Monday, April 1, 2019

කනාමැදිරි එළි

                                         Related image




මුල්ම සිතුවිල්ල වුණේ මල් වට්ටියක් වගේ අහස වහගෙන තිබුණ තරුවලින් එකක් කඩන් වැටෙනවා කියලා. ටිකක් වෙලා බලන් ඉන්නකොට තමා තෙරුණේ මම අවුරුදු ගණනාවකට පස්සේ කනාමැදිරියෙක්ව දකිනවා කියලා. මම විශ්වාස කරගෙන හිටියේ කනාමැදිරියෝ අපිව දාලා ගිහින් කියලා. ඒත් අපි තාමත් වාසනාවන්තයි. පළාතම අඳුරින් වැහිලා තියන පරිසරයක, වලාකුළක් දකින්න නැතිව තරුවලින් අහස වැහුණ පරිසරයක, ඒ තරු අතරින් එකක් එහෙට මෙහෙට ගමන් කරනවා වගේ, කනාමැදිරියෙක් පියාබලා යන දිහා බලන් ඉන්න එක හරිම ආනන්දජනක වැඩක්. එක කනාමැදිරියෙක් පියාබලා ගිහින් වම් පැත්තේ තිබුණ රඹුටන් ගහේ කොළ අස්සේ හැංගිලා යනවත් එක්කම දකුණු පැත්තෙ තිබුණ කොහොඹ ගහේ අතු අතරින් තවක් එකෙක් මතු වුණා. මම ඌ දිහාත් බලන් හිටියේ කොහාටද යන්නේ කියලා. ටිකක් වෙලා එහෙට මෙහෙට වෙවී හිටපු ඌ ටිකක් උඩට පියාබලා ගිහින් අඹ ගහේ අතු අතර අන්තරස්දහන් වුණා. අවුරුදු ගණනාවකට පස්සේ කනාමැදිරියෙක් දකින්න ලැබිච්ච් එක මට ලොකු සතුටක් වුණා. කනාමැදිරියෝ වඳ වෙනවට වැඩිය, මට උන්ව බලන්න විවේකයක්, සැහැල්ලුවක් නොතිබුණ එක තමා වෙලා තිබුණේ කියලා කනාමැදිරියෝ ගැන දිගින් දිගටම කල්පනා කරද්දි මට හිතුණා.

හුළං බින්දුවක්වත් නොතිබුණ නිසා ගහක කොළයක්වත් හෙල්ලුණේ නෑ. ඒවා නිකම් හිස් අවකාශයේ අලවලා වගේ නොසෙලී බලාගෙන හිටියා. දවල් තිබ්බ අධික දාහයේ බලපෑම මේ රෑත් තාම තියනවා. හුළං පොදක්වත් ආවනම් හොඳයි කියලා හිතුණට හුළං තිබුණෙම නෑ.

අඹ කොළ අතර හැංගිච්ච කනාමැදිරියා ආයෙත් මතුවුණා. ඌ අඹ ගහේ කොළ අතරෙම එකෙල මෙකෙල වෙවී හිටියා. ගහේ අඹ හැදෙන්න ඕනා කාලෙ වුණත් අඹ මල්වත් ඇවිත් තිබුණ බවක් මට මතක නෑ. පොඩි කාලේ මේ වත්තෙ තිබුණ අඹ ගස්වල වගේම සීයලෑ පළාතෙ තිබුණ අඹගස් වලත් කොච්චර ගෙඩි හැදුනද අවුරුදු කාලෙට! දැන් මොකද වෙලා තියෙන්නේ! අඹ ගස් අපිත් එක්ක තරහා වෙලාද? ඒ කාලේ අපි අඹ කාපු කෑම කොච්චරද කිව්වොත් අවුරුදු ඉවර වෙනකොට ඵලදාව පිටවෙන්නේ අපේ අත් කකුල් වලින්. දැන් ගස්වල අඹ හැදෙන්නැද්ද, අපිට ගස් වටේ ඇවිද ඇවිද ගෙඩි හොය හොය කඩාගෙන කන්න වෙලා නැති වෙලා ද? මේ අඹ ගහේනම් ගෙඩි නෑ කියලා මට සහතිකේටම කියන්න පුළුවන්. මේ අඹ ගහ හැර වෙනත් අඹ ගස් වල ගෙඩි ඇති කියලා මම හිත හදා ගත්තා.

මම අඹ ගැන කල්පනා කර කර ඉන්න අතරේ රඹුටන් ගහේ හැංගුන කනාමැදිරියා එළියට ඇවිත් අහසේ තරුත් එක්ක මුහු වෙලා යනවා දැක්කා. එ එක්කම පියඹලා ගිය වවුලන් දෙන්නෙක් මගේ අවධානය උගෙන් උදුර ගත්තේ නිරායාසයෙන්.

ඇත්තෙන්ම ඒ වවුලන්ගෙ විශාලත්වය දැකලා මම පුදුම වුණා කිව්වොත් හරියටම හරි. උන්ගෙ ලොකු! අත්ත‍ටු දෙක අතර පරතරය අඩි තුනක්වත් ඇති මට හිතුණ හැටියට. දෙකයි..තුනයි.. හතරයි... මම වවුලෝ ගනින්න පටන් ගත්තා. උන් කොහේ ඉඳලා කොහාට පියාඹනවද කියලා හිතන්නයි මම වෙහෙසුණේ.. සමහර විට උන් අඹ කන්න යනවා ඇති.

කනාමැදිරියා පහතට පියාඹලා වැට මායිමේ තිබුණ නාරං ගහ අස්සෙ ඉඳන් එළිය විහිදුවන්න ගත්තා. නාරං ගහේ ගෙඩි ඇවිල්ලා. ඔය ගෙඩි මවන්න සොබදහම ක්‍රියාත්මක වෙච්ච හැටි මට රහසක් නෙමේ. මී මැස්සෝ ඇවිල්ලා නාරං මල්වල දැවටෙමින් උන්ගේ සේවය ඉ‍ටු කරනවා මගේ කැමරා කාචයේ සටහන් වෙලා තියනවා. උන්ගේ මහන්සිය සාර්ථකයි. ගහ ගෙඩි වලින් පිරිලා නැතත් සැලකිය යුතු තරමක පලදාවක් තියනවා.



නාරං ගහ ලගිම තියෙන්නේ මම වැට මායිමේ හිටවපු තේක්ක පැල තුනෙන් එකක්. ඒක පොඩිම එක. අනිත් දෙක ඊට වැඩිය උසයි. ඊට පස්සේ කෝපි පඳුරු වගයක් වැට දිගටම තියනවා. විවිධත්වය. ගේ ඉස්සරහාම දකුණු පැත්තේ අඹ ගහ, කොහොඹ ගහ, කරපිංචා ගහක්, රඹුටන් පැළයක්. වම් පැත්තෙන් රඹුටන් ගහ, නාරං ගහක්, නෛනං පැළයක්, ක‍ටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ මැද්දේ හිටවලා තියන ගස් වර්ගය ඇතුළුව නම නොදන්න ගස් වර්ග කිහිපයක්. වැට මායිම දිගේ කෝපි ගස්, තේක්ක ගස්, නාරං ගහ, පේර ගහක්. පොඩි ඉඩේ සැලකිය යුතු තරමක වෘක්ෂලතා ගහණයක් තියනවා. උදේට කුරුල්ලන්ගේ කිචි බිචියෙනුත් අඩුවක් නෑ. ඒවා රසවිඳින්න වෙලාවක් තමා නැත්තේ. 

රිද්මයකට වතුර වැටෙන ශබ්දයක් ආවේ ඉස්සරහා ගෙදරින්. ගෙදරින් පිටට වෙන්න හදලා තිබුණ නාන කාමරයක කවුරු හරි නාමින් හරි ඇඟ හෝදමින් හරි හිටියා. දුර්වල ඉටිපන්දම් එළියක් ඒ අසලින්ම නික්මුණා. එකම රිද්මයකට වතුර වැටෙන තාලය අල්ල ගන්නයි මම වෙහෙසුණේ. ටිකකින් ඒ ශබ්දෙත් නැතුව ගිහින් මුළු පරිසරයම නිහඬ වුණා. මිනිස් ක්‍රියාකාරකම් නැති පරිසරයක් බොහෝ විට හරිම නිහඬයි, නිශ්චලයි.

මගේ ළඟ තිබුන ඉටිපන්දමේ දැල්ල වේගෙන් වැනෙන්න ගත්තේ හුළඟක් ඇවිත්නම් නෙමේ. මැරෙන්න ළංවෙනකොට ශක්තිය වැඩිවෙනවා කියනවනේ. ඉටි පන්දම තමන්ගේ අන්තිම මොහොත ගතකරමින් හිටියේ. ඉටිපන්දම ජීවිතේ ‍රැකගන්න දාන වෙහෙස දැකපු මට විද්‍යා පාඩමයි බුද්ධාගමයි දෙකම මතක් වුණා. ඉන්ධන, ඔක්සිජන් වායුව හා ජ්ව්ලන උෂ්ණත්වය යන සාධක තුන එකතු වෙන තැන ගින්නක් හට ගන්නවා කියලා නේද ඉගැන්නුවේ. එකක් හරි ඉවත් වුණාම දහනය නැතුව යනවා. ගිනි නිවන්න පාවිච්චි කරන්නේත් ඔය න්‍යායම තමා. ඒ විද්‍යා පාඩම. ඒ වගේම සංසාරයේ පැවත්තමට අවශ්‍ය සාධක ඉවත් කළොත් එතන නිර්වාණය ඇති වෙයිද? එකක් ඇතිද? ඔක්කොම ඉවත් කරන්න ඕනද? අසම්පූර්ණ දැනුම. කාටවත් ප්‍රයෝජනයක් නෑ. නිර්වාණයට උදාහරණයක් හැටියට කවුරුහරි හාමුදුරුනමක් ගිනි දැල්ල උපමා කරල දැක්කුවා වගේ මතකයක් තියනවා. ඒ මතකය තමා විද්‍යාවයි, බුද්ධාගමයි එකට සම්බන්ධ කළේ. පණ ගහගන්න විශාල අරගලයක් කරපු ඉටි පන්දම සොබාදහමට යටත් වුණා. ආයෙ නො එන්නම නිවිලා ගියා. ඒ ඉටි පන්දම ආයෙ කවදාවත් පත්තු වෙන්නෙ නෑ. දැන් පළාතම අඳුරුයි. 

තීවෘර වුන අඳුර මැද්ද ආපහු කනාමැදිරියෝ දෙන්නම අනන්ත අප්‍රමණ තරු අස්සේ හැංගෙමින්, මතු වෙමින් ආයෙත් සෙල්ලම් කරන්න ගත්ත. කනාමැදිරියන්ගෙන් මිදුන මගේ සිත පෘතුවියෙනුත් එහාට ගියා. තරු, කවදාවත් ගැනලා ඉවර කරන්න බැරි තරු. සමහර තරු ඔය පෙනුනට මීට කාලෙකට කලින් මැරිච්ච ඒවලු. ඒව දැන් ඇත්තෙත් නෑලු. ඒත් අපිට තාම පේනවා. විශ්වයේ දිග පළල ගැන හිතන්න ගියාම ඇත්තටම ඔලුව විකාර වෙන එක නවත්වන්නම බෑ. ඔය තරු වගේ පෙන සමහර එළි ග්‍රහලෝක වෙන්නත් ඇති. ඒවයේ අපි වගේ ජීවීනුත් ඇති සමහර විටක. එහෙම නේද? නෑයි කියන්න පුළුවන්ද? මට මතක් වුනේ මට ඉස්සර හිතුන සමාන්තර ග්‍රහලෝකය ගැන.  මේ වගේම තවත් පෘතුවියක් තියනවා මේ විශ්වයේ. ඒක් මොන අතින් ගත්තත් අපිට සමානයි. ඉන්න සත්තු, ගහකොල, මිනිස්සු ඔක්කොම සමානයි. කොටින්ම ඒක මේකෙ ප්‍රති බිම්භයක්. මෙහෙ තියෙන්නෙ මොනාද එහෙත් ඒවා තියනවා. මෙහෙ වෙන්නෙ මොනවද එහෙත් ඒකම වෙනවා. වෙන එකක් තියා, එහෙ ඉන්න මම, මේ නිශ්චිත මොහොතේ මිදුලේ වාඩි වෙලා අහස දිහා බලාගෙන සමාන්තර පෘතුවියක් ගැන හිතමින් ඉන්නෙ. ඕවා කාටවත් නොකිව්වට කමක් නෑ. නැත්නම් ඒ පෘතුවියෙ ඉන්න අහිංසකයත් හෙට ඉඳන්, එහෙ තියන අංගොඩ.

ඇත්තටම් මේ විශ්වයේ මෙච්චර තරු ගොඩකුයි, ග්‍රහලෝක ගොඩකුයි තියෙන්නෙ මොකටද? කගෙ උවමනාවකටද? මොකටද මිනිස්සු, සත්තු ඉපදිලා මැරිලා යන්නේ? මොකක් සඳහාද? උත්තර නැති ප්‍රශ්ණ!

පෝය පහුවෙලා ටිකක් කල් නිසා හඳක් පේන්න නෑ. තව අවුරුදු පහකින් ආයෙ හඳට යන්න ප්ලෑන් එකක් තියනවාලු. හඳත් නැති වෙන පොටක් වෙයිද දන්නැ ඒක.! බෙයාර් ග්‍රිල්ස් ස්කව්ට්ලා කට්ටියක් එක්ක ISS එකට යන්න හදනවා කියලා අද නිවේදනය කරලා තියනවා දැක්කා. ඒකනම් මරු අත්දැකීමක් වෙයි පොඩි උන් ටිකට. අහස දිහා බලාගෙන කොහෙ කොහෙ යන්න පුළුවන්ද!

යාන්තම් පොඩි හුළඟක් හමලා ගියා. දැනුන සිසිල කියන්න වචන නෑ. මෙච්චර වෙලා අලවපු පින්තූර වගේ හිටපු ගස් වල කොල යාන්තම් හිනා වුනා. මුලු පරිසරයේම එකම සජීවී වස්තු දෙක වෙච්ච කනාමැදිරියෝ දෙන්නා පියාබල ගිහින් කොහොඹ කොල අස්සේ හැංගුනා. කොහොඹ ගහක් කියන්නේ සොබාදහමේ  තවත් අපූරු නිමැවුමක්. ඒ සිසිල වචන වලින් විස්තර කරන්න බෑ. අපේ පරණ ගෙදර පිටි පස්සේ තිබුන මහ විශාල කොහොඹ ගහ මතකද? ගෙදර ඉස්සරහා මිදුලේ වාඩි වුනාම ගෙට උඩින් අහස පුරා පැතිරුනු ඒ කොහොඹ ගහ පේනවා. ඒකේ විශේෂත්වය ඒක නෙමේ. හුළගට ගහ හෙලවෙනකොට ඒකෙන් හරි අපූරු රටාවක් මැවෙනවා. පීරිසියක තියාගන තේ බොන මසුස්සයෙකුගේ දර්ශණයක්. අපි කිව්වේ "තේ බොන්නා" කියලා. මම ඉස්සර පැය ගනන් මිදුලේ වඩි වෙලා ඒක දිහා බලන් ඉන්න ඇති. ලිඳේ කාණුව කොහොඹ ගහේ මුලට හරවලා වැඩි දවසක් ගියේ නෑ ගහ මැරෙන්න ගත්තා. දන්න කෙනෙක් කිව්වේ කොහොඹ වලට වැඩිය වතුර හොඳ නැ කියලා. අපරාදෙ මතක් වෙද්දිත දුකයි. ඒ නැතත් අද වෙද්දි කොහොමත් ඒ ගහ එතන තියෙන එකක් නෑ. මගේ දැන් ගේ හදලා තියෙන්නේ ඒ ගහ තිබුන තැනත් වහගෙන. ඒක එක්ක බලද්දි මේක පොඩි පැලයක්. මෙයත් දවසක ඒ වගේ රටා මවයි. ඒත් ඒ රටා බලන්න මේ පර්චස් දහයේ ඉඩ මදි වෙයි.

හෙනයක් ගැහුවා වගේ පලාතම ඒකාලෝක වුනා. "ලයිට් ආවා" පුතා ගේ ඇතුලේ ප්‍රීතියෙන් උඩ පනිනවා ඇහුනා. මම නැගිටලා ගෙට ගිහින් ටීවී එක ඉස්සරහ තිබුන සෝෆා එකේ වාඩි වුනේ රිමෝර්ට් එක අතට ගන්න ගමන්.

ලියුවේ:
සෙන්නා / 01.04.2019


රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog