පළවෙනි කොටසට.......................
2012 ඉල් මස 15 වනදා
2
දහසයවන සියවසේ තෙවන දශකයේදී දකුණු ඇමෙරිකාවෙහි, රත්රන් හා වෙනත් ඉසුරු ගවේශණයේ යෙදෙනා ස්පාඤ්ඤ සේනාවකි. ඔවුන් වෘත්තීය හමුදා භටයන් නොවූ නමුදු විශ්රාමික ස්පාඤ්ඤ හමුදා කපිතාන් වරයෙකු වූ Francisco Pizarro විසින් මෙහෙයවනු ලැබූ නිර්භීත, ත්රාසජනක ක්රියා ප්රිය කළ සමූහයකි. Francisco Pizarro ඒ වනවිටත් මධ්යම ඇමෙරිකානු යටත් විජිතයන් වල සිය වාසනාව උරගා බැලූවකි. දැන්, ඔහු සිය පිරිවරත් සමඟ තවත් දකුණෙහි වූ නොදන්නා දේශයන් කරා ගමන් කරයි. මුලින්ම ඇන්ඩීස් කඳු වැටිය තරණය කළ යුරෝපීයන් කණ්ඩායම ලෙස ඔවුන් ඉතිහාසගත වී ඇත. එමෙන්ම දකුණු ඇමෙරිකා මද්වීපයේ මෙතරම් අභ්යන්තරයට ගමන් කළ මුල්ම යුරෝපීයන් කණ්ඩායමත් ඔවුන්ම වේ.
මෙසේ ගමනේ යෙදෙන විට, Pizarro ඇතුළු කණ්ඩායමට, ක්රමක්රමයෙන් ශිෂ්ටාචාරගතවූ මානව ජනාවාස වල ලක්ෂණ දක්නට ලැබුණි. ඔවුන් නොදැනුවත්වම අති දැවැන්ත ඉන්කා අධි රාජ්යයේ එළිපත්තට ගොඩවී සිටියහ. ඉන්කාවරුන් මින් පෙර සුදු මිනිසුන්ව දැක නොතිබුණි. එබැවින්ම මේ සුදු මිනිසුන් තමන් වෙත ගෙන එන තර්ජනයේ ස්වභාවය පිළිබඳ ඔවුන්ට කිසිඳු දැනුමක් නොවීය. දින කිහිපයක් ඇතුළත මේ අමුත්තන් කිහිප දෙනා තම ලෝකය උඩු යටි කුරු කරනා බව ඔවුන් සිහිනෙකුදු නොසිතන්නට ඇත.
මැදපෙරදිගින් පැතිරුණු මිනිසුන්, සතුන් සහ බෝග මගින් යුරෝපයේ ශිෂ්ටාචාරය ගොඩනැංවූ බව පෙර සඳහන් විය. දහසයවන සියවස වන විට යුරෝපයේ බොහොමයක් ගොවිපළවල් මැදපෙරදිගින් පැතිරුණු සතුන්ගෙන් පිරී පැවතිණි. මේ එකද සතෙකුවත් යුරෝපයට ආවේණික සතුන් නොව්නි. මෙම සතුන්ගෙන් මාංශ, කිරි, ලෝම වලට අමතරව ලද විශාලම ප්රයෝජනය නම් ගොවිතැන උදෙසා යොදා ගත හැකිවීමයි. නගුලට ඇඳුණු අශ්වයන්, ගවයන් වැනි සතුන්ගෙන් ගොවිතැනෙහි කාර්යක්ෂමතාවය සහ අස්වැන්න වැඩි කරගැනීමට ලැබුණු සහය අපමණ විය. ගොවිතැනින් ලද ඵලදාව වැඩි වත්ම යුරෝපියානු ගොවියන් හට වැඩියෙන් ආහාර නිපදවා වැඩි පිරිසක් පෝෂණය කිරීමේ හැකියාව ලැබුණි. එය, විශාල සහ සංකීර්ණ සමාජයක් ගොඩ නැංවීම කෙරෙහි අතිශයින් ඉවහල් විය.මෙයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් නව ලෝකය හෙවත් ඇමෙරිකා මහද්වීපයේ දක්නට ලැබුණි. ඔවුන් ගොවිතැනට සතුන් භාවිත නොකළ අතර කුදු මහත් සියලු දෑම පාහේ මිනිස් අතින්ම කෙරිණ. ආශ්රයේ සිටි එකම සත්වයා වූ ලාමා සතුන්ද කෙදිනකවත් ගොවිතැන සඳහා උපයෝගී කොටගත් බවක් දක්නට නොතිබුණි.
අශ්වයන් පිට උඩ නැගුණු මිනිසුන් දුටු ඉන්කාවරුන්ගේ විමතිය ඉමහත් විය. ඔවුන් කිසිදිනක සතුන් මත නැගී ගමන් කිරීම කර නොතිබුණි. එබැවින් අසුන් පිට නැගී සිය රට මැදින් ගමන් කරනා Pizarro හා පිරිසගේ ගමන ඔවුනට ආසාමාන්ය එකක්ම විය. ඉන්කාවරුනට මෙම පිරිස අර්ධ මිනිසුන් හා අර්ධ සතුන් වූ අමුතුම ජීවීන් කොටසකි. සමහරුන්ගේ අදහස වූයේ ඔවුන් දෙවිවරුන් විය හැකි බවය. ඉන්කා වරුන්ට අශ්වයා හා උන් මත නැගුණු මිනිසුන් අමුතුම දසුනක් වුවද, යුරෝපයේ අසුන් භාවිතයට පැමිණ ඒ වන විට වසර 4000 ක් පමණ වී තිබුණි. අශ්වයා යනු, යුරෝපීයන් විසින් ගොවිතැන, සත්ත්ව පාලනය සහ යුද කටයුතුවලට නොමදව සහභාගී කරගත් සත්ත්වයෙකි. ඔවුන් අසුන්ව අති දක්ෂ ලෙස හැසිරවීමේ ශූරයෝ වූහ. මෙම හැකියාව ඒ වන විටත් අසුන් සමඟ ගනු දෙනු කොට නොතිබූ ඉන්කා වරුන් වැනි මිනිසුන්ව විමතියට, ත්රාසයට සහ භීතියට පත් කිරීමට හොඳටම ප්රමාණවත් විය.
සිව්පාවුන් මත නැගි අමුතු මිනිසුන්ගේ ආගමනය පිළිබඳ ආරංචිය රැගෙන රාජකීය දූතයකු ඉන්කා අධිරාජ්යයා වෙත ඉගිලුනි. "අත'ක්ව්ල්පා", හිරු දෙවියන්ගේ පුත්රයා ලෙස හැඳින්වූ ඉන්කා අධිරාජ්යයා ඒ වන විට ඉන්කා සෙබළුන් 80000 කින් පමණ රැකවරණය සැපයූ කහමාකා නගරයේ මෑතදී ලද යුද ජයග්රහණ මාලාවක් වෙනුවෙන් ස්තූති පූජාවක නිරත වෙමින් සිටියේය. ස්පාඤ්ඤයන්ගේ පැමිණීම ගැන ආරංචිය ලද අත'ක්ව්ල්පා ගේ සිතෙහි අමුතුම අදහසක් පහළ විණි. ඔහු විසින්, ඔවුන්ව ඝාතනය කිරීම වෙනුවට, හැකි ඉක්මනින් කහමාකාහිදී තමන් හමුවන ලෙස පණිවිඩයක් නිකුත් කරණ ලදී.
අමුත්තන්ව උපක්රමශීලීව තමන් ළඟට ගෙන්වාගෙන උගුලකට හසුකර ගැනීමේ සැලැස්මක් අත'ක්ව්ල්පා ගේ සිතෙහි වැඩකරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. ඔහුට ලැබී තිබුණ බුද්ධි වාර්තාවලට අනුව, පැමිණ තිබුණේ මුහුණ පුරා ලෝම වවාගත් සතුන් වැනි කොට්ඨාශයකි. සමහර වාර්තාවලට අනුව ඔවුන් දෙවිවරුන් වූහ. තවද හිස මත ඉවුම් පිහුම් වලදී භාවිතා කරනා හැලියක් පැළඳගන සිටියහ. හිස උඩ හැළියක් පැළඳගෙන ගමන් කිරීමට නම් ඔවුන් අනිවාර්යයෙන්ම උමතු පිරිසක් විය යුතුමය. අත'ක්ව්ල්පා හට මෙම පිරිස මිනිසුන් කණ්ඩායමක්ය විය හැකි බවට අදහසක් තිබුණි.
අශ්වයන් කිහිප දෙනෙකුගෙන් හා සුලු පිරිසකගෙන් සැදුම් ලත් මෙම මිනිසුන් කණ්ඩායමට, අති ශ්රේෂ්ඨ, බලගතු ඉන්කා අධිරාජ්යට කළ හැක්කේ කුමක්ද ? සැබවින්ම කිසිත් නැත. මේ අතව්ල්පාගේ ගණනය කිරීමයි.
නමුත්, අත'ක්ව්ල්පා නොදැන සිටි කරුණ වූයේ, මෙම මිනිසුන් සමූහය, එවකට ලොව තිබූ බොහොමයක් දියුණුම ආයුධ වලින් සන්නද්ධ වී සිටි බවයි.
Pizarro ඇතුළු කණ්ඩායමට කහමාකා යෑමට ඉඩදී, අප ඔවුන් මේ දියුණු අවි වලින් සන්නද්ධ වූයේ කෙසේදැයි සොයා බලමු.
ස්පාඤ්ඤය, එවකට යුරෝපයේ ප්රබලම හමුදාවෙන් සන්නද්ධ වූ රාජ්යය, සියවස් ගණනක් පුරා ඉස්ලාම් ආක්රමිකයින් සමඟ සටන් වැදීම හා එවකට යුරෝපයේ පැවති එකෙනෙකා පරයා නැගී සිටීමේ අවි තරගයෙන් නොනැසී පැවතීම උදෙසා ඔවුන් හට නවතම තාක්ෂණයෙන් යුතු අවි ආයුධ වලින් සන්නද්ධ වීම අත්යවශ්යය කාරණයක් විය. දුනු ඊතල වැනි ප්රාථමික අවි වලින් මෙම තරගය ජයගත නොහැකි බව ඉතා පැහැදිලි සත්යකි. එබැවින් එවකට පැවති, "හාර්කබස්" වැනි නවීනතම තුවක්කු වර්ග ස්පාඤ්ඤය සතු විය. විසි එක් වන සියවසේ අවි සමඟ සසඳා බලන විට හාර්කබස් තුවක්කුව සම්පූර්ණයෙන්ම විහිළුවකි. එය එල්ලය ගැනීම දුෂ්කරවූ, නැවත පිරවීමට කල්ගතවූ ගොරහැඩි අවියක් විය. එහෙත් එවන් අවියක්වත් පෙර නොදුටු අයකුව ත්රස්ත ගැන්වීමට මෙම අවිය හොඳටම ප්රමාණවත් විය. චීනුන් විසින් සොයාගත් වෙඩි බෙහෙත්, ආරාබීන් විසින් අවියක් ලෙස භාවිතා කිරීම ඇරඹූහ. පසුව යුරෝපීයන් අතින් සහැල්ලු, බුහුටි තුවක්කු ලොවට දායාද විය. එක්දාස් පන්සිය තිස් ගණන් වන විට, හාර්කබස් අවිය ස්පාඤ්ඤ හමුදාව විසින් සුලභව භාවිතා කළ අවියකි.
![]() |
| හාර්කබස් තුවක්කුවක්. |
වානේ නිෂ්පාදනය ගැන දැන ගැනීමත් සමගින් , යුරෝපීයන් විසින්, ලෙහෙසියෙන් නොකැඩෙන, තියුණු, දිගු අසිපත් නිර්මාණය කරන්නට විය. දහසය වන සියවසේදී සුලභව භාවිතාවූ අවියකි, "රේපියර්" යනුවෙන් හැදින්වූ සිහින්, දිගු, දෙපැත්ත කැපෙන අසිපත. එය, එක් රැයකින් කළ නිමවුමක් නොව සියවස් ගණනක් පුරා අත්වැරදීම් තුළින් ලබාගෙන තිබූ විශිෂ්ටත්වයකි. මැනවින් හැසිරවීම පුරුදු කළ අයෙකුට මෙම අවිය මගින් කෙටි වේලාවක් තුළ කිහිප දෙනෙකුම වුව බිම හෙළීම එතරම් අපහසු කටයුත්තක් නොවුණි. එකල එය සමාජ තත්ත්වය පෙන්නුම් කෙරෙනා සලකුණක්ද විය. දහසය වන සියවසේ විසූ ප්රභූන්ගේ ඇඳුමෙහි වූ ප්රධාන අංගයක් වූයේ මෙම අවියයි. Pizarro ඇතුළු පිරිසද මෙම අවි වලින් මැනවින් සන්නද්ධව සිටියා පමණක් නොව ඔවුන් ඒවා හැසිරවීමෙහිද ශූරයෝ වූහ. අහෝ, අත'ක්ව්ල්පා මේ ගැන දැන සිටියේ නම් !
![]() |
| රේපිය(ර්) අසිපතක් |
~~~
කහමාකා නගරයේ කඳවුරු ගසා ගැනීමෙන් අනතුරුව, පිසාරෝ, කපිතාන් ඩි'සෝටෝ විසින් නායකත්වය දුන් දක්ෂතම අසරුවන් කිහිප දෙනෙකුව අත'ක්ව්ල්පා සිටි කඳවුර වෙත පිටත් කර හැරියේ ඉන්කා අධිරජ්යයාට සිය කඳවුරට පැමිණෙන ලෙස ආරාධනා කිරීමටය. අත'ක්ව්ල්පා විසින් මෙම ආරාධනය පිළිගැනුණු අතර පසු දින ඔවුන් මුණ ගැසෙන බවට පොරොන්දු විය.මෙය එක්තරා සැලැස්මකට අනුව කළ ආරධනයක් බව පෙනෙන්නට තිබේ. සමහර වාර්තාවල දැක්වෙන ආකාරයට මෙහිදී කපිතාන් ඩි'සෝටෝ හා අත'ක්ව්ල්පා අතර ඇතිවූ බහින් බස්වීමක ප්රතිඵලයක් ලෙස අත'ක්ව්ල්පා විසින් ඔවුනට තර්ජනය කළ බවයි.
කහමාකා නගරයේ කඳවුරු ගසා ගත් 168 දෙනෙකුගෙන් යුක්තවූ කණ්ඩායම රාත්රිය ගත කෙරුවේ ඉමහත් විමසිල්ලෙනි. අත'ක්ව්ල්පාගේ තර්ජනය සරල ලෙස ගැනීමට තරම් ඔවුන් අඥාන නොවුණි. ඒ අතරම ඔවුන් හෙට දිනයේ ඇතිවිය හැකි තත්ත්වයට සුදානම් වෙමින්ද සිටියහ. 168 දෙනෙකුගෙන් පමණක් සමන්විත වූ කණ්ඩායම, ඉන්කා රට අභ්යන්තරයේ 80000 ක් පමණ වූ හමුදාවකට මුහුණ දීමේ අභියෝගය ඉදිරියේ පසු වූහ. මේ අතර, පිසාරෝ සිය විශ්වාසවන්තම නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටියේ " අත'ක්ව්ල්පාට මුහුණ දිය යුත්තේ කෙසේද ? " යන්නයි. සටනක් ඇතිවුවහොත් සාර්ථක විය හැකියැයි අනුමානකල සියලු විකල්ප සලකා බැලීය. පිසාරෝගේ අරමුණ වූයේ බලාපොරොත්තු නොවූ මොහොතක එල්ල කරණ හදිසි ප්රහාරයක් මගින් සතුරාව ජය ගැනීමයි. මෙම ක්රමය මගින් මින් පෙර වූ ස්පාඤ්ඤ ආක්රමණිකයින් සාර්ථක පල නෙලා ගෙන තිබුණි. පිසාරෝ ඇතුළු පිරිසට මෙහෙයුම සැලසුම් කරන්නට ඉඩදී අපි නැවතත් ස්පාඤ්ඤය දෙසට හැරෙමු.
පිසාරෝ ඉන්කා දේශයට යාමට වසර දොළහකට පෙර, තවත් ස්පාඤ්ඤ ආක්රමණිකයෙක් වූ Hernán Cortés වර්තමාන මෙක්සිකෝව ඇති ප්රදේශය දික් විජය කළහ. ඔවුන් අතින් යටත් වූයේ එවකට පැවති තවත් දියුණු ශිෂ්ටාචාරයක් වූ ඇස්ටෙක් ශිෂ්ටාචාරයයි. පිසාරෝ යෝජනා කළ ක්රමයම අනුගමනය කරමින් Hernán විසින් මෙක්සිකෝවේදී සාර්ථක පල නෙලාගැනීමට සමත් වී සිටියේය. ඔහු විසින් ඇස්ටෙක් නායකයාව පැහැර ගැනීම මගින් හා ඉන්පසු ඇතිවූ අවුල් සහගත තත්ත්වයේ වාසිය ප්රයෝජනයට ගනිමින් රාජ්යය යටත් කරගනු ලැබීය. මෙම ආක්රමණයේ සියලු විස්තර පසුව පොතක් ලෙස එළි දැක්වූ අතර ආදායම් වාර්තා තැබීමටද සමත්වූ පොතක් බවට එය පත්විය. අදටත් උතුරු ස්පාඤ්ඤයේ සලමන්කා විශ්ව විද්යාල පුස්තකාලයේදී දැකිය හැකි එම පොත ආක්රමණිකයෙක් වීමට බලාපොරොත්තුවන කෙනෙකුට අත් පොතක් ලෙස උවද පරිහරණය කළ හැකි අන්දමේ එකකි. මෙම අනර්ඝ පොත Hernán විසින්, ඇස්ටෙක් වරුනට කළ සියලුම ආකාරයේ ප්රහාර, කුමන්ත්රණ ආදී විස්තරවලින් සමන්විත වී ඇත. එය පිසාරෝ හට ඉන්කා වරුන් සමඟ කරනා ගනු දෙනුවේදී පූර්වාදර්ශයක් වූ බවට නොඅනුමානය.
එහෙත්, ඉන්කා වරුන්ගේ තත්ත්වයත් එසේමද ? නැත, ඔවුන් අතර ඒ වන විටත් පොත් පරිහරණයක් හෝ අක්ෂර භාවිතයක් නොවුණි. දැනුම සංචරණය වූයේ වාචිකව, මතකය ඔස්සේය. එබැවින් අත්දැකීම් තුළින් ලබන දැනුම පරපුරෙන් පරපුරට සංචරණය වීම මන්දගාමී වූ අතරම නිවැරදිද නොවූහ.
"ලියකියැවීම මෙතරම්ම වැදගත් නම්, ඉන්කා වරුනට එය නොහැකි වූයේ මන්ද ?"
ලියකියැවීමේ ක්රමවේදයක් අලුතින්ම සකසා ගැනීම අතිශයින්ම සංකීරණ ක්රියා පටිපාටියක් වේ. මානව ඉතිහාසය පුරාවටම එවැනි අවස්ථා හඳුනා ගත හැක්කේ සීමිත සංඛ්යාවක් පමණී. මුලින්ම එවැනි අක්ෂර නිර්මාණය කිරීමක් දැකිය හැක්කේ Fertile Crescent හී වාසය කළ සුමේරියානුවන් අතරය. අදින් වසර 5000 කට පමණ පෙර ඔවුන් විසින් වැඩි දියුණු කළ අක්ෂර ක්රමය හැඳින්වූයේ "ක්යුනිෆෝම්" ලෙසය. බොහොමයක් වූ යුරෝපියානු හා ආසියානු භාෂාවන් ක්යුනිෆෝම් අභාෂයට ගෙන ගොඩ නැගී ඇති අතර, කඩදාසි, තීන්ත වැනිදෑ සොයා ගැනීමත් සමඟම ලිවීම වේගයෙන් සමාජයන් අතර පැතිර යන්නට විය. ඒ හා සම්බන්ධ බොහොමයක් වූ සොයා ගැනීම් යුරෝපයෙන් පිටත සිදුවී යුරෝපය වෙත සංක්රමණය වූ දේවල් වන අතර මධ්යතන යුගයේදී යුරෝපීයන් විසින් මුද්රණ යන්ත්රය නිර්මාණය කිරීම සාක්ෂරතාවයෙහි විප්ලවීය සන්ධිස්ථානයකි. එයින් පසු, දැනුම මුද්රිත මාධ්යය ඔස්සේ යූරෝපය හා ආසියාව හරහා වේගවත්ව හා නිවැරදිව පැතිර ගිය අතර, අක්ෂර භාවිතයක් නොවන්නට නූතන ලෝකයේ දියුණුව සිහිනයක්ම පමණක් වන්නට තිබිණ.
මීට අමතරව ලෝකයේ ස්වාධීනව අක්ෂර භාවිතය සොයා ගත් තවත් පිරිසක් වූහ. අඩුම තරමින් මින් වසර 2500 කටවත් පෙර දකුණු මෙක්සිකානු ප්රදේශ වල සිටි ජනයා සංකේත සමඟ ගනු දෙනු කිරීමේ ක්රමවේදයක් සකසාගෙන සිටියහ. පසුව මායා අක්ෂර මාලාව බවට පරිවර්තනය වූයේ මෙම දැනුමයි. එහෙත්, මායාවරුන් හට සාක්ෂරතාවය තිබුණේ නම්, එය, එතනින් සැතපුම් පන්සියයක් පමණ දකුණෙහි විසූ ඉන්කා වරුන් වෙත සංක්රමණය නොවුයේ කුමන හේතුවක් නිසාද ? මහාචාර්ය ඩයමන්ඩ් සතුව ඒ සඳහා සිත්ගන්නා සුළු පැහැදිලි කිරීමක් ඇත. ඔහුට අනුව පිළිතුර රැඳී ඇත්තේ මහද්වීප වල හැඩය මතය.
ආසියාව හා යුරෝපය එක්ව තනනු ලබන යුරේශියානු මහද්වීපය, පළලින් වැඩි, එහෙත් උසින් අඩු නැගෙනහිර සිට බටහිර දක්වා පැතිරුණු මහද්වීපයකි. එහෙත් ඇමෙරිකානු මහද්වීපය පළලින් අඩු, එහෙත් උසින් වැඩි උතුරේ සිට දකුණ දක්වා විහිදුණු මහද්වීපයකි. මහාචාර්යය ඩයමන්ඩ් කලිනුත් පෙන්වාදී ඇති පරිදි, ශිෂ්ටාචාරයේ පැතිරීම Fertile Crescent හී සිට නැගෙනහිරට හා බටහිරට සිදුවිය. මහද්වීපය පුරාවට එකම අක්ෂාංශ කිහිපයක් අතර නැගෙනහිර හා බටහිර අතර මෙම පැතිරීම ඉතා පහසුවෙන් සිදුවූයේ, මේ සියලු ප්රදේශ වල මූලික භූ විෂමතා, දේශගුණික ලක්ෂණ බොහෝ දුරට එක හා සමාන බැවිනි. එබැවින්, මිනිසුන්, සතුන්, දැනුම, තාක්ෂණය එක් තැනක සිට තවත් තැනකට සංක්රමණය වීම ඉතා පහසුවෙන් සිදු විය.
එහෙත් අමෙරිකාණු මහද්වීපයේ තත්ත්වය මීට ඉඳුරාම වෙනස්ය. මහද්වීපයේ එක් කොනක සිට අනෙක් කොන දක්වා කෙරෙන ගමන උතුරේ සිට දකුණ දක්වා කෙරෙනා ගමනකි. එහිදී එකිනෙකට වෙනස් තත්ත්වයන් යටතේ වූ අක්ෂාංශ, දේශගුණික ලක්ෂණ, භූවිෂමතා පසු කළ යුතුය. එබැවින් ඇමෙරිකාණු මහද්වීපය තුළ මානව, සත්ත්ව, දැනුම්, අදහස් හා තාක්ෂණයේ සංක්රමණයන්, යුරේශියානු මහද්වීපයට සාපේක්ෂව බොහෝ සෙමින් සිදුවිය. මායාවරුන් ලියැකියවීමේ හැකියාව ලබා සිටින විට, එම දැනුම ඉන්කා වරුන් වෙතට සංක්රමණය නොවීමට බලපෑ ප්රධානතම හේතුව මෙයයි. එලෙස සලකා බලන විට, පිසාරෝ සහ පිරිවර භූගෝලීය වශයෙන් ආශිර්වාද ලද කණ්ඩායමකි. යුරේශියාව පුරා ලෙහෙසියෙන්ම පැතිර ගිය දැනුමේ හා තාක්ෂණයේ ප්රතිලාභ ඔවුනට මොනවට භුක්ති විඳීමේ භාග්යය උදා වී තිබිණි.
![]() |
| යුරේශියාව |
![]() |
| ඇමෙරිකාව ~~~ |
ඉතිහාසඥ Efrain Trelles විසින් මේ සඳහා කරුණු දෙකක් ගෙන හැර දක්වයි. මූලික කරුණ වූයේ අත'ක්ව්ල්පා ඒ වන විට සිටියේ ජයග්රාහී මානසිකත්වයකින් යුතුව යුද ජයග්රහණ සමරමින්ය. ඔහු මේ දැන් ගමන් කරන්නේත් සටනක් සඳහා නොව තම ශක්තිය පෙන්වීමේ අරමුණින් පමණක්මය. තම ශක්තිය පෙන්වා දෙවියන්යයි හැඳින්වූ සුදු මිනිසුන්ව බිය කොට පලවා හැරීමටය. ඔහුගේ ගණනය කිරීම් වලට අනුව අධි බලැති ඉන්කා අධිරාජයාට ඒ සඳහා ආයුධ අවශ්ය නොවුණි. අනෙක් කරුණ වූයේ, ඔහු ලද බුද්ධි තොරතුරු වලට අනුව, තම ජනයාගෙන් සමහරෙක් මෙම මිනිසුන් දෙවිවරුන්යයි පිළිගැනීමක් විය. එසේ නම්, තමන් විසින් එම දෙවිවරුන්ව පරාජය කළහොත් එම සියලු මිනිසුන්ම නැවතත් තමන් සමඟම පෙළ ගැහෙනු ඇත. තමන් සූර්ය්ය දිව්යරාජයාගේ පුත්රයා යැයි ඔවුන් නැවතත් පිළිගනු ඇත. තමන් කිසිඳු බලයක් නොයොදාම මෙම දෙවි වරුන්යැයි කියා ගන්නා මිනිසුන්ව පලවා හැරියහොත් තමන් එම දෙවිවරුනටද වඩා බලවත්, ඔවුනට වඩා ඉහළින් සිටින්නෙක් ලෙස ජනතාව අතර පිළිගැනීමක් ලැබෙනු අත. මෙම කරුණු සැලකිල්ලට ගෙන ඔහු විසින් සිය භටයන්ගෙන් ආයුධ ඉවත් කළේය. බලගතු ඉන්කා අධිරාජ්යයේ මධ්යටම පැමිණ, මේ මිනිසුන් කිහිප දෙනෙකුට කළ හැක්කේ කුමක්ද ?
රත්තරනින් හා රිදියෙන් සැරසූ අති අලංකර දෝලාවක් මත නැගුණු අත'ක්ව්ල්පා සිය මිනිසුන් විසින් අදාළ ස්ථානයට උත්සවාකාරයෙන්, ගරු ගාම්භීර ලෙස වඩම්මනු ලැබීය. පන් දහසක් හෝ සය දහසක් පමණ පිරිසක් ඔහු සමඟින් පැමිණෙන්නට ඇත. එහි ඇති ගාම්භීර භාවයම අවශේෂ ඉන්කාවරුන්ව බිය කිරීමට තරම් සමත් විය. එහෙත් ස්පාඤ්ඤයන්ටත් එය එලෙසින්ම අදාළද ? පිසාරෝ ඇතුළු පිරිස එම ස්ථානයට කලින්ම පැමිණ සැඟවී සිටියහ. ඔවුන් හොඳින් ස්ථාන ගතවී, සිය ආයුධ සුදානම්ව තැබුයේ සටනක් ඇති වුවහොත් ප්රහාර එල්ල කිරීමේ අරමුණිනි. ඔවුන්ගේ අරමුණ නව දේශයන් යටත් කොටගෙන ඒවායෙහි සම්පත් තමන් සතු කර ගැනීම බැවින්, ඉන්කා දේශය යටත් කරගැනීමේ මුල්ම ප්රහාරය එල්ල කිරීමේ අරමුණින් සිටියා වන්නටත් හැකිය.
අත'ක්ව්ල්පා අදාළ ස්ථානයට පැමිණීමෙන් පසුව ස්පාඤ්ඥයන්ව දැකීමට බලාපොරොත්තුවූ නමුදු ඔවුන් දක්නට නොසිටියහ.
" මේ සුනඛයෝ රැළ කොහිද ? " ඒ අත'ක්ව්ල්පාගේ ගාම්භීර හඬයි. ඔහු අසලින් වූවෙක් පිළිතුරු දෙනුයේ " ඔවුන් බලගතු ඉන්කා අධිරාජ්යයේ බලය දැක බිය වී පලා යන්නට ඇති. " යනුවෙනි. එවිටම වාගේ පිසාරෝ විසින් සිය පිරිසේ වූ දේවගැතිවරයාව පිරිස අතරින් අත'ක්ව්ල්පා ඉදිරියට එව්වේය. කුරුසයක්ද අතින් රැගෙන අත'ක්ව්ල්පා ඉදිරියට පැමිණි දේවගැති වරයා;
" නුඹට සත්යයේ මාර්ගය පෙන්වීම උදෙසා, ක්රිස්තියානිත්වයේ නාමයෙන් මා මෙසේ නුඹ ඉදිරියේ පෙනී සිටිමි. " යි හඬ නගා පැවසීය.
" නුඹ කියවන්නේ මොන විකාරයක්ද රැවුල් මූණෝ ? මම සූර්ය්ය දිව්යරාජයාගේ පුත්රයා වෙමි. මගේ මිනිසුන්ව පාලනය කිරීමේ බලය මා සතුය. මා හට මෙලෙස ගරුසරු නැතිව කතා කිරීමට නුඹට ඇති බලය කිම ? " ඒ කෝපාග්නියෙන් දැවෙන අත'ක්ව්ල්පාගේ හඬයි.
" මට බලය ලැබී ඇත්තේ සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන්ය. ඔහුගේ ශ්රී වචනය මෙම පොතේ ලියවී ඇත. " යි කියමින් බයිබලයක් අත'ක්ව්ල්පා වෙත ඉදිරිපත් කෙරිණ.
මෙය සුවිශේෂී අවස්ථාවකි. අත'ක්ව්ල්පා මින් පෙර පොතක් දැක නොතිබිණි. මෙයින් ඇත්තේ කිනම් ආකාරයේ ප්රයෝජනයක්දැයි වටහා ගැනීමට ඔහුට අසීරු විය. ඔහු සිතුවේ සුදු මිනිසුන් සතු බලය මෙම පොත විය හැකි බවයි.
" මේකයි එහෙනම් නුඹේ බලය ? මෙය කිසිසේත්ම නොවටිනා දෙයකි. නුබ කතාකරනා වදන් මට එයින් නෑසේ." යි කියමින් බයිබලයෙන් දේව ගැතිවරයාට දමා ගැසීය.
මෙහිදී පරල වූ දේව ගැතිවරයා " ඉන්දියානු සුනඛයා ! තා එතරම් එඩිතර වූයේ කෙසේද ? ස්පාඤ්ඤවරුනී එළියට පැමිණ, දෙවියන්ගේ දෑ හට ගරු සරු නොදක්වන මෙම සුනඛයන්ව විනාශ කරපල්ලා. " යි බෙරිහන් දෙන්නට විය.
එයින් පසු උදා වන්නේ ලෝක ඉතිහාසයේ තීරණාත්මක සිද්ධියක ආරම්භයයි. සැඟවී සිටි ස්පාඤ්ඤ තුවක්කු කරුවන්ගෙන් නිකුත් වූ වෙඩි හඩ ඉන්කා ගගන තලය පුරා රැව් දෙමින් සිව් දෙසින්ම ඇසෙනා විට, ඉන්කා වරුන් එකින් එක බිම වැටෙන්නට විය. ඒ සමඟින් කඩා වැදුණු අශ්වාරෝහක සේනාව ඉන්කා වරුන්ව සිය තියුණු අසිපත් මගින් පෙති ගසන්නට පටන් ගැනිණ. අතිශයින් කලබලයට පත්වූ ඉන්කා වරුන් කළ යුත්තේ කුමක්දැයි නොදැන හිස් ලූ ලූ අත දුවන්නට වූ අතර පිසාරෝ ඇතුළු පිරිස සිය මාරක අවි ලෙලවමින් ඔවුන් ලුහුබැඳ ගොස් මරා දමන්නට විය. ඉන්කා භටයන් පවා අන්දමන්ද වී සිටියේ ඉන් පෙර ඔවුන් යුද්ධයකදී අශ්වයන් පිට නැගුණු මිනිසුන් හා සටන් කොට නොතිබූ බැවිනි. තවද මෙම අසුන් සාමාන්ය අසුන් නොවුණි. හොඳින් වැඩුණු, සටන් සඳහා මැනවින් පුහුණු කොට තිබූ, ජවාධික අශ්වයන් වූහ. එම අසුන්ගේ වියරු හැසිරීමම පවා ඉන්කාවරුන්ව භීතියෙන් පාෂාණිභූත කරනා සුළුය. අශ්වාරෝහකයන්ට මුහුණ දිය යුත්තේ කෙසේදැයි අවබෝධයක් කිසිඳු ඉන්කා වරයෙක් වෙත නොවුණි. කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ අදහසක් ස්පාඤ්ඤවරුනට හැර අන් කිසිවෙකුටත් නොතිබිණි. ඔවුන් පිරිස් මධ්යයේ අසුන් හසුරවමින්, අසිපත් ලෙලවමින්, වමටත් දකුණටත් පහර පිට පහර දෙමින්, ඉන්කාවරු එකින් එක බිම හෙළන්නට වූහ. ඒ අතර වරින් වර නිකුත් වූ වෙඩි වලින් තවත් ඉන්කා වරුන්ව බිම ඇද හෙළීය. අත'ක්ව්ල්පාගේ දෝලාව ඔසවා සිටි මිනිසුන් වෙතද පිසාරෝගේ මිනිසුන් පහර පිට පහර එල්ල කෙරිණ. එහෙත් එකෙකු පහර කා ඇද වැටෙනා විට තවෙකෙකු එම ස්ථානය ගන්නා බැවින් දෝලව බිම හෙලීම සිතූ තරම් පහසු කාර්යයක් නොවුණි. කෙසේ නමුදු අවසානයේ විය යුතු පරිදිම දෝලාව ඔසවාගෙන යැමට ඉන්කා වරුන් නොමැති වූ හෙයින් අත'ක්ව්ල්පාගේ ගමන නතරවුනි. පිසාරෝ විසින්ම අත'ක්ව්ල්පාව අත්ඩංගුවට ගන්නා ලදී. සටන අවසන් වන විට ඉන්කා වරුන් හය දහසකට වැඩි පිරිසක් මියගොස් සිටි අතර එක ස්පාඤ්ඤ භටයකුදු දිවි පුදා නොතිබුණි. Hernán Cortés ව අනුගමනය කරමින් පිසාරෝ සැකසූ සැලැස්ම අතිසාර්ථකය. භටයන් සංඛ්යවෙහි පැහැදිලි අසමානතාවයක් තිබියදීත්, ස්පාඤ්ඤ අශ්වයන්, අසිපත් හා උපක්රම ඵලදායී හා කාර්යක්ෂම බව මෙලෙස තහවුරු වී තිබුණි.
අත'ක්ව්ල්පා තාවකාලිකව ඉඳිවූ සිරගෙයක සිර ගත කෙරිණි. කෙසේ නමුත් ඔහු ජීවත්ව සිටීම, මිය යනවාට වඩා ප්රයෝජනවත් යයි අවබෝධ කොට ගත් පිසාරෝ ඔහුට යම් යම් පහසු කම් ලබා දුන්නේය. අතරවාරයේදී ඔහු ස්පාඤ්ඤ බස කතා කිරීමට පුහුණු වූ අතර චෙස් ක්රීඩා කිරීමටද පුරුදු විය. අත'ක්ව්ල්පා විසින් සිය ජනතාවට ස්පාඤ්ඤ නීති රීති හා අණ පනත් පිළිපදින ලෙස නියෝග කෙරුණ අතර සියලුම රන් හා රිදී වස්තූන් උණු කිරීමටද ඔහු විසින් නියෝග කෙරිණ. පිසාරෝ විසින් සියලුම රන් හා රිදී වස්තූන්වල හිලව්වට ඔහුගේ නිදහස පිරිනමන බව පොරොන්දු වී තිබුණද එය කඩවුණු පොරොන්දුවක් විය. රන් හා රිදී ටොන් 20කට ආසන්න ප්රමාණයක් ලබා ගැනීමෙන් පසු පිසාරෝ විසින්, ඉන් මාස අටකට පෙර අත'ක්ව්ල්පාගේ අනුගාමිකයන් ඝාතනයට ලක්වූ චතුරශ්රයේදීම අත'ක්ව්ල්පාවද ඝාතනය කෙරිණ. 168 දෙනෙක් වැනි සුළු පිරිසක්, හය දහසකට වැඩි පිරිසක් ඝාතනය කරමින් සිදුකළ මෙම ආක්රමණය, අති සාර්ථක වූ යුරෝපියානු ආක්රමණයන් සඳහා පෙන්විය හැකි අපූරු නිදර්ශනයන්ගෙන් එකකි.
~~~
විෂ බීජ !!! එම මාරාන්තික අවියයි.
පිසාරෝ කහමාකා ආක්රමණය කිරීමට වසර දොළහකට පෙර, ස්පාඤ්ඤයේ සිට මෙක්සිකෝව බලා ගමන් කළ නැවක වූ වහලුන්ගෙන් කෙනෙක් උණ රෝගයෙන් විඳවමින් සිටියේය. නව ලෝකයට මුලින්ම වසංගත රෝගයක් රැගෙන පැමිණි මිනිසා ඔහුය. ඔහුගේ ආගමනයෙන් සතියක් හෝ දෙකක් ඇතුළත එම වසංගතය ඇමෙරිකානු වාසීන් දහස් ගණනකට ආසාදනය විය.
වසූරිය........ !! මෙම වසංගත අතරින් වැඩිම විනාශයක් කළ වසංගතයයි.
මුලින්ම මධ්යම ඇමෙරිකාවේ පැතිර ගිය මෙම යුරෝපියානු වසංගත ක්රමක්රමයෙන් ඉන්කා දේශයටද පැතිරිණි. අත'ක්ව්ල්පාගේ පියා පවා වසූරිය වසංගතයෙන් මිය ගිය බවට ඉතිහාසයේ ලියවී ඇත. වෛරසය පැතිරුණු සෑම තැනකදීම පාහේ අති විශාල වශයෙන් ස්වදේශිකයන් මරුමුවට පත්වන්නේ ඔවුන්ව ආක්රමණිකයන්ගේ පහසු ගොදුරක් බවට පත් කරවමිනි.
මෙම වසංගත ඒක පාර්ශවීයව පමණක් වහනය වූයේ මන්ද ? යුරෝපීයන්ගේ වසංගත ඇමෙරිකානු ස්වදේශිකයන්ට පැතිරුණද එහි ප්රතිලෝමය සිදු නොවුයේ මන්ද ? පිළිතුර, වසර දස දහසකට පමණ පෙර මිනිසුන් හා ගෘහාශ්රිත සතුන් අතර ඇතිවූ ගනු දෙනුව තරම්ම පැරණිය. Fertile Crescent වෙතින් නික්මුණ මිනිසුන් සිය කටයුතු පහසු කරගනු වස්, සතුන්ගේ සේවය ලබා ගත් බව පෙර සඳහන් විය. සතුන්ගේ සිරුරෙහි වූ නා නා ප්රකාර විෂ බීජ, ඔවුන්ගෙන් කිරි, මාංශ, සම්, ලෝම ආදිය ලබා ගනිද්දීද, එම සතුන් ගෘහාශ්රිතව වාසය කිරීම නිසා වාතය ඔස්සේද, මිනිසුන්ට සංක්රමණය විය. මෙය වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් හා සතුන් අතර පැවති ආශ්රයෙන් මිනිසුන්ට ලැබුණු දායාදයක් විය. මධ්යතන යුගයේදී සහ ඉන් පෙර මෙවැනි සත්ත්ව විෂ බීජ මගින් පැතිරුණු රෝගාබාධ නිසා යුරෝපයේ පමණක් මිනිස් ජීවිත මිලියන ගණනක් අහිමි විය. නමුත් නිතර නිතර මෙම වසංගත වලට ගොදුරුවීම තුළින් යුරෝපීයන් අතර මෙම රෝගාබාධ උදෙසා ස්වාභාවික ප්රතිශක්තියක් ජනනය වීම හේතුවෙන් පරම්පරා ගණනාවක් ඇතුළතදී එවැනි රෝග වලට යම්තාක් දුරකට ඔරොත්තු දීමේ හැකියාවක් යුරෝපියානු සමාජය තුළ ඇති වුණි. මෙම වසංගත වලට අලුතින්ම නිරාවරණය වූ ඉන්කා වරුන් ඇතුළු ඇමෙරිකානු ස්වදේශිකයන් හට මෙම රැකවරණය නොතිබුණේය. එම වසන්ගත ඔවුන් අතර ඉතා පහසුවෙන් පැතිරෙමින් මහත් විනාශයක් ගෙනදීමට තරම් සමත් විය.
තවද, මෙවැනි වසංගත ඔවුන් අතර යුරෝපීයන් පැමිණීමට පෙර නොතිබුණේ මන්ද ? ඔවුන් වෙතින් යුරෝපීයන් වෙතට වහනය වීමට තරම් මාරන්තික ආවේණික වසංගත ඔවුන් අතර නොතිබුණේ මන්ද ? පිළිතුර සරලයි. ඒ, ඔවුන් අතර සතුන් සමඟ කිට්ටු සම්බන්ධතා නොතිබුණු බැවිනි. ඔවුන් අතර සිටි ලාමා සතුන්, යුරෝපීයන් ගවයන්, බැටළුවන්, එළුවන් ආදී සතුන් භාවිතා කළ අයුරින් ගෘහාශ්රිතව භාවිතා නොකෙරිණ. එමනිසා එම සතුන්ගෙන් මිනිසා වෙත වහනය විය හැකිවු විෂ බීජ අවදානම අවම වූ අතර, එබැවින්ම සතුන්ගෙන් බෝවිය හැකි වූ මාරාන්තික වසංගත වලින් ඇමෙරිකානු ස්වදේශිකයන් ආරක්ෂා වූහ.
ලෝකයේ හීලෑකරගනු ලැබූ ගෘහාශ්රිත සතුන් සියල්ලම පාහේ යුරේශියානු මහද්වීපයෙන් හමුවූ සතුන්ය. එබැවින්ම මාරාන්තික වසංගත සියල්ලත් යුරේශියාවටම උරුම විය. පසුව එම වසංගත සියල්ල ලෝකය පුරා මාරන්තික බලපෑම් සහිතව පැතිරි ගියහ.
ස්පාඤ්ඤ ආක්රමණ නිසා මිය ගිය ඇමෙරිකානු ස්වදේශිකයන් ගණන පිළිබඳ සංඛ්යා ලේඛන විවාදාත්මකය. සමහර වාර්තාවල දැක්වෙන පරිදි මිලියන විස්සකට ආසන්න ඇමෙරිකානු ස්වදේශික ජනගහනයක් සිට ඇති අතර එයින් අති විශාල සංඛ්යාවක්, එනම් සියට 95ක් පමණම පැරණි ලොව වසංගත වලින් මිය ගොස් ඇති බවට අනුමාන කෙරේ. අවසානයේදී මහද්වීපය සිය ස්වදේශික ජනතාවගෙන් බොහෝදුරට හිස් විය.
~~~
අත'ක්ව්ල්පාගේ මරණයත් සමඟම ආක්රමණිකයින් විසින්, සිය තුවක්කු, විෂ බීජ හා වානේ වල බලයේ මහිමයෙන්, ඉන්කා අධිරාජ්යය හෙවත් වර්තමාන පේරු දේශය සිය යටත් විජිතයක් බවට පත් කරගත්හ. ස්පාඤ්ඤය, යටත් විජිත වලින් ගලා ආ සම්පත් මගින්, එවකට මිහිමත වු ධනවත්ම ජාතියක් බවට පරිවර්තනය විය. ආක්රමණිකයන් විසින් පැරණි ලොව සහ නව ලොව අතර වූ සම්බන්ධය සදහටම වෙනස් කොට තිබුණි.
පිසාරෝ ඇතුළු පිරිස ඉන්කාවරුන්ව යටත් කරගනු ලැබුවේ කෙසේද ? එහි ප්රතිලෝමය සිදුනොවුයේ මන්ද ? පැරණි පැහැදිලි කිරීම් වලට අනුව, ඒ, යුරෝපීයන් සතු වූ නිර්භීතකම, දැඩි බව, තීක්ෂණ බව ආදී ලක්ෂණ හේතුකොටගෙනය. නමුත්, සැබෑ පිළිතුර හා යුරෝපීයන් සතුවු පුද්ගලික ලක්ෂණ වල සම්බන්ධයක් නොමැත. සැබවින්ම එය යුරෝපීයන් වෙත අහම්බයෙන් ලැබුණු භූගෝලීය වාසියෙහි ප්රතිඵලයකි. ලොව මුල්ම තුවක්කු, විෂ බීජ හා වානේ අත්පත් කරගත් මිනිසුන් ඔවුන්ය. - මහාචාර්යය ඩයමන්ඩ්.
Guns, Germs and Steel වාර්තා චිත්රපටය ඇසුරින් සකස් කෙරුවේ ;
~~ සෙන්නා / 15.11.2012













