාම සුපුරුදු විදිහට රස්තියාදුව. අතනට යන්න, මෙතනට යන්න, අතෙන්ට කට උත්තර දෙන්න, මෙතෙන්ට කට උත්තර දෙන්න කිය කිය උපරිමෙන්ම අපිව මැඩෙව්වා. ඒක හිතාමතා කරන දෙයක් නෙමේ වෙන්න ඇති, ඒත් නිසි පිළිවෙළක් නැති කම නිසා මානසිකවත් වැටිලා ඉන්න මිනිස්සු තවත් අසරණ වෙනවා. අනිත් කාරණය රාගම රෝහලේ භූවිෂමතා ලක්ෂණ. අසනීපෙන් ඉන්න අම්මා වගේ කෙනෙකුට ඒකෙ තියන කඳු පල්ලම් නගිමින් බහිමින් හක්කලන් කරන්න ලේසි නෑ. මරණ පරීක්ෂණේ ඉවර වුණාම මෝචරියට ගිහින් මිනිය භාර ගන්න කියපු නිසා අපි තුන්දෙනා ආයේත් පල්ලෙහාට බැහලා මෝචරියට ආවා. අයියලා කතා කරලා හර්ස් එකක් එවලා තිබුණා මිනිය අරගෙන යන්න. එතන ගිහින් මිනී කුණුගඳ දරාගෙන ටිකක් වෙලා ඉන්නකොට කපලා කොටලා විරූපී වෙච්ච තාත්තගේ සිරුර ට්‍රොලියක දාගෙන අපි ලඟින්ම අරගෙන ගියා හර්ස් එකට දාන්න. තාත්තගෙ පපුව මැද්දෙන් බඩ දක්වාම පළලා බොත්තම් ඇරපු කමිසක් වගේ දෙපැත්තට දාලා තියන විදිහ මගේ දෑසින්ම දකින්න තරම් පුතෙක් හැටියට මම අවසනාවන්ත වුණා. ඒ දර්ශනය අම්මගෙන් හංගගන්න මම පුළුවන් උත්සහා කළාට ඒක හරි ගියාද කියලා මට දැන් මතක නෑ. අන්තිමට එතනිනුත් ලියකියවිලි වගයකට අත්සන් අරගෙන තවත් මොකක්ද කොළයක් දුන්නා තව ඔෆිස් එකකට ගිහින් දෙන්න කියලා. ඒකට ආයෙත් උඩට නගින්න ඕනා වුණා. එතනට ගියාට පස්සේ අම්මවයි මාවයි වෙන වෙනම ප්‍රශ්න කළා වගේ මතකයි. ඊට පස්සේ එතනින් නිකුත් කළා මරණ පරීක්ෂණ සහතිකය. මරණයට හේතුව : Alcoholic Liver Disease කියලා බොහොම පැහැදිලිව ඒකේ ලියවිලා තිබුණා. ඒක අපි නොදන්න දෙයක්වත්, බලාපොරොත්තු නොවෙච්ච දෙයක්වත් නොවන නිසා අපිට ඉතුරුවෙලා තිබුණේ ඒකත් අරන් පල්ලම් බහින්න විතරයි.
මමයි අම්මයි ගෙදර එනකොටත් ගෙදර සෑහෙන පිරිසක් රැස් වෙලා හිටියා. සීයලත් ගමේ ඉඳන් ඇවිත් තිබුණා. සියව දැකපු ගමන් මට හිතුණේ තාත්තා කෙනෙක්ට අකාලයේ තමන්ගේ දරුවෙක් නැති වුණාම දැනෙන දුක, පුතෙක්ට තමන්ගේ තාත්තා අකාලයේ මියැදුණාම දැනෙන එකමද කියලා. හොඳ බෞද්ධයෙක් වුණ සීයා, බුද්ධ ධර්මයෙන් ලැබුණ හික්මීම නිසාද මංදා එච්චර දුකක්නම් පෙන්නුවේ නෑ. අම්මා එක්ක කතා කරන ගමන් අම්මාගේ හිත හදන්නත් එයා සෑහෙන්න උත්සහ කළා.
දැන් ඉතින් අපට තියෙන්නේ මිනිය ගේනකම් බලා ඉන්න විතරයි. එතකම් අවශ්‍ය වෙන සුළු සුළු දේවල් ටිකක් සකස් කරමින් අපි කාලය ගත කළා. ඊයේ තාත්තා මිය ගිය බව දැනගත්ත වෙලාවේ ඉඳලා මේ වෙනකම් කිසිම අවස්ථාවක මට තාත්තා මිය ගිහින් කියන එක පිළිගන්න හැකියාවක් තිබුණේ නෑ. හිතෙන්නෙම තාත්තා අපි අතර ඉන්නවා කියලා විතරයි. සමීපතමයෙක් මිය ගිය කෙනෙක්ට මම මේ කියන අත්දැකීම වටහා ගන්න එච්චර අපහසු වෙන එකක් නෑ. මරණය කියන භයානක සත්‍ය පිළිගන්න අපි එතරම්ම අදිමදි කරනවා.
හවස හතරට විතර තාත්තගේ මෘත දේහය තැන්පත් කරපු හර්ස් එක නිවසට ළඟා වුණා. හීනියට පටන් ගත්තු ඉකිබිදීම් මහා විශාල විලාපයක් වෙන්න වැඩි වෙලා ගියේ නෑ. හර්ස් එකෙන් අපේ කර මතට ආපු තාත්තගේ දේහය තැන්පත් කරපු පෙට්ටිය, සාලේ මැද්දේ මල්ශාලාවේ අය විසින්ම පිහිටවපු කණු හතරක් මත තැන්පත් කළේ බටහිරට ඔළුව තියන විදිහට. ඒක එකම කලබලයක්! එහෙන් අම්මලාගේ ලතෝනිය, මෙහෙන් අපි පෙට්ටිය වැටෙන්න නොදී කණු උඩ රඳවන්න ගන්න උත්සහාය. ඔය කලබල සියල්ල අස්සේ තමා හදිසියේම ඒ අසලම ඉඳන් අඬන සීයව දැක්කේ. කොච්චර ලෝක ස්වභාවය ගැන නිතර මෙනෙහි කළත්, තාත්තා කෙනෙක් හැටියට තමන්ගේ දරුවෙක්ව මිනී පෙට්ටියක බාහලා ඉන්නවා දකින්න කවදාවත් බලාපොරොත්තු නොවිච්ච සීයටත් ඒ වෙලාවේ තමන්ව පාලනය කරගන්න බැරුව යන්නැති. ඒකයි ඔහු හඬාවැටෙන්න ඇත්තේ. සීයා අඬනවා මම ඊට කලින් කවදාවත් දැකලා තිබුණේ නෑ. ඒක මගේ හිත තදින්ම කම්පනයට ලක් කළා. ඊට පස්සේ අනිච්ඡානුගව මගේ කටින් පිට වෙච්ච වචන කීපය මට මගේ ජීවිතය තියෙන තුරාම මතක තියේවි. ඒක, කවදාවත් මට ඇසට කඳුළක් එන්නැතිව සිහි කරන්න බැරි සිද්ධියක් වුණා. මේක ලියන මේ මොහොතේත් මගේ දෑස් කඳුළින් තෙමිලා.
"තාත්තේ, අර සීයා අඬනවා පොඩ්ඩක් බලන්නකො." මම කිව්වේ තාත්තව හොයන්න වටපිට බලන ගමන්මයි.
ඊළඟ නිමේෂයේදී හෙණයක් ගැහුවා වගේ මම කියපු වචන වල බරපතල කම මටම වැටහෙනකොටම තාත්තා තවදුරටත් අපි කවුරුවත් අඬන ඒවා බලන්න, අපේ කඳුලු පිහදාන්න අපි අතර නෑ කියන සත්‍යත් මට මුල්ම වරට තදින්ම අවබෝධ වුණා.
ඒ අවාසනාවන්ත, කනගාටුදායක ඉරිදාව උදා වුණේ අද වගේ මාර්තු 24 වෙනිදාවකයි. වෙන විදිහකට කිව්වොත් තාත්තා අපිව සදහටම හැරගිහින් අදට අවුරුදු 12ක්. මේ සටහන ඒ වෙනුවෙන්.
ooooo
ඒ අවාසනාවන්ත, කනගාටුදායක ඉරිදාව උදා වුණේ අද වගේ මාර්තු 24 වෙනිදාවකයි. වෙන විදිහකට කිව්වොත් තාත්තා අපිව සදහටම හැරගිහින් අදට අවුරුදු 12ක්. මේ සටහන ඒ වෙනුවෙන්.
මෙය, මතට ඇබ්බැහිවූ එක් පියෙකුගේ හා ඔහුගේ අඹුදරුවන්ගේ කතාවක් පමණක් නොව, අඩු වැඩි වශයෙන් එවන් සියලු පියවරුන්ගේ හා ඔවුන්ගේ අඹුදරුවන්ගේ කතාව විය හැකිය. අම්මාගේ ධෛර්‍යය හේතුකොටගෙන පියාගේ මතට වූ ඇබ්බැහිය අප කෙරෙහි බලපෑවේ සුළු වශයෙන් වුවද, එම නිසාම සිය ජීවිතයම අවාසනාවන්තවූ, අවාසනාවන්තවන දරුවන් කොතෙක්ද නම් වේද ! එවන්වූ සියලු දරුවන්ගේ නාමයෙන්, මෙලොවෙහි මතට ඇබ්බැහිවූ සියලු පියවරුන් එයින් මිදෙත්වා !!
මත්පැන් නිසාම අකාලයේ අප හැරගිය ආදරණීය තාත්තේ, කෙතරම් අඩු පාඩු සහිත වූවද ඔබ අපේ පියාණන් යැයි යන සත්‍යය වෙනස් කිරීමට මෙලොව කිසිඳු බලවේගයකට නොහැකිය. සසර සැරිසරන තුරාවටත් ඔබ අපගේ පියාණන්ම වේවායි යන්න අපගේ එකම පැතුමයි !!!
~~ සෙන්නා / 24.03.2014
ඔව් බං කොච්චර බිව්වත් ඒ තාත්තම නේ..
ReplyDeleteඋඹ මට මතක් කරා අපේ අම්මගේ හදිසි මරණය. ඒකත් ඔය වගේමයි උනේ. වෙනසකට උනේ මරණ සහතිකයේ Stroke හරි ඒ වගේ මොකක් හරි සටහන් වීමයි. උඹට දැනුන හැම හැගීමක්ම මටත් එදා දැනනා. මරණ සහතිකේ ගන්න දගලපු දැගලිල්ල, මරණය මෝචරියට නොදා තියාගන්න ඕන නිසා මොන විදියෙන් හරි ඉක්මනට කරන්න උනා..
බොහෝ අයට මෙවන් සංවේදි අත්දැකීම් ඇති නේද බං..
අනිවා දේශා හුඟක් අයට ඇති මේවම නොවුනත් මරණය පිළිබඳ ඒ ජාතියේ අත්දැකීම්., තමන්ගේ කෙනෙක් නොහිතපු වෙලාවක මැරුණම කොහොමත් අපි ශොක් වෙනවා.
Deleteහමුදාවේ අපි වැනි නිලධාරීන්ට බොන්න ඕනෑ තරම් පහසුකම් සහ නිදහස තියනවා. එහෙම බීලා මැරුණු එක නිලධාරියෙක් මට මතකයි. බීම ලෝකෙන් තුරන් වෙයි කියලා බයවෙලා වගේ බොන පිරිසක් ඉන්නවා. ඉතා සුදුසු අවස්ථාවක් පමණක් තෝරාගෙන මිත්‍ර සංගම් පැවැත්වීමට, (හැබැයි එහෙම නියමයක් නැහැ) මත්වීමෙන් පිස්සු තත්වයට පත් නොවන විනෝදයක් ලබාගැනීමට, තමයි මමනම් බොන්නේ. (එංගලන්තයේ ආකෘතිය අනුව හදපු, අපේ හමුදාවේ තියන සමහර පුහුණු කිරීමේ පොත්වල තියනවා සමහර ක්‍රියාන්විත කටයුතු වලින් පසු සැර බීම සහ හොඳ කෑම වේලක් දියයුතුයි කියලා. නමුත් එය කවදාවත් ප්‍රායෝගිකව කරනවා මම දැකලා නැහැ)
ReplyDeleteමම අර පිස්සන්ගේ ක්‍රමයට බිව්වේ 1980 ගණන්වල අග සිට 1990 ගණන් වල මුල දක්වා. හමුදාවේම නිලධාරියෙක් මට පෙන්වා දුන්නා වලට යන්න පටන් අරන් තියන බව. දවසකට සිගරට් 42 ක් බීපු මම එක දවසින්ම ඒක නැවැත්තුවා 1994 දී. මගේ බිරිඳ ඒක විශ්වාස කලේ හයමාසයක් ගියාට පස්සේ. ඒ සඳහා මගේ බිරිඳගෙන් ලැබුන සම්මානය තමයි දැන් නම් ඔයාගේ තොල් දුම් රහ නෑ කියන එක. ඇත්තටම අපේ පෙම්වතියන්ට බිරින්දෑ වරුන්ට මොන තරම් අප්‍රසන්නතාවක් ඇද්ද ඔහොම ඉවසලා හිටියට.
මම හමුදා සේවයේ යෙදී සිටියදීත් සාදයකට ගිහින් ආවම බිරිඳ ළඟින් නිදියන්නේ නැහැ. මට බොන්න නිදහස තියනවා වගේම එයාටත් ගඳ නැතුව නිදාගන්න නිදහස තිබිය යුතු නිසා.
බීම අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ප්‍රතිපත්තියක් වශයෙන් මම කවදාවත් මීට කලින් නොබීපු කෙනෙකුට බීමට ආරාධනා කරන්නේවත් පොළඹවන්නේවත් නැහැ. බීම නවත්වියහැක්කේ බුද්ධි වර්ධනයෙන් පමණයි. නවත්තන්න බැරිනම් අපි වගේ දැඩි පාලනයටවත් යටත් කරගන්න ආත්ම ශක්තිය වර්ධනය කරගැනීම වැදගත්.
ඔබේ ආදරණීය පියතුමන්ට නිවන් සුව පතනවා.
//දැන් නම් ඔයාගේ තොල් දුම් රහ නෑ///
Deleteපිරිමි බොහොම කළාතුරකින් තේරුම් ගන්න දෙයක් තේරුම් ගත්ත එකම ලොකු පිනක්... හි හි.. සිගරට් බීලා බීලා, අරක්කු බීලා බීලා ඇඳට ආවම හපොයි මං කරගත්ත කරුමයක් කියලා නිකම්ම හිතෙනව....
ඔයා කොහෙද අනේ ගිහිං හිටියෙ,එක පාරට මෙරු මතුවෙනව වගෙ මතුවෙලා නැතුවයනවා.
Deleteඉඳලා හිටලා ටිකක් බොන එක කොහෙත්ම වරදක් නෙමේ. ඇබ්බැහිවෙන එකයි කරුමේ.. සිගරට් බීම එක දවසින් නවත්වන්නනම් ලොකුම ලොකු ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනා..
Deleteඅනේ සෙන්නෝ...මොනවා කියන්ටද කියලා තේරෙන්නේ නෑ. ඒත් එයා අදහපු ආගමේ හැටියට එයා නිවී සැනහේවා කියලා පතනවා...
ReplyDeleteමොන තරම් කරදරයක් උණත්, සෙන්නා ආයෙම ඉපදෙන ආත්මෙකත් අපේම තාත්තා වෙලා ඉපදෙන්ට කීව එක ගැන හරිම දුක හිතුණා...
සමහරු මේ වගේ දේවලට ඇබ්බැහි වෙන්නේ යාලුවෝ හින්දා...අනෙක අත් ඇරගන්ට බැරි කමකුත් පස්සෙදි ඇතිවෙනවානේ.
දෙමව්පියන් හොඳට ඉන්නවානම්, ලමයින්ට කොච්චර නම් සතුටක්ද කියලා හිතෙන්නේ සෙන්නාගෙ කතාව දැක්කාම. :(
මුකුත් කියන්න එපා පොඩ්ඩි. ඔව් මොනවා කළත් ඒ අපේ තාත්තා කියන එක වෙනස් කරන බෑනේ. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්නත් බෑ. යාළුවන්ටම දොස් කියන්න බෑ. තමන් දැනගන්න ඕනා විදිහ.
Deleteසෙන්නා තවමත් ඇස් දෙකේ කඳුළු. මේක තේරුම් ගන්න මට පුළුවන් වුණේ, මගේ පියත් මතට ඇබ්බැහි වූ කෙනෙකු නිසා. ඒකේ ආදීනව දැක්ක කාලේ මතින් තොරව ඉන්න අපේ අම්මා අපට කියා දුන්නා. ඒ නිසා තමයි තවමත් ඔය සම්බන්ධව ස්වයං විනයකින් ඉන්න පුළුවන්. අපේ වාසනාවකට අපේ තාත්තා තවමත් ජීවතුන් අතර. මගේ අතින්ම අවුරුද්දට අපේ තාත්තාට බෝතලයක් ගිහින් දෙන වෙලාවට අපේ අක්කා කියන්නේ "ඕවා පාප මිත්‍ර ගණයට අයිති වැඩ" කියලා. තමන්ට අවශ්‍ය ප්‍රමාණය අරගෙන පැත්තකට නොවී කෑදර වීම තමයි බොහෝ ඇබ්බැහි වීම් වලට හේතුව.
ReplyDeleteමරණය නිත්‍ය දෙයක් වුවත්, අකල් මරණය ජීවත් වී සිටින අයට දැඩි කම්පනයක් ඇති කරවන්නක්.
ඔබේ පියාණන්ට සසර වසනා තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී, යහපත් උප්පත්තියක් ලැබ, නිවන් සුව අවුබෝධ කරගන්නට හැකි වේවා !!! කියා ප්‍රාර්ථනා කරනවා.
සුදීකත් එහෙනම් විඳලා ඇති මම කියන සමහර අත්දැකීම්. ඒ අතින් සුදීකලා වාසනාවන්තයි. අපේ තාත්තව ඒකෙන් මුදව ගන්න කොහෙත්ම බැරුව ගියා..
Deleteස්තූතියි ප්‍රාර්තනාවට.
බොහොම සංවේදී සටහනක් සෙන්නා. ඕ්නම දෙයක සීමාව ඉක්මවා ගිය තැනක අයහපතක් තමයි වෙන්නෙ.
ReplyDeleteඇත්ත රාජ්, ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනැම නෑ කියනවනේ.
Deleteහරිම අමාරුවෙන් කියවගත්තේ සෙන්නා... අපිටම මේ වගේ දෙයක් සිද්ධවෙනකම් ඒකෙ බරපතලකම නොතේරෙන එකත් හැමෝටම පොදු දෙයක්ද කොහෙද?
ReplyDelete//ඔබේ පියාණන්ට සසර වසනා තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී, යහපත් උප්පත්තියක් ලැබ, නිවන් සුව අවුබෝධ කරගන්නට හැකි වේවා !!! කියා ප්‍රාර්ථනා කරනවා.//
අපිට වුනාම තමා තිසර හොඳටම දැනෙන්නේ. ස්තුතියි ප්‍රාර්තනාවට.
Deleteතාත්තල මොනව කලත් කොච්චර වගකීමක් නැතුව වැඩ කලත් පිය සෙනෙහෙ කියන එක හිතේ ගැඹුරුම තැන නිදන්වෙලා විටින් විට හදවත පාරවනව සෙන්නා.
ReplyDeleteඔබේ පියාට සසර වසනතුරු මෙවැනි අකල් මරණයක් නොවේවායි ප්‍රාර්ථනා කරමි.
ඒකනම් ඇත්ත හැලපේ අයියා. ස්තූතියි ඔබගේ ප්‍රාර්තනාවට.
Deleteබොහොම දුක හිතුන. අපේ තාත්තත් නැති වුනේ මාර්තු මාසේ. මැරෙන එක දරන්න අමාරු ජිවත් වෙලා ඉන්න මිනිසුන්ට .
ReplyDeleteඒක ඇත්ත බින්දි, ජීවත්ව ඉන්න අය මැරි මැරි ඉපදෙනවා එතකොට.
Deleteහරිම සංවේදී සටහනක් සෙන්නා. ඒ වගෙ මානසිකව වැටිලා ඉන්න වෙලාවක රෝහල් වලදි මුහුණ දෙන්න වෙන අප්‍රසන්න සිදුවීම් ඇත්තටම කණගාටුදායකයි.
ReplyDeleteපියා වෙනුවෙන් සෙන්නා කල ඒ ප්‍රාර්ථනයට මාත් එකතු වෙනවා !
අපිට ඒක ලෝකයම වුනාට ඔවුන්ට ඒක දිනපතා දකින තවත් එක මරණයක් විතරයි චන්දන. ඉතින් දොස් කියන්න බෑ. අපි වුනත් ඒ තත්ත්වෙට පත්වුනොත් ක්‍රියාකරන්නේ එහෙම තමා. ස්තුතියි ඔබගේ ප්‍රාර්තනාවට.
Deleteකතාව කියවනකොට මගේ ඇස්වලටත් කඳුලු ආවා. ඒත් තාත්ත කෙනෙක් දරුවන්ට ආදරේ නම් ඔයවගේ බීමට ඇබ්බැහි වෙන්න හොඳ නැහැ කියල තේරුම් නොගන්න එකනෙ පුදුමේ. ඔය බාර් එකක් ලඟින් යනකොට පේනවනේ මිනිස්සු සිහිය නැතිව ඒවා ගන්න විදිහ. ඒවා වහන දවස් එහෙම තිබුණොත් ඊට කලින් දවසට හරි පෝලිම. සමහරු ඉන්නවා උත්සවයකදි ටිකක් බොන ,එයින් කාටවත් හිරිහැර නොකරන අයත්. කොහොම උනත් බොන එක නම් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.කොහොම උනත් තාත්ත බිව්වත් ඔයාගෙ ආදරේ අඩුවක් නොවීම අගය කරනවා.
ReplyDeleteඇබ්බැහි ඉදිරියේ හැම දෙයක්ම පරාදයි සෝන්යා. ඊට පස්සේ ඔවුන්ට ජීවිතේම ඒක තමා. ටිකක් බිව්වට කමක්නෑ ඇබ්බැහියයි නරක.
Delete//ටිකක් බිව්වට කමක්නෑ ඇබ්බැහියයි නරක.//
Deleteඔය "ටික" කියන්නෙ මොකද්ද සෙන්නා....
ටික කියන්නේ, ඉඳලා හිටලා, විශේෂ අවස්තාවකට වගේ.
Deleteදැන් මෙහෙමනේ හිරූ..!
Deleteමම දන්නේ නැහැ ඔයා ප්ලෙන්ටී බොන්න කැමතිද කියලා. ඒත් ලංකාවේ 99% ක්ම ප්ලේන්ටී බොනවා. තේ කොල ඇගට හොද නැහැ කියලා දැන් ගොඩක් දෙනෙක් දන්නවා. තේ වලින් යකඩ ඇතුලු සමහර මූල ද්‍රවය උරා ගැනීම අඩු කරනවා කියල ඔප්පු කරල තියෙනවා. අපේ තාත්තට තේ බොන එක සම්පූර්ණයෙන් තහනම් කලා අන්තිම කාලෙදි දොස්තරවරු.
ඒ නැතත් ඕකට සීනී හැදි තුනක් දැම්මම වෙන හානිය හිතා ගන්න පුලුවන්නෙ නේද?
ඒත් ලංකාවේ 99.99% ක්ම දවසට තුන් හතර පාරක් තේ බොනවා.
දියවැඩියා රෝගී තත්වය ලන්කාවෙ මෙච්චර වැඩි වෙන්න මූලික හේතුවත් ඔය තේ බීම වෙන්න ඇති.
මම නිතරම සහ හැමදාම නැති වුනත් ගානට, කුමාර පදමට අරක්කු බොන කට්ටියගේ කුලයට වැටෙන කෙනෙක්. හැබැයි මම තේ, ප්ලේන්ටී නම් බොන්නෙම නැහැ.
වයිෆ් මට බොන එක නවත්තන්න කිව්වහම මම කියන්නේ ඔයා තේ බොන එක නවත්තපු ගමන් මම අරක්කු බොන එක නවත්තනම් කියලා.
ඇල්බන් උන්නැහේ.......මමත් ඔය කතාවම අපේ උන්දැට කියනවානේ..බලපන් අඩියක් පුඩියක් ගහන්න කැමති අය එක විදිහට හිතන හැටි අම්මපා..
Deleteඇල්බන් / අරූ,
Deleteබොලාලා බිව්වට කමක් නෑ පමණ දැන බීහල්ලා. නැත්නම් ගෑණු / දරුවෝ තමා අසරණ වෙන්නේ. විඳවන්නේ.
ඇල්බන්, උඹේ පොයිට්න් එකත් සෑහෙන වැලිඩ් එකක්. ඒත් ඕක විද්‍යාත්මකව ඔප්පු කරලා තියනවද ? මමනම් කෝපි ලෝලියෙක්.
Senna.....Thanks .......Everything under-controlled.
Deleteසෙන්නා..! අපේ තාත්තට කෑම දිරවනවා අඩු "ක්‍රෝරොන්ස් ඩිසීස්" ලෙඩේ තිබ්බා. අවුරුදු හත් අටක් තිස්සෙ දොස්තරවරු කිහිප දෙනෙක්ගෙන්ම බෙහෙත් ගත්තා. ඒ හැම දොස්තර කෙනෙක්ම කිව්වේ තේ, කෝපි බීම වහාම නවත්තන්න කියලා.
Deleteබොහෝ වෙලාවට වයිෆ්ට / දරුවට හොයා ගන්න බැරි ගානට තමයි මම බොන්නේ. ඒ වගෙ දවසට නිදා ගන්නේ නම් වයිෆ්ට ටිකක් දුරින් තමයි.
This blog post has an added meaning to me. I've had a similar experience when my father passed away in the General Hospital, Colombo in 1995. Typing in English because I don't want my train of thoughts to be interrupted in copying and pasting and lost in translation.
ReplyDeleteI was so much attached to my father and I'm still slowly realizing why he did, what he did, in the given circumstances. I miss him at various points of my life.
I wanted to tell you at the beginning it's not correct to be against alcohol unconditionally. Alcohol can be used im moderate amounts, sensibly and responsibly without exceeding the limit. What happened to your father is exceeding the limit, giving in to addiction, ending up in a alcoholic state, and becoming a victim.
But I changed my mind. I perfectly understand how you feel. You have every right to feel, how you feel.
Dude,
Deleteno matter either it's Sinhala or English as long as i can understand. :D
apparently i have misguided you guys by the topic. even though i am a teetotaler, i do not against alcohol but the addiction. yes i agree that it can be used in moderate amounts, sensibly and responsibly without exceeding the limit where my poor father failed to understood.
thanks for understanding my feelings dude.
