2013 උඳුවප් මස 20වනදා
කොන්ටෙයාන්ස් යනු යුරෝපයේ ඈත කොනක හුදකලාව පිහිටා තිබුණු පෞරාණික නගරයකි. කෙතරම් පෞරාණිකද යත්, දහසයවන ලුවී රජගේ බිසව ජනතාවට "පාන් නැත්නම් කේක් කාපල්ලා" යැයි කීමටත් පෙර, එසේත් නැත්නම් ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇමෙරිකාව සොයා ගැනීමටත් පෙර, කොන්ටෙයාන්ස් නගර වැසියෝ සර්ව සාධාරණ නොවුනද තමන්ගේම යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමයකටද, පාසල්, පල්ලි රෝහල් සහිත ජීවන ක්‍රමයකටද උරුමකම් කීහ. කෙසේ වෙතත් ඒ යුගයේදී යුරෝපයේ බොහොමයක් රට වලට පොදු වූ චාරිත්‍ර වාරිත්‍ර, මිත්‍යා විශ්වාස ඔවුන් අතරද හිඟ නොවූහ. අංග විකල, මන්ද බුද්ධික දරුවන් උපන් ගමන් මරා දැමීමට හෝ කැලයකට විසි කිරීමටත්, යක්දෙස්සියන්යයි හඳුනා ගත් කාන්තාවන් පණපිටින් පුළුස්සා දමා ඔල්වරසන් නැගීමටත් ඔවුන් මොහොතකට හෝ නොපැකිළුණහ. සොරකම් පාලනය කිරීම උදෙසා දරුණු දඬුවම් නියම කර තිබුණද අධික දරිද්‍රතාවය හේතුවෙන් සොරකම් නිතරම වාර්තා වූ අතර සතියකට දෙතුන් දෙනෙකු සොරකම් කිරීමේ වරදට ප්‍රසිද්ධියේ එල්ලා දැමීම සුලභ දසුනක් විය. පල්ලියේ පියතුමාද ජනතාවට සොරකමෙහි ආදීනව කියා දී ඔවුන් එයින් මුදවා ගැනීමට උත්සහ කළද එයින් පලක් නොවන බව දුටු කල්හී දේශනා කිරීම නවතා දැමූ පියතුමා වහ වහා පල්ලියෙහි දෑ රැක ගැනීමට අවැසි පියවර ගනු ලැබීය. අනෙකුත් අපරාධද අඩු වැඩි වශයෙන් සිදු වුණද, සමස්තයක් වශයෙන් ගත් කළ ඔවුන් යුරෝපයේ අනෙක් නගරවසීන්ට වඩා මදක් ඉදිරියෙන් සිටියහ.
මේ පවුකාර ජනතාව අතරට වන් දේව දූතියක්ද වූවාය. ඒ, පල්ලිය අසල කන්‍යාරාමයේ විසූ ප්‍රධාන කන්‍යා සොයුරිය වූ මේරි තෙරේසා කන්‍යා සොයුරියයි. කුඩා කල සිටම දැහැමි දරුවෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළ ඈ, තුරුණුවියට වන් කල්හී ස්ව කැමැත්තෙන්ම කන්‍යා සොයුරියක් බවට පත්වුණාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය දැහැමි භක්තිමත් කාන්තාවක් වූවාය. ඇය අතින් කෙරුණ කිසිඳු පවක් හෝ නපුරු ක්‍රියාවක් පිළිබඳ ඇසූ බවට කිසිඳු නගර වාසියෙකුට මතක නොමැත. ඇය පිළිබඳව දනන් තුඩ තුඩ රැව් පිළිරැව් දුන්නේ හොඳක්ම මිස නරකක්නම් නොවුණේය. මේරි තෙරේසා කන්‍යා සොයුරිය කිසිදා කිසිඳු හේතුවක් නිසා මුසා බස් නොදොඩන්නියක වශයෙන් ඉතා විශාල කීර්තියක් නගර වාසීහු අතර ලබා තිබුණාය. මේ සම්බන්ධයෙන් ඇය සතු වූ කීර්තිය පල්ලියෙ පියතුමාවද අභිබවා යන්නකි.ඇය රහසින්වත් පවු නොකළාය.
එයට අමතරව මේරි තෙරේසා කන්‍යා සොයුරිය කරුණාවන්තකම පිළිබඳවද ඉමහත් කීර්තියක් ඉසුලුවාය. නගර වාසින් විසින් මහ මග හෝ අගු-පිල්වල දමා යන අසරණ ළදරුවන් ඇති දැඩි කිරීම උදෙසා ඇයගේ ප්‍රධානත්වයෙන් ඉඳිවූ ළමා නිවාසය එයට හොඳ නිදර්ශනයකි. මුලින් මුලින් නගරවාසීන් වෙතින් ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල වූ නමුදු "මෙලොවට බිහිවන සියලුම දරුවන් දෙවියන්වහන්සේගේ ත්‍යාගයන්" යැයි කියමින් ඇයගේ ස්ථාවරයෙහි පසු වීම තුළින්ම ඇය නගරවාසීන්ව මෙල්ල කරනු ලැබුවාය.
ඉරිදා දිනය නගරවාසීන්ට ප්‍රීතිමත් දිනයකි. දිව්‍ය පූජාවෙන් පසු පැවැත්වෙන අධිකරණ සභා වාරය හා එයින් පසු චූදිතයන්ට දඩුවම් දීමේ වාරය, අහිංසක, අවංක නගරවාසීන් හට ඉමහත් විනෝදය ගෙන දෙන්නක් විය. තමනට සිදුවන තෙක් සියලුම ව්‍යසනයන් රස විදීමෙහි ගූඨ මිනිස් ස්වභාවය නිසාම මෙම අහිංසක මිනිසුන් හොරෙක්, වංචා කරුවෙක්, මිනී මරුවෙක් එල්ලා මරන විට ප්‍රීතියෙන් අත්පුඩි නොගැසූවද සිත යටින් රහසින් එහි ආනන්දය උපරිමයෙන් ලැබීමට පුරුදුව සිටියහ. එයින් ප්‍රමුදිතව, එහෙත් සිතෙහි පවත්නා සැබෑ හැඟීමට හාත්පසින්ම විරුද්ධ හැඟීමක් මුහුණෙන් පෙන්වමින් ඔවුන් නිවෙස් බලා ගියහ. දැඩි අදහස් ඇත්තෙකු වූ නගරයෙහි අග්‍රවිනිශ්චකාරතුමාද සෑම ඉරිදා දිනකම අඩුම වශයෙන් එක් අයකු හෝ එල්ලා නගරවාසීන් ප්‍රීති ප්‍රමෝදයෙහි ගිල්ලවීමට වග බලා ගත්තේය.
දැන් ඔබට කොන්ටෙයාන්ස් නගරය, එහි වාසීන්, ඔවුන්ගේ විශ්වාසයන් හා සිරිත් විරිත් පිළිබඳව දළ අදහසක් ඇතැයි මම සිතමි. එය ප්‍රස්තුත කතාව කියවා තේරුම් ගැනීමට සෑහේ.
ඒ ඉරිදා, මේරි තෙරේසා කන්‍යා සොයුරියට අකරතැබ්බයක් සිදුවිය. ඇයව නඩුවක සාක්ෂිය වෙනුවෙන් අධිකරණය ඉදිරියට කැඳවනු ලැබුවේය. අධිකරණයට හා එහි ක්‍රියාන්විතයන්හට සම්පුර්ණයෙන්ම ආගන්තුක තැනැත්තියකු වූ ඇය, මෙම කැඳවීමත් සමඟම මදක් වෙව්ලා සිටියාය. පසු ගිය සතියේ දිනෙක පල්ලියෙහි පූප දමන රත්‍රන් මංජුසාව හොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට නගරයට අලුතින් පැමිණි වැන්දඹු ස්ත්‍රීයක් වූ ක්‍රිස්තියානාව බාලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. සොරකම් සිදුවන අවස්ථාවෙහි මංජුසාව සොරාගත් හෙර විසින් පල්ලියෙහි ප්‍රධාන ශාලාව මැදින් දිව ගොස් ඇති අතර මේරි තෙරේසා කන්‍යා සොයුරිය එම අවස්ථාවෙහි එහි යාඥා කරමින් සිටි බවට සිද්ධිය ඇසින් දුටූවන් පවසා තිබුණි. ඒ අනුව කන්‍යා සොයුරිය විසින් අදාළ ස්ත්‍රියව හඳුනා ගන්නට ඇතැයි යන අනුමානය ඔස්සේ ඇයව උසාවියට කැඳවා තිබුණි.
ඇය උසාවිය මැදින් සාක්ෂි කූඩුව වෙත හිස බිමට නැබුරු කරගෙන පිය නගනා විට මුළු උසාවියම ඇල්පෙනෙත්තක් බිම වැටෙනා තරම් ශබ්දයක් උවද ඇසෙනා ආකාරයේ නිහඬතාවයක් ඉසිලීය. විනිසුරු තුමා ඇතුළු සියලු දෙනම ඇයට ගරු කරනු වස් නැගී සිටියහ. ඒ, ඇය සිය සත්‍යගරුකභාවය හා කරුණාවන්තබව ඇසුරෙන් ගොඩනගාගත් ධනය වේ. සාක්ෂි කූඩුවට නැගී ඉදිරිය බැලූ කන්‍යා සොයුරියට සම්පූර්ණ කලු අවරණයකින් හිස වැසූ ස්ත්‍රීයක් විත්ති කූඩුවෙහි සිටගෙන සිටිනාකාරය දිස් විය.
නිශ්ශබ්දතාවය බිඳිමින් ප්‍රධාන විනිසුරු තැන විසින් කන්‍යා සොයුරිය ඇමතීය.
"ගරු කන්‍යා සොයුරිය, මෙතැනට ඔබව කැඳවා ඔබට සිදුකළ හිරිහැරය සම්බන්ධයෙන් මුලින්ම මම ඔබෙන් උදක්ම සමාව ඉල්ලා සිටීමට කැමතියි. නමුත් සාධාරණ විනිශ්චයක් උදෙසා ප්‍රබල සාක්ෂිකාරියක් වශයෙන් අපිට ඔබ මෙහි නොකැඳවා සිටීමට කිසිම හැකියාවක් තිබුණේ නෑ. ඔබ තත්ත්වය තේරුම් ගනු ඇතයි අප අපේක්ෂා කරනවා. නැවතත් මම ඔබෙන් මේ හිරිහැරය පිළිබඳව මේ ගරු අධිකරණය වෙනුවෙන්ම සමාව ඉල්ලා සිටිමට කැමතියි." මෙහිදී කන්‍යා සොයුරිය විසින් එය තමන්ට කරදරයක් නොවේයැයි දක්වන ආකාරයේ මද සිනාවක් දක්වා සිටියාය.
"සමහර විට ඔබ දැනටමත් දන්නා පරිදි ගිය සතියේ පල්ලියෙහි සොරකමක් සිදුවී තිබෙනවා. ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, මිනිසුන් ලුහුබඳින විට අදාළ හෙර රත්‍රන් මංජුසාව රැගෙන පලා ගොස් ඇත්තේ පල්ලියෙහි ප්‍රධාන ශාලාව මැද්දෙන්. එවිට ඔබ එහි යාඥා කරමින් සිටි නිසා ඔබ ඇයව හොඳින්ම දුටුවා වන්නට ඇතැයි ඔවුන් අනුමාන කරනවා. ඊට දිනකට පස්සෙ අපි මෙහි සිටින සැකකාරියව සැකපිට අත් අඩංගුවට ගනු ලැබුවා. දැනටමත් ඇයට එරෙහිව සාක්ෂි දෙන අයවලුන් සිටිනවා. නමුත් ඒ සාක්ෂි විශ්වාසයෙන් තොරයි. ඔවුන් පරස්පර ප්‍රකාශ නිකුත් කරනවා."
"ඔබගේ සත්‍යගරුකභාවය මේ නගරයෙහිම ප්‍රචලිත දෙයක්. ඒ පිළිබඳව මේ ගරු සභාවෙහි සිටින කිසිවකුටත් අබමල් රේණුවක තරම්වත් සැකයක් නෑ. එමනිසාම මේ ගරු අධිකරණයෙහි පැවති චාරිත්‍රයෙහි යම් වෙනසක් ඔබ වෙනුවෙන් කිරීමට මා සූදානම්. එය ඔබේ සත්‍යගරුකභාවයට කරණ ගෞරවයක් හා මෙම සුපුරුදු චාරිත්‍රය පිළිපැද්දොත් ඒක ඔබේ සත්‍යගරුකභාවයට කරණ අගෞරවයක් හා එය අවිශ්වාස කිරීමක්. සාමාන්‍ය සාක්ෂිකරුවන් කරනා පරිදි ඔබ බයිබලයෙහි අත තබා පවසන දෑ සත්‍යයැයි දිව්රිය යුතු නොවේ. මම ඔබව එයින් නිදහස් කරනවා." කන්‍යා සොයුරිය නැවතත් උපේක්ෂා සහගත මද සිනාවක් නැගීය.
"ගරු කන්‍යා සොයුරිය, මම එසේනම් කාරණයට යොමු වෙනවා. එදා ඔබ ඒ හෙර දුටුවාද ? ඔබ ඈ හඳුනනවාද ? "
"ඔව් මම ඈ දුටුවා. එහෙත් මම ඈ හඳුනන බවක් මට මතක නෑ. "
"ඔබට ඇයව නැවත දුටුවොත් අඳුනා ගත හැකිද ?"
"ඔව් මට පුළුවනි."
"එසේනම් අප මෙහි සිටින සැකකාර ස්ත්‍රියගේ මුහුණු ආවරණය ඉවත් කරනවා. බලන්න මේ එදා පල්ලියෙහි ප්‍රධාන ශාලව මැදින් මංජුසාව රැගෙන පලා ගිය හෙරමද කියා. ඔය ස්ත්‍රියගේ මුහුණු ආවරණය ඉවත් කරනු ! "
ආවරණය ඉවත් කෙරිණි. සැකකාරියව හඳුනා ගැනීම උදෙසා කන්‍යා සොයුරිය උනන්දුවෙන් දෑස් අයා ඈ දෙස බැලුවාය. එවිට නෙත් සතරක් එකිනෙක ගැටුණි. තත්පරයකටත් අඩු කාලයක් තුළ නෙත් සතරම එකි නෙකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි දාමයන් හේතුකොටෙගෙන දීප්තියෙන් බැබලී විශාල වූහ. දෙනෙතක්, ක්ෂණික හඳුනාගැනීමක්, කාලයේ වැලිතලාවෙන් යටව අමතකව තිබූ අමිහිරි සිද්ධියක ක්ෂණික මතකයක්, ක්ෂණිකව පහළවු පළිගැනීමේ සිතුවිල්ලක් නිසා දීප්තිමත් වන විට අනෙක් දෙනෙත ක්ෂණික හඳුනා ගැනීමක්, ඒ ඔස්සේ ඇතිවූ නව බලාපොරොත්තුවක සේයාවක් හේතු කොටගෙන දීප්තිමත් වූහ.
ක්‍රිස්තියානාගේ සිත, ඇතිවූ නව බලාපොරොත්තුව හේතු ගොටගෙන ප්‍රහර්ෂයෙන් පිම්බී යද්දී, මේරි තෙරේසා කන්‍යා සොයුරිය මානසික ඝට්ටනයකට මැදි වූවාය. දුෂ්ටත්වය, කාරුණිකබව, සත්‍යගරුකභාවය, නැවත කිසිදා නොලැබෙන අපූරු අවස්ථාව, පළිගැනීමේ දුෂ්ට චේතනාව, සමාජයේ තමනට ඇති ප්‍රතිරූපය, දෙවියන් වෙත ඇති බිය ආදී එකිනෙකට පරස් පර සිතුවිලි දාමයක එකෙල මෙකල වෙමින්, විශාල මානසික අරගලයක නිරතව අතීරණව එක් නිමේෂයක් පසු වූවාය. මේ මොහොතේ ඇයගේ මනසට සම කළ හැකි කිසිවක් මෙලොවෙහි නොමැත. එය සමාන කළ හැක්කේ දුෂ්ටත්වය හා සභ්‍යත්වය අතර දෝලනය වන තවත් එවැනිම වූ මනසකටම පමණී. ඒ අතර සිහිනයකින් මෙන් ප්‍රධාන විනිසුරුගේ කටහඬ ද ඇයට ඇසුණි.
" ගරු කන්‍යා සොයුරිය, ඔව් අපිට කියන්න ඔබට මැය හඳුනා ගත හැකිද ? එදා පල්ලිය මැදින් දිව ගියේ මැයද ? "
මේරි තෙරේසා කන්‍යා සොයුරිය පාෂාණිභූතව එක එල්ලේ ක්‍රිස්තියානා දෙස බලා සිටියා මිස පිළිවදන් නොදුන්නාය. ක්‍රිස්තියානාගේ හදවත කල්පයක් තරම් දිගුවූ මේ නිමේෂයේදී වේගයෙන් ගැහෙමින් තිබුණි. කන්‍යා සොයුරියගේ මුවින් නික්මෙන වදන මත තම ජීවිතයෙහි ඉදිරිය තීරණයවන බව ඈ හොඳින් දැන සිටියාය. කොන්ටෙයාන්හීදී පූජනීය දෑ සොරකම් කිරීමට එරෙහිව ලැබෙන දඬුවම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන්නකි. නගරයට ළඟදී පැමිණියා වුවද ඇය මේ පිළිබඳ දැනුවත්ව සිටියාය. මේ දක්වා තමන්ට එරෙහිව ඇති සාක්ෂි ප්‍රබල බැවින් ඈ ජීවිත ආශාව අත්හැර සිටියාය. අත්හැර තිබූ ජීවිත ආශාව කන්‍යා සොයුරිය දුටු මොහොතේ සිට නැවත දළුලා වැඩෙමින් තිබුණි.පියාත් නොමැති සිය දරු දෙදෙනා ඇයගේ දෑස් ඉදිරියෙහි මැවී පෙනුණි.
"ඔව් මම එහෙම කියනවා. කවුද දන්නෙ ? මම විතරයි. කවුරුවත් මම කියන එක විශ්වාස කරනවා මිස වෙන මුකුත් පිළිගන්නෙ නෑ. මම මේක රහසක් වශයෙන් තියාගත්තාම ඉවරනෙ. ඒත් එහෙම කරන එක හරිද ? ඒක අපරාධයක්. මේ වෙනකම් මම ගොඩ නගපු සියල්ල විනාශවෙලා යනවා එතකොට. .........." ඔව්, ගරු කන්‍යා සොයුරිය මේ ගරු අධිකරණය ඔබගේ පිළිතුර බලාපොරොත්තුවෙන් ඉන්නව...." .........මම වැඩකට නැති ගැහැනියක් වෙනවා ඊට පස්සෙ. දෙවියන් වහන්සේ මට ශාප කරාවි. මාව සදාකාලික නරකාදියට දමාවි. ඒත් මේක හොඳ අවස්ථාවක්. කිසිදා නොලැබෙන අපූරු අවස්ථාවක්. ඔව් මම ඒක තමා කරන්න ඕනා."
" ගරු කන්‍යා සොයුරිය.. අප ඔබගේ........ "
"ඔව්.. නෑ.. නෑ ඔව්, මේ ඇය තමා..." දුෂ්ටත්වය, සභ්‍යත්වය පරයා නැගී සිටියේය.
කන්‍යා සොයුරියගේ මුවින් ගිලිහුණ වදන් ක්‍රිස්තියානාට අදහා ගත නොහැකි විය. එක් වරම හෙණයක් පතිතවූවා වැනිය.
"අයියෝ සිස්ටර්.. අයියෝ සිස්ටර් ඇයි මේ ඔබ බොරු කියන්නෙ..?? ඔබ හොඳටම දන්නවා ඒ මම නොවන බව... අයියෝ සිස්ටර් ඔබට මාව හඳුනගන්න බැරිද ?" හයියෝ දෙවියන් වහන්ස මට පිහිට වන්න. මම කිසි දෙයක් හොරකම් කළේ නෑ.. අයියෝ අනේ මගේ අසරණ දරු දෙදෙනා.." යි කියමින් ක්‍රිස්තියානා විසින් සිය පපුවට ගසා ගනිමින් මුළු අධිකරණය දෙවනත් වන සේ විලාප තැබීය. ඒ මැදින් ඇසුණ, ක්‍රිස්තියානාට නිහඬවන ලෙස කරන තර්ජනය කිරීම්, සාප කිරීම් අතරින්, අගවිනිසුරුවරයා විසින් ක්‍රිස්තියානාව ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමේ නියෝගය නිකුත් කොට අදාළ ලියවිල්ලට අත්සන් තැබීය.
නියෝගය ශ්‍රවණය වූ වහාම කන්‍යා සොයුරියගේ හැසිරීමෙහි ප්‍රබල වෙනසක් වූ අතර කුමක්දෝ පැවසීමට වෙර දරනු පෙනිණ. ඒ සමඟම කන්‍යා සොයුරිය සිහි මුර්ජාවී ඇද වැටුණාය.
පැයකින් පමණ සිහිය ලබා දෑස් අරින විට දුෂ්ටත්වයේ යක්ෂයා ඈ වෙතින් පලාගොස් තිබුණි. සිදුවූ සියල්ල සිහියට නැගෙන විට මේරි තේරේසා කන්‍යා සොයුරිය උමතු බවේ ආසන්නයටම පැමිණියාය.
" ඒ ඇය නෙමේ.. ඒ ඇය නෙමේ.. කෝ ඇය? කෝ ඇය?" යි කියමින් වහා නැගී සිටි ඈ අවට සිසාර බලන්නට වූවාය. ඒ වන විටත් වැඩි පිරිසකට අභ්‍යන්තර ගූඨ නිහඬ විනෝදය සපයමින් ක්‍රිස්තියානාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර කඹයෙකින් එල්ලෙමින් තිබුණි. ඉන් මොහොතකට පසු කන්‍යා සොයුරිය උමතු වෙසින් පල්ලියේ පිය තුමා වෙත දුවයමින් සිටිනු දක්නා ලදී.
"අයියෝ ෆාදර් මම මහා පවුකාරියක්, මම මහා අපරාධයක් කළා. දෙවියන් වහන්සේගෙන් මට කවදාවත් සමාව ලැබෙන එකක් නෑ."
"කලබල නොවී මොකද වුණේ කියන්න සිස්ටර්"
"මම බොරුවක් කිව්වා ෆාදර්. ඒකෙන් ඇතිවෙන ප්‍රතිඵලය ගැන අවබෝධයකින් තොරව මම බොරුවක් කියුවා ෆාදර්. දැන් මම බොරුකාරියක් විතරක් නෙමේ ෆාදර්, මිනීමරුවෙක්."
"ඔබ කළ පාපය ගැන ඔබ මුලු හදවතින්ම පසු තැවෙනවානම් ඔබට දෙවින්ගේ සමාව ලැබෙවි සිස්ටර්."
"නැහැ ෆාදර් මට කවදාවත් සමාව ලැබෙන එකක් නෑ. මම හිතාමතාම බොරුවක් කිව්ව. අයියෝ මම මේ කරපු අපරාධය මොකක්ද ? " යි කියමින් ඇය පල්ලිය දෙසට දිවයාමට සැරසෙන විටම පියතුමා විසින් ඈ ඇමතීය.
"සිහි එළවා ගන්න සිස්ටර්. දැන් සිදුවූ දේ සිදුවී අවසානයි. ඊළඟට කළ යුතු දේයි අප සොයා බැලිය යුත්තේ. එයට පියවි සිහියෙන් සිටීම අත්‍යවශ්‍යයි." මෙයින් කන්‍යා සොයුරියගේ කලබල ගතිය මදක් සන්සිඳුණි.
" මට ඔබෙන් යමක් අහන්න අවසරද ?" ඈ නිහඬව විමතිය සහිත දෑසින් පියතුමා දෙස බලා සිටියය. එය අනුමැතිය ලෙස සැලකූ පියතුමා සිය පැනය යොමු කළේය.
"මට දැන ගන්න පුළුවන්ද ඔබ ඇයි කවදාවත් නැතුව බොරුවක් කිව්වෙ කියලා?"
මොහොතක් නිහඬව, කල්පනාබරිතව සිටි කන්‍යා සොයුරිය කඳුළු අතරින් සිය හඬ අවදි කළාය. "එයා පොඩි කාලෙ දවසක් මට පිරිසක් ඉදිරියේදී කම්මුලට ගැහුවා. ඊට පස්සෙ මගෙ මුලු ගවුමම ඉරලා මාව ලැජ්ජාවට පත්කළා. අයියෝ මට ඒ කාලකණ්ණි සිද්ධිය ඒ මොහොතෙදි මතක් වුණා ෆාදර්, මට ඒක මතක් වුණා. හයියෝ මම මහා පවුකාරියක්... මම මහා පවුකාරියක්" යි කෑ ගසමින් ඈ දෙවියන්ගේ පිළිසරණ සොයා උමතුවෙන් මෙන් පල්ලිය දෙසට දිව යනු පිය තුමා බලා සිටියේ බොහෝ හැඟීම බර මුහුණකිනි. එහෙත් එම මොහොතේම ඔහුගේ හදවතෙහි එක් අඳුරු මුල්ලක ඔහුටද තේරුම් ගත නොහැකි, දෙවියන් වහන්සේට පමණක් තේරුම්ගත හැකි, සතුටත්, නොසතුටත් අතර හැඟීමක් තිබුණි.
~~නිමි~~
ලියුවේ:
සෙන්නා / 20.12.2013
http://kurundha.blogspot.com/2013/12/blog-post_20.html