2013 බක් මස 26 වනදා
බිනර මහේ එක් දවසක සිදුවූ ඒ ඛේදවාචකය ඔබේ මතකයෙන් ගිලිහී ගොස් නැතැයි සිතමි. එම මෙහෙයුමේදී හා ඉන් පසුව බටහිර ජර්මනිය විසින් පෙන්වූ අදක්ෂතාවය මුළු ලොවටම රහසක් නොවුණි. අඩු අත්දැකීම් මත සිදුකළ අනුවණකම් රැසක් හේතුවෙන් සියලුම ඊශ්‍රායෙල් ප්‍රාණඇපකරුවනට සිය ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවූ ආකාරයද ඔබට මතක ඇතැයි සිතමි.
හොඳින් පුහුණුව ලත් ත්‍රස්ත මර්ධන ඒකකයක අවශ්‍යතාවය බටහිර ජර්මන් රජයට එයින් පසු තදින්ම දැනෙන්නට විය. රජය, එහි වගකීම මියුනිච් සිද්ධියේදී ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය හෑන්ස් ජෙන්ශ්චර්ගේ සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් මෙහෙයුම නිරීක්ෂණය කළ කර්නල් ඌල්රික් වෙගුනර් ට පැවරීය. ඔහුගේ ප්‍රධානත්වයෙන් GSG 9 - Grenzschutzgruppe 9 (Border Police Group 9) බලකාය බිහිවූ අතර එවකට ලොව කීර්තිමත් ත්‍රස්ත මර්දන ඒකක විශේෂ ක්‍රියාන්විත බලකායන් වූ බ්‍රිතාන්‍යයේ SAS හා ඊශ්‍රායලයේ Sayeret Matkal බලකායන්ගේ පුහුණුව GSG 9 හට ලබාගැනීමට කර්නල් වෙගුනර් වගබලාගත්තේය.
GSG 9 ඒකකය 1973 අප්‍රේල් මස 17වන දින නිල වශයෙන් ආරම්භවූ අතර එතැන් සිට 2003 වසර දක්වා ඔවුන් මෙහෙයුම් 1500කට වැඩි සංඛ්‍යාවකට සහභාගීවී ඇති අතර අවස්ථා පහකදී පමණක් සිය තුවක්කු හැඬවීමට ඔවුනට සිදුවී තිබිණ. ජර්මානුවන් සතු හැකියාව ලොවටම පෙන්වමින් 2005දී පැවැත්වූ SWAT World Challenge තරඟාවලියේදී තරඟ අටකින් අටම ජයග්‍රහණය කොට, අනෙකුත් තරඟකරුවන් 17 දෙනෙකුව අභිබවා යාමට ඔවුන් සමත් වූහ. 2008දී සිදුවූ මුම්බායි බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඉන්දියානු ත්‍රස්ත මර්දන ඒකකය සවිමත් කිරීමටද GSG 9 හී දායකත්වය ලැබිණි.
---------------------
1977 ඔක්තෝබර් 13 වනදා, ස්පාඤ්ඤ දූපතක් වූ Palma de Mallorca හී ගුවන් තොටෙහි Lufthansa flight LH181, Landshut යානය ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් බලා යාමට සැරසෙමින් සිටියාය. සහායක නියමු යෝර්ගන් වියේටොර් ( Jürgen Vietor )ද පූර්ව සූදානම්කිරීම් වල නියැලෙමින් සිටින අතර ජනේලයෙන් පිටත බැලූ විට දුටුවේ මිනී පෙට්ටි දෙකක් යානයට පැටවීමට සූදානම් කොට තිබෙන අයුරුයි. ඔහු එය කපිතාන් යෝර්ගන් ෂූමන් ( Jürgen Schumann )ගේ අවධානයට යොමු කළද ඔහු ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකළේය. වියේටොර්ගේ විශ්වාසයනට අනුව එය එතරම් සුබ ලකුණක් නොවුණි. එවැනි අසුභ ලකුණු දෙකක්ම තිබීම ඔහුගේ සිතෙහි අවිනිශ්චිත අවාසනාවන්ත හැඟීම් ඇතිකරවීමට සමත් විය. නමුත් ප්‍රායෝගික තත්ත්වය ඒ පිළිබඳ යමක් කිරීමෙහි ඉඩ කඩ අසුරා තිබුණි.
කාලගුණයද ගුවන් ගමනකට යෝග්‍යය අයුරින්ම විය. වෙනත් කිව යුතු බාධකයක්ද ඔවුනට නොවුණි. උදෑසන 1100 ට යානය ෆ්‍රැන්ක්ෆර්ට් බලා ගුවන් ගත විය.
Palma de Mallorca දිවයිනේ සිය නිවාඩුව අවසන් කළ බියර්ගිට් රෝඑල් ( Birgit Roehll ) මහත්මිය සිය පුතණුවන් සමඟින් නැවතත් ජර්මනිය බලා යාමට මෙම යානය තෝරාගෙන තිබුණාය. හිස් ආසන වෙනුවෙන් පොරොත්තු ලේඛනයේ රැදී සිටීමට සිදු වුවද, යානයට ගොඩවීමට තරම් ඔවුන් වාසනාවන්ත වී තිබිණි. බියාටහ් කෙලර් ( Beate Keller )ඇතුළු පිරිස යානයට ගොඩවූයේ රූරැජින තරඟයකට සහභාගී වීමෙන් අනතුරුව නැවත ජර්මනිය බලා යාමටය. ගුවන් යානයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පැවතුණි. එහෙත් දෑස් අටක් සිය වේලාව පැමිණෙන තෙක් විමසිල්ලෙන් අවට නිරීක්ෂණය කරමින් සිටින බව යානයේ වූ අන් කිසිවෙකුත් නොදත්හ.
ගුවන්ගත වී විනාඩි තිහකින් පමණ එක්වරම යානයේ පසු පස කොටසින් මගීන්ගේ කෑගැසීමක් ඇසෙන්නට විය. අවි ගත් සිව් දෙනෙකුගෙන් සැදුම් ලද කණ්ඩායමක් විසින් භීතියට පත් මගීන් නිහඩ කරවීමට වියරුවෙන් මෙන් දගලමින් සිටිනු ඒ පිළිබඳ විමසීමට පසු පසට පැමිණි ගුවන් සේවිකාවට දර්ශනය විය. ඒ සමඟම ත්‍රස්ත කල්ලියේ අයෙකුගෙන් ඇයට තදබල පහරක් එල්ල වුණි. යානය තුළ අවි අමෝරාගෙන, භීතියට පත්ව කලබල කරනා මගීන්ව පාලනය කිරීමට උත්සහකරනා සතර දෙනෙකි. පිරිමින් දෙදෙනෙකුගෙන් සහ ගැහැනුන් දෙදෙනෙකුගෙන් මෙම කල්ලිය සමන්විත වූහ. ඔවුන්ගේ නායකයා වූයේ කපිතාන් මහතීර් මහමූඩ් ලෙසින් තමන්ව හඳුන්වා ගත් සොහෙයිර් යූසුෆ් අකාචේ නම්වූ 22 හැවිරිදි ලෙබනනයේ උපත ලද පලස්තීන ජාතික තරුණයෙකි. ඔහුගේ සහයට හින්ද් අලමේහ් නම්වූ 22 හැවිරිදි ලෙබනන් ජාතික ක්‍රිස්තියානි තරුණියද ( මැය සිද්ධිය වනවිට මහමූද් හා විවාහ ගිවිසගෙන සිටියාය ), සුහෙයිලා සයේහ් නැමැති 22 හැවිරිදි ඊශ්‍රායලයේ උපත ලද පලස්තීන ජාතික ක්‍රිස්තියානි තරුණියද, 23න් හැවිරිදි ලෙබනන් ජාතික තරුණයෙක් වූ වාබිල් හර්බ්ද වූහ.
"නිහඬවනු.. නිහඬවනු..මම කපිතාන් මහමූඩ්. මමයි නායකයා.. පලස්තීන ජනතාවගේ නාමයෙන්, මෙම ගුවන් යානය මගේ යටතට ගන්නවා" යි කියමින් කල්ලියේ ප්‍රධානියායැයි හඳුන්වා ගත් තැනැත්තා මගීන්ට නිවේදනය කළේය. එයින් පසු නියමු කුටිය කඩාවැදුණු ඔහු සහායක නියමු වියේටෝර් හට පසු පස මගීන් සිටින පෙදෙසට යැමට නියෝග කොට කපිතාන් යෝර්ගන් ෂූමන් හට යානය සයිප්‍රස් හී ලනර්කා වෙත රැගෙන යාමට අණකළේය. එතෙක් දුර ගමන් කිරීමට ඉන්ධන නොමැති බව පවසා, කපිතාන් ෂූමන් විසින් යානය ඉන්ධන ලබා ගැනීමට රෝම ගුවන් තොටුපලට ගොඩ බැස්සවිය යුතු බව දන්වා සිටියේය.
ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් යානය රෝම ගුවන් තොටට ගොඩ බැස්සවීය. ත්‍රස්තයන්ගේ ඉල්ලීම් රෝම ගුවන් තොටෙහිදී ඉදිරිපත් විය. ජර්මනියේ සිරගත කොට සිටි Red Army Faction නම්වූ වාමාංශික සංවිධානයේ සාමාජිකයන් දස දෙනෙකු, තුර්කියේ සිරගතකොට සිටි පලස්තීන සටන්කාමීන් (PFLP) දෙදෙනෙකු නිදහස් කිරීම සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක කප්පම් මුදලක් ඔවුන්ගේ ඉල්ලීම් වූහ. ඉල්ලීම ලබාදීමට අපොහොසත් වුවහොත් යානය මගීන් සමඟම පුපුරුවා හරින බවට තර්ජනය කළහ. මින් පෙර ඔවුන් එකීලෙසින්ම පැහැරගත් යානා ඉල්ලීම් නොලැබීම නිසා මගීන් සමඟම පුපුරුවා හැර තිබුණි.
මෙහිදී ජර්මානු රජය, ඉතාලි රජයෙන් ඉල්ලා සිටියේ යානය පිටත්වීම වැළැක්වීම උදෙසා එහි ටයර් වෙත වෙඩි තබා හිල් කරණ ලෙසය. එහෙත්, මෙම කරදරයෙන් සම්පූර්ණයෙන්ම අත්මිදීම වඩා යහපත් යැයි සැලකූ ඉතාලි රජය, මහමූඩ් ඉල්ලූ පරිදි ඉන්ධන ලබාදී යානය පිටත් කොට ඇඟබේරා ගත්හ. 1977 ඔක්තෝබර් මස 13වන දින සවස 0545ට යානය පාලක මධ්‍යස්ථානයේ නිසි අවසරයද නොමැතිව රෝම ගුවන් තොටින් සයිප්‍රස්හී ලනර්කා බලා නික්මුණි.
---------------------
සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම කර්නල් වෙගුනර්ගේ GSG 9 ඒකකයට පැවරිණි. GSG 9 ඒකකය ඇරඹීමෙන් පසු පැවරුණු මුල්ම වගකීම මෙය වූ නිසාම, කර්නල් වෙගුනර් විසින් බ්‍රිතාන්‍යය SAS ඒකකයේ අධීක්ෂණය අපේක්ෂා කොට සිටියේය. ඔවුන් ඒ සඳහා නිරීක්ෂකයන් දෙදෙනෙකු අනුයුක්ත කළහ.
---------------------
රාත්‍රී 0828ට ලැන්ඩ්ශට් යානය ලනර්කා හී ගොඩබස්වනු ලැබීය. එයින් පැයකට පමණ පසු ගුවන් විදුලි සංනිවේදන යන්ත්‍ර ඔස්සේ මහමූඩ්ව අමතනු ලැබූ PLO සංවිධානයේ නියෝජිතයා විසින් ප්‍රාණ ඇපකරුවන්ව නිදහස් කර හරින ලෙස ඉල්ලා සිටියේය. මහමූඩ් විසින් මෙයට දැක්වූ එකම ප්‍රතිචාරයනම්, PLO නියෝජිතයා විසින් උත්සහය අත්හරින තෙක්ම බෙරිහන්දී බැණවැදීමයි. නැවතත් ඉන්ධන පිරවූ යානය බීරුට් වෙත ගෙනයන ලෙස කපිතාන් ෂූමාන් හට උපදෙස් ලැබුණි. එහෙත් බීරූට් ගුවන් තොට ඔවුන් සඳහා වසා ඇතිබව කපිතාන් ෂූමාන් හට දැනගැනීමට ලැබුණි. එමනිසා මහමූඩ් විසින් දමස්කස් බලා පියාසර කරණ ලෙස ඔහුට නියෝග කළේය. රාත්‍රී 1050ට යානය ලනර්කා වලින් නික්මුණි. ඔවුන් මුලින්ම බීරූට් බලා පියාසර කළ අතර, එහි ගොඩබෑමේ අවසරය ඔවුනට නොලැබුණි. එයින් පසු, දමස්කස්, බැග්ඩෑඩ් සහ කුවෙයිට් වෙතින්ද එම ප්‍රතිචාරයම දැක්වූහ. අවසන, යානය බහරේන් බලා පිටත් විය.
ඔවුන් බහරෙන් වෙත පැමිණෙන විට බහරේන් ගුවන් තොටුපළද වසා ඇතිබව දැනගැනීමට ලැබුණි. කපිතාන් ෂූමාන් විසින් පාලක මධ්‍යස්ථානය අමතා, වෙන කිසිඳු තොටුපළකට යාමට තරම් තමන් සතුව ප්‍රමාණවත් ඉන්ධන නොමැති බැවින් කෙසේ හෝ ගොඩබැස්විය යුතු බව දැනුම් දුන්නේය. පසුව බහරෙන් ගුවන් තොටට ගොඩබෑමේ අවසරය ඔවුනට ලැබුණි. ගොඩබෑ විගසම යනය හමුදා භටයන් විසින් වටලනු ලැබූහ. හමුදා භටයන්ව ඉවත් කර නොගතහොත් සහයක නියමුවා ඝාතනය කරණ බවට මහමූඩ් විසින් කළ තර්ජනයෙන් පසුව හමුදා භටයන් සිය ක්‍රියාන්විතය අත් හළහ. නැවතත් ඉන්ධන පිරවූ යානය ඩුබායි බලා ගුවන් ගත විය.
ඩුබායි වෙතින්ද ඔවුනට යහපත් ප්‍රතිචාරයක් හිමි නොවුණි. ගොඩබෑමේ අවසරය නිකුත් කිරීමට ඔවුන්ද මැලි වූහ. ධාවන පථය ට්‍රක් රථ වලින් සහ ගිනි නිවන රථ වලින් අවහිර කොට තිබෙනු ඔවුන් විසින් නිරීක්ෂණය කළහ. ඩුබායි ඉහළ අහසේ සැරිසරමින් සිටි ඔවුනට, ගොඩබෑමේ අවසරය හිමි වුයේ කපිතාන් ෂූමාන් විසින් ඉන්ධන අවසන් වෙමින් පවතින බව දැනුම් දුන් පසුවය. ඔක්තෝබර් 14 වන දින උදෑසන 0540 ට ලෑන්ඩ්ශට් යානය ඩුබායි ගුවන් තොටට ගොඩබැස්සවීය.
ලෑන්ඩ්ශට් යානයේ ගමන්මග සියුම්ව නිරීක්ෂණය කළ ඌල්රික් වෙගුනර්ගේ නායකත්වයෙන් යුතු GSG 9 කණ්ඩායම ඩුබායි වෙත ළඟා වූහ. ත්‍රස්තයන් කී දෙනෙකු සිටීද, ඔවුන් කවුරුද යන තොරතුරු වෙගුනර් ඇතුළු කණ්ඩායමට වැදගත් වුවද, බුද්ධි නිළධාරීන් එම තොරතුරු සැපයීමට අපොහොසත් වූහ. අවසානයේ ඔවුන්ගේ සහයට පැමිණියේ කපිතාන් ෂූමාන්ය.
දුම්වැටියක් පානය කිරීමේ අවසරය සහිතව මදක් පිටතට පැමිණි කපිතාන් ෂූමාන්, සිගරට් හතරක් ගෙන දෙකක් කොටටද, අනෙක් දෙක ඊට වඩා දිගටද සිටින ලෙස මිටි බැඳ, රහසින් එළියට විසි කරනු ලැබීය. කර්නල් වෙගුනර් විසින් මෙම සංඥව නියමාකාරයෙන් ග්‍රහණය කරගනු ලැබීය. පිරිමින් දෙදෙනෙකු සහ ගැහැනුන් දෙදෙනෙකු යානය තුළ සිටින බව ඔහු විසින් අවබෝධ කොට ගත්තේය.
"කොල්ල කරුවන් කණ්ඩායමේ හතර දෙනෙක් හිටියා. දෙන්නෙක් පිරිමි, දෙන්නෙක් ගැහැණු. අපි මහත ගැනි ලෙසින් හඳුන්වපු සුහෙයිලා හැම තිස්සෙම ක්‍රෝධයෙන් පසු වෙච්ච දුෂ්ට ගැහැනියක්. කල්ලියේ නායකයා වුණේ මහමූඩ් ලෙසින් තමන්ව හඳුන්වා දුන් පුද්ගලයා. ඔහුත් හරිම භායානක, ඉක්මනින් කලබලවෙන ක්‍රෝධයෙන් පිරිච්ච නහර කාරයෙක්. මිනිහා කියන එක නෑහුවොත් වෙඩි තියලා මරලා දාන්න දෙපාරක් නොහිතන ජාතියෙ කෙනෙක් එයා." - බියර්ගිට් රෝඑල්
මේ අතරවාරයේ යානයේ දොරටුවක් විවර කළ මහමූඩ් පිටතට නිරාවරණය විය. මෙය කර්නල් වෙගුනර් ඇතුළු පිරිසට ඔවුන් ගැන අවබෝධයක් ලබා ගැනීමට මහඟු අවස්ථාවකි. ඔවුන් විසින් ඡායාරූප කිහිපයක්ම අරගැනීමට සමත්වූ අතර එමගින් කොල්ලකරුවන් විසින් අතදරා සිටින ආයුධ කුමන ආකාරයේ ඒවාදැයි මනා අවබෝධයක් ලබා ගැනීමටද ඔවුනට හැකිවිය.
ඔක්තෝබර් 16වන දින SAS නිලධාරීන් දෙදෙනාද ඩුබායි වෙත ළඟා වූහ. කර්නල් වෙගුනර් ඇතුළු කණ්ඩායම හා එකතුවූ ඔවුන් ක්‍රියාන්විතය සැලසුම් කිරීමට වූහ.
ලෑන්ඩ්ශට් යානයට සැතපුම් දෙකක් මෙපිටින්, කර්නල් වෙගුනර් ඇතුළු කණ්ඩායමට අවැසි සියල්ලම සපයා තිබුණි. ලෑන්ඩ්ශට් යානය Boeing 737 වර්ගයේ යානයක් වූ බැවින් එවැනිම තවත් යානාවක් ඔවුන්ගේ පෙර පුහුණුවීම් සඳහා සපයා තිබිණ.
මූලික සැලසුම වූයේ යානයේ තටු දෙකට ඉහළින් වූ හදිසි දොරටු දෙක සහ ඉදිරි දොරටුව පිටතින් විවර කොටගෙන ඇතුළට කඩාවැදීමයි. එවිටම වාගේ යානයේ පහතින් වූ විදුලි පරිපථ පාලක පුවරුවක් ආධාරයෙන් යානයේ විදුලිය විසන්ධි කිරීම මගින් ත්‍රස්තයන්ව වික්ෂිප්ත කොට හදිසි ප්‍රහාරයක් මගින් යටත් කොට ගැනීමට හෝ ඝාතනය කිරීමට සැලසුම් සකස් කෙරිණ. ත්‍රස්තයන් සිව් දෙනා, කෙනෙකු නියමු කුටියේද, දෙදෙනෙකු ඉදිරි පස සහ මධ්‍යයේද, අනෙකා පසුද පස ස්ථානගත වී ඇතැයිද ඔවුන් උපකල්පනය කළහ.
මෙම සැලසුම ඔස්සේ ඔවුන් විසින් කිහිප වාරයක්ම සිය පෙර පුහුණුවීම් සිදු කරනු ලැබූහ. මේ අතර වාරයේ ත්‍රස්තයන් විසින් යානයට ඉන්ධන, ආහාර, ජලය ලබා ගැනීම හා කසළ බැහැර කිරීම් සිදු කරණ ලදී.
දැන් ප්‍රහාරයට සියල්ල සුදානම්. එහෙත් හදිසියේම අනපේක්ෂිත දෙයක් සිදු විය. හදිසියේම යානය ඩුබායි තොටින් නික්මිණි. කර්නල් වෙගුනර් ඇතුළු කණ්ඩායමට යානය කුමන දිශාවක් බලා ගමන් කළේද යන්න පිළිබඳ කිසිඳු අදහසක් නොවුණි. ඒ ඔක්තෝබර් 17 වෙනිදායි.
ඩුබායි වලින් නික්මුණ යානය යේමනයේ ඒඩන් ගුවන් තොටුපළ වෙත ළඟා විය. ඒඩන් බලධාරින්ද යානය ගොඩබෑමට අවසර නිකුත් නොකළ අතර ධාවන පත දෙකම වාහන මගින් අහුරා තිබුණි. යානයේ ඉන්ධන අවසන් වෙමින් පවතින බව දැනුම් දුන්නද ඔවුන්ගේ තීරණයේ වෙනසක් නොවුණි. අවසානයේදී කපිතාන් ෂූමන් හට ඒ අසල වූ වැලිතීරුවක් මතට හදිසි ගොඩබෑමක් කිරීමට සිදුවූයේ ඉන්ධන අවසන් වීමෙන් යානය කඩා වැටීම වළක්වා ගැනීමටය.
යානය ගොඩබැස්වූ පසු යේමන් බලධාරීන් විසින් එය ඉවත් කරගැනීමට බලකරමින් සිටීම හමුවේ මහමූඩ් විසින් නැවතත් යානය ගුවනට ගන්නා ලෙස ඉල්ලා සිටියේය. මෙහිදී කපිතාන් ෂූමන් විසින් තමනට යානය ගුවන් ගතවීමකට සුදුසු තත්ත්වයේ තිබෙනවාදැයි පරීක්ෂා කිරීමට අවැසි බව දන්වා සිටියේ හදිසි ගොඩබෑම නිසා යානයට කිසියම් අනතුරක් වී ඇත්දැයි සැකහැරගත යුතු බැවිනි. මෙයට මහමූඩ්ගේ අවසරය ලැබුණි.
යානය පරික්ෂාකොට අවසන් කළ කපිතාන් ෂූමන් එයින් පසු රහසින්ම යේමන් බලධාරින්ව හමුවීමට ගුවන්තොටුපළ වෙත ගමන් කෙරුවේය. එසේ යෑමෙහි අදහස අපැහැදිලි වුවද, ඔහු විසින් කිසියම් මැදිහත්වීමක් ඉල්ලා සිටිම පිණිස ගියා වන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් මෙයට මැදිහත්වීමට අකමැතිවූ යේමන් බලධාරීන් විසින් ඔහුට නැවතත් යානයට යන ලෙස බලකොට සිටියහ.
කපිතාන්ගේ පමාව දුටු මහමුඩ් කෝපයෙන් දැවෙමින් සැමෝටම බැණ වදිමින් කෝපාවිෂ්ටව සිටියේය. කපිතාන්වරයා බියගුල්ලකු සේ පැනගියේයැයි ඔහු විසින් චෝදනා කළේය. මේ අතර වාරයේ යේමන බලධාරීන් විසින් කපිතාන්වරයාව නැවත හරවා එවන බව ගුවන් විදිලි සංනිවේදන යන්ත්‍ර මගින් මහමූඩ් වෙත දන්වා සිටියහ.
කපිතාන් ෂූමන් යානයට පැමිණි වහාම ඔහුව ගෙලෙන් අල්ලා යානය තුළට තල්ලු කළ මහමූඩ් විසින් යානය මධ්‍යයේ ඔහුව දණ ගස්වනු ලැබීය.
"මේ කළ දේට තමා වැරදි කරුද, නිවැරදි කරුද ?" යි කපිතාන්වරයාව ප්‍රශ්න කර සිටියේය.
"කැප්ටන් මම. මම.... " කපිතාන් ෂූමන් යමක් පැහැදිලි කිරීමට සැරසිනි.
"මේ සම්බන්ධයෙන් තමා වැරදි කරුද නිවැරදි කරුද ? " කපිතාන් වරයාට පැහැදිලි කිරීමට ඉඩ නොතබාම නැවතත් ඇසීය. නැවතත් කපිතාන් ෂූමාන් විසින් යමක් පැහැදිලි කිරීමට උත්සහ කෙරිණි.
"මේ සම්බන්ධයෙන් තමා වැරදි කරුද නිවැරදි කරුද ? " නැවතත් එකම ප්‍රශ්නය එල්ල විය.
කපිතාන් ෂූමාන් විසින් තමා නිවැරදි කරු බවට ප්‍රකාශකර සිටියේය. ඉන්පසු මහමූඩ් විසින් කිසිඳු පැහැදිලි කිරීමකට ඉඩ නොතබාම, හිසට වෙඩි තබා කපිතාන් ෂූමාන්ව ඝාතනය කර දැමීය.
"ඒ මොහොතෙ යානය තුළ පුදුම නිහැඩියාවක් තිබුණෙ, කාටවත් ඕනා වුණේ නෑ ඇඬීමක් මගින් මහමූඩ්ගේ අවධානයට ලක්වෙලා මිනිහගෙන් වෙඩි කන්න. ඒක හින්දා අපි හැමෝම නිහඬවම හිටියා. පිළිකුල් සහගතම දේ තමා අර මහත ගෑනි මේ ඔක්කොම දිහා ඇපල් ගෙඩියක් කකා බලන් හිටිය එක. " - බියාටහ් කෙලර්
ඔක්තෝබර් 17 වන දින උදෑසන 0630ට නැවතත් යානයට ඉන්ධන ලබා ගැනීමෙන් පසු, මහමූඩ් විසින් නියමු වියේටෝර් හට යානය සෝමලියාවේ මොගඩිෂූ වෙත රැගෙන යන ලෙස උපදෙස් දුන්නේය.
කපිතාන් ෂූමාන්ව ඝාතනය කිරීමේ ප්‍රවෘත්තිය හා යානයේ ඊළඟ ගමනාන්තය පිළිබඳ තොරතුරු ඩුබායිහී රැඳී සිටි කර්නල් වෙගුනර් ඇතුළු පිරිසට දැනගැනීමට ලැබුණි. ඔවුන් වහාම මොගඩිෂූ බලා ගමන් කළහ.
මොගඩිෂූ දක්වා වූ, යානයේ මාර්ග සටහන |
මොගඩිෂූ වේලාවෙන් උදෑසන 0622ට පමණ ලෑන්ඩ්ශට් යානය මොගඩිෂූ වෙත ගොඩබස්වනු ලැබීය. හිරකරුවන් නිදහස් කිරීමේ කාලය ඔක්තෝබර් මස 17 වන දින සවස 0400 දක්වා දීර්ඝ කෙරිණි. අසමත් වුවහොත් යානය මගීන් සමඟම පුපුරුවා හරින බවට මහමූඩ් විසින් ප්‍රකාශ කළේය. ජර්මානු රජය සිරකරුවන් නිදහස් කිරීමට එකඟ වූ බවත්, ඔවුන් මොගඩිෂූ දක්වා පැමිණීමට කාලයක් ගතවෙන බැවින් කාලය දීර්ඝ කරණ ලෙසත් ඉල්ලීමක් කෙරිණ. එබැවින් ඔක්තෝබර් මස 18 වන දින උදෑසන 0230 දක්වා කාලය දීර්ඝ කෙරිණ. කෙසේවෙතත්, මහමූඩ් ඇතුළු පිරිස විසින් සියලු මගීන්ගේ අත් ගැටගසා, ඔවුන් මතට යානයේ වූ මධ්‍යාසාර ඉස, වඩා හොඳ දැවීමකට ඔවුන්ව සුදානම් කිරීමට වගබලා ගත්හ. සියලු මගීන් මෙයින් පසු තමන් සිය ජීවිතයේ අවසානයට ළඟාවී ඇති බව නිශ්චය කරගත්හ.
කර්නල් වෙගුනර් ඇතුළු පිරිස මොගඩිෂූ වෙත ළඟා වූ අතර ජර්මනියේ බොන් නුවර සිට තවත් GSG 9 කණ්ඩායමක් ක්‍රියාන්විතයට සහභාගීවීම පිණිස මොගඩිෂූ වෙත ළඟා විය. ජර්මානු රජය, ක්‍රියාන්විතය උදෙසා සෝමාලියානු රජයේ පූර්ණ අනුමතිය ලබාගෙන තිබුණි. එපමණක් නොව සෝමාලියානු හමුදාවෙ සහයද ඔවුනට හිමි විය.
ප්‍රහාරය, ඔක්තෝබර් මස 18 වෙනි දින අලුයම 0200 ට පමණ දියත් කිරීමට සැලසුම් කළහ. මේ අතර සැලසුමෙහි සුළු වෙනස්කම් කිහිපයක් සිදු කෙරිණි. ප්‍රහාරය එල්ල වන විට කොල්ල කරුවන්ව හැකිතාක් මගීන්ගෙන් ඉවත් කොට තැබීමට ඔවුනට අවැසි විය. මහමූඩ්ව නියමු කුටියේම රඳවා තැබීම උදෙසා ඔවුන් විසින් හිරකරුවන් හුවමාරු කරගැනීම පිළිබඳ ගනු දෙනුව පාලක මධ්‍යස්ථානය ඔස්සේ ගුවන් විදුලි සංනිවේදන යන්ත්‍ර මගින් සිදු කළහ. එම පණිවිඩ වලට ප්‍රතිචාර දැක්වීම උදෙසා මහමූඩ් හට නියමු කුටියේම රැඳී සිටීම අනිවාර්යය විය. එමගින් ප්‍රහාරය එල්ල වන විට මහමූඩ් යානයේ නිශ්චිත, දන්නා ස්ථානයක රඳවා තබා ගැනීමට කර්නල් වෙගුනර් ඇතුළු පිරිස උපායශීලී විය. තවද, මහමූඩ් ඇතුළු පිරිසගේ අවධානය වෙනතක යොමු කිරීම සඳහා ප්‍රහාරයට තත්පර කිහිපයකට පෙර යානය ඉදිරිපස විශාල ගින්නක් දැල්වීමට සැලසුම් කෙරිණි. මෙහි වගකීම සෝමාලියානු හමුදාවට පැවරිණි.
අලුයම දෙක පසුවී මොහොතකට පසු හිරකරුවන් රැගත් යානය කයිරෝ වෙතින් නික්මුණු බවට පාලක මධ්‍යස්ථානයෙන් නිකුත් කෙරුණු ගුවන් විදුලි පණිවිඩයෙන් මහමූඩ් වෙත දන්වා සිටියේය. මෙය ඇත්තෙන්ම ව්‍යාජ පණිවිඩයක් විය. ප්‍රහාරක කණ්ඩායම් තුනක් ඉදිරිපස දොරටුව සහ තටු මත වූ හදිසි දොරටු අසල යානයට කඩා වැදීමට සූදානම්ව සිටිහය. ඉන් ඉදිරිපස කණ්ඩායම කර්නල් වෙගුනර්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක විය. එසැනින් යානය ඉදිරිපස විශාල පිපිරුමක් සමඟ ගිනි ජාලාවක් හට ගත්තේය, ඒ සමඟම දොරටු ත්‍රිත්වය විවර කරගත් GSG භටයන් මගීන්ට පහත් වී සිටින ලෙසත්, තමන් බේරාගැනීම පැමිණිබවත් ජර්මන් භාෂාවෙන් කෑගසමින් යානය තුළට කඩා වැදුණි. හින්ද් අලමේහ් මුලින්ම ඔවුනට මුණ ගැසුන අතර ඇයව වහාම වෙඩි තබා ඝාතනය කළේය. ඊළඟට වාබිල් හර්බ් අත්බෝම්බ දෙකක් රැගෙන පහර දීමට සැරසෙන විටම GSG භටයන්ගේ ප්‍රහාරයට ලක්විය. එහෙත් ඒ සමඟම අත්බෝම්බ දෙක පුපුරා ගිය අතර කාර්යය මණ්ඩල සාමාජිකාවක් සුළු තුවාල ලැබීම හැරුණුකොට එයින් වැඩි ව්‍යසනයක් සිදු නොවුණි. මොහොතක කාලයකට එය එකම ගාලගෝට්ටියක් විය. ඇතැම් භටයන් කලබල වූ මගීන්ව හදිසි දොරටු ඔස්සේ ඉවත් කරමින් සිටිනා අතර අනෙක් අය විසින් ත්‍රස්තයන් දඩයමේ නියුක්ත වූහ. දෙදෙනෙකු මිය ගොස් හමාරය. මහමූඩ් නියමු කුටියේ සිටින බව ඔවුන් දැන සිටියහ. ඔහුව දඩයම් කිරීම සඳහා දෙදෙනෙකු නියමු කුටිය අසල රැඳී සිටියහ. මහමූඩ් විසින් කුටියෙන් පිටතට නික්මෙන විටම ඔහු ප්‍රහාරකයන්ගේ ඉලක්කයට හසු විය. එසැනින් ඔහු මිය ගියේය. මේ වනවිට සියලුම මගීන් පාහේ යානයෙන් ඉවත්වී සිටියහ. නමුත් තවමත් මගීන්ගේ වෛර්යයට පාත්‍රවූ මහත ගෑනියැයි නම ලද සුහෙයිලාව ඔවුනට හමුවී නොතිබුණි. ඇය මගීන් සමඟම පැන ගත්තේ යැයි යන සැකයද ඔවුනට ඇති විය. එහෙත් නැවතත් යානය සියුම්ව පරික්ෂා කරනවිට වැසිකිළිය තුළ සැඟවී සිට පහර දීමට සැරසුණු ඇය GSG භටයන්ගේ පහරින් තුවාල ලැබීය. ක්‍රියාන්විතය එලෙසින් අවසන් විය.
මුලු කියාන්විතයම විනාඩි හතකට අඩු කාලයකට සීමා විය. සියලුම ප්‍රාණ ඇපකරුවන්ව නිරුපද්‍රිතව බේරා ගැනුණු අතර ත්‍රස්තයන්ගෙන් තිදෙනෙකු ඝාතනය කෙරිණි. එක් අයෙකු ජීව ග්‍රහණයෙන් තුවාල සහිතව අල්ලා ගැනුණි. කපිතාන් ෂූමාන්ගේ මරණය නොවන්නට ක්‍රියාන්විතය සම්පූර්ණ සාර්ථකත්වයකින් අවසන්වූ එකක් ලෙස ඉතිහාස ගත වීමට තිබුණි.
හෝරා කිහිපයකට පසු ඔවුන් සියලු දෙනාම එම ගුවන් යානයෙන්ම ජර්මනිය වෙත ළඟා වූයේ වීරයනට හිමි උණුසුම් පිළිගැනීමක් සමඟිනි.
මියුනික් හීදී ජර්මනියට ඇතිවූ කළු පැල්ලම, යම්තාක් දුරකින් හෝ මකා දැමීමට කර්නල් ඌල්රික් වෙගුනර් ගේ නායකත්වයෙන් දියත් කෙරුණු මෙම ක්‍රියාන්විතයට හැකි වූවා නොඅනුමානය. ඒ පිළිබඳ ඇගැයීමක් වශයෙන් ක්‍රියාන්විතයෙන් පසු ඔහු Großes Bundesverdienstkreuz (Commander's Cross of the Federal Cross of Merit ) සම්මානයෙන් පිදුම් ලද අතර පසුව ඔහුව ජනරාල් පදවිටද උසස් කරණ ලදී.
~~නිමි~~
සැකසුම ;
~~සෙන්නා / 26.04.213