2014 මැදින් මස 24 වනදා
එදා ඉරිදාවක් බව මට හොඳට මතකයි. ඒ, එදා මම වැඩට ගියේ ටිකක් පරක්කුවෙලා නිසා හා කලින්ම ආපු බව මතක නිසා. ෂිපින් කරන අපිට වෙලාව, අවෙලාව, සති අන්ත, ඉරිදා, පෝය, අවුරුදු, නත්තල්, වෙසක් ඔය මුකුත්ම හිමි නෑ. නැව් එන්නේ කවදද එදාට සුදානම් වෙලා ඉඳීම අනිවාර්‍යයි. අතේ බැඳපු ඔරලෝසුව බල බල, වෙලාව ගෙවෙනකම් බලන් ඉන්න, සති අන්තේ හරි නිවාඩු එනකම් හරි ඇඟිලි ගනින අයට මේ ජොබ් එක කරන්න බෑ. අපි කතාවට කියන්නේ ෂිපින් කරන උන් මැරුණ ගමන් කෙලින්ම දිව්‍ය ලෝකේ යනවා කියලා.
එදා උදේ මම වැඩට යනකොටත් තාත්තා අසනීපෙන් හිටියේ. හරි හමන් කෑමක් නැතුව, බඩේ අමාරුවක් කිය කිය තැම්බුම් හොදි බිබී හිටියේ. බඩ කොච්චර ඉදිමිලාද කිව්වොත් දිලිසෙනවා. අන්තිම පාර දොස්තර මහත්තයා ගාවට ගියාම කිව්වේ "පණට ආසාවක් ඇත්නම් ආයේ කටේ තියන්න එපා"කියලා. ඕන්නම් දවස් තුනක් පිළිපදින්න ඇති ඒ නියෝගය. ආයේත් පටන් ගත්තා ජරාව බොන්න. මෙච්චර අමාරුවෙන් ඉද්දිත් ගිහිල්ලා අරන් ඇවිත් හංගගෙන බීපු එකනෙ වැඩේ කියන්නේ. මේ ජරා බීමට ඇබ්බැහි වුණාම ආයේ ගැලවිල්ලක් නෑ. තාත්තා බීමට ඇබ්බැහි වුණ විදිහ මට හොඳට මතකයි. මුලින්ම බිව්වේ පඩි දවසට විතරයි. කාලක් ගෙනල්ලා තියාගෙන පැත්තකට වෙලා බිව්වා. කාටවත් කරදරයක් නෑ. අම්මා වුණත් ඒකට දොසක් කිව්වේ නෑ. බයිට් එකක් එහෙමත් හදලා දුන්නා කණු කුණු නොගා. ඊට පස්සේ සති අන්ත වල බොන්න පටන් ගත්තා. ඒකටනම් අම්මා එහෙන් මෙහෙන් පොඩි කරු කුරුවක් දැම්මා. ඊටත් පස්සේ සතියට දවස් දෙක තුනක් බොන්න ගත්තා. ඊළඟට පෝය හැර හැමදාම බොන්න පටන් ගත්තා. අන්තිමට පෝයටත් පස්වෙනි සිල් පදේ කඩන්න තාත්තා බය වුනේ නෑ. ඇබ්බැහියේ තරම එහෙමයි. ඒ කියන්නේ තාත්තා දැන් බේබද්දෙක් වෙලා අහවරයි. හැබැයි ඔය බිව්වේ රෑට විතරයි. ජොබ් එකෙන් අයින් වුණාට පස්සේ උදේටත් බොන්න ගත්තේ ඉරණමෙන් තීන්දු වෙලා තිබුණේ එහෙම නිසා වෙන්න ඕනා. ඊට පස්සේ තාත්තගේ මුළු ජීවිතේම වුණේ බීමත් කම තමා. කොටින්ම, ජීවත් වුණේ බොන්න. බීම වැඩිවීමට සමානුපාතිකව පවුලේ සමගියත් ටික ටික දියවෙලා ගියා. අම්මා හැම තිස්සේම ඇඬු කඳුළින්. ඒත් ඒ කඳුළු වලට පුළුවන් වුණේ නෑ තාත්තව ඒ නරක ඇබ්බැහියෙන් මුදව ගන්න. බීමත් කමට ඇබ්බැහි වුණ තාත්තා කෙනෙක්ගේ දරුවෝ විඳින මානසික පීඩනය මම සහ මගේ සහෝදර සහෝදරියන් නො අඩුව විඳලා තියනවා. තාත්තගේ බීමත් කම නිසා සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන්න වෙයි කියන බය බොහොම තදින්ම දැනෙන දෙයක්. "උඹලෑ තාත්තා හෙන බෙබේ නේද?" එහෙම නැත්නම් "ඒ බං අපි ඊයේ උඹලෑ තාත්තා බීලා වැනි වැනි යනවා දැක්කා" කියලා කවුරුහරි කොයි වෙලේ හරි අහයි, කියයි කියන බය නිතරම අපිව පෙලුවා. අම්මා අඬනවා දකින දේත් ළමයින්ගේ හිත්වලට එච්චර සුවදායක නෑ. තාත්තගෙ බීමත්කම නිසාම අපි මුහුණදීපු ආර්ථික අමාරුකමුත් එමටයි. ඒවා බීමට ඇබ්බැහිවුණ තාත්තා කෙනෙකුට කවදාවත් තේරුම් ගන්න පුළුවන් දේවල්ද !?
මම වැඩට ගිහින් එනකොට තත්ත්වය දරුණු අතට හැරිලා. තාත්තා ලේ වමනේ දාන්න පටන් අරන්. දැන්නම් ඉතින් තවත් බලන් ඉන්න බෑ. තාත්තා බෑ කියනකොටම බලෙන්ම වගේ ස්පිරිතාලේට ගෙනියන්න අපි තීරණය කළා. වෙලාව හවස හතරට විතර ඇති. ත්‍රීවීල් එකක් කතා කරගෙන අම්මයි මමයි තාත්තව මැදි කරගෙන ඒකට නැග්ගා. අයියා මෝටර් සයිකලෙන් අපිත් එක්කම වගේ ආවා. ඒ වෙලාවෙ අපේ ගෙදර ඇවිත් හිටිය් දමිතුත් අපිත් එක්ක එකතු වුනා ඉස්පිරිතාලෙට යන්න. ස්පිරිතාලෙට ගෙනියනකොටත් තාත්තා හොඳට හිටිය බව මතකයි. සිහි කල්පනාව එහෙම හොඳට තිබුණා. ඕපීඩී එකේදි ලියාපදිංචි කරලා තාත්තව වාට්‍ටුවට යොමු කෙරුවා. ඒ, කලින් දෙවතාවක් හිටපු එකම නිසා තාත්තා යන්නත් ටිකක් අදිමදි කළා දොස්තරලගෙන් බැණුම් අහන්න වෙයි කියලා. කොහොම හරි අපි තුන්දෙනා ගිහින් තාත්තව වාට්‍ටුවට භාර දුන්නා. හොඳ වෙලාවට ඇඳකුත් හම්බුනා. ඒ වෙනකොට ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙලා තිබුණ නිසා "එක්කෙනෙක් ළඟ ඉඳලා අනිත් අය යන්න" කිය කිය සිකියුරිටි කාරයොයි, ඇටෙන්ඩන්ලයි බුරන්න පටන් ගත්ත නිසා අපි තුන්දෙනාටම එතන ඉන්න හැකියාවක් තිබුණේ නෑ. මම, එදා රෑ තාත්තා ළඟ නවතින්න තීරණය කරපු නිසා අයියා කිව්වා මම පහළට ගිහින් මොනවා හරි කාලා එනකම් එයා තාත්තා ළඟ ඉන්නම් කියලා. අම්මයි, මමයි, දමිතුයි තාත්තට ගිහින් එන්නම් කියලා පල්ලෙහාට බහිනකොටත් තාත්තා ඇඳේ වාඩි වෙලා හොඳට හිටියා. "හා" කියලා ඔළුව වැනුව හැටි මට තාම මතකයි. ඒ මේ භවයෙදී අම්මයි, මමයි තාත්තා එක්ක කතා කරපු අන්තිම වචන කිහිපය කියලා අපි මොහොතකටවත් හිතුවේ නැත්තේ තාත්තට ලේ වමනේ ටිකක් යනවට වැඩිය අමාරුවක් නොපෙන්නුව නිසා හා කොහොම හරි සුවකරගෙන නැවත එක්කන් යන බලාපොරොත්තුව අපේ හිත්වල තිබුණ නිසා වෙන්න ඕනා.
අම්මව නතරකරගෙන හිටපු ත්‍රීවීල් එකටම නග්ගලා ගෙදර යවලා, මම රාගම ස්පිරිතාලේ පල්ලෙහා තිබුණ හෝටලයට රිංගුවේ මොනවා හරි බඩට දාගන්න. හේතු දෙකක් නිසා මට කන්න පිරියක් තිබුණේ නෑ. එකක් පැවතුණු වාතාවරණය නිසා හිතේ තිබුණු අවිවේකී බවයි ආතතියයි. අනෙක් එක, මේ හෝටල්වල තියන අපිරිසිදුකම. මට පෙන්නන්නම බැරි වැඩක් තමා තියන ඔක්කොම කෑම ජාති ගෙනල්ලා මේසෙ උඩ තියන එක. කන එවුන් ඔක්කොම අල්ල අල්ල ආයෙ පිගානටම අතාරිනවා. කාපු නැති ටික ආයෙ වීදුරු කූඩුවට යනවා. වෙන කවුරු හරි ඉල්ලුවම ආයේ ඒවම ගෙනත් දෙනවා. මොන ඌරු වැඩක්ද කියලා මටනම් තේරෙන්නෑ. සෞඛ්‍ය පරීක්ෂකයන්ට මේවා පේන්නැද්ද ? නැත්නම් ජරාවෙන් ඒගොල්ලන්ගේ දෑස් වැහිලද?
හංවෙලා තිබුණ බිත්තර රොටියක් කාලා, නහය වහගන්නැතුව බොන්න බැරි නිසා තේ එකක් නොබී, කූල් බීම බෝතලයක් බීලා මම දනි පනි ගාලා ආයේ කන්ද නගින්න ගත්තේ අයියව ඉක්මනින් ගෙදර යවන්න ඕනා නිසා. මම පඩි පෙළත් නැගලා තාත්තා හිටපු වාට්‍ටුවට ඇතුළු වෙනකොටම ටිකක් අමුතු දෙයක් දැක්කා. එක ඇඳක් වටේ කට්ටිය වට වෙලා ඉන්නවා. මම ඒත් හිතුවේ වෙන කවුරු හරි ලෙඩෙකුට අමාරු වෙලා කියලා. ළඟටම ගියාම තමා දැක්කේ ඒ තාත්තගේ ඇඳ තමා කියලා. ඕන් එතකොටයි මට හීන් දාඩිය දාන්න ගත්තේ. මම බැලුවා අයියා කෝ කියලා. එයත් දොස්තරලට, නර්ස්ලට පිටි පස්සෙන් ඉඳගෙන බයවෙලා වගේ තාත්තා දිහා බලන් හිටියා. දොස්තර කෙනෙක් තාත්තගේ පපුව ඔබ ඔබ කෘතිම ශ්වසනය දෙනවා.
"මොකද වුණේ ? " මම අයියගෙන් ඇහුවේ බය වෙලා.
"එක පාරටම මට අමාරුයි කියලා ඇඳේ දිගා වුණා. මම කෑ ගහපුවම තමා කට්ටිය දුවගෙන ආවේ."
වෙන්නේ මොනවද කියලා මමයි අයියයි ඇස් උඩ තියාගෙන බලන් හිටියේ. ඒක මගේ ජීවිතයේ අවිනිශ්චිතවම ගෙවුණු තත්පර කිහිපයක්. තාත්තගේ වෙලාවද නැත්නම් හැමදාම රාගම ස්පිරිතාලේ එහෙමද කියන්න මම දන්නැ, වාට්‍ටුව භාරව නිසි දැනුමක් තියන වෛද්‍යවරයෙක් ඒ වෙලාවේ හිටියේ නෑ. හිටිය ඔක්කොම වෛද්‍ය ශිෂ්‍යයෝ විතරයි හිටියේ. අපි අරක දීලා බලමුද, මේක දීලා බලමුදා කියලා පොත් පෙරළ පෙරළ දෙන්න ඕනා බේත් ජාති හොයමින් නටපු නාඩගමක් ! ෂොක් ට්‍රීට්මන්ට් දීලා බලමු කියලා තීරණය කරලා ඒකත් කෙරුවා. ඒත් තාත්තගේ නැවතුන හදවත නැවත පනගන්වන්න ඔවුන්ට බැරුව ගියා.
"හරියන්නෑ" කියන්න තොල පෙරළන ගමන් කරණ ඔළුව දෙපසට වැනීම, කනගාටුව මුසු වූ බැල්ම, සුදු පිරුවටය තාත්තාගේ හිසත් වසාගෙන ඉහළට ගමන් කිරීම, මුලු ලෝකයම කැරකෙමින් පෙරළෙමින් කඩා වැටීම, ඔක්කොම සිදුවුණේ එකටම වගේ. තාත්තා අපිව දාලා යන්න ගිහින් කියන සත්‍යය පිළිගන්න බැරුව අයියත් මමත් තාත්තගේ නිසල දේහය බදාගෙන කෑගහලා ඇඬුවා. එහෙම කළාට තාත්තා ආයේ නැගිටින්නෑ කියන එක තේරුම් ගන්න තරම් අපේ තර්ක බුද්ධිය ඒ වෙලාවෙ නිරවුල් නෑ. යාළුවන්ගේ තාත්තලගේ මලගෙවල් වල ගියාට අපේ තාත්තා මැරෙයි කියලා කවදාවත් නොහිතුණ හැටි. ඒක කොහෙත්ම වෙන්ඩ බැරිදෙයක් හැටියට අපේ හිත් විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම එක අතකින් හරිම පුදුමයි. මේ ලෝකේ හැම මිනිහෙක්ම මැරෙනවා කියන සත්‍ය අපි කවුරුත් දැනන් හිටියට ඒක අපිට සහ අපේ සමීපතයින්ටත් පොදු බව අපිට නොහැඟෙන හැටි. ඒක තමා අපේ කෙනෙක් නැතිවුනාම අපිව ගල් ගැහෙන්නේ. විශ්වාස කරන්න බැරුව තුෂ්ණිම්භූත වෙන්නේ. මේ වගේ අකල් මරණ වලදී මේ හැඟීම දෙගුණ තෙගුණ වෙලා දැනීම අහන්නත් දෙයක්ද ! අපි ඒ හැඟීම නොඅඩුවම විඳිමින් හිටි මොහොතක් තමා මේ ගෙවෙමින් පැවතුණේ.
ඒ වෙලාවේ වාට්‍ටුව භාරව හිටපු ප්‍රධාන හෙද නිලධාරිය ඇතුළු කට්ටිය අපිව සනසන්න මොන මොනවදෝ කිව්වා වගේ මතකයි. ඒත් ඒ කියපු කිසි දෙයක් අපේ කන්වලින් ඇතුළට නොගිය නිසා කිව්වේ මොනවද කියලා මට මේ මොහොතේ ලියන්න දැනුමක් නෑ. ඔය වගේ වෙලාවට භාවිතා කරණ සාම්ප්‍රදායික වදන් මාලාවම භාවිතා කරන්න ඇති කියන උපකල්පනයක් විතරක් කරන්න පුළුවන්.
ටිකකින්, ට්‍රොලියක් තල්ලු කරන් ආපු රෝහල් සේවකයෝ දෙන්නෙක් තාත්තගේ දේහය උස්සලා ඒකෙන් තියාගෙන යන්න ගියා. වාට්‍ටුවෙන් අපිට කිව්වේ දැන් ගෙදර ගිහින් මිනිය භාර ගන්න හෙට එන්න කියලා. රෝගියව රෝහලට ඇතුළත් කරලා පැය විසිහතරකට වඩා අඩු නිසා අනිවාර්යයෙන් මරණ පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් දැනුම් දුන්නා..
අයියයි මායි කොහොම ගෙදර ආවද කියන එකත් මට නිනව් නෑ. රෑ ළඟ නවතින්න ගිය මිනිහා මොකද ගෙදර ආවේ කියන විස්මයාර්ථය අම්මටත් අනෙක් අයටත් ඇතිවුණා කියලා ඔවුන්ගේ මුණු දැකපු ගමන් මට හිතා ගන්න පුළුවන් වුණා.
"ඇයි පුතේ ! ? " කියලා අම්මා ඇහුවේ හොඳටම බයවෙලා කියලයි මට හිතුණේ. ඒත් ඒකට උත්තර දෙන්න කලින් මගේ කඳුළු ඉස්සර වුණා. ඒකෙන් කියන්න ඕනා ඔක්කොම ඔවුන් වටහා ගන්න ඇති. ඊළඟ නිමේෂයේදී අසල්වැසියෝ අපේ ගේ වට කරගත්තේ පළාතම දෙදුරුම්කන තරමින් නැගුණු විලාපය නිසා. අපි ඔක්කොම එකට ගුලි වෙලා ඇති වෙනකම් ඇඬුවා. ඊළඟට මොනවද කරන්න ඕනා කියන එක වටහා ගන්නත් අපිට ටික වෙලාවක් ගියා. අනාරාධිතවම අසල්වැසියෝ වැඩට බැහැලා. සමහරු ඉස්සරහා මිදුල අස්පස් කරනවා, මඩු ගහන්න. ගැහැණු අය අම්මයි නංගිලයි එක්ක ඔවුන්ගේ දුක බෙදා ගන්නවා. එකම කතාව නැවත නැවත ප්‍රතිරාව කරන්න වුණත් ඒකෙන් වේදනාව තුනීවෙන හැටි හරිම පුදුමයි ! තාත්තගෙන් පස්සේ ගෙදර වැඩිමහලු පිරිමි දෙන්නා හැටියට අයියටයි, මටයි කටයුතු සංවිධානය කිරීමේ වැඩි වගකීමක් පැවරුණා. මස්සිනා නවරත්නත්, ගෙදර නැවතිලා හිටපු මගේ යාළුවා ඉන්දිකත්, මල්ලිත් හිටපු නිසා අපිට කටයුතු බෙදාහදාගෙන කරණ එකනම් කොහෙත්ම ගැටලුවක් වුණේ නෑ. පහුවදා අම්මයි මමයි ස්පිරිතාලෙට ගිහින් මිනිය නිදහස් කරගන්න අතරේ, අයියා අනිත් අයත් එක්ක ගෙදර වැඩ ටික එකලස් කරගන්න කතා කරගත්තා. හෙට කාර්යය බහුල දවසක් නිසා ටිකක් නිදාගන්න බලන්න කියලා හැමෝම කිව්වත් නින්ද අහලකවත් නෑ. එදා රෑ එළිවෙනකම් කුරුන්දෙන් නරි කෑ ගහනවා මම අහගෙන. උන්ට ඒ වගේ දේවල් දැනෙනවා කියලා මම අහලා තියනවා.
පහුවදා උදෙන්ම වගේ අම්මයි මමයි ස්පිරිතාලේට ආවා. ලෙඩගානේ හිටපු අම්මව එක්කන් එන්න වුණේ ලෙඩාව ඇතුළත් කරනකොට අපි කරපු මෝඩ වැඩක් නිසා. ඒ රෝගියාගේ භාරකාරයා හැටියට අම්මගේ නම දාපු එක. භාරකාරයට විතරලු පුළුවන් ලියකියවිලි වලට අත්සන් කරලා මිනිය භාර ගන්න. අපිත් එක්ක ඔය වගේ කටයුතු ගැන හොඳ අවබෝධයක් තියන අසල්වැසියෙක් වුණ ක්‍රිස්ටි මාමත් එකතු වුණා. ඇත්තටම ඒ වෙලාවේ ඒ මනුස්සයා ආපු එක අම්මටයි මට ලොකු පහසුවක් වුණා.
එතනට ගියාම සුපුරුදු විදිහට රස්තියාදුව. අතනට යන්න, මෙතනට යන්න, අතෙන්ට කට උත්තර දෙන්න, මෙතෙන්ට කට උත්තර දෙන්න කිය කිය උපරිමෙන්ම අපිව මැඩෙව්වා. ඒක හිතාමතා කරන දෙයක් නෙමේ වෙන්න ඇති, ඒත් නිසි පිළිවෙළක් නැති කම නිසා මානසිකවත් වැටිලා ඉන්න මිනිස්සු තවත් අසරණ වෙනවා. අනිත් කාරණය රාගම රෝහලේ භූවිෂමතා ලක්ෂණ. අසනීපෙන් ඉන්න අම්මා වගේ කෙනෙකුට ඒකෙ තියන කඳු පල්ලම් නගිමින් බහිමින් හක්කලන් කරන්න ලේසි නෑ. මරණ පරීක්ෂණේ ඉවර වුණාම මෝචරියට ගිහින් මිනිය භාර ගන්න කියපු නිසා අපි තුන්දෙනා ආයේත් පල්ලෙහාට බැහලා මෝචරියට ආවා. අයියලා කතා කරලා හර්ස් එකක් එවලා තිබුණා මිනිය අරගෙන යන්න. එතන ගිහින් මිනී කුණුගඳ දරාගෙන ටිකක් වෙලා ඉන්නකොට කපලා කොටලා විරූපී වෙච්ච තාත්තගේ සිරුර ට්‍රොලියක දාගෙන අපි ලඟින්ම අරගෙන ගියා හර්ස් එකට දාන්න. තාත්තගෙ පපුව මැද්දෙන් බඩ දක්වාම පළලා බොත්තම් ඇරපු කමිසක් වගේ දෙපැත්තට දාලා තියන විදිහ මගේ දෑසින්ම දකින්න තරම් පුතෙක් හැටියට මම අවසනාවන්ත වුණා. ඒ දර්ශනය අම්මගෙන් හංගගන්න මම පුළුවන් උත්සහා කළාට ඒක හරි ගියාද කියලා මට දැන් මතක නෑ. අන්තිමට එතනිනුත් ලියකියවිලි වගයකට අත්සන් අරගෙන තවත් මොකක්ද කොළයක් දුන්නා තව ඔෆිස් එකකට ගිහින් දෙන්න කියලා. ඒකට ආයෙත් උඩට නගින්න ඕනා වුණා. එතනට ගියාට පස්සේ අම්මවයි මාවයි වෙන වෙනම ප්‍රශ්න කළා වගේ මතකයි. ඊට පස්සේ එතනින් නිකුත් කළා මරණ පරීක්ෂණ සහතිකය. මරණයට හේතුව : Alcoholic Liver Disease කියලා බොහොම පැහැදිලිව ඒකේ ලියවිලා තිබුණා. ඒක අපි නොදන්න දෙයක්වත්, බලාපොරොත්තු නොවෙච්ච දෙයක්වත් නොවන නිසා අපිට ඉතුරුවෙලා තිබුණේ ඒකත් අරන් පල්ලම් බහින්න විතරයි.
මමයි අම්මයි ගෙදර එනකොටත් ගෙදර සෑහෙන පිරිසක් රැස් වෙලා හිටියා. සීයලත් ගමේ ඉඳන් ඇවිත් තිබුණා. සියව දැකපු ගමන් මට හිතුණේ තාත්තා කෙනෙක්ට අකාලයේ තමන්ගේ දරුවෙක් නැති වුණාම දැනෙන දුක, පුතෙක්ට තමන්ගේ තාත්තා අකාලයේ මියැදුණාම දැනෙන එකමද කියලා. හොඳ බෞද්ධයෙක් වුණ සීයා, බුද්ධ ධර්මයෙන් ලැබුණ හික්මීම නිසාද මංදා එච්චර දුකක්නම් පෙන්නුවේ නෑ. අම්මා එක්ක කතා කරන ගමන් අම්මාගේ හිත හදන්නත් එයා සෑහෙන්න උත්සහ කළා.
දැන් ඉතින් අපට තියෙන්නේ මිනිය ගේනකම් බලා ඉන්න විතරයි. එතකම් අවශ්‍ය වෙන සුළු සුළු දේවල් ටිකක් සකස් කරමින් අපි කාලය ගත කළා. ඊයේ තාත්තා මිය ගිය බව දැනගත්ත වෙලාවේ ඉඳලා මේ වෙනකම් කිසිම අවස්ථාවක මට තාත්තා මිය ගිහින් කියන එක පිළිගන්න හැකියාවක් තිබුණේ නෑ. හිතෙන්නෙම තාත්තා අපි අතර ඉන්නවා කියලා විතරයි. සමීපතමයෙක් මිය ගිය කෙනෙක්ට මම මේ කියන අත්දැකීම වටහා ගන්න එච්චර අපහසු වෙන එකක් නෑ. මරණය කියන භයානක සත්‍ය පිළිගන්න අපි එතරම්ම අදිමදි කරනවා.
හවස හතරට විතර තාත්තගේ මෘත දේහය තැන්පත් කරපු හර්ස් එක නිවසට ළඟා වුණා. හීනියට පටන් ගත්තු ඉකිබිදීම් මහා විශාල විලාපයක් වෙන්න වැඩි වෙලා ගියේ නෑ. හර්ස් එකෙන් අපේ කර මතට ආපු තාත්තගේ දේහය තැන්පත් කරපු පෙට්ටිය, සාලේ මැද්දේ මල්ශාලාවේ අය විසින්ම පිහිටවපු කණු හතරක් මත තැන්පත් කළේ බටහිරට ඔළුව තියන විදිහට. ඒක එකම කලබලයක්! එහෙන් අම්මලාගේ ලතෝනිය, මෙහෙන් අපි පෙට්ටිය වැටෙන්න නොදී කණු උඩ රඳවන්න ගන්න උත්සහාය. ඔය කලබල සියල්ල අස්සේ තමා හදිසියේම ඒ අසලම ඉඳන් අඬන සීයව දැක්කේ. කොච්චර ලෝක ස්වභාවය ගැන නිතර මෙනෙහි කළත්, තාත්තා කෙනෙක් හැටියට තමන්ගේ දරුවෙක්ව මිනී පෙට්ටියක බාහලා ඉන්නවා දකින්න කවදාවත් බලාපොරොත්තු නොවිච්ච සීයටත් ඒ වෙලාවේ තමන්ව පාලනය කරගන්න බැරුව යන්නැති. ඒකයි ඔහු හඬාවැටෙන්න ඇත්තේ. සීයා අඬනවා මම ඊට කලින් කවදාවත් දැකලා තිබුණේ නෑ. ඒක මගේ හිත තදින්ම කම්පනයට ලක් කළා. ඊට පස්සේ අනිච්ඡානුගව මගේ කටින් පිට වෙච්ච වචන කීපය මට මගේ ජීවිතය තියෙන තුරාම මතක තියේවි. ඒක, කවදාවත් මට ඇසට කඳුළක් එන්නැතිව සිහි කරන්න බැරි සිද්ධියක් වුණා. මේක ලියන මේ මොහොතේත් මගේ දෑස් කඳුළින් තෙමිලා.
"තාත්තේ, අර සීයා අඬනවා පොඩ්ඩක් බලන්නකො." මම කිව්වේ තාත්තව හොයන්න වටපිට බලන ගමන්මයි.
ඊළඟ නිමේෂයේදී හෙණයක් ගැහුවා වගේ මම කියපු වචන වල බරපතල කම මටම වැටහෙනකොටම තාත්තා තවදුරටත් අපි කවුරුවත් අඬන ඒවා බලන්න, අපේ කඳුලු පිහදාන්න අපි අතර නෑ කියන සත්‍යත් මට මුල්ම වරට තදින්ම අවබෝධ වුණා.
ඒ අවාසනාවන්ත, කනගාටුදායක ඉරිදාව උදා වුණේ අද වගේ මාර්තු 24 වෙනිදාවකයි. වෙන විදිහකට කිව්වොත් තාත්තා අපිව සදහටම හැරගිහින් අදට අවුරුදු 12ක්. මේ සටහන ඒ වෙනුවෙන්.
ooooo
ඒ අවාසනාවන්ත, කනගාටුදායක ඉරිදාව උදා වුණේ අද වගේ මාර්තු 24 වෙනිදාවකයි. වෙන විදිහකට කිව්වොත් තාත්තා අපිව සදහටම හැරගිහින් අදට අවුරුදු 12ක්. මේ සටහන ඒ වෙනුවෙන්.
මෙය, මතට ඇබ්බැහිවූ එක් පියෙකුගේ හා ඔහුගේ අඹුදරුවන්ගේ කතාවක් පමණක් නොව, අඩු වැඩි වශයෙන් එවන් සියලු පියවරුන්ගේ හා ඔවුන්ගේ අඹුදරුවන්ගේ කතාව විය හැකිය. අම්මාගේ ධෛර්‍යය හේතුකොටගෙන පියාගේ මතට වූ ඇබ්බැහිය අප කෙරෙහි බලපෑවේ සුළු වශයෙන් වුවද, එම නිසාම සිය ජීවිතයම අවාසනාවන්තවූ, අවාසනාවන්තවන දරුවන් කොතෙක්ද නම් වේද ! එවන්වූ සියලු දරුවන්ගේ නාමයෙන්, මෙලොවෙහි මතට ඇබ්බැහිවූ සියලු පියවරුන් එයින් මිදෙත්වා !!
මත්පැන් නිසාම අකාලයේ අප හැරගිය ආදරණීය තාත්තේ, කෙතරම් අඩු පාඩු සහිත වූවද ඔබ අපේ පියාණන් යැයි යන සත්‍යය වෙනස් කිරීමට මෙලොව කිසිඳු බලවේගයකට නොහැකිය. සසර සැරිසරන තුරාවටත් ඔබ අපගේ පියාණන්ම වේවායි යන්න අපගේ එකම පැතුමයි !!!
~~ සෙන්නා / 24.03.2014