Sunday, May 13, 2012

සොඳුරු නිරික්ෂකයාණනී, ඔබට සුබ රාත්‍රියක් !!!!!


මෙය මා කිසිසේත් ලියන්නට සිටි බ්ලොග් සටහනක් නොවේය. එහෙත් ඔබ වෙනුවෙන් මේ කෙටි සටහන නොතැබුවහොත් මා අමනුස්සයෙකි.

වෙනදා පරිධිම කාර්යාලයට ගොස් කළ පළමු කාර්යය වූයේ බ්ලොග් එක විවෘත්ත කර බැලීමයි. බ්ලොග් රෝලේ වූ මාරයගේ අලුත්ම ලිපියට නිතැතින්ම ඇස යොමු විය.

" අවුරුදු සීයාගේ නික්ම යෑම...ඔබා අයියේ ඔබට නිවන් සුවයම හිමි වේවා..! "

මොහොතකට සිත ගල් ගැසිනි. මදකුදු පමානොවී සැබැඳියේ ක්ලික් කෙරුවෙමි. කවදාවත් නොදුටු මිනිසෙකු තොප්පියක් දමාගන සිටගන සිටින පින්තූරයක් සමඟ මොන මොනවාදෝ ලියා තිබුනි. ඒ පුද්ගලයා ප්‍රොෆිල් පින්තූරේ වූ ඔබා මාමා වගේ නෙමේය. බරවූ සිතට පොඩි සහනයක් ලැබින.

"මේ මාරයාගේ වෙන කවුදෝ හිතවතෙක් මිසක් අපේ ඔබා මාමා නෙමේ. කවුරු හරි ඔබේසේකර හරි ඒවගේ නමක් තියන මාරයාගේ අඳුනන කෙනෙක් වෙන්න ඇති."  ඒ මගේ හිත මට කියපු දෙයයි.

එහෙත් උඩින් පල්ලෙන් ලිපිය කියවාගෙන පහලට ගියෙමි. දුටු දෙයින් ඇස අදහා ගත නොහැකි විය.

// හඳුනාගත් දින පටන් අප සතුටින් තැබූ පිනෙන්ම
සනත් (ඔබ්සවර්)
අයියේ නුඹට නිවන් සුවයම ලැබේවා..! //

තවත් ඉතින් අටුවා ටීකා කුමටද. මගේ දෑස් මටම හොරා තෙත්වී තිබුනි. කිසිදා නොදුටු, හමු නොවූ, සුන්දර මිනිසකු වෙනුවෙන් මාගේ දෑසින් කදුලු කැට වැටෙමින් තිබුනි. ඒ ඔබගේ විශේෂත්වයයි.

ජීවිතය සහ මරණය ගැන කෙතරම් කරුණු කාරනා දැන සිටියත්, ජීවිතය අනිත්‍යයි බව දැන සිටියත් ඒ කඳුලු නවතා ගැනීමට මට නොහැකි විය.

මුලු බ්ලොග් අවකාශයේම ලොකු කුඩා කා අතරත් එකසේ ජනප්‍රිය චරිතයක් වූ ඔබා මාමේ, ඔබ අප වැනි අංකුර බ්ලොග් කරුවන්ගේ ලිපිත් නොවරදවාම කියවමින් කමෙන්ට් එකක් දමා දිරි ගැන්වීමට තරම් නිහතමානී විය. කාගෙන් නැතත් ඔබා මාමාගෙන් කමෙන්ට් එකක් ලැබෙන බව මට සක්සුදක් සේ පැහැදිලිව තිබූ කරුණකි. අදින් පසු ඒ කමෙන්ට්ස් නැත. ඔබා මාගේ සුන්දර සිනහවද සමඟින් අපට ලැබෙන ධෛර්යය අදින් පසු අපට නැත. ඒ සිනහව මරුවාට පරාජය වී ඇත.

මගේ බ්ලොග් එකට අවසාන කමෙන්ට් එක දමා "තවමත් සිතින් තරුණයි" කී ඔබා මාමේ, ඔබ අද ඒ තරුණ සිත පිළිබඳ මතකයන් පමණක් අපට ඉතිරි කොට නික්ම ගොසිනි.

තව ලිවිය යුතු බෝහෝ දෑ ඇතත් කඩා වැටෙන කඳුලු කැට වලින් සියල්ල බොඳවී ගොසිනි. තව දාහක් දේවල් දේ ලීවත් ඔබ නැවත නොඑන බව පැහැදිලි සත්‍යයකි.

අදින් පසු සිංහල බ්ලොග් අවකාශයේ සුන්දර සිනහව සදහටම නිවී ගොස්ය. ඒ අඩුව පිරවීමට කිසිවෙකුටත්, කිසිදා නොහැකි වනු ඇත. මේ බ්ලොග් අවකාශය දරා ගැනීමට නොහැකි පාලුවකින් පිරී යනු ඇත.

"සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය " යන බුදු වදන සිහි කොට ඔබගේ නික්ම යාම දරා ගැනීමට සිතට එඩිගන්නම්.

නිවන් දක්නා ජාති දක්වා, ඔබ අප අතරම නැවතත් ඉපදේවා !!! සසර කෙළවර අමා මහ නිවන අවබෝධ වේවා !!

සොඳුරු නිරික්ෂකයාණනී, ඔබට සුබ රාත්‍රියක් !!!!!






27 comments:

  1. මේ ප්‍රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙන්ට් එක දමන වෙලාව වෙනකොටත් පුදුම දුකක් හිතේ හිර වෙල තියෙන්නෙ. ජීවිතයෙ කිසිම දිනක හමුවෙල නැති මුණ ගැහිල නැති මනුස්සයෙක් වෙනුවෙන් මම කවදාවත් මේ තරම් දුක් වෙල නෑ. ඒත් ඔබ අපිට භෞතික ලෝකෙදි මුණ නොගැසුනත් සයිබර් අවකාශෙදි නිතර හමුවුණා. ඔබ කොතැනද එතැන හිනාව උතුරල පැතිරිල ගියා. ඔබ නැති සිංහල බ්ලොග් අවකාශය පාළුවට ගිහින්. ඒ අඩුව අපිට හැමදාම දැනේවි. ඒ අත්දැකීම් බහුල නිහතමානී සොඳුරු සිතැත්තා නැවත කිසිදාක නොඑන්නම යන්න ගිහින්. සහෘදයාණනි, ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  2. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  3. සිංහල බ්ලොග් අවකාෂයේ කාගෙත් ඔබා මාමා වූ සුන්දර මිනිසාට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  4. ඔබා අයියා ඔහුට ලැබී තිබුණ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා...
    ජීවත්වීම සදහා යුහුසුළු වෙමු.

    පරිපූර්ණ ජීවිතයක් ගෙවා ඉක්මනින් නික්මගිය සොඳුරු මිතුරාණනි, ඔබට සුබ රාත්‍රියක්....

    ReplyDelete
  5. මා හිතනවා එතුමා මගේ වයසට ආසන්න කෙනෙක් කියා. මට එතුමාගේ බ්ලොග් එකේ ලිපි කීපයකට වඩා කියවන්න අවස්තාව ලැබී නැහැ. එහෙත් එතුමා වෙනත් බ්ලොග් වල සටහන් කල රසවත් කමෙන්ට්ස් රාශියක් කියවා තිබෙනවා. කවුරුන්හෝ දන්නවානම් එතුමාගේ ජීවන තොරතුරු පලකරන්න. එය ඔහුට කරන උපහාරයක්.

    ReplyDelete
  6. කවදාවත් හමු නොවුණු කෙනෙක් වෙනුවෙන් මේ තරම් දුක් වුන පළමු අවස්තාව මේකයි. දැනුත් හිටපු ගමන් හිතෙනවා මේ ඔක්කොම බොරුවක් වෙන්න බැරිද? කියලා. සෙන්නයියා කිව්ව දේ ඇත්ත. අපි වගේ අලුත් බ්ලොග් වලටත් කිසිම ලෝබ කමක් නැතුව ඇවිත් ගියපු පුදුම නිහතමානී මනුස්සයෙක් තමයි ඔබා මාමා.

    ඔබට සුබ ගමන් ඔබා මාමේ....

    ReplyDelete
  7. nodutu oba soura obata niwan suwa patami

    ReplyDelete
  8. බ්ලොග් ලොවේ කිසි කෙනෙක් නිහිතපු ඒ මුසිල උදෑසන ඒ ආරංචිය අහපු ඕනෑම කෙනෙක් දෙවරක් කියෙවුවා.. ඇත්තටම කාටවත් හිතා ගන්න බැහැ. ඒත් සත්‍ය එයයි..


    ඔබා මාමේ ඔබට නිවන් සුව!!..

    ReplyDelete
  9. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  10. ඔබා මාමව දැකලවත් නැති උනත් කියාගන්න බැරි තරම් දුකක් හිතට නැගෙනවා... ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔබා මාමේ.....

    ReplyDelete
  11. අනේ අයියෙ ඔයාට මේ වුන සිදුවීමමයි මටත් වුනේ..මට අදහගන්න බැරි වුනා..මම සිංහල බ්ලොග් රෝලට ගිහින් කීපයක් බලල තමයි මේක ඇත්තක් කියල හිතාගත්තෙ..හරිම පුදුම වෙන්වීමක්..

    ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව..

    ReplyDelete
  12. ඔබා මාමේ.. :( නිවන් සුව ලැබේවා...!!
    උපදින උපදින ආත්මයක් පාසා අප අතරම සත්පුරුෂ ආශ්‍රයන් ඇතිව, සැප සම්පත්, ධන ධාන්‍ය, ගුණ යහපත්කම්, නැණ නුවන, ප්‍රඥාව වීර්යය, ඇතිව නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ඇති උපදීවා...!!
    සෙන්න අයියට ජය ශ්‍රී, කාලෙකින් ආපු නිසා අපිව අමතකද මන්ද...? ඒ පැත්තෙත් පොඩ්ඩක් යන්න. පොඩි පෝස්ට් කෑල්ලක් දැම්ම. ආයෙත් කිව්ව ජය ශ්‍රී හොඳේ...
    ඔබා මාමේ.. :( නිවන් සුව ලැබේවා...!!

    ReplyDelete
  13. මහාමේරු පර්වතේ වගේ හිටපු ඔබා මාමට මෙහෙම වෙය් කියල කව්ද හිතුවේ :'(
    ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  14. ඇත්තටම සෙන්නා, හරිම වචන ටික තමයි සහෝ...

    ඔබා මාමේ.... ඔබට සුබ රාත්‍රියක් වේවා...

    මේ මැයි මාසේ බ්ලොග් රචකයින්ට අපලයි ද කොහෙද ? ගිය අවුරුද්දේ මැයි 19 ඉලංදාරියා අපිව දාලා ගියා... දැන් ඔබා මාමත් ගිහින්... :(

    බ්ලොග් ලොව ජේයෂ්ඨතම සො‍ඳුරු නිරීක්ෂකයාණෙනි... ඔබට නිවන් සුව !!!

    ReplyDelete
  15. අපට වඩාත් සතුට ගෙනෙන්නො - අවසානයේ දුක ද ඒ තරම්ම ගෙනෙති !

    සසර ගමන කෙලවර නිවනම වේවා!

    ReplyDelete
  16. සෙන්නා පෝස්ට් එකේ අකුරු පොඩි වැඩියි. පරණ ගානට හදනවනම් හොඳයි!

    ReplyDelete
  17. උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!

    ReplyDelete
  18. @බුද්ධි

    කිව්වට විශ්වාස කරපන් බුද්ධි මම මේ තීම් එක දාලා කල්පනා කළා ඔබා මාමට කියව ගන්න පුලුවන් වෙයිද දන්නෑ කියලා. ඔබා මාමා කියවන්ඩ බෑ කිව්වොත් ආයේ පරණ එක දානවා කියලා හිතාගන හිටියේ.. අනේ ඉතින් ඔහු ආයේ කවදාවත් මේ අකුරු පොඩියි කියන්ඩ එන්නෑනේ කියලා හිතෙද්දී වාවන්නෑ බන්.

    ආයේ පරණ ඇඳුමට ඉක්මනින්ම මාරු වෙනවා.. ස්තූතියි ඒ ගැන කිව්වට.

    ReplyDelete
  19. අනිත් හැම පෝස්ට් එකකදි වගේම මේ පෝස්ට් එක කියවද්දිත් ඇස් දෙක තෙමෙනවා... මමත් මුලින්ම හිතුවේ විහිලුවක්මයි කියලා.. ඒත් දෙවෙනි ස්ටැට් එකයි කොමෙන්ට් ටිකයි දැක්කම මට ඇත්ත කියල තේරුණා... නිවන් සුව ඉක්මනින්ම ලංවේවා! ඊළඟ ආත්මයේදිත් සරල සොඳුරු බව උපතින්ම ලැබේවා!

    ReplyDelete
  20. හරී අයියගෙ මේල් ඇඩ්‍රස් එක තියනවද සෙන්න අයියේ..?? බ්ලොග් එකේ හෙව්ව.. ඒත් හොයාගන්න නෑ.. තාම විස්තරයක් හොයාගන්න බැරි උනාද??? ලොකු අවුලක් වගේ මට හිතෙන්නෙ.. නැත්තං මේ වෙලාවෙදි සද්ද නැතුව ඉන්නෙ නෑ..

    ReplyDelete
  21. @බට්ටා

    දන්නෑ බට්ටා මලේ මොනව වෙලාද කියලා. ෆෝන් එකත් ඕෆ් කරලා.

    මම ට්‍රයක් දෙනවා කන්ටැක්ට් කරගන්ඩ.. ආරංචියක් ලැබුනොත් කියන්නම්.

    E-mail : hareenlaks@gmail.com

    ReplyDelete
  22. අය්යෝ සෙන්නා..දවසම කම්පියුටරය ඔන් කලෙත් නැහැ .හිතක් නැහැ . ඉස්කෝලේ මේල් බලන්න කියල ආපු ගමන් නිකමට බ්ලොග් දිහා බැලුවේ . මිනිස්සුන්ව මේ තරම් ඇද බැඳ ගන්න ..අපි හැමෝගෙම ආදරය දිනා ගන්න ...ඔහුට තිබුන බලය මනුස්සකම සහ වයසට නොගිය තරුණකම . යුග කීපයක් එක කල රන් පාලමක් වැනි මිනිසෙක් .

    ReplyDelete
    Replies
    1. අපිට මෙහෙම දුකනම්, ඔබා මාමාගේ මනුස්සකමේ ගුණ සුවඳ හැබැහින් විඳපු බින්ඳිලට කොච්චර දුක ඇත්ද..

      කොච්චර කතා කලත් ඔච්චර තමයි. ඕක තමයි යථාර්තය. අපි සැමටත් ඒ යථාර්තය හිමියි.

      සසර කෙළවර අමා මහ නිවනම අවබෝධ වේවා !!

      Delete
  23. ඔබා මාමේ ඔබට නිඅන් සුව...ඔබ වැන්නෙක් නැවත මුන ගැසේවියයි සිතන්නට බෑ....

    ReplyDelete
  24. සුභ ගමන් ඔබා මාමේ!

    ReplyDelete
  25. ඔන්න මමත් මේ පැත්තෙ ආවා ඒත් බලපු පලවෙනීකම දුක්බර පුවතක් ...

    ReplyDelete
  26. ඔබා මාමාට මොක් සුවය

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog