Showing posts with label ආ ගිය. Show all posts
Showing posts with label ආ ගිය. Show all posts

Thursday, December 8, 2011

පීටී සර්ගේ ගණිත පාඩම


උඳුවප් 08, 2011



ඔන්න එහෙනම් හා හා පුරා කියලා ලියන්ඩයි හදන්නේ....බ්ලොග් එක ආරම්භ කරද්දිනම් හිතාගන හිටියේ ආ ගිය කථා නැතුව වෙන මොනවා හරි දෙයක් කරන්ඩ කියලා. ඒත් දැනට එහෙම නව අදහසක් හිතට එන පාටක් නැහැ. ඒක හින්දා වේලීමෙන් මිදෙන්ඩ මේකෙන්වත් පටන් ගත්තොත් හොඳයි කියලා හිතුනා.

මේ කථාව මට මතක් උනේ සඳරුගේ හිස් අහස පැත්තෙ රව්මක් ගහගන ඉන්නකොට, පැනියා සර්ට වෙච්ච අලකලන්චිය දැකලා.

මේකත් පීටී සර් කෙනෙක් ගැන තමා, හැබැයි දෙබරුන්ගෙන් ගුටිකාපු කථාවක් නම් නෙමේ. වැල්වටාරම් නවත්වලා එහෙනම් අපි කථාවට යමු.

පීටී කාරයා.

මට දැනගන්ඩ ලැබිලා තිබුන හැටියට මෙයා හමුදාවේ ඉඳලා, කකුලට වෙඩි වැදීමක් නිසා අයින් වෙච්ච කෙනෙක්. ඕකෙ ඇත්ත නැත්ත දැන ගන්ඩ මට ක්‍රමයක් තිබුනේ නැහැ, ඒක නිසා මම ඒක විශ්වාස කලා. හැබැයි එක කකුලක පොඩි බකලයක් වගේත් තිබුනා. මෙතුමා ඉතින් උදේ හවහා ළමයින්ව පිට්ටනියට අරගන ගිහින් තමන්ට පැවරිලා තිබුන ගුරුකම කරගන හිටියා. මෙයා ටිකක් පාසලේ ඉහල පන්තිවල ළමයි අතරත්, විශේෂයෙන්ම ගෑනු ළමයි අතරත්, අනිත් තරුණ ගුරුවරු අතරත් ටිකක් ජනප්‍රියයි. අපි මෙයාට ජයසූරිය කියමුකො.

අපි දැන් එයාට එයාගෙ වැඩේ කරගන්ඩ ඉඩ දීලා, ගිහින් බලමු මෙයගෙ යාළුවා මොකද කරන්නෙ කියලා.


ගනන් කාරයා

මෙයා වැසිකිලි ගිහිල්ලා පිට කරන්නෙත් ඉලක්කම් කියලා තමා ඒ දවස්වල ඉස්කෝලේ හිටපු නොහොබිනා කොල්ලො කථා වුනේ. මෙයාට ඉතින් මුළු ජීවිතේම ගනන් තමා. හැම තිස්සෙම කියන්නෙත් ගනන් ඉඟන ගනිල්ලා, වෙන මොනවත් කරන්ඩ එපා වගේ දෙයක් තමා. එච්චර පිලිවළකට ඇන්දේ කෙරුවේ එහෙම නැහැ. කුම්මැහියෙක් කියලත් කියනවා. හැබයි ඉස්කෝලෙදි හරියට උගන්නන්නෑ, ඒවා ඕනනම් ගෙදර පන්තියට යන්ඩ ඕනා. හැම තිස්සෙම අනිත් විෂයන් දෙකේ කොලේට දාලා තමා කථාව. විශේෂයෙන් පීටී. ඕක හින්දා පීටී සර් සහ මෙයා අතර සීතල යුද්ධයක් තිබුනා. හැබැයි, මූනට හම්බුනාම කරට අතදාගන කතාව.

