Saturday, March 4, 2023

මීටර් සියයක හැඟීම්




කැකිරාව කියලා ඇහුන ගමං මට මතක් වෙන්නෙ මීටර් සියය. මුදලිහාමි සපත්තුත් නැතුව දුවලා දිනපු තරඟෙ ගැන. ලොකු මහත්තයා එක්ක කොළඹ ගිය හැටි. හැබැයි මේ කතාවත් එක්ක බැඳුණු වචනයෙව් විස්තර කරන්න අමාරු පාළු, දුක්මුසු හැඟීමක් හිතට එනවා.

හත වසරෙදි අපේ පන්ති කළවම් කළා. මෙච්චර කල් එකට හිටපු යාළුවො කැඩිලා බෙදිලා ගියා. මාත් එක්ක හිටපු කට්ටියම එක පන්තියකට වැටිලා මාව වෙනම පන්තියකට වැටුනා. එහෙම වුනේ පුංචි පලිගැනීමකට. ඔය ළමයි බෙදන වැඩේ බාර දීලා තිබ්බෙ අපිට වැඩිය ජේෂ්ඨ පන්තියක හිටිය ශිෂ්‍ය නායකයෙක්ට. මිනිහට මාත් එක්ක පොඩි කෝන්තරයක් තිබුනා වෙන ආරෝවකට. මිනිහා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ගානට වැඩේ දුන්නා.

ඒක මහ මුස්පේන්තු හැඟීමක්. ඉස්කෝලෙ යන්නත් එපා වුනා. දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ අලුත් පන්තියක, යාළුවො නැති පරිසරයක තනි වෙන එක හරි පාළු, දුක්මුසු හැඟීමක් ඇති කරවනවා. පුංචි හිතකට  දරාගන්න අමාරු හැඟීමක්. 

මීටර් සියය ඉගන ගත්තෙ ඔය පරිසරය යටතේ. මොකක් හරි නොදන්නා හේතුවක් නිසා අර දුක්මුසු, මුස්පේන්තුකම මේ කතාවත් එක්ක බද්ධ වෙලා තියනවා. අදටත් මීටර් සියය කතාව මතක් වෙද්දි අඩු නැතිව අර හැඟීම හිතට එනවා.

ටික දවසකට පස්සෙ මම බලෙන්ම ගිහිල්ලා මගේ අනිත් යාළුවො හිටිය පන්තියෙ ඉඳ ගත්තා. ඒ පන්තිය බාර ගුරුතුමත් කිසිම ගැටලුවක් මතුනොකර මගේ නම නාම ලේඛනයට ඇතුලත් කරගක්තා. හැබැයි අර ඇති වෙච්ච හැඟීම මකන්න ඒ ක්‍රියාවට පුළුවන් වුනේ නෑ. අදටත් ඒක එහෙමම අඩු නැතිව තියනවා.

මුුදලිහාම් උඹ හපනා. මට සතුටෙන් උඹේ හපන්කම් බලන්න එන්න නොවෙච්ච එක ගැන සමාවෙයන්. 

නිිිමි.

~~ලියුවේ /සෙන්නා.

මාර්තු 04, 2023.

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog