උඳුවප් 24, 2011 / ශනිදා.
දිනය, 1982 ජුනි 30 වැනිදා. ටෝකියෝ බලා ගමන් කිරිමට නියමිත ගුවන් යානය, ලහි ලහියේ ඒ සඳහා සුදානම් වෙමින් පවතී. සියළු මගීන් යානයට ගොඩවී තමනට වෙන්වු අසුන් සොයා යයි. ගුවන් සේවිකාවන්ද ඔවුන්ට සහය වෙමින් යානය ගුවන් ගත කිරිමට අවශ්‍ය පූර්ව සුදානම් කිරිම් වල නියෙලෙමින් සිටියාය. මොහොතකින් සියල්ල සුදානම්. මගීන් 340 ක් රැගත් Alitalia AZ 1790 Boeing 707 ගුවන් යානය නව දිල්ලි අහස් කුස දෙබෑකරගන ගුවන් ගතවිය.
සියල්ල යථාපරිදි සිදුවෙමින් පැවතුනි. මගීන් සුවපහසු ලෙස සිය අසුන්වලට බරදෙමින් සිටින අතරතුර කාර්ය්යය මණ්ඩලය සිය කටයුතුවළ නිරත වෙමින් සිටී.
යානය අඩි 35,000 ක්වු, පියාසර මට්ටමට ලඟාවිය. මේ අතරතුර එක් ගුවන් සේවිකාවක් විසින් කපිතාන්
Georgo Amarosa වෙත මගියෙකුගෙන් ලද ලියමනක් යොමුකරන ලදී. තමන් විසින් පාලනය කරනු ලබන යානය සිය පාලනයෙන් ගිලිහී ඇති බව අවබෝධ කොට ගැනීමට මේ පළපුරුදු නියමුවාට එම ලිපිය දෙවරක් කියවීමට අවශ්‍ය නොවුනි.
*******************************************************************************************************************
1949 ජුනි 03 වෙනිදා, මාතර කරතොට ග්‍රාමයේ උපත ලබන සේපාල, හම්බන්තොට යෝධකණ්ඩිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබයි. කුඩාඅවදියේ සිටම විප්ලවකාරි චරිතයක් වන සේපාල, 50 දශකයේ අග බාගයේදී සිය පියාත් සමඟ ඇතිකරගන්නා ආරවුලක් හේතුකොටගෙන නිවසින් පිටව ගොස්, එවකට ආනන්ද කනිශ්ඨ විද්‍යාලයේ විදුහල්පති D.L.B. පෙරේරා මහතාගේ නිවසේ නතරව සිටී. 1972 දී, සේපාල ඉසුරු සොයා බටහිර ජර්මනිය බලා යෑමට තීරණය කරයි.
1973 දී, බටහිර ජර්මනිය බලා යන සේපාල, පළමුවෙන්ම කම්කරුවෙකු ලෙස අව්රුදු තුනක් බටහිර ජර්මනියේ රැකියාව කරයි. මේ අතර තුර, ඉතාලි ජාතිකයන් කිහිප දෙනෙකු සමඟ මිතුදමක් ගොඩ නගා ගන්නා සේපාල, 1976 ඔවුන් සමඟ ඉතාලියට පැමිණ, සිය මිතුරන් ගේ සහායෙන් ඉතාලියේ මොඩෙනා නගරය ආසන්නයේ ගොවිපලක රැකියාවක් ලබා ගනී.
සිය මිතුරකු මාර්ගයෙන් Anna Aldrovandi හඳුනා ගන්නා සේපාල, ඇය සමඟ පෙම්සබඳ තාවයක් පටන් ගන්නා අතර, ටික කලකින් එක්ව වාසය කිරිමට පටන් ගනී. 1978 දී සිය දරුවා වූ ෆ්‍රී ඒකනායක, ඔවුන් අතරට පැමිනෙන අතර එම වසරේදීම ඇනාගේ පාර්ශවයෙන් එල්ලවන විරෝධයද නොතකා ඔවුන් නීත්‍යණුකූලව විවාහ වේ.
මේ අතර වාරයේ සිය ඉතාලි විසා බලපත්‍රය කල් ඉකුත්වීම කරනකොටගෙන, සේපාල විසින් එය දීර්ග කිරීමට ඉල්ලුම් කරන අතර ඉල්ලීම ප්‍රතීක්ෂේප කළ ඉතාලි ආගමන බලධාරින් නැවත ලංකාවට ගොස් ලංකාවේ ඉතාලි තානාපති කාර්ය්යාලය හරහා ඒ සඳහා ඉල්ලුම් කරන ලෙස දන්වා සිටී.
මෙම කරුණ සහ තවත් කරුණු කිහිපයක් මුල් කොටගෙන සේපාල සහ බිරිඳ අතර මත ගැටුම් හටගන්නා අතර, සිය දරුවාද කැටුව සේපාල ලංකාවට පැමිණේ.
පසුව සිය සහෝදරයකුද සමඟ ලංකාවට පැමිණෙන ඇනා, හෝටලයක නතරවන අතර සේපාල අමතමින් දැනුම් දෙන්නේ, වීසා සම්බන්ධ ගැටළු සියල්ල නිරාකරණය කරගත් අතර දරුවාද කැටුව හෝටලයට එන ලෙසය. දරුවාද රැගෙන හෝටලයට යන සේපාල, ඇයට දරුවා බාර දෙන අතර ඊලඟ දවසේ හෝටලයට යනවිට දැන ගන්නට ලැබෙන්නේ ඇනා සහ සොහොයුරා දරුවාද රැගෙන රටින් පිටව ගොස් ඇති බවයි.
නැවත ඉතාලියට යාමට, ඉතාලි තානාපති කාර්ය්යාලය හරහා විසා ලබාගැනිමට උත්සහා කලද, සිය සියළු උත්සහායන් අසාර්ථක වන්නේ කෝපයෙන් දැවුනු, අසහනකාරී පියෙකු ඉතිරි කරමිනි.
*******************************************************************************************************************
|
සේපාල ඒකනායක |
"This plane must land at Bangkok airport. Doors of the plane should not be open. Our demands must be communicated to the Bangkok airport and the Italian authorities immediately. All discussions with us should be restricted to radio communications only. We have got the most sophisticated bombs manufactured in Italy. If we feel that you are trying to deceive us or to attack us, the plane with all the passengers, will be blown up. Simultaneously with that explosion, or a little later, there will be two more blasts in Modena and another city in Italy."
" මෙම ගුවන් යානය, බැංකොක් ගුවන් තොටුපලට ගොඩ බැස්සවිය යුතුය. යානයේ දොරවල් විවෘත නොකළ යුතුය. අපගේ ඉල්ලීම් බැංකොක් ගුවන්තොටුපළ හා ඉතාලි බළධාරීන්ට වහාම දැනුම්දිය යුතුය. අප හා කෙරෙන සියළුම සාකච්චා ගුවන්විදුලි කථන මගින් පමනක්ම කල යුතුය. අප සන්තකයේහී ඉතාලියේ නිශ්පාදිත අති නවීන බොම්බ ඇති අතර, අපව රැවටීමට හෝ පහර දීමට උත්සහා කලහොත්, සියළුම මගීන් සමඟ යානය පුපුරුවා හරින අතර ඊට සමගාමිව හෝ මදකට පසුව, ඉතාලියේ මොඩෙනා නගරයේ හා තවත් නගරයක පිපිරීම් සිදුවනු ඇත."
පාලන මැදිරිය අමතා සිද්ධීය දැනුම් දුන් කපිතාන් Georgo Amarosa ඔවුන්ගෙන් ලද උපදෙස් මත ක්‍රියාත්මක විය.
" සියලුම මගීන් සිය ආසන පටි සවිකරගන, හදිසි ගොඩබැස්සවීමක් සඳහා සුදානම් වන්න"
නියමුවාගෙන් නිකුත් වූ මෙම නිවේදනයත් සමගම, එක් මගියකු හැර අනික් සියළුම මගීන් තුෂ්නිම්භූත විය. අවිනිශ්චිතතාවයට පත්විය. සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි ඔවුන්ට සිතා ගැනීමට අපහසු විය.
සේපාල ඒකනායකගේ නියෝගය මත, යානය බැංකොක් ගුවන්තොටුපලට ගොඩබැස්සවීය. ඔහු විසින් කරන ලද ප්‍රධාන ඉල්ලීම් තුනකි.
1. ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා, ඔහු වෙත පැමිණවිය යුතුය.
2. ඩොලර් 300,000.00 කප්පම් මුදලක් ඔහුට ගෙවිය යුතුය.
3. සියළුම මගීන්, ආරක්ෂක පරික්ෂා කිරීම් වලින් තොරව ගුවන් යානයෙන් පිටවීමට අවසර දිය යුතුය.
මුළු ලොවෙහිම අවධානය තායිලංතයේ, බැංකොක් නගරය වෙත යොමුව තිබුනි. සියළු මාධ්‍ය කරුවන් වෙන්නේ කුමක්දැයි දැනගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටියේය.
දීර්ග අවිනිශ්චිතභාවයකට අනතුරුව, අවසානයේදී, සේපාලගේ බිරිඳ සහ දරුවාද, ඉල්ලූ කප්පම් මුදලද බැංකොක් වෙත ලඟාවෙමින් පවතින බව ආරංචි විය. කෙසේවෙතත්, සියල්ල එලෙසින්ම විශ්වාසයට ගැනීමට අදිමදි කල සේපාල, තමන්ට තම දරුවාගේ කට හඬ ශ්‍රවණය කිරීමට අවැසිබව දන්වා සිටියේය. ( පසුකලෙක ෆ්‍රී ඒකනායක, තමාට මෙම සිද්ධිය මතක බවද සඳහන් කළේය. )
දිගු අදහස් හුවමාරුවකින් පසු, තමන්ගේ ඉල්ලීම් සියල්ල ලබාගත් සේපාල, සියළුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එකඟ විය. සියළුම මගීන් එකිනෙකා යානයෙන් පිටත්විය. අවසානයේ සේපාල යානයෙන් පිට වූ අතර, මුළු ලොවම සිද්ධිය මෙසේ, ලේ වැගිරීමකින් තොරව අවසන් වීම ගැන සැනසුම් සුසුම් හෙලූහ.
දැන් සේපාල හමුවේ ඇති අළුත් පැනයකි. තම බිරිඳ හා දරුවා සමඟින්, අළුතින් ලබාගත් ධනය උපයෝගී කොටගෙන නව ජීවිතය අරබන්නේ කොහේද යන්නයි. මෙහිදී සේපාල හමුවට එන තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපතිනිය වූ, මානෙල් අබේසේකර මහත්මිය, ඔහුට නැවත කිසිදු බියකින් තොරව ශ්‍රි ලංකාව බලා යා හැකි බව දැනුම් දුන්නාය. ( මෙම ප්‍රකාශය ගැන පරස්පර විරෝදතා ඇති අතර, පසුකලෙක ඇය විසින් එය මෙසේ ප්‍රතික්ශේප කොට ඇත.)
අවසානයේදී, සේපාල ශ්‍රි ලංකාවට යෑමට තීරණය කරන අතර 1982 ජුලි 02 වන දින සිය බිරිඳ සහ දරුවා සමගින් ලංකාවට පැමිනෙන්නේ රුහුණේ ජනතාව වෙතින් වීරයකුට ලැබෙන පිළිගැනීමක්ද සමගිනි. ඩොලර් 300,000.00 ක්වු කප්පම් මුදලද කිසිඳු අවහිරයකින් තොරව රේගුවෙන් නිදහස් කරගන්නා සේපාල, ගුවන්තොටුපලේ සිට
Ceylon Inter- Continental හෝටලය වෙත ගමන් කෙරුවේය.
*******************************************************************************************************************
සිද්ධිය මෙසේ අවසන් වුවද, ඉතාලි රජය සහ ජාත්‍යන්තරය එය ලෙහෙසියෙන් අත්හැරීමට සූදානම් නොවීය. ශ්‍රි ලංකා රජයට බලකරමින් ඔවුන් දන්වා සිටියේ, සේපාලව අත්අඩංගුවට ගෙන ඉතාලි රජයට බාර දිය යුතු බවයි. සුපුරුදු පරිධි සිය තර්ජනාංගුලිය දිගුකරමින් ලෝක පොලිස් කාරයා වූ ඇමරිකාව දන්වා සිටියේ, ශ්‍රි ලංකාව මේ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වුවහොත්, ශ්‍රි ලංකාවද ගුවන් මංකොල්ලකෑම් සම්බන්ධයෙන්, ලිබියා රාජ්‍යය ගණයේ රටක් ලෙස සැලකීමට සිදුවන බවයි. නැග එන ජාත්‍යන්තර පීඩනය හමුවේ ශ්‍රි ලංකාවද මේ සම්බන්ධයෙන් යම්කිසි දෙයක් කළයුතු තැනට තල්ලුවෙමින් පැවතුනි.
1982 ජූලි 02 වන දින රාත්‍රී 0800 පමණ, විදේශ ඇමති
A. C. Shaul Hamid සිය ජේෂ්ඨ නිළධාරි මණ්ඩලය, නීති උපදේශක වරුන්, විදේශ ලේකම් සහ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක සිය නිළ නිවසට කැඳවන්නේ මේ තත්ත්වය හමුවේ යම් දෙයක් කලම යුතු වූ බැවිනි.
පැයක පමණ සාකච්චාවකින් පසු, කොළඹ දිශාව බාර නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතාවද සාකච්චාවට සහභාගී කරගැනිම සඳහා කැඳවන ලදී. මිනිත්තු 15 ක් පමණ කාලයකදී එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා අදාළ ස්ථානයට පැමිණුනි. අවෙලාවේ කැඳවීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කොට සිටි, විදේශ ඇමති තුමා, කැඳවීමට හේතුව කෙටියෙන් විස්තර කරන ලදී. මෙය ශ්‍රි ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් නිළ වශයෙන් දැනුවත් කළ මුල්ම අවස්ථාව විය.
මේ අතර සේපාල සිය බිරිඳ සහ දරුවා සමගින්
Ceylon Inter- Continental හෝටලයේ 730 කාමරයේ නතරවී සිටි අතර, දෙස් විදෙස් මාධ්‍ය ඇතුළු, ඉතා විශාල පුද්ගල සංඛ්‍යාවක් ඔහුව හමුවීමට පැමිණෙමින් සිටියේය. කොටුව පොලිසිය සේපාලගේ සියළු කටයුතු සම්බන්ධයෙන් ඇස ගසාගන සිටි අතර නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතාවද දැනුවත් කොට තිබීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ඇමති තුමා ඇතුළු පිරිස, නවතම තත්ත්වය පිළිබඳව දැනුවත් කළහැකිවිය. ඇමති තුමා මේ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකොට සිටියේය.
අවසානයේදී, දීර්ග සාකච්චාවකින් පසුද, ගත හැකි ක්‍රියාමර්ගයක් නොදුටු ඇමතිතුමා, නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහාතා දෙසට හැරෙමින්,
"ඇයි අපිට මේ මනුස්සයව අත් අඩංගුවට ගන්ඩ බැරි ? " යැයි ඇසීය.
" සර්, මේ සම්බන්ධයෙන් පුවත් පත් වාර්ථා මිස, මේ දක්වා කිසිදු පාර්ශවයකින් අපිට පැමිණිල්ලක් ලැබිලා නැහැ. අනිත් එක, ශ්‍රි ලංකා නීතියේ හැටියට ඔහු කිසිදු අපරාධයක් නොකරපු කෙනෙක් හැටියට තමා සලකන්ඩ වෙන්නේ, මොකද ගුවන් යානා මංකොල්ලකෑම් වලට එරෙහි නීතියක් මේ දක්වා ශ්‍රි ලංකාවේ සම්මත කරගන නැහැ."
මේ අවස්ථාවේදී එක් නීති උපදේශකයකු කතා කරමින්,
" සර් අපි මේ සම්බන්ධයෙන්, පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉක්මනින්ම සම්මත කරගමු."
"තමුසෙට පිස්සුද ? ඕකට සතිගානක් යයි. අනිත් එක විපක්ශෙන් අපිට හොඳ ප්‍රහාරයක් හම්බවෙයි, IATA සම්මුතියට අත්සන් කරපු වෙලාවෙම මේක සම්මත කරගතේ නැති එක ගැන." ඇමතිතුමා කෝපයෙන් උත්තර දෙයි.
මෙහිදී කතාකල නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා, "සර් මේකට සම්බන්ධ කුමන හෝ පාර්ශවයකට, මේ ගැන පැමිණිල්ලක් කරන්ඩ පුළුවන්නම්, මම වගකීම බාර අරගන ඔහුව අත් අඩංගුව ගන්නම්." තවදුරටත් කතාකරමින් ඔහු යොජනා කොට සිටියේ Alitalia ගුවන් සේවයේ අයිතිකරුවන් ලෙස, ඉතාලි රජය වෙනුවෙන්, ඉතාලි තානාපති මේ සම්බන්ධයෙන් පමිණිල්ලක් කරන්නෙනම් වඩාත් ප්‍රතිඵලදායක විය හැකි බවයි.
මෙහිදී දුරකථනය වෙත ගිය ඇමතිතුමා ඉතාලි තානාපතිවරයා අමතන්නට විය. " මිනිහා දැන්මම එන්නම් කිව්වා " කියමින් ඇමතිතුමා දුරකථනය විසන්දි කළේය.
රාත්‍රී 11.00 ට පමණ ඉතාලි තානාපති
Franco Micieli de Biase මහතා, එම ස්ථානයට ලඟාවිය. තත්ත්වය පැහැදිලි කිරීමෙන් පසු, ඉතාලි තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට එකඟ වූ අතර, නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා පසුදින ඉතාලි තානාපති කාර්ය්යාලයට ගොස් එම පැමිණිල්ල ලබා ගැනීමට එකඟ විය.
පසු දින ඉතාලි තානාපති කාර්ය්යාලයට වාර්ථාකල නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා සහ කොටුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක
George Nicholas මහතා පහත සඳහන් පැමිණිල්ල, ඉතාලි තානාපතිවරයා අතින් බාරගන්නට යෙදුනි.
Colombo, 2nd July 1982
"Ambasciata d'Italia
Colombo.
N. 1508
The Inspector General of Police,
Police Headquarters,
Colombo 1
Dear Sir,
Acting on behalf of the Italian Government, I wish to lodge a complaint with the Sri Lanka Police Authorities that the Sri Lankan national Sepala Ekanayake, born on 30.6.1947 at Matara, has hijacked an airplane (Flight No. AZ 1790) of Itali's national airline ALITALIA on 29.6.82 in Bangkok, Thailand, taking hostage of the crew and passengers and subsequently extorted and obtained a ransom of 300,000 US $ from the Italian Government for the release of such hostages and the aircraft.
On behalf of the Government of Italy, I kindly request the Sri Lanka Police Authorities to take necessary action under law against said Sepala Ekanayake for the crime committed and for the return of 300,000 US $ to the Italian Government.
Thanking you,
Yours sincerely,
Sgd/
(Franco Micieli de Biase)
Italian Ambassador
පරිවර්තනය.
1982 ජූලි 02
ඉතාලි තානාපති කාර්ය්යාලය
කොළඹ
අංක 1508
පොලිස්පති තුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ 1.
මහත්මයාණනී,
ඉතාලි රජය වෙනුවෙන් කටයුතු කරමින්, පහත සඳහන් පැමිණිල්ල ඔබ වෙත බාර දීමට මා බලාපොරොත්තු වෙමි.
1947 ජුනි 03 වන දින මාතරදී උපත ලද, ශ්‍රි ලංකිකයකු වූ, සේපාල ඒකනායක නැමැත්තා 1982 ජුනි මස 29 වන දින තායිලංතයේ බැංකොක් නුවරදී, ඉතාලි රජයට අයත් Alitalia AZ 1790 ගුවන් යානය එහි ගමන් ගත් මගීන්ද සමඟ පැහැරගෙන, ඔවුන් සහ කාර්ය්යය මණ්ඩලය, ප්‍රාණ ඇපයට තබා ගනිමින් ඩොලර් 300,000.00 කප්පම් මුදලක් ඉතාලි රජයෙන් ලබා ගැනීමට කටයුතු කොට ඇත.
ඉතාලි රජය වෙනුවෙන්, මා ශ්‍රි ලංකා පොලීසියෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, කළ වරද සම්බන්දයෙන්, පවත්නා නීතිය යටතේ, සේපාල ඒකනායක නැමැත්තාට එරෙහිව නිසි පියවර ගෙන, ඩොලර් 300,000.00 මුදල නැවත ඉතාලි රජයට ලබාදීමට කටයුතු කරන මෙනි.
ස්තූතියි.
මෙයට විශ්වාසී,
Sgd/
(Franco Micieli de Biase)
ඉතාලි තානාපති.
---------------------------------
එම ලියවිල්ල නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස, පොත්වල සටහන් කිරීමෙන් පසු, එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා, ප්‍රධාන පොලිස් පරීක්ශක George Nicholas මහතාට, නියෝග කරමින් කියා සිටින්නේ සේපාල ඒකනායකව වහා අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය හමුවට පමුණුවන ලෙසයි.
මේ අනුව ක්‍රියාත්මක වන ප්‍රධාන පොලිස් පරීක්ශක
George Nicholas මහතා, සේපාල ඒකනායකව අත්අඩංගුවට ගැනිමට හෝටලයට ගියද ඔහුට දැනගනීමට ලැබෙන්නේ සේපාල ඒකනායක ඒ වනවිටත් සිය බිරිඳ හා දරුවා සමඟ හෝටලයෙන් පිටව ගොස් ඇතිබවයි. වැඩිදුරටත් සිදුකල පරික්ශණ වලින් දැන ගැනීමට ලැබෙන්නේ ඔවුන් ගාල්ල බලා ගමන් කොට ඇති බවයි. එදිනම සවස ගාල්ලේදී සේපාල ඒකනායකව අත්අඩංගුවට ගනු ලබයි.
මෙහිදී වහා ක්‍රියාත්මක වූ, ඉතාලි තානාපති කාර්ය්යාලය, සේපාලගේ බිරිඳව සහ දරුවාව, කඩිනමින් නැවත ඉතාලියට යැවීමට කටයුතු කරන ලදී.
සේපාල ඒකනායකව මෙසේ අත් අඩංගුවට ගත්තද ඔහුට එරෙහිව කටයුතු කිරීම්ට නීතියක් ශ්‍රි ලංකාවේ ඒ වන විට නොපැවති හෙයින්, සේපාලව අධිකරණය ඉදිරියට පැමිණවීමට පෙර එය සම්මත කර ගැනීම අවශ්‍යය විය.
එලෙස ගුවන් මංකොල්ලකෑම් වලට එරෙහි නීතිය, අතීතයටද බලපාන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සම්මත කරගැනීමෙන් අනතුරුව, සේපාල ඒකනායකව, ඉහල උසාවියෙ විනිසුරු J.J.S.A ඩයස් උපවංශ යාපා මහතා ඉදිරියට පමුණුවන ලද අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ද නීතීඥ රන්බංඩා සෙනෙවිරත්න මහතා පෙනී සිටින ලදී.
නඩු විභාගය අවසානයේදී, සේපාල ඒකනායකට, පස් වසරක සිරදඩුවමක් හිමිවන අතර, 1987 දී ඔහු එයින් නිදහස් විය. පසුකලෙක සේපාල, ඉංග්‍රීසි ගුරුවරියක හා විවාහ වන අතර, ඔවුන්ගේ කැදල්ලට දරු දෙදෙනෙකුද එකතු වේ.
තමාට ඇති ආදරය වෙනුවෙන් මුළු ලෝකයම හෙල්ලූ මේ ශ්‍රේෂ්ඨ තාත්තා බැලිමට, වයස 19 දී ෆ්‍රී ඒකනායක ලංකාවට පැමිනෙන අතර, පිය පාර්ශවයෙන් ශ්‍රි ලංකිකයකු වන ෆ්‍රී, තමන් ලංකාවට හා එහි අහාර වලට රුචි බවද සඳහන් කරයි. අනාගතයේ දවසක කරුණු යෙදෙන ලෙස, සමහර විට තමන් ශ්‍රි ලංකාවේ පදිංචි වීමට පැමිණීම උවද විය හැකි බව ෆ්‍රී ඒකනායක සඳහන් කරයි.
වැඩි විස්තර මෙතනින්.
|
වසර 16කට පසු හමුවූ පියා සහ පුතා |
|
ෆ්‍රී සිය සොයුරු සොයුරියන් සමඟ
|
එදා මෙදා තුර ගුවන් යානා මංකොල්ලාකෑම් ඉතිහාසය පරික්ෂා කිරීමේ දී, දේශපාලනික නොවූ, මානුෂීය හේතුවක් පදනම් වූ, එකම ගුවන් යානා මංකොල්ලය, සේපාල ඒකනායක විසින් සිදුකල ගුවන් කොල්ලය සේ සැලකිය හැකිය. එසේම ගුවන් යාන මංකොල්ලයක් සිදුකල ප්‍රථම සහ එකම ශ්‍රි ලාංකිකයා ලෙසද සේපාල ඒකනායක ඉතිහාසයට එක්වේ.
සේපාල ඒකනායක සතුව ගුවන් යානය පුපුරුවා හැරීම සඳහා පුපුරන ද්‍රව්‍ය හෝ බෝම්බ නොතිබුන පසුව මාධ්‍ය වාර්ථා ඔස්සේ කියවුනද, ඒවා ප්‍රතික්ශේප කරන සේපාල, තමා සතුව බෝම්බ 10 කට ආසන්න සංඛ්‍යාවක් තිබුන බව පිළිගනී.
ඇන්ටන් ජෝන්ස් විසින් සේපාල ඒකනායකට උපහාර ලෙස ගැයූ ගීතය.
පසු සටහන :
මෙහි එන සමහර දෙබස් සහ අවස්ථා, එලෙස සිදුවන්නට ඇතැයි උපකල්පනය කොට මනඃකල්පිතව යොදන ලදී. ඒවා සත්‍යය සිද්දියෙන් මදක් බැහැර විය හැකි බව කරුණාවෙන් සළකන්න.
මූලාශ්‍ර;
http://en.wikipedia.org/wiki/Sepala_Ekanayake
http://www.lankanewspapers.com/news/2007/1/11534_space.html
http://www.island.lk/2008/05/31/satmag1.html
http://www.island.lk/2008/05/21/opinion1.html
http://sundaytimes.lk/980301/plusm.html
http://www.nation.lk/2007/07/15/newsfe5.htm
විශේෂ ස්තූතිය;
මුළින් ලියවුන, සදොස් බහුල ලිපිය කියවා, ඒ ගැන සිය අදහස් ප්‍රකාශ කොට, වඩා නිවැරදි තොරතුරු අඩංගු සබැඳියක් ලබා දුන්, හරී මිතුරාට. එසේ නිවැරදි කෙරුන කොටස් නිල් පාටින් සළකුනු කොට ඇත.
පින්තූර : Google Images
දැන් කියවමු අපේ සංවාදේ;