2012 ඇසල මස 27 වනදා
යාන්තම් ඇහැ පියවීගන ආවා විතරයි, එතකොටම වගේ ඇහැරුණා වගේ තමා මතක. ඒ ඉතින් අපේ හැටිනෙ. තාම හොඳටම කළුවරයි. එළිය බැලුවට එච්චරම පැහැදිලිත් නෑ. මම වාඩි වෙලා හිටපු පටිය දිගේ බිත්තිය අයිනට ගියේ යාන්තම් හරි එළියක් පේනවද බලන්ඩ. මොන ! පට්ට කළුවරයි. අල්ලපු ගෙදර කුකුල් රාජයනම් අඬලන සද්දෙ ඇහුණා. ඒ කියන්නෙ තව සෑහෙන වෙලාවක් මෙහෙම ලැගගන ඉන්ඩ ඕනා කියන එකයි. මට එපාම කරපු දෙයක් තමයි ඇහැරුණාට පස්සෙ මේක ඇතුළට වෙලා ඉන්න එක. ඒත් කොහොමද එළියට යන්නෙ. එකක් දොර අගුල දාලා. ඒ නැතත් බෝධිසත්වයගෙන් කිසිම අවසරයක් නෑ මේ කළුවර ජාමේ එළියට බහින්ඩ.
මට ඉතින් මෙහෙම ඉන්නකොට නා නා ප්‍රකාර දේවල් ඔළුවට එනවා. ආයෙත් අර කුකුළා අඬලනවා. එයාල ඉන්නෙ හරි උඩින්. ඒක නිසා කෑ ගහන සද්දෙ වටේටම හොඳටම ඇහෙනවා. ඒ ගොල්ලන්ගේ කූඩුව හරි අමුතුයි. ඒක තියෙන්නෙ ගහක අත්තක එල්ලලා. ඒ ගෙදර මිනිස්සු හැමදාම හවසට ඒකට ඉණිමගක් හේත්තු කරනවා. එතකොට කුකුල්ලු ටික ඒ ඉණිමග දිගේ නැගලා තමා කූඩුවට යන්නෙ. මම බලන් ඉඳලා තියනවනෙ ඒ ගොල්ලො නගින හැටි. එක එකා සැරින් සැරේ ඒ ගොල්ලන්ට ඕනා වෙලාවට තමා ඇවිත් නගින්නෙ. එක පඩියක් නගිනවා, ආයෙ ටිකක් ඉන්නවා, ඔන්න ඔහොම තමා නැගිල්ල. කොහොමින් කොහොම හරි ගොම්මන් කළුවර වැටෙනකොට ඔක්කොමල්ලා ටික ඉණිමග නැගලා කූඩුවට යනවා. ඒ ගොල්ලො ඒකට පුරුදු වෙලා. ඊට පස්සෙ ඒ ගෙදර මිනිස්සු ඉණිමග අයින් කරනවා. උදේට ඒ ගොල්ලො පියාබලා පහළට එනවා. මාත් දවසක ගිහින් බලන්ඩ ඕනා ඕකට. ඒ කූඩුවෙ ලගින රත්තා අයියානම් කියන්නෙ ඒ ගොල්ලන්ගෙ ආරක්ෂාවටලු ඒක එහෙම හදලා තියෙන්නෙ. කලවැද්දන්ගෙන් එහෙම බේර ගන්ඩ. ඒ කථාවත් ඇත්ත එක අතකින් බලපුවම. එල්ලලා තියන කම්බිය දිගේ බඩගාගන ආවොත් මිසක් කාටවත් ඒකට ළංවෙන්න ලේසි නෑ. කාටද ඔය කම්බි දිගේ බඩ ගාන්ඩ පුළුවන්.
අපිටනම් එච්චර ආරක්ෂාවක් නෑ තමා. මේක නිකම්ම නිකන් ගල් වලින් බැඳපු කූඩුවක්. ඒකත් බිම ඉඳන් අඩි තුනක් විතර. ඊට පස්සෙ වටේටම පුවක් ලී වගේ පටි ජාතියක් ගහලා තියෙන්නෙ. අපේ කට්ටිය නම් තාම හොඳටම නිදි වගේ. එතකොට මට විතරද මේ නින්ද නොයන්නෙ ? නැත්තම් ඒ ගොල්ලොත් නිදි වගේ ඉන්නවද ?
අපි ඔක්කොම අට දෙනෙක් මේ කූඩුව ඇතුළෙ හිටියා. ගෑනු පිරිමි කලවමේ. වැඩියෙන් හිටියෙ පිරිමි තමා. කුකුළො හයයි, කිකිළියො දෙන්නයි. අපි හය දෙනාම ලැගලා හිටියේ කූඩුව හරහා අඩි දෙකක් විතර උඩින් හයි කරලා තිබුණ පටි උඩ. අපිට වෙන් වෙච්ච ස්ථාන තිබුණා ඒ පටි වල. කිසිම හේතුවක් නිසා කවදාවත් ඒවා මාරු වුණේ නෑ. කවදාවත් අනිකගෙ තැන ගන්ඩ අපි පොරකෑවෙත් නෑ. කිකිළියො දෙන්න නම් හිටියෙ බිම ලැගලා. දහයියා ගොඩේ. ඒවයෙ ටිකක් යටට පොඩි වළක් හාරගන ඒක ඇතුලෙ තමා උන් ළගින්නෙ. එහෙම ඉන්නකොට පොඩි උණුසුමක් දැනෙනවා.
අපේ කාණ්ඩෙ නායකයා තමා "බෝධිසත්ත්වයා". ඌ බොහොම ආඩම්බරකාර, හොඳට උස මහතට හැදුණ කුකුල් නාම්බෙක්. අපි ඔකොම ගරු කළේ උගෙ ඇඟේ ප්‍රමාණෙට නෙමේ. උගෙ තියන බෝසත් ගති වලට. ඌ අපි හැමෝටම හොඳ නායකයෙක්. අපි හැමෝ ගැනම හොඳට හොයලා බැලුවා. හොඳ මොකක්ද නරක මොකක්ද කියන එක ගැන ඌට හොඳ අවබෝධයක් තිබුණා. අපි අතර වෙන පොඩි පොඩි සණ්ඩු සරුවල් වුණත් ඌ මැදිහත් වෙලා තමා විසදෙන්නෙ. දවසක් රාජාලියයි මමයි අතර කඳන් පණුවෙකුට ඇතිවුණ පොරය බේරුවෙත් බෝධිසත්ත්වයා තමා. අපිට මේ ඔක්කොම නම් දාලා තියෙන්නෙ මේ ගෙදර ඉන්න ළමයි. ඒ ගොල්ලො ගැන පස්සෙ කියන්නම්. බෝධිසත්ත්වයට ඒ නම් දාන්න ඒ ගොල්ලොත් මේ මම දකින විශේෂ ලක්ෂණ දකින්න ඇති කියලා මට හිතෙනවා. බෝධිසත්ත්වයා තනිකරම සුදුම සුදු කුකුළෙක්. කරමල විතරක් රතු පාටින් කැපිලා පේනවා.
ඊ ළඟට "රාජාලියා". අපේ රැහේ කේන්ති කාරයා. බෝධිසත්ත්වයා ඇරෙන්න අපි හැමෝම ඌට බයයි. ඌට මහ දරුණු පොර කටු දෙකක් තිබුණා. අපිව බය වුණේ ඒ පොර කටු වලට තමයි. ඌ හරි හයිරන් කාරයා. හැමතිස්සෙම අනුන්ගෙ දේවල් බලෙන් උදුර ගන්ඩ තමා මාන බැළුවෙ. පොර කටු දෙකේ හයිය නිසාද මංදා හැම තිස්සෙම වලියකටම තමා අරාදින්නෙ. මමත් හුගක් වෙලාවට ඌට තැන දීලා මගෑරල යනවා. ඒ අර පොර කටු දෙකෙන් පාරක් කන්ඩ අමාරු නිසා. ඒත් හැම වෙලාවෙම ඉවසන්ඩත් බෑනෙ. එහෙම ඇතිවෙච්ච සණ්ඩුවක් තමා එදා බෝධිසත්ත්වයා මැදිහත් වෙලා බේරුවෙ. මූ කෙට්ටු උස කුකුල් නාම්බෙක්. රතට හුරු දුබුරු පාටක් තමා මූට තිබුණෙ. නිකන් රාජාලියෙක්ගෙ පාටට හුරු පාටක්. පෙනුමත් ටිකක් ඒ වගේ. ඒක නිසා වෙන්ඩ ඇති ඌට ඒ නම හම්බෙන්ඩත් ඇත්තෙ.
ඊට පස්සෙ ඉන්නෙ අපේ "ජොකොල". ඌ නම් පොඩි කාලෙම වෙච්ච මොකක්ද අනතුරකින් එක කකුලක කොරයක් තියන එකෙක්. දුබුරු පාට හොඳ පුෂ්ටිමත්ව හැදුණ කුකුල් නාම්බෙක්. හබැයි අහින්සකයා. ඒ ආබාධිත හින්දමත් නෙමේ. ඒ උගේ හැටි.
ඊළඟට මම ගැන කියන්නම්කො. මට මේ ගෙදර ළමයි දීලා තියන නම තමා "සුද්දා". මම බෝධිසත්ත්වයා තරම්ම සුදු නොවුණත් සැහෙන සුදක් තිබුණ කුකුළෙක්. ඒත් බෝධිසත්ත්වයට සුද්දා නොකියා මට සුද්දා කිව්වෙ, බෝධිසත්ත්වයට, බෝධිසත්ත්වයා කියන නම හොඳටම ගැලපෙන නිසා වෙන්න ඇති.
ඊළඟට "පොඩි එකා". ඌ ශරීර ප්‍රමාණයෙන්ම පොඩියි. ඒක නිසා වෙන්ඩ ඇති ඒ නම දාන්ඩ ඇත්තෙ. කළුපාට ඇඟේ සුදු පාට වෛරම් වැටිච්ච කුකුළෙක් ඌ. ඌට නාම්බෙක් කියන්ඩ නම් බෑ. එච්චරට පොඩියි.
අන්තිමට ඉන්නෙ " අන්තිමයා ". ඌට ඇයි අන්තිමයා කියන්නෙ කියලා මම දන්නෑ. ඌත් බොහෝ දුරට මම වගේ.. පාටනම් මට ප්‍රතිවිරුද්ධයි. කළු පාට. ඌට "කල්ලා" නොකියා අන්තිමයා කිව්වෙ ඇයි කියලා ඉතින් මේ ගෙදර ළමයින්ගෙන්මයි අහන්ඩ ඕනා.
ඊට පස්සෙ ඉන්නෙ අපේ නෑම්බියො දෙන්නා. උන් දෙන්නා ගැන කියන්ඩ ඉතින් විශේෂ දෙයක් නෑ. අපි හැමෝගෙම ආදරය කරුණාව උන් දෙන්නට යහමින් හම්බුනා. ඉඳලා හිටලා අල්ලපු ගෙදර රත්තයි, අනික් නාම්බයිත් උන්ට ආදරය කරන්ඩ එනවා මම දැකලා තියනවා. කුකුල්ලු වෙච්ච අපිට ඕවා ඉතින් මහ ලොකු දේවල් නෙමේ. බෝධිසත්ත්වයගෙන් උණත් ඒවට විරෝධයක් තිබුණෙ නෑ. ඒ උන්දැට ලෝකස්වභාවය ගැන හොඳ වැටහීමක් තියන නිසා වෙන්ඩ ඇති. අපේ නෑම්බියො දෙන්නා දාන බිත්තර නම් මේ ගෙදර අය ඔක්කොම එකතු කරගන්නවා. මුන් දෙන්නත් ආ මෙන්න ඇවිත් අර ගනිල්ලා කියනැහැ බිත්තරේ දාලා කෑ ගහනවනෙ. ගෙදර අයත් පොඩි වී අහුරක පගාවක් දීලා බිත්තරේ අරගන යනවා.
කුක්කු කූක් කූක්......
ඒ බෝධිසත්ත්වයගේ නාදය. මමත් අඩලන්න කිහිප වරක් උත්සහ කළාට තාම මට ඒක හරියට බෑ. රාජාලියත් ඉඳලා හිටලා අඬලනවා අහලා තියනවා. දැන් ඉතින් බෝධිසත්ත්වයි, එහා ගෙදර නාම්බයි තරගෙට අඩලන එක සාමාන්‍යය දෙයක් අපිට.
අපේ කූඩුවට යාබදව ඉස්සරහින් තියෙන්නෙ අර මම කලින් කියපු ළමයි ඉන්න ගෙදර. බෝධිසත්ත්වයා අඬලලා ටික වෙලාවකින් ඒ ගෙදර එළි පත්තුවෙන්ඩ ගන්නවා. ඕක තමා සාමාන්‍යයෙන් හැමදාම වෙන සුපුරුදු චර්යාව. මේ ගෙදර මිනිස්සු උදෙන්ම ඇහෙරෙන අය. ගෙදර හැමෝමත් නෙමේ. ගෙදර ළමයි "අම්මා" කියලා කතා කරන ගෑනු කෙනා අනිවාර්යයෙන් බෝධිසත්ත්වයා කෑගහලා ටිකකින් නැගිටිනවා. ඒ ඇරුණම ලොකු පිරිමි ළමයි දෙන්නම හෝ එක්කෙන් නැගිටලා ඉන්නවත් පේන්ඩ හම්බෙනවා. වටේ පිටේ අනිත් ගෙවල්වල ඔක්කොම අය ඊට ගොඩක් පස්සෙ තමා අවදිවෙන්නෙ.
දැන්නම් හොඳටම එළිය වැටිලා. ඒත් අපේ කූඩුව තාම වහලා. මට ඔය තරම් කේන්ති එන වැඩක් තවත් නෑ. මෙච්චර එළි වෙලත් අපිව මේ කූඩුවෙ හිර කරන් ඉන්න එක කොච්චර අසාධාරණද ? ඒකට අල්ලපු ගෙදර රත්තලා. උදෙන්ම පහළට පියාබලා එනවා. එහෙව් නිදහසක් !
ටිකකින් අපේ කූඩුව ඇරියේ මේ ගෙදර ලොකු ගෑනු ළමයා. කූඩුව ඇරපු ගමන් උන්දැ දුවලා ගිහින් ළඟ තියන බිත්ති කණ්ඩියට නැග ගන්නවා. මොකද අපි ගාල කඩා ගත්තු හරක් වගේ එක රොත්තට එළියට පැනලා දුවගෙන එන එකට ඒ ළමය බයයිද කොහෙද. රැයක් තිස්සෙ හිරවෙලා ඉඳලා ඇඟේ හිරි ඇරගන්ඩත් එක්ක අපි වේගෙන් වත්ත පල්ලැහට දුවගන ගියා. බෝධිසත්ත්වයා, රාජාලියා එහෙම නම් ටිකාක් දුර පියාබගනත් ගියා.
අපේ කූඩුව තිබුණ, මේ වත්තෙ ඉස්සරහාම තිබුණෙ මම අර කලින් කියපු ගෙදර. ඊට පස්සෙන් අපේ කූඩුව තිබුණා. වත්තෙ මැද්දට වෙන්ඩ තවත් ගල්වලින් බැඳපු කාමරයක් වගේ එකක් තිබුණා. ඒ ගොල්ලො නම් ඒකට කිව්වෙ " කක්කුස්සිය " කියලා. ඔතනින් එහාට මේ වත්තෙ සෑහෙන විශාල ගස් වලින් ආවරණය වෙලා තිබුණෙ. කොස්, පොල්, දෙල්, කිතුල්, මිල්ල, කෝපි ආදී නනාප්‍රකාර ගස් වලින් වත්ත පිටි පස්ස හෙවන වෙලා තිබුණෙ. අපි කූඩුව ඇරපු ගමන් දුවගන එන්නෙ මේ පිටිපස්සට තමා. එහෙ හොයාගන්ඩ කෑම ඕන තරම්. පොඩ්ඩක් බිම පහුරු ගාපුවම පණුවෙක්, වේයෙක්, කැරපොත්තෙක් හොයාගන්න එක මහ අමාරු දෙයක් උණේ නෑ. රත්තලා හිටපු වත්තත් මේ අපේ එක වගේමයි. ඉස්සරහා ගෙදර, පිටිපස්සෙ වදුල. එතකොට අනිත් පැත්තෙන් තිබුණ වත්තත් එහෙමයි. අපි බඩගෝස්තරය හොයගන යන රාජධානිය වෙලාතිබුනෙ ඔය වතු තුන එකතු වෙච්ච ප්‍රදේශය තමා. ඔය වතු තුනටම පිටිපස්සෙන් ගලාගන ගිය පුංචි දිය අගලක් තිබුණා. අපි වතුර තිබහක් එහෙම ආවොත් ඕකෙන් තමා පිරිමහ ගන්නෙ. ඔය අගලට එහායින් තිබුණෙ මහා කැලයක්. ඒකෙ එක එක ජාතියෙ විශාල ගස් තිබුණා. ගෙදර අය නම් ඒකට කිව්වෙ "කුරුන්ද" කියලා. බෝධිසත්ත්වයා අපිට එහෙට යන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබුණේ. ඒ කුරුන්දෙ අගල් කණ්ඩිය උඩ ඉඳන් නරි කෑ ගහනවා ඇහිච්ච රාත්‍රියේ ඉඳලා. එහෙ නොගියට අපිට මේ වතු තුනේ කෑම ජාති එමටයි. අපි හිටපු වත්තෙ පිටිම පස්සට වෙන්න හරි අපූරු ළිඳක් තිබුණා. මේ මිනිස්සු ඒක පාවිච්චි කළේ වතුර ඇදලා ඇඟේ හලා ගන්ඩ. මට හිතාගන්ඩ බෑ මිනිස්සු ඇයි වතුර අරන් ඇඟේ හලා ගන්නෙ කියලා. දූවිලි ටිකක් ඇඟේ තවරගත්තම ලැබෙන සනීපෙ ලබෙනවද ඒකෙන් ! මෝඩ මිසිස්සු. ඒ ළිඳේ වැහි කාලෙට කට ගාවට වතුර පිරිලා. මේ ගෙදර අය අතින් වතුර ඇදලා තමා ඇඟේ හලා ගත්තෙ. පායන කාලෙට වතුර ටිකක් අඩු වෙනවා. එතකොට ඒ ගොල්ලන්ට කොට කඹ කෑල්ලක් ඕනා වෙනවා. එච්චරයි. ඔය ඇඟේ හලා ගන්න වතුර ඔක්කොම පොඩි කාණුවක් දිගේ යන්නෙ අර මම කලින් කියපු අගලට. ඔන්න ඔය කාණුව අපිට කෑම උල්පතක්. ඔතන පොඩ්ඩක් පහුරු ගාපුවම පණුවො රොත්තක් හොයා ගත්තෑකි.
බා බා බා බා ......
ඔය හඬ ඇහෙන්නෙ අපි කෑම හොයන්ඩ පිටිපස්සට ඇවිල්ලා ටික වෙලාවක් ගියාට පස්සෙ. ඉර මුදුන් වෙන්ඩ ටික වෙලාවක කලින්. ඔය සද්දෙ මොකක්ද කියන්ඩ අපි පුරුද්දෙන්ම දන්නවා. ඒ කතා කරන්නෙ අපිට කෑම දෙන්ඩ. අපිට මෙහෙ කොච්චර කෑම වලින් හිඟයක් නොතිබුණත්, නිකන් හම්බෙන ඒ කෑම ටික කන්ඩ අපි ඔක්කොමලා දුවගන යනවා. ඒ ගියාම ඒ ගෙදර මිනිස්සු බතුයි, පොල්කුඩුයි, පුන්නකුයි අනපු කෑම අහුරු අහුරු අපි ඉන්න දිහාට විසි කරනවා. අපි ඉතින් වටවෙලා ඕවා අහුලගන කනවා. ඉඳලා හිටලා පොඩි පොඩි ආරවුළුත් ඇති වෙනවා කෑම බෙදාගන්ඩ ගිහින්. ඒව ඔක්කොම ඉතින් බෝධිසත්ත්වයගෙ එක කෙටීමකින් ඉවර වෙනවා. ඔය ටික කෑවට පස්සෙ ආයෙත් සුපුරුදු රාජකාරියට යනවා. පොළව පහුරු ගගා කෑම සොයා යාම. ඇති වුණාම හොඳට දූවිලි ඉතියන තැනක් බලල හොඳට පෙරළි පෙරළි දූවිලි ටිකක් නා ගන්නවා. ඔය අතරෙ නෑම්බියන් පස්සෙන් පැන්නීමත් සිද්ධ වෙනවා. ඒකට ඉතින් අපේ නෑම්බියො දෙන්නයි, අල්ලපු ගෙදර රත්තලාගෙ කූඩුවෙ හිටපු නෑම්බියො ටිකයි හිටියා. ඔහොම ඉතින් දවස ගෙවාදාලා ඉර අවරට යන ගොම්මනේ අපි හිමීට කූඩුවට ගාටනවා. ගෙදර අයත් ඒ ගැන දන්න නිසාද කොහෙද කූඩුවෙ දොර ඇරලා තමා තියෙන්නෙ. ඕක තමා අපේ දින චර්යාව. ඇත්තටම මම නම් හරිම තෘප්තිමත් මේ ජීවිතය ගැන. ලෝකෙ කොච්චර ලස්සන තැනක්ද !
~~~~~
අද නම් මට ඇහැරුණේ එහා ගෙදර නාම්බගේ ඇඬලිල්ලට. මමත් තටු දෙකම එහම ගහලා පොඩ්ඩක් අඬලන්ඩ උත්සහා කළා, මොන ! තව ටිකක් කල් ඕනා වගේ.
පුරුදු විදිහටම ටිකකින් බෝධිසත්ත්වයා ඇඬලුවා. ඊට ටිකකට පස්සෙ ඉස්සරහා ගෙදර එළි පත්තු වුණා. මට එක අතකින් හරි ප්‍රශ්නයක් ඇයි මේ ගෙදර මිනිස්සු විතරක් උදෙන්ම නැගිටින්නෙ කියලා. අහල පහළ අනිත් ගෙවල්වල ඔක්කොමල්ලා හොඳටම නිදි. වෙන එකක් තියා අපේ සමහර ඇයෝත් හොඳ නින්දේ.
මේ ගෙදර හිටිය පිරිමි මනුස්සයා, අර ළමයි " තාත්තා" කියපු මනුස්සයා, ගෙදර හැමෝටම වඩා උස, උසට සරිලන මහත මනුස්සයෙක්. මට හිතුණ හැටියට නම් ඒ මනුස්සයා හොඳ කෙනෙක්. අපිට නම් අබමල් රේණුවක් තරම් වත් හිරි හැරයක් තිබුණෙ නෑ. හුගක් වෙලාවට උදෙන්ම නැගිටලා රෝද දෙකක් උඩ යකඩ පටි හයිකරපු වාහනයක නැගලා යනවා. ආයෙ එන්නෙ හවසට. ගෙදර ඉන්න දවසට නම් වත්තෙ පිටියෙ මොකක් හරි වැඩක් කරනවා. හුඟක් වෙලාවට මොනවද හප හප රතු පාටට කෙළ ගහනවා. හැබැයි උදේ ඉන්න මනුස්සයා නෙමේ හවසට ඉන්නෙ. උදේට කනට ඇහෙන්ඩ කතා නොකරන මනුස්සයා හවසට හරියට කියවනවා. ඒත් සද්දෙන් කතා කරනවනම් කවදවත්ම ඇහිලා නෑ.
ගෙදර ගැනු මනුස්සයත් හරි උත්සහවන්තී. මම හිතන්නෙ ඔය උදෙන්ම නැගිටින්නෙත් ඒ වගේ මොකක් හරි දේකට තමා. කොයි වෙලේ බැලුවත් මොකක් හරි වැඩක තමා ඉන්නෙ. නිතරෝම ලොකු ඉඳිකටුවක් වගේ එකක් අතේ තියන් ලොකු කඹ වගේ ජාතියක් එකට මහමින් ඉන්නවා මම දැකලා තියනවා, ඉඳල හිටලා ඔය ගේ අතුලට ගිය දවස් වලට. මේ ගෙදර ළමයි ඔය කඹ වගේ ජාතිය ගොතනවා මම දැකලා තියනවා. සමහර වෙලාවට රත්තලෑ ගෙදර හිටපු පිරිමි ළමයෙකුත් ඒකට හවුල් වුණා. ඒ ගොල්ලො ඔය වැඩේ කරනකොට මමත් ඉතින් ඔය අහල පහළ දැවටි දැවටි කෑම හොයනකොට ඇහුණ කතා වලින් තේරුණේ මේවා ගොතනවට ඒ ගොල්ලන්ට අර "අම්මා" කියන ගැහැණු මනුස්සයා පොඩි ගාණක් ගෙවනවා. ඒ ගොල්ලො ඒවයෙන් ඉස්සරහට එන මොකක්ද උත්සවයකදි රතිඤ්ඤාද මොනවද ගන්ඩ තමා කතාව.
ඊට පස්සෙ ළමයි පස් දෙනා. මම කලින්, සැරින් සැරේ කීවෙ ඒ ගොල්ලො ගැන තමයි. අපිට දාලා තියන නම් ඔක්කොම ඒගොල්ලන්ගෙ නිර්මාණ. ලොකුම එක්කෙනා පිරිමි ළමයෙක්. මිනිහත් හරි ධෛර්යයවන්තයා. හුඟක් වෙලාවට උදෙන්ම නැගිටලා අම්මා කරන මොකක් හරි දේකට එයත් උදව්වෙනවා කියලා තමා මට හිතුණේ.
දෙවෙනියත් පිරිමි ළමයෙක්. මිනිහා ටිකක් අපේ රාජාලියා වගේ. හැමතිස්සෙම මොකක් හරි රණ්ඩුවක පැටලෙන්ඩ තමා බලන්නෙ. එයාට බාල අය නිතරම එයාගෙ අඩන් තේට්ටම් වලට යට වුණා කියලා තමා මට හිතුණේ. " අම්මෙ පොඩි අයියා ගැහුවා " කියන ආඩපාලිය නිතරම වගේ අහන්ඩ ලැබුණා. මිනිහට තව කාලෙන් කාලෙට එක එක පිස්සු තියනවා. කාලයක් පුවක් පටියකට ලණුවක් ගැට ගහලා ඒක මැද්දෙන් තවත් කෝටු කෑල්ලක් තියලා දකින දකින් ඒවට විද විද හිටියා. හුඟක් වෙලාවට අහිංසක කෙහෙල් ගස් තමා ඒවට වන්දි ගෙව්වෙ. කාලයක් වල් කපලා ඒවා උඩින් වහලා ඒවට අනිත් අයව වට්ටන්ඩ හැදුවා. ඒවට වැටුණ කෙනෙක් නෑ.. අඩුම ගානේ පූසෙක්වත් නෑ. බැරිම තැන මිනිහම ගිහින් ඒවට පනිනවා. මිනිහා වෙලාවකට හරිම හොඳයි, අපිවත් අල්ලගන තටු අතගගා හුරතල් කරනවා. වෙලාවකට යකා වගේ අතේ තියන එකෙන් දමලා ගහනවා. හරිම භායානකයි.
තුන්වෙනියා ගෑනු දැරිවියක්. අර ඊයෙ ඇවිත් දොර ඇරියෙ එයා තමා. එයා අර දෙවෙනියට වැඩිය ටිකක් බාල ඇති ඕන නම්. මෙයා එක්ක තමයි අර මනුස්සයා නිතරම රණ්ඩු ඇල්ලුවෙ. එයත් කියන්ඩ තරම් වරදක් තිබුණේ නෑ. අපිටත් වරදක් නෑ. හැබැයි අපි ගේ අතුලෙ ඉන්නවා දැක්කොත් නම් එලෝලා දානවා. අපි බෙටි දානවා කියලා එන්ඩ දෙන්නෑ.
තව හිටියා පිරිමි ළමයෙකුයි, චුටි ගෑනු දරුවෙකුයි. ඒ දෙන්න නම් බොහොම පොඩියි.
ඊට අමතරව හිටියා වයසක ගෑනු කෙනෙක්. වයසෙ හැටියට උන්දෑ බොහොම නිරෝගියි. ගෙදර අනිත් අයට උන්දැගෙන් ලැබුණ සහය අපමණයි. මේ ගෑනු කෙනා අර මම කලින් කීව අගලෙ පොල් ලෙලි පොගවලා ඒවයෙ කොහු අරගන ලණු විව්වා.
ඔයිට අමතරව තව පිරිමි මනුස්සයො දෙන්නෙක් හිටියා. ඒ ගෙදර ළමයි ඒ ගොල්ලන්ට කතා කළේ "ලොකු අංකල් " සහ "පොඩි අංකල්" කියලා.
ඔය ගෙදර තව එක්කෙනෙක් හිටියා. එයා නිකන් ගෙදර අයිතිකාරයා වගේ තමා හිටියේ. ඒ තමයි බලු තඩියා. මූ එච්චර උසත් නැති, දුඹුරු පාට බලු තඩියෙක්. රට බල්ලෙක් එහෙම නෙමේ වල්ම වල් බල්ලෙක්. හැබැයි මූ මහ ආඩම්බර කාර බල්ලෙක්. මම කවදාවත් අහලා නෑ මේ බල්ලා බුරනවා. මම හිතන්නෙ උගෙ අම්මට අමතක වෙලාද කොහෙද ඌට ඒක උගන්වන්ඩ. හැබැයි වටේ පිටේ මිනිස්සුයි, බල්ලොයි ඔක්කොම මූට බයයි. දෙතුන් දෙනෙක්වම පලු යන්ඩ කාලා තිබුණා. ඒ කිසිම සද්දයක් නැතුව හොරෙන්ම පිටි පස්සෙන් ගිහින්. එයාගේ ප්‍රහාරය ඒක තමා. ඌට ගෙදර ඕනැම තැනක ඉන්ඩ ගෙදර අය අවසර දීලා තිබුණේ. අපි පොඩ්ඩකට ගෙට ගොඩ වුණොත් ශෝ ශෝ ගාලා අපිව එළවන මිනිස්සු බලන්ඩ ඕනා අර බල්ලට දීලා තිබුණ නිදහස. ඌ ඉන්නෙ ගෙදර සාලෙ මැද්දෙම තිබුණ ලොකු පුටුව උඩ. අත් දෙක ඉස්සරහට දික්කරගන, කකුල් දෙක පස්සට දික් කරගන. ගෙදර කවුරුවත් නෙමේ ඌට කටක් ඇරලා පලයන් කිව්වෙ. උගේ නම " බුමට්". වෙන බල්ලො වගේ නෙමේ මුගෙන් අපිටත් කිසි කරදරයක් තිබුණෙ නෑ. කවදාවත් විහිලුවටවත් අපේ පස්සෙ පන්නලා නෑ. මූ මහ අමුතු බල්ලෙක්.
~~~~~
කාලය ඉතින් ඔහොම ගෙවිලා ගියා. අපේ දින චර්යාවෙත් කිසිම වෙනසක් තිබුණෙ නෑ. අපේ පුංචි ලෝකය සතුටින් පිරිලා තිබුණෙ.
පළවෙනි කම්පනය, බිය, ත්‍රාසය දැනුණ දවස මට අද වගේ මතකයි. රාජාලිය එදා තමා මුල්ම වරට බෝධිසත්ත්වයා එක්ක රණ්ඩු කළේ. ඒ රාජාලියා බෝධිසත්ත්වයත් එක්ක කරපු පළමු සහ එකම රණ්ඩුව. රණ්ඩුවට හේතුව රාජාලියාට කුරුන්දට යන්ඩ උවමනා වීම. එහෙ රස කෑම ජාති තියන බව තමා රාජාලියාගේ මතය වුණේ. කොහොම හරි රණ්ඩුවෙන් පස්සෙ බෝධිසත්ත්වයා තීරණය කළා ඔහුට යන්ඩ දෙන්න. ඒ ගියා ගියාමයි එදායින් පස්සෙ අපිට රාජාලියව දකින්ඩ හම්බුනේ නෑ. ගෙදර අය නම් කිව්වෙ එක්කෝ නරියෙකුට අහුවෙන්ඩ ඇති නැත්නම් කවුරුහරි මිනිහෙක් අල්ලගන්ඩ ඇති කියලා. කොහොම හරි එදා අපිට රාජාලියාව නැතිවුණා. අපි කොච්චර උගේ වැඩ වලට අකමැති වුණත් ඌ නැති වෙච්ච එක ගැන අපි හැමෝම කම්පා උණා. රාජාලියා නැතුව ගෙවපු ඒ පළවෙනි රාත්‍රිය මහ මූසල රාත්‍රියක්. මිනිස්සුනම් හිතන්නෙ අපිට හැඟීම දැනෙන්නෑ කියලා. ඒත් ඒක එහෙම නෙමේ කියලා මිනිස්සු කවදා දැනගනියිද ?
ඊට පස්සෙ උදා වුණේ ශීත කාලෙ. උදෙන්ම හමා යන සිහිල් සීතල හුළන් රැල්ල දේශගුණයේ වෙනස්වීම අපිට කියා පෑවා.
එදා හවස ගෙදර ළමයි ටික එකතු වෙලා වත්ත ඔක්කොම අතු ගෑවා. වැටිලා තිබුණ කොළ ඔක්කොම එකතු කරලා ලොකු කසළ ගොඩක් ගැහුවා. මොනවා කරන්ඩ යනවද කියලා අපිට තේරුමක් තිබුණේ නෑ. පහුවෙනිදා උදේ අපි කූඩුවෙන් එළියට එනකොට මේ ගෙදර ළමයිනුයි රත්තලෑ ගෙදර ළමයිනුයි අර කහළ ගොඩට ගිනි තියලා ඒක වටේ වටවෙලා ඉන්නවා. සීතල දරාගනඩ බැරුවද කොහෙද.
ඔය සිද්ධිය වෙලා ටික දවසකින් පස්සෙ අපි වෙනදා වගේම වත්ත පල්ලැහැ කෑම හොය හොය හිටියේ. එක පාරටම බා බා බා ගාලා අපිට කතා කරනවා ඇහුණා. කවදාවත්ම නැතුව අද දෙපාරක් කෑම ! අපිත් දෙපාරක් නොහිතා දුවගෙන ගියා. හැබැයි මෙදා සැරේ අමුත්තක් තියනවා. වෙනදට එළියට කෑම විසිකරනවා අපිට අහුලන් කන්ඩ. ඒත් අද ! කොටුව ඇතුළටයි කෑම දාලා තියෙන්නෙ. අපිත් ඉතින් දෙපාරක් හිතන්නැතුව කෑම කන්ඩ කොටුව ඇතුළට ගියා. එතකොටම දොර වැහුණා. වෙන දේ ගැන අපි ටිකක් තුෂ්නිම්භුත වෙලා හිටියෙ. මොකද මේක අමුතුයි. මෙන්න ටිකකින් කවදාවත් දැකලා නැති මිනිස්සු දෙන්නෙක් කොටුව ඇතුළට ඇවිත් අපි එක එකාව අල්ලන්ඩ ගත්තා. අපිත් කෑ ගගහා හතර අතේ දිව්වා. ඒත් කවුරුවත් ආවෙ නෑ අපිව බේර ගන්ඩ. අඩු ගානෙ අර ගෙදර මිනිස්සුවත්. ඒගොල්ලොත් ටිකක් එහායින් ඉඳන් බලා ඉන්නවා දැක්කා. ළමයින්ගෙ මූණු දැක්කම නම් මට මොකක්දෝ භයානක දෙයක් වෙන්ඩ යන බව ඉවෙන් වගේ තේරුණා. කොටුවට පැනපු මිනිස්සු බෝධිසත්වයවයි, ජොකොලවයි, පොඩි එකාවයි අන්තිමයවයි අල්ලගන ගෝනියකට දාගත්තා. අපේ යාළුවන්ගේ විලාපය මට අහන් ඉන්ඩ බැරි තරම්. ඒත් දෙවියනේ මම කියලා මොනවා කරන්ඩද ?
අන්තිමට ඉතුරු වුණේ මමයි අපේ නැම්බියො දෙන්නයි විතරයි. අටදෙනෙක් ලැගපු කොටුව ඉවසන්ඩ බැරි පාළුවකින් වෙලිලා ගිහිල්ලා. මුලු ජීවිතේම එපා කරවන කාලකණ්ණි මූසල කමක් හිත පුරාම වෙලිලා. මිනිස්සුන්ට තේරෙනව නම් අපිටත් මේ හැඟීම් දැනෙනවා කියලා. අහෝ මිනිසුනී නුඹලා මෙතරම් රෞද්‍ර වූයේ කෙසේද ?
අන්තිමට ඒ මූසල දවස උදා වුණා. එදා උදේ වෙනදා වගේ කොටුව ඇරියෙ නෑ අපිට එළියට යන්ඩ. කලින් දවසෙ රෑ මහා පිපිරුම් සද්ද ගොඩාක් ඇහුණා. මගෙ ජීවිතේට එච්චර ශබ්ද ගොඩක් ඇහුවමයි ඒ. මොනවද ඒ ?
ඉර මුදුන්වෙන්ඩ ටිකකට කලින් අර පොඩි අංකල් කියන මනුස්සයා කොටුවට ඇවිත් මාව අල්ල ගත්තා. මාව කකුල් දෙකෙන් අල්ලලා තමා උස්ස ගත්තෙ. නෑම්බියො දෙන්නව පයින් ගහලා එළියට එළවලා දැම්මා. මම තටු ගහලා බේරිලා යන්ඩ දැගලුවත් බේරෙන්ඩ නම් හම්බුනේ නෑ. එච්චරට තදින් මිනිහා මාව අල්ලගන හිටියා. මාව දැන් අරගන යනවා කොහාටද තැනකට. අල්ලන් ඉන්න විධිය හින්දා මට පේන්නෙ අහස. ඔක්කොම ගස්කොළන් කැරකෙනවා වගේ දැනුණා. යාන්තමට වගේ දැක්කා මිනිහගෙ දකුණු අතේ තිබුණ ලොකු මන්න පිහිය. මට තේරුණා වෙන්ඩ යන වැඩේ. මේ ලෝකෙ ජීවත් වෙන හැම සතෙකුටම දැනෙන ඒ මාරන්තික මරණ බිය මටත් දැනුණා. ඒත් මම අසරණයි. මගේ දැගලිල්ලෙන් පලක් නෑ.ඒත් මම අන්තිම මොහොත වෙනකම්ම කෑගගහ දැගලුවා. අන්තිමට මාව ගහක කඳක් උඩ තිබ්බා වගේ මතකයි. අන්තිමට දැක්කෙ අර මන්නා පිහියා වේගයෙන් පහළට එන දර්ශනය. ඊට පස්සෙ මගේ ඇස් නිලංකාර උණා. එච්චරයි !
~~නිමි~~
ප/ලි :
අපේ කතාව හීනියට කුකුළකුගේ ඇසින්.
~~සෙන්නා / 27.07.2012