ගණිත පාඩම

ඔන්න එදා අපිට හිස් පීරියඩ් එකක්, මොකද අදාල ගුරුතුමා ඇබ්සන්ට්. පීටී සර්රුත් ඉතින් වැඩක් නැති වෙලාවට ඔය වගේ පන්තියකට රිංගලා කට්ටිය උළු හොල්ලන එක නතර කරගන ඉන්නවා.

"මොකක්ද දැන් තියන පීරියඩ් එක "  පීටී සර් අපේ පන්තියේ මේසෙ කොනකට බර වෙන ගමන් ඇහුවා.


"විද්‍යාව සර් "

" කෝ අද ටීචර් නැද්ද ? "

" නැහැ සර් " මොනිටරයා උත්තර දෙනවා..

ඉතින් ටිකවෙලාවක් පීටී සර් අනං මනං කථා කර කරහිටියා. අපිටත් ඉතින් මේ වැඩේ හරි ජොලි. ඊට පස්සෙ තමා පීටී සර් ගනන් පාඩම පටන් ගත්තෙ.

"උඹ්ලට මම දැන් එක අවවාදයක් දෙන්නම්, මොනවා ඉගන ගත්තේ නැති උනත් කමක් නැහැ ගනන් ඉගන ගනිල්ලා. ගනන් පාස් වෙයල්ලා " පීටී සර් සරදම් හිනාවක් එක්ක කිව්වා. අපිටත් ඉතින් දෙන්නගෙ කෝන්තරේ දන්න හින්දා මෙයා මේ ගහන්නෙ හින්ට් එකක් කියලා තේරුනා. අපිත් ඉතින් ඔලොක්කුවට වගේ අවලන් හිනාවක් දැම්මා.

" ඇයි උඹලා හිනා වෙන්නෙ, මම මෙ විහිළුවක් නෙමේ කරන්නේ"

"දැන් බලපල්ලා, මේ ඉඩම් කට්ටි වෙලා ගෙවල් හැදීගන යන විදිහට, අනාගතයේදී උඹලා විභාග ෆේල් වෙලා පොල් කඩන රස්සාව කෙරුවත් උඹලට ගනන් ඕනා. ඇයි, අල්ලපු ගෙදර මිනිහගෙ උළු ටික බිදින්නැතුව ගානට සරල රේඛාවක් දිගේ ගහ මුලටම ගෙඩිය අතාරින්ඩ උඹ්ලට ගනන් ඕනා. නැත්නම් ඉතින් අල්ලපු ගෙදර මිනිහා වලියට එනවා, ඊලඟ මුරේ ඉඳලා උඹලට වැඩ නැහැ. ඒක හින්දා පීටී නොකලට, අනිත්වා නොකලට කමක් නැහැ ගනන් ඉගන ගනිල්ලා " ඔහොම කියපු පීටී සර් මහ හයියෙන් හිනා උනා.

ඔන්න ඕක තමයි ඉතින් පීටී සර්ගෙ ගනන් පාඩම. ගනන් සර්ගෙන් ඉගන ගත්තු, ත්‍රිකෝණයක කෝන තුනේ එකතුව ඔන්න ඔය කීයකටද මන්දා සමානයි කියනවට වඩා,  ඒක කොච්චර යථාර්ථවාදිද කියලා මට අද හිතෙනවා.

අදට ඔය ඇති. පස්සෙ හම්බෙමු. කියවලා බලලා අඩුපාඩුවක් දැක්කොත් හදයි කියලා බලාපොරොත්තු වෙනවා. ගල්, මුල්, මල්, අපහාස, උපහාස, සරදම්, සාදරයෙන් පිළිගන්නවා. ව්‍යාකරන සහ අක්ෂර වින්‍යාස දෝශ හැදුවොත් පින්.

ලියන්ඩ දෙයක් නැතුව වේලි, වේලි ඉද්දි කථාව මතක් කරලා දීපු, සඳරුටයි, පැණියා සර්ටයි, ස්තූතියි.

පින්තූරය :  google images.


Sechszehn හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog