2013 වෙසක් මස 17වනදා
එදා උදේ මම නැගිටිනකොට සීයයි, අයියයි දෙන්නම නැගිටලා ගිහිල්ලා. මමත් දඩි බිඩි ගාලා නැගිටලා පැදුර රෝල් කරලා මුල්ලකට දාලා එළියට පැන්නෙ කුස්සිය පැත්තට දුවන්න බලාගෙන. මම බය වුණේ මේ දෙන්නා මාව දාලා රැණගලවත් ගිහින්දෝ කියලා.
මම සීයගෙ කාමරෙන් එළියට ඇවිත් සාලෙ මැද්දෙන් කුස්සිය පැත්තට ආවා. ගෙයි පිටිපස්සෙම දොරෙන් පිට වුණාම තියෙන්නෙ කුස්සියට යන්න තියන වැරැන්ඩා එක. වැරැන්ඩා එකේ දුකුණු පැත්තෙ තිබුණා ඔය එක එක ලට්ට ලොට්ට දාන කාමරයක්. ඒකෙම තමයි සීයගෙයි, බාප්පගෙයි බයිසිකල් දාලා තිබුණෙත්, බල්ලො ගැට ගැහුවෙත්. වැරැන්ඩා එකෙන් වම් පැත්තෙ හිස් ඉඩක් තිබුණෙ, අයින දිගේ බිමට කළු ගල් දාලා. කළුගල් දාලා කිව්වට පිළිවෙළකට අතුරලා නෙමේ, එහෙන් මෙහෙන් දිගටම බිම දිගේ දාපු කළුගත් වගයක්. ඒවා උඩට වැටුනොත් එහෙම ලොකු විනාශයක් වෙනවා. ඔය කළුගල් දාලා තිබුණ මට්ටමේ ඉඳලා වැරැන්ඩා එකේ උඩ මට්ටමට අඩුම ගානෙ අඩි තුනක උසක්වත් තියනවා. කිරිඅම්මගෙ අහල පහලා යාළු ආච්චිලා ටික ආපුවම ඔය වැරැන්ඩා එක උඩ තියන බංකුවෙ වාඩිවෙලා කයිය ගගහ බුලත් විට කාලා කෙළ ඔක්කොම විදින්නෙ ඔය කළුගල් උඩට තමා. එතන අඩිය තියන්ඩ බැරි තරමට බුලත් කෙළ වලින් පිරිලා.
ගේ ඇතුළෙන් ඇවිත් ඔය වැරැන්ඩා එකට එනකොට ඕක තියෙන්නෙ උතුරු දිශාවට මුහුණ දාලා. ඒ කියන්නෙ දකුණෙ ඉඳලා උතුරට තමා යන්න ඕනා. ඒත් හරි පුදුම වැඩේ කියන්නෙ වැරැන්ඩා එක දිගේ ඇවිදගෙන ඇවිත් කුස්සියට ගිහින් ආපහු හැරිලා බලපුවම ඒක තියෙන්නෙ නැගෙනහිර දිශාවට මුහුණ දාලා. එහෙම වෙන්නෙ කොහොමද කියන එක මට හරිම ප්‍රශ්නයක්. ඒත් මම එහෙම කිව්වම හැමෝම හිනා වෙන්නෙ සමහර විට ඒ ගොල්ලන්ට එහෙම වෙන්නැද්ද දන්නෑ. අනිත් එක මෙහෙ උතුර තියෙන්නෙත් වෙන දිහාක. අපේ උතුර තියන පැත්තෙ නෙමේ. වැරැන්ඩා එක දිගේ එනකොට එක පාරටම ඇතුළෙ හිටපු බලු තඩියෙක් බුරපු බිරිල්ලට මාව බය වෙච්ච පාර වැරැන්ඩා එකෙන් එළියට විසිවෙන්ඩම ගියා. යාන්තම් දන්න සෙල්ලම් දාලා අත් දෙක හතර අතටම කරකවලා තමා වැටෙන්නැතුව හිටියෙ. තව පොඩ්ඩෙන් කෙළ ගොඩේ ! මම ඉක්මනටම කුස්සියට පැන ගත්තා බලු තඩියට ඇතිතරම් බුරා ගන්න ඇරලා. "කළුවා.. මොකෑ ඔය දරුවට කන්න හදන්නෙ ?" කියලා බල්ලට කියාගෙන නැන්දත් ඒ එක්කම වගේ මගේ පස්සෙන් ආවා.
මේ කුස්සියෙ තියනවා මහා දුමක්. අපේ ගෙදර කුස්සියෙත් දුමක් තියනවා. ඒත් මේක ඊට වඩා විශාල තට්ටු දෙකේ දුමක්. කිරි අම්මා ඕක උඩ දාලා තමා ඔක්කොම වේලන ජාති වේලන්නෙ. ඒක යටම බිම තිබුණා ලිප් තුනක් විතර. මම යනකොට කිරි අම්මා එක ලිපක් ළඟ කොළොම්බුවක් තියන් වාඩි වෙලා හිටියේ රෙද්දකුත් පොරෝගන. ලිප උඩ කේතලේ තියලා හොඳට ගින්දර දාලා තිබුණේ.
"කෝ සීයා, කිරිඅම්මේ?"
"අන්න අයියත් එක්ක කිරි ගන්න ගියා. ඔයත් යන්න"
කළේ නවලා වතුර එකක් අරන් කට හෝදලා, ඉතුරු ටික බීලා දාපු මම එළියට පැන්නෙ හරක් මඩුවට යන්න.
ෂිඃ ! හැමදාම කරන ගොන් වැඩේ මෙදා පාරත් කළානෙ. සෙරප්පු දෙක ගෙදර දාලා ආවනෙ. ගෙදර වැලි පොළවෙ පිනුම් ගගහා හිටපු අපිට මෙහෙ ඇවිල්ලා මේ ගල් ගොඩවල්, බොරළු ගොඩවල් උඩ අඩිය තියපු ගමන් තරු විසි වෙනවා. හැමදාම ගෙදර යනකොට ගල් තැලුම් දෙක තුනක් අනිවාර්යයයි. එහෙම කියලත් බෑනෙ ! අනිත් එක මේ බොරළු පොළව හින්දා ගොඩක්ම අමාරු වුණේ අපිට නෙමේ. නැන්දගෙ පූස් හමුදාවට. අපේ ගෙදර පූසනම් ජරා කරලා හොඳට වැලිවලින් වහලා තමා යන්නෙ. ඒ වැඩේට එයාට ඕනා තරම් වැලිතියනවා අඩුවක් නැතුව. ඒත් මෙහෙ උන් පව් අප්පා ! ඒත් ජාති වැඩේ කියන්නෙ උන් බොරුවට වහන එකනෙ. වැලි නැති උණත් බොරුවට අතින් වහනවා. අපිව රවට්ටන්න එහෙම කරනවද, නැත්නම් උන්ම රැවටිලද මංදා !
ඇඟිලි වලින් පැන පැන ගිය මම පොඩි පඩි පෙළ නැගලා, කලු ගල් තෝරගෙන, ඒවට පැන පැන හරක් මඩුවට ගියා. අපරාදෙ කියන්න බෑ මෙහෙ කලු ගල් වලින්නම් අඩුවක් නෑ. තැනින් තැන ගල් තලා දිගටම තියනවා. ඒවයෙ කකුල තියන්ඩත් ආසයි. මාර සනීපයි. සීයයි, අයියයි දෙන්නම මඩුවෙ. මම හරක් මඩුව ගාවම තිබුණ හොඳ කලු ගල් තලාවක් බලලා එතෙන්ට පැනලා ඒක උඩ හිට ගත්තා. සීයයි, අයියයිනම් අර මඩුවෙ, ගොම ගොඩේ කිසි ගාණක් නැතුව ඇවිදිනවා. මටනම් අප්පිරියාවෙ බෑ ඒ වැඩේ. ඒක හින්දා මම අර ගල්තලාව උඩ හරි බරි ගැහිලා මේ ගොල්ලො කරන දේ බලාගෙන හිටියා. මේ හරක් මඩුව තියෙන්නෙ සීයලෑ ගෙට උඩහින් තියන කණ්ඩියෙ පිටිපස්සට වෙන්න. මම දැන් හිටගෙන ඉන්න මට්ටමටත් පහළින් තමා සීයලෑ ගෙයි වහලෙ තියෙන්නෙ. මේ වටේම පුදුම හෙවණක් තියෙන්නෙ. එක එක ජාතියෙ ගස් වලින් වැහිලා. මහ දවල්ටත් හරියට අවුවක් වැටෙන්නෑ. කරුවලයි.
මුලින්ම සීයා මුල්ලක තිබුණ උදැල්ලක් අරන් රෑ තිස්සෙ උන් දාලා තිබුණ ගොම බෙටි ඔක්කොම එකතු කරලා එක මුල්ලකට කරළා මඩුව අතු පතු ගාලා පිරිසිදු කළා. මෙතන හරක් දහයක් දොළහක් විතර ඇති. මම තුන් හතර පාරක් ගනින්න හැදුවා කොහෙද මුන්ට විසේනෙ. එක විදිහකට ඉන්න බෑ අඩු ගානෙ ගණින වෙලාවටවත්. ඉතින් මම වැඩේ අතෑරලා දැම්මා. ජාති ජාති හරක් හිටියා ඒ රංචුවෙ. සමහරු ලප වැටිච්ච උන්, සමහරු අං කැඩිච්ච උන්. එක එළදෙනක් හිටියා ගොඩාක් වයසයි. සීය කිව්වෙ ඌ තමාලු ඔක්කොවන්ගෙම අම්මා.
මේ රංචුවෙන්ම එදානම් එක වැස්සිටයි පැටියෙක් හිටියෙ. තව දෙන්නෙක්ද කොහෙද පැටවු ගහන්න ඉන්නෙ කියලා සීයා කිව්වා. සීයා ඉස්සෙල්ලම පොඩි වහු පැටියව ලිහලා එයාගෙ අම්මට ලං කළාම ඌ පිස්සුවෙන් වගේ වැස්සිගෙ තන් බුරුල්ලට හොම්බෙන් ඇන ඇන කිරි බිව්වෙ. මෙහෙම ටිකක් වෙලා බොන්න දුන්නට පස්සෙ සීයා ඌව ඇදලා අරන් වෙන තැනකින් ගැට ගැහැව්වා. ඌ දගල දගල උම්බෑ කිය කිය අම්මා ගාවටම යන්න තමා දැගළුවෙ. මට ඌ ගැන හරි පවු හිතුණා. බඩිගිනි ඇති කියලා. ඊට පස්සෙ සීයා වතුර බාල්දියක් අරන් අත් දෙක හොඳට හෝදගෙන වැස්සිගෙ තන බුරුල්ලත් හොඳට හෝදලා, ගෙනල්ල තිබුණ මුට්ටියකට චීස් චීස් ගලා ගිරි දොවා ගත්තා. වැස්සිත් කිසිම කලබලයක් නොකර ඉඩ දීලා බලන් හිටියෙ මම පුදුමයෙන් බලන් ඉද්දි. මම හිතුවා වැස්සි පැටියව ගත්තු එකට තරහා ගිහින් සීයට අනීවත්දෝ කියලා. ඒත් එහෙම වුණේ නෑ. මුට්ටියෙන් භාගයක් විතර පිරුනට පස්සෙ, සීයා කිරි ගන්න එක නවත්තලා ආයෙත් ගිහින් පැටියව ලිහුවා. ඌ පිස්සුවෙන් වගේ දුවගෙන ඇවිත් ආයෙත් වැස්සිගෙන් කිරි බොන්න ගත්තෙ. සීයා උගෙ පිට අතගාලා "හඃ දැන් ඉතින් ඇති වෙන්න බීපන්" කිව්වා.
"ඔය මදෑ අපිට. යහ්" කියලා දොවා ගත්තු කිරි මුට්ටිය අතට ගත්තු සීයා ඉස්සර වුණා. අයියයි මමයි පස්සෙන් වැටුණා.
එහෙම දොවාගෙන ආපු කිරි ටික කිරිඅම්මා ලිපේ තියලා රත් කරලා අරගෙන අපි දෙන්නට ලොකු කෝප්ප දෙකකට දාලා දුන්නා. ඒකෙ අමුතුම රහක් තියෙන්නෙ. ගෙදරදි බීපු ලක්ස්ප්‍රේ වගේ නෙමේ. හැබැයි මට ගොඩක් බොන්නනම් පිරියක් තිබුණෙ නෑ. කෝප්පෙ අන්තිම ටික මම පූස් හමුදාවෙ සාමාජිකයො දෙතුන් දෙනෙකුට පෙව්වා. උන්නම් බිමට දාපු කිරි ටික බොහොම ආශාවෙන් වට වෙලා බීගෙන බීගෙන ගියා.
නැන්දා මූණ හෝදන්න ළිඳට යන්න කතා කළේ ඊට පස්සෙ තමා. සීයලට තියන ලොකුම ප්‍රශ්නයක් තමා වතුර නැති එක. මේ කන්ද උඩ මොන වතුරද ! ගේ ඉස්සරහා ළිඳක් කපලා තියනවා මගේ අම්මෝ ඒකෙ ගැඹුර. ඒ ළිඳේ වතුර ඇර අනිත් හැම දෙයක්ම තියනවා කියලයි මට හිතෙන්නෙ. මම දවසක් බිම බඩ ගාලා වගේ ඔළුව දාලා බැලුවා. අම්මෝ මගෙ මුලු සර්වාංගෙම සීතල වෙලා මවිල් කෙළින් වෙලා මුළු ඇඟම මොනවද වෙලා ගියා ඒක දැක්කම. මම හිතුවෙ ඒක අපායට යන පාර වෙන්න ඇති කියලා. ඒ තරම් ගැඹුරුයි. අතරින් පතර බිත්තියෙන් හරහට මතු වෙච්ච කළු ගල් තියනවා. කොච්චර බැලුවත් මට ඒකෙ වතුරනම් දකින්න හම්බුනේ නෑ. කවුරු හරි වැටුනොත් මැරෙන්නෙ වතුර පෙවිලා නෙමේ, අර කළුගල් වල හැප්පිලා. අඩියට වැටෙන්නෙම මැරිලා. මේ ළිඳ හෑරුවෙ ඩයිනමයිටුත් දාලා කියලා සීයා කියනවා මට මතකයි. මෙච්චර භයානක ළිඳ වටේට බැම්මක් බැඳලා නැත්තෙ ඇයි කියන එක හරි ප්‍රශ්නයක්. නිකන් කළුගල් වැටියක් විතරයි. අපේ ගෙදර එක වටේනම් බැම්මක් තිබුණා. සීයමයි බැන්දෙ.
මූණ හෝදන්න යන්න ඕනා කඩේ අයියලෑ වත්ත පහළ ළිඳට. ඒකට එක්කො පඩි පෙළ බැහැලා වම් පැත්තට ගිහින් කඩෙත් පහු කරගෙන ගිහින් පාලම ගාව තිබුණ කඩේ අයියලෑ වත්ත පල්ලෑහැට යන්න ඕනා. නැත්නම් පඩි පෙළෙන් අනික් පැත්තෙ තියන බෑවුම හරහා වැටිලා තිබුණ අඩි පාරක් දිගේ පහළට බැහැලා ගම මැද පාරට වැටිලා, එතනින් කඩේ අයියලැ වත්තට ගිහින් යන්න ඕනා. බොහෝ වෙලාවට පාවිච්චි කරන්නෙ මේ පාර තමා.
බාල්දි, කළ, කෑන්, තුවා අරගෙන අපිත් නැන්දා පස්සෙන් වැටුණා. ළිඳට යනවනම් පුළුවන් තරමක් භාජන අරන් ගිහින් වතුර අරන් එන්න ඕනා කියන එක නීතියක් වෙලා තිබුණෙ. ළිඳට ගිහින් හිස් අතින් පැමිණීම දඩුවම් ලැබිය හැකි වරදක්. බුරුසු ගෙනල්ලත් නෑ, සෙරප්පුත් නෑ ! මේ අඩි පාර පුරාම තියෙන්නෙ ගල් බොරළු. අයියෝ එපා වෙනවා ඉතින් යන්න ගියාම.
අඩි පාර දිගේ පල්ලම් බැස්ස අපි එතනින් ගම මැද පාරට වැටුණා. ඒ පාර පැන්නම කඩේ අයියලාගෙ වත්ත. වත්තට ඇතුල් වෙලා ගේ පිටි පස්සෙන් ගිහින් වමට හැරිලා පොඩි පල්ලමක් බැස්සම තමා ළිඳ තියෙන්නෙ. තාර පාරෙන් ආවොත් ගේ ඉස්සරහින් තමා ළිඳ දිහෑට එන්න තියෙන්නෙ. ළිඳක් කිව්වට මෙතන ලිං දෙකක්ම තියනවා. වෙරළු ගහ යට තිබුණු ලොකු ළිඳ, අඩි දහයක් විතර පළල, රවුම් ළිඳක්. වටේට බැම්ම බැඳලා, දෙපැත්තෙන් කණු දෙකක් උඩට බැඳලා හරහට ගිය කණුවෙ තමා බොලොක්කෙ ගැට ගහලා තිබුණෙ. මේ ළිඳේ වතුර තමා බොන්න ගත්තෙ. අනිත් ළිඳ හතරැස් එකක්. ඒකට යන්න රවුම් ළිඳ ගාව ඉඳන් ටිකක් පහළට බහින්න ඕනා. මේක තමා නාන ළිඳ. නිල් කැටේට වතුර. හැමදාම කට ගාවටම වතුර. පුංචි අපිටත් ලණුවක් නැතුවම බාල්දිය දාලා වතුර ගන්න පුළුවන්.
මේ ලිං දෙකම තිබුණෙ කඩේ අයියලෑ වත්තෙ එහා මායිමේ. ළිඳෙන් යන වතුර ඔක්කොම එකතු වුණේ කඩේ අයියලෑ මායිමත් එක්ක ගලාගෙන ගිය පොඩි ඇළට. ඇළෙන් එහා කුඹුරු යාය. පාලම උඩට පේන්නෙ මේ කුඹුරු යාය තමා. සීයලෑ කුඹුරකුත් තිබුණා ළිඳට පොඩ්ඩක් එහාට වෙන්න.
"හා දෙන්නම දත් මැදගන්න" කියලා දත් බේත් එක අපිට දීපු නැන්දා "මෙදා සැරෙත් බුරුසු ගෙනාවෙ නෑ නේද" කියලා ඇහුවෙ හිනා වෙලා. අපි දත් මදිනකම් නැන්දා භාජන වලට බොන ළිඳෙන් වතුර ඇදලා පුරවන්න ගත්තේ අපි ඇඟිලි වලට දත්බේත් අරගෙන මදින්න පටන් ගන්නකොට.
මේක SR දත් බේත් එකක්. අපේ ගෙදරනම් කවදාවත් දත් බේත් තිබුන්නෑ. ඒවා ගණන් හින්දද මංදා ! අපි ගෙදරදි දත් මැද්දෙ දත් කුඩු වලින්. ජාති දෙකක් තියනවා, එකක් "පැරකුම්බා" අර ගස් ලබු කෑල්ලක් අල්ලන් ඉන්න යෝධයගෙ පින්තූරෙ තිබුණෙ ඒකෙ තමා. අනිත් ජාතිය "දන්ත මුක්ත". සුදුම සුදු දත් ටිකක රූපයක් තමා ඒවයෙ තිබුණෙ. මම කැමතිම දන්ත මුක්ත එකට. ඒකෙ අමුතු රහක් තිබුණා. කන්න පුළුවන්. පැරකුම්බා එකනම් තනිකර බේත් රහක් තිබුණෙ, කන්න බෑ. අප්පිරියයි. ඔය දෙකටම වැඩිය මේක මරු. ආව් අප්පා කට සීතල වෙලා යනවා. මම එක සැරයක් ඇඟිල්ලට අරන් දෙතුන් පාරක් එහෙට මෙහෙට කරලා ගිල්ලා. අප්පා ඔක්කොම නිකන් කූල් වෙලා ගියා. හූස් ගාලා උඩට ඇද්දම තවත් සීතලයි. මරේ මරු.
"ඔය මොකෑ කොරන්නෙ ? කනවා නේද ටූත් පේස්ට් ?" නැන්දට වැඩේ මාට්ටු. "ගිලින්නෑ ඕවා, දත් මැදලා කෙළ ගහන්න එළියට"
මේ ලිං පාවිච්චි කරන්නෙ අපි විතරක් නෙමේ. ගමේ ඉන්න තව ගොඩ දෙනෙක් එනවා මේවයින් වතුර ගන්න, නාන්න. අපි දත් මැද මැද ඉන්නකම් තව දෙතුන් දෙනෙක්ම ඇවිත් මූණ හෝදන් වතුර පුරවන් ගියා.
"ආ මේ ගුණපාලගෙ කොල්ලො දෙන්නා නේද ? කවද්ද ආවෙ ? " ආ ආච්චි, සීයා බලන්න ඇවිත් වගේ ! " වගේ එක එක ඒවා අහන්ඩත් ඔය හැමෝම අමතක කළේ නෑ.
"ආ ඔය ඉතින් මදෑ දත් මැද්දා, දැන් ඇවිත් මූණ හෝද ගන්න" කියලා නැන්දා කතා කළාම තමා මූණ හෝද ගන්න පහළ ළිඳට ගියේ.
ආපහු යන එකනම් ටිකක් අමාරු වැඩක්. වතුරත් උස්සගෙන කඳු නැගපල්ලකො ! මටත් පොඩි කෑන් එකක් හරි වරදින්නෑ. නැත්නම් සබන් පෙට්ටි, දත් බෙහෙත් එහෙම දාපු බාල්දිය තමා මට හම්බෙන්නෙ. තුවාය නැන්දා බෙල්ල වටේ ඔතා ගන්නවා. අයියත් දෙපැත්තට කෑන් දෙකක් අරගන්නවා. නැන්දනම් එක කළයක් උකුලට අරන්, තව කෑන් එකක්වත් අනිත් අතට ගන්නවා. මේ හොඳයි ! හවසට වෙනම තියනවා වතුර ඇදීමේ වැඩසටහනක්. ඒකනම් ඉල ඇදෙන, මහ පණ යන වැඩක් ! හත් අට පාරක්වත් උඩහා පහළ යන්න ඕනා එතකොටනම්.
අපි මූණ හෝදන් ගෙදර එනකොට බාප්පා ගේ ඉස්සරහා තිබුණ කනාටු පොල් ගහේ මූණ බලන කණ්ණාඩියක් එල්ලන් රැවුල කපනවා. නැන්දා කඩේ අයියලෑ ළිඳට ගියාට බාප්පනම් නාන්න ඇර ඒ ළිඳට යනවා මට මතකයක් නෑ.
මම කෙළින්ම කුස්සියට ගියේ සීයා කොහෙද කියලා කිරිඅම්මගෙන් අහගෙන.
"සීයා ඕන්න රැණගල ගියා හරක් බැඳලා එන්න"
"අයියෝ ගියාද ? මමත් මේ යන්න කියලා හිටියේ"
"පස්සෙ යන්න බැරියෑ, තව දවස් තියනවනෙ" කිරි අම්මා කතා කළේ උදේට කන්න රොටි පුච්චන ගමන්මයි.
එදා උදේට කැවට පස්සෙ අපි දෙන්නා කරන්න දෙයක් නැතුව එහෙට මෙහෙට වෙවි හිටියෙ. නැන්දත් ලෑස්ති වෙලා වැඩට ගියා. නැන්දා වැඩ කළේ පේෂකර්ම මධ්‍යස්ථානයක ගුරුවරියක් හැටියට. බාප්පා ඒ අහල පහළ ගමක ග්‍රාම සේවක. නැන්දා උදේ අටට කලින් වැඩට යන්න පිටත් වෙනවා. බාප්පනම් සෑහෙන්න පරක්කු වෙලා ගිහින් දෙකටත් කලින්ද කොහෙද ගෙදරත් එනවා. බාප්පත් ලෑස්ති වෙලා "අම්මෙ මම ගිහින් එන්නම්" කියලා බයිසිකලේ උස්සලා කරට ගත්තා. ඕක සීයගෙයි, බාප්පගෙයි දින චරියාවෙ කොටසක්. කොහේ හරි යන්න ගෙයින් එළියට බැස්සොත් අනිවාර්යයෙන් බයිසිකල් කරේ තියන් පල්ලම් බහින්න ඕනා. වෙන විදිහකුත් නෑනෙ. එනකොට තමා පණ යනවා ඇත්තෙ. ඕක කරේ තියන පඩි අනූ පහක් නගින එක සෙල්ලමක්යෑ. මටනම් හිතනකොටත් පිස්සු හැදෙනවා. අනිත් එක මෙහෙ මිනිස්සු බයිසිකල් පදිනවට වැඩිය තල්ලු කරන එක තමා කරන්නෙ. ඇයි ඉතින් හැම තැනම කඳුනෙ. පොඩ්ඩක් පදිනවා, ආයෙ බැහැලා තල්ලු කරනවා. පයින්ම ගියානම් ඉවරනෙ. මටනම් වෙලාවකට හිනාත් යනවා.
කරන්න දෙයක් නැතුව ගෙයි ඉස්තෝප්පුවෙ බැම්ම උඩ වාඩි වෙලා මම හිටියෙ. අයියා ඉස්තෝප්පුවෙ එහා කොනේ තිබුණ පුටුවක වාඩි වෙලා මොකක්ද කියව කියව හිටියෙ. සීයලෑ ඉස්තෝප්පුවෙ උඩ බිත්තිය දිගටම රීප්ප පටි දෙකක් ගහල රාමු කරපු පින්තූර මහ ගොඩක් එල්ලලා තිබුණා. ඒවයෙන් එක පින්තූරයයි මට අඳුන ගන්න පුළුවන් වුණේ. ඒ අපේ අම්මගෙයි, තාත්තගෙයි මගුල් ෆොටෝ එක. අනිත් කාවවත් මමනම් අඳුනන්නෙ නෑ. කලින් දැකලා තිබුණට එදා තමා මට ඔය ෆොටෝ ටික දිහා හොඳට බලන්න හිතුණෙ. දකුණු පැත්තෙ උඩම තිබුණෙ මහ රැවුල කාරයෙකුගෙ ෆොටෝ එකක්. ඒකට වම් පැත්තෙන් පයිප්පයක් කටේ ගහගෙන ඉන්න එක්කෙනෙක්ගෙ ෆොටෝ එකක් තිබුණා. ඊටත් එහායින් පදක්කම් මහ රාශියක් පපුවෙ එල්ල ගත්තු මනුස්සයෙක්ගෙ ෆොටෝ එකක්. අනිත් ෆොටෝ ඔක්කොම මගුල් ෆොටෝ.
ඔන්න ඔහොම ඔය ෆොටෝ ටික බල බල ඉන්නකොට තමා මාව එක පාරටම ගල් ගැහුණෙ. "මේ මොකෝ මේ ඔක්කොමල්ලා මම දිහා බලන් ඉන්නෙ ? "
මම අම්මලෑ ෆොටෝ එක දිහාත් බැලුවා. ඒ දෙන්නත් මම දිහාමයි බලන් ඉන්නෙ. මතක විදිහට මම අද දවස ඇතුළත, අඩුම ගානෙ පහුගිය සතිය ඇතුළෙවත් බර පතල වරදක්නම් කරලා තිබුණෙ නෑ. ඒත් හැමෝම මම දිහා හොඳට බලාගෙන ඉන්නෙ ඇයි ? මාව පඩියෙන් බිමට පැනුණෙ නිකන්ම.
"ලොකු අයියෙ.. "
"හ්ම්ම්.. "
" මේ පින්තූර ඔක්කොම මං දිහා බලන් ඉන්නෙ ඇයි ? " මම ළඟම හිටපු වැඩිහිටියට ප්‍රශ්නය ඉදිරිපත් කළා. සීයාවත් පේන්න හිටියෙ නෑ.
පිළිතුරක් නෑ.
"ලොකු අයියේ.. "
" ඇයීයියි.. " කියන ගමන් අයියා පොතෙන් ඔළුව අරන් මම දිහා බැලුවා.
"මේ පින්තූර ඔක්කොම මං දිහා බලන් ඉන්නෙ ඇයි ?"
" ඒ ඔයාට පේන හැටි"
"පේන හැටි නෙමේ, මේ ඔක්කොමල්ලා මං දිහා බලන් ඉන්නෙ"
"එහෙම එකක් නෑ, ඒ පේන හැටි. බලන හැමෝටම පේන්නෙ එහෙම තමා, දැන් මට පේන්නෙ හැමෝම මම දිහා බලන් ඉන්නවා වගේ"
අයියා බොරු කියනවා කියලා හිතපු මම එතනට ගිහින් බැලුවා. ඇත්ත නේන්නම්, මෙන්න දැන් කට්ටිය ඔක්කොම මෙතන බලන් ඉන්නවා. ඊට පස්සෙ මම පින්තූර දිහා බලාගෙනම ආයෙ හිටපු තැනට ආවා. ඔන්න ආයෙත් හීන් දාඩිය දැම්මෙ එතකොට තමා. මේ කට්ටියම මම දිහා බලාගෙන හැරෙනවා මෙන්න. හොල්මන්වත්ද !
ආයෙ පින්තූර දිහා බලාගෙන අයියා හිටපු තැනට ගියා, මෙන්න ආයෙත් හැරෙනවා. බුදු අම්මෝ !
මම ඔහොම උඩ බලාගෙන එහෙට මෙහෙට වෙවී ඉන්නකොට තමා " ඔය මොකෑ කොරන්නෙ" කියලා අහගෙන ඇවිත් එතන තිබුණු අනිත් පුටුවෙ සීයා වාඩි වුණෙ. මමත් එහා පැත්තෙන් තිබුණ අනිත් පුටුවෙන් වාඩි වෙලා සීයට ප්‍රශ්නය දාන්නයි කල්පනාව. සීයා ටීපෝ එක උඩ තිබුණ බුලත් හෙප්පුව අතට අරගෙන කකුල් දෙක අස්සෙ හිර කරගන්න ගමන් ගිරය අතට අරන් පුවක් ගෙඩියක් ටකස් ගාලා දෙකට කැපුවා.
"මේ පින්තූර ඔක්කොම මම දිහා බලාගෙන ඉන්නෙ ඇයි සීයෙ ?"
" කෝහ් කොහෙද ? " කියලා සීයා ඇහුවෙ හිනා වෙන ගමන්.
" මේ හැමෝම මම දිහානෙ බලන් ඉන්නෙ, බලන්නකො "
"පින්තූර එහෙම තමයි, බලන කෙනාට පේන්නෙ පින්තූරෙ තමන් දිහා බලන් ඉන්නවා වගේ. හැමෝටම එහෙම තමා පේන්නෙ" කියලා සීයා කරපු පැහැදිලි කිරීම මට එච්චරටම නොතේරුණත්, අයියා කිව්වෙත් ඒකම නිසා එහෙම වෙන්න ඇති කියලා මමත් හිත හදා ගත්තා. ඒත් ඒක මටනම් හරිම පුදුමයක්. හැමෝම එකපාරම මම දිහා බලාගෙන හැරෙන එක කොච්චර පුදුම වැඩක්ද !
ඊළඟට මට ආවෙ මේවයෙ ඉන්නෙ කවුද කියන ප්‍රශ්නෙ. මේක හොඳ වෙලාව ඒ ගැන දැන ගන්න. සීයා කපා ගත්තු පුවක් බෑයක කොන ගිරෙන් අල්ලලා අනිත් පැත්තට නමලා පුවක් ඇටේ එළියට අරගත්තා. අනිත් බෑයටත් ඒකම කළා. ඊට පස්සෙ ගිරේ යට අණ්ඩ දිගෑරලා අර මහත තලයෙන් පුවක් පලු දෙකම සූරලා ඒවයෙ කුරුට්ට අයින් කළා.
" මේ ෆොටෝ වල ඉන්නෙ කවුද සීයෙ ?"
සීයා කර කර හිටිය වැඩේ නවත්තලා අමුතු විදිහට බැලුවා. "හැබෑටම ඕක දන්නැද්ද?" කියලා අහන ජාතියෙ බැල්මක් ඒක.
"එහෙනම් තාත්තා ළමයින්ට කියලා දීලා නෑ වගේ !"
"මේ ලොකු රැවුලක් තියෙන එක්කෙනා කවුද ? "
"ඔය පුතේ ඩී.ඇස්. සේනානායක මහත්තයා"
"කවුද එයා ? ඇයි ඉතින් එයාගෙ පින්තුරෙ මෙතන ගහලා තියෙන්නෙ ?"
අයියනම් ඒ වෙනකොටත් දන්නවද කොහෙද ? මමනම් දන්නවා වගේ බැල්මක් තමා එයා පොත කියවන එකත් නවත්තලා දාගෙන හිටියෙ. අර අපි දන්න බව කාට හරි පෙන්නන්න තියන උනන්දුවෙන් තමා එයා ඒ වෙලාවෙ හිටියෙ. ඒත් සීයා හිටපු හින්දා එයා මුකුත් කීවෙ නෑ.
"ඩී.ඇස්. සේනානායක කියන්නෙ ලංකාවෙ පළවෙනි අගමැතිට"
"අගමැති ! ඒ කවුද ? "
සීයා ආයෙත් හිනා වුණා. දැන් පුවක් පලු දෙක සුද්ධ වෙලා කෑලි වලට කැපිලා හෙප්පුවෙ පැත්තකට වෙලත් ඉවරයි. බුලත් කොළයක් අරන් දෙපැත්ත කඩලා දාපු සීයා, හුණු දාලා තියන පොඩි ටින් එකෙන් හුණු ටිකක් ඇඟිල්ලට අරන් බුලත් කොලේ ගාලා, දුම්කොළ කෑල්ලකුයි, පුවක් කෑලි දෙකකුයි මැද්දෙන් තියලා, ගුලි කරලා කටේ ඔබා ගත්තා. ඒක හක්කෙ එක පැත්තකින් හපන ගමන් හෙප්පුව ටීපෝ එක උඩින් තියලා, කකුලක් පිට කකුලක් එහෙම දාලා පුටු ඇන්දට හොඳට හේත්තු වුණා. සීයා ලොකු කතාවක් කියන්න යන්නෙ කියලා මට තේරුණා.
"අගමැති කියන්නෙ, ඒ දවස්වල ලංකාව පාලනය කරපු නායකයට."
"ඉතින් ඇයි මෙයාගෙ පින්තූරයක් මෙතන ගහන් ඉන්නෙ. සීයලෑ නැයොද ? "
"හෙහ් හෙහ්.. නෑ නෑ අපේ නැයොනම් නෙමේ. මෙයා තමයි සුද්දන්ගෙන් ලංකාවට නිදහස ගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා, පස්සෙ සුද්දො ලංකාව දාලා යනකොට ලංකාවෙ නායකයා උණේ. පළවෙනි අගමැති. එයාට අපි හැමෝම ගරු කරන්න ඕනා. මෙයාට කියන්නෙ ජාතියේ පියා කියලා. රටට ගොඩක් හොඳ වැඩ කරපු මනුස්සයෙක් තමා ඔය. අනිත් එක මෙයා බෝතලේ මනුස්සයෙක්."
හොඳට ඇදලා බැඳලා තියන දුන්නක ලණුව කැඩුනම, ටොයිංන්න් ගාලා දුන්න කෙළින් වෙන විදිහ දන්නවනෙ, ආන්න ඒ විදිහටම කෙළින් වෙලා මාව පුටුවෙන් නැගිටුනා ඔය සීයගෙ අන්තිම වචන ටික ඇහුණම.
"නෑහ්හ්හ් බෝතලේ මනුස්සයෙක් ?" මට කතා කරන්නෙ සීයත් එක්කයි කියලත් අමතක වුණා. සීයත් පුදුම වෙලා වගේ මම දිහා බැලුවෙ මොකද මූට එක පාරටම වුණේ කියන්න වගේ. සීයා මට දුන්න ආරංචියෙ වටිනාකම සීය දන්නවනම් !
" ඔව් බෝතලේ තමා.. ඔය ඔතනින් ටිකක් එහා තමා ඒ ගොල්ලන්ගෙ වලව්ව තියෙන්නෙ " සීයා ඒ පැත්තට අත දික්කරලා පෙන්නුවා.
හැමදාම ඉස්කෝලෙ උන් තාත්තගෙ ගම කොහෙද කියලා අහද්දි මම කිව්වෙ මීරිගම කියලා. දෙතුන් පාරක් බෝතලේ කියලා මුන් මට පල් එක දැම්මනෙ "උඹලෑ තාත්තා බෝතලේකද ඉන්නෙ " කියලා. එදායින් පස්සෙ මම ඔය නම කිව්වෙම නෑ. කිව්වත් කිව්වෙ බොහොම හිමින්, ලජ්ජාවෙන්. ඒත් දැන් තත්ත්වය වෙනස්. යකෝ ලංකාව සුද්දන්ගෙන් බේර ගත්තු, ලංකාවෙ පළවෙනි අගමැති වෙච්ච, ජාතියේ පියාට බෝතලේ ඉන්න පුළුවන්නම්, මගේ පියා බෝතලෙන් වුණාම මොකද ? වරෙල්ලකො බලන්න ආයෙ කියන්න. දෙන්නම් තොපිට.
ෂිඃ මේ උලව් නිවාඩුව තාම පටන් ගත්තා විතරනෙ !
~~ ඉවරයි වගේ පෙනුණට ඉවර නෑ, තව තියනවා ~~
~~සෙන්නා / 17.05.2013