ජීවිතේ..ස්වභාවය..සෙන්නා ඔහොම තමයි...මිනිස්සුන්ට පාලනය කලහැකි දේ සහ නොකල හැකි දේ තියෙනවා. විශ්වාස නොකලත් දෛවය කියන්නෙ මෙය විය හැකි. සදානුස්මරනයක් වේවා..
ReplyDeleteඔව් වෙනි අයියා, වෙන්ඩ තියන දේ වෙනස් කරන්න බෑනේ...
Deleteසෙන්නගෙ කතාව හිතට නොසෑහෙන දුකක් ඇති කළා...
ReplyDeleteඅපේ පවුලෙත් ඉන්නවා ඔය විදියෙ මාමා කෙනෙක්... අම්මා නොයෙක් විදියට උත්සාහ කළා ගොඩ දාන්න... සුමිත්‍රයෝ එකට සම්බන්ධ වෙලා අවුරුදු ගානක් සම්පූර්ණයෙන්ම මතින් වැලකිලා හිටියා... ඒත් ආයෙම පුරුද්ද ලොකු වුණා... දැන් ඉන්නව පාන් කියාගන්න බැරුව... පවුල නඩත්තු කරන්නෙ අපේ අම්මයි අපියි... ශරීරෙ එහෙම පිටින්ම ඇටසැකිල්ලක් හමෙන් වැහිලා තියෙන... දොස්තරලා කොච්චර බොන්න එපා කිව්වත් කොහොම හරි කටේ ගාගන්නවා... දැන් ඉතින් කොයි වෙලාවෙද නෑ... ගෙදරින් කොයි වෙලාවෙ කෝල් එකක් ආවත් බයෙන් තමයි ඒක ගන්නෙ... තමන් විහින් කරගත්තු දේ තමුන්ටම විඳගන්න ඉඩ දෙන්න කියලා අනිත් අය කිව්වට අපිට එහෙම කරන්න හිත් දෙන්නෙ නෑ... මොනව උනත් ඒ අපේ මාමානෙ...
මගේ පූරුවේ වාසනාවකට අපේ පවුලෙ ඔහොම කෙනෙක් ඉන්නෙ ඔය මාමා විතරයි... මාමා නිසා මට මේ තරම් දැනෙනවා නම් සෙන්නගෙ තාත්තා වෙච්චි කළ කොහොම දැනෙනවා ඇද්ද...
මියුරු, මට පේන්නේ මාමා ඉන්නේ අපේ තාත්තා අන්තිම කාලේ හිටපු තත්ත්වේ වගේ. එයාටම මිසක් වෙන කෙනෙක්ට ඕකෙන් එයාව ගලව ගන්න බෑ. ඔහුට ඒකෙන් මිදී නිදුක් නිරෝගී සුවය ලබාගන්න හැකිවේවායි මම පතනවා !
Deleteසෙන්නා පහු ගිය පෙබරවාරි 7 වෙනිදට අපේ තාත්ත නැති වෙලත් හරියටම අවුරුදු 12ක්... ඔය කියපු අවස්ථා ඒ විදියටම මට මැවිලා පෙනුනා... මම බ්ලොග් එකේ සටහනක් දාන්නත් හිතල නිකන් හිටියා... ඕක දැනෙන්න තමන්ටම වෙන්න ඕනේ... නොසිතපු විදියට සිද්ද වුණාම දැනෙන දුක කියල වැඩක් නෑ.. හැබැයි තාත්තගේ මරණෙන් පස්සේ මගේ ජිවිතයේ පුදුම විදියට වෙනස් වුණා.. ඒ වෙනස ගැන මම සටහනක් දාන්නම්.. බොන එක පවක් නෙවෙයි බන්.. තාත්ත හොඳ තැනක ඇති..
ReplyDeleteබීපු එක තමා පැතුම් තාත්තා වරදකට කියලා කළේ. මමත් හිතන්නේ ඔහු හොඳ තැනක උපත ලබා ඇති කියලයි.
Deleteලියන්නකෝ තාත්තගේ මරණය ඔයාට කරපු බලපෑම ගැනත්..
මොන දේවත් ප්‍රමානය ඉක්මවා යනවා නම් ප්‍රථිපලය නරක එකක් වෙනවා මචං. ඒක අපි හැමෝටම පොදුයි.
ReplyDeleteකොහොම උනත් උඹේ තාත්තට මමත් නිවන් සුව පතනවා.
ඒක ඇත්ත සරා... ස්තූතියි උඹේ ප්‍රාර්තනාවට..
Deleteමොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ සෙන්නා අයියේ.. තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteස්තුතියි දිනේශ් ප්‍රාර්තනාවට.
Deleteඇත්තටම ඔය කල ඊළඟට යන්නේ අපේ මාමණ්ඩියට. බීම ලෝකෙන් තුරන් වෙයි කියල වගේ පොර බොන්නේ. මම නම කියන්නේ බොන්න ඕනේ තමුන්ගේ තරමට ඊටවදිය බිව්වොත් අනෙක් හැමෝටම කරදරේ සතියට දවසක් වගේ බිව්වට කමක් නැහැ ඊට වැඩිය නැතිව. කොහොම වුනත් තමුන්ගේ තාත්තා තමුන් ළඟ නැහැ කියල හිතන එක තරම් දුක හිතෙන වෙන දෙයක් නැහැ සෙන්නයියේ. ඔයාගේ තාත්තට අමා මහ නිවන් සුව පතනවා!!!
ReplyDeleteමාමණඩියව පුළුවන්නම් ගලව ගන්න බලහන් කෝරාලේ. හැබයි ඒක බොහොම අමාරු වැඩක්. එයාටම හිතුනොත් තමා. උඹේ ප්‍රාර්තනාවට ස්තූතියි.
Deleteසෙන්නයියේ උඹ මේක ලියද්දි උඹේ ඇහේ කදුළු මතු වුණා වගේම කියවන අපේ ඇස් වලටත් කදුළු අවා.මට මතක් වුනේ අපේ ආච්චි ගේ මරණය.එක තමයි මට හොදටම තේරෙන වයසේ මම අත්දැකපු සමීපතමයාගේ මරණය.එදා වප් පෝය දවස මම ගෙදර හිටියේ හවස හයට විතර පණිවිඩයක් අවා ආච්චි අසනීප වෙලා පන්සලේ කියලා.ඒ වේලාවේම මමත් මල්ලිත් ගියා පන්සලට.එතකොටත් ආච්චිව කළුබෝවිලට එක්කගෙන ගිහින් තිබුණා.ඒ ගමන මමත් මල්ලිත් එතන හිටිය යාලුවෙකුගේ බයික් එකක් අරන් රෝහලට ගියා.ඊට කලින් ගෙදරට ගිහින් ආච්චිගේ ක්ලිනික් පොතයි,ඇදුම් දෙක තුනකුත් අරන් ගියේ.ආච්චිව රෝහල් ගත කරලා කියලා අපි හිතපු නිසයි.නමුත් අපිට ඒ වෙනකොටත් වැරදිලා.කළුබෝවිලට ඇතුල් වෙනකොටම අපේ ආච්චිව රෝහලට කළුබෝවිලට ගිනිහින් හිටපු අපේ අසල්වැසි නැන්දා කෙනෙක් ඇවිත් මාවත් ,මල්ලිවත් එක්කන් ගියා රෝහල ඇතුලට.රෝහලේ opd එකට ඇතුල් වෙනකොටම එතන ඒ වෙනකොට ට්‍රොලියක් උඩ සුදු රෙද්දකින් වහපු මෘත දේහයක් තිබුණාත්.එකට ඒ තරම් අවධානයක් යොමුවුනේ නැහැ.මොකෝ සෙන්නයියා කිවා වගේ අපි කිසිමදාක හිතන්නේ නැහැ ඒ ඉන්නේ අපේ කෙනා කියලා.ඉතින් අපි opd එක ඇතුලට ගියාම ආච්චිව පේන්න හිටියේ නැහැ.මාව එක්ක ගිය නැන්දාගෙන් ඇහුවා කෝ ආච්චි කියලා.ඒ වෙලවේ තමයි මම ඒ නැන්දාගෙ ඇහේ තිබුන කදුළු දැක්කේ.ආච්චිගේ මරණය හදිසි මරණයක් නිසා මෘත දේහය අපිට භාර දෙන්න පහු වෙනිදා උදේට පොලිස් නිලදාරියෙක් එක්ක එන්න කිවා.එයලා ගැන නම් තියෙන්නේ හරිම අප්‍රසන්න අත්දැකීමක්.ඒ විතරක් නෙමේ උන් මිනියෙන් හම්බ කරන් කන ජරාම ජාතියක් කියලාත් එදා දැනගත්තා.
ReplyDeleteකොහොම වුනත් සෙන්නයියාගේ හැගීම තේරුම් පුළුවන්.උඹේ තාත්තා ගැන උඹේ හිතේ තියෙන හැගීම ඒ විදියට ඉටු වේවා සෙන්නායියේ.
මේක උඹට ගොඩක් දැනිලා කියලා මට හිතෙනවා. ඒවා එහෙම තමා බන් උන්ට ඒක තවත් එක මිනියක් විතරයි. ඒවයින් හම්බකරන් කන එකනම් පණපිටින් අපායේ යන පවුකාර වැඩ.
Deleteප්‍රාර්තනාවට ස්තූතියි මලයෝ..
ඒ වෙලාවේ ඒ සිද්ධීන් එක්ක සෙන්නා මූණ දිපු තත්වය කියෙව්වාම ඇහැට කඳුලක් එන එක නවත්වන්න බැහැ. ඒත් ඔය බොන ඇබ්බැහිය නතර කරන්න අමාරුයි කියන එක මමත් අත්දැකීමෙන්ම දන්නවා.
ReplyDeleteඅපේ අප්පච්චි බොන නිසා වෙච්ච එකම හොඳේ මල්ලිලා දෙන්නා මතින් තොර වීම කියලා මම නම් හිත හදාගත්තක් අම්මා විඳින සිත් තැවුල ගැන නම් හරිම දුකයි.
සෙන්නාගේ පියාණන්ට මෙවන් මරණයක් මතුකල්හි නොලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..
රූටත් තාත්තගේ බීමත්කම අපිට තරම්ම බලපෑමක් කරලා වගේ. තාත්තගෙ බීමෙ ආදිනව දන්න නිසාම මමත් අමද්‍යපයි. හැමතැනකදිම අම්මලා තමා ගොඩක් විඳවන්නේ ඒවයින්.
Deleteරූගේ ප්‍රාර්තනාවට ස්තූතියි..
මගේ පියාත් බීලා බීලම මෑරිල ගියා. ඔහු මට තෙරෙන කාලෙ ඉදල නොබීපු දවස් ගාන දවස් 7ක් විතර. ඔහු නිසා අපි මහ පාරට නොවෑටී බේරුනේ අම්මගෙ අප්‍රමාන කෑපකිරීම නිසා. නමුත් අදටත් අපි දුක් විදිනව ඔහුගෙ වෑරදි නිසා.
ReplyDeleteතාත්තට වෛර කරන්න එපා ඇනෝ. ඒක නිෂ්ප්‍රයෝජනයි.. ඒවා තමුන්ගේ ජීවිතේට පාඩමක් කරගන්න බලන්න.
Deleteඅරක්කු බිව්වෙ නැති උනත් ඇඟේ අමාරුවට බීපු අරිෂ්ඨ හින්ද අපේ තාත්තටත් ඔය වකුගඩු අමාරුව තිබුණ. අන්තිමට අමාරුවෙලා ඉස්පිරිතාලෙට ඇතුල් කරල දවසෙන් නැති උනා. එතන හිටපු දොස්තරගෙ හොඳ කමට වගේම මේව ඒ හැටි ලොකු ඉස්පිරිතාල නොවෙන නිසා මරණ පරීක්ෂනයක් නැතුව පැය දෙකකට කලින් (මැරුනට පස්සෙ මිනිය රිලීස් කරන්නෙ පැය දෙකකට පස්සෙ කියල තමයි කිවුවෙ) මිනිය ගන්න පුලුවං උනා.
ReplyDelete//අනාරාධිතවම අසල්වැසියෝ වැඩට බැහැලා.// මේ තත්වෙනං මාත් හොඳට අත්වින්ද. මල්ශාලාවට මිනිය බාරදීල එනකොට අපේ වත්තද කියල හොයාගන්න බැරි ගානට කට්ටිය සුද්ද කරල තිබුණ.
සෙන්නගෙ ප්‍රාර්ථනය ඒ ආකාරයෙන්ම සඵල වෙන්න කියල මාත් පතනව.
එහෙම පුළුවන් වෙච්ච එක ලොකු දෙයක් ප්‍රසන්න. අපිනම් ලොකු කට්ටක් කෑවා..
Deleteඇත්තටම අසල්වැසියෝ ඒ වෙලාවේ අපිට ලොකු සහනයක් වුනා. සමහර ලඟම නෑදෑයොත් ඇවිත් නිකන් මූණ පෙන්නලා ගියා විතරයි.
ස්තූතියි ප්‍රසන්නගේ ප්‍රාර්තනාවට.
දැනට අවුරුදු 2කට කලින් මමත් ඔය අත්දැකීම වින්දා. මට මේක කියවද්දී අඩුන තරම කොච්චරද කියන්න බෑ. (Heart Attack)
ReplyDeleteඅනූෂ්, කණගාටුයි ඔබට රිදවීමක් වුනානම්. වෙච්ච දේ එහෙම්මම ලිව්වා විතරයි. එය ඔබට සමීප නිසා වැඩියෙන් දැනෙන්න ඇති.
DeleteBohoma sanvedi katawak bro
ReplyDeleteකියෙව්වට හා ප්‍රතිචාරයට ස්තුතියි ඇනෝ.
Deleteකියල වැඩක් නැහැ සෙන්නෝ,,,,ඊයේ කියවන්න අරන් බාගෙට නැවැත්තුව ...අද මුල ඉදන් කියවල මැද හරියේදී බොද වුන ඇස් එක්ක කියවල අවසානයේදී කියල තියෙන ටික කියවද්දී නම් මේ ලෝකේ මනුස්සයකුට ඉවසන්න බැහැ බන්....
ReplyDeleteඋඹේ සුපුරුදු සුපිරි ලියවිල්ල නිසාත් දුක වැඩි කලාද මන්ද...
කොහොම උනත් ඔබලාගෙ මෑණියන්ගෙ උත්සාහය නිසා අද උඹට අපි සමග හැකි වුනා.
මෙවැනි අකල් මරණ නිසා දුක් විදින දරුවන් ලෝකයේ කොතෙක් සිටිත් ද මචෝ....
ඔබලාගේ මව් තුමියට නිරෝගී සුව පතමි...!
ස්තූතියි කෙන්ජි. විඳපු අත්දැකීම එහෙම්මම අකුරු කළා විතරයි බන්. තවත් සංවේදී හිතකට ඒවා තදින්ම දැනෙන එක වලක්වන්න බෑ බන්..
Deleteබොහොම ස්තූතියි ප්‍රාර්තනයට කෙන්ජි.
සෙන්නා.....දුක්බර සටහනක්....
ReplyDeleteඅපේ තාත්තා බීවා නොවෙයි නෑවා. ඒ බීම නිසා අපිට නොයෙක්දේ නැතිවුනා. කරන්න දෙයක් නැහැ සෙන්නා ..ඒවා එහෙම තමයි. මොනවා වුනත් ඒ අපේ තාත්තා. අවුරුදු 65 -70 අතර කාලයේදි ඩෝප් එකයි සිගරටුයි දෙකම එක පාරම නැවැත්වුවා. දැන් මුකුත් නැහැ නිකම් ඉන්නවා.
මම වරක් ජපුර හොස්පිටල් එකේ නැවතිලා හිටියා සෙංගමාලය හැදිලා. ඒ වාටුවේ ගොඩාක් හිටියේ ඇල්කොහොලික්ස්ලා...සිරෝසිස් තත්වයේ අය. දොස්තර අනුලා විජේසුන්දරගේ වාට්ටුව. මට ඉදිරියෙන් හිටපු ඇඳේ හිටිය ලෙඩා කළු පාටට වමනේ දාමින් දුක් විඳල මැරුන. එයාගේ දුව මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්...තාත්තා ගාව මහ රෑ තනියට හිටියා ඒ මරණය මොහොතෙත්. ඒ ළමයා බොහෝ දේ මා සමග කතා කලා. මට ඒ සිද්ධිය මතක්වුනා.
තාත්තා එහෙම හිතලම නවත්වපු එක හොඳයි අරූ, නැත්නම් මේ විදිහට තමා ජීවිතේ කෙලවර වෙන්නේ. අර ගෑණු ළමයා වගේ අසරණවෙන කී දෙනෙක් ඇත්ද. මේක ලොකුවට නොපෙනුනාට සැලකිය යුතු ප්‍රශ්ණයක් කියලා මට හිතෙනවා මේකට වැටුන කමෙන්ට් දැක්කම අරූ. බලන්නකෝ කී දෙනෙක්ගෙම තාත්තලා මතට ඇබ්බැහි වෙලාද කියලා.
Deleteමෙහෙම කතාවක් අද දවසට අහපු දෙවෙනි වතාව. අද කැම්පස් ඇවිත් හවස ගෙදර යන්න පහළට එද්දී සෙරෙප්පුව ටිකක් ගැලවුණු නිසා කැම්පස් එක පහළ ඉන්න සෙරෙප්පු හදන මනුස්සයා ගාවට ගියා. එතන දැකලා නැති කොල්ලෙක් ඉන්නවා දැක්කා. ඉතින් සෙරෙප්පුව හදන ගමන් එතන තිබ්බ ආම්පන්න දිහා බලද්දී ආම්පන්න දාලා තිබ්බ පෙට්ටියේ මරණ පෝස්ටරයක් දැක්කා. බැලින්නම් ඒ මෙතන කාලයක් කොටින්ම අපි කැම්පස් ආපු කාලේ ඉදන් සෙරෙප්පු හදපු කෙනාගේ මරණ දැන්වීම.
ReplyDeleteපස්සේ විස්තර අහලා බලද්දී එයාත් මේ විදිහට බීමට ඇබ්බැහිවෙලා ඉදලා අන්තිමට ලේ වමනේ දාලා තමා මැරිලා තියෙන්නේ. මැරෙන්න කලින් දවසෙත් කැම්පස් එක ගාව සෙරෙප්පු හදලා පහුවෙනිදා ටිකක් අමාරු වෙලා ඇඩ්මිට් කරපු වෙලේ තමා මැරිලා තියෙන්නේ.
වයස අවුරුදු අවුරුදු 49. දැන් එතන ඉන්නේ එයාගේ පුතා.
හොඳම කතාව තමා මරණ දැන්වීම තිබුණේ සිංහලෙන්. පුතා කතා කරපු විදිහට දෙමළ වගේ නිසා මම ඇහුවා මොකද මේක සිංහලෙන් කියලා. පුතා කිව්වා අපි දෙමළ හින්දු. ඒත් දෙමළ අකුරක්වත් බෑ කතා කරන්නවත් බෑ එයාට වගේම අයියටත්. තාත්තටයි අම්මටයි විතරයි දෙමළ වුණාට දෙමළ කතා කරන්න ලියන්න පුලුවන් කියලා.
එහෙනම් අවසාන වශයෙන් අයියාගේ තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
ඕක තමා ඉතින් අවසානය හසිත.
Deleteමගෙත් යාලුවෙක් ඉන්නවා දෙමළ, හැබැයි දෙමළ අකුරක්වත් බෑ. දෙමළෙන් කතාකරන්නත් බෑ..
ස්තූතියි ප්‍රාර්තනාවට හසිත.
මෙහෙම චරිත කීපයක්ම මගේ ජීවිත කාලය තුල අපේ ගම තුලදිම මම දැකලා තියෙනවා...ජෑස් කොල්ලා / ජයා / කරුණෙ/ කලු බඩා....ඕවායින් ජෑස් කොල්ලා ගැන විතරයි මම තව ලියලා තියෙන්නෙ...ඉස්සරහට අනිත් ඒවා ලියන්නම්...
ReplyDeleteමම රට පැටවෙන්න කලින් මගේ පියාගෙ සැත්කමකින් පස්සෙ එයා ලග ඉස්පිරිතාලෙ තනියට හිටියා හොද තත්වයට එනකං...එදා මම එක තත්පරයක් නිදා ගත්තෙ නෑ...තාත්තගෙ දකුණු අත මගේ අතින් අල්ලගෙන මම කල්පනා කලේ මේ අත් වලින් හම්බකරලා කොච්චර නම් අපට රස කෑම අරගෙන එන්න ඇද්ද අපි පොඩි කාලෙ ඉදලා කියලා...ඒ රැයෙන් පස්සෙ තාත්තා ගැන මට තිබ්බ ආදරය දෙගුණයක් වැඩි උනා කිව්වත් වැරදි නෑ....ඕනෑම දේකට ගැලපෙන වටපිටාවක් තියෙනවා..ඒ වටපිටාවෙදි තමයි අපි කවදාවත් තේරුම් නොගත්ත දේ ඉතා හොදින් තේරුම් ගන්නෙ...ලිපියෙ මාතෘකාව දැක්ක ගමන් මට සිහි උනේ නන්දා මාලනියගේ ගීතය...
ඔව් සිරා සමහර වෙලාවල් තියනවා දේවල් ජීවිතේට අමතක නොවෙන්න තේරුම් යන.
Deleteමේ, මම සිංදුවක කොටසක් ලිපියක මාතෘකාව හැටියට යොදාගත්තු දෙවෙනි අවස්තාව.
හරිම දුක හිතෙන කතාවක් සෙන්නා.. මේ වගේම මතට ඇබ්බැහි වෙලා අකාලයේ විනාස වෙච්ච චරිත ගොඩාක් එක ගමකින් හොයා ගත්තැකි.. ඒත් ඒක ආදර්ශයට අරන්වත් ඊළඟ පරපුර හැදෙන්නෙ නැති එකනෙ වැඩේ.. ඒ මිය යන අයගේ අඩුව පුරවන්න තවත් එවුන් ටිකක් මතට පුරුදු වෙනවා.. තව තවත් දරු පවුල් අනාථ වෙනවා..
ReplyDeleteඅනික මරණයක් උනාම පිළිගන්න අකමැත්ත මට දැනුන අපේ සීයා නැතිවෙච්ච වෙලාවෙ.. අපිට වැරදීමක් වෙලා වෙන්න බැරිද? වෙන කෙනෙකුගෙ මිනිය ගෙනල්ලා වෙන්න බැරිද හිතුනා..
Deleteසමහරු මේවා පරපුරෙන් පරපුරට ගෙනියනවත් තමා..
Deleteඔය කියන හැඟීමනම් වෙනකම් තේරුම් ගන්න බැරි එකක් කියලයි මට හිතෙන්නේ. මුල්ම දවස් වල හිතෙන්නෙම තාමත් අපිත් එක්කම ඉන්නවා කියලා. සමහර වෙලාවට කට හඬත් ඇහෙනවා වගේ හිතෙනවා.
හරිම සංවේදී ලිපියක් සෙන්නයියේ...මට ගොඩක් වෙලාවට හිතිලා තියනවා අමධ්‍යප තාත්තලා ඉන්න ළමයි කොච්චර වාසනාවන්තද කියලා. මමනම් ඒ අතින් වාසනාවන්ත ළමයෙක් නෙමෙයි. අපේ තාත්තාත් ඔය මත්පැන් කියන දේට ගොඩක් කැමති කෙනෙක්. බීපු වෙලාවට කාටවත් කරදරයක් නැති බව ඇත්ත උනත් තාත්තා බොන එක ගැන අම්මගේ වගේම අපේ හිත්වල තියෙන්නේ ලොකු දුකක්. දැන් තාත්තට 60 ත් ඉවරයි. තමන්ටම හිතිලා නැවත්තුවොත් මිසක් අපි කිව්වට නම් වැඩක් වෙන්නේ නැහැ.
ReplyDelete//සියව දැකපු ගමන් මට හිතුණේ තාත්තා කෙනෙක්ට අකාලයේ තමන්ගේ දරුවෙක් නැති වුණාම දැනෙන දුක, පුතෙක්ට තමන්ගේ තාත්තා අකාලයේ මියැදුණාම දැනෙන එකමද කියලා//
මේ දෙකම එකමද කියන්නනම් මම දන්නේ නෑ...ඒත් හතුරෙක්ටවත් තමන්ගේ දරුවාගේ මරණය දකින්න ලැබෙන්නනම් එපා කියලා මම මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා.
සයුරි, මම අරූටත් කිව්වා වගේ බලාන යනකොට මේක සැළකිය යුතු පුරස්නයක් නේද ? කවෘවත් කියුවට නවත්වන්නෑ සයුරි. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.
Deleteඅපොයි ඔව් ඒක හතුරෙකුටවත් නොවිය යුතු දෙයක්.
මම මේ කතාව කියෙව්වේ ඊයේ. ඒත් මට කියන්න මොකුත්ම දෙයක් හිතාගන්න බැරි වුනා. සමහරවිට ඇල්කොහොල් වලට හසුවෙච්ච අය අපේ ළඟින් නොහිටි හින්දා ඔබ කියන කතාව අපිට නොතේරෙනවත් ඇති. ඒත් අන්තිමට දැනුනේ මහ හිස්කමක්.
ReplyDeleteසෙන්නාගේ අම්මට සනීපද දැන්?
ඔයාලා එහෙනම් හරිම වාසනාවන්තයි රංගී. අම්මට සනීප වෙන එකක් නෑ. තවම හිටියා වගේමයි. එයා දැන් ඒකට පුරුදු වෙලා...
Deleteකියවන්න පුලුවන් වුනේ දෑන්. ඉතා සන්වේදී පෝස්ට් එකක්. කියන්න තියන ඔක්කොම වගේ අනිත් අය කියල. ඒට අමතරව කියන්න තියෙන්නෙ සෙන්නට මේතරම් හොදට ලියන්න පුලුවන් නිසා පෝස්ට් ගනන වෑඩි කරයි කියල බලාපොරොත්තු වෙනව කියල
ReplyDeleteවෙලාව තමා ප්‍රදීප් ප්‍රශ්ණේ. බලමුකො ඉතින් පුළුපුලුවන් හැටියට...
Deleteඅන්තිමට අපි හැමෝම ජීවිතේ දිහා බලාගෙන ඉන්නේ එකම ඉවුරක ඉඳන් සෙන්නා......
ReplyDeleteතාත්තා ගේ නික්ම යාම ගැන ආරංචිය ආවට පස්සේ පස්සේ මූණ දෙන්න සිද්ධ වුණු අමාරුම දේ තමයි අම්මට ඒ පණිවිඩය දැනුම් දීම... ඒ සිදුවීම් මාලාව හරි අමාරුවෙන් මතකයෙන් යටපත් කරගෙන ඉන්නේ... මේක කියෙව්වම ආපහු ඒ මතක ටික පෝලිමට හිතට කඩාපැන්නා...