Showing posts with label විවිධ. Show all posts
Showing posts with label විවිධ. Show all posts

Sunday, October 27, 2013

නොමිනිසුන් මැද මිනිසත්ව......

2013 වප් මස 27 වනදා

මාජය පිරිහිලා කියන එක තමා අද පොදු මතය. ඉස්සරහට තවත් පිරිහෙයි කියලත් සමහරු අනුමාන කරනවා. ඒ කියන්නෙ අපේ ආච්චි, සීයලෑගෙ කාලෙ තිබුණ ගුණයහපත්කම්, සාමාජීය ආචාර ධර්ම මේ වෙනකොට සැලකිය යුතු මට්ටමකින් පිරිහිලා කියන එක තමා කියවෙන්නෙ. සමස්තය සලකලා බැලුවම හා එදිනෙදා ඇහෙන ප්‍රවෘත්ති බැලුවාම ඒ කතාව බොරුයි කියලා ප්‍රතික්ෂේප කරන්නත් හැකියාවක් නෑ. වර්තමාන සමාජයේ, අපිත් ඇතුළුව අති බහුතරය ආර්ථික රැල්ලේ ගසාගෙන යමින් අසීමිත තරගකාරිත්වයක වෙලිලා ඉන්න නිසා සෑමවිටම උත්සහා කරන්නෙ තමන්ගෙ ඉලක්කයන් සපුරා ගන්න මිසක්, අන් අය වෙනුවෙන් කැපවෙන්නවත්, පොදු යහපත උදෙසා සියා කාලය ශ්‍රමය මිඩංගු කරන්නවත් කිසි කෙනෙකුට හැකියාවක්වත්, උවමනාවක්වත් නෑ. ඒත් ඔය තත්ත්වයට ව්‍යතිරේකයන් ඇත්තේම නැද්ද ? නෑ, තියනවා. මේ කියන්න යන්නෙ ඒ වගේ මනුස්සයෙක් ගැන. ඇත්තෙන්ම මේක ඔහුගේ උතුම් සේවයට කරණ ඉතාම සුළු ඇගයීමක් කිව්වත් නිවැරැදයි. පුද්ගලිකව මම ඔහුව අඳුනන්නෙවත්, නම, ගම ආදී විස්තර කිසිත් දන්නේවත් නෑ. මම දැකලා තියෙන්නෙ ඔහු කරන උතුම් කාර්‍යය විතරයි.

+++++++

අපේ ගමේ ඉස්කෝලෙ ප්‍රධාන ගේට්ටුව තියෙන්නෙ රේල් පාරක් ඉස්සරහා. ගමේ ඉස්කෝලෙ කිව්වට මේක ළමයි දෙදහක් විතර ඉගන ගන්න ජාතික පාසලක්. එතකොට ඔය දෙදාහෙන් 95%කට ආසන්න ගාණක් උදේ හවා ඔය රේල් පාර උඩින් තමා යන්න එන්න ඕනා. අපි පොඩි කාලෙ ඉස්කෝලෙ යනකොටත්, මේ මෑතක් වෙනකම්මත් ඔය තත්ත්වය ඔහොම්මම තමයි. ඒ කියන්නෙ අනාරක්ෂිත දුම්රිය  හරස් මාර්ගයක් හරහා තමා ළමයින්ට ගමන් කරන්න වෙලා තිබුණෙ. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්මයා අනාරක්ෂිත ගේට්ටු හැම එකකටම උණ බම්බු ගේට්ටු දාපු කාලෙනම් ඔතනට බම්බු ගේට්ටුවක් වැටිලා තිබුණට කාලයත් එක්ක ඒ බම්බු දිරලා ගිහින් ආයෙත් පරණ පුරුදු තත්ත්වයටම ආවා. ඒ කියන්නෙ ආනාරක්ෂිත හරස් මාර්‍ගය. අපි ඉස්කෝලෙට සමුදීලා එනකනුත් තත්ත්වය එහෙම්මම තමා. ඊට පස්සෙ මීට අවුරුදු හය හතකට කලින් ඔතෙන්ට සවි කළා සීනුවක් විතරක්. ඒක කෝච්චියක් එනකොට ටෑන් ටෑන් ගාලා වදිනවා. හැබැයි ගේට්ටුවක් නෑ.

තත්ත්වය් ඔහොම තියනකොට ඔතෙනට එනවා මම මේ කියන මනුස්සයා. එයාගෙ දරුවෙක් හරි මුණුබුරෙක් හරිත් ඉස්කෝලෙ ඉගන ගන්නවාලු. උදේ හයා මාරට එතනට එන මේ මනුස්සයා කෝච්චියක් එන ගානෙ ළමයින්ව රේල් පාර ගාව නවත්ව ගන්නවා. ඒ විතරක් නෙමේ වාහන වලටත් සංඥා දෙනවා, හරහා යන්න ආරක්ෂිතද නැද්ද කියලා. එයාගෙ වැඩ අවසන් කරලා යන්නෙ උදේ අටට විතර. ඒ ගිහින් ආයෙත් එනවා දවල් එකොළහා මාර වෙනකොට.

අවුරුදු ගාණක් මේ මනුස්සයා කිසිම ප්‍රතිලාභයක් නොලබා, අනුන් වෙනුවෙන් මෙහෙම කාලය ශ්‍රමය මිඩංගු කරනවා. ඔය අතරෙදි තමයි ඉස්කෝලෙ ළමයෙක් ඒ ආසන්නයේ තියන දුම්රිය පළේදි කෝච්චියට දිවි දෙන්නෙ. එතකොට තනි රේල් පාර, දෙකක් කරපු අලුත. ෆ්ලැට්ෆෝම් දෙකකුත් වැටිලා. හැබැයි ෆ්ලැට්ෆෝම් හරහා යන්න ගුවන් පාලමක් නෑ. ඉස්කෝලෙ ඇරිලා ළමයි ටික ඔක්කොම වෙනදා පුරුදු ෆ්ලැට්ෆෝම් එකේ ඉන්නවා කෝච්චිය එනකම්. හදිසියෙම දුම්රිය ස්ථානාධිපති කියනවා කෝච්චිය එන්නෙ අනිත් ෆ්ලැට්ෆෝම් එකට කියලා. දැන් මොකද කරන්නෙ ! කෝච්චියත් ළඟ ළඟම එනවා. වෙන විකල්පයක් නෑ මේ ෆ්ලැට්ෆෝම් එකෙන් රේල් පාරට බැහැලා, රේල් පාර හරහා ගිහින් අනිත් එකට නගිනවා හැර. නැත්නම් ඉතින් ඊළඟ කෝච්චිය එනකම් ඉන්න වෙනවා. ඔක්කොම ළමයි ඒ ක්‍රියාන්විතය ජය ගන්න සමත් වුණත්, එක ළමයෙක් අසමත් වෙනවා. අනිත් ෆ්ලැත්ෆෝම් එකට නගින්න ඕන්න මෙන්න තියලා කෝච්චිය අර ළමයව යට කරගෙන යනවා.

ඒ  ළමයගෙ ජීවිත පරිත්‍යාගය තමයි බළධාරින්ගෙ ඇස ඇරවන්නෙ, මෙතෙනට ගුවන් පාලමක් අවශ්‍යයයි කියන කාරණය සම්බන්ධයෙන්. ඒ එක්කම වගේ කලින් කියපු දුම්රිය හරස් මාර්‍ගයට ගේට්ටුවකුත් වැටෙනවා. ඒ කියන්නෙ අර මනුස්සයට තමන් කරපු සේවය නවත්වල දාන්න පුළුවන්. ඒත් ඔහු එහෙම කරන්නෑ. හැමදාම එනවා. මමත් හැමදාම උදේට වැඩට යනකොට ඔහුව දකින වාරයක් පාසා කල්පනා කරන්වා ඇයි මේ මනුස්සයා තාම එන්නෙ, දැන් ගේට්ටුව තියනවනෙ කියලා. ඒ කට උත්තරේ මට හම්බුනේ මේ ඊයෙ පෙරේදා දවසක කෝච්චියක් යනකම් රේල් ගේට්ටුව ගාව හිටගෙන ඉන්න වුණාම. මම ගත්තා අතේ තිබුණ ෆෝන් එකෙන් පින්තූරයක්. උත්තරේ එතන තියනවා.

මේ සටහන තියන්න මම ඒ උතුම් මිනිසාගෙන් අවසරයක් ගත්තේනම් නැ. මේ වගේ සටහනක් තියන්න එහෙම අවසරයක් අවශ්‍යය නැතිව ඇති නේද ?




+++++++

මීට අවුරුදු හයකට කලින් අද වගේ ඔක්තෝබර් 27 වෙනිදාවක ඔයා ඉපදෙනකොට හරිම චූටියි. දැන් ඔයාට අවුරුදු හයක් වගේම ඉපදෙනවට හිටියට වඩා උස මහතයි. ඉස්සරහට තව තවත් ලොකු වෙයි. කොච්චර ලොකු වුනත් පොලවෙ පය ගහලා ඉන්න ඉගන ගන්න. ඔය උඩ ඉන්න සීයා වගේ හැකි හැම වෙලාවකම අනුන්ට උදව් කරන්නත් පුරුදු වෙන්න. මේක අද නොකියෙව්වට  ඔයා කවදා හරි කියවයි. එදාට, ගන්න පුළුවන් ආදර්ශයක් අරගෙන හොඳ මිනිහෙක් වෙන්න, ලොකු මිනිහෙක් නෙමේ. අම්මගෙයි, තාත්තගෙයි පැතුම එච්චරයි. සුබ උපන් දිනයක් වේවා !!





~~ සෙන්නා / 27.10.2013

Sunday, December 16, 2012

ලෝකය සරලව ළමයකුගේ ඇසින්



2012 උඳුවප්  16 වනදා

ද වැඩිය කියවන්ඩ නෑ.. පින්තූර විතරයි. කම්මැලි පෝස්ට්...ළමයෙක් ලෝකය දකින්නෙ කොහොමද කියලා බලන්ඩකො.

සමහර ඒවානම් වටහා ගන්න අමාරුයි. ළමා මනස කියවීමේ විශේෂඥයො ඉන්නවනම් දෙන්න පුළුවන් ඒවා ගැන විශ්ලේෂණ හෝ විචාර.

වැඩි කතා මොකටද.. ඔහොම්ම යමු පල්ලෙහෑට...


1. කඩල-පළතුරු...

2. මල හා ළමයා...

3. දෙන්න බලන්න විශ්ලේෂණයක්... 

4. අල්ල භාවිතයෙන් ඇඳපු කුරුල්ලෙක්. පෙර පාසලෙන් උගත් දෙයක්.. 

5. උදය
6. සත්තු වත්ත
7. අපට උදව් කරන්නෝ
7. අපට උදව් කරන්නෝ
8. පියුම් මාමා
9. අල්ල භාවිතයෙන් ඇඳපු මාළුවෙක්...උගත්තේ පෙර පාසලෙන්
10. කොළ වගයක් වගේ...



11. මේකත් හිතා ගන්න අමාරුයි.. | ප.ලි. බස් එකේ ඉස්කෝලෙ යනවා කියලා සිත්තරා කියනවා.
12. මේකත් පෙර පාසලෙන් උගත් දෙයක්.. තේරුම් ගන්න අමාරුයි.
13. මේකත් එහෙමයි
14. මේකත් එහෙමයි | ප.ලි. මේ "පලතුරු"ලු මම චිත්‍රෙ අනිත් පැත්තට දාලා තියෙන්නෙ හෙහ්..
15. මෙයාව දන්නවද ? මකුළු පැංචා.. කොහොමද හිනාව 
16. මෙයානම් කැරපොත්තෙක් වගේ.. | ප.ලි.  මෙයා මාලුවෙක් කියලා සිත්තරා කියනවා. මෝරෙක්ලු
17. මේකත් මොකක් හරි දර්ශනයක්. තේරුම් ගන්න අමාරුයි.


18. කැලයක් වගේ..


19. ගොවියා. ඔය දුඹුරු පාට එක මොකක් කියලද හිතන්නෙ ?

20. මකුළුවා සමඟ දිවියා

21. හරකා
22. කුකුළා ගස් උඩ. මෙයාව හොඳයි " සැවුලෙකුගේ විලාපය " චිත්‍රයට
23. මොකක් වෙන්න පුළුවන්ද ?
24. මේකත් ගැටළුවක්..
25. පළතුරුද ?

26. මේකත් අභිරහසක්.. | ප.ලි.  මේක මල් වත්තක්ලු
27. සත්තු. උඩින්ම ඉන්න එකානම් වල් ඌරෙක් වගේ..
28. කුරුල්ලෝ..

29. කුරුළු කූඩුවක්ද ?  Nest කියලනම් ලියලා තියනවා..
30. රොබෝ කෙනෙක්..

31. සල් මල් යාය

32. ඉර හඳ එකවර දෙපස නැගේ..
33. දුම්රියක්..

34. විලක් වගේ...

35. බැටළුවන්ගෙ ලොම් කපන්නෙ මෙහෙමයි.. 

36. ඩයිනෝසිරස් මහතා | ප.ලි.  මේක සිත්තරා පාට කරලා විතරයි.

37. මලක් වගේ..


38. ආශ්චර්යයෙන් පසු...


39. මේකත් අභිරහසක්. පුළුවන් අය විසදන්න..


40. දොරක් තියන කළු ගලක්ද මන්දා.. | ප.ලි. මේක කන්දක්ලු
41. මාළු ටැංකිය

මේ ඉන්නෙ සිත්තරා...............








"පොඩි සෙන්නා"

බ්ලොග් ලියන, කියවන නැන්දා, මාමලා හිතුන දෙයක් කියලා යන්ඩකො. සිත්තරා ලියන්ඩ පුරුදු වෙච්ච දවසක පිළිතුරු හම්බෙයි..

~~ සෙන්නා / 16.12.2012

Sunday, May 13, 2012

සොඳුරු නිරික්ෂකයාණනී, ඔබට සුබ රාත්‍රියක් !!!!!


මෙය මා කිසිසේත් ලියන්නට සිටි බ්ලොග් සටහනක් නොවේය. එහෙත් ඔබ වෙනුවෙන් මේ කෙටි සටහන නොතැබුවහොත් මා අමනුස්සයෙකි.

වෙනදා පරිධිම කාර්යාලයට ගොස් කළ පළමු කාර්යය වූයේ බ්ලොග් එක විවෘත්ත කර බැලීමයි. බ්ලොග් රෝලේ වූ මාරයගේ අලුත්ම ලිපියට නිතැතින්ම ඇස යොමු විය.

" අවුරුදු සීයාගේ නික්ම යෑම...ඔබා අයියේ ඔබට නිවන් සුවයම හිමි වේවා..! "

මොහොතකට සිත ගල් ගැසිනි. මදකුදු පමානොවී සැබැඳියේ ක්ලික් කෙරුවෙමි. කවදාවත් නොදුටු මිනිසෙකු තොප්පියක් දමාගන සිටගන සිටින පින්තූරයක් සමඟ මොන මොනවාදෝ ලියා තිබුනි. ඒ පුද්ගලයා ප්‍රොෆිල් පින්තූරේ වූ ඔබා මාමා වගේ නෙමේය. බරවූ සිතට පොඩි සහනයක් ලැබින.

"මේ මාරයාගේ වෙන කවුදෝ හිතවතෙක් මිසක් අපේ ඔබා මාමා නෙමේ. කවුරු හරි ඔබේසේකර හරි ඒවගේ නමක් තියන මාරයාගේ අඳුනන කෙනෙක් වෙන්න ඇති."  ඒ මගේ හිත මට කියපු දෙයයි.

එහෙත් උඩින් පල්ලෙන් ලිපිය කියවාගෙන පහලට ගියෙමි. දුටු දෙයින් ඇස අදහා ගත නොහැකි විය.

// හඳුනාගත් දින පටන් අප සතුටින් තැබූ පිනෙන්ම
සනත් (ඔබ්සවර්)
අයියේ නුඹට නිවන් සුවයම ලැබේවා..! //

තවත් ඉතින් අටුවා ටීකා කුමටද. මගේ දෑස් මටම හොරා තෙත්වී තිබුනි. කිසිදා නොදුටු, හමු නොවූ, සුන්දර මිනිසකු වෙනුවෙන් මාගේ දෑසින් කදුලු කැට වැටෙමින් තිබුනි. ඒ ඔබගේ විශේෂත්වයයි.

ජීවිතය සහ මරණය ගැන කෙතරම් කරුණු කාරනා දැන සිටියත්, ජීවිතය අනිත්‍යයි බව දැන සිටියත් ඒ කඳුලු නවතා ගැනීමට මට නොහැකි විය.

මුලු බ්ලොග් අවකාශයේම ලොකු කුඩා කා අතරත් එකසේ ජනප්‍රිය චරිතයක් වූ ඔබා මාමේ, ඔබ අප වැනි අංකුර බ්ලොග් කරුවන්ගේ ලිපිත් නොවරදවාම කියවමින් කමෙන්ට් එකක් දමා දිරි ගැන්වීමට තරම් නිහතමානී විය. කාගෙන් නැතත් ඔබා මාමාගෙන් කමෙන්ට් එකක් ලැබෙන බව මට සක්සුදක් සේ පැහැදිලිව තිබූ කරුණකි. අදින් පසු ඒ කමෙන්ට්ස් නැත. ඔබා මාගේ සුන්දර සිනහවද සමඟින් අපට ලැබෙන ධෛර්යය අදින් පසු අපට නැත. ඒ සිනහව මරුවාට පරාජය වී ඇත.

මගේ බ්ලොග් එකට අවසාන කමෙන්ට් එක දමා "තවමත් සිතින් තරුණයි" කී ඔබා මාමේ, ඔබ අද ඒ තරුණ සිත පිළිබඳ මතකයන් පමණක් අපට ඉතිරි කොට නික්ම ගොසිනි.

තව ලිවිය යුතු බෝහෝ දෑ ඇතත් කඩා වැටෙන කඳුලු කැට වලින් සියල්ල බොඳවී ගොසිනි. තව දාහක් දේවල් දේ ලීවත් ඔබ නැවත නොඑන බව පැහැදිලි සත්‍යයකි.

අදින් පසු සිංහල බ්ලොග් අවකාශයේ සුන්දර සිනහව සදහටම නිවී ගොස්ය. ඒ අඩුව පිරවීමට කිසිවෙකුටත්, කිසිදා නොහැකි වනු ඇත. මේ බ්ලොග් අවකාශය දරා ගැනීමට නොහැකි පාලුවකින් පිරී යනු ඇත.

"සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය " යන බුදු වදන සිහි කොට ඔබගේ නික්ම යාම දරා ගැනීමට සිතට එඩිගන්නම්.

නිවන් දක්නා ජාති දක්වා, ඔබ අප අතරම නැවතත් ඉපදේවා !!! සසර කෙළවර අමා මහ නිවන අවබෝධ වේවා !!

සොඳුරු නිරික්ෂකයාණනී, ඔබට සුබ රාත්‍රියක් !!!!!






Saturday, December 17, 2011

මිනිස් ගති සහ දේව ගති.


උඳුවප් 17, 2011 / ශනිදා.


මේ සයිබර් අවකාශයේ සැරිසරන අපි  කව්රුත් Comments දාන්ඩ දන්නවානේ. ඒ වගේම තමන් ලියපු ලිපියකට Comment එකක් වැටෙනකම් ආසාවෙන් බලාගනත් ඉන්නවානේ. එහෙම නේද ? මම අද ලියන්ඩ යන්නෙ.. Comments  දාන්ඩ ගිහින් වෙච්ච සංගදියක් ගැන.

මේ කතාව පටන් ගන්නේ පහුගිය දවස් වල ඉරානය විසින් ඇමෙරිකානු ඩ්‍රෝන් යානාවක් අල්ලා ගැනීමත් සමගයි.. ( නෑ නෑ කලබලවෙන්ඩ දෙයක් නෑ ඒ ලොකු ලොකු දේශපාලන සංසිද්ධි එක්ක මගේ සම්බන්ධයක් නෑ ). ඕක ඉතින් අල්ලගන නිකන් හිටපන්, මුන් පටන් ගන්නව "දැයට කිරුළ" ( මේක Joseph ගේ අදහසක් ). ඒ කියන්නේ ප්‍රදර්ශණය. ඔන්න ඔය සිද්ධිය වාර්ථා කරනවා LankaCnews ඒගොල්ලන්ගේ අඩවියේ. 

මෙතනදි " LankaCnews " ගැන පොඩි සටහනක් කරන්ඩ වෙනවා. මේ බ්ලොග් ලෝකයේ සැරිසරන බොහොමයක් දෙනා මේ පුවත් අඩවිය ගැන අහලා, දැකලා, කියවලා, ඇති මගෙ හිතේ. මගේ මිනුම් වල හැටියටනම්  LankaCnews යනු බොහොදුරට සමබර වාර්ථාකරණයක යෙදෙන පුවත් අඩවියක්. තමන්ට දෙකක් කියලා දාන කමෙන්ට්ස් උනත් පලකරන්ඩ තරම් ඔවුන් මධ්‍යස්ථයි. අනිත් එක, අනිත් පුවත් අඩවි වගේ නෙමේ, පක්ෂ, විපක්ෂ, පාඨක අදහස් සියල්ලටම තැනක් හම්බෙනවා. ඉතින් Comments වලින් කරගන්නා මහා විවාද බලන්ඩ ඕනානම් යන්ඩ ඕනා LankaCnews එකට තමා. කාලෙක ඉඳන් මගේ එක විනෝදාංශයක් තමා ඕක.

ඉතින් LankaCnews  ඔය පල කරපු පුවතට මම දාපු ගොන් Comment එකක් ගැන උරණ උන එක්තරා නිහතමානී මහත්මයෙක් සහ මා අතර ඇති උන සුහද සංවාදය තමයි මේ ලිපියට වස්තු බීජය සපයන්නේ. වැඩි විස්තර ඕනා නැහැ.. කියවලාම දැනගන්ඩකො. ඔය පහළ තියෙන්නෙ ඒ අදහස් හුවමාරුව තමා. 








දැන් කියවමු අපේ සංවාදේ;




  1. Senna says:
    මුන් කැටපෝලෙකින් ගහලද දන්නෑ ඕක බිම දැම්මේ. යකො පහර දීපු යානයක් ඔච්චර ලස්ස්නට තියෙන්නෙ කොහොමද ? නැත්නම් LCN, නිකන් පින්තූරයක් දාන්ඩ ඕනා කමට මොකක් හරි දාලද ?

    • CITIZEN says:
      gona…pahara deela wattanawa kiwwama eya bomba daala, missile walin gahala witharak wattanna oni ne gono…..thaakshanayen (technically) ema yaanawe pariganaka danthawalata ( hariyata remote control ) ringala ema yaanawe remote control eka thaman athata geneemai…..LCN hariyatai waartha karala thiyenne, tho dannethi deyak thiyanawam eka igenagena comments daapan….

      • Senna says:
        ඇයි ඉතින් ඕකට ගිරිය පුප්පන්, සත්තුන්ගෙ නම් කිය කිය කෑගහන්නෙ. මම දන්නැති, ඔයා දන්න දේ, වැදගත් විදිහට කියලා දුන්නානම් නේද ලස්සන. මේ ලෝකෙ හැමෝම හැම දෙයක් ගැනම දන්නේ නැනේ.
        දැන් මට පේනවා ඔයා සිංහලෙන් ලියන විදිහ දන්නෑ කියලා. මෙන්න ලින්ක් එක. බනින එක එහෙනම් ලස්සන සිංහල අකුරුවලින්ම බනින්ඩකො.

        • CITIZEN says:
          sorry machan….thanks for the link…

        • CITIZEN says:
          මට සමාවෙයන් සෙනා, මගෙ අනිසි වචන මාලාවන් මන්ග් ඉල්ලා අස්කරගන්නවා ….බොහොම ස්තුතියි මචන් ලින්ක් එකට…..

        • annu says:
          එල එල…

        • Test says:
          සිදු වූ අතපසුවීමට සමාව ඉල්ලීමට තරම් නිහතමානී වීම ගැන මම මගේ ගෞරව ප්‍රණාමය CITIZEN ට පුදමි. ඒ වගේම එකට එකක නොකර හොඳින් ආමන්ත්‍රණය කිරීම ගැන Senna ටත් මම මගේ හර්දයාංගම ස්තුතිය පල කරමි.
          බටහිර සුද්දත් මේ වගේ තමයි. වැරද්දක් වුණාම සමාව ඉල්ලන්ඩ ලජ්ජා වෙන්නේ නෑ. සුද්දාගේ හොඳ ගති පුරුදු වුණාට මම ඔබ දෙපලට ගෞරව කරනවා.
          CITIZEN ට සහ Senna ට ජය වේවා !

        • Nisuba says:
          ලින්ක් එකට ස්තුතීයි……

        • Senna says:
          අල්ලලා දාපන් මචන් CITIZEN .. උඹ මට වරදක් කලා කියලා මම හිතන්නෑ. ඒක හින්දා සමාව ඉල්ලීම අනවශ්‍යයි.
          උඹේ නිහතමානිකමට මම ගරු කරනවා.
          මමත් මේකෙන් මරු පාඩමක් ඉඟන ගත්තා මචන්. ජීවිතෙ සතුට තියෙන්නෙ අපෙ අතේමයි. දැන් මම උඹට රළු විදිහට උත්තර දුන්නානම් අන්න එතකොට ගැටුමක්. දැන් උඹ මගේ නොදුටු මිතුරෙක්..
          keep in touch… :-)

        • Test says:
          Senna, CITIZEN ට දික් කල මිත්‍රත්වයේ මිතුදමට මගේ පුර්ණ ආශිර්වාදය.
          Senna සහ CITIZEN දෙපලට ජය වේවා !

        • arong says:
          මේ ලින්ක් එකෙන් සිංහල ලියන්න වඩා පහසුයි

        • arong says:
          මේ ලින්ක් එකෙන් සිංහල ලියන්න වඩා පහසුයි
          සිංහලෙන් යමක් අන්තර් ජාලයේ සෙවිමට එහි ඇති යුනිකෝඩ් භාවිතා කොට සිංහලෙන් ලියා උඩ තියෙන ගුගල් සර්ජ් බොක්ස් එකේ අලවන්න (පේස්ට් කරන්නවඩා පහසු විදිහක් මට හමුවු නිසා අනිත් අයටත් දැනගන්න ලිව්වේ

        • Saman 123 says:
          @Senna and Citizen, very good gentlemen, if all lankans are like you , we dont need to fight with others.

      • කොන්දොස්තර says:
        බැලුවම CITIZEN, Senna ට වඩා ගොනේක්නේ

        • Test says:
          පල බූරු “කොන්ද” යන්ඩ. මුන් දෙන්නම හොඳ වැදගත් නම්බුකාර මිනිස්සු.
          මෝඩ “කොන්ද” ට හොඳ නරක වැටහේවා !

        • CITIZEN says:
          කොන්දා…උනු වැරද්දට සමාව ගැනීම ගොන් කමක් කියලා උඹ හිතනවානම්, ඒක උඹගේ මෝඩ කමයි… නමුත් මගේ වැරදිවලට දහස් වතාවක් හරි සමාව ගන්න මං කැමතියි…
          @ටෙස්ට්…ස්තුතියි…


මේ කතාවේ සුළු ගතයුත්තක් ගැබ්වෙලා තියනවා කියලා මට හිතුන හින්දයි ඕගොල්ලොත් එක්ක බෙදා ගන්ඩ තීරණය කලේ. කිසිම වැඩකට නැති දෙයක් වෙන්ඩත් පුළුවන්. තීරණය ඔබ සතුයි. 

මිනිස්සු වන අප හැමෝම නොසිතා, දුරදිග නොබලා කරනා දේවලින් කොතරම් හානියක් සමාජයට වෙනවාද? මගේ නොදැනුවත්කම ප්‍රදර්ශණය කරමින් දැමූ මෝඩ Comment එක, හොඳ උදාහරණයක්.

අනිත් අතට අප විසින් එදිනෙදා මුහුන දෙන ගැටළු මේ ආකාරයෙන් විසඳා ගනීමට හැකිනම් ඒක හිතට කොච්චර සහනයක්ද ? සමාජයට කෙතරම් යහපතක්ද ? ඒත් අවාසනාවකට අද නොවෙන්නේත් ඒ දේම තමා.

මාගේ මේ ලිපිය, නිහතමානී CITIZEN තුමාට උපහාරයක් වේවා !!


විශේෂ ස්තූතිය ;

1.උපුටා ගැනිමට අවසර ඉල්ලා දැමු හීයට, පැණයකුඳු නොනඟා, හැරෙන තැපෑලෙන් අනුමැතිය එවූ LankaCnews කතු තුමාට.

එහෙනම් හැමෝටම ජය !! ඊළඟ ලිපියෙන් හමුවෙමු.

පින්තූර :  Google images හා LankaCnews 

----------------------------------------------------------------------------------------------------------

පසු සටහන : කව්රු හරි පින්වතෙක්, මට කියලා දෙනවද, කොහොමද මාතෘකාව ටිකක් ලොකුවට දාන්නේ කියලා ? ස්තූතියි !

Sechszehn හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog