Monday, February 27, 2017

වාරි මැවිසුරන්....






උතුරු-දකුණු දිශානතිව පිහිටා ඇති දිගැටි ඉඩමෙකි. දිගින් යාර සියයක් පමණ ඇති මෙම ඉඩම, පළලින් යාර තිහක් හෝ හතළිහක් වනු ඇත. මෙය, එකිනෙකට සමාන්තරව, එකිනෙකට යාව පිහිටා තිබූ ඒ ආකාරයේ ඉඩම් හතරකින් එකකි. මතු සඳහන් ඉඩමෙහි සිට උතුරු දෙසට මුහුණ ලූ විට, දකුණු පසින් එක් ඉඩමක් ද, වම් පසින් තවත් ඉඩම් දෙකක් ද වන ආකාරයෙන් මෙම ඉඩම් පිහිටා තිබුණි. කොස්, දෙල්, පොල්, කිතුල්, මිල්ල, කජු, අඹ ආදි ශාකයන්ගෙන් මෙම ඉඩම් වැසී තිබූ අතර තැනින් තැන පැතිරුණු වෙනත් ගස් වැල් මගින් මනා සමබරතාවයක් රඳවාගෙන තිබිණි. ඉඩම් සතරෙහිම දකුණු කොටසට වන්නට ඒවායෙහි හිමිකරුවන් විසූ නිවාස පිහිටා තිබිණි.

මෙම ඉඩම් කැබලි සතර උතුරින් සහ නැගෙනහිරින් සම්පූර්ණයෙන්ම වට වී තිබුණේ "කුරුන්ද" යැයි ව්‍යවහාරයේ පැවතුණු කුරුඳු වත්තකිනි. සැබවින්ම මෙය කුරුඳු වත්තක් නොව කුරුඳු කැලෑවෙකි. එහි වූ අඹ, දං, කජු, දවට, වල් ඇහැල ආදී නානාප්‍රකාර ශාකයන් අසීමාන්තිකව වත්ත වසා පැතිර තිබුණේ එහි ප්‍රධාන බෝගය වූ කුරුඳු වගාව යටි වගාවක් බවට පත් කරවමිනි. සැබවින්ම එම කුරුඳු වත්ත, හිමිකරුවන්ගෙන් නිසි සැලකුම් නොලැබූ බැවින්, ස්වභාවධර්මයා සිය ග්‍රහණයට ගෙන එහි තමනට අවැසි පරිදි නෙක නෙක රූ රටා මවමින් සිටියාය. මෙම කැලෑව, අවට ප්‍රදේශයම සිහිල් කිරීමෙහි ලා දැක්වූයේ ඉමහත් දායකත්වයෙකි. තවද, මෙම කැලෑවට එහි වූ පලතුරු උදෙසා ඇදී ආ කුරුලු ගහණය නිසා තදාසන්න ප්‍රදේශය සෑම විටම පාහේ ඉමිහිරි කුරුලු කූජනයකින් සංගීතවත්ව පැවතුණි. 

පෙර සඳහන් ඉඩම් සහ මෙම කැලෑව අතර වූ සම්බන්ධය බිඳ දමා තිබුණේ, නැගෙනහිර මායිමේ මධ්‍යකින් ඇරඹී උතුරු දෙසට ගලා ගොස් ඉන් අනතුරුව වමට හැරී බස්නාහිර බලා ගලා ගිය දිය අගලකිණි. මෙය අඩි තුනක් හෝ හතරක් පමණ පළලකින් යුක්ත වූ දිය අගලක් වූ අතර බොහෝ ස්ථානයන් හී දී අඩියක් තරමේවත් ජල මට්ටමක් නොවුණි. එහෙත් සමහර ස්ථානයන් හීදී ඉවුරු අතර පරතරය වැඩි කරගන්නා ඇය එම ස්ථානයන්හීදීම සිය ගැඹුර ද වැඩි කරගෙන තිබුණාය. අගලෙහි, කුරුන්ද දෙසින් වූ ඉවුර, වල් ඇහැල, වල් දෙල්, දවට ආදී ගස් වර්ගයන්ගෙන් වැසී අගලට මනා සිසිලසක් එකතු කර තිබුණු අතර අනෙක් ඉවර වැඩි වශයෙන් ආවරණය වී තිබුණේ ඉතා ළඟින් පිහිටි පුවක් ගස් වලිනි. මෙම තත්ත්වය ඉඩම් සතරටම පොදු වූ අතර එම පුවක් වගාව මිනිස් නිර්මාණයක් ද, ස්වභාවධර්මයාගේ නිර්මාණයක් දැයි පැවසීමට උගහටය. මෙම දිය අගල නානාප්‍රකර මසුන්ගෙන් ද හිඟ නොවූ අතර තිත්තයන්, කණයන්, දණ්ඩින්, ලූලන්, හුන්ගන් ආදි මත්ස්‍යයන් ද, කුඩා කක්කුට්ටන් ද, වැහි කාලයට උඩු ගං බලා පීනන මගුරන් ද සුලභ දසුන් ය. මෙම මසුන්ට නිවහන වූ මෙම අගල, සෘතු භේදයකින් තොරව වසර පුරාම ගලා ගිය දිය අගලෙකි. වර්ෂා කාලයට, ඇය ගැබ්බර ළඳක් මෙන් මදක් පිම්බී, ආඩම්බරයෙන් ගලා ගියාය.

මතු, මුලින්ම සඳහන් ඉඩම අපි "නාන ලිඳ වත්ත" යයි නම් කරමු. ඒ, අනෙක් ඉඩම් තුනෙහිම නොවූ විශේෂ ලක්ෂණයක් වූ නාන ළිඳක් මෙහි පිහිටා තිබූ බැවිනි. සැබවින්ම එය, එහි හිමිකරුවන් විසින් තැනවූ, චතුරස්‍රාකාර නාන ළිඳකි.. එහි බැම්ම පොළව මට්ටම පරයා නොගියේය. ලිං කඩිත්ත පිහිටා තිබුණේ පොළව මට්ටමේ සිට අඩි දෙකක් පමණ පහතිනි. එයද ලිං බැම්මේම දිගුවක් වූ බැම්මකින් වට වී තිබූ අතර එක් මුල්ලකින් නාන ජලය බැස යාම සඳහා වූ විවරයෙකි. එයින් පිට වෙන ජලය ගලා ගොස් එකතු වූයේ පෙර කියවුණු දිය අගලටය...වර්ෂා කාලයට මෙම ලි‍ඳෙන් නෑම සඳහා බාල්දියක් පමණක් ප්‍රමාණවත් වූ අතර තදබල වියළි කාලයක දී වුවද අවැසි වන කඹයේ දිග යාරයකට අඩු මිස වැඩි නම් නොවේ.

ඒ අගෝස්තුවේ පාසල් නිවාඩුවයි. ළමයින්ට දඩි බිඩියේ මූණ කට හෝදාගෙන ආපසු දිවීමේ හදිස්සියක් නොමැත. නාන ළිද වත්තේ ළමුන් කොහොමත් උදෑසන පිරිසිඳු වීම සඳහා වත්ත පහළ වූ නාන ළිඳ වෙත එති. එයට වමෙන් පිහිටි අනෙක් වත්තේ ළමුන් ද දත් මදිමින් වත්ත පහළට ඒම සාමාන්‍ය සිරිතකි. අගල් කණ්ඩියේ එක පෙළට සිට ගන්නා ඔවුන්, දත් මදිමින් අගලට කෙළ ගසති. එවිට තමන්ට කෑමක් ලැබුණේ යැයි සලකා ඇදී එන තිත්තයන් රෑන මනහර දසුනෙකි.

අගලෙහි වසන මසුන් විශේෂයෙන් කණයන් ළමුන්ගේ මාළු බෑමෙහි ගොදුරු වූහ. මේ මාළු බෑම, ඇති කිරීම සඳහා මිස මැරීම පිණිස නොවුණේය. කිතුල් පිත්තක ගැට ගැසූ නයිලොන් නූලක් කෙළවර දැවටූ, දෙකට නැවූ හර්නෙල් කට්ටක් වැසී යන පරිදි, අගල් කණ්ඩියම හාරා මතු කරගන්නා ගැඩවිලකු දෙකට කඩා ගැසීමෙන් සකසා ගන්නා ඇම, අගලට දමා ටික වේලාවක් සිටින කල්හී එයට කෙටීම අනිවාර්යයෙන් සිදු වන දෙයකි. විටෙක ඇම කඩාගෙන යාමට තරම් මසුන් දක්ෂයන් වන නමුදු සමහර අවස්ථාවන් හී මෝඩ කණයෙකු කරමල් පසාරු වී යන ලෙස ඇමෙහි දැවටී ගොඩ ගනු ලබන්නේය. සීරුවෙන් ඇමෙන් ගලවනු ලබන මාළුවා ඔවුන්ගේ මාළු ටැංකිය වූ නාන ළිඳට දමනු ලැබෙයි. මෙසේ අල්ලා දැමුණු මසුන් දහ දෙනෙකු පමණ නිතරම ළිදෙහි ඔබ මොබ පිහිනනු දැකිය හැකි වේ.

අසේල, අගල් කණ්ඩියට වී තනියම දත් මදිමින් සිටි නමුදු ඔහුගේ සිත අගලෙහි සැරි සැරූ මසුන්ගේ රංගනයට හා කුරුන්දෙහි කරච්චල් කළ දෙමලිච්චන් රෑනෙහි සංගීතය දෙසට වරින් වර යොමු විය. අසේලලා ගේ කුකුළු රෑන ළිදෙන් වතුර බැස යන කාණුව අවුස්සා පණුවන් අහුලමින් සිටි අතර ඔහුගේ අවධානය විටින් විට කුකුළන්ගේ කා කොට ගැනීම වෙත ද යොමු විය. සැබවින්ම ඔහු මේ මොහොතේදී සොබා සිරියෙහි අතරමංව දත් වලට බුරුසුවෙන් අනිමින් සිටියේය. මද වේලාවකට පසු බුරුසුව කටේ ගසාගෙන පැමිණි අසල්වැසි නිවසේ නාලක ද ඔහු හා එකතු විය. ඔවුන් දෙදෙනා ගේ සාකච්ඡාවට විවිධ දේ මාතෘකා වූ අතර නිවාඩු සමය හෙයින් ආපසු දිවීමේ හදිසියක් ඔවුන් දෙදෙනාටම නොවුණි. කුසෙහි පණුවන් උද්ඝෝෂණය කරණ තෙක් ඔවුන් මෙහි ‍රැදෙනු ඇත. මේ වේලෙහි, අගල ඔස්සේ, කුරුන්ද දෙසින් වැටී ඇති අඩි පාර දිගෙහි රෙදි පොට්ටනියක් හිස තබාගත් ඩෝබි මාමා ගමන් කරනු ඔවුන්ගේ නිරීක්ෂණයට හසු විය. අසේල නිතර ඩෝබි මාමා ගේ මෙම ගමන දැක තිබුණු නමුදු ඔහු යන්නේ කොහිදැයි යන්න අසේලට සැමදා ගැටළුවක්ම විය.

"එයා කොහෙ ද ඒ යන්නේ, හැමදාම?" පැනය අසේලගෙන් නාලකටය.

"ඇයි දන්නැද් ද ඔහොම ටිකක් පහළට යනකොට මේ අගල එක තැනක ලොකු වළක් වගේ වෙලා තියනවා. එතන සෑහෙන ගැබුරයි මම හිතන්නේ. එයා රෙදි හෝදන්නේ ඒ වළේ තමා."

"එහෙම ද ? මම කවදාවත් එච්චර එහාට ගිහින් නෑ."

තවත් අඩ හෝරාවක් පමණ ඔවුන් විවිධ දේ සාකච්ඡා කරමින්, සොබාදහම රස විඳිමින් එහි ගත කරන්නට ඇත. හදිසියේම අසේලගේ සිතෙහි විදුලියක් සේ ක්ෂණික අදහසක් පහළ විය.

"අපි වැඩක් කර්මු ද?"

"ඒ මොකක් ද ?"

"වේල්ලක් බඳිමු!"

නාලකගේ දෑස් ඈයි ගියේය. මොහොතක් මවිතව අසේල දෙස බලා සිටි ඔහුගේ මුවෙහි ඊළඟ නිමේෂයේ සිහින් සිනා ඉරක් ඇඳි ගියේය.

"ඒකනම් මරු වැඩෙ.. ඒත් කොහෙද කරන්නේ ?"

"මම හිතන්නේ මෙතන තමා හොඳම තැන. මෙතන අගල ප‍ටුයි. අපිට වැඩේ ලේසියි එතකොට."

"කොහොමද වතුර නවත්වන්නේ?"

"ඉස්සෙල්ලා මෙහෙම ලී දඬු පේළියයි, අඩියක් විතර පල්ලෙහයින් තව දඬු පේලියයි හිටවනවා.. ළඟින් ළඟින් හිටවන්න ඕනා. ඊට පස්සෙ පට පට ගාලා පස් පුරවන්න ඕනා. ඕන්නම් පල්ලෙහා දඬු පේළියට පිටින් ගඩොල් පේළියක් අතුරමු පස් හෝදන් යන එක නවත්වන්න."

"පුළුවන් වෙයිද?"

"පුළුවන්, පුළුවන්.. මම දවසක් පොඩියට කළා. ටිකක් වෙලා අල්ලල හිටිය."

"හරි කරල බලමු.. එහෙනම් ටාර් ගාල ගිහින් කාල එමු."

කටට දෙකට හීලට වගකියූ ඔවුන් දෙදෙනා අඩ හෝරාවක් යාමටත් මත්තෙන් මන්නා පිහි, මිටි, උදලු සමඟ අගල් කණ්ඩියෙහි පෙනි සිටියෝය. අනතුරුව කුරුන්දට පැන වල් ඈහැල හා දවට ගස් වලට බඩ ගා ගත් ඔවුන්, තමන්ගේ කාර්යයට සෑහෙන ප්‍රමාණයේ ලී දඬු අවැසි පමණට කපා ගත්හ. එක් මට්ටමකට කපා ගත් ලී දඬුවල එක් කෙළවරක් තියුණුව උල්කර ගත්හ. ඉන්පසු අගලෙහි ප‍ටුම ස්ථානය ලෙස ඔවුන් ‍තෝරා ගත් ස්ථානයෙහි, අගල හරහා එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා විහිදී යන පරිදි ලී දඬු සිට වූහ. අඩියක් පමණ පහළට වන්නට එම ලී දඩු පෙළියට සමන්තරව විහිදී ගිය තවත් ලී දඬු පේළියකි. එම දෙවන පේළියට පිටින් එක පෙළට ගොඩ ගැසූ ගඩොල් බැම්මක් මගින් සවිමත් කළ වෙරගැන්වුමකි. අගල මධ්‍යයෙහි දඬු සිට වීම පහසු වුවද, ඉවුරු වලදී එම කාර්යය ඉතා අපහසු වුණි. ඉවුරේ දෙපස වූ ශාකයන්ගේ මුල් පසාරු වී යන ලෙස දඬු සි‍ටු වීමට තරමක වෙහෙසක් දැරීමට ඔවුන්ට සිදු වූහ. එහෙත් ගලායන සිසිල් ජලයෙහි බැස මෙම කාරියෙහී නිරත වීම ඔවුනට සැබෑම නවුම් අත්දැකීමක් විය.

තම ගමන නැවැත්වීමට කාහටවත් නොහැකියයි අඟවන්නාක් මෙන්, දිය පහර, ලී දඬු අතරින් වූ හිඩැස් තුළින් රිංගා ගියේය. ගඩොල් පේළිය යම් ප්‍රතිරෝධයක් දැක්වුව ද ජල පහර සම්පූර්ණයෙන් නැවැත් වීමෙහි ලා අපොහොසත් වූයේය. දැන් සියල්ල සූදානම්ය. අපහසුම කාර්යය ඇත්තේ දැන්ය.

නාන ළිඳ වත්තෙහි, අගල ආසන්නයට වන්නට කැපූ වල් දෙකකින් වේල්ලට පස් පිරවීම ඔවුන් ආරම්භ කළහ. වළෙන් කපා ගන්නා පස් පිඩැලි උදැල්ලෙන්ම වේල්ල වෙත විසි කරනු ලැබූහ. පළමු පස් පිඩැල්ල වහා දිය කර හැරීමට ජල පහර සමත් විය. ඒක්ෂණයෙන් පතිත වූ දෙවැනි පස් පිඩැල්ල අඩක් පමණ ද, තෙවැනි පස් පිඩැල්ල එයිනුත් අඩක් ආ දි වශයෙන් දිය වී යාමේ වේගය අඩුව ගොස් අවසානයේදී ජල පහර, ළමුන් ගේ ධෛර්යය ඉදිරියේ යටත් වූවා ය. වතුර ගලා යාම නතර වුණේය. එහෙත් සිය කාර්යයෙහි දිගටම නිරත වූ ළමුන්, නොකඩවා වේල්ල පිරවීමෙහි යෙදී සිටියහ. අඩියක් පමණ පස් පිර වූ ඔවුන් දෙදෙන හති ඇරීමට වන්හ.

පිර වූ පස් තට්‍ටුව උදලු මගින් තලා පහතට තෙරපා නැවතත් පස් පිර වීම ඇරඹූ ඔවුන් වේල්ල සම්පූර්ණයෙන්ම පස් වලින් වැසී, පිරී යන තෙක් මෙම කාර්යයෙහි නොකඩවා නිරත වූහ. දෙ හෝරාවක් පමණ වන විට, අඩි තුනක් පමණ දික් වූ, අඩියක් පමණ පළල, අඩි හතරක් පමණ උස් වූ පස් වලින් නිර්මිත අපූරු වේල්ලකින් අගලෙහි දිය පහර කපා හැරීමට මේ මැවිසුරුවන් දෙදෙනා සමත් වූහ. එය ඔහුනට ඔබ මොබ ඇවිද යා හැකි තරමින් සවි ශක්තියෙන් යුක්ත වූ වේල්ලකි. ඉතා සුලු ජල කාන්දුවක් තිබුණ ද එය සැලකිය හැකි තත්ත්වයේ නොවුණි. වේල්ලෙන් ඉහළ ජලය පිරෙනවා ඔවුන් බලා සිටියේ ආසාවෙනි. වේල්ලෙන් පහළ ජලය නැතිව වියලී යමින් තිබිණි. සිය සුපුරුදු ගමන් මාර්ගයෙහි ඉදිව ඇති මේ මහා බාධකයට විරෝධය පෑමට මෙන් වරින් වර එහි පැමිණි තිත්තයන් ‍රැල වේල්ලෙහි දඩු වලට කොටා ආපසු හැරී යන්නට වූහ.

සිය කාර්යයෙහි සාර්ථකත්වය විමසමින් තවත් වෙලාවක් එහි ‍රැදුණු ඔවුන් දෙදෙනා, සිය ආම්පන්න ද ‍රැගෙන නිවෙස් බලා ඇදුණේ නැවත වරින් වර පැමිණ තත්ත්ව සමාලෝචනයක යේදීමේ අරමුණ ඇතිවය. මේ මහා වාරි නිර්මාණය බොහෝ වේලාවක් අන් අයට රහසක්ව නොපැවතුණි. මොවුන් දෙදෙනා වරින් වර වත්ත පහළ ගොස් සිදු කරනා කාර්යය කුමක් දැයි අවධානයෙන් සිටි අසේලගේ සොයුරියක් එහි පැමිණ, එය නරඹා ඒ වෙගයෙන්ම නැවත දිව ගියේ කේලම මවගේ කනේ තැබීමටය.

"අම්මේ අන්න අයියලා අගල වහලා " යි ඇය කෑ ගැසූ බැවින් එය ඇසු අනිත් ළමෝද කුතුහලය සංසිදුවා ගැනීම උදෙසා එහි දිව ගියහ. මැවිසුරන් දෙදෙනා ආඩම්බරය මුසු ගර්වයකින් පිම්බී සිටියහ. "මේ මොකක් ද?" "මොකක් ද කරන්න යන්නේ? " ආදී එල්ල වූ දහසක් පැනයන්ට උඩින් පල්ලෙන් උත්තර ලැබුණේ එහෙයිනි. ළමෝ වේල්ල හරහා ඔබ මොබ ගමන් කිරීම උදෙසා උත්සුක වුව ද, එහි ආරක්ෂාව සලකා මැවිසුරන් විසින් එය තහනම් කරණ ලදී.

+++++

කුතුහලයෙන් මඩිනා ලද ඔවුන් දෙදෙනා පසු දින හිමිදිරියේම වේල්ල අසල පෙනී සිටිනු දක්නා හැකි විය. වේල්ලෙන් අඩකට මදක් අඩුවෙන්  වූ උසට ජලය පිරී තිබිණි. වේල්ලෙන් ඉහළ වූ මසුන් වැඩි වූ ජල තලයේ ප්‍රීතියෙන් එහා මෙහා පිහිනමින් සිටිනු දැකිය හැකි වුව ද වේල්ලෙන් පහළ තත්ත්වය ශෝචනීය විය. එය බොහෝ දුරට වියලී තිබූ අතර, අතරින් පතර වතුර ‍රැඳී තිබූ කුඩා වළවල් වල ‍රැදී සිටි මසුන් උඩ පනිමින් සිටියහ.

"අප්පා අරුන්ව මැරෙයි නේ..!" යි තමන්ටම දොස් පවරා ගන්නා ස්වරයෙන් අසේල පැවසීය. මෙය ඔවුන් විසින් එතරම් අවධානය යොමු නොකළ තත්ත්වයකි.

"අල්ලලා මෙහෙට දාමු ද එහෙනම් ?"

" හා එහෙමවත් කරමු" යි කියමින් ඔවුහූ වහා ක්‍රියාත්මක වූහ. ලොකු බේසමක් හා කුඩා බේසමක් ගෙනා ඔවුන්, කුඩා බේසමෙන් වල් වල ‍රැඳී සිටි මසුන් අල්ලා ලොකු බේසමට දමාගෙන පැමිණ, වේල්ලෙන් ඉහළ තටාකයට දැමීය. එවිට මසුන් ප්‍රීතියෙන් පිහිනා යනු දැක ඔවුන් සැනසුම් සුසුම් හෙළූහ. එහෙත් මෙම අගල තවත් බොහෝ දුරට ගලා යනවා ඇත. ඒ සියලු දුරෙහි ‍රැඳී සිටිනා මසුන් අල්ලා මෙහි ගෙන ඒම ප්‍රායෝගික ක්‍රියාවක් නොවුණි. අවසානයේ දී, මසුන් ජලය නොමැති වූ විට මඩ අතර සැඟව දිවි ‍රැක ගන්නා බවට නාලක විසින් ගෙනා තර්කය, අසේල විසින් ඒකමතිකව ස්ථීර කිරීම නිසා ඔවුන් පසුතැවීම අත්හැර දමා, පිරී සිටි ජල තටාකයේ සතුටින් පිහිනමින් සිටි මසුන් දැක ප්‍රීති වීම ඇරඹූහ.

ඩෝබි මාමා සිය සුපුරුදු කාර්යය උදෙසා මෙවෙලෙහි එතනින් ගමන් කරමින් සිටියේය. සිදු වී ඇති විපර්යාසය ඔහුගේ ඇස ගැ‍ටුණේ නිතැතිනි.

"ඔය මොකක්ද ඔය ළමයි කරන්නේ ?" ළමෝ උත්තර නොදී ඔහුගේ මුහුණ දෙස බලා සිටියහ.

"දැන් පල්ලෙහාට වතුර යන්නේ කොහොම ද, ඔතන ඔහොම බැම්මක් බැන්දම ?"

"නෑ නෑ.. අපි කරන්න යන්නේ මේ මට්ටමට වතුර පුරවලා, වේල්ල උඩින් වතුර යවන්න. එතකොට මේ පැත්තෙ හැමදාම මේ වගේ වතුර පිරිලා තියනවා නේ ඒකයි." කට පැත්තකට කර"හුහ්" යනුවෙන් ශබ්දයක්ය සමඟ පපුව ගස්සා අවමන් සහගත සිනාවක් නැගි ඩෝබි මාමා තවත් එතන නො‍රැදී සිය කාර්යය බලා ගියේය.

"ඒකත් මරු වැඩේ නේ ද? එතකොට හැමදාම මේ පැත්තේ මේ වගේ වතුර පිරිලා තියෙ යි" ඔවුන් දෙදෙනා කතිකා කර ගත්හ. මෙය ඔවුන්ගේ සැලසුමේ නොවූවකි. ඩෝබි මාමා ට කී බොරුව යථාර්ථයක් කිරීමට ඔවුන් අදිටන් කර ගත්හ.

" එහෙනම් උඩින් ගල් අතුරන්න වෙයි. නැත්නම් පස් හේදිලා ගිහින් වේල්ල කැඩෙන්න පුළුවන්."

"ඔවු එහෙම කරමු, මෙහෙම ගඩොල් පේළියක් අතුරමු උඩින්."

"ඇති වෙයි ද?"

" දන්නෑ කරලා බලමු." යි කියමින් පි‍ටුපසින් ඇසෙමින් තිබූ පනිට්‍ටු ශබ්දයට අවධානය යොමු කරමින් අසේල පි‍ටු පස බැලීය. තාත්තා ! නෑමට පැමිණෙමින් සිටියේය. පනිට්‍ටුව බිම තැබූ ඔහු, කරේ තිබූ ලේන්සුව අසල වූ වැලේ වනමින්;

"ඔය දෙන්නා මොකක් ද ඔය කරන්නේ" යි ඇසුවේය.. ළමෝ නිහඬය. අහිංසක මද සිනාවක් පමණක් මුහුණු වලට ආරූඪ කරගෙන ඔවුන් ඔහු දෙස බලාසිටියා පමණි. අසේල ගේ පියා වේල්ල අසලට පැමිණියේ ය.

"මේ මොකක් ද මේ?" යි ඔහු ඇසූව ද මේ සම්බන්ධයෙන් ඔහු පූර්ව දැනුවත් කිරීමකින් යුක්ත බව ළමෝ දෙදෙනාටම වැටහුණි.

"වේල්ලක්"

"මොකට ද?"

"නිකං... අපි හදන්නේ මේ මට්ටමට වතුර පුරවල උඩින් යවන්න. එතකොට මෙහෙ හැමදාම ව්තුර පිරිලනේ, ඒකයි."

මද වේලාවක් වේල්ල දෙස බල සිටි ඔහු එහි උස සිතින් සසඳා;

"මේක මේ මට්ටමට පිරුණොත්, ළිඳට වතුර දානවා." යි කිවේය.

"ගොනා දිවෙයි, කළය බිදෙයි, බිම පෙරළෙයි" ආදි වශයෙන් අනාවැකි කී හාමුදුරුවන් දෙස බලා සිටි කිරිහාමි මෙන් ළමෝ දෙදෙනා ඔහු දෙස බලා සිටියා මිස කිසිත් නොකීහ. ළමුන්ගේ වැඩ පිළිබඳ වෙහෙසෙනවාට වඩා, නියමිත වේලාවට රාජකරියට වාර්තා කළ යුතු බැවින් ඔහු එතනින් ඈත්ව ළිදට ගොස් සිය පැමිණි කාර්යයෙහි නිරත වන්නට වූයේය. ළමෝ දෙදෙනා කු‍ටු කු‍ටු අනුකරණයෙන් ඉදිරි වැඩ පිළිවෙළ සාකච්ඡා කළහ.

ගඩොල් කැට ‍රැගෙන විත් වේල්ල උඩින් ඇතිරීම හැර අන් යමක් ඔවුන් එදින වේල්ල උදෙසා නොකළහ. එලෙස,  ඔවුන් මහා වාන් දැමීම උදෙසා සූදානම්ව වූහ.


+++++

ජයග්‍රාහී තුන්වෙනි දිනයට එළබිනි. වේල්ල තවමත් එකතු වන ජල කඳ දරා යෙහෙන් වැජබුණි. ළමෝ තමන්ගේ නිර්මාණය ගැන ස්වයං ආඩම්බරයකින් පසු වූහ. දැන් ජල මට්ටම වේල්ලෙහි ඉහළ මට්ටමේ සිට අගල් හයක් පමණ පහළිනි. වේල්ලෙන් ඉහළ ප්‍රදේශයේ වූ ඉවුරු කිසි දිනක නොවූ තරමින් ජලයෙන් වැසී ගොස්ය. නාන ලි‍ඳෙහි පිටාර කාණුව ද මේ වන විට අඩකට වඩා වැඩියෙන් ජලයෙන් වැසී ගොස්ය. වේල්ල උඩි වතුර වාන් දමන මට්ටමට පැමිණියහොත්, අසේලගේ පියා කී අනාවැකිය සැබෑ වනු ඇතැයි දෙදෙනාටම සිතුණි. එය තමන්ගේ ව්‍යපෘතියට එතරම් සුබදායි නොවන බව ද පැහැදිලිය. වේල්ලෙන් පහළ කොටස බොහෝ දුරට සිඳි, වියලී ගොස්ය. අද සවස් වනු විට නැවතත් එම ප්‍රදේශය ජලයෙන් යට වී යනු ඇතැයි දෙදෙනා අනුමාන කළහ. එහෙත් කටයුතු සිදු වූයේ ඔවුන්ට අවැසි පරිදි නොවේය.

ඩෝබි මාමා හනි හනිකට වතු උඩින් පනිමින් අසේලලාගේ නිවැස පැත්තට යනවා මුලින්ම දු‍ටුවේ නාලකය. 

"ඒයි අර බලහන්, ලෙඩක් වගේ....!"

"හ්ම්ම් එයාට වතුර මදි වෙලා ද දන්නෑ..!" යි අසේල අනුමාන කෙළේය.

මොහොතකින් ඩෝබි මාමා සමඟ අසේලගේ පියා එතනට සැපත් වූහ.

"මේ පේනව ද ? වතුර බිංදක් යන්නෑ පහළට... මම කොහොම ද මගේ රෙදි ටික හෝද ගන්නේ.??" උරණව සිටි ඩෝබි මාමා ගේ කට හඬෙහි ස්වරය උච්චව තිබිණි.

"ඔය දෙන්නා මොකක් ද ඔය කරණ වැඩේ ? ඕක කඩලා වතුර ටික යවන්න. රෙදි හෝදන වලත් හොඳටම හිඳිල ලු. අනිත් එක ඔය පල්ලෙහා ඉන්න ඔක්කොම මාළු ටික මැරිලා යනව නේ ඔය කරන වැඩෙන්.. ඒ විතරක් නෙමේ තව ටිකක් වතුර පිරුණොත් අර ළිඳත් යට වෙලා යනවා." 

"දැන් මේක උඩින් වතුර යන්න ගත්තම හරිනේ තාත්තේ.. එතකොට ඒ පැත්තට වතුර යනවනේ.."

"ඕක උඩින් වතුර යනකම් මට රෙදි හෝදන් නැතුව ඉන්න ද කියන්නේ ?" ඩෝබි මාමා සැරෙන් විමසීය.

"ඔය බැම්ම කොහොමත් කඩලා යනවා ඕක උඩින් වතුර යන්න ගත්තට පස්සේ. ඔය විදිහට හදලා ඕක වතුරට ඔරොත්තු දෙන්නෑ. ඒක හින්දා දැම්මම ඕක කඩලා වතුර යවන්න. මේ මාමගේ වැඩ පාඩු නොකර." ඒ අවසාන විනිශ්චයයි. එයට අවනත වනවා හැර අන් යමක් කිරිමට පවතින වාතාවරණය ඔවුනට ඉඩ සලසා නොතිබුණි. එකිනෙකා ගේ මුහුණු බලා වේල්ල කඩා දැමීමේ අවසන් තීරණය අන්‍යයෝන්‍ය වශයෙන් අනුමත කරවා ගත්හ.

උඩින් අතුරා තිබූ ගඩොල් අතුරණය ඉවත් කළ ඔවූහු, වේල්ලේ මැදින් පස් ඉවත් කර වතුර ගලා බැසීමට ස්ථානයක් විවර කළෝය. ඒ ප්‍රමාණවත් වීය. මුලින් ඉතා සෙමෙන් ගලා ගිය ජල පහර, මද වේලවක් තුළ දී සිය වේගය වැඩි කර ගනිමින් වේල්ල සම්පූර්ණයෙන්ම් කඩා බිඳ දමමින් ගලා බැස්සේ අසේල ගේ පියා පැවසූ වදන් සනාථ කෙරෙමිනි. වියලී තිබූ අගලෙහි පහත ප්‍රදේශය දෙගොඩ තලා, ඉවුරු බිඳ දමමින් ගලා යමින් තිබූ ජල ප්‍රවාහය දෙස ළමෝ දෙදෙනා බලා සිටියේ සතුට සහ ශෝකය මිශ්‍ර හැඟීමකිනි. අවසානයේ දි ශේෂ වූයේ ඇදවී ගැලවී ගොස් තිබූ ලී දඬු පමණි. අගල් තෙමේ සිය සුපුරුදු ලාලිත්‍යයෙන් පහත බැසීම අරබා තිබූ අතර, තිත්තයන් රෑන ඔවුන්ට ඔච්චම් කෙරෙමින් වේල්ල තිබූ ස්ථානයද පසු කරගෙන පිනා යමින් සිටියහ.

ජාතියේ වාසනාවකට හෝ අවාසනාවකට, මේ කුඩා මැවිසුරන් දෙදෙනා, මැවිසුරන් නොවූ බව පමණක් අවසාන වශයෙන් පාඨකයා දැනගත යුතුය.

ලියුවේ;
සෙන්නා / 24.02.2017

22 comments:

  1. අත්දැකීමක් වගේ:)

    ReplyDelete
    Replies
    1. ඔව්..ළමා අත්දැකීමක්...

      Delete
  2. කාලෙකට පස්සේ සෙන්නාව කියවන්න ආවේ. කෝ අර ගමේ කතා. අර කන්ද උඩ ගෙදර කතා ඉවර වෙලාද?
    මේකත් මරු...

    ReplyDelete
    Replies
    1. රංගි මේ දෙවෙනි පාරද කොහෙද බෝතලේ කතා ඉල්ලුවේ... ලියනන් තරම් වෙන දෙයක් මට මතක් වෙන්නෑ.. කතාවක් ගොතලවත් දෙනන් වෙනවා දැන්නම්.. :D

      Delete
    2. ලියන්න දෙයක් මතක් වෙන්නේ නෑ කිව්වා? එතකොට අර එබෝලා රෝගියා ඉතුරු ටික ලියන්නේ අපිදෝ....??

      Delete
    3. නෑ නෑ මම කිව්වේ බෝතලේ කතා මුකුත් මතක් වෙන්නෑ කියලා... පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝඕඕඕඕඕ....

      Delete
  3. මවිසුරන් නොවී ඒ වෙනුවට නැව් කප්පිත්තෝ උනාද? :)

    මුලින්ම ටිකක් කියවල කොලයක් අතට අරන් ආපහු කියවන ගමන් පොඩි රුප සටහනක් ගහ ගත්ත ප්ලෑන් එක පැහැදිලි වෙන්න.. පස්සේ ඒක ඕනේ නා කියල හිතුන.. පොඩි කාලේ පොතක තිබ්බ අමුණ බැඳීම කියල පාඩමක්.. ඒක මතක් උනා.. දවස් තුනක් තිස්සේ වතුර පිරෙන්න ඒක මහා ලොකු වේල්ලක්ද? නැත්නම් පුංචිම වතුර පාරක්ද? පුංචිම වතුර පාරක නම් බිලි පිත්තෙන් අල්ලන මාළු ඉන්න බෑ නේද?

    පොඩි කාලෙට යන්න හිතුන ආයෙම..

    ReplyDelete
    Replies
    1. එහෙම වුනෙත් නෑනෙ...

      ඇත්තටම ඔය සිද්ධියේ අරම්භය ඔය කියන පාඩම වෙන්න ඕනා.. ඔය පාඩමෙන් පස්සෙ තමා ඔය වේලි හදන පිස්සුව අපිට ආවේ මට මතක විදිහට..

      මේක පොඩි වතුර පාරක් මචං.. හිමීට තමා ගලන් ගියේ.. වේල්ල ඔය මම දීල තියන දිග පළල තමා ආසන්න වශයෙන් මතක විධිහට.. මම කියලා තියෙන්නේ, සමහර තැන් වල අගල ගැබුරයි කියලා.. ඒ තැන් වල මාළු හිටියා ඇම දාලා අල්ලන්න පුළුවන්..

      Delete
  4. Me uththe phone eke sinhala hira wenawa ban welawakata...
    Mama heta pirisidu sinhalen kotannam yamak...

    ReplyDelete
    Replies
    1. මුලින්ම තියෙන පින්තුරේ කොහේ එකක්ද මචං...
      උඹල අමුණු බැන්දේ ඔතනද...
      අමුණු බැඳීම කතාව තියෙන සිංහල පෙළපොත දැනටත් මගේ ගාව සුරැකිව තියෙනවා...
      ඊටත් ගොඩක් පරණ පොතකුත් තියෙනවා, ඒවායේ තියෙන කතා ටිකනම් මල් මසුරං...

      Delete
    2. ඕක ජාලෙන් ගත්තු එකක් බන්.....

      අපේ අගල ඊනියා සංවර්ධනය විසින් අතීතයට එකතු කරළා අවසන්..මතකයන් විතරක් තාම ඉතුරුයි..

      Delete
  5. Replies
    1. බොලා මොකද හිනා වෙන්නේ...? හිනා යන මුකුත් කිව්වැයි මං ?

      Delete
  6. සෙන්නා.....මම මේ කතාවත් එක්ක අවිස්සාවේල්ලේ තල්දූවටත්, හංවැල්ලේ පහත්ගම ඇලවල්, වෙල්, නියර, ඒදඬු හරහා ලොකු ටුවර් එකක් ගියා. අවුරුදු හතලිහකටත් එහාදි දැනුන සුන්දර ලමා ලෝකයට ෆ්‍රී ටුවර් එකක් ගියා. මමත් ඇලේ, වෙලේ, මාලු-යාලු ජීවිතයක් ගෙනිච්චා.

    ReplyDelete
    Replies
    1. අරූ, එහෙව් ‍ෆ්‍රී ‍ටුවර් එකකට දායක වෙන්න ලැබීමම භාග්‍යයක් කොට සළකමි.

      Delete
  7. ඔය ඉංජිනේරුවන්ට හිතුනේ නැතිද ඔතැන පොඩි ටර්බයින් එකක් කරකවලා බල්බ් එකක් පත්තු කරලා බලන්න එහෙම.නිදහසේ ජිවත් වෙන්න පුළුවන් ලස්සන ඉඩමක්නේ තිබිලා තියෙන්නේ.දැන් කොහෙද ඒ වගේ ඉඩම්.ඈත පැති වල පවා ඉඩම් දැන් කට්ටි කරලා විකුණන නිසා දැන් තියෙන්නේ කට්ටි කරපු කාන්තාර තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වැඩ කරන්න පරිචයක් තියෙන්න එපෑයෑ මනෝජ්.. :D

      අපිත් දැන් පර්චස් දහයකට කො‍ටු වෙලා... තිත්තයෝ, දන්ඩි, කනයි මොක්කුවත් නෑ...සංවර්ධනේ මෙයා.. සංවර්ධනෙ...

      Delete
  8. ඔය අසේල ඒ කාලේ ඔහොම වැඩමලු කරේ. ඇත්තටම මැවිසුරන් උනානම් කොච්චර එකක්ද? දැක්ක දැක්ක තැන වේලි බඳීවි. හරිම සුන්දර චිත්‍රයක් හිතේ ඇඳුනා මේක කියවද්දි

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්..මැටි හරකා! ඔය ජාතියේ වැඩමයි ඌ කරේ.. කාලයක් ඌ ගස් වලින් තාප්පයක් ගහන්න කියලා ළඟ ළඟ පැල හිටෙව්වා හිටං..

      "......දැක්ක දැක්ක තැන වේලි බඳීවි"

      හෙහ් හෙහ්.. එහෙනම් වේලි වලින් ස්වයංපෝෂිත වෙන්න තිබුනා... :D

      මේ වගේ මතක හරිම සුන්දරයි තමා..

      Delete
  9. අපූරු ලමා කාලෙ අත්දැකීම් සෙන්නා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..අපේ ළමයි පව්...

      Delete
  10. මේකේදි මටත් , මගේ අත්දැකිම් මතක් වුනා. ලස්සනට ලියල තියේනව. :D

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog